Monday, March 18, 2019

207. සුහදිනියේ - 11 | අළුත් වෙනසක් ?





කලින් කොටසට 

මට වෙන විකල්පයක් තිබ්බේ නැහැ. රෑ උන ගමන් ක්‍රියාත්මක වෙච්ච මම, පොඩි පහේ අරගලයකින් පස්සේ මධුලිකාව ෆ්ලැට් එකට අරගෙන ගියා.

ෆ්ලැට් එක කාමර තුනක් තියෙන හුරුබුහුටි තැනක්. ලොකු කාමරේ කොහොමත් මගේ බඩු තිබුන නිසා, ඊට එකෙලාම විරුද්ධව තිබ්බ මධ්‍යම ප්‍රමාණයේ කාමරේ මධුලිකාට ලෑස්ති කළා. අනිත් කාමරේ තිබ්බේ මගේ එක එක බඩු විතරයි. මධුලිකාට දීපු කාමරේ කවුළු සියල්ලම තිබ්බේ ඇතුල් පැත්තට නිසා මධුලිකාව බැල්කනියෙන් පාරේ යන කෙනෙක්ට පෙනන්නට තියෙන අවස්ථාව අඩුයි.

මුලින්ම ලොකුවට විරෝධතාවය දැක්වුවත් අපි කියපු විස්තර අහපු මධුලිකා මගේ කීම අහලා ඒ තීරණේට කැමති උනේ ; මගේ කාමරේ අස්සේ ඉන්න එක එතරම්ම හොඳ නැති බව තේරිලා වෙන්න ඇති.

ජීප් එක අඳුනන නිසාත් ; ෆ්ලැට් එකේ සෙකියුරිටි එක්ක මම යාලු නිසාත් වඩාත් ආරක්‍ෂිත විදියට වැඩේ කරගන්න පුළුවන් උනා. ඒත් අපිට වැරදුනු එක තැනක් තිබ්බා.

ඒ තමයි ; මධුලිකාගේ තනියට මෙතන තියන්නේ කවුද කියලා නොහිතපු එක!



එනගමන්ම මම වීල් චෙයාර් එකක් ගෙනත් දීලා , ජබර කලන්තේ නැතුව ගියපු නිසා මධුලිකා තනියෙන් ඉන්න හැදුවට මගේ හිතට හරි මදි. වෙලාවේ හැටියට නිමන්ති ගාවගන්න මධුලිකා අකමැති උනේ ඇයිද කියන්න මට තේරුනේ නැහැ.

"මධු..."

විරංග උන්ගේ ගෙදරට කෝල් කරන අතරේ මම සාලේ හිටපු මධුලිකා ගාවට ගිහින් හෙමින් කතාකලා. මධුලිකා චුට්ටක් ගැස්සිලා වගේ මගේ දිහා බලලා, බිම බලාගත්තා. තැන අලුත් නිසා පොඩි ගැස්මක් තියෙන්න ඇති. කෙල්ල කොහොමත් ලැජ්ජාවෙන් හිටියේ මම ඇඳුම් ටික අතට දුන්න වෙලේ ඉඳන්.

"... මට ඔයා නොකියපු දෙයක් තියෙනවද?"

ගැස්සිලා වගේ මගේ දිහා බලපු මධුලිකාගේ ඇස්වල ලොකු බයක් වගේ තිබ්බා.

"..... ඔයාට මට කියන්න බැරි දෙයක් එක්කෝ විරංගට වත්.. එක්කෝ නිමන්තිට වත් කියන්න..."

"පොලිසියට යන්න එපා!"

මධුලිකා එවර නම් කිව්වේ ස්ථිරසාරව වගේ. මම මධුලිකා වාඩිවෙලා හිටපු සෝපාවේ , එයාට ළඟම තිබ්බ පුටුවේ ටිකක් ඈතින් වාඩිඋනා.

"ඇයි ? එහෙම කියන්නේ ඇයි ?"

කෙල්ලට ඇඩෙන්න වගේ ආවත් ටිකකින් හිත හදාගෙන වගේ කතාකලා.

"... මට සැකයි.... මට සැකයි.. මට බයයි..."

මම දන්නේ නැහැ මට මොකද උනේ කියලා.මගේ ඇතුලේ හිටපු කව්දෝ සෑහෙන්න වේගයෙන් හුස්ම ගන්නවා වගෙයි මට දැනුනේ. මට ඕනේ කළා මධුලිකාව වැළඳගෙන සනසන්න. නමුත් මොකද්දෝ අමුතු බයක්; චකිතයක් විසින් මාව ඔද්දල් කරලා වගේ. මොකක් කරන්නද කියලා හිතාගන්න බැරි උනත් මම අඩියක් ඉස්සරහට තියලා මධුලිකාට ලං උනා.

"මට... උදව් කරනවට බොහොම ස්තුතියි... මට සමාවෙන්න"

කෙල්ල එහෙම කියලා එකපාරටම මගේ අත අල්ලලා මගේ මුණ දිහා බැලුවා. ඒ ඇස්! ලා දුඹුරු පාට හමක් තිබ්බ මධුලිකාගේ දීප්තිමත් , රවුම් ඇස්දෙක පැහැදිලි පොකුණු දෙකක් වගේ !! විදුලි කාන්දුවක් සිද්දවෙනවා වගේ දැනෙන ඒ අතට මට එකපාරටම ඔක්කොම අමතක වෙලා ගියා. ඒ අත මගේ අත්දෙකට මැදි කරගෙන මමත් ඔහේ බලාගෙන හිටියා. පපුව දෙමෝලෙන් පිටි කොටනවා වගෙයි.

කවුදෝ උගුර පාදනවා ඇහිලා මාව ගැස්සිලා වගේ බිමට පාත් උනා. වස ලැජ්ජාවයි! කෝල් එක ඉවර කරලා විරංග ළඟටම එනකල් මම දැක්කේ නැහැ. බඩ ඇතුලින් ආපු සීතල ගින්න මුළු ඇඟ පුරාම විහිදුනේ මධුලිකා එයාගේ අත එකපාරටම ඇදලා ගත්තහමයි.

'ෂික් !!!'

"මේ... මේ... "

විරංග එහෙම කිව්වේ කටහඬ විකාර විදියට නාද ස්වරයකට හරවලා.

".... උඹ දැම්ම එනවද...? නැතිනම් මම යන්නද?"

මම මොහොතක් කල්පනා කළා.

"අපි යං..."

මම එහෙම කියලා යටි තොලත් විකාගෙන අහක බලාගෙනම වගේ මගේ ජැකට් එක එක අතකට ගුලිකරගත්තා. මට දැනෙනවා මධුලිකා මගේ දිහා බලාගෙනම තමයි ඉන්නේ. උගුරේ පැටලෙන මොකද්දෝ දෙයක් වගේ මට අපහසුවක් දැනෙනවා.

මධුලිකාගේ තනියට කෙනෙක් ඉක්මනින් හොයාගන්නත් , දවල්ට කෑම එවන්නත් අදිටනින් මමත් විරංගත් එලියට බහිනකොට මම සෑහෙන්න ඇතුලතින් දොඩමළු වෙලා ඉන්න ඇති. එකිනෙකට පරයා පෙරළෙන මුහුදු රැලි පේළියක් වගේ මම සෑහෙන තරමට හිතමින් හිටියා.

"මචං.... උඹ.."

ජීප් එකේ දොර වහපු ගමන් විරංග මගේ දිහාට හැරිලා ලොකු කතාවකට වගේ මුලපිරුවා.

"ඔව්.. බන්... මම දන්නවා...... දැන් අපි මේකට ගෑවිලා ඉවරයි. ඒ මොකක් උනත් මම මධුලිකාට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ."

විරංග කියන්න ගියපු දේ ගිලගත්තා වගේ ලොකු හුස්මක් පිටකලා.

"අනේ උඹේ ටෝක්ස්....."

"................."

මම තනියෙන් හිනාවෙලා වාහනේ පනගැන්වුවා.

" ඒ උනාට බයවෙන්න එපා බන්. මම උඹත් එක්ක ඉන්නවා. අපි පුළුවන් දෙයක් කරමු"

මගේ හිනාව පුළුල් වෙලා යද්දී මට කියන්න බැරි තරම් ශක්තියක් දැනුනා. මගේ මෝඩකමටද , වාසනාවටද මන්දා මම මේ වගේ දෙයක් කලේ කියලා මට තාමත් හිතාගන්න බැහැ. මොකක් උනත් ඉදිරියේදී වෙන්නකට මුණදෙන්න මම තදින් හිතාගත්තා.

පිටත් වෙන්න කලින් මගේ අලුත් අංකය එක්ක දුරකථනය මධුලිකා අතේ තිබ්බේ මට කතාකරන්න ඕනේ නම් මගෙත් විරංගගේත් අංක නාමාවලියට එකතු කරමින්.

************************************************


තවත් බලාපොරොත්තු තියාගන්න එක අතහැරලා , මම මගේ සිම් පත අවලංගු කරලා නිසා අලුතෙන් ජංගම දුරකතනයක් මිලට ගත්තා. එකම අභියෝගය උනේ කිසිම අංකයක් ගබඩා කරලා නැති ඒකට එන ඇමතුම් ගන්න එක. කවුද කතාකරන්නේ කියල දන්නේ නැහැනේ. දුරකථනය අර මිනිස්සු ගාව නම්, එකපාරක් හරි කෝල් එකක් අරගෙන අපිව අල්ලාගනී වෙන්න පුළුවන්.

අම්මා ගෙදර නැති එක දැනෙන්න ගත්තේ දවල්ට කන්න ගියාමයි. මධුලිකා ෆ්ලැට් එකේ තනිකරලා ආව නිසාද , නැතිනම් අම්මා නැති නිසාද කියලා හරියට තේරුමක් නැතත් මට මහා පාළුවක් දැනුනා. අතොරක් නැතුව මගේ ජංගම දුරකථනය නාද උනත් මම උත්තර දුන්නේ අතරින් පතර. වැඩියෙන්ම වද දුන්නේ චාපා. එයාගේ නහයෙන් ඇඩිල්ල පටන් අරගෙන තිබ්බත් මම ගණන් ගත්තේ නැහැ.

කාමරේට වැදිලා මම කලේ හොයාගත්ත තොරතුරු ටික පිළිවෙලකට පොතක ලියපු එකයි. එක සීරුවට ලියාගෙන ගිහින් ඔලුව උස්සපු ගමන්, මධුලිකා දවස් දෙකක් තිස්සේ වැතිරිලා හිටපු මගේ ඇඳ දැකපු මට අමුතු කුලෑටි කමක් දැනුනා. මට හිනාවක් ඇඳෙන්න ඇති.






මම හෙමිහිට ඇවිදගෙන ගිහින් ඇඳේ පැත්තකින් වාඩිවෙලා ඇඳ ඇතිරිල්ල අතගෑවේ මොකක් හින්දද කියන්න මට තේරුනේ නැහැ. මගේ අත්දෙක සිතල වෙලා වගේ. තවමත් මාරු නොකරපු ඇඳ ඇතිරිලිවලින් මතුවෙලා මධුලිකාගේ සුවඳ මුළු කාමරේම පැතිරිලා වගේ. මම මෙහෙම සියුම් විදියට කලින් හිතුවද කියන්න මට මතකයක් නැහැ.

ඇතිරිලි අතරේ මධුලිකාගේ කෙස් ගස් කිහිපයක් තාමත් තියෙනවා. මට හිනා; ඔව් ඈට තිබ්බේ හරිම ලස්සන කොණ්ඩයක්. පොඩ්ඩක්වත් කැරලි නැති, දිලිසෙන කොණ්ඩයක්. කෙල්ලෙක්ගෙ කොණ්ඩයක ලස්සන මම දැකලා තිබ්බේ කොටට කපලා තියෙනකොට. ඒ උනාට මධුලිකා පළවෙනියට ඉස්කෝලේ දකිනකොට, නිල ඇඳුම තරම්ම දිගට තිබ්බ ඒ කොණ්ඩය ඈට ගෙනාවේ දරුණු සරාගී බවක්!

ඇත්ත වශයෙන්ම හිතුවොත් මුලින්ම මගේ ඇහැ ගියේ ඇගේ තිබ්බ හමේ පාටට. සුදු කියලා සම්මත කෙල්ලෝ මිසක්, වෙන කෙල්ලෝ කිසිම කෙනෙක් දිහා නොබලපු මම ගැන විරංග ඔතරම්ම හිනාවෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. මධුලිකාගේ හුරුබුහුටි පෙනුම සහ හැසිරීම පෙන්නුම් කලේ ආඩම්බරකාර , සල්ලිකාර කෙල්ලෙකුගේ උනත් කේම්බ්‍රිජ් විභාගයට අවුරුද්දක් තියෙද්දී අපේ පාසලට ආපු මේ කෙල්ල ගැන පැතිරිලා ගියපු නොයෙකුත් කතා මාව උනන්දු කළා වෙන්නත් පුළුවන්.

ඒ හැමදෙයකම මුල උනේ ඈව දැලේ දාගන්න එක විතරමයි. නමුත්, මොන අහම්බයක් නිසා හෝ ඒ කෙල්ල මගේම ගෙදර, මගේම ඇඳේ , අතක් පයක් හොලවගන්න බැරුව හිටියා උනත්, මට දැලේ දාගන්න ඉස්පාසුවක් නැති වෙච්ච එක මොන තරම් දුක්බර වැඩක්ද?

මධුලිකාගේ කෙස් ගස් දෙක තුන එකතු කරලා, පරිස්සමට මම මගේ ලාච්චුවේ දිනපොත අස්සෙන් දාපු මම, අකමැත්තෙන් උනත් ඇඳ ඇතිරිලි ටික හෝදන්න තීරණය කළා.

කල්පනාවෙන් ගතවෙච්ච සෑහෙන වෙලාවක් මම නානකාමරේ වතුර මල යටට වෙලා ගතකලා. එම ස්නානය මගේ හිත පොඩ්ඩක් විතර තැන්පත් කරන්නට සමත් වුනත් යන්තමට සැනසිල්ලක් දැනුනේ ඇතිරිලි ටික ඔක්කොම රෙදිසෝදන යන්ත්‍රයට ඔබලා දැම්මට පස්සෙයි.

මධුලිකා මොනවා කරනවා ඇතිද? ඈට ඇමතුමක් ගන්නම හිතයි. කරදරයක් නම් කතාකරයිනේ. එහෙම හිතුවත් හිතට සැනසිල්ලක් නැහැ වගේ. ජංගම දුරකථනය අතට ගත්තේ මධුලිකාට ඇමතුමක් ගන්න හිතාගෙන. එතකොටම කතාකලේ අම්මා.

අම්මාගේ නොනවතින උපදෙස් මාලාව අහගෙන ඉඳලා මම දුරකථන සංවාදය ඉවර කලේ පඩිපෙළේ දුවගෙන පහලට එන  ගමන්මයි. ගේට්ටුවේ සද්දෙට මම පැත්තේ ජනේලයෙන් කර පොවලා බලනකොට තරු පන්තියක් පැන්නා.

'චාපා'

එළියේ පෝටිකෝවේ පැත්තක වෙලා මොකක් හරි වැඩක් කරමින් හිටපු මල්ලි, ගේ ඇතුලට කර පොවලා කෑගැහුවා.

"තිකෝ.... ඔන්න එනෝ...."

මල්ලිට පොඩි කාලේ මගේ නම කියන්න අරි නිසා කිව්වේ 'තිකා' කියලා. ඒක දැන් හදන්න බැහැ; මට හදන්න ඕනේ කමකුත් නැහැ. ඒ තිකා කිවිල්ල හින්දා චාපා උනත් ඒකෙ විකාශනය වෙච්ච නමක් තමයි කියන්නේ. මල්ලි චාපාට හරිම කැමතියි.

පැදගෙන ආපු මාච් කාර් එක මිදුලේ හෙවනකට වෙන්න නතර කරපු චාපා බහිනකොටම මට තේරුනා එන පොට නම් හොඳ නැති බව. වෙනදට මල්ලි එක්ක පොඩ්ඩක් කියෝලා මිසක් ගෙට එන්නේ නැති චාපා කෙලින්ම ගෙට එනවා මට පෙනුන නිසා මම පඩිපෙළ ළඟ තිබ්බ පොත් රාක්කය ගාවට වෙලා සද්දයක් නැතුව බලාගෙන හිටියා.

"තිකු.... මට ඔයා එක්ක කතාකරන්න ඕනේ"

මම මෝඩයෙක් බලාගෙන ඉන්නවා වගේ බලාගෙන හිටියා චාපා දිහා. ඇත්තටම එහෙම උනේ ඒ මොහොතේ සිය දහස් වාරයක් මධුලිකාගේ මුහුණ මගේ ඉදිරියේ ඇඳි - මැකී ගිය නිසා වෙන්න පුළුවන්. මම ඒ සිත්තම දිහා ගිනිකන වැටිලා බලාගෙන ඉන්නකොට ඒ අතරින් චාපාගේ මුහුණ මතු උනා.

"ඔහ්..?"

"අපි යමු උඩට"

චාප මගේ අතින් අල්ලාගෙන මගේ මුහුණ දිහාවත් බලන්නේ නැතුව පඩිපෙළට අඩිය තිබ්බා. මම හෙලවුනේවත් නැහැ.

"ම... ම... මෙතන ඉම්මු"

චාපා මගේ දිහා තියුණු බැල්මක් දැම්මා. ඔව් එතන තිබ්බේ ලොකු ආරාධනාවක්. මම ඔහේ බලාගෙන හිටියා.

"මම බියර් ගෙනාව... ජින් එකක් තියෙනවා"

අන්තිම ටික කිව්වේ රහසින් වගේ. අම්මා ගෙදර නැති එක ගැන චාපා හොඳට දැනගෙන වගේ. ඒත් මගේ හිත පසුබෑවා. පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා. චාපා පඩිපෙළේ ඉහලට නැග්ගේ මාව ඇදගෙන වගේ. මට පඩි දෙකක් ඉහලින් හිටපු චාපාගේ කොට කලිසම අඟල් තුනකට වඩා දිග නැහැ. මාව යම් තරමකට විසිරුණා තමයි.

"කාමරේ බෑ, බැල්කනි?"

"හි හි... බැල්කනි බෑ.. මට නම්. මොකද්ද තිකු.............................."

"................."

"එහෙනම් ෆ්ලැට් යමු?"

"ෆ්ලැට් යන්න බෑ !"

මට විදුලි වේගයෙන් කියවුනා.

චාපාව මෙල්ල කරගන්න ටිකක් අමාරුයි අදනම්. ඒ මදිවට මගේ හිතත් වෙව්ලනවා වගේ. මම සද්දයක් නැතුව පඩිපෙලේ ඉහලට ගමන් කලේ හිත විසිරිලා දුවිලි වලාවකින් මාව වැහිලා යන අතරෙයි.



**********************************

ගින්නක් ඇවිලිච්ච ගෙදරකට කඩාපනිනවා වගේ මම ඇතුලට පැන්න විදියට, විල් චෙයාර් එකේ වාඩිවෙලා උන්නු මධුලිකා බයවෙලා සිහින් හඬින් කෑගැහුවා. විකල් වෙච්ච මනසින් මම මධුලිකාගේ උරහිස් දෙකෙන් අල්ලාගෙන එයා ළඟ පාමුල වාඩිවුණේ කරගන්න දෙයක් නැතුව වගෙයි.

"මොකද උනේ?? ඇයි ෆෝන් එකට ආන්සර් කලේ නැත්තේ?"

"ම... ම..."

මධුලිකා බයවෙලා වෙව්ලන්න අරගෙන වගේ , කටහඬ වෙව්ලුවා මිසක් උත්තරයක් දුන්නේ නැහැ. මම මත්ද්‍රව්‍ය හොයන සුනඛයෙක් වගේ සාලේ පුරාම ඉව අල්ලාගෙන යනකොට, අතේ මම ගුලිකරගෙන ආපු පිහියත් ඉබේම උළුක්වෙලා තිබුනා වෙන්නත් ඇති. සාලේ වටයක් ගියපු මම මධුලිකා දිහාට හැරුනා.


තාමත් ගල්වෙච්ච විදියටම මධුලිකා ඉන්නවා දොර ගාව. මම පැනපු ගමන් දොර වැහුවා. සාලේ මැද්දේ තිබ්බ පොඩි කෑම මේසය උඩ , බාගයක් කාපු බත් පාර්සලයක් තිබ්බා; දිගෑරපු.

"කවුද ආවේ?"

මම ගුගුරන්න ඇති. අනතුරක් නැති බවක් පෙනුනාට මම තාම නොසන්සුන් කමෙන්. මිට ටික වෙලාවකට කලින් මධුලිකාගෙන් ආපු දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නහම, මධුලිකාගේ පැත්තෙන් කිසිම සද්දයක් ආවේ නැති නිසා මම කොයි විදියට මෙතැනට පියඹලා ආවද කියන්න මට මතකයක්වත් නැහැ. ඒ එන ගමන් ගත්ත කිසිම ඇමතුමකට උත්තර දුන්නේ නැති නිසා මම ජීප් එකේ යට ගහලා තිබ්බ මගේ කිරින්චිය එක්ක මම මේ තට්ටු තුනම ආවේ දුවගෙනමයි.

"........මම අහන්නේ කවුද ආවේ?"

මම මධුලිකාගේ ඉස්සරහින් ගිහින් හිටගත්තා. මධුලිකා ඇස්දෙක ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා මිසක් කතාවක් නැහැ. මම යන්තම් ඇසිපිය ගහලා මාවම සන්සුන් කරගන්න  උත්සහකලා.

"මම අහන්නේ... කවුද ආවේ...?"

මගේ ස්වරය පොඩ්ඩක් පාලනය වෙච්ච නිසාද මන්දා මධුලිකා වෙව්ල වෙව්ලා කතාකරන්න පටන්ගත්තා.

"වී... විරංග"

මගේ ඔලුව පිස්සු වගේ උනා. මොකක් කියන්නද කියලා හිතාගන්න බැරිව මම වේලිච්ච තොලකට යන්තම් තෙමාගන්න හදන ගමන් නළලේ ආපු දාඩිය ටික අනෙක් අතින් පිහදලා දැම්මා.

"... මට... ලන්ච් ගෙනත් දුන්නා...."

මම කියන්න දෙයක් හොයනකොට මධුලිකා හෙමින් එහෙම ගැටගහලා කිව්වා. මගේ පපුවේ එක පැත්තක්ම මොකද්ද උනා වගේ. අනේ දෙවියනේ.... චාපාට අහු වෙලා ; ජින් බීලා මට තදට නින්ද ගියා මිසක් මේ කෙල්ලගේ දවල් කෑම ගැන අහන්නවත් බැරි උනානේ. ඒ අතරේ විරංග කෙල්ලට දවල් කෑම ගෙනත් දීලා. මම වගේ නොසන්ඩාලයෙක්! මම මම ගැන මහා අපුලක් ඇති උනා.

" කීයටද? එතකොට මට කෝල් කලේ?"

"දැන් පැය දෙකකට කලින්නේ"

"මොකක්?"

අනතුරක්, කරදරයක් නැති නිසා මම යන්තම් සැනසිල්ලේ වගේ සෝෆාවට කඩාගෙන වැටුනා. පුරුදු නැති නිසා මධුලිකා අමාරුවෙන් විල් චෙයාර් එක කරකවාගෙන මට ඉස්සරහින් නතකරගත්තා.

"මම කෝල් කළා ඔයාට පැය දෙකකට කලින්, ගොඩ පාරක්. කෑම එවන්න පුලුවන්ද අහන්න. පස්සේ මම විරංගට කෝල් එකක් දුන්නාම.. එයා කෑම එකක් ගෙනත් දුන්නා"

අන්තිම කොටස මධුලිකා කිව්වේ කැඩි-කැඩි වගේ. ඔලුව බිමට පහත කරගෙන හිටපු නිසා මට ඇගේ මුහුණ නොපෙනුනත් දකුණු අතේ නියපොතු කොනහන බව නම් පෙනුනා. බයවෙලා වෙන්න ඇති.

එයා විතරක්ද, මමත් බයවෙලානේ!


මම ජංගම දුරකථනය අතට අරගෙන බැලුව. ඔව් තමයි, මධුලිකා මිට කලින් පහළොස් පාරක් මට කෝල් කරලා. ඊට පස්සේ විරංග ගෙන් ඇමතුම් පහක් තිබ්බා. මට ඇහුනේ නැති හේතුව දන්නේ මමනේ. මට මාර කේන්තියක් ආව වේගෙට ජංගම දුරකථනය අල්ලලා ගැහුවා පොලවේ. ඒක කොහේටදෝ විසික් වෙලා ගියා.

"එතකොට දැන් කෝල් කලේ මොන එහෙකටද?"

මගේ වැරැද්ද තියෙද්දී උනත් මට ඉරිසියාව හින්දා ඉවසගන්න බැරිව එහෙම කිව්වේ තරහටමයි. විරංග මට වඩා ඈ ගැන බලපු එක මට ඉවසන්න බැහැ.

"වැරදිලා.. එබෙන්න ඇති.. සොරි... මගේ ඇඟිලි.... තුවාල හින්දා... ෆෝන් එකේ වෙන වෙන එව්වා ප්‍රෙස් වෙනවා"

ඒ ටිකෙන්ම මාව සිහිල් ජල ධාරාවකින් නැහැවිලා ගිහින් වගේ සිසිලසට පත්වෙලා ගියා. ඈගේ ඇඟිලි තුවාල වෙලා තිබ්බ බව ඇත්ත තමයි. ඒකනේ මම දවල් කාම එවන්න පොරොන්දු වෙලා පිටත් උනේ. වෙච්ච දේවල්වල මත ගතියට මට එහෙම්මම නින්ද ගියපු නිසා මට ඇගේ ඇමතුම් කිසිවක් ඇහුනේ නැහැ. ඇහුනේ අන්තිමට වැරදිලා ආපු ඇමතුම විතරයි. ඒකට හරියට උත්තර දුන්නේ නැති නිසා මම මේ පිස්සෙක් වගේ දුවගෙන ආවනේ.

මට ඉබේටම සුසුමක් හෙලුනා. කෑම ගන්න ඈ මුලින්ම අමතලා තියෙන්නේ මගේ අංකය කියලා හිත හදාගන්න හැදුවත්, ඒක ලේසි උනේ නැහැ.

"මම හොඳටම බය උනා.... මම හිතුවක් මොකක්හරි අවුලක් කියල. "

සෝෆාවේ හිස් තියන කොටසට හිස බර කරන ගමන් මම එහෙම කිව්වේ ඇස්දෙක පියාගෙනමයි. මට මධුලිකාගේ මුහුණ බලන්න බැරි තරමටම හිත වරදකාරීබවින් පිරිලා.

අතේ තිබ්බ කිරින්චි පිහිය දිහා පොඩ්ඩක් වෙලා බලාගෙන හිටපු මම, කලිසමේ සාක්කුවෙන් ගත්ත කොපුවට ඒක බස්සලා ටික වෙලාවක් ඔහේ අරමුණක් නැතුව බලාගෙන හිටියා.

"බොන්න.. මුකු.."

"එපා මම යන්නම්..."

මම හිත තද කරගෙන යන්න නැගිට්ටා.

"... තනියට කෙනෙක් හොයාගන්න ඕනේ. මෙහෙම ඔයා තනියෙන් ඉන්න එක හොඳ නැහැ මධු"

මට 'මධු' කියන එක හරි අමුතුවට දැනුනා. කවදා ඉඳන්ද මම මේ වගේ පොඩි පොඩි දේවල් ගැන ලොකුවට හිතන්න ගත්තේ කියල මට මතකයක් නැහැ.

මම හෙමිහිට දොර ගාවට ඇවිදගෙන ගියත් යන්න හිතක් තිබ්බේ නැහැ. ඒ උනත් ඉන්නත් බැහැනේ.

"... මට.... නිමන්තිගේ නම්බර් එක දෙනවද?"

"කාටවත් කෝල් කරන්න එපා... ආ...  තව එකක්.... ඔයා දන්නවද... ඔයාගේ මම්මලාගේ ගෙදර හිටපු පරණ සර්වන්ට් කෙනෙක්? වයසක... ගෑනු කෙනෙක් වගේ?"

"..............."

මම හැරිලා මධුලිකාගේ මුහුණ බලන්නේ නැතුව ඇහුව.

"ඉන්නකො... ඔහ් ෆෝන් එක.."

කරගන්න දෙයක් නැහැ. ජංගම දුරකථනය මම බිම ගහලා ඉවරයි. ලැජ්ජාව නිසා අහුලන්න යන්නත් බෑ වගේ. මධුලිකා විල් චෙයාර් එක බැරිගාතේ කරකවාගෙන ගිහින් දුරකථනය වැටිලා තිබ්බ තැනට නැමුනත් එයාට ගන්න බැහැ. ඇඳගෙන හිටපු කොට කලිසම මට හරියටම ඇහැ ගැහුනේ එතකොටයි.

'අරූ එනකොටත් මේකද ඇඳගෙන හිටියේ?' 

මාව ඉරිසියාවෙන් කොලපාට වෙන්න ඇති.

'ඔතරම් කොටට?'

'ඒකි ඉතින් මොකක් අඳින්නද , උඹනේ ගෙනත් දුන්නේ ඕකත්! '

'ඊළඟ පාර මිට වඩා දිගට ගන්න ඕනේ'

මගේ හිත ඇතුල කාලගෝට්ටියක් වගේ.

"හරි හරි... මම ගන්නම්"

මම ඉක්මනට නැමිලා ජංගම දුරකථනය අතට ගත්තා. මුහුණතේ පිපිරුමක් වගේ තිබ්බත් දුරකථනය වැඩකරනවා. පහලට නැමිලා කෙලින් වෙනකොට අසලම හිටපු නිසා මධුලිකාගෙන් වහනයවෙන අමුතු සුවඳක් වගේ දෙයක් මගේ නාස් කුහර වලින් හදවත් පුරාම ගලාගෙන ගියා. ඔව්.. ඒකත් මම ගෙනත් දුන්න සුවඳවිලවුන්. මගේ හිත පයින් ගහපු දුවිලි ගොඩක් වගේ. මීමෙක් දමනය කරගන්නවා වගේ මම හිත ගැටගහලා විරංගට ඇමතුමක් ගත්තා.

"අඩෝ.... උඹ කොහේ මකබෑ උනාද?"

විරංග ඇමතුමට කතා කලේම ඒ විදියට. විනාඩි කීපයක් විතර මට ඇවිලිච්ච චිනපටස් එකක් වගේ බැනපු විරංග අන්තිමට මම මට ඕනේ මාතෘකාවට දාගත්තා.

".. උඹ කියපන්කො විස්තර.."

මම දුරකථන ඇමතුම 'ස්පිකර්' මෝඩ් එකට දාලා මධුලිකාට දුන්නා. ඈ ඒක අතට අරගෙන, 'ස්පිකර්' මෝඩ් එක අයින් කරලා මගේ දිහා බලාගෙනම විරංගට කතාකලා.

"අ.... ආ... හා.. හරි විරංග.... ඔව්.... හ්ම්ම්.. මට එහෙම මතකයක් නම් නැහැ... ඔව්... ආ... රෙද්දයි හැට්ටෙයි නේද අඳින්නේ? ආ.. ඔව්... මම හිතන්නේ ඔව්.. අනේ එයා ඉන්නවද?..."

මට දැන් කේන්තියි මේ හුරතල් කතාව විරංග එක්ක කරන. මම මාළුවා වගේ නොඉවසිල්ලෙන් එහාට මෙහාට ඇවිද්දා. තවත් මොනාදෝ කියලා ඇමතුම විසන්දී කරපු මධුලිකා මගේ දිහා දීප්තිමත් ඇස්වලින් බලාගෙන හිටියා.

".......... ඔව් තීක්ෂණ.. මම හිතන්නේ එයා තමයි මමිව බලාගෙන තියෙන්නේ. එයා හිටියේ නැහැනේ මම යනකොට.. අනේ එයා ඉන්නවානම්......."

මගේ හිතට හොඳ අදහසක් ආවා.

"හ්ම්ම්... එහෙම නම්.... මට පුළුවන් එයාව මෙහෙ ඔයාගේ තනියට තියන්න එක්කගෙන එන්න."

".............."

"මම බලන්නම් එයාව ගන්න පුලුවන්ද කියල. මට තාප්ප උඩින් නම් උස්සගෙන එන්න බැහැනේ, ඒ ගෑනි හෙන වයසයි"

අපි දෙන්නම හය්යෙන් හිනා උනා. සමහර වෙලාවට එහෙම හිනා උනේ අපි දෙන්නා එදා කරපු වික්‍රමය ගැන හිතලාද, නැතිනම් ඉදිරිය ගැන හිතලාද කියලා එතරම් විශ්වාසයක් තිබ්බේ නැහැ.


හිතේ තිබ්බ ඉරිසියාව, අවුල මැකෙන්නත් ඒ පොඩි මොහොත උපකාර වෙන්නට ඇති. පියාගේ කාර්යාලයේ වැඩ ටිකක් හොයා බැලුවාට පස්සේ, රෑට කෑමත් අරගෙන මම ආයෙත් ෆ්ලැට් එකට ආවා.

රෑ කෑම එක මධුලිකාගේ අතටම දීලා මම කලේ ළඟ තිබ්බ රෙස්ටුරන්ට් එකට ගිහින් කෑම කාලා , අසල තිබ්බ සාප්පු සංකීර්ණයට ගිහින් ෆිල්ම් එකකුත් බලපු එකයි.

ෆිල්ම් එක බැලුවාට වඩා මම කලේ සිතුවිලි අතර අතරමංවෙලා උන්නු එකයි කියලා මට වැටහුනේ ෆිල්ම් එක ඉවර වෙලා විදුලි බල්බ දල්වලාත් මම වාඩිවෙලා ඉන්නවා කියලා දැනුන හින්දයි.

මධුලිකා තනියෙන් දාලා යන්න මගේ හිත හදාගන්න බැරි හින්දා මම කල් මරමින් හිටියා වුනත් ඈ එක්ක ෆ්ලැට් එකේ ඉඳීමත් මට අමුත්තක් වගේ දැනුනා. කරන්න දෙයක් මට තිබ්බේ නැහැ. පුළුවන් උපරිමේ වාහනේට වෙලා ඈතින් ෆ්ලැට් එක දිහා බලාගෙන ඉඳලා මම ඇතුලට එනකොට දොළහත් පහුවෙලා.

මධුලිකා හිටිය කාමරයේ පලාතටවත් නොයන්න මම හිතාගත්තේ මොකටද කියන්න මම දන්නේ නැහැ. තරුණ කෙල්ලක් ගැන පරිස්සමට කල්පනා කරන්න මගේ පුරුද්දක් තිබ්බේ නැහැ. මධුලිකා ගැන උනත් මට එහෙම පරිස්සමක් ගැන හිතුනේ ඈ ඉන්නේ අනතුරක කියලා තේරුන නිසා වෙන්න ඇති. සමහර වෙලාවට මේ අනතුරෙන් ඈ මිදුනට පස්සේ මේ සියල්ල වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට සුපුරුදු විදියට මට මේ බැටළු හමෙන් මිදිලා ;මම වගේ නිදහසේ ඉන්න; හිතන්න පුළුවන් වෙයි.

විරංග විසින් දෙන ලද ඇමතුම් සියල්ලම මම ඉක්මනින් නිමකලත් , අද රාත්‍රියේ මෙහි පහන් කරන බව කියද්දී මගේ හිත තදින් හැකිලිලා ගියා. විරංග තත්පර කීපයක් නිහඬව සිට ' හරි හ්ම්ම්.... ' කියා ඇමතුම විසන්ධි කලේ කුමක් නිසාදැයි මට සිතාගැනීම අපහසු උනේ නැහැ.

සුපුරුදු ලොකු කාමරේට අඳුරේම ගියපු මම, නානකාමරේ ආලෝකයෙන්ම සුදානම් වෙලා ඇඳේ ගුලි උනා.

පසුදින උදෑසන වනවිට කලයුතු සහ අද දින සම්පුර්ණ කරගත නොහැකි වූ නොයෙකුත් දේවල් අතර සැරිසරමින් සිටි මට එය සත්‍ය වශයෙන්ම දීර්ඝ රාත්‍රියක්ව තිබුනා.

********** මතු සම්බන්ධයි ***********

6 comments:

  1. මොකද්ද බං මේ දරුණු සරාගීබවක් කියන්නෙ? Brutally sexy or diabolically sexy?

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඉංගිරිස් දන්නේ නැති මගෙන් අහන එව්වා බලන්නකෝ.... මැරෙන්න හිතෙන වගේ කියලා හිතාගන්නකෝ. ආපු වචනේ කිව්වොත් බෝ මාව මරාගෙන කනවා නැත්තම්

      Delete
  2. රහස් පරීක්ෂක කෑලි ටිකට වඩා ඔහේගේ ලව් කෑලි ටික රහයි.. ඊළඟ එකෙත් රහස් පරීක්ෂක කෑලි අතරට ලව් සින් ටිකක් වැඩිපුර ඔබමු. හෙහ් හෙහ් හෙහ් ...

    ReplyDelete
    Replies
    1. ඔය මොන පරීක්ෂණ කරන්න ගියත් ඉතින් එව්වා වෙනවනේ. ඒපාර මේක කෝලම් මඩුවක් කරගන්න ආවද?

      Delete
  3. Mge nn prashne elaga kotasa kawadada danne kyna ekai

    ReplyDelete
    Replies
    1. අලුත් කොටසක් දැම්මා. කියෝලා අදහසක් කියන්නකෝ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...