Sunday, November 18, 2018

198. සෙක්කුව






මේ...
ඔබ දන්නවාද හිත ;
අකීකරුකම කියන්නෙම
ව්‍යාධියක් බව
ඔසුවක් කිසිදාක
පත්තියන් නොවන?

අරෙහෙට මෙහෙට
හිත
        හිත
   හිත
     හිත .... හිත
ගැස්මක් නැතුවම ඉන්නකොට
මට හිතෙන්නෙම,
හිතක් නැති උඹ
සෙක්කුවක තියාගෙන මම
කොට
      කොට
              කොට
                     කොට
එකතැනම කැරකෙන එක!




Tuesday, November 13, 2018

197. සුහදිනියේ - 06

කලින් කොටසට 



දැන් ඉතින් වෙන විකල්පයක් ඇත්තේ නැහැ. විරන්ගයාට කතා කරලා ගෙන්න ගන්නත් ඉන්න ඉසව්වක් කියන්නවත් කිසිම දෙයක් පේන්නෙත් නැහැ. පරක්කු උනොත් කෙල්ල ගෙදර නැතිබව දැනගත්ත ගමන් අරුන් ටික පිස්සු බල්ලෝ වගේ මේ ඔක්කොම පීරලා ගත්තම කලන්තේ හැදිලා ඉන්න මේ කෙල්ල එක්ක මම මොකක් කරන්නද?

ආයේ හිතන්න දෙයක් නැහැ. අතපත ගාලා මම මධුගේ කකුල් දෙකයි උරහිසයි පාදා ගත්තා. පුළුවන් විදියට හරහට වඩාගෙන බලනකොට අගල සෑහෙන්න උසයි. යන්තම් කළුවරේ දැක්කා මම ගෙනාපු ලනුව තාමත් මගේ එක අතක රැඳිලා. පුළුවන් විදියට ඉක්මනින් කලේ අඳුරට හුරුවෙච්ච ඇස්දෙක පෙන්වන විදියට මධුව ගැට ගහලා , ඊට පස්සේ අගලින් එලියට ඇවිත් ළිඳෙන් අදින බාල්දිය වගේ උඩට ඇදපු එකයි. හම්මෝ පන නැති වෙච්ච ශරීරයක් එහෙම අදිනවා කියන්නේ මගේ කොන්ද කැඩෙන වැඩක්!

ඒ අතරේ මම බයෙන් බයෙන් බැලුවේ මේ වෙනකොටත් පැහැරගත්ත මිනිස්සු පස්සෙන් වැටිලාදෝ කියලා. මගේ වෙලාවටද මන්දා තාම එහෙම ඉඟියක් තිබ්බේ නැහැ. පපුව දෙමෝලෙන් පිටි කොටනකොට හති හලාගෙන කොහොමහරි මධූ අගලෙන් එලියට ගන්නකොට තාමත් කෙඳිරි ගානවා.

කඹයත් එක්කම හරහට ගත්තු මම ආයෙත් දුවන්න ගත්තා මට හිතෙන ඉසව්වට. විනාඩි කීපයකින් ඝන කැලෑව පාදාගෙන මම පාරට ආවා. වටපිට බලනකොට පාලු පාරේ කිසිම දෙයක් පෙනෙන්න නැහැ. කොන්ද කැඩෙන්න වගේ හති හලන ගමන් මම දෙපැත්ත බැලුවේ කොයි පැත්තට යන්නද කියලා හිතාගන්න බැරුව.


මම මේ කොහෙන්ද එළියට ආවේ? විරංගව හොයාගන්නේ කොහොමද? අර කියපු දෙහි ගහ ගාව ඌ තාම ඉන්නවද? ඒ දෙහි ගහ ඇත්තටම කොහෙද?

කළුවරේ කවුදෝ දුවගෙන එන සද්දෙට මම ආයෙමත් කැලේට පැන්නා. මධුලිකා කෙඳිරි ගානවා ඇහුනත් බලන්නවත් විදියක් නැහැ.

අපි දෙන්නටම ආවේනික වෙලා තිබ්බ රහසිගත සිවුරුහම්බෑමෙන් ඒ ඉන්නේ විරංග කියල අඳුන ගත්ත ගමන් මම එලියට පැන්නේ පිදෙනියක් ලැබිච්ච යකෙක් වගේ.

"යකෝ.... උඹ... හෑ ! මේ මොකාද මේ? කෝ බං කෙල්ල?"

"මේ ඉන්නේ කෙල්ල තමයි. ගනින් මගේ සාක්කුවෙන් යතුර. මට මේ උතුර දකුණ හොයාගන්න බැහැ , කොහෙද අපි ඉන්නේ? කෝ බන් දෙහි ගහ? මම කාර් එක හැංගුවේ අර පාලු ගේ පිටිපස්සේ. ඉතින් ගනින්... ඔය සාක්කුවේ නෙවෙයි අනිත් එක.... හෙමින් යකෝ මට කිචි..."

මගේ ඉවරයක් නැති කියවිල්ලට විරංග කලබලෙන් පුළුවන් ඉක්මනින් යතුර හොයාගත්තා.

"හැබෑටම උඹටත් වෙන වැඩ! එදත් ඔහොම්මමයි... අද බලන්නකෝ ඉන්න ලස්සන"

"යකෝ මේකිට සිහිය නැහැ.... උඹ මෙතන මගුලක් කතාකරනවා... කොහෙද කාර් එක?"

"සිහිය නෑ ? උඹ ඒ ටිකට මොකද්ද කලේ?"

"මගෙන් කුණුහරප අහන්නේ නැතුව කාර් එකට යමන්.... කෝ කොහෙද?"

මම වටපිට බැලුවේ හිතාගන්න බැරි නිසා.

"අපි මේ ඉන්නේ අනික් පැත්තේ. තව ටිකක් ඉස්සහරට ගියාම පුළුවන් ඒ කාර් එක හංගපු තැනට යන්න පිටිපස්සෙන්. මම වටයක් ගිහින් ආවේ ඔක්කොම බලාගෙන. මෙච්චර වෙලා උඹ මොකද කලේ....? කොහොමද පැනගත්තේ ? උන් අපේ පස්සෙන්ද?"

ඒවාට උත්තර දෙන්න මට වෙලාවක් තිබ්බේ නැහැ. මගේ උත්තරේ ගැනවත් හිතන්නේ නැතුව විරංග ඉස්සර උනා.

"යකෝ.. ඩිංගක් අල්ලපන් මට උස්සගෙන ඇවිත් හොඳ පන ගිහින්.... ඔහෙන් නෙවෙයි කකුල් දෙක පැත්තෙන්... හෙමින් යකෝ..."

"හෑ.. උඹ මොකටද කෙල්ලව ගැටගහුවේ ? උන් ගැටගහලද තිබ්බේ? අඩෝ සිරාවට මැරිලා එහෙම නෙවෙයි නේද?"

හැල්මේ දුවන ගමන් මුගේ කට ඉවරයක් නැහැ. මම නෙවෙයි උත්තර දුන්නේ. විරංග එක්ක දුවගෙන ගිහින් කොහෙන්ද මන්දා මතු වෙනකොට කාර් එක අඳුර අතරින් යන්තමට දැක්කා.

"ඇරපන්... ඉක්මනට ඇරපන්..."

විරංග මධු ගේ කකුල් දෙක අතෑරපු වේගෙට මාවත් එක්කම කැරකිලා ගියා. දුවගෙන ගිහින් විරංග පිටිපස්සේ දොර ලොකුවට ඇරලා ආපහු දුවගෙන එනකොට මමත් එනතම බිම ඇණතියාගෙන ති අරිනවා. රෝම කුපයක් ගානේ රිදෙනවා.

විරංග ඇවිත් මධූ ගන්න නැමුනා.

"තෝ පල අහකට... ගිහින් ඇරපන් ඩිකිය...."

කළුවරේ උනත් විරංගගේ කට බලියට ඇරෙනවා මට පෙනුනා.

"...අපිව පොලිසියෙන් මගදී ඇල්ලුවොත් සිහි නැතිවෙච්ච කෙල්ලෙක් එක්ක... මොකක් කියන්නද හිතාගෙන ඉන්නේ?"

"සිහිය නැති වෙලා නම් නිදි වගේ උරහිසට වාරු කරගත්තම පුළුවන්නේ... "

"පණ්ඩිත නොවී ඇරපන් ඩිකිය..."

ආයේ මුකුත් කියන්නේ නැතුව ඇරපු ඩිකියට මම හෙමිහිට අරගත්ත මධුලිකාව ගෙනිහින් තියද්දි අමුතු දුකකින් මගේ හිත පෑරිලා ගියා වගේ දැනුනා. එකපාරටම නොවේලිච්ච තුවාලයකින් ප්ලාස්ටර් එක ඇදල ගන්නවා වගේ එකක්!

වෙලාවේ හැටියට මට හිතන්න වෙලා තියෙන්නේ වඩාත්ම ආරක්‍ෂිත විදියට මෙතැනින් ගෙනියන්නේ කියලා. ඉක්මනින් පිටත් උනොත්  ඩිකියේ තියෙන වාතාශ්‍රය ඇති මධුලිකාට හුස්මගන්න. වෙලාවේ හැටියට එන ඕනෙම දේකට මුණදෙන්න සුදානමින් ඉන්න ඕනේ. පොලිසියට අහු උනොත් තත්වය දරුණු වෙන්නේ අපි මේ වෙලාවේ පොලිසියේ අනුදැනුමක් නැතුව කරපු වැඩක් නිසා.
හිත ටිකක් තදකරගෙන මම ඉක්මනින් ඩිකියේ දොර වහනකොට ඒ මුහුණ යන්තමට ජායාවක් වගේ හිත ඇතුලේ ඇඳිලා රිදුමක් පපුව හරහා ගියා.

