මෙතෙක් කතාව
තීක්ෂණ වාසලමුදලි සහ විරංග මීගහතැන්න යනු ජාත්‍යන්තර පාසලකින් මෑතකදී
ඉගෙනීම නිමකළ ගජ මිතුරන් දෙදෙනෙකි. ධනවත් සෙල්ලක්කාර චරිතයක් වන තීක්ෂණ ගේ
සිත් ගත් ආඩම්බරකාර තරුණියක වන මධුලිකා නමැති තරුණිය , අහම්බෙන් මෙන්
කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන බව ඔවුන් දකින අතර, ඔවුන් දෙදෙනා එක්ව ඈ
ඉන් බේරාගනු ලැබේ. මධුලිකා යනු, කලකට පෙර ලංකාවේ අතිශය ධනවත්, සුප්‍රකට
ව්‍යාපාරිකයෙකුව සිට පසුව අතුරුදහන් වූ සංජිවී ජයවර්ධන ගේ ධනස්කන්ධය හිමි එකම දරුවා බවත්,
ඔහුගේ දේපල වලට ඇති තණ්හාවෙන් සංජිවී ජයවර්ධනගේ සොයුරාගේ පුතා වන වාසුල
ජයවර්ධන ඈ එලෙස පැහැරගත් බවත් අනාවරණය වෙයි.
විශාල බුදලයකට හිමිකම් කියන මධුලිකා , තීක්ෂණ විසින් සඟවා තබාගන්නා අතර,
වයස සම්පුර්ණ වන විටදී ඇගෙන් මුදල් ලබාගන්නා අභිප්‍රායෙන් විරංග ක්‍රියාකරන
බව තීක්ෂණට දැනගන්නට ලැබෙන මුත් අහම්බෙන් සිදුවන ක්ෂණික තීරණයකින් ඔවුන් දෙදෙනා හදිසි විවාහයකට එළඹෙති. මධුලිකා කෙරෙහි තීක්ෂණ තුල ප්‍රේමයක් හටගන්නේ මේ අතරතුර මුත් ඔහු එය සඟවා සිටින්නේ මධුලිකාගේ සිත විරංග හා බැඳුනු යම් කුකුසක් සිත තුල පවතින බැවිනි.
මේ අතරතුරදී , ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ තීක්ෂණ ගේ පියාගේ, දේශපාලන
මිතුරෙකුද මධුලිකා සොයනබව දැනගන්නට ලැබේ. කෙසේ වුවද තික්ෂණගේ පියාගේ තරුණ
අවධියේ රහසක් ඔහුට මේ අතරතුර අනාවරණය වෙයි.
අනපේක්ෂිත ලෙස මධුලිකාගේ පවුලේ නිතිඥවරයා හමුවන අතර වාසුල සහ සිය පියා අතරට මැදිවන තීක්ෂණ නොයෙකුත් හැලහැප්පීම් මධ්‍යයේ පවා මධුලිකා සඟවා තබාගනී. සිය මවගේ පෙළඹවීම මත තීක්ෂණ වෙනත් තරුණියක හා තාවකාලික ඇසුරක් ඇරඹෙන්නේ අනපේක්ෂිත අයුරිනි. මේ අතර අහම්බයෙන් මෙන් මධුලිකා සිය ප්‍රේමය තීක්ෂණ කෙරෙහි හෙලිකරන්නීය.
නමුත් විරංගගේ හැසිරීම පිළිබඳව කුකුස තීක්ෂණ කෙරෙන් ඉවත් නොවන අතර මධුලිකාගේ ඉදිරි ආරක්ෂාව සහ පියවර කෙසේ වනු ඇතිද?
එතැන් සිට...
අප දෙදෙනා සිටියේ තුවාන් අයියාගේ ඩිස්පෙන්සරි එකෙහි ඇති ඔහුගේ කුඩා විවේකාගාරය පිවිසුමේ තිබුණු ගාඩ්න් පුටුවලට බරදිගෙන; සිතල දොඩම් පානයක් විඳිමිනි. මගේ දෑත මානයට වඩා ඈතින් හිතාමතාම උන් මධුලිකා දෙස මගේ ඇස් එක එල්ලේ යොමුව තිබෙන්න ඇත. සිතට තරවටු කරන්නට මට වෙනම වෙහෙසක් දරන්නට විය.
"හ්ම්ම්"
මධුලිකා හෙළුවේ සුසුමක්ද කියා නොසිතුනා නොවේ. ඈ මා සමඟ සාදයට යන්නට අකමැත්තක් පළකරන්නේ ඇයි ? ඇය මා හා ප්‍රේමයෙන් බව අන් කිසිවකුත් දැනගන්නවට අකමැතිදැයි මගේ ඊර්ෂ්‍යාකාර තරුණයා ඇතුලත මහා කලබැගෑනියක් කරනු මට ඇසේ.
මම සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත්තෙමි.
"ඔයා අඳින්න අර උපන්දිනේ දවසේ ඇඳගෙන හිටපු ඇඳුම.. අර ර-තු-පාට ගවුම.. මම ගෙනාවේ.."
මධුලිකාට සිනාවක් නැගුනේ මගේ ඉංග්‍රීසි නිසා හෝ මගේ වචන මගදී හිරවූ නිසා හෝ උපන්දිනය ගැන කියූ නිසා හෝ වන්නට නොහැකිය. එදින අප දෙදෙනාගේ මතකයක් නිසා වනු හැකිය. ඒ ක්ෂණයෙන් මමත් ඇයත් එදින රාත්‍රී ආහාරයේදී සිදුවූ මෘදු හැඟීම මොහොතකට මා පසුකොට සුළඟක්ව හමා ගියා සේ දැනුනි. මගේ දෑස වැසී ගියේ ඉබේටමය.
ඈ මට ඈතින් සිටින්නේ නෙතින් මා පොළඹවමිනි.
ඒවා සදාකාලිකව මගේ සිත කුල්මත්කරනු ඇත. මම ඒ මතකයට බෙහෙවින් ඇලුම් කරමි.
මධුලිකා මා හා ප්‍රේමයෙන් වග සියල්ලන්ටම මුරගා කියන්නට මට ඇත්තේ නොතිත් ආශාවකි! එය චාපා හෝ වෙනත් තරුණියන් හා හාදවීමේ පුවතට වඩා අතිශය වෙනස්ය. ඈ මාගේ නිත්‍යානුකුල බිරිඳ බව මට ඒ මොහොතේ පවා නොදැනීම වඩාත් හාස්‍යජනක කාරණයයි.
මම බීම වීදුරුව බංකුව අසළ බිමින් තබා , පුටුවෙන් ඉදිරියට නැමී මධුලිකා වෙත හැරී වැලමිට දණහිසට වාරු කරමින් , මෘදු බැල්මක් හෙලුවෙමි. මට නිරායාසයෙන් නැගෙන සිනහව දැක මධුලිකා ලජ්ජාශීලි සිනහවකින් ප්‍රති පිළිතුරු දුන්නාය.
'මිනීමරන සරාගී සිනහව'
මිට පෙර තරුණියක් ඒ සිනහව හැඳින්වුයේ එලෙසයි.
"මධු.... ඔයා.... මට ඇත්තම කියන්නකෝ"
මධුලිකා සිය ලය වසා මුදාහල කාලවර්ණ කේශකලාපය ඇඟිලි තුඩු අගින් පහලට පිරිමැද මා දෙස දෑස් විවර කර බැල්මක් හෙළුවාය. ඇයට ඇත්තේ විදුලියක් වැනි ලයපසාරු කරන බැල්මකි.
"මොකක් ගැනද?"
"උදානි මොනවද මම ගැන කිවේ ඔයාට? "
ඈ එකවරම පිළිතුරක් දුන්නේ නැත. ඒ වෙනුවට ඇස කරකවා සිනාවෙන් මුව ඔපවත් කරගත්තාය.
"...උදානි අපේ කොලේජ් එකේ මගෙත් එක්ක පොඩි කාලේ ඉඳලම දෙතුන් පාරක් පංතිවල හිටියා. මම එයාට කවදාවත් වැරද්දක් කරලත් නැහැ.. ඉතින් ඇයි මට අකමැති?"
තවදුරටත් මම නිවරදිකරුවාට හිමි කාරනා ගෙනහැර දැක්වුයෙමි.
මධුලිකා දෑස සිහින්කොට මුව තදකොට පියා ගත්තේ සිනාවක් වලක්වන්නට මෙනි. ඈට ඇත්තේ සරාගී දෙතොල්ය. මගේ සර්වාංගයම උණුසුම්ව යයි.
"ඔයාට ඉතින් කෙල්ලෝ වැහි වැහැලනේ... "
මම ඇගේ දෑස මගේ බැල්මෙන් සිරකොට තබාගත්තෙමි.
"මට? කෙල්ලෝ ඉතින් මගේ පස්සෙන් ආවට මම මොකක් කරන්නද?"
මම කවදත් කීවේ ඒ වැකිය බැවින් එය නිරායාසයෙන් මගේ මුවට පැමිණියා විය හැකිය.
