මට දෙන්නට පිළිතුරක් නොවුනි. නමුත් යම් පිළිතුරක් ලබාදිය යුතු නිසා ඊට සුසුදු පිළිතුරක් සොයන අතරතුර නැන්දා සුසුම්ලනු මට දැනේ.
"..... මේ මහත්තයල කැමති නම් මගේ අකමැත්තක් නැහැ මහත්තය. මේ ඔක්කොම මට හරි කරුණාවයි. යන්න කලින් පුංචි නෝනගේ මුණ බලන්න තිබ්බනම්..."
මහා බර සුසුමක් දුරකථනය ඔස්සේ හෙලුනි. මධුලිකාගේ තනියට කියා මම ගෙනා සේවිකාව මේ වනවිටත් සිටියේ තුවාන් අය්යාගේ ඩිස්පෙන්සරියේය.
ඇගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවුනද මෙතෙක් ; විශේෂයෙන්ම මට; විස්වාසවන්තව කටයුතුකළ ඇය පිළිබඳව සාධාරණයක් කිරීම මගේ යුතුකමකි. මධුලිකා තබා යන්නට විශ්වාසවන්ත අයෙක් නොමැති මොහොතකදී ඇය වරක් හෝ නොදුටු මගේ පිහිටට පැමිණියේ පුදුම ආකාරයටය.
තුවාන් අය්යාට කතාකල මට දැනගන්නට ලැබුනේ ඇයව සිය නිවසට ගන්නට ඔහු කැමති බවයි. එය මට පහසුවක් විය. නමුත් මධුලිකා නැවත විදෙස්ගත වනවා කියූ සැනින් නැන්දා කම්පනයට පත්වුවාය. අපගේ සැබෑ තත්වය කිව නොහැකිව මම ඇයට පැවසුවේ අප දෙදෙනාම එසේ යන බවයි.
"... පර්ල් නෝනා මගේ ඇහැක් වගේ මම හැදුවේ... මේ අත්දෙකින් ! පුංචි නෝනා ඉපදුනාම වෙනිවැල්ගැට තම්බලා නෑව්වේත් මම.... අනේ මල් කුමාරියක් වගේ පිං කඳක්.. මගේ නෝනට රත්නත්තරේ සරණයි "
ගැහැණියගේ අවිහිංසක ලැදියාව ගැන මට මහා දුකක් දැනුනි.
"බයවෙන්න දෙයක් නැහැ නැන්දා... එයා හොඳින්"
"අනේ පිං ! පර්ල් නෝනට වාසනාවක් තිබ්බේ නැහැනේ ඒ වගේ රත්තරන් කඳක් එක්ක ජිවත් වෙන්ඩ. අනේ ඒකටත් එක්ක අපේ පුංචි නෝනාව , මහත්තයා ඉතින් ඇහැක් වගේ පරිස්සම් කරනවානේ ඉතින්... දෙවියන්ගේ පිහිටයි මහත්තයට කවදාවත් වරදින්නේ නැහැ... "
පපුව මතින් ඩෝසරයක් තලාගෙන යන්නාක් මෙනි.
"එහෙනම් නැන්දා මම පුලුවන් වෙලාවක කවුරුහරි එවන්නම් නැන්දාව බලලා යන්න. සල්ලි ටිකකුත් දැම්මා පොතට ඕනේ දෙයක් තියෙනවා නම් අරගෙන්න. එහෙනම් තියන්නම්.."
කතාබහෙන් රිදී හම්බත්ව සිටි මම ඇමතුම විසන්ධි කරනවිටත් ඈ පිං දෙමින් සිටියාය.
මම සුසුමක් හෙලා නැවතත් වත්තේ වැඩ වල ඉතිරිය සම්පුර්ණ කරන්නට වීමි.
දින දෙකකට පෙර අප සාප්පු සවාරි ගොස් එන විටදී රාත්‍රියේ මාලන් ඇතුළු කණ්ඩායම වාහනයට සිය බඩු පටවනවා දුටු මම ඔවුන් පිටත් වන්නට ඇතැයි උපකල්පනය කලෙමි. මධුලිකා ඔවුන් කිසිවෙකුත් ගණනකට නොගන්නා බව දැනී මට කුරිරු සතුටක් දැනුනේ ඇයි ? ඇගේ සිතේ සිටින පෙම්වතා විසින් මෙතරම් ඈ කෙරෙහි වදවන මා පවා විස්තාපනය වී ඇති අයුරු?
ඉන්පසුව එහෙන් මෙහෙන් බලන තරුණයෙකු දෙන්නෙක් හැරුණුවිට මධුලිකාට තර්ජනයක් නොවූ නිසා දින දෙකම නිවිසැනසිල්ලේ ගතවිය. මධුලිකා බොහෝ සැහැල්ලුවෙන් උදානි සමඟ සිටිනු දැක මම යම් සතුටක් ලැබුවෙමි. ඈතින් සිටිමින් ඈ ඒ විඳින නිදහස ගැන සතුටක් මෙන්ම, තව දිනකින් මගෙන් මිදී යන ඈ ගැන මගේ සිත මොහොතින් මොහොත හුස්ම සිරකරවමිනි.
'ඇත්තටම මධුලිකා ඔබ මා හැර යනවාද?'
කෙතෙක් මා ඇසුරුකළ තරුණියන් සිය නව පෙම්වතුන් හා මා ඉදිරියට පැමිණ ඇතිද? ඒ කිසි දිනෙක නොදනෙන මගේ මේ ඉරිසියාව ගැන මටම දැනුනේ පුදුමයකි.
මොහොතින් මොහොත දැනෙන පීඩනය මා නොදනෙම මහා වේල්ලක මෙන් සිත තුල එක්රැස්ව තිබුණු බව මට ඒ මොහොතේ දැනුනේ නැත.
තෙවන දින පාන්දර සිටම, කුමක් හෝ දෙයක් නිසා උදෑසන සිටම මගේ සිත තුවාල වී ඇත්තාක්මෙන් දැනෙන්නට විය. කුමක්හෝ කියාගත නොහැකි දුකක් සිතතුළ මහා අරගලයක් කරමින් මා උමතු කරවන්නට මෙන් හැසිරෙයි.
අද දින ලැබුණු තාරුක අයියාගේ කෙටි පණිවිඩ කිසිවකට මම පිළිතුරු නොයවා සිටියෙමි. වැඩියෙන්ම තිබුනේ මට බනින පණිවිඩය. මේ ආ දින ටිකට , ටාෂාගේ ඇමතුම් වලට මම පිළිතුරු දුන්නේ ඉඳහිටය. ඈ දිනකට වතාවක් පමණ මා ගැන සුවදුක් විමසන්නේ, විශේෂත්වයක් නොමැතිව වන අතර ඒ කිසිවිටෙක මධුලිකා ගැන විමසුවේ නැත. ඇමතුමට පිළිතුරු සපයන්නට සැමවිටම කාමරයේ සිටින මොහොතක් වන්නට මම ප්‍රවේශම් වුයේ ඈ කතාවට වඩා වටපිටාවේ ශබ්ද අසන බවක් මට ඉව වැටුන බැවිනි.
ඇගේ මේ අමුතු හැසිරීම කුමක්ද? මට මධුලිකා පැවසු දෙය මතක්විය. ටාෂා මගේ හොඳම කියනවා යයි කීම මා එතරම් ගණන් ගත්තේ නැත.
සැමදිනකම සෑහෙන වරක් නිවසට අමතා තාත්තාගේ තොරතුරුත් , අම්මාගේ සනිපයත් ගැන සෙවීමට මම අමතක නොකළ නමුත් මගේ සිත අම්මාගේද යම් වෙනසක් ඇති බවක් කියමින් සිටී. සුදම් කියූ ආකාරයට නම් ටාෂා සහ වෙරෝනිකා ආන්ටි අප නිවසට නිතර පැමිණෙන බවක් අම්මා මට කිසිවිටෙක සඳහන් කලේ නැත. එය මට පුදුමයක් සේ දැනුනි.
මේ අතර මගේ අනෙක් වඩවන කාරනාව වුයේ වාසුලගේ සිද්ධිය නිසා මධුලිකාගේ ආරක්ෂාවට ඇති තර්ජනයයි. කුමක් හෝ හේතුවකට ,මේ දින දෙක තුනට රුපවාහිනියේ මාතෘකාවක්ව පුවත් මවමින් උන් අනුලා ගැන ගොසිප් අඩවි වල පලවූ කාරනා අතර එක්තරා තැනක පමණක් මධුලිකා ගැන යම් සඳහනක් වුවද, ඇගේ නම කියවී තිබුනේ නැත.
සුන්දර් අත , වාසුල විසින් රවටාගත් තේජානි වෙත මම රැකියාවේ තොරතුරු යැවු අතර ඇය ඒ රැකියාව සමඟ රත්නපුරයට ගිය බව සඳහන්කොට කෙටි පණිවිඩයක් ඒවා තිබුනේ ස්තුතියක්ද සමඟිනි.
මම මධුලිකා සම්බන්ධ මගේ ඉදිරි සැලසුම් වලට අවසානය සුදානම් විය යුතුය. මධුලිකා සම්බන්ධයෙන් මගෙන් සිදුවිය යුතු සියල්ලම මම එකින් එක ඉටු කරමින් සිටියේ තවදුරටත් ඈට වදවෙන්නට යමක් ඉතිරි නොකරන අදිටන සිතේ තිබුණු බැවිනි.
ඉන් පසුව....
හෙට මධ්‍යම රාත්‍රියේ මධුලිකාගේ ගුවන්යානය ඈ රැගෙන යනු ඇත.
සිදුවූ සියල්ල නපුරු හීනයක් මෙන් නුදුරු අනාගතයේදී වාතලයට මුසුව යනු ඇත.
මධුලිකාගේ ඉදිරි ජීවිතය ලංකාවෙන් පිටත මනරම්ව ගෙවී යනු ඇත.
සැලසුම් කල පරිදි අධ්‍යාපනය නිමකොට ඈ නැවත මෙහි එනු ඇත.
ඒ වනවිට වසර තුන හතරකින් , මේ සියල්ල වෙනස්ව ගොස් තිබෙනු ඇත. බොහෝවිට ඇගේ පෙම්වතා ; බොහෝවිට ඇගේ සැමියා සමඟ ඔවුන් දෙදෙනා ලංකාවේ ආන්දෝලනාත්මක චරිත වනු ඇත.
ඒ තමයි මේ කතාවේ ලියැවු අවසානය. මට අහිමි මධුලිකා....
මධුලිකාට ඇත්තේ කවුරුත් ආකර්ෂණය වන , ආඩම්බරකාර පෙනුමකි. ව්‍යාපාර ක්ෂත්‍රයේ එවැනි පෞර්ෂයක් ලැබෙන්නේ එහෙමත් කෙනෙකුටය, විශේෂයෙන් තරුණියක්! මම ඈගේ ඒ සාර්ථක බවට අකුල් හෙලන්නට අවැසි නැත. ඈ තවදුරටත් මට අයිති නැත. මාලන්ගෙන් නොපෙනෙන්නට කියා මම හැසිරුණු ආකාරයට ගැන මටම ලැජ්ජා සිතුනි.
නමුත්.... මධුලිකා අතහැර ගත නොහැකිව මම කෙතරම් අසරණ වී ඇතිදැයි මේ තර්කනයට හසුවන ලෝකයට තේරුම්කල නොහැකිය. තරුණියක් විෂයෙහි ලා මා තුල වූ නොහික්මුණු බව ඉක්මවා සිය රැස් වළල්ල ඈ විහිදා සිටියාය. ප්‍රේමය බව දැන දැනම වුව සමනළ පියාපතක් තුරුළු කරගන්නා ලෙසට මහා පරිස්සමකින් මෙන් මම ඈ විෂයෙහි දමනය වී උන්නෙමි. එය විශ්වාස කල හැකිද?
නමුත් දැන් ඈ මා හැර යාමට සිත හදාගෙනය. ඇගේ අහිමි පෙම්වතා සොයා සත්සමුදුරෙන් එහාට යනු ඇත. මට ලය පැලී උර කුහරය පුරා ලේ පිරෙන්නා සේ දැනෙන්නේ ඇයි? මා කෙරෙහි ප්‍රේමයෙන් සිටි බවක් කියා මා මුලා කලේ ඇයි මධුලිකා? එය මට දුන් දඬුවමක් ද? ඇත්තටම ඈ මට තිබුනේ ආකර්ෂණයක් පමණක්ද?
මම වහා ඉන්ටකොම් දුරකතනයෙන් සේවා කොටස ඇමතුවෙමි.
බීම ඇනවුම කාමරයටම ලබාගත්තේ ඒ වනවිට කළමනාකාර වරයා මා සමඟ යම් සුහදත්වයක් ඇතිකරගෙන සිටි නිසාය. කිසිවක් මතක් නොවන නින්දක් මට අවශ්‍යව තිබිණ.
ජින් මත නින්දට රුකුල් සැපයු නිසා, මගේ නින්ද අවසන්ව මම හිස ඔසවනවිට හොඳටම රාත්‍රිය උදාවී තිබිණ. මගේ අවදිවීම ඉබේටම සිදුවූවක් නොවන බව වැටහුනේ ඒ වනවිටත් දොරට කවුරුන් හෝ නොනවත්වා මහා හඬින් තඩිබානු ඇසුණු නිසාය.
මම ඇඟ මැලි කඩමින් හීනෙන් මෙන් දොර විවර කරද්දී එහි ඉදිරිපිට සිටගෙන සිටියේ හෝටලයේ කළමනාකරුත්, සේවා සපයන තරුණයෙකුත් සහ උදානිත්ය. ඊටත් පිටුපසින් මධුලිකා උන්නාය. ඔවුන් සියල්ලෝම මා දැක බියට පත්වුවා සේ විය.
"මොකෝ කලබලේ?"
"සර්... ෆෝන් එක ආන්සර් කලෙත් නැහැ... අපි ලෑන්ඩ් ලයින් එකටත් ගත්ත. මේ මිස්ලා බයවෙලා හින්දා අපි දැන් සෑහෙන වෙලාවක ඉඳල මේ දොරට ගැහුවේ"
දකුණත දොරේ ඉහලට තබා ඒ පසට හිස ඇලකොට, සිහි එලවාගත් මම ඇස්ගෙඩි ලොකු කර කළමනාකරු දෙසත්, ඉන්පසුව උදානි දෙසත්, අවසානයේ ඔවුන්ට පිටුපසින් උන් මධුලිකා දෙසත් බැලුවෙමි.
"ආ.... මට මේ නින්ද ගියා මහන්සියට..."
කළමනාකරුට සිනාවක් ගිය අතර, උදානි සිය සිනහව අතින් වසා වලක්වා ගත්තාය. මධුලිකා පමණක් අස්බැමි හකුලවා , කට ඒ මේ අත හරවමින්, සිය කෝපය පලකරනු දුටු මටද සිනාවක් නැගුණි.
"අ... හරි සර් එහෙනම්... අපි ගිහින් එන්නම්"
ඔවුන් ආපසු හැරුනහ.
එකෙනෙහිම මධුලිකා දුන්නෙන් ගිලිහුණු ඊතලයක් මෙන් කාමරය තුලට ආවේ මගේ දොරට ඉහලින් තිබුණු අත යටිනි. ඒ ගිය වේගයට සුළං පහරක් 'රුං' ගා මධුලිකාගේ සුවඳ විහිදුවාගෙන මා අසලින් හමා ගියේය. මම කලබලයෙන් මධුලිකා ගිය අත ආපසු හැරී බැලුවෙමි.
ජින් බෝතලය අතට ගත් වේගයට, සැනින් මම ඈ අසලට පැන්නේ අඩියට දෙකටය.
"ඒයි.. ඒයි.. ඕක තියනවා!"
මධුලිකා අතට ගන්නවාත් සමඟම ඇයට වඩා උසින් වැඩි මම ඉස්සර වී ජින් බෝතලය වහා උදුරා ඉහලට කොට ඇල්ලිමි. මධුලිකා ගහක බඩගානවාක් වැනිව මගේ පපුව බදාගෙන බෝතලයට පොරකෑවාය.
"මෙහෙ.. දෙනවා.. තමුසෙගෙ.. ඔය.. කෙහෙල්මල්... බෝතලේ....."
මධුලිකා මගේ කකුල පාගමින් , කමිසයේ එල්ලී ඇඟේ නගිමින් බෝතලයට පොරකන්නේ ළදරියක් මෙනි.
"පි.. පිස්සුද හලෝ.. මේක බිඳින්නේ එහෙම නැහැ... අතාරිනවා!"
පොරය උත්සන්නව ගොස් අසමතුලිතව ගිය අප දෙදෙනා පෙරලුනේ ඇඳ මත වුවද , එයත් හරිහැටි නොවූ නිසා මධුලිකාගේ කකුල් ඉහලට එසවී ඇඳේ අනෙක්පසට පෙරලි, වම්පස කොටසින්ද බිමට පෙරලි ගියාය. දඩස් ගා බරැති යමක් වදිනුත් උදානි 'බක බක' ගාමින් සිනාසෙනුත් මට ඇසුනි.
"... පිස්සුද අයිසේ... ?"
පෙරලිගිය මම මධුලිකා කොහිදැයි සෙව්වේ ඒ වනවිට විදුලි පහන් නොදල්වා තිබුණු කාමරය අඳුරේ ගිලි තිබුණු බැවිනි. උදානි තවමත් සිනාසෙයි. මම නැගිට විදුලි පහන දැල්වුයෙමි. මධුලිකා ඇඳ පාමුල උන්නේ වේදනාත්මක මුහුණෙනි. මගේ ඇඳුම් බෑගය පෙරලී , ගිටාරය සමඟ බිම තිබිණ. ඇගේ හිස වැදුනාද?
"මධු.... ආ යූ ඕකේ ?"
උදානිගේ සිනහව නවතා ඇය මධුලිකා අසලට පැන්නාය. මම ඊට ඉස්සර වී මධුලිකා බිම වැටි සිටි තැනින් ඈ දෑතටම ඔසවා ගත්තමි.
"තියනවා මාව බිමින්! මට කිසි අමාරුවක් නෑ "
මධුලිකා මගේ උරහිස සැපුවාය. වම් උරහිස හිරිවැටී ගියාක් මෙනි. 'හම්මටසිරි! කොටි දෙනක් වගේ!'
එහෙත් මම ඈ බිමට අත නොහැර සෙමෙන් ඇඳ මත තබා පසෙකට වීමි.
"මොකක්ද මධු ඔයාට වෙලා තියෙන්නේ.... ? මෙන්න මෙහෙ එන්න මෙතන තව පිස්සෙක් වගේ නටන්න තියාගත්තේ.... "
උදානි මධුලිකාට කඩා පැන්නේ ක්ෂනයෙනි.
"..... ඇත්තමයි මධු මට තමුසෙව දැන් එපා වෙලා තියෙන්නේ... මේ කොල්ලව මරාගෙන කන්න හදන්නේ කොයි වෙලේ බැලුවත්! හැබෑටම මධු ඔයාට හිතක් පපුවක් නැද්ද?"
උදානි මධුලිකාට රවා සිටි අතර මධුලිකා මුහුණ පුම්බාගෙන බිම බලාගෙන උන්නාය. කෝපයක් නොව එහි තිබුනේ වෙනත් යමකි. මම මේ රණ්ඩුව දෙස බලා සිටියේ විශ්මයෙනි.