"උඹ ගනින් කාර් එක. මම පිටිපස්සේ නිදාගෙන එන්නම්. උන් හෙව්වොත් හොයන්නේ කෙල්ලෙක් එක්ක වාහනයක්. එහෙමත් නැතිනම් දෙන්නෙක් එක්ක ගියපු වාහනයක්"

ඒ පාර නම් කිසි ප්‍රශ්න කිරිල්ලක් නැතව විරංග වාහනේ ඉස්සරහ අසුනට පැනල සුක්කානම අල්ලගත්තා.

"සැකයක් නොහිතෙන්න අපි යන්න ඕනේ සාමාන්‍ය වේගෙන්!"

"මේ ටික එහෙම යන්න කොච්චර වෙලා යයිද?"

විරංග වාහනේ පාරට ගත්තේ පරිස්සමෙන්. ඩිකියේ පොඩිවෙලා හිටපු ඒ සියුමැලි කෙල්ල ගැන මගේ හිත නොනවත්වා වද වෙන්න උනා.

"එන්ජිම තියෙන්නේ ඉස්සරහ හින්ද ඩිකිය රත්වෙන්නේ අඩුවෙන්. ඒ උනාට සිහිය නැතුව ඉන්න කෙනෙක්ට හොඳට හුස්ම ගන්න තියෙන්න ඕනේ බං. මේ.. ඒක නෙවෙයි.. කොහේද අපි ගෙනියන්නේ?"

එකපාරටම මගේ ඔලුව පත්තු උනා. හැබෑටම ගෙනියනවා කිව්වට ගෙනියන්න තැනක් නෑනේ !

"මගේ දිහා බලන්නේ? පිස්සුද මට ගෙනිහින් කනප්පුව උඩද තියාගෙන ඉන්න කියන්නේ? පිස්සුද යකෝ කෙල්ලෙක්ගෙ පුළුටක්වත් නෑ අපේ ගෙදර... අපේ අම්ම මාව පන පිටින් පන යවයි"

වෙන කරන්න දෙයක් නැහැ.

"හරවපන් අපේ ගෙදර. ඔක්කොමල්ල කටිනෙට ගිහින්නේ. අද මොකක් හරි කරමු."

මම එහෙම කිව්වේ ඇයිද කියන්න මමවත් දන්නේ නැහැ. කොල්ලොම විතරක් ඉන්න අපේ ගෙදර ; අම්මගේ දරුණු අධීක්ෂණය යටතේ දුවන අපේ ගෙදර කෙල්ලෙක් කොහේ  හංගන්නද ? අම්මට කියන්නද? මොකක් කියල කියන්නද? තාත්තා ගැන නම් හිතන්නවත් බැහැ!
එක්කෝ නොහිතාම ඉන්නවා!! මේ දැන් කරන්න ඕනේ මොනවද විතරක් දැනට හිතන්න වෙලා තියෙන්නේ. මම පිටිපස්සේ ආසනේ ගුලිවෙලා ඉන්න ගමන් හිතුවා.

වාහනේ යම් පමණකට වේගෙන් යනවා. කොහේ යනවද තේරෙන්නේ නැති උනත් අපි විනාඩි පහළොවත් විතර යන්න ඇති.

"අම්මටසිරි"

එහෙම කිව්වට මම බලන්න ගියේ නැහැ මොකද කියලා. වාහනේ අයිනට වගේ කරලා නතර කළා.

".... මචං සද්දයක් කරන්න එපා. මම විනාඩියෙන් එනවා"

විරන්ගයා බැහැලා ගියේ එහෙම කියාගෙන. හිතාගන්න බැහැ. පපුව ගැහෙනවා. පොලිසියෙන් නතර කරලද? කවුදෝ කටහඬවල් දෙකක් එනවා ඇහුනා කාර් එක පැත්තට. අනේ මධුලිකා හුස්ම ගන්නේ කොහොමද? මූ දාගත්ත ලෙඩේ මොකද්ද ඒ පාර?

".. ආ.. ඔව් ඔව්... ඒ මහත්තයා අපිට හරි හිතවත්. කොච්චර ලොකු දෙයක්ද අඳුනගන්න ලැබුන එක. කොහෙද පුතා මේ යන්නේ?"

"කටිනෙට බඩු වගයක් ගෙනිහිල්ල දීල යන ගමන්.. දූව පන්සලේ කටිනෙනේ අන්කල්. මේ පාර අපේ අම්මයි තව ආන්ටි කෙනෙකුයි ගත්තා. එන්නං අංකල් "

විරංග කොහොමත් කතාවට දක්ෂ එකා. වාහනේ ටිකක් දුර එනකල් මුකුත් නොකිව්වා උනාට ඌ ඉන්නේ වෙන අවධානයකින් කියලා මට පැහැදිලි උන නිසා මමත් සද්ද නොකර හිටියා.

"අඩෝ... උන් අපේ පස්සෙන් වැටෙනවා තව ඩින්ගෙන්!.. නැගිටපන් මම කියන්න"

මම ආසනේ කෙලින් වෙලා වාඩිඋනා. විරංග ඒ එක්කම පැති කණ්ණාඩියෙන් බලමින් තමයි කතාකලේ.

"බලපන් උන් දෙන්නෙක් ඇවිත් සෑහෙන දුරක්. අන්න පොලිසිය මගෑරලා උන් පාරත් පැන්නා. අපි වටෙන් එනකොට උන් කෙටි පාරකින් ඇවිල්ලා වෙන්න ඕනේ. යන්නේ නම් අර අතුරු පාරේ. "

මමත් හැරිලා බැලුවා. මාලුකාරයා වගේ එකා ඉක්මන් ගමනින් වටපිට බලමින් වෙන පාරකට හැරුනා. උගේ කනේ දුරබනුව.

මලා! කෝ මගේ එක? මම සියලු පොකට් අතගාලා බැලුව. ඉවරයි! ඒක නෑ !! දැන් ඔක්කොම ඉවරයි. උන්ට අතටම අහු උනා. මේක දැන් කියනවද? කිව්වොත් මූ බය වෙනවා. ඒ නිසා මම සද්දක් නැතුව හිටියා. ඒ උනාට මට වැඩේ බරපතලකම තේරුනේ දැනුයි.

ප්‍රධාන පාරෙන් අපේ ගෙදරට යන පාරට ගත්ත ගමන් විරංග වේගෙන් ඇවිත් ගේට්ටුව ගාව තිරිංග තදකලා. විජේදාස බිරාන්ත වෙලා ආරක්ෂක කුටියේ ඉඳන් බලනකොට මම සාමාන්‍ය මුණක් දාගෙන ඌට දොර අරින්න කියලා අතින් සන් කළා. ආයෙමත් සැරයක් හිතන්නේ නැතුව ගේට්ටුව ඇරුනා.

හෙමිහිට ගත්ත වාහනේ ගරාජය ඇතුලට දාල මම පැනපු ගමන් කලේ ගරාජයේ දොර වාහන බොත්තම පුළුවන් විරියෙන් ඔබාගෙන හිටපු එක. කෙල්ල මැරිලද දන්නෙත් නෑ !

ආයේ මොකක් හිතන්නද මම පැනපු ගමන් ඇරියා ඩිකිය. එච්චරයි මතක... ටෝන් ගාලා යකඩයක් වගේ මගුලක සද්දයක් එක්ක ඔලුවේ පැත්තක් පන නැතුව ගියා. විරංගගේ කටහඬ යන්තමට ඇහුනා මතකයි. ඔලුව උඩින් රේසින් කාර් කෝටියක් විතර ගියා වගේ ඔක්කොම අඳුරු වෙලා ගියා.

**********************************

මුළු ඇඟේම රෝමකුපයක් ගානේ රිදෙනවා වගේ දැනිලා දැන් විනාඩියක් විතර ඇති. පොඩි කෙඳිරියක් හිතුවේ නැතත් ඉබේම පිට උනා.

"අනේ.. තීක්ෂණ!"

නළල වම් පැත්තෙන් පටන් ගත්ත පිරිමැදුමක් දකුණු පැත්ත වෙනකල්ම දිවගෙන යනවා. මොන අවසිහියෙන් උන්නත් අඳුනගන්න පුළුවන් මට ඈව. මම හෙමෙහිට මගේ නනලට අත ගෙනියනකොට අර පිරිමැදුම නතරවෙලා. මම යන්තමට ඇස්දෙක ඇරියා. මගේ කකුල් දෙක පාමුල හිටියේ මධුලිකා.

මම මේ කොහෙද ඉන්නේ?

"... අනේ සොරි තීක්ෂණ.. මම හිතල නෙවෙයි ගැහුවේ. මම හිතුවේ මාව අරුන් ආයෙමත් අරගෙන යනවා කියලා"

මෙන්න බොලේ කෙල්ල අඬනවා. මට හරි අවුල් වගේ. මොකද්ද හැබෑට උනේ? මොකක් කිව්වා? මගේ නළලේ එක පැත්තක් ඇදුම් කනවා. ඒ කියන්නේ ඩිකිය ඇරලා එලියට ගන්න හදපු මටද මේ කෙල්ල මොකක් හරි යකඩ කෑල්ලකින් දෝත බදලා දුන්නේ?

මට ඉබේටම හිටපු තැනින් නැගිට්ටුනා. මම හිටියේ මගේ කාමරේ. කෝ විරංග?

මගේ මුහුණ දැකපු ගමන් ප්‍රශ්නය තේරුනා වගේ මධුලිකා නැගිටලා පිටිපස්සට වෙලා හිටගත්තා.