"හ්ම්ම්.. ඒකත් ඉතින් බොරුවක් නෙවෙයි තමයි.. "
මධුලිකා ලෙළදෙන ගිනිදළුවක් මෙන් සිනහවක් පෑවාය. කවදත් ඇගේ ඒ යටිතොල විකීම මා කළඹවා ලයි. මම තරමක නොසන්සුන් බවකින් වුවද දරාගෙන සිටියෙමි.
".... කවුරුත් ඉතින් කතාවෙනව ඔයාගේ ඔය හිනාවෙනකොට වලගැහෙන කම්මුල ගැන එහෙම... "
මධුලිකා සිනාසී දෑස ඉවත් කරගත්තද මගේ බැල්මෙන් මිදෙන්නට ඈට මම ඉඩ නොදුනෙමි.
මෙය ඩිස්පැන්සරිය නොවේ නම්!
ඇගේ ඒ ප්‍රකාශයට මට ඇති පිළිතුර සෑහෙන බරපතල බැවින් මම නිහඩ බව තෝරගත්තෙමි.
"...... අම්මෝ බලාගෙන ඉන්න විදිය..! "
දුරකථනය නාද වුයෙන් අප දෙදෙනාගේ දැහැන බිඳවැටුණි.
ඇමතුම වත්තේ කළමනාකාර ;සුන්දර්; බැවින් මම වහාම පිළිතුරු සැපයුවෙමි. වත්තේ සේවකයින්ගේ වේතන පිළිබඳව සොයා බලා මට යම් තොරතුරු ලබාදෙන්නැයි ඔහුට කියා තිබුණු බැවින් ඔහු ඒ තොරතුරු වල සාරාංශයක් මා වෙත ඉදිරිපත් කළේය.
මධුලිකා මගේ හිස් බිම වීදුරුව රැගෙන ආපසු හැරුණාය.
මම ඒ ක්ෂණයෙන් ඇගේ කලිසමේ වාටිය කොටසින් අල්වාගත්තෙමි.
"කොහෙද යන්නේ?"
මම නෑසෙන ගානට අසනවිට මධුලිකා රවා බලා මගේ අතින් කොනිත්තා මිදෙන්නට උත්සහ කලත්, මම ග්‍රහණය ලිහිල් නොකලෙමි. ඇගේ කලවා වල ගෑවෙන මගේ අත මධුලිකා තල්ලු කරයි.
දුරකතනයේ අනෙක්පස සිට සුන්දර් සිය කතාව දිගටමයද්දී මම ඊට හූමිටි තැබුවා මිස පිළිතුරක් දෙන්නට උනන්දුවක් තිබුනේ නැත. ඔහුගේ වචන මගේ හිසේ රැඳුනේ අල්ප වශයෙනි.
"..සුන්දර්... මට කියපු විස්තර ටික ෆයිල් එකේ තියෙනවානේ? හෙට ලොරිය එනකොට ඒ ටික සීල් කරලා එවන්න.. මම පොඩි වැඩක ඉන්නේ"
මගේ අත කොනිත්තමින් උන් මධුලිකාගේ අත වැලමිට කොටසින් අල්ලාගනිමින් මම සුන්දර් හා ඇති කතාබහ නිම කර, දුරකථනය නිදහසේ මේසය මත තැබුවේ සිනාසෙමිනි.
"හම්මෝ.... කොටි දෙන වගේ මාව කෙනිත්තුවා නේද?"
"අත අරින්න අනේ මාව.. මේ කොහේ කියලද හිතාගෙන ඉන්නේ?"
මම මධුලිකා තදින් මා දෙසට ඇද , ඇගේ බඳ වටා දෑතින් ග්‍රහණය කොට බදාගත්තෙමි. ඈ දහස්වර කටිනලද පුළුන් පොදක් මෙන් මෘදුය. මධුලිකා වෙව්ලනු මට හොඳින් දැනුනි. ඈ වෙතින් හමන මේ සුවඳ සැමදා මා මන්මත් කරවන්නේ අන් කවරදෙයකටත් වඩා වීම අතිශෝක්තියක් නොවේ.
තරුණියක සිත හඳුනාගැනීම කෙසේ වෙතත් ඈ නම්මා ගැනීමට මට ඇත්තේ සහජ හැකියාවක් බව මගේ මිතුරන් මා සමඟ නිතර කියන කරුණකි. මධුලිකා අනෙක් තරුණියන් මෙන් නම්මා ගැනීම පහසු නොවන බව දන්නා කරුණක් වුවද ඈ කෙරෙහි ඇති ප්‍රේමය විසින් මා බලවත් පාලනයකට යටත්කොට ඇත්තාක් වැනිය. එය කෙතරම් පුදුමයක්ද?
දහස් වරක් කටිනලද පුළුන් පොදක් සේ ඇගේ ස්පර්ශය මත්කරවන මෘදු බවකිත් යුතුද? නැතිනම් මගේ උමතුවක්ද? ඈ අසලදී මා අසරණ වන තරමක්! ඈ ගල්ගැසී ප්‍රතිචාරයක් නොදක්වා සිටීම නිසා මම මගේ ග්‍රහණය යන්තමට ලිහිල්කලේ ඇතුලාන්තයෙන් නැගෙන හැඟීම් පාගාගෙනය.
එකවරම මගේ ඊර්ෂ්‍යාකාර තරුණයා සුපුරුදු පැනය අමෝරාගෙන සිටියේය.
'මධුලිකා මා සල්ලාලයෙකු සේ දකීවිද?'
මගේ ග්‍රහණය ලිහිල් වුවද මධුලිකා එයින් පැන දිව්වේද නැත. මැය තේරුම් ගැනීම මට මහත් ප්‍රෙහෙලිකාවකි!
මම මධුලිකාගේ වම් කන් පෙත්ත අසලට මගේ හුස්ම තැවරෙන්නට හැරියෙමි. මධුලිකා පිළිමයක් සේ නොසෙල්වී උන්නාය.
"මධු... මට ඔයා ..... ඇත්තටම ඇයි ඔයා මාව .... මෙහෙම.... සමහර වෙලාවට.... "
මට වචන තෝරා ගැනීම අපහසුවක් දැනුනි. මධුලිකා නොසෙල්වී සිට යන්තම් හිස බිමට හරවා තත්පර කිහිපයක් ගත කළාය. අප සිටියේ එතරම්ම පුද්ගලික ස්ථානයක නොවුවද අප දෙදෙනා හැරුණුවිට කිසිවකුත් ඒ අසළට නො එනබව මට දැනී තිබුණි.
"... මට මෙහෙම අහන්න අයිතියක් නැතිව ඇති. ඒ උනත්, මම සමහර වෙලාවට හිතනවා..."
ඒ වචන පෙළගැස්ම එතරම් සාර්ථක වුයේ නැත. මධුලිකා එකවරම හැරී මගේ මුහුණ දෙස බැලුවාය. ඇගේ ඒ බැල්ම මා විනිවිද ගමන් කලේ තියුණු ආයුධයක් මෙනි.
මධුලිකා මෙලෙස මගේ අත මානයෙන් සිටින්නේ මා ගැන ඇති අවිශ්වාසය නිසාද? මම තුවාල වුයෙමි.
මධුලිකා මා වෙතින් ඉවතට පියවරක් තැබුවාය. අගේ මුහුණේ හැඟීම් මට කියවාගත නොහැකිය.
"මට සමාවෙන්න තීක්ෂණ.. මමයි ඔයාව මේ විවාහ උගුලේ දැම්මේ... ඔයාගේ මේ ප්‍රශ්න වලට ; ඔක්කොටම මම තමයි වගකියන්න ඕනේ.. ඒ වරදකාරී හැඟීම මගෙන් මට අයින් කරගන්න බෑ"
මම පමණක කම්පනයකට පත්වූයෙමි.
".......මේ කරදර ඔක්කොම ගෙනාවේ මම. ඔයා දකින වාරයක් ගානේ මට මගේ වැරැද්ද මතක් වෙනවා."
මම හැඟීම් සියල්ල වසා ඈ දෙස බලා සිටියේ ඇයිදැයි අදටත් මට පිළිතුරක් ලැබෙන්නේ නැත. මගේ නොමනාපය ගැන මටම නොමනාපයක් නැගුණි.
"මට ආදරෙයි කිව්වේ ඒකට හිලව්වටද? "
"තීක්ෂණ කරුණාකරලා තේරුම් ගන්න"
මම කෘතීම සිනහවකින් දෙතොල් දෙපසට ඇද මුහුණ වෙනස් කරගත්තෙමි. නමුත් හදවත මහා සැතකින් කැපිගියාක් මෙන් වේදනාවකින් මොරදෙනු මට දැනුනි.
'මේ කතාව මේ වෙලාවට ; මෙතනට ගැලපන්නේ නැහැ. මේ කතාවේ කෙලවර කවදාවත් හොඳින් කෙලවර වෙන්නෙත් නැහැ ..'
මගේ සිත මටම මිමිණුවා හැර එය පිටතට ඇසුනේ නැත. පිටවුයේ බර සුසුමක් පමණි.
මධුලිකා දැල්වෙන දෑසින් බලාගෙන සිටියාය. ඇගේ ඇස්වල අනුකම්පාව තිබුනේ නැත.ප්‍රේමය තිබෙන්නට ඇති වුවද මට ඒ බැල්ම වැටහුනේ නැත.
