Thursday, May 27, 2021

246. සුහදිනියේ - 37 | ක්‍රියාන්විතයක පෙරනිමිති - මධුලිකා අහිමිවන ලකුණු

 කලින් කොටසට


මගේ බැල්ම කෙතරම්ද යත්, මධුලිකා උන්නේ අනෙක්පස දොරට ඇලීගත්වනමය. 
"පාර දිහා බලන්න.. පාර"

මධුලිකා මට කිහිප වරක් කිව්වාය.

මධුලිකා යාන්තමට තොල් ආලේපනයක් තවරා සිටියාය. ඈට ඇති සරාගී දෙතොල් මා නොසන්සුන් කරවමිනි. ඉවසීම! මට නැත්තේ එයමය.

මදින් මද අප ශාලාවට ආසන්න වනවිටම ඈ හා වාදයකට පැටලුනෙමි. මගේ සිත නොරිදා මධුලිකා එය තේරුම් කිරීමට උත්සහ කලද, බොළඳ පෙම්වතෙකුව සිටි මට එය තේරුම් ගැනීමට හැකියාවක් තිබුනේ නැත. නමුත් අවසානයේ ඈ ජයගත්තාය. උත්සවශාලාව අසලදී අප දෙදෙනා වෙන් වෙන්ව පිවිසෙන්නට එකඟ නොවී, මට එකඟ වන්නට සිදුවිය.

"පිස්සු කොල්ලා..."

මධුලිකා එලෙස කියා මා පසුකොට යමින් මගේ උදරයේ කොනක් කොනිත්තා ශාලාව දෙසට යන පියගැටපෙළෙහි නොපෙනී ගියාය. අනපේක්ෂිත ඒ මොහොතේ මම සිටියේ බොරුල්වූ ඔරලෝසුව ලෙහමිනි.

වාහන අංගනයේ විනාඩි කිහිපයක් තාවර වෙමින් සිටි මගේ ගත ගිනිගන්නා සෙයකි. දිදුලන ගින්දරක් වැනි මධුලිකා ශාලාවට පිවිසෙත්ම ඈ නෙතින් ග්‍රහණයට කෙතරම් පිරිමි ළමුන් සිටිනු ඇතිද? කොල්ලන් ගැන මා නොදන්නවාද? 
මම තුල ඇත්තේ අධික ඊර්ෂ්‍යාකාර තරුණයෙකු බව මධුලිකා ඉදිරියේ අනේක වාරයක් ඔප්පුකොට ඇත්තෙමි.

"අඩෝ.... තිකා...!"

මෙවන් මා දැක අතපය වනමින් ආවේ සතුටින් උද්දාම වෙමිනි. ඔහු සමඟ ජීප් රථයෙන් තවත් මුහුණු කිහිපයක් එලියට බටහ.මෙවන්  යනු මගේ සංගීත කවයේ මිතුරෙකි ; මගේ කෙලිලොල්කම් ඉවසමින් මට ඔවුන්ගේ සංගීත කණ්ඩායමට බැඳීමට ආරාධනා කලෙත් ඔහුය.

පියගැටපෙළ නිමවනවාත් සමඟ ඇති විසල් කොරිඩෝවේ අග වම් පැත්තේ විශාල ශාලාවක් අප වෙනුවෙන් පැවති උත්සවයට අලංකාරවත් ලෙස සරසා තිබිණි. අඩ අඳුර අතරින් විදුලි බල්බ වටකොට සැදූ ශාලා පිවිසුම තරු අතරින් අප ඇවිද යන්නාක් මෙන් දනවයි. පිවිසුම ආරම්භයේ සිටි සංවිධායක ළමුන් විසින් ප්‍රවේශපත්‍ර පරික්ෂාකොට මගේ කමිසයේ ලාංජනයක් පළඳුවන ලදී. 
 
මේගන් මා දුටු විගසම 'කෝ? කවුද?' කියා ඇසුවේ සිනාසෙමිනි. 
 
පාසලේ මෙවන් උත්සව වලට මම මගේ තාවකාලික පෙම්වතිය රැගෙන ඒම කිසි චකිතයකින් තොරව සිදුකර ඇති අතර, එලෙස එන්නම කියූ පමණින් සැරසුණු කෙල්ලන් පමණකි මට පෙර සිටියේ. මම සිනාසීමි.

"පස්සේ පස්සේ... පස්සේ පෙන්නන්නම්කො"

ඔවුන් සමඟින් මම උත්සව ශාලාවට පිවිසුනේ , කවදත් මෙවන්ගේ ගමන් සගයා වන රිදම් ගිටාරයද අතැ'තිවය. දිගු කාලෙකින් හමුවූ මිතුරන් මා වටකොට ගත්තේ පෙර දිනයන් වලදී මෙනි. මම ආගිය තොරතුරු අතර මධුලිකා කොහි සිටින්නේදැයි ඔබ මොබ ඇස යවමින් වෙහෙසුනෙමි.
 
කෙතරම් වටපිට බැලුවත් වර්ණවත් තරුණියන් අතරේ මධුලිකා පෙනෙන්නට නොසිටීම මගේ සිතට වදයක් වූ බැවින් , මිතුරු කතාබහ කල් තබමින් මම ශාලාව පුරා වටයක් ගන්නට වීමි. සියල්ලෝම අතොරක් නැති කතාය. සමහරුන් අත වයින් විදුරු තිබිණ. ශාලාව පුරා තරුණ තරුණියන්ගේ කෙළිලොල් කතාබහත් උද්යෝගී ගීතයෙනුත් පිරි තිබිණ.
 
මධුලිකාගේ පන්තියේ තරුණියක් මා දෙස බලා සිනාසුණාය. ඇය මගේ පන්තියේ ධනුෂ් ගේ පෙම්වතියයි. පිරුණු තඹ පැහැති සිරුරක් ඇති ඇය මා ගැන බොහෝ උනන්දු වුවද ඇගේ ස්වභාවය මට ප්‍රියජනක නොවුනේ ඈ වෙත ඇති අතිශය උද්දච්ච බවයි. 
 
මම ඇය ගනනට නොගෙන  ගොස් ශාලාව පසෙකින් විවෘතව ගිය මනරම් එළිමහන් බිමට අවතීර්ණ වුනෙමි. එසැණින් එතන කෙල්ලන් රවුමක මහා හඬින් සිනාසෙන මධුලිකා දැක මගේ ගතද සිතද එකවර පිනා ගියාක් මෙන් දැනුනි. මිට මොහොතකට පෙර ඈ සමඟ එකම වාහනයෙන් ආ බවක් නොව වසර ගණනාවකින් ඈ දකින්නාක් මෙන් නැවුම් හැඟීමකින් මගේ සිත වෙලා ගොසිනි.
 
