"මේ.. මේ කවුද? ඩඩා ! මේ ක-වු-ද?"
වාහනයට නොනැගම මට කෑගැහුනි. එය මහා හඬින් වූ නිසා තාත්තා බිය වන්නට ඇත.
"නගින්න ලොකූ මෙතන කෑගහන්නේ නැතුව! බලන්න මම හිතන්නේ ඔයාට ඩිසි වගේ ඔලුව වැදිලා හින්ද..."
කරකියාගන්නට දෙයක් නැතිව මම වාහනයට නැග්ගෙමි. නැවතත් හැරී පසුපස ආසනයේ උන් තරුණිය දෙස බැලුවෙමි. ඇය මදක් තැතිගෙන බව පෙනුනද අපහසුවෙන් මෙන් මා දෙස බලා සිනාසුණාය. ඒ මධුලිකා නොවේ. විදුලියක් වන් සිනහවක් ඇති, හී සර වන් බැල්මකින් මා අඩපණ කරන මගේ ප්‍රේමනීය මධුලිකා නොවේ! මෙය කුමන විහිළුවක්ද ?
'මධුලිකා නෙවෙයි'
මම වහා තාරුක අයියාට කෙටි පණිවිඩයක් යැව්වෙමි.
'මොන මගුලක්ද ඒ?'
තාරුක අයියා ලියා ඒවා තිබිණ. අප ඔහුගේ වාහනය පසු කරගෙන නැවත ගමන් ආරම්භ කළෙමු. මගේ හිස පුපුරන්නට මෙනි. මගේ මධුලිකා මෙහි නැත. මේ සිටින්නේ කවුරුන්ද කියා මම නොදනිමි. මධුලිකා තවමත් අනතුරේ! මම ඒ මේ අත දඟලනු දුටු තාත්තා මා දෙස වරක් බලනු මට පෙනුනි. මම සන්සුන් වන්නට උත්සහ කලෙමි.
"මොකද ලොකූ? අමාරුද? ඔලුව තාම රිදෙනවද?"
මම සිනාවන්නට උත්සහ කරන අතර නැහැ කියන්නට මෙන් හිස දෙපසට වැනුවෙමි. තාත්තා වාහනයේ ඇතුලතින් ඇති කණ්නාඩියෙන් පිටුපස සිටින තරුණිය දෙස බැලුවේය.
"දුව..... මගේ පුතා ඔයාව ඕනේ ගමන් බිමන් එහෙම එක්කගෙන යයි. මගේ වයිෆ් තමයි වැඩිපුරම ගෙදර ඉන්නේ. බයවෙන්න එපා ; ඔයා මගේ වයිෆ්ට කියන්න මේ ලොකූගේ යාලුවෙක් කියලා... "
"හරි අන්කල්"
මගේ පපුව සිරවෙන්නට ආසන්නය. ඒ හඬ මධුලිකාගේ මෙන් මිහිරි නැති , රූපයට කෙසේත් නොගැලපෙන ගොරහැඩි කටහඬකි.
තාත්තා හැසිරෙන්නේද යම් අපහසුතාවයක් සමඟ බව මට පෙනුනි. එයට හේතුව මම දනිමි. මේ තරුණිය රැගෙන යන්නේ අනුලා අලස්ගේ නිවසිනි. මේ ගෙනයන්නේ දුලිප් සතරසිංහ සොයනා කියන තරුණිය බවක් ඔහු නොදන්නවාද ? අනුලා සහ වාසුල මේ කාගේ කවුරුන් කියාද ඈ දුන්නේ?
මේ සියල්ල එකිනෙක අතිපිහිත වුවද මම කතාකරන්නට නොහැකිය.
ඔහු මේ තරුණිය කොහෙන් සොයාගත්තාද? එක්කෝ මෙය විහිළුවකි. ඔවුන් සොයන්නේ මධුලිකා නොවේ. අප ගියේ වාසුලගේ නිවසට බව මට ස්ථිර නිසා මේ තරුණිය තාත්තාට ලබාදෙන්නේ ඔවුන් විසින් බව මට ස්ථිරය. එසේනම් අනුලා අලස් විසින් සෙවුයේ මධුලිකා නොවේද? නැතිනම් මෙය යම් ආකාරයක ඇමක්ද?
මැය කාගේ කවුරුන්ද? ඔත්තුකාරියක්ද?