මා දෙස ප්‍රේමයෙන් බැලු ඒ එක්තරා මොහොතවල් මගේ මනස හරහා අධි වේගයෙන් හමා යනු මට දැනුනි. ඇගේ ප්‍රේමය මෙතරම්ම සංවෘත වන්නේ කවර කරුණක් නිසාද?
"ති..ක්..."
"මාව පාවිච්චි කළා කියන එක දැන් මට ලොකුවට දැනෙන එකක් නැහැ. මම කැමතියි මම එදා අහපු ප්‍රශ්නෙට උත්තරේ මට ලැබෙනවා නම් ; ඒක මොකක් උනත් මට ඒ ඕනේ දෙයක් ඔට්ටුයි....."
මම මෘදු හඬින් පැවසුවෙමි. මෙතරම් සංයමයක් මම මීට පෙර පවත්වා නොමැතිවාට සැකයක් නැත.
මධුලිකාගේ දෙතොල් වෙව්ලනු මට පෙනුනි. ඈ යටිතොල තදින් විකාගත්තේ ආවේගයටද? සිනාවක් නිසාද?
"... ඔයාගේ හිතේ මම හිටපු එක.. ඒක එහෙම අහන්න ලැබුන එක, සමහර වෙලාවට වෙච්ච හොඳම දේ වෙන්නත් පුළුවන්... මට හංගන්න දෙයක් නැහැ"
මගේ හඬේ ඇති වෙව්ලීම නිසා මධුලිකා කියන්නට ආ දේ ගිලගත්තා විය හැකියි.
"මම... මම ඔයාට ආදරෙයි මධු... මට.."
මගේ හඬ බිඳී ගියේය. මධුලිකා සෙමින් පැමිණ නිදහසේ තබාගෙන උන් දෑතින් නිරාවරණය වූ මගේ පපුව මධ්‍යයේ ගුලි වුවාය. එය වඩාත් සමීප වුයේ අනුරාගයකට වඩා සිත සනසවන මිතුරු වැළඳගැනිමකටය.
"මට සමාවෙන්න"
මම කිසිවක් නොකීවෙමි. මගේ පිරිමි හදවත පසාරු කරගෙන බය ඊයම් බරුවක් බැස ඇත්තාක් මෙනි. මධුලිකාගේ ප්‍රේමය මා අසල, මගේ අත මානයේ ගැටෙමින් පවතින මීදුමක් වැනිය. අල්ලාගන්නට තනද්දී අතට හසු නොවී මිදෙයි. මෙය මානසික වදයක් මෙනි. නමුත් ඈගෙන් මගේ සිත නොමිදීම පුදුමාකාරය. ඈ තුල මා කෙරෙහි ඇති ආකර්ෂණය, මා කෙරෙහි ඈ තුල නැතුවාද?
මා වැළඳගෙන උන් ඇගේ දෑත් මගේ පිට හරහා ඉහලට යනු දැනී මම විපිළිසර වීමි. මධුලිකා මම මෑත් කලේ හිතාමතාමය. මට මෙය ශාරීරික වදයක් මෙනි. මම ඇගෙන් දාස වෙනකොට බිමට ඔරවාගෙන සිටියේ වේදනාවට වන්නට ඇත.
".... බබා... මට ඔයා බොරු කියලා තියෙනවද?"
ඒ පැනයට මගේ තොලකට වියලි යන්නට ඇත. මධුලිකා මගේ මුහුණ බැලුවෙත්, ඈ දෙස මා බැලුවෙත් එක විටක වන්නට ඇත.
"ඇ .. ඇයි එහෙම ඇහුවේ?"
කුමන මොහොතක වුවද සිපගන්නට පොළඹවනසුළු දෙතොල් තදින් පියා මධුලිකා මා දෙස බලාසිටින්නිය. මධුලිකා මා අග්නි පරික්ෂාවට ලක් කරනවාද? සුදු කෙල්ලන් කිසිවකුටත් නොමැති ඒ සලිත කරවන බැල්මේ මම වින්දිතයෙක්ව සිටිමි.
" මම ඔයාට බොරු කියලා තියෙන නිසා"
එකවරම මම මන්දහාසයකින් මගේ භීතිය වසාගත්තෙමි.
"..... අපි දෙන්නා... කොටින්ම මම මේ කිසි දේකට සුදානම් වෙලා නෙවෙයි හිටියේ... මට දැන් හිතෙනවා, මිට කලි අපි දෙන්නා මිට වඩා කතා කරලා හිටියා නම්..."
"එහෙමනම් මාව බඳින්නේ නැහැ නේද?"
මධුලිකා එකවරම මගේ දකුණු අත් ගොබය මිරිකා සිටියාය.
"...ඌ...."
"මාතෘකාවට කතා කරන්න , මෝඩයා.. මම සීරියස් කතාකරන්නේ.."
මධුලිකාගේ නළල් තලය මගේ අවධානය උදුරා ගනී.
".. හොඳයි... දෙන්නටම සාධාරණ විදියට කතාකරමු... මේ වගේ වෙලාවල් වල ස්ටීව් කරන පොඩි ගේම් එකක් තියෙනවා... මෙහෙමයි ඒක කරන්නේ... එක්කෙනෙක්ගේ ප්‍රශ්න පහක් අහනවා., බොරු කියන්න බැහැ , ඇත්තම කියන්න ඕනේ... ඇත්තම ඇත්ත කියන්න ඕනේ... එක්කෙනෙක්ට පස්සේ අනිත් එක්කෙනා.... ප්‍රශ්න කල් තියන්න පුළුවන්. තමන්ට තෘප්තිමත් වෙන්න තරමට උත්තරේ එනකල් ප්‍රශ්නේ අහන්න පුළුවන්... හැබැයි අන්තිමට ඇත්ත උත්තරේ දෙන්න ඕනේ .. මොනවා උනත් ඇත්තම කියන්න ඕනේ... "
මධුලිකා මා අසල ඇති පුටුවෙහි මට පසෙකින් හිඳගත්තාය. ඈ තුල යම් කැළඹීමක් ඇති බව මට වැටහුණි. මා තුලද එම තැතිගැන්ම ඇති බවකි.
"... එකඟද?"
එය අධිෂ්ඨානශීලි අණකි. මම ඊට ඉඳුරා අනෙක්පස මගේ පුටුවට බරවී හිස දෙපසට වනමින් එකඟතාවය පලකලෙමි.
'මාර මුඩ් ස්වින්ග් කාරියෙක් තමයි. මේ මොහොතකට කලින් හැඟීම්බර වෙලා, දැන් උඩපනිනවා '
"මමද? ඔයාද?"
"ඒකද ඔයාගේ මුලින්ම ප්‍රශ්නේ?"
මධුලිකා ඇගේ කිංකිනි හඬින් සිනාසුනාය. ඇගේ කොට කලිසම තවමත් මා පෙළයි.
"මෝඩ වඳුරෝ.... මම ඇහුවේ කවුද මුලින්ම පටන් ගන්නේ කියල"
"සාමාන්‍යයෙන් නම් මම තමයි මුලින්ම පටන් ගන්නේ... ඒ උනත් මේ වෙලාවේ හැටියට......"
මධුලිකා මට ඔරවා සිටියාය. මගේ වචන තිබුනෙම නුහුරු සරාගික බවටමය.
"තීක්ෂණ..... විහිළු නෙවෙයි.. පොඩ්ඩක් සීරියස් වෙන්න... "
"අපිට .......?"
"තව පැය දෙකක් තියෙනවනේ... ඇයි ඔයා ඇත්ත කියන්න බයද?"
ඇය මගේ දුර්වල ස්ථානයක් සොයමින් ඉව කරමිනි. මම දාස කුඩා කරගෙනම උන්නෙමි.
"නෑ එහෙම නැහැ.. හරි ඔයා අහන්නකො.."
මධුලිකා යම් පමණකට කල්පනාකාරීව හුස්මක් අල්ලගත්තාය. මට බියක් දැනුනි.
"පලවෙනි ප්‍රශ්නේ........ ඔය දෙන්නා.... කොහොමද මාව කිඩ්නැප් කරපු එක දැනගත්තේ?"
මම ඒ පැනය ගැන පුදුම වීමි. එයට පිළිතුර ඇය දනී.
"ඇයි මම කිව්වේ එදා.... අපි දැක්කා ඔයාව වෑන් එකට බලෙන් වගේ දාගන්නවා.... ඉතින් සැකේට අපි පස්සෙන් ගිහින්... ගේ බලාගෙන, විරංග යි මමයි බොරුවක් කියලා ඔයාව බලන්න ඇතුලට ආවා... එච්චරයි..."
මධුලිකා හැඟීම් විරහිතව මා දෙස බලා කල්පනා කරන්නා සේ සිටියාය.
"මට ඕනේ ඇත්ත.. නැතිනම් මේක වැඩක් නැහැ.."
"ඉතින් ඒක තමයි ඇත්ත"
"ඔච්චර ලොකු කතාවක් නෙවෙයි මම ඇහුවේ... මම ඇහුවේ කොහොමද කිඩ්නැප් කරන එක දකින්නේ.. ඔයාල ඉන්නේ අපේ කොන්වන්ට් එක ළඟක නෙවෙයිනේ... තීක්ෂණ.. මම අහන්නේ ඇත්ත.. මොකක් උනත් ඇත්ත කියන්නකෝ... "
"ඉතින් මම කිව්වේ... අපි දැක්කනේ.. සැකේට.."
