තාත්තාගේ තත්වය බරපතල බව වෛද්‍යවරුන් පැවසුවද මම මහත් ශෝකයෙන් වැලපෙන අම්මාට හෝ සුදම්ට එවැන්නක් නොකීවෙමි. හදිසියේ ඇතිවූ හෘදයාබාධය නිසා ඔහුව අප රැගෙන ගියේ ආසන්නයේම තිබුණු පෞද්ගලික රෝහලට වූ අතර ඔහුගේ වෛද්‍යවරයා ඊට පැයකට පසුව එහි ළඟාවනවිටත් අප සියලුදෙනා කම්පනයෙන් ඒ මේ අත බලමින් කොරිඩෝවේ තැන තැන වැටී උන්නෙමු.
"ඇයි මේ බෙහෙත් ටික වෙලාවට මාරු කලේ නැත්තේ?"
මට හෙදියට දෙන්නට පිළිතුරක් නොවුනි. මෝඩයෙකු සේ මම ඔහේ බලාගෙන උන්නෙමි. පතාක යෝධයෙකු වන තාත්තා අසනීපයෙන් සිටීමම මට සිහිනයක් මෙනි. ඔහු පසුගිය දිනවල සිය පපුවේ කැක්කුම ගැන කියා ඇතත් වෛද්‍යවරයෙකු වෙත යාම ප්‍රතික්ෂේප කල බව අම්මා කියූ බව මට මතකය.
මේ මොහොතේ සිත අවුල් කරගතයුතු නැත. හිස් කෙලින් තබාගෙන සිටීම වඩා වැදගත්ය. රාත්‍රිය මෝරනවිට අම්මගෙත්, තාත්තාගේ හිතවතුන් සහ සහෝදරයින් කිහිප දෙනෙක් අපගේ දුක බෙදාගැනීමට පැමිණි අතර බලාසිටිනවා හැර කළහැකි යමක් නොවුනි.
"පුතාල යන්න ගෙදර.... දැන් බයවෙන්න දෙයක් නැහැ මල්ලි ඉන්නේ ඩොක්ටර්ස්ලා ගාවනේ"
සියවෙනි වතාවට අනෙකුත් අය විසින් කියන ලද වැකිය ලොකු තාත්තා කියන්නට ඇත. මම අම්මා ගැනත් සුදම් ගැනත් සිතිය යුතුය. මේ මොහොතේ වඩාත් සිහියෙන් කටයුතු කලයුත්තේ මම බව මට නොවැටහුනා නොවේ.
"පුතා යමු .අපේ ගෙදර... .. මාලි.. ... ඔයා දුක් වෙන්න එපා.. රෙජිත් මෙතන ඉන්නවා, ඔක්කොම බලාගනී"
අම්මගේ උරහිසට අත තබා කතා කලේ ටාශාගේ මවයි.අම්මා මා දෙස බැලුවේ මගෙන් අවසරයක් පතන්නාක් මෙනි. ඇයට ඇගේ හොඳම මිතුරියගේ සෙවන සැනසීමක් ලෙස දැනෙනවා ඇත.
"නංගි එහෙ ගියාට කමක් නැහැ... අපිට පුළුවන් මේ දේවල් ඔක්කොම බලාගන්න"
තාත්තාගේ ලොකුම අයියා පැවසුවේය. ඔහුගේ බිරිඳ මියගොස් , දරුවන් සියලුදෙනා සිටියේ විදේශගතවය. ඔහුට අප එහි ගෙනයාම කල නොහැකිය.
"ඔව් අම්මා.... අම්ම එහෙ යන්න... මම ඇඳුම් ඔක්කොම එවන්නම්"
"බෑ බෑ බෑ .....මට ඔයාලා එක්ක ඉන්න ඕනේ"
අම්මා මගේ වමත බදාගත්තේ කුඩා දැරියක පරිද්දෙනි. ඈ මෙතරම් දුර්වලව මම දැක තිබුනේ නැත. මගේ සිත සැලී ගියේය.
"සුදම් එක්ක යන්න..."
"ලොකු.....?"
"හරි මමත් එන්නම්"
අප සියලුදෙනාම පැමිණෙන බවට කියූ පසුව අම්මා යෝජනාවට එකඟ වුවාය. පාන්දර දෙක පමණ වනවිට නිවසට ගොස්, මම ඔවුන්ගේ ඇඳුම් හැකි පමණ රැගෙන ටාශාගේ නිවසට යද්දී , සාලයේ මධ්‍යයේ ටාශාගේ මවත් ටාශාත් යන දෙදෙනාම සිටියේ මා පිළිගන්නට මෙනි. මම ඇඳුම බෑග දෙක පසෙකින් තබා ටාශාගේ මව දෙස පහන් බැල්මක් හෙලුවෙමි.
"මම මාලිව නිදාගන්න යැව්වා පුතා. එයා සෑහෙන්න අප්සෙට් එකේ ඉන්නේ. පුතාගේ මල්ලි ඉන්න කාමරේ තියෙන්නේ උඩ.. එයත් නිදාගන්න ගියා... "
"තැන්ක්ස් ආන්ටි මේ කරන උදව් වලට.."
ටාෂා පැමිණ එක ඇඳුම් බෑගයෙක් රැගෙන, එය බිම දිගේ ඇදගෙන මෙන් ආපසු හැරුණාය. ඒ සමඟම පැමිණි සේවිකාව ඈ අතින් එය ගෙන පඩිපෙළ කරා ගෙනියනු මට පෙනුනි.
"අපෝ ඕව මොනාද මට මාලි කරලා තියෙන උදව් එක්ක බැලුවම... අම්මෝ මාලි තමයි මගේ ජිවිතේ හම්බවෙලා තියෙන හොඳම හිත තියෙන කෙල්ල... මටයි රෙජිටයි සෑහෙන්න ඒ කාලෙත් උදව් කළා..."
මම යන්තම් සිනාසුනෙමි. අම්මා මෙන්ම තාත්තාද මනුස්සකම් වලින් පිරිණු පුද්ගලයින් බව මම සැමදාම අත්දකින කාරණයකි. තාත්තා අසනීපවීම යනු ඒ මහා රූස්ස ගස පසෙකට ඇලවී ගියාක් මෙනි. ඉබේම සුසුමක් මගේ මුවින් පිටවිය.
"යමු පුතා.. පුතාගේ කාමරේ පහල... මහන්සිත් ඇතිනේ... හොඳට වොෂ් එකක් දාලා දැන්වත් ටිකක් නිදාගන්න"
මම ටාශාගේ මවගේ පසුපසින් වැටුනෙමි. මම යන දෙස ටාෂා බලා සිටියාය. මගේ පපුව ගැහෙන්නට විය. ඇය හා මා කතාකලයුතු නොවේද? නැතිනම් එය නොපනත්කමකි. මම ඇයට හිසින් එන්නට කියා කිව්වේ එබැවිනි.
එය අමුත්තන් සඳහා ඇති වෙනමම නිවෙස් කොටසක් මෙනි. අතිශය සුඛෝපබෝගී කමක් මේ සියල්ලේ තැවරී තිබිණ. කාමරය විශාලය,සැප පහසුය. එයට ඇතුල් වූ සැනින් මගේ සිත මධුලිකා වෙනුවෙන් නැවත පෑරී ගියේ ඇයිදැයි මම නොදනිමි. මම බෑගය තුලින් මගේ ඇඳුමක් ගෙන නානකාමරයට වැදුනේ වේදනාවට පත් සිත තුරුල් කරගනිමිනි. උණුසුම් ජලයෙන් සේදුනු ගතට යම් සහනයක් ලැබුණු නිසා පහසුවක් දැනුනද ටාෂා පිලිබඳ ඇති තැතිගැන්ම එලෙසමය.
මම නාන කාමරයෙන් එලියට එද්දී කාමරයේ දොර විවරව තිබිණ. මම දොර වසන්නට යද්දී කාමරයේ මධ්‍යයේ තිබුණු කුඩා බුහුටි මේසය මත දුම් දමන කෝපි කෝප්පයක් සහ සුප් බඳුනක් විය. මම දොර අසල නතරව එය වසා දමන්නට අත තබද්දී බරාදයේ සිටගෙන උන් ටාෂා පෙනුනි. ඈ මා දෙස බලාගෙනය. මම අපහසුවෙන් සිනාසුනෙමි.
"මම එන්නද?"
"හ්ම්ම්.. මේක ඔයාගේ ගෙදරනේ"
මම අපහසුවෙන් කියා කෘතීම සිනහවක් පෑවෙමි. ටාෂා මා දෙස බලා දෑසම එක බැල්මකින් ඉවතට ගත්තාය. ඈ මගේ කාමරයට පැමිණ ඇයට පසුපසින් දොර වැසුවාය. ඉතා කෙටි සුදුපාට තුනී ඇඳුමක් ඇඳ සිටි ඇය දැක මගේ සිත ගැස්සුනේ නැතත්, යම් කැළඹීමකට පත්විය.
"මට කණගාටුයි ඔයාගේ තාත්තගේ තත්වය ගැන...."
"හ්ම්ම්ම්... ස්තුතියි"
මම කෝපි කෝප්පය අතට ගෙන මේසයේ ඇති පුටුවක වාඩි වුයේ ටාෂාගෙන් දෑස් ඉවත් කරගනිමිනි.
"...හ්ම්ම්ම්... කොහොමද ඉතින්? මට සමාවෙන්න කතාකරන්න ඉස්පාසුවක් තිබ්බේ නැහැ"
ටාෂා මා අසල පුටුවක් ඇද හිඳගත්තාය. ඇගේ ඇස් රැඳී තිබුනේ මම නිරුවත්වූ උඩුකයේ බව මට පෙනුනෙන් මම වහා හැරි, සෝෆාව මත තිබුණු ටී කමිසය ඇඟලා ගත්තෙමි. මම සිටියේ ටාෂා දෙස නොබැලීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරමිනි. මේසය මත තිබුණු මගේ අත ටාෂා යන්තම් ස්පර්ශ කළාය.
"මම දන්නවා... තිකුගේ හිත මට නෙවෙයි කියල..."
මම කිසිවක් නොකියා ඇගේ අතෙන් සෙමෙන් ලිස්සාහැර මගේ අත මුදා ගත්තෙමි.
"... මට කියන්නකො ඉතින් කවුද ඒ වාසනාවන්ති කියල?"
මගේ පපුව සිරවෙන්නට ආ බව නිසා කෝපි කෝප්පය වටා මගේ දෑතම තබා ගත්තෙමි. මගේ පපුව සිරවෙයි, වචනයක්වත් කතාකරගත නොහැකිව මම ලතැවුනෙමි. මධුලිකාගේත් මගෙත් සම්බන්ධය ඈට පවසන්නේ කෙසේද?
"ඒක නෙවෙයි ටාෂා... මට කියන්න අපි දැන් මොකද කරන්නේ... ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? "
"......................."
"අම්මලා දන්නවද? මම හිතන්නේ නැහැ දන්නවා කියල... දන්නවා නම් මාව මේ ගෙදරට මෙහෙම පිළිගන්නේ නැහැ කියල මම දන්නවා"
මම වචන පැටලෙමින් ඇසුවෙමි.ටාෂා සිය නියපොත්තෙන් මේසය කොනහමින් සිටියා මිස කිසිවක් කිවේ නැත. අවුරුදු දහනවයක හිරිමල් තරුණයෙකු වූ මම දරුවෙක් ලැබෙන තරුණියකට වගකීමක් ගන්නට තරම් සුදානමක් වන්නේ කෙසේද?
"මට ඔයාගේ ආදරේ කරන කෙල්ල කවුද කියන්නකෝ..."
මට තරමක කෝපයක් නැගුණි. මම උත්සහ කරන්නේ මෙය යම් බරපතලකමකින් සිතන්නටය. මෙවන් දෙයකට මුහුණදෙන්නට තරම් මගේ සිත ශක්තිමත් නැති බව මම ඉඳුරා දනිමි. මැයට මෙය විහිලුවක්ද?
"ටාෂා... පිස්සු නටන්නේ නැතුව මට කියන්නකෝ මොනාද කරන්න ඕනේ කියල... ඔයාට මාව අයිති කරගන්න ඕනේ නැති උනාට , මෙහෙම තත්වයක් යටතේ මට එහෙම ඔයාව පැත්තකට දාල ඉන්න බැහැනේ... ඇත්ත.. මම "
මට කතාකරගන්නට නොහැකි විය. ටාෂා එකවරම පැන මා සිපගත්තාය. මට සිතාගන්නටවත් කාලයක් තිබුනේ නැත. කලබලයට මම පුටුවත් පෙරලාගෙන බිමට වැටුනේ ඈ සමඟය.
"පිස්සුද?"
මම ඈ පෙරලාගෙන මෙන් නැගී සිටියේ ඒ මොහොතේමය.ටාෂා එලෙසම බිම , බිම බදාගෙන සිටියාය.
"මට පිස්සු වෙන්න ඇති තිකු... ...ඇත්තටම ඔව්...... "
මගේ හිස අවුල්ව ගියේය.
"ඔයා දැන් යන්න.. අපි හෙට කතාකරමු..."
මම ඈට පසුපස හරවා හිටගෙන දෑතින්ම මුහුණ පිසගත්තෙමි. මගේ හිස අවුල්වේගන එන්නාක් මෙනි.
"මට ආදරේ නැති උනාට කමක් නැහැ තීක්ෂණ... මට කියන්නකෝ කවුද ඒ කෙල්ල කියල... මම ඔය දෙන්නට ඕනේ උදව්වක් කරන්නම්... එයාගේ නම මධු නේද?"
මම හිස ඉහල පහල සොලවා 'ඔව්' ලෙස පැවසුවෙමි.
"... ඔයා වගේ කෙනෙක් ලබන්න ඒ කෙල්ල සෑහෙන ලකී.... ඒ කෙල්ල ඔයාට කොච්චර ආදරේ කරනවද කියලා හිතාගන්න බෑ මට.... ඔච්චරම ඔයාගේ හිත ඇතුලේ ඉන්න තරම්..... "
මගේ හදවත වේදනාවෙන් තෙරෙපි උගුරෙන් එලියට එන්නාක් මෙන් දැනුනි.
"ඒක... ඒක නතර උනා ටාෂා.... "
මගේ මුවින් ඒ වචන ගිලිහුනේ කෙලෙසකදැයි මම නොසිතුවෙමි.
".... ඔයාගේ සීන් එහා අහපු ගමන්..... ඔයාට ඔහොම දෙයක් වෙනකොට , මම හිතන්නේ නැහැ එයාට අවංකවම මං ගැන.."
මගේ උගුර සිරවිය. ටාෂා මහා ශබ්දයෙන් හුස්මක් ඉහලට ඇද්දාය.
"මොනවා??????? මම ප්‍රෙග්නන්ට් කියලා දැනගෙන ඒ සම්බන්ධය කැඩුනා??????"
ටාෂා මගේ පසුපසින් පැමිණ මා තදකොට බදාගත්තාය.
".... අනේ තිකු......... අනේ තිකු....... මම හිතලා නෙවෙයි... අනේ.... "
මම ආපසු හැරි ටාෂා දෙස බැලුවෙමි. ඇය මේ පවසන්නේ මොනවාද කියා මට වැටහුනේ නැත. ටාෂා මා තදින් බදාගෙන සිටියදී මම ඇගෙන් මදක් ගැලවුනෙමි. ඈ හඬයි.
".. අනේ බබා... මම මම... ඔයා මොනාද කියන්න බලන්නනේ කිව්වේ"
"මොකක්? මොනාද කිව්වේ?"
ටාෂා ඉතා අසරණ බැල්මක් මා දෙස හෙලුවාය.
"මම ප්‍රෙග්නට් කියලා කිව්වේ බොරුවට"
"මොකක්?!!"
මට තරු දහසක් හිස මතින් විසිවන්නා සේ දැනුනි. සර්වාංගයම කෝපයෙන් වෙව්ලා ගියේය.
" We will fix this OK ?"
මට ආ කෝපය කෙතරම්දැයි මම නොදන්නා තරමකි. මේසය මත තිබුණු කොපි කෝප්පය අතටගෙන මම පොලවේ ගැසුවෙමි. කෝපි මුළු පලාතම පුරා විසිවී , කෝප්පයේ කැබලි සීසීකඩ විසිර ගියේය. මගේ දෑසේ නැගුනු කෝපය දැක ටාෂා බියවී පසුපසට පැන්නාය.
"මට සමාවෙන්න තීක්ෂණ.... මම හිතුවේ නැහැ... මම..."
"පලයන් යන්න ^%%$&^* මගේ දෑහට නොපෙනී!!!!"
මම දත්කුරු කෑවෙමි. එකවරම දොරට තට්ටු කරන හඬක් ඇසුනි.
"මොකක්ද ඒ සද්දේ..... තීක්ෂණ පුතා....?"
දොර අසලින් ආවේ ඇගේ මවගේ කටහඬයි. මම ගල්ගැසී ගියෙමි.
"............ ටාශී.................... ඔයා ඇතුළෙද? "
*****************************************
මම නිහඬවම අසා සිටියෙමි. කියන්නට යමක් නැත.
තාත්තාගේ තත්වය යහපත් අතට හැරී තිබේ. අම්මාත් මල්ලීත් සුරක්ෂිත බව සනාථ කරගෙන මම මධුලිකා සිටින රෝහලට ඇතුල් වුයේ මහත් කලබලයෙනි. මගේ නින්ද නොමැතිකම නිසා හිසේ වේදනාව උග්‍රව පැවතුනි. මම එහි පිවිසෙනවිටත් මධුලිකාගේ ටිකට් කපන්නට සුදානම්ව පැවතුනි.
තාරුක අයියා සිටියේ උදෑසන වැඩට යන්නට සුදානම්වූ ඇඳුමින් සැරසීය. මා දුටුවනම වහා මා වෙත දිව ආවේය.මධුලිකා පෙනෙන්නට සිටියේ නැත.
"මචන්, කොහොමද අංකල් ?"
"අවුලක් නැහැ.. උදේ ICU එකෙන් අයින් කරලා තිබ්බා. ඔපරේෂන් එකකට යන්න වෙයි, අද රිපෝට් බලලා තමයි කියනවා කිව්වේ "
එකවරම කොහේ හෝ සිට උදානි පෙනී සිටියාය.
"අංකල්ට කොහොමද තීක්ෂණ?"
මම තාරුක අයියා දෙස බැලුවෙමි. උදානිට එක තොරතුර ඔහු කියන්නට ඇත.
"අවුලක් නැහැ"
මම අපහසුවෙන් මෙන් සිනහවක් නගාගෙන පිළිතුරු දුන්නෙමි. මම වටපිට බැලුවේ මධුලිකා සොයමින් බව කාටත් වැටහෙන්නට ඇත. ඈ නොදැක මගේ සිත සැනසෙන්නේ නැත.
උදානිට මුවාවී මෙන් මධුලිකා සිටියේ ඉවත බලාගෙනය. ඈ දුටුවනම මගේ සිතේ වූ පීඩනය කොහේ හෝ පාවී ගියා සේය. ඇගේ ඇති මේ ආශ්චර්යමත් ඉන්ද්‍රජාලය කුමක්ද? මට ඉබේමට නැගුනු මන්දහාසය මම ඇගෙන් වසන්කොට තාරුක අයියා දෙස බැලුවෙමි.
තාරුක අයියා මට ඇසෙන් ඉඟිමරා කිවේ මට මධුලිකාට කතාකරන්නට කියා බව මට පෙනුනි.උදානි මධුලිකා කොනිත්තා මා පෙන්වනු මට පෙනුනි.
මධුලිකා වරක් මා දෙස බලා නැවත ඉවත බලාගත්තාය. එහෙත් ඒ ඇස් කොන මා වෙත තිබේ. අමනාපයෙන් සිටින ඇගේ කකුල නැවතත් වෙලා තිබෙන බව ඒ නිමේෂයේ මට පෙනුනි. ඈ මදක් කෙට්ටු වී ඇති හැඩක් ඇති මුත් , මගේ ඇස් නතරවූ ඒ දෙතොල් වලින් මට නෙත ඉවත ගැනීමට නොහැකිය.
මේ මා සතු ප්‍රේමය නොවේද?
මගේ හදවත මොරදෙද්දී මම ඒ පෙම්වතා ගෙන දියෙහි ඔබා දැමුවේ හඬ නෑසෙන පරිද්දෙනි.
"අද ටිකට් කපනවා නම්... යන්න පුළුවන් වෙයි නේද?"
තාරුක අයියා මගේ උරහිසට අත තබාගත්තේය.
"තියෙන තත්වය යටතේ.... පරෙස්සම් වෙන්න වෙනවා.... මධුලිකා.. !මේ වෙලාවේ කිසිම විදියක මෝඩ වැඩක් කරන්න එපා.. තේරුනාද?"
ඒ හඬේ තිබුණු ස්ථාවර බැරෑරුම්කම නිසා මධුලිකා කීකරුව හිස වැනුවේ එකඟගතාවයටයි.
".. තීක්ෂණ... මිස්ට වාකිෂ්ඨ තාම උත්තරයක් දුන්නේ නැහැනේ. මධුව ඔයා එක්කගෙන යන්න"
මධුලිකා එකවරම ගැස්සී මෙන් හැරී බැලුවේ තාරුක අයියා දෙසය. ඈ සිටින්නේ ඔරවාගෙනය.
"මිස්ට... දුනු.."
"නෑ නෑ ! වෙන කොහෙද යන්නේ? ඔයාගේ ආරක්ෂාව ගැන කවුද වගකියන්නේ? මේ වෙලාවේ වටින්නේ ආරක්ෂාව. ඔයා මගෙත් සේවාදායකයෙක්. මගේ රෙකමන්ඩේෂන් එක අනුව වැඩ කරන්න මිසිස් මධුලිකා.."
මධුලිකා පුම්බාගත්තාය. උදානි ඇයගේ අතින් ඇල්ලුවද ඈ ගසා දැමුවාය. උදානි යමක් ඇගේ කනට කර පැවසුවද මධුලිකා එයට හිස වනා 'බැහැ' යයි කීවාය. උදානි තවත් යමක් කීවද මධුලිකා එය තරහින් මෙන් නෑසුන කන්ව සිටියාය.
මම මදක් මෑත්ව අම්මා අමතා ඇගේ සැප දුක සොයා බැලුවෙමි. තාත්තා අසලින් බොහෝ වෑයමින් මෑත්කොට ටාශාගේ නිවසින් ගෙනා දහවල් ආහාරයට සුදානම් වෙමිනි. ටාශාගේ නිවසේ ඈ සෑහෙන සැනසීමකින් සිටින බවක් පෙනුනි. ඇගේත් සුදම්ගේත් ආරක්ෂාව පතා ඔවුන් නිවසින් රැගෙන ඒම ගැන මම සතුටු වුයේ , ඊයේ රාත්‍රියේ නාඳුනන කිහිප දෙනෙකු නිවාස වටා සැරිසැරූ බව ආරක්ෂක නිලධාරියා විසින් මට පැවසු බැවිනි.
ඒ කිසිවක් ගැන මම තාරුක අයියාට හැරුණුවිට වෙනත් කිසිවකුට නොපැවසුවෙමි.
අවශ්‍ය කටයුතු හමාර කල පසුව තාරුක අයියා උසාවියට යන්නට ඇති බව කියුවත් , මට සෑහෙන කරුණු කිවේ සිත හදන්නට උපදෙස් ලබාදෙමිනි. සත්‍යවශයෙන්ම දැන් ඔහු නිතිඥයෙකුට එහා ගිය මිතුරෙකි.
මධුලිකාත් උදානිත් ජීප් රථයේ පසුපසට නගින්නට කියා වාහනය මම නතර කලද, උදානිට වාරුවී කොරගසමින් පැමිණි මධුලිකාව ජීප් රථයේ පසුපසට නංවාගැනීමට තරම් හැකියාවක් තිබුනේ නැත. මම වහාම රියදුරු අසුනින් බැස, දුව විත් ඉනෙන් අල්ලා මධුලිකා ඔසවා තැබුවෙමි.
වාහනයේ තැබූ සැනින්, මධුලිකා මගේ අත ගසා දැමුවාය. මගේ පෙම්වතා වේදනාවෙන් මොරදුන්නද,මම හැඟීමක් නොමැති මුහුණෙන් වේදනාව යටපත් කරගත්තෙමි.
මධුලිකා එතරම්ම මා පිළිකුල් කරයිද?
වාහනය ගමනාන්තයට ගොස් නතර කරනා තුරු අප අතර කිසිදු වචනයක් හුවමාරු වුයේ නැත. මම උවමනාවෙන්ම කණ්නාඩියෙන් ඈ දෙස නොබලා සිටියද උදානිත් මධුලිකාත් අතර යම් පමණක දබරයක් දැනුනේ ඔවුන්ගේ හඬ ඉඳහිට නොපැහැදිලි කසුකුසුවක්ව ඇසුණු බැවිනි. උදානි මට දොස් කියනවා ඇත. ඔවුන් යන්නට වෙනත් තැනක් සිතනවා විය හැකිය.
මම සිටියේ නිර්වින්දනයට ලක්වී ඇති අයුරිනි. රථය මිදුලේ නවත්වත්ම ටාෂා දිව ආවේ කොහේ සිටදැයි මම නොදනිමි.