"එයා ගියා කෑම ගේන්න"

"දැන් කීයද වෙලාව?"

මම එහෙම කියාගෙම මගේ කාමරේ ඔරලෝසුව බැලුවා. වෙලාව හත පහුවෙලා විනාඩි විස්සයි. මම එකපාරටම දුවලා ගියේ උඩ තට්ටුවේ කොරිඩෝවේ තිබ්බ දුරකථනය ගාවට. ගත්තා අම්මට කෝල් එකක්.

ටිකක් වෙලා නාදවෙලා අම්මා උත්තර දුන්නා.

"පන්සලේ ඉන්නේ! හැබෑටම මම කියපුව මතක නැතුවද? එන්නේ නැතිද?"

"එන්න නම් විදියක් නැහැ අම්මා. මම මේ විරංග එක්ක එයාලගේ ගෙදර යන්න හදන්නේ."

"දැන් නම් ඉතින් නාවත් කමක් නැහැ. මොනවහරි ගෙනත් කන්න, මම විනිතා එක්ක ආවනේ. මට කතාකරන්න විදියක් නැහැ...."

කියද්දීම මම විසන්ධි කරලා දැම්මා. ඒ කියන්නේ අම්ම එන්න පරක්කු වෙනවා. තාත්තා වත්තට ගිහින් මල්ලි එක්ක. මේ සති අන්තෙම එන්නේ නැහැ.

දැන් තමයි ඇඟේ කොතනද රිදෙන්නේ කියල දැනෙන්නේ. මුළු ඇඟම ඉඳිකටු වලින් හීරුවා වගේ රිදෙනවා. ආපහු හැරුණු මට කාමරේ ඇතුලේ ඉඳන් මගේ දිහා බලාගෙන ඉන්න මධුලිකා පෙනුනා. ආයෙමත් පපුව මොකද්ද උනා.

මට එකපාරටම හිතාගන්න බැරි උනා මම මේ දැන් කරලා තියෙන්නේ මොනවගේ වැඩක්ද කියල. එක්කෝ මම කරලා තියෙන්නේ මේ මිහිමත ඉන්න ලොකුම මෝඩයා වත් නොකරන ජාතියේ ගොන් වැඩක්. එහෙමත් නැතිනම් මම මේ වෙනකොට සෑහෙන්න ත්‍රාසජනක වැඩක් කරපු තරමක වීරයෙක්.

මධුලිකා දොර ගාවට ඇවිත් හිටගන්නකොට මට හොඳටම පෙනුනා කම්මුල් දිගේ ආපු කඳුරු පාරවල් දෙක. සෑහෙන්න වෙලා අඬපු බවක් නම් පෙනුනා. මගේ ඔලුව පුපුරු ගහනවා වගේ. ඉබේම මගේ අත නළලට ගියා.

පඩිපෙළ දිගේ කවුදෝ එනවා ඇහුන ගමන් මධුලිකා මම කියන්නත් කලින් කාමරේ ඇතුලට පැනගත්තා. පඩිපෙළ නැගගෙන ආවේ විරංග.

"ආ.. උඹ නැගිට්ටද? හෙහ් හෙහ් හෙහ් හෙහ් "

"මොකද උඹ හෙහ් හෙහ් ගාන්නේ?"

ඌ අතේ තිබ්බේ සුවඳ ගහන කෑම පාර්සල් තුනක්.

"හෙහ් හෙහ්.. අඩෝ.... මාර සීන් එකනේ...! හෙහ් හෙහ් "

මුගේ කැකිරි පැලිල්ලට මධුලිකාත් දොර ඇරගෙන ආවා. ඈ හොඳටම අපහසුතාවයෙන්; ඇස්දෙකේ සමාව ඉල්ලන පෙනුම හොඳටම.

"අනේ සොරි තීක්ෂණ..."

එතකොට තමයි දැක්කේ කෙල්ල වාරු වෙලා ඉන්න බවත්, මුළු ඇඟ පුරාම තුවාල තියෙන බවත්. කැලේ දුවනකොට සෑහෙන්න හීරේන්න ඇති.

ඉස්සරහට අඩිය තියනකොට මටත් ටිකක් සමබරතාවය නැතිවෙන්න වගේ. බිත්තිය අල්ලාගෙන විරංගගේ උදව් ඇතුව මමත් කාමරේට ඇවිදගෙන ආවා. එතකොට තමයි ඇත්තටම වෙලා තිබ්බ දේ දැක්කේ. කෙල්ලගේ එක කකුලක් සම්පුර්ණයෙන් වෙලලා. කකුලකින් පැන පැන තමයි එන්නේ.

"කකුල?"

"මම හිතන්නේ ක්‍රැක් වෙලා... රිදෙනවා ඉවසගන්න බැහැ තීක්ෂණ..."

මම නැමිලා වළලුකර ගාව බැලුවා. සෑහෙන්න ඉදිමිලා.

"මචං ඩොකෙක් ගාවට ගෙනියන්න වෙයි. "

මම විරංග දිහා බැලුවා. මේ වෙලාවේ දොස්තර කෙනෙක්? ඒ කියන්නේ එක්ස්-රේ එකකුත් ගන්න වෙයි.


"තුවාන්ට ගනින්. උගේ අයියා මගේ ෆිට් එක, දොස්තරයා. "

"මෙතන ඉඳන් කිලෝමීටරයක් නැහැ."

එහෙම කියන ගමන්ම අතේ තිබ්බ පාර්සල් ටික මේසෙන් තිබ්බ විරංග ඇමතුම ගත්තා. ඌ ඒකට උත්තර දෙන්න කාමරෙන් එලියට යනකොටම අමාරුවෙන් හිටගෙන හිටපු මධුලිකාව මම පටුවක වාඩිවෙන්න උදව් කළා.

කෙල්ල යන්තම් අඬනවා.

"දැන් කාලා ඉන්න. අපි ඉක්මනින් පිටත් වෙමු. "

මම එහෙම කියලා ගෙනාපු කෑම පාර්සලයක් දිගෑරලා මේසය උඩින් තිබ්බා. එතකොට තමයි දැක්කේ, මධුලිකාගේ ලස්සන අත්ගොබ දෙක පුරාම ලොකු තුවාල පාරවල්.

"........ මේ මොකද මේ?"

"ලණුවට කැපිලා මම හිතන්නේ. දනවා... මේ.."

කළුවරේ මම අත්දෙකත් එක්ක ගැටගහලා තිබ්බ විදියට කෙල්ලව හොඳටම කැපිලා තුවාල වෙලා.

"සොරි මධුලිකා... ලණුවට කැපෙන්න ඇත්තේ... ඔයා.."

"හරි මචං... ගේන්න කිව්වා. යන ගමන් එක්ස්රේ එකකුත් අරගෙනම යමු. ඉක්මනට කාපල්ලා."

විරංග ඇමතුම විසන්ධි කරන ගමන් කාමරේක එනකොට මාව ඇතුලාන්තයෙන් ගැස්සුනා වගේ දැනුනේ.

මම දැන් නිශ්ශබ්ද වෙලා වගේ මට දැනෙන්නේ. විරංග විදුලි වේගෙන් කෑම එක විවෘත කළා. මමත් කෑම එක ඇරියා. කෙල්ල හැලහොල්මනක් නැතුව ඉන්නවා. අත්දෙකේ තුවාලනේ !

හිතන්නෙවත් නැතුව මට ඉබේටම මගේ බත් කට ඈගෙ කටට ලං උනා. කෙල්ලත් ලේනෙක් කට අරිනවා වගේ කට ඇරියා. තවත් තත්පර දෙක තුනක් කටවල් කීපයක් යනකල්ම ලෝකය නතරවී තියෙන්නට ඇති.

"කාපං යකෝ ඉක්මනට යන්න ඕනේ!"

මධුලිකා මගේ දිහා බලලා 'ඇති' වගේ කිව්වා. මම කටවල් දෙකක් විතර ගිලලා මුකුත් නොවිච්ච ගානට කෑම එක අකුලලා නැගිට්ටා.

"යමු"

"යකෝ.. ඔය ඇඳුම මාරු කරගනින්.නැතිනම් අපිව නර්ස් කෙනෙක්වත් අල්ලන එකක් නැහැ."

මම කොර ගහන ගමන් කොහොම හරි නානකාමරේට ගිහින් ෂර්ට් එක විතරක් මාරු කරගත්තා. කෙල්ලට දෙන්න දෙයක් නැහැ. මධුලිකා ඇඳගෙන හිටියේ ත්‍රි ක්වාටර් ඩෙනිම් කලිසමක් එක්ක සුදුපාට ටී ෂර්ට් එකක්. ඒ දෙකම සෑහෙන්න කිළුටු උනත් මම අඳින්න දෙන්න දෙයක් නැහැ.

"කමක් නැහැ. ඔහොම යමු. ඇඳුමක් ගන්න පුළුවන් පස්සේ"

විරංගගේ උදව්වෙන් තමයි මමත් කාර් එකට ආවේ. මටත් තුවාල නිසා වෙන කරන්න දෙයක් නැහැ. පුපුරන හිතින් මට බලාගෙන ඉන්න උනා ඌ මධුලිකාවත් වත්තන් කරගෙන එනවා. අපි කතාවෙලා ආව නිසා කාමරේ විදුලි බල්බ දාලා ආවේ මම ඉන්නවා වගේ පෙනෙන්න. විරංග කාර් එක අරගෙන යනවා වගේ දැනෙන්න අපි දෙන්නම පිටිපස්සේ ගුලි වෙලා හැංගුනා.

වාහනේ තුවාන්ගේ අය්යායේ ඩිස්පැන්සරියට විරංග පැදෙව්වේ උපරිම වේගෙන්.