"දකින්න ඔයාල එතනට ආවේ කොහොමද?"
මම ගැලවීමක් නොමැතිවම නිරුත්තර වීමි. යමක් කිව යුතුය.
"දැන් මම උත්තර දුන්නනේ.. "
"එක නෙවෙයි උත්තරේ... පුලුවන්ද අන්තිම ප්‍රශ්නෙන් පස්සේ ඒක කියන්න එහෙනම්?"
එය සහනයකි. මම එකඟ වුයෙමි. දැන් මගේ වාරයයි.
"මධු... ඔයා මගෙත් එක්ක මේ ඉන්නේ සතුටින්ද?"
මගේ මගේ බැල්මෙන් මධුලිකා සිරකරගත්තෙමි. මගේ මරණිය බැල්ම ඈ තුල ඇතිකරන රසායනය මම මිට ප්‍රථම දැක ඇත්තෙමි. මධුලිකාගේ දෑස් හිරු එලිය වැටි දිදුලන අසිපත් මෙන් කාන්තිමත් විය.
"ඔව්..."
මධුලිකා ප්‍රභල, ස්ථිර හඬින් කීවාය.
"තනි වචනෙන් බෑ..."
"එහෙම රූල් එකක් නැහැ"
"නැතිනම් මම දැන් ඒක දානවා"
මධුලිකා සුන්දරව සිනාසුනාය. සුදු කෙල්ලන්ගේ සිනහවේ නැති කාන්තිමත් ආලෝකයක් ඉන් විහිදෙනවා මෙන් මට දැනුණි . තුවාල වූ සිත සුවපත්ව මට යම් සහනයක් දැනුනි.
"ඔව් තීක්ෂණ.. මේ ලෝකේ මගේ මමා එක්ක ඉන්න කාලේ මට දැනුන රැකවරණය මට දැනෙනවා... ඔයා හැමදේම මම වෙනුවෙන් කරන එකට මම ණයගැතියි.."
මගේ පපුව පිම්බි සිරවන්නට ආසන්න විය. මෙය මට දරාගන්නට නොහැකි නිසා මම ලජ්ජාවෙන් සිනාසිමි. එකිනෙකා කෙරෙහි ඇති උද්දච්චකම නිසා අප දෙදෙනා කෙතරම් අනෙකා අගය කිරීම අමතකකොට සිටියාද? මට වඩා මධුලිකා නිහතමානී බවෙන් යුක්තය ; ඇගේ ප්‍රේමය මා පුර්ණවත් කරන්නා වැනිය. මගේ කඩතොළු වසාලන මෘදු පිරවුමක් වැනිය.
"හ්ම්ම්ම්.. මොකක්ද ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ..?"
යථාතත්වයට පත්වූ මධුලිකා බිම බලාගෙන සිට හිස එසවුවාය.
"ඔයාගේ අර තට්ටු නිවාසයට එදා කඩාගෙන පැනපු කෙල්ල එක්ක සම්බන්ධය තාම තියෙනවද?"
"නෑ ! එයා... "
මධුලිකාගේ මුහුණ වේදනාවෙන් ඇඹරි යනු මට පෙනුනි.
"ඔව්.. කියන්න... ඇත්තම කියන්න"
"... නෑ.. ඒ සම්බන්ධය නෑ... ඒ කෙල්ලට පිස්සු... ඒක එහෙම සම්බන්ධයක් නෙවෙයි.. බොහොම ලිහිල් සම්බන්ධයක්.. ඒක එයා දන්නවා.. ඊටත්.. මම චාපාට කවදාවත් ආදරේ කලේ නැහැ."
වැකිය අවසානයේ මධුලිකා තුල දැල්වී නිවී ගිය සිනහවක් මගේ ඇස කොන සටහන් විය. මට සහනයක් දැනුනි. එය මා කිව යුතුම වැකියකි.
"ඔයාගේ දෙවැනි ප්‍රශ්නේ?"
මෙය යම් විනෝදයක් ගෙනදෙන වැඩකි.
"ඔයාව බේරගන්න කියලා ඉල්ලුව අපිට......... ඔයා කාගේ කවුද කියලා නොකිව්වේ?"
මධුලිකා කල්පනා කළාය. නමුත් එය බොරුවට කල රංගනයකි.
"... ඇත්ත කියන්න ඕනේ... "
"ඒක එහෙම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි... ටිකක් සංකීර්ණයි... වෙන ප්‍රශ්නයක් අහන්න"
"බෑ බෑ.. ගේම් එකේ නීති ඔයාට කඩන්න බෑ. මගේ ප්‍රශ්නේට උත්තර දෙන්න"
"හරි ඉතින්.. හ්ම්ම්ම් මෙහෙමයි... මම ඔයාලාව දන්නේ නැහැ... ඉතින්... මට කොහොමත් කියලා තිබ්බේ කාටවත් මගේ විස්තරයක් කියන්න එපා කියල..."
"මූහු... ඒක උත්තරේ බාගයක් වගේ"
"හරි... මෙහෙම කියන්නම්කො... මුලින් මම ඔයාලව විස්වාස කලේ නැහැ.. ඒ උනාට පස්සේ ඒ අදහස වෙනස් උනා.. විරංග...."
මධුලිකාගේ වචන දහරාව අඩපණ විය.
"ඔව්.. කියන්න..."
"විරංග මගෙත් එක්ක ගොඩක් කතා කලාම මට තේරුණා... ඔයාලව විස්වාස කරන්න පුළුවන් කියල... අනික.................................. මම හිතන්නේ උත්තරේ ලැබුන නේද?"
"හ්ම්ම්"
මධුලිකා පැවසුවේ සත්‍යක් වන්නට ඇත. මට වඩා ඈ විරංග සමඟ කුළුපඟව සිටියාය.
"මම ඔයාට ගොඩක් නරක විදියට සැලකුවා තීක්ෂණ... මට ඒ ගැන සමාවෙන්න"
මධුලිකා එය පැවසුවේ අතිශය මෘදු ස්වරයකිනි. මම තිගැස්සී ඈ දෙස බැලුවෙමි. ඈ මා දෙස බලා සිටිනවා දැක යලිදු සැලි ගියෙමි. සත්‍ය කතාකිරීම, තම හදවතට එකඟව කතාකිරීම මෙතරම් සැහැල්ලුවක් සිතට ලබාදෙන බව මට වැටහෙන්නේ දැන්ය.
"මමත් ඔයාට නරක විදියට සලකන්න ඇති... මටත් ඒ ගැන සමාවෙන්න... "
මධුලිකා සිය දකුණු අත දිගුකොට මගේ අත ඉල්ලාගෙන සිනාසුනාය. ඇගේ බුහුටි අත උණුසුම්ය. මම විසින් පළඳන ලද මුදුව ඈ ඒ මොහොතේත් පැළඳ සිටිනු මට දැනී සිත උණුසුම්ව ගියේය. අත් අත නොහැරම අප එකිනෙකා දෙස බලාගෙන තත්පර කිහිපයක් සිටියෙමු. ඇගේ අත ඔස්සේ ඉහලට යන මගේ අත ඈ අතරමගදී තදින් අල්ලාගත්තාය.
"මම... සමහර වෙලාවට... බයේ හිටියේ.."
"බයේ?"
"ඔව්... මම ඔයාට ඇදිලා ගිහින් තිබ්බේ... "
මට දැනුන හැඟීම අතිශය වර්ණවත්ය.
"..... ඔයා ගැන කියල තිබ්බ දේවල් අනුව මම බය උනා ඉතින්.. ඔයාට ලංවෙන්න බයයි නේ!"
මධුලිකා අල්ලාගෙන සිටි අත තදින් කෙනිත්තුවාට මම සිටි පාට සිහිනය නිසා මට එය දැනුනේ නැති තරමකි. මෙය නම් අපුරු සෙල්ලමකි. ඈ තදින් බදා සිපගන්නට තරම් මම උද්දාමයෙන් සිටියද, බොරු සංවර කමකින් සන්සුන්ව ගතකරන්නට වීමි.
'හද පොපියයි - සිත නලියයි
බැලු බැලු අත එළියයි....'
"... හරි දැන් මගේ වාරේ... මට කියන්න... කොලිජ් එකේ පුහුණුවීම් ඉවර වෙලා යනකොට මට කලන්තේ හැදුනම, මම කොහොමද ඔයාගේ කාර් එක ඇතුලට ආවේ?"
"ඔයා දුවනවා මම බලාගෙන හිටියේ... මම දැක්කා ඔයා සිස්ටර් ගේ ගාව තිබ්බ කොලේ උස්සනවා. ඒ ක උස්සගනනේ ඔයා දිව්වේ... "
මධුලිකා පුදුමයෙන් සිනාසෙමින් මා දෙස බැලුවාය.
"ඔයා මාව ලුහුබඳිමින් හිටියද? ආ??? කොහොමද දන්නේ... අනේ දෙවියනේ ඔයා කාටවත් කිව්වේ නැහැ නේද මම ඒ කොලේ උස්සපු එක?"
අප දෙදෙනාම සිනාසුනෙමු.
"..... ඔයා හරි ස්වීට්.... මට හිතාගන්න බැහැ ඒක කවුරුත් දැක්කේ නෑනේ.. කොහොමද දැක්කේ? මට පුදුමයි.... කාටවත් කිව්වනම් මෙහලකට ආරංචි වෙන්න ඕනේ ඒක මම උස්සපු බව... ඒ කියන්නේ ඔය කිව්වේ නැහැ නේද? ඒක ඇත්තටම ඔට්ටුවක්... නෙල්කා කිව්වා මට ඒක කරන්න බැහැ කියලා... මම ඉතින් ඒක ඉස්සුවා! මරු ඒයි !"
මධුලිකා කුඩා දැරියක පරිද්දෙන් උඩ පනිමින් සිනාසෙන්නීය. විදුහලේදී ඇගේ මේ ජීවයෙන් පිරුණු හැසිරීම මම කොතෙකුත් ඈත සිට නිරීක්ෂණය කොට ඇත්තෙමි.
'අම්මෝ තියෙන විසයක්'
".. ඉතින් ඉතින්..."
"ඉතින් මට ඔයා ගැන ක්‍රෂ් එකක් තිබ්බ නිසා... ඒ චාන්ස් එකෙන් බිම වැටිලා හිටිය ඔයාව අල්ලලා කාර් එකට දාගත්තා... "
බොරු කෝපයෙන් ඇහිබැම එක්ව ගොස් ඇගේ තොල් උල්ව ගොස්ය
"..... මම ඔයාගේ මෙන්න මෙතනට හාදුවකුත් දුන්නා..."
මධුලිකාගේ මුව විවරව ගියේය. කෝපය වෙනුවට ඈ විශ්මයෙන් ගල් ගැසුණාය. මම සුපුරුදු ලෙස දඟකාර සිනහව පෑවෙමි.
"මෝඩ වඳුරා.... මම හිතුවේ එදා ඒ මගේ වරදක් කියල.. ඇත්තටම එහෙනම් මම දැක්ක දේ ඇත්තද? ෂෙක්! මම පස්සේ දුක් උනා මට උදව් කරන්න ආපු ඔයාට මම ඕනෙවට වඩා සැර උනා කියලා... බලනකොට අන්තිමේ මමයි මෝඩයා "
මම හිස සැලුවේ දඟකාර ලෙසටය. මධුලිකා සිය අත හකුලවා මගේ අත් ගොබයට පහරක් ගැසුවාය. මම ඇගේ අත අල්වා අනෙක් අතද එලෙසම අල්ලට තදකර ගත්තෙමි.
"ඔව් ඇත්ත තමයි.. ! අතපය විසිකරන්න ඔට්ටු නැහැ හරිද? "
"හරි හරි දැන් අතාරින්න.. ඌ යි.. එපා මගේ අත රිදෙනවා... නපුරා... මට ක්‍රෂ් වෙලා හිටිය කියල මාව රවට්ටන්න?"
මම ඇගේ අත් මුදාහැර බිම බලා ගත්තෙමි.
"නෑ ඒක ඇත්ත... මට ඔයා ගැන එහෙම අදහසක් තිබ්බ.. ඒ උනාට ඒක පැහැදිලි නෑ ඒ කාලේ... ඔයා යන එන තැන් , කරන දේවල්, අඳින ඇඳුම් ඔක්කොම මම නිරීක්ෂණය කළා... "
"මොකක්?"
"ඔව් ඒක ඇත්ත. ඔයාගේ කැමතිම පාට රතු... වැඩිපුරම ඇඳුම් තියෙන්නේ සුදුපාට. ඔයාට ලස්සන තොප්පි තොගයක් තියෙනවා.. මම හිතන්නේ විසි හතක් අටක් විතර? එතකොට......"
"හම්මෝ..."
මධුලිකා පුදුමයෙන් උද්දාම වී ඇත්තා සේය.
මධුලිකා ගැන මම කොතෙක් ඔත්තු බැලුවාද කිවහොත් විරංග ඒ දිනවල මට නිතරම බැන අඬගහමින් සිටි බව සිහිවී මට සිනහවක් පහළවිය.
"අදට ඇති... තව පස්සේ කියන්නම්... මට ඊළඟ ප්‍රශ්නේ අහන්න ඕනේ.."
"හරි අහන්නකො අහන්නකො"
"ප්‍රශ්න අංක තුන.... මගේ පින්තූර ඇන්දේ කවද ඉඳලද?"
මධුලිකා ලැජ්ජාශීලි සිනහවක් නැගුවාය.
"ඒ මොකක්ද ඒ ප්‍රශ්නේ... මට මතක නෑ ඒක... "
"හරි මම මෙහෙම අහන්නම්කො... මගේ අර පින්තුරයක් තිබ්බේ... අර ලාච්චුවේ දාගෙන හිටිය පින්තුරේ... ඒක ඇන්දේ කවද්ද කියන්න එහෙනම්"
"මොන පින්තුරේද? මට මතක නැහැ..."
"මතක නැහැ?"
මම වහා මධුලිකාගේ දුරකථනය මේසය මතින් ගත්තෙමි. මධුලිකා එය ගන්නට උත්සහ කලත් ඈ මා තරම් ශක්තිමත් නොවුවාය. ඇය පරාජය බාරගෙන සිනාසෙමින් උන්නාය. මම ඇගේ දුරකතනයේ පින්තුර ගැලරියෙන් මගේ පින්තුරය සොයාගෙන එය මධුලිකා වෙත පෑවෙමි. මධුලිකා ඉවත බලාගත්තාය.
"... ඇත්ත කියන්න ඕනේ..."
"..............."
"මාව එදා ගෙදර ගෙනාවේ ඔයා නේ ජීප් එකේ..."
"හ්ම්ම්ම්.. ඔව්.."
"ඊට පස්සේ?"
"ඊට පස්සේ... හ්ම්ම්ම්... ඔයාව නිදාගන්න දාලා... මම ගියා... පස්සේ මට පින්තුරයක් ගන්න හිතුන... ඉතින් මම ගත්තා.. ඉතින් ඒකෙ වැරැද්දක් තියෙනවද ආ?"
මධුලිකා කතාකල විලාසයට මම සිනහ නොවී සිටිය නොහැකිය. ඇගේ කොපුල් වෙනස්ම පැහැයකි.
" එහෙමටම වැරැද්දක් නම් නෑ... ඒ උනාට මගේ එහෙම පින්තුරයක් මොකටද ඔයාට?"
මම දෑස් කුදාකොට , කට කොනෙන් සිනාසී මධුලිකා දෙස බැලු සැනින් ඈ මගෙන් ඈතට වුවාය. ඈ මා දන්නා තරම!
"මේ මේ... එක ප්‍රශ්නෙට ප්‍රශ්න තුනක් හතරක් අහන්න බැහැ හරිද? ඒ පින්තුරේ ඇන්දේ ඊට පහුවදා.. ඒකනේ ඕන උත්තරේ.. ආයේ වෙනම ප්‍රශ්නයක් අහන්න ඕනේ..."
"හොඳයි... හොඳයි...... දැනට ඉවසමුකෝ එහෙනම්.... ඔයා චිත්‍ර අඳින්න දක්ෂයි. ඒ ගැන නම් කියන්න දෙයක් නැහැ මධු...ඒ උනාට ඔයා පින්තුරේ ඇන්දේ එදා නෙවෙයි නේ "
මධුලිකා කට උල් කොට ඇස් දෙපසට කැරකුවාය.
"... බොරු කියන්න බැහැ ඇත්තටම කියන්න ඕනේ"
"පහුවදා ඔයා ගියාම තමයි ඇන්දේ.... ඒ ඇත්ත..."
"ඔයා දන්නවද.. ඒ පින්තුර දැකලා තමයි මම ඔයාව හොයාගෙන ආයෙත් ආවේ. ඒ වෙනකල් මම හිතුවේ ඔයා....."
මධුලිකා පුටුවේ ඇන්ද කොනහන්නට වුවාය.
"තීක්ෂණ... ඔයා වෙරිවෙලා ආපු දවසේ උදේ....ඔයා ගිහින් එන්න ගොඩක් රෑ උන නිසා මම විරංගට කෝල් එකක් දීලා ඇහුවා ඔයා කොහේද කියලා. එයා තමයි කිව්වේ ඔයාලා බොන්න යන තැන... මම දන්නේ නැහැ මම ඒ වෙලාවේ කලේ හරි දෙයක්ද කියල.. මම ටැක්සි එකක් අරගෙන ගිහින් බලනකොට ඔයා ජීප් එකේ වෙරිවෙලා ඉන්නවා..."
මගේ සිත සැලී ගියේය. එදින මම මත්වී සිහි විකල් කරගත්තේ ඈ අන්සතු වේයැයි දැනුන පරාජයේ වේදනාව අකා මකා දමන්නටය.
".... ඔයා නැති උනාම මම ඔයාගේ පින්තුර ඇඳපු එක තමයි කලේ. උදානි මට බැන්නත් එක්ක... ඒ උනත්.. පස්සේ මට තේරුනා උදානි එහෙම කිව්වේ ඇයි කියල"
"එක අතකට හිනත් යනවා... අපි දෙන්න වෙන වෙනම.. එක එක විදියට හිතාගෙන කොච්චර බොළඳ විදියට වැඩ කලාද කියල"
මම යන්තමට සිනාසී මධුලිකා දෙස බැල්මක් හෙලුවෙමි. ඈ තවමත් පුටුව කොනහමිනි.
