මධුලිකාද සහ මධුලිකා සඳහන් තරුණියක නිවසේ සිටියදී අම්මාට ඇති අනතුර විසින්ද දෝලනය කරන ලදුව සහ අම්මාගේ දහසකුත් ප්‍රශ්නාවලි වලින් පෙරී එනවිට මගේ ඉවසීම ඉක්මවා යන්නට ආසන්නව තිබිණ.
ලද අවසරයෙන් නිවසින් එලියට පනිනවිට එකොළහට ආසන්නව පැවතුනි. වාහනය පදවනවාට අම්මාගේ දැඩි විරෝධය නොතකා එළියට ආ මම ගේට්ටුව පසුකරනවිටම තාරුක අයියා ඇමතුවෙමි.
"හලෝ?"
"මචන් මට මධුව බලන්න ඕනේ! කොහේටද මම යන්න ඕනේ?"
තාරුක අයියා එකවරම පිළිතුරක් දුන්නේ නැත. මම නොඉවසිල්ලෙන් දඟලමිනි.
"... මට යන්න පාර කියපන් මම යන්නම් එක්කෝ"
"දැන් කොහේ ලෙඩ්ඩු බලන්නද.. දවල් වෙලානේ ආයේ යන්න දෙන්නේ"
මගේ සිත රිදින. මධුලිකා නොදැක මගේ සිත කෙසේවත් සුවපත් නොවේ.
"ඉතින් කීයටද ආයේ යන්නේ? මට මධුව බලන්න ඕනේ බන්"
තාරුක අයියා සිනාසෙනවා මෙන් මට හැඟුනි.
"ආ හරි වරෙන්කො අපේ ගෙදර.. මගෙත් එක්ක යනකොට වෙලාව හරි"
මම වහා තාරුක අයියාගේ නිවසට ගිය අතර අප දෙදෙනා ඔහුගේ රථයට ගාල්වී , තාරුක අයියා රියදුරු ආසයනට පිළිපන්නේය.
"අය්යෝ බන්.. උඹට ඔහොම ඉඳන් ඩ්‍රයිව් කරන්න හොඳ නෑ. ඕකම තමයි මම ඊයේ එන්න නොදුන්නේත්. ඇවිත් මෙතන උඹත් එහා ඇඳේ ඉන්නවා එහෙනම්... කොහෙද හැදුනු කුලප්පුවට අර බෙහෙත් ටිකත් දාල ඇවිත්නේ.. අන්න මම ගෙනාව"
මට සිනහවක් නැගුනේ නැත. මගේ සිත කලබලෙනි. මධුලිකා තවමත් මා හා අමනාපයෙන්ද කියා මම නොදනිමි. ඈ නැවත මිතුරු කරගන්නේ හෝ යම් පමණකට සමතයකට පත්කරගන්නේ කෙසේදැයි මට තවමත් සිතාගත නොහැකිය. මේ ගැන මට තාරුක අයියාට කියන්නට නොහැකි වන්නේ, මගේ මේ ප්‍රේම ඔට්ටුවක් ගැන ඔහු හාන්කවිස්සියක් හෝ නොදන්නා බැවිනි.
".. ඇත්තටම උඹට හොඳ වැඩේ නේද උනේ... උඹ හිටපු හැටියට කෙල්ලෙක්ට ඔහොම ලව් කරයි කියල මට නම් හීනෙන්වත් හිතුනේ නැහැ..."
මට ලැජ්ජාවක් දැනුනි. ඔහු කියන්නේ සත්‍යයක් විය හැකිය.
යුවතියන් ඇසුරට මගේ ඇති ඉතිහාසය ඔහු දන්නා නිසා ඔහු නිතර මට ඒ ගැන තරවටු කිරීමත් උපදෙස් දීමත් සිදුකර ඇත. එය සිදුවුයේ ඔහුගේ දුරින් ඥාති වන තරුණියක හා මගේ හාදකම හසුවීමෙනි. වඩාත් රුමතියක් වූ ඇගේ සම්බන්ධය මම නතර කරන්නේ ඒකපාර්ශවිකවමය. හේතුවඈ විසින් මට අයිතිවාසිකම් කිවිමේ ප්‍රථම සිද්දියක් මිස අගේ රූ සපුවේ අඩුපාඩුවක් නිසා නොවේ. මම නිර්ධය ලෙස එම සම්බන්ධයට තිත තැබුවෙමි.