".... ඩිවෝස් එක නෙවෙයි දෙන්න වටින්නේ, අල්ලලා මුහුදට අතාරින්න!"
උදානි එතරම් දෙයක් පවසනු ඇතැයි නොසිතු මම ගල්ගැසී බලා සිටියේ මහත් වේගයෙන් කියවාගෙන ගිය ඒ වචන අසා සිටියේ බිරන්තට්ටු වෙමිනි.
"බයවෙන්න එපා.. මම යනවනේ!"
මධුලිකා හඬමින්ම එතැනින් එළියට දිවගෙන ගියාය. උදානි මා දෙස අසරණ බැල්මක් හෙළුවාය.
"තීක්ෂණ.... අනේ සොරි"
අප දෙදෙනා අතර වුයේ තත්පර කිහිපයක නිහඬ බවකි.
"....ඔයා අර අල්ලපු ඔට්ටුව..."
"හ්ම්ම්ම්... "
මට ඒ ගැන කතාකරන්නට උවමනා නැත.
".. මට මධු කිව්වා.... ඒකටත් වඩා අර ටාෂා...."
"දැන් ඒවා කතාකරලා වැඩක් නැහැ උදානි..."
"ඒ උනාට ඔයාගේ හිත මාරම හොඳයි... මම කවදාවත් හිතුවේ වත් නැති ගතිගුණ ඔයාට තියෙන්නේ"
මම කිසිවක් නොකීවෙමි.
මට මේ සංවාදය මහා හිරිහැරයක් බව දැනුනි. මධුට මම කෙතරම් ආදරේද යන්න දැන් කීමෙන් හෝ ඔප්පුකර පෙන්වීමෙන් වන වෙනසක් නැත. දහසකුත් එකක් වරදට වරදකරු වූ මගේ ආදරය මධුලිකාට පයට පෑගෙන දුහුවිල්ලකි. සුසුමක් ලයෙන් පිටව ගියේ ඉබේටමය.
"උදානි ගිහින් පොඩ්ඩක් බලන්න අරයව... මොකක් හරි කරගනී මෝඩ වැඩක්"
මම උදානිගෙන් මුහුණ ඉවතට හරවාගෙන කියා අවුල්වී ගිය ඇඳ පොරවන සහ ඇතිරිලි සකස් කලෙමි.
"එයාමයි මෙතන මහා අඩව්වක් ඇල්ලුවේ ඔයාට කරදරයක්ද දන්නේ නැහැ කියල... දැන් මෙහෙම... අනේ මන්දා මධු ඉස්සර ඔහොම නැහැ"
මම දකුණත දබර ඇඟිල්ලෙන් නළල තෙරපවා ගනිමින් තොල්පට විකාගත්තේ කිවයුත්තට වඩා නොකිවයුත්ත කියවේවි කියාය.
"එයා මාව හේට් කරනවා.. "
මම හුස්මක් ඇල්ලුවෙමි.
".... එයාව කටුනායකින් ප්ලේන් එකට නගිනකල්ම මම පරිස්සම් කරනවා. මට දැන් කරන්න පුළුවන් එච්චරයි.."
මම උදානි බලෙන් මෙන් දොර අසලට රැගෙන ගියේ උරහිසින් අල්ලාගෙනය.
".. ඔයා එයාට හොඳ යාලුවෙක්..."
උදානි හුස්මක් ඉහලට ඇද්දාය.
"අනේ..... සොරි තීක්ෂණ... මම තමයි... මම... ම.. ම.."
ඈට කතාකරගන්නට නොහැකිවූ හේතුව මම දනිමි.
"ඒවා මගේ අතීතය. ඔයා වැරදි නැහැ උදානි. මම මධුලිකා වගේ කෙනෙක් නෙවෙයි. මම කැමති නැහැ මේ වෙන්වීම වෛරයකින් කරන්න. අපි මේ කතාව හොඳම විදියට ඉවර කරමු"
මගේ කෘතීම සිනහව දෙස බලන්නට මෙන් උදානි එකවරම මගේ මුහුණ දෙසට හැරුණාය.
"මම තමයි මධුට ඔයාට කැමති වෙන්න එපා කිව්වේ.. මම ඔයාගේ නරකම තමයි කිව්වේ... මට සමාවෙන්න තීක්ෂණ!"
"හ්ම්ම්"
"ඔයා... එදා.. මධුව බලන්න හොස්පිටල් ආපු වෙලාවේ.... මිස්ටර් දුනුවිල එක්ක ෆෝන් එකෙන් කියපුවා මම අහගෙන... "
"............"
"ඔයා මධුගේ රූම් එකෙන් බෙහෙත් තියල ආපහු ආවහම ... මම ආවේ ඔයාට බනින්න.. ඔයා මාව දැක්කේ නැහැ... ෆෝන් එකෙන් කියපුව ඔක්කොම මට ඇහුන. මම ඒ වෙලාවේ තමයි හරියටම තේරුම් ගත්තේ, ඔයා මධුට කොච්චර ආදරේද කියල.. තීක්ෂණ... මධුට යන්න දෙන්න එපා "
උදානිගේ මේ හැසිරීම එනම් එබැවිනි. මට කාගේවත් අනුකම්පාව අවශ්‍ය නැත. මධුලිකා මගේ රුධිරය පුරා සරණ බව ඈට පැවසිය හැක්කේ කෙසේද? ඒ කුමක් වුවත් මධුලිකා ඇගේ අනාගතය සොයා යා යුතුය. ඇගේ පෙම්වතා ළඟ මිස මා සමඟ ඈට සතුටක් නොවේ. මම උදානිට රිසිසේ හඬන්නට හැර සුසුමකින් ලය සැහැල්ලු කරගත්තෙමි.
"ඒ වෙලාවේ වෙන්න තියන හොඳම දේ තමයි ඒ... මේ වෙලාවේ වෙන්න ඕනේ හොඳම දේ තමයි මේ වෙන්නේ.. වඩාත්ම වැදගත් දේ... මධුට කිසි කරදරයක් නොවී මේ හැම දෙයක්ම විසඳුන එක... "
උදානි සුසුම්ලන බව මට දැනුනි. දැන් කළහැකි යමක් නොවේ, සියල්ලම වන්නේ සුදුසු ලෙසය.
"..... දැන් දෙන්නම යන්න කාමරේට.. මධූ එක්කම ඉන්න. අර ඩිජේ එක තියෙන්නේ අනිත් හොටෙල් එකේ.. අපිට එහෙට යන්න වෙනවා.. ඒ හින්දා හත වෙනකොට කෑම කාලා ලොබි එකේ ඉන්න..."
උදානි මා වෙතින් ඉවත්ව යන්නට ගොස් ආපසු හැරුණාය.
"ඔයා හරි හොඳ කෙනෙක් තීක්ෂණ... ම.."
මම වේදනාත්මක සිනාවක් පෑවෙමි.
"උදේශ් එනවද? එයාටත් අපි එක්කම යන්න පුළුවන්"
උදානිට සිනහවක් නැගුණි.
**********************************************
රාත්‍රී ආහාරය ගන්නා මොහොතේ මධුලිකා සාමාන්‍ය තත්වයට පත්ව සිටි බවක් පෙනුනද, මම ඈ මගහැර කෑම ගත්තෙමි. කෑම ගැන උනන්දුවක් මට නොතිබිණ. භෝජනාගාරයට එන තරමගදී වත්තේ හිතවත් ව්‍යාපාරිකයෙකු ඔහුගේ පවුලේ උදවිය සමඟ හමුවූ බැවින් මම ඔවුනට මධුලිකා ගැන පෙනෙන්නට මම වෙනම ඉන්නට සිතුනා වන්නට හැකිය.
පපුවේ කොටසක් හිරිවැටි, හැඟීම් දැනීම් නොමැති ලෙසක් දැනේ. කෑම අතගාමින් මෙන් උන් මම සුප් දීසිය පමණක් නිමකලෙමි.
නාදුනන ඇමතුමක් පැමිණියේ ඒ අතරය.
"හෙලොව්?"
"තීක්ෂණ?"
"...ඔව්.?"
"තාම මේ නම්බර් එකද පාවිච්චි කරන්නේ?"
තරුණියකගේ කටහඩකි. මට හඳුනාගත නොහැකිය.
"මම..... උෂාධි... මතකද මන්ද...."
මම මතකය ඇවිස්සුවෙමි. නම මතක් වුයේ එවිටයි. මගේ සිතට අමුත්තක් දැනුනි.
"ආ... උෂාධි... කොහොමද? මොකටද මේ මාව මතක් උනේ?"
"ඔන්න බලන්න තීක්ෂණ.. ඔයා තාමත් කතාකරන්නේ ගහගන්න වගේ නේ.... මම මේ ඔයාව දැකල කතාකලේ... කෙලින්ම ඉස්සරහ බලන්න"
මම දුරකථනය කනෙහි රඳවාගෙනම හිස ඔසවා බැලුවෙමි. උෂාධි මට ඈතින් වූ මේසයක සිට මට අත වැනුවාය. උෂාධි යනු. දුරින් තාරුක අයියාට නෑකමක් ඇතිව සිට මා හා සම්බන්ධතාවයකින් පසුව අතහැරි එකල උසස්පෙළ සිටි සිසුවියකි. ඈ මට අවුරුදු දෙකක් වැඩිමහළුය.
තද දම්පාට ඇඟටම තදවූ කෙටි ගවුමකින් සැරසී උන් උෂාධි පෙරදා දකිනවාට වඩා පැහැපත්ව උන්නාය. මම අත නොවනා හිස නවා ආචාර කලෙමි.
"තනියමද ඉන්නේ? එන්න මෙතනට !"
පෙර සේම තවමත් ඈ පාලනය කරන්නට තැත් කරයි. දැන් සිටින්නේ ඒ තීක්ෂණ නොවුවද, මගේ පාලනය ඇත්තේ ඈ වෙත නොවේ. මම සිනාසී විතිතව එය ප්‍රතික්ෂේප කරන බවක් හිසින් දැක්වුයෙමි.
