Sunday, July 4, 2021

257 : සුහදිනියේ - 48 | සියල්ල වෙනස්වන ලකුණු

 කලින් කොටසට 


 

කිසිදු ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට මධුලිකාගෙන් පිළිතුරක් ලැබුනේ නැත. මම උන්මන්තකයෙකු සේ මේ අත දුවමින් සිටියේ කුමක් කරන්නද කියාය.කුඩා දරුවකු අතින් බිඳුණු සිය ප්‍රියතම සෙල්ලම් බඩුවක් දෙස බලා හඬමින් ගතකරන්නාක් මෙන් මම බොළඳ ලෙස කම්පාවට පත්ව උන්නෙමි. 

ටාෂා අමතා මම සියල්ල පැවසුවේ මේ අවස්ථාවේ ක්‍රියාකලයුතු අනෙක් පාර්ශවය ඇය බැවිනි.

"දෙවියනේ... ඔය ආන්ටි ඔහොම්මමයි... මම එන්නම් දවල් වෙනකොට"

ටාෂා විසින් පවා මධුලිකා ඇමතුවද කිසිදු ප්‍රතිචාරයක් නොවුණු අතර මධුලිකා කාමරයට වී දොරගුළු ලාගෙන  සිටියාය. අම්මා සිය යෙහෙළියගේ ආගමනයෙන් සහ තාත්තාගේ යහපත් තත්වය නිසා මධුලිකාගේ හැසිරීම නොදකින්නට ඇත. 

එයට මට කළහැකි අන් යමක් නොවුනේ එය නොදන්නා සේ සිටිනවා හැර අම්මාගේත් ටාෂාගේ මවගේත් සැකයට බඳුන් වීම මේ මොහොතේ ගහෙන් වැටුණු මිනිසාට ගොනා අනින්නාක් මෙන් වියහැකි නිසාය. තාරුක අයියා ඇමතුවද දුරකථනය ක්‍රියා විරහිත වුයෙන් මම කෙටියෙන් පණිවිඩයක් ඔහුට කියා යැව්වෙමි.

මගේ හදවත කෑලි වලට කැඩී ගියාක් වැන්න. මධුලිකාට මම මේ විවාහ යෝජනාව ගැන නොකිව්වේ කිසිදිනෙක මෙය කරලියට එන්නට අවකාශයක් නොමැති නිසාමය. ඊටත් අම්මා හෝ තාත්තා කිසිදිනෙක මා සමඟ එවැන්නක් ගැන කතාවක් කියා තිබුනේද නැත. පෙරදින රාත්‍රියක ටාෂා මගේ කාමරයේ සිට හසුවීමෙන් එය අලුත්  උනාද? ගැලවුම ඇත්තේ ටාෂා අත වන්නට පුළුවන. මේ මොහොතේ මට වෙනත් විකල්පයක් පෙනුනේ නැත.

සවස නිවසේ සියලු දෙනාම තාත්තා බැලීමට රැගෙන යන්නට මට සිදුවිය. හදවත වේදනාවෙන් මොරදෙද්දී මම රථය පදවාගෙන ගියේ බොඳවූ දෑසිනි. 

අම්මා වරින්වර මා දෙස බලනු දුටුවද ඇගේ මුහුණ බැරෑරුම් ස්වභාවක් තිබීමත් මධුලිකා ගැන විමසාවි යන බියත් නිසා මම ඈ මගහැර  සිටියෙමි. මධුලිකා කාගේ කවුරුන්ද කියා හෙලිකරනවාට වඩා අප දෙදෙනාගේ විවාහ පටලැවිල්ල මේ මොහොතේ ඈ තදින් කම්පනය කරනු ඇත. මට තාත්තා හැරුණුවිට තවත්  රෝගියෙක් අවශ්‍යව සිටියේ නැත.

වෙනදා මෙන් මට තරවටු කරන ස්වභාවයක් අම්මාගේ නොවුනේ මේ සතියට මම පවුලේ වගකීම් දරමින් යම් වෙනස් වගකීම් සහගත චරිතයකට පණපොවමින් උන් නිසා වන්නට ඇත. සුදම් පවා මට කතාකරන්නට බියෙන් මෙන් හැසිරුණේය.

