Thursday, July 8, 2021

259: සුහදිනියේ - 50 | හැරයාමක් ගැන හෝඩුවාවක්

 කලින් කොටසට 


 

මම ජීප් රථය නවත්වාගෙන සිටියදී  පුම්බාගත් මුවින් යුතුව මධුලිකා පිටුපස ආසනයට නැගුනේ මා දෙසවත් නොබලාය. අවසන් මොහොතේ තාරුක අයියා මධුලිකාවත් ගමනට එක්කාගෙන එන ලෙස පැවසුවේ ඇයිදැයි නොදත්තත්, ඒ ලෙස හෝ මධුලිකා දකින්න ලැබීම මට සහනයක් විය. ඈ වෙනදා මෙන් පිළිවෙලට හැඳ පැළඳ සිටියේ නැත. ඇස කොනෙන් දුටු ඇගේ කොට කලිසම මා කෝපවත් කලද මම නිහඬව සිටියෙමි.

'කෙහෙල්මල් කකුල් පේන්න අඳින්නේ මාව තරහ  ගස්සන්න වෙන්නැති '

අවු කණ්නාඩි යුවල දමාගත් මම රථය පදවාගෙන ගියා විනා තාරුක අයියාගේ නිවසේ නතර කරන තෙක් අප දෙදෙනාගේ අතර කිසිදු කතාබහක් නොවුනි. මගින් මගට මධුලිකාට දුරකථන ඇමතුම් පැමිණියාට ඈ ඒවාට පිලිතුරු නොදී විසන්ධි කරනවා ඇසුණු අතර මම වැරදීමකින් දෙවතාවක් පමණ කණ්නාඩියෙන් ඈ දෙස බලද්දී, වරකදී පමණක්  අපේ ඇස්  හමුවිය.

ඒ ඇස් ! ඒ බැල්ම!! සැතකින් පපුව කපා හරින්නාක් මෙනි.

රථය නතරකොට මම තරමක් කල් මැරුවද මධුලිකා වහා බිමට බැස්සාය. තාරුක අයියා නිවසේ සිට එලියට පැමිණි අතර මධුලිකාට කතාකරනු මට පෙනුනි. ඒ සියල්ලට වඩා ඒ කෙහෙල්මල් කොට කලිසම මට වදයක්ව පැවතුනි. මා රිදවන්නටම සිතාගෙන ඈ එලෙස ඇන්දාද? ඊටත් වඩා ඔෆ් ශෝල්ඩර් ලෙස වැටුණු ඇගේ කමිසය , ඇගේ ලපයක්වත් නොමැති ටෑන් උරහිස පෙන්වමිනි.

මම නිවසේ පිවිසුමට එද්දී වාකිෂ්ඨ මහතා කොරිඩෝවේ පසෙක සිට අප වෙත ඇවිද ආවේය. මම දෑතම කොට කලිසම තුල  දමාගෙන අපහසුවෙන් මෙන් ඔහුට සිනාසුනෙමි. වාකිෂ්ඨ මහතා මට හෙළුවේ පියෙකුගේ බැල්මකි.

"එන්න මිස්ටර් වාසලමුදලි.. අතන ටේබල් එකට"

මුලින්ම තාරුක අයියා සමඟ මධුලිකාත්, ඉන්පසුව වාකිෂ්ඨ මහතාත් , අනතුරුව මමත් ලෙස අප ගමන්ගෙන අවසන් උනේමධ්‍යම ප්‍රමාණයේ බුරුත ලි මේසයකිනි. 

"ගුණසිරි.... අපිට තේ හතරක් ගේන්න "

තාරුක අයියා සිය සේවකයාට පවසද්දී, මධුලිකා තමන්ට පෙන්වූ අසුනට බර වුයේ මට ඉදිරියෙනි. ඊට ඉඳුරා අනෙක්පස මමත් තාරුක අයියාත් හිඳගත්තෙමු. 

හ්ම්ම්ම්... දැන් එකිනෙකාට විරුද්ධව අපි! මම හැඟීම් විරහිත බැල්මක්  ආරුඪ කරගත්තෙමි.