මධුලිකා එතරම් රූමත් අයෙකු නොවුනත්, ඈ සතු පෞර්ෂය ; ඇසින් හා මුහුණෙන් පෙන්වන ජීවයෙන් පිරුණු ආකර්ෂණය විසින් ඈ වෙත මා නතු කරගත්තේ මම නොදැනුවත්වම නොවේද? එයට මා හසුවී ගියේ මටද නොදැනීම වීම විහිළුවකි.
".... සිරාවට මචන්... මධු තමයි උඹට ගැලපෙන කෙල්ල.. ඕනෙම පොට්ටයෙක් දැක්ක ගමන් එකඟවෙනවා උඹලා දෙන්නා මැචින් කපල් එකක් කියල. "
"............."
"ඒ කෙල්ල උඹ දිහා බලන බැල්මෙන්ම පේනවා ඒකි උඹට කොච්චර ලව්ද කියලත්"
තාරුක අයියා නොනවත්වා කියවයි. මගේ සිත රිදුනද මම නිශ්ශබ්දව අසා සිටියෙමි. ඔහු කියන්නේ සත්‍යකි. මධුලිකා මට ඇති ප්‍රේමය ඈ තුල හටගන්නේ සෑහෙන කලෙකට පෙර සිටය. එය තදින් පොලව මත නැගී සිටිනා යෝධ සඳුන් ගසක් මෙනි. මගේ පෙනුම ; පෝසත්කම හෝ ප්‍රසිද්දිය යන කාරණා කෙසේ වුවද එය සුරැකිව තබා මට සෙමෙන් ලබාදුන්නේ කුඩා මාත්‍රා වලින් මගේ නහර වලට දැනෙනා පරිද්දෙනි.
මධුලිකාගේ කෝපය සාධාරණ
යයි මට සිතේ. නමුත් අන් යුවතියන්ට වඩා හාත්පසින් වෙනස් සැලකුමක් මමද ඇය
වෙත පෑවෙමි. ඇය දුබලව, අසරණව මගේ සරණ පතාගෙන ආ මොහොත්වක් කිසිවකදී මම ඈ
ආරක්ෂා කළා මිස හානියක් නොකලෙමි.
එහෙයින් මම තනිකර වරදක් නොකලමි. ඇගේ මෘදු මොලොක් පහසින් මන්මත්ව ගියද මගේ සරාගී තරුණ දඩබ්බර සිත සිපගැනීමකින් ඔබ්බට නොගියෙමි. ඇයට පෙම් කිරීම කෙතරම් අපහසු කාර්යක් වුවද මම කරමින් සිටියේ එයයි. ඈ මගේම යයි සිතද දැනුන සැමවිටම ; අයිතිය කියාපාන්නට මෙන් ඈ සිපගත් බව සැබෑවකි. තුරුණු නොදැමුණු තරුණයෙක් වූ මට ඈ අයිති නොවේද?
තාරුක අයියාගේ කාර්යාලයට ගොස් ඔහුගේ සේවාදායකයින්ගේ වැඩ වලට ඔහු සිරවූ නිසා මම පසෙක ඇති කොටසේ වූ සෝෆාවේ ගිලි දුරකතනයේ ඇති මධුලිකාගේ පින්තුර පිරික්සන්නට වීමි.
මගේ ඇස නතරවූයේ මධුලිකාගේත් මගෙත් මංගල ජායාරුපය ගත දිනයේ , ජායාරුපශාලාවේ අයෙකු විසින් මට ලබාදුන් සේයාරුවටයි. මධුලිකා සත්‍ය වශයෙන්ම මලක් මෙන් පියකරුව මෙන්ම හදවත නතර වන තරමට ආකර්ශනියව සිටියාය.
දෝතට ගත් ඈ මගේ පපුවට තුරුලුව සිටි අතර, ඒ මොහොතේ කුමක් හෝ හේතුවකට මමත් ඈ දෙස බලා සිට ඇත. අනෙක් පින්තුරයේ මධුලිකා ඉදිරිය බලාගෙන ඈට වාරුව දෙන මගේ මුහුණ දෙස බලාගෙන සිටියාය. ඒ ඇස් මම විශාලකොට බැලුවෙමි. ඇගේ සරාගී දෙතොල් මම වඩ වඩාත් ලංකොට පිරික්සුවෙමි. ඒ සියල්ලම මගේ සිත පුරවා දමයි. නොදැනුවත්වම මම දුරකතනයේ තිරය ලංකොට එය සිපගත්තෙමි.
