Thursday, April 27, 2017

102. රාහු හිත



Oil painting by Warren Keating


version 1:
ලොව පුරා ඇවිදින
ඔය හිත කවදාද,
දුරකථන අංකයක අග
හිදින මේ හිත
අසල හතිලන්නේ?


version 2:
ලොව පුරා ඇවිදින
ඔබේ පොදු හිත කෙදින,
අංකයක අග
හිදින මා අසල - සුසුම්පා
හති අරින්නේ?

Wednesday, April 26, 2017

101. අබ්ලික් ඔනිජිනල්

හොරකම් කරලා තියෙනවද?

උත්තරේ මෙතන නොලිව්වට කමක් නැහැ. තම තමන්ගෙන් අහගන්න ඕනේ උනත් නිතර අහගන්න ඕනේ නැති ප්‍රශ්න වලින් එකක් තමයි මම ඒ ඇහුවේ. මොකද ඕනෙම කෙනෙක්, (පෘතක්ජන) කිසියම් විදියකින් ද්‍රව්‍ය, අද්‍රව්‍ය වෙන දෙයක් හොරකම් කරලා තියෙනවා වෙන්න තියෙන ප්‍රතිශතය වැඩියි.

ඒ මොකක් උනත්, ඔරිජිනල් එකේ තියෙන ගතිය නෑ !

ඒ මොන බොරුවක්ද?

හෑ ???

ඔව්... අර ඔරිජිනල් එක්කෙනාගේ හිත හදන්න මිසක්, ඔය කතාවේ ඇත්තටම ගත්තොත් ඇත්තක් ඇත්තේ නැහැ. පොඩ්ඩක් හිතලා බැලුවහම මට හිතෙන්නෙම එහෙමයි. මේ ගැන ලියන්න නම් සාගරයක් වගේ කාරනා තියෙනවා. නමුත් මම පොඩි පරාසයකට ගන්නවා මේ විදියට.

ඔරිමජිනල් සින්දුව අහනකොට වඩා ඒකෙ ඩුප්ලිකේට් සින්දුව අහපු ගමන් හිත බැඳෙන්න පුළුවන් නේද?

Monday, April 24, 2017

100. නොසරි



oil painting by- Harding Meyer


ඉබ්බන් අතර
හංගොල්ලෙකුව...
ඉර මුදුන් සමයමට
දොස් කියනු කුමකට?




Sunday, April 23, 2017

99. පාලු විදියේ තනිකම මැකුනා


ඒ මොහොත......

මට අද වගේම මතකයි මේ මොහොත.

මම ලයනල් වෙන්ඩ්ට් එක ඇතුලට කවදාවත් ගිහින් තිබ්බෙත් නැහැ. එහෙම කවදාවත් එන්න ඕනෙකමක් ඇතිවෙලා තිබ්බෙත් නැහැ. ලයනල් වෙන්ඩ්ට් සහ මම කියන්නේ සම්පුර්ණයෙන්ම කාන්දමක අග්‍ර දෙක වගේ. මට එහෙම එන්න සිද්ද කලේ මගේ කලාබර මිත්‍රයා, සිදත් තමයි. සිදත්ට මම මගේ වෙඩින් ඉන්විටේෂන් එක දෙන්න කොච්චර වලි කෑවද ?

"අනේ මචං , මට ඕනේ නැහැ ඔය ඉන්විටේෂන් කෙහෙල්මල්! මට තැනයි වෙලාවයි කියපං.. මම වෙලාවට එතැන ඉන්නම්"

මම දෙතුන් පාරක්ම කතා කර කර ඉන්විටේෂන් එක දෙන්න එහාට මෙහාට දඟලනකොට සිදත් කිව්වේ එහෙමයි. ඒ උනාට හැමදේම නූලට තිතට කරන මගේ අනාගත බිරිඳ ; වසුන්දරා ; එකහෙලාම කියා හිටියේ ඉන්විටේෂන් එක නම් දිය යුතුමයි කියලා. අන්තිමේදී සිදත් කාගේදෝ නාට්‍යයක් බලන්න එනවා කිව්ව නිසා මම ඔෆිස් එකෙන් පැනලා ආවේ විනාඩි තිහෙන් ආපහු යන්න.

මගේ දුරකථනය අතේ තියාගෙන මම පාරේ ඇවිදගෙන ආවේ ඇත්තටම කලබලෙන්. අද දවසේ තමයි අන්තිමට මට තනිකඩයෙක් විදියට ඔෆිස් එන්න තිබ්බ දවස. හවස කට්ටියගේ 'බැචුලර්' පාටි එක ගැන හිතමින් එනකොට මගේ කට කොනට නැගුනේ හිනාවක්.

ලයනල් වෙන්ඩ්ට් එක පේන දුරෙන් නතරවෙච්ච මම දුරකථනය ඔබලා සිදත්ගේ අංකයට ඇමතුමක් ගත්තා. ගොඩක් වෙලා නාදවෙලා අන්තිමට සිදත් කතාකලේ හොරමුලක් එක්ක ගෙයක් බිඳින්න ඇවිත් වගේ හෙමින්.

Friday, April 7, 2017

98. ශන්මුගම් උඹ


Oil Painting by : South Indian Legend Ilaiyaraaja




ශන්මුගම් උඹ!
මගේ ඒ මොහොත හඳුනන,

සොය සොයා පාරවල්
සිතියම්ද දිගහැර
මා එනතුරුම බලා හිඳ.....

රස මසවුලෙන් සතපා
හිනාවී,
යන තුරුම බලා හිඳ.....

හෝරාවක් වත්ම නො ඉඳ
සියලු මසවුළුද - ඒ මොහොතද
කානු පල්ලක යවා
තාමත් හිනා වී ඉන්න හැටි...?

ශන්මුගම් උඹ....
කතාකරපන් ශන්මුගම්
ඒ සමුගන්න ආ හමුව ගැන!


Thursday, April 6, 2017

97. තෙල් ඉහිරුණු





තෙල් තාච්චිය බලාගෙන
ඉන්නවා මගෙ දිහා ඔරෝගෙන
කොකිස් නැති බව කියාගෙන
කැවුම් ආවෙත් නැහැ හිනාවෙන

වෙනදාට කඩිගුලක් වගේ වෙන
කුස්සියේ තෙල් සුවඳ නෑ හමන
පැත්තකට වෙලා බුම්මගෙන
උඳුවැල් අඩනවා මම අහගෙන

වැඩ දමා පැණි රස හදන
වළලු අත් අද වෙව්ලන
තුන් මසක් ගිය ඉක්මන!
පියතුමනි සිහිවෙන්නේ ඔබ දෙන



Tuesday, April 4, 2017

96. කුවන්නා





ලේසි නැහැ මේ කෙරුවාව
ගැඹුරු කැපුමක් හද ගාව 
පිටින් නොපෙනෙන තැලුම
ඔසු පවා නාහන වෙළුම

ආදරම හාදුව එදා
නොදුන්නා නම් හොඳා
මත් බිඟුන් හඬ බදා
දෙකන් නෑසෙන මෙදා

මුසා කියේ අදද,
එදාදැයි පහදා දෙමුද ?
වැළපෙන්න කඳුළුද
කෝවිලක මල් අමුණමුද ?



Monday, April 3, 2017

95. ඔබ ඇවිත් යන්න එන්න... - 30

30
----------------------------------







ට කොහෙවත් යන්න විදියක් නැහැ. මුර දාල වගේ. මම දැක්කා උදෙන්ම චන්දන ඇවිත් ඉන්නවා. ගෙදර මොකක් හරි වැඩකට නෙවෙයි නම්, චන්දන එන්නේ තනියට වගේ. එක්කෝ නංගි අසනීපෙන් ඉන්න හින්දා අම්මා ඇවිත් බලන්න කිව්වද දන්නෙත් නැහැ.

මට යන්න උවමනාවක් තිබ්බේත් නැහැ. නිකිනිව දකින්නේ කොහොමත් හෙට. මම දන්නවා මට හොඳ තීරණයක් ගන්න නිකිණි උදව් කරනවා කියලා. 

මම කලේ පැය විසි හතරම සයිකෝ ගහපු එක. ඒත් වටරවුමක් වගේ කොයි පැත්තෙන් කැරකිලා ආවත් මම නතර වෙන්නේ එකම තැනින්.

දවල් දොළහ ලං වෙලා, කන්නෙත් නැතුව නංගිට බෙහෙත් වගයක් ගන්න ඕනේ කියල චලන අමුතු කලබලයකින් පිටත් වෙලා ගියාට මම දැක්කා නංගිගේ බෙහෙත් තව ඉතුරු වෙලා තිබ්බා. මම කිසිම දෙයක් අහන්න ගියේ නැහැ. 

මට ඕනේ කලේ මගේ පාඩුවේ ඉන්න. මම නංගිවත් මග ඇරලා හිටියේ ඒකයි. චලන කිව්වා වගේ හැමෝම හිතනවා ඇත්තේ එකම දේ.

' මේ වල් කොල්ලා බැඳපු ගෑනියෙක් එක්ක සතියක් ඉඳල ඇවිත්'

මගේ කන්දෙක ඇතුලට කවුදෝ මුමුණනවා වගේ. 

අපේ අම්මට මොනවා කියනවා ඇද්ද? තාත්තට? නංගිට? මම දැන් මේ ගෙදරට පිළිලයක් වගේ. මොන එහෙකට මම ආයෙත් ගෙදර ආවද? මම නංගි නිදි වෙලාවක් බලලා ටෙලිෆෝන් එක ගාවට ගියා. මලා ඒකට ලොක් එකක් දාලා. 

'හෑ ! එහෙනම් කොහොමද ඊයේ රෑ චලන කෝල් එකක් ගත්තේ?' 

මම කටුවක් අරගෙන පැයබාගයක් විතර දඟලලා ලොක් එක ඇරියා. හුග වෙලාවක් රින්ග් උනාට පස්සේ එහා පැත්තෙන් ටෙලිෆෝන් එක ඉස්සුවා.


94. ඔබ ඇවිත් යන්න එන්න... - 29

29
-----------------------------

ම්මා මාව දැක්ක ගමන් පිස්සුවෙන් වගේ අඬන්න ගත්තා.

"උඹ කොහෙද මගේ පුතේ ගියේ? මගේ පපුව පැලුනේ නැති ටික විතරයි.

අම්මා ගොඩක් දේවල් කියෙව්වා. මට හරියට මතකයක් නැහැ. මට ඒවාට දෙන්න උත්තර තිබුනෙත් නැහැ.

".. මගේ කොලු පැටියා ඇදිලා ගිහිල්ල. උඹ ඔහොම දුක් විදපු දරුවෙක් නෙවෙයි මගේ පුතේ. උඹ නැතුව මේ ගෙදර සොහොන් පිට්ටනිය වගේ..."

මම අර මොනවද කාපු එකා වගේ හිටියා විතරයි. කියන්න දෙයක් නැහැ. හැම එකකටම මුල වෙලා තියෙන්නේ මම. මගේ හිතම මට සාප කරනවා වගේ.

"කෝ තා-ත්-ත?"

රෑ කාම එක වෙනකල්ම ඉවසගෙන ඉඳල මම ඇහුවේ බයෙන්.

"මේ සතියේ කොළඹ කොන්ෆරන්ස් එකක් තියෙනවා එහෙ ගිහින්. "

චලන උත්තර දුන්නා.

"අපි හෙට කෝල් එකක් දෙමු. දැන් දුන්නොත් අදම දුවගෙන එයි රෑ බලන්නේ නැතුව"

අම්මා කිව්වා. අම්මා මගේ ළඟින්ම ඉඳන් මට බත් බෙදමින් කන්න පෙරැත්ත  කළා.මට කෑම පොඩ්ඩක්වත් ප්‍රිය නැහැ. කරන්න දෙයක් නැති නිසා මම කෑවේ.

නංගි උණ නිසා කාමරේ හිටියේ. මගේ හිත ඇතුලේ ලොකු කළු කුහරයක් වගේ දෙයක් හිරවෙලා හැම දේකම තියෙන සතුට ඒ කුහරේට ඇදිලා යනවා වගේ.

"කලණ.. අන්න නංගි උඹට කතාකරනවා"

මම හෙමින් හෙමින් නංගිගේ කාමරේට ගියා.


"නංගි මට කතාකලාද?"

"අනේ මගේ ළඟට එන්න"

නංගි ඇඳේ විට්ටමට හේත්තුවෙලා. මම ඇඳේ කොනෙන් වාඩි උනා. නංගි මගේ අතේ මැණික්කටුවෙන් අල්ලගත්තා.

"කලණ අය්යා මට සමාවෙන්න"

"ඇයි ? මමනේ කරන තරමක් වැරදි කෙරුවේ"

"අනේ කලණ අය්යේ... මට මේක ඔයාට කියන්නම ඕනේ"

නංගි කාමරේ දොර දිහා බයෙන් වගේ බැලුවා. කවුරුත් පේන්න නැහැ.

Sunday, April 2, 2017

93. ඔබ ඇවිත් යන්න එන්න... - 28

28
-------------------------------------
දෙන්ම මම නිකිනිට කෝල් එකක් ගත්තේ පාරට ඇවිත්. 

කියපු වෙලාවටත් කලින් නිකිණි Paiva's(පායිවාස්) එක ගාවට ඇවිත් හිටියා. දෙවතාවකට ඇතුලට ගියපු අපි දෙන්නේ උඩ තට්ටුවේ කොනේම මේසෙක වාඩි උනා. නිකිනිව දැක්කහම මට ඔක්කොම දුක් අමතක වෙනවා.



"මම හොඳටම බය උනා කලණ.. ඔයා ඇයි හදීසියෙම ගියේ? මම හිතුවේ ගෙදර ගිහින් කියලා"

"කියන්න වෙලාවක් උනේ නැහැ නිකිණි. මට තිස්ස අය්යා හම්බ උනා මගදී. එයත් එක්ක එහෙ ගියා"

නිකිණි තොල හපාගෙන බිම බලාගත්තා.

"ඇයි කලණ ඔයා ගෙදර නොයන්නේ? ඇයි බේබි ඔහොම කරන්නේ?"

මම උත්තර දුන්නේ නැහැ. නිකිණි මගේ අත අල්ලගත්තා.

"..දෙමවුපියෝ කවදාවත් තමන්ගේ දරුවෝ අහක දාන්නේ නැහැ. ගෙදර යන්න කලණ... එහෙ මෙහෙ යන්න එපා... බලන්න ඔයාගේ ඇඟේ හැටි.. මේ දවස් ටිකට ඔයා ඇදිලා ගිහින්"

"ඔයාගේ කෑම වල තරම තමයි ඉතින්"

නිකිණි මාව කෙනිත්තුවා.

"හැමදේම විහිළු නෙවෙයි තේරුනාද?"

"අපි දෙන්නා කොහේ හරි යමු නිකිණි... .අදම! මේ දැන්ම?"

නිකිණි මගේ දිහා බලාගෙන හිටියේ හුස්මක් අල්ලාගෙන වගේ. ඊට පස්සේ අමාරුවෙන් අහක බලාගෙන විනාඩියක් විතර සද්දයක් නැතුව හිටියා. මම නිකිනිගේ එක කම්මුලකට අතක් තිබ්බා. මල් පෙත්තක් වගේ.

"ච.. චලන ඊයේ කෝල් එකක් දුන්නා.. මම කිව්වා තාම වැඩ ඇරිලා ආවේ නැහැ කියලා... ජොබ් එක.."

මට තේරුනා නිකිණි ඉන්නේ හැඟීම් එක්ක පොර පිටියක කියලා. 

"ෂ් .. ඒ ගැන කතාකරන්න එපා...."

"................"

නිකිණි ගැන ඇතිවෙච්ච දුක හින්දම, මම සීරියස් වෙන්න හැදුවා. ඒත් මොකද්දෝ වෙනසක්..  

92. ඔබ ඇවිත් යන්න එන්න... - 27

27
---------------------------------------


පි ෆ්ලැට් එකට එනකොට හවස පහට විතර ඇති. නිකිනිගේ වදෙන් බේරෙන්න බැරි හින්දා ආවා මිසක්, මට එන්න ඕනෙකමක් තිබ්බෙම නැහැ. ගමන් මහන්සිය යටකරගෙන හිතේ සතුට මතුවෙලා තිබ්බේ.

නිකිනියි මමයි දොරගාවට එනවත් එක්කම, අපි එනකල් බලාගෙනම ඉන්නවා වගේ දොර ඇරියේ කාන්ති. කාන්තිගේ ඇස්වල තිබ්බේ බයක්. එතකොට තමයි මම සාලේ වාඩිවෙලා ඉන්න චලන දැක්කේ. අපිව දැක්ක ගමන් චලන සෝෆාවෙන් නැගිටලා දොර පැත්තට අඩියක් තිබ්බ.

"චලන!"

"කලණ !"

මට එකපාරටම නිකිනිගේ මුහුණ බැලුනේ. ඉබේටම ඒ අතත් ඇල්ලුනත් නිකිණි බිම බලාගෙන එහාට උනේ වැරදිකාරියෙක් වගේ.

"උඹ කොයි වෙලේද ආවේ?"

"දැන් දෙවනි පාරටයි මහත්තයා ආවේ. දැන් ඇවිල්ලත් පැය දෙකක් විතර ඇති"

උත්තර ලැබුනේ කාන්තිගෙන්.

නිකිණි නෙලුම් කොලේ උඩ ඇවිදින කොකෙක් වගේ පරිස්සමෙන් අඩි තියමින් ගේ ඇතුලට ගියේ බිම බලාගෙන. එහෙම යන නිකිණි දිහා කන්න වගේ බලාගෙන හිටපු චලන මගේ දිහා බැලුවේ ගිනියම් වෙච්ච ඇස්වලින්.

"වාඩිවෙයන් චලන"

චලන නෙවෙයි හිනා උනේ.

"කලණ... බෑග් එක ගනිං ! යමන් ගෙදර!!!"

චලන එකපාරටම කිව්වේ හෙන ගහන්නා වගේ. මුගේ මූඩ් එක හොඳටම අවුල් ගිහිං.

"... වරෙන් යන්න"

"උඹ කොහොමද දන්නේ මම මෙහෙ කියල?"

"ඒකෙන් වැඩක් නැහැ.. ගනින් බෑග් එක.. යමන් ගෙදර!! ඔහොම්මම යමන්"

"චලන...!"

Related Posts Plugin for WordPress, Blogger...