Tuesday, June 22, 2021

253: සුහදිනියේ - 44 | අනතුරක පෙරමග සලකුණු සමඟ

   කලින් කොටසට 


 

"මොකක්?"

මට එකවරම ඇසුනේ කම්පනයක් මෙනි.  නැවතත් තාරුක අයියා ඔහු කියූ දෙයම ප්‍රතිරාවය කළේය.

"ඔව් මචන් ඔව්.... වාසුල තමයි... නිව්ස් බලපන් රෑ නවයට... ඒකෙ පෙන්නයි. වාහනෙත් එක්කම ගිනි තියලා.. "

"කවුද?"

"උඹට හිතාගන්න බැරිද ඔච්චරම....?"

මට සැකයක් තබන්නට නොහැකිය. ඒ දුලිප් සතරසිංහ හැර වෙන අයෙකු වන්නට නොහැකිය. සිය පුත්‍රයාට සමාජ ශාලාවකදී බෝතලයකින් ගසා තුවාල කලවිට ඔහුගෙන් මේ කැනහිල් ප්‍රහාරය වාසුල බලාපොරොත්තු විය යුතුය.

වාසුල ජයවර්ධන කොළඹ පාලු පාරකදී සිය රථයේ අනතුරකින් පසුව ඇතිවූ ගින්නකින් , සිය රිය ඇතුලේදීම දැවී මියගොස්ය. සිදුවීම වී ඇත්තේ අදදින පාන්දරට වන්නටය. මුලික පරීක්ෂණ වලින් පසුව , මේ වනවිට ඒ සිටින්නේ වාසුල බව වාසුල බව ඔහුගේ දෙමවුපියන් විසින් හඳුනාගෙන තහවුරු වී ඇති බව තාරුක අයියා කියයි.

සැනින් දුරකතනයට ඔහු විසින් එවූ පින්තුර පැමිණි අතර, මම ඒවා දෙස බැලුවේ මහත් කම්පනයකිනි. වාසුල සතු පැරණි ජීප් රථය ගසක හැපී චප්පවී තිබුණු අතර ඒ තුල සුක්කානමට සිය හිස ගසාගෙන ඔහුගේ සිරුර දැවී , අළුවී තිබිණ. මෙය ස්වභාවික අනතුරක් යයි කීම විහිළුවකි. ජීප් රථයක මෙවන් මිනිසෙකු මැරෙන්නේ කෙලෙසකද?

මට මහා බියක් දැනුනි. මිට හෝරාවකට ප්‍රථම තාත්තා මට වත්තේ සියලු නව තොරතුරු කියා වගකීම් මගේ පිට පවරන්නට හේතුව මට දැන් සිතාගත හැකිය. නිවසට මා පැමිණි වහාම වත්තේ කටයුතු වල වාර්තා සපයමින් මා දැනුවත්කළ තාත්තා සුන්දර් හා සැරසෙන්නේ කුමකටද කියා මට ස්ථිර අදහසක් නැතත්, දුලිප් සතරසිංහගෙන් මගේ පියාගේ ජිවිතයට තර්ජනයක් වනු ඇති බව මට වැටහුණි. මෑතකදී ඔහු හිමිකම් කීවේ රටේ ජාතික ආරක්ෂාව සඳහා වන ප්‍රභල අමාත්‍යාංශයකටයි. 

දෙවැන්න වෙන කිසිවක් නොවේ, මධුලිකාය! පෙරදී ඔහුට එළිපිට මිනීමැරීම් මෙතරම් පහසු වුයේ නැත.

මම ආඩම්බරකම්, වේදනාව සියල්ල පසෙක තබා මධුලිකාට ඇමතුමක් ගත්තෙමි. ඇය ඊට පිළිතුරක් නොදුන්නාය. තුන් වරක් උත්සහ කලද ඈ පිලිතුරක් නොදුන් බැවින් මම උදානිගේ දුරකතනයට ඇමතුමක් ගත්තෙමි.

දෙවරක් නාදවනවිටම එයට පිළිතුරු ලැබුණි.

"ඇයි තීක්ෂණ?"

 උදානි දහවල් තිබුණු අමනාපයේ ලකුණක් හෝ නොමැතිව කතාකිරීම මට හඳුනාගත හැකි වුවද, මම එය ගණනකට නොගත්තෙමි.