"මචන් යමු"
මට තරු විසි වුනි. තාරුක
අයියා මගේ බොළඳ ක්‍රියාව දුටුවා වන්නට ඇත, නමුත් කිසිවක් පැවසුවේ නැති
බැවින් ලැජ්ජාව වසාගන්නට හැකිවිය. කලබලයට සෝෆාවෙන් නැගී සිටින විටම , හිස්
කැරකී ගිය බැවින් මම නැවත එහි කොටසක් අල්ලාගෙන සිටිවනම සිටියෙමි.
".. අඩෝ.. උඹ තාම බෙහෙත් එක බිව්වේ නැද්ද? මම ඇයි දුන්නේ? බීපන් යන්න කලින්."
"හරි හරි අවුලක් නැහැ... අඩුවෙලා යයි..."
එසේ කීවද බෙහෙත් බොනතුරු තාරුක අයියාගෙන් ගැලවිල්ලක් තිබුනේ නැත. බෙහෙත් බීමෙන් අනතුරුව මමත් තාරුක අයියාට් ඔහුගේ රථයෙන් මධුලිකා සිටිනා රෝහල වෙත යන්නට පිටත්වූයෙමු.
මගේ සිත චකිතයෙනි. මධුලිකා තවමත් මා සමඟ කෝපයෙන්ද ?
"මචන්... මොකද උනේ කියලා දන්නවද? මධුට අමාරුවක් නැහැ නේද මචන්.."
"ඔව් බන් ඔව්... වාහනේ පෙරලුනු වෙලාවට ආපු ෂොක් එක තමා තිබ්බේ. ලොකුවට තුවාලයක් නැහැ. වාහනේ පෙරලුනා කියලා විතරයි දැනගන්න පුළුවන් උනේ. උඹ ඉතින් මැරෙන්න හදනවා කියලා මම දන්නා නිසා පෙයින් වෝඩ් එකකට ගත්තා. එතන ආරක්ෂාවත් හොඳයි"
"එතකොට අර මිනිහා ?"
"මෙහෙමයි... "
තාරුක අයියා විස්තරය කියන්නට පටන් ගනිද්දී මම මට අවැසි ඇනවුම දැමුයෙමි , එය අප යන පාරේම නිසා පහසුය.
තාරුක අයියාගේ විස්තරයට අනුව මධුලිකා පැහැරගෙන ගිය වාහනය විරංගගේ බාප්පා පදවාගෙන පැමිණ ඇත්තේ තනිවමය. වාහනය අනතුරට පත්වී එය පාරේ දකුණු පසට ගොස් තරමක බෑවුමකට පෙරලි ගොස් ඇත. එහිදී පළමුවෙන් එලියට විසිවූ මධුලිකාට අඩුවෙන් හානියක් වී ඇති අතර අනතුරෙන් පසුව එතනට රැස්වූ සෙනග විසින් බාප්පා රෝහලට යවා ඇත.
පසුව විරංගගේ අනුමානයෙන් එම පාරේ එතනට පැමිණි තාරුක අයියාත් විරංගත් විසින් මධුලිකා එහි සිටින බව දත් නිසා අසල වනය පීරා සෙවීමක් කරන විට මධුලිකා වඩාත් ඈතක අඳුරේ බිම වැතිර සිටිනු හමුවී කාටත් හොරා රෝහලට රැගෙනගොස් ඇත.
වහාම සිය ජාලය ඔස්සේ තොරතුරු ලබාගත් තාරුක අයියා විසින් බාප්පා ඇතුලත්කර ඇත්තේ අසලම රෝහලට බව සොයාගෙන , සිය අධිකාරි බලයෙන් මෙතක් කාලයක් පොලිසියෙන් සිය මුල්‍ය වංචා වලට කට්ටි පනිමින් උන් විරංග ගේ බාප්පා පොලිස් අත්අඩංගුවට පත් කරන්නේ මතු ආරක්ෂාව පතාය.
බාප්පා
කිසිම අවස්ථාවක පැහැරගැනීම ගැන සඳහන් නොකළ නිසා මධුලිකා ගැනද තොරතුර වසන්ව
ගියේය. එය වාසියකි. වාහනය පෙරලි ගියේ තමන්ගේ නොසැලකිල්ල නිසා බව ඔහු
එකහෙලාම කියා ඇති බව සිය මිත්‍රයෙකු වන රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා විසින්ද
තහවුරු වූ බැවින් සියල්ල අප පාලනයේ විය.
