Tuesday, April 2, 2019

212. සුහදිනියේ - 16 | ඝාතන තැතක් ? මිනීමරුවන් නිදැල්ලේ

කලින් කොටසට 



වත්තෙන් පිටවී වහාම කොළඹ ආ මට ප්‍රමාද වන්නට කාලයක් නැත. නිමන්ති විසින් සියල්ල සකසා තිබිණි. මධුලිකා රුපලාවන්යාගාරය අසලින් බස්සවා මම නිවසට ගොස් හොරෙන්ම මා සතු හොඳම කෝට් ඇඳුම ගෙනවිත්, මධුලිකාගේ නිවසේදී ලක ලැහැස්ති වුයෙමි. පපුව වේගයෙන් ගැහුනේ බිය නොමැති වුවත් මම මේ කරන්නේ කවර ආකාරයේ වැඩක්ද කියා මටම සිතාගත නොහැකි බැවිනි. නිවසින් පිටවන්නට පෙර සේවිකාව මට වතුර වීදුරුවක් ඉදිරියට ගෙනාවාය. මට සිනාවක් නැගුනද, හදවතේ බර ගතියක් දැනුනි.

පිටත්වන්නට පෙර නිමන්ති ඇමතු මම එදිනට කුලියට ගත් වාහනය පදවාගෙන ගොස් රථගාලෙහි නවත්වා කණ්ණාඩියෙන් බලමින් හිසකේ හදාගතිමි.

විනාඩි පහළොවකින් පමණ දොර විවර කරගෙන ආවේ සුරන්ගනාවියකි! මධුලිකා අතිශය රමණිය සුදුපැහැති ගවුමකින් සැරසී මා ඉදිරියට ඇවිදගෙන එන්නීය. මා අන්ධයෙකු හෝ මෝඩයෙකු නොවේ... මම දුටු සුන්දරම මනාලිය ඇයයි...!

මගේ දෑස් ඉබේම තෙත් විය. වහා කඳුළු වසන්කල මම ඉදිරිය බලාගෙන සිටියද, ඇගේ ඒ සුන්දර බව මා සෑහෙන කැළඹීමකට පත්කර තිබිණි.

එම්බ්‍රෝයිඩර් කුඩා මලකින් චාම් ලෙස හැඩකල දිග ගවුමේ, පුළුල් උරහිස් ඇගේ මෘදු ගෙල වටා චාම්ව බැඳ තිබුණු කුඩා ආභරණය කැපී පෙන්වා තිබිණි. එය සිහින් රිදී මාලයකි. ඈ අත තිබුනේ හිම මෙන් සුදු, කුඩා රෝස පොකුරකි. දිගු වරලස ඉතා චාම්ව පසුපසට කොට කුඩා මල් වැලකින් රවුම්ව රඳවා තිබිණි.



එපමණකි.. ඈ අතිශය රූමත් මනමාලියකි!

ඇගේ ලා දුඹුරු සම කැපී පෙනුනේ, සියලු අන් මිනිසුන් අන්ධයින් වේවා යයි පතන තරමට මා වික්ෂිප්ත කරමිනි. මට හුස්ම සිරවී ගියාක් මෙන් දැනුන බැවින් කට ඇර දෙතුන් වරක් හුස්ම ඉහලට ඇද ගතිමි.

නිමන්ති විසින් වත්තන් කරගෙන ආ මධුලිකා අපහසුවෙන් කාරයේ පසුපස ආසනයට බර වුවාය. එවිටයි මට සිහිය ආවේ, ඈ වත්තන් කරන්නටවත් මම ඉදිරියට යන්නට සිහියක් නොවූ හැටි!

පසුපස බලන කණ්ණාඩි ඔස්සේ අප දෙදෙනාගේ ඇස් මොහොතකට යාවි ගියේය. ඈ මෙතරම් ලස්සනද? මඩිනා ලද සිතුවිලි වලින් මා උමතුවන්නට ආසන්නව ගොස්ය. ලොකු හුස්මක් ගෙන සන්සුන්වූ මම විරංගගේ තොරතුරු වලට අනුව ජායාරුප ශාලාවට පදවා ගියෙමි. ලද සියලු මොහොතවල් වලදී මම කණ්ණාඩියෙන් ඈ බැලුවෙමි, නමුදු මුහුණ බිමට හරවාගෙන සිටි මධුලිකා නිහඬය. ඈ ඉන්නේ දුකෙන්ද?