මධුලිකා මා එනු දුටුවද ඉවත බලාගෙන යෙහෙලියන් හා නැවත කතාබහට වන්නීය.

'ආඩම්බරකාර කෙල්ල!'

ඇය ගැන මට ඇතිවුයේ කෝපයක් නොවේ. තවත් ප්‍රේමයකි. 
පරිසරයේ ඇති තාරුණ්‍ය විසින් මගේ සිත ප්‍රේමාතුර කර ඇත්තාක් මෙනි.

මගේ තවත් මිතුරෙක් පැමිණ මා හා කතාවට වැටුණි. අතරින් පතර මම මධුලිකා දෙස බලමින් කතා කලද මධුලිකා නොවේ වරක්වත් මා දෙස බැලුවේ! ඒ මැද්දට පැන මධුලිකා ඇදගෙන එන්නට තරම් මම ඊර්ෂ්‍යාවෙනි.

" ඉතින් ඉතින් තිකා... යමු බන් ඇතුලට.. කෝ උඹ ආවේ තනියෙන්ද මේපාර? වෙන්න බෑ !!"

මාවන් මා වෙත එමින් කියා හඬින් සිනාසුනේය. අප දෙදෙනා ශාලාව තුලට එද්දී එකවරම මට සිතුනේ විරංග කොයි මොහොතක හෝ මෙහි එනු ඇති නිසා මම ඒ ගැන ඇස ගසාගෙන සිටියයුතු බවකි.

අප එහි ළඟාවනවිටත් උත්සවය ආරම්භව මද වෙලාවක් ගතවී තිබුණු නිසා වේදිකාව මත නොයෙකුත් නිවේදන සහ ශාලාව ඊට ප්‍රතිචාර දක්වමිනි. මම සිතල බීර වීදුරුවක් ගෙන ශාලාවට පිවිසෙන ස්ථානයේ අඳුරු මුල්ලක හිඳ ගත්තෙමි. මම සැමගේ සැලකියයුතු තරමක මිතුරෙකු නිසා එලෙස සිටීම එතරම් පහසු නොවිණි. සැවොම ආගිය තොරතුරු කතාකරමිනි. එකවරම සෙනඟ අතරින් ජාලිය මතුවිය.

"අඩේ... උඹ කොයි වෙලේද ආවේ.... මම හෙව්වා..."

"මාව?"

"ඔව් බන්.... අර එක ඉවෙන්ට් එකක් පොඩි කේස් එකක් වෙලා.. මම කිව්වා එක්කෝ මාවන්ට හරි උඹට හරි කිව්වා නම් ඒකට මොනවහරි කරයි කියල.. ඇයි මේගන් කිව්වේ නැද්ද?"

"මොකක්ද?"

"වරෙන් වරෙන් යන්න ..."

එලෙස කියමින් ජාලිය මා ශාලාවේ පසෙක තිබුණු අඳුරු අන්තයට රැගෙන යද්දී එහි මෙවන් බැරෑරුම් මුහුණක් සමඟ සිටිනු දුටිමි. මා දුටුවනම ඔහු උඩ පැන්නේය.

"මේ ඉන්නේ.... හරියට හරි.. එහෙනම් උඹ සින්දුවක් කියපං... මෙන්න ගිටාර් එක! මගේ ඇඟිල්ල තුවාල උනානේ බන් මේ දැන්..."

මම කලබල වීමි.

"පි.. පිස්සුද.. මට දැන් එහෙම මුඩ් එකක් නැහැ... පිස්සුද බන්..?"

නමුත් ගැලවීමක් ලැබුනේ නැත. සංවිධානය කරනලද අංගයක් සඳහා පැමිණෙන්නට නියමිත පුද්ගලයා හදිසියේ අනතුරකට පත්ව ඇති බැවින් ඒ වෙනුවට මට ගීතයක් ගායනය කරන්නට තිබේ. මම වෙනදාට නම් මෙය බාරගන්නේ කිසිදු චකිතයකින් තොරව උවද, අද යම් පමණකට පැකිලිමි.

සිත තුල කැමැත්තක් වගේම චකිතයක්ද ඇති බැවින් මගේ සිත පිඩනයෙනි. නමුත් චිත්‍රපටයක් නොවන ජිවිතයේ අහම්බ තිබිය නොහැකිද?

ශාලාවේ මධ්‍යයේ නැටුමට වෙනකොට තිබුණු කොටසට පසුපසින් ඩීජේ එකට ඉඩක් වෙනකොට තිබිණි. වහා ඉන් ඉදිරියට වන්නට බංකුවක් තබා , ඊට ගැලපෙන උසකින් මයික්‍රෆෝනයක් සවි කරන්නට ජාලිය උත්සුක වෙද්දී මම නියපොතු විකමින් ගීතයක් සිහියට නගාගන්නට උත්සහ කලෙමි. පාසලේ හමුවන්හිදී මගේ ගිටාරය සමඟ ගීතයක් බොහෝවිට අනිවාර්ය විය. නමුත් මෙවර මම කිසිදු ලෙසකින් එවැන්නක් සඳහා සුදානමක් තිබුනේද නැත. තරුණ සිත විසින් මා උද්දාමයට පත් කරන අතරතුර කුමක් හෝ යමක් මා පෙලනු දැනේ. මධුලිකා ගැන ගීතයක් කියන්නට ඇත්නම්!

ජාලිය පැනවූ අසුනට පැමිණ මම හිඳගනිද්දී මහත් ප්‍රීතිමත් අත්පොලසන් හඬකින් ශාලාව වෙලී ගිය අතර මට එකවරම ලැජ්ජාවක් දැනුනි.

මම මයික්‍රෆෝනයට මුව තබා එය පරික්ෂා කොට ජාලියට මහපට ඇඟිල්ල ඔසවා සන් කලෙමි. ඉන්පසුව ශාලාව සිසාරා යන්තමට බැල්මක් හෙලා සෙමෙන් හඬ අවදි කලෙමි.

"බොහොම ස්තුතියි.... බොහොම ස්තුතියි.... ම්ම්ම්.... මම ඇත්තටම ලෑස්තියක් තිබ්බේ නැහැ කිසි සිංදුවකට.... ඒත් මට හිතුනා ඒකත් හොඳයි කියල... "

ශාලාව අල්පෙනිත්තක් වැටෙන හඬ පවා ඇසෙන තරමට නිහඬව ගොස්ය. මම හුස්මක් අල්ලා යන්තමට පිටත එළිමහන දෙස යන්තමට බැලුවෙමි. මධුලිකා මට හඳුනාගත නොහැක. 

 මම හුස්මක් අල්ලා නැවත ශාලාව සිසාරා බැලුවෙමි. මගේ පැරණි පෙම්වතියක් එහි සිටියාය. ඇගේ ඇස්වල නොගෑවී මගේ බැල්ම නිරායාසයෙන් පාවී ගියේය.