දුලිප් සතරසිංහ සමඟ වූ සතර කන් මන්ත්‍රණය අසා සිටියේ මම පමණක් නිසා තාත්තාගෙන් මේ ඉන්නේ මධුලිකා නොවන බව කියන්නට මට නොහැකිය. තාත්තා සැබෑ මධුලිකා දැක නැතුවාට මට විශ්වාසය. නමුත් සංජිවී ජයවර්ධන ගේ එකම දරුවා මට හමුවූ මධුලිකා ඈ බවට සාධක එමටය. එසේ නම් මේ තරුණිය කෙසේ මේ සමීකරණයට එකතු උනාද? ඇත්ත මධුලිකා මේ මොහොතේ පිස්සෙකු විසින් පැහැරගෙන ගොස්ය. මේ මොහොතේ වඩාත් දැවෙන ප්‍රශ්නය වන්නේ එයයි.
"ඩඩා.. මම මේ.. අර ජීප් එක .. මේ කා පාක් එකේ..."
මේ බොරු මධුලිකා වෙනුවට මගේ මධුලිකා සොයන්නට යා යුතුය. මට මේ උගුලෙන් ගැලවෙන්නට අවශ්‍ය විය.
"ඒකට ඩ්‍රයිවර් යවමු. දැන් මගෙත් එක්ක ගෙදර යන්න ඕනේ... මතකනේ මේ ඉන්නේ ඔයාගේ යාලුවෙක් මිසක් මගේ නෙවෙයි. ඒ හින්දා අම්මට ප්‍රශ්නයක් වෙන්න ඉඩක් තියන්න එපා.. ටික දවසකටනේ"
තාත්තා එය පැවසුවේ අණක් විලසිනි. සැකයක් නොහිතෙන්නට පැනගන්නට මට වෙන ක්‍රමයක් නැතිවාක් මෙනි. තාරුකගේ වාහනය අපට ඈතින් අප පසුපසින් එනු දුටු මම වහා දුරකතනයෙන් කෙටි පණිවිඩයක් යැව්වෙමි.
'තාරුක, මාව හිරවෙලා, පැනගන්න බැහැ. උඹ මම වෙනුවෙන් විරංග එක්ක උගේ ගෙදර පලයන්.. ගිහින් මගේ මධුලිකා ගැන හෝඩුවාවක් හොයාගනින්. උඹට මම බැගෑපත් වෙන්නම්.. මට මධුලිකා හොයල දීපන් තාරුක'
මගේ ඇස් බොඳ වනවා මට දැනුනි.
'බයවෙන්න එපා. මම යන්නම්'
'මට මැරෙන්න හිතෙනවා. මගේ මධුලිකා ගෙනත් දියන් තාරුක'
'ගෙදරද යන්නේ?'
'ඔව්..'
'කව්ද ඔය කෙල්ල?'
'අඳුනන්නේ නැහැ. මේක ඇමක්ද දන්නෙත් නැහැ. මම කෝකටත් සෝදිසියෙන් ඉන්නේ'
තාත්තා දෙවරක් පමණ මා දෙස බලනු දුටු නිසා වහා සියලු පණිවිඩ මකා දැමු මම දුරකථනය පසෙක තැබුවෙමි.
"මොකක්වත් ප්‍රශ්නයක්ද ලොකූ?"
"න.. න් නෑ............ මේ ... මට මේ... තුවාල උන හින්දා කට්ටිය ඒ ගැන අහනවා"
ඉන්පසු අප අතරේ කිසිදු කතාබහක් ඇති නොවූ තරම්ය. තාරුක අයියාගේ වාහනය මගදී ආපසු හරවා යනු මම දුටුවෙමි. මම පැති කණ්නාඩියෙන් මධුලිකා යයි නමින් හඳුන්වන තරුණියගේ හැඩරුව බලන්නට වරින්වර වීදි ආලෝකයෙන් ලබාදෙන දර්ශනයෙන් උත්සහ කලෙමි.
මධුලිකා මෙන් සරාගී පෙනුමක් නොතිබුනත් මධුලිකාගේ මෙන් රවුම් මුහුණක් තිබුණු ඇය මධුලිකාට වඩා පැහැයෙන් ලා පැහැති බව නම් මට පෙනුනි. මධුලිකා මේ දැන් මා ඉදිරියේ ඇගේ නෙත් සර විදිමින් සිනාසෙනවා මැවි පෙනුනි. ඇගේ සිරුරෙන් විහිදෙන මන්මත්කරවන සුගන්ධය මා වටා හමන්නාක් මෙනි. ඈ සතුව ඇති මෘදු මොලොක් සම මගේ අතැගිලි වලින් ස්පර්ශ කරන්නාක් මෙන් මට දැනේ...
මගේ සිහිනය බිඳවැටුනේ නිවසේ ගේට්ටුවට වාහනය නතර කරද්දීය. මුරකරු වහා එය විවෘත කර, හිස නමා බයාදු ලෙස ආචාර කළේය. තාත්තා වාහනය ගරාජයට දමා මා දෙස බැලුවේය.
