අපගේ කතාබහ ඇසුණු සැනින් මධුලිකා එකවරම තිගැස්සී ගියද කිසිවක් නොකියා මුව තදින් පියාගන්නවා පෙනුනි. මම ඔවුන්ට කාමරවල යතුරු ගන්නට ඉඩදී , ලොබියේ වූ පුටුවකට බරවිමි. මේ මොහොතේ තීක්ෂණ නම් තරුණයාට වී ඇත්තේ කුමක්ද කියා මටද වැටහීමක් නැත්තාක් මෙනි.
'මධුලිකාව නිරුපද්‍රිතව ලංකාවෙන් පිටත්වෙනකල්, එයාගේ වගකීම තියෙන්නේ මගේ අතේ'
මා තුල උන් තීක්ෂණ කියයි.
'ඒ උනාට උඹෙන් ඩිවෝස් වෙන්න ඕනේ කියන කෙල්ලගේ වගකීමක් මොකටද යකෝ උඹ ගන්නේ?'
මා තුල සිටින වෙනත් කෙනෙක් අසයි. මම ඔහුගේ කටට ප්ලාස්ටරයක් අලවා විසිකොට දැමුවෙමි.
උදානි මා දෙස හොරැහින් බලමින් සිනාසෙනු දැකීම මගේ අභිමානයට එතරම් ප්‍රිය නොවූ බැවින් මම බොරු කාර්යබහුලත්වයකින් දුරකතනයට එබී කිසිම වැදගැම්මකට නොමැති දෙයක් සොයමින් මුහුනුපොතේ සැරිසරමින් උන්නෙමි.
මධුලිකාත් උදානිත් සිය කාමරයේ යතුර ගෙන ලොබි එකෙන් පිටව හෝටලය තුලට ඇවිද ගියහ. මම තවත් විනාඩි දහයක් පමණ බොරුවට කල්මැරීමෙන් පසුව සුදම් ඇමතුවෙමි.
"මචන් කිසි අවුලක් නැහැ නේද?"
"නෑ... ඩඩාව බලාගන්න නර්ස් ආයෙත් හෙට එනවා කියල ගියා. එයා ගොඩක් හොඳයි. කිසි අවුලක් නැහැ.. උඹ කොහෙද ඉන්නේ?"
මම පිළිතුරක් නොදී මාතෘකාව වෙනස් කලෙමි.
"වත්තේ ඉඳල සුන්දර් කතාකලොත් ඩඩාට කරදර කරන්න එපා. සෙකියුරිටි එකට කියන්න ඇලර්ට් එකේ ඉන්න කියලා. මොනවාහරි නම් කෝල් කැරැල්ල, ආන්සර් නොකලොත් මට මැසේජ් එකක් දාන්න. මම එහෙනම් තියනවා "
සුදම්ට කිසිවක් කියන්නට ඉඩ නොතබා එක හුස්මට කියවාගෙන ගිය මම ඇමතුම විසන්ධි කලෙමි. තාරුක අයියා පණිවිඩයක් ඒවා ඇත.
'අඩෝ... උඹ කොහෙද ගියේ?'
පිළිතුරක් යවන්නට පෙර මම කල්පනා කලෙමි.
ඒ සමඟම ටාෂා මා අමතන බවට දුරකථනය මට දන්වයි. මගේ සිත දඩි - බිඩි ගාමින් ගැහෙන්නට විය. කුමක් හෝ හේතුවකට එයට පිළිතුරු දීම මේ මොහොතේ භයානක බව සිතුනි. මධුලිකා සහ උදානි සමඟ මම ඒ නිවසින් පිටවෙද්දී , ඒ ගැන කිසිම වැඩිදුර තොරතුරක් මම කිසිවෙකුට පැවසුවේ නැත. ඒ ඇයිදැයි මම නොදනිමි. ටාෂාගේ නිවැසියන් මම ඔවුන් ඇරලවන්නට ගිය බවක් පමණක් දන්නවා ඇත. ඇඳුම් බෑගය දුටුවේ සුදම් පමණකි.
මමඇමතුම මගහැර, මගේ කුඩා ඇඳුම් බෑගයද බිම දිගේ ඇදගෙන යමින් ලොබියේ කෙලවර වෙත ඇවිද ගියේ කාමරයේ යතුර ලබාගැනීමෙන් අනතුරුවයි.
මධුලිකා සමඟ මේ හෝටලයේ නතරවන්නට මම ගත් තීරණය , මම ඔවුන් ඇරලවන්නට පැමිණෙනවාට දැක්වූ විරෝධයට වඩා වෙනස්ව ගෙන , නිහඬව සිටින්නට මධුලිකා තීරණය කොට තිබුණාය. කාමරවල වෙන්කිරීම් ගැන කියද්දී ඇගේ ඇසිපිය වේගයෙන් සැලුනා මට හොඳටම පෙනුනි. ඇය අනාරක්ෂිතව නිදැල්ලේ සිටීම මගේ සිත නොසන්සුන් කරන බව ඈට වැටහෙන්නට ඇත.
දුලිප සතරසිංහ විසින් ඉවකරනා පසුබිමක , ඔහු වැනි අයෙකුට මධුලිකා යනු පිදුරු ගොඩක වැටුණු ඉඳිකට්ටක් නොවන බව මම දනිමි. ඈ ගුවන් යානයෙන් මේ රටෙන් පිටවන මොහොත වනතුරු ඇගේ ආරක්ෂාව මම සැලසිය යුතුය.
එසේ නොවුවහොත්, මෙතෙක් කලක් මා කල කිසිවකින් වැඩක් නොවනු ඇත.
යාබද කාමර දෙකක් මම වෙන්කරවා ගත්තේ මධුලිකා සහ උදානිගේ ආරක්ෂාව පතා වුවත් එය මධුලිකාගේ වැරදි අවබෝධයක් වනු දැකීම මට අවශ්‍ය නොවිය. එබැවින් මම ඔවුනට යන්නට හැර, පසුව කාමරයට ගියෙමි. ඔවුන්ගේ කාමරය පසුකරද්දී එතුලින් මහා ශබ්දයෙන් මධුලිකා සිනාසෙනු ඇසී මටද යම් සිනහවක් නැගුණි.
ඈ තුල වූ ඒ කෙළිලොල් තරුණිය මා නිසා අතුරුදහන්ව ගොස් මගේ ග්‍රහණයෙන් මිදෙද්දී නැවත ඉස්මතු වනවාද? පාසලේදී අනේක වාරයක් ඈ දෙස මම දුරින් සිට නිරීක්ෂණය කර ඇත්තෙමි. ඈට තිබුනේ දඟකාර, ජීවී හැසිරීමකි. තරුණයින්ගේ අවධානය ඈ වෙත යොමුවන්නට එයත් හේතුවක් වන්නට ඇති මුත් කිසිවකුට අවසරයක් ලබානොදෙන ආරක්ෂක රැස්වළල්ලක් ඈ වටා තිබුනේ ඇගේ ඒ නොදැමෙන පෞර්ෂය නිසා බව මට දැන් වැටහේ. මම ඈ දඩයම් කරන්නටත් එය හේතුවක් වුවා නොවේද?
බිම වැටි උන් ඈ වාහනයට දමාගෙන ,අසිහියෙන් සිටි ඈ බලෙන් සිපගත් මා හට එදින කරන ලද 'කන පලන' තර්ජනය සිහිවී මට තනිවම සිනාවක් නැගුණි.
ඒ මතක සැමදා මා සිත තුල තිබෙනු ඇත. මෙතෙක් කාලයකට ඇසුරු කල කිසිම තරුණියක් කෙරෙහි එවන් මෘදු මතකයන් මා තුල ඉතිරිව තිබුනාද කියා මටම මතකයක් නැත. ඔවුන් සියල්ලන්ගේම ඇත්තේ මා වෙත බැඳුනු ආකර්ෂණයකි. හඹා ගොස් ලබා නොගත් හිමිකමකි.
මධුලිකාව මා හඹා ගියෙමි. තරකොට අල්වා තබාගන්නට වෙරදැරුවෙමි. ඇගේ ප්‍රේමය, එක බැල්මක් වෙනුවෙන් සති ගණන් දුක් වී ඇත්තෙමි. එදා මෙන්ම ඒ බැල්මේ ඇත්තේ මා පසාරු කරන රශ්මියකි. රැවීමෙන් පවා මා කුල්මත්ව ගියා නොවේද? ඒවා සිහිවන මේ මොහොතේද මට නැගුනේ සිනාවක් නොවේද?
මට අහිමි මධුලිකා....! මගේ ලය සුසුමකින් පිරී ගියේය.
'අඩෝ... තෝ කොහෙද කියපිය.'
තාරුක අයියා නැවතත් කෙටි පණිවිඩයක් ඒවා තිබිණ.
'කරදරයක් නැහැ. පොඩ්ඩක් බිසී'
මම එසැනින් ලියා යැව්වෙමි. තාරුක අයියාට මට මෙය කියන්නට නොසිතෙන්නේ මධුලිකා මා පාවිච්චි කරනවා යයි නිතර ඔහුගෙන් එන අවලාද නිසාය.
'මොකක්හරි ඕනේ නැති ගමනක් කියලා නම් තේරෙනවා කොල්ලා'
පිළිතුර ආවේ සිනාසෙන පින්තුරයක්ද සමඟය.
ඔහු මට දොස් පවරන බව මම දනිමි. මධුලිකා සම්බන්ධයෙන් මම දක්වන ලිහිල්භාවය සහ අනුකම්පාව පෙර දිනයේදී ඔහුගේ කෝපය අවුස්සා තිබිණ.
'තව දවස් හතරනේ'
මගේ සිත කිව්වේය. සුසුමක් වැටුනේ ඉබේටමය.
'අපි කන්න යනවා..'
මධුලිකා කෙටි පණිවිඩයක් එවා තිබිණ. ඈ එවා තිබුණු පණිවිඩය සමඟ මම ඇගේ whatsapp පින්තුරය දෙස බැලුවෙමි. එය කුමක්දැයි මට හරිහැටි නොතේරෙන පින්තුරයකි. ගිටාරයක්?
මම ඒ සමඟින් මගේ දුරකතනයේ පින්තුර ගැලරියට වැද නැවත වතාවක් මධුලිකාගේත් මගෙත් මංගල ජායාරුපය දෙසත්, සුන්දර මනාලියක් වූ මධුලිකාගේ ජායාරුපයත් දෙස නැවත වතාවක් බැලුවෙමි. විශාල කරමින් එහි වූ ප්‍රේමනීය බව වින්දෙමි.
එය මකා දමන්නට මට ලෝබය. නමුත් උගුර සිරවෙද්දී, පින්තුර දෙකම සලකුණු කොට මකන්න විධානය දෙන බොත්තම එබුවේ සිත තදින් මිරිකාගෙනය.
'Are you sure , you want to delete ?'
දුරකථනය මගෙන් අසයි. හුස්ම අල්ලාගෙන තත්පර දෙකක් තාවර වීමෙන් පසුව මම 'no' තෝරාගත්තෙමි. මධුලිකා ගුවන්යානයට නැගි මොහොතේ, පළමු කාර්ය ලෙස එය 'yes' කරන්නට සිතට ගත්තෙමි.
සුසුමක් හෙලා, දුරකථනය ඇඳ මත අතහැර, නානකාමරයට වැදී මම උණුසුම් ජලයෙන් ස්නානය කරගත්තේ ගතෙත් සිතේත් තෙහෙට්ටුව යාමටය.
ඉන්පසුව කාමරයෙන් පිටව රාත්‍රී ආහාරයට සුදානම්කොට තිබුණු කොටසට ඇවිද යද්දී මුහුදු සුළඟ සහ අඩ අඳුර අතරින් මෘදු සංගීතයක් ඇසුනේ සිතද සනසවාලමිනි. හාත්පස බැලු මට මුල්ලක හිඳගෙන උන් උදානි අත වනනු පෙනුනෙන් , මම හිස සලා එයට ප්‍රතිචාර ලබාදුන්නෙමි. සුදුපාට ගවුමක් හැඳගෙන උන් මධුලිකා මදෙස බැලුවේ වත් නැත. ඈ සිටියේ සිය දුරකථනය වෙතට එබීගෙනය. කුඩා පටි සහිත ගවුමෙන් නිරාවරණය වූ ඇගේ දෙවුර සැමවිටම මෙන් මා කළඹවයි. මම හිතාමතාම ඉවත බලාගත්තෙමි.
මම කෑම රැගෙන ආපසු හැරෙද්දී උදානි මා අසලම උන්නාය.
"මොකද අනේ පරක්කු උනේ...? අපි නම් සුප් එකත් බිව්වා... ඒක මාර රසයි නේද මධු?"
ඈට පිටුපසින් උන් මධුලිකා උදානිට කට කොනකින් සිනාසී මා දෙස නොසැලකිලිමත් ලෙස බැලුවාය. සුදුපාට ගවුම ඇගේ තලෙළු සිරුරේ හැඩරටා මවා ඇත්තාක් මෙනි.
'අල්ලලා මිරිකන්නමයි හිතෙන්නේ'
".. අනේ මාර වැඩේනේ.. මෙතන හුළඟ නේ... අන්න මධුගේ තොප්පිය හුළගේ ගියානේ!"
උදානි මහා හඬින් සිනාසුනාය. මටද සිනාවක් නැගුණි. මධුලිකා උදානිට ඔරවා සිටියාය. එය මට මාහ හුරතලයට පෙනුණි.
".. කෙලින්ම ගිහින් කලපුවට වැටුන... ගන්න හැදුවට ඈතට ගහගෙන ගියා හුළඟ ඒ තරමට!"
උදානි කොක් හඬලා සිනාසෙන්නිය. මධුලිකා කට උල්කොට තවත් කෝප ගත්තාය. ඇගේ සරාගී දෙතොල්...
"මම හොඳ තොප්පියක් ගන්නවා ආයෙත්.. ඉන්නවකෝ"
"ඔව්.. ඔව්.. ඔයා ඉතින් හොඳ හොඳ තොප්පි තමයි ඉතින් ගන්නේ.. අපි එපැයි පරිප්පු කන්න.. නේද තීක්ෂණ...."
මම සිනාව වළක්වාගෙන ඈ දෙස බැලුවෙමි. ඈ සිය සරාගී දෙතොල් උල්කොට බොරු අමනාපයක් පෑවාය.
'අල්ලලා ඉඹින්න හිතෙන්නේ'
"... තීක්ෂණ යමු අපේ ටේබල් එකට..."
ඔවුන් එසේ සිටියදී, මම දමනය කරන සිත සමඟින් වැඩිමනත් යමක් නොකියා උදානි සහ මධුලිකා සිටි මේසය දෙසට ගියෙමි.
".. අපි මේ සැලඩ් අරගෙන එන්නම්.. ඔයා යන්න"
සතියේ දවසක් නිසා හෝටලයේ වැඩි සෙනඟක් පෙනෙන්නට නොවුනි. වැඩිදෙනා විදේශිකයින් වූ අතර හනිමුන් කපල් යයි සිතිය හැකි යුවලවල් කිහිපයක් තැන තැන පෙනෙන්නට වුයේ අඳුරු මුළු ආශ්‍රිතවය. මම කෑම පිරුණු පිඟාන එක අතකින්ද, තවත් අතකින් සැලඩ් දිසියද ගෙන,සෙමෙන් මිනිසුන් අතරින් ඇවිද ගොස් ඔවුන්ගේ මේසය වටා තිබුණු පුටු හතරෙන් එකක හිඳගත්තෙමි.
පිඟාන මේසය මත තබන්නට බලද්දී මධුලිකාගේ දුරකථනය මේසය මත තිබෙනු දුටු නිසා එය පසෙකට කරන්නට උත්සහ කරද්දී කුමන හෝ හේතුවක් නිසා එහි තිරය ආලෝකමත් වුයේය. තිරය මත whatsapp පණිවිඩයක මුල් කොටස විය.
'Dats funny , I will assume you both had se....'
ඉතිරිය පෙනුනේ නැත.
එකවරම ආ අතකින් දුරකථනය ක්ෂණයෙන් මේසයෙන් උදුරාගන්නවා දැනී ගැස්සී ගියෙමි. මගේ කන් දෙකෙන් දුම් පනින්නට ඇත. මට ඉබේටම එලෙස ආ මධුලිකාගේ මුහුණ බැලුණු අතර ඈගේ මුහුණ හොල්මනක් දුටුවා සේ විරූපී වී තිබින. අප දෙදෙනාම වේගයෙන් හුස්ම අල්ලමිනි.
උදානි ඒ මොහොතේම වාගේ අප වෙත ඇවිද ආයෙන් මධුලිකා වහා ප්‍රකෘතියට පත්වුවාක් මෙන් උදානි දෙස බැලුවේ දුරකථනය සිය කුඩා සයිඩ් පසුම්බියේ හුවාගනිමිනි.
"මොකද තීක්ෂණ මේ ගල්වෙලා ? ඒ මදිවට කන් දෙකම රතුවෙලා... හි හි. මම එන්න කලින් මෙතන මුකුත් උනේ නෑනේ?"
"නෑ.. මුකුත් නෑ !"
මධුලිකා පිළිතුරු බැන්දාය. මම තවමත් ගල්භීත වෙමිනි.
දෙදෙනාම පුටු ඇද වාඩි වූ අතර මධුලිකා මගෙන් මුහුණ සඟවාගෙන බිම බලාගෙන ආහාර බුදිමින් උන්නාය.
ඒ පණිවිඩයේ සඳහන් වුයේ කවර දෙයක් ගැනද? පණිවිඩය එවා තිබුනේ මාරියා හෝ මාරි නම් තරුණියයි. නොපෙනී තිබුණු කොටස සම්පුර්ණ කරන්නට වචනයක් මම දනිමි. මගේ සිත පණපිටින් ගිනිගන්නාක් මෙනි. කෑම ගැනීම මට එපාවී ඇත්තාක් මෙනි.
"කෑම රසයි නේද? තැන්ක්ස් තීක්ෂණ මේ ඔක්කොම බුක් කරලා ලෑස්ති කලාට. "
"හ්ම්ම්"
"මම කොහොමත් කිව්වා මෙයාට කොළඹ ක්ලබ් ගානේ නම් ඔයා යන්න දෙන එකක් නැහැ කියල.. මට නිකමට හිතුනේ නැහැනේ නිගම්බෝ වල ප්ලේ කරන එකක්..."
මම කට දෙපැත්තට ඇද මෙන් කෘතීම සිනාවක් පෑවෙමි. මම සිටියේ ඊර්ශ්‍යාව හෝ ඒ හා සමාන ගින්නකින් පණපිටින් පිලිස්සෙමිනි.
"..... මට ඉවසිල්ලක් නැහැ යනකල්... එයා මාරයි නේද මධු..."
මධුලිකා හිස ඔසවා උදානි දෙස බලා කට ඇදකොට මෙන් සිනාසුනාය.
"මොකද අනේ ඔය දෙන්නට වෙලා තියෙන්නේ.... එක්කෝ රණ්ඩු , නැතිනම් නෝ කතා"
උදානි අමනාපයෙන් මෙන් කීවාය.
"හරි හරි... මම ඉන්නකොටනේ බුම්මගෙන ඉන්නේ... ඔයාල ඩිජේ ගිහින් සන්තෝසෙන් ඉන්නකෝ.. මටත් හැබැයි මගේ පාඩුවේ ඉන්න ඕනේ.."
මම කෑම මේසයෙන් නැගී සිටියේ කිසිදු තරහක් නොපෙන්වමිනි. නමුත් පිඟාන පොලවේ ගහන තරමක ආවේගයෙනි.
මධුලිකාගේ මුහුණ බලා සිටියදී වෙනස්ව ගියේය.
"...මම ආවේ ඔයාලට කරදරයක් වෙයි කියලා මිසක් ඔයාලගේ එන්ජෝය් කරන ඒවා අල කරන්න නෙවෙයි. ඒ හින්දා බයවෙන්න එපා"
ඇත්තටම මගේ සිතේ තරහක් තිබුනේ නැත. තිබුනේ කැළඹීල්ලකි.
*********************************************************
ශාලාවට ඇතුල්වන විටම මට දැනුනේ මහත් ජීවී පෙනුමකි. නියෝන් ආලෝකයෙන් දැල්වෙමින් නිවෙන ශාලාවේ වැයෙමින් පැවතියේ ජීවයෙන් පිරුණු සංගිතයෙකි.
හෝටලය එතරම් ජනාකිර්නව නොපැවතියද, මම එහි නොදුටු තරුණ පිරිසක් පිරි සිටියෝය. ශාලාව පුරා දිවෙන නියෝන් එළි මතින් මත්වූ තරුණ පිරිස වේග රිද්මයට නර්තනයේ යෙදෙමින් සිටියහ. ශාලාව පුරාම අස්සක් මුල්ලක් නෑර යොමුවූ මගේ ඇසට මට විනාඩි කිහිපයකට ප්‍රථම ආ උදානි හා සිනාසෙමින් නර්තනයේ යෙදෙන මධුලිකා හසුවන්නට වැඩි කාලයක් ගතවුයේ නැත.
අවුල්වූ හිසකේ ඉහලට කොට ගැටගසා , උදානි අසලින් ගීතයේ වචන ප්‍රතිරාව කරමින් ඈ සතුටින් උඩපනිමින් උන්නාය.
'අඃ මධුලිකා.... මගේ සරාගී කෙල්ල'
මම ආ බවක් ඔවුන් නොදකින්නට ඇත. මම බීම ලබාදෙන කොටසට ගොස් සෝඩා ලෙමන් වීදුරුවක් ඇනවුම් කලෙමි. මට දෙදෙනෙකුට එපිටින් සිටි සිහින් සිරුරක් ඇති විදේශික තරුණියක් මා දෙස මද සිනාවක් පෑ අතර මම එයට සුහදශීලි ප්‍රති සිනාවක් පා , වීදුරුව අතට ගෙන පුටුවෙන් කැරකී නැවතත් නර්තනයේ යෙදෙන පිරිස අතර උන් මධුලිකා සෙව්වෙමි. ඈ එතන නැත!
කලබලයෙන් ඈ සෙවූ මට ඈ තවත් තරුණියක හා සිනාසෙමින් මොනවාදෝ පානය කරනවා පෙනුනි. උදානි තවත් අයෙකු හා කතාබහකය. සුදුපාට ගවුම මධුලිකාගේ බුහුටි පෙනුමට වඩාත් ලාලිත්‍යයක් එක්කර ඇති බවකි. මම උගුරු දෙකක් පානය කර අයිස් දමා ගැනීමට කවුන්ටර් මේසය වෙත හැරුනෙමි.
"තීක්ෂණ ?"
මම හැරී බැලුවෙමි. ඈ හඳුනා ගන්නට මට තත්පර කිහිපයක් ගියේය. මම ඇගේ නම නොදන්නවා වුවද , මගේ ක්‍රීඩා සංගමයේ අප සමඟ ටෙනිස් සෙල්ලම් කරන තරුණිය බව හඳුනා ගත්තෙමි.
"ආ..."
"ඔයා මොකද මෙහෙ කරන්නේ...? "
මම හිස ඒ මේ අත හරවමින් කුමක් කියන්නද කියා සිතුවෙමි.
".... හනිමුන් ආව නෙවෙයි නෙහ් ?"
තරුණිය ඈ සමඟ සිටි අනෙක් තරුණියට කියා මහා හඬින් සිනාසුනාය. මමද සිනාසුනෙමි.
"නෑ.. නෑ.. පිස්සුද?"
"අප්පෝ.. හිටපු තීක්ෂණම තමයි එහෙනම් තාමත්! "
ඈ දෑස කරකවමින් කියා සිනාසුනාය.
".... ඔයා දන්නවද ජීවා... මෙයා තමයි අපේ ටෙනිස් පාලු මකන එක්කෙනා... අර කෝච් අපිව මරෝනවානේ.. මෙයා තමයි අපිව බේරගන්න එන්නේ, කෝච් එක්ක කතාවක් එහෙම දාලා ......"
තරුණියන් දෙදෙනා කැකිරි පලයි. එහි හිනාවෙන්නට ඇත්තේ කුමක්ද?
".....මෙයත් එක්ක තමයි මම ටෙනිස් ගහන්නේ.."
"ආ..."
"ටෙනිස් විතරයි නෙහ් ?"
ජීවා කියන තරුණිය කියූ සැනින් දෙදෙනාම නැවතත් මහා හඬින් සිනාසුනහ.
"ඔව්.. ඔව්.. ටෙනිස් විතරයි.. ස්පෝට්ස් ක්ලබ් එකක්නේ"
මම නොසැලී කිව්වෙමි. ඔවුන් දෙදෙනා ඇස් රෝල් කරමින් සිනාසෙද්දී මම අයිස්කැට කිහිපයක් පුරවාගෙන ආපසු හැරුනෙමි.
".. සි..යු එහෙනම්... "
මම එලෙස කියාගෙන බීම විදුරුවද අතැතිව, අනෙක් අත සාක්කුවේ දමාගනිමින් ශාලාව පසෙකින් වූ හිඳගෙන සිටින කොටසට ගියෙමි.
එම තරුණිය මට එතරම් ප්‍රියමනාප නොවේ. ටෙනිස් පුහුණුකරු මගේ මිතුරෙකු වන නිසා මම එහි ගොස් ඉඳහිට ටෙනිස් ගැසූ අතර ඉඳහිට මේ තරුණිය දුටුවා යන්තමට මතකයක් තිබේ. චාපා මා හඳුනා ගන්නේ එම මිතුරාගේ මාර්ගයෙනි.
මම මධුලිකාත් උදානිත් සොයමින් ශාලාව පුරා බලමිනි. නැවතත් නර්තන බිමෙහි ඔවුන් දෙදෙනා ප්‍රීතියෙන් නර්තනයේ යෙදෙති. මධුලිකාගේ කුඩා සිරුර මනරම් ලෙස නර්තන ඉරියව් වලට පෑහෙයි. ඇයට මනබඳින ආකාරයට නටන්නට හැකිය. උදානි එසැනින් මා දුටුවාය.
ඈ එන්නට කියා අත වැනුවද මට ඔවුන්ගේ සතුට නැතිකරන්නට අවශ්‍ය නොවුනි. මම සිනාසී එය ප්‍රතික්ෂේප කලෙමි. මධුලිකා වරක් දෙවරක් බලා ඉවත බලාගෙන ඇගේ නර්තනයේ යෙදුනේ අවසන් නැටුම නටනවාක් මෙනි.
'මගේ කෙල්ල... '
"ඒ ඔයාගේ පෙම්වතියද?"
මම ගැස්සී හඬ ආ දෙස බැලුවෙමි.
විදෙස් තරුණිය මා අසලම සිට මට සිනාසුනාය. මම ඇයට ආචාර කලෙන් ඇය මට ඉදිරියෙන් වූ පුටුවකට බර වී අත වූ බීම බඳුන ඔසවා. සව්දිය පිරුවාය. මම ආචාරශිලිව ප්‍රතිචාර දැක්වීමි.
මනාව නඩත්තු කල සිහින් ආකර්ශනීය සිරුරක් හිමි ඇය , තදපාට ඇඟටම සිරවූ ගවුමක් හැඳ සිටියාය. පිදුරු පැහැති ඇගේ කෙස් මුදු කැරලි ලෙස ඒ මේ අත වැනුනි. ඈට ඇත්තේ අළුපාට විදුරු ඇස්ය.
"නෑ.. යාලුවෝ"
"අර ගෑනු ළමයා නම් ගැලපෙනවා"
තරුණිය මධුලිකාට එපිටින් සිටි සරාගී උස තරුණියක් පෙන්වා සිනාසුනාය. මම මද සිනාවක් පෑවෙමි.
".. හා.. හා.... ඒ උනාට ඔයාගේ ඇස් තියෙන්නේ නම් අන්න අර ගෑනුලමයා ගාව!"
විදෙස් තරුණිය බීම උගුරක් බොමින් දැක්වුයේ මධුලිකාය. මට මහා සිනාවක් නැගුණි.
"නටනවද?"
එකවරම ආ අදහසකින් මම බීම බඳුන එතැන තිබුණු මේසයක් මත තබා, විදෙස් තරුණිය වෙත වමත පෑවෙමි.
"අනිවාර්යයෙන්! ඔයා වගේ කඩවසම් කොල්ලෙක් කතාකලාම එන්නේ නැතුව කොහොමද?"
ඇය වහා මගේ අත ගත්තාය. මම සිනාසෙමින් ඈ සමඟ නර්තනය යෙදෙන පිරිස අතරට එකතු වුයෙමි. ඈ සිනාසෙමින් මා හා නටන්නට වුවාය. ඇයට හිමි , දීප්තිමත්, ලා අළු ජිල් බෝල වන් ප්‍රීතිමත් දෑස සිනාසෙමින් මට නොයෙකුත් ඉඟි බිඟි කරමිනි. තඹ පැහැ වරලස ලෙලවමින් ඈ මා හා රිද්මයට නටන්නට වුයේ අතිශය ප්‍රිතියෙනි.
සංගීතය වෙනස් වුයේ මගේ ප්‍රියතම ඩාන්සින්බීට් එකකටය. එය Enrique නම් ගායකයාගේ Tonight නමින් හැඳින්වෙන ගීතයකි. ශාලාව එකලු වෙමින් සියල්ලෝම ප්‍රීතියෙන් 'හූ' කියන්නට වුහ. ඒ අතරට මමත් එකතු වෙද්දී තරුණියද එලෙසම කල නිසා අප දෙදෙනා සිනාසෙමින් එකිනෙකා වැළඳගත්තෙමු.
I made it obvious that I want you too
So put it on me
Let's remove the space between me and you
Damn, I like the way that you move
So give it to me
'Cause I already know what you wanna do
And here's the situation been to every nation
You know my motivation, given my reputation
Please, excuse me I don't mean to be rude
"ඔයා නියම නැට්ටුවෙක්නේ!"
තරුණිය මගේ කනට කර පැවසුවේ නර්තනයේ යෙදෙන ගමන්ය.
"ස්තුතියි!"
මගෙත් ඇගෙත් නර්තනය මනාව ගැලපී ගියේය. අප දෙදෙනා සිනාසෙමින් නැටුවේ මුළු ලෝකයම අමතක වුවාසේය. ගීතය අවසාන වනවිට මමත් ඇයත් හති දමමිනි.
"අනේ මට තිබහයි... යමු මොනවාහරි බොන්න!"
ඈ මා ඇදගෙන බීම සාදන තැනට ගියේ පිරිස අතරිනි. මම වටපිට බැලුවේ මධුලිකා කොහිදැයි බැලීමටය. පිරිස අතරින් මිදී මා පෙර සිටි පුටුවට වී මා දෙස මිනීමරන දෑසින් බලා සිටියේ මධුලිකාය. මා දුටුවනම ඈ වහා සිය බැල්ම දුරකතනයට යොමුකලාය.
ඇත්තටම මම තිගැස්සී ගියෙමි. එහෙත් මවාගත් සිනහවකින් මම තරුණිය සමඟ බීම නිකුත් කරන තැන පුටුවට බරවිමි.
"මොනාද බොන්නේ?"
"ටිඛිලා දාන්න.. ඊයේ වගේ.... ඊයේ ඩීජේ එක මෙච්චරම හොඳට තිබ්බේ නැහැනේ"
තරුණිය අවසන් කොටස පැවසුවේ මටය.
"ඔව්.. මෙයා ලංකාවේ ටොප් එක්කෙනෙක්... අපි මෙහෙ ආවෙත් ඒ හින්දා"
මම උස් මේසයට පිටදී බරවී හිස යන්තමට එහි බර කරමින් කිව්වෙමි. ඇස කොනෙන් මධුලිකා වරින්වර ම දෙස බලනු පෙනුනි.
"ඔයාටත් ටිඛිලා?"
"හ්ම්ම්ම්... කමක් නැහැ... "
මම මහන්සිය නිසා හිස පසෙකට ඇල කරද්දී තරුණිය එලෙසම හිස තබාගෙන මා වෙත නැමී උන්නාය. අප දෙදෙනාගේ සුසුම් එකට වැදුනේ ඒ මොහොතේය.
"මොකද කඩවසම් කොල්ලෝ?"
තරුණිය සිය වීදුරු බෝල වන් නෙතු විසල්කොට මා වෙත බැල්මක් හෙළුවාය. මම වහා කෙලින් වී පුටුවේ හිඳගත්තෙමි.
"... අන්න අන්න ඔයාගේ ඇපල් මල ඔයාගේ දිහා බලාගෙනම ඉන්නවා.. "
තරුණිය මට කීවේ රහසින් මෙනි. මට සිනහවක් නැගිණි. පිළියෙළ වූ මගේ වීදුරුව මා අතට දුන් තරුණිය එලෙසම විදුරු එකට වද්දා ප්‍රීතිය පලකලාය.
"... ලංකාවට මම හරි ආසයි. ලස්සන රට. මිනිස්සුත් ලස්සනයි. කොල්ලොත් කඩවසම්"
අවසාන කොටස ඈ මට පැවසුවේ සංගීතය පරයා යමින් මගේ කනට මුරගාමිනි. මට සිනාව පුපුරා ගියේය.
මධුලිකා රවමින් ඉන්නා තැනට තරුණයෙක් පැමිණ කතා කරනු දුටු මම ඉබේම කලබල වුවද මොහොතින් උදානි එනු මට පෙනුනි. දෙදෙනාම නැවතත් නර්තනයට පිවිසියේ ඒ මොහොතිනි. මගේ කට ඇදවී සිනහවක් එද්දී, මම ඇය දෙස බලා සවුදිය පිරුවෙමි. මධුලිකා මට රවා සිටියාය.
"යමුද ආයේ නටන්න?"
"බෑ මට මහන්සි.."
එවිටම ඇගේ මිතුරියන් යයි කිවහැකි තරුණියන් කිහිප දෙනෙක් ඈ වටකොටගත්හ. මම ඉක්මනින් එතනින් ගැලවී ගත්තෙමි.
විදුරුවද අතැතිව අනෙක්පසින් ගමන්ගත් මම මධුලිකා පෙනෙන ඉසව්වකට වී බීම තොලගෑවේ දෙහි පෙත්තද අතැතිවය.
ටිඛිලා වලට පින්සිද්ද වන්නට, මගේ මතකය අපගේ පාසල් සාදය තෙක් යාම නවත්වනු නොහැකි විය. අප දෙදෙනා ප්‍රේමයෙන් උන් ඒ සොඳුරු මොහොත මට ඇතුලතින් එන වේදනාවක් ගෙන ආවක් වැනිය. මධුලිකා මා වෙත හෙලු පෙම්වත් බැල්මකින් පවා මා නිවී සැනසී ගියා නොවේද?
පාසලේ පිරිමි ළමුන්ගේ ඒ වචන ටික නොවන්නට, අදත් ඒ ප්‍රේමය මා වෙත තිබෙන්නට ඇත. එසේ වේද? ඇය වෙන්වී යන්නට හේතුවක් සොයමින් සිටියා වන්නට නොහැකිද? ඇගේ හිතගත් සැබෑ පෙම්වතා සොයා ඉගිලෙන්නට ; මගෙන් ගැලවී යන්නට සිතා; එය සිතාමතාම ගැටළුවක් කරගත්තාද?
ඒ සිදුවීමෙන් පසුව මධුලිකා නැවත මා සමඟ කතාබහ කළාය. ටාෂාගේ විවාහ පටලැවිල්ල එතරම්ම පටලවිල්ලක්ද? තාරුක අයියා පැවසු පරිදි, වඩා කලබල වියයුතුව තිබුනේ ටාෂා නොවේද? අප දෙදෙනා විවාහකය! එතැන අලුතෙන් ඇතිවන විවාහයකට නෛතික හෝ අයිතියක් තිබෙනවාද?
මධුලිකා.. ඔබගේ සිත මට කියවන්නට හැකිව තිබුනා නම්! ඔබ කොතරම් ඩ්‍රාම කරන්නේ ඇයි ?
බැඳීමක් ඇත්තේ කඩදාසියක නම්, මේ වනවිට මධුලිකා මේ කඩදාසිය වෙත එතරම්ම වැදගම්මක් ඇති බවක් නොසලකනු ඇත. දැන් ඈ ඉල්ලන්නේ ඒ කඩදාසිය කටුගා දමන්නටය. බැඳීමක් එසේ කටුගා දැමිය හැකිද?
මා තුල සිටින තීක්ෂණ වේදනාවෙන් පපුව අල්ලාගෙන බිම හිඳගන්නවාක් මෙන් දැනුනි. පපුව තුලින් එන වේදනාවට හුස්ම සිරවන්නට ආසන්නය.
මධුලිකා මා දෙස නොබලා ඉන්නට තැත්කරන බැවින් ඇගේ සතුටට බාධා නොවන්නට මම සෙමෙන් ඈට නොපෙනෙන පසෙක තිබුණු පුටුවකට බරවීමි. ඈ යලිත් ඇගේ සැබෑ ප්‍රේමය සොයා යන්නේ නම්, ඇයට මගේ මතකය හිරිහැරයක් නොවනු ඇත.
අප සමාජ ශාලාවෙන් පිටතට එද්දී පාන්දර වී තිබිණ. මධුලිකාත් උදානිත් බොහෝ සතුටින් උඩපනිමින් ජායාරුප ගනු මම නිහඬව බලා සිටියෙමි.
කාමර වලට බෙදීයන සෝපාව මත නිදිමතේ සිටි මට, මා සමඟ නර්තනයේ යෙදුනු තරුණිය සුහදව සිනාසී සුබ රාත්‍රියක් පතමින් පිටව ගියාය. පමණක මත් ගතියක් මා තුලද වී නමුත් මම සිතුවිලි දමනය කරගනිමින් උන්නෙමි.
මධුලිකාත් උදානිත් , ඔවුන්ගේ කාමරයට යන්නට ඉඩහැර මම ප්‍රමාදව සිට ඊට යාබද මගේ කාමරයට වැද දොර වසාගත්තේ වෙහෙසකර සිතකිනි. නමුත් මධුලිකාගේ සිනාවෙන් සහ ප්‍රීතියෙන් පිරුණු මුහුණ මට මැවී පෙනෙන්නා සේය.
උණුසුම් ජලයෙන් ලද සේදීම නිසා මත් ගතිය පහව ගියෙන් මට දැනුනේ පහසුවකි. වෙලාව පාන්දර තුනට පමණ වන බව අඩ අඳුරේ මට පෙනුනි.
කාමර තිබුනේ කලපුවට මුහුණලා, බැවින් තෙවන මහලේ තිබුණු කාමරයේ සඳළුතලය ඔස්සේ පෙඟී එන ලුණු රස රැඳුනු මුහුදු සුළඟ , අලුයම් වෙරළ මනරම් දසුනක් මවමිනි. මම කාමරයේ වීදුරුව විවෘත කර සඳලුතලයට පිවිසෙද්දී යාබද සඳලු තලය අඩ අඳුරේ කවුරුන් හෝ මුවාවනු පෙනී තිගැස්සී ගියෙමි.
*************************** මතු සම්බන්ධයි ***************************
No comments:
Post a Comment
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි