Monday, January 30, 2017

59. අලුත් මා





ඔය ෆර්දාව
මදකට දෙන්න නංගි...
කඳුළු පිස, හිස
වසාගනු පිණිස හැංගී...

රිදෙන හද නොපෙනෙන්න
අබායා එකක් මටත් දෙන්න

වචන පිහි සැරට පතුරුගිය
අත්ල මරතොන්ඩි රටාවකිය

හිස තබා ගල් පතුරුමත
දෙදන නළලද බිම ඔබාගෙන
අලුත් මා
පිළිගනු මැන !



Sunday, January 29, 2017

58. කුමාරිහාමි 'මය'!





පිච්ච අතුරපු වියන් ඇඳ මත
තාම සුවඳයි එදා මෙන් ගත
වෙච්ච දේවල් හිතින් පිරිමැද
පෑම පමණයි හසරැල්ල හද

වීර විකුමන් කලද රජුනට
නෑර සෙනෙහෙන් පිදුම් ලැබුමට
ඝෝර රැවුලෙකි ඇඳපු පිරුවට
සාර සබ මැද නිරිඳු කළුවට

සිඳුණු සියොමැලි පුංචි ගෙලවට
තාම පංචායුද පැලඳුවට
තැලුණු කිරිකැටි ලපටි සිරුරට
වංගෙඩිය පල නොවේ කරුමෙට

සදාකල්හිම සෙනවි විරුණට
ලැබිද පැසසුම් , දුකද කම්පිත
මෙදා පින්බිම නොවේ පිහිටට
සිඳිද නුවරුන් ම'හෙලු වැව මත



Wednesday, January 25, 2017

57. ගිජට්





ඉරිසියාකාරයෝ හැමතැනම... කෝ එන්න බබා ඔයා මෙහාට. මම කැමති නැහැ ඔය වතුර එහෙම ගෑවෙනවට. මේ පුළුන් වගේ සපත්තු තෙමාගෙන කොහොමද. චුට්ටක් එහාට වෙනවද.. මේ දවස්වල මට ඕසෙට වැඩ. හුස්මක් ගන්නවත් , මූණක් හෝදන්නවත් වෙලාවක් කොහෙද...


ආ.. ඔව් ඉතිං දැන් මොකද? ඊයේ දවසෙම ඉතින් ඔයාලත් හිටියෙත් නැහැනේ නෙවද? මම ඉතින් පොඩ්ඩක් එලියට ගියේ මොකද? ඌයි ඉතින් චුට්ටක් විතර පොඩි නැති තුවාලයක් නේද? හරි දැන් ඉතින් මාව එක්කගෙන යනවද දොස්තර හොඳහිත ළඟට ? හැබෑටම මේ මොකද? මට කියන්නේ මේ කුඩ ඇතියි කියලද... හය්යෝ බූල් නැතිවෙයිද?

දෙය්යනේ දැන් ටිකක් මට සැනසිල්ලේ ඉන්න දෙනවද? ඊයෙත් දවසටම නිදාගත්තේ පැය විස්සයි, තාමත් තෙහෙට්ටුයි. එහෙනම් ඔන්න සාලයෝ අයිස් නැතුව තියනවද?

ඒ මොකද්ද? ඒකත් නමක්ද? මට ලැජ්ජා නොකර ඉන්නවද? කෙල්ලෝ සෙට් එක වලිග වතුරට වැටෙනකල් හිනාවෙයි ඒක ඇහුවොත් එහෙම. හුහ්... 'ගිජට්' කියල එහෙම මට අඬගහනවා එහෙම නෙවෙයි අල්ලපු ගෙදර 'මාෂි' ඉස්සරහ!! මටත් කියල තත්වයක් තියෙනවා කියල හිතුවොත් හොඳයි....

උදේ පාන්දරම ඔයාගේ කොටසේ බල්බ් එකේ එළියට , දුවගෙන එන්නේ වෙන මොකටද...? මමත් ඉතින් චුට්ටක් මහත් උනාම මොකද.. අනේ මෙහ් මම ලොකු මාළු කන්න බෑ කියල කිව්වද? ඒ උනාට සාලයෝ බදිනකල් මට ඉන්න ඇහැක ? පිස්සුද නැත්තම් විකාරද?

කෝ ඉතින් දොර අරිනවද? අදත් මට ඩියුටි පරක්කු වෙනවා.... ආ.. මතක ඇතුව සාලයෝ ටිකේ අයිස් අයින් කරලා තිබ්බනම් හොඳයි....


දන්නේ නෑ වගේ ඉන්නහැටි...! ලෝකේ තියෙන්නේ සාලයෝ වටේ කියල තේරෙන්නෙම නැද්ද හැබෑට?


ප.ලි. : දැන් කාලේ හැදෙන එව්වෝ කියන්නේ..... අපේ ගෙදර අණසක දැන් එයාටම ගොහිං





Sunday, January 22, 2017

56. ඉතින් දැන් මට කියන්න









Inspired by: චන්ද්‍රිකා  by chef-archi


ඒක මිට කලින් වෙලා තිබ්බෙම නැහැ. කොයිම විදියකින්වත් ඒ වගේ දැනීමක් මට නැතිබවට සහතික වෙන්න පුළුවන් උනත් මට දැන් ඉස්සර වගේ නෙවෙයි හරියටම මතකය රඳන්නේ නැති නිසා දිවුරලාම කියන්නත් බැහැ.

පොඩි දැවීම් රාශියක්, එකිනෙකට එකතු වෙලා මහා දැවීම් පොදියක් එක්කම මගේ ගමන පටන් ගත්තේ. මම හිතුවෙම මම අයිති නැති තැනකින් ගැලවිලා යන්න ලැබෙන එක තරම් වාසනාවක් තවත් තියෙන්න බැරිමය කියලා උනත් ඒ වෙන්වන මොහොතේදී මට හිතාගන්න බැරි අමුතු අයිතිකාරයෙක් මැවිලා තිබුනා. පුදුමේ කියන්නේ ඒ අයිතිකාරයා කොහේ ඉන්නවද, කොතන ඉන්නවද විතරක් නෙවෙයි, පණපිටින් ඉන්නවද කියන එකවත් මම ඒ වෙනවිට දැනගෙන හිටියේ නැහැ. මගේ ජිවිතේ අර්ධයක්ම මම දවාගෙන යන මේ ගමනේදී කිසිම ආකාරයක වියෝවක් නොදැනෙන බවට කොතරම් ලියකියවිලි තොගයකට මම විසින්ම කන අත්සන් දැම්මද? කෝ දැන් ඒවා??

ඈතට ඇදගෙන ගිහින් මහා අන්ධකාරයක් මද්දාවේ අතහැරලා දානකොටම මම ලොකු හුස්මක් ඇල්ලුවේ මොකටද කියල මටම තේරුනේ නැති නිසා දැන් මට තේරුම් කරලා දෙන්නත් බැහැ.

'දැන් ඉතින් අද පටන් උඹේ අළුත් ගෙදර මේ තමයි!..... තනියෙම ඉන්නනෙ ඕනෙය කිව්වේ.. දැන් ඉතින් සැනසීයන්'

මට ඒ කතාව ඇත්තටම කනට මී පැණි වගේ දැනෙන්න තිබ්බ දෙයක්. හත්වලාමයි, මට දැනුනේම භයංකාර නාදයක් මගේ වටේ ගිගිරුවා වගේ. ඇත්තටම අන්ධකාරය නිශේධ කරන්නට වට පිටේ සෑහෙන්න මද ආලෝකයක් සපයලා තිබුන එකත් මට දැනුනේ මහා වදයක් වගේ.










ඊට පස්සේ ඉතින් රාජකාරි!

එනකොට දැනුන මහා වියෝගය තුරුළු කරගෙන මම හැල්මේ දුවමින් මගේ රාජකාරියේ. ඉඳල හිටලා, දාඩිය දාපු අත්ල උඩට ගත්ත පොඩි කොළකෑල්ලක ලියපු කටුසටහනක් විදියට 'අයිතිකාරයා' දිහා බැලුවත්, මට නවතින්න විදියක් තිබ්බේ නැහැ. ඉතින් මම කලේ මද අන්ධකාරය විනිවිදව පුළුවන් තරම් දුරට දිලිසෙන්න හදපු එක.

එකපාරක්! එකම එක පාරක් අයිතිකාරයාගේ ඇස්දෙකට අහුවෙන්නයි මට ඕනේ කලේ.... මැටි මෝල් මම දැනගෙන හිටියේ නැහැනේ, අන්ධකාරයේ සමහර තැන්වලදී අඳුරම මිසක් ආලෝකයක් දිස්නයක් දෙන්නේ නැහැ කියල.

ඒ අතරින්, පුංචිම පුංචි බලාපොරොත්තු තිත් එක්ක හිනාවෙන්න මම කැමති උනා. අන්න එතකොටයි, පුංචි වැටවල් පසාරු කරගෙන, රබර් වතු පීරාගෙන ඒ දිස්නය පෙනෙන්නට ගත්තේ.

මම මුලිම්ම හිතුවේ මට උන්මාදයක්ය කියල. පස්සෙන් පහු ඒ උන්මාදය ගැනම මම උන්මාදයෙන්මයි හැසිරුනේ. ඉතින් මම දිලිසෙන වෙලාවට පුළුවන් තරමින්ම දිලිසෙන්නත්, අඳුරේ සැඟවෙන වෙලාවට දිස්නය මාව හොයන හැටි බලාන ඉන්නත් පුරුදු උනා.

ඉතින් දැන් මට කියන්න... චන්ද්‍රිකාවක් වෙන එක කියන්නේ අයිතිකාරයෙක් නැතිවෙන එකද කියල?





Thursday, January 19, 2017

55. දේදුනු පාට






හත්පෙති මලකි අත
ශේන්යා තාමත් සමඟ -
පැණිවළලු අතැ'තිවම මහමග...

කහපාට පෙත්තකි අත දරන
නිල, දම් පෙති තවම නොදනින 
පාටම මිසක් පැටලවෙන
පැතුමද නොවේ ඉල්ලන....

කොයිපාට පෙත්තද
කෙල්ල නුඹ මට එවන්නේ?
කුමන ගීයද අදත්
සෙමෙන් මුමුනමින් පතන්නේ?
පතන මුත් හැමදාම ගීයෙන්
කවදදෝ පාටමල් පෙත්ත විසිකරන්නේ?

|
|
කවදාද කෙල්ල නුඹ
මා දෙපා සුව කරන්නේ?

Thursday, January 12, 2017

54. විලාසිනි




නා දළු නො‍වෙන ‍තොල් පෙති හිමි ‍‍නොවන හිතක්
පා හිනැ‍හෙන්න තතනන ‍පෙම් නුරා වතක්
දා හය ‍‍පෙ‍නෙන දැල්වෙන  ‍නෙත් කැලුම් විතක්
මා අතැගිලිද සොයමින කිලි‍පොලන මතක්




Wednesday, January 4, 2017

53. මැවුම්කරුවාට ලියමි






විසිකොට පොරි
බඩගිනි පරෙවියට,
විද මරනු කෙලෙසද
හදවතට?

තනුවක් නොමැති තතකට,
ගිටාරය සිඹිනු නොහැකිද?


Tuesday, January 3, 2017

52. නාඳුනන්නිය



නාඳුනන්නිය
නුඹ කොහි සිට ආවේද
මා මෙහි බිඳෙමින් සිටිමි
බිඳෙමින්ම උපදිමි
නැවතත් හුස්මගමි

මමද තනිවම
ඔබද තනිවම
යලිදු ජීවත්වෙමු....

ඔබේ මුදු  බැල්ම,සිනිදු කොපුල
ඔබ මද සිනහව , ඔබේ දෙතොලින්
වරක්හෝ මා අමතනු මැන

මමද තනිවම
ඔබද තනිවම
යලිදු ජීවත්වෙමු....


Sunday, January 1, 2017

51. අප්පච්චීට කෙටියෙන්

කොල්ලෑව නැතුව
ගඟ මැද ඉතිරිව
බලා ඉමි මම
සුළිය එනතුරැ....




Related Posts Plugin for WordPress, Blogger...