********** මතු සම්බන්ධයි ***********

Monday, November 12, 2018

196. සුහදිනියේ - 05


කලින් කොටසට 





"පිස්සු නම් කෙලින්න හදන්න එපා බං අපි මේක පොලිසියට කියමු."

"අනේ මේ නිකා හිටපන් පොලිසියෙන් එනකොට මේ කෙල්ලට මොකක් හරි වෙලා තිබ්බොත් උඹ වගකියනවද? අනේ උඹයි මායි දන්නා ලංකාවේ පොලිසිය"

"එහෙම නෙවෙයි... ඉන්නකෝ බලන්න මම ජිල්බාට වත් කතාකරලා. ඌගෙ තාත්තා දන්නා කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න"

"උඹ ඉතින් උපදෙස් අරගෙන එනකොට වෙන්න ඕනේ ටික වෙලා තියෙයි. යකෝ ඒ කෙල්ල අර යක්කු මැද්දේ අසරණ වෙලා ඉන්නවා. උදව් ඉල්ලුවෙත් අපෙන්. රට වටේට උපදෙස් අරගෙන එනකොට පැස්බරා පැනලා තියෙයි ඉස්තාලෙන්"

"පැස්බරා නෙවෙයි යකෝ අස්සයා..."

"මොකා හරි.... මගේ ඔලුව අවුල් වෙලා..."

"මගෙත් ඔලුව අවුල් වෙලා. "

මම කලේ අත්දෙකෙන්ම ඔලුවේ කොණ්ඩේ අවුල් කරන එක. හරියට නිකන් අවුල් වෙච්ච කොණ්ඩේ අස්සේ තිබිලා උත්තරේ බිමට වැටෙයි වගේ.

"මම නම් කියන්නේ මේකට අත දාලා අත පුච්චගන්න එක එතරම් නුවනට හුරු නෑ කියලා. අපි කොහොමද බන් ඒ මාළුකාරයෝ එක්ක හැප්පෙන්නේ?"

ඒ කොහොම කිව්වත් මට මධුලිකාව මෙහෙම අනතුරක තියලා අහක බලාගෙන ඉන්න බැහැ. මේ වෙනකොටත් මොකක් කරලද කියලා කවුද දන්නේ? මම වෙලාව බැලුවා. වෙලාව 4 ත් පහුවෙලා.

"අතින් පයින් නම් බැහැ තමයි. ඒ උනාට අපිට පාවිච්චි කරන්න තියෙන්නේ මොලේ..."

"උඹ මොකක් කියනවද මන්ද.. අමු කැවිලද? මෙන්න මෙහෙ යමන්. යන ගමන් පොලිසියට කියාගෙන යමු. දැන් තව ටිකක් පරක්කු උනොත් පොලිසියට වඩා හපන් උඹේ අම්මයි අපේ අම්මයි එකතු වෙලා කටිනේ බඩු ටික පරක්කු උනා කියල....... අනේ මේ.. උඹ ඕනේ දෙයක් කරගනින්.... මම යනවා යන්න!"

විරන්ගයා දොරත් අරගෙන බිමට බැස්සා. මම ඌ දිහා බලාගෙන හිටියා මුකුත්ම කියන්නේ නැතුව.

"..මම කිව්වේ බන්.... අපිට ඔය වගේ ඒවා කරන්න බෑනේ බන්.. අපි පොලිසියට කියාගෙන යමු.... කවුද දන්නේ මේක පිටිපස්සේ මොන මොනවා තියේද කියල.. එක්කෝ.."

මම මුකුත්ම නොකියා විරංග දිහා බලාගෙනම ඉඳලා සුක්කානමට යන්තම් තට්ටු කරමුන් කල්පනා කරන්නට උනා.

"උඹ නැතුව උනත් මම මම මේක කරනවා... මම යන්නේ නැහැ.. උඹ පලයන් ගෙදර එහෙනම්.. ඉඳපන් මම උඹව බස් එකට දාන්න"


එහෙම කිව්ව ගමන් විරංග ආයෙමත් කාර් එකේ ඉස්සරහ ආසනයට නැගලා දොර වහගත්තා. පුප්පගත්ත මුණ කෙලවරේ පොඩියට වගේ හිනාවකුත් තිබ්බා.

"උඹට ඉතින් කියල වැඩක් තියේද? නෑනේ... මගෙත් වැරැද්ද මේ කොහෙවත් යන කෙල්ලෙක් ගැන කියල... අහක යන වහුතු තමයි මට පාත් වෙන්නේ.. මොකටද ඉතින් දැන්..! හරි දැන් මොකද්ද උඹේ ඔය මොලෙන් ගහන ප්ලෑන් එක?"

සුපුරුදු විදියට මට බනින ගමන් විරංග මගේ දිහාට හැරිලා බලාගෙන හිටියේ විකාර මුණක් දාගෙන.

"විරංග උඹ බඩු ටිකත් අරගෙන ගෙදර පලයං. ගිහින් ඔක්කොම සෙට්ල් කරලා හැරිච්ච අතට ටැක්සියක් අරගෙන අර ඉස්සරහ තියෙන හන්දියේ අර පේන දෙහි ගහ ගාවට ඇවිත් මට මෙසේජ් එකක් එවපන්... මම එතකල් එතන චාන්ස් එකක් එනකල් ඔත්තු බලන්නම්"

"හරි"

එහෙම කියපු ගමන් විරංග එකඟ වෙලා ඔලුවත් දෙපැත්තට වනලා කලබලෙන්ම බිමට පැන්නා. මම කලේ මගේ ගොල්ෆ් කැප් එක ඔලුව වැහෙන්න දාගෙන පිටිපස්සේ ඩිකියේ තිබ්බ ජැකට් එක ගන්න හැරුණු එක. ආයෙමත් විරංග විදුලියක් වගේ හැරුනා.

".. මොකක්? උඹ මොකක් බලනවා කිව්වා? චාන්ස් එකක් කිව්වේ?"

"අනේ මගේ ඔලුව අවුල් නොකර කිව්වහම අහලා පලයං ! උඹත් එක්ක මෙතන පොරකකා ඉන්නවට වඩා වැඩක් නැද්ද මට? මේ වෙනකොටත් මොකක් වෙලාද මන්ද"

තවත් ඉවරයක් නැති මගේ බැනුම් අහගෙන විරංග යන්න ගියා. මම ඒ සැනින් කාර් එක අසල තිබ්බ අතුරු පාරක වහපු ගෙදරක් පිටිපස්සේ හැන්ගුවේ මතු ආරක්ෂාවට. ඇත්තටම මගේ සතුරා කවුද කියලා මම දන්නේ නැහැ. කොටින්ම ඌ සතුරෙක්ද මිතුරෙක්ද කියලත් දන්නේ නැහැ.

කොටින්ම මම මේ කරන්න යන්නේ මොකක්ද කියලාවත් මට තේරුමක් තිබ්බේ නැහැ. ඒ උනත් මම එකක් දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි මධුලිකාව ආරක්ෂාවක් ඇති තැනකට ගෙනියනකල් මම මේක අතාරින්නෙ නැහැ කියලා.

ඩිකියේ තිබ්බ තරමක් ශක්තිමත් ලණු පොටක් දැක්ක ගමන් මට මාර සතුටක් දැනුනේ. ඉක්මනින් ඒක පත්තර කොලේක ඔතාගත්තු මම වටපිට බලලා අතුරු පාරේ කැළෑව පැත්තෙන් හෙමින් හෙමින් ඉස්සරහට ගියේ මධුලිකා ඉන්නවාය කියලා හිතෙන ගෙදර පැත්තකින් එතනට ළඟාවෙන්න පුළුවන් කියලා හිතාගෙන.


මගේ අනුමානය නිවැරදි උනාට එතන පොඩි පරහක් තිබ්බා. ඒ තමයි ඒ ගෙදර කුස්සිය පැත්තේ තිබ්බ ලැහැබ මැද්දේ ලොකු අගලක් කපලා තිබ්බ එක. හවස් වෙලා හින්දත් ඒ පලාතම ගණ සැරේට කැලේ වැවිලා තිබ්බ නිසාත් ඒ අගල මමත් දැක්කේ අහම්බෙන් වගේ. මම එතැන කොළ ඉත්තක් කඩලා එල්ලලා අගලින් එහාට පැනගත්තේ හරිම අමාරුවෙන්.

ටිකෙන් ටික ගේ පිටිපස්සේ පැත්තට සේන්දු වෙනකොට තමයි මතේ පෙනුනේ ඉස්සරහ වගේ ගේට්ටුවක් නැති, පරණ දියසෙවෙල් බැඳුනු මිටි තාප්පයක් තමයි එතන තිබ්බේ. නමුත් කාටවත් ලංවෙන්න බැරි තරමට කැලෑවක් තිබ්බ නිසා ආරක්ෂාව ගැන මේ මිනිස්සු හිතන්න නැතුව ඇති කියලා. මම තාප්පේ ගාවට ආවහම යන්තම් ඔලුව උස්සලා බලන තරම් උස තාප්පෙන් මට කුස්සියක් වගේ කොටසක් විතරයි පෙනුනේ. මුළු ඇඟම කහනවා ඉන්න බෑ. ඒ අස්සේ මදුරුවෝ!

මම තාප්පෙන් යන්තමට එබිලා බැලුවේ ඔළුවේ කොළ අත්තක් හයි කරගෙන. එතකොටම කවුදෝ කුස්සිය වගේ තිබ්බ කොටසේ ඇලුමිනියම් වලන් වගයක් පෙරලනවා ඇහුනා.