උදානි මම ගැන ඇයට යහපතක් කියන්නට නැත. එබැවින් මම එය ප්‍රශ්න කරන්නට නොගියෙමි. එකිනෙකාට මුහුණලා නොසිටීම අපගේ නිදහස් අදහස් ප්‍රකාශය පහසු කරන්නට ඇත.
මට ඇය වැළඳ ගැනීමට අවැසි විය. මගේ බැල්මෙන්ම මා වටහා ගත්තා සේ මධුලිකා 'බැහැ' කියන්නට මෙන් හිස දෙපසට වනා කියූ නමුත් යටැසින් මා දවා පුළුස්සාහරින බැල්මක් සමඟ මා දෙස සිනාසී බැලුවාය.
ඈ කෙතරම් ආදරණිය තරුණියක්ද? ඈ තුලින් මට පෙනෙන්නේ මගේ මවගේ ඇති එම පෞර්ෂය නොවේද?
".. දැන් මගේ වාරේ..."
මධුලිකා මාතෘකාව වෙනස් කරමින් කීවාය.
"මම ගැන ඇයි ඔයා තාත්තට නොකියන්නේ?"
එය ඉතා බර අවියකින් දුන් පහරක් සේ දැනී මගේ මුහුණ වෙනස් වී යනු මට දැනුණි. මධුලිකාට එය මෙසේ ප්‍රකාශ කිරීම උගහටය. පැනය තුල මා සතු දුර්වලකම් රැසක් මෙන්ම තාත්තාගේ රහසක්ද සැඟවී තිබේ.
"... හිත රිදුනට කමක් නැහැ.. ඇත්තම කියන්නකෝ"
මධුලිකා සිය පුටුවේ ඇන්දටතැබූ වැලමිටට බරව මා දෙස එක එල්ලේ බලමිනි. මම සන්සුන් වන්නට උත්සහ කලෙමි.
"ම්ම්ම්ම් එහෙම නෙවෙයි.. ඒක වෙලාව ආවහම..."
"ඒ ඇත්ත නෙවෙයි"
"මධු... අපි දෙන්නා විවාහ උනේ හදිස්සියෙන්... මට එකපාරටම ගහෙන් ගෙඩි එනවා වගේ අපේ ගෙදරට එහෙම එකක් කියන්න බැහැ.. එහෙම තත්වයක් නැහැ අපේ ගෙදර. මල්ලි තාම ඉස්කෝලේ යනවනේ... අනික... මම..."
"ඇයි ඔයාට ගෙදරින් යෝජිත විවාහයක් ලෑස්ති කරලාද තියෙන්නේ?"
මධුලිකා දෙස නොබලා මම ඉදිරිය බලාගෙන පිළිතුරක් සොයමින් ඇසිපිය වේගයෙන් ගැසුවෙමි. ටාෂා ගැන ඈ නොදන්නා බව මම හොඳාකාරවම දනිමි.
"නෑ එහෙම එකක් නැහැ... මම කිව්වේ .. මේ.. මට එකපාරටම එහෙම කියන්නත් බැහැ.."
අරමුණක් නැතිව මම කියවාගෙන ගියෙමි.
"..... අනිත් එක... අපි බැන්දේ ... ඔයාගෙම ඉල්ලීමකට... "
මගේ කටින් ගිලිහුණු කාල බෝම්බයක් වැනි වචන නිවැරදි කරන්නට මගේ දිව පැටලෙන්නට විය.
".... නැහැ මම මේ කිව්වේ.. මෙහෙම හදිස්සියේ..."
මධුලිකා ඉන් වේදනාවට පත්වූ බවක් පෙනුනද ඒ වේදනාව අතුරෙන් ඈ හඬ අවධි කළාය.
"නෑ ඒක ඇත්ත.ඒකතාවේ වරදක් නැහැ තීක්ෂණ... මමයි ඔයාව විවාහ කරගන්න කැමති උනේ, මමයි ඇහුවේ.. ඔයා මට අනුකම්පාවට ඒකට කැමති උනා.. ඔයා මම වෙනුවෙන් ලොකු කැපකිරීමක් කලේ.."
මධුලිකා සෙමෙන් කියවන්නට වුවාය.
"... මම හිතුවා ඔයාගේ හිතේ... පස්සේ මම වෙනුවෙන් ආදරයක් ඇතිවෙලා කියල.. එක්කෝ මම වගේම ඔයත් මට හිතින් ආදරේ කරනවා ඇති කියලා.. එතකොට මට හිතුනා ඔය මම ගැන ගෙදරට කියයි කියල... "
මගේ සිත විපිළිසර වී ගියේය. කුමක් කියන්නද කියා තෝරා ගන්නට නොහැකි වී මම මහා සාගරයක අතරමන් වී ඇත්තාක් මෙන් දැනුනි.
"... ඔයාගේ වරදක් නැහැ. මට ඒ ඇයි කියලා අහන්න බෑ , මොකද... ඒ වෙනකොට..."
මධුලිකා වැකිය අතරමග නතරකොට ගත්තාය.
මධුලිකා සිය සිතැඟි සියල්ලම නොසඟවා දක්වන්නිය. එය මහත් පහසුවක් සේ දැනෙයි. එලෙසම ඈ මම හිතන තරම් මා ගැන වෛරයකින් නොසිටි බව මෙයින් පැහැදිලි වීම මට ඇතිකළේ මා ගැනම ආත්ම අනුකම්පාවකි. මම කෙතරම් ඇයට නපුරු වුවාද?
"මම ඔයාට ආදරෙයි තමයි මධු.... ඒක බොරුවක් නෙවෙයි.. ඒක මම හිතන්නේ මගේ හිතේ කලින් ඉඳල තිබ්බ දෙයක් "
"මට මේක විතරක් කියන්න.. ඔයාට ගෙදරින් ගෑනුලමයෙක්... අර කතාන්දරවල තියෙන්නේ ගෙදරින් කුමාරිකාවක් වගේ එක්කෙනෙක් ලැස්ති කරවන්නේ.. අන්න ඒ වගේ කෙනෙක්...."
"අනේ නැහැ... එහෙම එකක් නැහැ මධූ... මම ඉන්නේ තාම කසාද බඳින වයසක නෙවෙයි කියලා තමයි අම්මලා උනත් හිතන්නේ.. ඩඩාගේ බිස්නස් තාම මම පුරුදු වෙනවා... මේ හැම දෙයක්ම උනේ හදිස්සියේ "
සිත තුල නොයෙකුත් දේ තෙරපෙද්දී මම පුළුවන් උපරිමයෙන් සන්සුන්ව අවංකව කතාකරන්නට යත්න දැරුවෙමි.
"ඇත්ත... මට ඒක තේරුම් ගන්න පුළුවන්... "
මධුලිකා හිස හරවා මා දෙස බලා සිට දුක්බර සිනහවක් නැගුවාය. මම ඇයට මුසාවක් පැවසුවේ නැත. සම්පුර්ණ ඇත්ත නොකීවා පමණි. තාත්තාගේ මේ බලපෑම ඉක්මනින් සමථයකට පත් වුවහොත් ඈ මේ ගැන නොදැන සිටීම සියල්ල යහපත් ලෙස වන්නට පසුබිම සකසනු ඇත. ටාෂා කෙනෙක් ගැන කියා තව අවුලවන්නට මට අවැසි නැත.
මධුලිකා මහා බරැති සුසුමක් හෙළුවාය.
"දැන් මගේ හතරවෙනි ප්‍රශ්නේ..."
මම අගේ ඒ බැරෑරුම් මුහුණ දෙස බලා පමණක බැරෑරුම් හඬින් පැවසුවෙමි.
"හ්ම්ම්"
" විරංගගෙයි ඔයාගෙයි අතර තියෙන ප්‍රශ්නය මොකක්ද?"
මධුලිකාගේ මුහුණ අඳුරු වී ගියේය. නමුත් ක්ෂණික පිළිතුරක් ලැබුණි.
"ඔය ප්‍රශ්නය මම බලාපොරොත්තු උනේ පළවෙනියටම.... ඔයා හිතලම නේද පහු කලේ..?"
"ඔව්"
මම හිතට දිරිගෙන කතාකරන්නට සිතාගත්තෙමි. මෙය ඉතාම සංවේදී මාතෘකාවක් සහ වපසරියක් වන්නේ එයට මගේ වැලිකෙලියේ පටන් මිත්‍රයාත්, මගේ ජීවිතය හා සම ප්‍රේමය වන මධුලිකාත් යන දෙදෙනාම සෘජුවම සම්බන්ධ වන බැවිනි.
මධුලිකා සිටි අයුරින්ම හිස හරවා මා දෙස බැලුවාය. ඇගේ ඇස් , මුහුණ කියා පෑවේ මා රිදවීමට තරම් යමක් කියන්නට සුදානම් බවකි. එයට මම සුදානම්!
"විරංග ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවෙයි තීක්ෂණ..."
"......."