"ලොකූ බහින්න"
මම වාහනයෙන් බැස ඒ සමඟම ලත් අවසරයෙන් පසුපස දොර විවෘත කලේ තරුණියට බිමට බහින්නටය; ඒ ඇය ඉතා හොඳින් බලාගැනීම සඳහාය. මා දැක මා දෙස චකිතයකින් යුතු සිනහවකින් සංග්‍රහ කල ඈ වාහනයෙන් බහින්නට මගෙන් උපකාර ඉල්ලන්නාක් මෙන් බැල්මක් හෙළුවාය. එකවටම මට ගණදෙවි නුවන පහළවිය. මම ඇගේ අතින් අල්ලා බහින්නට උපකාර කලෙමි. ඇගේ අත රළු වූ අතර බුහුටි බවින් යුක්ත නොවීය. මම වෙනසක් නොපෙන්වා සිනාසුනෙමි.
කෙලෙසකවත් මේ ඉන්නේ මගේ මධුලිකා නොවේ!
"ගෙට එක්කගන යන්න.. මැණිකා එවන්න බෑග් ටික බාගන්න"
මම තරුණිය පසුපසින් එන්නට හැර සාලය දෙසට දිවෙන පඩිපෙලින් නැග බරාදය කොටසට එද්දී, මැණිකා සහ විමලා දොර විවෘත කරමින් අපව පිලිගත්තෝය.
".ආනේ. ලොකු බේබි.. මේ මොකද මේ? ඔලුවට මොකද උනේ?"
විමලා එකවරම කෑගැසුවාය.
"කෑගහන්ඩ එපා.. එහෙම ලොකු තුවාලයක් නෙවෙයි.. ගිහින් මේ මිස්ගේ බෑග් ටික ඇති ගන්න වාහනෙන්"
එසේ කියමින් මම සාලයට එද්දී සාලයේ කොනක සිටි අම්මා මා දැක දිව ආවාය.
"අනේ.. මේ මොකද දරුවෝ මේ.....?"
"පාටියේ වලියක් බේරන්න ගිහින් උනේ. ලොකු දෙයක් නැහැ අම්මේ... බෙහෙත් දාලා තියෙන්නේ... කිසි අවුලක් නැහැ..."
මම අම්මාගේ මුහුණ මගහැර මුසාවක් ඇදබෑවෙමි.
"ආනේ එන්න දුව එන්න.... අනේ ඉතින් ගොඩක් රෑ උනානේ.. දුව කාලද ඉන්නේ?"
මගේ පපුව පිච්චී යනු දැනින. මධුලිකා මේ නිවසට ආවා නම් අම්මා ඈ කෙතරම් ආසාවෙන් පිළිගනු ඇතිද? ඈ මේ මොහොතේ ඇත්තේ කවර තැනකද?කුමන අනතුරකද?
අම්මා මේ තරුණිය මගේ මිතුරියක යයි සිතා ඇගේ කාමර ඉඳුම් හිටුම් ගැන කියද්දී මම හිස කැක්කුම කියා ඉහලමාලයට ගියෙමි.
යන්තම් පඩිපෙළ අසලදී මම දුරකතනයෙන් කෙටි පණිවිඩයක් යැව්වෙමි.
'කොහෙද ඉන්නේ?'
පිළිතුරක් ආවේ නැත. මම නොසන්සුන් වුයෙමි. තාරුක අයියාට කරදරයක් උනාද?
මම ඇමතුමක් ගත්තද තාරුක අයියාගේ දුරකථනය කාර්යබහුල බව පෙනුනි. සුදම් නින්දේ ඇතිබව ඔහුගේ කාමරයේ විදුලිපහන් නිවා දමා තිබීමෙන් මම සිතාගත්තෙමි. කාමරයට හෝ යන්නට මගේ සිත සන්සුන්කමක් නැත. මහත් නොසන්සුන් කමකින් මම ඒ මේ අත ඇවිද්දේ ඉහල මාලයේ කාමර අතර ඇති ඉඩෙහිය.
මා කලයුත්තේ කුමක්දැයි යම් තරමකට සැලසුමක් ගසා ගත්තෙමි. තාරුක අයියා අමතනතුරු සිටිය යුතුය. මට මේ මොහොතේ නිවසින් පැනගත්තද හිසේ තුවාලයේ කම්පනය නිසා පෙනීමේ බාධාවකුත්, හිසේ බමන ගතියකුත් ඇති නිසා රථයක් පැදවීමට අවදානමක් ගත නොහැක.
මම සෙමෙන් නැවතත් පහල මාලයට ගියෙමි. තාත්තා පෙනෙන්නට නොවීය. මධුලිකා යයි කියන තරුණිය හා අම්මා කතාකරන හඬ ඇසේ. ඇයට ලබාදී තිබුනේ පහළ මාලයේ වෙනමම පිහිටි කොටසට අයත් කාමරය වන්නට ඇත. කතාබහ ඇසෙන්නේ ඒ දෙසිනි.
