Monday, December 19, 2016

50. මට දැන් ඕනේ....




ඉතිං මට දැන් ඕනේ බල්ලෙක් වෙන්න. කන්දෙක උස්සගෙන පස්සෙන් යන්න. ඔයා කියන දෙයක්ම කරන්න. වෙන දෙයක් නොකරම ඉන්න. ඔයාගේ පුළුන් කොට්ටෙට වෙලා සැපට තුරුල්වෙන්න. ඔව් සමහර වෙලාවට ඒ කොට්ටේටම 'වැඩේ දීල' හැමතැනම පුළුන් ඉහිරවන්න. තේරෙන්නැති වෙලාවට ඔලුව ඇල කරගෙන කන්දෙක සීරුවට තියාන ඔයාගේ මුණ දිහාම බලාගෙන ඉන්න. තේරෙන දෙයක් දැනුන ගමන් උඩ පැනල ඒ ගැන ප්‍රීතිය පලකරන්න.

හැමවෙලේම ඔයාගේ ළඟට වෙලා වාඩිවෙලා ඉන්න. ඔයා මොන සීරියස් වැඩක් කලත් මට කිසි ගානක් නැතුවම වගේ ඔයත් එක්කම එකඟ වෙන්න. සීරියස් වැඩ ඔක්කොම ඉවර වෙච්ච ගමන්ම ඔයාව අයිතිකරගන්න.

ඉතින් මට දැන්ම ඕනේ බල්ලෙක් වෙන්න! මා එක්ක එනවද එතකොට ඇවිදින්න යන්න?

Sunday, December 18, 2016

49. ඉතිං කෝවලන්




කෝවලන් උඹ
තවිල් බෙර වයමින් - නොයිඳ
ඝන්ඨාර නෑසෙන මෙතෙරට
පිහිනන්නෙ
කවදාද?

Tuesday, December 13, 2016

48. කරදාසි




වැලි කරදාසි අතැතිව
මගේ හිත
තුන් වේල පිරිමදින
නුඹ
ඈත ඇයි මට තාම?





'දුකම කොයිතරම් සතුටක්දෝ' කියල ජීවත් වෙන්න මට උගන්වන්න පුළුවන් නම්..... 

මන්ජි....,
ඇත්තටම ඒක ඉගෙනගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයිද? ඒ හින්දද මම තාමත් ඉගෙනගෙන නැත්තේ?? නැත්තම් වේලුනු ස්පොන්ජ් කෑල්ලක් වගේ මමත් කෙළවරක් නැති අසම්පුර්ණ සිදුරු දරාගෙන ඉන්න නිසාද???

හැමදාමත් වගේ ඔයා මගේ! දෙන්නේ නැහැ කාටවත්ම.... ඉල්ලන්නත් එපා ඔයාවත්



~වෝට මෙලන්

Thursday, December 8, 2016

47. මම



එළිවැට නැතුව
පය පැකිල තරප්පුව
අසල බිම වැටුන
ක්‍ෂුද්‍ර කිවිඳිය - මම

උත්ප්‍රාස සියල්ලම මොටව
අනුභූති පෙති කපාගනු නොහැකිව
කොස්කොටන අසිපත
පණපොවන - මම

අවිචාර විචාරෙට හසුව
සන්තකව තිබුණු කරදහිය
උඩු හුළඟටම දිගහැරිය
ලියන්නී  - මම

Monday, November 28, 2016

46. වයින් එක්ක පොල්සම්බෝල


සමහර වෙලාවට ලියන්නේ මොනවද කියල හරියටම හිතාගන්න බැරිවෙන්නේ පුංචි සිදුරකින් රිංගන්න පොරකන සබන් බුබුළු තොගයක් වගේ ලියන්න ජාති ගොඩාරියක් ඔලුවේ හිරවෙන නිසා වෙන්න ඇති. ඉතින් සමහර සබන්බුබුලු සාර්ථක වෙච්ච සබන් බුබුළු වලට තෙරපිලා බිඳිලා යනවා වගේ සමහර අදහස් ඒ මොහොතේ නොලිව්ව නම් ආයෙමත් නොඑන්නම බිඳිලා යනවා. ලියන මානසික තත්වය, වෙලාව ලැබුනහම බලනකොට ආයෙමත් ගන්න බැරි තැනකට ඒ අදහස තල්ලු වෙලා ගිහින්.

බ්ලොග් වල ලියන්න ඕනේ මොනවද කියල මම මිට මාස ගානකට කලින් හොඳ 'ලෙච්චර්' එකකට සම්මුඛ වෙන්න උනා. ඒ උන්නාන්සේ කිව්වේ ටෙක්නිකල් දේවල්, කවි, සාහිත්‍ය වගේ දේවල් තමයි ලියවෙන්න ඕනේ කියල. මම ඉතින් විරිත්තපු මුණක් දාගෙන අහගෙන හිටිය, මොකද ඒ වෙනකොට මම බබෙක්. ( ඒ බබා ඒ වෙනකොටත් සෑහෙන කවි, කතන්දර, සාහිත්‍ය විචාර විතරක් නෙවෙයි, පණ්ඩිත කතාත් තොගයක් බ්ලොග් ගත කරලා ඉවරයි)

බ්ලොග් වල ලියන්න ඕනේ මොනවද? හැබෑටම මොනවා ලිව්වොත්ද හොඳ? හිට් වෙන්නේ? ( මේ දෙක පැහැදිලිවම දෙකක් හොඳේ?? ලියන්න හොඳ සහ හොඳටම හිට් වෙනවා කියන එක !) සමහරු කැමති හිට් වෙන දේවල් ලියන්න. තවත් සමහරු කැමති තමන්ට ඕනේ බහුබූත ලියන්න. හිට්වන බහුබූත ලියන අයත් ඉන්නවා.

ඒ අතරින් දේශපාලනය ගැන ලිවිම තියෙන්නේ උඩින්ම. මොකද දේශපාලනය කියන්නෙම බහුබුතයක්! ඒවා මිනිස්සු කියෝනව, සහ මොකද්දෝ කාලකන්නි සතුටකට අපි ඒවා 'හොට් නිවුස්' ලෙස සලකනවා. මමත් දේශපාලන ලිපි කියවනවා, මොකද මටත් දේශපාලනය ගැන මගේම මතවාදයක් තියෙන නිසා. නමුත් දේශපාලන ලිපි කියන්නේ අද බහුතරයක් දෙනා ලියන විගඩම් නෙවෙයි. මම නම් දකින හොඳම දේශපාලන ලිපි තිබ්බේ/මම කියෙව්වේ බ්ලොග් එකක . එහි සමබර ගතියක් දැනෙනවා, රචනා ශෛලිය උනත් උචිතයි. අපහාස අඩුයි සහ තාර්කිකයි.

මම දැකලා තියෙනවා තමන්ට තියෙන දේශපාලන මතවාදය ලියන්න ගිහින්, ඒ ලිපිය කෙලිම්ම මඩගොහොරුවක් කරලා, ඌරන්ට නිදහසේ සෙල්ලම් කරන්නට, නරින්ට හූ කියන්නට විවෘත කරලා තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ එක පාටකින් තමන්ගේ රුධිරය පාටකරගත්ත, සදාකාලික දේශපාලන සතුරෝ/මිතුරෝ ඇතිය කියලා මනෝ විකාරයකින් ජීවත්වෙන මිනිස්සු. මේකට පොතේ-පතේ, උපාධියෙන් ලැබුණු උගත්කම බලපාන්නේ නැහැ. සමාජයේ උගත් කියල හිතෙන අයත්, නුගත් කියල හිතනම තලයත් කියන දෙකොටසම මේ වැඩේ කිසිම ලැජ්ජාවක් නැතුව කරගෙන යනවා.

ඇත්තටම වැඩක් තියෙනවද?

ඒ වගේ ලිපි වලින් කරන්නේ ද්වේශය ඇති කරන එක. කියවන්නා තුල ගැටුමක් නිර්මාණය කිරීමෙන් වෙන්නේ මොකද්ද? කවදාවත් ලිපියක් කියෝලා එකවරම හෝ නොබෝ කලකින් සිය දේශපාලන දර්ශනය වෙනස් වෙලා තියෙනවද? ( එහෙම වෙලා තියෙනවා නම් ඔහුට කොහොමත්ම දේශපාලන දර්ශනයක් තිබිලම නැහැ, මොකද එහෙම දර්ශනයක තාර්කික බවක් ඇත්තේ නැහැ.) මේ පාර අපි දුන්නේ අහවලාට, ගිය පාර අපි දුන්නේ අහවලාට, ඇද්ද උඹලට වශයෙන් වහසිබස් දොඩමින් ඉඳීම ඇත්තටම මට නම් පෙනෙන්නේ තමන්ගේ ටොෆි කොළ එකතුව ගැන වහසිබස් දොඩන මොන්ටිසෝරි ළමයෙක් වගේ.

මේක ලිව්වේ එහෙම ලියන්න එපා කියන්න නෙවෙයි. ලියන කෙනා මම නෙවෙයි කවුරු කිව්වත් ලියනවා. මම මේ සටහන තිබ්බේ වැඩිහිටියෝ 'වගේ පේන' මේ මිනිස්සු නේද කතිරේ කොටලා අපිට මේ තත්වේ උදාකරල දීල තියෙන්නේ කියල මට වැටහුණු නිසයි.

කලාකාරයෝ නලාකාරයෝ වෙලා කියල බනිනවා. ඇයි හත්වලාමේ නුඹලාටත් වෙලා තිබෙන්නේ එයම නේද? ඔය දේශපාලන කුණු මාළු කෑල්ල අතහැරලා ලියනවකෝ වෙනත් දෙයක්! පරණ ශ්‍රී විභූතිය පලු අරින්නේ, කරනවකෝ තමුන්ම යමක්! අඩුම තරමේ මොන්ටිසෝරි යන එකෙක්ට පන්තියේදී හදන්න පුළුවන් නව නිර්මාණයක් කරනවකෝ!!


නම් කරන්නත් හිතෙනවා.. එක්කෝ ඕනේ නැහැනේ නේද? මොලයක් තියෙනවා නම් ඒ උන්දලාම කියෝලා බලයිනේ මේ පාලු බ්ලොග් එකට ඇවිත් !



ප.ලි. මාතෘකාව ගැන හිතන්න එපා. ඒක දැම්මේ වයින් කිව්වහම පොල්සම්බෝල වයින් එක්ක කනවද, කලින් කනවද කියල හිතන අයත් ඉන්න නිසා.



Wednesday, November 23, 2016

45. සිනමාපටය


Mahnoor Shah Tutt'Art





මේ සිනමාපටය
ඔබ - මා සමඟ රඟන ,
තිරපිටපත නිතර අළුත්වන
පරණ කතාවම ආයෙත් කියන....

සටන් ජවනිකා අතරතුර,
මනබඳින ගීත වාදනයවන.
සහය නළුවන්ම වටා කැරකෙන,
දර්ශනතලය පසෙක මා බලාහිඳින...

එකම දර්ශනය
සියවතාවක් රූගත කරන,
ක්‍ෂුද්‍ර මම ශේෂව
හෙළකින් පහළට වැටෙන,
නැවත පිටපතේ
යහතින් සිටියයුතු වෙන?




Thursday, November 17, 2016

44. සිසිල් උණුහුම් හැඟුම්




ඔබේ මුදු සුළඟිල්ල වටා මා වෙලී උන්
ඉබේ ටම පියෙන නෙත නුඹේ උරහිසක වන්
තිබේ පෙර සසරකම හුරු පුරුදු ආදරෙන්
නුඹේ උණුසුම විඳිමි මුදුව තුරුලට අරන් 



වින්දාට නෙත පිනන මේ උයන මල් රටා
දම්පාට මම අඳින ලා සඳේ රූ වටා
මැව්වාට මිරිඟුවට යනුය නොහැකිය ඉටා
පෙම්පාට හිත තාම දැවටෙන්නේ නුඹ වටා 

Tuesday, November 15, 2016

43. රහස් ?





පැලුණු තොල්,
නියපහර ලද කම්මුල් ,
රිදෙන අතපය  - පවසන
රහස කිවමැන දස්කොන්?




42. පබවත සහ වත්මන






ඉතිහාසය අමුතුයි. ඇත්තටම මට ඒක ගොඩක්ම අමුතුයි. මොකද ඉතිහාසයේ සමහර දේවල් ගැන අපි අද කල්පනා කරන විදිය ගැන අනාගතේදී හිතල බැලුවොත් හොඳින්ම වැටහෙන කාරනාවක් තමයි, හැමෝම ඉතිහාසෙට වඳිනවා මිසක්, නැවත නැවතත් එකම වලක් ඇතුලේ දෝනා කපනවා නේද කියල.. එහෙම නෙවෙයිද?

යශෝධරාවත කියන්නේ මම ඉතාම ආසාවෙන් සහ උනන්දුවෙන් කියවපු, නැවත නැවත පරිශීලනය කරන්නට තරම් ප්‍රිය උපදවන කොටසක්. එහි තිබෙන්නේ සංකල්පමය වශයෙන් විචිත්‍ර රසයක්. ඒ කියන්නේ එහි ආනන්දය වගේම , ක්‍රෝධය, ශෝකය, ආදරය, සෙනෙහස, ප්‍රේමය, රාගය , කරුණාව විතරක් නෙවෙයි වෛරය , ජුගුබ්සාව පවා එකලෙස එකතු වෙලා තියෙන නෙල්ලි ගෙඩියක් වගේ. මම අන්ධ භක්තිකයෙක් නෙවෙයි කියල මටම කියාගන්න සුදානමක් නැති උනත් ගොඩක් වෙලාවට මම ඒ වගේ චරිත කතා කියවන්නේ ආගමික මුහුණුවරක් හිතින් අයින් කරලා. සිද්ධාර්ථ චරිතය ගැනත් මට පොඩි කාලේ ඉඳලාම ගොඩක් ප්‍රශ්න තියෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. (  දැන් නම් ඒවා විසඳිලා සදාකාලික විදියටම. ප්‍රශ්න වලට පිළිතුරු ලැබීමෙන්ම තමයි ඒවා විසඳුනේ.)

යශෝධරාව කියන්නේ ගෞතම බුදුරජානන් වහන්සේගේ බුද්ධත්වය කරා යන ගමනේදී බෝධිසත්ව අවධි වලදී හිටපු සහකාරිය. මම මේකෙදි සරල උපකල්පනයක් කරනවා ඒ බොහෝ උප්පත්ති වලදී බෝධිසත්වයන්ගේ බිරිඳ ලෙස යශෝධරාව ඉන්නට ඇතිය කියලා. එතැනදී බොහෝ කියන එකෙන් අදහස් කලේ අති දීර්ඝ සසර ගමනේදී අනේක වාරයක් බෝධිසත්වයෝ අවිවාහකව ඉන්නට ඇති, අනේක වාරයක් වෙනත් බිරිඳක් හා ගෙවන්නටද ඇති. ඒවා විය හැකි දේවල්.

මේ සසර ගමනේදී ඇගෙන් ලැබුණු සහය ගැන බුදුරජානන් වහන්සේ විසින් වෙනම දීර්ඝව ගුණකතනයක් ලෙස පැහැදිලි කළා, පළමුව උන්වහන්සේගේ ගිහිකල පියා බලන්නට පැමිණි අවස්ථාවේදී. එනම් යශෝධරාව කියන්නේ බුදුරජානන් වහන්සේ පවා වර්ණනාවට ලක්කරනලද චරිතයක්!

එක භවයකදී ඈ ඉතාම බුද්ධිමත් අමරා දේවිය ලෙසත්, තවත් භවයකදී රජවූ බෝධිසත්වයින්ට අග බිසව ලෙසත් වගේම කුස කුමාරයාට පබාවතී ලෙසත් පදුමුත්තර කුමාරයාට බිසව ලෙසත් වශයෙන් විවිධ භූමිකාවන් වලට පනපොවනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව සම්පුර්ණ බිරිඳක් ලෙස පැසසුම් ලබන යශෝධාරා ගැන අප කතාකරද්දී පබාවතී සහ පදුමුත්තර කුමාරයාගේ බිසව අපට සර්ව සම්පුර්ණ ලෙස අමතකවීම කොතරම් පුදුමයක්ද?

පබාවතී කියන්නේ කුස කුමාරයාට නොසෑහෙන්න අවමන් කරමින් කුස කුමාරයාගේ ඛන්ති පාරමිතාව ( පාරමිතාව, උප පාරමිතාව සහ පරමත්ත පාරමිතාව වශයෙන්) සම්පුර්ණ කිරීමට බෝධිසත්වයින්ට ලැබුණු එක්තරා භාවයක සිටි 'වධක බිරියක්' නොවේද? පදුමුත්තර කුමාරයා විසින් පූරණය කරන්නට යෙදුනු යම් පාරමිතාවක්/පාරමිතා සඳහා එන බිසවගෙන් සහයක් ලැබුනේ නැහැ කියන්නෙම කෙසේද? පබාවතී එසේ නොකලානම්, කුසට පූර්ණය කරන්නට පාරමිතාවක් ඉතුරුවේද? පදුමුත්තර කුමාරයා බෝධිසත්වයෙක් වන්නට නම් දුෂ්ටයෙක් සිටිය යුතුමයි නොවේද?

බිරින්දෑවරුන් ගැන, සැමියන් තුල තිබෙන්නේ ගොඩක් වෙලාවට කර්කශ ආකල්ප. එහෙම නොවෙන්නේ බොහොම කලාතුරකින්. ඔබේ බිරිඳ පබාවතී නම් ඒ ඉන්නේ අනාගතයේ යශෝධරාවක් ලෙස බලන්නට හැකි වෙයිද? බුදුවන්නට අවශ්‍ය නැහැ, නමුත් ඔබේ ආකල්පය වෙනස් වන්නට පුළුවනි.

කිවයුතු තවත් කාරණයක් තිබෙනවා, ථේරී ගාථා වලදී, යශෝධරාව විසින් බුදුරජානන් වහන්සේ ගේ දෙපා නමදිමින් සසර පුරාම විවිධ භාවයන් තුලදී කරනලද සියලු නපුරුකම්, ද්‍රෝහිකම් ගැන සමාව පවා ඉල්ලනවා. ( එයින් අදහස් කරන්නේ නැහැ ශෝකයෙන් එහෙම කරනවා කියල. මොකද ඒ වෙනකොට යශෝධරාව කියන්නේ රහත් මෙහෙණියක්) එතැනදී විශේෂයෙන් පබාවතී ලෙස දුන්නු දුක් ගැහැට ගැන සඳහන් වෙනවා.

අතීතය තුලින් අප ඇත්තටම මවන්නේ කවර ප්‍රතිරුපයක්ද? වර්තමානයේ බිරිඳ ගැන ඇතිවන වෛරී හැඟීම කියන්නේ අනාගතේ බැලුවහම පුස්සක් නොවේද? සමහර වෙලාවට අපේ ගුණාංග වර්ධනයට ඒ හැසිරීම් පාදක වෙනවා නොවේද?

සමාව දෙන්න බැරි වරදවල් කොහෙද තියෙන්නේ?


ප.ලි. මේක ටැබූ සබ්ජෙක්ට් එකක්ද කියන්න මම දන්නේ නැහැ. එසේ වෙයි නම් ප්‍රවේසමෙන් කොමෙන්ටු කොටන්න. මට නම් කිසිම ගානක් නැත 



Tuesday, November 1, 2016

41. මේපල් කොළ





පසුකර පදවමි
ඔබ රැඳුනු නගරය...
ඈතින් සලකුණු කරමි
ඔබ රැඳුනු මාළිගය...

මේපල් කොළ මවමි
ඕක් පත් අමතක කරමි,
සරතයක නෙක පැහැය අමතමි
කල්පයද තත්පරය සසඳමි....

සයින්ධව අසු සමග නුඹ
සමුදුරෙන් පැන එතැයි නොසිතමි...
හැමදා මෙන්ම අදටත්
කාලයේ කෙනෙහිලිම විඳිනෙමි....




Friday, October 28, 2016

40. මුද්‍රා තබමි



අදින් ඇරඹෙනු ඇත,
ඒ රික්තකය....

කාලය හෙමින් ගාටන -
රාත්‍රිය වඩා දිගුවන -
දුරබනුව නොහඬන -
කල්පය , තත්පරය පැටලෙන...

හෙටින් නිමවෙනු ඇත,
කළු කුහරයක පිවිසුම...

අදින්ද - හෙටින්ද
ඇරඹි නිමවෙනු ඇත....
අප දෙදෙන මැද මහ සයුර

Sealed with a kiss......






ප.ලි. ඔරිමජිනල් සින්දුව කිව්වේ Bobby Vinton උනාට, මම ආසම වර්ෂන් එක කිව්වේ ජගත්... එක්කෝ ඒකෙ ඉන්න 'රොෂානි' ට වෙන්න ඇති මම පෙම් කරන්න ඇත්තේ.

ඒක මම අහම්බෙන් දැක්කේ. ඒ ගීතයේ රුපරචනාවට හිටියේ මම ආස විදියේ තරුණියක්. ජගත් ගීතය කිව්වේ මැජෙස්ටික් සිටි එකේ තියෙන පියානෝව වාදනය කරන ගමන්...



Sunday, October 23, 2016

37. චිත්‍රා මගේ දුව...


අළුත උපන් සිය කිරිකැටි මුනුබුරා අතින් ගෙන වේදනාවෙන් දෑස් වසන භද්ධකච්ජායනා බිසව



දියණියනි තොප
වැදූ මවුබිසව් මම,

ම'පුතුන් කෙරෙන් නොව
සිහසුන් ගනුව ලොබ,
ගැබ්බර නුඹට පවුරුව
රැකගත් සිහසුන් දරන කුමරුව !

දරු දුක දනිම් - මම
පුතුන් දන් දුනිමි - මම

එක්ටැම් ගෙයක ලා
සොයුරන් රැක්ක චිත්‍රාව නුඹ....
අමතකව ගියද , ගිණිලා
චිත්‍රා මගේ හුරතල් දුවමයි නුඹ!!







ප.ලි: උන්මාද චිත්‍රාව ගැන කියෝපු පලවෙනි දවසේ ඉඳන්ම මගේ හිතේ හොල්මන් කරපු කාරනා කීපය අතරින්, තදින්ම කල්පනා වෙච්ච දෙයක් තමයි උන්මාද චිත්‍රාවගේ මවුබිසව ; භද්ධකච්ජායනා. තමන්ගේ පුතුන් සියල්ලම ඝාතනය කරනවා යයි අනාවැකියක් තියෙද්දිත්, කුලසිරිත් ගරු නොකොට උනත් ගැබ්බර උන සිය දියණිය වෙනුවෙන් පෙනී සිටි, ඇගේ දරුවා; එනම් සිය පුතුන්ගේ ඝාතකයා; පනමෙන් රැකි ඇය... මොනවා හිතාගෙනද එහෙම කලේ? මවකගේ ප්‍රේමය ඉක්මවා මිත්තනියකගේ දරු කැක්කුම ඉදිරියට ආවාද? මට මේ කිසිවකට පිළිතුරු දෙන්න ඇය නැති උනත්, කාටවත් උපලක්පනය කරන්නවත් බැරිද කියල මම පුදුම වෙනවා.

ප.ප.ලි. මම 'අබා' චිත්‍රපටය පුළුල් තිරයේ නරඹනකොට මේ භද්ධකච්ජායනා චරිතය දිහා මුල ඉඳලම ඇහැ ගහගෙන හිටපු නිසා වෙන්න ඇති, සෑම කොටසක්ම පරිස්සමෙන් බලාගෙන  හිටිය.මාලනී ෆොන්සේකා එය සාර්ථකව ඉදිරිපත් කළා කියන්න පුළුවන්.

Wednesday, October 19, 2016

36. කෝවිල ළඟ



කෝවිල් දොරකඩ බලාහිඳින හිස මල් ගවසාගත් යුවතියක්



පා සටහන්ය වෙරළත,
ඔබ නොවන ඔබෙන් සලකුණු කල...

ගිනිදළුය ලිප මත,
කොස් මැල්ලුමද රසකල ...

නොඑන බව දැන දැනම,
පිසිමි බත මදගින්න මැද - හද

හිඳිමි පිල්කඩ ගුලිව,
එක පසෙක දෙබසක්ම දොඩ - දොඩ







Thursday, October 13, 2016

35. නොලියු ලියුම


සොල්දාදුවෙකු සහ යුද හෙලිකොප්ටරයක් සහිත සිතුවමක්


තමලිනි ලීවාය
අපිද ලිව්වෙමු...
තමලිනි නොලිව්වාය,
අපිද නොලියමු



ප.ලි. උදෙන්ම එකපාරටම හිතුන දෙයක්. ලොකුවට පෝස්ටුවක් ලියන්න ආරම්භයක් විදියට ලිව්වේ. මගේ කව්‍යාභාදිත කමට කමත්වා

Thursday, October 6, 2016

34. සාපේක්ෂ වීරයෙක්


ප්‍රංශයේ ගොන්පොර තරඟයක අවස්තාවක්


මම පොඩිම කාලේ හිතාගෙන හිටියේ හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියල. ඩිංගක් ලොකු වෙනකොට හිතුව සාපේක්ෂව පර්ෆෙක්ට් එක හොඳයි කියල, වැඩි කාලයක් යන්න කලින් මම 'නිරපේක්ෂ' පර්ෆෙක්ට් කමක් ගැන තමයි කල්පනා කලේ. ඒ කියන්නේ සාපේක්ෂ පර්ෆෙක්ට් කමක් කෙසේ වෙතත් පර්ෆෙක්ට් කියන දේ එහෙම්මම තියෙනවා කියන එක.

උදාහරණයක් ගත්තහම, විභාගයකදී ගන්න ලකුණු ප්‍රමාණය ගත්තොත්, පංතියේ හැමෝගෙම ලකුණු අඩු වෙලාවක මට ඒ අතරින් වැඩිම ලකුණු තිබ්බහම මට සතුටක් දැනිල නැහැ. මොකද සාපේක්ෂව හොඳ උනත් නිරපේක්ෂව නරක මට්ටමක ඉන්න නිසා. ඔය විදියට හිතන එක ගැන මට මගේ යාළුවො නිතර අනං මනං කියලත් තියෙනවා. ඒකට ඔවුන් කිව්වේ 'ලද දෙයින් සැනසෙන්නේ නැහැ' කියන තර්කය.

මම නම් කියන්නේ ඒක නෙවෙයි ලද දෙයින් සැනසීම කියන්නේ. ( ඒ ගැන දැන් ලියන්න අදහසක් නැහැ, වෙනම ලියන්නම්)

මම මේ කල්පනාව කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු දෙයක්. කොටිම්ම මගේ වාසය අවුරුසු 17-18 කාලේ ඉඳන්ම මේ වෙනකල් ඔලුවේ තිබ්බ කාරණයක්. ලියන්න තැනක් , කතාකරන්න කෙනෙක් හරියට ලැබුනේ නැති නිසා තාමත් තියෙන්නේ මුලික තර්ක අවධියේ. මේ ළඟදී ඕක අලුත් උනා...

හේතුව තමයි, මම විහාරමහාදේවි පාක් එක ගාවින් වෙනද වගේ නැතුව, වැනි වැනී යනකොට දැක්ක දෙයක්. ඒ තමයි එතන කාගේදෝ පිළිරුවක් දැක්ක. ඇත්තම කියනවා නම් , මම ඒ කවුද කියලා දන්නේ නැහැ. ඉතින් මම බැලුව ඒ කවුද බොලේ කියල. බලනකොට අහලවත් නැති 'පොදුජන වීරයෙක්' ( අහල නැත්තේ මගේ ප්‍රශ්නයක් හින්ද වෙන්න ඇති)

ඔන්න ආයෙමත් එතකොට මගේ ඔලුවේ අවුරුදු ගානක් හිරවෙලා තිබ්බ අර 'නිරපේක්ෂ' කතාව එලියට ආව. ඒ කියන්නේ මේ පුද්ගලයා 'සාපේක්ෂව' පොදුජන වීරයෙක් වෙච්ච කෙනෙක්ද කියන එක?

ආයෙමත් මුලට!

අපේ ජාතික වීරයෝ ලැයිස්තුව ගත්තහම, ඇත්තටම ජාතික වීරයෝ ඉන්නේ කීයෙන් කීදෙනාද? කොටිම්ම ජාතික වීරයෝ කියල අපි කියන අය ඇත්තටම ජාතික විරයෝද? මගේ 'නිරපේක්ෂ' තර්කයට අනුව නම්, ජාතික වීරයෝ කියන්නේ ජාතියක්/රටක් වෙනුවෙන් සිය ශ්‍රමය අවංකව කැපකොට සමහර වෙලාවල්වලදී ජීවිතය පවා ඒ වෙනුවෙන් පුජා කරපු මිනිස්සු තමයි ජාතික වීරයෝ කියන්නේ. ( මම වැරදි ඇති, දන්නා කෙනෙක් කියන්නකෝ නිවැරදි දේ එහෙනම්?)

එහෙම බැලුවම, මද්දුම බණ්ඩාර කියන්නේ ජාතික වීරයෙක් නෙවේනේ!




හා හා හරි හරි..... සාපේක්ෂව හිතන්න පුරුදු උනාම හරියයි නේද? මේ බෙහෙත් ( විටමින්) ටික බීල , සතියකින් ආපහු එන්නද දොස්තර මහත්තය?



Monday, October 3, 2016

33. අනිච්චා වත සංඛාරා


මාරාන්තික තත්වයට පත්වුණු ළදැරියක්


හිටපු ගමන් මට හිතෙන දේවල් ඇහුවොත් මගේ එක යාලුවෙක්වත් ආයේ මගේ මුණ බලන්නේ නැහැ. හිටපු ගමන් මාරම රොමැන්ටික් අදහස් එනවා ආයේ නැහැ නිල්පාට එකෙත් තදම නිල්පාට. ඒකත් තදබල රාජකාරී රැස්වීමකදී.  හෙමිට අතේ තියෙන පොතේ අන්තිම කොලේ යන්තම් කුරුටු ගාගෙන ගාගෙන ගිහින් 'දොහ්' ගාල පොත වහල, පරිස්සමට ඔඩොක්කුවේ තදකරලා තියාගන්නවා.

කරුමේ කියන්නේ මේ වෙලාවටම තමයි මගේ බොසාට ( මම බොසෙක් නෙවෙයි අනේ. මට බොසෙක් ඉන්නවා. දුප්පත්කමට ඉතින් බඩරස්සාවක් කරන්න එපැයි !) මගෙන් ප්‍රශ්න අහන්න මතක් වෙන්නේ. මම ඉතින් අර කැමරාව අල්ලනකොටම නැටුම වැරදිච්ච එකී වගේ විසුළු නොවන මුණක් හදාගන්න ලොකු උත්සහයක් දෙනවා. ඒ වෙනකොට මගේ නම්බු කටුව හිරු දුටු පිනි බිදු වගේ අතුරුදහන් වෙලා!

මේවා වෙන්න මම ඔෆිස් යනවට වඩා හොඳයි, ඇස්දෙකම නොපෙනෙන එකියක් වෙලා එක්තැන් වෙන එක. ඒ කොහොම වෙතත් මේ ලෙඩෙන් මැරෙයිද දන්නෙත් නැහැ. මගේ බැච් එකේ කෙනෙක් මොලේ ගෙඩියක් ඇවිත් දැන් මාරාන්තික වෙලා අවසන් හුස්ම අල්ලමින් ඉන්නවා කියල ආරංචි උනා. ඊළඟ ටිකට් එක මටද දන්නෙත් නැහැ. අඩු වයසෙන් මැරෙන්නේ අනුන්ගේ පන නසපු අය බව මම දන්නවා. මම අනුන්ගේ පන නම් නසලා නැහැ දැනුවත්ව. ඒ උනාට කවුද දන්නේ නේද?

මම මැරුණම කරන්න දේවල් ටිකක් ලියල තියන්න කියල හිතුව. ඊට කලින් බලන්න යන්න, අවසන් වතාවට කතාකරන්න ඉන්න දේවල් සහ පුද්ගලයින්ගේ නම් ලිස්ට් එකකුත් හැදුව. දැන් ඒවත් ලෑස්තියි!

මළගෙදර එනකොට මල් පැලයක් ගේනවට මම කැමතියි. වෙන මොනවද අමතක උනේ?

ආ.. දැන් ඉතින් මැරෙන්න තමයි අමතක වෙලා තියෙන්නේ.

හරි හරි යකුනේ ඒකත් නුදුරේම සිද්දවෙයි  !!!





32. වියෝගය




නර්තන ශිල්පිනියක්

වරද මිස මා - සිතද නොඅසන  - බැවින පිළිතුර නොම අසන්
සරද ලෙස ඔබ - ගතින දුරකට - ගියද මෙනුවර කිම සොවෙන්
කිරද ජලයෙනි - පෙරන රිසියෙන - හිඳිමි නුඹ වෙනතක නොයන්
කිමද නොහැඟෙන - එවන් දුක්-ගී අසන දෙසවන පියනුවන්

Sunday, October 2, 2016

31. රෝස කුසුමක් පිපී






බල්ලෝ පොරකරනවා වගේ එකපාරටම මහා සද්දයක් ඇහිලා මම වහලේ වැදිලා ඇහැරුනේ. 'නොදකින් කාලකන්ණි බලු රෑන, සැනසිල්ලේ මට අදවත් නිදාගන්න දෙන්නේ නැහැනේ'

එතකොටමයි මට මතක් උනේ හත්වලාමේ මේ අහලපහලක කොහෙවත් එහෙම බලු රෑනක් නැහැනේ කියල. මේ ඔක්කොම හිතෙන්නේ තත්පර දෙකක්  වත් ගියේ නැහැ. ඉතින් ඊළඟ මොහොතේම මට සක්සුදක් සේ පැහැදිලි උනා ඒ කෑගැහුවේ බල්ලෝ නෙවෙයි, කෙල්ලෝ පොදියක්ය කියල.

'හෑ... කෙල්ලෝ? කෙල්ලෝ කොහෙද මෙහෙ? අපේ මලය කෙල්ලෙක් වෙලාද? සද්දේ හැටියට නම් අඩුම තරමේ දුසිමක් වත් ඉන්නවා. යකෝ.. මම නින්දෙන් මැරිලද?'

"....... ඔන්න පටන් ගන්නවා.... මම ඔන්න පනහට ගනින්නේ.."
ඒ නම් පොඩි මල්ලි. මහ කලබලයක් ඇහුනා සාලේ.

'නොදකින්, විභාග ඔක්කොම ඉවර කරලා දෙය්යනේ කියල  නිදාගන්න හැදුව විතරයි, අම්මප!'

"දඩාන්....."

මට හිතන්න වත් ලැබුනේ නැහැ. මගේ කාමරේ දොර මහා සද්දෙන් ඇරගෙන කවුදෝ කාමරේට කඩාගෙන පැන්න. කළුවරේ මට මෙලෝ පෙනුනෙත් නැහැ. මම හිටියේ නිදිමරගාතේ. කාමරේට කඩන පැනපු කෙනා ඒ එක්කම මගේ ඇඳුම් ගොඩ අහුරලා තියෙන අල්මාරියේ පිටිපස්සේ ගුලි උනා.

Thursday, September 29, 2016

30. බැරි වැඩ කරන අබරෙක්


ශාරීරික වේදනාවට පත් තරුණියක්



යමක් කමක් කරගන්න පුළුවන් කාලෙක නම් මම වගේ ගොන් බඳින කණුවකට වෙන්න පුළුවන් යහපත්ම, උචිතම දේ තමයි එක්තැන් වෙන එක. ඒ කියන්නේ මාරාන්තික හෝ තත්වයකට වැටිලා, නිවාස අඩස්සියේ, ICU එකට අතේ දුරින් විලංගුවේ වැටෙන එක. එහෙම එකතැන් උනාම කාත් කවුරුවත් නැතුව වගේ දැනෙන එකට එක අතකට මම කැමතියි.

හැබැයි ඉතින් කියෝගන්න ( කට නෙවෙයි) සහ බලාගන්න බැරුව එක්තැන් උන එක තමයි මට වෙච්ච අබග්ගේ. ඇස්දෙක හරියට පේන්නේ නැතුව, ලියාගන්න බැරුව ඇඟිලි වෙව්ලනකොට ලැපයෙන් උනත් යමක් කරන්න හරිම අමාරුයි. එහෙම කියල මම අතාරින්නෙ නැහැ.

29. පියඹා එනවාද මා සොයා....

ප්‍රචාරක දැන්වීම: එකිනෙකාට යම් පරතරයක් සහතව ඇවිදයන ජෙසිකා සහ කාර්තික්


ආදරය කියන්නේ පොදු දෙයක් උනාට විඳීම අතිශය පෞද්ගලිකයි. කෙතරම් පෞද්ගලිකද කියල කිව්වොත් සමහර වෙලාවට අප, අපි තුලත් අපගේ මනසින් යටපත් කරවන, උලුප්පන සුන්දර මතකයන්, විඳීම් රාශියක් එකතු කරනවා.

ආදරය කියන තේමාවෙන් බැහැරවුනු සිනමාපටයක් සෙවීම අතිශය දුෂ්කර කාර්යයක්. මානව ආදරය වටා ගෙතුණු කතන්දර එතරම්ම පවතිද්දී, ඉතාම සරල ආදර කතාවකින් කරන්න හැකි යමක් තියේවිද? ඇත්තෙන්ම කරන්න හැකි යමක් නැහැ! තරුණයෙකුගේ ආදරයට නතුව , ඉන්පසුව සිදුවන පොදු කතන්දර සියල්ලේම තිබෙන්නේ හෝ තිබීමට හැකිවන්නේ එකම රාමුවක සිද්ධීන්. ඔවුන්ගේ සුන්දර මතක, අඬදබර, සුන්දර විහිළු වලින් තොරව තිබිය හැකි වෙන යමක් කොයින්ද? ඉතින් එවන් කතා තේමාවකින් තිරරචනයක් , චිත්‍රපටයක් දක්වා ගෙනයන්නේ කවර කැපකිරිමක්ද ?

Monday, September 26, 2016

28. වලාකුළු - දිය බිංදු - අහස


වලාකුලක් මත හිඳින දුර රඳවාගත් නෙත් ඇති සුරංගනාවියක්



ඔබ කියයි එහෙම,
පාවෙන එකමනේ විදිය
වලාකුලක සහජ උරුමය
කවරක්ද වෙන ඉතින් වරද?

මම නේද
පොලව ගැන හිත හිත
වලාකුලකටම ජීවිතය කැපකළ,
වැටෙන මොහොතක පවා
සරුසාර තණනිල්ල මවන?

මොන තරම් බිහිරිද අහස
මේ සා විසල් වැලපුම් අසන ,
වලාකුළු එහෙ මෙහෙට අදින...
වැහි බිංදු ගැන බිඳුවක් නොසිතන?

එකම සරතයක
එකිනෙකා දෙසම බලාගෙන
වලාකුළු - දිය බිංදු - අහසත්
ඉන්න හැටි
කිසි දෙයක් නොකියාම?


Wednesday, August 17, 2016

27. සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන




සින්දු කිව්වහම මට මතක් වෙන්නේ මුහුදක්. ඉතින් සින්දු මුහුදෙන් දිය දෝතක් අරගත්තට සෑහෙන්න පුලුවන්ද? ඉතින් මම එක සින්දුවක් ගැනම හිතනවා. හැබැයි මගේ පරිකල්පන එක්ක ගැලපෙන ඒවා තියෙන්නේ ගායක/ගායිකාවන් අතුරින් සුළුපටු ගානකටත් නෙවෙයි.

මුලින්ම්ම ඉන්නේ අමරසිරි පීරිස්. කොටින්ම අමරසිරි හූවක් කිව්වත් ඒකටත් කැමතියි තරමට! ඊළඟට ඉන්නේ අමරදේව. ( හැබැයි කැමති එතුමාගේ තරුණකාලේ කියපු හඬට, ඒවායේ අමුත්තක් තියෙනවා), ඊළඟට ඉන්නේ මගේ අහිංසක සෝමතිලක ජයමහ. ඊට පස්සේ ඉතින් සුනිල් එදිරිසිංහ,  දිවුල්ගනේ , ඉමාන් පෙරේරා, කසුන් කල්හාර, නන්දා මාලනී, සුජාතා අත්තනායක, උමාරියා, බාචි සුසාන්, ඉන්ද්‍රචාප, නිරෝෂා විරාජිනී, චන්ද්‍රලේඛා, රූකාන්ත, ලහිරු පෙරේරා... අපොයි දෙය්යනේ... ලිස්ට් එක ඔහොම යනවා මිසක්....

ඒ උනාට ගීත රචනය කියන්නේ සුවිශේෂී අවස්තාවක්! මගේ ගීත රචකයින්ගේ ලිස්ට් එකේ ඉන්නේ නම් ඔතරම් ප්‍රමාණයක් නෙවෙයි. හේතුව  ගීතවල රචනය ගැන අවධානයක් නැති නිසා වෙන්න ඇති.

ඉතින් ලිස්ට් එකේ මුලිම්ම ඉන්නේ කවදාවත් ලිස්ට් එකේ පහලට යන අදහසක්වත් නැති, ප්‍රේම් ! ප්‍රේමකීර්ති ද අල්විස්. අපොයි, නම කියනකොටත් මට මොකද්දෝ වෙන තරම්... හි හි හි... ඊළඟට ඉතින් යමුනා මාලිනි පෙරේරා.

ප්‍රේම්ගේ සින්දුවක් මට ඕනෙම තැනකදී වෙන්කරලා අඳුනගන්න පුළුවන් තරමටම පදමාලාවන් මගේ හිත ගන්නවා. ඒ කියන්නේ ගීතයක පදමාලාවට බැඳිලා  බැලුවම  ඉතින් ප්‍රේම් තමයි ලියලා තියෙන්නේ. අහම්බෙන් ඉතින් වෙන කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෑත කාලේ අපිට නම් ඒ පින නැහැනේ.... ප්‍රේම් ගීත ලියන හැටි බලන්න... හ්ම්ම් හ්ම්ම්....

ඒක නෙවෙයි...

මෙන්න මේ ගීතය ගත්තහම, මේ ගීතය පුරාම තියෙන හද පාරවන විරහව මට දරන්න බැරි තරම් හින්දා එකම එක පාරක් අහපු ගමන් මගේ ඔලුව හරහා ලොකු පාරක්  එල්ල උනා වගේ සතියක්ම ලොකු අනවරත විරහවක් වින්දා... හි හි හි... ඒ තමයි මගේ සෙන්ටිමෙන්ටල් ගතිය.

නමුත් බලන්නකෝ මේ පදමාලාවේ තියෙන ගැඹුර, සංවේදීබව??? මට නම් සතියක් කොට්ටේ බදාගෙන අඬන්න පුළුවන් තරම් දුකක් මෙතරම් පොඩියට සිංදුවකට ගත්තේ කොහොමද කියලා ප්‍රේම් කොහේ හරි ලියලාවත් තියලා ගියානම්.. හිත හදාගන්න තිබ්බ....

අහල බලන්නකෝ.







වැස්සකට ඉඩ ඇතත් අහස්කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරිතැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල
බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

සයුර ගොඩ එන තුරා කඳුමුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවද
ඔබට මා මටද ඔබ හමු උනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන



පදමාලාව ලිහලා දෙන්න අදහසක් නැහැ. මම හිතන්නේ එය තනිකරම පුද්ගලික විඳීමක්.


මේ සටහනෙන් පස්සේ ආයෙත් ඉතින් සතියක් යනකල් විරහ දුක තමයි ඉතින්....... හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්



ප.ලි.
මේක නන්දා මාලිනි නැතුව අමරසිරි කිව්වා නම්..... මෙලහට මම දිවිනහගෙන! හි හි හි....
විඳලා බලන්නකෝ


Monday, August 15, 2016

26. ඇවිදින මංතිරුව






දුවන උන්
බොහෝ
කැලරි පුච්චන...

නොදුවන ; බලන
උන් පවා
කැලරි පුච්චන....



25. මෙහෙසියක කව







කුරුළු කූජන සවන් සරසමි - රළු පරොලු නුඹ වදන් අහුලා
කිරුළු පළඳන ඔටුනු බිමලමි - සුළු මැදුම් පිළිවෙතින් දැකලා
සියලු දොම්නස නුඹෙන් පිසලමි - ලයමඩල ඔබ යහන කරලා
අත'ළු සියපත ඉදින් රැකගමි - ම'හිමි සඳ ආදරෙන් විඳලා

පැකිල සිතයට රැඳුනු සෙනෙහස - කියාගනු බැරි ඔබ සිතූ
උපුල සුවඳති මසැ'ති දෙවො'වුර - නිතින මා රැකවල් පැතූ
මිඳුල අමදින සදාකල් මා - සිතයි නුඹගේ මින් මතූ
පැකිල පය ඔබ වැටෙනු නොමදෙමි - රජෙකි නුඹ කරඬුව සතූ



Sunday, August 14, 2016

24. කවි නොදත් කවියෙකුට ලියමි....


අහස ගිගිරුම් හලද සියවර - නැතත් කොලමල් පැතුම් තෙමුවේ 
පහස ඉල්ලන පියුම් දියවර - බිඟුන් නොදැකම පෙතිද සැලුවේ 
රහස පවසන සුළඟ එකවර - මදින් මත්වී සුසුම් සැලුවේ 
වෙහෙස සිඳලන එවන් මහමෙර - සිතින් ගොලුවී සිනා සිළුවේ 


අතුපතර රන් සියත් නොමැතිද - දෙඅත් මා නොමුදන ඔබේ 
සොමි සුනෙර මුදු රිදුම් අයැදිද  - හඬන හිත වලකමි ඉබේ 
විලි දුරැර හිරු කිරණ නොමැතිද  - ගැඹුරු පතුලක සුව ලැබේ 
බලකුවෙර සුවිසල් ගසක්වෙද - රැකවරණ ලබනා නුඹේ 




Thursday, August 11, 2016

23. පවු කාරී මම....







මේ අව්වට වෙලා හිටගෙන
කුඩ දිහා නොබලා උඩ බලාගෙන
දුක හිතුනම කොක් හඬලා හිනාවෙන
පවු කාරී මම....

වෙලාවකට ඉඳගෙන
පූස් පැටියෙකු විදියට ගුලිවීගෙන
කොන්දේසි නොමැතිව පුරු-පුරු ගාන
පවු කාරී මම....

වතාවක් බිම පෙරලීගෙන
පිඟානේ මාළු කුරීයා කොහිදැයි අසමින
සතියක්ම ගොරවමින් පෙට්ටියක ගතකල
පවු කාරී මම....

හීනෙන් වගේ ඇවිදින
ෆෝන්, ලැප්ටොප් පවා දැන් නැතිවෙන
නැතිවෙච්ච දේ ගැනම හැමදාම අඬන
පවු කාරී මම....

මිනීමැරුම් චෝදනා තිබෙන
නමුදු වින්දිතයා අවි දරන
හදවතක් පවා ඉතිරිව ඇතිදැයි සැකසිතෙන
පවු කාරී මම....



Wednesday, August 10, 2016

22. මුද්‍රණාලය




නුඹේ හාදු අච්චුව
එක දිනෙන් කපා නිමකළ,

බොඳ නොවන හදවත
කඩදාසි කොලයට සරිවන,

පාලු චැට් කාමරේ
තනියෙම අකුරු අමුණන,

එකම පොත මැසිමකින්
සියවතාවක් ලියන..........


Tuesday, August 9, 2016

21. මේ වැල් පාලම






මේ වැල් පාලම
අප දෙදෙන සිටින...

නුඹ තදින් පද්දන ,
මගේ මුරගෑම නෑසෙන....

මේ වැල් පාලම ,
ජලතල නොමැති ගඟ දෙපස යාකල....
වරපට එකින් එක මුදන,
කෑදර දනන් නෙතු පිනවන......

මේ වැල් පාලම ......

Monday, August 8, 2016

20. බොරුවක ඇත්ත




සුළඟක් උනත් කෙතරම් මනරම්ද
මල් සුවඳ ගෙන එන නිසා

පොකුණක් සදා ගොහොරුව පවතීද
බිඟු තුඩක් නොලබනු නිසා

තරුවක් විදා අහසක් හිනැහෙයිද
සොමි උවන සඟවන නිසා

බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා



Wednesday, August 3, 2016

19. මගහැරුණු නුඹ



තාම මම එතැන ,
පිටත,
පොද වැස්ස හොඳටම...

නුවරුන් පිරෙන තැන,
ඇතුලත,
බද්දිය නගරශාලා බිම ....

යෙහෙළියන් හැරපියා ගියද
තෙතබරිතවම ඇවිදගිය
මදෙස,
දුටු දනන් කී රිදුම් වැකි ඇතිවද...

නාඳුනන දනන් හා දෙඩුම,
රිසි නොවන බව උගැන්මෙන්...
පිළිතුරු නොබැඳ ,
මගහැරුණ - පුන්නවර්ධන
නුඹ!

විශාකාවයි මම!






ප.ලි.  මට පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් තමයි, නාඳුනන පුද්ගලයෙකු/කණ්ඩායමක් විසින් කරනලද සරදමකට ප්‍රති උත්තර බැඳීම නිසා තමන්ගේ මධුර කටහඬ පෙන්නුම් කිරීම නිසාම පුන්නවර්ධන නම් සිය සහකරුවාට ප්‍රිය බිරිය වීමේ භාග්‍ය ලැබුණු විශාකා කුමාරිය... බැරිවෙලාවත් තමන්ගේ 'හැදිච්චකම' පෙන්නන්න කියා උත්තර නොබැඳ හිටියා නම්??? කියල 

මේ කියන දෙයක මෙලෝ අගක් මුලක් තේරෙන්නේ නැත්තම් මෙන්න මේවා කොටලා බලන්නකෝ 

විශාඛා සිටු කුමාරිය ගැන 
මෙතැන 
මෙතැන



18. එම්බා බස් අජිතය




එම්බා බස් අජිතය
කුමකටද මේ වැලපුම ..?
කන්පෙති පසාරුව විදින
බෙරතාල වලට උඩ විසිවන !

එම්බා බස් අජිතය
මගේ ලොව මෙලෙස දෙදරන,
මතුද වීදුරු පවා සොලවන
මටම මා බරක් බව පසක්වන !


Friday, July 29, 2016

17. නූතන අශෝකමාලා





මගෙ කුඩා පැල්පත
නුඹ විසල් පතුලට
පෑගුන .....

එකම එක පුටුකබල
නුඹ සුවඳ
තැවරුණ...

සාලියත් නොවේ නුඹ
මා සොයා
පැමිණෙන...


Sunday, July 24, 2016

16. තරාදිය

'දඩාස්'!!
ඉස්සරහ දොර සද්දෙන් වැසෙන හඬට බෝඩිමේ සියල්ලෝම උඩගිහින් වහලේ වැදෙද්දී, ඊට වඩා සද්දෙන් චාරුනිගේ හැඬුම් හඬ ඇසුණු මාලිකා කාමරයෙන් එලියට දුවගෙන ආවා.

"චාරුනී.... මොකද ළමයෝ.... මොකද මේ අඬන්නේ... අනේ කියන්නකෝ.. මොකද්ද කරදරේ... කවුරුවත් පස්සෙන් පැන්නුවද ? කෝ කවුරුත් නැහැනේ පේනතෙක් මානෙක.. කෝ ඉතින් කියන්නකෝ ළමයෝ ඔය ඇඩිල්ල නතර කරලා....චාරුනි... මොකද නංගෝ...?"

"ඇයි ඇයි අක්කේ. මොකද්ද ප්‍රශ්නේ?"

"නෑ මේ බලන්නකෝ රුෂිකා, එකපාරටම අඬාගෙන ආව. මම බය උනා.. කෝ ඉතින් අඬනවා මිසක් වචනයක් තාම කිව්වේ නැහැනේ. මොකද ළමයෝ... කතාකරන්නකෝ"

"ටිකක් ඉන්න දෙන්න පාඩුවේ"

"ඔව් ඔව්... කට්ටිය යන්න.. මම ඉන්නම්. රුෂිකා  පාරට යනවනම් මටත් එක්ක කොත්තුවක් ගේන්න හරිද?"

"හරි හරි....  තව ටිකකින් යන්නේ"

මාලිකා ඇඳේ පෙරලි හඬන චාරුණි දෙස මදවේලාවක් බලාගෙන හිඳ , සෙමෙන් විට්ටමට ආසන්නයේ වාඩිවුනා. චරුනිගේ උරහිස් ගැස්ම මදක් අඩුවූ බව ටික වෙලාවක් ඇයට දැනෙද්දී, දුම් දමන කිරිතේ කෝප්පයක සුවඳක් එක්ක මාලිකා ඈ අසලම සිටගෙන සිටිනු චාරුනිට දැනුනා.

15. අකරදාරුව



ලේ කැටි බිලිඳුන්
පලා කුස,
ගත්බවට නොඇදහුවෙමි...
එසේ ගෙන
බිම ගසා
මා මරා දමනතුරු
නුඹ!

Tuesday, July 19, 2016

14. සොඳුරු ; මුග්ධ




කවි හිතක්
මොන තරම් මුග්ධද?

කියා දුන් නුඹ
කොයිතරම් සොඳුරුද??

Wednesday, July 13, 2016

13. පොල්සම්බෝලෙන් කරන්ට්

මේක මේ ජෝක් කතාවක්ද කියල හරියටම කියන්න බැරි උනත් ඔෆිස් කතාවක්.



මගේ අතිජාත මිත්‍රයෙක් එක්ක මම කාලයක්  ගාලු පාරේ තිබ්බ කොම්පැනියක වැඩකලා. ඒ කොම්පැනිය ඒ දවස්වල තිබ්බේ කොල්ලුපිටිය හරියට වෙන්න, දැන් නම් පතරංග, අලුත්ම අලුත්, කිරිටොය්යා බිල්ඩිමකට අරගෙන ගිහිල්ල තියෙන්නේ. මම මේ කියන දවස්වල රෙන්ට් එකට තමයි හිටියේ. ඉඩපාඩු හොඳටම මදි උනත් ඉතින් වැඩේ කරගෙන ගියා.

මේ බිල්ඩින් එක උනත් තරමක් ලොකුයි.  තිබ්බ බිල්ඩින් උනත් අහස උසට හදල තිබ්බේ ඉඩපාඩු නැති නිසාමයි. ඒ ඔක්කොම අස්සේ අර ලබ්බේ තොවිලේ වගේ මුඩුක්කු ටිකකුත් තිබ්බා. කොටිම්ම පුංචි දොරක් වගේ එකකින් ගාලු පාරට ආවට ඇතුලට ගියාම බලන්න එපැයි , අර ලෝක ගොලේ මැද්දේ තියෙනවය කියන ජාතියේ වෙනස්ම ලෝකයක් වගේ එකක්. ඒ ලෝකේ සාලේ බඩු ඔක්කොම තියෙන්නේ පාරේ. ළමයි කන්නේ, පාඩම් කරන්නේ තවත් එකී, නොකී සියල්ල කරන්නේ පාරේ. අපේ බිල්ඩිමේ උඩ තට්ටුවට ඒ ගෙවල්වල සිද්දවෙන ගොඩක් දේවල් පේනවා.

12. (අ) සමමිතික





මන්දිර බද්ද
නුඹ ගෙවන,
මගෙන් අයකරන!

11. වටකුරු මේසය





මේ වටකුරු මේසය
ඔබ-මා දෙදෙන
හිඳින..

යාබද ලෙසට පෙනෙන
මුත්
සම්මුඛව සිටින,

සම්මුඛව දකින මුත්
යාබද ලෙස
සිතෙන ..

මේ වටකුරු මේසය

Monday, July 4, 2016

09. උයනකලා



කලාව කියන්නේ කුමක්ද?

මේක මට අනුව නම්, දර්ශීය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට අපි හැමෝටම එක එක උත්තර තිබ්බත් මේ ගැන ලොකුවට හදාරන උදවියට සියල්ල එකමිටකට ගන්නට පුළුවන් උත්තරයක්/ අර්ථකතනයක් හදාගන්න පුළුවන් සහ එහෙම සම්මත උත්තරයක් /අර්ථකතනයක් තියෙනවා. ඉතින් මම වගේ එකියක්  මොනවා අඩුපාඩුවට එකතු කරන්නද?

අපි මොන තර්ක කිව්වත්, මගේ නම් අදහස උයනවා කියන්නෙම කලාවක්.

ඒ ඔක්කොම මගේ ඔලුවේ තිබ්බ මිසක් කාටවත් කියන්න ගියෙත් නැහැ මිට කලින් ලියලත් නැහැ. මම දන්නවා  පළවෙනියත් , අන්තිමයත් , එකම එකිත් මම නෙවෙයි  කියල.නමුත් මෙහෙම ලියන එකම එක්කෙනා වෙන්න ඉඩ තියෙනවා.

ඔය කුකිං කියන එක වෘතියක් විදියට තෝරාගන්න නම් මට හිතෙන්නෙම අනිත් ජොබ්ස් වලට වඩා තමන්ගේ ජොබ් එක ආසාවෙන් කරන කෙනෙක් වෙන්නම ඕනේ. මම මේ කියන්නේ සයිවර් කඩේ තෝසේ දාන එකා ගැන හරි හන්දියේ නයිට් කඩේ කොත්තු බාස් ගැන හරි නොවෙන්න පුළුවන්.

08. උපුල් පුසුඹක්




අඳුරක් නොමැති කුටියක
සිඹිමින් සෙමෙන් නළලත
ඉඳුරන් තදින් සැරසෙත
වෙලෙමින් නෙතින් බැල්මෙක

සිහිල් නාදළු සැලී
දුහුල් වටතිර ගැලී
කොපුල් මත දියසුළි
උපුල් පුසුඹක් වෙලි


Wednesday, June 29, 2016

07. රික්තයක් තුල

ලියන දේවල් කියන්න බැහැ , කියන්න ඕනේ දේවල් කිසිම දෙයක් ලියාගන්නත් බැහැ. ලොකුම ලොකු දිග කතාවක්, කෙටිම කෙටි වචන දෙක තුනකින් ලියපු මට... කෙටිම කෙටි හැඟීමක් කියන්න දැන් වචන ගොඩක් වැයකරන්න වෙලා.
මොකද්ද මේ සිද්ද වෙන්නේ?

පාත්ති දිගේ මල් පැලකලාට, ඒ මල් වලට බඹරු ඇදිල එනකොට මට පොඩ්ඩක්වත් දැනිල නැහැ දුකක්.  මල් බෙදාගෙන ජිවත් වෙන්න පුළුවන් මට. කොන්ක්‍රීට් අතරින් පතර මම මල් හිටෙව්වේ කොටිම්ම ඒවායේ පාට විතරක් නෙවෙයි, කොලේ හැඩේ පවා මැච් කරන ගමන්.

එහෙව් මම.....


මට තේරෙන දේවල් තියෙන්නේ පොඩ්ඩයි තමයි. ඒ අතරේ යන්තමට වැටහෙන දේවල් වලින් එකක් ආයෙමත් මමම මතක් කරගත්ත.



මගේ හදවත විදුරු බරුවක්. වැටුණු ගමන් බිඳෙන්නේ නැති තරමට තදයි. නමුත්, බිඳුනොත් නම්...... ආයෙමත් හදනවා කියන්නේ නම් බොරුවක්!


Thursday, June 23, 2016

05. හිමි නැති



මම බ්ලොග් ලියන්න දන්නේ නැහැ. දවසේ දේවල් කියවන්න මම වැඩි කැමැත්තක් තියෙන්නේ බ්ලොග් එකේ නෙවෙයි, මගේම කියල හිතෙන අයත් එක්ක. මම ගැජට් එල්ලන්න දන්නෙත් නැහැ. පබ්ලිෂ් කරනකොට නම් වැරද්දක් හොයන්නවත් ආයෙමත් ලියපු එක කියෝන පුරුද්දක් ඇත්තෙත් නැහැ.

මම බ්ලොග්කාරියක් නෙවෙයි.

හිත රිදුනේ ඇයිද කියල ආයෙමත් හිතල බලන්න දෙයක් නැහැ. මම දන්නවා හේතුව.

කමක් නැහැ.


'ඔබ කොතරම් හැඬුවත්
- වැලපුනත්
ඔබට හිමිවන්නේ
හිමිවිය යුතුදේ
පමණයි'


ඒක ඇත්තක්

හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්

Thursday, June 16, 2016

03. පෙම් සයුර





ගාළුමුවදොර කියන්නේ මට පිට්ටනියක් වත්, එළිමහන් පොදු ස්ථානයක්වත් නෙවෙයි. එතැන කොටිම්ම දැන් ඔය තියෙන විදියේ තැනක් නෙවෙයි මගේ හිත ඇතුලේ තියෙන්නේ.

මගේ හිත ඇතුලේ තියෙන ගාළුමුවදොර කියන්නේ බොහොම පුද්ගලික, සීතල , නිදහස් අවකාශයක්. යන්න ලැබෙන හැමදාම මම ඔතනින් යන්නේ බෙල්ල උලුක් වෙනකල් බලාගෙන. මොකද්දෝ කියාගන්න බැරි ජාතියේ ආකර්ෂණයක් ඒකෙ තියෙනවා.

ඒ එක්කම දැනට තියෙන අතරින් පතර තණකොළ තියෙන කාන්තාර ස්වරුපයත්, කල්ප විනාශයකට ලක්වෙච්ච පෙනුමක් තියෙන අනෙකුත් අංගත් මාව විකර්ෂණය නොකරන්නට, හැමදාම හවස මම ඔතන පැයක් දෙකක් කල්මරන්න පොළඹවන්න ඉඩතිබ්බ.
ඒ ඔක්කොම තියෙද්දී මම දකින්නේ මුවදොර ආසන්නයේ දනගස්සවල තියන බංකු වල උදේට ඉන්න පෙම්වතුන්.

මට තාමත් වැටහෙන්නේ නැහැ මුහුදක් දිහා බලාගෙන කොහොමද ප්‍රේම කරන්නේ කියල? ඊටත් තමන්ට කෙලින්ම ඔලුව උස්සනකොට මුහුදු හුලන් වදිනකොට, ප්‍රේමනීය හැඟීම් ඔක්කොම මුහුදු හුළගේ පාවෙලා යන්නේ නැද්ද කියල , මම මගෙන් අනන්ත වාරයක් අහල තියෙනවා.

ඇත්තටම මුහුදක් දිහා බලාගෙන ඉන්නකොට ( මුහුද අද්දර වාහනේකට වෙලා, ඊට පිටුපාල කෙනෙක් එක්ක ප්‍රේමයෙන් ඉන්න එක නම් වෙනස්ම වෙනස්.. මොකද එතකොට මුහුදු හුළඟක් දැනෙන්නේ නැහැනේ??) කොහොමද ප්‍රේමයක් දැනෙන්නේ? එතකොට දැනෙන්නේ අනන්තයට යනකල් , පාරක් තෙරක් නොපෙනන සිතුවිලි දාමයක් නේද?
සමහර වෙලාවට මම වැරදි ඇති. මුහුදක් කියන්නේ මට එතරම් ගෘන්ගාරයක් ගේන දෙයක් නෙවෙයි, මම කිව්වේ හුළඟක් දැනෙන මුහුදක්...

Wednesday, June 15, 2016

02. වැස්සකට ඉඩ ඇතත්





වැස්සත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා. අපේ ජිවිත වෙනස් වෙලා කියන එක කාටත්  දැනෙන දෙයක්.

මගේ ජීවිතෙත් වෙනස් වෙලා.

පායනකොට උත්සහයක් දාන්න වෙන වගාවක්, වැස්ස නිසා පන බේරාගෙන නිසා මම වෙනස් වෙලා , වවන කෙනෙක් විදියට! මට හැමදාම වෙන්න ඕනේ කරලා තිබ්බ වෙනසක් ඒක .

ඉතින් 'ජරාස් බරස්  බරස්' කියල මගේ ඕකිඩ් ටිකට වැඩේ දෙන ගොළුබෙල්ලන්ට අනික් දවස්වල වගේ මගේ නිවිති ගස්ටිකට අත ( කට?) තියන්න බැරුව ගිහින් නිසා ලස්සනට දිලිසි දිලිසි හැදිලා තිබ්බ මගේ නිවිති පැලේ ! දැනෙන සන්තෝසේ කියල නිම කරන්න බැහැ. දැන් ඉතින් හිනායන්න පුළුවන් නිවිති පැලයක් වෙනුවෙන් දෙය්යෝ වඳින ජාතියේ කියල, නමුත් ඇත්ත කතාව නම් ඒකයි !නිවිති පැලයක් නිදහසේ වවාගන්න මම දාපු උත්සාහය දන්නා කෙනෙක් වෙයි නම්, දනී මගේ සන්තෝසේ!!

ඉතින් නිවිති ගහ දැන් 'හිකි හිකි' ගගා හිනාවෙනවා. මම හිතනවා මට මේපාර ගොලුබෙලි හමුදාවත් එක්ක ගුස්තියක් නැතුව අඩුම තරමේ එකම එක පාරක්වත් පරිප්පු වලට හරි, දෙල් වලට හරි දාගෙන කන්න නිවිති කොලයක් ඉතුරු වෙයි කියල.

එක අතකට ගහට පුළුවන් නම් එයාගෙම කොලටික බර බර ගාල කාල දාල යනකල් ඉන්න, මොකටද අපි නිකන් පත්තු වෙන්නේ? මෙහෙමයිනේ වැඩේ, අපි වවන්නේ අපේ සතුටට, ඉතින් සතුට වනසනකොට අපිට දෙය්යෝ එක්ක උනත් කේන්ති යනවනේ.

බ්ලොග් ලියන්නෙත් ඒකටනේ , අපේ සතුටට තමයි ඉතින්. පලිබෝධයෝ ඉතින් ඒකෙත්. සමහර වෙලාවට කොහේ හරි ගමනක් ගිහිල්ල හරි, ටික දවසකින් ජාලෙන් මිදිලා ඉන්නකොට හරි ඉත්තෑවා පැන්නා වගේ අබග්ගයක් වෙලා බ්ලොග් එකට. ලියාපු දෙයක් හරහට ගිහිල්ල වැඩේ සිද්ද වෙලා ලොකුම විදියට! ගොඩක් වෙලාවට හිතන්නේ වත් නැති දිශානතියකට.

ඒ වෙලාවට මට නම් දැනෙන්නේ මාව ගිලෙනවා වගේ. හැබැයි මේක මට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි කියල මම දැන් දන්නා නිසා හොඳයි. මුලික ප්‍රතිකාර  දැන් ඒ හින්දා අහනවා. ඔපරේෂන් කරන්න තරම් දැන් අමාරු වෙන්නේ නැහැ.

ඒ හින්දා ඇනෝ ආවට බය ඇත්තේ නැහැ. හැබැයි කියන්න තියෙන දෙයක් කෙලින්ම තමන්ගේ ඇත්ත විදියෙන්ම කියනවට මම ගරු කරනවා. විවේචන වලදී ගරිල්ලා ක්‍රමේ දැන් ප්‍රචලිත උනාට මට හිතෙන්නේ ඒකත්  මානසික තත්වයක් කියල.

01. ඔයයි මායි ... තනිවම



මත් බඹර තුඩු පහස විඳගමි
අත් අතැ'ර මුදු බැලුම් ඉවසමි
නෙත් කවර ලෙසකින්ද පියනෙමි
මුත් වරද කා අතද නොසොයමි

අඳින නෙක සිතුවම්ය අහසේ
විඳින අයදින සිතුම් විලසේ
මැවෙන ආදර අලිංගනය සේ
වසින මේ වැස්සක තෙමෙන සේ

නිය අඳියි ඉරි ඇස පෙලන රුව
සය දැනෙන මීවිත යදින මුව
සිය මඩින සිත හොවමි නිහඬව
දිය කරනු මැන නොදක්නා සොව



Related Posts Plugin for WordPress, Blogger...