"මම දැන් කාලා ඉවරයි.... ලොබියට යන්න ඕනේ"
මම එසේ කියා , දුරකථනය විසන්ධි කොට ඇයට සන් කරමින් හෝටලයේ පිවිසුම වෙත යද්දී එහි හිඳගෙන සිටින උදේශ් දක්නට ලැබුණි.
"හලෝ මචන්... උඹ දැන්ද ආවේ... ආ.. තාම හතට ලං උනා විතරනේ.. ඒ දෙන්නා තාම කනවා මම හිතන්නේ"
මම උදෙෂ් වැළඳගනිමින් කිව්වෙමි. ඔහු ප්‍රියමනාප තරුණයෙකි. උදානි මදක් තරබාරු වුවද ප්‍රියමනාප බැවින් ඔවුන් දෙදෙනා ගැලපෙන ජෝඩුවක් යයි මම සිතුවෙමි.
"ආ.. නෑ මම මේ දැන් ආව විතරයි මචන්... මම කෝල් එකක් දුන්න.. මේ දැන් එනවා ..කිව්වා... ෆුල් අවුලෙන් ඉන්නේ.. එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් යන නිසා"
එය අලුතින් දැනගත්තාක් මෙන් මගේ සිතද රිදුණි.
"ආ... මම ඇඳුමක් දාගෙන එන්නම්.. ශෝටෙන් යන්න දෙන්නේ නැහැනේ බන් ක්ලබ් එකට"
මම ආපසු එන විටදී මගදී මට උෂාධි හමුවිය.
"කොහෙද අනේ .. යන්නේ... මම මේ ඔයාට කතාකරන්න යන්න ආවේ... මෙයා බලන්නකෝ ලස්සන වෙලා තියෙන තරම..."
"ආ.. මම මේ එළියට යන්න හදන්නේ..."
එලෙස කියන විටම මධුලිකාත් උදානිත් භෝජනාගාරය දෙස සිට ඇවිද එනු පෙනුනි. මධුලිකා මා දැක මා දෙසම බලාගෙන සිටියේ ඇයි ? ඇගේ මුහුණේ හැඟීමක් කියවාගත නොහැකි බවකි. එසේ නමුත් කෝපය නම් තිබුනේම නැත.
ගෙල දක්වා වැසුන, බොත්තම් පේලියක් සහිත කළු පැහැති කෙටි ගවුමක් ඇඳ සිටි ඇගේ සිරුර වාත්තුකල ප්‍රතිමාවක් වැනියයි මට එකවරම සිතුනි. අවුල් ලෙස සකසා ඇගේ මනරම් කෙස්කළඹ හිසට ඉහලින් ගැටගසා තිබිණ. කිසිදු ආලේපනයක් ගලවා නොතිබුණද ඇගේ තරුණ බුහුටි මුහුණ වඩා තියුණු ලක්ෂණ වලින් යුතුය.
'ගින්දර වගේ මධුලිකා '
සැනින් ඈ ඉවත බලාගත්තාය. උදානි මට අත වනමින් ගියාය. උෂාධි එය දකින්නට ඇත.
"හෝ.. හෝ......හ්ම්ම්ම්... තනියෙන් නෙවෙයි වගේ ඇවිත් තියෙන්නේ... ඒ උනාට එතනින් අර කළු කෙල්ල නම් වෙන්න බැහැ ඔයාගේ ගර්ල්... අනිත් එක්කෙනා නම් මහතයිනේ. .. නොට් යුවර් ටේස්ට්! "
උෂාධි තොල පෙරලා කියුවේ ඉරිසියාවට බව මට නොතේරුනා නොවේ. සැමදාම කිරිපාට කෙල්ලන් අතර උන් තීක්ෂණගේ හදවත සොරාගත්තේ කළු කෙල්ලක බව කවුරුන් විස්වාස කරන්නේද?
මට සිනා නැගුණි.
"නෑ.. කළු කෙල්ල තමයි...! එයා තමයි මගේ ගර්ල්..."
'කළු කෙල්ල' යන්නම උලුප්පා මම එලෙස කිව්වේ ඇයිදැයි මම නොදනිමි. උෂාධි ආපසු හැරී මධුලිකා උදේශ් සමඟ සංවාදයේ යෙදෙන අයුරු බැලුවාය. කුමක් හෝ කියමින් සිනාසෙන මධුලිකා මොහොතකට හෝ අප දෙස බැලුවේ නැත.
"බොරු! ඔයා කවදාවත් කළු කෙල්ලෙක්ට කැමති වෙන්නේ නැහැනේ තීක්ෂණ..."
ඊර්ෂ්‍යාකාර ඒ වචන වලට මට සිනාවක් නැගුණි.
"... ඔය දැක්කද.. ඒ කාලේ වගේමයි හිනාව.. බැල්ම.."
"පරක්කු වෙනවා මට.. ඉක්මනින් යන්න තියෙනවා"
මම ආපසු හැරුනෙමි. උෂාධි මා පසුපස එන බව මට වැටහුනේ අඩි ශබ්දය නිසා වුවද මම එය ගණනකට නොගෙන කාමරයට ගියෙමි. කාමරයට පිවිසෙත්ම සුදම්ගෙන් ඇමතුමක් ආවේය.
"කියපං"
"ආ.... අර අලුතෙන් ගත්ත සෙකියුරිටි එකේ ලොක්කා ඇහුවා අපේ වත්තටත් ඕනෙද කියල කට්ටිය. මොකද මම කියන්නේ?"
"මට කෝල් එකක් දෙන්න කියපන්.. මම කොහොමත් හෙට රෑ එනවා.... "
"කොහෙද බන් ඇත්තටම උඹ ඉන්නේ?"
"ඒකෙන් වැඩක් නැහැනේ... මම හෙට රෑ එනවා.. කොහොමත් ඩඩා ගේ ඩොක්ටර් appointment අන්දිද්දා උදේනේ.. එතකොට මම ගෙදර"
"තිකා... උඹ කෙල්ල එක්කද ඉන්නේ?"
මම එකවරම පිළිතුරක් නොදුන්නෙමි.
".... මට ටාෂාගේ අම්මාගේ එන පොට නම් හොඳ නැහැ කියල හිතුන තිකෝ.... උඹ මධු අක්කා ගැන කියපන්කො"
මගේ පපුව දැවිල්ලක් මෙන් දැනුනි. සුදම්ට මට පැවසිය නොහැක.
"මම ඒවා විසඳලා එන්නේ මචන්... එතකොට ඔක්කොම හරි"
මධුලිකා හෙට රාත්‍රියේ පිටවීමෙන් පසුව මේ සියල්ලම මම එකලාසයක් කල යුතුය.ටාෂාගේ ප්‍රශ්නයට මට කෙලින්ම පිළිතුරක් දීමක් කලයුතුය. තව දුරටත් හැංගිමුත්තම් කරන්නට ඕනෑකමක් නැත.
ඇමතුමෙන් පසුව මම ඉක්මනින් ඇඟ සෝදාගෙන , කලුපාට ලිනන් කමිසයට, ඉදිරියෙන් බොත්තම් පියවන කළුපාට කමිසය හැඳ කැටපත තුලින් බලමින් කමිසයේ දිගු දෑත් වැලමිට දක්වා නැමුවෙමි.
දර්පණයෙන් පෙනෙන මම දෙස බලාගෙන මම විමසුවේ... මධුලිකා අකමැති වන්නට තරම් මම සල්ලාලයෙක්ද? පෙම්වතියන් රැසක් සිටි බව සැබෑය. නමුත් මධුලිකා විෂයෙහි මගේ ප්‍රේමය ඒ සියල්ලටම වඩා වෙනස් බව ඈ දනී. ඇය සැබෑවටම එය දන්නවාද ?
මින් පෙර ඇසුරුකළ තරුණියන් මම රවටා නැත්තෙමි. ඔවුන් හා මා පැවැත්වූ සම්බන්ධතා සියල්ලම ඔවුන්ගේ අනුමැතියකින් තොරව මම කායික සම්බන්ධතාවයක් දක්වා ගෙනගොස් නැත. මම වරදක් කරන්නට ඇත, නමුත් එය මගේ වරදක් පමණක්ද?
නමුත් මධුලිකා ? ඇගේ ඒ ප්‍රේමය හුදෙක් ආරක්ෂාව පතා නම් ,එයින් ඔබ්බට මගේ වගකීමක් හැරුණුවිට සීමාවක් නැති බව ඈ මට ඔප්පුකොට හමාරය. ආරක්ෂාව හැරුණුවිට අය මගෙන් පෙරලා බලාපොරොත්තු වූ ප්‍රේමයක් නොමැත්තේද?
නිර්වින්දන එන්නතක් හදවතේ ඇනී ඇත්තාක් මෙනි.
මම පහලට එනතුරුම දෙවතාවක්ම උදානි මා ඇමතුවේ පරක්කු වන බව කියමිනි. අවසාන ඇමතුම දෙද්දී මම උන්නේ ඒ අසලමය. ඈතින් එනවිට නොදක, අසලට එනවිටම මධුලිකා මා දෙස බැලුවේ අමුතුම බැල්මකි.
"වෝව්...! අද නම් ඒ වගේම තමයි "
උදානිගේ කටින් පිටවද්දී මධුලිකා බොරුවට ඈට රවා , කොනිත්තා දෙදෙනාම එක්ව සිනාසුනහ. ඈ මගේ වේදනාවට සිනාවෙනවා කියා මට සිතුනත්, වෙඩි වැදුණු කුරුල්ලෙකු කෙඳිරි ගාන්නා සේ සෙමෙන් හඩක් පිටකර ගත්තෙමි.