ජායාරුප ශාලාවට ඇතුළුවත්ම අපට උපකාර කිරීමට ඉදිරිපත්වූ සහායකයා සමඟ මමත් මධුලිකාත් ඉදිරියට ගියෙමු. ඈ තවමත් නිමන්තිගේ අතෙහි එල්ලීය.

"කෝ.. ඉන්න මම අල්ලන්න.... ඔය මල් එක දෙන්න නිමන්තිට"


මම එසේ කියුවද මධුලිකා නිහඬව පියවරක් තැබුවාය. ඉදරියේ තිබුනේ පියගැටපෙලකි. තවත් කියන්නට අවැසි නොවීය.



ඈ අත තිබුණු මල් පොකුර ගෙන නිමන්ති අත තැබූ මම මධුලිකා හරස් අතට ඔසවා ගතිමි.  මධුලිකා එකවර 'හඃ' ගෑවද , කලබලයක් හෝ දැඟලීමක් නොකර මට තුරුල් වුවාය.

ඈ සැහැල්ලුය, හුරුබුහුටිය. මම ඈ ඔසවාගෙන ඉතිරි පියගැට පෙළ නගිද්දී, ඉහල සිට විසල් සිනහවකින් සියලෝම බලාසිටිනවා මට පෙනුනි.

මධුලිකා දෙස නොබැලුවත්, ඈ පුසියක මෙන් මට තුරුල්ව උස් සුසුම් වලින් මගේ පපුවට පිඹිමින් සිටියාය.

මට සිහි වුයේ පළමුව මම ඈ මෙලෙසම ගෙන මගේ වාහනයේ පසුපස අසුනට ගෙනගිය අයුරුය. එලෙසම සිහිසුන්ව සිටි ඈ ගෙන ඒ වනරොද පීරා දිවගිය අයුරුය. ඒ සැමටම වඩා ඈ මා අසලය. මධුලිකා වඩාත් සමීපව මට දැනෙන්නේ අදයි.

නමුත්, ඈ මගෙන් ඉල්වන මේ උපකාරයට හෝ පිහිටට ඇගෙන් කප්පමක් ඉල්ලනවා සේ ඈට දැනේවිද? මම යුවතියන් රැසක් ඇසුරුකළ බව සැබෑය, නමුත් ඈ ඒ සියල්ලටම වඩා වෙනස්!

පින්තුරය ගන්නට අප දෙදෙනා සිටුවා තැබීම එතරම් ලෙහෙසි නොවීය. මධුලිකාට සිටගෙන සිටීමේ අපහසුව නිසා ඈට පුටුවක් ලබාදී මම ඊට ළඟින්ම සිටගතිමි. ජායාරුපශිල්පියා තලතුනා පිරිමියෙකි. ඔහු අප දෙදෙනාට නොයෙකුත් විහිළු කලේ දෙදෙනාම ඔරවාගෙන සිටින නිසාය.

"මොකාද අනේ ඔහොම ඉන්නේ....? මේ දෙන්නා ගෙදරින් බලෙන් බන්දවල වගේනේ... හිනාවෙන්න දරුවෝ..."

පින්තුර දෙක තුනකින් සෑහුණු මම මධුලිකා තවත් වෙහෙසකරන්නට කැමති නොවුනෙමි.

"මම නම් කියන්නේ ක්ලැසික්ම ෂොට් එක තමයි මේක!"



එතන සිටි සහයකයා සිය කැමරාවේ සටහන් වුනු යමක් මට රහසේ පෙන්විය. මගේ ඇස්දෙක අදහාගත නොහැකි තරමකි. මම මධුලිකාව දෝතින් ගෙන පිටගැට නගින දර්ශනය ඔහුගේ කාචයේ සටහන්ව තිබුනේය. එලෙසම මධුලිකා මා අතට බරවී ගමන් කරන ලස්සන කෝණයකින් ඔහු සටහන් කරගෙන තිබිණි. ඇගේ මුහුණේ තිබුනේ පිපුණු සිනහවකි. මම වහා පැන ඔහුගෙන් කැමරාව උදුරාගතිමි.

"මට මේක දීපන් මචන්.. කීයක් උනත් මම ගන්නවා!"

මධුලිකා දෝතට ගත් පින්තුරය පෙන්වමින් මම කියද්දී තරුණයා සිනාසී මගේ දෙස බැලුවේය.

"ලස්සන නිසා ගත්තේ. නැචුරල්... සල්ලි ඕනේ නැහැ... මේක මගේ ගානේ ගිෆ්ට් එකක් කියල හිතලා ගන්න.."

