Monday, January 30, 2017

59. අලුත් මා





ඔය ෆර්දාව
මදකට දෙන්න නංගි...
කඳුළු පිස, හිස
වසාගනු පිණිස හැංගී...

රිදෙන හද නොපෙනෙන්න
අබායා එකක් මටත් දෙන්න

වචන පිහි සැරට පතුරුගිය
අත්ල මරතොන්ඩි රටාවකිය

හිස තබා ගල් පතුරුමත
දෙදන නළලද බිම ඔබාගෙන
අලුත් මා
පිළිගනු මැන !



Sunday, January 29, 2017

58. කුමාරිහාමි 'මය'!





පිච්ච අතුරපු වියන් ඇඳ මත
තාම සුවඳයි එදා මෙන් ගත
වෙච්ච දේවල් හිතින් පිරිමැද
පෑම පමණයි හසරැල්ල හද

වීර විකුමන් කලද රජුනට
නෑර සෙනෙහෙන් පිදුම් ලැබුමට
ඝෝර රැවුලෙකි ඇඳපු පිරුවට
සාර සබ මැද නිරිඳු කළුවට

සිඳුණු සියොමැලි පුංචි ගෙලවට
තාම පංචායුද පැලඳුවට
තැලුණු කිරිකැටි ලපටි සිරුරට
වංගෙඩිය පල නොවේ කරුමෙට

සදාකල්හිම සෙනවි විරුණට
ලැබිද පැසසුම් , දුකද කම්පිත
මෙදා පින්බිම නොවේ පිහිටට
සිඳිද නුවරුන් ම'හෙලු වැව මත



Thursday, January 19, 2017

55. දේදුනු පාට






හත්පෙති මලකි අත
ශේන්යා තාමත් සමඟ -
පැණිවළලු අතැ'තිවම මහමග...

කහපාට පෙත්තකි අත දරන
නිල, දම් පෙති තවම නොදනින 
පාටම මිසක් පැටලවෙන
පැතුමද නොවේ ඉල්ලන....

කොයිපාට පෙත්තද
කෙල්ල නුඹ මට එවන්නේ?
කුමන ගීයද අදත්
සෙමෙන් මුමුනමින් පතන්නේ?
පතන මුත් හැමදාම ගීයෙන්
කවදදෝ පාටමල් පෙත්ත විසිකරන්නේ?

|
|
කවදාද කෙල්ල නුඹ
මා දෙපා සුව කරන්නේ?

Thursday, January 12, 2017

54. විලාසිනි




නා දළු නො‍වෙන ‍තොල් පෙති හිමි ‍‍නොවන හිතක්
පා හිනැ‍හෙන්න තතනන ‍පෙම් නුරා වතක්
දා හය ‍‍පෙ‍නෙන දැල්වෙන  ‍නෙත් කැලුම් විතක්
මා අතැගිලිද සොයමින කිලි‍පොලන මතක්




Wednesday, January 4, 2017

53. මැවුම්කරුවාට ලියමි






විසිකොට පොරි
බඩගිනි පරෙවියට,
විද මරනු කෙලෙසද
හදවතට?

තනුවක් නොමැති තතකට,
ගිටාරය සිඹිනු නොහැකිද?


Tuesday, January 3, 2017

52. නාඳුනන්නිය



නාඳුනන්නිය
නුඹ කොහි සිට ආවේද
මා මෙහි බිඳෙමින් සිටිමි
බිඳෙමින්ම උපදිමි
නැවතත් හුස්මගමි

මමද තනිවම
ඔබද තනිවම
යලිදු ජීවත්වෙමු....

ඔබේ මුදු  බැල්ම,සිනිදු කොපුල
ඔබ මද සිනහව , ඔබේ දෙතොලින්
වරක්හෝ මා අමතනු මැන

මමද තනිවම
ඔබද තනිවම
යලිදු ජීවත්වෙමු....


Sunday, January 1, 2017

51. අප්පච්චීට කෙටියෙන්

කොල්ලෑව නැතුව
ගඟ මැද ඉතිරිව
බලා ඉමි මම
සුළිය එනතුරැ....




Related Posts Plugin for WordPress, Blogger...