සිහින් ඉකියක හඬින් මම නින්දෙන් පිබිදුනෙමි. ඇස් අරිද්දීම වම් අතෙහි වේදනාව ඉතා තදින් දැනෙන්නට විය. අඩ අඳුරට ඇස් හුරුවෙමින් මම ඉකිය නැගෙන්නේ කොහින්දැයි සොයන්නට වීමි. අඳුරේ මගේ සයනය අද්දර වූ පුටුවට වී, මට පිටුපා ඉකිබිඳිමින් උන්නේ මධුලිකාය. නළල මත යම් සීතලක් දැනී එය අල්ලා බැලු විට, එහි වතුරෙන් පොඟවනලද ලේන්සුවක් විය.
"මධු.....?"
මම කතාකරද්දී ක්ෂණයෙන් හැඩීම නවතාලු මධුලිකා නොසෙල්වී උන්නාය. ඉන්පසුව මා දෙසට හැරී මගේ දකුණු අත මත සිය අත තබා මා දෙස බැලුවාය. අඳුර බැවින් ඇගේ බැල්මේ කුමක් තිබුනාද කියා මට පෙනුනේ නැත.
"අඩුද? ඔයා හීනෙනුත් කෙඳිරිගෑවා..."
"............"
"ලයිට් එක දාන්නද?"
"එපා!"
හීනෙන් මෙන් මට සිදුවූ සියල්ල මතකයට ආවේය. විරංග මා ගෙනවිත් බැස්සු විට මට යම් තරමක උණක් තිබිණි. මා දුටුවනම භීතියට පත්වූ මධුලිකා යුහුසුළුව මට අවැසි උපකාර කලේ කකුලේ අපහසුව අමතක කරදමා මෙනි. ලේ වැකුණු ඇඳුම් මාරුකරන්නට විරංග උපකාර කල පසුව ඔහු පිටත්ව ගොස් මම කාමරයට ආවා මතකය. බෙහෙත්වල සැරට මට නින්ද යන්නට ඇත. අත සෑහෙන වේදනාවක් ඇතිකරයි.
මධුලිකා පුටුවෙන් නැගිට යන්නට මෙන් සැරසුනේය. මට ලොබ සිතුනි. වේදනාවට ආ කෙඳිරිය ඉබේම ඇරඹුනාට මම එය වැඩියෙන් කලාද?
".. යන්නේ... ඇයි ?"
මධුලිකා පිළිතුරක් දුන්නේ නැත.
".. වෙලාව කීයද ?"
මධුලිකා මගේ දුරකථනය ගෙන වෙලාව බැලුවාය.
"දෙකයි... පාන්දර දෙකයි"
මම ගොළුවී ගියද, සිත උණුහුම්ව නැගුණි.
"ඔයා නිදාගත්තේ නැද්ද?"
මධුලිකා පිළිතුරු දුන්නේ නැත. ඇය දැන් බොහෝ ගොළුය. ඒ කුමක් නිසාද? ඇගෙන් සොරාගත් පොඩි මොහොතක් නිසා මගේ 'කන පලන' බව කී මධුලිකාමද මේ?
මම සයනයේ පසෙක ඇති පුංචි විදුලි ලාම්පුව දැල්වුයෙමි. එය අඳුර යන්තමින් වළක්වනවා පමණකි. මධුලිකාගේ හුරුබුහුටි සිරුරේ සෙවනැල්ල බිත්තිය මතට පතිතව යෝධ හැඩයක් මවා ඇත. මගේ සිත තුලද ඇය යෝධයෙකු සේ ලැගුම්ගෙනය. මම පොඩ්ඩක් කෙඳිරිගෑවෙමි. මධුලිකා වහා මා දෙසට හැරුණාය.
"රිදෙනවද?"
"නෑ.. හරි සනීපයි"
මධුලිකා විමතියෙන් මෙන් බලා සිටියාය.
"... ඔයා අල්ලනකොට සනීපයි කියල කිව්වේ"
මධුලිකා වහා සිය අත ආපසු ගත්තාය. ඈ ඉන්නේ ලජ්ජාවෙන් බව වටහා නොගන්නට තරම් මම මෝඩයෙකු නොවුනත් ඈ තවත් අපහසුතාවයට පත්කරන්නට මට අවැසි වුයේ නැත.
"තරහද?"
වහා පිළිතුරු ලැබුණි.
"මොකටද?"
"විහිළු කලාට.."
"ම්ම්... නෑ "
"තරහද?"
"මොකටද?"
පිළිතුර කලින් වතාවට වඩා ප්‍රමාදය.
"ඔයාව දාලා අපේ ගෙදර ගියාට?"
"න් - නෑ "
"එහෙනම්?"
මධුලිකා බිම බලාගෙනම උන්නාය. අඩ අඳුරේ තමන්ට ආකර්ෂිත තරුණියක් සමඟ නිහඬව ගෙවීම කොහොමත් නොකලහැක්කකි. එවන් පාලනයක් මට කිසිදා තිබී නැත. මම ශාන්තුවරයකු නොවේ, නමුත් මධුලිකා පිළිබඳව මම මෙතරම්ම වෙනස් වන්නේ කුමක් නිසාදැයි මම නොදනිමි.
".... අහන්නද දෙයක්... ඇත්තම කියනවද?"
මධුලිකා නිහඬය. මගේ උගුර පැටලෙන්නට ආවේය.