"මේ ඉන්නේ ටාෂා, මම අම්මලට කියලා තියෙන්නේ ඔයාලා මේ ටාෂාගේ යාළුවො කියලා ... මේ එයාගේ ගෙදර..."
මට කියන්නට ලැබුනේ එපමණකි.
" කොහේ උනත් ටික දවසනේ... වෙනසක් නැහැ"
මධුලිකා කාල බෝම්බයක් ගසන්නාක් මෙන් කියා දැමුවාය. උදානි රැව්වේ මටද? මධුලිකාටද?
ටාෂා සහ ඇගේ මව අපව උණුසුම් ලෙස පිළිගත්තෝය.
එකවරම මධුලිකා දුටුවනම ඇගේ මුහුණ රතුවී ගොස් වෙනස් වුවද, මද වෙලාවකින් ඇගේ සාමාන්‍ය තත්වයෙන් මධුලිකා සිඹ පිලිගද්දී, මම මගේ පාඩුවේ මිදුලට වී තාවර වුයෙමි. මධුලිකා දෙස ඈ බලන්නේ කවර අදහසකින්දැයි මට වැටහෙන්නේ නැත.
මෙරදා රාත්‍රී සිදුවීමෙන් පසුව, මගෙත් මධුලිකාගේත් සම්බන්ධයට ඈ විසින් කල බලපෑමට සමාවක් ලෙස මෙය යතා තත්වයට පත්කරන්නට උපකාර කරන්නටත් , මධුලිකා සඳහා නැවත ස්ථානයක් සොයාගන්නතුරු ඈ රඳවාගන්නටත් ඈ මට පොරොන්දු වුවාය. මධුලිකාගේත් මගෙත් බිඳුණු සම්බන්ධය යථාතත්වයට පත්වීම කෙසේ වෙතත් මේ තත්වය යටතේ මධුලිකා මගේ ඇස මානයෙන් ඉවත් කරන්නට නොහැකිය.
කවර මොහොතක දුලිප්ගේ මැරයින් මධුලිකාගේ ජිවිතයට හානියක් කරනු ඇතැයි කිව නොහැක. මගේ නිවසේ හෝ තට්ටු නිවාසයේ හෝ ආරක්ෂාවක් නොමැත. ටාෂා සිය වරද වටහාගෙන සිටි නිසා මධුලිකාගේ අනෙකුත් තොරතුරු නොපවසා උවද කොන්දේසි විරහිතව මා කියන දෙයකට එකඟවීම මට පහසුවක් විය.
මද වෙලාවකින් මම සාලයට පිවිසුනේ මධුලිකා දෙස වැඩි අවධානයක් නොදක්වමිනි.
"මම ඔයාලාට උඩ කාමරේ ලෑස්ති කලා.. මගේ කාමරේ.... මම පහලට ආව"
මගේ සර්වාංගයම සීතලව ගියේය.
' මේ මොට්ටි කල්පනා කරන්නේ නැද්ද උඩ තට්ටුවේ අපේ අම්මා ඉන්නවා කියල'.
ටාෂා මගේ විසල් වූ දෑස දැක යමක් අවුල් වී ඇති බව තේරුම් ගත්තාය. එකෙනෙහිම ටාෂාගේ මවත් අපේ අම්මාත් සාලයේ පසෙකින් මතු වුහ. මධුලිකා අන්ද මන්දව ගොස්ය.
"අම්මා... මේ මගේ යාලුවෙක්.... මම කිව්වේ... මේ ම... දම්සිරිණි.. "
මධුලිකා තිගැස්සී බැලුවේ මගේ මුහුණයි. මම ඇස් වලින් කලබල නොවන ලෙස පැවසුවෙමි.
ඇගේ ඒ දෙවැනි නම ඈ කිසිවිටෙක භාවිතාකරනු මම දැක නැත. මධුලිකා යන නම අපේ නිවසට තරමක නොගැලපෙන බැවින් මම ටාෂාට කීවේ ඒ නම භාවිතා කරන ලෙසයි. අම්මලා දෙදෙනාම මධුලිකාත් උදානිත් දෙස බලා සිටි අතර අම්මා උදානි දෙස දෙවරක් බලා, මධුලිකා දෙස බලා සිටිනු දුටු මගේ හදවත පිටතට ඇසෙන තරමට ශබ්දයකින් ගැහෙනු දැනුනි.