"... හ්ම්ම්ම්... මේ සිංදුව මගේ ප්‍රියතම එකක්...ඔයාලා රසවිඳියි කියලා හිතනවා"

මම මයික්‍රෆෝනය ඔසවා මුවට ලංකොට ගත්තෙමි. හුස්මක හඬක් මිස කිසිවක් නැත!

ගීත ඛණ්ඩයට පිවිසෙන ගිටාර් තනුව වයද්දීම ප්‍රීතියෙන් කෑගසන හඬක් ඇසුනි. මගේ හිත පිරී ගියේය. මම ගීත ඛණ්ඩය අග සෙමෙන් ගායනා කරන්නට වීමි.


Oh oh (oh oh)
I just wanted you to comfort me
When I called you late last night you see
I was falling into love
Yes I was crashing into love
Of all the words you said to me
About life, the truth and being free
Yeah, you sang to me
Oh, how you sang to me


දෑස පියාගෙන සංගීත කොටස වයන්නට වීමි. මගේ මනසින් මම මධුලිකා මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනවා මවාගත්තෙමි. ගීතය වඩාත් නහර වලට කිඳාබසින්නේ මේ මොහොතේය.

 
Girl, I live for how you make me feel
So I question all this being real
'Cause I'm not afraid to love
For the first time I'm not afraid of love
Oh, this day seems made for you and me
And you showed me what life needs to be
Yeah, you sang to me
Oh, you sang to me

Just to think you live inside of me
I had no idea how this could be
Now I'm crazy for your love
Can't believe I'm crazy for your love
The words you said just sang to me
And you showed me where I want to be
You sang to me
Oh, you sang to me


ඉතා මෘදු අවසානයකින් පසුව ගීතය අවසාන වනවාත් සමඟ විසින් හඬින් සහ ප්‍රිතිඝෝශාවෙන් ශාලාව වේලි ගිය අතර මම සිනාසී අත ඔසවා මගේ ස්තුතිය පලකලෙමි. හදවතින්ම ගැයුණු ඒ ගීතය පුරාම සිටියේ මධුලිකාය. මට මහා ආශ්වාදයක් දැනුනි.

ප්‍රීතිමත් ප්‍රතිචාර වලට වඩා මගේ ගීතය මධුලිකා අසා සිටිනවා යන ආඩම්බරය නිසා සිත කුල්මත්ව ගොස්ය. මට මේ අවස්තාව කලින් ඉල්ලාගන්නට තිබුනා නොවේද? එසේනම් මධුලිකා වෙනුවෙන් කියා මනරම් ගීතයක් ගයන්නට ඉඩ තිබිණ. ශාලාවේ අස්සක් මුල්ලක් නෑරම මධුලිකාගේත් මගෙත් ප්‍රේම වෘතාන්තය පැතිරෙනවාට මම එතරම්ම ආශා කලෙමි. මොන තරම් බොළඳ තරුණයෙක්ව ඇතිද මම?

"ලස්සනයි මචං... තැන්ක්ස් වැඩේ ගොඩදාලා දුන්නට.... "

"ඒක මොකක්ද අවුලක් නැහැ. වැඩේ ඉතින් වෙලාවට මෙවන්ගේ ගිටාර් එකවත් තිබ්බේ. මම මගේ එකක් ගෙනාවෙත් නැහැනේ. හදිස්සියේනේ.."

"උඹ ආවේ අර කාන්තාරයේ කුසුම එක්කද?"

 මෙවන්ට ගිටාරය ලබාදී ආපසු හැරෙත්ම මේගන් මා අසල සිටගෙන සිනාසෙමින් උන්නේය.

"කාන්තාර කුසුම? ඒ කවුද බන් ඒ?"

"අර කළු කෙල්ල.."

ඒකත් මරු නම! කාන්තාර කුසුම!!

"උඹ කොහොමද..."

"මචන් මම උඹට එවපු ටිකට් දෙකේ නම්බර් දෙක මගේ ගාව තියාගෙන හිටියේ... උඹට කලින් කෙල්ල ආවා පාටි එකට. ඒ උනාට ටිකට් නම්බර් එක මම ට්‍රැක් කරලා තිබ්බේ.. හෙහ් හෙහ් හෙහ්"

මේගන් සිනාසුනේ මගේ පිටට තට්ටු කරමිනි.

"... චාපා මට කිව්වා උඹ කෙල්ලව ඩම්ප් කළා කියල. "

මම ක්ෂණයෙන් මේගන්ගේ උරහිසෙන් අල්ලාගත්තෙමි.

"උඹ ඒක ට්‍රැක් කලේ චාපාට ඔත්තු දෙන්නද?"

"පිස්සුද බන්... එහෙම  නෙවෙයි.. මම ජොලියට කලේ... අනික උඹගේ ඕව මට වැඩක් නැහැ.... වෙනදට උඹ කියනවනේ කාවද එක්කගෙන එන්නේ කියලත්.. කලින් වතාවේ චාපා එනවා කියල අපි දන්නවා.. මට ඕනේ කලේ පිටින් කෙල්ලෝ ගේන්නේ නැහැ කියල දැනගන්න විතරයි. මම අනුන්ගේ කුණු හොයන්නේ නැහැ.. උඹ දන්නවනේ"

මට යම් සහනයක් දැනුනි.

"හරි මචන්... අවුලක් නැහැ"

මේගන් හිස සොලවා සිනාසුනේය.

"... ඒක නෙවෙයි.. උඹ මොකටද චාපාට කතාකලේ?"

මේගන් ගේ මුහුණ වෙනස් වනවා මට පෙනුනි. මම ඉවසිමෙන් බලාසිටියෙමි.

"මම කෝල් කලේ නැහැ.. ඒකි තමයි මට කෝල් එකක් දුන්නේ. ඇත්තම කියනවා නම්... ඒකි කිව්වා තමයි උඹ කාත් එක්කද එන්නේ කියලා හොයලා කියන්න කියලා. නමුත් මම එහෙම කරන්න ගියේ නැහැ..."

මේගන් මගේ දෙස විමසිල්ලෙන් බැලුවේය. අනතුරුව මට වඩාත් ලංව සිටගත්තේය.

".... මචන් උඹයි විරංගයි අතරේ මොකක්හරි කේස් එකක්ද? මට උඹලගේ ප්‍රයිවට් ප්‍රශ්න වැඩක් නැහැ. මම මේ නිකන් අහන්නේ.. වෙනදට උඹ ටිකට් තුනක් ගන්නවා. මේ පාර උඹ දෙකයි, විරංග වෙනම දෙකයි... "

"මම උඹට පස්සේ කියන්නම් විස්තරේ. එහෙම ලොකු දෙයක් නෙවෙයි. "

මේගන් හිස ඉහලට පහළට සැලුවේ අනුමත කරන්නාක් මෙනි.

