Tuesday, September 17, 2019

228. ආදර සිපිරිගෙය තුල



ඝන අහස කලුවර
වසා ඇති බොහෝ 
නිම්න කදු මාරක අනතුර...
තරු එලිය පවා රවටන
පාවෙන කැට කැබිලිති
අත පොවන සැනෙක බාඳුර...

දුක් දොම්නසින් පෙරවුන
එකම පොඩි කෙම්බිම 
නුබ මා පෙමින් සිරකල...
අතැර කොයි යම්ද තනිකර
මියෙමි ඔබ දෙපා පාමුල
අවසන් සුසුම සිරකර....



~~~මන්ජි 

Monday, September 2, 2019

227. ගැයෙත මේ ගී




මන්ද අඳුරට තනිය රැකගෙන ගිතෙල් පහනක් හිනාවේ
බැන්ද කෙහෙරොද හිසේ මුදුනට සිහිල් සුළඟට පිනාවේ
අන්ධ වී උන්නාද සිතුමෙක දෑස සැලෙනා නුරාවේ
සින්ද සළුවෙක වහංවී ඉඳ සිතර තිසරුන් මුලාවේ

නෙළුම පෙතිමත තුෂර ඉසිලන සුරත් බැඳ බඳ වෙලෙන්නේ
පෙළුම නොපෙලෙත ගැයුම අමයුරු තරුත් විඳ වැද දිලෙන්නේ
සැළුම මී පැණි තුඩ'ග බඹරිදු විලත් සොඳ සඳ පිරෙන්නේ
කැළුම තබමින පෙමක මතකය පෙලත් රතු රත ලෙසින්නේ




~~~ මන්ජි

Monday, August 26, 2019

226. මගේ ප්‍රේමිය !









මගේ කුරුළු ආත්මය
වේදනාවෙන් මිරිකී ඇත,
සොයාගත නොහැකිව
සාමය නැමති ගොඩබිම...
කුමක් කරන්නද - කියා කියනු මැන මම  !

වරක් හෝ මට දිස්ව ,
මුසාවක් වුවද මට
ලබාදෙනු මැන, බලාපොරොත්තුව !
කුමක් කරන්නද - කියා කියනු මැන මම  !

රාන්ජන්ගේ මිතුර,
මගේ ඇමතුම ඇසෙවිද?
මට ඇති එකම පිහිට
නුඹ - පමණි මගේ මග

උන්මන්තක මිතුර,
නුඹේ දෛවය සීමා රහිතය.
දෙවියන්ට පමණක්ය
රැකබලාගත හැක්කේ අපව.
නුඹ - පමණි මගේ මග

ආගාමික අනාථයෙකි මමද,
මලක සිටිනා
සමනළයෙකු මෙන්..
වරෙක රැඳී සිට
මොහොතින් ඉගිලී යන...

මාවත මමය සොයමින් පවතින,
ස්වර්ගයට දිවෙන.....
ඔබ හැරෙන විටම
මමද ඒ අතටම හැරෙන ,

ඔබේ රැකවලකු වනු අවැසිය,
තියුණු අවියෙන් මගේ ඇදකුද
කපාගනු අවැසිය ,
වටිනා කෙනෙකු වනු අවැසිය !
කුමක් කරන්නද - කියා කියනු මැන මම  !

Thursday, August 15, 2019

225. තොටියෙකුට බිරිඳව





කෑල තුරු අග මුමුණ මුමුණා - රහස් කියනා බඹරුනේ
දෑල ගඟ ; ගං දෙපස රඳනා - පහස් සොයනා විලසිනේ
සේල මුදමින කොඳුර කොඳුරා - දෑස් පෙළනා කිඳුරණේ
ආල තෙදිනා වරණ වරණා - දුරස් වී හිඳ ඉනු මැනේ

සලිත ගත මත ඉසෙන දියවර - නොවේ මා සිහි කරන්නේ
කලත ගඟ දිය ගැයෙන අමයුර - මැවේ පෙම් ගී ඉතින්නේ
මලිත ගිරවුනි ගයන සුමධුර - ගැයුම මා ගැන කරන්නේ
සුරත මා තුරුලටම ඉඳුවර - කියුම වෙද නොව වටින්නේ?



~~~ මන්ජි

Sunday, August 11, 2019

224. කියන කතාවයි මේ



"ඔහොම තමයි ඉතින් සුපර් මෑන්ලා"

මම සෙමෙන් කියා මාධවී දෙස බලා සිනාසුනෙමි. මාධවී සිනාසුනේ නැත. ඒ වෙනුවට අඳුරු මුහුණෙන් යුතුව මා දෙස බලා සිටියාය. කුසල් අප පසුකොට ගොස් ශාලාවෙන් පිටවයනු මට පෙනුනි. ඔහුගේ මුහුණ බිමට බරව තිබිණි.

"ඌට ඇහෙන්න ඇති."

"ඇහෙන්න තමයි කිව්වේ!"

"උඹ පුදුම නපුරිච්චියක්නේ!"

මාධවී අප ඉඳ උන් මේසයෙන් නැගිට කුසල් පසුපස දිව ගියේ , මෙතෙක් මා මත තිබුණු අත්ල දමා ගසමිනි. මගේ හදවත කිතු වලට ඉරී රූරා වැටෙනවා සේ දැනුනි. මගේ කුරිරු සතුටට තිබුනේ සබන් පෙන ආයුෂයකි. නමුත් මම මේසයෙන් නොනැගිට අවසන් පැණිබිම බින්දුවද උගුරට වත්කර ගත්තෙමි.

Tuesday, August 6, 2019

223. සුහදිනියේ - 26 | තීරණාත්මක වටපිටාවක්. මධුලිකා කුමක් කරයිද?


කලින් කොටසට 

සේවිකාවගේ තත්වය බරපතල නොවුනත්, තුවාන් අයියා විසින් ගමන් බිමන් සඳහා අනුමැතියක් ලබා දුන්නේ නැත. මධුලිකා කාමරයේ හිඳිද්දී මම විරංග හමුවීමට ගියේ කඩෙන් ගත් කෑම පාර්සලයක්ද සහිතවය. මා දුටු විරංග වැඩි කතාවක් නොමැතිවම මම ගෙනා පාර්සලය නිවසේ තබා , මම සමඟම පිටතට පැමිණීමට සුදානම් විය.

විරංග රැගත් මෝටර් රථය පදවාගෙන මම නිහඬවම අප දෙදෙනාගේ සුපුරුදු මුහුද අසබඩ කබානා අවන්හලට පැමිණියෙමි. වාහනය රථගාලේ කෙළවරක නැවැත්වූ මම විරංග දෙස නොබලාම රථයෙන් බිමට බැස්සෙමි. විරංග මා දෙස බලා සිටිනු මට දැනුනි.

කලින් කතාබහ කරගෙන තිබුණු බැවින් මම කෙලින්ම පිවිසියේ කළමනාකාරවරයාගේ කොටසටයි. ඒ වනවිටත් මගේ මිතුරා මා එන බව දැන සුදානම්ව සිටියේය.

"මේ තියෙන්නේ බඩු... !"

ඔහුගේ මේස ලාච්චුවෙන් ගත් ජංගම දුරකථනය මේසය මත තබමින් මා මිත්‍ර කළමනාකාරවරයා ; සමන් ; පැවසීය.

"මේක ටෙස්ට් කරන්න ඕනේ !"


මම දුරකථනය අතට ගෙන ඔහු ලවා එය විවෘත කරගතිමි. අනතුරුව ඔහු දෙස සුහද සිනහවක් පෑ මම දුරකතනයේ තිරයේ මගේ අංකය සඳහන්කර ඇමතුමක් ගතිමි. මගේ දුරකතනයට එයින් ඇමතුමක් එද්දී එහි අංකයක් දිස් වුයේ නැත. ඒ වෙනුවට පුද්ගලික අංකයක් බව පමණක් සඳහන් විය. එසේ නම් එය නිවැරදිය.

Thursday, August 1, 2019

222. සුහදිනියේ - 25 | තීක්ෂණ අන්ත දෙකකට මැදිව


කලින් කොටසට 


එකිනෙකා දෙස බලන්නට නොහැකිව මමත් මධුලිකාත් සේවිකාව හරහා සන්නිවේදනය කරගතිමු. මගේ අවසන් දැනුම් දීමට අනුව මධුලිකා හැඩීම නතරකොට උදෑසන ආහාරය ගෙන තිබුණි. මම තාරුක අයියා සම්බන්ධ කරගන්නට සෑහෙන උත්සහ කලද එය ව්‍යර්ථ විය.

දුරකථනය ආරෝපණය ගැනීම සඳහා විදුලියට සම්බන්ධ කරනවාත් සමඟම සුන්දර් මා ඇමතුවේය. මම වහා පිළිතුරු සැපයුවෙමි.

"සුන්දර්.. කියන්න!"

"සර්... අර මිනිස්සු ටික ගියා... මගේ ෆෝන් එක වැඩකලේ නැහැනේ..."

"අයියෝ සුන්දර් මම සෑහෙන්න ට්‍රයි කළා ඔයාව කන්ටැක්ට් කරගන්න. දැන් කොහෙද ඉන්නේ?"

"ෆෝන් එක හදාගන්න ටවුමට ආව සර්."

"මම හිතන්නේ.... "


මැරයින් මෙහෙ පැමිණ ඇතිවග මම ඔහුට කියන්නට සිතු දේ මම අතරමගදී වෙනස් කරගත්තේ ඇයිදැයි මම අදටත් නොදන්නෙමි.

"........ නෑ ඒක නෙවෙයි... එතන කොර ගහන මිනිහෙක් හිටියද?


Sunday, July 14, 2019

221. සුහදිනියේ - 24 | අවදානම් ක්‍රියාන්විතයක්, මධුලිකා සතුරන් අතට හසුවේද?

කලින් කොටසට 


ආරක්ෂක නිලධාරියා බියපත්ව මා දෙස බැලුවේ මේ අවේලාවේ මෙවන් තැනක කුමක් කරනවාද යන සැකයෙනි. සෑහෙන දුරක් පයින් දිව ආ බැවින් පළමුව අසද්දී මහන්සියට මගේ හුස්ම වැටුනේ කඩින් කඩය. මම ලොකු හුස්මක් ගෙන නැවතත් මගේ ප්‍රශ්නය ප්‍රතිරාව කලෙමි.

"ගෝමස් ඉන්නවද?"

"ගෝමස් කියන්නේ කවුද? මහත්තය කවුද?"

"එතකොට අද රෑට සෙකියුරිටි ඉන්නේ ගෝමස් නෙවෙයිද?"

"ඒක නම් මම දන්නා නැහැ මහත්තය. අද මේ දැන් මම ඉන්නේ! වෙන කවුරුත් නෙවෙයි.. "

ආරක්ෂක නිලධාරියා අතිශය කටුක ලෙස කතාකරන්නට විය. මහා රාත්‍රිය මධ්‍යයේ හැකි උපරිම කෙටි පාරවල් හරහා මම විද්‍යාලය තෙක් පයින්ම පැමිණියේ ඒ මොහොතේ තත්වය අනුව මට කරන්නට යමක් නැති බැවිනි.

Tuesday, July 9, 2019

220. සුහදිනියේ - 23 | විරංග ගැන රහසක්! අනතුරක සේයාවක් ඉව වැටෙයි

කලින් කොටසට 




බැංකුවෙන් පිටත්ව මම කෙලින්ම අවන්හල වෙත ළඟාවන විටත් තාරුක අයියා එහි පැමිණ සිටියේය. ඈතදීම මා හඳුනාගෙන ඔහු සිටි රවුම් ලී මේසය වෙත ගෙන්වා ගන්නට අත වනනවිට, ඔහුට පිටුපසින් මුහුදේ කෙළිදෙලෙන් දඟලන කුඩා දරුවන් පිරිසක් ඇස ගැටුණි.

මම ඒ දෙස බලාගෙනම තාරුක අයියාට අතට අත දී පිලිගතිමි.

"බැංකුවෙන් ගත්තා විස්තර ටික"

මම ජයග්‍රාහි බවින් පවසමින් තාරුක අයියා අත ලියකියවිලි කිහිපය තැබුවෙමි. ඔහු ඒ දෙස බලා සිටිනවිටම ඇස් දිලිසී එනු මට පෙනුනි.

"හ්ම්ම්... මේ තියෙන්නේ බඩු ! "

"මම කිව්වේ... ඔහොම තමයි වෙන්න ඇත්තේ කියලා "

"උඹ දැන් මොකද්ද කරන්න හදන්නේ?"

මම කල්පනාවට වැටුනෙමි.

Thursday, July 4, 2019

219. සුහදිනියේ - 22 | අළුත් ප්‍රේහෙලිකාවක! තීක්ෂණ අභියෝග අතර මැදිව

කලින් කොටසට 


ඇඳුම් සාප්පුවේ ඒ මේ අත ඇවිදිමින් මම හැකි අයුරින් ඇඳුම් තෝරා ගතිමි. මධුලිකා සමඟ පැමිණ ඇඳුම් මිලටගන්නට ඇත්නම් කියා මට සිතුනු වාර අනන්තය. උපන්දිනයදා ඈ හැඳ උන් ගවුමේ තව පැහැයක් සෑහෙන උත්සහයකින් පසුව සොයාගන්නට මට හැකිවිය. කොට ඇඳුම් සියල්ල මම සිතින් ඈට අන්දවා බැලුවෙමි. දිග කලිසම් පහ හයක් මිලට ගත්තේ මම නොමැති වෙලාවට අඳිනු ඇතැයි සිතමිනි.

මේ කුමන විකාරයක්ද කියා මට වැටහෙන්නේ නැත. මම සිටිනා විට කොට ඇඳුම් අඳින්නට කියා කියන්නේ කෙලෙසද? මගේ සිත ඇත්තටම සිතන්නේ කුමක්දැයි මටම නිනව්වක් නැතුවාසේය. මම මධුලිකා විරංගට භාරකරන්නට... නැත මගේ සිත එලෙසින් සුදානමක් නැත. එය මධුලිකා තීරණය කරනු ඇත. ඒ සඳහා මම ඈට වඩාත් හොඳින් සලකන්න පටන්ගෙනද?

මට තරමක ලැජ්ජාවක් දැනුනි. ඇය දිනාගන්නට කියා මම ඇයට බොරුවක් කරනවාද? නැතිනම් කවරදාකවත් මම තරුණියක් මෙලෙස සැලකිල්ලෙන් රැකබලාගැනීමක් සිදුකොට නැත. එය මගේ ස්වභාවික තත්වයක් නොවේ. එසේ නම් මම මේ ඇයට කරන්නේ වංචාවක්ද?

Sunday, June 30, 2019

218. සුහදිනියේ - 21 | සතුරන් සමඟ එළිපිට සටනට







කලින් කොටසට 


"නිමන්ති...?"

"ආ... තීක්ෂණ.... කියන්න"

"මධුලිකා එක්ක..."

"...........................??"

"............................"

"ආ... මම එයාව ඇරලුවා ෆ්ලැට් එකට..  "

"......................."

"අපි සැලෝන් එකට ගියා"

"හරි"

සැනින් මම ඇමතුම විසන්ධි කලෙමි. එසේනම් මධුලිකා විරංග සමඟ ගොස් නැත. රුපලාවන්‍යාගාරයට යන්නට ඇත්තේ කාට පෙනෙන්නට හැඩ වෙන්නද? ඊර්ෂ්‍යාවෙන් කොල පැහැ ගැන්වී ඇත්තාක් මෙන් මට දැනෙන්නට විය.

ඔරලෝසුවේ කටු ගනිමින් මම හොරගල් අහුලන්නට වීමි. මම තව හොරාවක්ත් විනාඩි හතලිහකින් යා යුතු ගමනක් ඇත. තාත්තාට හසු නොවී සිටීමෙන් එය බාධාවක් නොකර සිදුකරගත හැකිවනු ඇත. තාත්තා මා සෙවීමක් නොකොට පිටත්වනු මට ඇසුනි.

සැනෙකින් පතොරොම් හතරක් සහිත රිවෝල්වරය ඉනේ සඟවාගත් මම  එළියට බැස්සේ ඒ අවසරයෙනි. මගේ ගමන බොහෝ කලබලකාරී වන්නට ඇත.

Thursday, June 20, 2019

217. සුහදිනියේ - 20 | අනපේක්ෂිත දෙයක්! තීක්ෂණ කුමක් කරයිද?





කලින් කොටසට 

පෙරදිනයේ කරන ලද වික්‍රමාන්විතය අවසානයේ සුදම් වෙත රඳවා තබා සිටි චාපා, පසුවදා සුදම් පාසලට හැරලවන අතරමගදී, නිවසට ඇරලවන්නට හැකිවිය. ඒ සඳහා සෑහෙන කල්පනාවෙන් වැඩකටයුතු කලයුතු විය.

අම්මාට චාපා අඳුකොළ වී ඇති සෙයකි. නිවසේ විසල් බව නිසා කිසිවෙකුට නොදැනෙන පරිද්දෙන් ගමන් කිරීමේ ක්‍රියාවලිය මම ඉගෙනුම් චර්යාවක් ලෙස කුඩා කල සිටම ප්‍රගුණ කර තිබීම සැම අතින්ම ප්‍රයෝජනවත් වුයේය. මුළුතැන්ගෙය දෙසට ගොස් ඔත්තු බලා ලත් අවසරයෙන් චාපා ජීප් රථයට නංවා ගන්නට හැකිවිය. චාපා සමඟ තනිවීමට මට අවැසි නොවුණු බැවින් මම සුදම් පාසලට ඇරලුවේ ඇය නිවසට දැමීමෙන් පසුවය.

"මොනාද ගෑනි ඊයේ කිව්වේ?"

චාපා බිමට බැස දොර වසා, පුම්බාගෙන ගිය පසු මම සුදම්ගෙන් ඇසුවේ වාහනය හසුරවන ගමන්, සැහැල්ලුවෙන් මෙනි. සුදම් එකවරම පිළිතුරක් නොදුන් බව නම් මතකය.

".... මට බැන්නද? අවුලක් නැහැ... වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැනේ"

"උඹ චාපාට 'චීට්' කරනවද?"

මට සිනහවක් නැගුනා මතකය.

"ඒක කැෂුවල් රිලෙෂන්ශිප් එකක්.. චාපා සීරියස් අරගෙන. ටික දවසකින් හරියයි.."

සුදම් ඉන්පසු කිසිවක් නොකී බවත් , අප දෙදෙනා දෙදෙනාගේ පුද්ගලික ලෝක වල දොඩමළුව සිටි බවත් මතකයට නැගුනේ , ඉන්පසුව අප අතර සිදුවූ කිසිවක් මතකයට නගාගත නොහැකි බැවිනි. ඇත්ත වශයෙන්ම මම සිටියේ මධුලිකා ගැන සිතමිනි.

නැවත නිවසට පැමිණ ලබාගත් නින්දෙන් පසුව මම යථා තත්වයට පත්වුයෙන් සහ හදිසි ඉවකින් මෙන් විරංග සොයා ගියෙමි.

මේ සියල්ල උඩු යටිකුරු වුයේ ඒ ගමනින් පසුවය.

Thursday, June 6, 2019

216. ලාබයක් නැති ආදරේ | pure love?



හොඳටෝම වෙහෙසවී
එයා එනකොට ගෙදර,
ජනේලෙන් බලාගෙන
ඉන්නවා දුකෙන් මම...

කකුල උඩ - නිකට
ඇස්දෙක ඔහුගේ - ඇස්වල
හොයනවා මම
'කෝ දැන් ඇතිය' කියනතුරු
(පොඩ්ඩක් තරහ ගත්තද.)

එලෙව්වට වතාවක්
දන්නවා ආයේ හැරී බලනවග ,
ඉතින් මම පස්සෙන්
එනව ඇඳ ගාවටම...

'අද දවස කොහොමද?
ඔයා උන්නම හදවතේ
මට නම් නෑ කිසිම පාළු...
දැක්ක එක ලොකු දෙයක්
මාත් එක්කම නේද යාළු ?'

කමක් නෑ හෙට උදේ
බත්ම කනවා ඔන්න..
මට බෑනේ කන්න දැන්
එයාටත් ඇති බඩගින්න..

මොකක් තිබුනත් ඉතින්
ඔයා මගෙනේ ඉතින්!



~~~ බල්ලෙකුගේය මේ හදවත





පසුව ලියමි : තදේටම උණ. මම කිව්වේ බල්ලෙකු නැති එකට සාංකාව.... උන් කොච්චර ලෙන්ගතුද...? ආදරේ උතුරා යන පොට්ටනි වගේ බල්ලෝ ඉන්න ලෝකේ ඉන්න ඔක්කොටම මම පැලෙන්න ඉරිසියයි! ඉරිසියයි කිව්වම පුදුම ඉරිසියයි......

Wednesday, June 5, 2019

215. ගිණුම | Lovemoney



ගණකාධිකාර තුමණි,
සත්තමයි මේ කියන්නේ..

කිසිම ගණුදෙනුවක්
කෙරුන්නෑ - මාස ගානකට.

ගනු කියා සැරසුනත් - අබග්ගය
දෙනු කියා කිව්වමුත් - අනතුරුය

මේ ගිණුම පෙරදිනේ
දවසකට විසි තිස් පාර,
නෑ! සමහර වෙලාවට
පැයකටම හත් අට පාර..
එහාටයි මෙහාටයි
ගණුදෙනුම කලානේ!
ඕන් ලයින් - ඔෆ් ලයින්
හර - බැරම කීයක්ද?

ඔබතුමාත් වතාවක්
අනතුරු ඇඟව්වත් එක්ක!

ගිණුම් දෙක තුනක් නෑ
එකම ගිණුමයි ඇත්තේ,
සන්තකේ මම දැම්මේ
මේ ගිණුමේ තමයි මයි!

පොඩ්ඩකට පුළුවන්ද
ලිපියකින් වගේ මට ,
ඔබතුමා ඉල්ලලා
යවන්නට...
දරුවන්ගේ තාත්තට
ගිණුම ගැන මතක්කොට!

- ආදර ගිණුම - හදවතේ ශාඛාව




Sunday, June 2, 2019

214. සුහදිනියේ - 19 | සැබෑ සතුරන් කවුරුන්ද?





කලින් කොටසට 

මගේ කෝපය මදකින් හෝ අඩු වුයේ නැත. කෙල්ලන්ට අත ඔසවන නින්දිත ක්‍රියාව නොකරන නිසා මිස චාපාට වැරෙන් කම්මුල් පහරක් එල්ලකිරීමේ නොතින් ආශාවකින් මගේ සිත නොසන්සුන්ව ගියේය.

"තමුසේ.... තමුසේ මාර හැපින්නක් අයිසේ!"

ඇගෙන් ප්‍රති පිළිතුරු ලැබෙන බව සිතුනු නිසාම මම යලිත් ඇගේ මුව වසා තිබුණු රිදී පැහැ ප්ලාස්ටරය අලවා දැමුයේ තද කෝපයෙනි. චාපා වේදනාවෙන් මුරගෑවාය. තාරුක මදකට මා පසෙකට කැඳවාගෙන ගියේය.

"මචන්.. මේ වෙලාවේ මල පැනලා වැඩකරලා බැහැ. මොලේ කල්පනා කරපන්... "

"...#%$# තමයි !"

 "මේකි කියනවනේ උන් උඹ වෙන කෙල්ලෙක් එක්ක ෆ්ලැට් එකේ ඉන්නවා කියලා තමයි මෙච්චර හරියක් කලේ කියල. උඹ මේ මෝඩ කෙල්ලට බැනල වැඩක් නැහැ... "

 ".......@#$#%$%%$"

"ඉරිසියාව ලොකුනේ බන් රුසියාවට වඩා"

"හ්ම්ම්...."

මහල් නිවාසයට මීටර් සියයක් පමණ ඈතින් ඇති ත්‍රිරෝද රථ ගාලේ උන් චාපා ගමන් ගන්නා හිතවත් රියදුරෙකුගේ මාර්ගයෙන් මා පිළිබඳව ඔත්තු බැලීමෙන්, මම තවත් තරුණියක් මහල් නිවාසයේ තබාගෙන සිටින බව අසා කෝපයට පත් ඇය ; මා ලුහුබැඳ පැමිණ ඇත. මවිසින් ඔත්තුකරුවන් දෙදෙනා ඉලක්ක කොට කල ප්‍රහාරයෙන් කලබලව රියදුරු ඈ අතහැර පලාගොස් ඇත. කලබලය අතරතුර බියටපත් චාපා ලුහුබැඳ අල්වාගෙන ඇත්තේ තාරුක අයියා විසිනි.


".. වෙලාවට මේ මෝඩිට වෙන කරදරයක් උනේ නැත්තේ... පොලිසියෙන් තමයි එහෙනම් කෙලවර වෙන්නේ මමත්!"

Sunday, May 12, 2019

213. සුහදිනියේ - 18 | අවදානම් සැලසුමක්

කලින් කොටසට 




මගේ සැලසුමේ ඉතිරි කොටස සඳහා පිඹුරුපත් සකසමින් සිටියදී බලාපොරොත්තුව සිටි ඇමතුම පැමිණියේය. ඒ වනවිට අප රාත්‍රී ආහාරය ගෙන නිම වුනා පමණි.

"කියන්න සුන්දර්...!"

"දැන් මම ඉන්නේ ෆිල්ම් හෝල් එක ගාව"

"හරි ඔහොම්මම ඇවිත්.......... කලර් ලයිට් එක ගාවින් වමට දාලා.......... හම්බවෙන පාරේ ඉස්සරහට ඇවිත්...... කොලපාට ගේට්ටුව තියෙන තැනින්..... ඇතුලට දාන්න."

සුන්දර්ට මම පැවසුවේ මහල් නිවාසයේ පසුපස ගේට්ටුවේ සිට පැමිණෙන මම, නොපෙනන ස්ථානයයි. එය මම පෙර සිට පාවිච්චි කර ඇති බැවින් විශ්වාසයක් තැබිය හැකිය. සුන්දර් පවා නොදැනගතයුතු දේවල් ඇත.

වහ වහා මා සතු කළුපැහැති බොටම් කලිසම සහ කළුපැහැති ටී කමිසයට බැසගත් මම නිවසේ මගේ ඇඳුම් අල්මාරියේ තිබුණු කුඩා කොලිම්බියා පිහිය ඉනෙහි සඟවාගෙන , සාලයට ආවෙමි. මගේ දකුණු අතෙහි තිබුනේ සපත්තු දැමීමට භාවිතා කරන කළු පැහැති ඝනකම් අලි කකුල බෑගයයයි. එය වඩාත් සමාන වුයේ ගෝනියකටයි. එය තුල මට අවැසි දේ පරිස්සමට ඔතා තිබිණි.

මෙගේ වෙනස ඉව වැටුණු මධුලිකා නිවසේ දොරතෙක් මා සමඟ පසු ගමන් ආ බැවින් ආපසු හැරී එක වරක් ඈ දෙස බැලුවේ සමුදෙන අදහසින්ම නොවේ. අපගේ දෑස් හමුවිය. කිසිදු කතාබහක් නොවුනද මම කුමක්හෝ දෙයකට අර අදින බව ඇයට වැටහුණි යයි පෙනුනි. මධුලිකා මගේ දකුණතේ ඉහල බාහුව උණුසුම්ව අල්වා ගත්තාය.

"පරෙස්සමෙන්!"

Sunday, May 5, 2019

213. සුහදිනියේ - 17 | ඔත්තුකරුවන් පසුපස ; විශ්වාස කරන්නේ කවුරුන්ද?

කලින් කොටසට 



සිහින් ඉකියක හඬින් මම නින්දෙන් පිබිදුනෙමි. ඇස් අරිද්දීම වම් අතෙහි වේදනාව ඉතා තදින් දැනෙන්නට විය. අඩ අඳුරට ඇස් හුරුවෙමින් මම ඉකිය නැගෙන්නේ කොහින්දැයි සොයන්නට වීමි. අඳුරේ මගේ සයනය අද්දර වූ පුටුවට වී, මට පිටුපා ඉකිබිඳිමින් උන්නේ මධුලිකාය.  නළල මත යම් සීතලක් දැනී එය අල්ලා බැලු විට, එහි වතුරෙන් පොඟවනලද ලේන්සුවක් විය.

"මධු.....?"

මම කතාකරද්දී ක්ෂණයෙන් හැඩීම නවතාලු මධුලිකා නොසෙල්වී උන්නාය. ඉන්පසුව මා දෙසට හැරී මගේ දකුණු අත මත සිය අත තබා මා දෙස බැලුවාය. අඳුර බැවින් ඇගේ බැල්මේ කුමක් තිබුනාද කියා මට පෙනුනේ නැත.

"අඩුද? ඔයා හීනෙනුත් කෙඳිරිගෑවා..."

"............"

"ලයිට් එක දාන්නද?"

"එපා!"

හීනෙන් මෙන් මට සිදුවූ සියල්ල මතකයට ආවේය. විරංග මා ගෙනවිත් බැස්සු විට මට යම් තරමක උණක් තිබිණි. මා දුටුවනම භීතියට පත්වූ මධුලිකා යුහුසුළුව මට අවැසි උපකාර කලේ කකුලේ අපහසුව අමතක කරදමා මෙනි. ලේ වැකුණු ඇඳුම් මාරුකරන්නට විරංග උපකාර කල පසුව ඔහු පිටත්ව ගොස් මම කාමරයට ආවා මතකය. බෙහෙත්වල සැරට මට නින්ද යන්නට ඇත. අත සෑහෙන වේදනාවක් ඇතිකරයි.

මධුලිකා පුටුවෙන් නැගිට යන්නට මෙන් සැරසුනේය. මට ලොබ සිතුනි. වේදනාවට ආ කෙඳිරිය ඉබේම ඇරඹුනාට මම එය වැඩියෙන් කලාද?

".. යන්නේ... ඇයි ?"

මධුලිකා පිළිතුරක් දුන්නේ නැත.

".. වෙලාව කීයද ?"

මධුලිකා මගේ දුරකථනය ගෙන වෙලාව බැලුවාය.

"දෙකයි... පාන්දර දෙකයි"

මම ගොළුවී ගියද, සිත උණුහුම්ව නැගුණි.

"ඔයා නිදාගත්තේ නැද්ද?"

මධුලිකා පිළිතුරු දුන්නේ නැත. ඇය දැන් බොහෝ ගොළුය. ඒ කුමක් නිසාද? ඇගෙන් සොරාගත් පොඩි මොහොතක් නිසා මගේ 'කන පලන' බව කී මධුලිකාමද මේ?

Tuesday, April 2, 2019

212. සුහදිනියේ - 16 | ඝාතන තැතක් ? මිනීමරුවන් නිදැල්ලේ

කලින් කොටසට 



වත්තෙන් පිටවී වහාම කොළඹ ආ මට ප්‍රමාද වන්නට කාලයක් නැත. නිමන්ති විසින් සියල්ල සකසා තිබිණි. මධුලිකා රුපලාවන්යාගාරය අසලින් බස්සවා මම නිවසට ගොස් හොරෙන්ම මා සතු හොඳම කෝට් ඇඳුම ගෙනවිත්, මධුලිකාගේ නිවසේදී ලක ලැහැස්ති වුයෙමි. පපුව වේගයෙන් ගැහුනේ බිය නොමැති වුවත් මම මේ කරන්නේ කවර ආකාරයේ වැඩක්ද කියා මටම සිතාගත නොහැකි බැවිනි. නිවසින් පිටවන්නට පෙර සේවිකාව මට වතුර වීදුරුවක් ඉදිරියට ගෙනාවාය. මට සිනාවක් නැගුනද, හදවතේ බර ගතියක් දැනුනි.

පිටත්වන්නට පෙර නිමන්ති ඇමතු මම එදිනට කුලියට ගත් වාහනය පදවාගෙන ගොස් රථගාලෙහි නවත්වා කණ්ණාඩියෙන් බලමින් හිසකේ හදාගතිමි.

විනාඩි පහළොවකින් පමණ දොර විවර කරගෙන ආවේ සුරන්ගනාවියකි! මධුලිකා අතිශය රමණිය සුදුපැහැති ගවුමකින් සැරසී මා ඉදිරියට ඇවිදගෙන එන්නීය. මා අන්ධයෙකු හෝ මෝඩයෙකු නොවේ... මම දුටු සුන්දරම මනාලිය ඇයයි...!

මගේ දෑස් ඉබේම තෙත් විය. වහා කඳුළු වසන්කල මම ඉදිරිය බලාගෙන සිටියද, ඇගේ ඒ සුන්දර බව මා සෑහෙන කැළඹීමකට පත්කර තිබිණි.

එම්බ්‍රෝයිඩර් කුඩා මලකින් චාම් ලෙස හැඩකල දිග ගවුමේ, පුළුල් උරහිස් ඇගේ මෘදු ගෙල වටා චාම්ව බැඳ තිබුණු කුඩා ආභරණය කැපී පෙන්වා තිබිණි. එය සිහින් රිදී මාලයකි. ඈ අත තිබුනේ හිම මෙන් සුදු, කුඩා රෝස පොකුරකි. දිගු වරලස ඉතා චාම්ව පසුපසට කොට කුඩා මල් වැලකින් රවුම්ව රඳවා තිබිණි.



එපමණකි.. ඈ අතිශය රූමත් මනමාලියකි!

ඇගේ ලා දුඹුරු සම කැපී පෙනුනේ, සියලු අන් මිනිසුන් අන්ධයින් වේවා යයි පතන තරමට මා වික්ෂිප්ත කරමිනි. මට හුස්ම සිරවී ගියාක් මෙන් දැනුන බැවින් කට ඇර දෙතුන් වරක් හුස්ම ඉහලට ඇද ගතිමි.

නිමන්ති විසින් වත්තන් කරගෙන ආ මධුලිකා අපහසුවෙන් කාරයේ පසුපස ආසනයට බර වුවාය. එවිටයි මට සිහිය ආවේ, ඈ වත්තන් කරන්නටවත් මම ඉදිරියට යන්නට සිහියක් නොවූ හැටි!

පසුපස බලන කණ්ණාඩි ඔස්සේ අප දෙදෙනාගේ ඇස් මොහොතකට යාවි ගියේය. ඈ මෙතරම් ලස්සනද? මඩිනා ලද සිතුවිලි වලින් මා උමතුවන්නට ආසන්නව ගොස්ය. ලොකු හුස්මක් ගෙන සන්සුන්වූ මම විරංගගේ තොරතුරු වලට අනුව ජායාරුප ශාලාවට පදවා ගියෙමි. ලද සියලු මොහොතවල් වලදී මම කණ්ණාඩියෙන් ඈ බැලුවෙමි, නමුදු මුහුණ බිමට හරවාගෙන සිටි මධුලිකා නිහඬය. ඈ ඉන්නේ දුකෙන්ද?

ජායාරුප ශාලාවට ඇතුළුවත්ම අපට උපකාර කිරීමට ඉදිරිපත්වූ සහායකයා සමඟ මමත් මධුලිකාත් ඉදිරියට ගියෙමු. ඈ තවමත් නිමන්තිගේ අතෙහි එල්ලීය.

"කෝ.. ඉන්න මම අල්ලන්න.... ඔය මල් එක දෙන්න නිමන්තිට"


මම එසේ කියුවද මධුලිකා නිහඬව පියවරක් තැබුවාය. ඉදරියේ තිබුනේ පියගැටපෙලකි. තවත් කියන්නට අවැසි නොවීය.



ඈ අත තිබුණු මල් පොකුර ගෙන නිමන්ති අත තැබූ මම මධුලිකා හරස් අතට ඔසවා ගතිමි.  මධුලිකා එකවර 'හඃ' ගෑවද , කලබලයක් හෝ දැඟලීමක් නොකර මට තුරුල් වුවාය.

ඈ සැහැල්ලුය, හුරුබුහුටිය. මම ඈ ඔසවාගෙන ඉතිරි පියගැට පෙළ නගිද්දී, ඉහල සිට විසල් සිනහවකින් සියලෝම බලාසිටිනවා මට පෙනුනි.

මධුලිකා දෙස නොබැලුවත්, ඈ පුසියක මෙන් මට තුරුල්ව උස් සුසුම් වලින් මගේ පපුවට පිඹිමින් සිටියාය.

මට සිහි වුයේ පළමුව මම ඈ මෙලෙසම ගෙන මගේ වාහනයේ පසුපස අසුනට ගෙනගිය අයුරුය. එලෙසම සිහිසුන්ව සිටි ඈ ගෙන ඒ වනරොද පීරා දිවගිය අයුරුය. ඒ සැමටම වඩා ඈ මා අසලය. මධුලිකා වඩාත් සමීපව මට දැනෙන්නේ අදයි.

නමුත්, ඈ මගෙන් ඉල්වන මේ උපකාරයට හෝ පිහිටට ඇගෙන් කප්පමක් ඉල්ලනවා සේ ඈට දැනේවිද? මම යුවතියන් රැසක් ඇසුරුකළ බව සැබෑය, නමුත් ඈ ඒ සියල්ලටම වඩා වෙනස්!

පින්තුරය ගන්නට අප දෙදෙනා සිටුවා තැබීම එතරම් ලෙහෙසි නොවීය. මධුලිකාට සිටගෙන සිටීමේ අපහසුව නිසා ඈට පුටුවක් ලබාදී මම ඊට ළඟින්ම සිටගතිමි. ජායාරුපශිල්පියා තලතුනා පිරිමියෙකි. ඔහු අප දෙදෙනාට නොයෙකුත් විහිළු කලේ දෙදෙනාම ඔරවාගෙන සිටින නිසාය.

"මොකාද අනේ ඔහොම ඉන්නේ....? මේ දෙන්නා ගෙදරින් බලෙන් බන්දවල වගේනේ... හිනාවෙන්න දරුවෝ..."

පින්තුර දෙක තුනකින් සෑහුණු මම මධුලිකා තවත් වෙහෙසකරන්නට කැමති නොවුනෙමි.

"මම නම් කියන්නේ ක්ලැසික්ම ෂොට් එක තමයි මේක!"



එතන සිටි සහයකයා සිය කැමරාවේ සටහන් වුනු යමක් මට රහසේ පෙන්විය. මගේ ඇස්දෙක අදහාගත නොහැකි තරමකි. මම මධුලිකාව දෝතින් ගෙන පිටගැට නගින දර්ශනය ඔහුගේ කාචයේ සටහන්ව තිබුනේය. එලෙසම මධුලිකා මා අතට බරවී ගමන් කරන ලස්සන කෝණයකින් ඔහු සටහන් කරගෙන තිබිණි. ඇගේ මුහුණේ තිබුනේ පිපුණු සිනහවකි. මම වහා පැන ඔහුගෙන් කැමරාව උදුරාගතිමි.

"මට මේක දීපන් මචන්.. කීයක් උනත් මම ගන්නවා!"

මධුලිකා දෝතට ගත් පින්තුරය පෙන්වමින් මම කියද්දී තරුණයා සිනාසී මගේ දෙස බැලුවේය.

"ලස්සන නිසා ගත්තේ. නැචුරල්... සල්ලි ඕනේ නැහැ... මේක මගේ ගානේ ගිෆ්ට් එකක් කියල හිතලා ගන්න.."

මම ඉක්මනින් මගේ නම්පතක් ගෙන ඔහු අත තැබුවෙමි.

"මට ඕක මේල් කරන්න.... ඊට අමතරව මට... මේකේ ලොකු ෆොටෝ එකක් එන්ලාජ් කරලා ඕනේ"

මධුලිකා පහලට ගෙනගොස් වාහනයේ පිටුපස ආසනයේ හිඳවා මම නැවත ආවේ ගෙවීම සිදුකිරීමටයි. කවුන්ටරයේ සිටි තරුණයා සිනාසෙමින් මා දෙස බලාගෙන සිටියේය.

"ලස්සන කපල් එක සර්... කොහෙන්ද ඇල්බම් එක කලේ?"

මම සිනාසී මුදල් ගෙන කවුන්ටරයේ තිබුණු කුවිතාන්සිය පිරික්සීමි.

"ෆොටෝ එක ගන්න පුලුවන්ද හෙට? අපිට වීසා වලට ඇප්ලයි කරන්න ඕනෙවෙලා හදිස්සියේ බැන්දේ... ඒ නිසා පින්තුරේ හදිස්සියි"

"ආ... ඒකද අර මිස් බයවෙලා වගේ හිටියේ?"

"හ්ම්ම්... මල්ලි අර පින්තුරේ...?"

"ආ.. ඒක මම එවෙලේම මේල් කළා... සර්... !"

"තෑන්ක්ස් !"

මුදල් ගෙවා මම නැවත එද්දී එතැන සෝපාවේ උන් මිනිසාගේ අත වූ පත්තරය සෙලවිමේ අමුත්තක් මට දැනුනේ ඇයිදැයි මට වැටහුනේ නැත. කවුරුන් හෝ අප දෙස බලාසිටියාද?

සාමාන්‍යයෙන් දොඩමලු තරුණියක වන නිමන්ති, ගොලුවී ගොස් සිටියාය. මගේ සිතත් සෑහෙන වෙහෙසට පත්ව තිබිණි. දහවල් ආහාර වෙලාවද පසුවගොස් තිබුනද මට කුසගින්නක් දැනෙන්නේ නැත.

"නිමන්ති...  මොනවහරි කාලා යමුද?"

නිමන්තිත් මධුලිකාත් එකිනෙකා දෙස බැලුවෝය. මධුලිකා හිස දෙපසට වැනුවේ 'එපා' කියන්නට මෙනි.

"මේවා ඇඳගෙන යන්න බැහැනේ... "

නැවත අප තිදෙනා මුනිවත රකින්නය වුනෙමු. මහල් නිවාසයේ වාහන අංගනයේ වාහනය ගාල්කොට අපි තිදෙනා නිවසට ගොඩවෙද්දී සේවිකාව අපව පිළිගත්තේ සතුටින් ඉපිලියමිනි. කුලියටගත් මධුලිකාගේ ඇඳුම ආපසු දෙන්නට අවැසි නිසා නිමන්තිද අප සමඟම මහල් නිවාසයට ආවාය.

නිමන්ති පිටව ගිය පසුව මම මගේ කාමරයටත්, මධුලිකා ඇගේ කාමරයටත් වැදගතිමු. කබාය ගලවා ඇඳමත දැමු මම සයනයේ පසෙක හිඳගත්තේ නොසන්සුන්කමිනි.


මගේ සිත අවුල්ව ගොසිනි. ඈ මට අකමැතිය, නමුත් පිහිටක් අවැසි නිසා මෙලෙස කරන්නට ඇත. මගේ සිතේ ඈ කෙරෙහි ඇත්තේ ආදරයක්ද? ආසක්තබවක්ද? එතරම් ලස්සනට ඈ දුටු කිසිවෙකු ඈට අකමැති වන්නට තරම් මෝඩ නැත. ඈට හොද සහකරුවකු සෙවීම උගහට නොවේ. ඇගේ කරදරයේදී මගෙන් පිහිටක් පැතුවා විනා මා ගැන ඈට හැඟීමක් නැතුවා විය හැකිය. එනමුත් ඈ අද උදෑසන මට කෑම බෙදුවේ කොතරම් ආදරයකින්ද? ඈ එලෙසම විරංගටත් කළා නේදැයි මගේ සිත මොරදෙන්නට විය.

'ටොක් ටොක් ටොක්'

"මහත්තය..."

මම දෑතින් මුහුණ පිසදාගෙන ගොස් දොර ඇරියෙමි. සේවිකාව බැරෑරුම් මුහුණක් සමඟ සිටගෙන සිටියාය.

".. අ... ම... දවල්ට කාලද ?"

මම 'නැහැ' කියන්නට හිස දෙපසට වැනුවෙමි.

"බේබිට මොනවහරි හදලා දෙන්න. මම තව ටිකකින් යනවා"

සේවිකාව මදක් පසුබෑවාය. ඇය යමක් කියන්නට අර අදී.

"බේබි... දොර වහගෙන"

මම සේවිකාව දෙස බැලුවෙමි. ඇගේ ඇස් තෙතබරිතය. බියපත්ය. මම වහා ගොස් මධුලිකාගේ කාමරයේ දොරෙහි අගුලට අත තැබුවෙමි. එය ඇතුලතින් අගුලු දමා නැත. තවත් නොසිතා මම ඇතුලට ගියෙමි.

ඇගේ සයනයේ මට පිටුපා හිඳගෙන සිටි මධුලිකා මගේ ආගමනයෙන් ගැස්සී හිස හරවා බැලුවාය. මම මෙන්ම ඇයත් තවමත් මංගල ඇඳුම පිටින්. ඇගේ ඇස්වල කඳුළු උතුරාගොස් තිබිණි. මම අඩපණව ගියෙමි.

"අඬන්න එපා"

මට කියන්නට අවශ්‍ය උනේ එයයි. නමුත් මුවෙන් ගොර ගොර හඬක් මිස වෙනත් දෙයක් පිටවුනේ නැත. අපහසුවෙන් කකුල් දෙකට පන ලබාගත් මම මධුලිකා අසලට ගියෙමි. ඈ නැගිටින්නට උත්සහ කළාය. මම අතින් 'එපා' යයි කීවෙමි.

සුදුපාට චාම් ගවුමට ඈ සුන්දරව පෙනුනි. වත්සුණු හෝ කිසිදු ආලේපනයක් නොගෑ මුහුණේ කඳුළු වලින් ඈ තවත් අහිංසකව පෙනුනාද කියා හරිහැටි මතකයක් නැත.

බිමට නැඹුරු කරගත් ඇගේ බුහුටි මුහුණ කඳුළු නොවසාම නිකටෙන් අල්වා මම එසවුයෙමි. ඈ මා දෙසම බලාසිටියා මිස කිසිවක් කීවේ නැත. ඒ නෙත් සැබවින්ම හදවතක් පසාරුකරන සුළුය.

සැබවින්ම ඒ මොහොතේ කාලය නවතින්නට ඇත. කිසිම දෙයක් හරිහැටි මතකයකට නගාගන්නට නොහැකි රික්තයක් අප වටා සබන් බෝලයක් මෙන් වටකොට ගත්තේය.

මම පියවරකින් සමීපව, මධුලිකා වෙත සෙමෙන් නැඹුරුව, ඇගේ හිසෙහි පසුපසින් අල්ලා ලංකොට ඈගේ දෙතොල් සිපගතිමි. අතිශය මනරම් වර්නාලෝකයකින් හාත්පස ඒකාලෝක වන්නාසේ දැනුනා මතකය. දිගු, නමුත් ඉතා මෘදු ඒ මොහොත අතිශය සංවේදීව මගේ හදවතට දැනුනා නම් මතකය.

දෑස් හරිනවිට, තවමත් දෑස් පියා සිටින මධුලිකා දෙස තත්පරයක් බලා සිටි මම ඇගේ කාමරයේ දොර වසා පිටතට පැමිණියෙමි.


*************************************

කුලී රථයෙන්ම , ගරාජ් එකට ගොස් වාහනයේ තත්වය බැලු මම එයට අවශ්‍ය කළමනා ගන්නට මුදල්ද ලබාදී කුලී රියද බාර දුන්නෙමි. එහි සිට ත්‍රිරෝද රථයක නැග එන අතරමගදී හඳුනාගත් එම රියදුරා ; තාත්තාගේ තලවාකැලේ සේවකයෙකුව සිට පසුව ත්‍රිරෝද රථයක් මිලට ගත් බවයි. තාත්තා ගැන බොහෝ ගරුත්වයෙන් ඔහු කතා කරද්දී මටත් ඉන් ආඩම්බරයක් දැනිණි.


අප හා සමාන්තරව විටින් විට ගමන් ගත් ත්‍රිවිල් රථයක් නිසා කවුරුන් හෝ මා ලුහු බඳින බවක් ඉව වැටුණි.  මම වෙලාව බැලුයෙමි. සවස පහ පසුවුණා පමණකි. එවිටම මට ඇමතුමක් ආවේය. මම සැනින් එයට පිළිතුරු සපයද්දී ඉබේම මගේ සිතේ ඇඳි සිනහව මුවේද සටහන් වනු දැනුනි.

"හලෝ.. කියන්න මධු......"

වෙනදාට වඩා ඒ 'මධු' ඇමතුම මගේ සිත තුලින්ම පැමිණෙන්නට ඇත.

"ඔයා කොහෙද?"

"ගෙදර යන ගමන්... කා එක දීලා... ඇයි ? "

"......................"

"ඔයා මොකද කරන්නේ?"

"......................."

"ගෙදර ගිහින් කෝල් කරන්නද? "

"......................."

"හ්ම්ම්?"

"හරි..... "

හදවත් පිරී ගියා සේ දැනුනි.

ඇය මා ඇමතුවේ පාළුව නිසාද? නොඑසේනම් යුතුකමක් ලෙසද? ඇය මා කෙරෙහි ඇති ආදරයට ඇමතු බව අදහන්නට මට අවැසි විය.

වෙන කිසිවෙකු කෙරෙහි නොදක්වන, නොසිතන දේ මා ගැන සිතවන්නට මට අවැසි විය. සරලවම කිවහොත් ; ඈ මට ආදරය කරවන්නට මට දැන් අවැසිව ඇත!

රථය සංඥා එලියට නතරවිය.

"සර්...... මේ.... අර එන ත්‍රිවිල් එක සර්ව ෆලෝ කරනවද?"

රියදුරුට කියන්නට ලැබුනේ එපමණකි. එකවරම රතිඤ්ඤා පුරනවා සේ 'පට පට' ලෙස ඇසුන වෙඩි හඬවල් දෙකකින් එකක් මගේ වම් උරහිස හිරිවට්ටවනවා දැනුනි. රියදුරු හිස දෑතින්ම බදාගෙන ගුලිවිය. කිසිවක් සිතාගත නොහැකිවූ මම රථයේ පහලට නැවි ගුලි වීමි.

ක්ෂණයෙන් නැගිට්ට ඔහු පුළුවන් උපරිම වෙර යොදා ත්‍රිරෝද රථය රතු එලිය මැද්දෙන් ඉදිරියට අද්දවාගෙන ගිය අතර අවට සියල්ලම බොඳවී යනවා සේ මට දැනුනි. අපහසුවෙන් ආපසු හරි බැලු මට පෙනුනේ පාර හරහා ගමන් කරන ලොකු ටිපර් රථයකි. වාසනාවට ඔවුන් ඊට හසුව මගහැරී ගොසිනි.

වම් බාහුව වෙත අත ගෙනයද්දී , අතේ ඉහල කෙලවරට වන්නට සුදුපාට කමිසය පසාරු කරගෙන ගිය උණ්ඩයක් වන් දෙකක් පෙනුනා මතකය.

"බුදු සර්.... මොකද උනේ.... මොකද උනේ? වෙඩි තිබ්බ නේද?"

රියදුරා රථය පදවමින් හැරී බලා මොරදෙන්නට විය.

"ඔව්... බයවෙන්න එපා... ඔහොමම හරෝනවා වමට.. "

"හරි සර්.."

" වම් පැත්තේ කෙලින්ම ගියාම තියෙන ඩිස්පැන්සරිය ගාවින් දානවා... "

"හරි සර්.."

"බයවෙන්න එපා.... බයවෙන්න එපා උන් මගෑරුනා.. තමුසේ යනවා... ඉක්මනට "


හිරිවැටුන වමත එසේම තබාගෙන සාක්කුවෙන් ගත් ලේන්සුව දකුණතින් තුවාලයට තද කරද්දී අත දිගේ රුධිරය යම් පමණක් ගලා යන්නට විය. ලේ සහිත අතින් ජංගම දුරකථනය ඔබන්නට උත්සහ කලද එය ව්‍යර්ථ විය.  මස්පිඬු හිරිවැටි ඇති බවක් දැනේ. මම පසුපස හැරෙමින් බැලුවද පේන මානයක කිසිවකු නොවිය.


මගේ වාසනාව තවමත් තිබේ. එක අතෙකින් පලායාමට හැකිවෙන පරිදි සැකසුමක් ලැබීමයි. අනෙක තුවාන් අයියාගේ ඩිස්පෙන්සරිය අසල වීමයි. අවාසනාවද එපමණටම තිබුනාද? තුවාන් එහි සිටියේ නැත! මා දුටුවනම ගල්ගැසී සිටි පිරිස මට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් නොවුනේ මෙය වෙඩිතැබීමක් නිසාවිය යුතුය.

"මේ අපේ සර්.. අනේ බුදු මහත්තයෝ මේ සර් හොද වැදගත් සර් කෙනෙක්.. ඉක්මනට මොනවහරි කරන්න අයියෝ...."

රියදුරා අතොරක් නැතිව කෑගසන්නට වුයෙන් එතන සිටි අනෙක් උදවියට වෙන විකල්පයක් තිබුනේ නැත. තුවාන්ගේ ඇඳුනුම්කම කියූ නිසාද , කවුරුන් හෝ ඔහු අමතා කියා තිබුණු බැවින් ඊළඟ පැය ඇතුලත තුවාන් පැමිණියේය. ඒ වනවිට රුධිරය  වහනය පාලනය කොට තිබුණු නමුත් මම සෑහෙන කායික දුර්වලතාවයකට ලක්ව තිබිණි.

"සර්ජරි එකක් කරන්න වෙයි මචන්"

"අවුලක් නැහැ.. අමුවෙන් හරි මහපන්.... හිරිවැටිලා මචන්"

"නර්ස්.. එහෙනම් සර්ජරි එකට ගන්න... ඉක්මනට... "

යුහුසුළුව කාර්ය මණ්ඩලය සැරසෙන්නට විය. මම තුවාන් අයියා වෙත බැල්මක් හෙලුවෙමි.

"බයවෙන්න එපා... බුලට් එක තියෙනවා නම්, එකෙන් බොන් එකක් ඩෑමේජ් වෙලා නම් තමයි කේස් එක. "

තුවාන් අයියා මා සනසන්නට මෙන් කියා තට්ටුවක් දැම්මේය.

"අනේ.. අයියා.. මට කෝල් එකක් අරගෙන දෙන්නකෝ... "

"බයවෙන්න එපා.. ඉඳපන් මම විරංගට කෝල් කරන්න...... "

ඒ සැනින් විරංග ඇමතු තුවාන් අයියා වහාම මෙහි එනලෙස ඔහුට පැවසිය. මම තවත් ඔහු දෙස බලාගෙන සිටියෙමි.

"මේ... තව කෝල් එකක්..."

තුවාන් අයියා මගේ දෙස බැලුවේ සිනාසෙමිනි.

"මම හිතන්නේ නැහැ උඹ දැන් ආන්ටිට හරි අන්කල්ට හරි කෝල් කරන්න හදනවා කියල... යාලුවෙක් විදියට නම් මම කියන්නේ, කියන්න එපා කියල..."

මම අපහසුවෙන් සිනාසුනෙමි. තුවාන් සිය රැවුල අතගාමින් මා දෙස සෝපහාස ලෙස සිනාසෙයි.

".... කවුද කෙල්ල? අර එදා ගෙනාපු කෙල්ලද?"

මට කියන්නට දෙයක් නැත.

"ඔව්.. මේ..."

"මට එදාම හිතුන... උඹ මැරෙන්න හදපු විදියට.... ආ.. ආ... ගනින් ගනින්..."

ඔහු සිය දුරකථනය පෑවේය. නමුත් මම මගේ දුරකථනය ඔහු ලවා අරවාගෙන එයින් ඇමතුම ගත්තේ නොදන්නා අංක වලින් එක ඇමතුම් මධුලිකා පිළිතුරු නොදෙන නිසාය.

"ගියාද?"

මදුලිකාගේ ලයාන්විත හඬ එපසින් ඇසුනි. මට එතෙක් දැනුනු ශාරීරික වේදනා නැතුව ගියාද?

"නෑ තාම මග... මේ....."

"මෙච්චර වෙලා?"

"පොඩි කරදරයක් උනා. මම හොදින් ඉන්නවා. ඔයා වටේ ගැන ඇහැ ගහගෙන ඉන්න මධු.... කවුරුහරි ෆලෝ කරපු  කෙනෙක් මට වෙඩි තිබ්බා... බයවෙන්න එපා මම හොඳින්... විරංග මග එනවා "

එපමණක් කියා මම ඇමතුම විසන්ධි කලෙමි.


**************************


විස්තරය ඇසු විරංග මදක් කල්පනාවට වැටුණි. වාහනය අසල පාරේ ඉඩක් ඇති තැනක නතරකල ඔහු එන්ජිම ක්‍රියා විරහිතකොට සුක්කානමට තට්ටු කරන්නට විය.

"උඹ ගෙදර යන්න එපා... පලයන් වත්තට"

මම විරංග දෙස විමසිල්ලෙන් බැලුවෙමි.

"බලමු ! "

"............."

"මට වෙඩි තිබ්බේ කවුද? මේ වෙලාවේ හැටියට මට හිතෙන්නෙම අපිට ස්ටුඩියෝ එකේ ඉඳලම ෆලෝ කරපු එකෙක් වෙන්න ඇති... එතන හිටියා මනුස්සයෙක්.... මට ඌ සැක හිතුනා ඒ වෙලාවේ.... "

"තාරුක මොනාද කිව්වේ?"

"ඌ කිව්වා හැංගිලා ඉන්න කියලා. මධුලිකාගේ මස්සිනාගේ වැඩක් කියලයි සැක. මට පොලිසියට යන්න බැහැ බන්...."

"හ්ම්ම්"

මම කල්පනාවට වැටුනෙමි. එකවරම ආ සිතුවිල්ලෙන් මම සුන්දර් වෙත දුරකතනයෙන් ඇමතුවෙමි.

"සුන්දර්.... අද තාත්තා ඇහුවොත් කියපන් මම ඔහේ ආවා කියලා. මම පොඩි ගමනක් යනවා. පුළුවන් උනොත් හෙට උදෙන්ම එන්නම්... හරිද?"

ඇමතුම විසන්දි කරද්දී විරංග මා දෙස සෘජු බැල්මක් හෙලාගෙන උන්නේය.

"... මාව දාපන් ෆ්ලැට් එකෙන්"

විරංග හිස දෙපසට වනන්නට විය.

"උඹ.... මට කියපන් මේ කෙල්ලට මොකද්ද කරන්න යන්නේ කියල?"

"ඇයි ?"

"මේ කතාව ආයෙමත් ඇදගන්න මම කැමති නැහැ... උඹ දන්නවනේ....? "

මට කලින් දින අපගේ කතාබහ සිහියට නැගුණි. මා විසින් මධුලිකාව රවටනු ලැබීම විරංග එකහෙලා විරෝධයෙන් සහ කෝපයෙන් යුතුව හෙළාදකි.

"උඹ... උඹ මධුලිකාට ලව්ද ?"

මම අමුවෙන්ම ඇසුවෙමි. අඩ අඳුරේ වුවද ඔහුගේ ඒ මුහුණේ මස්පිඬු නටනු මට පෙනුනි. පිළිතුර ප්‍රමාදය. මම උරමාව සහිත අතට වාරුවන්නට උත්සහ කලද වේදනාව නිසා එලෙස කරගත නොහැකි විය. වාසනාවට උණ්ඩය අස්ථියේ වැදී , එය නොබිඳී හැරී ගොස් අස්ථි කිසිවකට හානියක් කර තිබුනේ නැති වුවත් වේදනාව අතිමහත්ය.

විරංගට ඉබේම මා දෙස බැලුණි. ඒ ඇස්වල ලොකු වෙනසක් මට පෙනුනි.

"මචන්.."

"මට තේරෙනවා මචන්"

මගේ අවසරයකින් තොරව විරංග මගේ දකුණු උරහිස බදාගත්තේය.

"මට සමාවෙයන් බන්.... මට තේරෙන්නේ නැහැ... මට සමාවෙයන් බන්... උඹ... උඹ ඒ කෙල්ල එක්ක සෙල්ලම් කරන්න එපා බන්.. මට ෆුල් අවුල්"

මම නිහඬව සිටියේ උරහිසේ වේදනාව ඉවසාගන්නට හැකි පමණටය.

"...... ඒක ටිකක් කම්ප්ලිකේටඩ් මචන්.... ඒකි උඹෙන් උදව් ඉල්ලුවේ අසරණ වෙච්ච නිසා... පව් බන් ඒ කෙල්ල..."

සර්වාංගයම ගැහෙනවාසේ මට දැනුනි. බාහුවෙන් පටන්ගත් හිරිවැටීමක් හිස දක්වාම ගමන්කොට හිස් මුදුනින් පිටව යන්නාසේය.

"මට උඹත් එක්ක කතාකරන්න ඕනේ... සිරාවට!"

මම ස්ථිරසාරව පැවසුවෙමි. විරංග මද වෙලාවකින් සන්සුන්ව ගොස් කල්පනාවට වැටුනේය. මම වාහනයේ ඉදිරිපස ඇති කුඩා බල්බය දැල්වූයේ විරංග ගේ මුහුණ හොඳට නිරීක්ෂණය කලයුතු බැවිනි.

"..... එදා.... චාපා ආපු දවසේ මොකද උනේ?"

විරංග කල්පනා කළේය.

"මුකුත් නැහැ... මධුව බේරගන්න කරන්න තිබ්බේ ඒකනේ.."

මධුලිකාගේ කාමරයට ඔහු යාම ගැන මගේ හිත වඩාත්ම කැළඹුණු බව ඉවෙන් දැනගත් විරංග කිවේය.

"වහෙන් ඔරෝ නෙවෙයි මචන් මට කෙලින්ම කියපන්.. උඹ ඒකිගේ අතින්වත් ඇල්ලුවද?"

විරංග එකවරම පිළිතුරක් දුන්නේ නැත.

".... මධු මොනවද මම ගැන ඇහුවේ? උඹ මොනවද මධුට කිව්වේ?"

විරංග සමඟ මම මෙවන් ස්වරයකින් මිට පෙර කතාකර නැත්තෙමි. එබැවින් ප්‍රශ්නයේ අවසාන කොටස මම සැර බාල කලෙමි.


"එහෙම එකක් නැහැ බන්... උඹ ගැන මම මධුට වරදක් කියල නැහැ. ඒකිත් මගෙන් එහෙම විස්තරයක් අහලා නැහැ. එදා මම එවෙලේම අර වැඩකාර ගෑනි ගේන්න පිටත් උනා. මට තේරුනා සීන් එක.."

"මොකද්ද?"

"මධු උඹට ලව් කියල.... "

හිස වටා සමනලයින් පියාඹනවා සේ දැනුනි. 'මොකක්?'

".... මම ඒක උඹට නොකිව්ව එක ගැන මුකුත් හිතන්න එපා මචන්... මට හිතුනා.. උඹ කෙල්ලව නාස්ති කරයි කියල"

එය නම් එල්ලය බලා යොමුකළ පිහි පහරක් විය. විරංග පවසන්නේ සත්‍යකි. ඔහු අත වරදක් නැත. වරද ඇත්තේ මගේ අතෙහිය. මගේ හිස බිමට නැමෙන්නට ඇති.

"ඔව්.... උඹ වැරදි නැහැ බන්.... මට තේරෙනවා. උඹ කියන්නේ කෙල්ල උඹ ගැන අදහසක් තිබ්බේ නැහැමයි කියලද?"

විරංග ඈත බලාගත්තේය.

"නැහැ.... මම හිතන්නේ නැහැ..."

"......................"

"උඹ හිටියේ ඉරිසියාවෙන් කියලා මට තේරුනේ පස්සේ"

"හ්ම්ම්..."

මට තනිවම සිනාවක් නැගුණි. විරංග මගේ දකුණු උරහිසට තට්ටුවක් දැම්මේය.

"උඹට සිරාවට ආදරේ දැනුනා මට හිතෙන්නේ. සි-රා-වටම?"

"වෙන්න ඇති මචං... දන්නේ නැහැ..."

සිනාසීමට උත්සහ කරමින් මම කීවෙමි. හිත පුපුරා යන්නට ආසන්නය. නමුත් ගතවූ හැම මොහොතක් පාසාම විරංග වෙත මධුලිකා දක්වනලද සුහදබව ඉවසාගත නොහැකි, අන්ත මෝඩයෙක් තරමට මම පහලට වැටි සිටියෙමි.

"මධූ මාව මැරි කලේ එයාට වෙන පිහිටක් නැති නිසා. ඒ හින්දා මුලින්ම මම කෙල්ලව බේරගන්න ඕනේ මේ ගේම් එකෙන්"

"උඹ කියන්නේ..."

"සමහර වෙලාවට එයාගේ හිත වෙනස් උනොත්.... "

විරංග වාහනයේ දොර හැරගෙන බිමට බැස්සේය. ඔහු මට පිටුපා අඳුර දෙස සිය දෑත් බැඳ බලා සිටින්නට විය. ඔහුගේ සාක්කුවේ තිබී හෝ අන් කවර විදියකින් හෝ බරැති කූරක් වැනි යමක් ආසනය මත තිබෙනු අඩ අඳුරේ මට පෙනුනි. පාරේ ගමන්කළ වාහනයකින් ආ එළියකින් මට එය කුමක්දැයි එකවර දර්ශනය වෙද්දී මම ගල්ගැසී ගියෙමි.



එය 'ජාවා මොහාරිස්' සුරුට්ටුවකි!


********** මතු සම්බන්ධයි ***********

Sunday, March 31, 2019

211. සුහදිනියේ - 15 | විරංග නැවත එයි ; මධුලිකා කුමක් කරයිද?


 කලින් කොටසට 



මගේ පසින් තාරුක අයියාත්, මධුලිකාගේ පසින් නිමන්ති විසින් ගෙන ආ ඇගේ පුංචි අම්මාත් අත්සන්කොට එක්දින විශේෂ අවසරයක් යටතේ මමත් මධුලිකාත් විවාහ වූයෙමු.


මධුලිකා ඇගේ උපන්දිනය දින ඇඳගෙන උන් ගවුමත්, මම මා සතුව තිබුණු සුදුපාට ලිනන් කමිසයට ගැලපෙන ක්‍රිම්පාට කලිසමත් පමණක් හැඳ උන්නෙමු. කිසිදු විශේෂත්වයක් තිබුනේ නැත. නමුත් තැතිගැන්ම ඇරඹුණේ ඉන් පසුවය.

"අඩෝ... කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ඉඳල කෙහෙල් ගහටවත් කෙටුවද?"

සියල්ල අවසාන වනතුරු සිට , තාරුක අයියා බැරෑරුම් මුහුණක් දමාගෙන මට සමච්චල් කරන්නට වුනේ කිසිවෙකුට නොදැනෙන්නටය.

"උඹ කියපු ගමන්ම කැමති උනාද?"

"මම කිව්වා උඹ ඇම කාලා ඉන්නේ... නාස් ලණුව දාගන්න කියල.. මම කිව්වේ..! උඹ මොකක් හරි එකක් පටලවගන්නවා කියල"

"අඩෝ.. උඹ දැන් මට එහෙම කියන්නේ...."

"පිස්සු යකෝ.... මම විහිලුවට කියන්නේ.. බයවෙන්න එපා. මොකක් උනත් කෙල්ල නම් නියමයි. ඒමදිවට කෝටිපති කෙල්ලෙක්, උඹ ගොඩ !"

Tuesday, March 26, 2019

210. සුහදිනියේ - 14 | සොරකමක් ; ක්ෂණික තීරණයක්, මධුලිකා කබලෙන් ලිපට වැටෙයිද?

කලින් කොටසට 



නිමන්ති යොදාගෙන කන්‍යාරාමයේ තිබුණු මධුලිකාගේ ලියකියවිලිවල මුල් පිටපත් ගැනීම ව්‍යර්ථ වුයේ, ඒ වනවිටත් කිසිවකු විසින් ඒවා රැගෙන ගොස් තිබුණු නිසාය. අප ප්‍රමාද වූ පැය දොළහ ඇතුලත , ඒවා ගෙනගියේ කවුරුන්ද කියා හෝ කිසිම තොරතුරක් ලබාදෙන්නට නිමන්ති විසින් ලබාදුන් ලියකියවිලි බාරගත් කන්‍යා සොයුරිය එකඟ උනේ නැහැ. අඩු තරමේ ගෙනගිය කිසිවෙකුගේ හැඩහුරුකමක් පවා සඳහන් නොකලෙන් අප දෙදෙනා මහත් අසරණ උනා. ඒවා ගත්තේ වාසුලද? එසේ වුවා නම් තත්වය දරුණු විය හැකිය. ඔවුන්ට ව්‍යාජ ලියකියවිලි හදාගන්නට අවැසි සියල්ලම එහි තිබේ.

මධුලිකාගේ එවැනි ලියකියවිලිවල සහතිකලත් පිටපතක් හෝ ඇත්තේ පාසලේ පමණි. ඒවා සොරකම් කිරීමක් හැර වෙනත් විකල්පයක් තිබ්බේ නැත. එදිනම රාත්‍රියේ එම ගමන යන්නට මම නිමන්ති කැමතිකරවාගන්නට මධුලිකා මුනගස්වන්නට පොරොන්දු වන්නට සිදුවිය.

සවස හය පසුවී විනාඩි හතලිහට පමණ වේලාවකදී, මමත් නිමන්තිත් අප පාසලේ ඊසානදිග තාප්ප කොනේ හොරගල් අහුලමින් උන්නෙමු. තාප්පයේ ඇතුලතින් මුරකුටියේ නිදන්නේ ගෝමස් බව දන්නේ කොල්ලන් පමණි. ඒ ; සියලු පිරිමි ළමයින්ගේ හොර ගමන් වලට දොරටුව ඇරෙන්නේ එතැනින් බැවිනි.

තාප්පයේ ඉහළින් සවිමත් කඹය දමා, අනෙක් කොන ජීප් රථයේ ඉදිරිපස ගැටගැසූ මම, කඹයේ සවිමත් බව පිරික්සා සාක්කුවෙන් විදුලිපන්දම ගෙන මුව පසෙකින් සිරකරගතිමි.

"අනේ උසයි... නගින්න බෑ!"

Monday, March 25, 2019

209. සුහදිනියේ - 13 | සැකකටයුතු අයෙක්



කලින් කොටසට 

එදින සතියේ දවසක් බැවින් මල්ලි සුපුරුදු පරිදි පාසල් ගොස් සිටියා. එබැවින් ඔහු ආරක්ෂිතව පැමිණීම එතරම්ම ගැටළුවක් උනේ නැහැ.

අම්මාගේ පැමිණීමත් සමඟම මට තිබුණු පියාපත් කපාදමුවා වගෙයි. උදෑසන සිට මධුලිකා අමතන්නට ඉස්පාසුවක් නැතිවුයේ පියා සමඟ ගමන් කිහිපයකම නිරතවන්නට සිදුවූ නිසාය. ඔහු නොමැති දිනවලදී මම ගත් සමහර තීරණ ගැන ඔහු තුල යම් ප්‍රසාදයක් ඇතිවී ඇති බව මට ඉවෙන් මෙන් වැටහුණි.



"ලොකූ කැමති නැද්ද මගෙත් එක්ක මෙහෙම්මම වැඩ කරන්න? "

"..............."

"නැතිනම් මම වැඩියෙන් කැමතියි ඔයා එංගලන්තේ ගිහින් ඔයාගේ අධ්‍යාපන කටයුතු  එහෙම ඉවරකරගන්නවට"

දහවල් ආහාරයට නිවසට ආ පියා එලෙස කිව්වේ මමත්, අම්මාත් දෙදෙනාම එකිනෙකාගේ මුහුණු බලාගනිද්දී. මම කිසිවක් නොකියා 'බලමු' යයි පවසා හීන්සීරුවේ උඩුමහළට ගියා.

"ඔව් සෙනේ... මමත් කැමතියි පුතාව බිස්නස් වලට ගන්නවට. 'පොඩි' ඒවාට ආසා උනාට සෙල්ලක්කාර වැඩියි. "

අම්මා පහත් හඬින් කියූ දේ මගේ කන වැකුණේ අහම්බෙන් වගේ. අම්මා කොහොමත් මට වැඩිපුර ආදරේ බව මට දන්නා කාරණයක්. තවත් මොනවාදෝ පියා කියනවා ඇහුනත් එය පැහැදිලි නැහැ. මම සිටියේ කොයි මොහොතේ ගෙදරින් පැනගන්න අවස්තාවක් ලැබේදෝ යයි සිතමින්. තාරුක අයියා සමඟ සෑහෙන දේවල් සාකච්ජා කරන්නට තිබෙනවා.

මේ සියල්ලම අතර විරංග සම්බන්ධ කරගත නොහැකිවීම මා සෑහෙන මානසික පීඩාවකට ලක්කර තිබුනේ, ඔහුට අනතුරක්දෝ යයි සිත කියූ නිසයි. ඒ සියල්ලටම වඩා මධුලිකා දකින්නට ඇති ආශාව දැඩිව දැනෙන්නට උනා. ඊයේ රාත්‍රියේ අප අතරේ සිදුවූ කතාබහක් නොමැති තරම්.

Wednesday, March 20, 2019

208. සුහදිනියේ - 12 | වසන් කරන්නේ මොනවාද ?


කලින් කොටසට 

තාරුක අය්යායෙන් ලැබුණු තොරතුරු අහපු ගමන් මටත් විරංගටත් වැටහුනා අපි තාමත් ඉන්නේ පඹ ගාලක කියලා.

දැනගත්ත දේවල් වලට අනුව නම්, මධුලිකාට ලොකු දේපලක් එයාගේ දෙමවුපියන්ගේ උරුමයෙන් ලැබිලා තියෙනවා. පවුලේ එකම කෙනා වෙච්ච ඇගේ අම්මාත්; අම්මාගේ අම්මාත් යන මේ සියල්ලෝම මිය යන්නට කලින් ඒවා ඈ වෙත පවරලා තියෙනවා.

නමුත් මේ කිසි කතාවකදී ආයෙමත් 'ස්ටීව්' කියා අයෙකු ගැන සඳහනක් තිබ්බේ නැහැ. ඒ වගේම මධුලිකා ඇගේ පියා ගැන තාමත් සඳහනක් කලෙත් නැහැ. ඒ ගැන රහස තිබ්බේ මමත් තාරුක අයියාත් යන දෙන්නා අතරේ විතරයි. මොකද්දෝ හේතුවකට මම ඒක ඒ මොහොතේ විරංගට නොකියා හිටියා. බොරුවක් කිව්වේ නැහැ ; නොකියා හිටියා ඇරෙන්න.

කොහොම උනත් මේ සියල්ලම විසින් මාව තව තවත් මධුලිකා සුරක්ෂිත කිරීමටම යොමු කරන්නට සිද්ද උනා. නොනවත්වාම ඇමතුම් ලබාදෙමින් චාපා මගේ හිසේ ඇම්මක් දක්වාම කරදරයක් වෙලා තිබුන නිසා ඇගෙන් පැමිණි අවසාන ඇමතුමට මම පිළිතුරු දුන්නේ තනිකරම බොරු වලින්මයි.

"උඹ චාපා ඩම්ප් කරන්නද හදන්නේ?"

Monday, March 18, 2019

207. සුහදිනියේ - 11 | අළුත් වෙනසක් ?





කලින් කොටසට 

මට වෙන විකල්පයක් තිබ්බේ නැහැ. රෑ උන ගමන් ක්‍රියාත්මක වෙච්ච මම, පොඩි පහේ අරගලයකින් පස්සේ මධුලිකාව ෆ්ලැට් එකට අරගෙන ගියා.

ෆ්ලැට් එක කාමර තුනක් තියෙන හුරුබුහුටි තැනක්. මධුලිකාට දීලා තිබ්බේ මධ්‍යම ප්‍රමාණයේ කාමරේ. එතන කවුළු සියල්ලම තිබ්බේ ඇතුල් පැත්තට නිසා මධුලිකාව බැල්කනියෙන් පාරේ යන කෙනෙක්ට පෙනන්නට තියෙන අවස්ථාව අඩුයි.

මුලින්ම ලොකුවට විරෝධතාවය දැක්වුවත් අපි කියපු විස්තර අහපු මධුලිකා මගේ කීම අහලා ඒ තීරණේට කැමති උනේ ; මගේ කාමරේ අස්සේ ඉන්න එක එතරම්ම හොඳ නැති නිසා වෙන්නත් පුළුවන්.

ජීප් එක අඳුනන නිසාත් ; ෆ්ලැට් එකේ සෙකියුරිටි එක්ක මම යාලු නිසාත් වඩාත් ආරක්‍ෂිත විදියට වැඩේ කරගන්න පුළුවන් උනා. ඒත් අපිට වැරදුනු එක තැනක් තිබ්බා.

ඒ තමයි ; මධුලිකාගේ තනියට මෙතන තියන්නේ කවුද කියලා නොහිතපු එක!

Wednesday, March 13, 2019

206. අමල්බිසෝ || sailing





දළ රල පෙළ මැදින
ඔබ හසුරවයි ඔරුව,
පෙරලෙන්න නොදෙන වග
උදා ඉර ලෙස නිසැක..
සගයින්ට නැත ඉඩක්
වන්ට කිසි බිය කරුණ,
උන්ට ඇත සෙල්මුවා
රැකවරණ....

ලපටි පොඩි උන් එක්ක
වහල ඉගිලෙන පැලක,
කන්ට පිරියක් නැතත්
බැත උයා පිරිමසමි...

හසුවේද රනින් කල
මසෙක් - මා නැති දොහට?
රන් පොරව පිරික්සුම
නිසැක දිනනා උඹට,
මවාවිද කාසිපොදි ,
දෙවියන්ට හිතු ලෙසට ?

ගින්දරයි
මගේ පපුව!

මාළු ඇඹුලෙන් හදා
සම්බෝල ඔතාදෙමි,
ඒ උනත් මම උඹට...



~~මන්ජි

Monday, March 11, 2019

205. අළු මත මල් | recover




දළඹුවකු විලසින
නේක කපුටන්
- තුඩට හසුවී
ඇනී ; ගැළුවාය රුධිරය...

කෝෂක සුරැකිව
වෙළුමෙන් ඔසුව - ලදිනි - ඈ
සරන්නේ
නෙක පාට පියාපත් විදාගෙන!

~~~මන්ජි


ප.ලි:
අපි ජිවත් වෙන්නේ ළමා දිනයේදී බවුන්සර් දාගෙන පාටි දාන, අනිත් දවස් වලට කිරි දත් පෙන්න පෙන්නා , වැඩිහිටි සින්දු කියනකොට SMS ගහලා ඒ ළමයින්ගේ ළමා කාලය කෙලෙසන සමාජයක. සමාජයක සුරක්ෂිතභාවය පෙන්වන සාධක වලින් එකක් තමයි ඒ සමාජය තුල ගැහැණුන්ට සහ දරුවන්ට ඇති සුරක්ෂිතභාවය කියන කාරණාව. මම හිතන්නේ ලාංකික සමාජයේ ඒ කාරණාව දරුණු අන්දමින් පහලට වැටීගෙන යනවා කියන එක. එක පැත්තකින් බාලවයස්කාර මිනීමරුවන් සහ එවන් තත්වයකට පත්වෙච්ච දරුවෙක්ට සමාජය විසින් දක්වන අධි ප්‍රතිරෝධය හමුවේ ; කවදාවත් හැදෙන්න බැරි තත්වයට වැටෙන ගැහැනුන් සහ දරුවන්ගෙන් මේ සමාජය පිරිලා.

එහෙමත් කෙනෙක් තමයි අළු අතරින් නැගිටලා එන්නේ. ඒකත් මනුසත්බව ලබනවා වගේ දුර්ලභ කාරණාවක්. සමහර වෙලාවට අහම්බයක් වෙලා.

අහන්නත් දෙයක්ද, මිනිස්සු කවුරුත් දැන් මිරකල්ස් විශ්වාස කරන්නේ නැහැ !


Wednesday, March 6, 2019

204. ඇලෙනසුළු || sticky





පෙළන තරමට
 - තමයි
පාන් ගෙඩියක් රස!

කිම ඔරවන්නෙ මට??



Sunday, March 3, 2019

203. සුහදිනියේ - 10 | අලුත් හෝඩුවාවක්

කලින් කොටසට 



ඔතරම් බය උනාට වත්තෙන් පණිවිඩයක් මිසක් වෙන කරදරයක් නැතුව ඉතුරු විනාඩි තිහ ගෙවෙනකොට මල්ලි ඇතුළු කට්ටිය ගෙදරට සේන්දු වෙනවා ඇහුනා. ඩඩා ගෙදර නැති එකෙන් මට තිබ්බ වාසියට වඩා පාඩුව දැනුනේ වත්තේ ඔෆිස් එකෙන් එන අනේක විධ ගැටළු මැද්දට අහු උනාමයි.

දවල් කෑම එක හොඳටම තිබ්බේ බියර් එකක් ආපු නිසාද නැතිනම් මගේ කාමරේ කෙල්ලෙක් ; මගේ හිත ගත්ත කෙල්ලෙක්; ඉන්න නිසාද කියලා මට වෙන්කරලා කියන්න අමාරුයි.

ඉරිදා දවසක් නිසා මල්ලි එලියට දාගන්න විදියක් නැතුව මම කල්පනා කලේ එකම තට්ටුවේ ; එකිනෙකට මුහුණලා තිබ්බ කාමර දෙකක ඉඳගෙන කෙල්ලෙක් හංගගෙන ඉන්න එක එතරම් ලේසි නැති නිසා.

විසඳගන්න තිබ්බ ප්‍රශ්න වලින් මුල්ම එක උනේ මධුලිකාගේ ප්‍රශ්නය පටන් ගන්නේ කොහෙන්ද කියන එක. කරන්න තිබ්බ වැඩ වලින් මුලින්ම තිබ්බේ මගේ දුරබනුව හොයාගන්න එක. ඔක්කොටම වඩා මට කරගන්නම බැරුව තිබ්බේ මධුලිකාව කාමරේ දාලා මේ එක වැඩකට හරි එලියට යන එක. එක පැත්තකින් අපිව අහුවෙයි කියන බය, අනික් පැත්තෙන් මධුලිකාව ගෙදර උන්ට අහුවෙයි කියන බය.

කාමරේ තිබ්බ සෝපාවේ වැටිලා ඉන්න මධුලිකාට එක විදියකට ඉන්න බැරුව දඟලනකොට මමත් පොඩ්ඩක් උදව් කරන්න ආවත් කෙල්ල නෙවෙයි ඒකට ඉඩ දුන්නේ. සමහර වෙලාවට චාපා එක්ක ඊයේ වෙච්ච දේ ගැන තාමත් හිතේ තියාගෙන ඉන්නවද දන්නෙත් නැහැ. මොකද්දෝ හේතුවකට මට පොඩියට වගේ ලැජ්ජාවක් දැනුනා තමයි. වඩාත්ම එහෙම වෙන්න ඇත්තේ මේ කෙල්ලගේ තිබ්බ ඒ අමුතු ආඩම්බරකමට ; දරදඬුකමට නොනැමෙන මගේ හිතේ වෙන්න ඇති.


වරින් වර කෙරුණු කතාබහෙන් මම සිද්ධියේ දළ සැකිල්ලක් ගහගත්තා. මම අනුමාන කරන විදියට මධුලිකාට අවුරුදු 18 වනවිට කලයුතු; කල හැකි හෝ උරුමයක් තිබෙන දෙයක් ගැන උනන්දුවෙන කෙනෙක් විසින් තමයි ඈව පැහැරගන්න ඇත්තේ. කවුරු නමුත් ඒ පුද්ගලයා මධුලිකාගේ ඒ සම්බන්ධය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එක්කෝ නීතිය දන්නා; නමුත් හොඳින් හෝ නරකින් ඉටුකරගන්න යමක් තියෙන කෙනෙක් වෙන්න ඇති.

Sunday, February 24, 2019

202. සුහදිනියේ - 09 | මධුලිකා පැහැරගත්තේ කුමක් සඳහාද?

කලින් කොටසට 



මම ඔරවලා විරංගයා දිහා බැලුවා.

"මොකද උඹ ඔරවන්නේ? මම කිව්වේ ඇත්ත"

"ඒ මොකක් උනත් ; මධුලිකාව ආවට ගියාට එහෙම ඇරලවන්න බෑ"

"ගොනෝ... ගොන් මීමෝ! මේ ගේ අස්සේ උඹ හිතන්නේ උඹට ඒකිව හංගගෙන ඉන්නෙක අර හින්දි ෆිල්ම් එකක් වගේ එකක් කියලද? අල්ලපු කාමරේ මල්ලි; ඒ අස්සේ අර මැණිකා.... ඔක්කොටම වඩා උඹේ අම්මා."

ඌ කියන එක ඇත්ත. ඒ මොකක් උනත් මට මධුලිකාව 'කොහෙටහරි' ගෙනියන්න කියන්න හිතක් නැහැ. අනිත් එක අපි තුන්දෙනාට එකට ගමනක් යන්න එලියට බහින එකත් මේ වෙලාවේ හැටියට අවදානමක්.

"අපි ලෝයර්ට කතාකරන්න ඕනේ! කෝ දියන් උඹේ ෆෝන් එක"

විරංග උඩ සාක්කුවෙන් දුරබනුව ගන්න ගමන් එකපාරටම ඇහිබැම ඇකිළුවා.

"කෝ උඹේ ෆෝන් එක?"

මම සද්දයක් නැතුව ඔහුගේ අතින් ඉක්මනින් දුරබනුව උදුරලා අරගෙන lock එක ඇරලා; නම් පතේ තිබ්බ දුරකථන අංකය එකින් එක ඔබන්න ගත්තේ අවධානයක් දෙන්නම නැතුවයි. අපි වාඩිවෙලා හිටියේ බැල්කනියේ තිබ්බ පොඩි මිදුලේ. එතන වාඩි උනේ හොඳට අවට පේන නිසාමයි. වෙලාව නම් දවල් දොළහටත් ළඟයි.

".... මට කියන්න එපා උඹ ඒක අර ජේමිස් බණ්ඩා වැඩේ කරන්න ගියපු තැනක හලලා ආවා කියල..."

Thursday, February 7, 2019

201. සුහදිනියේ - 08 | තොරතුරු එකින් එක එළියට

කලින් කොටසට 

සෑහෙන මහන්සියකින් පස්සේ කෙල්ලගේ කඳුළු ගංගාව පොඩ්ඩක් විතර නතර කරගන්න පුළුවන් උනා. ඔක්කොමත් හරි මේ ටැප් එක ඇරිල්ලත් හරි!

වෙලාවේ හැටියට කරන්න තිබ්බ හොඳම දේ තමයි මම කලේ. මධුලිකාට යන්න දෙන්න විදියක් නැහැ මේ තුවාලත් එක්ක. අනිත් එක ඇත්තටම කියනවා නම් ඇත්තටම මොකද උනේ කියලා තාමත් මමත් විරංගත් දන්නෙත් නැහැ. එහෙමයි කියලා තුවාල වෙලා, අලකලංචි වෙලා වෙහෙස වෙලා හිටපු මධුලිකා තවත් වෙහසවන්න ඕනේ කලේ නැහැ මට. ඒ නිසා එයාට මගේ ඇඳේ නිදාගන්න ඉඩ දීලා මම විරංගත් එක්ක එහා කාමරේට ගියා.

මොකද කියනවා නම් ඒ වෙනකොට මගේ පොඩ්ඩක් විතර පටි රෝල් වෙලා තිබ්බ නිසා.

පාන්දර වෙනකල්ම මට නින්ද ගියේ නැහැ. එක පැත්තකින් මම කරපු ගලවාගැනීමේ මෙහෙයුම මොන පැත්තට කැරකෙයිද කියලා හිතාගන්න බැරි නිසා. අනිත් එක තමයි මේ කෙල්ලට මම හිතා හෝ නොහිතා දීපු වද මතක් වෙනකොට කවදාවත් නැති පසුතැවිල්ලක් එනවා. ඒ ඔක්කොටම වඩා මේ කෙල්ලට ඇත්තටම මොකද උනේ කියලා තියෙන කුතුහලය.

ඔලුව ඇතුලේ එක එක මනෝ විකාර හිතමින් ඉඳලා නින්ද ගියේ පාන්දර දෙක තුන වගේ වෙනකොට මම හිතන්නේ.

උඩ ගිහිල්ලා ඇහැරුනේ කවුරුහරි දොරට ගහන සද්දෙකට. විරංග මටත් කලින් දොර ගාවට ගිහින් මගේ මුණ දිහා බැලුවා. මටත් කියන්න දෙයක් නැහැ.

"බේබි........ ලොකු බේබි..... තේ ගෙනාවා..."

Wednesday, February 6, 2019

200. සුහදිනියේ - 07 | මධුලිකා පැනයාමට තැත්කරයි

කලින් කොටසට 

 බේගල් හැටකෝටියක් ඇදබාන්න බලාගෙන හිටියත් ඒ මොකවත් නැතුව මධුලිකාව දැක්ක ගමන් තුවාන්ගේ අයියා ඕනේ වැඩටික කරලා දුන්නා. කකුලේ වළලුකරේ තරමක පිපිරුමක් නිසා වේදනාවට කෙල්ල බෙරිහන් දෙනවා ; ආයෙත් ජබර කලන්තේ. මාරම වැඩේ කියන්නේ ඒක දැකලා මගේ ඇඟේ අමාරුව ඔන්න ඔහේ තියෙද්දී තුවාල වලටවත් බෙහෙත් නොදා එන්නේ තව ටිකෙන්.

බෙහෙත් දාල වෙළුම් පටි දාල ඉවර වෙනකොට මාව ඇවිදින මමියක් වගේ උනත් ඇඟට පොඩි සහනයක් ආවා. ඩිස්පැන්සරියෙන් එලියට බැස්සාම තමයි වෙලාව බැලුවේ. ඒ වෙනකොට වෙලාව රෑ දහයත් පහුවෙලා! මධුලිකාවත් කාර් එකේ දාගෙන මමත් විරන්ගයත් හෙමින් හෙමින් ගේ ළඟට එනකොට අපි දෙන්නා කතාවෙලා හිටියේ ඊළඟ පියවර මොකද කරන්නේ කියලා.

මේ වෙලාවට විජේදාස පිටිපස්සේ ගේට්ටුව යන්තම් වහලා ඉස්සරහ මුරකුටියට යනවා අනිත් ගේට්ටු චෙක් කරන ගමන්. ඒ අනුව මම කලේ පිටිපස්සේ පොඩි ගේට්ටුවෙන් ඇතුලට විරංග තල්ලු කරලා ඇතුලෙන් ඇරව ගන්න එක. මේක ඉතින් මම ක්ලබ් ගියාම, ඕනෙම හොර ගමනක් ගියාම කරන වැඩක් නිසා මට ගලේ කෙටුවා වගේ විස්වාසයි.



හෙමින් වාහනේ ඇතුලට දාලා ගේට්ටුව වගගත්තම ඊළඟ අභියෝගය තමයි මධුලිකාව උඩට අරගෙන යන එක. වෙනදට නම් බැල්කනියේ මම හොරාට දාලා තියෙන ලණුවෙන් උඩට නගින එක තමයි. ඒත් මේ හරහට ඉන්න කලන්තේ ෆැක්ටේරියක් එක්ක කොහොමද ඒ සර්කස් දාන්නේ?
ඔත්තු බලන්න විරංග යවලා මම කලේ බැල්කනියේ පහල ගේට්ටුවෙන් උඩට යන ගමන් ගේ ඇතුලේ තත්වය බලාගත්ත එකයි. ලකුණු අනුව නම් අම්මා නින්දට ගිහින් කුස්සි අම්මා නම් ඇහැරගෙන වගේ.

ආයෙමත් විනාඩි පහක් විතර සද්දයක් නැතුව ඉන්නකොට බැල්කනියේ පහල ගේට්ටුව ගාවින් අඩි සද්දයක් ඇහුනා. ඒ නම් විරංගයා වෙන්න බැහැ.

ඉවරයි!

Tuesday, February 5, 2019

199. පරණ පෙම්වතියට ලියමි... | over and out






කරුණාවන්ත මිනිස්දුවණිය

අඳේ ඉවරව බෝම කල්වෙයි !
පුරන්වූ ඒ බිම්කඩ
සින්නක්කර අයිති මටමයි!
ඇති දෙයක් වවාගෙන,
දෙන දේක වෙන දෙයක් බලාගෙන
ඉන්ට හැකිනම් හොඳයි!

බෝම පිං අයිතිවෙයි,
කුරුළු කොටහත් ඉවරයි...
නුඹට නම්
කොහොමත්ම තහංචියි...



~~~ මන්ජි 
Related Posts Plugin for WordPress, Blogger...