Wednesday, June 29, 2016

07. රික්තයක් තුල

ලියන දේවල් කියන්න බැහැ , කියන්න ඕනේ දේවල් කිසිම දෙයක් ලියාගන්නත් බැහැ. ලොකුම ලොකු දිග කතාවක්, කෙටිම කෙටි වචන දෙක තුනකින් ලියපු මට... කෙටිම කෙටි හැඟීමක් කියන්න දැන් වචන ගොඩක් වැයකරන්න වෙලා.
මොකද්ද මේ සිද්ද වෙන්නේ?

පාත්ති දිගේ මල් පැලකලාට, ඒ මල් වලට බඹරු ඇදිල එනකොට මට පොඩ්ඩක්වත් දැනිල නැහැ දුකක්.  මල් බෙදාගෙන ජිවත් වෙන්න පුළුවන් මට. කොන්ක්‍රීට් අතරින් පතර මම මල් හිටෙව්වේ කොටිම්ම ඒවායේ පාට විතරක් නෙවෙයි, කොලේ හැඩේ පවා මැච් කරන ගමන්.

එහෙව් මම.....


මට තේරෙන දේවල් තියෙන්නේ පොඩ්ඩයි තමයි. ඒ අතරේ යන්තමට වැටහෙන දේවල් වලින් එකක් ආයෙමත් මමම මතක් කරගත්ත.



මගේ හදවත විදුරු බරුවක්. වැටුණු ගමන් බිඳෙන්නේ නැති තරමට තදයි. නමුත්, බිඳුනොත් නම්...... ආයෙමත් හදනවා කියන්නේ නම් බොරුවක්!


Sunday, June 26, 2016

06. ඔයා බෝ පැලයක්





කොහේ හෝ සිට අවුත්
හද කපොළු කුටිය මැද
අදිසියේ මුල් ඇදුනු,
හිත ඉල්ලු සිසිල දුන්....


බලා උන් දින ටිකට
අරා මුල් හදවතේ
මිරිකවී බදා උන්.....


හර්ද කපොලු ධමනියද ,
සිරව මා සිහිසුන්ව
බලනවිට අතුපතර -
මත කුඩා කූඩුවක් !


ඔබ අමුතු බෝ පැලයක් !!!!


Thursday, June 23, 2016

05. හිමි නැති



මම බ්ලොග් ලියන්න දන්නේ නැහැ. දවසේ දේවල් කියවන්න මම වැඩි කැමැත්තක් තියෙන්නේ බ්ලොග් එකේ නෙවෙයි, මගේම කියල හිතෙන අයත් එක්ක. මම ගැජට් එල්ලන්න දන්නෙත් නැහැ. පබ්ලිෂ් කරනකොට නම් වැරද්දක් හොයන්නවත් ආයෙමත් ලියපු එක කියෝන පුරුද්දක් ඇත්තෙත් නැහැ.

මම බ්ලොග්කාරියක් නෙවෙයි.

හිත රිදුනේ ඇයිද කියල ආයෙමත් හිතල බලන්න දෙයක් නැහැ. මම දන්නවා හේතුව.

කමක් නැහැ.


'ඔබ කොතරම් හැඬුවත්
- වැලපුනත්
ඔබට හිමිවන්නේ
හිමිවිය යුතුදේ
පමණයි'


ඒක ඇත්තක්

හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්

Wednesday, June 22, 2016

04. ලැබ් රැට්ස් සහ පරීක්ෂණ



ලැබ් රැට්ස් ; එනම් පරීක්ෂණාගාර මීයන්; කියන්නේ මීයන් ජාතියක් නොවන බව මට පැහැදිලිවම කියන්නට සිත්වෙන්නේ කුමන කාරනාවක් නිසාදැයි මම එකවරම ගොනුකරගතහැකි කාරණයකින් තොරව බවත්, එනම් කරනා රැසක් හේතුවන බවත් මම ඊයේ දවස තිස්සෙම කලපනා කලෙමි. පරීක්ෂණාගාර මීයන්ට , සාමාන්‍ය මීයෙකුට ඇති අයිතියක් හෝ වගකීමක් කියා කිසිවක් නැති නිසාත්, ඔවුන්ගේ ජිවන රටාව කිසිසේත්ම සාමාන්‍ය මීයෙකුට ළඟාවිය නොහැකි පරාසයක විහිදී ඇති නිසාත්, මම මගේ සිතුම් ලියාතැබීමට කල්පනා කලෙමි.

ඔවුන් තමන්ගේ ජිවන රටාවකට උරුමයක් නැතුවම ඉපදෙති. නමුදු කුමක්හෝ හේතුවකට අලුත් ජිවන රටාව ඔවුන්ගේ ඒකායන අරමුණ ලෙස තබාගනිති. බාහිරෙන් හෝ අභ්‍යන්තරව අඩුපාඩුවක් පරීක්ෂණාගාර මීයන්ට නැත. ඔවුන්ගේ හදවත, මොළය සෑමවිටම ක්‍රියාකළ යුතුය. ( එසේ නොවන කෙනෙකුට පරීක්ෂණාගාර මීයෙකු වන්නට කිසිම අයිතියක් නැත) එසේ වන්නට ඇති එකම සහ ප්‍රධානම හේතුව වන්නේ, සෑමවිටම ඔවුන්ගේ හෘද ස්පන්ධනය සහ මොලයේ ක්‍රියාකාරිත්වය ගැන සියලු දෙනාම ඇසගසාගෙන සිටින බැවිනි.

පරීක්ෂණාගාර මීයන් සිය කාර්යයෙහි නිරතුරුවම නිරතවී සිටින බව, ඔවුන් විසින්ම නොදක්නා තොරතුරකි. ඔවුන්ගේ හදවත් පිරික්සන්නට නොයෙකුත් ක්‍රම සහ විධි තීරණය කරන්නේ ඔවුන් නොවෙතත්, ප්‍රතිචාර ලබාදීමේදී තමන්ට කැමති නිරීක්ෂණයක් වෙත නිරීක්ෂකයා යොමුකිරීමට පුර්ණ නිදහස ඇත. හදවත කෙතරම් වේගයෙන් ගැහෙමින් පැවතුනද, එහි ඇති වේදනාව, ශෝකය මැනීමට නොහැකි බැවින් එය කවර තරමේ කම්පනයක්දැයි නිරීක්ෂකයාට නිර්ණය කිරීමට අපහසුය. එබැවින්, නිරීක්ෂකයා /පරීක්ෂකයා අන් ක්‍රමයක් හෝ බෙහෙතක් ලබාදීමෙන් තමන්ගේ පර්යේෂණය නොකඩවා සිදුකරනු ඇත. හදවත් බිඳීම්, තැලීම්, පහුරුගෑම් ආදිය පමණක් පර්යේෂණාගාරයේ සැඟවිය හැකි නමුදු, ඔබේ පර්යේෂකයාගේ දක්ෂතාවය අනුව ඒවාද ප්‍රතිපල සටහනේ සඳහන් වීමට ඉඩ තිබේ.

මේ  දැනගන්නට නම්, ඔබ පර්යේෂණාගාර මීයෙක්ම විය යුතුය. එය එතරම් පහසු කටයුත්තක් නොවේ. ( පර්යේෂණාගාර මීයෙකු ලෙස තේරී පත්වීම මිස එයින් පසුව නොවේ). පර්යේෂණාගාර මීයෙකු වන්නට පුදුම කට්ටක් කන අතරේ පවා මට වැටහුණු තවත් කාරනාවක්ද ඇත. එනම්, එසේ වන අතරද වන්නෙම තවත් පර්යේෂණ රාශියක ස්පෙසිමන් එකක් ලෙස ක්‍රියාකර ඇති බවයි. ඒ සෑම මොහොතකදීම මගේ හදවතත්, මොළයත් තිබෙන බව මට , මා විසින්ම පරික්ෂා කරගැනීම සිදුවීම ඇරඹුණි.

යම් පරිෂණයක් අතරතුර අතපය මත කැපුම් තුවාලද, මුහුණේ පහුරුගෑම්ද ඉතිරි වුවද, හදවත සහ මොළය නැවතත් පනගසා හොඳින් ක්‍රියාකරන්නට වුයෙන් දිවිගලවාගත හැකිවිය. හදවතේ තෙත හෝ මොළයේ පැහැය ඒ අවස්ථා වලදී සැලකිල්ලට නොගන්නාබව නොදැන සිටි බැවින්, මම සෑමවිටකම උපලක්පනය කලේ කොයි මොහොතේ හෝ අසාර්ථක වනු ඇතිය කියාය.

සුදුසුකම් සොයනවිට කෙතරම් කටු ගාල් තුල සිරවුවද කලින් කි පරිදි මොහොතකට නතරවන හදවතත් මොළයත් මද වෙලාවකින් නැවත ක්‍රියාකලද , ස්පන්ධන වේගය, තිව්‍රතාවය හෝ අභ්‍යන්තර කැළඹීම් කිසිවක් එකී අවස්ථා වලදී පරාමිති වලට අයත් නැත. ඒවා වැදගත් වන්නේ පර්යේෂණාගාරයට ඇතුළත්වූ පසුවය. ඒ වනවිට කෙනෙකු ( මීයෙකු ) ගේ එක අංශයක් නිර්වින්දිතව සිටිනුද, තවත් කෙනෙකුගේ ( මියෙකු) සියලු අංශ නිර්වින්දිතව පවතිනු දක්නට ලැබුනද, අවාසනාවට මගේ කිසිදු කොටසක් එවන් වාසනාවක් මට රැගෙන ආවේ නැත. නිරෝගිකම නිසාදෝ එළැඹෙන්නට තිබුණු පර්යේෂණ එන්න එන්නම සංකීර්ණ සහ දරුණු ගණයේ ඒවාම විය නමුදු, ඒ සෑම විටකදීම හදවත, මොළය පවතිනවාද නිරීක්ෂණයට අමතරව කැපුම්, සිරීම් සඳහා ප්‍රතිකාර තමන් විසින්ම සිදුකරගතයුතුව තිබුණි.

තමන්ගේම තුවාලවලට තමන්ම ප්‍රතිකාර කරගැනීම සැබෑ වශයෙන්ම වේදනාකාරී අත්දැකීමකි.

පරීක්ෂකයා නොදන්නා දහසකුත් දේවල් පර්යේෂනාගාරවල සිදුවන බව මම අදටත් විස්වාස කරමි. එනම්, පරික්ෂකයාගේ පරීක්ෂණයට ලක්කරන මීයා හැර වෙනත් මීයන් අතර ඇති දුක් කන්දරාවයි.

එයින් සමහරෙක් ( මීයෙක් ) අතුරුදහන් වෙති. තවත් සමහරෙක් ( මීයෙක් ) සියතින්ම හදවත හෝ මොළය පාලනය කරගන්නට ඉගෙන ගැනීම නිසා පර්යේෂකයාගේ බලාපොරොත්තු බිඳදමති. තවත් කෙනෙක් ( මීයෙක් ) පුර්ණ හෝ අර්ධ ලෙස මියයති.

නමුදු.....
පර්යේෂකයා සාර්ථක වීම සඳහාම තවත් කෙනෙකු ( මීයෙකු ) හදවත, මොළය ක්‍රියාකරද්දීම මිය යති.



Thursday, June 16, 2016

03. පෙම් සයුර





ගාළුමුවදොර කියන්නේ මට පිට්ටනියක් වත්, එළිමහන් පොදු ස්ථානයක්වත් නෙවෙයි. එතැන කොටිම්ම දැන් ඔය තියෙන විදියේ තැනක් නෙවෙයි මගේ හිත ඇතුලේ තියෙන්නේ.

මගේ හිත ඇතුලේ තියෙන ගාළුමුවදොර කියන්නේ බොහොම පුද්ගලික, සීතල , නිදහස් අවකාශයක්. යන්න ලැබෙන හැමදාම මම ඔතනින් යන්නේ බෙල්ල උලුක් වෙනකල් බලාගෙන. මොකද්දෝ කියාගන්න බැරි ජාතියේ ආකර්ෂණයක් ඒකෙ තියෙනවා.

ඒ එක්කම දැනට තියෙන අතරින් පතර තණකොළ තියෙන කාන්තාර ස්වරුපයත්, කල්ප විනාශයකට ලක්වෙච්ච පෙනුමක් තියෙන අනෙකුත් අංගත් මාව විකර්ෂණය නොකරන්නට, හැමදාම හවස මම ඔතන පැයක් දෙකක් කල්මරන්න පොළඹවන්න ඉඩතිබ්බ.
ඒ ඔක්කොම තියෙද්දී මම දකින්නේ මුවදොර ආසන්නයේ දනගස්සවල තියන බංකු වල උදේට ඉන්න පෙම්වතුන්.

මට තාමත් වැටහෙන්නේ නැහැ මුහුදක් දිහා බලාගෙන කොහොමද ප්‍රේම කරන්නේ කියල? ඊටත් තමන්ට කෙලින්ම ඔලුව උස්සනකොට මුහුදු හුලන් වදිනකොට, ප්‍රේමනීය හැඟීම් ඔක්කොම මුහුදු හුළගේ පාවෙලා යන්නේ නැද්ද කියල , මම මගෙන් අනන්ත වාරයක් අහල තියෙනවා.

ඇත්තටම මුහුදක් දිහා බලාගෙන ඉන්නකොට ( මුහුද අද්දර වාහනේකට වෙලා, ඊට පිටුපාල කෙනෙක් එක්ක ප්‍රේමයෙන් ඉන්න එක නම් වෙනස්ම වෙනස්.. මොකද එතකොට මුහුදු හුළඟක් දැනෙන්නේ නැහැනේ??) කොහොමද ප්‍රේමයක් දැනෙන්නේ? එතකොට දැනෙන්නේ අනන්තයට යනකල් , පාරක් තෙරක් නොපෙනන සිතුවිලි දාමයක් නේද?
සමහර වෙලාවට මම වැරදි ඇති. මුහුදක් කියන්නේ මට එතරම් ගෘන්ගාරයක් ගේන දෙයක් නෙවෙයි, මම කිව්වේ හුළඟක් දැනෙන මුහුදක්...

Wednesday, June 15, 2016

02. වැස්සකට ඉඩ ඇතත්





වැස්සත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා. අපේ ජිවිත වෙනස් වෙලා කියන එක කාටත්  දැනෙන දෙයක්.

මගේ ජීවිතෙත් වෙනස් වෙලා.

පායනකොට උත්සහයක් දාන්න වෙන වගාවක්, වැස්ස නිසා පන බේරාගෙන නිසා මම වෙනස් වෙලා , වවන කෙනෙක් විදියට! මට හැමදාම වෙන්න ඕනේ කරලා තිබ්බ වෙනසක් ඒක .

ඉතින් 'ජරාස් බරස්  බරස්' කියල මගේ ඕකිඩ් ටිකට වැඩේ දෙන ගොළුබෙල්ලන්ට අනික් දවස්වල වගේ මගේ නිවිති ගස්ටිකට අත ( කට?) තියන්න බැරුව ගිහින් නිසා ලස්සනට දිලිසි දිලිසි හැදිලා තිබ්බ මගේ නිවිති පැලේ ! දැනෙන සන්තෝසේ කියල නිම කරන්න බැහැ. දැන් ඉතින් හිනායන්න පුළුවන් නිවිති පැලයක් වෙනුවෙන් දෙය්යෝ වඳින ජාතියේ කියල, නමුත් ඇත්ත කතාව නම් ඒකයි !නිවිති පැලයක් නිදහසේ වවාගන්න මම දාපු උත්සාහය දන්නා කෙනෙක් වෙයි නම්, දනී මගේ සන්තෝසේ!!

ඉතින් නිවිති ගහ දැන් 'හිකි හිකි' ගගා හිනාවෙනවා. මම හිතනවා මට මේපාර ගොලුබෙලි හමුදාවත් එක්ක ගුස්තියක් නැතුව අඩුම තරමේ එකම එක පාරක්වත් පරිප්පු වලට හරි, දෙල් වලට හරි දාගෙන කන්න නිවිති කොලයක් ඉතුරු වෙයි කියල.

එක අතකට ගහට පුළුවන් නම් එයාගෙම කොලටික බර බර ගාල කාල දාල යනකල් ඉන්න, මොකටද අපි නිකන් පත්තු වෙන්නේ? මෙහෙමයිනේ වැඩේ, අපි වවන්නේ අපේ සතුටට, ඉතින් සතුට වනසනකොට අපිට දෙය්යෝ එක්ක උනත් කේන්ති යනවනේ.

බ්ලොග් ලියන්නෙත් ඒකටනේ , අපේ සතුටට තමයි ඉතින්. පලිබෝධයෝ ඉතින් ඒකෙත්. සමහර වෙලාවට කොහේ හරි ගමනක් ගිහිල්ල හරි, ටික දවසකින් ජාලෙන් මිදිලා ඉන්නකොට හරි ඉත්තෑවා පැන්නා වගේ අබග්ගයක් වෙලා බ්ලොග් එකට. ලියාපු දෙයක් හරහට ගිහිල්ල වැඩේ සිද්ද වෙලා ලොකුම විදියට! ගොඩක් වෙලාවට හිතන්නේ වත් නැති දිශානතියකට.

ඒ වෙලාවට මට නම් දැනෙන්නේ මාව ගිලෙනවා වගේ. හැබැයි මේක මට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි කියල මම දැන් දන්නා නිසා හොඳයි. මුලික ප්‍රතිකාර  දැන් ඒ හින්දා අහනවා. ඔපරේෂන් කරන්න තරම් දැන් අමාරු වෙන්නේ නැහැ.

ඒ හින්දා ඇනෝ ආවට බය ඇත්තේ නැහැ. හැබැයි කියන්න තියෙන දෙයක් කෙලින්ම තමන්ගේ ඇත්ත විදියෙන්ම කියනවට මම ගරු කරනවා. විවේචන වලදී ගරිල්ලා ක්‍රමේ දැන් ප්‍රචලිත උනාට මට හිතෙන්නේ ඒකත්  මානසික තත්වයක් කියල.

01. ඔයයි මායි ... තනිවම



මත් බඹර තුඩු පහස විඳගමි
අත් අතැ'ර මුදු බැලුම් ඉවසමි
නෙත් කවර ලෙසකින්ද පියනෙමි
මුත් වරද කා අතද නොසොයමි

අඳින නෙක සිතුවම්ය අහසේ
විඳින අයදින සිතුම් විලසේ
මැවෙන ආදර අලිංගනය සේ
වසින මේ වැස්සක තෙමෙන සේ

නිය අඳියි ඉරි ඇස පෙලන රුව
සය දැනෙන මීවිත යදින මුව
සිය මඩින සිත හොවමි නිහඬව
දිය කරනු මැන නොදක්නා සොව



Related Posts Plugin for WordPress, Blogger...