"... ඒක නෙවෙයි... උඹ එහෙනම් විරංගගේ ටිකට් දෙකත් ට්‍රැක් කලාද?"

මේගන් තිගැස්සී ගියේය.

**************************************

රාත්‍රී ආහාරයතෙක්ම මධුලිකා පෙනෙන මානයේ කෙතරම් සිටියද ඈ මා දෙසවත් නොබලා සිටින්නට පරෙස්සම් වුවාය. එලෙසම විරංග ගැන කිසිදු සලකුනක්ද තිබුනේ නැත. අතරින් පතර ඇගේ මිතුරන්ද ඈ අසලට විත් නොයෙකුත් විහිළු තහළු කරමින් සිටීම මටම වදයක්ව දැනිණි. මගේ යහළුවන්ගේ කතාබහ කිසිවකට මගේ හිත රැඳුනේද නැත.

මම ජින් වඩියක් පදමට ඉල්ලාගෙන එළිමහනේ තිබුණු කොටසට ගොස් මධුලිකා වෙතම දෑස් යොමාගෙන එය තොලගාන්නට වීමි. මධුලිකා වරක් මා දුටුවාය. ආහාර ගනිමින් උන් ඇය කෑම නිමාකොට යන්නට සැදුවා පමණකි. එතැනට පැමිණියේ ධනුෂ්ගේ පෙම්වතිය බව මම දුර තියාම හැඳින්නෙමි. ඇයත් මධුලිකාත් කතා කරනු මට පෙනේ. මද වෙලාවකින් දෙදෙනාම ශාලාවේ පිවිසුම පැත්තට ඇවිද යනු පෙනී මම යන්තමට ශාලාව තුලට ඇවිද ආවෙමි.

ඒ වනවිට තරුණ තරුණියෝ  රිද්මයට නටන්නට පටන්ගෙන තිබුණු නිසා ඔවුන් අතරින් ගමන්කළ මධුලිකා ඔවුන් අතර නොපෙනී ගිය සැනින් මම කලබලව ඇතුලට ඇවිද ආවෙමි. මධුලිකා සොයාගැනීමට අපහසුය. මම වහා පිරිස අතරින් ඒ මේ අත හැරෙමින් ඈ සෙව්වෙමි. ශාලාවේ පිවිසුම අසල කිහිප දෙනෙකු සිටිනු පෙනේ. මම ඒ දෙසට ගියෙමි. වාසනාවට මධුලිකා එහි සිටියාය. මම වහා දිවගොස් මධුලිකාගේ අතින් අල්ලාගත් වේගයට එතන සිටි අනෙක් අය බියවූ බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනින.

"ම්ම්... මා.... මධුලිකා මේ.... පොඩ්ඩක් එනවද ඩාන්ස් කරන්න?"

ධනුෂ්ගේ පෙම්වතිය , ධනුෂ් හා තවත් නාදුනන තරුණියක් ඒ අතර වුහ. මධුලිකා මා දෙස තිගැස්සුණු බැල්මක් හෙලූ නමුත් මා හා දබර කිරීමකින් තොරව මා සමඟ ආවාය.

"මොනාද අර කෙල්ල ඔයාට කිව්වේ? ඔයා මොකද මෙතන එන්ට්‍රන්ස් එකට ආවේ?... ඇයි මට කියන්නේ නැතුව මෙහෙම නොපෙනෙන තැන් වලට යන්නේ? ඇයි මට..."

මම නොනවත්වා කියවාගෙන ගියේ හුස්මක් නොගෙනය.

"තීක්ෂණ....."

මම මධුලිකාව වැලමිට කොටසින් අල්වාගෙන ශාලාවේ කෙළවරකට රැගෙන ගිය මුත් එය වඩාත්ම ගැලපුනේ ඇදගෙන යාමකටය.
අඳුරු මුල්ලේදී මම මධුලිකා දෙස තර්ජනාත්මකව බැලුවා වන්නට ඇත.

".. තීක්ෂණ.. මොකද මේ? ඇයි මේ? අපේ මේ ගැන කතාකලා නේද?"

මම සන්සුන් වන්නට උත්සහ කරමින් මගේ හිසකේ අතර ඇඟිලි යවමින් ඒ මේ අත බැලුවෙමි.

".... ඕක තමයි මම මේකට එන්නත් අකමැති උනේ... මේ මොහොත.. මේ අද මොහොත විඳින්න ළමයෝ"

මධුලිකා සෙමෙන් කීවාය.

"..... මම කොහෙවත් යන්නේ නැහැ. බයවෙන්න එපා. මම ඉන්නේ ඉස්කෝලේ යාලුවෝ එක්ක. "

"මොකටද එන්ට්‍රන්ස් එක ගාවට ගියේ...?"

"ක්‍රිස්ටිනා එක්ක ගියේ.. එයා මගේ යාලුවෙක්නෙ... එයාගේ යාලුවෙක් අඳුන්නලා දෙන්න ගියේ"

මම සන්සුන් වන්නට උත්සහ කලෙමි. මධුලිකා මගේ වම් කම්මුලට අතක් තැබුවාය. මම සන්සුන් වන්නට එය තරමක ගැම්මක් ලබාදුනි.

"මධු.... මට නොපෙනන තැනකට යන්න එපා... මම බය වෙනවනේ.... ආපු වෙලේ ඉඳල ඔයා මගේ දිහා බැලුවේවත් නැහැනේ... "

මම කිවේ මධුලිකාගේ මුහුණට වැටී තිබුණු කෙස් රොදක් අතින් අල්ලා පසෙකට කරමිනි. ඇගේ විලවුන් සුවඳ මා කළඹවාලයි. 
මධුලිකා මගේ වම් කම්මුල පහතට වන්නට මිරිකා සිනාසුණාය.

"පිස්සු කොල්ලා මගේ... ඇත්තටම ඔයාට පිස්සු"

මම මධුලිකාව තදින් අල්ලා ග්‍රහණයට හසු කරගත්තෙමි. අනතුරුව ඇගේ දකුණු කන් පෙත්තේ මගේ සුසුම් වැදෙන්නට හැර ඇගේ කනට සෙමෙන් කෙඳිරුවෙමි.

"මාව පිස්සෙක් කරන්නේ ඔයා තමයි"

වැඩිදුර යන්නට නොදී මිදී ගියද, එය මට අවශ්‍යවම තිබුණු හාදුවකි. මධුලිකා විසින්  පානය කරන ලද වයින් බඳුනේ රස ඇගේ තොල්වල තවමත් රැඳී තිබී මට පමණට වඩා මත් බවක් රැගෙන ආවේය.මගේ පාලනය මට ගිලිහි යන්නේනම් මැනවැයි සිතිනි. තත්වය භයානක වන්නට ප්‍රථම මධුලිකා මා රැගෙන තරුණ තරුණියන් නර්තනයේ යෙදෙන කොටසට ඇදගෙන ආවේ එය වැටහීම නිසාදැයි නොදනිමි.

