ඒ ඇස් ඇත්තටම තිබ්බේ මගේ ගාව නෙවෙයි... මගේ කොට සායේ යටම කොටසේ තැනක ඩිංගක් විතර පැටලිලා තිබුණු බැල්ම ඉවත්වෙලා ගිහින් රැඳිලා තිබ්බේ නිකම්ම නිකම් අවකාශයේ.
"මට බැහැ"
වමතින් යන්තමට තියෙන රැවුල් කොට අතගාන ගමන් ඔහු කිව්වේ විධානයකින් වගේ නෙවෙයි. පොඩ්ඩක් විතර අමුතු විනෝදකාමී හඬකින්.
"මොකද බැරි?"
මම එහෙම ඇහුවම ඔහු මුලින්ම කලේ ආපහු හැරිලා අපිට මීටර් සීයක් විතර දුරින් හොරගල් අහුලනවා වගේ එහාට මෙහාට ඇවිදිමින් හිටපු යාලුවා ; ඇත්තටම කිව්වොත් ඔහුගේ සුනඛ යාළුවා; දිහා බලපු එක. ඊට පස්සේ ඔලුව ඇල කරලා මගේ දිහා බැලුවා. බලන්න බෑ , ඉතින් මම අහකට ඇස්දෙක හැරෙව්වට ඔලුව ඔන්න එහෙම්මමයි!
"බැරි ඉතින් බැරි නිසා. අපි මේ කතාව නවත්තමු"
මටත් ඕනේ කලේ මේ කතාව නතර කරන්න තමයි. ඒ උනාට මගේ පෙර සුදානමක් තිබ්බේ නැහැ නවත්තන්න. ඉතින් මම ඔහේ බලාගෙන හිටියේ කළුවර වැටෙනවා බලාගෙන ඉන්න කුමුදු මලක් වගේ.
"අපි යමුද?"
මම පාරේ අනික් පැත්තට ඇවිදින්න හැදුවම ඔහු එකපාරටම මගේ පොත් තිබ්බ බෑග් එකෙන් ඇදලා ගත්තා. මාව විසිවෙලා ආවේ පරඩලක් වගේ.
".. මොකද කරන්නේ? පිස්සුද?"
එහෙම ඇහුවේ ඇත්තටම තරහින් තමයි.
"සුවඳයි... මොකද්ද පර්ෆියුම් එක?"
************************************
"මගේ දිහා බලන්න!"
මම ඒ පාර නම් පොඩ්ඩක් සැරෙන් වගේ කතා කළා.
"ආ... ඒක නම් පුළුවන්. ලස්සන නහය.. ක්ලියෝපැට්‍රාගේ වගේ"
හම්මේ එහෙම බැල්මක්! මගේ ජීවිතේම මරාගෙන මැරෙන්න පුළුවන් ඒ බැල්මට නම්. මම හිනා නොවී රැව්වා තමයි උනත් ලැජ්ජාවට කන්දෙකෙන් දුන් පිටවෙනවා වගේ දැනුනේ.
"මාව distract කරන්න එපා... කියන දේ අහගන්න"
මම දබර ඇඟිල්ල උලුක් කරලා , ඔලුවත් ඇල කරලා තර්ජනය කලාම ඔහු පුටුවේ ඇන්දට හේත්තු වෙලා හිනාවෙන්න ගත්තා.
"... මොකද හිනාවෙන්න?"
"ඒ කියන්නේ ඔයා එහෙම කිව්වහම distract වෙනවා... හ්ම්ම් හ්ම්ම්... "
"මේ.... පිස්සු නටන්න එපා.. කියන දේ අහගන්න"
"හා හොඳයි මැඩම් !"
"ඇත්තටම මම මේ කියන්නේ... ඇත්තටම ඇත්තට... දැන් ඔයා අම්මට කියන්න ඕනේ යන්න කැමතියි කියල. එහෙ කැම්පස් යන එක කොහොමත් හොඳයි... ම... ම...."
මගේ උගුර පැටලෙන්න ආවා. හිනාවෙවී හිටපු ඔහු එකපාරටම මගේ අත ඇදල අරගෙන මගේ පිටි අල්ල සිපගත්තේ මම හිතන්නත් කලින්.
"මට බෑ ! මම ඔයා නැතුව යන්න බෑ "
මම ගොළු උනා තමයි. ඒ උනාට බත්හැලියේ අන්තිම දන්කුඩේ හූරල ගන්නවා වගේ මම පුළුවන් ඉක්මනින් වචනයක් හොයන්න ගත්තා. අත හිරිවැටිලා. මාව ගැහෙන්න ගත්තේ මැලේරියාව හැදුන එකෙක් වගේ.