"ඒ කවුද?"
"කවුද ඉතින් අර Enrique තමයි"
ඔවුන් කියන්නේ මගේ අන්වර්ථ නාමය පැමිණි ලෝකප්‍රසිද්ධ පොප් ගායකයා ගැනයි. මධුලිකා උදානිට වැලමිටෙන් අනින අතර මම කට කොනකට සිනාසී ඉස්සර වුයෙමි.
"Oh yes DJ තනුජිකා.!... here we cooooome!!"
තිදෙනාම කෙළිලොල්ව එකවර කෑගසුවෝය. මමද අග කොටසට එකතු වුයෙමි. අද දිනය ශෝකයෙන් බරව සිටීමෙන් ඇති පලක් නැත. එය කිසිවක් වෙනස් නොකරනු ඇත.
ජීප් රථය ගෙන ආ පසුව සුපුරුදු පරිදි උදානි සිය පෙම්වතා සමඟ පිටිපස ආසනයේ ගුලි වූ අතර මධුලිකා ඉදිරි ආසනයට ගොඩවුවාය.
විනාඩි හතලිහක පමණ ගමනක් නිසා මම වාහනය පාරට ගන්නට පෙරම රේඩියෝ චැනලය සුසර කලෙමි.
මධුලිකා සිනාසුනාය. මම ඇස්බැමි ඔසවා ඇයිදැයි ඇසුවෙමි.
"පිටිපස්සේ සද්දේ බාධාවක් නෙවෙයි නේ"
මටද සිනාවක් නැගුණි. මධුලිකා එවන් කවටකමක් කරනු ඇතැයි නොසිතු මම ඉන් පුදුම වීමි.
"ආව් ආව් ඈ.. ෆුල් හැපී එකේ නේද ඉන්නේ අද නම්"
මධුලිකා සෙමෙන් කිව්වාය. මම අන්දමන්දව ඈ දෙස බැලුවෙමි. අහස සේ ඈ වෙනස්වන තරම!
"මොකක්?"
"පරණ කැච් එකක් නේද අර පස්සෙන් ආවේ?"
මම නොසන්සුන් වුයෙමි. ගෑනුන්ගේ ඉව!
"ආහ්.... kind of"
මම බෙල්ල පිටුපස කසමින් කිව්වේ මවාගත් සිනහවෙනි. මධුලිකාගේ ඇස කෙලින්ම මා වෙත යොමුව තිබිණ.
"එයා අපිට රැව්ව රැවිල්ලට මට හිතුන "
මට ඇස අගින් ඇගේ බැරෑරුම් මුහුණ පෙනේ. මම ගානක් නොමැතිවාක් මෙන් රඟපෑවෙමි.
"....... මොකද කාමරේ ඉඳල එන්න ඔච්චර වෙලා ගියේ ? එයාට යන්න දෙන්න බෑ හිතුනද?"
'හම්මෝ මේ කෙල්ල හිතුවේ ඒ ටිකට මට උශාධි එක්ක පෙම්කලා කියාද? ඔහොම ඉරිසියාව තිබ්බම ඇති!'
මම නොපහන් බැල්මෙන් මධුලිකා දෙස බැලුවෙමි. 'කලින් සුද්දියෙක් අල්ලාගෙන හිටිය, මේ පාර මගේ පරණ එක්ස් කෙල්ලෙක්!' මධුලිකා සුසුමක් හෙළනවා ඇසුනි.
"... කමක් නැහැ... ඔයාට හොඳක් වෙන්න ඕනේ තීක්ෂණ"
සෙමෙන් මධුලිකා කීවේ එයමයි කියා විශ්වාසයක් නොවුනද මට ඇසුනේ එයයි.
ඉන් පසුව අප අතර කිසිම කතාබහක් ඇති නොවිය. මධුලිකා නොකඩවා whatsapp පණිවිඩ යවනු මම ඇස අගින් දුටුවද තනිවම සිනාසෙමින් සිටින ඇගෙන් එය විමසන්නට නොගියෙමි.
ඈ ලියන්නේ ඈ එනතුරු නොඉවසිල්ලෙන් සිටින පෙම්වතාට විය හැකිය.
'හෙට හවස වෙනකල් ඉවසගෙන ඉන්න බැරි පෙම්වතෙක්'
**********************************
විශාල ශාලාව තරුණ තරුණියන් සංගීත රිද්මයට නටමින් සිටියහ. ඇත්තටම ඒ DJ එක ඉතා මනරම්ය. ශාලාවට ඇතුල් වූ පසුව උදානි උදේශ් සමඟ කොහේ හෝ මාරු වී ගියද මධුලිකා මා අසල තාවර වෙමින් සිටියාය.
මධුලිකා සමඟ ඇවිද ආ මට දැනුනේ මහා ප්‍රේමනීය හැඟීමකි. එය කෙතරම් විකාරද? පහනක් වුවද නිවියන ආසන්නයේ මහත් ආලෝකයෙන් දිදුලනවා සේ, නිවියන ඇගේ ප්‍රේමය මට විඳින්නට අවශ්‍යව තිබිණ , ඔව්.. ඒ රෝමාන්තික පෙම්වතාගේ අවසාන හෝරා කිහිපය.
"can I offer you a drink?"
"sure !"
මධුලිකා ක්ෂණයෙන් කීවාය.
"මම දෙන්නේ සෝඩා විතරයි හොඳද මැඩම් ?"
මධුලිකා දසන් දක්වා සිනාසුනේ කුඩා දරුවෙකු මෙනි. මම ඇයට ලයිම් සෝඩා මොජෙටෝ ඇනවුම් කලෙමි.
"ආ.. ඇයි අද බොන්නේ නැද්ද?"
මධුලිකා උසැති පුටුවට නගින්නට උත්සහ කරමින් අසද්දී මට සිනා නැගුණි.
'කොට මොඩල්' මධුලිකා බුහුටි බැවින් පුටුවට නගින්නට නොහැකිය.
"නෑ.. ඩ්‍රයිව් කරන්න තියෙනවනේ"
"ආ...."
"........."
"එතකොට..."
මධුලිකා කියන්නට ආ දේ සිරකර ගත්තාය.
"කියන්න.. මොකද්ද කියන්න ගියේ?"
"නෑ මුකුත් නෑ !"
මම මධුලිකා දෙස හිස හරවා බැලුවෙමි. අප දෙදෙනාම තත්පර දෙකක් පමණ එකිනෙකා දෙස බලාගෙන උන්නෙමු. මගේ ඇස ඇගේ ඇසත් දෙතොලත් අතර මහා වේගයෙන් ඒ මේ අත ගියේ සරාගී බවකින් මගේ සිත උණුසුම් වෙද්දීය. එය බිඳුනේ අප දෙදෙනාගේ බීම ලැබුණු බැවිනි.
මධුලිකා කට දෙපසට ඇද සිනාසුනාය., දෑස වේගයෙන් ඇසිපිය සලයි.
" හැමදාම සතුටින් ඉන්න මධූ ඔයා"
මට එලෙස කියැවුණි. මධුලිකා බිරාන්ත වී මා දෙස බැලුවාය.
".. මම ඔයාව තරහ ගස්සනව. ඔයා අකමැති දේ කරනව. මට තරහ යනවා.. ඔයාගේ නිදහස මගේ ගාව නෑ... ඔයා එහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි"
මම පැවසුවේ ඈ අතට බිම වීදුරුව දෙන අතර ඈ දෙස එක එල්ලේ බලාගෙනය. මධුලිකා සිය විදුලිය විසිවන දෑස නොපියවා මා දෙස බලා සිටියාය. ඇත්තටම මට ඈ මේ මොහොතේ පිස්සුවෙන් මෙන් සිපගන්නට සිතුනි. නමුත්....
"අනේ දෙවියනේ.... මේ මධූ නේද?"
විදේශික තරුණියක් මර දුතිකාවක් මෙන් එකවරම කෑගසාගෙන අප අතරට පැන්නාය. මධුලිකා ඈ දෙසට හැරී විස්මයෙන් ඇළලී ගොස් ඈ වැළඳ ගත්තේ මහා හඬින් කෑගසමිනි.
'මේ කෙල්ලෝ නම් හොරනෑ වගේ!'
තවත් සුද්දියක් ඇයට එකතු වුවාය.
" ඔයාලා කොහෙද මෙහෙ...... මට කිව්වෙත් නෑනේ ලංකාවට එනවා කියල"
"ආ... ඒක හදිස්සියේ උනේ ළමයෝ... අපි ආවේ ගිම්හාන නිවාඩුවට.. "
"මරේ මරු ... මම හරිම ආසයි ලංකාවට.... ලස්සන රටක්.. උම්මා...."
ඔවුන් දෙදෙනා මධුලිකා බදාගෙන වැනෙන්නට වුහ.මම මදක් පසෙකට වීමි.
"එතකොට මේ කවුද මේ.......... අප්පා.... අපි මේ වැඩේ කෑවාද?? සමාවෙන්න සමාවෙන්න... මධු ඔයා මේ ඉන්නේ ඩේට් එකක නේද?"
තරුණියන් දෙදෙනාම ඉන්නේ බීමතින් බව මට වැටහුණි.
"න... න් නෑ නෑ එහෙම එකක් නැහැ.... මේ මගේ ඉස්කෝලේ යාලුවෙක්"
මධුලිකා ඔවුනට මා හඳුන්වා දුන්නේ ඒ ක්ෂණයෙන්. 'ඉස්කෝලේ යාලුවෙක්? එහෙනම් එහෙමද?'
"තීක්ෂණ.. මේ මගේ එංගලන්තයේ ඉස්කෝලේ යාලුවෝ... "
"ආයුබෝවන් "
මම ඔවුනට සිනාසී හිස ඇලකොට වීදුරුව ඔසවා ආචාර කලෙමි. දෙදෙනාම මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ එකිනෙකාට තුරුළු වෙමිනි.