එය අප සාමාන්‍යයෙන් ලබාදෙන්නේ විශේෂ අමුත්තන්ටය. මැය ආවේ අනුලාගේ නිවසින් බව අම්මා දන්නේ නම්, ඇයට ලැබෙන්නේ සුවිශේෂ කාමරයක් නොව කොසු පහරක් බව දැනී මගේ හිත අම්මා වෙනුවෙන් අනුකම්පාවෙන් බරව ගියේය. මම ඒ දෙසට ගොස් කතාබහට සවන් දුන්නද ඒවා එතරම් වැදගත්කමකින් යුක්ත නොවූ බව වැටහුණු නිසා, සාලයේ සෝෆාවට බරවී, සඟරාවකින් මුහුණ වසාගෙන කල්පනාවෙන් උන්නෙමි. නොසන්සුන්කමත් විසින් අරක්ගෙනය.
මේ ඉන්නා තරුණිය මධුලිකා නොවන බව දන්නේ මමත් , ඇයත් , සමහරවිට වාසුල සහ අනුලාත් පමණක් වනවා නිසැකය. ඇය මෙහි පැමිණියේ ඔත්තුකාරියක ලෙස නම්, වඩාත් උචිත වන්නේ ඇගේ බොරුව මම පිළිගෙන ඇයට ඒ ක්‍රියාන්විතය කරන්නට ඉඩහසර ලබාදීමයි. එයින් බැටළු සමට ඇතුලතින් ඇති දේ මට දක්නට ලැබෙනු ඇත. ඇය බොහෝවිට දුරකතනයෙන් මෙහි තොරතුරු නිරන්තරයෙන් පවසනු ඇත.
ඇය මෙහි ආවේ ඔත්තු බලන්නට නම් ඒ කා ගැනද? සත්‍ය මධුලිකා මෙහි නැත! ඔත්තු බලන්නේ මම ගැනද? අනුලා සහ වාසුල යන දෙදෙනා විසින් මේ ඉන්නේ මගේ පියා බව දන්නවා නම් මෙලෙස මගේ ළඟට මධුලිකා කියා වෙනත් තරුණියක් එවන්නේ නැත. එසේනම් ඔත්තු බලන්නේ තාත්තා ගැන වන්නට පුළුවන. තාත්තාට යම් අනතුරක් වේයැයි මගේ සිතට බියක් කාන්දු වන්නට විය.
අම්මා සාලයට පැමිණියද මා නොදැකම මුළුතැන්ගෙය දෙසට ගියාය. තාත්තාට අනතුරක් අතළඟ බව මට පෙර අම්මාට ඉව වැටීම අරුමයක් නොවේ. අම්මලා යනු කොහොමත් ඉව සමඟින්ම සිටින සත්ව කොට්ඨාසයකි. පුදුමය වන්නේ මගේ මේ හොරය ඇගේ ඉවට නොවැටීමයි. මුළුතැන්ගෙහි සිට ආපසු එන අම්මා මා දැක ඉක්මන් අඩියෙන් පැමිණියාය.
"ඇයි ලොකු ඔලුව රිදෙනවද? කොහෙන්ද බේත් දැම්මේ? මොකද වෙලා තියෙන්නේ? අමාරුද?"
අම්මාගෙන් නිමක්නැති ප්‍රශ්න රැසකි.
"නෑ නෑ... එහෙම රිදෙන්නේ නැහැ. මම මේ මැණිකාට කියලා තේ එකක් හදවගන්න ආවේ."
"ආ.. මම අර දරුවටත් තේ එකක් හදන්න කිව්වා... මැණිකා.. එහෙනම් ලොකුටත් තේ එකක් හදන්න"
අම්මා මැණිකා ඇමතුවේ තරමක උස් හඬිනි.
"... මේ..... අර ළමය මොනාද දන්නේ නැහැ උදේට කන්න කැමති? මම මේ ඉඳිආප්ප හදන්න කියල.. මස් මාළු නම් එහෙම කනවා ඇතිනේ.. නේද?"
මට දෙන්නට පිළිතුරක් තිබුනේ නැත. කෙටි පණිවිඩයක් ලැබෙනු ඇසුනි. මම වහා දුරකථනය අතට ගෙන අම්මාගෙන් මෑත් වී සිටගත්තෙමි. එකවරම සිටගත්විට තවමත් හිස බමන ස්වභාවයකි.