"උදානි කොහෙද ඉන්නේ?"

"මම ?... මම ... මම ඉන්නේ මධු ගාව... ඇයි ?"

"මධු නිදිද? ඇයි ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ?"

උදානි මුව තුල වචන සිරවුවා සේය. මම පිළිතුරක් අපේක්ෂා නොකර කතාකරගන ගියෙමි.

"...  උදානි මම මේ කියන දේ හොඳට අහගන්න. වාසුලව මරලා...! ඔය දෙන්නා හොඳට දොර ලොක් කරගන්න... දන්නේ නැති කිසි කෙනෙක්ට එන්න දෙන්න එපා මධුගේ කාමරේට... මම හෙට එනකල්වත් ටිකක් බලාගන්න පරෙස්සමෙන්... මගේ මධුව පරෙස්සමින් බලාගන්න උදානි!"

මගේ උගුර සිරවී ගියේය.

"වාසුල මරලා?.. කවුද?"

"ෂ්... මධුට කියන්න එපා.. එයා බයවෙයි... ඔයා ටිකක් පරෙස්සමෙන් ඉන්න.. මම හෙට වෙනකොට මොකක් හරි ඇරෙන්ජ්මන්ට් එකක් දාන්නම්... එතකල් ඉන්නකෝ"

උදානි කිසිවක් මට එරෙහිව නොකියා මා කියන්නකට එකඟ වුවාය. තවත් උපදෙස් කිහිපයක් ලබාදුන් මම ඇමතුම විසන්ධි කරනවිට දැනුනේ සවස උරණව සිටි උදානි මෙතරම් මෙලෙක් ලෙස මට අවනත වුයේ මන්දැයි කියාය. 

මගේ රෝමාන්තික පෙම්වතාට වඩා අරමුණට සිත යොමු කරන තීක්ෂණ උත්සන්නව ආයෙන් මම පහල මාලයට ගියෙමි.

"ඩඩා කෝ?"

මම මැණිකාගෙන් අසන විටම අම්මා සාලයට ආවාය.

 "ලොකු... ඇයි මොකක්ද? "

"මුකුත් නෑ අම්මා... ඩඩා කෝ?"

"ඔෆිස් කාමරේ... ස්ටේට් මැනේජර් එක්ක.."

මම කෙලින්ම ඒ දෙසට ඇවිද ගියෙමි. දොර වසා ඇත. දොර අගුල්දා නැතත් එය විවර කිරීමට මගේ සිත නැමුණේ නැති බැවින් මදක් කල්පනාකොට තට්ටුවක් දැමුවේ සෙමිනි.

"කවුද?"

තාත්තා සැරෙන් මෙන් ඇසුවේය. 

"මම ඩඩා"

මගේ හඬද ස්ථිරසාර වන්නට ඇත. 

තත්පර කිහිපයක් ගතවිය. දොර විවර වූ අතර ඒ මධ්‍යයේ සුන්දර් සිටගෙන සිටියේය. ඔහුගේ මුහුණ සෑහෙන්නට වෙනස්ව ගොස්ය. මම එය නොතකා කන්තෝරු කාමරයට යද්දී වෙනදාට ඉතා පිළිවෙලට තබා ඇති මේසය තාත්තා ලිපිගොනු මිටි වලින් පිරවුනු අපිළිවෙල පෙනුමක් ලබාදී තිබිණ. මම කලබලයක් නොමැතිව ඒ අසල නතර වුයෙමි.

"මම මේ..... අර පරණ බිල්ඩින් එකේ ප්ලෑන් එක හොයනවා."


 

තාත්තා එසේ කියමින් කාඩ්බෝඩ් ෆයිල් කිහිපයක් මේසය මතට දැම්මේය. මම හොරැහින් සුන්දර් දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණ අසරණ පෙනුමක් ගෙන තිබිණ.

"ඩ.. ඩා... මට පොඩ්ඩක්..."

තාත්තා හිස ඔසවා ඔහුගේ ලිපිගොනුවෙන් සිය ඇස මා වෙත යොමු කළේය. ඒ ඇස්වල තිබුනේ විඩාපත් බවකි. තාත්තා කෙරෙහි මගේ සිත උණුව ගියේය.

මම තතනන්නේ සුන්දර් නිසා බව ඔහු දනිතත් සුසුමක් හෙලා සිය ලිපි ගොනුව මේසය මත තැබූ තාත්තා වමතින් සිය නිකට අතගාන්නට විය. එසේ ඔහු කරන්නේ සෑහෙන බැරෑරුම් මොහොතකය.

"ලොකු.... මම වෙනුවෙන්.... වත්ත බලාගන්න ඕනේ"

මම හිස් බැල්මෙන් ඔහු දෙස බලාගෙන සිටියෙමි. සුන්දර් සෙමෙන් ඇවිද කන්තෝරු කාරමයෙන් පිටව යන්නට දොර අසලට ගියේය.

"... සුන්දර් විස්වාසවන්තයි.. මටත් වඩා ලොකුට ගරු කරනවා. වත්තේ මිනිස්සු අපි බලාගන්න ඕනේ.. ඒ මිනිස්සු පව්.. සුන්දර් , උඹ මට වගේම පොඩි මහත්තයටත් ඕනේ විදියට වත්ත බලාගන්න ඕනේ.."

"හරි සර්.."

සුන්දර කෙඳිරුවේය.

මට තාත්තා වැළඳගන්නට අවශ්‍ය විය. නමුත් මම ගල්ගැසී බලාගෙන සිටියෙමි. මෙය සමුගැනීමක් ලෙසමට දැනෙන්නේ ඇයි ? එකවරම මගේ සිතට ආවේගයක් පැමිණියේය. පරාජයක් කියා දෙයක් මම නොදනිමි.

"ඩඩා... ! කොහෙවත් යන්න එපා අද... "

තාත්තා මා දෙස බැලුවේ මවාගත් සිනහවකින් යුතු බැල්මකි.

රාත්‍රී නවයේ කණිසම වදිනවා ඇසුනේ මිට සුළු මොහොතකට කලිනි. මම කාමරයෙන් එලියට ආවේ අවුල්වී ගිය මනස නිසා වූ වේගයෙනි. ඒ වනවිටත් අම්මා රුපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය දමාගෙන තිබිණ.

"....සෙනේ..!!!!!"

අම්මාගේ කෑගැසීමට අපි සියල්ලෝම බියට පත්වුහ. මැණිකා සාලයේ ඇරඹුම තෙක් දුව ආ අතර, විමලාද කොහේ හෝ සිට සාලයට මුහුණ පොවා බැලුවාය. සුදම් ඉහල මාලයේ සිට දිවගෙන එන හඬ ඇසුනි.සාලයේ සෝෆාව මත බිරාන්තව උන් අම්මාගෙන් දුරස්ථ පාලකය උදුරාගත් මම වහාම රුපවාහිනිය නිවා දැමුවෙමි.

එහි විකාශය වෙමින් පැවතුනේ අනතුරක් ලෙසින් හඳුන්වන , මිනීමැරුමේ දර්ශනයි. මම දකින මොහොතේ වාර්තාකරුවන්ගේ කැමරාවට මහා හඬින් සාප කරමින් ඉන්නා අනුලා අලස් අල්ලාගෙන  රථයකට බලෙන් මෙන් ඇතුල්කරගන්නා මොහොතයි.


 

"..... මේක දුලිප් තමයි කලේ.. මගේ පුතාව මැරුවේ දුලිප්.. මේක මිනීමැරුමක්..... තොපි ඔක්කොම මිනීමරුවෝ.... කාලකන්නි  බල්ලෝ......!!"

හැරී  බැලු මට කන්තෝරු කාමරයෙන් එලියට ආ සුන්දර් හැරුනුකොට තාත්තා පෙනෙන්නට නොවීය. 

**************************************************

තරුණිය වෙව්ලන්නට වුවාය. මම ඇගේ ගෙලින් අත මදක් බුරුල්කොට වුවද ග්‍රහණය ඉවත්  නොකලෙමි.


 

"මට කියන්න ඕනේ නැහැ... මම ඔක්කොම දන්නවා.. දෙනෙත් , වාසුල එක්ක එකතුවෙලා කරන්න හදපු වැඩේ මම දන්නවා... තමුසෙගෙ ජිවිතේ අනතුරේ වෙන්න පුළුවන්. ඒ හින්දා මම කියන දේ කරන්න වෙනවා. නැතිනම්.... අදම මෙහෙත් ගියාට මගේ කිසි අව්ලක් නැහැ"

තරුණිය හඬන්නට වුවාය. විරංග ඈ දන්නේ දෙනෙත් ලෙසටය. එදින අප නිවසට පැමිණි විරංග තරුණියගේ දෑසට හසු නොවන්නට මම සුක්ෂම වුයේ නිවසට පැමිණෙන පිරිස ඈ සිටි කොටසින් දකින්නට නොහැකි බැවිනි.

"වාසුල අයියා..... අනේ......!"

මම ඈට ඉකිබිඳින්නට ඉඩදී මදකට පසෙකට උනෙමි.

මධුලිකා ලෙස පෙනීසිටි තරුණිය වෙත මම පැමිණියේ වාසුලගේ මරණයෙන් පසුව උද්ගතවන තත්වය යටතේ ඇගේ සැබෑ ස්වරුපය එළිකර ගැනීමට වඩා ඇගේ ආරක්ෂාව සලසා දීමට වුවත් , ඈ වෙත පැමිණි මට පහරදෙන්නට තැත් කල නිසා මට ඈ මෙල්ල කරගන්නට සිදුවිය.

වාසුල ඈ හා පෙම් සබඳතාවයක් කුමක් අරඹයා පැවත්වුවාදැයි මම නොදනිමි. නමුත් ඈ විවාහ කරගන්නා සැලසුමක් නම් ඈ වෙත කියා තිබුණු නිසා මධුලිකා වැනි තරුණියක ප්‍රතික්ෂේප කර ඈ වැනි තරුණියක් විවාහ කරගන්නට නම් එවැන්නක් තිබිය යුතුමය. ඒ නැතත් ඔහු සල්ලාලයක් බව සැමදෙනාම දන්නා කරුණක්ව පැවතියේය.

බාගවිට මධුලිකා එවැන්නකට නම්මාගැනීම අපහසු හෝ නොකරහැක්කක් යයි සිතුනු නිසා එලෙස කළා වන්නට පුළුවන්. මද වෙලාවකින් සන්සුන් වූ ඈ  වෙත මගේ යෝජනාව ඉදිරිපත්කොට ඈට සිතන්නට දී තාරුක අයියාට කෙටි පණිවිඩයක් යැව්වෙමි.

"හරි අය්යා....මම අයියා කියන දේකට කැමතියි..."

 මේ තරුණිය මට අයියා කියන්නේ නොදැනද?

මම මගේ සැලසුම ඇයට ඉදිරිපත්කල අතර ඇය එයට එකඟ වුවාය. එය එතරම අපහසු නොවුයේ මම කියූ කරනු වලට අයට දෙන්නට පිළිතුරු නැති වීමත්, සත්‍ය කීමෙන් මම ඈට ඉදිරියෙන් සිටීමත් නිසා වන්නට ඇත.

මැය කාගේ කවුරුන්දැයි මට අදාළ නොවුනද ඇයට අනතුරක් නොවන්නට මම වගකිව යුතුය. මධුලිකා සම්බන්දවද මම ක්‍රියා කලේ එලෙස නොවේද? 

නැත! මධුලිකා සම්බන්ධයෙන් එය මිට වඩා තීව්‍ර විය. කුඩුවෙන් බිමට වැටුණු ලේන් පැටියකු පරිද්දෙන් ඈ අනාරක්ෂිතව සිටියදී වහා පැන ලේන් පැටියා සිය ලයට තුරුල් කරගන්නේ යම් සේද , එවන හැඟීමකින් මම ඈ සුරැකියෙමි. වෙනත් අයෙකුගේ ගොදුරක් වන්නට ඉඩක් නොදී ආ මගේ ලයට තදකර තබාගත්තේ, අවසානයේ ඒ ලේන් පැටියා මගේ ආරක්ෂාවේ අධික බවින්ම මියගියාද? 

ඒ මොහොතේ ඈ මා සොයමින් සිටි ගොදුර බවත්, මම ලේන් පැටවුන් දඩයමේ යෙදී උන් බිලාලයෙකු බවත් අමතකව ගියා නොවේද? මගේ සිත වේදනාවෙන් පුපුරු ගසන්නට විය.

කම්පනයට පත්වසිටි අම්මා මම කියන දෙයක් මිස කිසි සිහියකින් සිටියේ නැත. කුමක් හෝ ඉවක් විසින් මා කියන්නාක් කරන්නට තාත්තාද පෙළඹී සිටියේය. මේ සියල්ලේ නුල්පොටවල් ගැන මට තිබු අවබෝධය ඔහු අනුමාන කලාද? මම ඒ ගැන ඒ මොහොතේ කල්පනා නොකළේ, හස්තියාට හසුව කුඩුපට්ටම් වන මොහොතක කුමක් කල්පනා කරන්නද කියා සිතමිනි.

ඒ වනවිට තරුණියද සම්පුර්ණයෙන්ම මම කියන්නක් කිරීමට තරම් විශ්වාස කටයුතුව උන්නාය. ඈ උන්නේ ජිවිත අවදානමට වූ කම්පනයෙනි. මම උපදස් දුන්නේ වාසුලගේ නිවසින් එන කිසිදු ඇමතුමකට පිළිතුරු නොදෙන ලෙසයි. එයට පිළිතුරු සැපයිමම ඈ අනතුරේ හෙලන්නට ප්‍රමාණවත් වනු ඇත. 

රාත්‍රී දහය පමණ වනවිට ,රියදුරු අත තරුණිය වහාම පිටත්කර හැරුනේ තාත්තාගේ අතිශය සමීප මිතුරෙකු වන ජයනෙත්තිගේ නිවසටයි. මෑතකදී ඔහුට ඇතිවූ අසනීප  තත්වය හමුවේ අම්මාත් තාත්තාත් ඔහුට නොමද උපකාර කර තිබුණු බැවින් ඔවුන් මේ උපකාරය කිසිදු පැකිලීමකින් තොරව ඉටුකරන්නට එකඟ වුහ. 

වාහනය ගේට්ටුවෙන් පිටත්වූ පසු මම මුරකරුට වඩාත් ආරක්ෂක විධි පිළිබඳව යම් තරමක අවවාදයක් දුන්නේ වැඩි ආරක්ෂාව පතාය.

ඇගේ පිටත්වීමෙන් පසුව නිවසේ තත්වය සමනය වනතුරු සිට , කාමරයට වැදී මම විරංග ඇමතුවෙමි.

"මචන්... කෙල්ලව මම යැව්වා සේෆ් තැනකට... වාසුලගේ ගෙදරින් කතාකලොත් ඇරුනාම වෙන ට්‍රේස් කරන්න බෑ "

"උඹට කොහොම ස්තුති කරන්නද මන්ද.. එතකොට ම.."

ඔහු අසන්නේ මධුලිකා ගැන බව මම දනිමි. ඔහුගේ ප්‍රේමය මට වඩා පිරිසිඳු බවින් යුක්තය. මම මධුලිකා ගැන සිතිය යුත්තේ මගේ සීමාව තුලයි. නමුත් මරණිය කැපුමක් මගේ  පපුව මාධ්‍යයෙන් කරගෙන යද්දී මම වේදනාව පරයා හඬ සාමාන්‍ය කරන්නට උත්සහ කලෙමි.

"ඒවා ඔක්කොම හරි..."

ඇමතුම විසන්ධි කොට , මම පෙම්වතාගේ ගෙල මුලින් අල්ලා කොනකට කොට ලේ පෙරෙන සැත්කම් කටුවකින් ඇන දමා අඩපන කලෙමි.

ඇමතුමෙන් පසුව මම කාමරයේ මේසය මත තිබුණු වතුර වීදුරුව එක හුස්මට බිව්වෙමි. කාමරය පුරා මධුලිකාගේ සුවඳය. එය එසේ වන්නේ කෙසේද? ඇය මෙහි උන්නේ මිට දවස් ගනනකට පෙරය. මෙය මගේ හිතළුවකි.

මට ඉබේටම සුසුමක් හෙලුනි. ශරියට එකවරම ඇඳමතට කඩා වැටෙද්දී , මධුලිකාගේ මෘදු ස්පර්ශය මගේ මුරු සර්වාංගය  ගමන්කරන්නාක් මෙන් දැනුනි.

"ලොකූ...................................!"

අම්මාගේ විලාපය නිවස දෙවනත්කොට ඇසුනේ ඒ මොහොතේය.



 ********************මතු සම්බන්ධයි **************************  

9 comments:

  1. අම්මෝ දැන් නම් මේක කියවන්නත් බයයි. CID එකට එක දිගට හෝම් වර්ක් ලැබෙනවා වගේ. ඔයාගේ ලියවිල්ල නම් නියමයි සුහදිනී.

    ReplyDelete
    Replies
    1. අයියෝ බයවෙන්න එපා.. වැඩිම උනොත් වෙඩි පාරක් කන්න වෙයි... බයවෙන්ද දෙයක් නැහැ තුවාන්ගේ ඩිස්පැන්සරියේ ඔක්කොම බේත් දානවා

      Delete
  2. අම්මෝ එළ කිරි! එක පාරක් කියවගෙන ගියා! දැන් තව පාරක් නිවිහැනහිල්ලේ කියවගෙන යන්න ඕන. එහෙම කියවා නැවත කමෙන්ටුවක් ලියන්නට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. Waiting for a positive and Negative type comment from you. Thanks

      Delete
  3. අනේ ඇත්තම කියන්නම්. මට දැන් කථාව ටික ව්ව්න්න පැටලුනා! වාසුල කොයි වෙලාවෙද දුලිප් සතර සිංහගේ පුතාට බෝතලයකින් ගැහුවේ? ඇයි ඒකට තීක්ෂණගේ තාත්තා බිය වන්නේ? සමාවෙලා පැහැදිලි කරණ්න. අනෙක දුලිප් සතරසිංහත් මධුලිකාත් අතර සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරණ්න. නැතිනම් ඒ කොටස් වල ලින්කුව දාන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මම දන්නේ නැහැ මුරිච්චි අස්සේ රින්ගුවට රා පෝලිමේ ඉඳල ඔලුව නරක වෙලාද කොහෙද.. ඔය කතාවල හැම කොටසක්ම නැතුව වෙඩි තියන කොටස වත් කියෝනව කියල හිතුවේ. බලනකොට මෙයත් මධුලිකා පස්සේ වැටිලා වගේ!

      ඇයි අනේ වාසුලට තීක්ෂණ ලනුවක් දුන්නේ දුලිප්ගේ පුතා මධුව බැන්දා කියල.. ඊට පස්සේ ඌ ක්ලබ් එකේදී බෝතලයකින් ගහල තිබ්බනේ ඔලුවට දුලිප්ගේ පුතාට
      https://kadadasikole.blogspot.com/2020/07/241-34.html

      අනේ ඉතින් මිට කොටසකට කලින් නේ දුලිප් වත්තේ ඉන්න තික්ෂනගේ තාත්තා එක්ක කතාවක් කියලා කිව්වේ සුන්දර්... අනේ මන්ද මෙය ඔලුවේ තියාගෙන ඉන්නේ මොනාද කියල

      එක්කෝ මම මේ රහස් පරීක්ෂක වගේ කතා ලියන්න දන්නේ නෑ වගේ...
      කමක් නැහැ.. එහෙම කිව්වට මම නතර කරනවද නෑනේ!

      Delete
    2. මදැයි සවිස්තර විචාරයක් බලාගෙන උන්න!
      ඒකත් 'හොඳටම' රට කරනකල් බලාගෙන හිටියා වගේ තමයි

      Delete
  4. අම්බානක සොරි වෙන්න ඕන. මේක නෙවේ මගේ විචාරෙ. ඒක තාම මග. ඔයා හරියට අනපු පරිප්පු එක්ක අනපු ඉඳි ආප්පයක් දීලා "දැන් මේකේ රැල් වෙන් කරලා ආයෙත් ඉඳි ආප්පෙයි පරිප්පු ඇට ටිකයි වෙන වෙනම දීසී වලට දාන්න!" කියනවා වාගේ වැඩ කියන්නේ! එකසිය ගානට සොරි ඩොට් කොම්!

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් නොකියා කියන්නේ මම කතාව අනලා විකල විනාස කරලා කියලනේ. එහෙමය කියලා මම වෙනස් වෙනවද? නෑනේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...