තාත්තාට සිහිය එනවිට අප සියල්ලෝම ඔහු අසල සිටින්නට හැකිවීම කාගේත් නොමද ප්‍රීතියට හේතුවී තිබිණ. සියල්ල යහපත්ව සිදුවුවද මගේ ලෝකය කෑලි කැඩී බිඳී ගොස් තිබිණ. පතුලක් නැති ළිඳකට වැටෙමින් සිටිනාක් මෙන් මම උන්නේ සිහිනයක මෙනි.

අත පොවන මානයක සිටි මධුලිකා කිසිදා ළඟාවිය නොහැකි තරමක අනන්තයට ගියාක් මෙන් මට හැඟෙන්නට ඇත. මට නිවසින් යෝජිත විවාහයක් තිබේද කියා ඈ මගෙන් ඇසුවා මතකය. වරක් නොව කිහිප වරක් ඇසුවාත් එයට මම පිට පිටම නැත කියා පිළිතුරු දුන්නාත් මට අමතකව නැත. මම ඇයට බොරුවක් කීවා  නොවේ.ඒ මොහොතේ මුහුද හත්ගව්වක් තිබියදී , එවැන්නක් ගැන මධුලිකාට පවසා සංකීර්ණ කරන්නට මට අවශ්‍යව තිබුනේ නැත. 

රාත්‍රිය වනවිට සියලු බලාපොරොත්තු අතහැර මම තදින් ඉච්ජාභංගයට පත්ව ගියාක් මෙන් දැනුනේ කෙතරම් කල්පනා කලද  විසඳුමක් මා වෙත දකින්නට නොවූ නිසාය. 

'ගෙදර තත්වේ අනුව මේ වෙලාවේ ඔය කතාව අදින්න එපා. ටිකක් ඉවසමු. මටත් අම්මට මේ වෙලාවේ කියන්න දෙයක් නැහැ '

ටාෂා ලියා එවා තිබිණ.

'මම දන්නේ නැහැ මොනවා කරන්නද කියල'

මම පිළිතුරු යැව්වේ බොඳවූ දෑසිනි.

 'මම මධුලිකාට කතාකරන්නද?'

'එපා'

 මධුලිකා ටාෂාට කුමක් කියයිද , එයින් ටාෂාගේත් මගෙත් සිද්ධිය තවත්  ඔඩුදුවන්නට ඉඩ ඇත. 

රාත්‍රියේ රෝහලේ නොසිට මම නැවත ටාෂාගේ නිවසට ගියේ දෙගිඩියාවෙනි. 

වාහනය රථගාලේ නතරකොට මම ඇවිද ආවේ ලාදුරු රෝගියෙකු පරිද්දෙනි. සාලයේ කිසිවකුත් සිටියේ නැත. මම එසැනින් මධුලිකාගේ කාමරය දෙසට ගියේ බර අඩි තබමින් හදිස්සියෙනි.

දොර අසල සිටගත් මට දොරට තට්ටු කරන්නට ධෛර්යයක් නැතුවා සේ මදක් ඒ මේ අත ඇවිද්ද අතර කාමරයෙන් මධුලිකා හෝ වෙනත් අයෙකු කතා කරන අපැහැදිලි හඬක් ඇසුනි. මදක් පැකිලුනද මම යන්තම් අත ඔසවාගෙන දොරට තට්ටු කරන්නට සමත්වීමි.

ඇතුලතින් ඇසුණු කතාබහ නතරව ,කාමරයේ විදුලි පහන් නිවී ගියේය. මගේ හදවත දඩි බිඩි හඬින් ගැහෙන්නට වන්නේය. තත්පර කිහිපය කල්පයක් සේ දැනුනි.කාමරය තුල කවුරුන් හෝ 'දිඩි දිඩි' හඬින් දුවන හඬක් ඇසුනි. නැවත තට්ටු කරන්නට අත ඔසවනවිටම දොර හැරුණු අතර සිටගෙන උන්නේ උදානිය. 