 වාකිෂ්ඨ මහතා සිය ලිපිගොනුවක් විවෘතකොට කොලයක් අතට ගත්තේය. හිස නොඋස්සා බලන මට ඇස කොනෙන් මධුලිකා බිම බලාගෙන සිටිනු පෙනේ.

"මිස්ටර් සෙනේෂ් ට කොහොමද පුතා?"

"හ්ම්... ම්ම්ම් හොඳයි"

"පුතාට මේ ටිකම රෙස්ට් එකක් නැහැ කියලා මට සුන්දර් කිව්වා..."

".............."

මම මෝඩයෙක් සේ සිනාවක් පෑවෙමි.

 "මිස්ට වාසලමුදලි... මම කෙලින්ම කාරණේට බහින්නම්. මම මිසිස් මධුලිකාගේ ලීගල් අඩ්වයිසර් විදියට මේක කතාකරන්න කැමති. දැන් මිසිස් මධුලිකා ඩිවෝස්  පැමිණිලි පාර්ශවය විදියට දාන නිසා..."

මගේ කන් අගුල් වැටෙන්නා සේ වුවද පැරණි හිතක් නැති තික්ෂනගේ ආනුභාවයෙන් හිස කෙලින් කරගෙන උන්නෙමි.

".. මේ නඩුව අපි සාකච්ජා මාර්ගයෙන් කරන්නයි බැලුවේ. එතකොට හියරින් සේෂන්ස් ගොඩක් යන්නෙත් නැහැ. ඉක්මනින් ඉවරත් වෙනවා. මිස් මධුලිකා රට යන්නත් ඉන්න නිසා ඒ විදිය හොඳයි කියලා මම හිතුවා. මිස්ටර් වාසලමුදලි මොකද හිතන්නේ?"

මම ඔරවා සිටියෙමි.

".... කන්ටෙස්ට් කරනවා නම් එහෙමයි.. නොකර ඉන්නවා නම් එහෙමයි. ඒක කැමති දෙයක්"

මම නොසන්සුන් බැවින් ඒ මේ අත බැලුවේ වේදනාවෙනි. තාරුක අයියා මගේ පිටට තට්ටුවක් දැමුවේය.

"....මම මේක දෙනවා මගේ ඇසිස්ටන්ට්ට  .මිස්ටර් වාසලමුදලි එතකොට.."

"මට ලෝයර් කෙනෙක් ඕනේ නැහැ ! කන්ටෙස්ට් කරන්නෙත් නැහැ !!"

මම සැරෙන් මෙන් කියා දැමුවෙමි.

"හරි... නමුත් මේක ඒ ලීගල් කොටසට එහා ගියපු දෙයක්. පුතාගේ අනික් ලීගල් මැටර්ස් බලන්නේ මිස්ටර් දුනුවිල නිසා මේක මම කලින්ම කියලා එකඟතාවයකට එන්න කැමති උනා. "

වාකිෂ්ඨ මහතා හුස්මක් ඇල්ලුවේය.

".... මේක .මෙහෙමයි... මිසිස් මධුලිකා එයාගේ පයිලින් කම්පැනි එකේ අධ්‍යක්ෂක ධුරයක් දෙන්න කැමතියි පුතාට. නඩුවේ කවුරු දිනුවත් මේක දෙනවා"

මම කම්පනයෙන් හිස ඔසවා මධුලිකා දෙස බලද්දී, ඈ සිටියේ ඉවත බලාගෙනය.

"ඒ... ඒ... ඒ මොකටද?"

වාකිෂ්ඨ මහතා අපහසුවෙන් , සෙමෙන් නමුත් පැහැපත් සිනාවක් පෑවේය.

"මිසිස් මධුලිකා කැමතියි... පුතා මෙච්චර කාලයක් කරපු උදව් වලට තෑග්ගක්..."

මම එකවරම ගල්වී ගොස් මධුලිකාගේ මුහුණ බැලුණි. මගේ හුස්ම වේගයෙන් ඉහල පහල ගිය අතර තාරුක අයියා පුටුවත් පෙරලාගෙන නැගී සිටියේය.

