Sunday, July 23, 2017

124. පැටලෙමි | It must have been...




අයිතියක් කුමටද
උරුම නම් යම් දෙයකට ?
නොපා දෑතම හකුලා
උන්නු හින්දා නොවද
පරවෙන්න බලාගෙන
තුරුළු පැතුවේ
වෙන උරෙක ?

දැන් ඉතින් බලා සිටිය යුතු
උඹට හිමි
ආදර ගීත - පාවෙන අයුරු ,
හාදු වැසි - කොපුල් පැහැකරන'යුරු
වලාකුල් වල පැටලී !

Sunday, July 16, 2017

123. නිවැරදිකාරි | honestly!





ඉඳහිට උනත් හිසමත
පතිතවන ටොකු ආදර,
අඩුවෙන් ගන්න හිතනෙ'ක
ක්ලාන්තයක් ගෙනදෙයි මට!

ඉවසාගෙන ඉන්න බැරිතැන
කොපුල් තල මගේ මිරිකන,
බාහුව ඔබේ මම නතරවන
ඉදින් මම වැරදිකරු නොමවන!

පෙති, කරල් මේ සැම
පාට පාටින් තිබෙන්නේම
ගෙන ගොහින් තබාගෙන
ගන්නට තමයි හාදු ඉල්ලගෙන !




P.S: ඇට්ටරකාර මට ලිව්වහම මමත් ඉතින් බලන් ඉන්නද.. හුහ්.. ඔන්න ලිව්වා උත්තර!



122. රතුපාට මල් - 4

රතුපාට මල් - 1
රතුපාට මල් - 2
රතුපාට මල් - 3




නිබන්දන ගොන්න පෙරලී ගියේ මගේ වරදිනි. කලබලයට හැරුණු මගේ අතෙහි වැලමිට වැදීමෙන්, නිශ්ශංකගේ මේසය මත තිබුණු නිබන්දන කන්ද පෙරලි යද්දී මම අසරණ ලෙස ඔහු දෙස බැලුයෙමි. ඔහුද සරදම් සිනාවකින් මා දෙස බලා සිටියේ 'පුදුම දාංගලයක්' යයි නොකියා කියමිනි.

මම එසැනින්ම බිමට නැමෙමින් විසිරි ගිය ෆයිල් කවර අහුලන්නට පටන් ගතිමි. එය පහසු කරුණක් නොවුයේ මේස අතර තිබුණු කුඩා පරතරය නිසාය.

"අනේ කුන්චනා... මොකද්ද මේ කුඹුරේ නෙලනවා වගේ දෙන්නා එක්ක?"

අප දෙසට එමින් සිටි තාරුකාගේ හඬට මම හිස හරවා බලද්දී ඈ මා අසලින්ම සිටගෙන සිටියේ ඉනේ තබාගත් දෑතින් යුතුවයි.

"ඔව් අනේ.. නෙලනවා...... එන්න කය්යට සෙට් වෙලා කයි බතත් කාලම යන්න!"

මම එසේ කියමින් ෆයිල් කවර ගොන්නක් මේසය මතට දැම්මෙමි.

දුටු දසුනෙන් මට සිනහව වලක්වාගත නොහැකි විය. නිශ්ශංක සිය මේසය යටට වී හොඳින් හරිබරි ගැසී හිඳගෙන, ෆයිල් තුලට කොළ සියල්ල අහුරමින් සිටී. තාරුකා මටත් වැලමිටෙන් ඇන , 'හිකි හිකි' හඬින් සිනාවන්නට වුවාය. එයින් ඇස් මුදවාගෙන එන අතරතුර අහම්බෙන් මෙන් මම දුටුවේ මේසය මත ඇති ලිපියකි.

මම එය අතටගෙන බැලුයෙමි. පුදුමයකි, එය මම විසින් නිශ්ශංකගේ වැඩ කටයුතු පිළිබඳව කරනලද රෙකමදාරු ලිපියකි. මම පුදුමයෙන් ගල්ගැසී ගියෙමි. දිනය ඇත්තේ මීට මාස තුනකට පෙර දිනයකි. මෙවැන්නක් මම කිසි විටෙක නිශ්ශංකට ලබාදුන්න බවක් මට මතක නැත.

"මොකද්ද කුන්චි?"