ඇගේ මුහුණ කළුවී තිබිණ. මා දුටුවනම ඈ මා ගිලින්නට මෙන් බැලුවාය.

"තීක්ෂණ?"

මම ඉනට අත් දෙක තබාගෙන සුසුමක් හෙලුවෙමි.

"මධු.."

"ආ ඔය ඇවිත් ඉන්නේ... එනකල් තමයි බලාගෙන හිටියේ"

කාමරය තුලින් ඇසුනේ මධුලිකාගේ කෝපවත් හඬයි. දොර අඩවල් කර , උදානි එය හරස්කර සිටගත්තාය.

"කියන්න තීක්ෂණ"

ඇගේ මුහුණේද තිබුනේ අමනාපය මුසු තර්ජනයකි. මට කතාකරන්න ලැබුනේ නැත, වහා දොර වඩාත් ඇර මධුලිකා සිටගත්තාය. ඇගේ  පෙනුම මේ දැන් සුළි සුළඟක් මැදින් ඇවිද ආවාක් මෙනි.

"මොනවත් අහන්න දෙයක් නැහැ මිස්ටර් වාසලමුදලි. මම විස්වාසය තිබ්බේ ආයෙත් ඒ unfaithful මිනිහටම තමයි. මගේ ලෝයර් තමුන්ට දැනටමත් කතාකරලානේ ඇත්තේ. පේපර්ස් ටික අද එවලා ඇති මිස්ටර් දුනුවිලට "

උදානි මධුලිකා වහා කාමරය තුලට ඇදගත්තාය.

".... මට ඩිවෝස් එක දීල තමුසේ ඕනේ නාඩගමක් නටාගන්නවා.. ඇයි මොකද? මම එහෙම කියන්නේ නැතුව මට කියන්නේ නලවන්න කියලද? අනේ මේ උදානි.. ඔයත් මෙතන එනවා පව් පව් ගගා... බඳින්න ඉන්න රාජකුමාරි ලව්වා මාව නලවන්නත් ආව... ටා..............ෂි.......... ගාගන වලිගෙ වගේ පස්සෙන්! ලජ්ජා නැතුව මෙතන රිංගගෙන ඉන්න බැහැ මට .. ඈ මොකටද මම කට වහගන්නේ...මම යනවා යන්න මෙහෙන්.. මේ දැන්ම!"

මධුලිකා උදානි සමඟ දබර කරගනු ඇසේ. මේ අව් අස්සේ මට නැගුනේ සිනහවකි. අම්මෝ මෙහෙම කොච්චි කරලක්!

 මම දොර හැර ඇතුලට අඩියක් තැබුවෙමි. කාමරය  අඳුරුය.අඳුරේ වුවද මධුලිකාගේ සුවඳ මට හඳුනාගත හැකිය. දෙදෙනාගේ රණ්ඩුව නතරව ගියාක් මෙන් නිහඬ බවක් විය. විදුලි බල්බය දැල්වුණි. එය කරන්නට ඇත්තේ උදානි වන්නට හැකිය. කාමරය පුරාම බඩු ඒ මේ අත විසිරගොස් තිබිණ.

ඇඳ මත රෙදි පිරුණු බෑගයකි. ඒ අවට ඒ මේ අත විසිරුණු ඇඳුම්ය. සෙරෙප්පු බිම පුරාම තිබුණු අතර මධුලිකා ඒ මධ්‍යයේ මට ඔරවාගෙනය. පුදුමය නම්, අගේ ඇස්වල ඒ කෝපය තිබුනේ නැත!

"get out ! get out from my room "

මධුලිකා දෝතින්ම පපුවට දෑත් ගසා මා තල්ලුකර දැම්මාය. පසුපසට විසිවනවා වෙනුවට මම ඇගේ දෑතම එක අතකින් කිටි කිටියේ අල්ලාගත්තෙමි. ඇගේ බුහුටි අත් කුඩා බැවින් මගේ ශක්තිමත් අතට එය පහසුවෙන් හසුවිය.

"බඳින්න 'ඉන්න' ඇති රාජකුමාරියෙක් නැහැ.. මම දැනටමත් බැඳලානෙ  ඉන්නේ!"