 "ඒ  මොන %% කතාවක්ද මිස්ට වාකිෂ්ඨ!"

මගේ හදවත පුපුරා ගියාක් මෙන් විය. වේදනාව වැඩි කමට මට කිසිදු වේදනාවක් නොදැනෙන්නට ඇත.

"....ඕකටද එන්න කිව්වේ?"

"මට මුකුත් ඕනේ නැහැ... !"

මම සිනහවක් නගා පුටුවෙන් නැගිට, තාරුක අයියාටද තට්ටුවක් දමා රථය වෙත පියමන්නෙමි. ආපසු හැරුනේ තාරුක අයියා බලන්නටය.

"මේ මොන හිතක්  පපුවක් නැති කතාවක්ද? තීක්ෂණ මේවා කලේ තෑගී බලාගෙන නෙවෙයි... "

අනතුරුව විදුලියක් මෙන් හැරී මධුලිකා දෙසට සිය දබර ඇඟිල්ල දිගුකළේය.

"...... මිසිස් මධුලිකා මේ! .... මනුස්සයෙකුට අපහාස කරන එකෙත් සීමාවක් ...තියෙනවා"

තවත් මොනවාදෝ කියමින් තාරුක අයියා මධුලිකාට බනිනු ඇසෙද්දී මම නෑසුණු කන් ඇතිව රථයට නැංගෙමි. සුක්කානමට හිස තබාගත් මගේ හිතට දැනෙන්නේ මහා වේදනාවකි. මධුලිකා මෙතරම් මම රැකගත්තේ ඇගේ මුදල් නිසා නොවේ.

'මට ඕන ඇති  කෙහෙල්මලක් නෑ! මම ඔය නඩුවට එන්නෙත් නැහැ... මට ඕනේ චෝදනාවක් දාලා නඩුවත් දිනාගන්නවා... මගේ බල්ලාටවත් ඕනේ නැහැ ඔය කෙහෙල්මල්!' මම මගේ සිතට කියාගත්තෙමි.

තාරුක අයියාගේ පියවර හඬ මට ඇසුනද මම සුක්කානමේ හිස තබාගෙන ඒ අයුරින්ම උන්නෙමි.


 

"මචන්.. උඹ පලයන්... හිතන්න එපා මේ ගැන... මම මේ යක්සිනිව ගෙනත් දාන්නම් පස්සේ"

"මධුට බනින්න එපා"

"බනින්න? බනින්න නෙවෙයි තියෙන්නේ හොම්බට අනින්න... අම්මප මෙහෙම ගුණමකු කමක්! උඹ ඔච්චර කරලා ඒකට මරු අගයක් දීලා තියෙන්නේ "

"මධුව එවපන්.. ඔය බැන්නා ඇති... මධුව තියන්න බැහැ තනියෙන් කොහෙවත්..."

මම එකහෙලා කිව්වෙමි. තාරුක අයියාගේ මුහුණේ  ඇඳුනේ මා ගැන අනුකම්පාසහගත සිනාවකි. 

අනතුරුව මම අනුලාගේ හමුවත්, සිදුවූ  සියල්ලත් ඔහු වෙත කියා දැම්මෙමි.  මදක් කල්පනාවේ ගිලි සිටි නමුත් ඔහු ඒ සැනින් ගොස් මධුලිකාට සැරෙන් මෙන් මොනවා හෝ කියා වාහනයට එවූ අතර වාහනයට නැගී දොර වැසූ සැනින් මධුලිකා මහා හඬින් හඬන්නට වුවාය. මගේ සිතද වේදනාවෙන් කෙඳිරිගාන්නා සේය. ඒ ආවේගයෙන්ම මම  වාහනය පදවාගෙන තාරුක අයියාගේ නිවස නොපෙනෙන  මානය තෙක් පැමිණියේ මහත් වේගයෙනි.

