Tuesday, February 21, 2017

64. ඔබ ඇවිත් යන්න එන්න... - 02

02
------------------------------------------------------

"ලනයෝ.. උඹ ටවුමටද යන්නේ?"
"ඔහ.. ඔව්.. ඇයි ?"
මම කලිසමට බහින ගමන් උත්තර දුන්නා.

"හිටපන් මමත් එනවා"
මට හීන්දාඩිය දැම්ම.

"මම ටෙරන්ස් ලාගේ ගෙදර ළඟින් බහිනවා"
"කමක් නෑ "

මුව හලන්න විදියක් නෑ. කොහොල්ලෑ ගුලියක් වගේ. ඇත්ත.. ඌ නැතුව මටත් , මම නැතුව ඌටත් ගමනක් නැති තරම්.

"ආ.. අද දෙබානම හාන්න යන්න වගෙයි"
අපි දෙන්නා සාලෙට එනකොට අතුගගා හිටපු නංගි කිව්වා.

"ඇයි තමුසේ වගේ කොසු නැටුම් දදා ඉන්න කියලද අපිට කියන්නේ මේ සොඳුරුබර ඉරිදා දවසේ? රටේ ලෝකේ කොතරන් නම් රාජකාරි වැඩ තියෙනවද අපිට?"

"මම නොදන්නවය. ඔන්න අපේ පන්තියේ කෙල්ලන්ට නම් පැණි පෙරලා අහුවෙන්න එපා හරිද. මට ලැජ්ජාවේ බෑ "

"අනේ තමුසෙලගෙ පන්තියේ ඉන්නවනේ මහා ලොකු බඩු ? ඕවටද ඕයි බඩු කියන්නේ"

මම නංගි එක්ක කොක්කක් දාගන්න අතරේ චලනයා ගිහින් අම්මගෙන් ගානක් කඩාගෙන ආවා.

"මේ.. ඉක්මනට එනවා හරිද? අද වැට කපලා සුද්ද කරලා මිදුල ටිකක් හදන්න ඕනේ හවසට"
නංගිගේ ඕඩර්ස් රැසයි.

"ඕව කරගන්නවා තමුසෙට මිනිහෙක් ගෙනාපු දාකට"

කොස්ස ඉස්සෙන්න කලින් අපි දෙන්නම පැන්නා පාරට. නුවර පැත්තට අද්ද අද්ද තිබ්බ බස් එකක ෆුට් බෝඩ් එකේ එල්ලුනා. අද නම් දෙන්නටම එක සීසන් එකයි.

Sunday, February 19, 2017

63. ඔබ ඇවිත් යන්න එන්න... - 01

01

කපාරටම හෙනයක්  වැදිලා වගේ ගැස්සුන මම ඇහැරුනේ උතුර දකුණ හොයාගන්න බැරුව. ඇස්දෙක පොල්ගෙඩි සයිස් එකට ඇරලා වටපිට බැලුවමයි මට සිහිය ආවේ, මම තාමත් සිලෝන් ටකරන් බස් එකේ! බ්‍රේක් පාරට බෙල්ල කඩාගෙන නින්දේ හිටපු මගේ හොක්ක සමතලා නොවුනේ නූලෙන්..



බස් එක ඇතුලේ  මහා කලබලයක්. ඔක්කොමල්ල දොර දිහාට පොරකන්නේ එකම කසුකුසුවක් එක්ක.
".. හැප්පිලා හැප්පිලා.... කවුද හැප්පුනා...."

ඔක්කොමල්ල දුවන්නේ හරියට මේ දැන් මතුවෙච්ච රත්තරන් ඉල්ලමක් බලන්න යනවා වගේ. මමත් අතඇරියේ නැහැ. පොරකාගෙන සිද්දිය වෙච්ච තැනට ලං කරා. අපොයි... මම ආපු බස් එකටයි; ඉස්සරහ තිබ්බ වෑන් එකටයි මැද්දේ කවුදෝ යටවෙලා ගුලියක් වගේ ඉන්නවා. මට පෙනුනේ අත්දෙකක් විතරයි. එක අතක වලලක් තිබ්බා යන්තමට දැක්කා.

"වැඩක් නෑ.. මැරිලද කොහෙද"

චමින්ද කෙනෙක් තොල් පෙරලුව. මම පුරුෂ දහිරිය අරගෙන ඇතුලට එබිලා බැලුව. මිනිස්සු සිද්ධිය විග්‍රහ කරගෙන වටවෙලා ඉන්නවා විතරයි. ඒ අස්සේ බස් කාරයාට බනින්නත්, ගුටි අනින්නත් කට්ටිය ඕසෙට. මම පැත්තකින් දුවගෙන ගිහින් ඉඩ තියෙන තැනකින් ඇතුලට එබුනා. කොහෙවත් යන හැමදේටම හොට නොදා ඉන්න එක මටත් ඉතින් ඇඟට අමාරුයි වගේනේ.

".... කහ ඉර පෙනී පෙනී මේ ගෑනුන්ට අම්මප තියෙන හදිස්සියක්. බලනවකො අයිසේ.... මගේ ජොබ් එකත් ගහල යන මලදානයක් තමයි මේක. මගේ අතින් නම් කවදාවත්... මේ කවමදාකවත් බල්ලෙක් වත් හැප්පිලා නෑ අම්මප..."

බස් එකේ ඩ්‍රයිවර් තුන් මුන්නෙන් දාඩිය දාගෙන බෙරිහන් දෙන්නේ බයටද; තරහටද; දෙකටමද කියලා මට හිතුනා.
මම යටට නැවිලා, ඇතුලට රිංගලා මැරිච්ච කෙනා දිහා බැලුවා. එකපාරටම ඒ පොදිය යන්තමට හුස්ම ගන්නවා වගේ පෙනුනා. හෑ ! ආයෙත් එබිලා බැලුවා. ඒක ඇත්ත.. පපුව යන්තමට උස පහත වෙනවා.

"මැරිලා නැහැ... මෙයාට පන තියෙනවා..."

Monday, February 13, 2017

62. කතාවට කතාවක්



සමහර ප්‍රබන්ධ සත්‍යට වඩා ගොඩක්ම සත්‍යයි. සමහර සත්‍ය ප්‍රබන්ධ වලට වඩා විශ්මය දනවන සුළුයි. සත්‍යත් ප්‍රබන්ධත් අතරමැදි දේවල් මායාකාරී විදියට හිත රවටනවා.

නවකතාවක් කියන්නේ කතාවක්ම නෙවෙයි. සමහර වෙලාවට නවකතා තුල අපිට අපිවම මුණගැහෙනවා. සමහර නවකතා තුල අතුරු කතා අතරේ අපේ මහා කතාවේ අක්මුල් විහිදිලා ගිහින් අපිව ඒ කතාවට බද්ද වෙනවා. කියවන්නා විතරක් නෙවෙයි... සමහරවිට ලියන්නී වන ලිඛිතාත් එහෙම මගේම කතාවල හිරවෙලා පැටලෙනවා.

සමහර වෙලාවට මමම මගේ කතා කියෝලා බලලා පුදුම වෙනවා. ඒ මගේ හැකියාව නිසා නෙවෙයි 'නරුම කෙල්ල! උඹ ඇයි ඒ විදියට ලිව්වේ' කියලා මටම දොස් කියාගන්න! ඉතින් ඒකෙන් කෙනිත්තිලා වරුවක් විතර ආයෙමත් ඒ කතාව ඇතුලේ මගේ කොටස් පෙරලා වෙන් කරන්න උත්සහ කරනවා, මම දන්නවා ඒ කතාවේ බාගෙට බාගයක් තියෙන්නේ මම මාව හොයපු වෙලාවල් කියල.

Tuesday, February 7, 2017

61. පරිනත





වොඩ්කා පුරුදු සුරතට
රා කටුවක්ව කුමකට
දම්පාටින්ම සඳවට
තරුවක් නොවෙමි අහසට

Sunday, February 5, 2017

60. පෙලන








සිඹිය යුතු මොහොතවල් වල
පෙලන ; සූරන ; කොනිත්තන
පෙම්බර නුඹ
තවම ආදරයෙන්ම මට පෙනෙන


Monday, January 30, 2017

59. අලුත් මා





ඔය ෆර්දාව
මදකට දෙන්න නංගි...
කඳුළු පිස, හිස
වසාගනු පිණිස හැංගී...

රිදෙන හද නොපෙනෙන්න
අබායා එකක් මටත් දෙන්න

වචන පිහි සැරට පතුරුගිය
අත්ල මරතොන්ඩි රටාවකිය

හිස තබා ගල් පතුරුමත
දෙදන නළලද බිම ඔබාගෙන
අලුත් මා
පිළිගනු මැන !



58. කුමාරිහාමි 'මය'!





පිච්ච අතුරපු වියන් ඇඳ මත
තාම සුවඳයි එදා මෙන් ගත
වෙච්ච දේවල් හිතින් පිරිමැද
පෑම පමණයි හසරැල්ල හද

වීර විකුමන් කලද රජුනට
නෑර සෙනෙහෙන් පිදුම් ලැබුමට
ඝෝර රැවුලෙකි ඇඳපු පිරුවට
සාර සබ මැද නිරිඳු කළුවට

සිඳුණු සියොමැලි පුංචි ගෙලවට
තාම පංචායුද පැලඳුවට
තැලුණු කිරිකැටි ලපටි සිරුරට
වංගෙඩිය පල නොවේ කරුමෙට

සදාකල්හිම සෙනවි විරුණට
ලැබිද පැසසුම් , දුකද කම්පිත
මෙදා පින්බිම නොවේ පිහිටට
සිඳිද නුවරුන් ම'හෙලු වැව මත