මධුලිකා බිත්තියට තදකොට මම කීවේ ඈ දෙසම යොමුවුනු දෑසින් දත්මිටි කනවාක් වැනි හඬිනි.. මධුලිකාගේ සරාගී දෙතොල් සැලිනි. 

"... මේ ගෙදරින් එළියට අඩියක්වත් තියලා මම නරක මිනිහා කියන්න එපා... "

මධුලිකා විසිකරන්නාක් මෙන් අතහැර දමා මම ආපසු හැරුනේ  කඩදාසියක ඇවිලියන ගින්නක පරිද්දෙනි. 

ඉක්මන් අඩිය තබා ගියද මධුලිකාගේ හැඩීම මට නෑසුනා නොවේ.

****************************************************

තාරුක අයියා මා දෙස බැලුවේ කල්පනාකාරීවය.

"උඹ ඇයි  මේවා කලින් නොකළේ කියන්න මම දන්නේ නැහැ... මචන්..  සමහර වෙලාවට  උඹට මේ වෙච්ච දේවල් මට උනා නම් මට ඔයිට වඩා පිස්සු හැදෙනවා. ඒ හින්දා උඹව අවතක්සේරු කරා කියලා හිතන්න එපා...  ඒ උනාට උඹ වගේ ගොන් වස්සෙක් මම මේ දැක්කමයි!"

මට එයට සිනහ නැගුණි. එය වේදනාත්මක වන්නට ඇත.

මධුලිකාගේ ස්වීඩන් ශිෂ්‍යත්වයට යහපත් ප්‍රතිචාර ලැබී තිබුනේ ඇගේ යෙහෙළියගේත් උපකාර නිසා බව තාරුක අයියා මට කියද්දී මට දැනුනේ මහා හිස්කමකි. මධුලිකා මට රඳවාගත නොහැකි බව මම  දැන් තේරුම් ගත යුතුව තිබේ.

".. මට පේපර්ස් ටික එවලා තිබ්බා අද දවල්. වැඩ අස්සේ මට ඕක කියන්න මතක නැතුව තිබ්බේ, අද උසාවි දවසනේ"

තාරුක අයියා මුමුනන්නා සේ කිව්වේය.

මම බීර වීදුරුව වටා ඇති සීතල ජලවාෂ්ප ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කරමින් උන්නෙමි.

"මධුට කරදරයක් වෙන්න හොඳ නෑ බන්.. දුලිප් ඉව අල්ලනවා ඇති මෙලහටත්"

තාරුක අයියා මගේ උරහිසට අත තබා සිටියේ මා සනසන්නට මෙනි. මට ඉබේටම සුසුමක් හෙලුනි.

"මිස්ටර් වාකිෂ්ඨ  උඹේ පාස්පෝට් එක ඉල්ලුව."

"ඒ මොකටද?"

"ඩිවෝස් එක දානකොට උඹට රටෙන් පිටවෙන්න බැහැ"

වචන ටික මගේ පපුව හුරාගෙන බිමට වැටුනා වැනිය. මම වහා බීර උගුරු දෙකක්  හුස්මට බිව්වේ වහා සහනයක් දැනෙතයි වාගෙය.

"... මම වෙන ලෝයර් කෙනෙක් හොයල දෙන්නම් උඹට, හොඳ එකෙක්"

"මට ඕනේ ඇති ලෝයර් කෙනෙක් නැහැ!"

මම කෝපයෙන් කිව්වෙමි.

"මොකද බන් ඇත්තටම උනේ? ඊයේ උඹ කිව්වේ අවුලක් නැහැ කියල"

මම සුසුමක් හෙලුවෙමි.

"මම කිව්වේ බන්.... අර කොහෙන්ද ආපු ගෑනියෙක් මෙතන මගුල් ජෝඩු කලානේ.."

