Thursday, September 28, 2017

143. ශාකුන්තලය | Just been forgotten






වනරොදක බැඳී
ගසට වැල සේ වෙලී
තුඟු සියපතින් - (සු)සැදි
තඹර පෙති - නුඹ සිඹි !

ඩැහැගෙන ගියෙද කොහි
මසුන්  - මා අත දැරූ මුදුවද
දුෂ්මන්ත නුඹමද?
අමතකව ගිය
සකුන්තල මා නොවද?


Tuesday, September 26, 2017

142. ජැක් ද රිපර් || serial killing





ආදර මුල්ලක
ෂීශා දුමක වෙලෙන
නුඹේ රියාල් හදවත...

දොරගුළු කඩා - දිනයක
රැගෙන ගිය
ඒ පාට වැලි ඇති
බෝතලය ,
තබා මේසය මත...
ගල්කටස් තුවක්කුව
මානමින්
සොයන්නේ
අළුත් ගොදුරද?



Monday, September 25, 2017

141. සුළං කපොල්ලේ - 3


මෙතෙක් කතාව 

බිත්තිය දිගේ රූට ගෙන ඇවිත් මට ඉබේටම එතන බිම ඉන්දුනේ තව දුරටත් මට මගේ ශක්තියක් නැහැ වගේ දැනුන හින්දා. ආයෙමත් ජෙහාන් දොරට තට්ටු කරනවා.

ඒ හඬේ කිසිම කලබලයක්, දුකක් හෝ වෙන මොනයම්ම දෙයක්වත් තිබ්බේ නැහැ වගේ. දිගටම මගේ නම කියන ගමන් දොර අරින්න කියලා විතරයි කිව්වේ. ටිකකින් ඒ සද්දේ ආවේ දොරේ යට හරියෙන්. හරියටම දොර ළඟ බිම ඉඳගෙන හිටපු මගේ කන ගාවින්. දනිස් දෙක නවලා අත්දෙකට දනිස් තදකරගෙන මම උන්න විදියට මට හිතුනා ඔහුත් ඒ විදියටම එතැන බිම වාඩිවෙලාදෝ කියලා.

"මන්ජි... ඔයා එනකල් මමත් මෙතැන ඉන්නවා... "

"..........."

"එළියට එන්න ළමයෝ... ඔන්න මම දන්නේ නැහැ මෙතැන හදිසි අවශ්‍යතාවයකට වැසිකිලියට යන්න එන කෙනෙක් ආවොත් එහෙම..."

"....................."


"ඔයාව දොර කඩලා හරි එළියට ගනීවි.. දන්නවද?"

"..................."

"මේ බලන්නකෝ මිස්.. මෙයා දැන් පැයකටත් වඩා ඇතුලේ... "

".........."

"බලන්නකෝ මොකද්ද කරන්නේ කියා.. අපිට බලන්න බැහැනේ ඒවා නීතිවිරෝධියි..."

Sunday, September 24, 2017

140. සුළං කපොල්ලේ - 2


මෙතෙක් කතාව 


ගුවන්යානාව පැමිණි බවට සහ අප සියලු දෙනාම පිළිගැනීමට සුදානම් බව ඇහුනු නිවේදනය මට දැනුනේ හීනයක් කතාකරනවා වගේ. එහෙනම් දැන් මම යන්නත් ඕනේ... ඉබේම වැටුන සුසුම මම වලක්වන්න ගියේ නැහැ..

ටික වෙලාවකින් මුලින්ම දුවන්න පොරකන සෙනඟ යන්නට ඇරලා මම උදාසීන බවකින් නැගිට්ටට හිත කෑගහන්න ගත්තා.

සමහර වෙලාවට මේ අන්තිම අවස්තාව වෙන්නත් ඇති!

මගේ හිත ඇත්තටම තමන් එක්ක කර කර හිටපු අරගලය එකපාරටම කපපු ලණුවකින් වගේ ඒ මොහොතේ නිදහස් කරනකොටම මම වටපිට බැලුවා.

අඩුම තරමේ අන්තිම වතාවට?? 

අන්තිම වතාව කියලා නොහිතා අපි එකිනෙකා දැකපු ඒ අන්තිම වතාවට පස්සේ, කවුද මේ වගේ හමුවීමක් හිතුවේ? මේ නම් අන්තිම වතාවම වෙන්න ඇති.. එහෙමයි මට හිතුනේ. ඉතින් මම පුළුවන් උපරිමේට ඔලුව කරකවලා, ඇඟිලි තුඩු වලින් ඉස්සිලා බැලුවත්... ඇත්තටම මම ඒ වෙනකොට 'ඇත්තම' අන්තිම වතාව පහුකරලා කියලා මට තේරුනා.

Tuesday, September 19, 2017

139. සුළං කපොල්ලේ - 1



මම හිටියේ කලබලෙන්....

මහා කාලගෝට්ටියක් එක්ක , ගංවතුරට අහුවෙච්ච කොටයක් වගේ වෙහෙස වෙලා , හෝරා එකහමාරක් කිසිම කතාවක් නැතුව  අධිවේගී මාර්ගයේ ආව උනත් මම හිටියේ මහා කලබලෙන්.

කිලෝ ගාන හරියටම හරිදැයි පස් හය වතාවක් කිරලා, අලුතෙන්ම ගෙනාපු ඉබ්බා තදකරපු මගේ ගමන් මල්ල හැල්මේ තල්ලු කරගෙන මම ඇතුල්වීමේ පර්යන්තයේ තිබ්බ දොරෙන් ඇතුලට පැන්නේ මේ දැන් පොලිසියෙන් පන්නනකොට දුවන කසිප්පු මුදලාලි කෙනෙක් වගේ වෙන්න ඕනේ.

"..... මන්ජි?"

දොරටුව ගාවදි එකපාරටම මතක් වෙලා, දාපු දිහාවක් මතකයක් නැතුව ගුවන් ගමන් බලපත්‍රය එක්ක දාපු ටිකට්පත් හොයන්නට අතේ තිබ්බ අත්බෑගයේ ඇතුලට ඔලුව ඔබාගත්ත මම ඒ ඇමතුමෙන් ඇත්තටම ගැස්සිලා ගියා.

විදුලි දුම්රියකින් එකපාරටම එලියට විසි උනා වගේ ඒ ඇමතුම මාව අවුරුදු විස්සකට එහාට තල්ලු කළා. මට තේරුනා.... ඔව්... ඒ නිසයි මට ඔලුව උස්සගන්න බැරි උනේ...

ඒත් මම දැක්කා සපත්තු දෙකක්.... හැමදාමත් වගේ ඒ සපත්තු 'අඩිඩාස්' තමයි!

දෙය්යනේ!!

Monday, September 18, 2017

138. පොතක සිරවූ || locked inside the book




උඹ
කාලි දෙවඟනද ,
අපර්ණා?

සුමට කිරිමැට්ටෙන්
නිමවා බුහුටිවට,
හදවත ඇති තැනම
තිරුවාන කැටයක් තබා
- තදකොට !

පවුඩර් පෙට්ටියක බහා
තබාගතයුතු - නොවෙද
අපර්ණා උඹ??

Sunday, September 17, 2017

137. රතුපාට මල් - 6


කලින් කොටසට



විකුම් එදින පංතියට පැමිණේයැයි බියක් එක පසෙකින්ද කුමක් හෝ විස්තර කල නොහැකි අමුතු කුතුහලයක් තවත් පසෙකින්ද තබාගෙන මම පංතියේ ගතකලේ නොසන්සුන් අඩ පැයකි. ඒ ගතවුණු සෑම විනාඩියකටම වරක් මම ගැහෙන හදින් යුතුව පන්තියට පිවිසෙන පටු දෙබිච්චිය දෙස මගේ දෑස යොමුකරමින් සිටි බැවින් පාඩම හෝ පන්තිය කෙරෙහි මගේ අවධානයක් යොමුවූයේ නැති තරමි.

විනාඩියෙන් විනාඩිය ගතවුයේ කල්පයක් ගෙවෙන වේගයෙනි. හෝරාවක ආසන්නයේදී ලැබෙන පළමු විවේකය ලැබුණි. විකුම් පැමිණියේ නැත.

"අද විකුමා නැහැ වගේ නේද බන්? "

ලැබුණු පළමු විවේකයෙන්ම හඬ අවදි කලේ වාසුල බව මම දුටුවේ ඇස් අගිනි. මම උත්සාහයෙන්ම වෙන්ව සිටින්නට අවශ්‍ය නිසා ජංගම දුරකථනය ඔබන්නට පටන්ගතිමි.

"කුන්චනා... ගන්න"

දුඹුරු පැහැති කොණ්ඩයක් හිමි , කිසිම ආකාරයකින් දන්ත කල්‍යානයක් නොපිහිටි සාමාජිකයා මා දෙසට දිගු කරගෙන සිටියේ රටකජු පැකට් එකකි. ඔහුගේ බැල්මට ප්‍රතික්ෂේප කිරීමක් නොහොබිනා බව දැනුන බැවින් මම ඉන් අහුරක් ගෙන ස්තුති කලෙමි.

"අද හවස ප්‍රැක්ටිකල් පටන් ගන්නවා කිව්වනේ. අපරාදේ විකුමා නැත්තේ.. කෝල් එකක් දාපන්.. හවස වත් එයිද දන්නේ නැහැ"

කතාබහට සවන් නොදුන්නද ඒ වදන් මා සලිත කල බව සැබෑවකි. කුමක් හෝ අමුත්තක් මට සිදුවෙමින් පවතී. ජංගම දුරකථනය අතැතිව පන්තිය පැවැත්වෙන ශාලාවෙන් එළියට යන තිලක් මට පෙනේ.

Thursday, September 14, 2017

136. සති තුනයි | Just passed three weeks





කාලයද දීපයද නොබලා
සාක්ෂි කැඳවන්නට
සෙනෙහෙ කොළ නොමැති
ආදර අවනඩුව අසමි -
නඩුකාර හාමුදුරුවනේ...

සැත්කම් අඬු දැමුවද
හසුනොවුණු - හදවත බැඳි
රැහැන් , කෝෂිකා පසාරුව
වෙදදුරුට සෙවීමට නොහැකිය
බැවින් - වෙද වාර්තා
නොගෙනාවෙමි මම !

නොතීසිය ආ විගස
මුත්‍රා සාම්පලයක බහා,
නැතිය කිසි සැනසිල්ල.....
කුලය , මව නොසිතාම
ලැබුණු තැන ඉන්නටම
අවසරද..

Monday, September 11, 2017

135. සුහදිනියේ - 04

කලින් කොටසට 



 නිල්පාට වෑන් එක පිටිපස්සෙන් මම ගියේ සෑහෙන පරතරයක් තියාගෙන. විරංග බයේ මැරෙන්න හැදුවත් වෑන් එක මම හිතුව තරම් වේගයෙන් ගියේ නැති නිසා මම නිකමට වගේ එක පාරක් ඉස්සර කරලා බැලුවා. කලබලයක් හරි වෙනත් අමුත්තක් හරි පෙනෙන්න තිබ්බේ නැහැ ඩ්‍රයිවර්ගේ උනත්.

"මචං.. සිරාවටම මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියල. ඒකිව බලෙන් නේද දාගත්තේ?"

විරංග එහෙම ඇහුවේ දහවෙනි වතාවට වෙන්න ඕනේ. මටත් හිතුනේ ඕකමයි. ඒ උනාට කෙල්ල වෑන් එකට බලෙන් දාගත්ත බව නම් දෙන්නම දැක්කා.

"පොලිසියට කියමුද?"

"පොඩ්ඩක් හිටපන්"

විරංග උගේ ජංගම දුරකථනය අරගෙන ඇමතුමක් ගත්තා.

".......... අම්මා... ඔව් ඔව්.. මම මේ යන ගමන්... තිබුනේ නැහැනේ. කඩේ වහලා...ඔව්.. මම යනවා අනිත් කඩෙන් ගන්න... කියන්න බැහැ සෙනග හිටියොත් වෙලා යයි. කෝකටත් මාමට කියන්න ඔයාලව දාන්න කියලා.. හරි හරි.. බායි "

විරංග එහෙම ඇමතුමක් ගත්තේ ඇයි කියලා මට ඒ වෙලාවේ තේරුනේ නැහැ. කටිනෙට බඩු ගන්න ආපු අපි දැන් මේ කෙල්ලෙක් එක්ක යන වෑන් එකක් ෆලෝ කරන බවත් අපේ ගැලවිජ්ජාවට කිසිම දෙයක් නැති බවත් මට කල්පනා උනේ ඊටත් පස්සේ.

මගේ ඔලුව පිරිලා තිබ්බේ මධුලිකාට මේ වෙන දේ විතරයි.

" මචං.. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. එක්කෝ කෙල්ල මුන්ව කලින් දන්නවා. ඒ උනාට යන්න අකමැතියි. නැතිනම් මේ කෙල්ල මුන්ව දන්නේ නැහැ, කොටිම්ම මේක කිඩ්නැප් සීන් එකක්....."

"...........?"

" පලවෙනි කාරනාව නම්, අපි පොලිසියට කියන්න ඕනේ නැහැ. ඒකි බලාගනිවී. ඒ උනාට... කාරනාව දෙවැනි එක නම්... අපි පොලිසියට කියන්න ඕනේ... මේ කොයි හරියේද බන්?"

Tuesday, September 5, 2017

134. අතරතුර - පසුව || after meanwhile






උඩු ගුවන් තලයක
පැරෂුට් නැතුව
බිම වැටෙන අතරතුර....

මේ දැනෙන හිස්කම
ඔබේ සෝඩා බෝතල්
ආදරයට පසුව...
මීවිතේ මතට ගැලපුණු
බයිට් එක
වීමෙන් පසුව....



Sunday, September 3, 2017

133. සුහදිනියේ - 03

කලින් කොටසට 


අම්මගේ බැල්මට මාව කරවෙලා ගියත් සද්දයක් නැතුව මෝඩ හිනාවක් දාගෙන මම බලාගෙන හිටියා. ඩේසි ආන්ටිත් එක්ක නම් මට ඌරු ජුවල් නැග්ගේ.

"නෑ මම කියන්නේ සුභා.... ළමයින්ට අපි ගයිඩන්ස් දුන්නේ නැත්තම් පස්සට තමයි තේරෙන්නේ අපරාදේ කියලා. මම එන්රෝල් කළා අපේ එකාව එදාම. දැන් ලෙක්චර්ස් යන්න ඕනේ, වෙන පිස්සු බැහැ"

මම පොලී මුදලාලිට අහුවෙච්ච ණයකාරයෙක් වගේ ඩිංගක් විතර හුස්මත් ඉහළට අල්ලාගෙන හිටියේ මේ ටිකකට කලින් මගේ කටින් වැටිච්ච වචනෙ ආයෙමත් කටේ දාගන්න බැරිකමට.

"ලොකූ කැමතියි ඉස්සර ඉඳන් බිස්නස් වලට. අපේ මහත්තය උනත් කැමතියි මෙයා බිස්නස් බලනවට. පොඩී තමයි අකමැත්තෙ ඉන්නේ. තාම සතියනේ එග්සෑම් ඉවර වෙලා. තව ටිකක් ඔහේ උන්නාවේ"

Friday, September 1, 2017

132. කෙටි කවි වලට - ලුණු කවි






ලුණු කැවුණු වතුරක්
ගැම්මක් ගනී තව වරක්...

වෙරළක්
වෙරළ'ත දුරින් සිප්පියක්!


p.s.

ඔව් ඉතින් එයා තමයි. මෙන්න මෙතන තමයි මුල්ම කවිය. ඔන්න මම දන්නේ නැහැ මම ලිව්වේ උත්තරයක් විතරයි 
Related Posts Plugin for WordPress, Blogger...