"පි.. පි.. පිස්සුද ඔයාට?"
මම අත ඇදලා ගන්නකොට ඒ එක්කම ඔහේගේ අතත් ඇදිලා ආව. අපි දෙන්නගේ ඇස් හමු උනේ ඒ මොහොතේ. මම ගිණිකන වැටිච්ච හාවෙක් වගේ නොහෙල්ලි, ගල්වෙලා බලාගෙන උන්නා.
"මමත් කියන්නේ ඇත්තටම.. ඇත්තම ඇත්තට"
භුකම්පනයකට මුණ දුන්න මගේ ඇතුලාන්තය දෙදරමින් එකිනෙක කඩාගෙන වැටෙනවා දැනුනේ බඩේ පත්තුවන ගින්දර හින්දමයි. මගේ හිත මම තදකරගන්න හැදුවා.
"එපා... ඔයා... ම.. "
මට තාමත් පළවෙනියට කියන්න ඕනේ දේ හිතාගන්න බැරි උනා. තද හුළඟට අහසට නැගපු සරුන්ගලයක නූල තදවෙනවා වගේ, මට දැනුනේ මගේ හිත ඇතුලෙන් කෙනෙක් තදකරලා අදිනවා. අම්මේ එහෙම වේදනාවක්!
"සුවඳයි... මොකද්ද පර්ෆියුම් එක?"
********************************************
"උ.. උඹ.. කවද්ද ගෙදර ආවේ "
බිමල්ගේ කටහඬට මට ඉබේම බැලුනේ මේඝ දිහා. මගේ ඇස්වල පුදුමය තියෙන්න ඇති. ඒ හින්දා තමයි මුණ හන්ගගත්ත බිමල් බලන්න කලින් මේඝ මට ඇහැක් ඉඟිමැරුවේ.
මගේ පපුව ගැහෙන්න ගත්තා.
අපි හිටියේ බිමල්ගේ ගෙදර ලොකුවට හදලා තිබ්බ පිදුරු වහලයක් තිබ්බ හත්තක් වගේ හදපු තැන යට. මට පෙනුනේ බිමල් මුණ හංගනවා උනත් ඇත්තටම මම තමයි මූන හංගන්න වලිකන්න ඇත්තේ. මම මේඝ දිහා බැලුවා. ඒ ඇස් හින්දා වැඩිවෙලා තියා ටික වෙලාවකවත් ඒ දිහා බලන්න මට බැහැ වගේ.
"ආ.. පුතා.... කවද්ද ආවේ?"
මගේ වෙලාවට වගේ බිමල්ගේ බාප්පා ආවේ අපි දිහා බලාගෙන හිනාව්න ගමන්මයි. බාප්පා අතේ තිබ්බේ ලොකු බොම්බයි මොටයි කූරූ දෙකක්. දෙකම රෝසපාට ලොකු වලාකුල් දෙකක් වගේ. මම එක වලාකුලක එල්ලුනේ හිතන්නත් කලින්, හැමදාම කරනවා වගේ.
හැමදාම උනේ එහෙමයි. මමයි, බිමලුයි, මේඝයි , බිමල්ගේ බාප්පයි, බොම්බයි මොටයි කියන හැමදේමත් එක්ක මේ පිදුරු වහලයක් තියෙන එළිමහනේ තිබ්බේ එකම සුසංයෝගයක්.
හැබැයි අද පිටට නොපෙනෙන වෙනස තිබ්බේ අපේ හිත්වල විතරයි.
"මම ආවේ.... ඊයේ..."
"හවස?"
"නෑ , මම උඹව උදේ දැක්කා කොල්ලෝ... වෙලගාව තියෙන ඕවිටෙන් කන්ද නගිනවා දැක්කා"
බාප්පා මාව පාශානිභුත වෙන්න කිව්වහම, මටයි මේඝටයි එකිනෙකා දිහාවේ බැලුනා. බිමල් ගැස්සිලා වගේ බාප්පා දිහා බැලුව නිසා හොඳයි.
"අ... ඔව් බාප්පේ.. මම ගියා... නැන්දලාගේ ගෙදර. එහෙන් එන්න කියලා තිබ්බ නිසා"
ඒ කියන්නේ මම ඉන්නේ වම් අත නොදන්නා දකුණු අතක් මැද්දේ පපුවකට හිරවෙලාද? මගේ හුස්ම හිරවෙන්න ආවා. ඇස්දෙක වහගෙන මම හිත සන්සුන් කරගන්න උත්සහ කලාම ඒ වහපු ඇස්දෙක ඉස්සරහ එකපාරටම පෙනී හිටියේ ඒ බැල්ම!