"මම මේ කියන දේවල් වලින් ඔයාගේ හිත රිදෙන්න පුළුවන්... නමුත් මේ ගැන කතාකරන්න , විවෘතව කතාකරන්න විදියක් නැති වෙච්ච නිසා මම හිතන්නේ තත්වය භයානක උනා.. ඔයාට මට කලින් කියන්න තිබ්බ දේවල් ගොඩක් මගහැරුණ. ඒකට මට සමාවෙන්න.."
මම සෘජුවම ඉදිරිය බලාගෙන මධුලිකා කියන්නාක් අසාගෙන සිටියේ හැඟීම් විරහිතවය. ඈ කියන්නට හදන්නේ කුමක්ද?
"... ඇත්තම කිව්වොත් මම ඔයාට වඩා ලං උනේ විරංග ට.. ඒ උනාට මොකක්හරි හේතුවක් හින්දා මට වැඩියෙන්ම විශ්වාසය තිබ්බේ ඔයා ගැන. මම මේ කියන්නේ බොරුවක් නෙවෙයි. විරංග හොඳ මිත්‍රයෙක්. ඔයත් එක්ක රණ්ඩු උනාම මගේ හිත හැදුවේ විරංග..."
මගේ පපුව තුලට පරාල ඇණයක් බසින්නා සේ හුස්ම සිරවිගෙන එනවා දැනුනි. මගේ දෑස නිරායාසයෙන් පියවි ගියේය.
".... එදා අර.. ඔයාගේ ලෝයර්... මගෙත් එක්ක මේ සිද්ධියේ නීතිමය පැත්ත කියනකොට... මට මතක් උනේ විරංග ඒ වෙනකොට එයා මට එයාව විවාහ කරගන්න කියලා තිබ්බ එක "
අරුමයක් නොවේ! විරංග මට කලින් අදිරිපත් වී ඇත. මම වේදනාව දරාගනිමින් නිහඬව උන්නෙමි. මධුලිකා මගේ දෙස බලාසිටි පෙනුමෙන් මම ගිණිකන වැටුනා සේ ඈගේ බැල්මේ එල්ලී සිටියෙමි.
"....... ඒ වෙලාවේ හැටියට මට තීරණයක් ගන්න වෙනවා... නමුත් මට ඒ වෙලාවේ හැටියට ඒ තීරණය ගත්තා තමයි... ඒක තෝරාගැනීමක් වගේ පේන්න පුළුවන්. නමුත් එහෙම එකක් නෙවෙයි.... "
මධුලිකා සුස්මක් ඉහලට ගත මොහොතේ මටපෙනුනේඇගේ පියවි ගිය දෙනෙත මහා වේදනාවකින් බරවනවාය.
".... ඔයා මාව ආරක්ෂා කරන්න සෑහෙන්න වදයක් විඳිනවා. ඒක මට ලොකු බරක්... ඔයා මාව ප්‍රතික්ෂේප කලත්, ඔයා ගැන කැමැත්තක් හිතේ තිබ්බ නිසාත් , විරංග වගේ දෙපිටකාට්ටුවෙක් නොවෙන හින්දාත්... මම ඔයාව බඳින්න තීරණය කළා! ඒක වැරදිද?"
මධුලිකාගේ බැල්මේ තිබුණු අසරණකම මට නොවටහුනා නොවේ. එවන්ම අසරණ කමක් මගේ පෙනුමේද තිබෙන්නට ඇත.
"විරංග දෙපිටකාට්ටුවෙක් නම්.... මට නොකිව්වේ?"
"......."
මධුලිකා නැවතත් සුසුමක් හෙළුවාය.
"මධු..."
මම ඇගේ පුටුව අභියස දන හොවාගෙන මධුලිකාගේ නළලත සිපගත්තෙමි. මධුලිකා මගේ බඳ වටා දෑත් යවා මට තුරුල් වුවාය. මම ඈ මගේ නිකට යටට තද කරගත්තෙමි.
"ඔයාවයි විරංගවයි කොටවන්න මට බැහැ... ඔයා මාව ආරක්ෂා කලේ.. බලාගත්තේ.. මේ ඔක්කොම කලේ සල්ලි නිසා නෙවෙයි.. මට ඒක තේරුණා. විරංගට ඕනේ සල්ලිනෙ.. මම ඒක දෙනවා. එතකොට ඔයාට මේ තියෙන කරදර ගොඩක් අඩු වෙයි"
"ඌ බල්ලෙක් කියලා මම දැනගෙන හිටියේ නැහැ... මම ඌව විස්වාස කළා"
"..............."
"ඌ ඔයාට වෙන බලපෑම් මොනවත් කලාද? මොනවත්ම විදියක? මට කියන්න...."
මධුලිකා පිළිතුරු දුන්නේ නැත. එය පිළිතුරක් ලෙස බාරගන්නට මට සිදුවිය. වරක් ඒ ගැන සිතා මම සිහිය විකල් වන්නට මත්වීමි. අද මම තවත් සිහිය අවධි කරගෙන මෙයට මුහුණ දීමට සිතුවෙමි. මට දැනුනේ මහා ලෝබකමකි.
".... මධු.... ඔයා නැතුව මට දවසක්වත් ඉන්න බැහැ, මොහොතක්වත් ඔයා එන නොහිතා ඉන්නත් බැහැ... මොන ජාතියේ ප්‍රශ්නයක් ආවත්, මම ඔයාව අනතුරේ දාන්නේ නැහැ මධු.... ඇත්තමයි"
"මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙන්න තීක්ෂණ.... මම.. මම.."
"මුකුත් කියන්න ඕනේ නැහැ"
මධුලිකාගේ කඳුළු වලින් මගේපපුව කොටසේ කමිසය යන්තම් තෙත් වනු මට දැනුනි. ඒ සතුටු කඳුළු බව මට ඇති විශ්වාසයයි.
'මධුලිකා මගේය! ඈ කිසිවිටෙකත් ; කිසිවකුටත් නොදෙමි'
මගේ ඇතුලාන්තය ඈ කෙරෙහි තිබුණු අනුරාගය පරයා ප්‍රේමයෙන් බරවගොස් සුසුමක් මගේ මුවගින් පිටවුයේ නිරායාසයෙනි.
".. මට මෙහෙම කරන්න තරම් වැරැද්දක් මම ඌට කරලා නැහැ. මම සම්පුර්ණයෙන් අවංක නොවෙන්න පුළුවන්... නමුත් මධු.. මම ඔයාට අවංකයි... "
මම මධුලිකාගේ හිස් මුදුන සිපගතිමි. එහි මා තුල ඇති ආදරය කැටිව තිබෙන්නට ඇත. ආසක්තබවකට එහා ගිය ප්‍රේමනීය බැඳීමක ආනන්දය මට මේ මොහොතේ දැනුනා වන්නට ඇත.
"ඇති දැන්... අපි යන්න ඕනේ. අන්තිම ප්‍රශ්නය මම පස්සේ අහන්නම්?"
"මටත් එහෙම කරන්න ඕනේ!"
මධුලිකා මා දෙසත් මම ඈ දෙසත් හෙළුවේ ආදරණිය බැල්මකි.
පිරිමියෙකු තම ජීවිතය තුලදී දෙවරක් උපත ලබයි. වරක් ඔහුගේ මවු කුසිනි. දෙවැන්න සිය ප්‍රේමය දිනාගත් ගැහැණිය තුලිනි. එය මා අත් දකිමින් සිටිමි. මධුලිකා තුල ඇති සොඳුරු ; අඳුරු; දෘඩ ; සියුමැලි; රාගික;විරාගික ගති වලින් කුළු මීමෙකු මෙන් නොදැමුණු මනසකින් තාරුණ්‍ය දියකර හරින මා කඩාහැලෙන දිය දහරක් සුනම්‍ය සිසිල් ගංගාවක් ලෙස ලැසි ගමනට පත්වන්නාසේ නිවී යාම පුදුම සහගතය.
අම්මා තුලින් මා දැක ඇති ඒ පෞර්ෂය මම වෙනත් තරුණියක් තුලින් මේ දුටු ප්‍රථම වතාව වන්නට ඇත.
මධුලිකා යනු මම කලින් ඇසුරුකළ තරුණියන් මෙන් අතිශය සුරුපිණියක නොවේ. ඈ තුල මා දුටු ආකර්ෂණය වඩාත් තිබුනේ රාගික පැත්තට බරව වීම මුසාවක්ද නොවේ. මධුලිකා මට වඩා ධනවත් බුදලයක් හිමි තරුණියක් වීම අනෙකුත් අයගේ ; විශේෂයෙන් විරංගගේ ; ආකර්ෂණය වීමද අරුමයක් නොවේ.
ඉතිරිය ඇත්තේ අප දෙදෙනාටත් වඩා මගේ අත විය හැකිය. නිවැරදි ඉත්තා නිවැරදි මොහොතේ තැබීමෙන් සියල්ල සුනුවිසුනු නොවී බේරාගතහැක්කේ සියල්ල ගැන මනා පැහැදලි චිත්‍රයක් ලැබීමෙනි. මධුලිකාත් මමත් කල සංවාදයෙන් අප දෙදෙනාගේ එකිනෙකා කෙරෙහි ඇති කහට සෑහෙන දුරකට අකා මකා දැමීමට සමත් වුවා යයි කීම සත්‍යකි. ගුප්ත ආවේගශීලි මට වඩා , විවෘත ආවේගශීලි මධුලිකා මට වඩා ගැලපෙන්නේ එහෙයිනි.
ඇගේ විවේක කාමරය අසලදී මගේ හාදුවෙන් බේරීගත් මධුලිකා සිනාසෙමින් පැන දිව්වාය. ඈ තුල ඇති කෙළිලොල් තරුණිය මා දෙස පොපියන ඇස්වලින් බලන බව මම දනිමි. ඈට තව කාලය අවශ්‍යය. මට නැත්තේම ඉවසීමය.
ආයාසයෙන් මැඩගත් හැඟීම් සමඟ මම මක වෙලාවක් තුවාන් අයියාගේ හෙදියන් කිහිප දෙනෙක් සමඟ කතාබහ කොට නැන්දා වෙනුවෙන් කල උපකාර වලටද ස්තුති කලෙමි. එහි එක හෙදියක් මා දෙස පෙර සිටම ඇස කරකවනු පෙනී නොදැක්කා ලෙස සිටියෙමි.
මද වෙලාවකින් මම කියූ ආකාරයටම මධුලිකා ඇය උපන්දිනයදා හැඳසිටි ගවුම ඇඳගෙන පැමිණෙන විට මම ඊට කැපෙන පැහැයෙන් යුතු ලිනන් ඇඳුම ඇඟලාගෙන ඈ එනතුරු ජීප් රථයේ රියදුරු අසුනට වී, අප දෙදෙනාගේ මංගල ජායාරුපයත් , එදින ජයාරුපශිල්පියා විසින් ගන්නා ලද මිලකළ නොහැකි මධුලිකාගේ ඒ සුන්දර ජායාරුපයත් රසවිඳිමින් උන්නෙමි.
ඈතින් පෙනුන මධුලිකාගේ ඔෆ් ශෝල්ඩර් ගවුම ඈ වෙත ගෙන ආවේ බුහුටි සරාගී බවකි. මම සිටියේ මගේ සිත සමඟම පොරබදමිනි. මධුලිකාගේ මව රූමත් බවින් ඉදිරියේ සිට ඈ වෙත තිලිනකල සරාගී දෙතොල් සහ විනිවිද යැවෙන බැල්මක පිරිමි හිතක් පැටලීම අරුමයක්ද?
"මොකද හිනා වෙන්නේ?..."
මම මධුලිකට රථයට ගොඩවන්නට දොර විවර කලෙමි. සිනහව පිටුපස මගේ කිලිටි සිතිවිළිය.
".... මම කියලා නැද්ද? මහා කුපාඩි හිනාවක් තියෙන්නේ..."
මධුලිකා තරවටුවක් සේ කීවාය.
"ඔය! මම මොකද්ද කරපු වැරැද්ද?"
"හරි හරි... ඒ හිනාවත් ඉතින් නරකම නැහැ..."
අප දෙදෙනා සිනාසුනේ ඒ වැකිය නිසාම නොවේ. ජීප් රථය පාරට ගන්නට ප්‍රථම මම ඈට ඇඳුමට පිටින් දමාගන්නට කබාය ලබාදුන්නෙමි.
*************************************************
මතු සම්බන්ධයි
හම්මේ මෙන්න මෙයා ඉන්නවා. මගෙ අම්මෝ දැකපු කල්. ..මොනවයි කරේ මෙච්ච්ච්ර කල්? අලුත් පැණියක් වත් හැදුවද? ඇති යන්තන් දැන් හරි ලියන්න මතක් උනා.
ReplyDeleteඉන්නවා නෙවේනම්......
Deleteකතාව අමතක වෙලා කියල හිතලයි පුංචියට සාරාංශයක් දැම්මෙත්!
හදපු පැනියකුත් නෑ.. කරපු දේකුත් නෑ.. වෙලාවක් තිබ්බෙත් නෑ.... ඉතින් මේ කොටස කියෙව්වේ නෑ ?
කියෙව්ව කියෙව්ව්. සාරාන්සෙට පින්සිද්ද වෙන්න කියෝගත්ත යත්නන්. ලස්සනයි. නියමයි. අනිත් ටික ඉතින් 2022 නේ නේද. නිවාඩු පාඩුවේ තව කීප පාරක් කියෝගන්න බැරියැයි පස්සේ.:)
Deleteසාරාංශේ දැම්මෙත් මල්ටි බැරල් වදින නිසා...
Deleteමොකක් කරන්නද මේ WFH හින්දා කිසිම විවේකයක් නැහැ. පටලුන් එහෙම හරියට ලිහෙන විදියට නොලිව්වොත් අර ගීතිකා නෝනාගෙන් පිහි පාරක් තමයි කන්න වෙන්නේ.
ටහුඩු.. මෙන්න යකෝ මෙයා.. පලවෙනි කොටස් තිස්පහ කියවලා එන්නම් මීක කියවන්න.. යකෝ අවුරුදු බර ගානකින්නේ.. දැන් මතකත් නෑ කතාව :))
ReplyDeleteමේක බ්ලොග් ලෝක වාර්තාවක්ද මංදා.. පලවෙනි කොටස දාලා ලබන මාසේ 31 ට අවුරුදු හතරක් :)))
Deleteඕන්න බලහල්ලකෝ ඉතින්... අමාරුවෙන් සතියක් විතර සෝදුපත් බලලා බලලා කතාව චෝරු වෙයි කියලා බයේ සෑහෙන්න කරදර වෙලා දැම්මම එනවා මෙතැන !
Deleteඅපි ඉතින් තිබ්බොත් වාර්තාවක් තමයි.. එහෙනං!
මම ඇත්තටම හිතුවේ තීක්ෂණට ශුවර් එකටම පාස්කු ප්‍රහාරයට අහු උනා කියලමයි. හොඳ වෙලාවට උන්නැහැ බේරිලා!
ReplyDeleteකෙසේ වෙතත් මේ වෙලාවට මට මතක් වෙනවා කුමාරත්ංග මුනිදාසයන්ගේ "හීන් සැරය" පොතේ එන ලස්සන ඡේදයක්. මීට කලිනුත් මම මේක උපුටා දක්වලා තියෙනවද මන්දා ඔබේ පෝස්ටුවකට ප්‍රථිචාර දක්වනකොට.
ඒක එන්නේ මෙන්න මේ විදියට:-
"පසු දා අලි හාමිනේ ආදර ගුලියකි, වරක් අලි රාලහාමි ගේ හොඬ තමා ගේ හොඬින්වෙලයි; වර සිය සිරුර සැමියා ගේ සිරුරෙහි ගාවයි, වරක් ඔහු ගේ අංශයට හිස දී තල්ලු කෙරෙයි. වරක් ඔහු මුවට ගත් කොළ අත්ත උදුරා-ගෙන සිය මුවෙහි ලා යළිදු ඇද ඔහු ගේ මුවෙහි ම තබයි. රාලහාමි මහත් පුදුමයෙන් මේ ආදර සියල්ල විඳී.
අන්තිමයේ දී අලි හාමිනේ දොඩන්නට වූවාය. මෙ තෙක් දෙඩීමට මඟ පෑදුවා පමණෙකි. නුවණ ඇති ගෑනු සැමියාට අමුත්තක් කියන්නට ඇති කල, පළමු කොට ඔහුට විශේෂ ආදරය දක්වා ඔහු ගේ සිත බැඳලති. ඉක්බිති සෙමෙන් අමුත්ත කියති. සැමියා හීලා ව සියල්ල ගනී. ඔහුට කෝපයට ඉඩෙක් නො ලැබේ. අලි හාමිනේ මේ උපායෙහි ඉතා දක්ෂ වෙයි." - හීන් සැරය 3.පරිච්ඡේදය 13,14 පිටු
මෙම ඡෙදය මා ගැලපිය යුත්තේ තීක්ෂණව ආදරයෙන් ගැටගසන මධුළිකාටද
නො එසේනම් අවාරෙට දෙල් වැටෙන සේ මේ කථාව පලකරණ තුරු බලා සිටිනා පාඨක පාඨිකාවන් කථාවට ගැට ගසා ගෙන සිටීමට; ප්‍රේමණීය, හැඟුම් බර කාව්‍යමය එපිසෝඩයක් හෙවත් කොටසක් ලියා පලකල ඔබටදැයි කියා මටම සිතා ගත නොහැක!
කෙසේ වෙතත් උත්සාහය සාර්ථක වී ඇත.
ඊළඟ කොටස එන තුරු නො ඉවසිල්ලෙන්!
පාසල් කාලයට ඔබ අපව ගෙන ගොස් අතහැර ඇත!
බොහොම ස්තුතියි!
Deleteඑකක් කමෙන්ට් එකට, අනිත් එක මම අලියෙක් කියල කියපු එකට!
බලමුකෝ පුළුවන් ඉක්මනින් ඊළඟ කොටසක් දාන්නම්
ලෝක පුදුමයක්!
ReplyDeleteහෑහ්,තව මාස දෙක තුනකින් ඇවිත් බලන්නම් කියල හිතන් ඉද්දි අවසාන කොටසත් දාලා
ඔලිම්පික් රෙකෝඩ් එකක් නේද? එහෙනම් කියෝගෙන එන්නකෝ.. ඔයා නැතුව වැඩක් නැහැ අප්පා....
Delete