තාරුකා එයට එබිකම් කරද්දී මම ලිපිය සඟවාගන්නට යත්න දැරුවද එය අසාර්ථක වුයේ එහි වූ විසල් ලිපි ශීර්ෂය නිසා වන්නට ඇත.

".. මේ ඔයා දීපු රෙකමන්ඩේෂන් එකනේ නිශ්ශංකට.."

"මම..?"

ඔලුවේ මේසය වද්දාගනිමින්ම නිශ්ශංක මේසය තුලින් මතුවුයේ සුපිරි වීරයෙක් පැමිනෙනවාටත් වඩා වේගයෙන් වන්නට ඇත.

මම එකවරම ලිපිය පිටුපසට කර නිශ්ශංක දෙස කෙලින්ම බැලුයෙමි. කළු, හීන්දෑරි නිශ්ශංක තවත් කලුවටත්, කෙට්ටුවටත් මට පෙනුනේ ඔහුගේ ඒ මුහුණේ ස්වභාවය වන්නට ඇත. තත්පර දෙක තුනක අමුතු නිහඬතාවයක් අවසානයේ නිශ්ශංක අපහසුවෙන් සිය වෙව්ලන මුව විවර කළේය.

"කු.."

"ඕනේ නැහැ නිශ්ශංක! මේ දැම්ම එන්න මගේ ඩෙස්ක් එකට"

"නිශ්ශංක.. ඔයා?"

තාරුකා අවස්ථා සම්බන්ධය සොයන්නට සදද්දී, මම අඩියට දෙකට මගේ මේසය කරා ගියෙමි. පුටුව මතට කඩා වැටුණු මම ලිපිය කියවන්නට වීමි. එය මම විසින් නිශ්ශංක රෙකමදාරු කරමින් ලිව්වා යයි කියා, මම විසින්ම අත්සන් කරනලද ලිපියකි. නිශ්ශංක සිය විදෙස් ශිෂ්‍යත්වය සඳහා ඉල්ලුම් කොට , එය ලැබීම නිසා සේවයෙන් ඉවත්වන බව දැනුම් දුන්නේ මසකට පෙර බවත් එවැන්නක් ඔහු වැන්නෙකුට ලැබීම පුදුම සහගත බව තාරුකා මා සමඟ කියා සිනා සුන බවත් මට සිහිපත්විය.

මම බෙහෙවින් දඟකාර බව සත්‍ය නමුත් රාජකාරියේදී මම තරමක ප්‍රතිපත්තිගරුක, දෘඩ නිලධාරිනියක බව සියලුදෙනාම පිළිගනිති. එහෙයින් මම නිශ්ශංකගේ වැඩකටයුතු සහ දැනුම ගැන එතරම් පැහැදීමකින් සිටියේ නැත.

කලට වේලාවට යමක් නොකරන, කිසිම පිළිවෙලක් නැති, වගකීමක් නැති නිශ්ශංක ගැන මම සිටියේ නොපැහැදීමෙනි.

මෙය සම්පුර්ණ වංචාවකි!

අත්සන ඔහු කෙසේ ගත්තාද කියා මට තවමත් සිතාගත නොහැකිය. හිස ඔසවද්දී නිශ්ශංක මේසයට මදක් ඈතින් අඳුරු වූ මුහුණෙන් යුතුව බලාසිටිනු මට පෙනුනි.

"මොකද්ද මේ?"

මට අවැසි වුයේ ලිපියෙන් ඔහුගේ මුහුණට දමා ගසන්නට උනත්, මම ලිපිය සාක්කියක් ලෙස තබාගත යුතු නිසා ලිපිය ඉදිරියට දිගුකලා පමණි.

නිශ්ශංක නිරුත්තරව බිම බලාගත්තේය.

"...  දන්නවද?මට පුළුවන් තමුන්ගේ ඔය ස්කොල් එක නැතිකරලා දාන්න. මාව යුස් කරලා ඇයි එහෙම වංචාවක් කලේ?"

"...................."

"ඇත්ත කියනවා......."

ඔහුට පිටුපසින් දෑස් විදාගෙන බලාසිටින තාරුකා මට පෙනුනි. මම නැවතත් කෙලින්ම නිශ්ශංක දෙස බැලුයෙමි.