"පොඩ්.........................ඩක් ඉන්න... මධු............................. මේ උඹේ හයිස්කුල් මස්කට් එක නේද?"
එකියක් මා දෙස බලා බෙරිහන් දුන්නාය. මධුලිකා බොහෝ කලබලව ඒ තරුණිය ආවරණය කොට සිටගත්තාය.
"හ.. න.. නෑ නෑ.. උඹලට වැරදිලා... ඒ එයා නෙවෙයි"
"...අඩේ... උඹ අපිට බොරු කියන්ඩ එපා.... ඇයි අපිට පින්තුරත් එව්වේ... ඇත්තටම උඹල දෙන්නා මේ ඩේට් එකක් නේද?"
මට සිනාව වලක්වාගත නොහැකි තරමකි. මධුලිකාගේ මුහුණ හොඳටම බෙරි වී ගොසිනි. ඈ තරුණියන් දෙදෙනා තල්ලු කරගෙන යන්නට සැරසෙද්දී තවත් තරුණියක් ඒ අසලට ආවාය.
"මේ බලපන් ජුලි.... මේ අර මධු එවපු හයිස්කුල් මස්කට් එක නේද? අර Enrique වගේ... මෙයා දැන් නෑ කියනවනේ..."
"ඔව් නේන්නම්... අපි..."
මම කවුළුවට බරවෙමින් සිනාසුනේ මධුලිකා පත්ව ඇති අපහසුතාවය දැකීමෙනි. මධුලිකා මුහුණ දෙක කරගෙනය.
"හරි ඔය ගෑනුලමයි ටික ටිකකට යන්නකෝ... මට මෙයත් එක්ක නටන්න තියෙනවානේ"
එසේ කියමින් මම බීම වීදුරුව එකවර හිස් කොට මධුලිකාගේ අතගෙන නර්තනය යෙදෙන බිමට පසෙකින් පිවිසියෙමි. මට සිනාව නවත්වාගන්නට නොහැකිය. මධුලිකා මුහුණ රකුසු ලෙසටමය.
"ඩාන්ස් කලාම ඔක්කොම හිතේ අමාරු නැතිවෙයි"
මම මධුලිකාගේ කනට කොට පැවසුවේ ශාලාවේ පිරුණු සංගීතයට නෑසෙන බැවිනි. අප දෙදෙනාගේ දෑස් අහේතුකව පැටලී ගියේය. රවන සැමවිටම මම සිනාසුනේ ඈ දෙසම බලාගෙනය.
තත්පර කිහිපයකට පසුව මධුලිකා ඉවත බලාගත්තේ යටිතොල සපාගනිමිනි.
ඉන්පසුව කිසිදු කතාවක් නොමැතිව මමත් මධුලිකාත් එකිනෙකාට ආසන්නයේ නර්තනයේ යෙදුනෙමු. මට ඒ මොහොතේ දැනුනේ කුමක්දැයි තවමත් මතකයක් නැත. කොපමණ වෙලාවක් මම ඇගේ ලෙලදෙන රටාවන් බලා සිටියාද කියා මට කෙසේවත් මතක නැත. වනදෙයක් වෙද්දෙන් කියා සිතෙන්නට ඇත.
ඈ වරෙක මා දෙස බලමින් මා අසලම නැටුවද , දෑසින් සහ අතින් මිස ගතින් අල්ලා නොගන්නට මම වැර වෑයම් කලෙමි. එකම වතාවකදී මම ඇගේ පිටට අත තබා තරමක් අසමතුලිතව වැටෙන්නට ගිය ඈ වාරු කරගත්තා යන්තමට මතකය. එලෙසම තුරුළු කරගන්නට ආ ආවේගය මම මහත් වෑයමෙන් වලක්වා ගත්තෙමි.
මම සිටියේ සිහිනයක පාවෙමින්ය. අවසන් සිහිනයක....
සෑහෙන වෙලාවකින් පසුව පිරිස අතරින් උදානි උදේශ් සමඟ මතුව ආ නිසා මම මධුලිකා ඔවුනට භාරකොට බීම ලබාදෙන කවුන්ටරය වෙත ගියෙමි. සිතට දැනෙන්නේ මහා පාලු මුසල බවක් වුවද කොහේ හෝ තිබෙන මෘදු මන්දහාසයක් මගේ මුවේ තිබෙන්නට ඇත. ඈ මා අසල රඟන විට දැනෙන්නේ ලෝකය අමතකව යන්නා සේය!
සීතල සෝඩා උගුර සිසිල්කොට ගලායද්දී මට මත්වන්නට අවශ්‍ය බව දැනුනද, එසේ කල නොහැකි බව මතකයට නැගුණි.
මධුලිකාගේ වෙන්වීම මට දැනෙන්නට පටන්ගෙන වන්නට ඇත. ඇගේත් මගෙත් අතීත සැමරුම් මා ඉදිරිපිට මැවෙන්නට වුයේ නිරායාසයෙනි.
මධුලිකා පාසල් කාලයේ මට ප්‍රේමයෙන් උන් බව ඈ මට පවසද්දී මම එදින පුදුම වූ තරමක්! ඇය එය ඇගේ එංගලන්ත මිතුරියන්ට කියූ බව ඇසීමෙන් ලැජ්ජාවට පත්වීම ගැන මම දුක් වුයෙමි. මා ගැන පැවසුවා නම්, ඔවුන් ඇගේ සැබෑ පෙම්වතාද හඳුනනවා ඇත. එබැවින් ඇගේ මා පිලිබඳ මතකය ඔවුන් විසින් ඔහු ඉදිරියේද මේ ලෙස පවසනු ඇති නිසා බිය වුවා වන්නට ඇත.
මම පසෙක වූ පුටුවකට හිඳගෙන හිස පිටුපස කොටසට බරකලෙමි. දෑස පියාගෙන සිටින මට මධුලිකාගේ මතකය මා අවුලට පත්කරන්නාක් මෙන් දැනුනි. ඇය නොමැතිව සිටීමක් තබා මොහොතක් නොදැක , දිනයක් හෝ වෙන්වයාමක් යනු කුමක්දැයි මම දැන් නොදනිමි. මේ උමතුවක්ද? මධුලිකාගේ වියෝව මට දරාගත නොහැකිද? ඒ අතින් මධුලිකා මට වඩා ශක්තිමත්ය.
සංගීතය මනරම් ගීත මවයි. මදින් මද මගේ සිතට අඳුරු දුකක් කාන්දුවනු දැනේ. ලය පුපුරා යන්නට මෙන් දැනෙන්නේ ඇයි ?
දෑස විවර කරද්දී මම දුටුවේ මධුලිකා පෙරකී විදේශීය තරුණියන් සමඟ කවයක් ලෙස සැදී මහා හඬින් සිනාසෙමින් ඉන්නා අයුරුය. ඇගේ සතුට එයයි.. මා අසළ කූඩුවේ තටු කපා දමන්නට යුතු කිරිල්ලියක නොවේ ඈ!
ඇයට මම ආදරය කරන තරම්!
මම පුටුවෙන් කෙලින්ව , දනිස් වලට බරදී දෝතින්ම හිස බදාගත්තෙමි. පරණ තීක්ෂණ මට අවශ්‍යව පවතී. කිසිදු තරුණියකට නොබැඳි, තමන්ගේ ගමන යන තීක්ෂණ කෙනෙකුට මිස තවදුරටත් ගැලවුමක් නැත්තා සේය. සිත තදකර ගතයුතුය. සෑහෙන වෙලාවක් මම එලෙස සිටියේ නොනවත්වා සිතට තරවටු කරමිනි.
දෝතින්ම මුහුණ පිසදාගෙන මම හිස ඔසවද්දී මධුලිකා , ඔවුන් සිටි මේසය මත හිස ගසාගෙන ඒ මේ අත පෙරලනු දුටු මට ඉබේටම නැගිට්ටුනි. අඩියට දෙකට එහි ගිය මට පෙනුනේ මධුලිකා අත ඇත්තේ මත්පැන් දැමු වීදුරුවක් බවයි. මම වහා එය උදුරා ගත්තෙමි.
"මධු......මධු..... මොකද ඔයාට.....? මොනවද මෙයා බිව්වේ....?"
වටකොට උන් තරුණියන් කිසිවකුත් ඇගේ මිතුරියන් නොවේ. මට තරු පෙනුනි.
".. මධු..... මධු..... මොනාද ඔයා බිව්වේ...?"
"ආඅ....... මමද.... මම මෙහ් එහෙම මුකුත් බිව්වේ නෑහ්..."
මධුලිකා හිස එසවූයේ වැනෙමිනි. ඈ අත තිබුනේ ජින් බව වහනය වන සුවඳින් කිවහැකිය. ජින් සමඟ වෙනත් දෙයක් බිව්වාද ?
මගේ යකා ඇවිස්සුනි. වටපිට බැලුවද ඇගේ මිතුරු තරුණියන් පෙනෙන්නට නොවීය. මම මධුලිකා මට වාරු කරගෙන පුටුවේ කෙලින්කොට ගත්තෙමි. ඈ ජෙලි පිඩක් මෙන් වැනේ.
"අප්පා..... මෙතන හරි දාඩිය..... මට දෙන්ඩකෝ කන්ඩ දෙයක්....."
මධුලිකා එතැන කවුන්ටරයේ කවුරුන් හෝ දමාගිය අලපෙති බැදුමකින් පෙත්තක් අතට ගත්තේ ක්ෂණයෙන්.
"ඊ.... දානවා ඕක බිම... මොන ජරාවද මේ කන්නේ?"
කටට දමාගන්නට ගිය එයට මම වහා අතින් ගැසූ නිසා එය බිම වැටුනද, මධුලිකා එය කනවාක් මෙන් සිය මුවට ඇඟිලි රුවාගත්තාය.
"මෙහ් මේ කෑම මෙලෝ රහක් නැහැ.. නෙහ්.."
මධුලිකා හිස ඔසවා මා දෙස බැලුවාය.
"....ආ...හ් මේ ඔයාද? අම්මටසිරි තව ඩින්ගෙන් මම බනිනවා මේක බුක් කරපු එකට.... සොරි ඈ... ඒම නෝටි නෑ මම හරිද?"
මට කියන්නට දෙයක් නොවුනි.
"... සුශ්.. මෙතන රස්නේයිනේ අප්පා..... දාන්ඩකො ඒසී... ශුස්"
මධුලිකා සිය වමතින් ගවුමේ ඉදිරි බොත්තම් පට පට ගාමින් ගලවන්නට වුවාය.
"පිස්සුද?"
මම වහා ඇගේ දෑත් පසුපසට කොට අල්ලා ගත්තෙමි. එකා දෙන්නා දැන් අප දෙස බලමිනි. කෙසේ හෝ වදෙන් මෙන් ගැලවූ බොත්තම් කිහිපයක් දමාගන්නට හැකි වුවත්, සියල්ල දමන්නට නොහැකි වුයේ මධුලිකා පරඬලක් මෙන් වැනිමත් , අත දමා නැවතත් බොත්තම් ගලවන්නට උත්සහ කිරීමත් නිසාය.
"... අනේ මට ඉන්න දෙන්නකෝ.... කෝ මගේ ග්ලාෂ් එක?"
දෑත් දෙපසට විසි කරමින් මධුලිකා නැගිටින්නට උත්සහ කරද්දී එතැන පුටුවක් පෙරලාගෙන ගියද, මම වහා ඈ වැටෙන්නට නොදී අල්ලා ගත්තෙමි. තත්වය අනුව ඈ මෙහි තබා ගැනීම එතරම් හොඳ නොවේ. මම එක අතකින් මධුලිකා මට වාරු කරගෙන උදානි ඇමතුවේ ශාලාව සිසාරා බලමිනි. දෙදෙනාගේම කිසිදු සලකුණක් නැත.
"... ආ.. මට කන්න දෙන්නකෝ මොනවහරි..... මට බඩගිනි... නේ..."
මම ඉක්මනින් ඇයට අලුතෙන් බදින ලද අල පෙති පිරිසියක් දුන්නෙමි. එයින් බාගයක්ම බිමට හැලෙන ලෙස පෙත්තක් ගත් ඈ කුඩා දරුවෙකු කන්නා සේ මුවට රුවා ගත්තාය.
".. එකපාරටම මේක රස උනානේ... අම්මෝ... මගේ කට දනවා... කෝ මගේ ග්ලාස් එක..."
"කට වහගන්නවකෝ.."
" අනේ මට ඉන්ඩ දෙන්ඩකෝ ඒයි "
එතනින් යන සියලු දෙනා දැන් මධුලිකාත් මාත් දෙස බලමිනි. මම වහා මධුලිකා ඉනෙන් අල්ලා මට වාරු කරගෙන ශාලාවෙන් එළියට ආවේ ඇදගෙන මෙනි. ඒ එන අතරතුර නැවතත් උදානි ඇමතුවද දුරකථනය ප්‍රතිචාර නොදැක්විය.
".. මෙහෙත්. රස්නේ අප්පා...."
මධුලිකා නැවතත් බොත්තම් ගලවන්නට සැරසේ.
" ගුටි කන්නේ මගෙන් ! පිස්සුද?.... මරනවා මම දැන්! "
ඒසේ කීවද මධුලිකා ඉන්නේ සිහියෙන් නොවන නිසා මගේ තරවටුව වලංගු නොවේ. මම මධුලිකාගේ දෑත් මා වටා දමාගත්තේ බොත්තම් වලට දෑත් යාම වැලැක්වීමටයි. ලොබියේ ඈතක සිට සේවකයෙක් මගේ අසරණ කම දැක මා වෙත හැල්මේ දිව ආවේය. මම මධුලිකා මා වෙතම වාරුකොට , සාක්කුවෙන් කාඩ්පත ගෙන ඔහු අත තැබුවෙමි.
"රැලේ පාකින් දැම්මේ... වාහනේ මෙතනට පොඩ්ඩක් ගෙනත් දෙනවද?"
"හරි සර්!"
සේවකයා වහා පිටත්ව ගියේය.
"තී.....ක්ෂ....ණ ඇයි මේ එයාපෝට් එකේ සෙනඟ නැත්තේ? අප්පා.... ප්ලේන් පේන්නෙත් නැහැනේ..."
මම සිටියේ නොනවත්වා උදානිගේ දුරකතනයට අමතමිනි. එය ක්‍රියාවිරහිතකොටය. මේ තත්වයෙන් මධුලිකා මෙහි තබාගත නොහැකිය. ඈ මිට පෙර මත්පැන් පානය කර තිබුනාද කියා පවා මම නොදනිමි.
ඊටත් ජින්!
අප සමඟ ආ උදානි දමා යන්නටද නොහැකිය. මධුලිකා දෝතින්ම මා බදාගෙන වැනෙමින් උන්නේ අඩවන් දෙනෙතිනි. ඈ ජින් කොපමණ බිව්වාදැයි මම නොදනිමි.
"මොන එකකට බිව්වද මන්ද... මීට කලින් බීල තියෙනවද?"
"ඈ... මොකක්ද... ආ... මීට කලින් මධුලිකා බීල නෑ.. මම දැනුත් බිව්වේ නෑ... මම බිව්වත් බිව්වේ මෙන්න මේච්චරයි.. චුට්ටම චුට්ටයි... වෙරි නෑ.."
" පිස්සු හෝන්තුවක් !"
"හරි වැඩක්නේ... ඔවාට පුළුවන් ජින් බෝතල් තියාගෙන බොන්ඩ... අපිට බෑහ්... ඒ මොකද ඒ... අපි ඉන්නේ equal rights තියෙන රටක.... සෑ සෑ... ඕව තමයි ෆෙමිනිසම් හොඳ.... ඕ .යේස්... මේ මධුලිකා බය නැහැ..."
එවිටම වාහනය හෝටලයේ පසෙක දොරටුව අසලට පැමිණියේය. ඒ වනතුරුත් මම උදානි අමතමිනි. වෙන විකල්පයක් නැත. මේ පිස්සුව ගෙනගොස් ඇරලිය යුතුය.
'මධුලිකාව අරගෙන මම හෝටලයට යනවා. මෙහෙ හොටෙල් එකෙන් කැබ් එකක් දාගෙන එන්න'
එසේ කෙටි පණිවිඩයක් උදානිට ලියු මම, මධුලිකා වත්තන් කරගෙන වාහනය වෙත ඇවිද ගියද එය පහසුවක් නොවූ නිසා මම ඈ හරහට ගත්තෙමි. ඈ සිටියේ වෙරිපිට බව කියන්නට මට සිහි නොවීම අවාසනාවකි.
"ෆ්ලයි...ට් එකේ තියෙන ඩ්‍රි........ර් න්ක් එකකුත් ඕනේ මට.... දැන් කීය වෙයිද අපි එහෙ ලෑ..............න්ඩ් කරනකොට?"
මධුලිකා දොඩවද්දී මම වාහනය වෙත ගිය අතර සේවකයා මට ඉදිරිපස දොර හැර දී, මධුලිකා ආසනයෙන් තබන්නට උපකාර කළේය. විවර වූ බොත්තම් තුලින්ද, කෙටි ඇඳුමේ එහෙ මෙහෙ වූ තැන් වලින්ද පෙනුණු මධුලිකා දෙස ඔහුගේ ඇස යොමුවනු දුටු මම වහා ඔහුව එලවනවා මෙන් දමා දොර වැසුවෙමි.
"හරි ඔය ඇති !"
රියදුරු අසුනට නැගුනු මම නැවත මධුලිකාගේ ආසනය කඩා ඈ වැතිරෙන ලෙස සකස්කොට ආසන පටි තද කලෙමි.
ඈ සිටියේ ඇස් වසාගෙන, කටින් හුස්ම අල්ලමිනි.
"මේ.. ෆ්ලයිට් වල හුස්ම ගන්ඩ බෑනේ..... තී.................ක්ෂණ... ඔයාහ් මොකද මේහ් ෆ්ලයිට් එකේ ඈහ් ?"
මම වාහනයේ වායුසමීකරණය ක්‍රියාත්මක කලෙමි.
".. හම්මා.... සනීපෙ...... ඇති යා......න්තම් තව ඩින්ගෙන් මම මැරෙනවාහ් ......."
මට සිනා නැගුණි. සෙමෙන් වාහනය පාරට ගන්නා විට , මධුලිකා කෙලින් වන්නට උත්සහ කලද ආසනපටි නිසා ඈ නැවතත් ආසනයට වැටුණි. සිය දෑතින්ම එවර ඈ ගෙලතෙක් තිබුණු බොත්තම් පේලියේ සෑහෙන කොටසක් පට පට ගාමින් ගලවා දැමුවද වාහනය පදවමින් සිටි මම ඈට රිස්සක් කරන්නට ඉඩහැරියේ වෙනත් කිසිවකුත් නොසිටි බැවිනි. බොත්තම් වලින් විවරව ගිය ඇගේ ළය , රතුපාට යටි ඇඳුම දුටු වහා මම පාර දෙසට නෙත යොමාගත්තෙමි.
පපුව පිටතට එන්නට තරමට ගැහෙයි.
".. නපුරා.... මෝඩ ආඩම්බරකාර නපුරාඅ..........."
මධුලිකා දොඩවයි. නෑසෙන තරම් දේවල් කියමින් දොඩවයි. කකුල් දෙක ඔසවා ඩෑෂ් බෝඩ් එක උඩ තැබුවත් සැනකින් ඒවා බිමට කඩාගෙන වැටුනේ කකුල් එතරම් දිග නොවූ නිසාත්, ඈ සිටියේත් අවසිහියෙන් නිසාත්ය.
