Monday, November 12, 2018

196. සුහදිනියේ - 05 | විරංග ලොකු අවදානමක


කලින් කොටසට 





"පිස්සු නම් කෙලින්න හදන්න එපා බං අපි මේක පොලිසියට කියමු."

"අනේ මේ නිකා හිටපන් පොලිසියෙන් එනකොට මේ කෙල්ලට මොකක් හරි වෙලා තිබ්බොත් උඹ වගකියනවද? අනේ උඹයි මායි දන්නා ලංකාවේ පොලිසිය"

"එහෙම නෙවෙයි... ඉන්නකෝ බලන්න මම ජිල්බාට වත් කතාකරලා. ඌගෙ තාත්තා දන්නා කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න"

"උඹ ඉතින් උපදෙස් අරගෙන එනකොට වෙන්න ඕනේ ටික වෙලා තියෙයි. යකෝ ඒ කෙල්ල අර යක්කු මැද්දේ අසරණ වෙලා ඉන්නවා. උදව් ඉල්ලුවෙත් අපෙන්. රට වටේට උපදෙස් අරගෙන එනකොට පැස්බරා පැනලා තියෙයි ඉස්තාලෙන්"

"පැස්බරා නෙවෙයි යකෝ අස්සයා..."

"මොකා හරි.... මගේ ඔලුව අවුල් වෙලා..."

"මගෙත් ඔලුව අවුල් වෙලා. "

මම කලේ අත්දෙකෙන්ම ඔලුවේ කොණ්ඩේ අවුල් කරන එක. හරියට නිකන් අවුල් වෙච්ච කොණ්ඩේ අස්සේ තිබිලා උත්තරේ බිමට වැටෙයි වගේ.

"මම නම් කියන්නේ මේකට අත දාලා අත පුච්චගන්න එක එතරම් නුවනට හුරු නෑ කියලා. අපි කොහොමද බන් ඒ මාළුකාරයෝ එක්ක හැප්පෙන්නේ?"

ඒ කොහොම කිව්වත් මට මධුලිකාව මෙහෙම අනතුරක තියලා අහක බලාගෙන ඉන්න බැහැ. මේ වෙනකොටත් මොකක් කරලද කියලා කවුද දන්නේ? මම වෙලාව බැලුවා. වෙලාව 4 ත් පහුවෙලා.

"අතින් පයින් නම් බැහැ තමයි. ඒ උනාට අපිට පාවිච්චි කරන්න තියෙන්නේ මොලේ..."



"උඹ මොකක් කියනවද මන්ද.. අමු කැවිලද? මෙන්න මෙහෙ යමන්. යන ගමන් පොලිසියට කියාගෙන යමු. දැන් තව ටිකක් පරක්කු උනොත් පොලිසියට වඩා හපන් උඹේ අම්මයි අපේ අම්මයි එකතු වෙලා කටිනේ බඩු ටික පරක්කු උනා කියල....... අනේ මේ.. උඹ ඕනේ දෙයක් කරගනින්.... මම යනවා යන්න!"

විරන්ගයා දොරත් අරගෙන බිමට බැස්සා. මම ඌ දිහා බලාගෙන හිටියා මුකුත්ම කියන්නේ නැතුව.

"..මම කිව්වේ බන්.... අපිට ඔය වගේ ඒවා කරන්න බෑනේ බන්.. අපි පොලිසියට කියාගෙන යමු.... කවුද දන්නේ මේක පිටිපස්සේ මොන මොනවා තියේද කියල.. එක්කෝ.."

මම මුකුත්ම නොකියා විරංග දිහා බලාගෙනම ඉඳලා සුක්කානමට යන්තම් තට්ටු කරමුන් කල්පනා කරන්නට උනා.

"උඹ නැතුව උනත් මම මම මේක කරනවා... මම යන්නේ නැහැ.. උඹ පලයන් ගෙදර එහෙනම්.. ඉඳපන් මම උඹව බස් එකට දාන්න"


එහෙම කිව්ව ගමන් විරංග ආයෙමත් කාර් එකේ ඉස්සරහ ආසනයට නැගලා දොර වහගත්තා. පුප්පගත්ත මුණ කෙලවරේ පොඩියට වගේ හිනාවකුත් තිබ්බා.

"උඹට ඉතින් කියල වැඩක් තියේද? නෑනේ... මගෙත් වැරැද්ද මේ කොහෙවත් යන කෙල්ලෙක් ගැන කියල... අහක යන වහුතු තමයි මට පාත් වෙන්නේ.. මොකටද ඉතින් දැන්..! හරි දැන් මොකද්ද උඹේ ඔය මොලෙන් ගහන ප්ලෑන් එක?"