"එපා! හෙට කතාකරමු.. ඔයා නිදාගන්න"
මගේ ප්‍රතිචාරය නොබලා මධුලිකා බිත්තියට වාරු වෙමින් දොර අසලට ගියාය. මම ඇඳෙන් බිමට පැන්නෙමි.
"යන්න එපා.... ඉන්න..!"
මධුලිකා දොරෙහි බෝලයට අත තැබුවාය. මම තුවාල අත දකුණතින් අල්වාගෙන බලා සිටියෙමි.
"... බයවෙන්න එපා.. ආයේ කිස් කරන්නේ නැහැ"
මම වරදකාරී හඬින් කීවෙමි. අඩ අඳුරේ ඇගේ සිනහව යන්තමට දකිද්දී, මධුලිකා දොර විවර කරගෙන ඉන් පිටවී ගියාය.
*****************************************
උදෑසනම වත්තට පිටත්වූ මම සුන්දර් හා එක්ව උදේ වරුව ගතකල බැවින් මධුලිකාට ඇමතුමක් ගන්නට පවා ඉස්පාසුවක් නොතිබිණි. නමුත් ඈ සිහි නොවුණු මොහොතක්, තත්පරයක් නොවීය. නින්දේ පසුවූ ඇගේ නළලත සටහන්කොට ආ හාදුව සිහිපත්වන සියලු විට මට සිනහවක් නැගුණි.
'මම රහත් වෙලාය?'
සුන්දර් කාර්යශුරය. තරුණ බැවින්දෝ ඔහුගේ වැඩපිළිවෙල සහ කතාව මා සිත්ගත් බව නොරහසකි. තාත්තා කතාකොට තිබුනත් සුන්දර් එය සමනය කරගන්නට සමත්ව තිබුණු බැවින් මගේ අතට වූ දෙය ගැන යම් පමණකට ඇත්ත ඔහුට පවසන්නට මට සිදුවිය. වෙඩි වැදීම , පිහි පාරක් වශයෙන් බෞස්තීම කරගන්නට මට හැකිවිය.
බංගලාව පිහිටියේ වත්තේ ඉහල කෙලවරට වන්නටය. මම එහි කිසිදා නැවතී සිට නැත්තෙමි. එය අපිළිවෙල නොවුනත් පැරණිය. තාත්තාට මෙය ලැබී තිබුනේ සෑහෙන අඩුව මුදලකට බව මට යන්තමට මතකයේ ඇත. මිලට ගත් සැනින් එහි වූ ලැයිම් පේලිය ප්‍රතිසංස්කරණය කර, අඩුපාඩු සැකසු නිසා එහි උන් මිනිසුන් තාත්තාට ගරු කරන බව පෙරදින හමුවූ ත්‍රිරෝද රථ රියදුරාගෙන් මට වැටහී තිබිණි.
දහවල් කෑම සඳහා සුන්දර් විසින් මට වල් ඌරුමස් සමඟ සුවඳ හමන දෙල් මාළුවක් සහිත කෑමක් පිලියෙලකර තිබිණි. මට මධුලිකා සිහියට නැගේ. මම ඇමතුමක් ගතිමි. එවිටයි මට වැටහුනේ මෙහි එතරම් සිග්නල් නොමැතිබව.
"මේ ටිකේ සික්නල් නෑ සර්... සික්නල් වලට යන්න ඕනේ වත්තේ පහළට "
සුන්දර් මම නටන නාඩගම දැක කීවේ මා කෙරෙහි උපන් අනුකම්පාවෙන් මෙනි. මම ඔහු දෙස බලා සිනාසුනෙමි.
".... සර්ගේ.... අම්මට නම් මම කිව්වා ආවය කියල"
ගොනා හැරෙන්නේ පොල් පැලේට බව මට වැටහුණි. ඉක්මන් වීම එතරම් නුවනට හුරු නැත. දැනටමත් විරංග ගැන පවා මගේ සිත සසල වී ඇති බැවින් කිසිවකු විස්වාස නොකරන ලෙස තාරුක අයියා පවා උපදෙස් ලබාදී තිබිණි.
"ආ.. එහෙනම් කමක් නැහැ..."
පෝටිකෝවේ පසෙක පැරණි මාදිලියේ වේවැල් නිමාවක් ඇති පුටු කිහිපයකින් වටකොට ටිපෝවක් තබා තිබිණ. අතරින් පතර පෝච්චි තබා සිමෙන්ති පඩිය පුරවා තිබුණු අතර වහලයේ කාලයක් තිස්සේ වාසය කරනවා යයි සිතිය හැකි මල්වැලකින් මල් එල්ලා වැටෙමින් තිබිණ. ඉතිරි හිස් අවකාශයටම තිබුනේ හාන්සි පුටුවක් පමණි.
මම බංගලාව තුලට විත් ඉදිරි පෝටිකෝවේ තිබුණු හාන්සි පුටුවේ හිඳගතිමි.
මංගල ජායාරුපය ඡායාරූපාගාරයෙන් ලබාගන්නට මට අමතක විය. එය මගේ අතින් වුනු ලොකු වරදකි. තාරුක අයියා ඒ ගැන බලන්නට උත්සහ කරන බව කීවද මගේ හිතට හරි නැත.
විරංග ළඟ තිබුණු සුරුට්ටුව මා කලබලයට පත්කළ බව සැබෑය. ඒ සියල්ලටත් වඩා විරංග කිසිදා සුරුට්ටු බොනවා මම දැක නැත්තෙමි. ඔහු මගේ අවුරුදු අටක සිට හොඳම යහළුවාය. ඔහු එවැන්නක් කරනවා නම් මා නොදැන සිටින්නට හේතුවක් නොමැත. විරංග ට්‍රිප් යනවා කියා ගොස් , මා ලුහුබැන්දාද ? එසේ ලුහුබඳින්නට ඔහුට ඇති අවශ්‍යතාවය කුමක්ද? ඔහුට නොකියූ දෙයක් නැත.
එසේ නැත!
මම ඔහුට මධුලිකා ගැන සියල්ල පැවසුවේ නැත. එසේනම් ඔහු දැන් ඒ ගැන දන්නවාද? තාරුක අයියාගේ කාර්යාලය දන්නා වෙනත් අයෙක් වේනම්, ඒ විරංග විය හැකිය. එයත් සැක සහිතය. විරංග එය හරිහැටි දන්නවාද කියා මම නොදනිමි. ඔහු සමඟ මම තාරුක හමුවෙන්නට ගොස් නැත්තෙමි. එසේ නම් මධුලිකාගේ ලියකියවිලි වල ජායා පිටපත් එසේ දමන්නට අවැසි කා හටද? එසේ දමන්නට හේතුව?
සියල්ලම ප්‍රෙහෙලිකාවකි!
මට එල්ලකරනලද ප්‍රහාරයට සැක කල හැක්කේ මධුලිකාගේ මස්සිනා ; හෙවත් වාසුලයි. විරංග ඊට සම්බන්ධ යයි මට සිතන්නට නොහැක. මධුලිකා සම්බන්ධයෙන් ඔහුගේ සිත සෙලවුනද ඔහු එවැන්නක් කරනු ඇතැයි මට සිතන්නට නොහැක. මෙතැන අපි නොදන්නා තෙවැන්නෙක් සිටීද?
"සර්...."
මම දෑස් හැර බැලුවෙමි. සුන්දර් ජංගම දුරකතනයක් අතැතිව මා එකත්පස්ව සිටී.
".. සර් ලොකු සර්ගෙන් කෝල් එකක්"
මම ඔහුගෙන් දුරකථනය ගත්තෙමි.
"ඩඩා?"
"ආ.... උදේ ඔක්කොම පොත් බැලෙව්වද?"
"ඔව් ඩඩා, අලුත් අකවුන්ටන්ට් ඒවා බලන්න ගත්තා. මම ආයෙත් තව ටිකකින් ගිහින් බලන්නම්."
"කොහොමද ආවේ? ඔක්කොම වාහන ටික ගෙදර කියලා අම්ම කිවේ?"
මගේ බොකු බඩවැල් සියල්ල සීතලව ගියේය. තාත්තාට ඉව ඇත!
"අ... ඇයි ඩඩා මම අර ක'රීනා එකේ එන්න ආවේ. ඒකෙ ලෙඩක් ආව, මම ඒක ගරාජ් දාලා ටැක්සියක ආව"
මල්ලි විසින් පැදවූ වාහනය ගරාජයේ තිබුණු බැවින් මම එය උකසට ගත්තෙමි. තාත්තා ඉන්පසු යම් විස්තර ටිකක් අසා ඇමතුම නිමා කළේය. මම සැබෑ ලෙසම බියට පත්වීමි. මම යන තැන් ගැන තාත්තා විමසිල්ලෙන් සිටිනා බව මට මීට පෙර දැනී නැත. මම හුස්ම අල්ලාගෙන සිටි ආකාරය සුන්දර්ගේ ඇසට හසුවූ බව මට වැටහුනත් මම එය නොසලකා හැරියෙමි.
"සර් ගන්න මේ ජාතියේ කනෙක්ෂන් එකක්... මේවට මෙහෙ සික්නල් තියෙනවා"
මම "හ්ම්" කිව්වා මිස කිසිවක් නොකිව්වෙමි. අතේ ඇදුම්කෑම යම් පමණකට අඩුවක් ඇත. වාසනාවට අස්ථියකට හානියක් වී තිබුනේ නැත. තුවාන් පැවසුවේ එය 9mm වර්ගයේ පිස්තොලයක් විය හැකි බවයි.
"සර් අද මෙහෙ නවතිනවද?"
"නෑ සුන්දර්.. ඉන්න විදියක් නැහැ. මට අද යන්න ඕනේ.... කොහොමද යන්න වෙන්නේ?"
"ආ... ලොකු සර් වාහනයක් එවන්නම් කිව්වා හවස. සර් කැමතිනම් එතකල් අපිට පොඩ්ඩක් වත්තේ ඇවිදින්න යන්න පුළුවන්."
මම සුන්දර් දෙස බැලුවේ විමතියෙනි. මටත් නොකී දේවල් තාත්තා ඔහුට කිව්වාද ? ඔහු යම් පමණකට මේ දේවල්වලදී බලයක් සහිත කෙනෙකු බව මට වැටහුණි. මම ඔහුට අනුව යමින්, බංගලාවේ ඉදිරියේ ඇති කුඩා පාර දිගේ වත්ත දෙසට ගමන් ගත්තෙමි. ඒ වනවිට උරමාව ගලවා සිටි මම දෑත් සාක්කුවේ රුවාගෙන සිටියේ සුළඟින් දැනෙන සිතල දරාගන්නට මෙනි. වේදනානාශක පෙති මගින් මගේ වේදනාව සෑහෙන තරමක පාලනයක් කොට තිබිණි.
බංගලාව කෙලවර තිබුනේ ඊට යාබද කන්තෝරු ගොඩනැගිල්ලයි. එය තවමත් පිළිසකර කර නොමැත. අප ගමන් ගත් ඉදිරිපසට වන්නට එහි විසල් ජනේලය පිහිටා තිබුණු අතර එහි පියන නොතිබුණු බැවින් ඇතුලත හොඳින් පෙනුනි. අහම්බෙන් මෙන් එතැන සිට වම්පසට වන්නට මේසයක සිටිය අයෙකු මගේ නෙත ගැටුණි.
"මම එදත් අර මනුස්සයට කිව්වනේ ඔතන කළුවරේ වැඩකරන්නේ නැතුව ජනේලේ ගාවට එන්න කියල"
අලුත් ගණකාධිකාරවරයා කවුළුවේ කොනකින් අප දෙස බලාසිටිනවා දුටු මට එලෙස කියැවිණි. ඔහුගේ ඇස්වල තිබුණු මලානික ගුප්තබව එලෙසම විය. නමුත් කුමක් හෝ විශ්වාසී බවක් මගේ සිත තුල ඔහු පළමු දිනම ඇතිකලෙන් සුන්දර්ගේ තීරණය වෙනස් කරන්නට මට අවැසි නොවීය.
ඔහු ඔහුගේ ඒ මලානික ඇස්වලින් තියුණු බැල්මක් මා දෙස හෙලාගෙන සිටියේය. ඔහුගෙන් ඇස් ඉවතට ගෙන වත්තේ පහලට දිවෙන පඩිපෙළ ඔස්සේ සුන්දර් අනුගමනය කලද , ඒ බැල්ම මැවි මැවී පෙනෙන්නට වුයේ ඇයිදැයි මට වැටහුනේ නැත.
කාලයක් තිස්සේ නොසැලකිල්ලෙන් පාලනය කල සලකුණු වත්තේ සියලු තන්හි පෙනෙන්නට තිබිණි. තාත්තා සහ අම්මා යන දෙදෙනාම මට යම් ව්‍යාපාරික ඤාණයක් ඇතිබව පවසන්නේ මට මේවා ඉවෙන් මෙන් වැටහෙන නිසා වන්නට ඇත.
"සුන්දර් කලින් කොහෙද වැඩකලේ?"
"මෙහෙම තමයි සර්"
"ඒ කිව්වේ.... මේ වත්තේම?"
සුන්දර් යන්තමට ගොත ගැසුවේය. ඉන්පසුව ඔහුගේම වචන වෙනත් ආකාරයකට පෙළගස්වා නැවත ප්‍රතිරාව කළේය.
"මෙහෙ පැත්තේම තමයි සර්.. ඒ වත්ත ගත්තනේ අර ලොකු කොම්පැනිය.. එයාලා එක්ක වැඩකරන්න කැමති නැහැ මම. උන් හරියට වැඩකරන මිනිස්සුන්ව හුරගෙන කනවා. මට එහෙම උන්ට වැඩ කරන්න බැහැ සර්...."
සුන්දර් සිනහවෙමින් කියා මගේ මුහුණ බැලුවේය. උදෑසන කෝවිලට ගොස් ගා ගත අළු වලින් ඇඳි තුන්නුර් සලකුණ කට්ට කළු ඔහුගේ දීප්තිමත් සිනහවට පැළඳු මල්මාලයක් වැනිය.
අනතුරුව ඔහු සිංහල මවකට දාව ගාල්ල ප්‍රදේශයේ උපන් දමිළ තරුණයෙකු බවත්, ගාල්ලේ ප්‍රසිද්ද බාලක විද්‍යාලයක උගත් සෙල්ලක්කාරයෙකු බවත් මට පසක් වන්නට වැඩි වෙලාවක් ගත නොවුනි.
ඒ වනවිට අප තේ වත්තේ සිට පහලට දිවෙන පඩිපෙළේ ලොකු නැවතුම් පඩියකට පැමිණ සිටියෙමු. හාත්පස පෙනෙන වතුයායවල් අතුරෙන්, අප වත්ත සෑහෙන පසුබා සිටිනු පැහැදිලි කරුණකි.
මට මධුලිකා සිටියානම් කියා සිතුනේ සියවෙනි වතාවට විය හැකිය.
නින්දේ පසුවූ ඇගේ නළලතින් සොරාගත් හාදුව ගැන ඈ කිසිවක් නොදනිත්, ඈ දැනුවත්වම වරක් මම ඈ සිපගෙන ඇත්තෙමි. මගේ සිත තුල ඈ කෙරෙහි ඇති ලෝබකම කොතෙක්ද කිවහොත්, ජිවිතේ ඈ විසින් තොල් සිපගත් ප්‍රථම පිරිමියා වන තරමටම ඊර්ෂ්‍යාව ඔඩුදුවා ඇති බැවිනි එලෙස වුයේ. නීතියෙන් ඈ මා සතු වුවත්, කොයි යම් මොහොතක හෝ ඈ මගෙන් නික්මෙන විටකදී සුරැකිව ; මටම කියා යමක් ඇගේ මතකයේ ඉතිරි කිරීමේ බලවත් උවමනාව එයදැයි මට කිව නොහැකි උනත් එය අතිශය අසාධාරණ වන්නට ඉඩ තිබිණි.
මධුලිකා යනු තමන් සිපගත් පමණින් සිතක් පුදන්නට තරම් බොළඳ කෙල්ලක නොවන වග මම හොඳාකාරව දනිමි. විරංග කොතරම් කීවද, ඔහුගේ වචන වලත් යම් නොකී රහසක් සඟවා ඇති බවක් මගේ සිත කියයි.
තාරුක අයියාගෙන් තොරතුරක් ලබාගත නොහැකිව මම සිටියේ නොසන්සුන්බවින් වුවද සුන්දර්ගේ දුරකතනයෙන් ඇමතුමක් ගැනීමට මම කැමති වුයේ නැත. සවස තාත්තා එවා තිබුණු වෑන් රථයේ නැගී නැවත කොළඹ එන අතරතුර මට තදින් නින්දගොස් තිබුනේ ඖෂධ වල බලපෑම නිසා වන්නට ඇත.
අතෙහි තුවාලය නොපෙනෙන්නට වහා කාමරයට රිංගාගත් මම මධුලිකා ඇමතුවද ඈ දුරකතනයට පිළිතුරක් දුන්නේ නැත.
කළහැකි යමක් නොවුනෙන් මම විරංග ඇමතුවෙමි. ඔහුද දුරකතනයට පිළිතුරු නොදුන්න බැවින් මම බෙහෙවින් කලබලයට පත්වී, අම්මාට බොරුවක් ගොතා ජීප් රථය රැගෙන වහා මහල් නිවාසය වෙත පදවන්නට වීමි.
********************************
"ඒ ඌ තමයි"
මධුලිකා ස්ථිර වශයෙන් කියා සිටියාය. මම තදබල කම්පනයකට පත්වුනෙමි.
"ඒ කියන්නේ උන් මගේ පස්සෙන් ආවා වෙන්න බැහැ"
මධුලිකාටත් මටත් එකවරම එකිනෙකා දෙස බැලුණි. එසේනම් ඔවුන් පැමිණ ඇත්තේ විරංගගේ පසුපසින් බව නිගමනය කිරීම වරදක් නොවේ.
"විරංග කතා කලේ නැද්ද?"
මධුලිකා සැකයෙන් මෙන් ඇසුවාය. මම නැති අතරතුර සිදුවූ සිද්ධි දාමය එකිනෙක අමුණා සකස් කරන්නට අවැසිම පුද්ගලයා විරංග වී තිබියදී ඔහුගේ හෝඩුවාවක් නැතිව ගොස් ඇත. ඔහු නිවසේද නැත; දුරකතනයට ප්‍රතිචාරද නැත. මෙලෙස වුනු දෙවැනි වතාව මෙයයි.
"නැහැ... ආන්සර් කරන්නේ නැහැ නෙවෙයි, සර්විස් ඒරියා එකේ නැහැ කියලා කියන්නේ"
"හ්ම්ම්.."
"ඔයාට බයද?"
මම මධුලිකා දෙස බලමින් ඇසුවේ කීවෙනි වරටදැයි මතකයක් නොවිණි.
"නෑ... ආච්චි නම් හොඳටම බයවෙලා... මම බයිනකියුලර් එකෙන් බලාගෙනමයි හිටියේ.. උන් ඔක්කොම බලාගෙන ඉන්නේ අර අතන තියෙන ටැංකිය ගාව ඉඳන්."
මධුලිකාගේ මස්සිනා හෙවත් වාසුල මේ අවට ගැවසෙනු මධුලිකා දැක ඇත. වාසනාවට මෙහි නිවෙස් කිහිපයක්ම දේශපාලකයින් සතු නිසා මහල් නිවාසයේ ආරක්ෂාව ඉතා තරය. නමුත් ඔවුන් පෙනී සිටින්නට ප්‍රථමව විරංග මෙහි පැමිණ ඇත. ඔහු පැමිණි හේතුව මධුලිකා නොදන්නා බව පවසයි. ඔහුගේ නික්මිමෙන් මද වෙලාවකින් මෙම සිද්ධිය වීම නිසා විරංගගේ යම් සම්බන්දයක් මෙහි තිබෙන්නට වැඩි ඉඩකඩක් ඇත. සිදුවීම් සියල්ල අමුණාගෙන යනවිටදී හැමවිටම විරංග එහි සන්ධිස්ථානයක සිටින්නේ මන්ද?
මේ ආකාරයට යනවිටදී මධුලිකා මෙහි සිටීම එතරම් සුබදායක නොවන හැඩයකි. නමුත් ඇතුලේ සිටිනතාක් යම් තරමකට ආරක්ෂාවක් ඇතැයි සැනසිය හැක.
ජංගම දුරකථනය නාදවනු ඇසුණු මම නැගිට ගොස් තේ මේසය මත තිබුණු එයට පිළිතුරු සපයමින් ජනෙල් තිරයට මුවාවී නැවතත් අවට පිරික්සන්නට වීමි.
"කියන්න සුන්දර්"
"සර්.... අර කිව්ව බේත හොයාගත්තා... අද සර් එනවද?"
මගේ සිත සතුටින් ඔදවැඩි ගියේය.
"..මම කාගේ අතේ හරි එවන්නද?"
මම මදක් කල්පනා කලෙමි. වෙලාවේ හැටියට වත්තට යාම එතරම් නුවනට හුරු නැත. මම වෙලාව බැලුවෙමි. සවස හය පසුවී මිනිත්තු විස්සක් ගතවී ඇත.
"හරි... කවුරු අතේද?"
"අද රෑ මම එනවා සර් අපේ අක්කලාගේ ගෙදර. ඒ එනකොට ගෙනත් දෙන්නම්. මම බයික් එකේ එන්නේ"
"හරි.. මට මෙහෙට ඇවිත් කෝල් කරන්න."