මම ඉක්මනින් මගේ නම්පතක් ගෙන ඔහු අත තැබුවෙමි.

"මට ඕක මේල් කරන්න.... ඊට අමතරව මට... මේකේ ලොකු ෆොටෝ එකක් එන්ලාජ් කරලා ඕනේ"

මධුලිකා පහලට ගෙනගොස් වාහනයේ පිටුපස ආසනයේ හිඳවා මම නැවත ආවේ ගෙවීම සිදුකිරීමටයි. කවුන්ටරයේ සිටි තරුණයා සිනාසෙමින් මා දෙස බලාගෙන සිටියේය.

"ලස්සන කපල් එක සර්... කොහෙන්ද ඇල්බම් එක කලේ?"

මම සිනාසී මුදල් ගෙන කවුන්ටරයේ තිබුණු කුවිතාන්සිය පිරික්සීමි.

"ෆොටෝ එක ගන්න පුලුවන්ද හෙට? අපිට වීසා වලට ඇප්ලයි කරන්න ඕනෙවෙලා හදිස්සියේ බැන්දේ... ඒ නිසා පින්තුරේ හදිස්සියි"

"ආ... ඒකද අර මිස් බයවෙලා වගේ හිටියේ?"

"හ්ම්ම්... මල්ලි අර පින්තුරේ...?"

"ආ.. ඒක මම එවෙලේම මේල් කළා... සර්... !"

"තෑන්ක්ස් !"

මුදල් ගෙවා මම නැවත එද්දී එතැන සෝපාවේ උන් මිනිසාගේ අත වූ පත්තරය සෙලවිමේ අමුත්තක් මට දැනුනේ ඇයිදැයි මට වැටහුනේ නැත. කවුරුන් හෝ අප දෙස බලාසිටියාද?

සාමාන්‍යයෙන් දොඩමලු තරුණියක වන නිමන්ති, ගොලුවී ගොස් සිටියාය. මගේ සිතත් සෑහෙන වෙහෙසට පත්ව තිබිණි. දහවල් ආහාර වෙලාවද පසුවගොස් තිබුනද මට කුසගින්නක් දැනෙන්නේ නැත.

"නිමන්ති...  මොනවහරි කාලා යමුද?"

නිමන්තිත් මධුලිකාත් එකිනෙකා දෙස බැලුවෝය. මධුලිකා හිස දෙපසට වැනුවේ 'එපා' කියන්නට මෙනි.

"මේවා ඇඳගෙන යන්න බැහැනේ... "

නැවත අප තිදෙනා මුනිවත රකින්නය වුනෙමු. මහල් නිවාසයේ වාහන අංගනයේ වාහනය ගාල්කොට අපි තිදෙනා නිවසට ගොඩවෙද්දී සේවිකාව අපව පිළිගත්තේ සතුටින් ඉපිලියමිනි. කුලියටගත් මධුලිකාගේ ඇඳුම ආපසු දෙන්නට අවැසි නිසා නිමන්තිද අප සමඟම මහල් නිවාසයට ආවාය.

නිමන්ති පිටව ගිය පසුව මම මගේ කාමරයටත්, මධුලිකා ඇගේ කාමරයටත් වැදගතිමු. කබාය ගලවා ඇඳමත දැමු මම සයනයේ පසෙක හිඳගත්තේ නොසන්සුන්කමිනි.


මගේ සිත අවුල්ව ගොසිනි. ඈ මට අකමැතිය, නමුත් පිහිටක් අවැසි නිසා මෙලෙස කරන්නට ඇත. මගේ සිතේ ඈ කෙරෙහි ඇත්තේ ආදරයක්ද? ආසක්තබවක්ද? එතරම් ලස්සනට ඈ දුටු කිසිවෙකු ඈට අකමැති වන්නට තරම් මෝඩ නැත. ඈට හොද සහකරුවකු සෙවීම උගහට නොවේ. ඇගේ කරදරයේදී මගෙන් පිහිටක් පැතුවා විනා මා ගැන ඈට හැඟීමක් නැතුවා විය හැකිය. එනමුත් ඈ අද උදෑසන මට කෑම බෙදුවේ කොතරම් ආදරයකින්ද? ඈ එලෙසම විරංගටත් කළා නේදැයි මගේ සිත මොරදෙන්නට විය.

'ටොක් ටොක් ටොක්'

"මහත්තය..."

මම දෑතින් මුහුණ පිසදාගෙන ගොස් දොර ඇරියෙමි. සේවිකාව බැරෑරුම් මුහුණක් සමඟ සිටගෙන සිටියාය.

".. අ... ම... දවල්ට කාලද ?"

මම 'නැහැ' කියන්නට හිස දෙපසට වැනුවෙමි.

"බේබිට මොනවහරි හදලා දෙන්න. මම තව ටිකකින් යනවා"

සේවිකාව මදක් පසුබෑවාය. ඇය යමක් කියන්නට අර අදී.

"බේබි... දොර වහගෙන"

මම සේවිකාව දෙස බැලුවෙමි. ඇගේ ඇස් තෙතබරිතය. බියපත්ය. මම වහා ගොස් මධුලිකාගේ කාමරයේ දොරෙහි අගුලට අත තැබුවෙමි. එය ඇතුලතින් අගුලු දමා නැත. තවත් නොසිතා මම ඇතුලට ගියෙමි.

ඇගේ සයනයේ මට පිටුපා හිඳගෙන සිටි මධුලිකා මගේ ආගමනයෙන් ගැස්සී හිස හරවා බැලුවාය. මම මෙන්ම ඇයත් තවමත් මංගල ඇඳුම පිටින්. ඇගේ ඇස්වල කඳුළු උතුරාගොස් තිබිණි. මම අඩපණව ගියෙමි.

"අඬන්න එපා"

මට කියන්නට අවශ්‍ය උනේ එයයි. නමුත් මුවෙන් ගොර ගොර හඬක් මිස වෙනත් දෙයක් පිටවුනේ නැත. අපහසුවෙන් කකුල් දෙකට පන ලබාගත් මම මධුලිකා අසලට ගියෙමි. ඈ නැගිටින්නට උත්සහ කළාය. මම අතින් 'එපා' යයි කීවෙමි.

සුදුපාට චාම් ගවුමට ඈ සුන්දරව පෙනුනි. වත්සුණු හෝ කිසිදු ආලේපනයක් නොගෑ මුහුණේ කඳුළු වලින් ඈ තවත් අහිංසකව පෙනුනාද කියා හරිහැටි මතකයක් නැත.

බිමට නැඹුරු කරගත් ඇගේ බුහුටි මුහුණ කඳුළු නොවසාම නිකටෙන් අල්වා මම එසවුයෙමි. ඈ මා දෙසම බලාසිටියා මිස කිසිවක් කීවේ නැත. ඒ නෙත් සැබවින්ම හදවතක් පසාරුකරන සුළුය.

සැබවින්ම ඒ මොහොතේ කාලය නවතින්නට ඇත. කිසිම දෙයක් හරිහැටි මතකයකට නගාගන්නට නොහැකි රික්තයක් අප වටා සබන් බෝලයක් මෙන් වටකොට ගත්තේය.

මම පියවරකින් සමීපව, මධුලිකා වෙත සෙමෙන් නැඹුරුව, ඇගේ හිසෙහි පසුපසින් අල්ලා ලංකොට ඈගේ දෙතොල් සිපගතිමි. අතිශය මනරම් වර්නාලෝකයකින් හාත්පස ඒකාලෝක වන්නාසේ දැනුනා මතකය. දිගු, නමුත් ඉතා මෘදු ඒ මොහොත අතිශය සංවේදීව මගේ හදවතට දැනුනා නම් මතකය.

දෑස් හරිනවිට, තවමත් දෑස් පියා සිටින මධුලිකා දෙස තත්පරයක් බලා සිටි මම ඇගේ කාමරයේ දොර වසා පිටතට පැමිණියෙමි.


*************************************

කුලී රථයෙන්ම , ගරාජ් එකට ගොස් වාහනයේ තත්වය බැලු මම එයට අවශ්‍ය කළමනා ගන්නට මුදල්ද ලබාදී කුලී රියද බාර දුන්නෙමි. එහි සිට ත්‍රිරෝද රථයක නැග එන අතරමගදී හඳුනාගත් එම රියදුරා ; තාත්තාගේ තලවාකැලේ සේවකයෙකුව සිට පසුව ත්‍රිරෝද රථයක් මිලට ගත් බවයි. තාත්තා ගැන බොහෝ ගරුත්වයෙන් ඔහු කතා කරද්දී මටත් ඉන් ආඩම්බරයක් දැනිණි.


අප හා සමාන්තරව විටින් විට ගමන් ගත් ත්‍රිවිල් රථයක් නිසා කවුරුන් හෝ මා ලුහු බඳින බවක් ඉව වැටුණි.  මම වෙලාව බැලුයෙමි. සවස පහ පසුවුණා පමණකි. එවිටම මට ඇමතුමක් ආවේය. මම සැනින් එයට පිළිතුරු සපයද්දී ඉබේම මගේ සිතේ ඇඳි සිනහව මුවේද සටහන් වනු දැනුනි.

"හලෝ.. කියන්න මධු......"

වෙනදාට වඩා ඒ 'මධු' ඇමතුම මගේ සිත තුලින්ම පැමිණෙන්නට ඇත.

"ඔයා කොහෙද?"

"ගෙදර යන ගමන්... කා එක දීලා... ඇයි ? "

"......................"

"ඔයා මොකද කරන්නේ?"

"......................."

"ගෙදර ගිහින් කෝල් කරන්නද? "

"......................."

"හ්ම්ම්?"

"හරි..... "

හදවත් පිරී ගියා සේ දැනුනි.

ඇය මා ඇමතුවේ පාළුව නිසාද? නොඑසේනම් යුතුකමක් ලෙසද? ඇය මා කෙරෙහි ඇති ආදරයට ඇමතු බව අදහන්නට මට අවැසි විය.

වෙන කිසිවෙකු කෙරෙහි නොදක්වන, නොසිතන දේ මා ගැන සිතවන්නට මට අවැසි විය. සරලවම කිවහොත් ; ඈ මට ආදරය කරවන්නට මට දැන් අවැසිව ඇත!

රථය සංඥා එලියට නතරවිය.

"සර්...... මේ.... අර එන ත්‍රිවිල් එක සර්ව ෆලෝ කරනවද?"

රියදුරුට කියන්නට ලැබුනේ එපමණකි. එකවරම රතිඤ්ඤා පුරනවා සේ 'පට පට' ලෙස ඇසුන වෙඩි හඬවල් දෙකකින් එකක් මගේ වම් උරහිස හිරිවට්ටවනවා දැනුනි. රියදුරු හිස දෑතින්ම බදාගෙන ගුලිවිය. කිසිවක් සිතාගත නොහැකිවූ මම රථයේ පහලට නැවි ගුලි වීමි.

ක්ෂණයෙන් නැගිට්ට ඔහු පුළුවන් උපරිම වෙර යොදා ත්‍රිරෝද රථය රතු එලිය මැද්දෙන් ඉදිරියට අද්දවාගෙන ගිය අතර අවට සියල්ලම බොඳවී යනවා සේ මට දැනුනි. අපහසුවෙන් ආපසු හරි බැලු මට පෙනුනේ පාර හරහා ගමන් කරන ලොකු ටිපර් රථයකි. වාසනාවට ඔවුන් ඊට හසුව මගහැරී ගොසිනි.

වම් බාහුව වෙත අත ගෙනයද්දී , අතේ ඉහල කෙලවරට වන්නට සුදුපාට කමිසය පසාරු කරගෙන ගිය උණ්ඩයක් වන් දෙකක් පෙනුනා මතකය.

"බුදු සර්.... මොකද උනේ.... මොකද උනේ? වෙඩි තිබ්බ නේද?"

රියදුරා රථය පදවමින් හැරී බලා මොරදෙන්නට විය.

"ඔව්... බයවෙන්න එපා... ඔහොමම හරෝනවා වමට.. "

"හරි සර්.."

" වම් පැත්තේ කෙලින්ම ගියාම තියෙන ඩිස්පැන්සරිය ගාවින් දානවා... "

"හරි සර්.."

"බයවෙන්න එපා.... බයවෙන්න එපා උන් මගෑරුනා.. තමුසේ යනවා... ඉක්මනට "


හිරිවැටුන වමත එසේම තබාගෙන සාක්කුවෙන් ගත් ලේන්සුව දකුණතින් තුවාලයට තද කරද්දී අත දිගේ රුධිරය යම් පමණක් ගලා යන්නට විය. ලේ සහිත අතින් ජංගම දුරකථනය ඔබන්නට උත්සහ කලද එය ව්‍යර්ථ විය.  මස්පිඬු හිරිවැටි ඇති බවක් දැනේ. මම පසුපස හැරෙමින් බැලුවද පේන මානයක කිසිවකු නොවිය.


මගේ වාසනාව තවමත් තිබේ. එක අතෙකින් පලායාමට හැකිවෙන පරිදි සැකසුමක් ලැබීමයි. අනෙක තුවාන් අයියාගේ ඩිස්පෙන්සරිය අසල වීමයි. අවාසනාවද එපමණටම තිබුනාද? තුවාන් එහි සිටියේ නැත! මා දුටුවනම ගල්ගැසී සිටි පිරිස මට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් නොවුනේ මෙය වෙඩිතැබීමක් නිසාවිය යුතුය.

"මේ අපේ සර්.. අනේ බුදු මහත්තයෝ මේ සර් හොද වැදගත් සර් කෙනෙක්.. ඉක්මනට මොනවහරි කරන්න අයියෝ...."

රියදුරා අතොරක් නැතිව කෑගසන්නට වුයෙන් එතන සිටි අනෙක් උදවියට වෙන විකල්පයක් තිබුනේ නැත. තුවාන්ගේ ඇඳුනුම්කම කියූ නිසාද , කවුරුන් හෝ ඔහු අමතා කියා තිබුණු බැවින් ඊළඟ පැය ඇතුලත තුවාන් පැමිණියේය. ඒ වනවිට රුධිරය  වහනය පාලනය කොට තිබුණු නමුත් මම සෑහෙන කායික දුර්වලතාවයකට ලක්ව තිබිණි.

"සර්ජරි එකක් කරන්න වෙයි මචන්"

"අවුලක් නැහැ.. අමුවෙන් හරි මහපන්.... හිරිවැටිලා මචන්"

"නර්ස්.. එහෙනම් සර්ජරි එකට ගන්න... ඉක්මනට... "

යුහුසුළුව කාර්ය මණ්ඩලය සැරසෙන්නට විය. මම තුවාන් අයියා වෙත බැල්මක් හෙලුවෙමි.

"බයවෙන්න එපා... බුලට් එක තියෙනවා නම්, එකෙන් බොන් එකක් ඩෑමේජ් වෙලා නම් තමයි කේස් එක. "

තුවාන් අයියා මා සනසන්නට මෙන් කියා තට්ටුවක් දැම්මේය.

"අනේ.. අයියා.. මට කෝල් එකක් අරගෙන දෙන්නකෝ... "

"බයවෙන්න එපා.. ඉඳපන් මම විරංගට කෝල් කරන්න...... "

ඒ සැනින් විරංග ඇමතු තුවාන් අයියා වහාම මෙහි එනලෙස ඔහුට පැවසිය. මම තවත් ඔහු දෙස බලාගෙන සිටියෙමි.

"මේ... තව කෝල් එකක්..."

තුවාන් අයියා මගේ දෙස බැලුවේ සිනාසෙමිනි.

"මම හිතන්නේ නැහැ උඹ දැන් ආන්ටිට හරි අන්කල්ට හරි කෝල් කරන්න හදනවා කියල... යාලුවෙක් විදියට නම් මම කියන්නේ, කියන්න එපා කියල..."

මම අපහසුවෙන් සිනාසුනෙමි. තුවාන් සිය රැවුල අතගාමින් මා දෙස සෝපහාස ලෙස සිනාසෙයි.

".... කවුද කෙල්ල? අර එදා ගෙනාපු කෙල්ලද?"

මට කියන්නට දෙයක් නැත.

"ඔව්.. මේ..."

"මට එදාම හිතුන... උඹ මැරෙන්න හදපු විදියට.... ආ.. ආ... ගනින් ගනින්..."

ඔහු සිය දුරකථනය පෑවේය. නමුත් මම මගේ දුරකථනය ඔහු ලවා අරවාගෙන එයින් ඇමතුම ගත්තේ නොදන්නා අංක වලින් එක ඇමතුම් මධුලිකා පිළිතුරු නොදෙන නිසාය.

"ගියාද?"

මදුලිකාගේ ලයාන්විත හඬ එපසින් ඇසුනි. මට එතෙක් දැනුනු ශාරීරික වේදනා නැතුව ගියාද?

"නෑ තාම මග... මේ....."

"මෙච්චර වෙලා?"

"පොඩි කරදරයක් උනා. මම හොදින් ඉන්නවා. ඔයා වටේ ගැන ඇහැ ගහගෙන ඉන්න මධු.... කවුරුහරි ෆලෝ කරපු  කෙනෙක් මට වෙඩි තිබ්බා... බයවෙන්න එපා මම හොඳින්... විරංග මග එනවා "

එපමණක් කියා මම ඇමතුම විසන්ධි කලෙමි.


**************************


විස්තරය ඇසු විරංග මදක් කල්පනාවට වැටුණි. වාහනය අසල පාරේ ඉඩක් ඇති තැනක නතරකල ඔහු එන්ජිම ක්‍රියා විරහිතකොට සුක්කානමට තට්ටු කරන්නට විය.

"උඹ ගෙදර යන්න එපා... පලයන් වත්තට"

මම විරංග දෙස විමසිල්ලෙන් බැලුවෙමි.

"බලමු ! "

"............."

"මට වෙඩි තිබ්බේ කවුද? මේ වෙලාවේ හැටියට මට හිතෙන්නෙම අපිට ස්ටුඩියෝ එකේ ඉඳලම ෆලෝ කරපු එකෙක් වෙන්න ඇති... එතන හිටියා මනුස්සයෙක්.... මට ඌ සැක හිතුනා ඒ වෙලාවේ.... "

"තාරුක මොනාද කිව්වේ?"

"ඌ කිව්වා හැංගිලා ඉන්න කියලා. මධුලිකාගේ මස්සිනාගේ වැඩක් කියලයි සැක. මට පොලිසියට යන්න බැහැ බන්...."

"හ්ම්ම්"

මම කල්පනාවට වැටුනෙමි. එකවරම ආ සිතුවිල්ලෙන් මම සුන්දර් වෙත දුරකතනයෙන් ඇමතුවෙමි.

"සුන්දර්.... අද තාත්තා ඇහුවොත් කියපන් මම ඔහේ ආවා කියලා. මම පොඩි ගමනක් යනවා. පුළුවන් උනොත් හෙට උදෙන්ම එන්නම්... හරිද?"

ඇමතුම විසන්දි කරද්දී විරංග මා දෙස සෘජු බැල්මක් හෙලාගෙන උන්නේය.

"... මාව දාපන් ෆ්ලැට් එකෙන්"

විරංග හිස දෙපසට වනන්නට විය.

"උඹ.... මට කියපන් මේ කෙල්ලට මොකද්ද කරන්න යන්නේ කියල?"

"ඇයි ?"

"මේ කතාව ආයෙමත් ඇදගන්න මම කැමති නැහැ... උඹ දන්නවනේ....? "

මට කලින් දින අපගේ කතාබහ සිහියට නැගුණි. මා විසින් මධුලිකාව රවටනු ලැබීම විරංග එකහෙලා විරෝධයෙන් සහ කෝපයෙන් යුතුව හෙළාදකි.

"උඹ... උඹ මධුලිකාට ලව්ද ?"

මම අමුවෙන්ම ඇසුවෙමි. අඩ අඳුරේ වුවද ඔහුගේ ඒ මුහුණේ මස්පිඬු නටනු මට පෙනුනි. පිළිතුර ප්‍රමාදය. මම උරමාව සහිත අතට වාරුවන්නට උත්සහ කලද වේදනාව නිසා එලෙස කරගත නොහැකි විය. වාසනාවට උණ්ඩය අස්ථියේ වැදී , එය නොබිඳී හැරී ගොස් අස්ථි කිසිවකට හානියක් කර තිබුනේ නැති වුවත් වේදනාව අතිමහත්ය.

විරංගට ඉබේම මා දෙස බැලුණි. ඒ ඇස්වල ලොකු වෙනසක් මට පෙනුනි.

"මචන්.."

"මට තේරෙනවා මචන්"

මගේ අවසරයකින් තොරව විරංග මගේ දකුණු උරහිස බදාගත්තේය.

"මට සමාවෙයන් බන්.... මට තේරෙන්නේ නැහැ... මට සමාවෙයන් බන්... උඹ... උඹ ඒ කෙල්ල එක්ක සෙල්ලම් කරන්න එපා බන්.. මට ෆුල් අවුල්"

මම නිහඬව සිටියේ උරහිසේ වේදනාව ඉවසාගන්නට හැකි පමණටය.

"...... ඒක ටිකක් කම්ප්ලිකේටඩ් මචන්.... ඒකි උඹෙන් උදව් ඉල්ලුවේ අසරණ වෙච්ච නිසා... පව් බන් ඒ කෙල්ල..."

සර්වාංගයම ගැහෙනවාසේ මට දැනුනි. බාහුවෙන් පටන්ගත් හිරිවැටීමක් හිස දක්වාම ගමන්කොට හිස් මුදුනින් පිටව යන්නාසේය.

"මට උඹත් එක්ක කතාකරන්න ඕනේ... සිරාවට!"

මම ස්ථිරසාරව පැවසුවෙමි. විරංග මද වෙලාවකින් සන්සුන්ව ගොස් කල්පනාවට වැටුනේය. මම වාහනයේ ඉදිරිපස ඇති කුඩා බල්බය දැල්වූයේ විරංග ගේ මුහුණ හොඳට නිරීක්ෂණය කලයුතු බැවිනි.

"..... එදා.... චාපා ආපු දවසේ මොකද උනේ?"

විරංග කල්පනා කළේය.

"මුකුත් නැහැ... මධුව බේරගන්න කරන්න තිබ්බේ ඒකනේ.."

මධුලිකාගේ කාමරයට ඔහු යාම ගැන මගේ හිත වඩාත්ම කැළඹුණු බව ඉවෙන් දැනගත් විරංග කිවේය.

"වහෙන් ඔරෝ නෙවෙයි මචන් මට කෙලින්ම කියපන්.. උඹ ඒකිගේ අතින්වත් ඇල්ලුවද?"

විරංග එකවරම පිළිතුරක් දුන්නේ නැත.

".... මධු මොනවද මම ගැන ඇහුවේ? උඹ මොනවද මධුට කිව්වේ?"

විරංග සමඟ මම මෙවන් ස්වරයකින් මිට පෙර කතාකර නැත්තෙමි. එබැවින් ප්‍රශ්නයේ අවසාන කොටස මම සැර බාල කලෙමි.


"එහෙම එකක් නැහැ බන්... උඹ ගැන මම මධුට වරදක් කියල නැහැ. ඒකිත් මගෙන් එහෙම විස්තරයක් අහලා නැහැ. එදා මම එවෙලේම අර වැඩකාර ගෑනි ගේන්න පිටත් උනා. මට තේරුනා සීන් එක.."

"මොකද්ද?"

"මධු උඹට ලව් කියල.... "

හිස වටා සමනලයින් පියාඹනවා සේ දැනුනි. 'මොකක්?'

".... මම ඒක උඹට නොකිව්ව එක ගැන මුකුත් හිතන්න එපා මචන්... මට හිතුනා.. උඹ කෙල්ලව නාස්ති කරයි කියල"

එය නම් එල්ලය බලා යොමුකළ පිහි පහරක් විය. විරංග පවසන්නේ සත්‍යකි. ඔහු අත වරදක් නැත. වරද ඇත්තේ මගේ අතෙහිය. මගේ හිස බිමට නැමෙන්නට ඇති.

"ඔව්.... උඹ වැරදි නැහැ බන්.... මට තේරෙනවා. උඹ කියන්නේ කෙල්ල උඹ ගැන අදහසක් තිබ්බේ නැහැමයි කියලද?"

විරංග ඈත බලාගත්තේය.

"නැහැ.... මම හිතන්නේ නැහැ..."

"......................"

"උඹ හිටියේ ඉරිසියාවෙන් කියලා මට තේරුනේ පස්සේ"

"හ්ම්ම්..."

මට තනිවම සිනාවක් නැගුණි. විරංග මගේ දකුණු උරහිසට තට්ටුවක් දැම්මේය.

"උඹට සිරාවට ආදරේ දැනුනා මට හිතෙන්නේ. සි-රා-වටම?"

"වෙන්න ඇති මචං... දන්නේ නැහැ..."

සිනාසීමට උත්සහ කරමින් මම කීවෙමි. හිත පුපුරා යන්නට ආසන්නය. නමුත් ගතවූ හැම මොහොතක් පාසාම විරංග වෙත මධුලිකා දක්වනලද සුහදබව ඉවසාගත නොහැකි, අන්ත මෝඩයෙක් තරමට මම පහලට වැටි සිටියෙමි.

"මධූ මාව මැරි කලේ එයාට වෙන පිහිටක් නැති නිසා. ඒ හින්දා මුලින්ම මම කෙල්ලව බේරගන්න ඕනේ මේ ගේම් එකෙන්"

"උඹ කියන්නේ..."

"සමහර වෙලාවට එයාගේ හිත වෙනස් උනොත්.... "

විරංග වාහනයේ දොර හැරගෙන බිමට බැස්සේය. ඔහු මට පිටුපා අඳුර දෙස සිය දෑත් බැඳ බලා සිටින්නට විය. ඔහුගේ සාක්කුවේ තිබී හෝ අන් කවර විදියකින් හෝ බරැති කූරක් වැනි යමක් ආසනය මත තිබෙනු අඩ අඳුරේ මට පෙනුනි. පාරේ ගමන්කළ වාහනයකින් ආ එළියකින් මට එය කුමක්දැයි එකවර දර්ශනය වෙද්දී මම ගල්ගැසී ගියෙමි.



එය 'ජාවා මොහාරිස්' සුරුට්ටුවකි!


********** මතු සම්බන්ධයි ***********
Related Posts Plugin for WordPress, Blogger...