අම්මාට ඇත්තේ පුදුමාකාර ඉවකි.
අම්මලා දෙදෙනා සුහදව සිනාසී, මධුලිකා සමඟ වචන කිහිපයක් කතා කලෝය. අම්මාගේ මැලවුනු මුහුණ දුටු මට මහත් දුකක් ඇතිවිය.
"එයාගේ කකුල තුවාල වෙලා නේද ටාෂි.. මේ.. පල්ලෙහා කාමරයක් හොඳයි"
මට 'ටාෂි' කියද්දී මධුලිකා මා අමුවෙන් පුච්චාගෙන කන තරමේ බැල්මකින් බලා සිටියාය.
'හම්මෝ එහෙම බැලිල්ලක්! උඹව මරාගෙන කයි පුළුවන් නම්'
අම්මාගේත් සුදම්ගේත් මරු කටේ මධුලිකා තබන්නට තරම් මම මෝඩයෙකු නොවේ. එකවරම සිහියට ආවේ උදානි වරක් අපේ නිවසට පැමිණ ඇති නිසා අම්මා එකවරම ඈ හඳුනාගනිවී යන බියයි. වාසනාවට අම්මාට එය එතරම් ගණනකට ගිය වගක් නොපෙනුණි. අම්මා සිටින කැළඹිලි තත්වය නිසා එසේ වන්නට ඇත, ඒ නොමැති නම් ඇයට ඇත්තේ පුදුමාකාර පොලිස් ඉවකි.
"ආ.. හරි... ඉන්නකෝ"
ටාෂා යුහුසුළුව නැගිට ගිය අතර සේවිකාවෝ දෙදෙනෙක් බෑග් පොදි රැගෙන ඈ පසුපසින් වැටුනෝය. මම උදානිටත්, මධුලිකාටත් එතන ඉන්නට කියා සන්කරමින්, අම්මා මගහැර මගේ කාමරය පැත්තට යද්දී දුටුවේ ටාෂා සහ සේවිකාවන් මගේ කාමරය අසල කුමක් හෝ කතාකරන බවකි.
ආපසු එන මගේ මුහුණට සුදම් හමුවිය.
"අඩෝ.. මේ අර..."
මම සුදම්ගේ කට වහා වසා ඔහු අල්ලා බිත්තියට හේත්තු කලෙමි.
"ඔව් යකෝ...... කෑගහන්ඩ එපා..."
සුදම් හිසින් එකට එකඟ වූ පසු මම මුව වසා තිබි අත ඉවත් කලෙමි.
"පට්ට hot කෑල්ලක්නෙ !"
මට තරු විසි උනි. නමුත් නැගුනේ නොසන්ඩාල සිනාවකි.
"... සොරි .. සො .. සොරි තිකා මට කිය උනා"
සුදම් වෙව්ලමින් කියද්දී මට ඇතුලතින් සිනහවක් නැගුණි. සුදම් මට ඇති බය නිසා ඔහුගේ මුවින් එවැන්නක් පිටවෙන්නට ඇත්තේ ඉබේම බව මට නොතේරුනා නොවේ.
"උඹකවදද එයාව දැක්කේ?"
සුදම් බයෙන් වෙව්ලා ගිය බව මට පෙනුනි. නමුත් මගේ මුහුණේ තිබුනේ එතරම් දරුණු පෙනුමක් නොවේ.
ටාෂා බොරු කිව්ව එක නම් කැත වැඩේ. කාන්තාර කුසුමත් එතනට ගිහින් දාල දැන් මොනවා වෙයිද මන්ද. මේ සුහදිනි අක්කත් කරන දේවල් හැබෑට.
ReplyDeleteඈ බොලේ මගේ නම සුහදිනි නෙවෙයි ලිඛිතා!!!!!
Deleteමම කලොත් ඉතින් වැඩක්, ආයේ කිරි කොරහට උල් පිහියෙන් ඇන්නා වගේ
ලිඛිතා ළමයා, පරිස්සෙමන් වැඩ කරන්න ඔ්නි, ඔය ළමයා නිතරම kola ඉරාගත්තාම අපි පව් ne
ReplyDeleteආ.. මේ ඒක උනේ වැරදිලා පබ්ලිෂ් වෙලානේ!
Deleteහි හි.. හැබෑට ඒක බැලුවද?