එබැවින් බාප්පාගේ රිය අනතුර මධුලිකාගේ අනතුරෙන් ස්වයායත්තව පැවතියේය! එය අපූරුය !!
අතරමගදී ඇනවුම සඳහා බැසගිය මම ආවේ රතුපාට ජර්බරාස් සහ රෝස වලින් සැදුනු තරමක මල් පොකුරක්ද අතැ'තිවයි. එය දුටු තාරුක අයියා සතුටින් වුයේය.
"අඩෝ උබ සිරාම සිරා රොමැන්ටික් සත්‍ය ප්‍රේම බ්‍රුංගරාජයෙක් වෙලානේ... අඩේ මටත් හිතෙනවා උඹ වගේ වෙන්ඩ..හප්පටසිරි ඊට කලින් කෙල්ලෙක් හොයාගන්න එපැයි !"
අප දෙදෙනාම හඬනගා සිනාසුනෙමු.
රෝහලට සේන්දු වනවිට රෝගීන් බලන වෙලාවට වඩා විනාඩි දහයක් පමණ පෙර වුවද හිතවත් වෛද්‍යවරයා උපකාරයෙන් අප දෙදෙනා ඒ මොහොතේම රෝහල තුලට ගියෙමු. දෙවන මහලේ පියගැටපෙළ ආසන්නයේම , අමුත්තන්ට ඇති පුටු ඇති කොටස ආරම්භ වන තැනම මධුලිකාගේ කාමරය විය. එහි ඇතුළුවන ස්ථානයේ Mrs. වාසලමුදලි කියා ලියා තිබෙනු දුටු මට සිනහවක් නැගුණි.
"මධුගේ ආරක්ෂාව ගැන හිතල ඕක ඔහොම දැම්මේ.. උඹත් ඉතින් පැනලා කැමතිනේ"
තාරුක අයියා මට එසේ කියද්දී පවා සිනහව අතරින් මගේ පවුව වේගයෙන් ස්පන්ධනය වන්නට විය. අතැති මල් පොකුර තදින් අල්ලාගත් මම තාරුක අයියාට පිටත ඉන්නට කියා පළමුව කාමරයට පිවිසියෙමි.
මධුලිකා කාමරයේ කොනක තිබුණු සයනයේ වැතිර සිටි අතර මගේ පිවිසීමත් සමඟම නින්දෙන් ඇහැරී ඈ හැරී බලද්දී ඇගේ ඇස්වල නැගී ආ දීප්තිය වසන්කල නොහැකි විය.
නමුත් සඳ රාහුට හසු වුවා සේ එහි වූ ආලෝකය කෙනෙහිම වැසි ගොස් මුහුණ බලා සිටියදී නොමනාපයක් ඇති විය. එයට හේතුව මම දනිමි.
මම මල් පොකුර ඈ වෙත පෑවේ "මධු..." ලෙස අමතමිනි. මධුලිකා ඉවත බලාගෙනම උන්නාය. මම මල් පොකුර පරෙස්සමට අසල වූ මේසය මත තැබුවා පමණකි. මධුලිකා එය ක්ෂණයෙන් අතටගෙන , මා පසුකොට යන සේ විසිකර දැමුවේ කාමරය දෙදරා යන පරිද්දෙන් මොර දෙමිනි.
"යනවා යන්න මෙතනින්!"
එය පිටතින් සිටි තාරුක අයියාටද නෑසී තිබිය නොහැකිය. මම වහා ආපසු හැරුනෙමි. දොර අසලදී මගේ මධුලිකා දෙස වරක් හැරී බැලුවද, ඒ වනවිට ඈ සම්පුර්ණයෙන් මට පිටුපා සයනයේ හාන්සි වී සෙමෙන් ඉකිබිඳිමින් සිටියාය.
දොර විවර කරගෙන පැමිණෙන මා දෙස තාරුක අයියා භ්‍රාන්තව බසා සිටිනු දැනුනත්, දෑත්කලිසම් සාක්කු වලට දමාගෙන, මම නිහඬවම බිම බලාගෙන, අමුත්තන්ට තිබුණු කොටසට ඇවිද ගියේ රෝගියෙකු පරිද්දෙනි.