කෙටි පණිවිඩය තාරුක අයියාගෙන් නොවේ. එය ටාෂාගෙනි. ඇගෙන් මට කෙටි පණිවිඩ එකොළහක් ඒ වනවිටත් ලැබී තිබුනද ඒවා බලන්නට මගේ උනන්දුවක් තිබුනේ නැත. ටාෂාට සාදයෙන් පසුව ලියන බවක් කීවා මතකයට පැමිණියෙන් ඈ කුමක් ලියා ඇද්දැයි මම කියවීමට සිතුවෙමි.
'මට ඔයා නැතුව පාලුයි වගේ. දන්නේ නැහැ ඇයි කියල'
'පාටිය තාම ඉවර නැද්ද? '
'තීක්ෂණ මම හිතන්නේ මම ඔයා ගැන සෑහෙන්න හිතනවා. කොච්චර ලොකු දෙයක්ද මට කෙටි පණිවිඩයට උත්තර එවපු එක'
මෙවන් පණිවිඩ කිහිපයක්ම තිබිණි. මම ඉතිරිය නොකියවා අතහැරියෙමි. ටාෂා මා කෙරෙහි දැඩි උනන්දුවක් ඇති බව නොරහසකි. මට මහත් පසුතැවිල්ලක් දැනුනි. මම ඈ රැවටුවාද? නමුත් ඈ මගේ ප්‍රේමය දිනාගත් තරුණියක් ඇති බව දැනගෙන නොවේද Who is she කියා ලියා තිබුනේ? නැතිනම් නිකන්ම සැකයක් වන්නට නොහැකිය.
මම නැවතත් තාරුක අයියා ඇමතුවෙමි. ඔහු ඇමතුම විසන්ධි කළේය. මම නොසන්සුන් වුයෙමි.
'මොකද වෙන්නේ. මගේ මධුලිකා කොහෙද කියල හෝඩුවාවක් ලැබුනාද?'
'මම කෝල් කරන්නම්. ටිකක් ඉන්න '
ඒ තාරුක අයියාගේ ප්‍රතිචාරයයි. කුමක් හෝ යමක් සිදුවෙමින් පවතී. මම නොසන්සුන්ව ඒ මේ අත ඇවිද්දෙමි. මැණිකා මගේ තේ කෝප්පය අතැතිව බලා සිටියේ බියෙන් මෙනි. මම එය ටීපෝව මත තබන්නට කියූ නිසා, ඇය එලෙස තබා අනෙත් තේ කෝප්පය රැගෙන අර තරුණිය ඉන්නා දෙසට යනවා පෙනුනි.
මගේ හිස පිස්සන් කොටුවක් මෙනි. මගේ වරදින් මම මධුලිකා අහිමි කරගත්තාද? ඇය කෙරෙහි මම මිතුරන් හා ඔට්ටුවක් ඇල්ලු බව සැබෑය. ඒ ඇය දිනාගත නොහැකිව ඊර්ෂ්‍යාවෙන් පෙළුණු තරුණයා මිස ඇගේ ආදරයට පත්වූ මම නොවේ.
මිතුරන් විසින් මම ඇයව පාවිච්චිකොට ඉවතලන බව පැවසීමෙන් ඇය කොතරම් රිදීමකට පත්වන්නට ඇතිද කියා මට සිතාගත හැකිය. නමුත් ඈ කෙරෙහි මම දැක්වූ ප්‍රේමය බොරුවක් නොවන බව ඈට නොතේරුනාද ?
මධුලිකා විසින් සපා කෑ මගේ පපුවේ රතුපාට කැළලක් ඉතුරු කොට හදවත මරණිය තුවාල ලබාදී හමාරය. මේ මොහොතේ කවර කරුණක් නිසාවත් මධුලිකා අනාරක්ෂිතව තැබිය හැකි නොවේ. වරක් ඈ හා දබරව ඇය අතුරුදහන් වීමෙන් පසුව වූ සියල්ලම විනාශකාරී වූ බැවින් අද මේ මොහොතේ වඩාත් පරික්ෂාකාරී වීමට මට හැකිවිය යුතුය.
"මහත්තය.. තේ එක?"
මම ඉහල මාලයට යන්නට හදද්දී නැවත එමින් සිටි මැණිකා බයාදු මුහුණෙන් කීවාය. මට කුසගින්නට වඩා හිතේ ගින්දර වැඩිය. මම නැවත විත් උගුරු කිහිපයකින් තේ කෝප්පය අවසනකොට හිස් කෝප්පය මැණිකා අතට දුන්නෙමි.
එකෙනෙහිම තාරුක අයියා ඇමතුමක් දුන් අතට මම ඒ තත්පරයට එය කනෙහි තබා ගත්තෙමි.
"කොහෙද..."