සුපුරුදු විදියට මට බනින ගමන් විරංග මගේ දිහාට හැරිලා බලාගෙන හිටියේ විකාර මුණක් දාගෙන.

"විරංග උඹ බඩු ටිකත් අරගෙන ගෙදර පලයං. ගිහින් ඔක්කොම සෙට්ල් කරලා හැරිච්ච අතට ටැක්සියක් අරගෙන අර ඉස්සරහ තියෙන හන්දියේ අර පේන දෙහි ගහ ගාවට ඇවිත් මට මෙසේජ් එකක් එවපන්... මම එතකල් එතන චාන්ස් එකක් එනකල් ඔත්තු බලන්නම්"

"හරි"

එහෙම කියපු ගමන් විරංග එකඟ වෙලා ඔලුවත් දෙපැත්තට වනලා කලබලෙන්ම බිමට පැන්නා. මම කලේ මගේ ගොල්ෆ් කැප් එක ඔලුව වැහෙන්න දාගෙන පිටිපස්සේ ඩිකියේ තිබ්බ ජැකට් එක ගන්න හැරුණු එක. ආයෙමත් විරංග විදුලියක් වගේ හැරුනා.

".. මොකක්? උඹ මොකක් බලනවා කිව්වා? චාන්ස් එකක් කිව්වේ?"

"අනේ මගේ ඔලුව අවුල් නොකර කිව්වහම අහලා පලයං ! උඹත් එක්ක මෙතන පොරකකා ඉන්නවට වඩා වැඩක් නැද්ද මට? මේ වෙනකොටත් මොකක් වෙලාද මන්ද"

තවත් ඉවරයක් නැති මගේ බැනුම් අහගෙන විරංග යන්න ගියා. මම ඒ සැනින් කාර් එක අසල තිබ්බ අතුරු පාරක වහපු ගෙදරක් පිටිපස්සේ හැන්ගුවේ මතු ආරක්ෂාවට. ඇත්තටම මගේ සතුරා කවුද කියලා මම දන්නේ නැහැ. කොටින්ම ඌ සතුරෙක්ද මිතුරෙක්ද කියලත් දන්නේ නැහැ.

කොටින්ම මම මේ කරන්න යන්නේ මොකක්ද කියලාවත් මට තේරුමක් තිබ්බේ නැහැ. ඒ උනත් මම එකක් දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි මධුලිකාව ආරක්ෂාවක් ඇති තැනකට ගෙනියනකල් මම මේක අතාරින්නෙ නැහැ කියලා.

ඩිකියේ තිබ්බ තරමක් ශක්තිමත් ලණු පොටක් දැක්ක ගමන් මට මාර සතුටක් දැනුනේ. ඉක්මනින් ඒක පත්තර කොලේක ඔතාගත්තු මම වටපිට බලලා අතුරු පාරේ කැළෑව පැත්තෙන් හෙමින් හෙමින් ඉස්සරහට ගියේ මධුලිකා ඉන්නවාය කියලා හිතෙන ගෙදර පැත්තකින් එතනට ළඟාවෙන්න පුළුවන් කියලා හිතාගෙන.


මගේ අනුමානය නිවැරදි උනාට එතන පොඩි පරහක් තිබ්බා. ඒ තමයි ඒ ගෙදර කුස්සිය පැත්තේ තිබ්බ ලැහැබ මැද්දේ ලොකු අගලක් කපලා තිබ්බ එක. හවස් වෙලා හින්දත් ඒ පලාතම ගණ සැරේට කැලේ වැවිලා තිබ්බ නිසාත් ඒ අගල මමත් දැක්කේ අහම්බෙන් වගේ. මම එතැන කොළ ඉත්තක් කඩලා එල්ලලා අගලින් එහාට පැනගත්තේ හරිම අමාරුවෙන්.

ටිකෙන් ටික ගේ පිටිපස්සේ පැත්තට සේන්දු වෙනකොට තමයි මතේ පෙනුනේ ඉස්සරහ වගේ ගේට්ටුවක් නැති, පරණ දියසෙවෙල් බැඳුනු මිටි තාප්පයක් තමයි එතන තිබ්බේ. නමුත් කාටවත් ලංවෙන්න බැරි තරමට කැලෑවක් තිබ්බ නිසා ආරක්ෂාව ගැන මේ මිනිස්සු හිතන්න නැතුව ඇති කියලා. මම තාප්පේ ගාවට ආවහම යන්තම් ඔලුව උස්සලා බලන තරම් උස තාප්පෙන් මට කුස්සියක් වගේ කොටසක් විතරයි පෙනුනේ. මුළු ඇඟම කහනවා ඉන්න බෑ. ඒ අස්සේ මදුරුවෝ!