"මගෙත් එක්ක නටන්නනේ ඕනේ කලේ...?"

මධුලිකා සිය නෙත්සරින් මා පොළඹවමිනි. වාදනය වන්නේ වේගවත් රිද්මයක් ඇති ගීතයකි. තරුණ ජවයෙන් පිරීගිය එහි මම මධුලිකා සමඟ නර්තනයේ යෙදුනේ මහත් විනෝදයෙනි. ඇගේ බුහුටි සිරුර සංගීත රිද්මයට අතිශය සංවේදී තතක් මෙන් සෙලවෙයි. මම එයින් වඩ වඩාත් ඈ සමීපයේ උන්නෙමි. 


අප දෙදෙනාගේ ආගමනය උකහාගත් තරුණ පිරිස අතරින් මධුලිකා සමඟ තවත් තරුණයෙකු ඉදිරියෙන් නටන්නට යම් උත්සහයක් වූ නමුත්, මා ආක්‍රමණය කරනට ආ තරුණිය නිසා එය වලක්වන්නට මට ප්‍රමාණවත් වෙලාවක් ලැබුනේ නැත. පසුව පෙනුන අයුරින් මා සමඟ අසලට එක් වුයේ මගේ පරණ පෙම්වතියක් වීම නිසා මම ඇය අපහසුතාවයට ලක්කරන්නට නොහැකිව සිනාසී එකඟ වුයෙමි. මධුලිකා අපූරු ලෙස නටයි.

"ගොඩක් දවසකින් තීක්ෂණව දැක්කේ........නේද ?"

නිරුෂා මා දෙස බලා සිනහවක් නගමින් කීවාය. ඈ මට වඩා අවුරුද්දක් වැඩිමල් තරුණියකි. එබැවින් ඇය එන්නට ඇත්තේ අප වයසේ කාගේ හෝ තරුණයෙකුගේ පෙම්වතියක් ලෙසින් වන්නට ඇත.

"ආ... ඔව්.."

මම කීවේ එපමණකි. සංගීත රාවය නිසා නෑසුණු කුමක් හෝ ඇය පැවසුවත් මම එය පැහැදිලිකරගන්නට නොගියෙමි.

"ඔයා කියපු සින්දුව ලස්සනයි ... ඔයා ගිටාර් ගහනවා කියලා මම දන්නේ නෑනේ.."

"ආ... ස්තුතියි.."

මම වටපිට බලනවිට මධුලිකා පිරිමි ළමුන් රවුමකට මැදිවී සිටියාය. එය මට ප්‍රිය නොවිය. ඒ සමඟම ඈ විසින් එක තරුණයෙක්ට 'එපා' කියන්නාක් මෙන් ඉවතට තල්ලු කිරීමක් දුටුවෙමි. ඒ තරුණයා මධුලිකාට සමීපව නර්තනයේ යෙදුනේ ඇයට හිරිහැරයක් වන අයුරිනි. තවත් තරුණයෙක්ද එලෙස මධුලිකා තල්ලුකර දමද්දී මට වුයේ කුමක්දැයි මමම නොදනිමි.

"ඒයි ^^$^$&&** මොනාද යකෝ මේ කරන්නේ?"

මට එකෙකුගේ කොලරය හසුවූ අතර, ඒ ක්ෂණයෙන් මම ඔහුගේ මුහුණට වැරෙන් පහරක් එල්ල කලෙමි.

"අඩෝ.... !"

"හරි හරි... ගහගන්ඩ එපා! අඩෝ... මොකද්ද මේ?"

"මොකක්ද කියලා තමයි මමත් අහන්නේ?"

මධුලිකා විසින් තල්ලුකල තරුණයා මා වෙත පනිද්දී මම මධුලිකා වහා ආවරණයකොට මගේ පිටුපසට සඟවාගත්තෙමි.

"අනේ තීක්ෂණ... ප්ලීස්.. රණ්ඩු කරගන්න එපා!"

"ජරා වැඩ කරන්ඩ එපා බන්... "

මධුලිකාගේ වචනයට සැලුණු මට , මා වෙත පැන්න තරුණයා එල්ලකළ පහර වලක්වාගන්නට හැකිවුයේ නැත. එය මගේ ඇස හා කම්මුල අතර ඇති කොටසේ මිට මෙලවූ පහරක් ලෙස අනපේක්ෂිත ලෙස පතිතව, මා මධුලිකාව සමඟම මදක් විසිකරන්නට සමත් විය.


 

මට ආවේස වුයේ එවිටයි. මම ඒ අතම මා වෙත ඇද ඔහුගේ නාස් පොල්ලට එල්ල කලේ තදබල අත මිටිකල පහරක් වුයෙන්, ඔහු කැරකි ගොස් බිමටම වැටුනේ මුනින් අතටය. කෙල්ලන් දෙතුන් දෙනෙකු කෑගැසුහ.

"අඩෝ මේ... මෙතන ගහගන්ඩ බෑ හරිද... මචන් මේ...."

මේගන් කොහේ හෝ සිට දුවගෙන් පැමිණියේ එසේ කියමිනි. මම අත පිටිපසට යවා මධුලිකාගේ අත තරයේ අල්ලා ගත්තෙමි.

"ඩාන්ස් ෆ්ලෝ එකේ කෙල්ලොන්ව අතපත ගාන්නේ මොකද එහෙනම් මේ පෙරේත යක්කු?"

 කළහයට මැදි වූ තරුණයින් දෙදෙනාගෙන් එකෙකුගේ නහයෙන් යමක් වැගිරෙනු ඩිස්කෝ ලයිට් අතරින් ආ දිලිසුමෙන් මට පෙනුනේ යන්තමටය. ඔහුව තවත් අයෙකු තදින් බදාගෙන සිටියේ රණ්ඩුවට යා නොහැකි පරිද්දෙනි. මධුලිකා මගේ උරහිස තදින් බදා දෝතින්ම මා තරකොට සිටියාය.

ඩිස්කෝ ලයිට් අතරින් මම ඔවුන් හොඳින් හඳුනා ගත්තෙමි. ඔවුන් මගේ පන්තියේ මිතුරන්ය. 

"අඩෝ... කවුද දන්නේ උඹ ආවේ මේකි එක්ක කියලා"

චේතන් ඉන්නේ වෙරි මරගාතේ බව මට වැටහුනේ ඒ මොහොතේය. මෝඩයින් සහ වෙරි කාරයින් සමඟ මම කවදත් තර්ක වලට පැටලෙන්නේ නැත. ඔවුන් කලදේ වැරදි වුවද එම කතාව පලකට ඇති දෙයක් නොවන්නේ එබැවිනි.

"චේතන්...! ගහගන්ඩ ඕනේ නැහැ... උඹ මගේ යාලුවෙක්. ඩාන්ස් කරන එක වෙනයි මචන්. සවුත්තු වැඩ කරන්ඩ එපා "

මට චේතන් සමඟ දබරයක් කරන්නට අවශ්‍ය නොවුයේ ඔවුන් මගේ මිතුරන් නිසාය. අනෙකා මම නොහඳුනමි.
 
"අඩ්ඩ ඩ් ඩා.... උඹ එහෙනම් ඒක ගොඩදාගත්තද?"

"ඇයි මේකි උඹගේද ?"

කොහෙන් එය ඇසුනාදැයි මම නොදනිමි. එයට අනුමතයක් ලෙස චේතන් ; මධුලිකාට හිරිහැර කල තරුණයා ඉදිරියට ආවේය.

"මචාන්...... එලම කිරි ඈ.... උඹ එහෙනම් ඔට්ටුව දිනුම් ඈ.... "

කිහිප දෙනෙක්ම උස් හඬින් ප්‍රීතිඝෝෂා කළහ.

"නෑ චේතන් නෑ.... මට කියපන්...කෝ බෙට් එක ෆික්ස් වෙන දවස.. තාම අතෑරියේ නෑනේ.. අන්න එතකොටයි මචන් ෆික්ස් වෙන්නේ.... "

ඝෝෂාව තවත් උස්ව නැගී ආවේය.
මධුලිකා මගේ බාහුව තදින් ඇල්ලුවේ මගේ ඇටකටු පවා පසාරුව යන පරිද්දෙනි.

"අඩෝ .. අඩෝ... මේ.. එහෙම එකක් නෙවෙයි"

"ඌ... ඌ.. ඌ... ආ තාම ඒ කියන්නේ ෆික්ස් නෑ.... අඩෝ අපරාදේ බන් මේක නියමෙට සෙලිබ්‍රේට් කරන්න ..තිබ්බ........ මචන්ලා තව කල් තියෙනවා...."

මගේ හිස බමනවා සේ දැනුනත් සියලුම වෙරි සිඳී ගිය බව නම් ස්ථිරය.

"නෑ මචන්.. එහෙම එකක් නෙවෙයි...."

මට කියන්නේ කුමක්දැයි එකවරම තෝරා ගැනීමට නොහැකිව ගොස් වචන අතර සිරවී සිටියෙමි.

"අයි යයි යෝ..... කෙල්ල තාම දන්නේ නැහැ මචන්.. ඔහොම යන ඔහොම යන්.. හැබැයි උඹ කිව්වා වගේම ඩම්ප් කරපු ගමන් අපිට පණිවිඩේ දීපන්... අපි ඒක සෙලිබ්‍රේට් කරන්ඩ ඕනේ උපරිමෙන්!"

කිව්වේ කවුදැයි මට නිශ්චයක් නැත. මම අසරණව ගියෙමි. 

මධුලිකා මට ආඩම්බර පාන කාලයේදී ඈ හා මිතුරුව ඇය බිමට දමන්නට මම මගේ පන්තියේ මිතුරන් සමඟ ඔට්ටුවක් ඇල්ලුවෙමි. එලෙස වුයේ මධුලිකා කිසිදු ප්‍රේම සම්බන්ධයකට කිසිදු පිරිමි ළමයෙකුට බුරුලක් නොදීම නිසා ඇතිවූ ලිංගික ඊර්ෂ්‍යාව විසින් එකමුතු වූ මගේ මිතුරන්ගේ බහට මගේ අරමුණත් එක්ව ගිය ඒ යක්ෂයාගේ මොහොතයි. ඒ ඔට්ටුව අනුව යමින් මම මධුලිකාගේ තොරතුරු සොයමින්, ඇගේ අඩුවක් ; සුළු අවසරයක් බලමින් සිටින අතරතුරදී ඈ මෙලෙස මගේ දෝතටම ලැබුණු බව සැබෑවකි. නමුත් දැන් එම තත්වය වෙනස්ය.
මට ඉබේම මධුලිකාගේ මුහුණ බලන්නට නොහැකිවාක් මෙන් දෙපා පන නැතිව ගියේය.

"තීක්ෂණ...... මේ කි-යන්-නේ ඇ-ත්-ත-ක්ද?"

මධුලිකාගේ හඬ වෙව්ලයි. මට කියන්නට යමක් නොවිණි.

"එල එල මචන්..... ජය වේවා!  අපි නෑ දැන්ම අල්ලන්නේ.."

මධුලිකා මා ඉදිරියෙන් සිටගත්තේ ගිනිදැල්වෙන දෑසිනි. එය කෙලින්ම යොමුව තිබුනේ මගේ මුහුණටය. මම එය මගහැර බිම බලාගත්තෙමි.

".... උත්තර දෙනවා මට! මේ  - කි -ය- න්- නේ ඇත්තක්ද?"

"මධු.... ලෙට් මී එක්ස්ප්ලේන්"

මධුලිකා විදුලි වේගයෙන් ආපසු හැරුණාය.කොතරම් වේගයෙන්ද කිවහොත් ඈ මට අල්ලාගනිමටවත් ඉඩහසරක් නොමැතිවම පිරිස දෙබෑ කරමින් ශාලාවේ පිවිසුම පැත්තට යද්දී මමත් හැකි උපරිමයෙන් ඈ පසුපස ගියෙමි.

"මධුලිකා... මධු... ප්ලීස් ඔහොම ඉන්න... මධු..."

ඈ නතර වුයේ නැත. සිය සපත්තු යුවල ගලවා මධුලිකා ආපසු හරි මට දමා ගැසුවේ ශාලා පිවිසුම අසලට මම එද්දීය. අවට මිනිසුන් අප නොදුටුවේ ඒ වනවිට මධුලිකා යමින් සිටි කොටසේ ආලෝකය ඉතාමත් අවම නිසාය. සපත්තුවක් වැදී මගේ වම ඇස රිදුම් කන්නට විය. 

මම මධුලිකා පසුපස හඹන්නට වීමි. ඇය හෝටල් පිවිසුමට විරුද්ධ දිශාවට ඇති කොටසකින් දකුණට හැරි දුවනු මට පෙනුන බැවින් මම හැකි උපරිම වේගයෙන් එහි තිබුණු කුඩා තාප්පයෙන් පැන්නේ ඇගේ ඉදිරියට කෙලින්ම සමපාත වන අයුරුනි. එම එළිමහන වාහන අංගනයට යාබද වූ තණනිල්ලකින් යුතු කොටසකි. මම මග අහුරා සිට ගත්තෙමි. ආලෝක තත්වය අනුව මධුලිකාගේ මුහුණේ ඇති භ්‍රාන්ත පෙනුමත්, අපේක්ෂා භංගත්වයත් මට හොඳින් නිරීක්ෂණය විය.

"මධු..."

"තව එක අඩියක් එන්න එපා ළඟට.... "

"මධු.... මට තේරුම් කරලා දෙන්න ඉඩ දෙන්න..."

මෙවන් බයාදු හඬක් මට කවරදාවත් තිබුණාදැයි සැක සහිතය. මට මෙවැන්නක් සිදුවේයැයි නිකමටවත් සිතුනේ නැත. මිතුරන් සිටියේ බීමතිනි. මධුලිකා ගැන ඔවුන් එලෙස කියාවි යයි මම කිසි විටෙක නොසිතුවේ ඇයි? මම තරම් මෝඩයෙකු තවත් සිටීද?

මධුලිකා මට සිය දබර ඇඟිල්ල උරුක් කොට සිටියාය.

"ත-මු-සේ.... එ-හෙ--න-ම් මා-ව රැ-ව-ට්-ටු--වා..... ත-මු-සේ... ත-මු-සේ..."

මධුලිකාට මහ හඬින් හැඩිනි. මගේ පපුව පිච්චි ගියාක් සේ දැනුනි. මම ඉදිරියට අඩියක් තබත්ම මධුලිකා අසල තිබුණු කුඩා ගල් කැටයක් ගෙන මට දමා ගසන්නට උරුක් කළාය. අනතුරුව හඬමින් එය බිමට වැටෙන්නට හැරියාය. මට මහත් කම්පනයක් දැනුනි. 


වෙන දෙයක් වේවා කියා සිතා මම අඩියට දෙකට පැන මධුලිකා බදාගත්තෙමි. ඇය වැරෙන් අතුල් පහරවල් තුනක් දුන්නේ ග්‍රහණයෙන් මිදෙන්නට මෙනි. මම ඈ අත නොහැරියෙමි. ඇය කුමක්හෝ අගතියක් ඈට කරගැනී යන බය විසීන් මගේ ආරක්ෂාව අමතකව හැරියෙමි.

පපුවට තුරුල් කරගත් ඈ විසින් මගේ කමිසය පසාරු කරගෙන යන පරිද්දෙන් සපා කෑවද , මධුලිකා මම තුරුල් කරගෙන සිටියෙමි. දෑස පියාගෙන ඉවසාගෙන සිටියේ ඈ ඉන් මිනිත්තු කිහිපයකදී සන්සුන් වනතුරුය. ඒ කඳුළු සාධාරණය. මට කියන්නට යමක් නොවුනි.

"මම ඔයාට ආදරෙයි මධු.." 

එකෙනෙහිම මධුලිකා සිහිසුන්ව ගියාය. මගේ අත් මතට කඩා වැටුන මධුලිකා මම එතනම බිමට පහත් කර වටපිට බැලුවේ උපකාරයට කිසිවකුත් සිටීදැයි සිතා නොව, අප දෙදනා මෙලෙස සිටිනු කවුරුන් හෝ දුටුවාද කියා දැනගන්නටය. සියල්ලම සිදුවන්නේ අප පතන අයුරෙන් නොවේ. මට පියවර දහයකට පිටුපසින් විරංග අප දෙසට හැල්මේ දුව එමින් සිටියේය.

"මොකද උනේ මචන්.. මම දැක්කා උඹල මේ පැත්තට එනවා.. මොකද උනේ?"

විරංග පැමිණ මධුලිකා අසලට පහත් වුවේය. මම එකවරම ඔහු දෙස බැලුවෙමි.

"විරංග... මචන්.... මට මේක බලාගන්න පුළුවන්...ගෙට්  ලොස්ට්! "

කවුරුන් හෝ අඳුරේ දුව විත් නතර වනවා මට පියවර ශබ්දයෙන් ඇසුනි. එහෙත් පෙනෙන මානයට කිසිවකුත් නැත. මම මධුලිකා හරස් අතට දෝතට ගෙන නැගිටිනවිට විරංග ඉදිරියට ආවත් මම ඔහු දෙස රුදුරු බැල්මක් හෙලුවෙමි.

".... මචන් මේ... උඹ මගේ කාලයක් හොඳම යාලුවා. එකේ ගරුත්වය ඒ විදියට තිබුනාවේ. මට උඹෙන් මිට පස්සේ උදව් එපා... පලයන් යන්න දැන් "

මම මධුලිකා අසල තිබුණු සිමෙන්ති බැංකුවක් වෙත ගෙනගොස් හාන්සි කලෙමි. ඇය සිටින්නේ සම්පුර්ණ අව සිහියෙන් නොවේ.

"මචන් මට සමාවෙයන්"

"සමාව දුන්න... පලයන් දැන් මෙතනින්!"

විරංග මගේ මුහුණ බැලුවේ නැත. නොසෙල්වී බිම බලාසිටි විරංග මධුලිකා දෙස බලමින් තාවර වනවා දුටිමි.

".. මම උඹට කිව්වනේ දැන්.. උඹට  සල්ලි ලැබෙයි... මධුලිකා දෙන්නේ නෑ !"

මම මධුලිකා බැංකුව මත තබා නැගිට්ටේ විරංග මධුලිකා වෙත ඒම අහුරාලමිනි. විරංග මා දෙස ඔරවාගෙන සිටී.

".. එපා මචන්... මේක මෙතනින් මම  ඉවර කරනවා. උඹට සල්ලි දෙන්නම් කිව්වනේ... අපිට පාඩුවේ ඉන්ඩ දීලා මකබෑවිලා යන  එකයි....!"

මම විරංගගේ උරහිසට අත තබා තල්ලු කලෙමි. එසැනින් කුමක් වුවාදැයි නොදනිමි. 

කුමක් හෝ බර යමක් මගේ හිසේ පසුපස කොටස හරහා වේගවත් පහරක් එල්ලකළ අතර මගේ දෑස නිලංකාර වී ගියේය. දෑත් පන නැතිව ගොස් මුනින් අතට තණබිස්සේ බිම පතිත වූ මගේ දෑස් සුවිසල්ව විවරව යද්දී මම දුටුවේ කවුරුන් හෝ විසින් මධුලිකා ඔසවාගෙන යන ආකාරයකි. අඳුරු සෙවනැල්ලකි!

වචන කිසිවක් පිටකරගන්නට නොහැකිව බිම ඇඹරුණු මම යන්තම් හිස හරවද්දී දුටුවේ මා මෙන්ම විරංග ද ඒ අයුරින්ම බිම වැටී දෝතින්ම හිස  බදාගෙන සිටිනා අයුරුය.