මම ඉතින් වලාකුලක්; රෝසපාට වලාකුලක් ; කටට ලංකර ගත්තා.
හැමදේම ඒ වගෙයි....... බිමල්, මේඝ එක්ක එක රෝසපාට වලාකුලක් බෙදාගෙන කනවා. බාප්පා මගේ දිහා බලාගෙනම එතන තිබ්බ රවුම් බංකුවේ කොනක වාඩිඋනා.
**************************************************
බිමල්ගේ මුහුණ බලන්න බැරි තරම් බෙරි වෙලා. මම ඉතින් අහක බලාගත්තා.
"ම.. මට මුකුත් තේරෙන්නේ නැහැ.... මට කියන්න..."
එහෙම කියලා බිමල් මගේ උරහිස් දෙකෙන්ම අල්ලලා හොලවපු වේගෙට මට තේරුනා දැන් නම් කතාකරලා තේරුම් කරන්න පුළුවන් තත්වෙක එයා නැහැ කියලා. මම ඉතින් කසාය බීපු ගොළුවා වගේ බලාගත්ත අතක් බලාගෙන හිටියා.
"..කතාකරන්න..... අරූ එහෙම කිව්වේ ඇයි කියල"
මට නම් දැන් කතාකරන්න බැහැ තමයි. මම පරුවතයක් වගේ නොහෙල්ලි ඉන්නවා කියලා මහා ලොකු ප්‍රතිරූපයක් හදාගන්න හිතුවා.
".... කතාකරන්න... ප්ලීස්... මගේ ඔලුවත් අවුල් වෙලා"
මගේ උරහිස් දෙකින් අත්දෙකම ගත්ත බිමල් ඔහුගේ කැරලි කොණ්ඩය මත්තෙන් අත්දෙක පටලවාගෙන එහෙම කිව්වේ මහා කම්පාවෙන්. මම දන් අකම්පිතව ඉන්න බව අඟවන්න වෙනවා.
"ගණන් ගන්න එපා බිමල්... ඒක ඒ තරම් දෙයක් නෙවෙයි"
බිමල් මගේ දිහා බැලුවේ බිරාන්ත වෙලා වගේ.
"ඒ තරම් දෙයක් නෙවෙයි? නෙන්ජි ඔයා දන්නවද.. ඔයා දන්නවද ඒ කතාවේ තිබ්බ බරපතලකම? ඔයයි, මමයි, අරූයි තුන්දෙනාම එකාට එකා පණ දෙන්න හිටියේ. වැලිබත් සෙල්ලම් කරන කාලේ ඉඳල අපි දන්නේ. දැන් ඌ රට යනවා කියල මම දන්නෙවත් නැහැ. ඒ මදිවට මේ කතාව...."
බිමල්ගේ කටහඬේ තිබ්බේ පපුව හාරාගෙන යන දුකක් උනත්, මම ඔලුව නමන්නේ නැතුව ඉන්න තමයි හිතුවේ.
"හැමදේම වෙනස්වෙනව බිමල්.. ලොකු..."
බිමල් මගේ දිහා බලපු විදියට මට වාක්‍ය සම්පුර්ණ කරගන්න බැරි උනත් ඔලුව නම් කෙලින්!
"නෙන්ජි...... ඔයාට තේරෙන්නේ නැහැ...... ඔයාට ඔයාගේ වටිනාකම තේරෙන්නේ නැහැ වෙන්න පුළුවන්.. ඒ උනාට මට ඔයාව ගොඩක් වටිනවා"
අන්න එහෙම කිව්වහම නම් මම පොඩ්ඩක් විතර හෙලවිලා ගියා තමයි.
ඒ උනාට ඉබ්බෙක්ට තියෙන කටුවක උනත් බාහිර අමතරව තියෙන සැඟවීමේ ගුණය මට ඉවහල් උනා වෙන්න ඇති. මුණෙන් එහෙම එකක් නොපෙනුන හින්දා, බිමල් මගේ අත අල්ලාගත්තේ පෙගිච්ච කේක් කෑල්ලක් අල්ලනවා වගේ පරිස්සමට.
".........නෙන්ජි.. මට කියන්න.. මොකක්ද ඇත්ත?"
"මට මගේ පාඩුවේ ඉන්න දෙන්න බිමල්. මම හොඳින් ඉන්නවා. මොනදේ උනත් ජිවිතේ ඉස්සරහට යනවා. අපි මෙතන මැරිලා උන්නත් ගහෙන් කොළ වැටෙන්නේ නැද්ද?"
වෙලාවේ හැටියට මට බණ මතක් උනේ නැති උනත් දන්නා බණක් මේ වෙලාවට කිව්වහම අමුතු කික් එකක් ලැබෙන්නත් පුළුවන්.
"ඒ කියන්නේ....?"
"දැන් ඕක අමතක කරන්න"
"ඒ කියන්නේ ඒ කතාව ඇත්තක්ද?"
"මොන කතාවද?"
"මේඝයා මට කියපු කතාව?"
මම දැන් ඉතින් විරාමෙකට යන්න ඕනේ.
*********************************
ආදරණිය නෙරංජලා,
මේ ලියුම ඔබ අතට පත්වනවිට මම කොයි විදියට ඉඳීද කියන්න මට තේරුමක් නැහැ. නමුත් එක දෙයක් ස්ථිරයි. ඒ තමයි මම ඔබව නොපෙනෙන තරමට දුරකට ගිහින් ඇති කියලා විතරයි. ඇත්තමයි නෙරංජලා, මට මේ හැමදෙයක්ම හීනයක් වගේ.
මම කවදාවත් වෙන කෙල්ලෙක්ට ලියුමක් ලියලා නැහැ. ඔයාට මතකද නෙරංජලා අපි පුංචි කාලේ ඉඳන්ම සෙල්ලමට ලියුම් ලිව්වහම හැමදාම මම ලියන්නේ ඔයාට විතරමයි. ඒ කිසිම ලියුමකට ඔයා උත්තර නොලිව්ව එකට අදටත් මගේ අමනාපයක් නැහැ. ඒක එහෙමයි කියලා මම පිලි අරගෙන තිබ්බේ. උත්තරයක් නොලැබුනත් නෙරංජලා මගේ කියලා මම හිතාගෙන හිටපු හින්දා වෙන්න ඇති.
මෙහෙම ලියුමක් මට ලියන්න සිද්ද උනේ, අපි දෙන්නා අන්තිමට කතාබහ කලාට පස්සේ වෙච්ච දේවල් එක්ක බැලුවහම තවදුරටත් මගෙත් එක්ක කතාකරන්න ඔයා අකමැතියි කියලා මට තේරුන නිසයි. කොච්චර ඇහුවත් මට උත්තර නොදුන්න ඔයා එහෙම කලේ ඇයි කියලා කියන්න කෙනෙක් හිටියේ නැති එක ගැන අදටත් මට තියෙන්නේ ලොකු දුකක්. ඒ හැමදේකටම වඩා මට ඉවසගන්න බැරි උනේ ඔයාට ඒ ගැන මගෙත් එක්ක කතාකරන්නවත් තිබ්බ අකමැත්ත ගැන හිතනකොට. මේඝ කියන්නේ කවුද කියලා මම දැනගෙන හිටියට මම කවදාවත් ඒ ගැන ඔයාට කියන්න ගියේ නැහැ. මම ඒ උනාට හැමදාම ඔයාව රැකගන්නවා කියන එක හොඳට හිතට අරගෙන හිටිය නිසා වෙන්න ඇති මට මෙහෙම වේදනාවක් දැනෙන්නේ. අන්තිමේදී මම අද දැනගත්තා ඇත්තටම මොකද උනේ කියල. ඒ හින්දා, මගේ ජිවිතේ මම ඔයාට ලියන අන්තිම ලියුම ලියන්න හිතුවේ.
මේක ඔයාට කොහොමද කියන්නේ කියල මට තේරෙන්නේ නැහැ. පළවෙනියටම මම කියන්න ඕනේ, අවුරුදු හතරේදී මම ඔයාව දැක්ක මොහොතේ පටන්, අවුරුදු දාසයක් යනකල්ම දවසක්, තත්පරයක් නෑර මම ඔයාට ආදරේ කළා. ඒකට මගේ බාප්පා හොඳටම සාක්ෂි. නෙන්ජි ඔයා දන්නවනේ මට හිටියේ බාප්පා විතරයි කියලත්. ඔයාට නොතේරුන ගොඩක් දේවල් මගේ බාප්පාට තේරුණා නිසා වෙන්න ඇති අදටත් මම මේ විදියට සිහියෙන් ඔයාට මේ ලියුම ලියන්නේ. ඒ අවුරුදු දාසය ඇතුලෙදි කිසිම තැනකදී මේඝ අපි දෙන්නා අතර ඉන්නවා කියල මට තේරිලා තිබුනේ නැහැ. මොකද එහෙම එකක් අපි තුන්දෙනා අතරේ තියෙන්න විදියක් නැහැ කියලා මොකද්දෝ හේතුවක් නිසා සම්මත වෙලා තිබුන නිසාද කොහේදෝ. ඒ මොකක් උනත් මම ඔයාට ආදරේ කලේ ඒ විදියට විතරයි. අද වෙනකොට මට වැටහෙන්නේ නැති එකම දෙයයි.. මේඝ කොහොමද එහෙම දෙයක් ඔයාට කලේ කියන එක?
නෙරංජලා, ඔයා මගේ පන වගේ. මේඝ කියන්නේ කොයිවගේ කෙනෙක්ද කියලා මම අලුතෙන් කියන්න ඕනේ නැහැනේ. ඇයි නෙරංජලා ඌට ඔයාව තලන්න ඉඩ දුන්නේ? මේඝ මගේ වගේම ඔයාගෙත් හොඳම යාලුවෙක් නිසා උගේ අනිත් වැඩ කොහොම උනත් මම කවදාවත් හිතුවේ නැහැ ඌ ඔයාට අතක්වත් තියයි කියලා. මට කියන්න ඕන උනේ ඒකයි එදා. ඔයාට කතාකරන්න ඕනෙකමක් තිබුනේ නැත්තේ ඇයි කියලත් මට හිතාගන්න බැහැ. මේ ලියන මොහොතේ මගේ අතපය සීතල වෙලා වෙව්ලනවා. ඌ මේ ඔක්කොම කරලා රටත් අත ඇරලා යනකල් ඔයා කොහොමද ඔහොම බලාගෙන හිටියේ? මට මේ දැනෙන දුක , කම්පනය, තරහව විසඳගන්න මට දැන් ශක්තියක් නැහැ. රෑ දෙකක් තුනක් නින්දක් නැතුව අඬලා වත් මට ඒක සමනය කරගන්න බැරි උන නිසයි මම මේ ලියුම ඔයාට ලියන්නේ.
නෙරංජලා... කවදා හරි දවසක ඔයාට පුළුවන් උනොත් ආපහු හැරෙන්න, මම ඒ හැරුණු තැනම ඔයාගේ පිටිපස්සේ ඉන්න බව මතක තියාගන්න. මම ගොනෙක්, මීමෙක් වෙන්න පුළුවන්.
ආදරයක් දැනුණු දවසක මේ මීගොනා කියන්නේ මොනවද කියලා ඔයාට තේරෙයි.
මීට ආදර
බිමල්
ඇත්ත, මම ටිකක් ඇඩුවා තමයි. ඊට පස්සේ ඉටිපන්දමක් අරගෙන පත්තු කරලා ඒ දැල්ලට ලියුමේ කොනක් අල්ලනකොට නැගුනු නිල්පාට ගිනිදැල්ල දිහා බලාගෙන ඉන්නකොට මට මතක් උනේ මේඝගේ නිල්පාට බළල් ඇස්වල තිබුණු ඒ කෙළවරක් නැති දිලිසිල්ල.
ලියුම අළුවෙන්න කලින් මම ජනේලේ කූරු අතරින් එළියට විසිකලේ එළියේ වහින වැස්සට කරන සමච්චලයකට වගේ. චුරු චුරු වැස්සට ගියපු හිනාව ලොකු අකුණක් වෙලා ඈතින් පෙනුණු වෙලට කඩාපාත් වෙනවා මම දැක්කා.
-------------------------------------------
සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ
මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා
මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ
මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා
මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ
Lyrics : ප්‍රේමකීර්ති ද අල්විස්.
Music : සරත් ද අල්විස්
Singer : එඩ්වඩ් ජයකොඩි
p.s.
මේ සින්දුව ඇහෙනකොට මගේ පපුව පත්තු වෙනවා. ප්‍රේම් මේ ගීතය ලිව්වේ ඇයිද කියන්න මම දන්නේ නැහැ. ඒ උනාට ඒ කතාව මාව පෑරුවා. කාලයක් තිස්සේ හිතාගෙන හිටියේ මේ ගීතයට කතාවක් ලියන්න. ඒ උනාට හරිගියේ නැහැ. මොකද මම එතරම් දක්ෂ නැහැ එහෙම කතා ගොතන්න. මේක එක උත්සහයක් විතරයි. සාර්ථක/අසාර්ථක බව කීම කියවන්නාට බාරයි. මගේ කියවීමට වෙනස් කියවීමක් තියෙන කෙනෙක් පුළුවන් නම් මේ ගීතයට කතාවක් ලියන්න. මම ආසයි කියවන්න.
ලිඛිතා. දක්ෂ නොවී මෙහෙම ලියනවනම් දක්ෂ වුණාම කොහොම ලියයිද?
ReplyDeleteමටනම් කතාව රසයි. ලස්සනයි.
ජයවේවා!!!
ස්තුතියි.
Deleteමම කිව්වේ මේකේ සියුම් තැන් වලින් අල්ලන්න පුළුවන් තේමාවක් තියෙන කතාවක්. මේ වගේ අමුවෙන් නොකියා. එහෙම කියාගන්න බැරිකම ගැන මම කිව්වේ. මේ ලියවිල්ල ගැන මම වැඩිය සතුටු නැති නිසයි එහෙම කියපු අනිත් කාරණේ. පස්සේ කාලෙක ආයෙමත් ලිව්වොත් මම වෙනස් විදියට ලියයි කියලා හිතනවා.
Aනේ මන්ද මුල මැද අග.....
ReplyDeleteමුලත් මැදත් අගත් අවුලක් නැත්තේ බුද්ධ දේශනාවේ විතරයිනේ තඩියෝ! මේවා ගැන කවර කතාද?
Deleteස්තුතියි ආවට සහ කොමෙන්ටුවට
අනේ මන්ද ඔව තෙරෙන් නෑ.....
Deleteලස්සනයි , දිගටම ලියන්න ඔය වගේ ;-)
ReplyDeleteමනස්ගාත ලියන එකෙක්ගෙන් හොඳක් අහනවා කියන එක සිරාවටම කොයිවගේද කියලා මම මේ කල්පනා කොලේ....
Deleteහා හා වැඩිය හිතන්න එපා , ඔලුව මනස්ගාතයක් වේවි
Deleteවැඩිය හිතන්නේ නැහැ. එහෙම හිතන්න දන්නේ නැහැනේ :-D
Deletemelo rahak na
ReplyDeleteඅනේ මේ අය්යා.... පාඩුවේ ඉන්නවද සද්දේ වහගෙන? ආව මෙතැන මෙව්වා කියවන්න.
Deleteසාදු කියන්න පින්වතුනි
සාදූ සාදූ සාදූ සා..........දූ
DeleteAmen
Deleteඅධිරාජ්ජවාදී කුමන්ත්‍රනෙකුත් ඇවිල්ල අපේ හාමුදුරුවනේ....
Deleteඔයා කියුවට මේක හරි අපූරුයි.... සිංදුවෙන් නියම කතාවක් ඔයා ගොඩ නගලා...
ReplyDeleteThanks
Deleteදෙවෙනි කොටස පොඩ්ඩක් පැටලිලි සහිතයි.. ඇත්තටම මම අන්තිමට කිට්ටු වෙනකං හිතාගෙන හිටියේ ඒ කොටස අර මුල් කොටසේ ඉන්න කොල්ලා (ඒ මේඝ බව තේරුණේ අන්තිමට) ගේ කතාව කියල.. අන්තිම ටික කියෝල ආයි ගිහිං දෙවෙනි කොටස කියවල ආවම පොඩ්ඩක් හරි ගියා.. සිංදුව ඔලුවෙන් අයින් කරලා සිංදුව නොදන්නා එකෙකුට කතාව තේරෙන විදියට ලියුවනං ඒ පැටලිල්ල වෙන එකක් නෑ..
ReplyDeleteබයි ද වේ.. මමත් ඔය විදියටම මේ මල ගැන ආදරෙන් සමනලයා ගැන තරහින් හිටපු ළමයෙක්.. ඔය සිංදුව අහනකොට මගේ හිතේ මැවිච්ච රූප පෙලට ඉතාම ලඟින් යනවා මේ කතාව..
ස්තූතියි!!!
දෙවැනි කොටස එක්ක සම්බන්ධ වෙන්න මම පොඩියට වගේ සංකේත භාවිතා කළා. ඒක හරිගිහින් නැති පාටයි. මම ඒ සිද්ධි ටික කියලා සින්දුවේ පද නූලක් විදියට අරගෙන අමුනලා ගන්නයි හිතුවේ. නැතිනම් මේක අමුවෙන් වැඩිවෙලා අප්පිරියා ගතියක් එන්න පුළුවන් කියල හිතුන. අනිත් එක කෙල්ල කතාව ලිව්වට, සින්දුව කියන්නේ තෙවැනි ඇසක මානයෙන්. එතැනදී කෙල්ලගේ සසලවීම් හෝ දැඩිබව අර්ථගන්වලා තියෙන්නේ 'මලට නොවේ දැනුනේ දුක කාගේ' කියන තද අතුල්පාරෙන්. එතැනදී මම කෙල්ලව බේරගන්න බැරි නිසා තැනින් තැන ලිව්වේ. සමාවෙන්ට ඈ !
Deleteමේ සිංදුව නිසා මම මවපු සිද්ධිය ඇත්තටම මේ ලියවිල්ල එක්ක ගොඩක් ළඟ නැහැ. ඒක අතිශය වෙනස් රූප පෙළක්. ඒකෙ බිමල් චරිතයේ හිටපු කෙනාට තියෙන්නේ රොෂාන් රවීන්ද්‍රගේ මුහුණුවර. සිද්ධි දාමය මීට වඩා සංකීර්ණයි. ඒ විදියේම කතාවක් නම් මට මතකයි මම හින්දියෙන් හෝ දෙමළ බසින් ෆිල්ම් එකක බැලුව. හම්මෝ එදා තමයි මට මේක තදටම දැනුනේ. පුංචිම කාලේ මම ඔය එක එක ගිතරචනා ගැන කල්පනා කරනකොට මේ සිංදුව පෙරල පෙරලා තේරුම හෙව්ව නිසා වෙන්න ඇති මෙහෙම එකක්වත් ලියාගන්න පුළුවන් උනේ.
ආවට, කමෙන්ටුවට ස්තුතියි කමි.
'ඒ මල නොදනී ඒ මල පරවී ' කියලා සුසුමක් හෙලන්න තමයි ඉතින් තියෙන්නේ
bambuwa thama
Deleteමේකා මේ අනෝලා නෙවෙයි ඊටත් එහා වාතයක් වෙලානේ.... දුහුප්!!
Delete//මේ සිංදුව නිසා මම මවපු සිද්ධිය ඇත්තටම මේ ලියවිල්ල එක්ක ගොඩක් ළඟ නැහැ. ඒක අතිශය වෙනස් රූප පෙළක්// එතකොට මේක ලියුවේ මගේ හිතේ තිබ්බ කතාව දැනගෙන ද? හිහ්..
Delete//රොෂාන් රවීන්ද්‍රගේ මුහුණුවර//.. හිහ් හිහ්.. මගේ මනසේ නම් රූප මැවෙනකොට ඒවායේ ඉන්න උන්ට සමාන ජීවත්වෙන කිසි කෙනෙක් මට මතක් වෙන්නේ නෑ.. වැරදිලා හරි එහෙම මතක් උනොත් අර ෆැන්ටසි එක ඔක්කොම ඉවරයි..
මේ සිංදුව අහද්දී මට මැවුණු චිත්ත රූප වල සහ ඔබ ලියු කතාවේ මට දැනුණු ලොකුම සමානකමනම් මේ සිංදුව කියවෙන්නේ මේ වගේ තුන්කොන් ගැටවර ආදරයක් ගැන බව මා තහවුරු කර ගෙන සිටීමයි. බොහෝ දෙනෙකු මේ ගීතය 'ළමා ගීතයක්' ලෙස වර්ග කරගෙන සිටිනු මා දැක තිබෙනවා. ඊට අමතරව මල, සමනලයා හා ළමයා වෙනුවෙන් ඔබ තෝරා ගත චරිත වල ලක්ෂණ (උදා: සමනලයාගේ තියුණු ඇස්.. ළමයාගේ අහිංසකකම වගේ ඒවා..) මගේ චිත්ත කතාවෙත් ඒ විදියටම තිබුනා..
මට තාමත් ප්‍රශ්නේ ඔබ ඇයි මේ කතාව ඔබේ චිත්තරූප වලට සමාන නොකොට වෙනස් විදියකට ලියුවේ කියන එක.. :)
වෙන්නත් පුළුවන්... වෙන්නත් පුළුවන්... හි හි හි
Deleteමගේ සමහර පරිකල්පන වල උන්ට විතරයි මුණක් තියෙන්නේ. මේ කතාවේ කෙල්ලට මට මුණක් තිබ්බෙම නැහැ. මවාගන්නත් බැහැ. ඒ නිසයි මම කෙල්ලගේ පැත්තෙන් ලිව්වේ. සමහර වෙලාවට ඒ විදියටම කෙනෙක්ව දාලා මෙන්න බොලේ ෆිල්ම් එකක් කරලා... එහෙම එව්වා කරන්නේ මනිරත්නම් / ජයන්ත චන්ද්‍රසිරි කියන දෙන්නා තමයි. අන්න හොරු!
ගරවර ආදරයකදී තමයි 'පොඩිලමයෝ මොකදෝ හැඬුවේ' කොටස අදාළ වන්නේ. ඒ වයසේදී මේ වගේ කම්පනයක් කඳුලින් තමයි ගොඩක් වෙලාවට ගතවෙන්නේ.
හත්වලාමේ මේක කොහොමද ළමා ගීතයක් වෙන්නේ?? පයිත්තියමා?? එහෙම කියන උන්ට ආයෙත් ඉස්කෝලේ යන්ට කියන්ට වෙනවා.
මගේ චිත්ත කතාවේ මීට වඩා සංකීර්ණ අවස්ථා තිබ්බා. මට ඒවා ලියාගන්නට සමර්තකමක් නැහැ. ඒ නිසා ඒ කතාවෙන් පොඩ්ඩක් වෙනස් උනාට සින්දුවට ගලපාගන්න පුළුවන් එකක් ලියාගත්ත. අනිත් එක තමයි මිව්වට විස්වාස කරන එකක් නැහැ මම කතා ලියන විදිය ඇහුවොත්. කොටින්ම මම පලවෙනි කොටස් දෙකම ලිව්වට පස්සේ තමයි හිතුවේ මේ කතාව මේ සින්දුවට ගලපනවා කියලා හිතුවේ. ඔව් ඔව්... ඒ මගේ අවුලක් තමයි. සමහර කතා ලියපු හැටි ඇහුවොත් මාව රහස් පොලිසියට බාරදෙනවා.. අහල වැඩක් නැහැ, හැදෙන්නෙත් නැහැ හි හි හි
Thanks
ඒක් පූල් දෝ මාලි වෙච්චි හැම තැනම ඔහොම තමා අප්පා...අර ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට සහ ඒ මගේ මලයි ඒ මගේ මලයි කියලා රනිල් මල්ලවාරච්චි හර්ශ බුලත්සිංහලයි කාලෙකට කලින් මරා ගත්ත සින්දුවටයිනම් මට මෙහෙම චිත්ත රූප මැවිලා තියෙනවා. ඒත් මේ සින්දුවටත් එහෙම මවන්න පුලුවන් කියලා මේක කියෙව්වමයි තේරුනේ. මැද කොටස පොඩ්ඩක් පැටලිලි සහිතයි තමයි ඒත් අග කියෙව්වම මටනම් ඒක හරි ගියා. නියමයි ලිඛිතෝ මටනම් මේක මරු.
ReplyDeleteමම ඒක් පූල් දෝ මාලි බලනකොට මාරම පොඩියි. මෙලෝ මලදානයක් තේරුනේ නැහැ. ඒ උනාට මම කල්පනා කරලා එක එක උපකල්පන වලට ඇවිත් මේ ලඟදි තමයි හරියටම කතාව තෙරුන් ගත්තේ. රනිල් එක්ක හර්ෂ පොරකාගන්න සින්දුව මට මාරම කික්. බලන්නකෝ අනේ උන් දෙන්න රන්ඩුවෙන ලස්සන. හැබැයි එතැනදී නම් කෙල්ල දෙන්නටම ලයින් දානවද කවුද දන්නේ?
Deleteමේ සිංදුවේ පැටලිල්ල ලෙහන්න ලේසි නැති බව මම දන්නවා. ප්‍රේම් ඉතින් ලියන්නේ මගේම ඒවා වගේ අප්පා. ප්‍රේම් එහෙම ලියල තිබ්බහම මගේ යුතුකම තමයි ඒකට කතාවක් අමුනලා දාලා සුසුම් හෙලන එක. එය ලියන්නෙම මෙහෙම සියුම් නහර අල්ලන එකනේ...
මැද කොටස ඔයාට විතරක් නෙවෙයි මටත් පැටලිලා. හි හි හි... ස්තුතියි රසවින්දා නම්.
මේ.. අනන් මනං සුම්මා. කරුණා කරලා අර කතාව දානවා හොඳයි!
හිටු හිටු පොඩ්ඩක් ඉවසලා මාව මරන් කන්නේ නැතුව.ඒක් පූල් දෝ මාලි මම මේ ළඟදි ආපහු බැලුවා මරු සින්දු ටික මම ආසයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහෑ !! ආතරයා මුකද්ද තමා කුලා?
Deleteනියමයි නියමයි නියමාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාායි
ReplyDeleteතැන්කු !
Delete