Thursday, March 16, 2017

80. ඔබ ඇවිත් යන්න එන්න... - 16

16.
-----------------------------------------------------

ම්මගේ අඩෝවැඩියාව උදේ ඉඳලා. දීලා ගියපු එක වැඩක්වත් කරලා නැතුව රස්තියාදුවේ ගියා කියලා. දැන් ඉතින් ඉන්න වෙන්නේ කන්දෙකේ ඇඟිලි ගහගෙන තමයි. ඉස්කෝලේ නිවාඩුකාලේ හින්දා අම්මත් ගෙදර.

"මේං ලියුමක් ඇවිත්!"

අම්මගේ කතාවට මම දෙපාරක්ම පුදුම උනා. පලවෙනි එක මට ලියුමක් ඇවිත් කියන එක. අනිත් එක ඒක කඩන්නේ නැතුව මගේ අතටම ලැබෙන එක. මේ අපේ ගෙදරද??? බාත්රූම් එකෙන් එලියට පැනලා මම දුවගෙන ආව.

"කාගෙන්ද?"

නංගිගේ ඇන්ටනාව කොයි වෙලත් ඒ අතට මේ අතට කැරකෙනවා. සාලේ මේසෙ උඩ තිබ්බ ලියුම මම අතට ගත්තේ පුදුමෙන්. මේ කොහෙන්ද? අපොයි.. මේ අර මම විභාගේ ලියපු ටෙක්ස්ටයිල් කෝස් එකෙන් එවල තියෙන්නේ. ලියුම බැලුවම තවත් පුදුමයක්. ඒ විභාගෙන් මම පාස් වෙලා. චලනයාටත් ලියුමක් තිබ්බා. ඌත් පාස් වෙලා! මට ලකුණු වැඩියි. මේ විභාගයක් පාස් උනාමද කොහෙද..

මම නිකමට ගාමන්ට් එකේ නම බැලුවා. හ්ම්ම්.... ***** - මහාය්යාව. මේක නිකිනිගේ ගාමන්ට් එකවත්ද? මගේ පරණ පිනක් වැඩකරනවද කොහෙද..

මම නැටුමක් නටාගෙන කුස්සියට ගියා. අම්මා වටේ නැටුමක් නටලා තව ඩින්ගෙන් පිඟානකුත් බිඳෙනවා. අම්මා දුන්නා පස්සපැත්තට ගුටියක්.

"තාත්තා ආවම කියනවා. මට වද දෙන්නේ නැතුව. යකෝ.. පොඩි උන ආන්-බාන් කරනවා ලේසියිනෙ මේ කොල්ලෝ දෙන්නට වඩා. දුවනවා කුස්සියෙන්"

අම්මා මාව එලොගත්තට හිනාවක් මුණේ. දැක්කද සමකිරිල්ල? අර නැහැදිච්ච දෙකේ පන්තියේ චූ කොල්ලෝ ගානට මාවත් දාල. අම්ම දෙක වසරට කොහොම උගන්නනවද මන්ද.

Wednesday, March 15, 2017

70. ඔබ ඇවිත් යන්න එන්න... - 07

07
--------------------------------------------------------------------
නිකිනිගේ ෆ්ලැට් එකට ගිහින් මම කරගත්තේ මොන අමන;ගොන් වැඩක්ද කියලා මට පස්සේ හිතුනා. මම යන්න ඕනේ නැති ගමනක් මම ගියේ. හිත හදාගන්න බැරුව මම ක්ලාස් දෙකක්ම කට්  කරගෙන ගෙදරට වෙලා ගුලිවෙලා හිටියා.

ක්ලාස් යන්න චලන එක පාරක් කතාකලා. එච්චරයි. මට මගේ පාඩුවේ ඉන්න දුන්නා. වෙලාවකට මට හිතුනා චලනට මගේ ගමනත්; සිද්ද වෙච්ච දේවලුත් ඔක්කොම කියල හිත නිදහස් කරගන්න. ඌ මට අනිවාර්යයෙන් අම්මමෝ නැතුව බනීවි.

ඒත් කමක් නැහැ කියලා මම ඌට ඔක්කොම කතාව පුළුවන් විදියට ; නිදාගන්න ගිහින්;  ඇඳේදී කියලා දැම්මා. ලයිට් ඔෆ් කරලා; කළුවරේ නිසා පහසුවක් තිබ්බ ඔක්කොම කියාගන්න. මම කන හදාගෙන හිටියේ හොඳවයින් කුණුහරප දෙකතුනක් එක්ක බැනුමක් අහන්න.
ඒත් චලනයා 'හ්ම්ම්' කියලා වචනයක් කිව්වේ නැහැ.
මට හෙන පුදුමයි. ඉවසගෙන ඉන්න බැරුව මම ඇඹරෙන්න ගත්ත. ඇයි මූ මට බනින්නේ නැත්තේ?

"චලන. ම.. මම හිතුවේ උඹ මට බනියි කියල"

"..................."

"චලන ... ! කතා කරපංකෝ බං !!!"
කරුවලේ මට ඌගේ මුණ පෙනෙන්නෙත් නැති නිසා මම බෙරිහන් දුන්නා.

"................."

".. චලන...! මොනවහරි කියපන් බං.. උඹට තේරෙන්නේ නැහැ.... මම ඉන්නේ මොන තත්වෙකද කියලා. මම දන්නවා මම ගියේ වැරදි ගමනක් කියලා. ඒත්... මට ඒක නොකර බැරි උනා. මම පිලිගන්නවා මගේ වැරද්...ද"

"............"

"චලන!!!"

78. ඔබ ඇවිත් යන්න එන්න... - 15

15.
----------------------------------------------------------------
නිකිනි කියපු දේවල් මගේ හිතේ හොල්මන් කරනවා.

නිකිනි ගැන මම මෙච්චර දවසක් හිතාගෙන හිටියේ කොහොමද කියලා මම ඒතරම් දුරට එදා වෙනකල් හිතුවේ නැහැ.
ඇත්තටම මම හිතුවේ කොහොමද?

මට ඒක හරියටම හිතාගන්න බෑ. ආදරේ කියලා හිතුනා මිසක් ඇත්තටම මම නිකිනි ගැන හිතලම නැතිවා වගෙයි.

නිකිනි අර කියපු චානකයාට ආදරේ කරන්න ඇති.  මට මාර ඉරිසියාවක් දැනුනේ.  නිකිනිගේ ආදරේ ලැබුනා කියන්නේ මොනතරම් සතුටක්ද මට. එක එක බහුබූත කල්පනා වෙන්න ගත්තා, ඉරිසියාව මගේ රතු කට්ට පනින තරම්.  ඒත් එක්කම තරහක් වගේ දෙයක්. 

නිකිනි බැදපු කෙනෙක් බව ඇත්තටම මම චලනයාට කියලා නෑ. උගේ හැටියට, මම දන්නවා එහෙම දැනගත්තොත් , උදව් කිරිල්ල කෙසේ වෙතත් මාව ඉහේ ඉදන් පට්ට ගහයි. නිකිනිටත් මම කිව්වා මාධවී අක්කට විස්තර කියන්න එපා කියල. මාධවී අක්කාගෙන් ලීක් වෙයි කියලා මට මාර බයයි.
අම්මා ටවුමට ගියේ කෝටියක් වැඩ පවරලා. දවල් වරුවේ නිකිනිත් නෑ. ඒ මදිවට පන බයයි චානකයාට අහුවෙයි නියලා. ඌ කොයි වගේ පෙනුමක්ද තියෙන්නෙ කියලා මට හරි කුතුහලේ. කාන්ති ගෙන් අහන්නත් මොකද්ද වගේ. 

චලනයාවත් අරගෙන මම කලිසමට බැහැලා ගෙදරින් පැනගත්තා. 

"උඹේ කෑල්ල ⁣බලන්නද"

"නෑ බං.  එයාව මුණගැහෙන්නෙ හවසට. දැං යමං ටිකක් ටවුමට"

"මලා. අද දහ වෙනිදා නේද"

"ඔව් ඇයි"

"මෙතුකයාගෙ ගෙදර එනවා කියලා මම promise උනා. එහෙ පාටියක්. යමං එහෙ"
මට උඩින්ම සන්තෝසයි.
මෙතුකගේ ගෙවල් වලට යන්නේ නිකිනිගේ ගෙවල් පහුකරගෙන. දවල්ට නිකිනි නෑ. ඒත් දකින්නත් ආසයි. මගේ ත්‍රාස ජනක ගමන මතක් වෙලා මට තනියෙම හිනා. 

මමයි  චලනයි බස් එකට නැගලා 'ලව් පොට්' එකේ වාඩි උනා. 

"මොකටද බං එහෙ යන්නෙ? "

"ඉදහංකො "

මමත් ආයෙ අහන්න ගියේ නෑ. බස්එක අද්දනකොටම කීප දෙනෙක් දුවගෙන ඇවිත් නැග්ගා. එකපාරටම මාව කොර වෙලා ගියා. චිරනි! චලනත් කට ඇරගෙන ඉන්නවා. 

Tuesday, March 14, 2017

77. ඔබ ඇවිත් යන්න එන්න... - 14

14
--------------------------------------------------

ම හිටියේ මේ ලෝකේ නෙවෙයි. කෑම - බීම ගැනවත් මට මෙලෝ කල්පනාවක්, උනන්දුවක් තිබ්බේ නැහැ. ඒ මොකක් උනත් අම්මගේ උකුසු ඇස්වලට අහු නොවෙන්න මම සැලකිලිමත් උනා.. අපෝ අම්මට පුදුම ඉවක් තියෙන්නේ.

"අපිටත් මොනවහරි දීපන්.. ජිවිතේ පරදුවට තියලා සපෝට් කරනවට........"

චලනයා බර බරේ දානවා. මට තිබ්බේ කන්දෙකෙන් බේරෙන තරම් සතුටක්.

".......අඩ් ඩ ඩා.. මුගේ තියෙන පෙම්පාට... වැ-ක්-කෙ-රෙ-න-වා"

චලනයා මාව එකසිය ගානට බයිට් කලත් මම ගණන් ගත්තේ නැහැ.

"අනේ මෙහ් ! ඇත්තම කියහන්.. නිකිණි හොඳයි නේද?"

" උඹ වගේ  ඇමරිකන් රිලවෙක්ට කොහොමත් ගැලපෙන්නේ නැහැ"

"අනේ මේ! මගෙන් අහගන්න එපා... මම ඇමරිකන් රිලවා නම් උඹත් ඒකම තමයි.... ඇත්තම කියපන්, නිකිණි හොඳයි නේද?"

"හ්ම්ම්... හැබැයි අක්කා කෙනෙක් කියල හිතන්නවත් බැහැ බන්.... සිරාවට... ඉස්කෝලේ යන කෙල්ලෙක් වගේ"

"ඔව් බන්... මමත් හිතුවේ ක්ලාස් යන කෙල්ලෙක් කියල. අනේ මන්ද බන්... මට අහන්න නම් දේවල් ගොඩක් තියෙනවා"

"ඔව්  ඉතින් උඹට අහගන්න කොයින්ද වෙලාවක්"

"අනේ මේ.... කට වහපන්.........."

මම ඇඳ උඩ තිබ්බ කොට්ටයකින් චලනට ගැහුවා. චලනයා බක බක ගගා හිනාවෙනවා.

"...... ඌරා! යකෝ අපේ තියෙන්නේ පරම පිවිතුරු ප්‍රේමයක් හරිද... තෝ වගේ කුපාඩියෙක් නෙවෙයි මම "

Monday, March 13, 2017

76. ඔබ ඇවිත් යන්න එන්න... - 13

13
--------------------------------------------------
'මොකද බාන්..... උඹගේ නරක තැනක්වත් කොහේ හරි වැදුනද.. හදිස්සියේම මාළිගාවේ දුවන්නේ?"

චලනයා මට පල් එක දානවා. අනේ අපොයි.. මගේ හිත 'ගිඩි-ගිඩි' ගානවා.

මම හිටියේ කලබලෙන්, ඒ වගේම සතුටෙන්. මට මේක චලනට කියන්න ඕනේ. කොහොමද කියන්නේ? ඌ මගේ ඔලුව කයි! ඌමනේ දවසක් හොඳවයින් මට කිව්වේ ආයෙමත් නිකිණි ගැන කතාකරන්නවත් එපා කියලා. ඉතින් මම මොන හිතකින් මූට කියන්නද? ටෙරන්ස්ව වත් සෙට් කරගන්න ඕනේ? එක්කෝ තනියෙමම යනවද?

"අප්පේ.... මොකද මේ වවුලා වගේ රෑට යන්න ලෑස්ති ගමන? ආදෙන්කෝ තාත්තා.. මම කියන්ඩ"

නංගිත් පටන් ගත්තා. චඃ.. සුපර්මෑන් වගේ උඩින්වත් යන්න තියෙනවා නම්?

"මොකද ලොකු මෑන් මේ හවස්වෙලා කොහේ යන්නද? දැන් තාත්තත් එයි. ඔන්න මට නම් බෑ උත්තර දෙන්න"

අම්මත් කියපි. දැන් ඉතින් කාපන්කෝ කේක් !

"චලන.. වරෙන්කො බන් මාත් එක්ක යන්න"



මම කරකියාගන්න දෙයක් නැති වෙච්ච නිසා කිව්වා. චලනයා බෑ කිව්වා.

"වරෙන්කො බන්"

චලනයා මගේ මුණ දිහා බැලුවේ 'තෝ මට දැන් කියපන් විස්තරේ' වගේ.

".. හරි හරි... මම යන ගමන් කියන්නම්"

Sunday, March 12, 2017

75. ඔබ ඇවිත් යන්න එන්න... - 12

12

-------------------------------------------------------------------


ගේ පපුව 'ඩෝන් පටෝන්' ගානවා. මේක ලණුවක්ද ? මුන් මාව සැලසුම් කරලා උස්සන්න යනවද? නැත්තන් .. මරන්නවත් යනවද? මේකට එකත් එකටම නිකිනිගේ මහත්තයා සම්බන්ධ ඇති. මම නිකිනිව මුණගැහෙන්න ආව කියලා දැනගෙන මට ගේම් එකක් දෙන්න යනවද? මගේ බඩ පත්තු උනා. උදේ යාන්තමට බඩට දාගත්ත පාන් කෑල්ල දැවිලා අලුවෙලා යනවා වගේ දැනුනේ. මට දැන් ගොක්කොල පේනවා, පේනවා වගේ. චලනට කියන්න බෑ ; කුම්බලාවෝ කෑවනම් .. විඳවපන් බළලෝ කිව්වලු!


මම දොඩම්වල බස් එකෙන් බහිනකොට කකුල්දෙක මෙඩ්ලින් ගහනවා. මම එදා කරපු අමන; මොට්ට ; තකතීරු ; මැටි; තක වැඩෙන් මේක දුරදිග ගියපු තරම! එහෙමනම් මේ විදියට නිකිනිගේ මහත්තයට අහුවෙනවෑ ?දැන් ඉතින් මගේ අවසානේ තමයි.

යකෝ.. මට හදිස්සියට රක්ෂනයක්වත් නැහැ.ආපදා, අනතුරු කිසි දේකට ගෙවන්නෙත් නැහැ. දවසක් කීයක් ඉස්පිරිතාලේ ඉන්න වෙයිද කවුද දන්නේ.

අනේ.. කවුරු උනත් දැන් ඉතින් ශේප් වෙලා අතපය හතර බේරාගෙන ගෙදර එන්න ඕනේ. නැත්තම් ඔක්කොම ගෙදරට මාට්ටු. මට නිකන් මැවිලා පේනවා මම සරුවාන්ගෙම බැන්ඩේජ් කරලා , ඇඳක බාවලා, කකුල එහෙම වහලේ එල්ලගෙන, පැත්තකින් සේලයින් එල්ලගෙන ඉන්නවා. කේන්දරේ ආයුෂ අඩුයි කියලා තිබුනද බැලුවෙත් නෑ.. හදිසි මරණයක්... කොයි විදියට මැරෙන්න වෙයිද? මිනිය ගඟේ දායිද?

ආයේ නිකිනිගේ ගෙවල් දිහා බලාගෙන වතුරවත් බොන්නේ නැහැ කියන්න වෙයි. ගහගන්න දන්නෙත් නැහැ. දුවාගන්න පුළුවන් උනොත් නම් ලොකු දෙයක්. ඩෙක්ෂුස් එක්ක දුවාගන්න නම් ලේසියි... වාහනෙකින් එලවයිද?
කොහෙද.. ස්කවුටින් කරලා ඉගෙනගත්තේ  තුවාල වලට බෙහෙත් දාන්න විතරයිනේ.
මෝචරියට යනකොට මිනිය කැතට තියෙයිද දන්නේ නෑ..

මම ෆ්ලැට් එකට යන පාරට හැරුනා.

Thursday, March 9, 2017

74. ඔබ ඇවිත් යන්න එන්න... - 11

11.

-----------------------------------------------------------------

"මොකද්ද උඹ දාගත්ත කොක්ක?"


චලනයා බත්  අනන ගමන් ඔලුව උස්සලා ඇහුවේ සාලේ පලාතකවත් කවුරුත් නැති නිසා වෙන්න ඇති. බත් එක අතගගා හිටපු මම උඩ විසි උනා.

"ම.. මුකුත් නෑ "


"කලනයෝ.... උඹ මොකාටද එන්න හදන්නේ?"

මට කෑම එපා උනා. මම පිඟාන එහෙම්මම දාල අත හෝදගන්න පැන්ට්‍රි එකට ගියා. අත හෝදගෙන ආපහු හැරෙනකොට දොරකඩ අහුරගෙන චලන හටගෙන ඉන්නේ ගොන්පොරයකට වගේ.


"මාධවී අක්කා මට කිව්වා. මට ඇත්ත කියපන්. උඹ ඊයේ කොහෙද ගියේ?"


"මට  මගේ පාඩුවේ ඉන්න දීපන්"


"උඹ තාමත් අර කෙල්ල ගැන සයිකෝ නේද?.. උඹ දන්නවද මාධවී අක්කා මට දෙහි කැපුවා ඇතිවෙන්න... දන්නවද මොනවද කිව්වේ කියල?"


"මොනවද?"


"අහනහැටි විතරක්.... මොඤාවද ! මාධවී අක්ක අපිත් එක්ක තරහවෙන පොටක් මේක. උඹට පිස්සුද කලන? මම කියන තැනකට වඳින්නම්... එකට කෙල්ලෝ දාහක් දෙන්නම්.. ඕක අතෑරලා දාපන්! තාත්ත දැනගත්තොත් වෙනදේ මම කියන්න ඕනේ නැහැනේ"

Wednesday, March 8, 2017

73. ඔබ ඇවිත් යන්න එන්න... - 10

10.
--------------------------------------------------------------------
රියට ලෝක සම්මත නීතියක් තියෙනවා වගේ අපි දෙන්නාට කම්පියුටර් ක්ලාස් එකකට යන්න උනා. පලවෙනි දවස් දෙක තුනේ තාත්තා විසින් මරන්න ගෙනියන හරක් දෙන්නා වගේ වාහනෙන්ම ගිහින් ක්ලාස් එක ගාවටම බානවා. ටික දවසකින් මට නම් වැඩේ අල්ලලා ගියේ අපි දෙන්නම ටීචර්ගේ හුරතල් ගෝලයෝ දෙන්නා උන නිසාත් ;ක්ලාස් එකේ කියපු දේවල් සිම්පල් විදියට තේරුණ නිසාත්.

ටීචර්ගේ කටේ තියෙන්නෙම අපි දෙන්නගේ නම්. කෙල්ලෝ එක්කත් අපි හොඳයි. ඉතින් ක්ලාස් එක බෝරින්  නැහැ. කෙල්ලෙක් දෙන්නෙක්ගේ ලයින් පාරවල් වැදීගෙන උනත් අපි දෙන්නා ගානට හිටියා.

"ටෙක්ස්ටයිල් කෝස් එකක් තියෙනවා. දෙන්නම ඒකට යන්න ඕන. එග්සෑම් එකක් තියලා ගන්නේ. ලබන සතියේ තියෙන එකට හෙට ඇප්ලිකේෂන් කතාකරලා"

බලධාරියා විසින් තීරණේ ගෙනාව පත්තරේ එක්ක. 'හිටු' කිව්වොත් ඉන්න ඕනේ පන ගියත්. අම්මට වගේ කුනු කුනුව දාල ගැලවෙන්න බෑ. මට නම් මෙලෝම උනන්දුවක් තිබ්බේ නැහැ. ඔලුවත් නිදහස් නැහැ.

කොහොමහරි අම්ම ගෙනාපු කොලේට අත්සන තිබ්බ විතරයි මමනං. විභාගේ තිබ්බ දවසේ ගිහිල්ලා ඒකත් ලිව්වා. අමාරුවක් දැනුනෙත් නැහැ. අහල තිබ්බෙත් පිස්සු ප්‍රශ්න.

Tuesday, March 7, 2017

72. ඔබ ඇවිත් යන්න එන්න... - 09

09.
------------------------------------------------------------
ලෙවල් ඇඩ්මිෂන් ඇවිත්. ඇඩ්මිෂන් අරගත්තට විභාගේ ලියන්නේ පොලිසියෙන්ද? වැඩ හතරම ලෙසටම එරිලා. මගේ ඔලුව නම් කම්මල වගේ. ඔක්කොම හිටියේ විභාගේ ගැනම හිත හිත; මම විතරක් හෝන්දු මාන්දු වෙලා. චලන හැම වෙලේම මාව උනන්දු කළා. වෙලාවකට මහා කරදරයක් වගේ දැනුනත් ඌ මාව තේරුම් අරගෙන හිටියේ.

"කෝ චිරනි"

"ආ..... එයා ලොකු අම්මලත් එක්ක කතරගම ට්‍රිප් එකක් ගියානේ. ඔයාට කිව්වේ නැද්ද?"

අදිතිගේ උත්තරේට මම මෝල්ගහ ගිල්ලා වගේ නිරුත්තර උනා. මම හිතුවා චිරනි මගේ ගාව ඉඳියි කියලා. මම වැටෙනකොට මාව නැගිට්ටුවයි කියලා.
මම පෙගිච්ච පොල්කිච්චෙක් වගේ හෝල්ට් එකේ බාර් එකට බරවෙලා බිම බලාගත්තා. මුන් ලයිට් එක්ක කතාවක් දාගෙන හිටපු චලන මගේ දිහා බැලුවේ මගේ වෙනස දැකලා.

"... උඹ වරෙන් මම යන්නං "

මම චලනට එහෙම කියලා හෙමින් හෙමින් බස් එක තියෙන තැනට ආවා. ටෙරන්සුයි, බුරියයි, ගොමයයි ඉන්නවා.

"මොකද බන්... පලාලි ඉඳල එන පුකාරා ප්ලේන් එකක් වගේ. මොකද කෙල්ල වලිද?"

"මොන පිස්සුද බන්... ගෑනියි මිනිහයි වගේනේ මුන් දෙන්නා.."

ටෙරන්ස් කිව්වා. මම ඔරලෝසුව දිහා බැලුවා. පහටත් ළඟයි. බස් එකකුත් නැහැ.

"ටෙරන්ස් , උඹ පයින්ද යන්නේ?"

"යනවා නං යමු"

Monday, March 6, 2017

71. ඔබ ඇවිත් යන්න එන්න... - 08

08
----------------------------------------------------------------------
විභාග භීතිකාව වකුගඩුවටත් දැනෙනවා. ' මේපාර නම් වැරදුනොත් උඹ ඉවරයි' කියලමයි මගේ ඔලුවේ වැඩකලේ. එක අතකින් තාත්තා; අම්ම නම් කූල් . බෑන්ක් මැනේජර්ගේ පුතා ඒලෙවල් ෆේල් කිව්වම මොන පැත්තකින්ද හිනා නොයන්නේ. තාත්තා නම් අපිව කෝටුමස් කරයි. අපි දෙන්නා වගේ නෙවෙයි, නංගි නම් පාඩම් කරනවා නෙවෙයි බොනවා. අපි දෙන්නා ඉතින් කවදා කාපු ටකරන්ද?
හිත හදාගෙන රෑ දොළහ වෙනකල් ගණන් ටිකක් හැදුවා. මෙලෝ දෙයක් මතක නැහැ. චලනයා හෝ ගාලා නිදිකිරනවා. මට නම් නිදිමත අහලකවත් නැති උනත් හිත එක තැනක නැහැ.

පහුවදා බදාදා. කට කපලා නිදාගන්න දවස. නිවාඩු තියෙන්නේ එදාට විතරයි. ටවුමේ රස්තියාදුවක් යන්න කියාපු දවස.

"ලොකු මෑන්.. ලොකු මෑන් "
අම්මගේ බරබරේ උදෙන්ම. ඇහෙන තාරතාවයේ හැටියටම බාල්දියක් බව තේරෙනවා. මම කොට්ටේ ඔලුව ඔබාගත්තා. ලොකු එකක් තියෙන එකෙක් කතාකරපුවාවේ.

"... ලොකු මෑන්... තාම නිදිද? නැගිටින්න නැගිටින්න... අර තාත්තගේ බත් එක  ගෙනිහින් දෙන්න ඔෆිස් එකට. අද හදිස්සියට ඒකත් දාල ගිහිං "

"මොකද්ද අම්මේ.. ඕක කන්නේ දවල්ටනේ. දවල්ට ගෙනිහින් දුන්නම මදැයි. මට නිදිමතයි"

"අනේ පුතේ.. පොඩි මෑන් එක්කම ගිහින් මේක දීල එන්නකෝ. තාත්ත අද උදේට තේක බිව්වෙත් නෑ "

Thursday, March 2, 2017

69. සිංහ ලේ අපි..



කාලයක් තිස්සේ නෙවෙයි..... අවුරුදු බර ගානක විතර ඉඳලා මම හිතාගෙන හිටපු දෙයක්, හිතලා නොලියාම හිටපු දෙයක් බ්ලොග් එකක ලියන්න කොහෙත්ම කැමැත්තක් නොතිබිච්ච දෙයක් ගැන ලියන්න එකපාරටම හිතුනා.

එක වතාවක් මම 'තමිලිනි' ගැන ලියලා මේකට පොඩි පාරක් කපාගෙන ආවත්... ආයෙමත් හිත එක එක වැහිකෝඩ වලට අහුවෙලා ඒ අදහස 'දිය නොවී' යටවෙලා ගියා.

දැන් ආයෙමත් ලියන්න හිතෙනවා.

අවවාදයයි: තමන්ගේ මතය තමන්ට වටිනවා වගේම, අනෙක් කෙනාගේ මතය අනෙකාටද වටී. මම ලියන ජේද තුන හතරෙන් ආකල්ප වල මහා පෙරලියක් වන්නේත්, ඔබේ නිහඬ බවෙන් සෙතක් වන්නේත් නැත. අදහස් මිස පුද්ගල මතගැටුම් නොහොබිනාය. මොකද, අපි මෙතරම් කාලයක් කරමින් හිටියේද එයයි.


මම නොදන්නා කාලයකදී නිලවශයෙන් රටේ 'ජාති' දෙකක මිනිස්සු එකිනෙකා මරාගන්න පටන් අරගෙන, වීරයින් බුරුතු පිටින් බිහිකරමින් පැවතිලා මේ වනවිට වීරයින් ඉස්මොල්ලේ යන තරම් ගානක් හිටියත් තවමත් අපි මරාගන්නවා.

දෙමළ - සිංහල ගැටුම කියන්නේ මොකද්ද?

මෙතෙක්  කියවපු සහ අහපු දේවල් අනුව මට නම් ඇත්තටම හිතේ තියෙන්නේ පුදුම කලකිරීමක් අපේ වැඩිහිටි පරපුර ගැන. ඔවුන් විසින් නිර්මාණය කරපු මේ සැරව පිරුණු තුවාලය දැන් කහන්නේ අපේ පරපුර. කවුරුත් ඒ තුවාලයට බෙහෙත් දානකොට ඇතුල සුද්ද කරන්නේ නැහැනේ. ( කරුණාකර දේශපාලනය, දේශපාලකයෝ ගැන කතාකරන්නවත් එපා. ප්‍රශ්න බිහිකරන්නේ එයාල කියල කතාව යටගහන්නත් එපා. ගින්නක් උනත් වතුරේ පත්තු වෙන්නේ නැහැනේ, දර නැතුව)

සිංහල ජනයා විසින් දෙමළ ජනයා කෙරෙහි පතුරවමින් පැවතුන ඒ දුෂ්ඨ ක්‍රියාවන් නිසාම තමයි මේ හැම දෙයක්ම සිද්ද වෙන්න ඇත්තේ සහ තවදුරටත් සිදුවෙන්නේ. ඒකම තමයි අද වෙනකොට මුස්ලිම් ජනයා කෙරෙහිත් පැතිරිලා යන්නේ.

යුද්ධයක් තිබුණාය කියල හිතන්නකෝ, අපි දැන් තාමත් තලුමරනවා ප්‍රභාකරන් ඝාතනය කලාය , ඊළම පැරදුනාය කියලා. මට නම් මේක මහා විහිළුවක්. ආයුධය නැතුව උනත් අපි හැමෝම මානසිකව තාම යුද්ධ කරනවා නේද?

පොඩ්ඩ ඇත්තම් 'පර දෙමළා, හම්බයා' කියමින් ඒ වෛරය නිදහස් කරන්නේ තාමත් එහෙම නිසයි. අපි හැමෝම කරන්නේ බොරුවක්! නිකමට හිතන්න අවුරුදු ගානක් තමන්ගේ කියල හිතාගෙන හිටපු පවුලකින්, එකපාරටම කිව්වහම 'උඹ අරන් හදාගත්ත එකෙක්' කියලා..... දැනෙන හැඟීම!!

ඇත්ත... සමහර වෙලාවල් වලදී ඒ ඒ ජනකොටස් කරන වැඩ බැලුවහම බලයක් පතුරවනවා කියලා හිතෙනවා. නමුත් ඒකට වියරු වැටෙන්නේ මොකටද? ගමක් ගත්තහම කෝවිලක්, පන්සලක් සහ පල්ලියක් කියන තුනම තිබ්බනම්.... බෞද්ධ අපි විතරක් ඇයි හන්දියක් ගානේ පැලවෙන කපුටු බෝගස් වලට පවා බුදුපිළිම තියාගෙන දඟලන්නේ? ඒක ආගමික අන්තවාදය!!

ලොකු විනාසයකින් පස්සේ උනත් පාඩමක් ඉගෙන ගන්නේ අයට කොහොමත්ම පාඩමක් ඉගෙන ගන්නත් බැහැ. ජපානයේ බෝම්බයෙන් සියල්ල සුන්නත්ධුලි උනාට පස්සේ ඔවුන් අවුරුද්දක් වත් අඩුම තරමේ ඇමරිකාවට විරුද්ධව පෙළපාලි, හර්තාල් කළා කියල මම අහලා නම් නැහැ ( එහෙම දන්නා අය වෙතොත් මාව දැනුවත් කරත්වා) නමුත් අපි??????

දශක තුනක  යුද්ධයකින් පස්සේ තාමත් ඒකෙ අහුකොන් හොයමින් ගැටෙනවා. ආයෙත් යුද්ධයක් ඇතිකරලා අපේ ඊළඟ පරම්පරාවට කහන්න තුවාලෙට ඉහඳ පනුවෝ දානවා. ඇයි මේ?? මේකද අපේ සමාජ වගකීම?

තමිලනි ලිව්වා...
ඒ තමයි එයා යුද්ධ කරපු හැටි. සිංහල අපි පවා කියෙව්වා. ඒකෙ සිංහලයින්ට දීපු වද සහ දෙමල මිනිසුන්ගේ කෘරත්වය පීරමින් කියවන්න උත්සහ කළා.

ඒත් තමිලනි ලිව්වේ නැහැ.... 
ඒ තමයි ආයෙමත් ඒ කැඩුණු තැන වහගෙන ඉදිරියට යන්නේ කොහොමද කියල. දෙමළ ජනතාව ඒකට සුදානම්ද කියල.....

අපේ කට්ටියත් ලිව්වා...
ඒ තමයි අපිත් යුද්ධ කරපු හැටි. 'අපේ' මිනිස්සු කොටින්ගෙන් මැරුම් කාපු හැටි. ගම් පිටින් කැතිගාපු හැටි. 'අපේ' විරුවන් කොටින්ට ප්‍රහාර එල්ල කරපු හැටි! ඒ කතාවල අපිට ඕනේ ජවය; වීරත්වය ඇතිතරම් තියෙන නිසා සිංහල 'අපිට' සන්තෝසයි. ඒවා සාක්ෂි කරගෙන අපි උදම් අනනවා තාමත්...

අපේ කට්ටිය ලිව්වේ නැහැ...

ඒ තමයි මෙහෙම යුද්දෙකට ආයෙත් නොයන්න 'අපේ' මිනිස්සු අතින් වෙන්න ඕනේ මොනවද කියන එක. සොල්දාදුවෝ කියන්නේ කුලියට මිනීමරන තත්වයක් වෙන්න ඕනේ නැහැ කියන එකට අපි සූදානම්ද කියන එක ? මේ සංහිදියාවට අපෙන් ලැබෙන්න ඕනේ දේ අපි දෙනවද කියන එක....

මේ කිසි දෙයක් කිසි කෙනෙක් කරනවා මම දැකලා නැහැ. යුද්ධයකින් පස්සේ වෙන්න ඕනේ මොනවද කියන එක ගැන මෙලෝම දැනුමක් ඇත්තෙක් අවාසනාවට ලංකාවේ ඉතිරිවෙලා ඇත්තේ නැති තරම්....

අදටත් මම දකිනවා සාමාන්‍ය අපි අතින් වෙන නොයෙකුත් අසික්කිත ක්‍රියාවන්. ඒවා නින්දිතයි. උදාහරනෙකට කියන්නම්.. මම හොඳින්ම දන්නා ආයතනයක එදිනෙදා පිරිසිඳු කිරීම් කරන ගැහැණු කෙනෙක් ඉන්නවා. ඇය කතාකරන්නේ සිංහල. ඇය සමඟ වැඩට දෙමළ භාෂාව කතාකරන තවත් ගැහැණු කෙනෙක් ගන්නවා. දැන් 'අපේ' සිංහල එක්කෙනාට ඕක ඉවසන්න බැහැ. හැමදාම අර මනුස්සයාට විරුද්ධව නඩු. දෙමල ගැහැණු එක්කෙනා තමන්ගේ පාඩුවේ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් වෙලත් සිංහල කෙනාට ඇයව ඇහේ කටු වගේ. මුකුත්ම චෝදනාවක් නැති දවසට දුවන ඇගේ තැටිය තමයි..

".... මුන් කොටියෝ.. අපේ අහිංසක කොල්ලෝ මරල, කැති ගාල ඉන්න මුන්ට හෙන හතම ගහන්න ඕනේ අම්මප"

ඒකට මට හිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බෑ. ඔන්න අපේ දේශප්‍රේමය!!


මේකේ අනික්පැත්තත් ඇති.

මම දෙමළ කතාකරන හින්දු; මුස්ලිම් ආගමිකයින්ට ඇත්තටම ආදරෙයි. උන් වෙනස් තමයි. ඉතින් ඒ වෙනස මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වෙන වෙලාවට මම ඒ බව අඟවනවා මිසක් 'කැතිගාන්න' සමුලඝාතනය කරන්න හිතන්නේ නැහැ. හිතන්න ලෝකේ ඉන්නේ එකම ජාතියක් නම් ඒක කොතරම්ම බෝරින්ද කියල?

එහෙමයි කියල මම දමිළ කතාකරන හින්දු ; මුස්ලිම් ආගමික ජනයා එක්ක 'සංහිදියාව' (වැඩියෙන්ම අවභාවිත වෙච්ච වචනයක් නිසා තේරුම මුල සිට සරලව ඉගෙනගත යුතුය ) කියන්නේ විවාහ ගනුදෙනු කියන්නේ නම් නැහැ. උන්ට උන්ගේ පාඩුවේ විවාහ වෙන්න ඉඩ තියෙන්නත් ඕනේ. සංහිදියාව වෙන්නේ විවාහ වලින් නම් මොනතරම් දෙයක්ද? කොටිම්ම අපේ සිංහල අය අතරෙත් උඩරට- පහතරට කසාදවල තියෙන ගැටුම් බැලුවම සංස්කෘති දෙකක් එකතු උනාම මොන තරම් අවුලක් ඇතිවෙන්න පුළුවන්ද ? ඒ නිසා එහෙම විවාහ ගනුදෙනු වලින් නෙවෙයි මේක විසඳෙන්න ඕනේ. අතේ ඇඟිලි පහ විවිධාකාරයි වගේ, ඔවුන්ගේ විවිධත්වයට ගරු කරන සමාජයක් තමයි 'හදාගන්න' ඕනේ.

එතැනදී වගකීම 'මගේ'

එකිනෙකාට ගරු කරනවා නම් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. වැඩිහිටි පරපුර කඩු -මන්නා වලින් උත්තර දීලා දැන් ඉන්න තරුණ පිරිසත් ඒ විදියට තමයි උත්තර හොයන්නේ.

සැකයක් නෑ.. මේ විදියට ගියොත් අපි ආයෙමත් වාර්ගික යුද්ධෙකට යනවා. සාමාන්‍ය මිනිස්සුන්ට යුද්ධෙ එපා උනාට දේශපාලකයින්ට ඒක හිඟන්නාගේ තුවාලේ.....

තේරුම් ගන්න මේ මොහොතේ වත්!



Wednesday, March 1, 2017

68. ඔබ ඇවිත් යන්න එන්න... - 06

06
--------------------------------------------------------------------------------------------------
ගන්නන කිසි දෙයක් ඔලුවට යන්නේ නැහැ. මේ පාරත් විභාගේ ඇනගන්න වැඩක් තමයි. ගිය පාර නම් එස් හතරෙන් ගොඩ ගියා. මේපාර නම් ලයිට් කණු ෂුවර්. චලනයාගේ වදේට මම ක්ලාස් ගියේ. රිවිෂන් එකත් මට තිත්ත වෙලා. ඔක්කොම දේවල් වතුරට හේදිලා ගියා වගේ.

"මම ගෙදර යනවා බං "
මම ඉන්ටවල් එකේදී කිව්වා. චලන මගේ දිහා බලාගෙන හිටියා.

"මොකද බං වෙලා තියෙන්නේ? උඹ ඊයේ අපේ ගෙදර එයි කියලා මම බලාගෙන හිටියා. හිටහන්.. මම උඹව හම්බවෙන්න ඕනේ"

ඒ ටෙරන්ස්.

"හෙට බලමු, මම යනවා"

මම පොත අරගෙන නැගිට්ටා. චලන තාමත් කතාවක් නැතුව මගේ දිහා බලාගත්ත ගමන්මයි.

"චිරනිට කියන්නේ නැද්ද?"

"චඃ"

මම පන්තියෙන් එලියට ආවා. ඔලුව කම්මල වගෙයි. ගෙදර යන්න හිතකුත් නෑ. ආයෙමත් නිකිනිව මතක් උනා. අද නම් නිකිනි ගෙදර ගිහින් ඇති. මම හිත තද කරගත්තා.
ඒත් බස් හෝල්ට් එකට ආපු ගමන් මට මාවම පාලනය කරගන්න බැරි උනා. මම නැග්ගා දොඩම්වල බස් එකට.
බස් එකට වඩා වේගෙන් මගේ හිත දුවනවා. බස් එකෙන් මම බැස්සේ වෙන ලෝකෙක ඉඳල බහිනවා වගේ. එඩ්රස් එක ආයෙමත් බැලුව. මේ හරියේ නම් තමයි.. ඔව් තට්ටු නිවාසයක් වගෙයි.

පාරේ මනුස්සයෙක් ගෙන් පාර අහගත්තා. හරි, ඒක තට්ටු නිවාසයක් තමයි. පහලම තට්ටුවේ අංක ඔක්කොම ලියල; '2/63' දෙවෙනි තට්ටුවේ.
මම ලිෆ්ට් එක ගාවට ගියත්.. ආයෙමත් හිතේ බය බුර බුරා නැග්ගා. මොකද්දෝ හේතුවකට පඩිපෙළේ යන්න ඕනේ කියල හිතුනා. දකුණට හැරිලා ඊට පොඩ්ඩක් එහායින් තිබ්බ පඩිපෙළේ පලවෙනි පඩියට අඩිය තිබ්බ විතරයි ලිෆ්ට් එක පහලට ඇවිත් ඒකෙ දොර ඇරුනා.

යන්තමට වගේ ඇස් කොනෙන් මම දැක්ක මාධවී අක්ක ලිෆ්ට් එකෙන් එලියට අඩිය තියනවා. මම කලේ පඩිපෙළේ පුළුවන් උඩම පඩියට පැනගත්ත එකයි. පපුවේ සද්දේ ගල්මෝලක් වගේ එලියට ඇහුනද මන්ද...

මාට්ටු උනානම් එහෙම! කකුල් දෙකේ වෙව්ලිල්ල නතර වෙන්න තවත් විනාඩි දෙක තුනක්ම ගියා. ඒත් නිකිනිව දකිනකල් මට හිතට සැනසිල්ලක් නැහැ වගේ. මම ආයෙමත් ධෛර්ය අරගෙන පඩිපෙළ එක හුස්මට නැගගෙන නැගගෙන ගියා.

පඩිපෙළ ඉවර වෙන තැන ඉඳල දොරවල් බලාගෙන යනකොට.... එක්තරා දොරක '2/63' කියලා ගහලා තිබ්බ. මගේ අත වෙව්ලනවා. මම ඒ වෙව්ලන අතින් දොරේ සීනුව ගැහුවා. හැම තප්පරයක්ම කල්පයක් වගේ. මටම මගේ හුස්ම හඬ ඇහෙනවා.

'ක්ලික්'

දොරේ අගුල ගැලවෙන සද්දේ ආවා. යන්තමට ඇරුණු දොරෙන් කවුදෝ නාඳුනන ගැහැණු රුවක මුණේ කොටසක් පෙනුන.

"නි.. නිකිනි නෝනා ඉන්නවද?.. ම.. ම-මේක නිකිණිගේ ගෙදරද?"
ඇස්දෙක විසින් මාව පරික්ෂා කළා.

"ඔ.. ඔව්... නෝනා නම් ඉන්නවා.... මහත්තයා කවුද?"

මට වචන එන්නේ නැහැ. උගුර-කට ඔක්කොම වේලිලා. ඒත් මම බයක් අඟවන්නේ නැතුව ඉන්න තමයි හැදුවේ.

"ම.. මම එයාගේ යාලුවෙක්. නෝනට කතාකරන්න පුලුවන්ද?"

"කාන්ති... කවුද?"

පිටිපස්සෙන් ඇහුනු ඒ හඬ නිසා දොර ටිකක් පළලට අරුනා. මම දැක්කා ඈ! ඒ නිකිණි. මාව  ඉබේටම දොර ලඟට ලංඋනා. මගේ හිනාව දැකපු නිකිණි මුලිම්ම අදහගන්න බැරි පුදුමෙන් ගල් ගැහිලා ඒ එක්කම ලොකු සන්තෝෂයකින් ලස්ස්......සන හිනාවක් ආව. ඔව් ඒ විදුලියක් වගේ හිනාව.

"අන්...නේ.... කලන... එන්න එන්න ඇතුලට"

මෑත් කරපු දොර අතරින් මම හෙමිහිට ඇතුලට ගියා.  පොලව වහලා තිබ්බ ටෙරාසෝ ඇතිරිල්ල නිසා මම මගේ හම්පඩ සපත්තු දෙක ගලවන්න නැමුනා.

"එපා එපා.. සපත්තු ගලවන්න එපා. එන්න එන්න... ඇවිත් වාඩිවෙන්න"

මම හිස ඔසවලා නිකිණි දිහා බැලුවා. මට දැන් මොකද්දෝ වගේ. රෝහලේදී නොදැකපු හුරුබුහුටිකමක් නිකිනිගේ පුරාම තිබ්බේ. කැරලි කොණ්ඩේ උඩට කරලා ගැටගහලා මුහුණේ තිබුනේ හඳක් වගේ පෙනුමක්.
කිහිලිකරුවකට වාරුවෙලා ඇවිත් මම හිටපු පුටුවට ඉස්සරහින් තිබ්බ සෝපාවට බරවුනා.

"ඉතින්..... ඔයා අද එයි කියලා නම් හිතුනේ වත් නැහැ. කොයි වෙලේ හරි එයිමයි කියල විතරයි හිතුවේ. ඉතින් කොහොමද? පාර හොයාගන්න අමාරු උනාද?"

"නැහැ"

"දැන් මේ මගේ යාළුවා ඉඳල ගියේ... ඔයාට හම්බවෙන්නත් ඇති. මාධවී කියලා. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්"

මගේ පපුව පහුරු ගානවා වගේ; උගුරත් හිරවෙන්න වගේ.

"දැන්.. ඇවිදින්න පුලුවන්ද?"

"ඔව්.. ක්ලචර්ස් වලින් පුළුවන්"

"කවදද ආවේ"

"ඊයේ හවස් වෙලා"

"අ.. අම්මලා එහෙම කෝ?"

මම අමාරුවෙන් ඇහුවේ ඊළඟට උත්තර බඳින්න වෙන්නේ ඒ උසාවියට හින්දයි. ගෙදර AC තිබ්බත් මගේ පිට දිගේ දාඩිය බේරෙනවා. නිකිණි එකපාරටම අමුතු මුණක් දැම්ම.

"කාන්ති... ගිහින් බොන්න මොනවහරි ගේන්න"

කාන්ති යන්න ගියා සාලෙන්. අපි දෙන්නා විතරයි පේන්න හිටියේ සාලේ. මගේ හුස්ම ගන්න සද්දේ පිටටත් ඇහෙන තරම්. නිකිණි හිනා වෙලා මුඩ් එක වෙනස් කරගත්තා.

"ළඟට ආපු ගමන්ද ?"
මම ඔලුව වැනුවා; ඔව් කියන්න වගේ. ආයෙමත් ඒ නිහඬතාවය. ඒක හරිම උණුසුම්. මට දැනුනා.

"මම ගැන කිසි විස්තරයක් නොදැන ආපු එක මට අදහ ගන්නත් බැහැ. මගේ ආරාධනාව වැරදියි. මම මේ ෆ්ලැට් එකේ ඉන්නේ තනියෙම. ඉඳල හිටලා මාධවී කියන මගේ යාළුවා ඇවිත් ඉඳල යනවා. අපේ ගම මිරිහානේ. අම්මලා ඉන්නේ එහෙ"

මම ඒ කිසිම දෙයක් අහගෙන හිටියේ නැහැ. නිකිණි දිහාවම බලාගෙන හිටියා. මට ඇහුනේ ගීතයක් වගේ.

"ම.. මම හිතන්නේ ඔයාගේ යාළුවා මට පහලදී හම්බ උනා..."

"අය්යෝ... දැනගත්තොත් මාව කයි. පොරේ.. අඳුන්නල දෙන්න කියල.."

ඒ වචන... නිකිණි 'අක්කගේ' කටින් පිටවෙලා මගේ පපුව හූරගෙන බිම වැටුනා. ඒ උනාට හිත පිරිලා උතුරනවා වගේ. මෙයා දන්නවනම් මම කවුද කියල? තත්වේ මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බ. මගේ තොලකට වේලිලා..

"මම එයාව දන්නවා.."

"කාවද? මාධවිව? ඒ කොහොමද?"

ඒ මොකද්ද ඒ මම කලේ? මගේ කට නම් කෙටේරියක් හැබෑට.

"ඒ.. එයාව මම බෑන්ක් එකේදී දැකල තියෙනවා. සෙලාන් එකේනෙ වැඩකරන්නේ?"
යන්තම් වෙට්ටුවක් දාගත්ත.

"අය්යෝ එහෙනම් ඔයාට කතාකරන්නයි තිබ්බේ. "

"ඔයත් බෑන්කර් කෙනෙක්ද?"

මමම අහපු ඒ ප්‍රශ්නෙත් එක්කම මමත් ගොළු උනා. මම උපරිම රඟපාන්න උත්සහ කළා.

"න.. නැහැ.. මම මෙහෙ.. ප්‍රයිවට් තැනක වැඩ කරනවා"

මම පපුව හිල්කරන වේදනාව මැඩගෙන අහගෙන හිටියා. නිකිණි මට වඩා වැඩිමල්  කියන එක පිළිගන්න මගේ හිත කොහොමත්ම සුදානම් නැහැ.

"ඔ.. ඔයා මොනවද කරන්නේ කලන?"

මට දාඩිය දැම්ම. තාම ඉගෙනගන්නවා කිව්වොත් ඉවරයි. එතකොට එකෙන්ම දැනගන්නවා මම මල්ලි කෙනෙක් කියල. මට කරගන්න දෙයක් නැති උනා.

"ම.. මම බිස්නස් කරනවා"

"බිස්නස්? මොනවද?"

"කුඩු බිස්නස්... ගංජා... ගුලි... මල්"

නිකිණි කිංකිනි හඬින් හිනා උනා. මුළු ගෙදර පුරාම මල් විසිරුණා වගෙයි මට දැනුනේ. එතකොට පුදුම ලස්සනක්.

"ඔයා පිස්සු පොරක්...."

මටත් හිනා. සතුටට ගෙදර බිත්තිත් හිනා වෙනවා වගේ දැනුනේ. අනේ මේ සතුට හැමදාම තියාගන්න පුළුවන් නම්.....

"...ඊළඟට  එනකොට මටත් හොඳවයින් ගුලි දෙක තුනක් ගේන්න "

'හුටා' මම අදත් ආවේ අත්දෙක වන වන නේද? නිකිණි ගැහුවේ හින්ට් එකක්ද?

"අනේ... මම අදත් ආවේ අත්දෙක වන වනනේ"

"අය්යෝ.. මම එහෙම හිතල නෙවෙයි කිව්වේ. විහිලුවට. ඕක මොකද්ද? ඔයාගෙන්.. මට.. මොකවත්ම එ-පා.. මේ තියෙන දේ-ව-ල් හොඳටම ඇති"

අන්තිම වචනටික මගේ පපුව පසාරුකරගෙන කිඳා බැස්සේ හීයක් වගේ. මම නිකිණි දිහාම බලාගෙන හිටියේ මමත් නොදැනුවත්වම. ඇස්දෙක පියවෙන්නවත් නැතුව ඇති.

අපි දෙන්නගේ ඇස්දෙක පැටලිලා කොච්චර වෙලාවක් උනාද කියල මට දැනුනේ නැහැ. ඒත්.. ඒ සුළු මොහොත මගේ ජිවිතේ පුදුම සංවේදී මොහොතක්.

අපි දෙන්නගේ දැහැන බිඳුනේ කාන්ති සාලෙට එනවත් එක්කමයි. නිකිණි ගැස්සිලා බිම බලාගත්තා. කන්පෙති රෝසපාට වෙලා. මගෙත් කන්දෙක රත් වෙච්ච නිසා, බිම බැලුනා.

"ගන්න"

කාන්ති පිළිගන්නන කූල් බීම එකට නිකිණි එහෙම කිව්වා. මම හෙමින් ඔලුව උස්සලා බීම එක අතට ගත්ත. තිබහයි; බඩගින්නයි මට අමතක වෙලා තිබුනේ. ආයෙමත් සංවේදී නිහඬතාවයක් අපි අතරේ.

ඔක්කොම නිහඬතාවය බිඳගෙන මහා හඬින් වගේ දුරකතනයක් නාදවෙනවා ඇහුනා. අපි දෙන්නම උඩ විසි වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති අපි දෙන්නගෙම ඇස් ආයෙත් මුණගැහුනේ. කාන්ති අඩියට දෙකට දුරකථනය තිබ්බ තැනට දුවල යනවා පෙනුනා.

"ඉ.. ඉන්නවා... ඔ. ඔව්... ඊයේ තමයි ආවේ. ඔව්.. හා.. හොඳමයි"

කාන්ති උත්තර දුන්නේ නිකිණි දිහා බලන ගමන් බිරාන්ත වෙලා වගේ. නිකිනිගේත් ඇස්දෙකෙත් ඒ එක්කම භීතියක් පැතිරිලා ගියා. මට මහා වෙනසක් දැනුනේ. නිකිණිගේ අම්මාද? තාත්තද? ඒ කවුරුහරි වෙන්න ඇති; මට හිතුනා.

"... න.. නෝනා... නෝනට..... කතාකරනවා"

කාන්ති ඇස්දෙක ලොකු කරලා කතාකලා. කාන්තිගේ උදව් ඇතුව නිකිණි බයෙන් බයෙන් දුරකථනය ලඟට ගිහින් රිසීවරයට කන තිබ්බා.

"හ්ම්... .නෑ.. එපා.. හ්ම්ම් හ්ම්ම්.... හ්ම්ම්"

නිකිනිගේ මුහුණ මට පේන්නේ නැහැ. වැඩිපුරම නිකිණි පාවිච්චි කලේ 'හ්ම්ම්' කියල විතරයි. මොකද්දෝ අමුත්තක්; අපහසුතාවයක් පැතිරිලා ගිහින්. මම බාගෙට බීපු බීම එක ට්‍රේ එක උඩින් තියලා අහක බලාගත්තා.
මෙතන තියෙන තත්වේ අනුව මට දැනුනේ අපහසුතාවයක්. කාන්තිගේ මූණත් අවුල්. මම ආවේ වැරදි වෙලාවටද? වැරදි ගමනක්ද? මේක නිකිනිට ප්‍රශ්නයක් වෙයිද?
රිසිවරය තිබ්බ නිකිණි ආපහු හැරෙන්නේ නැතුව එතනම තිබ්බ බිත්ති බාගයට හේත්තු වෙලාම ගල් ගැහිලා වගේ හිටියා. මම හෙමින් නැගිට්ටා.

"නිකිණි... මම එහෙනම් යන්නම්.."

නිකිණි ආපහු හැරිලා අපහසුවෙන් නගාගත්ත ඇත්ත හිනාවකින් මට සමුදුන්නා. ඒ හිනාවෙ දුකක්; ආදරයක්; වගේම බයක් තිබ්බ බවයි මට තේරුනේ. මට ඒ ගැන ප්‍රශ්න කරන්න බැහැ. ඒත් මොකද්දෝ වේදනාවත් මගේ හිත තෙරපනවා වගෙයි දැනුනේ.

"ඔයා ආපු එකට මට හරි සතුටුයි කලන..."

නිකිණි කාන්ති දිහා බලලා බිම බලාගත්තා. කාන්ති බීම එක තිබ්බ ට්‍රේ එකත් අරගෙන කුස්සිය පැත්තට ගියා. කාන්ති නොපෙනී යනවත් එක්කම නිකිණි ඔලුව උස්සල මගේ දිහා බැලුවා; බොහොම මෘදු බැල්මක්.

".. ඔ.. යාව අඳුනගන්න ලැබුණු එකට..  සන්තෝසයි... මගෙන් කරදරයක් උනානං... මට ඒකට සමාවෙන්න"

නිකිණි කිව්වේ චතුර ඉංග්‍රීසියෙන්.

"නෑ ....... එහෙම එකක් නැහැ. මම යන්නං "

"හොඳයි"

මම හෙමින් හෙමින් දොර ගාවට ආවා. නිකිණි කොර ගගහා ඇවිත් මට දොර ඇරලා දුන්නා. කොහෙන්දෝ ආපු සුවඳක් මාව පහුකරගෙන හමාගෙන ගියා. හිත ඇතුලේ මොකද්දෝ හිරවෙලා වගේ... පපුවත් හිරවෙනවා... මම ක්ෂණයෙන් ආපහු හැරුනා. නිකිණි මගේ ළඟම.

"ඔයාට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවද?"

මගේ හුස්ම වදින දුරින් හිටපු නිකිණි ගල් ගැහිලා තත්පරයක් මගේ දිහා බලාගෙන හිටියා. ඇස්දෙක දිස්නේ දෙනවා. යන්තම් මෘදු හිනාවකින් ඇගේ තොල් සැලුනා.

"නැහැ.. එහෙම නැහැ"

"ආ යූ ෂුවර්?"

නිකිනිගේ ඇස්වල කාන්තිය වැඩිවෙලා මාව ගිනිකන වැටෙන තරමට. මට කෙල ගිලුනෙත් නෑ.

"කලන.. ඔයාට එහෙම හිතෙනවද?"

යන්තම් සිහිය එලවගත්ත මම සාක්කුවේ තිබුන ටිකට් එක අරගෙන මගේ ටෙලිෆෝන් නම්බරේ ලිව්වා.

"උවමනාවක් උනොත් මට කෝල් එකක් දෙන්න"

කවදාවත් චිරනිටවත් නොදුන්න මගේ දුරකථන අංකය මොන එහෙකට මේ වගේ කෙල්ලෙක්ට දුන්නද කියල මට කල්පනා උනේ නැහැ. නිකිණි කිසිම ප්‍රතික්ෂේප කිරිල්ලක් නැතුව කියල අතට ගත්තා.

"මම යන්නං "
 නිකිණි  මගේ දිහා බැලුවා විතරයි; රෝසපාට තොල්පෙති  සැලුනා ඇරෙන්න කිසිම දෙයක් කිව්වේ නැහැ. මම හීනෙන් වගේ ඇවිදගෙන එලියට ආවා.

ලිෆ්ට් එකේ ඇවිත් පහලම තැනින් බහින ටිකට ආයෙමත් ඔලුව අවුල් උනා.


******************************************************************
ඊළඟ කොටස

ප.ලි. මට සෝදුපත් බලාදෙන ඒ ඇස්දෙකට පින්.
Related Posts Plugin for WordPress, Blogger...