"ඉතින් යකෝ ඒකට හරිනම් බයවෙන්න ඕනේ ටාෂා නේ ! තොපි දෙන්න කසාදත් බැඳලා ඉන්නේ"

"නෑ මචං මේකයි සීන් එක... මම මධු ගැන තාත්තාට නොකිව්ව එකට මධු අවුලෙන් හිටියේ. මගෙන් දෙතුන් පාරක් ඇහුවා ගෙදරින් මොනවත් එකක් තියෙනවද කියල, මම නෑ කිව්වා.. කවුද බන් දන්නේ මේ කෙහෙල්මල අතේ පත්තුවෙයි කියල. .. අනික... මට එහෙම එකක් අම්මලා කියලා තිබ්බෙත් නැහැ"

අග කොටසේදී මගේ උගුර සිරවී ගියේය. මා අග්නි පරික්ෂාවේදී අසමර්තවන බව  දන්නා නිසා වන්නට ඇත.

".. ඩඩාගේ ලෙඩෙත් එහෙන් , දුලිප් මධුලිකාව හන්ට් කරනවා ඒ අස්සේ. මට ටාෂාගේ ගෙදර ඉන්න අම්මවයි මධුවයි තියන්න ලැබුන එකත් ලොකු දෙයක්. අම්මා එතන ටිකක් හොඳට ඉන්නවා.. එහෙ ගිය නිසා තමයි ඕක ඇදුනේ"

තාරුක අයියා දුම්වැටියක් දල්වා ගත්තේය. ඔහු දුම් බොනවා මම මිට පෙර දැක නැත්තෙමි.

"කෙල්ල බයයි... උඹ ගැන වෙන මිනිස්සු කියන ඒවාට වෙන්න ඇති. රටේ ලෝකේ මිනිස්සු කියන ඔක්කොම ඔය ගෑනු ඔලුවේ තියාගන්නවා. අනික... උඹත් බෝසතා නෙවෙයිනේ.. මම දන්නවනේ... ඒ මොකක් උනත්... උඹ ඔයතරම් කෙල්ලෙක්ට මැරෙන්න හැදුවමයි ඔය!"

මට කට කොනකට සිනහවක් නැගුණි. ප්‍රේමය කියා දැනෙන යමක් මම අත්වින්දේ මධුලිකාගෙන් වන්නට ඇත. 

"දැන් ගියදේ ගියා... මගේ පරණ පුරුදු විදිය හොඳයි බන් මට!"

"උඹව උඹේ ගෙදර අය ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.. අංකල් උනත්. ඒ හින්දා ගොන් වැඩ මුකුත් කරන්න එපා "

මම නිහඬව හිස දෝතින්ම අතාගගත්තෙමි. ජින් බෝතලය දෙස බැලු මම එයින් ගෙන මධුවිත සකසා ගත්තේ ඇසිපිය වේගයෙන් සලමිනි.

"මට ඔය ලව් ඉලව් හරියන්නේ නැහැ බන්... මට අද බොන්න දීපන්... මම අද ගෙදර යන්නෙත් නැහැ.. මට අද වද දෙන්න එපා බන්...මාව දාපන් ෆ්ලැට් එකෙන්!"

මම ස්ථිරව පැවසුවෙමි. තාරුක අයියා වැඩි යමක් පවසන්නට නොගියේ මා ගැන අනුකම්පාවෙන් බව වැටහුනද මට ඒ මොහොතේ අභිමානයක් අවශ්‍යව නොතිබිණ. මධුලිකාගේ ප්‍රේමයෙන් මත්වී උන් මට මධුවිතේ මත්වීම හැර වෙනත් යමක් ගැන මේ සිතන්නටවත් නොහැකිය. ප්‍රේමය බිඳීගිය තැන මිනිසුන් මධුවිත සොයන්නේ ඇයිද කියා හෝ ඒවායේ ආදීනව ගැන මට තර්කයක් අවශ්‍ය නැත. කඳුලක් හෙලන්නට හෝ එය හදවත දියවී ගලන තත්වයකට පත්වන්නට නම් මධුවිත අවැසි බව පමණක් දන්නෙමි.