"මචං.. මධුලිකා හම්බුනා.. බයවෙන්න එපා... කිසි කරදරයක් නැහැ"
මට වුයේ කුමක්දැයි මම නොදනිමි.
"ඕ ........ මගේ දෙවියනේ..................................................................! "
මම වහාම ඉහල මාලයට දිව්වෙමි. මම කෑගැහුවා වැඩි වන්නට ඇත.
".... මම එන්නම්... කෝ කොහෙද ඉන්නේ? අනේ එයාට කරදරයක් නැහැ නේද ?"
මම ඉහල මාලයේ කොරිඩෝවේ ඇවිද්දේ පිස්සෙකු මෙනි. තාරුක අයියාගේ පිළිතුරු යම් ප්‍රමාදයක් සහිතය.
"එපා එපා... එන්න එපා.. ඔක්කොම අන්ඩර් කන්ට්‍රෝල්... උඹ හෙට උදෙන් වරෙන්... "
"මධුලිකා කොහෙද හිටියේ...? කරදරයක් වෙලා නැහැ නේද? අනේ කියපන් මචන්.. කොහෙද හිටියේ. මට පින්තුරයක් එවපන්.. මට බොරු කියන්න එපා.. තුවාලද?"
"විස්තර හෙට කියන්නම්.. බයවෙන්න දෙයක් නැහැ... මමත් දැන් ගෙදර යනවා... "
"මොකක්? උඹ ඇයි මධුව එක්කගෙන යනවද? කොහෙද එයා ඉන්නේ?"
මගේ කටහඬ පාලනය කරන්නට ඉතා අපහසුය. ශබ්ද නගා කතාකල නොහැකිය.මේ කියන්නේ කුමක්ද? මධුලිකා ඉන්නේ කොහෙද?
"නෑ මම එක්කගෙන යන්නේ නැහැ.. එයා සේෆ් තැනක ඉන්නේ.. බයවෙන්න එපා... මම ඔක්කොම බලාගත්තා"
මට මේ අණ්ඩර දෙමළය තේරෙන්නේ නැත.
"මචන්.. කොහෙද ඉන්නේ කියපන් මධු... මාව පිස්සෙක් කරන්නේ නැතුව. පින්තුරයක් එවපන් යකෝ..."
"අපොයි මම දන්නවනේ උඹේ ලව් සික් එක... බයවෙන්ඩ එපා.. මධු ඉන්නේ හොස්පිටල් එකේ... අමාරුවක් නැහැ ඩිංගක් අතක් විතරක් තුවාලයි. මම පස්සේ කියන්නම් විස්තර"
හිසට පිත්තල පොල්ලකින් ගැසුවාක් මෙනි. මධුලිකා රෝහලේ?
"මට කියන්නේ ඇත්ත නේද? මධුට අමාරුවක් නැහැ නේද? කොහොමද එයා හොස්පිටල් එකට ආවේ?"
තාරුක අයියා සිනාසෙයි. මෙය සිනාසෙන වෙලාවක් නොවේ.
"උඹේ ඉතින් කැටයම්! මුකුත් එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. කිඩ්නැප් කරපු වාහනේ පෙරලිලා. ඒ අමාරුව විතරයි තියෙන්නේ.. උඹට වගේ අමාරුවක් නැහැ. ඒ හින්දා හෙට උදේ වෙනකල් ඉන්නවද මයේ අම්මා පින් සිද්දවෙයි... "
මට යම් සහනයක් දැනුනි.
"............ මට රෑට කතාකරන්ඩ එපා හරිද? උඹල දෙන්න පොර කුකුල්ලු වගේ රණ්ඩු උනාමත්, ඊට පස්සේ ආයෙත් ඉසුරුමුණියේ පෙම් යුවල වගේ ප්‍රේම ජවනිකා.... අනේ මෙහ්.. මට අද ඉන්න දීපන් පාඩුවේ... මම විරංග එක්කගෙන යනවා අපේ ගෙදර... "
මට සිනහවක් නැගුණි. ඔහු කියන්නේ ඇත්තකි.
කෙතරම් ඇවිටිලි කලද මධුලිකා සිටින්නේ කවර රෝහලකද කියා කියන්නට තාරුක අයියා කැමති නොවුනේ මහා රාත්‍රියේ හෝ මම එහි යනු ඇති බවට ඇති බිය නිසා යයි කියද්දී මට ඇතිවුයේ ලැජ්ජාවකි. ඔහු කිවේ වරදක් නොවේ; මම එවන් මානසික තත්වයක සිටිමි. ඈ සිටින්නේ කන්කසන්තුරේ කීවද දැන්ම එහි ඉගිල්ලී යන තත්වයක මම සිටින බව තාරුක අයියා දනී.
