Monday, July 19, 2021

264: සුහදිනියේ - 55 | සිල්ලම සිදුවෙමින් - විසඳෙමින්

කලින් කොටසට


 

මද වෙලාවකින් පසුව නානකාමරයට යන්තම් එබුනු  මම දුටුවේ දෙපා දිගුකොට බිම වාඩිවී උන් මධුලිකාය. ඇඟ සොදාගන්නට කියා නානකාමරයට තල්ලු කලද ඇය තාමත් මෙතනය.මට ආවේ කේන්තිය මුසු සිනාවකි.

"වොෂ් එකක් දාගන්නවා අයිසේ.... ! "

"මට ඉන්න දීපන් නපුරා...හ් "

මම වේගයෙන් අඩි තබා නාන කාමරයට පැමිණ ඈ කෙලින්කොට අල්ලා එලෙසම නාන කැබින් එකෙහි වතුර මල ඇරියෙමි.

".. අල්ලන්න එපාහහ් මාව........ අම්මොහ්.. සීතලයි....!"

එහෙත් මම ඈට සෙලවෙන්නට නොහැකි වන ලෙස තදකොට අල්ලාගෙන ජලයේ උෂ්ණත්වය වැඩිකලෙමි.

"ඈක්කා... මගේ ඇඟේ ඉඳල වමනේ... පිස්සුද ඕයි බැරි මගුල් බොන්නේ..? පුදුම වදයක්නෙ දෙන්නේ! ඔහොම ඉන්නවා දඟලන්නේ නැතුව! "

වතුර මලෙන් සේදී ගිය පසුව මමත් යන්තමට ඇඟ තිබුණු ඇඳුම් පිටින්ම සෝදා ගත්තේ යහමින් ෂැම්පු සහ බොඩි වොෂ්  දමමිනි. ජලයෙන් පෙඟී තිබුණු මධුලිකාගේ සිරුර මගේ දෑසේ රැඳුනේ වුවද , එය නොදැක ඉන්නට ගොස් මම සෑහෙන්නට කලබල වී සිටියෙමි. අතපය වැඩකරන්නේ නැති තරමකි. කොයි මොහොතේ හෝ උදානි මෙහි එනු ඇත.

"මෙන්න මේකෙන් පිහාගෙන එනවා, ඉන්නවා මම ඇඳුමක් දෙන්නම්"

මම තුවායක් ඈ වෙත දමා ගසා තවත් තුවායක් අතැතිව නාන කාමරයෙන් එලියට පැමිණියෙමි. මධුලිකා නානකාමරයට යවා ඇඳ මත තිබුණු සියලු ඇතිරිලි අකුලා පසෙකට කර කෙතරම් උත්සහ කලද ඇඳ පුරාම විසිරි ගොස් තිබුණු වමනය නිසා කාමරය මහා දුර්ගන්ධයකින් පිරී තිබිණ. මේ මැදියමේ හෝටල් පිරිසිඳු කරන්නන් ඇමතිය නොහැකිය.

මධුලිකාගේ ඇඳුම් තිබෙනවා යයි සිතිය හැකි බෑගයේ කලබලයට මට කිසිවක් සොයාගත හැකිවුයේ නැත. ඇඳුම් අතර තිබී පෙරදා මිලට ගත් අත් ඔරලෝසුව පමණක් හසුවී මම වේදනාවට පත්වූයෙමි.

එය ඇය විසින් ගෙනයන්නට සුදානම්කොටය.

මගේ ඇඳුම් උනා දමා මම තුවාය ඉන දවටාගෙන මේසය මත තැබූ මගේ දුරකථනය, යතුර සහ මුදල් පසුම්බිය ආදී අනෙකුත් භාණ්ඩ අතැතිව දොර අසලට ගියෙමි. නානකාමරයෙන් ඈ එනවා මෙන් දැනුනද මම  හැරුනේ නැත.

"..... බෑග් එකෙන් ඇඳුමක් අරගෙන ඇඳගන්න"

මධුලිකා කාමරය හරහා යනු දැනි දැනී මම දොරට අත තැබුවෙමි. සැකයට මෙන් ආපසු බලද්දී මධුලිකා තුවාය එක අතකින් අල්ලාගෙන නැවි ඇඳුමක් සොයන්නට තැත්කර එය අතහැර බිම හිඳගත්තාය. 

".....කොන්ඩේ තෙතට නිදාගන්න එපා..."

ඈ බිම වැතිරුනාය. මට සුසුමක් හෙලුනි. මෙහි රැඳීම අතිශය භයානකය. මම කෝකටත් කියා ඇගේ කාමරයේ යතුර ගෙන දොර වසා මගේ කාමරයට ගියෙමි. 

හිස යකාගේ කම්මල  වැනිය. නැවත හොඳින් ස්නානය කොට, කොට කලිසමක් හැඳගත් මම නැවත උදානි ඇමතුවෙමි. දැන් වෙලාව දොළහට ආසන්නය. පිළිතුරක් නැත. ඒ වෙනුවෙට ඇගෙන් කෙටි පණිවිඩයක් තිබුණු බව මම දුටුවේ දැන්ය.

'මම පරක්ක්කු වෙනවා. උදේශ් එක්ක එන්නම්'

මම නොසන්සුන් වුයේ එය එවා ඇත්තේ මීට මිනිත්තු දොහලහකට ප්‍රථම නිසාය. මධුලිකා කාමරයේ තනිවමය. මම බැල්කනියට ගොස් අනෙක්පස බැල්කනිය බලන්නට උත්සහ කලද මන්ද ආලෝකය නිසා කිසිවක් නොපෙනේ. 

එකවරම තරමක හඬින් කුමක් හෝ බර යමක් බිමට වැටෙනු මට ඇසුනෙන් මම අඩියට දෙකට මධුලිකාගේ කාමරයට ගියේ අවසිහියෙන් මෙනි. කාමරය  දුර්ගන්ධයෙන් පිරී තිබුණු අතර, මධුලිකා ඇඳ අසලබිම වාඩිවී උන්නාය. මට මහා දුකක් දැනුනි.

"මොනාද පෙරලුනේ..?"

කතා පෙට්ටිය වැසී මධුලිකා සිටියේ බිමට යොමාගත් මුහුණිනි. කොණ්ඩය විසිරි , අවුල්වී ගොස්ය. අසලට ගිය මට වැටහුනේ තවමත් ඈ සිටින්නේ තුවාය සමඟින් බවයි. කොණ්ඩය තවමත් තෙතය. 

ඇය මෙලෙස තව අඩ පැයක් සිටියෝතින්  කෙලවර වන්නේ රෝහලෙනි.

තවත් නොසිතු මම ඇගේ දුරකථනය තිබුණු කුඩා බෑගය සමඟ ඈ දෝතින්ම ගෙන මගේ කාමරයට රැගෙන ගියෙමි.

මගේ  බොත්තම් පියවන කමිසයක් අන්දවා මම ඇගේ කොණ්ඩය 'හෙයා ඩ්‍රයර්' එකට අල්ලා වියලද්දී මධුලිකා කිසිදු කතාවක් හෝ විරෝධයක් නොමැතිව අඩ නින්දෙන් මෙන් උන්නාය. 

"මොකද කතා පෙට්ටිය වැහිලද? වෙරි බැහැලද?"

මම අපහසුවෙන් නගාගත් මද සිනහවකින් කියා මධුලිකා දෙස බැලුවෙමි. හිස උඩ  යකුන් නටන්නාක් මෙනි. බීමත් ඈ ගිරවියක සේ කියවීම සුරතල් ලෙස මට දැනී නිරායාසයෙන් සිනහවක් නැගුණි. දැන් වෙරිමත සිඳී ගොස්ද?

ඈ උන්නේ කාමරයේ තිබුණු සෝපාවේ ඇන්දට හේත්තු වී වැතිරගෙනයි. ඇගේ  එක අතක් ඉහලට  එසවී,ඇගේ හිසට පසුපසින් වැටී තිබිණ. කමිසය තිබුනේ දණහිසට සෑහෙන්න ඉහළිනි. ඒ සියල්ල ගින්දර වී මම පුළුන් පොදක් මෙන් කරකුට්ටන් කරයි.

අවසිහියෙන් සිටින තරුණියක් බැවින් මම පුළුවන් උපරිමයෙන් සිත පාලනය කරගත්තෙමි. කෙතරම් වේගයෙන් මගේ සිත වැඩකලාදැයි පුදුම සිතෙන තරමකි. 

'තීක්ෂණ මේකි උඹව හේට් කරනවා'

'ඔහොම බලන්ඩ එපා බල්ලෝ... කෙල්ලට සිහියක් නෑනේ'

'උඹට පුලුවන්ද මේ කෙල්ලව යන්න අරින්න?'

'ටාෂා එක්ක වගේ වරද්දගන්න එපා බූරුවා'

ඉවසිය යුත්තේ මේ මොහොතේය. ඊටත් ඈ මා හැරයන්නට තව ඇත්තේ හෝරා කිහිපයකි.

 "...හ්ම්ම්ම්.... මට ඔල්ලුව රිදෙනවා... හ්ම්ම්ම්"

මධුලිකා කෙඳිරි ගෑවාය.

"මොනාද බිව්වේ? පිස්සුද හලෝ බැරි ගාතේ බොන්නේ...?"

මම මේසයේ සිට ඈ දෙස යන්තමින් බලා සිනාසුනේ ඈ කෝප කරවන්නටය. 

"මෙන්න.. මෙතන රිදෙන්නේ... මෙන්න මෙහ්.... "

මධුලිකා සිය ලයේ වම්පස මිරිකමින් කෙඳිරි ගෑවාය.

".... මට යන්න ඕනේ.... මේ ඔක්කොම දාලා යන්න ඕනේ.... ඉහි ඉහි.... ඔක්කොම දාලා..."

සිතට දැනුනේ මහා ශෝකයකි. ඇය මගෙන් නිදහස් වීමට කෙතරම් පතනවාද? 

"නිදාගන්න මධු.... ඉන්න මම උදව් කරන්න"

මම එලෙස කියමින් මධුලිකා වෙත ගොස් ඈ වාරුකරගෙන ඇඳේ එක පසෙක වාඩිකර , බ්ලැන්කට් මෑත්කොට දුන්නෙමි. ආපසු හැරුණු මම දුටුවේ ඈ එතැනම බිම බලාගෙන නොසෙල්වී සිටින අයුරුය. මම හැරුනේ  නිදාගැනීම සඳහා සෝෆාව වෙත යන්නටය. 

ඇසිපිය ගසන වේගයෙන් සයිඩ් මේසය මත තිබුණු මගේ ජින් බෝතලය ගෙන මධුලිකා කෙලින්ම කට තබා උගුරට හලාගත්තේ ඒ නිමේශයේය.

"පිස්සුද අයිසේ!?"

මුවට ගත් උගුර ඈට ඉස්මොල්ලේ ගිය අතර මම බෝතලය වෙත පැන්න වේගයට එය බිත්තියේ වැදීමෙන් බිඳී, මගේ අත කැපී ගියේය.

කැපිම නිසා ඇතිවූ දැවිල්ලට මට ඉබේම අත ගැස්සෙද්දී අවට ලේ බින්දු විසිරි යන්නට ඇත. 

"පුදුම හිතුවක්කාරකමක් තියෙන්නේ... ! දෙන්ඩ හිතෙනවා!!"

මම ඈ ඇඳ මතට තල්ලු කලේ බිඳුණු විදුරු කටු වලට තුවාල වනු ඇතැයි සිතුනු සිතුවිල්ලෙනි. ඈට මගේ කමිසය හසුවූ නිසා ඈ වැටෙද්දී ඒ වේගය දරාගත නොහැකිව අසමතුලිතව, ඊට ඉහලින් මමත් ලෙස අපි දෙදෙනාම ඇඳේ පෙරලි ගියෙමු. 

ඒ ක්ෂණයෙන් අනපේක්ෂිත ලෙස මධුලිකා මා දෝතින්ම මගේ හිස තදකොට අතිශය සරාගී ලෙස තදින් සිපගත්තාය. මගේ ඇඟ කිලිපොලා ගොස් මුළු ගතම අප්‍රාණිකව ගියාක් මෙන් විය.

සිදුවුයේ කුමක්දැයි මට නිනව්වක් නොවුනි. ගෙල පාමුලින් ඇරඹි ඒ රිදුම  සිරුරම වෙලාගත්තේ ඒ දීර්ඝ හාදුව අවසානයේය. නිරායාසයෙන් මම ඒ දෙතොල් වල යලි එල්ලී ගියෙමි. මගේ සිහිය එපමණකි.

"තීක්ෂණ......"

මධුලිකා කිහිප වතාවක් මගේ නම කෙඳිරිල්ලක් සේ මිමිණුවේ අතරින් පතර මට සිහියක් ලැබෙන විටදී වන්නට ඇත. 


************************************


 

කුමක් හෝ හේතුවකට මගේ ඇස් විවර වුයේ තිගැස්මක් සමඟය. සයනයේ මම සිටියේ සම්පුර්ණයෙන්ම මධුලිකා වසාගෙන මෙන් වූ අතර මගේ අත මධුලිකාගේ බඳ වටා තදින් තදවී තිබිණ. ඈ මට පිටදීගෙන ගුලිවී තද නින්දේ පසුවන්නීය. අපෙන් ගිලිහි ගිය ඇඳ ඇතිරිල්ල ඉහලට ඇද මම මධුලිකාගේ සිරුර වසා දමා දෑතට වාරුවී ඇඳේ හිඳගත්තෙමි.

මොහොතක් සිහි එළවාගෙන මම මගේ නළල තෙරපවාගත්තේ මම සිටින්නේ සිහිනයකද කියා සැකහැර දැනගන්නටය. 

නැත, මෙය සිහිනයක් නොවේ!

බාහුවත් පපුවත් පුරා සියුම් දැවිල්ලක් දැනේ. මම සයනයෙන් නැගිට තවමත් නින්දේ සිටින මධුලිකා දෙස බැලුවෙමි. ඉහලට එසවුණු ඇගේ බුහුටි මුහුණ ගුලිවී නිදන ඇගේ සුවපහසුව පෙන්වන කැටපතක් වැන්න. ඒ මුහුණ බලා ඉන්න නොහැකි තරමටම  සරාගී ය.

මම නානකාමරයට වැද උණු වතුරින් හොඳහැටි නාගත්තෙමි. බාහුවෙත්, පපුවේ ඉහල කෙළවරත් දත් පහරවල් නිසා රතුවී තිබුණු අතර ගෙල පාමුල නිය පහරින් සිරී තිබුණු නිසා දැවිල්ලක් හටගෙන තිබුණි.

මට සිනාවක් නැගුණි.

"පිස්සි!"

ඒ සැනින් මගේ සිනහව දියවී ගියේය. 

තව මොහොතකින් අවදිවන මධුලිකා ඉදිරියේ පෙම්වතාට වඩා පරණ තීක්ෂණ ආරක්ෂාකාරීය. මම වහා ඇඳුමක් දමාගෙන එලියට විත් බිඳුණු බෝතල් කටු අස්කර දමා කාමරය යම් පිළිවෙලක් කර දැමුවෙමි. 

මම වහා සේවා කොටසට ඇමතුමක් දී උදැසන ආහාරය මගේ කාමරයට එවන ලෙස ඉල්ලුවේ ඇයිදැයි  මම නොදනිමි.

අනතුරුව සෝෆාවේ හිඳගෙන, දෑත් වැලමිට දණහිසට බර  කරගනිමින්, මම මගේ දුරකථනය පරික්ෂා කරද්දී මගහැරී ගිය උදානිගේ ඇමතුම දුටුවෙමි. වෙලාව උදෑසන නවයට ආසන්නය.

'එයා හොඳින්ද?'

උදානි එවා තිබුනේ සිනාවන මුහුණක්ද සහිතවයි. මට සිනා නැගුණි. 

එවිටම දුරකතනයක් නාදවන ශබ්දයට බෝම්බයක් පුපුරනවා සේ ගැස්සී, උඩ විසිවී මධුලිකා කාටුනයක් මෙන් සයනයේ කෙලින් වුවාය. මගේ උගුරකට වියලි ගියේ මේ මොහොතට මා සුදානම් වියයුතු බැවිනි.

"අඃ "

මහත් ශබ්දයකින් මධුලිකාට හුස්ම හිරවනවා සේ ඉහලට ඇදුණු අතර ඈ පළමුව ඇතිරිල්ල තුලට හිස යොමා , දෙවනුව මුළු කාමරය පුරාම බැල්ම ගෙනගොස්, මා අසල නතරවද්දී මම මවාගත්  සොඳුරු සිනාවක් පා දුරකතනයට දෑස ඔබාගෙන ඉන්නාක් මෙන් රඟපෑවෙමි. 

දැන් දැන් විධාරණය වන්නට ආසන්න ගිනි කන්දකි. මධුලිකාගේ දුරකථනය තවමත් නාදවෙන්නේ මට ආසන්නයේ බිම වැටී තිබුණු ඇගේ පසුම්බියෙනි.

බිමට යොමාගත් මුහුණින් වුවද ඇසේ අගින් මධුලිකා සයනයේ ඒ මේ අත මහත් කලබලයෙන් කෙඳිරි ගාමින් මෙන් දඟලනු මට පෙනුනද, නොපෙනුනා සේ මම උන්නෙමි.

මම මධුලිකාගේ දුරකථනය අතටගෙන සයනයට විසිකරද්දී දුටුවේ ඇමතුම ඇගේ මිතුරිය මාරියාගෙන් බවයි. එය වැටුණු සැනින් මධුලිකා තිගැස්සී ගියද මා දෙස බැලුවේ නැත.

"breakfast වලට පහලට යන්න "

හැකි උපරිමයෙන් සන්සුන්ව එසේ කියමින් නැගී සිටි මම , බිඳුණු විදුරු කටු සහිත බෑගය හඬක් නොනැගෙන පරිදි ඔතා ගත්තෙමි.

නාදවන දුරකථනය ගැන වගක් හෝ නොමැතිව මධුලිකා දෝතින්ම මුහුණ පිස දමමින් හුස්ම අල්ලන බව මට ඇසුණු නිසා මම කෙලින්ම ඇගේ මුහුණ බැලුවෙමි. අපගේ ඇස් එකට ගැටුණි.

දෑස විසල්වී, බිරන්තට්ටු වී සිටි මධුලිකා වෙත දියයුතු පිළිතුරක් මට තිබුනේ නැත. ඇය දෝතින්ම ඇතිරිල්ල බදාගෙනය.

"ම..... ම... මොකක්ද උනේ?"

මම තත්පර කිහිපයක් ඈ දෙස බලා සිට අඩි කිහිපයකින් ඈ වෙත එද්දී මධුලිකා සිය දබර ඇඟිල්ල මා වෙත ලෙලවා කතාකලාය.

".. ළගට එන්න එපා තමුසේ...!"

මම ඇහිබැම ඔසවා නළල වමතින් තෙරපුවෙමි.

"ඔයාට ඊයේ වෙරි... ව.."

 මධුලිකා මහා හඬින් හඬන්නට වුවාය. කියන්නට ආ දෙය මගේ උගුරේ සිරවී ගියේය. මෙවන් අපහසුතාවක් මම කිසිදින විඳ නොමැත.

".. මධු..."

මම කැළඹීමෙන් උඩුතොල සපන්නට වීමි. පළමුව කිව යුත්තේ කුමක්ද?

"..එහෙම..."

"තමුසේ..... යනවා යන්න මගේ ඇස්දෙකට පේන්න ඉන්නේ නැතුව!"

"බොන්න කලින් එපැයි ඔය ටෝක් දෙන්න!"

මට එකවරම කියැවුණි.අඩියට දෙකට මධුලිකා අසලට ගිය මම මගේ දබර ඇඟිල්ල ඇගේ නළලට කෙලින්ම එල්ල කලේ ඈ දෙස රුදුරු බැල්මක් හෙළමිනි.

"තමුන් මේ ඉන්නේ මගේ කාමරේ... කෑම එක එයි කාමරේට! පිස්සෙක් වගේ දඟලන්නේ නැතුව ඒක කාලා මම එනකොට ඇඳුම් ටිකත් අරගෙන තමුන්ගේ රූම් එකට ගිහිල්ල හිටියොත් හොඳයි!!"

මම එලෙස කියා වහා කාමරයෙන් පිටව භෝජනාගාරයට ගියෙමි.

 ඒ දෙසට ඇවිද යද්දී උදානි ලොබි කොටසේ සිට මා  වෙත දිව ආවාය.

"අනේ තීක්ෂණ.... ! සොරි හොඳේ... ඊයේ මෙයාගේ යාළුවො වගයක් හම්බෙලා එයාලා එක්ක හොටෙල් එකේ කෑම්ප් ෆයර් එකක් බලන්න ගියානේ! අනේ මගේ ෆෝන් එකත් සයිලන්ට් දාලා තිබ්බේ... ඔයා ඉතින් මධුගේ ආරක්ෂකයානේ... මොකට බයවෙන්නද..."

"ඔව් ඔව්... මොකක් හරි ෆයර් එකක් කියල හිතුන!"

පසුපසින් උන් උදේශ් දෙස බලමින් මම ඉගී කරද්දී උදානි ජම්බු ගෙඩියක් සේ රතුව ගියාය.


 

"ආ.... එහෙමත් එකක් නම් නැත්තේම නෑ තමයි... එතකොට මචන් උඹේ ඔය බෙල්ල මුලට සර්පයෙක් ගැහුවද?... ආ මෙන්න අතත් හපලා ! මල කෙලියයි!!"

උදානි ඇස් විසල් කොට මොහොතක් මා දෙස බලා මහා හඬින් සිනාසුනේ උදේශ් වෙත තුරුල් වෙමිනි. මම තොල්පට පෙරලා , ඇස්බැමි ඔසවා හිස ඒ මේ අත වැනුවෙමි. ඇත්තටම  මම අනපේක්ෂිතව රතු වන්නට ඇත.

මධුලිකාට ලබාදුන් මගේ කමිසය නිසා මට අඳින්නට ඉතිරි වුයේ ගැඹුරින් අත් කැපුණු ආම්ස් කට් බැනියමක් පමණි. එයට මේ සියලු සලකුණු හොඳින් පෙනෙන්නේ මගේ පැහැපත් සම පරදවාය.

"අපිට යතුරත් නෑ....  ආයේ ඉතින් ඩිස්ටර්බ් කරන්නත් බැරි හින්ද.."

උදේශ් කීවේ උදානි සමඟින් හඬනගා සිනාසෙමිනි. වෙරි මරගාත මධුලිකා සමඟ මම කෑ කටුව දන්නේ මම පමණය.

"පිස්සු... එහෙම එකක් නැහැ!"

මම එලෙස කිව්වේ ඇයි ?

"මෙන්න මෙන්න.. කෝල් කරනවා!"

උදානි මධුලිකාගෙන් එන ඇමතුම කනෙහි තබාගත්තේ උඩපනිමිනි. නමුත් ඒ ක්ෂණයෙන් ඇගේ සිනහව වියැකී ගියේ මධුලිකා ගේ මේඝ ඝර්ජනාව නිසාය.

"ගොන් ඊරි ! තමුසේ කොහෙද ගියේ මේ වලත්තයට මාව බාරදීලා!"

කන්දෙක බිහිරි කරවන තරමට ඇසුණු සැනින් උදානි ඇමතුම විසන්ධි කරනවිටත් මට ඒ කොටස හොඳට ඇසුණු නිසා මම වදනකුදු නොදොඩා කෑම කන්නට යන දෙසට  හැරුනෙමි.

 *************************************************

 ".. අම්මා... පොඩ්ඩක් ඉන්න මම තව ටිකකින් ගන්නම්!"

මම එසේ කියා ඇමතුම විසන්ධි කොට ශබ්දය ඇසෙන දොර අසලට ගොස් සීනුව නාද කලෙමි. ඈතින් තිබුණු සෝෆාවේ සඟරාවක් වැනි යමක් බලමින් උදේශ් හිඳගෙන සිට මට අත වැනුවේය.

"Who is it ?"

කතාකිරීමත් ශබ්දත් එකවර නතරව කාමරයෙන් ඇසුනේ උදානිගේ හඬයි.

"it is me !"

 කාමරයේ නැවතත් බඩු පෙරලෙන හඬකි.

"එපා... ! Don't you dare open it!"

ඒ මධුලිකා බව මට හඳුනාගත හැකිය.

"Shut up Madhu..!"

තවත් ශබ්ද කිහිපයකට පසුව දොර විවරව උදානි සිටගෙන සිටියාය.

"Don't !"

"ඔයා එන්න තීක්ෂණ..."

මෙයට මම පිළිතුරු සැපයිය යුතුය. මම පියවරක් ඉදිරියට තැබූ අතර එයට පසුපසින් උදානි කාමරයේ දොර වැසුවාය.


 

කාමරයේ එහා අන්තයේ ජනේලය අද්දර මධුලිකා දෑතම බැඳගෙන මා දෙසවත් නොබලා ඔරවාගෙන සිටියේ කෝපයෙන් වෙව්ලමිනි. උදෑසන මම යැවු පණිවිඩයේ ප්‍රතිපලයක් ලෙස ගඳ ගසන ඇතිරිලි මාරුකර තිබුනද, කාමරය එකම අවුලකි.

උදානි මා අසලම සිටගෙන උන්නේ මධුලිකා දෙස අමනාපයෙන් බලමිනි.

"මොකද මෙතන වෙන්නේ?"

කිසිවකු පිළිතුරක් දුන්නේ නැත.

".. මොකද මේ බඩු පෙරලන්නේ... හොටෙල් එකේ මිනිස්සු බලයි"

"මධුට එයාපෝට් යන්න ඕනෙලු..."

උදානි නඩුවක් ලෙස පැවසුවාය.

"හවසට කොහොමත් පුළුවන්"

මම සැරෙන් මෙන් කිව්වෙමි.

"නෑ මෙයා දැන්ම යන්න ඕනේ කියනවා!" 

ඒ උදානිය. ස්වරය චෝදනාවකි.

"මට කාගෙන්වත් ඒකට අවසරයක් ඕනේ නැහැ!"

මධුලිකා  පැවසුවේ පොල්ලෙන් ගහන්නාක් මෙනි.මම මධුලිකා  දෙස තත්පර දෙකක් පමණ බලා සිටියෙමි.

"Can we talk ?"

"..............."

"alone? "

"No !"

මධුලිකා ජනේලය හැර බැල්කනියට ගියාය. උදානි කාමරයෙන් පිටතට ගියේ මගේ දෙස ආයාචනාත්මක බැල්මක් දමමිනි. 

මම වෙලාව බැලුවෙමි. දහවල් දෙකට ආසන්නය. මම මධුලිකා උන් බැල්කනිය දෙසට යද්දී ඈ මට සම්පුර්ණයෙන් පිටුපා දෝතින්ම මුහුණ වසාගෙන ඉකිබින්ඳාය. මම ඉන් සසල නොවුවා නම් නොවේ.

"මධු...."

"මට මගේ පාඩුවේ ඉන්න දීලා යන දේවාලෙක යන්න..මට කතාකරන්න ඕනේ නැහැ..."

"...."

"Send me the signed papers!!"

එය විධානයකි.

"ෆ්ලයිට් එක කීයටද?"

"අටයි හතලිහට... මට යන්න පුළුවන් කැබ් එකක් දාගෙන"

"මෙතන ඉඳල පැය බාගයක් නෑ... පහට හයට ගියාම ඇති"

"මට මෙහෙ ඉන්න බෑ ! මට යන්න ඕනේ..."

 "ඊයේ.... එහෙම මුකුත්....."

මධුලිකා ක්ෂණයෙන් ආපසු හැරුණාය. ඇගේ ඇස්වලින් ගලා ආ කඳුලින් මුළු මුහුණම පෙඟී, දෑස් ඉදිමි තිබිණ.

"මට මොනවත් අහන්ඩ ඕනේ නැහැ... !! එක වචනයක්වත් කිව්වොත් පනිනවා මේ බැල්කනියෙන්!!"

ඈ සිටියේ ඒ වචන කරනා තරමක ආවේගයෙන් බැවින් මම මගේ අදහස වෙනස් කරගත්තෙමි. ඇගේ වෙව්ලන දෙතොල් දෙස මොහොතක් බලා සිටි මම ආපසු හැරුනෙමි.

"දවල්ට කාලා ලෑස්තිවෙන්න , මම එයාපෝට් එකට බස්සන්නම්.. ඒක තමයි මගේ අන්තිම වැඩේ!"

"හුහ්... අන්තිම වැඩේ! ඕනෙම වැඩෙත් කෙරිලානේ... you bastard !"


 

"කාල ඉන්න"

 මම එලෙස කියා දොර අරින්නට ගොස් නැවතත් මධුලිකා දෙස බැලුවෙමි. මධුලිකා ඈත සිට මා දෙස බලාසිටියාය.

**************************************************

 වත්තේ සහ තාත්තාගේ අනෙකුත් සුළු ව්‍යාපාර වල ඇමතුම් අතර අතරමංවී උන් මට වැටහුනේ ඒ කිසිවක රඳවන්නට තරම් මානසික එකාග්‍රතාවයක් මට නොමැති බවයි.   මම සියල්ලම අවුල් කර නොගන්නට උත්සහ කරමින් උන්නේ මහා බැම්මකින් සැඩ රළක් වලකමින් මෙනි. 

ඇත්තෙන්ම මම උන්නේ මහා පල්ලමකින් බිමට වැටෙමිනි. කොයි මොහොතක හෝ එහි පතුලේ වැදී මගේ හිස සුනුවිසුනු වනු ඇත.

"ලොකූ ..... මේ ඔක්කොම පිළිවෙලක් වෙන්න ඕනේ.... ඩඩා එක්ක මම කතාකලා. ඔයා මේවා බාරගන්න ලොකූ.. මම අර වෙරෝනිකා එක්කත්..."

අම්මා එන්නේ පොල්පැලේට බව දන්නා මම වහා කතාව වෙනස් කලෙමි. මෙය දුරකතනයෙන් කතාකරන්නට ගියහොත් තවත් දරුණු වනු ඇත.

"අම්මා... මම හවස එනවා.. ඇවිත් කතා කරමුකෝ"

"ලොකූ ....මට හංගන්නේ මොනාද කියන්න? ඇයි කට්ටි පනින්නේ?"

"එහෙම එකක් නෙවෙයි.. අම්මා... පොඩ්ඩක් ඉන්න මම තව ටිකකින් ගන්නම්!"

මධුලිකාගේ දබරයට පෙර මම පසෙක තැබූ සංවාදය එලෙස විය. මේ එන්නේ ටාෂාගේ තොණ්ඩුවට බව මට දැන් පැහැදිලිව උපකල්පනය කලෙමි. ටාෂා සිය තීරණය වෙනස්කොට ඇත්තේ මධුලිකා මා හැරයන බව දැනිමෙන්ද ? නැතිනම් මට පිටුපාන්නට ඈ වෙනස්ව ගියාද?. මධුලිකා තුනී මිදුමක්ව මේ සියලු කඳු අතර මැකී වියැකී යන්නට නියමිතය.

මම හෝටල් කළමනාකාර වරයා හමුවී යම් කාර්යයක් කරගෙන, අනතුරුව හෝටල් බිල ගෙවා දැමීමට ගියද, එය සම්පුර්ණයෙන් මධුලිකා විසින් ගෙවා තිබිණ. 

එතැනදී තාත්තාගේ ව්‍යාපාරික මිතුරු පවුල හමුවූ නිසා මදක් ප්‍රමාද විය. ඈතින් පෙනෙන ලොබියේ මධුලිකා සහ උදානි බහින්බස් වන බව දුටු මම ඔවුන්ගෙන් සමුගෙන ඉක්මනින් ඒ වෙත දිව ආවෙමි.

"....I am done Madhu! you are such a cruel girl. you are completely insane!!"

උදානි දත්මිටි කමින් සිටි අතර උදේශ් ඈ සනසමිනි.

"පිස්සුද මෙතන මේ හොටෙල් ලොබි එකේ රණ්ඩු වෙන්නේ? හැබෑටම ඔල්මොරෝන්දම්ද?"

මම දෙදෙනාටම කීවේ පාලනය කරගත් කෝපයෙනි.

".. මෙතැන ඇඩ් දෙන්නේ නැතුව ගිහින් අර ඇතුලේ ගාඩ්න් එකට වෙලා ඉන්නවා මගේ යකා අවුස්සන්නේ නැතුව"

"තීක්ෂණ.... මොකද මෙයාට වෙලා තියෙන්නේ? කියන කිසි දෙයක් අහන්නේ නැහැ... ඔයාවත් පොඩ්ඩක් කියලා බලන්න.. මම යනවා උදේශ් එක්ක... මෙයා ගියාවේ කැබ් එකක ඔච්චර කුලප්පු නම්"

මධුලිකාගේ මුහුණ බැලිය නොහැකි තරමට සෝචනීය විය. ඒ පෙනුම මගේ හදවත කඩා දැමුවාක් මෙනි. මම ඈ දෙස බලා කිසිවක් නොකිව්වෙමි. මධුලිකා සිටින්නේ බිඳීගිය සිතෙනි. මම එය දනිමි. ඈ කලබල කරන්නේ ඒ වේදනාවට විය හැකිය.

ඊළඟ මොහොතේ උදානි මට මධුලිකා ගැන ගතු කියමින් දොස් කියද්දී මම කලේ ඈ සනසා උදේශ් සමඟ පිටත්කොට හැරීමයි.

"තීක්ෂණ ඇයි මෙච්චර මධු නපුරු වෙලා? කවදාවත් නැති තරමට!"

"ගණන් ගන්න එපා උදානි. එයා ඊයේ ආවේ ඩෝප් වෙලානේ"

මම අපහසුවෙන් සිනාසුනෙමි. උදානි පිටව ගියේ මධුලිකා සමඟ අමනාපයෙන් වීම මගේ සිත අපහසුවට පත් කළේය. මේ මොහොතේ උදානි මට කරුණාවන්ත වීමද විශ්මයකි.

ඔවුන් ගිය පසුව අපහසුවෙන් ඒ මේ අත බැලු මධුලිකාගේ බෑගය අතට ගත් මම ඇය ඇතුල් කොටසක තිබුණු රැඳී සිටින කොටසකට ගෙනගියේ ලොබියේ කිහිප දෙනෙකු ඈ දෙස බලමින් උන් නිසාය.

"මම වාහනේ අරගෙන එන්නම්"

ඉන් විනාඩි විස්සක අවෑමෙන් මමත් මධුලිකාත් ජීප් රථයේ නැග ගුවන්තොටුපල බලා යමිනි. වෙලාව හතර පසුවී ඇති සිකුරාදා සවසක නිසා පමණක වාහන තදබදයක් තිබිණ. මධුලිකා දුඹුරු පැහැ ,ලොකු බොත්තම් සහිත ගවුමක් හැඳ කොණ්ඩය ඉහලට කොට සිටියේ සඟරාවක සිටිනා නිලියක් මෙනි. නමුත් ඈ පිළිවෙලකට නොසිටීම පුදුමයකි. 


 

අප අතර කිසිදු කතාබහක් නොමැති නිසා මම ගුවන්විදුලිය සුසර කලද, එය එතරම්ම පැහැදිලි හඬක් නිකුත් නොකළේය. මම එය ඉබේ සුසර වන්නට දැමුවෙමි. තාරුක අයියා අමතයි. මදක් කල්පනා කල මම ගුවන් විදුලිය නවතා දමා එයට පිළිතුරු දුන්නේ වයර් සම්බන්ධ කිරීමෙනි.

"මචන්.. උඹ කොහෙද?"

"කොහෙද වැඩක් නැහැ.. කියපන්"

"අද නේද මධුගේ ෆ්ලයිට් එක?"

මම ජනේලයෙන් පිටත බලා සිටින මධුලිකා දෙසඇස අගින් බැලුවෙමි.

"හ්ම්ම්"

"උඹ නේද ගෙනිහින් ඇරලන්නේ ?"

"හ්ම්ම්"

"මොකද උඹ කෙඳිරි ගාන්නේ... හතිත් දානවද මන්ද"

"පිස්සු කෙලින්න එපා බන්... මම උඹට පස්සේ ගන්නම්"

මම ඇමතුම විසන්ධි කලද ඔහු නැවතත් අමතයි. මධුලිකා ඒ ඇමතුම දුටු බව මම දුටුවෙමි. ඇගේ බුහුටි මුහුණ...... පෙරදින සුසුමින් සහ හාදුවෙන් උනුසුම්වූ ඒ කොපුල් මා කළඹවා ලන බව මටම දැනේ.

පපුව තුල අධි බලැති බෝම්බයක් 'ටික් ටික්' ගානවාක් වැනිය. මධුලිකාට කිවයුතු යමක් තිබේ!

"තීක්ෂණ.... "

මම එයට තිගැස්සී බැලුවේ සිටි අව සිහිය නිසාය. ඇත්තටම ඈ මා ඇමතුවාද ? නැතිනම් හිතළුවක්ද ? ඉබේටම මධුලිකාගේ මුව මත දෑස සිරවුනි.

"... හෝන් ගහනව මිනිස්සු.. වාහනේ ගන්න"

මධුලිකා කීවාය. ඇත්තකි මම විදුලි එලි සංඥා අසල නවතාගෙනය. මම එයින් වමට හරවා ගුවන්තොටුපල මාර්ගයට ආවෙමි. ගමනට ගියේ පැය බාගයකට වඩා අඩුවෙන්ද? මම වෙලාව බැලුවෙමි. පහට ආසන්නය. මම වාහනය ආරක්ෂක අංශ වලට පරික්ෂාවට නතර කලෙමි.

"රට යනවද? ගන්න ආවද?"

"යනවා"

"දෙන්නම? "

"නෑ එක්කෙනයි..."

ආරක්ෂක අංශයේ උන්නේ තරුණයෙකි. ඔහු මගෙන් එසේ ඇසුවේ විහිලුවට බව පෙනෙන්නට මගේ උරහිසට තට්ටුවක් දැම්මේය.

"නංගි නම් නෙවෙයි වගේ නේද? ගර්ල් නේද සර්?"

තරුණ නිලධාරියා මධුලිකාගේ ගුවන් ගමන් බලපත්‍රයත්, මගේ රියදුරු බලපත්‍රයත් බලා ආපසු මගේ අතට දෙන ගමන් කිව්වේ සිනාවෙමින්. මම මෝඩ සිනාවක් පෑවෙමි.

"දුකයි වගේ නේ....... හි හි... එයි එයි ඉක්මනට බයවෙන්න එපා"

එයට එකතු වෙමින් අනෙක් තලතුනා නිලධාරියා කියූ දේ මධුලිකාට ඇසුනේ නැත. එයින් රිදුනේ මමයි. ඇය යන්නේ එන්නට නොවේ. මෙය හැරයාමයි !

අනතුරුව මම රථය ගොස් පිවිසුම් පර්යන්තයේ නතර කලෙමි. මධුලිකා ඉදිරිය බලාගෙන සිටිද්දී මම පසුපස තිබුණු ඇගේ බෑගය ගෙන බිමින් තැබුවෙමි. ඉන්පසුව හූරගෙන යන සිතින් යුතුව මගේ බාගයේ පිටත පොකට්ටුවේ තිබුණු ෆය්ල් කවරය අතට ගෙන, ආපසු හැරෙද්දී මධුලිකා මා පිටුපසිනි.

"මෙන්න ඔයාගේ පේපර්ස් ටික"

මම සිනාසුනෙමි. ඈ කිසිවක් නොකියා එය අතට ගන්නාවිට වෙව්ලන දෙතොලින් යුතු මුහුණේ ඇඳුනු හැඟීම මම කියවාගත නොහැකිය.

නමුත් අපි හුස්ම අල්ලාගෙන එකිනෙකා දෙස බලාගෙන උන්නෙමු.

වෙනත් වාහනයක දොරක් වැසෙන හඬින් දෙදෙනාගේම දැහැන බිඳිණි. 

".. ම... ම... ඔයාව ඇරලවන්න එන්නද?"

මගේ වචන පිටවුයේ කඩින් කඩය. 

"හ්ම්ම්"

"මම වාහනේ දාලා එන්නම්... ඉන්නවද?"

"හ්ම්ම්ම්"

මම ජීප් රථයට නැගුනෙමි. පපුව මහත් වේදනාවකිනි. මට මෙයට මුහුණදිය නොහැකිය. වාහනය රථගාලට ගෙනගියේ කෙලෙසදැයි මම නොදනිමි. එහි වූ කණුවකට රිවස් කොට වාහන බඳේ කොටසක් සීරි ගියේය. මට එය දැනුනේ නැත. තත්පර කිහිපයක් සුක්කානම මත හිස හොවාගෙන සිට මම වැර වෑයමින් බිමට බැස්සෙමි.

'මට එකපාරක්වත් ආදරේ කලේ නැද්ද මධු?'

මට එය අසන්නට අවැසිය. එයට පිළිතුර 'නෑ ' වනවාට මම දැන් කැමතිය. රථගාලේ සිට එනවිට මධුලිකා සිටියේ දුරකතනයට පිළිතුරු දෙමිනි. මා දුටුවනම ඈ ඇමතුම විසන්ධි කළාය.

"... මිස්ටර් වාකිෂ්ඨ"

මධුලිකා මහත් අපහසුවෙන් සිනාසෙමින් ඇගේ ඇමතුම පැහැදිලි කරද්දී මම තවත් රිදුනෙමි. මගේ අණසක තුලින් මිදෙන්නට ඈ දැරූ අරගලයක්!

මම ඇතුළුවීමේ පර්යන්තයට යන්නට ලැබෙන තාවකාලික ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා තුරු මධුලිකා එතැන රැඳුනාය. තාරුක අයියා මා අමතයි. මම එය විසන්ධි කලෙමි. 

සෙමෙන් ඇදගෙන යන ඇගේ බෑගය මම මගේ අතට ගත්තෙමි. මධුලිකා මා දෙස මෘදු බැල්මක් හෙළුවාය. ඇගේ මුහුණ ඔපවත් වී ඇතිද?

ඇතුලට ගොස් මගීන් රැඳී සිටින කොටසට යනතුරුම අප දෙදෙනා ගමන් කලේ එකිනෙකාට සමාන්තරවය. එසේ ගොස් මධුලිකා ආසන පේළියක පිටුපසම කොනේ හිඳගත්තාය. මම ඈ අසල මගේ අත තිබුණු ඇගේ බෑගය නතරකොට, එහි අල්ලාගෙන ආ කොටස හකුලා දැමුවෙමි.


 

මම සිටියේ සිටගෙන දෑතම සාක්කුවල රුවාගෙනය.

"මධු...."

"හ්ම්ම්ම්"

"මගේ අන්තිම ප්‍රශ්නේ...?"

මධුලිකා තොල් මුව තුලට දමාගෙන තදින් පියාගත්තාය. ඇගේ මුහුණ බිමට බරවිය.

".... ඒ ප්‍රශ්නේ මම ඉල්ලලා අස්කර ගන්නවා..මොනවා උනත්, පොඩියටවත්  මාව මතක තියාගන්න එපා "

මම ඇගේ මුහුණ නිකටින් අල්ලා එසවුයෙමි. මගේ හදවත ගැලවෙන්නට ආසන්නයේය. හිස යකාගේ කම්මලකි. මට අවශ්‍ය වුයේ ඈ නිදහස්කොට යවන්නටයි. ඊටත් වඩා පලා යන්නටයි.

'මට සමාවෙන්න මධු...!'

මගේ සිත කීවද එය මුවින් පිටවුයේ නැත. මම ඇගේ ඇසින් රූරා හැලෙන කඳුළු පිසදැම්මේ මහපට ඇඟිල්ලෙනි.

".. ඔයා සතුටින් ඉන්න ඕනේ ළමයෙක්.. මම වගේ ..... "

මට ඉතිරි කොටස කියවුනේ නැත.

බරැති සුසුමක් මගෙන් පිටවූ අතර මම දුරකතනයෙන් මගේ මිතුරා ඇමතුවෙමි.

"මචං... ?"

"ඔව් කියපන්.... කොහොමද? අද නේද ෆ්ලයිට් එක කිව්වේ.. මම බැලුව... උඹල එනකොට හතට විතර ආවහම..."

"නෑ මචන්.. මට වෙන ගමනක් වැටුන නිසා කලින්ම ඩ්‍රොප් කළා.. පොඩ්ඩක් බලන්න පුළුවන්ද? මම කිව්වා වගේ ලේඩි ඔෆිසර් කෙනෙක් නේද?"

"ආ.. මෙච්චර කලින්? ඒ මොකද බන්...? ඔව් මචන්...... මම ඔක්කොම ලැස්ති කළා... ආ.. හරි.. අවුලක් නැහැ... මම එන්න කියන්නම්.. කොහෙද උඹ ඉන්නේ?"

"වේටින් ඒරියා එකේ ඉන්නේ"

"හරි මම එන්න කියන්නම් එයාට... මම උඹේ නම්බර් එක දෙන්නම් එයාට"

"හරි"

මම ඇමතුම විසන්ධි කලෙමි. මධුලිකා දල්වාගත් දෑසින් මා දෙස බලා සිටිනවා දැක දැකම මම ඈට පිටුපා දුරකතනයට හිස ඔබාගෙන උන්නෙමි. මට මෙයට මුහුණ දෙන්නට නොහැකිය.

විනාඩි කිහිපයකින් නොදන්නා අංකයකින් ඇමතුමක් පැමිණියේය.

"හෙලෝ?"

"මිස්ටර් තීක්ෂණ. මම මේ අර මිස්ටර් වෙත්තසිංහ කිව්වා අර ගෑනු ළමයෙක්ව.."

"ආ ඔව්.. අපි දැන් ඉන්නේ වේටින් ඒරියා එකේ. කවුන්ටර් එක ගාව "

එවිටම ඈතින් නිල ඇඳුම් හැඳගත් තරුණියක් මට අත වනනු පෙනුනේ ගුවන් තොටුපලේ සෙනග අඩු නිසාය. ඈ ඉක්මනින් ඇවිද ආවාය.

"මේ මිස් තමයි ෆ්ලයිට් එකේ යන්නේ... මධු.. මේ මිස් කස්ටම් එකේ වැඩකරන්නේ. ඔයා ප්ලේන් එකට නගිනකල් බලාගනී. බයවෙන්න දෙයක් නැහැ"

"ෆ්ලයිට් එක තියෙන්නේ රෑ අටයි ගානකටනේ.. කලින් වැඩිනේ සර්! ඒත් ඉතින්  කමක් නැහැ මෙයාව මම මගේ ඔෆිස් එකේ තියාගන්නම්.. මම ඔෆ් වෙලා යන්නේ නැතුවම හිටියා සර් මට කලින් කියල තිබ්බ නිසා. යමු මිස්"

මධුලිකා වික්ෂිප්තව මා දෙස බැලු අතර මම ඈට කලබල නොවන්නට කි බැවින් ඈ සන්සුන් වුවාය.

"මට ඔයාව දාල යන්න බැහැනේ ඔච්චර වෙලාවක් එයාපෝට් එකේ. හ්ම්ම්.. මේකේ කස්ටම් ඔෆිස් එකේ ඉන්න මේ ගෑනුලමයා මම දන්නවා.. බයවෙන්න එපා... ඔයා එහෙ මෙහෙ ඇවිදිනවට වඩා ඒක සේෆ්! හොඳද.."

මධුලිකා හඬන්නට මෙනි. ලය වේගයෙන් උස්පහත් වෙයි. ඇයගෙන් එවන් සමුගැන්මක් අවශ්‍ය නැති නිසා මම බොරුවට සිනාසී වහා ආපසු හැරුනෙමි.

මධුලිකා ගල්භිතව මෙන් බලා උන්නාය.

"......හිනාවෙලා ඉන්න... අඬන්න ඕනේ නැහැනේ දැන්... ඔයාව තරහ ගස්සන්න මමත් නෑනේ... ඔයාගේ තාත්තා වෙනුවෙන් ඔයා ශක්තිමත් වෙන්න ඕනේ! හ්ම්ම්ම් හොඳද... ? දැන් යන්න.. තව වෙලාව තියෙන හින්දා ඕනේ නම් පොඩි නැප් එකක් දාන්න"

මම ඒ ඇස් මගහැර කිව්වෙමි. මම කතාකලා වැඩිය.

හිස මුදුනට තට්ටුවක් දැමු මම ආපසු හැරුනේ ස්ථිරසාරවය. හදවත පුපුරා යන්නට පෙර නැවත වතාවක් හෝ මම හැරී නොබලා ඉක්මනින් දුවගොස් මම නැවතුනේ රථ ගාලේය. මගේ නහරයක් පුපුරනවා නියතය.

'Sorry about the night, but I did not do anything to you baby. Nothing without your consciousness. Have a safe flight. Have a grate life. Do not call this number again'

විස්වාස කරන්න, මම එසේ ලියා යැව්වෙමි.

එතැන් සිට නිවස දක්වා මම රථය පදවාගෙන ආවේ කොයි ලෙසකටද කියා මට කිසිම සිහියක් නොවුනි. පාරේ කිහිප වරක්  අනතුරු වන්නට ගිය බවත් දෙතුන් දෙනා මට බැනවැදුණු බවත් පමණක් යන්තමට මතකය.

ලෝකය ගිලාබසින මොහොතකදී එයින් පලායන්නාක් මෙන් මම මරු විකලෙන් පැමිණ නිවසේ රථගාලේ නතර කරනවිට , පයින් ආවාක් තරමට මම හති හලමින් උන්නෙමි. එන අතරමග තාරුක අයියා මට නොනවත්වා ඇමතුවද , කිසිදු කතාවකට මානසිකව සුදානම් නොවූ මම එයට පිළිතුරු දුන්නේ නැත.

වාහනයේ දොර මහා හඬින් වසමින් රථයෙන් බැස වේගයෙන් නිවසට ඇතුළු වූ මගේ පෙනුමෙන් සාලයේ උන් සුදම් සහ මැණිකා බියට පත්වූ බව පෙනුණද , ඒ වගක් නොමැතිව මම කෙලින්ම ඉහල මාලයට ගියෙමි.

මගේ කාමරයේ දොර විවර කරන විටම සුදම් මා පසුපසිනි.

"තිකා?! මොකද්ද අවුල??"

"පාඩුවේ ඉන්න දීපන්.. !දොර ඇරියොත් උඹ මගෙන් මැරුම් කනවා !!"

මම දඩාස් ගා මට පසුපසින් දොර වසා දැමුවෙමි.

 

************************* මතු සම්බන්ධයි *********************************

6 comments:

  1. අපේ හදවත් නැවතිලා තියේන්නේ,,, ලස්සනට ලියනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ආවට සහ කමෙන්ටුවට

      Delete
  2. ඈක්කා.. වමනේ. අසරණ හෝටල් සේවක මණ්ඩලේට අබ සරණයි. මහ පිස්සු විකාර දෙකක්. මෙවුන්ගේ හැදියාව නම් අන්තිමයි. චික්. යන්න වෙන්නේ නැති වෙයිද මන්ද? එක්කෝ ගියොත් ඒත් හොන්දයිත් වගේ. මේ ඒක නෙවෙයි සුහදිනි අක්කෙ. මධූ ඔයතරමටම ලස්සනද හැබෑට? අපි දන්නවා දැන් තීක්ෂණ නම් එන්රිකේ අන්කල් වගේ. මධූ වගේ ඇන්ටි කෙනෙක් නැද්ද අපිට නිකන් පෙනුම උපකල්පනය කර ගන්න. :D කිව්වත් වගේ ඔයා නියමෙට ලියල නම් තියෙනවා. ලියවිල්ල කොච්චර හොඳද කියනවා නම් මට උදේට කන්නත් බැරි උනා වමනේ ගඳ ඇවිත්. මරු ඈ.

    ReplyDelete
    Replies
    1. වමනේ දැම්මේ කලින් කොටසෙනේ. ඊට පස්සේ කියෝලම නැහැ වගේ... එක්කෝ තාම නානවද ගඳ යන්න?

      මධුලිකා කියන්නේ සුදු කෙල්ලෙක් නෙවෙයි.. කළු කෙල්ලෙක්.. ලස්සන කියන්නේ ඉතින් සාපේක්ෂයි නේ.. ඒ හින්දා තමන්ම මවාගත්තොත් තමයි හොඳ.. එයාගේ පින්තුර වැඩිය පාවිච්චි කලේ නැහැ කතාවේ නම්.. ඉන්නකෝ බලන්න පින්තුරයක් වත් දාන්න

      Delete
  3. සිහ්!. අර ඕඩිකොලොන් වගේ ජින් ජරාව බොන්ඩ ටොනික් බෝතලයක්වත් තියල නෑනේ මේකා.
    එකත් එකටම අම්මට අහු නොවෙන්ඩ ඩිංක් එක දාන එකෙක්.


    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හි හි හි
      ඔවෑක්කා ජින්!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...