එදින මම කොහි ගියාදැයි මටම නිනව්වක් තිබුනේ නැත. අවසානයට මතක තිබුනේ මම තාරුක අයියා බදාගන්නවා පමණි

********************මතු සම්බන්ධයි **************************  

14 comments:

  1. හත් දෙයියනේ! එහෙමද ඉවර වෙන්නේ? ඇයි ඒතරම් මුරංඩු කමක් මේ ගෑනු ලමයිගෙ? "වලිගෙ වගේ!" කිය කිය බනින්නේ? කරුණාසේන ජයලත්ගේ ගැහැනු ලමයි පොත මා කියැවූයේ මීට දශක හතරකට පෙරය. අවසන් වනතුරුම මා බලා සිටියේ කුසුම් ව නිමල් ( මතකයෙන් මේ ලියන්නේ වැරදි නම් නිවැරදි කරණු මැන!) විවාහ කර ගනී! කියනා බලා පොරොත්තුව සමගින්‍ ය. මේ ඒකමද වෙන්න යන්නේ!?

    ReplyDelete
    Replies
    1. නම් දෙක හරි! කුසුම් ලියනගේ , නිමල් සතරසිංහ!

      Delete
    2. වලිගෙ වගේ නේන්නම්.. අර සමහරු සාරි පොටේ එල්ලීගෙන යන්නේ, අන්න ඒ වගේ! තද වෙන්නේ නැද්ද ටාශි ශාටි ගගා ඉන්නකොට!!
      ඔය විවාහයෙන් ඔක්කොම සංසිඳෙනවා නම්, දැනටමත් මුන් දෙන්න බැඳලානේ!! මට හිතෙන්නේ තික්ෂනටත් අමතක වෙනවා ඒක

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කසාදයෙන් පමණක්ම කෙනෙක්ව බැඳ තියා ගන්න පුළුවන් කියලානම් මම හිතන්නේ නෑ. බැඳ තියාගත්තත් ඒ ගත පමණයි. හිත කියන දේ තමා කැමති කෙනා සොයා යනවා. තීක්ෂණ; ටාෂි හොයාගෙන ගියේ නෑ. ටාෂි ආවා මිසක! තීක්ෂන ජීවිතේ යම් කාලෙක වැරදි කලත් මධුළිකා මුණගැසුණු පසු ඔහු ඈ වෙනුවෙන්ම බලා හිටියා. සමහර විට ඔබට හිතෙන්නට පුළුවන් "ආදරේ වැඩි උනාම තමයි වැඩිපුර තරහ යන්නේ!" කියලා. තීක්ෂනටත් කට ඇරලා අහන්න පුළුවං "මොනාද මම ඔයා හම්බුනාට පස්සෙ කරපු බනින්න තරම් නරක වැඩ?' කියලා.
      එතකොට මධුළිකාට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. "බෝ වගේ පරන කෑලි වලට කතා කරණ්න ගිහින් නෑ මම!" කියලා. ඉතින් එතකොට තීක්ෂණ පැහැදිලි කරයී එයා පරණ කෑල්ලගෙන් උදව්වක් ගන්න හැදුවා මිසක් වෙන අරළු බුළු නෙල්ලි ඔවුන් අතරේ නෑ කියලා. ඉතිං ඒ කියන එක මධුළිකාත් පිළිගන්න ඕනෙ. මොකද එයාටත් මතක තියෙන්නෝන තීක්ෂණ එයා වෙනුවෙනුත් කල කී දෙයක්, කාපු කට්ටක්, අහපු බැනුමක්, වින්ද අපවාදයක් තියෙන බව. ඒ හින්දා ඉක්මණටම මධූව ශේප කරලා දාන්න! (උඩ මැකුවේ නම් පැටළිලා අන්තිමට මධුළිකායි ටාෂියි කෙස් වලු පටල ගනියි කියලා හිතලා!)

      Delete
    5. හුහ්... මෙන්න වැඩක්! දී කිරට පුසෝ සාක්කි දෙනවා!!

