Sunday, August 20, 2017

131. සුහදිනියේ - 02

කලින් කොටසට 




"අනේ මොනා.......................ද තීක්ෂණ......... යමුකෝ"

චාපා නලවලා කියනකොට ඇත්තටම මට නැගුනේ කෝපයක්.

"චඃ.... දැන් මම එකපාරක් කිව්වනේ.. එන්න බෑ එන්න බෑ.."

අතේ එල්ලෙනවට මම කැමති නැහැ කියල දැනගෙනත් මොන කෙහෙල්ගෙඩියකට එල්ලෙන්න එනවද මන්ද.

".. විරංග එක්ක යන්න.. මම ඌට කියන්නම්"

"හුහ්... විරංග එක්ක යන්න ඕනේ නම් ඔයාට එන්න කියනවද? මොකද්ද අනේ එන්න එන්නම ගොඩේ වෙන්න හදන්නේ? ක්ලබ් එන්නත් බෑලු.. ගියපාර ස්පා යන්න ආවෙත් නැහැ අපිත් එක්ක"

"ගියපාර විතරක් නෙවෙයි හැමපාරම ඔයත් එක්ක මම ස්පා ගිහින් නැහැනේ. මට අද හවස ස්පෝර්ට්ස් ක්ලබ් එකට යන්න තියෙනවා."

මම ශීතකරණය ඇරලා දොඩම් පානය අතට ගන්න ගමන් කිව්වා.

"ආ... හරි ෂෝයි.... මම එන්නම් ඔයා ප්ලේ කරනවා බලන්න."

චාපා මගේ උරහිසට බරවෙනකොට මම අකමැත්තෙන් උනත් සද්දයක් නැතුව හිටියා. මල වදයක්නෙ!

"දැන් 'හයි ටී' යනවා කිව්වේ?"

දොඩම් යුෂ උගුරක් බීපු මම චාපා දිහා බැලුවේ සමච්චලයට වගේ.

"ඉතින් මම ඉන්නම්"

ලේයර් කරපු කොණ්ඩය පැත්තකට ඇලකරලා චාපා කිව්වේ හිනා වෙලා. චාපා ලස්සනයි, එකපාරටම මට හිතුන. ජංගම දුරකථනය නාද උනේ එතකොටමයි.

Thursday, August 17, 2017

130. මලට නොවේ



ඒ ඇස් ඇත්තටම තිබ්බේ මගේ ගාව නෙවෙයි... මගේ කොට සායේ යටම කොටසේ තැනක ඩිංගක් විතර පැටලිලා තිබුණු බැල්ම ඉවත්වෙලා ගිහින් රැඳිලා තිබ්බේ නිකම්ම නිකම් අවකාශයේ.

"මට බැහැ"

වමතින් යන්තමට තියෙන රැවුල් කොට අතගාන ගමන් ඔහු කිව්වේ විධානයකින් වගේ නෙවෙයි. පොඩ්ඩක් විතර අමුතු විනෝදකාමී හඬකින්.

"මොකද බැරි?"

මම එහෙම ඇහුවම ඔහු මුලින්ම කලේ ආපහු හැරිලා අපිට මීටර් සීයක් විතර දුරින් හොරගල් අහුලනවා වගේ එහාට මෙහාට ඇවිදිමින් හිටපු යාලුවා ; ඇත්තටම කිව්වොත් ඔහුගේ සුනඛ යාළුවා; දිහා බලපු එක. ඊට පස්සේ ඔලුව ඇල කරලා මගේ දිහා බැලුවා. බලන්න බෑ , ඉතින් මම අහකට ඇස්දෙක හැරෙව්වට ඔලුව ඔන්න එහෙම්මමයි!

"බැරි ඉතින් බැරි නිසා. අපි මේ කතාව නවත්තමු"

මටත් ඕනේ කලේ මේ කතාව නතර කරන්න තමයි. ඒ උනාට මගේ පෙර සුදානමක් තිබ්බේ නැහැ නවත්තන්න. ඉතින් මම ඔහේ බලාගෙන හිටියේ කළුවර වැටෙනවා බලාගෙන ඉන්න කුමුදු මලක් වගේ.


"අපි යමුද?"

මම පාරේ අනික් පැත්තට ඇවිදින්න හැදුවම ඔහු එකපාරටම මගේ පොත් තිබ්බ බෑග් එකෙන් ඇදලා ගත්තා. මාව විසිවෙලා ආවේ පරඩලක් වගේ.

".. මොකද කරන්නේ? පිස්සුද?"

එහෙම ඇහුවේ ඇත්තටම තරහින් තමයි.

"සුවඳයි... මොකද්ද පර්ෆියුම් එක?"



Friday, August 11, 2017

129. මේඝලතා






තඹර පෙතිමත සිසිල ඉසිමින - සුවඳ ගන්නට ඇගෙන් උදුරා
අඹර දිදුලන විසුල දිනමිණ  - පමා වන්නට කනට කොඳුරා
බඹර පහසට පෙති විදාගෙන - කුසුම දෙන්නට කලින් සපුරා
කුවර නළලත සෙමෙන් සිපගෙන - කුමට වන්නට විසෙස් තවරා


මදින් මද නළ සෙමෙන් උණුහුම් - වෙතොත් ඈ ගත සීරුවෙන්
සොඳින් පිරියම් කෙරුණු මනරම් - ලවන වෑහෙන මීවිතෙන්
ඉදින් තත්පට සුසර කරවම් - මෙවුන්දම් මඩනා වැරෙන්
බැවින් නූපුර සැලෙන සුරුවම් - දිනෙන් නොනෙලමි සීරුවෙන්




මුවින් තත්පට සුසර කරවම් - වැයුම් මියුරුව ඇසෙන ගැයුමෙන්
බැවින් නූපුර සැලෙන සුරුවම් - දිනෙන් නොනෙලමි එරත් කුසුමන්

ප.ලි: අන්තිම පද දෙක හරි නැහැ කියල තිබ්බ නිසා ඒ දෙක ආයෙමත් ලිව්වා.


Monday, August 7, 2017

128. අසාධ්‍ය නොවන මෙව්වා එක

ළමායි.....
ඔන්න බලන්න ළමායි...

මම මේ කියන්න යන්නේ බොහොම ආදර්ශමත් කතාවක්! ඔන්න බලන්න ලමයි ඒක මෙහෙම තමයි පටන් ගන්නේ...

එකෝමත් එක රටක ( හෑ ඔව් නේන්නම්.. එක රටක් කියල කියන්න දැන් අමාරුයි. මොකද ඒ රටේ ලොකු ලොකු තැන ඔක්කොම අයිති එක්කෝ චීනෙට, නැත්තම් ඉන්දියාවට. ඒ හින්ද මේක රටක් උනාට ඒ වගේ චුට්ටක් විතර අච්චාරු රටක් ඈ... ආ චී චී දේසපාලනේ නෑ ඔන්න!) හිටියා ළමයෙක්.



ඒ ළමයා අනිත් ළමයි වගේ...ම තමයි.

ඒ උනාට පොඩියට විතර.. ඩින්ගිත්තක් විතර සර්කිට් අවුලක් වගේ තිබ්බ උනත් ඒවා එතරම් බලපෑවේ නැහැ. මොකද ඒ අවුල වගේ එක පොඩි කාලේ ඉඳලම තිබ්බ නිසා ඒ ළමයාගේ අම්ම හිතාන උන්නේ ඒක එහෙම්මම හදපු මොඩල් එකක්ය, ආයෙත් බයවෙන්න දෙයක් නැතිය, දෙය්යන්නාන්සේගේ ළඟ තිබ්බ ඒ අච්චුව කැඩිලා හින්දා ඒ ජාතියෙන් තවත් එකක් එන්නේ නැතිය කියල විතරයි.

Thursday, August 3, 2017

127. විරසක සුසුම්



විරහව කොතරම් රසවත්ද?

විරහව රසවත් වන්නේ යම්සේද එපරිද්දෙන්ම කඳුල, තනිකමද එකලෙසම රසවත් මං මාවත් තනන මැවුම්කරුවෝ වැනිය. ඇඹුලති රඹ පලයක නියම රසයත්, සියලු රස එක්තැන් කල නෙල්ලි ගෙඩියකත් රස , විඳීමෙන් පමණක්ම දත යුත්තේය.

එබැවින්, විචිත්‍ර ආදරය හා කරට කර සටනක් දෙන විරහව, ගීත ලොව අරක්ගත්තේ අදක ඊයෙක නොවේ. සඳකිඳුරු වැලපුමක සිට වසර දහස් ගණනක් පුරා ප්‍රේමය හා සමව සිටි විරහව කුටුම්භගත වීමෙන් නතරවේද? සිය අභිමතයට එක්විය නොහැකි වුනු පෙම්වත් යුවලකට  නම් ආදර කුටුම්භයක විරහවක් දැනෙන්නේ කෙලෙසකද?

සිය පණ හා සරි වල්ලභයා හෝ පාදපරිචාරිකාව හා අමනාපව විසීම තරම් කටුක මොහොතක් තවත් තිබේද?

Wednesday, August 2, 2017

126. රතුපාට මල් - 5

රතුපාට මල් - 1
රතුපාට මල් - 2
රතුපාට මල් - 3
රතුපාට මල් - 4





පටු කොරිඩෝවේ අග තිබුනේ අඩක් වැසුණු දොර පළුවකි. බිම දිගේ ඇතිල්ලෙන පය අපහසුවෙන් ඔසවමින් මම කොරිඩෝව දිගේ ඇවිද යන්නට තැත්කලද, මගේ දෙපා හිරිවැටි ඇති සැටියකි. හිස හරවන්නට පවා නොහැකිය. මම හුස්ම අල්වාගෙන ඉදිරියට පියවරක් තැබීමි.

'මම කිව්වා නේද නැකත් බලනකොටම....'

'අනේ මයේ කෙල්ල'

ඉකිබිඳුමක් , හැඬුම් හඬවල් කිහිපයක්...

'උඹ තනිවෙලා නැහැ මයේ දුවේ....'

'අපි බාරගන්නවා.... නැන්දලා විස්සෝප වෙන්ට කාරණාවක් නැහැ..'

'විස්සෝප නොවී කොහොමද....?'

කසු කුසු , මන්ත්‍රණ, හැඩිම් දහසක මුණු මුණුව හාත්පස පුරා විසිරී තිබුනද කිසිවෙකු පෙනෙන්නට නැත. නොඑසේනම් කොරිඩෝවේ අඳුර මඩින වපසරියෙන් පිටත වන්නට හැකිය. නමුත් මට වෙනත් කිසිවක් නොපෙනේ.

"සුදු මැණිකේ...... සුදු මැණිකේ...."

අඩක් විවරව පැවතී දොර අතරේ හිඩැසින් පෙරී ආවේ වේදනාවෙන් පෙලෙන පිරිමි හඬකි. ඒ අමතන්නේ මටම බව මම දනිතත්, දෙපා හිරිවැටී ඇති මගේ පය බිම ඇති සිමෙන්ති පොලව දිගේ ආයාසයෙන් ඇදෙයි.

Related Posts Plugin for WordPress, Blogger...