".... මාව එපා කිව්වාහ්.... මාව අතෑ රියාහ් ..... !"
මධුලිකා අතොරක් නැතිව බනින්නේ කාටදැයි මට නිශ්චය කරගත නොහැක. මටද? නැතිනම් ඈ අතහැරි පෙම්වතාටද?
රාත්‍රිය නිසා පාරේ වාහන අඩුකමත් , මගේ නොසන්සුන් කමත් එක්ව විනාඩි දහයක් යන්නට මත්තෙන් අප සිටියේ නවාතැන් ගත් හෝටලයේ පිවිසුම අභියසයි.
"... තමුසේ... තමුසේ..... තමුසේහ් එහෙම කලේහ් ...... නැතිනම්... මෙහෙම වෙනවද මෝඩයෝ.....you son of the b*tch "
වාහනයෙන් බැස මධුලිකා වත්තන් කරගන්නට දොර හරිනවිට මධුලිකා හෝටලය දෙක වන්නට කෑගැසුවාය.
"ඒයි ! ඔල්මාදෙද කුණුහරප කියන්නේ? කට වහගෙන ඉන්නවා!"
කලබලය දුටු සේවකයෙක් පැමිණ මා අසල සිටගත් නිසා මම මෝඩ සිනාවක් දුන්නෙමි. ඒ පෙර මගේ කාමරයට ආ සේවකයාය. ඔහුගේ මුහුණ වික්ෂිප්තව ගොස්ය.
"මිස්ට... වෙරි නේද?"
"මේක රැලේ පාකින් දානවද..?. මට පොඩ්ඩක් කාමරේ , මිස්ලගේ කාමරේ යතුර අරගෙන දෙන්න... මෙයා ගාව නෑ යතුරක්"
"ඕකේ සර්..."
සේවකයා යුහුසුවුව අයෙකුත් වාහනය දුන් අතර කවුන්ටරයෙන් ඔවුන්ගේ අමතර යතුර ගෙන මා සමඟ හරි හරියට මධුලිකාගේ කාමරය වෙත ඇවිද ගියේය. වත්තන් කරගෙන එන්නට නොහැකි වූ නිසා මම මධුලිකා දෝතින්ම ගෙන ආවෙමි. ඈ මගේ බෙල්ල බදාගෙන කියවයි.
".. හම්මේහ්.... සුවඳ.... මේ ප්ලේන් එකෙන් යන්න බැරිද මෙයාහ්...."
සේවකයා කාමරයේ දොර විවර කොට දුන් පසුව ඈ පුටුවේ හාන්සි කර මම ඔහුට ස්තුති කොට පිටත් කලෙමි. ඔහුගේ මුහුණේ තිබුණු සිනහව මා ලැජ්ජාවට පත්කළේය.
දොර වසා දැමු මම කාමරයේ තිබුණු කුඩා ශීතකරණය විවර කොට මේ හෝන්තුවට වෙරි බස්සනට යමක් සෙව්වෙමි. ශීතකරණය හිස්ය.
'යකෝ මුන් දෙන්න පුදුමයි ෆ්‍රිජ් එක ඉතුරු කළා!'
කාමරය සිසාරා බැලු මට තවමත් දොඩවමින් සිටින මධුලිකා පෙනුනි.
"අන්නේහ්....... මෙහෙට එන්නකෝ ඉතින්..... මට මේ කෙහෙල්මල ඇඳගෙන ඉඳල ඇතිවෙලාහ්... රස්න්නේ....."
එසේ කියමින් දෑතින්ම මධුලිකා ගවුමේ ඉතිරි බොත්තම් ගලවන්නට වුවාය. වහාම කාමරයේ වයුසමිකරණයේ උෂ්ණත්වය වෙනස්කල මම දෑතම ඉනේ තබාගෙන කල්පනා කලේ කුමක් කරන්නද කියාය.
".. නපුරෝ... මෙහ් ! මට තිබහනේ ඉතින්..... බොන්න මොනාහරි දෙන්ඩකෝ අප්පාහ් "
පුටුවෙන් කෙලින් වන්නට ගිය මධුලිකා එතනම බිමට වැටුණි. මම ඈ අහුලාගත්තේ දෑතම ඇගේ බඳ වටා යවමිනි.
"...හ්ම්ම්ම්ම්. හ්ම්ම්ම්ම්"
මධුලිකා පුසෙකු මෙන් ගුලි වෙමින් , දෑත මගේ පිට පුරා යවමින් ,මට තදින් තුරුළු වෙද්දී මම කැළඹුනේ උගුර වියලි ගිය බැවිනි. ඇගේ වෙල්වට් වැනි ස්පර්ශය තරම් මා මත් කරවන්ට ජින් වලට නොහැකිය.
'මොනවා කරනවද මන්දා මේ පිස්සු හොල්මන'
මගේ දෑස ඈ වෙතින් ඉවත්ව කාමරයේ ඈත රැඳුනු අතර වේගයෙන් දෑස සැලෙනවා දැනුනි. මධුලිකා මා දෝතින්ම වැළඳගෙන අඩවන් දෑසින් මා දෙස බලා සිටිනු මට දැනුනි. සිත වේගයෙන් ඒ මේ අත දඟලයි.
"... කතාකරන්නකෝ ඉතින්.... බනින්ඩකෝ ඩිංගක්...."
".... නපුරෝ.... සුවඳයි ඒ උනාට.... හ්ම්ම්ම්.. හ්ම්ම්... අර ආසම සුවඳ... හ්ම්ම්.... එදා වගේ පිස්සුවෙන් කතාකරන්නකෝ.... මාව චුට්ටක් හුරතල් කරන්නඩකෝ...."
මධුලිකා කතාකරන්නේ කට උල් කරමිනි. සරාගී දෙතොල්!
"ක.. කවදද?"
"හුහ්... කවදද.....? අර කන සාක්කුවේ වැටෙන්ඩ බීල ආවේ... අන්න එදා....! මගේ පන කිව්වා.... ආදරෙයි කියලත් කිව්වාහ්.... මේම.. මේම ඉම්බත් එක්ක!"
මධුලිකා මගේ මුව දෝතින්ම තදකොට අල්ලා දෙතුන් වරක් මා සිපගත්තාය. අනපේක්ෂිත වූ ඒ ක්‍රියාවෙන් මම හොල්මන් වී ගියෙමි.
"ඔවෑක්කා ඒ උම්මා වල තිබ්බ ගඳ! "
මධුලිකා දෑතම නහයෙන් වසාගෙන පිටුපසට නැමුන නිසා මම නැවතත් දතකොට අල්ලා ගත්තෙමි. ඇගේ විවර වී තිබුණු ගවුම නිසා වාත්තු කල පරිද්දෙන් වූ සිරුර දැක දැකම මම ඉවසිල්ලෙන් තොල් විකාගත්තෙමි.
"... ඒ උනාට හරි නෑනේ! මම ඉතින් මේම මේම..... තුරුල් වෙලා හිටියා.... හ්ම්ම්.. හ්ම්ම්... ලෝබයිනේ ඉතින්.. හ්ම්ම්.... කෝ ඉතින් මට ආයෙත් පෙන්නන්ඩකෝ ඔය ෂර්ට් එක ගලෝලා.."
මදුලිකා මගේ කමිසයේ බොත්තම් වල එල්ලුන වේගයට බොත්තම් කිහිපයක් කැඩී ගියේය. මම වහා ඒ අත තව පහලට යන්නට නොදී තදකොට අල්ලා ගත්තෙමි.
"පිස්සූ කෙලින්න එපා මධු....!."
".....හ්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්... පිස්...සු...."
"දැන් ඔයා නිදාගන්න.... කෝ ඇඳට යන්න. අපි හෙට කතාකරමු "
මම මධුලිකා හරහට ඔසවා ඇඳ මතින් තබා කෙලින් වන විටම මධුලිකා මගේ කමිස කොලරයේ එල්ලුනාය.
".... තමුසේ... නපුරාහ් ...! මමහ් දැන දැනම ත......මයි තමුසෙව බැන්දේ... you son of the b*tch ! තමුසේ.... ලෝකේ.... කෙල්ලෝ ඔක්කොම එක්ක බුදියගත්තත් මට මොකෝ. මට යන්න දීපන් "
අතුල් පහරක් වැනි ඒ වචන වලට මට රිදුනේ උපරිම තාරතාවයෙනි. 'කවුද අල්ලාගෙන ඉන්නේ! යන එකනේ ඇත්තේ!!'
මම මධුලිකා දෑතින්ම කොලරයෙන් ගලවා දමා , ඇඳට තල්ලු කලෙමි. මධුලිකා පරඬලක් මෙන් ගොස් විසිවී ගොස් ඇඳ විට්ටමෙහි හිස වැදුනි. මධුලිකා වෙතින් සිහින් කෑගැසීමක් එද්දී, අනිච්චානුගව මට ඈ වෙත පැනුනේ ඉබේටමය.
"මධු! .... are you ok ?"
මධුලිකාට සිහිය තිබුනද ඈ වේදනාවෙන් ඒ මේ අත ඇඹරුනාය. ඇඳෙන් නැගිටින්නට වෙරදරන ඈ කෙලින්කොට මම තදින් තුරුල් කරගත්තෙමි.
"අයි ඈම් සොරි මධු...."
මධුලිකා මෑත්කර ඇගේ මුහුණ දෙස බැලු මගේ සිත මහා වේදනාවකින් මිරිකී ගිය නමුදු එක මොහොතින් දෑස විසල්කල ඈ මාවත් නැහැවී යන පරිද්දෙන් වමනය කළාය.
*********************** මතු සම්බන්ධයි *********************************
No comments:
Post a Comment
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි