අවසන් කාඩ්බෝඩ් පෙට්ටියද අසුරා එහි හරහට කිරි තේ පැහැති ටේප් පටියෙන් ඇලවුමක් යෙදූ දර්ශන් වෙහෙසකර දෑසින් පුටුවට කඩා වැටුනේය. ඔහු අසළම බිම ඇති මෙට්ටයේ දේවා තද නින්දකය. සාලයේ නිදා සිටිනා දෙදෙනාගේ ගෙරවුම් හඬ ඇසෙන්නේ ලී මෝලක ඇසෙන ශබ්ද රැසක් විලසිනි. දහදිය නිසාත් , එකදිගට ඔට්ටුවීම නිසාත් දර්ශන්ගේ වතේ තිබුනු තෙහෙට්ටුවට වඩා හිතේ තෙහෙට්ටුව වැඩිය.
මේසය මත වූ දුරකතනය ගත් දර්ශන් එය ඈතට කොට මේසය යටට අත යවා එතෙක් වේලාවක් එහි පියනේ යටි පැත්තේ අලවා තිබුනු ජංගම දුරකතනය අතට ගෙන වේගයෙන් whatsapp සහ අනෙකුත් සියල්ල පරීක්ෂා කලේ ගොදුරක් සොයනා බඩහිනි ව්යාග්රයෙකු මෙනි.
සිත කඩා වැටුනේ තමන් යැවූ කිසිම පණිවිඩයක් ඈට නොලැබී ඇති බව දැනීමෙනි. ඈ සතුව තිබුනු ඇපල් වර්ගයේ දුරකතනය කොටින්ම තිබුනේ අන්තර්ජාලය හා සම්බන්ධව නොවේ. ඉඳහිට එවන 'හායි' වැනි වචනයක් මිස වෙනත් කිසිවක් නොතිබුනු දෙදෙනාගේ whatsapp සංවාදය තුල තමා යවා ඈ නොබැලූ පණිවිඩ ගණන මේ වනවිට පනස් තුනකි.
' අංජු මට ඔයාව දකින්න ඕනේ ( Anju, I want to see you )'