Sunday, February 24, 2019

202. සුහදිනියේ - 09 | මධුලිකා පැහැරගත්තේ කුමක් සඳහාද?

කලින් කොටසට 



මම ඔරවලා විරංගයා දිහා බැලුවා.

"මොකද උඹ ඔරවන්නේ? මම කිව්වේ ඇත්ත"

"ඒ මොකක් උනත් ; මධුලිකාව ආවට ගියාට එහෙම ඇරලවන්න බෑ"

"ගොනෝ... ගොන් මීමෝ! මේ ගේ අස්සේ උඹ හිතන්නේ උඹට ඒකිව හංගගෙන ඉන්නෙක අර හින්දි ෆිල්ම් එකක් වගේ එකක් කියලද? අල්ලපු කාමරේ මල්ලි; ඒ අස්සේ අර මැණිකා.... ඔක්කොටම වඩා උඹේ අම්මා."

ඌ කියන එක ඇත්ත. ඒ මොකක් උනත් මට මධුලිකාව 'කොහෙටහරි' ගෙනියන්න කියන්න හිතක් නැහැ. අනිත් එක අපි තුන්දෙනාට එකට ගමනක් යන්න එලියට බහින එකත් මේ වෙලාවේ හැටියට අවදානමක්.

"අපි ලෝයර්ට කතාකරන්න ඕනේ! කෝ දියන් උඹේ ෆෝන් එක"

විරංග උඩ සාක්කුවෙන් දුරබනුව ගන්න ගමන් එකපාරටම ඇහිබැම ඇකිළුවා.

"කෝ උඹේ ෆෝන් එක?"

මම සද්දයක් නැතුව ඔහුගේ අතින් ඉක්මනින් දුරබනුව උදුරලා අරගෙන lock එක ඇරලා; නම් පතේ තිබ්බ දුරකථන අංකය එකින් එක ඔබන්න ගත්තේ අවධානයක් දෙන්නම නැතුවයි. අපි වාඩිවෙලා හිටියේ බැල්කනියේ තිබ්බ පොඩි මිදුලේ. එතන වාඩි උනේ හොඳට අවට පේන නිසාමයි. වෙලාව නම් දවල් දොළහටත් ළඟයි.

".... මට කියන්න එපා උඹ ඒක අර ජේමිස් බණ්ඩා වැඩේ කරන්න ගියපු තැනක හලලා ආවා කියල..."

Thursday, February 7, 2019

201. සුහදිනියේ - 08 | තොරතුරු එකින් එක එළියට

කලින් කොටසට 

සෑහෙන මහන්සියකින් පස්සේ කෙල්ලගේ කඳුළු ගංගාව පොඩ්ඩක් විතර නතර කරගන්න පුළුවන් උනා. ඔක්කොමත් හරි මේ ටැප් එක ඇරිල්ලත් හරි!

වෙලාවේ හැටියට කරන්න තිබ්බ හොඳම දේ තමයි මම කලේ. මධුලිකාට යන්න දෙන්න විදියක් නැහැ මේ තුවාලත් එක්ක. අනිත් එක ඇත්තටම කියනවා නම් ඇත්තටම මොකද උනේ කියලා තාමත් මමත් විරංගත් දන්නෙත් නැහැ. එහෙමයි කියලා තුවාල වෙලා, අලකලංචි වෙලා වෙහෙස වෙලා හිටපු මධුලිකා තවත් වෙහසවන්න ඕනේ කලේ නැහැ මට. ඒ නිසා එයාට මගේ ඇඳේ නිදාගන්න ඉඩ දීලා මම විරංගත් එක්ක එහා කාමරේට ගියා.

මොකද කියනවා නම් ඒ වෙනකොට මගේ පොඩ්ඩක් විතර පටි රෝල් වෙලා තිබ්බ නිසා.

පාන්දර වෙනකල්ම මට නින්ද ගියේ නැහැ. එක පැත්තකින් මම කරපු ගලවාගැනීමේ මෙහෙයුම මොන පැත්තට කැරකෙයිද කියලා හිතාගන්න බැරි නිසා. අනිත් එක තමයි මේ කෙල්ලට මම හිතා හෝ නොහිතා දීපු වද මතක් වෙනකොට කවදාවත් නැති පසුතැවිල්ලක් එනවා. ඒ ඔක්කොටම වඩා මේ කෙල්ලට ඇත්තටම මොකද උනේ කියලා තියෙන කුතුහලය.

ඔලුව ඇතුලේ එක එක මනෝ විකාර හිතමින් ඉඳලා නින්ද ගියේ පාන්දර දෙක තුන වගේ වෙනකොට මම හිතන්නේ.

උඩ ගිහිල්ලා ඇහැරුනේ කවුරුහරි දොරට ගහන සද්දෙකට. විරංග මටත් කලින් දොර ගාවට ගිහින් මගේ මුණ දිහා බැලුවා. මටත් කියන්න දෙයක් නැහැ.

"බේබි........ ලොකු බේබි..... තේ ගෙනාවා..."

Wednesday, February 6, 2019

200. සුහදිනියේ - 07 | මධුලිකා පැනයාමට තැත්කරයි

කලින් කොටසට 

 බේගල් හැටකෝටියක් ඇදබාන්න බලාගෙන හිටියත් ඒ මොකවත් නැතුව මධුලිකාව දැක්ක ගමන් තුවාන්ගේ අයියා ඕනේ වැඩටික කරලා දුන්නා. කකුලේ වළලුකරේ තරමක පිපිරුමක් නිසා වේදනාවට කෙල්ල බෙරිහන් දෙනවා ; ආයෙත් ජබර කලන්තේ. මාරම වැඩේ කියන්නේ ඒක දැකලා මගේ ඇඟේ අමාරුව ඔන්න ඔහේ තියෙද්දී තුවාල වලටවත් බෙහෙත් නොදා එන්නේ තව ටිකෙන්.

බෙහෙත් දාල වෙළුම් පටි දාල ඉවර වෙනකොට මාව ඇවිදින මමියක් වගේ උනත් ඇඟට පොඩි සහනයක් ආවා. ඩිස්පැන්සරියෙන් එලියට බැස්සාම තමයි වෙලාව බැලුවේ. ඒ වෙනකොට වෙලාව රෑ දහයත් පහුවෙලා! මධුලිකාවත් කාර් එකේ දාගෙන මමත් විරන්ගයත් හෙමින් හෙමින් ගේ ළඟට එනකොට අපි දෙන්නා කතාවෙලා හිටියේ ඊළඟ පියවර මොකද කරන්නේ කියලා.

මේ වෙලාවට විජේදාස පිටිපස්සේ ගේට්ටුව යන්තම් වහලා ඉස්සරහ මුරකුටියට යනවා අනිත් ගේට්ටු චෙක් කරන ගමන්. ඒ අනුව මම කලේ පිටිපස්සේ පොඩි ගේට්ටුවෙන් ඇතුලට විරංග තල්ලු කරලා ඇතුලෙන් ඇරව ගන්න එක. මේක ඉතින් මම ක්ලබ් ගියාම, ඕනෙම හොර ගමනක් ගියාම කරන වැඩක් නිසා මට ගලේ කෙටුවා වගේ විස්වාසයි.



හෙමින් වාහනේ ඇතුලට දාලා ගේට්ටුව වගගත්තම ඊළඟ අභියෝගය තමයි මධුලිකාව උඩට අරගෙන යන එක. වෙනදට නම් බැල්කනියේ මම හොරාට දාලා තියෙන ලණුවෙන් උඩට නගින එක තමයි. ඒත් මේ හරහට ඉන්න කලන්තේ ෆැක්ටේරියක් එක්ක කොහොමද ඒ සර්කස් දාන්නේ?
ඔත්තු බලන්න විරංග යවලා මම කලේ බැල්කනියේ පහල ගේට්ටුවෙන් උඩට යන ගමන් ගේ ඇතුලේ තත්වය බලාගත්ත එකයි. ලකුණු අනුව නම් අම්මා නින්දට ගිහින් කුස්සි අම්මා නම් ඇහැරගෙන වගේ.

ආයෙමත් විනාඩි පහක් විතර සද්දයක් නැතුව ඉන්නකොට බැල්කනියේ පහල ගේට්ටුව ගාවින් අඩි සද්දයක් ඇහුනා. ඒ නම් විරංගයා වෙන්න බැහැ.

ඉවරයි!

Tuesday, February 5, 2019

199. පරණ පෙම්වතියට ලියමි... | over and out






කරුණාවන්ත මිනිස්දුවණිය

අඳේ ඉවරව බෝම කල්වෙයි !
පුරන්වූ ඒ බිම්කඩ
සින්නක්කර අයිති මටමයි!
ඇති දෙයක් වවාගෙන,
දෙන දේක වෙන දෙයක් බලාගෙන
ඉන්ට හැකිනම් හොඳයි!

බෝම පිං අයිතිවෙයි,
කුරුළු කොටහත් ඉවරයි...
නුඹට නම්
කොහොමත්ම තහංචියි...



~~~ මන්ජි 
Related Posts Plugin for WordPress, Blogger...