ඇමතුම විසන්ධි කරත්ම තාරුක අයියාගෙන් ඇමතුමක් පැමිණියේය.
"මචං... කියපන් !"
මධුලිකා මා අසල සිටගෙන මට බිම වීදුරුවක් දිගුකරගෙන සිටී. මැඩගත් මදහසින් යුතුව එය අතට ගත් මම ආයාසයෙන් ඇගෙන් බැල්ම මුදවාගෙන බිම රදවාගත්තෙමි.
"..... අරක ගත්තද?"
"ඔව්... ගත්තා. මචන්... උඹේ කාටද කොරෝනා එකක් තියෙන්නේ?"
"කොරෝනා එකක්?"
"ඔව්.... සුදුපාට අලුත් එකක්... "
මම සිහියට නගාගන්නට හැදුවත් එකවරම මට මතකයට පැමිණියේ නැත.
"එහෙම එකක් මතක් වෙන්නේ නැහැ එකපාරටම. මොකක්ද සීන් එක?"
"එහෙම එකක් නෙවෙයි... මට කියන්නකෝ එදා වෙඩිතිබ්බ උන් ආවේ ත්‍රීවිල් එකක කිව්වා නේද? මොනපාටද?"
"හ්ම්ම්ම් කොලපාට... "
"නම්බර් එක?"
"මතක නැහැ... ඉස්සරහ ලයිට් වගයක් හයිකරලා තිබ්බා. සමහර වෙලාවට මගෙත් එක්ක ආපු ත්‍රීවිල් කොල්ලට මතක ඇති. "
"උඹ කොහෙද ඉන්නේ?"
තාරුක අයියාගේ හඬ එක්වරම වෙනස් ස්වභාවයක් ගත්තේය.
"ෆ්ලැට් එකේ... ඇයි ?"
"ගෙදර යන්න එපා.... මම දැන් මේ ඉන්නේ උඹේ ගෙවල් ගාව. උඹගේ ගේ ගාව කැරකෙන කොලපාට ත්‍රීවිල් එකක් තියෙනවා. "
".................."
"උන් උඹගේ ගෙදර හොයාගෙන මම හිතන්නේ.."
මට බියක් දැනුනේ නැත. නමුත් එකවරම අම්මා සහ තාත්තා සිහි විය. ඔවුන් කිසිවෙක් මේ පටලැවිලි නොදනිති. ඔවුන්ට අනතුරක් කරයිද?
"... ඔන්න මම පින්තුර ටිකක් එවනවා"
ඇමතුම විසන්ධි කල තාරුක අයියා ඊළඟ මොහොතේ මට ඔහුගේ දුරකතනයෙන් ගත පින්තුර තුනක් එවා තිබිණි.
ඒවා විවෘත කල මට දැනුනේ යම් තරමකට බියකි. ඉදිරිපස නොපෙනුනත් අපගේ නිවස අසල පෙනෙන මානයට වන්නට නතර කර ඇත්තේ එම ත්‍රිරෝද රථය වන්නට බොහෝ ඉඩකඩ වැඩිය. ඉන් කැපීපෙනෙන අමුත්ත වුයේ, ත්‍රිරෝද රථය ඉතා අලුත් පෙනුමක් තිබුනද අංක තහඩුව පැරණි බවයි. ව්‍යාජ එකක් වන්නට ඉඩ වැඩිය.
හතරවැනි පින්තුරය ලැබුනේ ඒ සිතුවිල්ල අතරතුරය. එහි වුයේ මගෙත් මධුලිකාගේත් මංගල ජායාරුපයයි. මගේ සිත එකවරම පොපියා ආවා සේ දැනුනි. මෙතරම් තර්ජනයක් මැද වුවද කිසිදු බියක් නැතිවන තරමට මම නිර්වින්දනය වීද?
"ඇයි ? මොකක් හරි ප්‍රශ්නයක්ද?"
මධුලිකා මා අසලට එමින් කීවාය. ඇගේ කකුල දැන් තරමක සුවයක් ඇත. තුවාන් පැවසුවේ තව සතියකින් පමණ බලා ආවරණය ඉවත්කළ හැකි බවකි. කකුලේ වෙළුම්පටි සමඟ ඈ කාටුන් බෝනික්කියක් ලෙසයි මට පෙනුනේ.
ඈ අසලට එත්ම මම දුරකතනයෙන් පින්තුරය ඉවත්කොට දැමුයෙමි. මම එසේ කලේ ඇයිදැයි නිශ්චිතවම කිව නොහැකි උනත් මධුලිකා ගැන සිතුවිලි තවදුරටත් ආවරණය කොට තබාගැනුම නුවණක්කාර වනු ඇතැයි ආ සිතුවිල්ල විසින් මා මෙහෙයවෙව්වා විය හැකිය.
මේ මම දන්නා මගේ චරිතස්වාභාවය නොවේ!
"මට මෙහෙ ඉන්න වෙයි වගේ... "
"............"
"කවුරුහරි මාව ෆලෝ කරනවා. වාසුලයා වෙන්න ඇති"
"අනේ... ඔයාට කරදරයක් කරයි.කොහෙවත් යන්න එපා!"
මට ඇගේ දෑස දෙස බැලුනේ ඉබේටමය. එහි වුයේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඇතිවූ භිතියමද?