"සොරි"

"සොරි? සොරි?? එච්චරද තමුසෙට කියන්න තියෙන්නේ? සොරි... ! සොරි කියනහැටි විතරක්!! ඒ මදිවට ඔක්කොම රෙෆරන්ස් දාල තියෙන්නේ වෙන වෙන ඒවාට. මේ ඔක්කොම තමුසෙගෙ විස්තරද? මේ මේකේ තියෙන නම්බර්ස් ඔක්කොමත්?"

"................"

"කතා කරනවා...!"

"යාලුවන්ගේ නම්බර්ස්. ඊ මේල් එක විතරක් අලුතෙන් හැදුව"

මට තදබල කෝපයක් ඇති උවත්, විශ්මයකට වගේ ඒ අතරේ නැගුනේ නිශ්ශංක ගැන අනුකම්පාවකි.

"මම මේ ගැන කම්ප්ලේන් කරනවා"

"අනේ කුන්චනා.. ප්ලීස්... එහෙම කරන්න එපා..."

බයාදු හඬකින් නිශ්ශංක එලෙස කියමින් නොයෙකුත් දුක්ගැනවිලි කියන්නට පටන් ගත්තේය. ඔහුගේ බැරි අමාරුකම් සහ පවුලේ ප්‍රශ්නද ඒ අතර තිබුනෙන් මට මේ කතාව හිසරදයක් තරමට උත්සන්න විය.

"හරි.. හරි... දැන් නිශ්ශංක යන්න.. මම හෙට කියන්නම් මොකද කරන්නේ කියල. මම හැබැයි මේක ලේසියෙන් අරින්නේ නැහැ තේරුනාද? තමුසේ මොන හය්යකින්ද මගේ අත්සන ගහලා මෙහෙම එකක් කලේ?"

නිශ්ශංක නිරුත්තරව උනා මිස කිසිවක් කියන්නට ආවේ නැත.

සිද්ධිය සිදුවූ උදය වරුවේදී හටගත් කැළඹීම සවස් වනවිට මා කෙරෙන් තුරන් වන්නට ඇත. ඊට දිනකට පෙර ආගන්තුක තෙසක් රියදුරෙකු විසින් කියනලද වැකිය මට සිහිවුයේ ප්‍රමාද වීය.

මෙය විය හැකිද? මට නම් විස්වාස කරගත්ත නොහැකිය. එය නිවැරදි අනාවැකියක් නම්, ඔහුට දින වකවානු කියන්නට සමත්කමක් නොමැත. නිශ්ශංක විසින් වංචාව සිදුකර ඇත්තේ මිට මාස ගණනාවකට ප්‍රථමය.

කිසිම සම්බන්ධයක් නොමැති වැකියක් ලෙසින් එය මගේ සිතෙන් හුරා දමන්නට තැත්කලද, තෙනමනය ඉවත්කළ හපාදැමූ චුවින්ගම් පිඬක් සේ එය තදින් සිත තුල තැන්පත් වී ඇති සෙයකි.

මම අත් ඔරලෝසුවේ වෙලාව බැලුවෙමි. සවස හය පසුවී මිනිත්තු හයකි. මම බෑගය අතටගෙන කාර්යාලයෙන් පිටවිමි.

"මිස් අද රෑ වෙනකල් වැඩද?"

මුරකරු පුදුමයෙන් මෙන් ඇසුවේය. මම අඳුර විනිවිද පෙනෙන නියෝන් එලි දෙස බලාගෙන ඇවිද ගියෙමි.

"නෑ අනේ. අද මහත්තය එනවා කිව්වා මාව ගන්න."

"පොදයක් වගේ එනවා. එහාට වෙලා ඉන්න මිස් . මම ආවහම කතා කරන්නම්"

"නෑ මම යන්න ඕනේ එළියට "

දකුණු අත දිගුකොට පොදය ප්‍රමානිකව මැනගත් මම ඉක්මන් අඩියෙන් මහා මාර්ගයට පිවිසියෙමි. පොදය එතරම් දරුණු නැත. මගේ හිතට ප්‍රබෝධයක් පිවිසියේය. පොද අතරින් මෙසේ ඇවිද යන්නට මගේ හිත එකවරම කෙළිලොල් බවක් පළකළේය.

"මොකද මේ තෙමි තෙමී ?"

මම තිගැස්සී අසලින් වේගය බාලකරන ලද රියෙහි රියදුරා දෙස  බැලුයෙමි.

'විකුම්!'

මෝහන පන්තියේ විකුම් සිය කාරයේ කවුළුව පහත්කොටගෙන උන්නේය. මම තිගැස්සුනා වන්නට ඇත. ඔහු දකින හැම වරකම ඔහුගේ ඒ අමුතු බැල්මේ තිබෙන හීසරට මම ගැස්සී යන්නේ නොසිතාමය.

මගේ දෙපා අඩපණව ගියා සේය.

".. කොහෙද මේ වැස්සේ තෙමි තෙමි යන්නේ?"

"මේ ළඟට යනවා.."

"නගින්න.. මම ගෙනිහින් දාන්නම්"

පසුපසින් පැමිණි වාහනයේ නලාව හැඬවුනි. මම පසුපසට අඩියක් තැබුවෙමි.

"තෑන්ක්ස්... වැස්සක් නැහැ.. මට යන්න පුළුවනි"

"නගින්න නගින්න ළමයෝ.... මේ වාහන හෝන් කරනවා.. ඉක්මනට"

නැවතත් පසුපස තිබෙන වාහනයේ නොරිස්සුම් නලාව ශබ්ද විය.

"... ඔය.... ඉක්මනට නගින්න"

"බෑ... ඔයා යන්න.. තෑන්ක්ස් "

මම කිසිවක් නොසිතාම තදබදය මැද්දෙන් පාර පැන අනෙක් පස යමින් වාගේ තිබුණු තෙසක් රියකට රිංගා ගතිමි. තෙසක් රියදුරාද මගේ ඒ ක්‍රියාවෙන් අනපේක්ෂිත තැතිගැන්මක් පෙන්නුම් කලද, මම කිසිම වෙනසක් නොමැතිව 'මැන්ගෝ ට්‍රී යමු ' කියා ආසනයේ හරිබරි ගැහි සිටියෙමි.

විකුම් වාහනය ගත්තේ නලා හඬවල් රැසක් මැද්දේ බව පැති කණ්නාඩියෙන් දුටුවද මම වෙනසක් නොපෙන්වාම අනෙක්පස බලා සිටියෙමි.

විකුම් බැල්මෙන් මා සසල කරවන බව නම් නොරහසකි. කුමක් හෝ අමුත්තක් ඔහුගේ බැල්මේ ඇත. මට මහා අනියත බියක් මුසු දුකක් දැනෙන්නට විය.


අවන්හල අසලින් බැස රියදුරුට නියමිත් මුදල දීමෙන් පසුව තදකල වර්ෂාව නිසා මම ඇතුලට හැල්මේ දිව ආයෙමි. එතරම් සවස් වී නොතිබුන නිසා රාත්‍රී කෑම සඳහා තවමත් මිනිසුන් පැමිණ නැති සෙයකි.

මම පිළිගැනීමේ කවුන්ටරය අසල වූ සෝපාව මත ගිමන් හැරියේ තෙමුණු තෙත ගතිය යන්තමින් ගසාලමිනි.

"මිස්... ටේබල් එකක් රිසව් කලාද?"

"ආ... නෑ... දෙන්නෙකුට ටේබල් එකක්!"

සේවකයා විනීතව පිටව ගිය දොරටුවට එකහෙලාම විරුද්ධව පිහිටි පිවිසීමේ දොරටුවෙන් එවිටම පිවිසියේ විකුම්ය. මට දහවල් තරු පෙනුනි. මම ඉක්මනින් එතන තිබිණු සඟරාවකින් මුහුණ වසාගන්නට අසාර්තක උත්සහයක් දරන්නට හදද්දී, විකුම් මා දැක පුළුල් සිනහවකින් යුතුව බලා සිටියේය. මගේ පපුව වේගයෙන් රුධිරය පොම්ප කරනු දැනේ. කන්දෙක රත්ව යයි.

"මොකද මේ? බයවෙලා?"

'මම විකුම්. ආටිස්ට් කෙනෙක්. ගම රත්නපුරේ'

විකුම් එදා ඔහුව හඳුන්වාදුන් මොහොතේ ඔහුගේ තිබුණු හඬ පෞර්ෂය එලෙසම පවත්වාගෙන මගෙන් ඇසුවේ සිනහමුසු මුහුණෙනි.

".. හම්මේ තියෙන ආඩම්බරේට නැග්ගේ නැහැනේ කා එකට. තව ඩින්ගෙන් මම ගුටිත් කනවා වටේ උන්ගෙන් පාර බ්ලොක් කරනවා කියලා. ඉතින් ළමයෝ.... මෙතනට එනවා කිව්වා නම් මගෙත් එක්කම එන්න තිබ්බනේ"

ඔහුගේ නෙත්සර මගහරිමින් මම සඟරාව දෙස වරක් දෙවරක් බලමින් අපහසුවෙන් සිනහවක් නගා ගත්තෙමි.

".. හ්ම්ම්?"

විකුම් එලෙස මගේ දෙස බලන්නේ ඇයිදැයි මට දැනුමක් නැතත්, එය අමුත්තක් තිබෙන බව පමණක් වැටහුණි. මම මෝඩ සිනහවක් පෑවෙමි.

දෙදෙනාම තත්පර කිහිපයක නිහඬතාවයක් මැද එකිනෙකා දෙස බලාගත්වනම සිටියා වන්නට ඇත. නිහඬතාවය බිඳගෙන දුරකතනයක් නාදවිය. අප දෙදෙනාම එකිනෙකාගේ දුරකථන පිරික්සුවෙමු. දෙදෙනාටම සිනහවකි, නාද වී ඇත්තේ අවන්හලේ දුරකතනයයි. විකුම් නැවතත් මා දෙස බැලුවේය.

"කෑම ගන්නද ආවේ? නැත්තන්??"

"නෑ.. සිමෙන්ති ගන්න"

විකුම් සිනාසුනේ පුළුල් දසන් පෙළක් සමඟිනි. ඔහුගේ සිනහව ඉතා සිත්ගන්නසුළුය. ඔහු එවර මා සිටි සෝපාව අසලට විත් සිටගත්තේ දෑතම ඉනෙහි රඳවමිනි.

"මම ඇහුවේ, ඩයින් ඉන් ද.. ටේක් අවේ ද කියල?"

"ඒක වේටර්ට කිව්වහම හරි. එයලානේ කෑම ලැස්ති කරන්නේ"

විකුම් දඟකාර සිනහවක් පා සිය වමතින් නිකට පිරිමැද්දේය.

"මිස්.. ටේබල් එක රෙඩි"

මම මගේ බෑගයද අතැතිව නැගී සිටියෙමි. විකුම්ගේ ඇස්වලින් ගැලවෙන්නට මෙන් ලැබුණු අවස්තාව පිළිගනිමින් මම ඉදිරියට පයක් තැබුවා පමණකි.

"කුන්චනා.... "

එහි තිබුනේ අමුතු ස්වරයකි. මම තිගැස්සී විකුම් දෙස බැලුවා නොව බැලුනි.

".. ඔයාගේ ඇස්දෙක මාර ලස්සනයි"

මගේ පපුව නතර වන්නට ඇත.

"තැන්ක්ස්"

මම හිස බිමට බාගත්වනම අවන්හල ඇතුලට ඇවිද ගියේ පැටලෙන දෙපා වලිනි. 

****************************

මතු සබැඳි

Thursday, July 13, 2017

121. දිශානති | forced to box the compass





මාලිමා නැතුව ඇවිදින
පුංචි දේටත් මගේ හාදු ඉල්ලන
අහම්බකාරකයකි උඹ
කුළුණක් වගේ උන්නට...



p.s. මේකත් අර රයිටරේගේ මෙන්න මේ පෝස්ට් එකට ලියපු එකක් 

Wednesday, July 12, 2017

120. පැතුම් සිතුම් | missing it!



බදා තෙරපී තැලී,
පුරුදු සිරුරම පෙළයි
මේ සියුම් තනිකම...

විටෙක දෙකොපුල් හොවයි
ආදර චුම්බන රිසිසේ නිදහස්කළ
තුරුණු මත - ලා පාට....

අහස ගුගුරා
හෙලන වැහිබිඳු,
මුදන මේ සුසුමද
අකම්පිත අකුණක
එළියම පතයි...

එහෙයින්
අකුණු නම් පිපිරිය යුතු,
හඳ පවා
නොබැලියයුතු


Tuesday, July 11, 2017

119. අතුරු ආබාධ| versatile






කවි එක්ක උමතුව
රෑ දිවා වසන එක,
උත්තර බඳින්නට
නියපොතු හපන එක,

අතුරු ආබාධ සහිතය
දොස්තර නලාවට
වැටහෙන්නේ නැත්තේ ඒකය !



ප.ලි.
අර සිතුම් පැතුම් ලියන රයිටරේ එක්ක බැහැ අප්පා.... කවි ලියනවා එකසිය ගානට! ඉතින් මට මෙව්වා වෙනවා. මේ තියෙන්නේ 'මල්ලේ පොල්' ගතියෙන් මම මෙන්න මේ කවියට දාපු උත්තරේ. 



දැක්ක නේද ගැලපිල්ල හරියට තාච්චියේ හදපු ෆ්රුට් සැලඩ් එකක් වගේ ගැලපෙනවා, නේහ් ??? 


 

Sunday, July 9, 2017

118. රතුපාට මල් - 3


රතුපාට මල් - 1
රතුපාට මල් - 2



"එතකොට මෙතැන මොකද්ද මේ තියෙන කැළල ?"

මට එකවරම කිසිවක් කරකියාගත නොහැකි විය.

පන්තියේ මද විවේකයෙන් ලද ඉසිම්බුවෙන් සිසුන් සියල්ලෝම තැන තැන කවාකාර ලෙස රැස්වී, එකිනෙකා හා දොඩමලු වෙමින් සිටියහ. ඒ කිසිවෙකුට අයිති නොමැතිව මගේ ජංගම දුරකතනයට එබෙන්නට හදද්දී, එකවරම මේ මුහුණ ඉදිරියට පැමිණි තෙලෙන් බදිනලද රටකජු ගොට්ටක් විසින් තවදුරටත් සිටිය නොහැකි මගේ වෘතය කඩා දමන ලදී.

ඒ කවරෙකුවත් නොව 'විකුම්' ලෙස හඳුනාගත් 'කලාවට බරැති' වෛද්‍ය ශිෂ්‍යයාය.

තෙම්පරාදු කරනලද දුඹුරු පැහැයට හුරු දම් පැහැති රටකජු විසින් නිරායාසයෙන්ම මා එම කවයේ මුල්ලකට ඈඳා ගන්නා ලදී.

ආගිය තොරතුරු අසා සිටිනවා විනා රටකජු වලට විවරවන මගේ මුව කිසිවකට පිළිතුරු දුන්නේ නැති බැවින් දෙතුන් වරක්ම එලෙස පොළඹවා ගන්නට මුහුණ පුරා වැඩුණු රැවුලකුන් හෙබි , පාංශු දේහදාරී පුද්ගලයා උත්සුක වෙනු මට දැනුනෙන් වඩාත් ඒවා මගහරින්නට මම උත්සුක වීමි.

මාතෘකා මාරු වුයේ රටකජු වලටත් වඩා වේගයෙනි. අවසානයේදී ඒවා උපන්ලප දක්වාම විහිදී ගොස්, ඉහත පැනය මාවෙත අර පුද්ගලයා යොමුකරනතුරුම මම නිහඬව සිටියෙමි.

ඒ පැනයත් සමඟම සියලු ඇස් මගේ දෙසට යොමුවුයෙන් මම පළමුව තැතිගත්තද , දෙවනුව යම් කෝපයක් සමඟම මගේ සුපුරුදු ආවේගයද ඇතුලාන්තයෙන් නැගී එන්නට විය.

"... නෑ මම ඇහුවේ.. ඒක නිකන් කැපුමක් වගේ හින්ද.. උපන් ලපයක් වගේ දෙයක් වෙන්න බෑ.. කැළලක් නේ?"

Thursday, July 6, 2017

117. හොර හිත මගේ






දිනපතා දකින ඔබ
හීනෙන් බදා තොල් සිපින,

වාත්තුකල සිරුර
වෙලන සළුපට හිතින් ගලවන ,

උදෑසන පින්න
සැරදැයි පමණක් අසන,

හොර හිත මගේ
සුදුපාට මුහුණට වැහුන!




Monday, July 3, 2017

116. නිදිකුම්බා




තරු පොරකන දකුණු අහසේ
දේවතා එලි දිහා බලාගෙන,
කිටි කිටියේ තද වෙලා
තණකොළ පලස මත ගුලිවෙලා...

නිදිකුම්බා මල් දෙකක්
නිදි නැතුව
ඇහැරිලා !



Related Posts Plugin for WordPress, Blogger...