මම තාප්පෙන් යන්තමට එබිලා බැලුවේ ඔළුවේ කොළ අත්තක් හයි කරගෙන. එතකොටම කවුදෝ කුස්සිය වගේ තිබ්බ කොටසේ ඇලුමිනියම් වලන් වගයක් පෙරලනවා ඇහුනා.

"අඩෝ.. රන්ජි.. කවුද බලපන් කුස්සියේ..."

මම ඉක්මනින් බිමටම පාත් උනා. පපුව ගැහෙන්න ගත්තේ මැරෙන්න ඔන්න මෙන්න වගේ. අඩි සද්ද කීපයක් එක්ක මුනුමුනුවක්....

"කෝ.. වරෙන් එළියට... ගනින්"

"කවුද?"

"කවුද ඔතන?"

"මොකද බන් කව් කව් ගාන්නේ.. "

"හෙක්  හෙක්.. "

"ආ මේ බළලෙක්නේ!... හැක් හැක්..."

"මේකටද උඹල මේ බය උනේ?? හැක් හැක්... අනේ මහා ලොකු චන්ඩි...මහත්තයා දන්නවා නම් වැඩේ බාරදුන්න උන් මෙහෙම බයගුල්ලෝ කියල.... අනේ බං.. උඹල ගමේ අපිටත් ලජ්ජා ..කරනවනේ....."

"නිමලෝ... ගනින් අරව ටික ලෑස්ති කරලා! උදේ පාන්දර ඉඳන් ඇවිත් මට හානියි බං"

ඒ කියන්නේ මුන් මේ සැලසුම්සහගතව මධුලිකාව පැහැරගෙනද ? හිරකරගෙනද? මට විස්වාසයිමුන් කාගේ හරි කීමකට මේක කරන්නේ කියල.

මදුරුවෝ අනින්නේ හරියට මාව උස්සගෙන යන්න තරම්. ඒ උනාට හෙලවෙන්න බැහැ ගස් හෙලවෙනවා පේන්න පුළුවන් නිසා. මම දත කාගෙන ඉවසගෙන හිටියා.

ආයෙත් විනාඩි විස්සකින් විතර කවුදෝ කරෝල හරි මොකක් හරි බැදුමක් හදනවා දැනුනා. ඊට විනාඩි දහයකට පස්සේ වෙලාවකින් කටහඬවල් ටික දුරින් ඇහෙන්න ගත්තා. ඒ කියන්නේ උන් ටික ඉස්සරහ පැත්තට ගියා වෙන්න ඕනේ.

උන් බොන්නද හදන්නේ? මගේ පපුව පත්තු උනා. බීලා සිහි විකල් වෙලා මුන් මධුලිකාට අනතුරක් කරයිද? මගේ පපුව ගිනිගන්නවා වගේ දැනුනේ. ගෑනු කෙනෙක් හිටියට දැන් ඒ කටහඩ ඇහෙන්නෙත් නැහැ. මට දැන් මෙතන ඉන්න බැරි තරම් පිස්සු වගේ.

කෙල්ල අනතුරේ!

කළුවර එන්න එන්නම වැඩි වේගන එනකොට මගේ දුරබනුවේ එකපාරටම 'ටීක් ටීක්' ගෑව. මාව රත් උනා! හදිස්සියට අතට ගත්ත දුරබනුව බිමට නොවැටී බේරුනේ අනු නවයෙන්. ඉක්මනින් එක සයිලන්ට් මොඩ් එකට දැම්මා. අරුන්ට ඇහෙන්න ඇති. මගේ කකුල් දෙක වෙව්ලනවා. මට විස්වාසයි විරන්ගයා තමයි මෙසේජ් එක එවන්න ඇත්තේ.

ගැහෙන පපුව එක්ක මම කන් දීගෙන ඉන්නකොට ඔන්න විරන්ගයා කෝල් කරනවා. මැටි මෝලා ! ඌට කෝල් කරන්න කිව්වේ කවුද? මොකක්දෝ අමුතු ඉවකින් මට තේරුණා තාප්පේ එහාපැත්තේ කවුරුහරි ඉන්නවා කියල. ඉතින් මම හිටියේ හුස්මත් උඩට අල්ලාගෙන. අහුවෙන්න ඉඩකඩ බොහොම වැඩියි. මම හුස්ම ටිකත් ඉහලට ඇදගෙන හෙලවෙන්නේවත් නැතුව එහෙම්ම විනාඩි පහක් විතරම ඉන්න ඇති.

ඒත් එක්කම මොකක් හරි බර දෙයක් ඇවිත් වැටුනා මගේ ඔලුව ඉස්සරහින්ම බිමට. මාව එතනම ඉන්දුනා. බලනකොට දොර රෙද්දක්. ඒක ඒ එක්කම ඇදිලා යනකොට තමයි මම දැක්කේ ඒකෙ අගට පොල්කටු හැන්දක් ගැටගහලා පොඩි ගල් මාට්ටුවක් වගේ එකක් හදලා කියලා. දොර රෙද්ද එක්ක ඇදිලා ගිහින් පොල්කටු හැන්ද පඳුරක යන්තමට හිර උනා. ටිකකින් හයිය බලන්න වගේ ඒක අදිනවා දැනුන ගමන් මම කලේ එකපාරටම නැගිටින්නේ නැතුව පොඩ්ඩක් හෙමීට ඉස්සිලා බලපු එක.

අනුමානය හරියටම හරි! මධුලිකා තමයි ඒ!

"බේබි........... කෝ මම ලාම්පුව ගේනකල්වත් හිටියේ නැද්ද?"

මම කලේ පාත් වෙන ගමන්ම අර ගල් මාට්ටුවේ ඒ පැත්තේ තිබ්බ පොටත් ඇදගෙන බිමට පාත් උන එකයි. මධුලිකා ගොත ගහමින් මොනවදෝ කියනවා මට ඇහුනා.

පැහැරගත්ත කෙනෙක්ට මොකද බොලේ එහෙම බේබි කිවිල්ලක්? ඔය කිව්ව්වට මොකක් නමුත් හේතුවක් ඇති... මේ කෙල්ල පාතාලේ එකියක්ද ? වෙන්න බැහැ.. එහෙනම් මම දීපු වද වල හැටියට මේ වෙනකොට මටත් මොකක් හරි කරලා.

ටිකකින් තව දොරක් වහගෙන අඩි සද්ද යනවා ඇහුනා. ඒ කියන්නේ මධුලිකා එක්ක ඉන්න අර අනිත් ගෑනු එක්කෙනා ඉන්නවා. එක අතකට තාමත් අනතුරක් නැතුව ඈ ඉන්න එක ගැන මට දැනුනේ මහා සතුටක්. මම විරංග එවල තිබ්බ මැසේජ් එක බැලුව.

"I came"


"wait.. we are coming"

එහෙම කියලා උත්තරේ යවපු මම පොල්කටු හැන්ද හෙමිහිට බුරුල් කරලා එතන තිබ්බ යන්තම් වැඩියෙන් ශක්තියක් තියෙන ගහක අත්තක හොද හය්යෙන් අහුවෙන්න දොර රෙද්ද ගැටගැහුවේ ශක්තියත් පොඩ්ඩක් විතර පරික්ෂා කරන ගමන්. කෙල්ලගේ මොලේ තරම පේනවා පොල්කටු හැන්ද දැක්ක ගමන්.. මටම හිනා ඒ අස්සේ!

ආයෙමත් නිශ්චලව ගෙවුණු විනාඩි තිහකට වඩා අධික කාලයක් වෙන්න ඕනේ. මදුරු ප්‍රහාරය නිසාත් ඉවරයක් නැති කැසිල්ල නිසාත් මම නම් හිටියේ පුදුමාකාර අමාරුවෙන්. හෙලවෙන්නද? බෑනේ!

දැන් නම් අඳුරත් ඇවිත්. එකපාරටම මොකක් හරි ගලක් වගේ එකක් වැටුනා. කරුමේ කියන්නේ ඒ ගල්ගෙඩිය කෙලින්ම වැටුනේ මගේ ඔලුවට. වැදුණු පාරට කෑගහන එක මම වලක්වගත්තේ මගේම අත හපාගෙන. මේ කෙල්ලොන්ගේ මොලේ තමයි මොලේ! බේරගන්න මෙතන අමාරුවෙන් ඉන්න මගේ ඔලුවට ගලක් අතාරින්නෙ මොන යකින්නද?

මම හෙමිහිට ඉස්සිලා බැලුවා. මොකවත් පේන්නේ නැහැ කළුවරයි.

"ඔයාද?"

ඔන්න බලපල්ලකො මොලේ තරම. රහසින් ඇහුනට ඒ මධුලිකා කියල මට ෂුවර්.

"ඔව්..."

මම ඉක්මනින් දොර රෙද්ද තාප්පෙන් එහාට දාන ගමන්ම එකපාරට උඩ පැන්නා. මොකක්දෝ පොට්ටනියක් වගේ එකක් මෙහා පැත්තට විසිවෙනවා වගේ යන්තමට දැක්කා.

"... ඉක්මනින්... නගින්න ඕක දිගේ..."

මම ඉස්සිලා තාප්පෙන් අත ඇතුලට දාන ගමන් කිව්වා. කොහොමද කියන්න මම දන්නේ නැහැ, තත්පර දෙකක් නැහැ කෙල්ල තාප්පේ උඩ!

"... පනින්න.."

"අනේ...!"

"බය වෙන්න එපා පනින්න"

එහෙම කිව්වට කටු ගාලක් එතන. ඒ මදිවට මට චායාව විතරයි පේන්නේ. මේ ඉන්නේ වෙන කෙල්ලෙක්ද කියලත් එකපාරටම හිතුනා. වෙන්න බැහැ. අතේ රස්නය මට හොදට මතකයිනේ.

"අනේ.."

"හිතන්න එපා.. පනින්න. වෙන කරන්න දෙයක් නැහැ"

එකපාරටම කෙල්ල පැන්නනේ මගේ ඇඟට! එතන තිබ්බ කටු පඳුරු ඔක්කොම චප්ප කරගෙන මාව වැටුනා කියන්නේ තරු පේන්න! ඇනුනේ නැති තැනක් නැහැ... මට කෙඳිරි ගෑවුනා කියන්නේ මමත් මනුස්සයෙක්නේ!

"අනේ සොරි.... පනින්න තැනක් තිබ්බේ නැහැ"

හිතන් දෙයක් තිබ්බේ නැහැ. මම කෙඳිරිය අමතක කරලා එකපාරටම නැගිට්ටා.

"දුවමු...!"

මම ඈ ගේ අත අල්ලාගත්තේ තද කරලා තමයි. හොඳටම කලබල වෙලා මම.

"චුට්ටක් ඉන්න. මගේ බෑග් එක!"

ඒ පාර මේ මකර කටෙන් යන්නේ නැතුව බෑග් එකක් හොයනවා. මොන මංගල්ලෙට ගියත් මේ කෙල්ලොන්ගේ විකාර මේකප් බඩු , සුකුරුත්තන් දාපුවා ලොකුයි ජීවිතේට වඩා. මම ඉක්මනින් දුරබනුවේ තිබ්බ ලයිට් එක පත්තු කළා. පොට්ටනිය හම්බුනා යන්තමට ගහක රැඳිලා තිබිලා. ඒක ගත්ත ගමන් මම කලේ මදුලිකාව ඇදගෙන කඩාගෙන බිඳගෙන දුවපු එක.

අඩි දහයක් දුවන්න ඇති!

අහන්නත් දෙයක්ද.. කලබලේ හින්ද ඔක්කොම තියෙද්දී මධුලිකා එක්ක මමත් පෙරලිලා ගිහින් අර කපලා තිබ්බ අගලේ වැටුනා. කට්ට කළුවරේ ඇනෙන්න ඕනේ සියලු කටු ඇනගෙන වැටෙනකොටවත් ඈගේ අත නෙවෙයි මට අතහැරුනේ!

කට්ට කළුවරේ මගේ ලගම වැටුණු මධුලිකා කෙඳිරි ගානවා මට ඇහුණාම මම ඉක්මනට කලේ ආයෙමත් ඇදලා ගන්න හදපු එක.

"නැගිටින්න.... දුවමු දුවමු"

කිසි සද්දයක් නැහැ. මම කළුවරේ අතපත ගාල බැලුවා? මැරිලද?? කළුවරේ මොනවා අහු උනාද මන්ද.. අන්තිමට මුණ හරියේ නහය හොයාගත්තා. ඊට පස්සේ නහයෙන් හුස්ම වැටෙනවද බැලුව... ඔව් හුස්ම නම් වැටෙනවා වේගෙන්...

මලා! කලන්තේ හැදිලද? කලන්තේ හැදිලා!

ඉවරයි....



********** මතු සම්බන්ධයි ***********

1 comment:

  1. ඉවරයි....




    ********** මතු සම්බන්ධයි ***********

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...