වචනයට නගාගන්නට නොහැකි හැඟීමක් සහ පෙනුමක් ඈ තුල විය. ක්ෂණයෙන් ඇගේ අනුදැනුමෙන්ම මා ලබාදුන් හාදුවේ රස සහ පහස කොහේ දෝ හිට මගේ මහාමේරු සිත දෙදරවා හමා ගියේ හදවත් උණුසුමින් පුරවාලමිනි.
අප දෙදෙනාම ගොළු වූයෙමු. මගේ හදවත මොහොතකට නතරව සිට ඊළඟ මිලිතත්පරයේදී හෙන හඬ නගමින් ගැහෙන්නට පටන්ගෙන තිබිණි.
සිය යටිතොල වැරෙන් හපාගමිනින් පළමුවෙන් ඇසිපිය හෙළුවේ , සිහිය එළඹියේ පළමුව මධුලිකාට නිසා වනන්නට ඇත. මට ඉවත බැලිය නොහැකිය.
'මරු කපල් එක.... ගෑනිගේ කකුල කැඩිලා. මිනිහගේ අත කැඩිලා... අනේ මන්ද මේ කොහෙන් සෙට් වෙච්ච උන් දෙන්නෙක්ද කියල. ඒ මදිවට.....'
ඉතිරිය නොසරුප්ය. තාරුක අයියාගේ නොනවතින විහිළුව මට සිහිවී යන්තම් සිත තුල සිනහවක් ( ආඩම්බරයක්?) නැගී ආවේය. ඈ මා ගැන වදවෙයි; සිතයි. එලෙස කරන්නේ දැනට ඈ ආරක්ෂා කරන්නට සිටින්නේ මම පමණක් නිසාද?
යුතුකමක් මිස ඉන් එහා ගිය සිතුවිල්ලක් නොවේද?
සිත මඩින්නට සෑහෙන අපහසු බවක් දැනේ. මම තදින් දෑස් පියාගත්තෙමි. කෙමෙන් වියැකී යන විලවුන් සුවඳින් වැටහුනේ මධුලිකා එතැනින් ඉවත්ව ගිය බවකි. එය යම් සහනයක් සේ දැනුන මුත් පපුවේ ඇනුණු කටුවක් සේ සිත පෙළයි. මම මෙතරම් සංවේදී වුයේ කවරදා සිටද?
යුවතියකගෙන් උකහාගත් යමක් වේද, එය ලැබීමෙන් මතුව ඒ කෙරෙහි මෙවන් ආසක්තබවක් මින් පෙර මා තුලින් මතුව සිට නැත. හැඟීම් දැනීම් අතින් යම් පමණකට සීමා උරගා බලා ඇති මට මෙවන් කුඩා සෙලවිල්ලක් භූමිකම්පාවක් ලෙස දැනෙන්නේ කුමන අරුමයක් නිසාද? යුවතියන් නොදැක ; නොවිඳ සිටි අයෙකු පරිද්දෙන් මෙලෙස තාවර වන්නට තරම් මම දුර්වල වුයේ මන්ද?
********** මතු සම්බන්ධයි ***********
Mathak unada kathawa liyanna aye? Hmm, tikak innko, kalin kotasath aye kyawala thama enna ona me kotasata
ReplyDeleteබොහොම ස්තුතියි ඉක්මන් ප්‍රතිචාරයට. ඇතිවෙලා තිබ්බ තත්වය සලකලා පෝස්ට් එක නොදා හිටියා. ඒකයි පරක්කු උනේ.
DeleteOhh! Virangawa ayn krannamai neda try krnne,
ReplyDeleteවිරංග ඔතරම් අමුතු වෙලා තියෙන්නේ මොකද කියන එකත් ලොකු ප්‍රශ්නයක්, නැද්ද? බලමු කාවද විස්වාස කරන්න පුළුවන් කියල.
Deleteඅපි බෲස්ලිගේ එන්ටර් ද ඩ්‍රැගන් බලා එලියට පැමිණියේ බෲස් ලී සේ ඇවිද ගෙනය. අපේ හොඳ වෙලාව්ට මොකෙකුවත් අපි සමග ගේමට පමිණියේ නැත. මන්ද අපේ සිරුර තුල වූයේ සටන් කාමී බෲස් ලී බැවිණි.
ReplyDeleteවරෙක නවලිය පුවත් පතට ලිපියක් ලියමින් එක් චිත්‍ර පට විචාරකයෙකු පැවසූවේ "ළඟදීම ස්වර්ණා මල්ලව ආරච්චි අපට අමතක වේ" යන අදහසය. ඔහු එය වඩාත් විස්තර කලේ ප්‍රථිභා පූර්ණ නළුවකු හෝ නිළියක විසින් තිරය මත රේඛනය කරණු ලබන චරිතය විසින්; ප්‍රේක්ෂකයා හට එම නළුවාව හෝ නිළියව අමතක කරණු ලබන බවයි!
මේ සියළු කතා මැද මා හට මා අමතකව ගොසිණි. මන්ද මා තීක්ෂණ තුලට ආරෝපණය වී ඇති නිසාය.
හිරුට හොරෙන් නළලත මත සිත්තම් කල හාදුවේ සිතුවම !
චරිතයක් විසින් එබඳු බලපෑමක් කරන බව නම් ඇත්තක්. මොකද මේ වෙනකොට මට මෙතෙක් නිහඬව සිටින මධුලිකා මහත් පීඩනයක් එල්ලකර හමාරයි.
Deleteබලන ෆිල්ම් නම් සෑහෙන තරමකට මටත්මානසිකව බලපානවා. Frozen බලලා ඇතිවෙච්ච කම්පනයට මම සතියක් තිස්සේ විදෝලා අන්තිමට මෙන්න මේ සටහන ලියල තමයි හිත නිදහස් කරගත්තේ. හි හි... Zootophia බලලා වෙච්ච දේ ඊටත් එහා!
මේ කතාවේ සියුම් තැන් කියෝන පාඨකයින් සිටින එක මට ධෛර්යයක්. ඔබත් එයින් කෙනෙක්. කතාවේ ගුණය පවත්වාගෙන යන්නට මමත් ඒ නිසා යම් තරමකට උත්සහයක් ගන්නවා. ස්තුතියි මේ දිරිගැන්වීමට!
:-)
Deleteචිත්‍රපට කෙසේවෙතත් කියවපු පොත් වල නම් එහෙම්; මැවුණු චිත්ත රූප සිතට වද දුන් අවස්ථා ඇත. එයින් වඩාත්ම සංඝට්ඨනයන ලක්වූ චරිතය ජැක් ෂේප ගේ "ෂේන්" පොතේ එන ෂෙන් චරිතයයි. "ඔහු ආවේය! තම යුතුකම ඉටු කලේය!! නැවත ගියේය!!!"
ReplyDeleteඇයි ඔහු ගියේ. ඔහුට එහිම නවතින්න තුබුනා නොවැ!? මගේ සිත මගෙන් නිඹඳවම ඇසූ පැනය විය.
ෂෙන් පැමිණ්නේ අහම්බයක් ලෙසිණි. ඔහු වෙතින් මරා දැමෙන්නේ නගරයේ දුෂ්ඨතම අධමයාවය. ඔහු මුදා ගන්නේ කුඩා දරුවෙකු සහිත කුඩා ආදරණීය පවුලක් පමණක් නොව මුළු මහත් පලාතකි. ඒ නරකෙනි.
අවසන කුඩා දරුවා ෂේන්ව නවතා ගැනීමට කෑගසයි.
"ෂේන්! . . යන්න එපා . . ! නවතින්න ෂේන් . . .යන්න එපා! . ආයෙත් එන්න ෂේන් . . .!!!"
එහෙත් ෂේන් ආපසු නොබලාම මිටියාවතෙන් පිටව යයි.
එය ඉතා දුක්බර වෙන් වීමක්; දැන් මතක් වන විට පවා.. !
මේ ගැන කලකට පෙර හැලපයා විසින් ලියා තිබුනා.
https://sithgathsahithyakalakruthi.blogspot.com/2018/04/blog-post_27.html
හැලපයා විසින් එහි අවසන් කොමෙන්ටුවට එක්කල පිළිතුරේ ලස්සන කතාවක් කියා තිබුනා. " චිත්‍රපටය හමුවෙලත් කියෙව්වේ නෑ; හිතේ තියෙන චිත්ත රූප මැකේවිය කියලා !" මේක සිරාම කථාවක්. "වන සරණ" ටෙලිය බලලා මට උනේ ඔය අපරාදෙමයි. ඒවගේම දෙයක් උනා පියවි ඇසින් මඩොල් දූව බලන්න ගිය දා !
පොතකින් මවන පරිකල්පන චිත්‍රපටි වලින් 'නාස්ති කරනවා' කියලා මමත් අහල තියෙනවා. ඇත්තටම ඒ ෂේන් කතාව මගෙත් හිත ගත්තා. ස්තුතියි ඒ ඔත්තුවට!
Deleteඇත්තටම රචනයක් තුලින් මිනිස්සු කොතරම් දුරට මත්කරන්න පුලුවන්ද? සෑහෙන හැකියාවක් තියෙන්න ඕනේ ඒකටත් !
ස්තුතියි මේ වටිනා කොමෙන්ටුවට
දිගටම ලියන්න මෙයා. මේ දවස්වල ඔලුව අවුල් වෙලානෙ තියෙන්නෙ. මේ වගේ කතාවක් කියවන එක හොඳයි. ප්‍රේමය ටිකක් වැඩියෙන් තවරන්ට...
ReplyDeleteහම්මේ.... ඔබතුමිගේ මේ කොමෙන්ට් එක සෑහෙන්න වටිනවා!
Deleteකඩු - කිනිසි අස්සේ ප්‍රේමය සැහෙන රසවත්නේ! හි හි බලමුකෝ ප්‍රේමය කොහෙන් කෙලවර වෙයිද කියල
ලඟදි ඉවර කරන්න එහෙම අදහසක් නෑ නේද? කොහොමත් ඔය බුදල් අවුල් එහෙම එකපාරට ඉවර වෙන්නේ නැහැ.
ReplyDeleteඒ මොකද අප්පේ එහෙම ඇහැව්වේ? මේක මෙගා නෙවෙයි.. කෙටි - දිග කතාවක්. කෙටියෙන් දිගට ලියවෙන හින්දානේ මෙච්චර කල් ගියේ.
Deleteනඩු කිව්වා නම් පරම්පරා ගානක් ලියන්න වෙනවා. වැඩේ කියන්නේ මුන් එකෙක්වත් පොලිසි යන්නේ නැහැනේ!
මුල ඉදන් එන්ඩ වෙනවා
ReplyDeleteවැඩිය නෑ කොටස් 17නෙ. සෑහෙන කාලෙකින් නේ දැක්කේ. කියවගෙන ඇවිත් ගුණදොස් කියනවා නම් තමයි හොඳ.
Delete