මගේ සිත වඩාත් වද වුයේ මධුලිකා මල් පොකුර ඉවතට විසිකලාට වඩා ඈ සමඟ වචන කිහිපයක් හෝ කතා කරන්නට අවසරයක් නොලද නිසාය. මම පුටුවකට ගොස් ,දෑත මත හිස තබා , වැලමිටෙන් දනිස් වලට බරවී වේදනාවෙන් හුස්ම අල්වන්නට වීමි.
මධුලිකාගේ ආවේගය මම දනිමි. ඇගේ කෝපය සාධාරණ බව මගෙත් හැඟීමයි. නමුත් එයින් ප්‍රේමය මිය යන්නේ නැත. ඇය සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීම නොමනා ක්‍රියාවක් වුවද ඒ මොහොතේ මගේ දඟකාර තරුණ සිත අද මෙන්ඈ කෙරෙහි ප්‍රේමයෙන් බරව තිබුනේ නැත. අප පාසලේ ප්‍රේම සම්බන්ධතා එතරම් බැරෑරුම් නොවිය. මධුලිකා ඊට වෙනස් බව මම දන්නේ ඈ හා ප්‍රේමයෙන් වෙලීමෙන් පමණක්මය.
එබැවින් ප්‍රේමයේදී ප්‍රේමය උදෙසාම අප කරනා නොපනත්කම් වලට සමාව හිමිවිය යුතුය.
'සල්ලි ගස්වල හැදෙනම්, කෙල්ලෝ වඳුරන්ටත් පෙම් කරනු ඇත'
ඒ පෙර කලෙක මම ඇදහු කියමනයි. සත්‍ය වශයෙන්ම කිවහොත් මට සිටි තරුණියන් වැඩිමනත්ම මගේ කෙළිලොල් බවටත්, පෙනුමටත් මුදල් වලටත් ආකර්ෂණය වුවන්ය. එහි වරදක් මට පෙනුනේද නැත.
මමත් මගේ යහළුවන් සැමදෙනාත්එම සත්‍ය ඔප්පු කරන්නට සෑහෙන සාධක සොයාගෙන සිටියද , මධුලිකා විසින් අසත්‍ය බවට සපථකොට ඇත. මා කෙරෙහි ඇති ප්‍රේමයට ඈ කිසි විටෙක මගේ මිල මුදල් හා ගාව ගත්තේ නැත. එය සෙමෙන් සෙමෙන් රෝගියෙකු සුවපත් කරනා දිව්‍ය ඔසුවක් මෙන් මා තුල උන් සිඳුලෝලී තරුණයා යන යක්ෂයා පලවා හැර ඇති බවකි. එබැවින්ඇගේ මේ කෝපය සාධාරණය.
'මට මධුලිකා අහිමි කරගන්නට නොහැක'. මගේ පපුව මුරගාමිනි.
තාරුක අයියා මා අසලට විත් සිටගත්තද මම නිසොල්මනේ උන්නේ බිම බලාගත්වනමය.
"මොකද බන් උනේ? උඹ මොකද ඒ කෙල්ලට කිව්වේ?"
එකවරම මම පිළිතුරක් දුන්නේ නැත. සත්‍යට මගේ ඇති බිය තවමත් ගිලිහිගොස් නැතිවා සේය.
"පොඩි රණ්ඩුවක් උනා බන්.. ගණන් ගන්න එපා.. දන්නවනේ තද උනාම ! තරහ අඩුවෙලා යයි"
මම මද වෙලාවකින් පැවසු අතර තාරුක අයියා මා අසල පුටුවට බරදුන්නේය.
"මම අහන්නේ නැහැ මොකක් හින්දද රණ්ඩුව කියල.. ඒ උනත්... සීරියස් එකක් නේද?"
"................."
"මම ඉන්නකොට මධු කෝල් එකක් ගත්ත... මිස්ටර් වාකිෂ්ඨ ට...."
මම අසාගෙන සිටියා මිස ප්‍රතිචාරයක් දැක්වුයේ නැත.
"මටයි වාකිෂ්ටයි කතාකරගන්න කියලා.. ඩිවෝස් පේපර්ස් ටික එවන්න කියලා කිව්වේ!"
හෙන දහසක් කන අසල පිපිරුණාක් වෛව මම තෘෂ්නිම්භුත වූ මට ඉබේම තාරුක අයියාගේ මුහුණ බැලිණ.
*************************** මතු සම්බන්දයි ***************************
No comments:
Post a Comment
මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි