Tuesday, March 14, 2017

77. ඔබ ඇවිත් යන්න එන්න... - 14

14
--------------------------------------------------

ම හිටියේ මේ ලෝකේ නෙවෙයි. කෑම - බීම ගැනවත් මට මෙලෝ කල්පනාවක්, උනන්දුවක් තිබ්බේ නැහැ. ඒ මොකක් උනත් අම්මගේ උකුසු ඇස්වලට අහු නොවෙන්න මම සැලකිලිමත් උනා.. අපෝ අම්මට පුදුම ඉවක් තියෙන්නේ.

"අපිටත් මොනවහරි දීපන්.. ජිවිතේ පරදුවට තියලා සපෝට් කරනවට........"

චලනයා බර බරේ දානවා. මට තිබ්බේ කන්දෙකෙන් බේරෙන තරම් සතුටක්.

".......අඩ් ඩ ඩා.. මුගේ තියෙන පෙම්පාට... වැ-ක්-කෙ-රෙ-න-වා"

චලනයා මාව එකසිය ගානට බයිට් කලත් මම ගණන් ගත්තේ නැහැ.

"අනේ මෙහ් ! ඇත්තම කියහන්.. නිකිණි හොඳයි නේද?"

" උඹ වගේ  ඇමරිකන් රිලවෙක්ට කොහොමත් ගැලපෙන්නේ නැහැ"

"අනේ මේ! මගෙන් අහගන්න එපා... මම ඇමරිකන් රිලවා නම් උඹත් ඒකම තමයි.... ඇත්තම කියපන්, නිකිණි හොඳයි නේද?"

"හ්ම්ම්... හැබැයි අක්කා කෙනෙක් කියල හිතන්නවත් බැහැ බන්.... සිරාවට... ඉස්කෝලේ යන කෙල්ලෙක් වගේ"

"ඔව් බන්... මමත් හිතුවේ ක්ලාස් යන කෙල්ලෙක් කියල. අනේ මන්ද බන්... මට අහන්න නම් දේවල් ගොඩක් තියෙනවා"

"ඔව්  ඉතින් උඹට අහගන්න කොයින්ද වෙලාවක්"

"අනේ මේ.... කට වහපන්.........."

මම ඇඳ උඩ තිබ්බ කොට්ටයකින් චලනට ගැහුවා. චලනයා බක බක ගගා හිනාවෙනවා.

"...... ඌරා! යකෝ අපේ තියෙන්නේ පරම පිවිතුරු ප්‍රේමයක් හරිද... තෝ වගේ කුපාඩියෙක් නෙවෙයි මම "



දෙන්නම කොට්ට පොරේ පටන් ගත්තා.

"අය්යේ... අය්යේ..."

නංගි දොරෙන් එබිලා බෙරිහන් දෙනවා.

"මොකද ඕයි ?"

"ආ..... මේ මොකද බිම පෙරලගෙන? අන්න කවුද ඇවිත් හම්බෙන්ඩ "

"මාවද?"

"මාව?"

චලනයි මමයි එකාට පස්සේ එකා ඇහුවා. නංගි ඉනට අත්දෙක ගහගෙන ඉන්නවා ඔරොප්පුවට වගේ.

"ඔයාව අනේ.. කලන අය්යව.."

"කවුද?"

"ජනාධිපතිතුමා...! අනේ මේ... මගෙන් අහන්නේ නැතුව ගිහින් බලනවා වද නොදී"

මම දනි-පනි ගාලා නැගිටලා කමිසයක් දාගෙන සාලෙට දිව්වා. සාලේ දොරකඩ ගාව හිටියේ පිරිමි කෙනෙක්, අඳුරගන්න බැරි උනා එකපාරටම.

"මහත්තයට මාව අඳුරගන්න බැරිද?"

"අඃ ... මේ මේ... අර.. අර තිස්ස අය්යා නේද? ඉඳගන්න ඉඳගන්න"
මට හරි පුදුමයි.

"වාඩිවෙන්න වෙලාවක් නැහැ මහත්තයා. මම මේ ලඟට ආපු ගමන්. මහත්තයා බලලා යන්න ආවේ"

"කමක් නැහැ.. ඉතින් වාඩිවෙන්න. ඉතින් කොහොමද?"

තිස්ස අය්යා! එදා ඇක්සිඩන්ට් එක වෙලාවේ මාව ත්‍රී විලරේ දාගෙන ගියේ.

"වරදක් නැහැ මහත්තයා.. ඔහේ ඉන්නවා. මහත්තයාගේ පර්ස් එක හම්බුනාද?"

"ඔහේ නැහැ අය්යා... ඒක ආයේ හම්බෙන එකක් නැහැ"

" අර හැප්පුන ලෙඩා බලන්න ඊට පස්සේ ගියාද මහත්තයා?"
මගේ කන්දෙක රත් උනා.

"ආ.. ලෙඩාට දැන් හිටියට වඩා සෑහෙන්න ගුණයි"

චලනයා පිටිපස්සෙන් ඇවිත් හිටගෙන. මම කලබල වෙලා වටපිට බැලුවා. නංගි නම් මිදුලේ වැඩක්.

"ෂ් ෂ් .. කට කට! තිස්ස අය්යා.. මේ මගේ මල්ලි.. චලන"

"හා. දෙන්නම නිඹුල්ලු නේද මහත්තය? අනේ වාසනාවන්"

"හි හි.. ඔව්"

යන්තම් කතාව වෙන පැත්තකට හැරුනා. නංගිගේ ඇන්ටනාවට වැටුනොත් ඉවරයි. කෙලින්ම මහා උසාවියේ නඩුව අහන්නේ. දන්නවනේ ගෑනුන්ගේ කටවල්.. නංගි කියලා වෙනස් වෙනවය?

"මහත්තය... මං ආවේ.... මහත්තයට පොඩි ආරාධනාවක් කරන්න"

"මොකද්ද අය්යා?"

"මම ලබන බ්‍රහස්පතින්දා කසාද බඳිනවා..."

"ආනේ.. අහන්නත් සන්තෝසයි. ඉතින් ඉතින්..."

"මහත්තයා මගේ කසාදෙට එන්න ඕනේ"

තිස්ස අය්යා නැගිටලා දෝතින්ම මගේ දිහාට කාඩ් එකක් දික් කළා. මමත් හිනාවෙලා ඒක අතට ගත්තා.

"කොහෙද අය්යාගේ ගෙවල්?"

"පුජාපිටියේ.... ටවුමෙමයි. මම ගෙදරට එන හැටි ඕකේ ලියලා ඇති. පුංචි උත්සවයක්. ලොකුවට ගන්න අපිට බැහැනේ මහත්තය.. මහත්තයට පුළුවනි නේද එන්න?"

මම හිනා උනා. අවංක කතාව කෙලින්. බොරු සෝබන නැහැ.

"ලබන බ්‍රහස්පතින්දා නේද? ම්ම්.. අපි එන්නම්"

"එහෙනම් මම ගිහින් එන්නද මහත්තය?"

"ඉන්න තේකක් බීල යන්න."

චලන කිව්වා. මේ මනුස්සයට තේ එකක් දෙන්න මට මතක් උනේ වත් නැහැ. නංගි පේන්න නැහැ. අම්මත් නැන්දලාගේ ගෙදර ගිහින්.

"එපා මහත්තය. තව තැන් දෙකකට යන්නත් තියෙනවා. හවස හයර් වැඩි වෙලාවට පාරේ ඉන්න ඕනේ මොනවා උනත්. ඔන්න එහෙනම් මහත්තය එනවා නේද?"

මම තිස්ස අයගේ පිටට තට්ටුවක් දැම්ම.

"හරි හරි.. එන්නම්.. ඒත් ආයෙමත් මට මහත්තයා කියන්න එපා, කලන මල්ලි කියන්න. නැත්තම් නිකම්ම කලන කිව්වහම හොඳටම ඇති. මහත්තයා කියන්න තරම් අබ්ලික් වයසකයැ මම ඉන්නේ?"

තිස්ස අය්යා හිනා උනා.

"මම එහෙනම් මම ගිහින් එන්නම්."

තිස්ස අය්යා පිටවෙලා ගියාට පස්සේ මම අතේ තිබ්බ වෙඩින් කාඩ් එක දිග ඇරලා බැලුව. ටිකක් බාල පාට උනත් රත්තරන් හදවතක්!

"හරියට පින් සිද්දවෙන දානයක් තමයි දෙන්න යන්නේ.."

චලනයා මාව බයිට් කරන්න ගත්තා.

"ඩිංගක් කට පියාගෙන හිටපන්කෝ. තව ඩින්ගෙන් උඹ මෙතන වන කරනවා. නංගිගේ ඇන්ටනාවට අහු උනොත් ඉවරයි"

චලනයා උගේ කොලු හිනාව දැම්මා. ඌ හොඳ එකා.

"උඹ ඔතරම් බයේ කොහොමද බන් ලව් කරන්නේ? හිටපන්කෝ මේ මම වගේ. රම්බෝ වගේ"

"අනේ මගේ.. &$^*&(*&*!"

මගේ කටට ආපුවා ඉතින් කියල වැඩක් නැහැ. ඒත් චලනයා විහිළුවෙන් වගේ කිව්ව දේ මගේ බොක්කටම වැදුනා.
මම කරන්නේ භයානක වැඩක්. ඒකට මගේ හිතේ දෙගිඩියාවක්, බයක් තිබිලා කොහොමද? නිකිනිගේ අර 'මහත්තයට' බය නැතුව මම නිකිණි වෙනුවෙන් ඉන්න ඕනේ.
----------------------------

වොෂ් එකකුත් දාගෙන, නංගිට බර බරේ දාල ඇඳුමකුත් අයන් කරගෙන සුවඳ ගගහා මම එලියට බැස්සේ චලනගේ කටේ ප්ලාස්ටර් අලවලා.

අද නිකිනිව මුලින්ම මගේ ගර්ල් විදියට මුණගැහෙනවා. මාව බම්ප් වෙනවා වගේ. ඔලුව එක එක අදහස් වලින් පිරිලා. මොකද්ද මුලින්ම කරන්න ඕනේ.... අප්පා පපුවේ අමාරුව හැදෙන්න වගේ.

බස් එකට නැගලා හිටගත්ත ගමන් ක්ලාස් වල හිටපු කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. එබිකම් කරාට මම නෙවෙයි දනිස්සෙන් පහලටවත් ගණන් ගත්තේ. නිකිණි වගේ කොහෙද?

"කලන!"

මම ගැස්සුනා. මලා! අදිති !! චිරනිගේ යාළුවා. මෙයා කොහෙද මෙහෙ?

"ආ.. ආ.. අදිති"

"කොහොමද ඉතින්? හුඟ කාලෙකට පස්සේ"

"ඔව්.. හුඟ කාලෙකට පස්සේ නම් තමයි. වරදක් නැහැ, හොඳින් ඉන්නවා"

අදිති මගේ දිහා බලපු බැල්ම නම් ඇල්ලුවේ නැහැ.

"එග්සෑම් හොඳද?"

"අවුලක් නැහැ"

අදිති කතාකලේ හුස්ම හිරකරගෙන හරිම කෘතීම විදියට. අදිති මොකක් හරි අහන්න තටමනවා කියල මට තේරුනේ.

"කො.. හෙද මෙහෙ?"

"යාළුවො එක්ක මාළිගාවේ යනවා. චි-ර-නිත් එනවා."

හතරැස් කොටුවක් උගුරේ හිරවෙලා එලියට දැම්මා වගෙයි අදිති කිව්වේ. මගෙත් පපුව 'ඩග්‍' ගෑවා. 'චිරනි'.. මගේ කට කොනට යන්තම් හිනාවක් ආවා.ඒත් වචනයක් ආවේ නැහැ.

"මට.. චිරනි කිව්වා"

"මොනවද?"

"ඔයා එයාව ඩම්ප් කළා කියල"
මගේ කට කොනේ හිනාව ආයෙමත්.

"එයා එහෙමද කිව්වේ?"

"ඇයි ? ඔයා අන්තිමට ක්ලාස් තිබ්බ දවසේ එයාට මහා පිරිස මැද්දෙම හොඳටම බැන්නලු, පවු කලන"

මගේ හිත ඇතුලේ යක්ෂයෙක් කෙකර ගගා හිනා උනා. ඒ ඇයි දන්නේ නැහැ.

"මම බැන්නා තමයි. ඒත් එයා කිව්වද මම මොනවා කියලද බැන්නේ කියල?"

"................."

"කිව්වේ නැද්ද?"

"එහෙම විශේෂ මුකුත් කිව්වේ නැහැ"

"එයා හැමෝම එක්ක ඒ ටික නම් කියන්න නැතුව ඇති. ඒත් එයාගේ හිත දන්නවා"

මට තරහ ගියා. බස් එකේ එක ළඟ සීට් දෙකක් හිස් උනා. අදිති වාඩිවෙලා මටත් වාඩිවෙන්න සන් කළා. මම ඉඳගත්තේ ඔලුව පහලට කරගෙන.

"ඔය දෙන්නා රණ්ඩු උනානේ කොහොමහරි. ඇයි කලන ඔයා චිරනිට බැන්නේ ? මට අහනකොටත් පුදුම හිතුනා"

"එයා හුඟක් වෙනස් උනා අදිති , ඔයා දන්නේ නැහැ. මම මේවා චලනයාට වත් කිව්වේ නැහැ. එයාගේ අර මහා ලොකු.... මහේෂ් කියලා එකෙක් ඉන්නේ. ඌත් එක්ක ට්‍රිප් එක ගියපු දවසේ ඉඳල චිරනි අමුතුයි. ඉතිරිටික මම කියන්න ඕන නැහැනේ.."

අදිති මුකුත් කියන්නේ නැතුව අහගෙන හිටියා.

".. මම get-together එකට ආවේ නැත්තෙත් ඒ නිසා. මම දන්නවා.. කොල්ලෝ මට හිනා වෙනවා"

"මොකටද?"

"චිරනිගේ හිත එක තැනක නැහැ අදිති . මට ඒක හොඳටම තේරුනා. මහේෂ් කියන එකාගේ කතාව කාගේත් ප්‍රසිද්ධ රහසක් කියලත් මම දන්නවා. ඉතින් මට හිනා වෙන්නේ නැද්ද? මගේ ඇස්දෙක ඇරුනා. "

අදිති මුකුත්ම කියන්නේ නැතුව බලාගෙන හිටියා.

"චිරනි  මට බැන බැන ඇති හැමතැනම, මම ඒක දන්නවා. ඒ උනාට මටත් ලැජ්ජාවක් කියල එකක් තියෙනවා. එයා ඒක දැනගන්න ඕනේ. "

මම ඒ ටිකත් කියලා දැම්මා.

"මන්දා කලන... මම ඕව දන්නේ නැහැ"

අදිති එහෙම කිව්වේ ඇඟ බේරගන්න බව මට හොඳටම තේරුනා. අදිතියි ඉතිරි කෙල්ලො දෙතුන්දෙනායි වැව රවුමෙන් බැස්සා. මගේ ඇස් නිකමට හෝල්ට් එක දිහා බැලුනේ හිතන්නෙවත් නැතුවයි.

චිරනි! හෝල්ට් එකේ කාගෙත් එක්කදෝ කතාවක් දාගෙන ඉදලා ,අදිති බස් එකෙන් බහිනවා දැකලා මේ පැත්ත බැලුවා. ඒ තත්පරේට අපි දෙන්නගේ ඇස් යාන්තමට ගෑවිලා ගියේ බස් එක ඇද්දුව නිසා. 
මම ආපහු හැරිලාවත් බැලුවෙ නැති උනාට මගේ හිත යන්තමට පෑරැනා. 
චිරනිගේ ලස්සනින් මට වැඩක් නෑ! 
මගේ හිත සියවෙන පාරටත් මිමිනුවා. මොකක්දෝ වෙහෙසක් දැනුනේ. දුකක්ද මන්දා. බොගම්බර ක්‍රිඩාංගනය ගාවට මම යනකොටත් විනාඩි පහක් පරක්කුයි. කෝ මගේ නිකිනි?

ග්‍රවුන්ඩ් එකේ පැත්තක තිබ්බ සුදුපාට ලෑන්ඩ් කෘසර් එකකින් නිකිනි බහිනකොට එයා දාගෙන හිටපු අවුකණ්නාඩි වලට මට පෙනුනේ නිලියක් වගේ. අම්බෝ මාව කික් වෙලා ගියා. ඇයි නිකිනි මෙහෙම අදින්නෙ නැත්තෙ හැමදාම?

"අනේ සොරි.. මම පරක්කු උනා"

"ඒකට කමක් නැහැ. බස් එකේද ආවේ?"

නිකිණි අවු කණ්නාඩි ගලවලා හිනා උනා. මගේ සුරංගනාවී!

"කොහෙටද යන්නේ?"

"මේ පාරෙන් ගියොත් හොස්පිටල් එකට.. මේ පාරෙන් ගියොත් ජේල් එකට.. කලනට යන්න ඕනේ මොනපාරේද?.........."

නිකිණි හරියට පොඩි ළමයෙක් වගේ.

"ජේල් එකට!"

"ඇයි හොස්පිටල් එක හොඳ නැද්ද?"

"ඒකට ගිහින්නේ අපි දෙන්නම ආවේ"

අපි දෙන්නම ඒකට හිනා උනා. රෝහලේදී ඒ මුණගැහිම කොච්චර දුර ගියාද?

"යමු"

නිකිණි ඔලුව ඇල කරලා කිව්වා.

"කා එකේ?"

"නැහැ.. පයින්.. අපායට උනත් පයින් යන්න ඕනේ"

නිකිණි කාර් එක ලොක් කරලා මගේ දිහා බැලුව.
ආයෙමත් අර මන්මත් කරවන සුවඳ. මට මේ කෙල්ලව උස්සගෙන දුවන්න හිතෙනවා. අපි දෙන්නා බෝගම්බර ක්‍රීඩාංගනේ ළඟින් හැරිලා උඩ පාරට ආවා. ඒ පාර හරිම නිස්කලංකයි. ටික දුරක් යනකොට මම හෙමීට නිකිනිගේ අත අල්ල ගත්තා, සිනිදු ඒ අතට මම හරි ලෝබයි.

"ඔයාගේ මල්ලිද.. අය්යාද මන්ද... ඔය දෙන්නම හරියටම එක වගේ. එදා කාන්ති හොඳටම රැවටිලා"

"රැවටිලාදත් අහනවා.. චලනයා මාව කන්න හදනවා ගෙදර ගිහින්. ඌ එතන හිටපු කෙල්ලට පැණිය දාගෙන ඉන්නකොට කාන්ති ඇවිත් ඔයා ගැන කියෙව්වලු. කෙල්ල ගස්සලා අහක බලාගෙන"

නිකිණි මුණ රතු කරගෙන හිනා වෙනවා.

"කාන්ති බය වෙලා ඔයා වෙන කෙල්ලෙක් දිහා බලාගෙන ඉන්නවා දැකලා. අනේ ඇත්තට.. ඔය දෙන්නා මොකද එක විදියටම අඳින්නේ?"

"ඒක අපි දෙන්නා පොඩිකාලේ ඉඳන්ම කරපු දෙයක්, දැන් පුරුද්දට ගිහින්. ඌ හරි හොඳ එකා. අපි දෙන්නා එකවගේ උනාට.. මගේ මෙතන වෙනස්"

මම මගේ පපුවට තට්ටුවක් දැම්මා. නිකිණි හිනා වෙනවා.

"How sweet !"

"ඌ මට කොච්චර බැන්නත්, අපි දෙන්නා කොච්චර ගහගත්තත්. අපි දෙන්නට අපි දෙන්නව නැතුව බෑ "

"How sweet !"

"මට ස්වීට් කියන්න එපා අය්යෝ"

මම නිකිනිගේ බඳ වටේ අතක් දාන්න යනකොටම කෙල්ල අහකට පැන්නා. බොරු නෝක්කාඩු මුණක් තිබ්බේ. මාව මොකද්ද උනා වගේ.

"ඔයා ස්වීට් තමයි බේබි. ඇත්තටම. තවත් කියන්න එපා, මට පිස්සු හැදෙයි. මම ඒ තරමටම ඔයාට පිස්සු වැටිලා"

මම නිකිනිව ඇදලා ගන්න හැදුවේ, කෙල්ල ආයෙමත් අහකට පැනගත්තා. වටපිට බැලුවත් කවුරුවත් හිටියේ නැහැ. යන්තම් අත දික්කලාම අතින් නම් අල්ලගත්තා. නිකිණි මගේ මුළු අතම බදාගෙන.

"මම කරන්නේ වැරද්දක් කලන. ලොකුම ලොකු වැරද්දක්... මට අයිතියක් නැහැ මේ වගේ  අපරාධයක් කරන්න"

"ඔය ඇති.. ඕව කියලා මාව රවට්ටගන්න හදන්න එපා. රැවටෙන්නේ නැහැ මම නම්!........"

නිකිණි ඇස්දෙක රවුම් කරලා මගේ දිහා බැලුවා. අල්ලලා මිරිකන්න හිතෙනවා.

"... මම මොකටද බොරු කියන්නේ.. මම තවත් කෙල්ලෝ දිහා බලනවා"

මම එහෙම කිව්වේ හිතලා නෙවෙයි. නිකිණි මගේ දිහා බලාගෙනම යන්තම් හිනා උනා.

"ඉතින්.. මට මොකද?"

මම හිතුවේ නැහැ එහෙම උත්තරයක් ලැබෙයි කියලා.

"... මම මුකුත් කියන්නේ නැහැ කලන. ඔය කොච්චර කෙල්ලෝ දිහා බැලුවත්, කෙල්ලෝ ආශ්‍රය කලත් මම ඔයාට නීති දාන්නේ නැහැ... මම ආදරේ කරන්නේ ඔයාට, එච්චරයි"

"ඔයාට ඉරිසියා හිතුනේ නැද්ද?"

"නැහැ.. එකපාරටම හිතුනේ නැහැ. තමන් කැමති දෙයක් කරන්න ඔයාට අයිතියක් තියෙනවා. මම කොහොමද ඒ අයිතිය නෑ කියන්නේ. ඔයා රහත් වෙලාය?.. ඒ උනාට... ටිකක් විතර ඉරිසියාවක් හිතෙන්නත් පුළුවන්, තාම නම් නෑ "

මට හරි පුදුමයි. මට දැනුනේ සැහැල්ලුවක්. නිකිණි නිදහස්ව හිතන කෙනෙක්, මෝඩ සිමා නැහැ.

".. මම දන්නවා ඔයා පැණි පොරක් කියලා"

"පැණියා? පැණියා කිව්වා නේද මට?"

"පැණියා තමයි. බලන විදිය.. ඔන්න ඔය....! පැණි මුට්ටියක්"

"හ්ම්ම් හ්ම්ම් මටත් හොඳයි... කෙල්ලෝ හතර පස් දෙනෙක්ම තියාගත්තෑකි , ඔන්න ඔයා තමයි කිව්වේ හොඳද... අර කාශ්‍යප රජ්ජුරුවෝ වගේ.. අන්තඃපුරේ මැද්දේ..."

"චෙප් කියන කතා"

නිකිණි මුණ රතු කරගෙන මගේ අත කෙනිත්තුවා. විදුලියක් මගේ අත දිගේ ගියා වගේ.

"ඉතින් ඔයානේ කිව්වේ"

"ඔන්න ඉතින්.... ඒකත් හිතුවේ කැත විදියට"

අයිස්ක්‍රීම් කාරයෙක් ආව. මම නිකිණි දිහා බැලුවා.

"අයිස්ක්‍රීම් කමුද?"

"හා"

නිකිණි පොඩි එකෙක් වගේ උඩ පැන්නා. මම චොක්ලට් අයිස්ක්‍රීම් දෙකක් ගත්තා. යාන්තම් ගෙදර යන්න බස් එකට සල්ලි විතරයි ඉතුරු පර්ස් එකේ.

"ඔයා චොක්ලට් කන්න ආසද?"

"ආස? ආසයි නෙවේ පෙරේතයි"

නිකිණි ළඟම තිබ්බ හෙවනට වෙලා අයිස්ක්‍රීම් එක කන්න පටන් ගත්තා. බලාගෙන ඉන්න ආසයි ඒ වැඩ. ළඟ ඉන්නකොට දැනෙන සුවඳ නම් කියලා වැඩක් නැහැ.

"කෙල්ලන්ට චොක්ලට් දීලා රවට්ටන්න පුළුවන් එහෙනම්"

"හා... එහෙමද හිතාගෙන ඉන්නේ.. එක්ස්පිරියන්ස් වලින් වෙන්න ඇති කියන්නේ"
මම හිනා උනා විතරයි.

".. හා හා... මූනෙන් කියන්න පුළුවන්. දැනට කි දෙනෙක් එහෙම රවට්ටගෙන තියෙනවද?"

මගේ හිතට ආවේ චිරනි. අපි දෙන්න මුලින්ම කතාකලේ චොක්ලට් එකක් හින්දා. ඒත් .. චිරනි ගැන නිකිනිට කියන්න හොඳම වෙලාව මේකද කියලා මම දන්නේ නැහැ. ඒක හිතේ තුවාලයක් වගේ වේදනා දෙනවා. මගේ හිත රත් උනා.

"ඔයත් එක්ක ගත්තම... විස්සක් විතර?"

"අප්පෝ.. එච්චරද.. මදිනේ?"

"ඔයා කීයකට දැල් දාල තියෙනවද? පනහකට?"

නිකිණි යන්තම් හිනා උනා. මට දුක හිතුනා. මම ඇහුවේ වැරැද්දක්ද? නිකිනිගේ අයිස්ක්‍රීම් එක දියවෙලා අත දිගේ යනවා.

".. මම විහිලුවට ඇහුවේ... ඔයාට දුක හිතුනද?"

"නෑ... නෑ කලන.. ඇත්තටම මට අයිතියක් නැහැ ඒ වගේ විහිළුවක් ඔයාට කරන්න"

"ඇයි ?"

නිකිණි අසරණ, මෘදු බැල්මකින් මගේ ඇස්දෙක දිහා බැලුවා.

"ඔයා මම ගැන මොනවද හිතන්නේ කලන?"

එකපාරටම එහෙම ඇහුවම මාව මාළු කටුවක් හිරවෙච්ච බළලෙක් වගේ කොර උනා.

"ඈ.. ඇයි ?"

"මම මේක කියන්න කලින්... මම ගැන හිතාගෙන හිටියේ කොහොමද කියා දැනගන්න.. මොකද මම මේක කිව්වහම... ඔයා මම ගැන හිතන විදිය ගොඩක් වෙනස් වෙන්නත් පුළුවන්...."

"මොකද්ද?"

"ඔයා හිතනවා ඇති... බැඳපු මනුස්සයා පැත්තක ඉන්නකොට.. වෙන මිනිහෙක් පස්සෙන් මෙහෙම එන්න මට පුදුම විසයක් තියෙනවා කියලා"

නිකිණි අයිස්ක්‍රීම් එක දිහා බලාගෙනම කිව්වා. ඒක හොඳටම දියවෙලා.

"ආ... කතාවෙන් කොහොමහරි මට 'මිනිහා' කිව්වා නේද?"

මම නිකිනිව හිනස්සන්න කිව්වත්, නිකිනිගේ මදහස වැඩිවෙලා තිබ්බේ නැහැ.

"... ඔයාට එහෙම හිතෙන්නත් ඇති. ඕනෙම කෙනෙකුට එහෙම හිතෙනවා. බැඳපු ගෑනියෙක් දිහා මිනිස්සු බලන්නේ එක විදියකට. ඒක වැරදිමත් කියනවා නෙවෙයි, මට ඒක හුඟක් දැනිලා තියෙනවා

ඒ හඬේ තිබ්බේ දුක්බර බවක්.

"අපි වෙන දෙයක් ගැන කතාකරමු නිකිණි. ඔයා දුක් වෙනවට මම කැමති නැහැ"

"නෑ කලන.. මට අමුතුවෙන් දුකක් දැනුනේ නැහැ. දුක හංගලාත් මට පුරුදුයි. මේ හැම දෙයක්ම ඔයා මුලදීම දැනගන්න ඕනේ. මම ගැන කොහොම හිතුවත් මට දුකක් නැහැ. තරහත් නැහැ. නමුත් ඔයාට මට ඇත්ත කියන්න ඕනේ.  ඔයාට කියන්න වැදගත් දේවල් ගොඩක් තියෙනවා කලන."

අහගෙන ඉන්න ඕනෙකමක් වගේම, නිකිනිට දුක් දිදී, අහගන්න බැරි අකමැත්තකුත් මට ඇති උන නමුත් මම බාධා කරන්නේ නැතුව අහගෙන හිටියා.

"ඔයා හිතන්න ඇති, මම චානකව බැන්දේ අම්මලාගේ කැමැත්තෙන්, මගේ අකමැත්තෙන් කියලා. එහෙම නෙවෙයි කලන, මම චානකව බැන්දේ අම්මලා අකමැත්තෙන්, මගේ තනි කැමැත්තට. අම්මලා මාව එලියට දැම්මා. අපි දෙන්නා ආශ්‍රය කරලා තිබ්බේ මාස හයක් විතරයි..."

මගේ කනට කවුදෝ කටුවකින් අනිනවා වගේ. මේ කතාව මට අහගෙන ඉන්න බැහැ වගේ. ඒත් විරේකයක් විදියටවත් මම අහගෙන ඉන්න ඕනේ.

".. මම දැනගෙන හිටියේ නැහැ චානක ගැන මොකවත්ම. මම හෙව්වෙත් නැහැ. මට ඇත්ත පේනකොට මම ගොඩක් පරක්කුයි කලන. මට වඩා අවුරුදු දහයක් වැඩිමල් කෙනෙක්ව බැඳලා, මම කරගත්ත මෝඩකම තේරෙනකොට මම පරක්කු වැඩියි.... ඉස්කෝලෙන් අවුට් උනා විතරයි... මම චානක මට මවපු ලෝකෙට රැවටුනා"

නිකිණි මගේ එක අතකට වාරු උනා. මම අනික් අතේ තිබ්බ අයිස්ක්‍රීම් එක බිමට දාල නිකිනිව යන්තමට තුරුල් කරගන්න හැදුවත්, එයා ආයෙමත් එහාට උනා.

"නිකිණි.. බබා.. ඔයා අඬනවද ?"

මම නිකිනිගේ ඔලුව අතාගෑවා. නිකිණි යන්තමට මගේ දිහා බැලුවා. ඒ කාන්තිමත් ඇස්දෙක හොඳටම දුකෙන් බර වෙලා තිබ්බත් කඳුළු තිබ්බේ නැහැ.

"නෑ කලන.. මම අඬන්නේ නැහැ. මට අඬන්න කඳුළු නැහැ. ඔයා තවත් මේ කතාව අහගෙන ඉන්න කැමති වෙන එකක් නැහැ"

"නෑ නිකිණි, මම අහගෙන ඉන්නේ"

"ඔයාගේ හිත ඔයාට කියනවා වේදනාවයි කියල, එහෙම නේද? මම කියන්නේ බොරුද?"

මම 'ඔව්' කියන්න වගේ ඔලුව වැනුවා. නිකිණි යටිතොල හපාගෙන මගේ දිහා බලාගෙන හිටියා තත්පර කීපයක්.

".... ඔයා.. ඔයා තාමත් පරක්කු නැහැ කලන.. ඔයාට ඕනේ වෙලාවක මේ සම්බන්දෙ නතර කරන්න පුළුවන්"

"නිකිණි!"

"මගේ මේ නාස්තිවෙලා ගියපු ජිවිතේ වෙනුවෙන්.. තාමත් පටන්ගනවත් නැති ඔයාගේ ජිවිතේ බිලිදෙන්න මට මගේ හිත සමාවක් දෙන්නේ නැහැ කලන... මම ඔයාට ආදරේ කලාට.. ඔයාට තහනමක් නැහැ මාව දාල යන්න. මගේ හිතේ වෛරයක් නැහැ කලන.. ඇත්තමයි"

"නිකිණි.. ආයෙමත් ඔය කතාව කියනන් එපා... ආයෙමත් .. විහිළුවටවත් ඔය කතාව කිව්වොත්.. මම සදහටම තරහ වෙනවා.... ඒක ඔයාට ඊට වඩා පව්. මේක බොරුවක් නෙවෙයි බබෝ... මගේ පපුව පලලා බලන්න පුළුවන් නම් පෙනෙයි"

මම නිකිනිගේ මුණ මගේ අත්දෙකට මැදිකරලා අල්ලාගත්තේ ආවේගයටමයි.

"...මාව දාල යන්න එපා නිකිණි... මට ඒක ඉවසගන්න බැරිවෙයි"

අපි දෙන්නා ආයෙමත් එකිනෙකා දිහා බලාගෙන... නිකිණි පූසියක් වගේ අවනත වෙලා මගේ ළඟට ලං උනා.
ඉඹින්න ඕනේ... මහපාර නිසාත්, මගේ මල්පෙත්ත තලන්න බැරි නිසාත් මම තත්පර තුනක්, හරියටම තත්පර තුනක් තුරුල් කරගෙන හිටියා. නිකිනිගේ සුවඳ මගේ වටේ කැරකිලා මාව උන්මාද කරවන තරම්.

ඒක හරිම පිවිතුරු හමුවීමක්.



*************************


ප.ලි. : සෝදුපත් නොබැලුවත් ස්තුතියි.

16 comments:

  1. "නිකිණි මට බැන බැන ඇති හැමතැනම, මම ඒක දන්නවා. ඒ උනාට මටත් ලැජ්ජාවක් කියල එකක් තියෙනවා. එයා ඒක දැනගන්න ඕනේ" Oka Chirani nemeida???

    ReplyDelete
    Replies
    1. හැදුවා.. ස්තුතියි

      Delete
  2. සෝදුපත් බැලුවානම් ගේට්ටු ගේදර් වගේ ඒවා අහුවෙන්න තිබ්බා.. අවුලක් නෑ.. මොකද මේක හරිම පිවිතුරු හමුවීමක්..

    ReplyDelete
    Replies
    1. අපෝයි.. මුන් එක්ක බැහැ අප්පා.. හැදුවා ඒකත් . කෝ ඉතින් මට සෝදුපත් බලන්න කවුරුත් නැහැ. මේකත් මාර අමාරුවෙන් තමයි ටයිප් කරලා ඉවර කරගත්තේ.

      Delete
  3. ලියල ආපහු කියවල වැරදි හදල හිමිහිට දාන්න. හදිස්සියක් නෑ.

    ReplyDelete
    Replies
    1. තව වැරදි තියෙනවද?
      (පෙර වැරදි එහෙම නෙවෙයි හොඳේ?)

      Delete
  4. umbata nathi unata apita hadissiii

    ReplyDelete
  5. මේක කියවන්න පටන්ගත්තෙ අද. ඔක්කොම එකපාර කියවන්නෝනේ.

    ReplyDelete
    Replies
    1. ආවට ස්තුතියි... හැබෑටම කොහෙන්ද ලින්ක් එක? මගේ ඇඩ් එක වැඩකරලද ? ;-)

      Delete
  6. සියළම කොටස් පැය 3 ක් විතර අරගෙන කියවලා ඉවර කලෙමි...

    කියන්නට ඇත්තේ එකම දෙයකි... අති විශිෂ්ඨයි සර් !!! (සොරි මැඩම් !!!)

    ඔයා කථාව හොඳට ගලපලා තියෙනවා... කුතුහලය උපරිමයෙන් මේන්ටේන් කරගෙන යනවා... අවුරුදු 18 දී ලියාපු කථාවක් කිව්ව නේද ? ඒ වයසෙන් මෙහෙම ලිව්වා කියන්නේ ඇත්තටම විශිෂ්ඨයි!!!

    කමෙන්ට්, හිට් ගැන හිතන්න එපා සහෝදරී... දිගටම ලියන්න... මේක මල් කථාවක් වෙන්නැති. නමුත් කථාවක් ගොඩ නගන එකත් ලේසි කාරණයක් නෙවෙයි. මේවා මල් කථා කියලා කියන ප්‍රබුද්ධ විචාරකයන්ට පේලි හතරක් එකතු කරලා කවියක් වත් ගොතා ගන්න තරමේ නිර්මාණශීලීත්වයක් වත් නෑ... ඒක නිසා, සැලෙන්න එපා !!! ඔහොම යන්...

    Twins කන්සෙප්ට් එක මරු... දෙබස් හා කථාව ගොඩ නැංවීමත් මරු... මට පේන්නම බැරි දේ තමා ඊලඟ කොටස කියලා නිකම්ම ලියලා ලින්ක් නොකර තියෙන එක !!!

    ඔයාගේ ඇඩ් එකෙන් තමා පාර හොයාගත්තේ... මෙච්චර කල් දන්නෑනේ බ්ලොග් එකක් කරනවා කියලා... ඔන්න ආයෙත් මිස් වෙන්නෑ... follow එකක් දැම්මා...

    බ්ලොගින් වලට ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. බොහොම ස්තුතියි!
      ලින්ක් එක දැම්මේ ඉවසගෙන ඉන්න බැරි නිසා ( සින්බු නිසා අනේ)

      හොඳයි නම් ෂේප්.. බලමුකෝ ඉස්සරහට නේද?

      Delete
    2. 'ඊලඟ කොටස' link කරලා තිබුනේ නැත්නම්, බලාගමු හරිය !!!

      Delete
    3. මේ දානවා.. මේ දානවා තුමනි!

      Delete
  7. උදේ පාන්දර නැගිටලා ඔන්න මේ කියවන් යන්නෙ..හරි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දවසම කෑවා කියලා පස්සේ චෝදනා කරන්න ඔට්ටු නැහැ හොඳේ?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...