නිර්මලී ගල් ගැසුනාක් මෙන් එකතැනම නතර වුවාය. ඇසුණු ඒ වචන වලට එකවරම දියයුතු පිළිතුර නිර්මලිට සිතාගත නොහැකි නිසා නොසිතාම ඒ මුහුණ දෙස දෑස විසල් කරගෙන ඈ සිටියේ පිළිමයක් සේය. මීට වසර ගණනාවකට පෙර දුටුවාට වඩා ඒ රුව කෙට්ටුව වැහැර ගොස් සිටියේය.
හදවත් දඩි බිඩියේ ගැහෙන්නට පටන් ගත්තද හුස්ම සිරවුවා සේ දැනුන නිසා ඈගේ හුස්ම කෙටි සහ වේගවත් වුයේ නිතැතිනි.
ඇසුන වචන නිසා දැනුන පිළිකුල අතිමහත් බැවින් වචනයක් නොකීවද, යන්තම් දෙපා වලට පණ ලැබුණු මොහොතටම , ඈ වේගයෙන් ආපසු හැරී කවුන්ටරය වෙත ඇවිද ගියේ, අනුජ එහි සිටගෙන සිටින බව හෝ නොදැනය. දුරකතනයේ යමක් ඔබමින් සිටි අනුජ නිර්මලී එකවරම දුටුවේ නැත.
"කෝ ගත්තද?"
අනුජ තමන් පසුකොට වේගයෙන් දුවන නිර්මලී දෙස බලා ඇසුවේ මදක් විමතියෙනි. නිර්මලී අනුජගේ කටහඬ ඇසීමෙන් ඉද්ද ගැසුවා සේ නතර වුවාය.
"න්.. නෑ.. ඕනේ නැතිවෙයි වගේ.. අපි යමු පරක්කු වෙනවා "
"නෑ නෑ පරක්කු නෑ.. ගන්නකො.. එහෙ ගිහිල්ල අව්වට පිච්චෙයි මගේ මේ චුටි බබා.."