"අඩෝ.. රන්ජි.. කවුද බලපන් කුස්සියේ..."

මම ඉක්මනින් බිමටම පාත් උනා. පපුව ගැහෙන්න ගත්තේ මැරෙන්න ඔන්න මෙන්න වගේ. අඩි සද්ද කීපයක් එක්ක මුනුමුනුවක්....

"කෝ.. වරෙන් එළියට... ගනින්"

"කවුද?"

"කවුද ඔතන?"

"මොකද බන් කව් කව් ගාන්නේ.. "

"හෙක්  හෙක්.. "

"ආ මේ බළලෙක්නේ!... හැක් හැක්..."

"මේකටද උඹල මේ බය උනේ?? හැක් හැක්... අනේ මහා ලොකු චන්ඩි...මහත්තයා දන්නවා නම් වැඩේ බාරදුන්න උන් මෙහෙම බයගුල්ලෝ කියල.... අනේ බං.. උඹල ගමේ අපිටත් ලජ්ජා ..කරනවනේ....."

"නිමලෝ... ගනින් අරව ටික ලෑස්ති කරලා! උදේ පාන්දර ඉඳන් ඇවිත් මට හානියි බං"

ඒ කියන්නේ මුන් මේ සැලසුම්සහගතව මධුලිකාව පැහැරගෙනද ? හිරකරගෙනද? මට විස්වාසයිමුන් කාගේ හරි කීමකට මේක කරන්නේ කියල.

මදුරුවෝ අනින්නේ හරියට මාව උස්සගෙන යන්න තරම්. ඒ උනාට හෙලවෙන්න බැහැ ගස් හෙලවෙනවා පේන්න පුළුවන් නිසා. මම දත කාගෙන ඉවසගෙන හිටියා.

ආයෙත් විනාඩි විස්සකින් විතර කවුදෝ කරෝල හරි මොකක් හරි බැදුමක් හදනවා දැනුනා. ඊට විනාඩි දහයකට පස්සේ වෙලාවකින් කටහඬවල් ටික දුරින් ඇහෙන්න ගත්තා. ඒ කියන්නේ උන් ටික ඉස්සරහ පැත්තට ගියා වෙන්න ඕනේ.

උන් බොන්නද හදන්නේ? මගේ පපුව පත්තු උනා. බීලා සිහි විකල් වෙලා මුන් මධුලිකාට අනතුරක් කරයිද? මගේ පපුව ගිනිගන්නවා වගේ දැනුනේ. ගෑනු කෙනෙක් හිටියට දැන් ඒ කටහඩ ඇහෙන්නෙත් නැහැ. මට දැන් මෙතන ඉන්න බැරි තරම් පිස්සු වගේ.

කෙල්ල අනතුරේ!

කළුවර එන්න එන්නම වැඩි වේගන එනකොට මගේ දුරබනුවේ එකපාරටම 'ටීක් ටීක්' ගෑව. මාව රත් උනා! හදිස්සියට අතට ගත්ත දුරබනුව බිමට නොවැටී බේරුනේ අනු නවයෙන්. ඉක්මනින් එක සයිලන්ට් මොඩ් එකට දැම්මා. අරුන්ට ඇහෙන්න ඇති. මගේ කකුල් දෙක වෙව්ලනවා. මට විස්වාසයි විරන්ගයා තමයි මෙසේජ් එක එවන්න ඇත්තේ.

ගැහෙන පපුව එක්ක මම කන් දීගෙන ඉන්නකොට ඔන්න විරන්ගයා කෝල් කරනවා. මැටි මෝලා ! ඌට කෝල් කරන්න කිව්වේ කවුද? මොකක්දෝ අමුතු ඉවකින් මට තේරුණා තාප්පේ එහාපැත්තේ කවුරුහරි ඉන්නවා කියල. ඉතින් මම හිටියේ හුස්මත් උඩට අල්ලාගෙන. අහුවෙන්න ඉඩකඩ බොහොම වැඩියි. මම හුස්ම ටිකත් ඉහලට ඇදගෙන හෙලවෙන්නේවත් නැතුව එහෙම්ම විනාඩි පහක් විතරම ඉන්න ඇති.

ඒත් එක්කම මොකක් හරි බර දෙයක් ඇවිත් වැටුනා මගේ ඔලුව ඉස්සරහින්ම බිමට. මාව එතනම ඉන්දුනා. බලනකොට දොර රෙද්දක්. ඒක ඒ එක්කම ඇදිලා යනකොට තමයි මම දැක්කේ ඒකෙ අගට පොල්කටු හැන්දක් ගැටගහලා පොඩි ගල් මාට්ටුවක් වගේ එකක් හදලා කියලා. දොර රෙද්ද එක්ක ඇදිලා ගිහින් පොල්කටු හැන්ද පඳුරක යන්තමට හිර උනා. ටිකකින් හයිය බලන්න වගේ ඒක අදිනවා දැනුන ගමන් මම කලේ එකපාරටම නැගිටින්නේ නැතුව පොඩ්ඩක් හෙමීට ඉස්සිලා බලපු එක.

අනුමානය හරියටම හරි! මධුලිකා තමයි ඒ!

"බේබි........... කෝ මම ලාම්පුව ගේනකල්වත් හිටියේ නැද්ද?"

මම කලේ පාත් වෙන ගමන්ම අර ගල් මාට්ටුවේ ඒ පැත්තේ තිබ්බ පොටත් ඇදගෙන බිමට පාත් උන එකයි. මධුලිකා ගොත ගහමින් මොනවදෝ කියනවා මට ඇහුනා.

පැහැරගත්ත කෙනෙක්ට මොකද බොලේ එහෙම බේබි කිවිල්ලක්? ඔය කිව්ව්වට මොකක් නමුත් හේතුවක් ඇති... මේ කෙල්ල පාතාලේ එකියක්ද ? වෙන්න බැහැ.. එහෙනම් මම දීපු වද වල හැටියට මේ වෙනකොට මටත් මොකක් හරි කරලා.

ටිකකින් තව දොරක් වහගෙන අඩි සද්ද යනවා ඇහුනා. ඒ කියන්නේ මධුලිකා එක්ක ඉන්න අර අනිත් ගෑනු එක්කෙනා ඉන්නවා. එක අතකට තාමත් අනතුරක් නැතුව ඈ ඉන්න එක ගැන මට දැනුනේ මහා සතුටක්. මම විරංග එවල තිබ්බ මැසේජ් එක බැලුව.

"I came"


"wait.. we are coming"

එහෙම කියලා උත්තරේ යවපු මම පොල්කටු හැන්ද හෙමිහිට බුරුල් කරලා එතන තිබ්බ යන්තම් වැඩියෙන් ශක්තියක් තියෙන ගහක අත්තක හොද හය්යෙන් අහුවෙන්න දොර රෙද්ද ගැටගැහුවේ ශක්තියත් පොඩ්ඩක් විතර පරික්ෂා කරන ගමන්. කෙල්ලගේ මොලේ තරම පේනවා පොල්කටු හැන්ද දැක්ක ගමන්.. මටම හිනා ඒ අස්සේ!

ආයෙමත් නිශ්චලව ගෙවුණු විනාඩි තිහකට වඩා අධික කාලයක් වෙන්න ඕනේ. මදුරු ප්‍රහාරය නිසාත් ඉවරයක් නැති කැසිල්ල නිසාත් මම නම් හිටියේ පුදුමාකාර අමාරුවෙන්. හෙලවෙන්නද? බෑනේ!

දැන් නම් අඳුරත් ඇවිත්. එකපාරටම මොකක් හරි ගලක් වගේ එකක් වැටුනා. කරුමේ කියන්නේ ඒ ගල්ගෙඩිය කෙලින්ම වැටුනේ මගේ ඔලුවට. වැදුණු පාරට කෑගහන එක මම වලක්වගත්තේ මගේම අත හපාගෙන. මේ කෙල්ලොන්ගේ මොලේ තමයි මොලේ! බේරගන්න මෙතන අමාරුවෙන් ඉන්න මගේ ඔලුවට ගලක් අතාරින්නෙ මොන යකින්නද?

මම හෙමිහිට ඉස්සිලා බැලුවා. මොකවත් පේන්නේ නැහැ කළුවරයි.

"ඔයාද?"

ඔන්න බලපල්ලකො මොලේ තරම. රහසින් ඇහුනට ඒ මධුලිකා කියල මට ෂුවර්.

"ඔව්..."

මම ඉක්මනින් දොර රෙද්ද තාප්පෙන් එහාට දාන ගමන්ම එකපාරට උඩ පැන්නා. මොකක්දෝ පොට්ටනියක් වගේ එකක් මෙහා පැත්තට විසිවෙනවා වගේ යන්තමට දැක්කා.

"... ඉක්මනින්... නගින්න ඕක දිගේ..."

මම ඉස්සිලා තාප්පෙන් අත ඇතුලට දාන ගමන් කිව්වා. කොහොමද කියන්න මම දන්නේ නැහැ, තත්පර දෙකක් නැහැ කෙල්ල තාප්පේ උඩ!

"... පනින්න.."

"අනේ...!"

"බය වෙන්න එපා පනින්න"

එහෙම කිව්වට කටු ගාලක් එතන. ඒ මදිවට මට චායාව විතරයි පේන්නේ. මේ ඉන්නේ වෙන කෙල්ලෙක්ද කියලත් එකපාරටම හිතුනා. වෙන්න බැහැ. අතේ රස්නය මට හොදට මතකයිනේ.

"අනේ.."