 

ඊට පිටුපසින් බොඳවී ගිය චිත්‍රයක් මෙන්  පෙනුනේ අළු පැහැති කුමක් හෝ වාහනයක් සැර දමමින් මධුලිකා මගේ දෑස මානයෙන් රැගෙන වේගයෙන් ඇදී යන අයුරුයි.



********************මතු සම්බන්ධයි ************************** 

8 comments:

  1. ලිකර් ශොප් වහපු මේකාලෙ මධුලිකර් අහිමිවීම ලොකු ප්‍රස්නයක්

    ReplyDelete
    Replies
    1. එහෙම අහිමිවීමක් ගැන ඇහුවෙත් අදයි.... නැවෙන් වත් පාවෙලා ආවේ නැද්ද?

      Delete
  2. ඇත්තෙන්ම ඉතාමත් අවිනිශ්චිත තත්වයකට තීක්ෂණටත් මධුලිකාටත් වඩා අහිංසක පාඨක අපි පත් උනා කීවොත් එය අතිශ්යෝක්තියක් නොවේ!
    මට මතක් වෙනවා හැත්තෑව දශකයේ ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර වූ පාඨක පාඨිකාවන්ගේ රස මනස පුබුදුවාලමින් සතියේ සැම සඳුදා දිනෙකම ගලා ගිය සිත්තර චිත්‍ර කථා පත්‍රයත් එහි පලවූ බළංගොඩ සරත්මධුගේ "ඉතිං ඊට පස්සේ . . . " කථාවත්.
    සිත්තරේ නිර්මාතෲ වූයේ චින්තන ජයසේනයන්. චින්තන යනු පෙරළිකාර පත්තර කාරයෙක් කීවොත් එය නිවැරදියි. හැත්තෑව දශකයේ මුල් කාලයේ දී ලේක් හවුසියෙන් බිහිවූ "සතුට" (පසුව "මධුර" වූ) පත්තරයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ කුඩා ටැබ්ලොයිඩ් ප්‍රමානයේ සිත්තර ප්‍රකාශයට පත් කලේ හුළුගල්ල (ජෙ.එච් වාගෙයි මතක) මහතා සතුවූ "මල්ටි ෆැක්ස්" ආයතනයෙන්.
    එතෙක් සතුට පත්තරයේ "නිව්රෝ" නම් මස් පිඩු පිරුණු යදම් බිඳ දමන වීරයා නිර්මානය කල සරත්මධු සිත්තරට නිර්මාණය කල කථා දෙකක් වූවා. ඉන් එකක් නිව්රෝ සේම වීර චරිතයක් වටා ගෙතුනු "යුනිකෝ" වුනු අතර අනෙක් රසාලිප්ත චිත්‍ර කථාව වූයේ පෙර මා සඳහන් කල "ඉතිං ඊට පස්සේ . . ." ය.
    රූසින් සපිරි දෙදුනු හා නව යොවුන් කැළුම් ප්‍රධාන චරිත වූ මෙම කථාව; රසිකයින් තුල ආදරණීය බලාපොරොත්තුවක් සැම සතියකම ඇතිකරමින් දින හයකට විරාම ගැන්වීමට සරත්මධු තුල වූයේ නිසග හැකියාවක්.
    ඊට සමකල හැකි හැකියාවක් වූවා නම් ඒ "මුවන් පැලැස්ස" ගුවන් විදුලියට ගෙන ආ වික්ටර් මිගෙල් ගේ ලිවීමය.
    කොටස් 200ක් පමණ (මාගේ මතක නිවැරදි යැයි සිතමි!) එනම් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ "අනේ එන සතියේනම් කැළුම්ට දෙදුනුව හමුවෙයි!" කියා සිතා සිටි ලංකාව වටා සිටි දෙලක්ෂයක් වූ රසික රසිකාවියන්ගේ බලා පොරොත්තු මල්පල ගැන්වීමට සරත් මධුට තබා; සිත්තර පාඨකයින් හට පොල්ලතබා සිතුවම්/ සිතුවම පසුව දසුන පත්තරයට දිරා මාරුවූ පසු; ප්‍රේමසිරි කේමදාසයන් ගේ ලනුව කා අමරදේවගේ ගීත ගායනා කල ඩබ්ලිව් ඩී ආරියසිහයන් මෙන් සරත්මධුට ආරෝපනය වූ ගුනපාල ජයලත්ටවත් නොහැකිවූ බව මගේ මතකයයි! (මෙය මට මතක ඇති පරිදිය)
    මේ වන විට දෙදුනුගේත් කැළුම්ගේත් වාර්ථාව මේවන විට මධුලිකාත් තීක්ෂනත් වෙතින් කුඩුවී ඇතිබව පසුගිය කොටස වෙත කොමෙන්ටුවක් ලියන කළණමිතුගේ මතකය අප වෙත මතක් කර දෙයි.
    ඔබ කුමන ලෙසකින් හෝ වසර ගනනාවක සිට අපව තීක්ෂණ හා මධුලිකා වෙත තබා ගැට ගසා ඇත.
    විරංගව දුෂ්ඨයෙකු කල ඔබට තුති!
    හැකි ඉක්මණින් මදුළිකාව තීක්ෂණට මුණගස්වන්න කටයුතු කරණ්න.
    වෙලාවකට මට පොලීසියට කියන්නත් හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. මේ කියනා කතාන්දර ගැන නම් දැනගන්නකොට මම ගිය ආත්මේ බුලත් කොටනවා වෙන්න ඇති. ඒ හින්දා ඒවාට උත්තර දෙන්න දන්නේ නෑනේ; සමාවෙන්න.

      රෙකෝඩ් එකක් ඉතින් මමවත් තියන්ඩ එපැයි මොකද මේ පාලු ගෙදර කවුරු වලං බිඳින්නද? විරංග ඉස්සර ඉඳලම එක විදියක්.. ඇල්ලුවේ නැහැ කල්කිරියාව මටත් !

      පොලිසියට කියන්න එපා! මේ දවස්වල රිමාන්ඩ් එකේ කොවිඩ් අවදානම අප්පා..

      Delete
    2. අවුරුදු හතර වෙන්න තව බොහොම පොඩ්ඩයි :))))

      Delete
    3. පොලිසියට කියන්ඩ හිතෙනවා කිව්වේ මේක අවුරුදු 4ක් ඇද්දටද ? හම්මේ.... දැන්නේ තේරුනේ..

      අනේ ඉතින් සමාවෙලා හෙමීට කියවන්ඩ දවසින් දෙකෙන් වගේ.. ඔය ගතිය ටිකක් ඇරිලා යයි

      Delete
  3. යාන්තන් තත්වේකට ඒගෙන ආව විතරයි. ආයෙත් හබක්. හයියූ අපි පවු නැද්ද ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ තීක්ෂණ ට බෑනේ ගෙට වෙලා ටිකක් ඉන්ඩ... මම නම් කියන්නේ හොඳ වැඩේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...