"හරි හරි.... "
"එහෙනම් මම තිබ්බා... ගුඩ් නයිට්"
"ගුඩ් නයිට්... උඹට ගොඩක් පිං මචන්"
මට දැනුන සැනසීම කොතෙක්දැයි කිව නොහැකි විය. මධුලිකා අනතුරක් නොමැති තැනක සිටිනා බව තාරුක අයියා කියයි නම් එය විස්වාස කරගන්නට හැකිය. ඇගේ ආරක්ෂාව මගේ ජිවිතයට වඩා මට වැදගත්ය.
මධුලිකා දකිනා තුරු ඇති නොඉවසිල්ලට වඩා තෙහෙට්ටුව හා තුවාල විසින් අඩපන කරනලද ගත නින්ද ඉල්ලා සිටියේය. රිදුම්දෙන හදවත තිබියදී ශරිරයට උණුසුම් ජලයෙන් සෝදාගත් මම යහනට පැන නින්දට පිළිපන්නේ මධුලිකා සියලු සිහින අරා සක්මන් කරන ආස්වාදය විඳිමිනි.
******************************************
තාත්තා උදෑසන කෑමට පෙර වත්තට පිටත්ව ගොස් බව කීවද මට සිතුනේ ඔහු යන්නට ඇත්තේ අනුලා අලස්ව හමුවීමට බවයි. මගේ සිත රිදී තිබිණ. තාත්තා ආදරණිය පරමාදර්ශී චරිතයක්ව මගේ සිතේ පතාකව වැඩුණු සෙවනැල්ලයි. ඔහු මෙලෙස අම්මාට ද්‍රෝහී වනවා කියා මට සිතාගන්නටවත් නොහැකිය. මම සුන්දර්ට කෙටි පණිවිඩයක් යැව්වේ තාත්තා පැමිණියහොත් වහාම මට දන්වන ලෙසයි. පාන්දර පිටත්වගොස් සිටි ඔහු, වෙනත් ගමනක් නොගියා නම් උදෑසන 9 වනවිට වත්තට යා යුතුය.
උදෑසන කෑම මේසය විසිතුරු ස්වරුපයක් ගත්තේ අමුත්තිය නිසා වන්නට ඇත. අම්මා ඈට සෑහෙන්නට සැලකුම් ලබාදීමෙන් මගේ සිත ඔතරම් තුවාල වන්නේ ඇයිදැයි මම නොදනිමි. මේ සැලකුම් වලට නියම හිමිකාරිය මධුලිකා නිසාද? එසේත් නැතිනම් මධුලිකා මෙලෙස රැගෙන ආවා නම් මෙලෙස පිළිගැනීමක් තිබෙයි මම බලාපොරොත්තු නොවීම නිසා ඈ වේදනාවට පත්වීටම මම වගකිවයුතු බව සිතෙන නිසාද?
ඇත්තටම මම මධුලිකා නිවසේ අයට හඳුන්වා නොදුන්නේ අවංක අදහසින්ද?
කෑම මේසයේදී මධුලිකා යයි කියන තරුණිය වඩාත් ප්‍රසන්නව හැසිරුනාය. අම්මා අපගේ මිතුදම හෝ අනෙකුත් තොරතුර අසනවිට මනා ලෙස ගොතා කියන්නට ඇයට හැකිවීම මම මවිතයට පත්කරන ලදී. ඇය දක්ෂ නිළියකි. එතරම් සුත්තරකාරියක අම්මා සමඟින් තබායාම මා තුල යම් බියක් ඇතිකරන්නට වුයේ ඒ සමඟය. ඇය මෙහි ආවේ කුමන අරමුණකින්ද කියා දන්නේ නැතත්, ඇය බොරුකාරියක් බව දන්නේ මම පමණකි. මේ තත්වය යටතේ මගේ සහයට වෙනත් අයෙකු නිවස තුලින්ම තබාගත යුතුය.
මම සුදම් දෙස කිහිප වරක් බලා ඉඟියක් කලේ ඒ අතරය.
'යන්න කලින් මට කතාකරන්න '
මම ඔහුට කෙටි පණිවිඩයක් යැව්වෙමි. සුදම් එය කියවා කැළඹුනද එය එතරම් අනෙක් අයට දැනුනේ නැත. කෑම මේසයෙන් පසුව අම්මා ඇගේ මල් වත්ත පෙන්නන්නට මධුලිකා යයි කියන තරුණිය රැගෙන ගිය අතර ඒ අවසරයෙන් මම සුදම්ව මම පාවිච්චි කරන කාර්යාල කාමරයට රැගෙන ගියේ එහි කතාබහ ඇසෙන්නේ යාබද තාත්තාගේ කාර්යාල කාමරයට පමණක් බැවිනි.