"හිතන්න එපා.. පනින්න. වෙන කරන්න දෙයක් නැහැ"

එකපාරටම කෙල්ල පැන්නනේ මගේ ඇඟට! එතන තිබ්බ කටු පඳුරු ඔක්කොම චප්ප කරගෙන මාව වැටුනා කියන්නේ තරු පේන්න! ඇනුනේ නැති තැනක් නැහැ... මට කෙඳිරි ගෑවුනා කියන්නේ මමත් මනුස්සයෙක්නේ!

"අනේ සොරි.... පනින්න තැනක් තිබ්බේ නැහැ"

හිතන් දෙයක් තිබ්බේ නැහැ. මම කෙඳිරිය අමතක කරලා එකපාරටම නැගිට්ටා.

"දුවමු...!"

මම ඈ ගේ අත අල්ලාගත්තේ තද කරලා තමයි. හොඳටම කලබල වෙලා මම.

"චුට්ටක් ඉන්න. මගේ බෑග් එක!"

ඒ පාර මේ මකර කටෙන් යන්නේ නැතුව බෑග් එකක් හොයනවා. මොන මංගල්ලෙට ගියත් මේ කෙල්ලොන්ගේ විකාර මේකප් බඩු , සුකුරුත්තන් දාපුවා ලොකුයි ජීවිතේට වඩා. මම ඉක්මනින් දුරබනුවේ තිබ්බ ලයිට් එක පත්තු කළා. පොට්ටනිය හම්බුනා යන්තමට ගහක රැඳිලා තිබිලා. ඒක ගත්ත ගමන් මම කලේ මදුලිකාව ඇදගෙන කඩාගෙන බිඳගෙන දුවපු එක.

අඩි දහයක් දුවන්න ඇති!

අහන්නත් දෙයක්ද.. කලබලේ හින්ද ඔක්කොම තියෙද්දී මධුලිකා එක්ක මමත් පෙරලිලා ගිහින් අර කපලා තිබ්බ අගලේ වැටුනා. කට්ට කළුවරේ ඇනෙන්න ඕනේ සියලු කටු ඇනගෙන වැටෙනකොටවත් ඈගේ අත නෙවෙයි මට අතහැරුනේ!

කට්ට කළුවරේ මගේ ලගම වැටුණු මධුලිකා කෙඳිරි ගානවා මට ඇහුණාම මම ඉක්මනට කලේ ආයෙමත් ඇදලා ගන්න හදපු එක.

"නැගිටින්න.... දුවමු දුවමු"

කිසි සද්දයක් නැහැ. මම කළුවරේ අතපත ගාල බැලුවා? මැරිලද?? කළුවරේ මොනවා අහු උනාද මන්ද.. අන්තිමට මුණ හරියේ නහය හොයාගත්තා. ඊට පස්සේ නහයෙන් හුස්ම වැටෙනවද බැලුව... ඔව් හුස්ම නම් වැටෙනවා වේගෙන්...

මලා! කලන්තේ හැදිලද? කලන්තේ හැදිලා!

ඉවරයි....



********** මතු සම්බන්ධයි ***********

Thursday, November 8, 2018

195. සොඳුරු වැස්සට - දැවෙන කතරක්




හිමකිරම ලෙද සැලෙන පවනත  - හිරිගඩුව ගත සලිත කරවයි
වැහිබිරුම ඉල්මහට හිනැහෙත - කිරිගරුඬ ඉඟි පවා සලවයි
විලිබරව මුව නමන හිසමත - පෙම්බරව සිලිලාර පතුරයි
කල්මැරුව හිත සොඳුරු මුනිවත - පැහැබරව ගිනියමේ ඇවිලෙයි



~~~මන්ජි 

Tuesday, November 6, 2018

194. පුදුමයි | How come?



ඉතින් හරි පුදුමයි...
කාලය ගෙවුන හැටි ;
අපි හමුවුණු හැටි ;
මල් පිපුණු හැටි ;
ගින්දර පුළුන් ඇවිලුණු හැටි!


~~~මන්ජි

Monday, November 5, 2018

193. කොණ්ඩ කැවුම | beauty and the beast




කොණ්ඩ කැවුමකි පබවතට කී  - කුස කුමට කරවීද මල්කම්
චණ්ඩ ඈ කිකලක පැවැත්ති  - ඉස මුදාලු විටෙක මෙවුලම්
වන්ඩ ඇතුපිට වැඩමවන්නී - මිස කවර පෙම්දමක සුරුවම්
කෙන්ඩ පැණියෙන් සතපවන්නි  - දොස ඇතොත් සිතුවේද දුරුවෙම්

උනා වරලස මලින් හැඩකල  - සමන් මල් යහනත සොඳින්
සිනා උරමින රොනට මුසුකල - 'යමන්' තනුවක තත ලෙදින්
දනා නොදකින සිලිටි සරසුල - සෙමෙන් සිළුවේ ලෙලදෙමින්
පිනා හැරදා පියා දුරුවෙල  - තරුල් නොවැ සොමි උවනතින්



~~~මන්ජි

Thursday, October 18, 2018

192. සරළුවකට වඩා || nothing more in life than a spoon






විටෙක මා සිත කියයි
හැන්දක් පමණක්ය අවැසි මට ජිවිතයට...
හැකිය මට බුදින්නට අහර,
නැතිනම් බොන්නට මට නියමිත බෙහෙත.
තැලිය හැක නිදන මැස්සන් සැනින්,
නැතිනම් ගන්නට අවධානය මේසයට තට්ටුකල මොහොතින්.
පුලුවනිය දිගුකර චෝදනා කරනට දෙවියන්ට,
එලෙසම අනින්නට ඇතිතරම් හිස් අවකාශයට.
බැලියහැක හැන්දෙහි කැටපතින් මගේ කුඩා මුහුණ
දිදුලන අයුරු එහි මුහුණතින්,
නැතිනම් වසා දැමුමට එකැසක්
ලොවෙන් අඩකුත් අතුරුදන් වනතුරු.
හැන්දකින් හැකිය මට
නිදහසට ඇති බිංගෙය කණින්නට,
හැන්දක් පුරා කසළද
සඳ එලිය එකතුකළ ජිවිතයද
කෑලි කපන අඳුරට
දමාගැසිය හැකිය මට!


Oroginal Poem:
Richard Jones | The Spoon

Some days I think I need nothing
more in life than a spoon.
With a spoon I can eat oatmeal,
or take the medicine doctors prescribe.
I can swat a fly sleeping on the sill
or pound the table to get attention.
I can point accusingly at God
or stab the empty air repeatedly.
Looking into the spoon's mirror,
I can study my small face in its shiny bowl,
or cover one eye to make half the world
disappear. With a spoon
I can dig a tunnel to freedom,
spoonful by spoonful of dirt,
or waste life catching moonlight
and flinging it into the blackest night

 



Inspired by:
https://hotchocolatedays.blogspot.com/2018/10/blog-post_17.html

Wednesday, October 17, 2018

191. හිරවරණ || Umbrella







තණපත් අතර රැඳී
පිණිබිඳු සදිසි - පෙම
හිරු දකින සැනෙකින්
අතුරුදන් උන.....

මියයන්න පතාගෙන
වීසිකල කියා හිතෙන
දැව කොටය මත,

දිදුල දිදුලා
මා වෙනුවෙන්ම
ඒ දිය බිංදු රකින
හිරවරණ ලෙද!


~~~~මන්ජි

සුබපැතුම් !

Monday, September 24, 2018

190. ඉරිමා..



උතුරා නොයයි හදවත
මුවවට මුවවිට පිරුණු පුන්කලස ලෙද,
දෝතින්ම ගෙන සිඹිනවිට
තොල්පෙති සැලෙයි - නෑ හදවත!

නොදනිත් නුඹේ මිහිමත
පෙම්වතියන්ගෙ පරණ වතගොත,
කුමකට ඉතින් හිතනවද?
අයිති වී ඇත - මගේ රජු මට!

Tuesday, August 7, 2018

188. නෑ || disconnected





දුරබනුව උඹ
ගොළුය ; බිහිරිය; අන්ධය...
මේ මහා කලබල
දවාලද , රෑක මෙන් නිසලය...
හිස පොවන හැම අතම
අළුය ; දුඹුරුය ; වියළිය...
ඒ පාර,
මල් වැටුනාට
හොඳටෝම අඳුරුය...

මේ කවි අතර
හිරකර නුඹ
තබාගන්නේ හේතු ඇතුවය...



~~මන්ජි

Tuesday, July 24, 2018

187. ඉදිබු || fraud




පුංචි රෙදි මල්ලකි

අතරින් පතර
මැහුම් දෙක - තුනකි ;

පතුලේ
කාසි දෙක - තුනකි ;

කොන්දොස්තර ඇසෙන්
සැඟවෙන - ලපටි දෙනෙතකි !



Monday, July 23, 2018

186. අයිතිකාරි || suger lil





දඟකාර පොට්ටනිය උඹ
තත්පර දෙක තුනක්වත්
එකතැන නොරඳන හැටි!

උදේට බැරිනම් රෑට
රෑට බැරි උනොත් දවල්ට
වෙලාවක් නැතිම නම් හිතූ වෙලාවට..
කටු අත්ත වගේමයි
පැටලෙන්නේ - මා එක්ක!

ඔරෝගෙන ඔය සුදු මූන
තාර හොට හදාගෙන
කොණ්ඩ ගස් කටෙන් හප හප
විස්සෝප වෙනකොට
ඉන්න බෑ මටත් එතකොට
ලොකුකම ඉබේම කුණු කුඩේට!




Tuesday, July 17, 2018

185. ආපසු || turn back










යම් දිනයක ඔබ ,
හදිසියෙන් මෙන් පැමිණ
මට කියාගන්නට
බැරුව සිටි බොහෝදේ
ලියා තබා යනු ඇත...

එදිනට
වීදුරුව බරුව යට ඇති
ඔබ ලියු කොලය
තබා යන්නට ප්‍රථම,
දැනටමත් එහි ඇති
පඬු පැහැ කුඩා සටහන
කියවාම යනු මැන...

කියවීමෙන් පසුව
හමුවීම උගහටය,
පුංචි කවුළුවක් හෝ
විවර නැත
එතැන - එදිනට!


~~මම

Thursday, July 5, 2018

184. කුමරු සපුමල් || Hero





සරත් සමයට කුරිරු ලෙස හිඳි නුබගැබේ සැඩ කිරණ වලකා
සුරත් යුග එසවුණු දියඹ බැඳි රළ අතර සැඩ පහර සලකා
මරත් කත මැණිකක් ලෙසින් සැදි සිලිටි පෙති පනසේම සුරැකා
බලත් තුටුකොට පහන් එළියේ පිපෙන කොඳ මල සේම තිලකා

තුඩ'ග පහසට ඇහැරි ඇහැරී සුළු මැදුම් දෙතිතෙන් උදුල්
විහඟ ගීයක තැවරි තැවරී රිදුම් පිරිමදිමින් විපුල්
සිතැ'ඟ ඉවසා මිහිරි මිහිරී කොපුල් රත්පැහැ කර තෙපුල්
මුවග දරනෙමි මුමුණ මුමුණා මියෙන තෙක් මා කුමරු සපුමල්





~~~මන්ජි

Thursday, June 28, 2018

183. ගමන || The trip





මේ බස්රියේ
ආසන තුනක අසුනක
උණුහුම්ම කොටස,
ඔබ රැගෙන යනු ඇත....





අතුරු පාරක් නොපෙනෙන
දෙපස සෙවනින් ගැවසුන
පාරවල් දිග
ඔබ ඔහේ යනු ඇත....


මැණ්ඩලිනය
ගීතයක් ගයනු ඇත,
වෙනදාට මට දැනෙන
සීතලක් දැනී ඈ
විටෙක ඔබ උර මතට
වාරුවනු ඇත.....

හරි ඉතින්
කිඹුලන්ද සිටියහැක!
කොරහ පොඩියට තිබුනාට
ඉවසන් ඉන්න ඇහැක ?



~~ මන්ජි

Thursday, June 21, 2018

182. ශිශිරතර පෙම - 2

ශිශිරතර පෙම - 1




එදත් වෙනදා වාගේම ඉර පායලා තිබුණා.

ඒ තමයි මගේ ජිවිතේ ජිවත් කරපු තීරණාත්මක දිනය. මහා ධනස්කන්ධයක හිමිකාරයෝ වෙලා හිටපු අක්කත් මමත් , අක්කාගේ වයස අවුරුදු 18 සම්පුර්ණ වනවිට එම ධනස්කන්ධයේ පාලිකාව වන දවස! අපේ නිවස එකම උත්සවශ්‍රියක් ගත්තේ, ඒ පාලනය පැවරීම අප වටා සිටි හැමදෙනාම නොඉවසිල්ලෙන් සහ අපගේ දේපල වලට ඇසගසාගෙන හිටපු හිතමිතුරු නෑදෑ පිරිවර දෑස දැල්වීමෙන් එම අවස්තාව ගැන උනන්දු උන නිසා වන්නට ඇති.

මෙතෙක් මම හිරවී සිටි කුඩුවෙන් එලියට එන්නට ලැබුණු පරම ප්‍රීතියෙන් මම උමතුවට පත්වෙන්නට ආසන්නව ගොස් සිටියා. කිසි දිනෙක නැටුමක් නොනටා තිබුණු අපගේ නැටුම් ශාලාවත්, කිසිදිනෙක අවශ්‍යයි කියා නොසිතුන තරම් පිඟන් කෝප්පත් විතරක් නෙවෙයි, වඩාත්ම උමතුකාරකය වී තිබුනේ හැරදමා තිබුණු දොරවල්. මම ගේ පුරාම නටමින් ඇවිදිනවිට සේවිකාවන් මා දෙස අනුකම්පාවෙන් බලන්නට ඇති.

ඉතින් මට මොකද?

කවුද දන්නේ අද මගේ ප්‍රේමයේ උරුමක්කාරයා මුණගැහේද කියා?

ඔහු කවරෙකු විය හැකිද?

Wednesday, June 20, 2018

181. ශිශිරතර පෙම - 1





මම පොඩි කාලේ ඉඳන් හරි දඟකාරයි. ඒ උනාට හරිම මිත්‍රශිලියි. මගේ දඟකාරකම් වලට ඉඩක් ලැබුනේ මගේ අක්කා නිසා. මට හිටියේ අක්කා විතරමයි. ඈ මට බොහෝ ආදරය කළා. ඒ වගේම මම ඇයට බොහෝ සමීපයි.

ඒත් එකපාරටම දවසක; හේතුවක්වත් හිතාගන්න බැරි විදියට ; මගෙත් අක්කාගේත් බැඳීම දුරස් කළා. පුංචි මම ඒ වෙනස දරාගන්න බැරි උනා. මම දෙමවුපියන්ගෙන් ඇහුවා, අයැද්දා , එහෙම වෙන්නේ ඇයි කියලා. නමුත් මගේ පිංචි හිතට සැනසෙන්න උත්තරයක් දීගන්න කිසිම කෙනෙක්ට පුළුවන් කමක් තිබ්බේ නැහැ. මහා විසාල අපේ ගෙදර හිටපු සේවකයින් ගාන ගොඩාක් අඩුවෙලා කියලාත්, සමහර දොරාවක්, ජනෙල් වහලාම දාලා කියලාත් තීරුම් ගන්න උනත් මට සෑහෙන කාලයක් ගියා. ඒ ඔක්කොම උනේ අපේ අක්කාව ගෙදර තිබ්බ කාමරයකට කොටුකරපු එකෙන් පස්සේ. මට අක්කාට කතාකරන එක තියා ඈව දකින්නවත් ලැබුනේ නැති තරම්. ඒ දකින හැම මොහොතකම එයා කාර්මිකයෙක් වගේ අමුතු අත්වැසුම් දෙකක් දමාගෙන තමයි හිටියේ. මේක මට හරි ප්‍රෙහෙලිකාවක්.

මෙච්චර කාලයක් එකට තිබ්බ අපේ ඇඳන් වලින් අක්කාගේ ඇඳ අයින් කරලා තිබ්බේ එක මොහොතකින්මයි. මට කතාකරන්න කෙනෙක් නැහැ. මගේ එකම සෙල්ලම් සගයාත් නැහැ. මට කරන්න ඉතුරුවෙලා තිබ්බේ ගෙදර බිත්ති, පින්තුර වලට කතාකරන එක විතරමයි!

මම මගේ ළමා ලෝකේ අතරමං උනා.

Monday, June 18, 2018

180. නෝක්කාඩු කියමි | why me?






මන්දාකිණියක සිට බැබලුන
තරු කුමරෙකුය සපැමිණුන,
උදුරාගෙන ගොහිනි
මගේ සද....
කලා සොලසම හිමිවුණ...


තිත් කලුවරට ඇසදී
බලා ඉමි මග
අසුරිදුට ඇස් බැද
දැන් දැන් එතැයි - උඹ,
තුරුල් කරගනු පිණිසම!
මේ ක්ෂුද්‍ර
ඉරිසියාකාර කෙලිතිව!!!




~~~~~~ මන්ජි

Sunday, April 8, 2018

178. ලෝහමය | be on your mettle





අදුර පමණකි අතර - අප
මේ රැයේ සාක්ෂියක් වන,
නිදි කවුළුවක් අසබඩ
නෙත් කෙවෙනි දලවන - මම!


ෆොලෙන්තිනෝ ලෙසට මම
වයමි එක දුක් ගීතය - යළි
තබායමි හදවත පිපුණු බිම්මල්
පසුවදා ඔබ ඇස ගැටෙනු - මෙනි


ලෝහ යයි කියා හදුනන
හිම පියලි හදවත,
රැගෙන එයි යලිත් ඔබවෙත
කිරෙන් දෝවන බැතක 
අග්‍ර කොටසක හිමිකරුව!

ප්‍රේමය වඩා උනුහුම්ව
සොදුර නුඹ වටා සරන,
අයිති නැති මාව අයිතිකොට...
වෙලා සිපගැනුම පමණක්
ඔසුවක්ව නුඹ අතම දරන....
ආදරය කොයිබින්ද මේ
පැමිණියෙද මා මැණික!



~~~~~~ ...

Thursday, March 29, 2018

177. ඔබ නැතුව - ඔබ එක්ක





රෑ බදුල්ලන් සමග තනිවී ලියා එක දුක් ගීතයක් 
සෑරදුන් පිට පලදවන්නට කියා සෙත් කවි මාලයක්
පෑවදුන් සද අමාවක වෙද තියා කදුලක බීරුමක්
නෑවිදින් උබ රැගෙන ගියවෙද දවා කතරේ දියපොදක්




~~~~ මන්ජි 

Thursday, March 22, 2018

176. කෑලි කපන තනිකම || feeling blue



Loneliness Painting by Varun Tandon



අළුපාට අහස
බලාගත් අත බලාගෙන
කොහේ හෝ සිට
ඇසේවි සිතන
කටහඬක් සොයන....

දෙසවන් අගුල් වැටීගෙන
තොලකට තෙමන වතුර
උගුරේ පවා සිරවෙන....

හාමතේ - සයින්
මිය යාහැකිය
මේ මහා රික්තකය තුල
උඹ විසින් ඇතිකළ....















~~~~මන්ජි

Monday, March 19, 2018

175. දුර්ගා




සොවින වැලපෙන නෙතුද සඟවන පතිනියක දැක සීරුවෙන්
දියෙන ඇවිදින කන කොකෙකු මෙන කැනෙහිලෙකු සතු සහජයෙන්
දැවෙන කතරක කෙම්බිමක සිට සපැමිනෙන රකුසෙකු ලෙසින්
දරන සිහිලැල් පෙමින් බැනවූ තෙපුලයක මලපුඩු එලන්


පුවත් මවමින පෙමින් ආතුර ලියන් ගැන වහසිම දොඩා
දුවත් මවකුත් වෙනස නොමකර බවුන් වඩනා ලෙස කඩා
රුවත් කිත්ගොස ඇතිය එ'ළඳට මෙවුන් දම් කරලෙමි වඩා
කියත් සබයේ තමන් වනචර රා කලය වට මී බඩා


ලොවක් තනවා සදුන් තවරා සැදුණු අවිහින්සක පැලක්
විලක් කරවා කඳුළු රුහිරෙන් ගැලූ සුසුමන් කප්පරක්
තෙරක් නොපෙනෙන විලෙක ගිල්වා පන රැගෙන ගිය පතිනියක්
හොඳක්  නොමවේ උගේ ගෙදරට ඇගේ සුසුමෙන් ගිනිහලක්


සෝ සුසුම් මැද ගෙවුනු දුක්බර එවන් හැම තත්පර පවා
ලෝ දියෙන් කල්පයක් පිච්චී ඌ දැවී පන නොනැසෙවා
තෝමරෙන් තැලුමෙන් හඬා ගත අයැදුමෙන් කන නෑසෙවා
බෝ ඉහද පනුවන් වැසී අසරණ ලෙසින් ඌ මියැදෙවා


Thursday, March 15, 2018

174. සඳ කිඳුරු වැලපුම






කුමුදු සුපිපෙන අදර විල්තෙර - නොමැති ඔබ විමසන වෙලේ
අවිදු අදුරට තනිව ලන්කර - පැවති ඔබ සුවඳම වෙලේ
දෙවිඳු අමතා දෝත එක්කර - කියති මා අයදුම් සැලේ
කිසිදු අන'දර නොවී පින්කර - එවති මගෙ දෙවියන් පැලේ



~~~මන්ජි

173. උමතු මැතිණිය !






කවිකාර මැතිනිය ,
උබ දන්නවද මේ අලුත් රෝගය?
ඉසේ ඇම්මට ඕන,
කකුලට පත්තුවක් 
කිය කියා 
බෑගිරිගාන රෝගය ?

කොහේ දැන ගන්නද...
 
පත්තුවක් බැදගෙන
කකුලකුත් උඩ තියාන,
අහින්සක දොස්තර
උබ අත'ඩන්ගුවේ පසුවෙන,
ඉසේ ඇම්මට 
කොට්ටෙකුත් මහන!



~~~මන්ජි

Monday, February 26, 2018

172. කැටපත || Mirror mirror on the wall....





දෙන්න ඔය කැටපත,
මොහොතකට...
ඉර එළිය හරව හරවා දල්වන
ගිනි මොහොතකට
එලෙසින්ම තබන්න...
බලන්න
ඔබගේම මුහුණත
කැටපතෙන් ලංකර...

හඳුනාගතොත්
ඔබව
ලියා නොඑවන්න කිසිවක්
ඉපැරණි මතක සිහිකර....





Wednesday, February 14, 2018

171. පත්තිනිව | Missing you is worse than Pittsburgh




වෘකයින් අතර අනාථව
නග්න පතුල් රුහිරෙන් පෙඟී ,
වැරහැලිව උන් - මා

බදා තුරුලෙන් උණුහුම්ව
හිස සිප සනසවා බරින් - ආදර
දහස්වර කපු කෙටූ සයනයේ
මලක්සේ සුරැකි ලෙද...

සැහැසි උන් භීතකර
සිංහ ඝර්ජනා කල ,
සුනඛ සිත නොරුස්සයි
නුඹ මහා රැකවරණ ,
විලිස්සන දත පවා
දනී ඇති පිළිසරණ ,

දෙපා නුඹ බදා මා
සැපිනියක වී හිඳිමි,
නුඹට බැඳී සෙනෙහසින්
පත්තිනිය වී දවමි,
සක්වලින් තරු රැගෙන
නුඹට දිව ඔසු පොවමි !



~~~~ මන්ජි

170. දුක දැනෙන රෑ || shooting stars






පුපුරා හැලෙන සිත
එකතු කරගමි දෝතින් ,
ඉරිතැලෙන දෙනෙත් අග
බින්දු තවරමි පින්නෙන්,
ගෙවෙන මොහොතක සිතමි
රෑ කුරිරුයිද මෙලෙසින්!


දුරින් හෝ හිද ඇතිද?
ලං ලංව  නොම සිටිද?
බිසවුන්ට සෙලවිනිද?
පතිදමින් සිරවිනිද?


රුහිරු විසිරී ගලයි
හිස හැරුනු අතම යයි
නොදෙන්නෙමි ඔබ මගෙයි
ලය පැලෙයි - නිදි නොඑයි



~~~~ මන්ජි

169. මේඝදූතය || the shape of water





මේඝදූතය සිනිඳු බඳවට - ලියා දෙමි මල් පියල්ලෙන්
වේග වාතය තුලින් මිහිබට - නොයා රවටා ඇසිල්ලෙන්
තේදවන්තව ගිජිඳු කරවට - හොවා මල්දම් මැවිල්ලෙන්
පේමවන්තව හොවමි පිරුවට - වහා එනු මැන විදිල්ලෙන්

තුරුණු මල මත රොනින මත්වුනු - දලෙ'ලු ඇත් රජිදුන් මනා
පිරුණු ළයමත සැනින දියවුණු - සලෙලු කිළි සුවඳින් උනා
දරුණු මේඝය නුඹද පැරදුනු - සිලිලු සෙත්කවි වැසි ගෙනා
බලනු විමතිව පෙමින් මිරිකුණු - සියලු රස එක්වී මෙනා




~~~ මන්ජි 

Monday, February 5, 2018

168. පුත නුඹ || Tiger father begets tiger son





වියතුන් සබා මැද
ඉන්ට ඉදිරිව,
නොමිනිස් දනන් මැද
ඉන්ට මිනිසකුව,
ලෝහමය හිත
තුලින් සුරැකිව
දාරකව පෙම
පෙරා පෙව්වෙමි,
දෙතන් නැතුවද....

දුකින් මිරිකෙන
හදට අමතමි,
වදන් නුඹගේ
වැදී මිරිකෙමි..
දනන් තුඩ තුඩ
නුඹම අගයමි,
පියෙකු නොව මා
රජෙකු කරලමි...
දිනෙක එනතුරු
ඇඟිලි ගනිනෙමි..



~~~~ මන්ජි

පිදුම : රිදුම් පිරිමදින පිය-පුතු දෙපලට

Thursday, February 1, 2018

167. නිල් සඳ || The blue moon






නිසල දියමත විසුල මල්පෙති - රැළිති නගනා බීරුමේ
සුනිල මේඝය මුවාකරලති - කිනිති මල්කෙමි මීදුමේ
මෙවුල ගිලිහෙන හඬද නොදනිති - යුවති ඔහු හා පෑහුමේ
දිදුල නෙතුයුග වරල මුදවති - රඟති තොල් හා කෙළිබිමේ


රන් රසය ලෙද ; මින්දදය මිස - කන්මදය මීවිත නොවේ
මින් මතුව ලද අන් කවර රස - බන්ධනය මුදුනත සුවේ
කන් කළුව වැයෙනා රතිය යස - සන්තකය මිණි පැළඳුවේ
පුන් කලස ඉතිරී සතර දෙස - නිල් සඳය අද දිළිසුවේ





~~~~මන්ජි

Tuesday, January 30, 2018

166. පියම්බිකා || A Woman Knows




මා කැමති දේවල්
ඔබ කැමති පිළිවෙලට
ඇගේ ගෙදර !



Tuesday, January 16, 2018

166. අතීතය උඹ | I came, I saw, I conquered






ඝන අන්ධකාරය ,
දෑත - දෙපයම පැකිලුන..
වැටි වැටී යලි
දණහිස් ඔබා නැගිටින...
කල්ප සිය ගණනකට
වරෙක පමණක්
වියසිදුරකින්
දකිමි පුරහඳ - අහස ......!!

ආලෝකයට හසුව
හෙවනැල්ලව
අතීතය.....
උඹ හිඳී
විලිස්සාගෙන
හරියටම පසුපසින්
හිටගෙන !





Wednesday, January 10, 2018

165. නෑර අත | not without you




සරදම් අහස මැද
ඔබ්බවා කළා සොලස සඳ
වලාකුළු තබා අඩයට
හැඩ බලයි නුඹ
හැමදාම සඳවත!

කඳුළු ඉහිරුණු මාවත
කටු පඳුරු - ගල් බොරළු ගැවසෙත
නෑර අත මා
හැමවිටම පපුතුරේ සඟවත!

පිල් විදා හල මොණරියක
විලක අධිපති හංසියක
වී සරමි මම
නුඹ මගේමයි පෙම්වත !



~~~ මන්ජි

189. ප්‍රේම සරතැස | love train






මැදිරි දෙක අතරතුර
කුඩා නැති ඉඩක,
මුදු හාදු ඉහිරවන්
දුර ගෙවා....

උඹ ගිහිං,
ඉල්ලුවේ කාගෙන්ද
මා ඉතිං ??





~~~ මන්ජි
Related Posts Plugin for WordPress, Blogger...