නොපෙනෙන මානයට ආ පසු මම කණ්නාඩියෙන් දුටුවේ ආසනය මත ගුලිවී හඬන මධුලිකාය.  හදවත උණුවී ගියෙන්, මම රථයේ වේගය බාල කොට කණ්ණාඩියෙන් බලා මධුලිකා ඇමතුවෙමි.

"දැන් අඬන්න එපා.."

මගේ උගුරද බැරැන්ඩි වී ගොසිනි. අනතුරුව වාහනය පසෙකට කොට නතර කර නැවතත් මධුලිකා දෙස බැලුවේ දොරට වැලමිට තබා ආපසු හැරෙමිනි. මධුලිකා නාසය  පිසිමින් මා දෙස වරක් බල බිම බලාගත්තාය.

"ම.. මම.... මම එහෙම.. ඔයාව ඔෆෙන්ඩ් කරන්න  කියල හිතාගෙන එහෙම..."

මධුලිකාගේ හඬ බිඳෙයි. සියල්ල එක්ව ගත්කල මට ඇගේ ඒ වැකිය වැටහුනේ එපරිද්දෙනි. 

හුස්මක් ඇල්ලු මම වාහනයෙන් බැස රියදුරු අසුනට විරුද්ධ පැත්තේ රථයට පිටදී සිටගත්තේ හුස්මක් අල්ලමින් අහස දෙස බලමිනි. මගේ සිත කැළඹී ගොස්ය. පිටුපස අසුන ඇති  පැත්තෙන් දොර  විවර  කර මධුලිකා බිමට බැස්සේ ඊට තත්පර කිහිපයකට පසුවය. මට හිස හරවා බැලිය නොහැකිය.

"මගේ... මගේ ජිවිතේ අවුල් වෙලා තීක්ෂණ.."

මටත් එලෙසම බව කියන්නට නොහැකිය. මට මධුලිකා ගැන අනුකම්පාවක් දැනුනි. වෙනදා මෙන් මධුලිකා වෙත කඩාපනින්නට මට නොසිතේ. 

"අපි තරහෙන් ඉන්න ඕනේ නැහැ මධු"

මම හිස හරවා මධුලිකා දෙස බැලුවෙමි.

".. මගෙන් ඔයාට වරදක් උනා නම් ඒවත්, ඔයාගෙන් මට වරදක් උනත් ඒවත් .. මේ ඔක්කොම දැන් ඉවරයි.. ඔයා අලුත් ජිවිතයකට යන්න ඕනේ. මගේ අර ඉල්ලීම විතරක් තිබ්බම ඇති.. "

මම  මධුලිකා අනවසරයෙන්ම මා තදින් වැළඳ ගත්තාය. දෑතම නිදහසේ තබාගෙන ඈට රිසිසේ මගේ පපුව පුරා දැවටෙන්නටත් , ඇතුලතින් සූරා පොඩිපට්ටම් කරන්නටත් ඉඩදී මම නිර්වින්දිතව බලා උන්නෙමි.

"තැනක් යූ තීක්ෂණ.. ඔයා විතරයි මාව තේරුම් ගන්නේ!"

'මධු.. ඔයා තමයි මාව තේරුම් නොගත්තේ' මගේ සිත මිස මුව එවදන් පැවසුවේ නැත. 

 

***********************************

තාත්තා නිවසට රැගෙන එන්නට පෙරදා රාත්‍රියේ මම ටාශාගේ නිවසේ  roof top එකට වී තනිවම සිතල බියර් පානයක් රසවිඳිමින් උන්නෙමි. දුකෙන් සිටිනා විට බීර මත මා තරමක මත කරන බව මම දනිමි. අවසිහිය නොවුවද ඒ නිර්වින්දනය මට අවශ්‍යව තිබිණ.

පෙරදිනයක වූ කෑම මේසයේ සිදුවීමෙන් පසුව මම හැමවිටෙකම කෑම ගත්තේ තනිවම, මගේ කාමරයේය. ඊට අමතරව හැකි සැමවිටම අම්මාටත්, ටාෂාගේ මවටත් මුහුණ නොදී ඉන්නට උත්සහ කලෙමි. ටාෂා මගේ කාමරයේ සිට දුටු මොහොත ඈ පාවිච්චි කල මොහොත ගැන මට දොසක් කියන්නට නොමැති වුවත් මගේ සිත ඉන් අමනාපයකට පත්ව තිබිණ.

මම සිටියේ වත්තේ වැඩ සහ අනෙකුත් වැඩවලින් දවල් දවස පුරවාගෙනය. එබැවින් සවස වනවිට කාටත් හොරා නිහඬවම මෙතැනට එන්නට මට අවකාශ ලැබිණ.

තාරුක අයියා පැවසුවේ මධුලිකාගේ විදේශගතවීම ස්ථිරවී ඇති බැවින් ඊට පෙර දික්කසාද කොළ සඳහා අත්සන් තබන ලෙසය. එදා මෙන් දොස් නොකිව්වද කලින් සිදුවීම නිසා මධුලිකා ගැන ඔහු සිටියේ අමනාපයෙනි. 

මම ඔහුගේ නොමනාපය නිවැරදි කරන්නට උත්සහ නොකලෙමි. මා විඳින දුක ඔහු දන්නා නිසා මා සනසන්නට ඇයට බනිනවාදෝ සිතෙන තරමට ඔහු මධුලිකාට දොස් කිව්වේය. කෙසේ වුවත් ඇත්තටම මම උන්නේ නිර්වින්දිත තත්වයෙනි. සිදුවන කිසිවක වේදනාවක් නොදැනෙන තරමට මම හැඟීම් විරහිතව බලා උන්නා වියහැකිය.


 

පුංචි පහේ පිහිනුමකින් පසුව මම පිහිනුම් තටාකයේ පසෙක තිබුණු සුදුපාට හාන්සි පුටු පේලියේ එකක දිගෑදුනෙමි. එය තිබුනේ තටාකයේ පසෙක අඳුරු මුල්ලකය. සීතල සුළඟ ගෘන්ගාරය දනවයි. හාත්පස ඇති මන්ද ආලෝකය මා මත්කරන ලෙසක් දැනේ. මධුලිකා සිහි නොවන්නට තරම් මම උපාසකයෙකු නොවේ. ඉබේටම මට මගේ පපුව අතගෑවුනේත් මහත් බරැති සුසුමක් නැගුනෙත් ඒ මොහොතේය.

තාත්තා හෙට දිනයේදී නිවසට රැගෙන යා යුතුය. නිවස තුල ආරක්ෂාව පිළිබඳව මම වගකියන්නට බැඳී සිටිමි. තවදුරටත් මෙහි රැඳීම යහපත් නොවූ නිසාත්, ටාෂාගේ පවුලට තවත් බරක් විය නොහැකි නිසාත් තාත්තාගේ බර අප දැන් තනිවම දරාගත යුතුබව මට වැටහුණි. 

එසේ උවද ටාෂාගේ මිතුරියක් ලෙස හඳුන්වා දුන් මධුලිකා මා සමඟ යාම අභව්‍ය වාගේම ඈ මෙහි තබා යාමත් කළහැක්කක් නොවේ. මට බර සුසුමක් හෙලුනේ  ඉබේටම වන්නට ඇත.

 ".. අනේ... ප්ලීස් උදානි.. දැන් ඔය බනින එක නතර කරන්නකෝ"

ඉහල මාලයට එන පඩිපෙළ ඔස්සේ ලං ලංව ඇසෙන හඬට මගේ අවධානය යොමු වුයේ නිතැතිනි. ඒ කවරෙකුවත් නොවේ, මධුලිකාය. මම එතෙක් පුටුවේ දමා සිටි  කමිසය ගෙන  ඇඳගත්තේ මධුලිකාගේ ඇස ගැටෙවී යයි කියාය.

'ඇත්තටම මොන බම්බුවකට එහෙම කලාද?'

මධුලිකා පඩිපෙළ තරණය කොට පැමිණෙද්දී මගේ පපුව ගැහෙන්නට විය. වාසනාවට ඈ මා සිටින දෙසට නොව ඊට ප්‍රතිවිරුද්ධ දිහාවට ගියේ මට පිටුපාමිනි. ඇගේ කනෙහි ජංගම දුරකතනයයි. 

අඩ අඳුරේ මට ඈ නොපෙනුනද හුරුබුහුටි බඳ ලෙලවමින් ඈ ගොස් නැවතුනේ බැල්කනි බිත්තියට සිය බඳ තබා හේත්තු වෙමිනි. ඇගේ වරලස ඉහලට කොට ගැටගසා නොතිබුණු බැවින් සුළඟ විසින් විසිරුවනු මට පෙනුනි.

"... අනේ එහෙම නැහැ උදානි.. ..ඉහි ඉහි. අනේ පොඩ්ඩක් තේරුම් ගන්නකො.... ඊයෙත් මම යනකොට ඔයා කෙළවරක් නැතුව කෝල් කරනවා. මම හිටියේ එතනට යන ගමන් හින්දා ආන්සර් කලේ නැහැ.... අනේ.... එහෙම.... චික්!"

මධුලිකා කෝපයෙන් මෙන්  දුරකථනය විසන්ධි කොට බැල්කනියෙන් පහල බලාගෙන ඉකිබිඳිනු මට පෙනුනි. සොරෙක් මෙන් මම නිශ්ශබ්දව උන්නෙමි. 

එසේ නම් එදින මා සමඟ යද්දී මධුලිකාට අමතා ඇත්තේ උදානිය. ඔවුන් දෙදෙනා රෝහලෙන් පැමිණි දා සිට යම් යම් දේවල් ගැන දබරවනු මට දැනී තිබුනද, මධුලිකා ඒ ගැන මට කිසිවිට කියා නැත.

මධුලිකා හෙලන සුසුම් නිශ්ශබ්ද වාතලය ඔස්සේ මා වෙත ගලාගෙන ආවේ නිතැතිනි. 

මද වෙලාවකින් මධුලිකා ජල තටාකය දෙසට ඇවිද එනු දුටු මගේ හුස්ම නැවතුණි. මම රහසේ ඇගේ කතා අසා සිටිනවා ඈ දුටුවොත් මෙතන අඩව්වක් අල්ලනු ඇත.

 මම හුස්ම අල්ලාගෙන පුටුවේ පසුපසට වී ගුලිවීමි.

ඈ මා නොදැක ජාල තටාකය වෙත ඇවිද එද්දී තටාකයේ පත්ලේ තිබුණු බල්බ වලින් විහිදුනු මලානික එළියෙන් ඇගේ බුහුටි ශරීරය අන් සියල්ලෙන්ම වෙන්කොට දක්වන්නාක් මෙන් විය. මම දෑස වසාගත්තෙමි, නමුත් එක ඇහැක් විවරව ගියේ මගේ තුරුණු සිත නිසා වන්නට ඇත. 

'මම ඉතින් රහත් වෙලා නෑනේ දෙවියනේ!'

මධුලිකාගේ දුක්බර මුහුණ පුරා කඳුළු වැල් වියලි ගොස් ආලෝකයට රිදීවන්ව දිළිසුනේය. මේ සිටින්නේ මගේ ප්‍රාණසම ප්‍රේමය නොවේද? ටෑන් පාට සමක් තිබුනද මගේ ජීවිතය තුල දුටු ගිනිසිළුව ඈ නොවේද? විටෙක මා ප්‍රේමයෙන්ද , තවත් විටෙක ගිනියම්වන තුරුණු හැඟීමෙන්ද උමතුකරවන්නේ ඈ නොවේද?

ඈ අතහරින්නට තරම් මම මුග්ධ වන්නේ කෙලෙසද? 

'උඹ නම් මහා ගොන් වස්සෙක් බන්' මට තාරුක අයියාගේ හඬ මා අසලින්ම ඇසුනි.

තටාකය වෙත පැමිණි මධුලිකා සිය කකුල් හකුලවා සිය විලුඹට බරදී හිඳගෙන තටාකයේ සීතල ජලයේ සිය වම අත යැව්වේය.

 මගේ පපුව නතරවන්නට ආසන්නය.

තටාකය වටා ඇති ආලෝකයේ ආනුභාවයෙන් මා සිටින අඳුරු මුල්ල ඇගේ ඇස ගැටෙන්නේ නැති බව මට වැටහෙද්දී යම් සහනයක් දැනුනද මම සිටියේ ඉහලට ඇදගත් හුස්ම පවා අල්ලාගෙනය. අනතුරුව ඈ මට පිටුපස හරවා තිබුණු සුදුපාට පූල් පුටුවේ වැතිරුනාය. ඇගේ බුහුටි සිරුර එම පුටුවෙන් ඔබ්බට නොගියද, ඉහලට ඔසවා නිදහසේ යැවු ඇගේ වමත පුටුවෙන් පිටුපසට වැටී මට පෙනේ.


 

ඇය කාට හෝ නැවත ඇමතුමක් ගන්නා හඬක් ඇසේ.  අතරින් පතර මිස මට දිගටම ඇගේ කතාබහ ඇසෙන්නේ නැත.

".. ඔව් මරියා.... අනේ ඉතින් හදිස්සියක්..... ඔව් ඔව්"

මධුලිකා ඉංග්‍රීසියෙන් අමතන්නේ විදෙස් තරුණියකට වන්නට ඇත. මම අලි කන් ඇතිව අසා සිටියෙමි.

"... ටිකට් එක ඔක්කොම මේ සතියේ හරි. මම... ..හ්ම්ම්.. ඔව් මරියා... ඒක තමයි ප්‍රශ්නේ... මට තේරෙන්නේ නැහැ මොකක් කරන්නද කියල... ස්ටීව් මට කිව්වේ... මමා.... ඔව්.... ඔව් ඒ ගෙවල් ඔක්කොම විකිණුවා. මගේ ලෝයර් ඒවා බැලුව. හ්ම්ම්... නෑ තාම නෑ .. හ්ම්ම්... ඒ ගැන කතාකරන්න මම කැමති නැහැ මරී.... හ්ම්ම්... ගොඩක් ස්තුතියි මේ කරන දේවල් වලට... ඔව්... තව සතියක් නෑ ... ඔව්.... අනේ මන්ද... හ්ම්ම් හ්ම්ම්ම්...."

අනෙක්පස කතාකරන්නියගේ හඬ නෑසෙන බැවින් සැබෑවටම කතාබහ වුයේ කුමක්ද කියා නොදනිතත්, මධුලිකා සිය ගුවන්  ටිකට් පත ගැන පැවසු බැවින් මගේ සිත ඔද්දල්වී  ගියේය.

"... ඔව් තමයි..... ඔව් මාරී.. හ්ම්ම්... මගේ යාලුවා මට බනිනවා..ඉහි ඉහි.... මම මොකක් කරන්නද මාරි.... මගේ ඔලුව අවුල්වෙලා.... ඉහි ඉහි...... "

එතැන් සිට මධුලිකා හැඬුවා මිස කියන කිසිවක් පැහැදිලි උනේ නැත. 

 "... ආ එහෙමද? ඇයි ඒ මෝඩයා කලින් මට කිව්වේ නැත්තේ? හ්ම්ම් .. හ්ම්ම්.... හ්ම්ම්ම්.. බලමුකෝ.... මම දන්නේ නැහැ මාරි මාව ආයේ එනී කොහොම  පිළිගනිද කියල... ඒක.. ඒක ලොකු බැඳීමක්.. මම දන්නේ නැහැ... මට එයා කිව්වේ නැහැනේ.."

මේ කියන්නේ කවුරුන් ගැනද? මම ගැනද? එනී ???

".. ඒ හැමදේම දැනගන්න මට ඇවිල්ල පුළුවන්... මටවත් තේරිලා තිබ්බේ නැහැ ඒ ආදරේ කියල... "

මගේ කන්දෙක නෑසී යන්නට ආසන්න බවකි. මේ කියන්නේ මධුලිකාගේ පෙම්වතෙක් ගැන නොවේද?ඈ ආපසු යාමෙන් පසුව සුවපත්වන බිඳුණු පෙමක් ගැන?

"... ඔව් මාරි.. ආවාම ඔක්කොම හරියයි කියලා මට හිතෙනවා. මම ලංකාවට ආවේ තාත්තාගේ ඉල්ලීමක් නිසා... දැන්... හ්ම්ම්.. හ්ම්ම්.. අපි දෙන්නටම ඕනේ කලේ කාලය.... ඔව්... නෑ ඔයා කතාකරන්න ඕනේ නැහැ.... ඔව් මමා හිටියා නම් කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ"

මධුලිකා මේ කියන්නේ ඈ පිටරටක හැරදා පැමිණි පෙම්වතෙක් ගැන නොවේද?

පපුව හුරාගෙන ගියාක් මෙන් මම අජිවිව ගියෙමි. මධුලිකා මට ප්‍රථම පෙම්වතෙක් සිටි බවක් මම කිසිදින කල්පනා නොකලෙමි. ඇත්තම මම ඇගේ පෙම්වතාව සිටියාද? ඈ මට සිය ප්‍රේමය ප්‍රකාශ කල බව සැබෑවකි. එය ඇත්තක්ද?

මගේ ඊර්ෂ්‍යාව මහා ගින්නක් සේ සර්වාංගයම දවා හළු කරන්නා සේ දැනුනි. ඈට මිට පෙර පෙම්වතෙක් සිටි බවක් කිසිවිටෙක නොදැනුනේ ඔහු පිට රටක සිටි නිසා ද? එසේ නොමැතිනම් මම නැසූ නිසාද? නිරන්තරයෙන් මගෙන් ඈත්ව මගේ ස්පර්ශයන්, පෙම්වත් ඇරයුම් හමුවේ නිර්වින්දිතව උන්නේ ඒ සිත්ගත් ප්‍රේමය මම නොවන නිසා නොවේද? අනවරත ඊර්ෂ්‍යාව විසින් මා රකුසෙකු සේ වෙලාගන්නවා මට දැනුනද ඒ සමඟම මා කෙරෙහිම වූ ආත්මානුකම්පාවක් හිස ඔසවාගෙන ආවේය.

 මධුලිකා මගෙන් දික්කසාදය පතන සැබෑ කාරණය මට දැන් පැහැදිලිය. ඈ මගේ ප්‍රේමය  කෙසේ වෙතත් ආරක්ෂාව පතා මා වෙතම උන්නා මිස සිත තුල රැඳී ප්‍රේමය අන් අයෙකු වෙනුවෙනි. මට දැනුන ආත්ම පරාජය මෙතෙකැයි කිව නොහැකි තරමකි.

"මධු...? මධු...?? ඔයා කොහෙද? ඔතනද?"

ටාෂා මට ඒ මොහොතේ දැනුනේ මගේ හුස්ම බේරාදුන් දෙව්දුවක් මෙනි! පියගැට නැග ආ ටාෂා පියගැට මුදුනේ සිට මධුලිකා අමතද්දී මධුලිකා නැගිට හිස හරවා බැලුවාය.

".. මම අරෙහෙ හොයනවා..  යමු ෆිල්ම් එක පටන්ගන්න හදන්නේ... ඔයා එනකල් අනිත් උන් මට බනිනවා"

මේ මොන පුදුමයක්ද? ටාෂා මධුලිකා මිතුරු කරගත්තේ කෙලෙසද?

".. කෝල් එක ආපු ගමන් ආවා.. අපි අරෙහෙ බලාගෙන ඉන්නව "

මධුලිකා සමඟ ටාෂා නැවතත් පහලට යනු මම බලා සිටියා  පමණකි 

 

********************මතු සම්බන්ධයි **************************

4 comments:

  1. ඔයා ලියන විදිය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි! ගොඩ දවසකින් නේද ආවේ...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...