      Delete
  2. ඔක්කොම කොටස් කියවලා එන්න ඕන වෙලාවක. ඔයාගේ ඉස්සරම කතාවක් මම මාර ආසාවෙන් කියෙව්වා මතකයි

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් තමයි.. ඒ අර කලණ මෝඩයාගේ කතාවනේ.. මේ තවත් ඒ ජාතියේ මෝඩයෙක්.. කියවගෙන එන්නකෝ

      Delete
  3. පරණ එව්ව සෑහෙන ගොඩක් මඟ ඇරුන..මට මතක විදිහට මම අන්තිමට කියෙව්වෙ අර මධුලිකා කොහෙද තාප්පෙකිං පනින සීන් එකක් තියන එපිසෝඩ් එක..මඟෑරිච්චි එව්ව ඔක්කොම ආය කියවන්න කම්මැලියි බාං..අනික මේ පැන්ඩමික් කාලෙ අපිට දුං හට්ටි තම්බන්න, කසාය උණු කරන්න වැඩ ගොඩයි

    ඒක හින්ද ඒ බාන් යෝදියෙ...සාරාංශයක් දාන්න බෑද ඊලඟ කොටස පටන් ගන්න කොටම? මෙතෙක් කතාව සැකෙවින් කියල..එතකොට අපිට පුලුවෙනි ඊලඟ කොටසෙ ඉඳල කියවගෙන යන්ට..මොකෝ කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. අයියෙ ඔයා අහල තියෙනවද අර ගෙදරට මල කරදරේ වෙච්ච බලල් තඩියෙක්ව කැලේ අතරමං කරණ්න ගිය මහත්තයෙකුට උනදේ. අන්න ඒකයි මේ නෝනා මහත්තයාටත් වෙලා තියෙන්නේ. කතාව අනපු ඇනිල්ලට දැන් මේ නෝනාටවත් පැටළුම ලෙහා ගන්න බැරිව ඉන්නේ! ඉතින් කොහෙද මෙතෙක් කථා?

      Delete
    2. ඔන්න ඔන්න ඉතින් ෆිල්ම් එක මැද්දෙන් පැනල මෙතන නටන්න හදනවා.. ඔය අතරින් පතර ඇති කතාව සාරාංශ කරලා.. එක්කෝ කතාව ඉවර උනාම මම වෙනම පෝස්ට් එකක් දාන්නම් කෙටි සටහන් වගේ.
      අනේ මෙහ් ! කෙටියෙන් ලියන හාදයෙක්නේ මේ මගෙන් කෙටියෙන් ඉල්ලන්නේ.. කෙටියෙන් තමයි

      Delete
    3. Thattayage kolama,

      හෙහ්..මටත් තියනව එහෙම හත්පොලේ ගාගත්තු සීන් එකක පළමෝත අත්දැකීම්...

      අර මම එක්තරා දඩයක්කාරයෙකුගේ කතාව කියල එකක් ලියන්ට ගිහිල්ල කාලෙකට ඉස්සර..අන්තිමට පරචිත්ත විජානනයයි, ඒලියන්ස්ලයි, ධ්‍යානයට සමවැදීමයි ඔන්න ඔහොම රටේ නැති අටමගල් පටලවගෙන නන්නත්තාරයිස්ඩ් වෙලා පාටකයිංගෙන් අම්ම මෝ නැතුව බැණුං අහල යංතං ඔන්න ඔය අර ගහේ ගහල මේ ගහේ ගහල මොකක්ද ජල්බරියක් කරල කතන්දරේ ඉවර කරල සැනසුං ෂුෂුමක් හෙලුව..

      ඒ බං මලේ..මෙයැයිටත් එහෙම එකක්ය මේ වෙලා තියෙන්නෙ? අර කොහොල්ලෑ බබාගෙ ඇලිච්චි හාවිට වෙච්චි එකේ අනික් එකද? හා..හා..හා.. ප්‍රීතියි මහරජ ප්‍රීතියි ප්‍රීතියි ..

      Delete
    4. කොහොල්ලෑ බබාගෙ ඇලිච්ච හා.....වි! ආන්න අයියෙ වචනේ!! හා.....වි!! හා......වි!!!

      Delete
    5. කරුණාවෙන් දැනුම් දීමයි...
      මේක මේ වැදගත් කතාවක් ලියන කොලයක්. එතන මෙතන කොහොල්ලා ගෑම, නම් වානම් කීම සහ උස් හඬින් ටයිප් කිරීම ආදිය නොකළ යුතුය.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...