--------------------------------------------------
'මොකද බාන්..... උඹගේ නරක තැනක්වත් කොහේ හරි වැදුනද.. හදිස්සියේම මාළිගාවේ දුවන්නේ?"
චලනයා මට පල් එක දානවා. අනේ අපොයි.. මගේ හිත 'ගිඩි-ගිඩි' ගානවා.
මම හිටියේ කලබලෙන්, ඒ වගේම සතුටෙන්. මට මේක චලනට කියන්න ඕනේ. කොහොමද කියන්නේ? ඌ මගේ ඔලුව කයි! ඌමනේ දවසක් හොඳවයින් මට කිව්වේ ආයෙමත් නිකිණි ගැන කතාකරන්නවත් එපා කියලා. ඉතින් මම මොන හිතකින් මූට කියන්නද? ටෙරන්ස්ව වත් සෙට් කරගන්න ඕනේ? එක්කෝ තනියෙමම යනවද?
"අප්පේ.... මොකද මේ වවුලා වගේ රෑට යන්න ලෑස්ති ගමන? ආදෙන්කෝ තාත්තා.. මම කියන්ඩ"
නංගිත් පටන් ගත්තා. චඃ.. සුපර්මෑන් වගේ උඩින්වත් යන්න තියෙනවා නම්?
"මොකද ලොකු මෑන් මේ හවස්වෙලා කොහේ යන්නද? දැන් තාත්තත් එයි. ඔන්න මට නම් බෑ උත්තර දෙන්න"
අම්මත් කියපි. දැන් ඉතින් කාපන්කෝ කේක් !
"චලන.. වරෙන්කො බන් මාත් එක්ක යන්න"
මම කරකියාගන්න දෙයක් නැති වෙච්ච නිසා කිව්වා. චලනයා බෑ කිව්වා.
"වරෙන්කො බන්"
චලනයා මගේ මුණ දිහා බැලුවේ 'තෝ මට දැන් කියපන් විස්තරේ' වගේ.
".. හරි හරි... මම යන ගමන් කියන්නම්"
මම චලනයාව පොරොන්දු කරගෙන යාන්තම් ගෙදර ශේප් කරගෙන එලියට බැස්සේ මේක ගැන ගෙදරදී කියන්න ගියොත් චලනයා මාව කාමරේ සිර අඩස්සියේ දායි කියන බයටමයි. හත පහු උනොත් තාත්තා නම් දොරවත් අරින එකක් නැහැ. ඒ හින්දා කලින් එන්නත් එපැයි.
මම හෝල්ට් එකට ඇවිත් ඒ අතටයි - මේ අතටයි ඇවිද්දේ ඉවසිල්ලක් නැතුව. කෝ ඉතින් බස් එකක්! ලංකාවේ ප්‍රවාහනේ නම් අන්තිමයි.
"මොකද බන් උඹ මාළුවා වගේ එහාට මෙහාට කැරකෙන්නේ..."
"............."
මම ඔලුව කැසුවා; කොහෙන් පටන් ගන්නද?
"උඹ යන්නේ නම් මාළිගාවේ නෙවෙයි පුතෝ.. බුදුහාමුදුරුවන්ට දැනෙන්නද උඹ ඔය තාත්තගේ එක්ස්ක්ලුසිව් සෙන්ට් පාර දැම්මේ?"
මම වටපිට බැලුවා. උගේ මුණ බලන්න බෑ.
"චලන"
"හ්ම්ම්"
"අද..... මාළිගාවට... නිකිණි... එනවා... කිව්වා"
"මොකක්?! &^$*(())*#@"
චලනයා මට කනේ පාරක් දෙයි කියල මට හිතුනේ, ඇස්දෙක ඉබේම පිය උනා. ගහනවා නම් ගහපු දෙන. මොකක් උනත් ඌ මට ආදරෙයි. දැන් ඉතින් ඇත්ත නොකියා කොහොමද?
කන්දෙක කූන් ගෑවට චලනයා කන අතගාලා නැහැ.... කෝ මුගේ නැවු ගුටි?
"ච.. චලන..."
"උඹ අද උදේ ගියේ ඒකිව මුණගැහෙන්නද ?"
චලන කතාකලේ හුස්ම අල්ලන ගමන්. ඒ කියන්නේ ඌ කල්පනාවෙන්!
"නැහැ"
මට බොරු කියන්න උවමනාවක් නැහැ.
"එහෙනම්?"
"වෙන කෙනෙක්ව මුණගැහෙන්න... එයා අද නිකිනිත් එක්ක ඇවිත් ඉඳියි. බොරුනම් අහල බලන්න"
"මට ඕන නැහැ ඕව අහන්න!"
"............................"
"ඒ කියන්නේ... උඹ මේක අතාරින්නෙ නෑ ?"
"මේ අහපන් චලන.... උඹ මට බනිනවා නම් බැනපන්... ගහනවා නම් ගහපන්... නිකිණි මට වඩා වැඩිමල් බව ඇත්තයි..... ඒත් මම ඒකිට ආදරෙන් මචං! මට ඒකිව හොඳටම වැදිලා බං "
මම ඇත්තටම කිවේ බිම බලාගෙන උනත් ස්ථිර හඬින්. තත්පර ගෙවුනේ පැය වලින්.
ඊට පස්සේ චලනයා මගේ උරහිසට අතක් තිබ්බා. මම හෙමින් ඌ දිහා බැලුව. චලනය යන්තමට ඔලුව හොල්ලන ගමන් හිනා උනා.
"අන්න එහෙම කෙලින් කතාකරපන්.... උඹ බයවෙන්න එපා. මම උඹත් එක්ක ඉන්නවා"
මම මගේ උරහිස් උඩ තිබ්බ උගේ අත උඩින් අතක් තිබ්බා.
මට දැනුනේ යෝධ ශක්තියක්. මම කොච්චර පින් කරලා තියෙනවද මේ වගේ සහෝදරයෙක් ලබාගන්න? මගේ දුකේදී - සැපේදී හැමදේකදිම මගේ ගාව චලන හිටියා.
බස් එකකුත් ආව. අපි දෙන්න බස් එකට නැගලා කරට අතදාගෙන හිටියේ. මූව ඉඹින්න තරම් හිතයි මට. ටෙරන්ස්ගේ උදව් කටින් විතරයි. චලනයා එහෙම නෙවෙයි. මට මේකට උදව් කරන්න කැමති වෙයි කියලා මට හිතුනෙම නැහැ.
අපි මාළිගාවට යනකොට පහට කාලයි. නිකිණි එනවා කිව්වේ පහටනේ. මමයි චලනයි මාළිගාවේ පහල තට්ටුවේ පොඩ්ඩක් ඇවිද්දා.
"හිටහන් පොඩ්ඩක්.. මේක පන්සලක්"
උඩුමහලට යන නඩේක හිටපු කෙල්ලෙක් දිහා චලන හැරි හැරී බලනවා දැකලා මම කිව්වා. ඒකිත් බලනවා.
"උඹට හොඳයි ලව් කරන්ඩ මෙතන.. අපි ටිකක් කලාම නරකයි නේද?"
මටත් හිනා. මාව උතුරන කිරි කළයක් වගේ. යාන්තං එහෙට මෙහෙට වේවි කල්පයක් වගේ දිග විනාඩි පහළොව ගෙවිලා පහේ කණිසම වැදුනා. නිකිණි තාමත් නැහැ.
"යමන් උඩට.. කාගෙන්හරි මල් ටිකක් හරි ඉල්ලගෙන බොරුවටවත් වඳිමු"
චලනයා මාවත් ඇදගෙන උඩුමහලට ගියා.
"අපිටත් මල් ටිකක් දෙනවද?"
චලන අර කෙල්ලට කියනකොටම, කියන පමාවෙන් ඔක්කොම මල් ටික ඒකි දුන්නා.
"එතකොට ඔයාට?"
"කමක් නැහැ"
අපෝ! තියෙන හුරතලයක්.
"ඔන්න බලපන් අපිට සලකන හැටි"
චලන මල් වලින් බාගයක් මගේ අතට දීලා, මල් ආසනේ ගාවටම ගිහින් අර කෙල්ල ලඟින්ම හිටගෙන මල් පුජා කළා. මල් තමයි! පන්සල කියලා අපි බෝ පැල වෙනවය? මම වටපිට බල බල හිටියේ...
එතකොටම පඩිපෙළ නැගලා දොරෙන් මතු උනේ කාන්ති. මගේ ඉහේ මල් පිපුනා, ඒ පැත්තට නිකම්ම පාවෙලා ගියා.
"කාන්ති"
"ආ... මහත්තය... ගොඩක් වෙලාද ඇවිත්?"
කාන්තිට පිටිපස්සෙන් නිකිණි හිටගෙන හිටියේ. මාව දැකලා කන්පෙති රතු කරගෙන බිම බලාගත්තා. මගේ පපුව පිපිලා. ආයෙමත් අර සුවඳ මාව පහුකරගෙන යනවා වගෙයි දැනුනේ.
"... මල් පුජා කලාද? අපි ඔයාලටත් එක්ක මල් ගෙනාවේ"
කාන්ති මගේ දිහා බලලා එහෙම අහලා , හිනාවෙලා ඉස්සර වෙලා යන්න ගියා. නිකිණි මගේ ගාව! නිකිණි අතේ සුදුපාට නෙලුම් මල් පුරෝපු මල් වට්ටි දෙකක් තිබුනා.
නිකිණි බිම බලාගෙනම එක වට්ටියක් මගේ අතට දුන්නා. සුදුපාට ඇඳුමට නිකිනි සුරංගනාවියක් වගේ.
අපි දෙන්නම කතාවක් බහක් නැතුවම මල් ආසනේ ළඟට ගියා. රෝසපාට යටිපතුල් හෙමින් තියමින් නිකිණි මගෙත් එක්කම ඇවිදගෙන එනවා... පන්සල නෙවෙයිනම්!
මල් වට්ටි පුජා කරලා, වැඳගෙන මම බලාගෙන හිටියේ නිකිණි දිහා. මොන ගාථාද? නිකිණි ඇස්දෙක පියාගෙන මොනවදෝ මුමුණනවා... බලාගෙන ඉන්න ආසයි.
'බුදුනේ.. දෙවියනේ..! නිකිනිවයි මාවයි වෙන් කරන්න එපා'
ගාථාවක් නොවුනත් මම එහෙම හිතුවා.
නිකිණි ඇස්දෙක ඇරපු ගමන් බැලුවේ මගේ දිහා. ඇස්දෙක දිලිසෙනවා, නෑ කඳුළු නෙවෙයි මොකද්දෝ කාන්තියක්. ලස්සන හිනාවක් එක්ක මුණ රෝසපාට වෙලා.
"අපි පහලට යමු?"
එහෙම අහලා මම ආපහු හැරෙනකොට කාන්තියි චලනයි දෙන්නම බය වෙලා වගේ මගේ දිහා බලාගෙන.
"අපොයි මම රැවටිච්ච රැවටිල්ලක්!"
කාන්ති ඒක කියපු හැටියට මට හිනා. එකත් එකටම චලනට මම කියල රැවටිලා වෙන්න ඇති.
"මේ චලන... මගේ දුෂ්ඨ සහෝදරයා. මේ කාන්ති... මේ... නි.. කි.. නි..."
චලනයා කෙලිම්ම නිකිනිගේ මුණ දිහා බැලුවා. නිකිණි යන්තම් හිනාවෙලා බිම බලා ගත්තා.
"පහන් පත්තු කරන්න යමුද?"
කාන්ති කතාකලා. මම චලනටත්; කාන්තිටත් ඉස්සර වෙන්න ඇරලා පහු උනා. නිකිණි මගේ ඉස්සරහින්.
"නිකිණි.... මගෙත් එක්ක තරහද?"
නිකිණි යන ගමන බාල කරලා 'නෑ' කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.
"එහෙනම් කතා නැත්තේ?"
නිකිණි මුකුත් කියන්නේ නැතුව හැරිලා මගේ මුණ බැලුව. මගේ පපුව ගැහෙන්නේ නැතුව බලාගෙන හිටියා. කියාගන්න බැරි ගොඩක් දේවල් ඒ ඇස්වල තෙරපෙනවා. පන්සල නෙවෙයි නම්.....
අපි පහන් පත්තු කලේ කාන්තිලා ගෙනාපු තෙල්, හඳුන්කුරු වලින්. පහන් වලට තෙල් දානකොට මම දැක්ක නිකිනිට තිබ්බේ පුංචි දිග ඇඟිලි.
ඒ අත ආයමත් අල්ලන්න හිතෙනවා. ඒත් මේ පන්සල් අස්සෙ කෙල්ලෙක්ගෙ අත් මිරිකන්න පුලුවන්ද?
පහනේ එළිය වැටිලා නිකිනිගෙ මූණ රන්වන් පාටයි. මම ගැන එයා මොනවා හිතනවා ඇද්ද? මාව නිකිනිට මොනවගේද දැනෙන්නෙ? කුපාඩියෙක් වගේද?
"මම හිතුවෙ නෑ අපි ආයෙත් මුණගැහෙයි කියලා...."
නිකිනි කතා කලේ හෙමින්, බිම බලාගෙන.
"....මට ඔයාගෙන් හංගන්න දෙයක් නෑ. බොරු කියන්න උවමනාවකුත් නෑ. ඔයා දන්නවනේ මම බැඳපු කෙනෙක් බව"
"මම දන්නව. මම ඒ හැම දෙයක්ම දැනගෙනයි මේ ගමන ආවෙ. මම හොදට හිතලයි මේ තීරණේ ගත්තෙ. "
"ඔයාට ආය පාරක් හිතන්න ඕන නම් කල් ගන්න. මම මේ කරන වැඩෙන් මට පව්. ඔයා වගේ කෙනෙක්ගෙ ජීවිතේ අඳුරු කරන එක මට පව්. "
"ඇයි ඔයා එහෙම හිතන්නෙ? ඔයා මට ආදරේ නැද්ද? ඉන්න තැනින් ගොඩ එන්න ඕනකමක් නැද්ද?"
නිකින් ගොඩක් සැලකිල්ලෙන් මගේ ඇස්දෙක දිහා බැලුවා. ඒ ඇස්වල තිබ්බේ උතුරන ආදරේ. මම හෙමීට නිකිනිගේ අතින් ඇල්ලුවා.
"නිකිනි
බබෝ. මට ඕව ප්‍රශ්න නෙවෙයි. ඔයාගෙ හිතට එකගව උත්තරයක් දෙන්න. මම බොරුවක්
කරනවා නෙවෙයි. ඒකට දෙවියො.... මේ බුදු හාමුදුරුවො කියල කෙනෙක් ඉන්නව නං සාක්ෂි දරයි"
නිකිනිගේ දෙතොල් සැලුන නිසා එයා යටිතොල තද කරලා හපාගත්තා. ඇස්වල කාන්තිය වැඩිවෙලා මාව ඇත්තටම වශී උනා. නිකිනි ඇඩුවේ නැහැ. හිනා උනා.
"ඔයාට
කැමති වෙලාවක කැමති තීරණයක් ගන්න පුලුවන් බේබි. මම ඒකට කවදාවත්
දුක්වෙන්නෙ නෑ. ඒත් මේ හැම මොහොතක්ම ... ඔයාව දැකපු පලවෙනි මොහොතේ ඉඳන් හැම තත්පරේම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ... සහතිකයි!"
මට දැනුනේ පුදුමාකාර සතුටක්. ජයග්‍රහණයක් නෙවෙයි , සැනසීමක් ; ප්‍රීතියක්.
යමක් දිනාගත්තා වගේ නෙවෙයි. හදවතිනිම විඳින්න ලැබුනා වගෙයි. ඇත්ත ඒකයි
ඇත්තටම මම බොක්කෙන්ම ආදරෙන් බැඳිලා... මට ඒක දැනුනා
*****************************
Onna 1. Indpn Kiyawala ennm
ReplyDeleteස්තුතියි දුවගෙන එනවට. කියවලා එන්න
Deleteniyamai niyamai. Dawasata 1 gane danawa neh....
ReplyDeleteඔන්න දෙන්නව යාලු කළා... හැපී? කොහෙද ඉතින් මගේ ඔලුව කන්න හදනවනේ.
Deleteදවසකට එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. නැත්තන් කියවන අයට එපා වෙනවා එකදිගට නැති උනහම. කොටාගන්න තමයි වෙලාව නැත්තේ.
//පන්සල නොවෙයි නම්//ඇයි පන්සල නොවෙයිනං තා මොකක්ද මගේ නිකිණිට කරන්න හිතාගෙන ඉන්නේ කුපාඩි පොඩි කළනයෝ? ඔන්න මං නරක මිනිහයි කියන්න එපා..
ReplyDeleteහුහ් ආව මෙතැන බුද්ධ සාසනේ කෙළෙසන්න... අල්ලපන් මල්ලියේ ඔය පින්කැටේ පහේ කාසියක් දාන්ට !
Deleteමමත් දෙනවා උන්දැට