"මචන්... මම කිව්වේ නෑ "
සුදම් ගත් කටටම කිව්වේය. මම තිගැස්සී ගියෙමි.
"කාටද? මොනවද?"
"ම.. මා මේ අහන්නේ අර චාපාගේ...?"
"චාපාගේ මොකක්ද?"
"ඔහ.... ඔහ්.. එහෙනම් අවුලක් නැහැ.... තිකා මේ.. පොඩි සීන් එකක් උනා ඊයේ හවස... චාපා ආවනේ"
"හරි මම ඒ ගැන අහන්නම්.... මම කතාකලේ ඒකට නෙවෙයි.. අර ඇවිත් ඉන්න කෙල්ල...."
"උඹට මචන් මාර චාන්ස් වදින්නේ..."
"පොඩ්ඩක් අහගනින් බන් මම මේ කියන එක...."
මම දත්මිටි කැවෙන් සුදම් තරමක් සන්සුන් විය.
"හරි හරි..."
"ඒ ඇවිල්ලා ඉන්න කෙල්ල ඒ කියන කෙල්ල නෙවෙයි.."
සුදම් මදෙස බලා සිටියේ මකරෙක් දෙස බලන්නාක් මෙනි. මම ඒ මොකක්ද කියපු හතර බිහිරි කතාව?
".. මම මේ කිව්වේ... ඒ කෙල්ල මගේ යාලුවෙක් නෙවෙයි... කොටින්ම මම දැක්කෙත් ඊයේ. මෙහෙමයී වැඩේ.. කතාව ටිකක් කොම්ප්ලිකේටට්... මම මේ කිව්වේ මම.. මම දන්නවා මේ මෙතන ඉන්න ඕනේ කෙල්ල කවුද කියල.. ඒ කෙල්ල මෙයා නෙවෙයි. මම දන්නේ නැහැ මේ කෙල්ල කවුද කියල.. "
සුදම් මා දෙස බලා සිටියේ විමතියෙනි. තවමත් මම කියන්නේ පැටලිලි කතාවක් බව මට නොතේරුනා නොවේ. මම හුස්මක් ගත්තෙමි.
"මේකත් අර හුටපටේ කෑල්ලක්ද?"
මම ඔව් කියන්නාක් මෙන් හිස ඉහල පහල කලෙමි.
"මේකයි... මට මේ කෙල්ල සැකයි... උඹට පුලුවන්ද කෙල්ල ගැන ඇහැගහගෙන ඉන්න... ටික දවසකට? මම වෙනුවෙන්?"
සුදම් ඉනට අත තබාගෙන මා දෙස බලා සිටියේ අග මුල තේරුම් ගන්නට මෙනි.
"ඩඩා එතකොට?"
"ඒක ටිකක් දිග කතාවක් බන්.. මම කියන්නම් පස්සේ ඔක්කොම විස්තරේ.... දැන් මේ උදව්ව කරපන්... මට බයයි අම්මට අනතුරක් වෙයිද කියල... ඒ හින්දා මේක සීරියස් වැඩක්"
සුදම්ගේ වම් උරහිස මත අත තබා මම කිව්වේ ඔහුගේ මුහුණ දෙස සෘජුව බලමිනි.
ඒ සමඟම කෙටි පණිවිඩයක් ආවේය. එය සුන්දර්ගෙනි. තාත්තා වත්තට ළඟාවි ඇත. වෙලාව උදෑසන අට පසුවී විනාඩි හතලිස් අටකි. මගේ සැකය වැරදිය.; තාත්තා අන්දෙසක ගොස් නැත.
"ඔලුව මොකද උනේ?"
සුදම් ඇසුවේ රහසින් මෙනි.
"කොලේජ් එකේ වලියක් ගියා."
"අර කෙල්ල හින්දද?"
මම පිළිතුරක් දීමට පමා වුයෙමි.
"... චාපා... මම හිතන්නේ ගේම අතාරින්නෙ නැහැ. මට හිතෙන්නේ තිකා උඹ කතාකලොත් හොඳයි"
"ඒක නෙවෙයි , උඹ මොකක්ද ආපු ගමන් කිව්වේ? චාපා මෙහෙ ආවා කිව්වේ.."
********************මතු සම්බන්ධයි **************************
මධුලිකාව යලි මුණ ගැසීම පිළිබඳව බලවත් ප්‍රීතිය!
ReplyDeleteතට්ටයා මහත්තයා එයා ගැන මොකද ඔච්චර උනන්දුව?
Deleteමාර වැඩක් නේ වෙලා තියෙන්නේ ?
ReplyDeleteමාර වැඩක් නේන්නම්... පැට්‍රල් වැඩි කරලලු නෙහ් ?
DeleteJust kidding.. thanks for the comment
Thanks, keep reading
ReplyDelete