Monday, September 11, 2017

135. සුහදිනියේ - 04

කලින් කොටසට 



 නිල්පාට වෑන් එක පිටිපස්සෙන් මම ගියේ සෑහෙන පරතරයක් තියාගෙන. විරංග බයේ මැරෙන්න හැදුවත් වෑන් එක මම හිතුව තරම් වේගයෙන් ගියේ නැති නිසා මම නිකමට වගේ එක පාරක් ඉස්සර කරලා බැලුවා. කලබලයක් හරි වෙනත් අමුත්තක් හරි පෙනෙන්න තිබ්බේ නැහැ ඩ්‍රයිවර්ගේ උනත්.

"මචං.. සිරාවටම මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියල. ඒකිව බලෙන් නේද දාගත්තේ?"

විරංග එහෙම ඇහුවේ දහවෙනි වතාවට වෙන්න ඕනේ. මටත් හිතුනේ ඕකමයි. ඒ උනාට කෙල්ල වෑන් එකට බලෙන් දාගත්ත බව නම් දෙන්නම දැක්කා.

"පොලිසියට කියමුද?"

"පොඩ්ඩක් හිටපන්"

විරංග උගේ ජංගම දුරකථනය අරගෙන ඇමතුමක් ගත්තා.

".......... අම්මා... ඔව් ඔව්.. මම මේ යන ගමන්... තිබුනේ නැහැනේ. කඩේ වහලා...ඔව්.. මම යනවා අනිත් කඩෙන් ගන්න... කියන්න බැහැ සෙනග හිටියොත් වෙලා යයි. කෝකටත් මාමට කියන්න ඔයාලව දාන්න කියලා.. හරි හරි.. බායි "

විරංග එහෙම ඇමතුමක් ගත්තේ ඇයි කියලා මට ඒ වෙලාවේ තේරුනේ නැහැ. කටිනෙට බඩු ගන්න ආපු අපි දැන් මේ කෙල්ලෙක් එක්ක යන වෑන් එකක් ෆලෝ කරන බවත් අපේ ගැලවිජ්ජාවට කිසිම දෙයක් නැති බවත් මට කල්පනා උනේ ඊටත් පස්සේ.

මගේ ඔලුව පිරිලා තිබ්බේ මධුලිකාට මේ වෙන දේ විතරයි.

" මචං.. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. එක්කෝ කෙල්ල මුන්ව කලින් දන්නවා. ඒ උනාට යන්න අකමැතියි. නැතිනම් මේ කෙල්ල මුන්ව දන්නේ නැහැ, කොටිම්ම මේක කිඩ්නැප් සීන් එකක්....."

"...........?"

" පලවෙනි කාරනාව නම්, අපි පොලිසියට කියන්න ඕනේ නැහැ. ඒකි බලාගනිවී. ඒ උනාට... කාරනාව දෙවැනි එක නම්... අපි පොලිසියට කියන්න ඕනේ... මේ කොයි හරියේද බන්?"



මම පාරේ තිබ්බ කඩයක පුවරුවකින් ගම බලා ගත්තා. අපි සෑහෙන දුරක් ඇවිත්. කඩමණ්ඩියක් වගේ කොටසක් පහු උනාම වෑන් එක හුදකලා වෙච්ච කෑම කඩයක් ගාව නතර කළා. මම ඊට හරියටම පාරෙන් අනික් පැත්තේ තිබ්බ පොඩි ඉඩේ යන්තමට කාර් එක පාක් කරලා තොප්පිය හදාගෙන වීදුරුවට විරුද්ධව විරන්ගයා දිහාට හැරුනා. දැන් විරංග මගේ දිහා බලනකොට උන්ගේ තොරතුරු නිකන්ම පේනවා.

"මොකද වෙන්නේ?"

"අන්න එකෙක් එලියට බැස්සා... අර තඩි කළු මිනිහා. අඩෝ ඌට තියෙන්නේ මාළු මුදලාලියෙක්ගේ පෙනුමක්නේ... ඌ කඩේ ඇතුලට ගියා. වෑන් එකේ දොර වහලා බන්"

විරංග කතා කරන්නේ කටේ එක කොනකින්. ඈතට උගේ කට හෙලවෙනවා පේන්නේ නැති වෙන්න. 

"කෙල්ල කෝ? පේනවද? අඩෝ කරදරයක්ද දන්නේ නැහැ"

"නෑ.. පේන්නේ නැහැ.. කිසි හැලහොල්මනක් නැහැ"

"පොඩ්ඩක් හොඳට බලපන්.. වාහනේ හෙල්ලෙනවද? දඟලනවා වගේ?"

විරංග මගේ දිහා බැලුවේ අන්තිම තුප්පහි විදියට.

".. යකෝ බලපන් කෙල්ල පැනලා යන්න දඟලනවද කියල.. වෙන ***ක් නෙවෙයි"

කියවෙන්නේ කියන්න ඕනේ දේ නොවෙන බව මට දැන් තේරෙනවා. මම කලබල වෙලා වැඩියි වගේ.

"හිටපන් ඩිංගක් ඉවසගෙන. කරන දෙයක් පරිස්සමෙන් කරන්න වෙන්නේ"

"උන් මම හිතන්නේ කෑම ගත්තා.. එකයි.. දෙකයි.. තුනයි... හ්ම්ම්.. හ්ම්ම් කෑම පැකට් තුනක් නැත්තම් හතරක්.. ඔන්න දැන් වෑන් එකට නගිනවා"

මම හිතින් ගනින්න ගත්තා. මධුලිකා, අර ගෑනු කෙනා.. දෙකයි... අර සද්දන්ත මිනිස්සු දෙන්නා... හතරයි... හ්ම්ම්.. එහෙනම් මුන් ඔක්කොම දුර ගමනක් යන්න වගෙයි.

ආයෙමත් වෑන් එක පාරට ගන්නවා පෙනුනත් අපි දෙන්නම හිටපු විදියටම හිටියා. පේන මානෙන් මීටර් සීයක දුරකින් වෑන් එක බොරළු පාරකට හරවනවා මම දැක්කා.

"මචං... මම හිතන්නේ මුන් යන්නේ ගෙදරකට..."

මම කාර් එක ස්ටාර්ට් කරලා විරංග දිහා බැලුවා. මිනිහා කල්පනා කරනවා.

"... මොකද?"

"......."

"මොකද යකෝ?"

"මම මේ සිරාවටම කල්පනා කලේ... මොකද්ද බන් මේ වෙන්නේ? උඹ මේ කෙල්ලෙක් ගැන මරු කියෝවන්න ගත්ත.. අපිත් හෙව්වා.. දැන් ඒකි හිටපු කොන්වන්ට් එකෙන් වෙන තැනකට යනවා... හරි.. එක්කෝ පැහැරගෙන යනවා... අපි පස්සෙන් යනවා... දැන් අපි ගිහින් මොකක් කරන්නද?"

"දන්නේ නැහැ බන්... ඒ උනාට මොකක් හරි කරදරයක් නම්?"

"අඩෝ මේ.... අපි ගාව අඩු ගානේ නියපොතු කපන කටර් එකක්වත් නැහැ. එතැන මාළු මුදලාලිලා වගේ සද්දන්ත එවුන් දෙන්නෙක්... පොලිසියට කියමු බන්"

මගේ හිත මට වදදෙන්න ගත්තත් මම උත්තරයක් දෙන්න කලින් කාර් එක අර හරවපු පාර පහුකරගෙන ඉස්සරහට ගියා. පාරේ එක කොනක අයිනට කරලා නතර කරලා තිබ්බ වෑන් එක මම දැක්කා. ඒ එක්කම වෑන් එකේ රියදුරුට සල්ලි වගේ දෙයක් දීලා එක හැඩිදැඩි මනුස්සයෙක්  කතාකරනවා මම දැක්කා.

"විරා... මචන්.. සිරාවටම මම දන්නේ නැහැ මොකද වෙන්නේ කියල."

".................!?"

".. ඒ උනාට අපිට බැහැනේ මේ වගේ දෙයක් දැකලා අහක බලාගෙන යන්න. මගේ හිත කියනවා මොකක් හරි අවුලක් කියල. කෝකටත් බලලම යමු"

"උඹ නම්  පිස්සෙක් බන්... එක්කෝ උඹට පිස්සු නැහැ.. උඹට මේක කියපු මම තමයි පිස්සා.... දැන් කරන දෙයක් ඉක්මනට කරපන් මට හවස වෙනකල් ඉන්න බැහැ... ඇදගෙන නාන්නයි හදන්නේ.."

"පොඩ්ඩක් කට වහගෙන හිටහන් යකෝ මගේ ඔලුවත් අවුල් නොකර...!"

එහෙම කියනකොටම අතුරුපාරෙන් ආපු නිල්පාට වෑන් එක ප්‍රධාන පාරට දැම්මා. අපි දෙන්නම කාර් එකේ සීට් දෙකේ ගිලුනේ කතාවෙලා වගේ උනාට දෙන්නම පිට්ටු ගිලලා වගේ. වෑන් එක වෙලාවට අපේ පැත්තට නැතුව විරුද්ධ පැත්තට හරවලා වේගෙන් සැරදාගෙන යන්න ගියා.

ඒ ගියේ නම් පුදුම වේගෙකින්. විරංගත් මමත් එකිනෙකා දිහා බලාගත්තේ මොකක් කරන්නද වගේ. වෑන් එක පස්සේ යනවද? මම කාර් එක රිවස් කලේ අතුරුපාර පහුකරගෙන යන විදියට. එතකොටම මම දැක්කේ වෑන් එකට සල්ලි දීපු උස මහත මනුස්සයා තව සරමක් වගේ ඇඳගත්ත මනුස්සයෙක් එක්ක පාර පැත්තට එනවා. මගේ බොක්කත් එක්ක කූල් වෙලා ගියා.

"තෝ මොකද කරන්නේ.... අඩෝ.. පිස්සු නම් කෙලින්න එපා... "

මගේ ඊළඟ පියවර මොකද්ද කියලා ඉවෙන් වගේ දැනුන විරංග බෙරිහන් දුන්නේ සුක්කානමේ එල්ලෙන ගමන්.

නමුත් ඌ ප්‍රමාද වැඩියි. මම හැරෙව්වා බොරළු පාරට. දාගෙන හිටපු තොප්පියට අමතරව මම මුණ වෙනස් කරගන්න ලොකු සටනක් කළා. ඉස්සරහට ඇවිදගෙන එන අර උස මහත මනුස්සයා කාර් එක දිහා සැලකිල්ලෙන් බැලුවේ නැහැ. ඔහුත් එක්ක ආවේ සරමක් ඇඳගත්ත මෝඩ පහේ පෙනුමක් තිබ්බ තට්ට මනුස්සයෙක්. දෙන්නගෙම මුණූ දෙක මම හොඳට බලාගත්තේ මතු ප්‍රයෝජනය සඳහා.

වැහැලා තිබ්බ නිසා වෑන් එක ගියපු ටයර් පාර බලාගෙන මම ඉස්සරහ ගිහින් නතර කලේ අළුපාට උස ගේට්ටුවක් ගාව. ගේට්ටුව තාමත් ඇරලා. මොහොතක්වත්  හිතන්නේ නැතුව කලබලයක් නැති වේගයෙන් මම කාර් එක ඇතුලට දානකොට විරංගගේ උගුරෙන් මොකද්දෝ සද්දයක් ආවේ උගේ බෙල්ල මිරිකනවා වගේ. මම ඌ දිහා බැලුවේ නැහැ.




තනි තට්ටුවේ පරණ ගෙයක් තිබ්බ ඒ ඉඩම පුරාම තිබ්බේ ගස් හින්දා වෙන්න ඇති මට ගමක වගේ හිතුවිල්ලක් ආවේ. වලවූ වගේ ආකෘතියකට හදලා ඉස්සරහට පටු උනත් සිමෙන්තියෙන් හදපු කොරිඩෝවක් මැද්දේ බුලත් හෙප්පුවක් තියපු කනප්පුවක් තිබ්බා.

මෙතන නම් පැහැරගෙන ඇවිත් හංගන්න වගේ හදපු තැනක් නෙවෙයි, ගෙයක් වගෙයි. කවුරුවත් පේන්න නැතුවා වගෙයි.

මම විරංග දිහා බැලුවා.

"මචන්... උඹ නළුවා කියලා මම දන්නවා... කොහොමහරි කෙල්ලට කතාකරන්න පොටක් පාද ගනින්."

"තෝ... යකෝ.... මගුලක් කියෝනව.... මකරෙක්ගේ ගුහාවටම ඇවිත් තෝ කියනවා පුළුන් මෙට්ටයක් අරන් ඇතුලට පලයන් කියල. අම්මප.. උඹ වගේ යාලුවෙක් ඉන්න මම නම් පුදුම කරුමක්කාරයෙක් බන්.. ඒ ම..."

විරංගගේ කෑගැහිල්ල හිමින් උනත් ටේප් එක හිරවෙච්ච කැසට් පීස් එක වගේ උන හින්දා මමත් ගේ පැත්ත දිහා බැලුව. අර මාලුකාරයා වගේ හිටපු දෙන්නගෙන් ටිකක් පොඩියට හිටපු එකා ඉනට අත්දෙක ගහගෙන බලාගෙන ඉන්නවා.

ගේ තිබ්බේ පඩි හතරක් විතර නැගලා යන උසක. ඉතින් මට ඌ පෙනුනේ කන්දක් උඩ ඉන්න ගොටයින්බර පැටියෙක් වගේ. බය හිතුනේ  නැහැ නම් කියන්න බැහැ. මම විරංග දිහා බලලා කාර් එකෙන් බිමට බැස්සා.

"තෝ..... නම්...."

විරංග දත්මිටි කන අතරේ මට පුටු පුටු ගගා බනිනවා ඇහෙන්නේ මට විතරයි. මාව අනුගමනය කරපු ඌ වාහනෙන් බැහැලා මගෙත් එක්ක ගේ පැත්තට ඇවිදගෙන ගියා. ගොටයිම්බරයා ඔලුව උඩටයි පහළටයි වනලා ඇහුවේ 'ඇයි' වගේ.

"මේ... අර................"

මම තටමන්න ගත්තා.

"... මේ අර මධුලිකා මිස්ගේ ගෙදරද?"

විරංග දැන් වැඩේට එන්ටර් උනා කියලා මට කටහඬේ ටෝන් එකෙන්ම තේරුනා.

"මොකා?.. නෑ නෑ.. වැරදි ගෙදරක්"

මරුමුස් මිනිහා එහෙම කියලා දකුණු අතේ ඇඟිලිටික ලෙවකෑවම මට මගේ බඩ දඟලන්න ගත්තා. මූ කෑම කකා හිටියා වගෙයි.

"අර... කොන්වන්ට් එකේ ඉන්න.. අර බයෝලොජි ටියුෂන් දෙන්නේ... "

මරුමුස් මිනිහා උගේ නිලයට වැදුනා වගේ පෙන්නුව හින්දා විරංග ඉක්මනට ඇවිදගෙන ගිහින් පඩිපෙළේ පඩි දෙකතුනකුත් නැග්ගා. මමත් ඌ පස්සෙන් ගියා. ගොටයින්බරයාගේ මුණ හතරැස් වෙලා.

"..... සිස්ටර් කිව්වා අය්යලා එක්ක ආවා කියල. අපි පාර අහගෙන ආවේ. අර මිස් මධුලිකා ?"

විරංග එහෙම කිව්වේ කටහඬ වැඩිකරලා හින්දා ගොටයින්බරයා බය උනා වගේ උනත් කටක් ඇරියේ නැහැ. ඇතුලේ හිටපු කවුරු හරි ජනේලෙන් එබෙනවා වගේ මම දැක්කා. ඒ ඔක්කොගෙම මුණු හතරැස් වෙලා බව මට පේනවා. උන් බය වෙලාද කොහෙද. මගෙත් පපුව ගැහෙනවා එකසිය ගානට. ඒ උනාට පෙන්නුවේ නැහැ.

විරංග පඩිපෙළ නැගලා කොරිඩෝවට අඩිය තියෙනකොටම අර ගෑනු කෙනා දොර ගාවට ඇවිත් ගල්වෙලා වගේ බලාගෙන හිටියා. මමත් වීරයා වෙන්න එපැයි!

"මිස් මධුලිකා ඉන්නවා නේද? අපිව එව්වේ සිස්ටර්"

එහෙම කියපු ගමන් ඒ ගෑනි හොඳටම සුදුමැලි උනා. කටත් බාගෙට ඇරිලා වගේ ගොටයින්බරයා දිහා බැලුවේ ඇස්දෙක උලුප්පාගෙන.

"ම.. ම.. මධුලිකා... මේ... මේ... කෑම කනවා"

මම හිතන්නේ ගොටයින්බරයා රවන්න ඇති. ගෑනි එකපාරටම කට වහ ගත්ත. දැන් ඉතින් කියපු දේ ගිලින්නද?

"ආ... ඒ ළමයාගේ නම එහෙමද? මම දැනගෙන හිටියේ නෑ මහත්තය.. එහෙනම් ඩිංගක් වාඩිවෙන්නකෝ"

ගොටයින්බරයා හදිස්සියේ එහෙම කිව්වේ කියතෙන් කපනවා වගේ සද්දෙකින්. මම හිතලාම වාඩි උනේ දොර ගාවම තිබ්බ පුටුවේ. පරණ ලී පුටු වල තිබ්බ වේවැල් මම වාඩිවෙනකොට 'ජරස්' ගාලා සද්දයක් ආවා. ඇස් කොනෙන් මම ගේ ඇතුලේ බැලුවට එහෙමටම මුකුත් පෙනෙන්න නැහැ. ගොටයින්බරයා ඒ ටිකට සිගරට් එකක් පත්තු කරගෙන මිදුලේ එතනම තිබ්බ වතුර කරාමයෙන් අත හෝදගෙන අපි දිහා බලාගෙන හිටියේ කන්න වගේ. ඌ ඉන්නේ විමසිල්ලෙන් කියල මට තේරුනා උනාට මම විරංග දිහා බැලුවේ නැහැ. සාමාන්‍ය වෙන්න හැදුවට මාව නම් ඇතුලෙන් වෙව්ලනවා...

මම කන් දුන්නේ ඇතුලෙන් පිහියක්, කැත්තක්, මන්නයක් වගේ දෙයක් උරච්චි කරන සද්දයක්වත් ඇහෙනවදෝ කියලයි. මොකද්දෝ දොරක් වගේ දෙයක හරි, ඉබ්බෙක් වගේ දෙයක ගැටෙන සද්දයක්, කොන්ඩිපට්ටමක විවෘත වෙන සද්දයක් ආවා.

මගේ කන්දෙක ඒ වෙලාවේ අධි සංවේදී වෙලා තියෙන්න ඇති. කොටින්ම මධුලිකා ඇවිදගෙන එන සද්දේ පවා මට හොඳටම ඇහුනා.

"ආ... මධුලිකා මිස්"

විරංග හොඳම නළුවා වගේ වෙනසක් නැතුව එහෙම කියාගෙන නැගිටිනකොට මාවත් ඉබේටම නැගිට්ටුනා. මධුලිකාගේ මුහුණ නම් අඬපු බවක් , කොණ්ඩේ අවුල් වෙච්ච බවක් තිබුනා උනත් අපිත් මුකුත් නොදැක්ක ගානට හිටියා.

ඇස් කොනෙන් මම දැක්කා මිදුලේ සිගරට් එකක් බිබී හිටපු ගොටයිම්බරයා හෙමින් හෙමින් අපේ පැත්තට එනවා. පැනලා යයි කියල හිතෙන්න ඇති. මට දැන් ෂුවර් මෙතන මොකක් හරි අමුතු දෙයක් වෙනවා කියල.

"මිස්... අර.. ටියුෂන් ක්ලාස් එකේ පොත්ටික ඉල්ලගෙන එන්න කියල සිස්ටර් කිව්වා.. අපි ආවේ ඒ පණිවිඩයකට. අපිව දන්නේ නැතුව ඇතිනේ?"

මධුලිකා ඇස්දෙක එකපාරක් පිල්ලම් ගහලා දෙවෙනිපාර මගේ දිහාත් විරංග දිහාත් බැලුවා.

"ඔයාල කවුද?"

"මිස් අපිව දන්නේ නැතුව ඇති. අපි සිස්ටර්ගේ ඔර්ඵනේජ් එකේ ඉන්නේ"

"අ...ආ...... මට අමතක උනා. ඉන්න මම ගෙනත් දෙන්නම්"

කෙල්ල එහෙම කියාගෙන යනකොට මමත් පස්සෙන් වැටුනා.

"ඔය මහත්තය ඉන්න.... දෙන්නම යන්න ඕනේ නැහැනේ.. අපි මහත්තයල අඳුනන්නෙත් නැහැ..."

ගොටයිම්බරයා එහෙම කියනකොට මම හැරිලා බැලුවා. කියලා තියෙන්නේ විරංගට. ඌ හිනා වෙලා එහෙම්මම වාඩි වෙලා එතන තිබ්බ මොකද්දෝ සඟරාවක් අතට ගත්තේ වෙනසක් නැහැ වගේ. මම මධුලිකා පස්සෙන් යනකොට ඒ එක්කම අර ගෑනු එක්කෙනත් ආවා. ගේ ඇතුල අඳුරුයි. සෑහෙන පරණ ගෙයක් වගේ.

කාමරේ ඇතුලට යන්න හදනකොට අර ගෑනු එක්කෙනා දොර ගාව හිටගත්ත හින්දා මම නැවතුනා. වෙනසක් පෙන්නන්න , බයි - ෆෝස් එකක් කරන්න නරකයි. පපුව නම් ගැහෙනවා.

මගේ උකුසු ඇස්වලට අහු උනේ කාමරේ දෙපලු දොරට කොන්ඩිපට්ටමක් දාල තිබුන බවයි. ඒ කියන්නේ මධුලිකා හිටියේ ඒ කාමරේට දාලා ලොක් කරලාද? යන්තමට වගේ දැක්කේ කාමරේ ඇතුලේ තිබ්බ පරණ කළුවර මේසේ උඩ කඩෙන් ගත්ත කෑම පාර්සලේ තියෙනවා ගෙනාපු විදියටම.

මධුලිකා ඇතුලේ ඉඳල ආවේ පොත් කීපයක් අරගෙන. ඔක්කොම මගේ අතට දීලා මගේ දිහා බැලුව විදියට මට මොකද්දෝ උනා. ඒ බැල්මෙන් කියන්නේ මොකද්ද කියලා මට හිතාගන්න බැරි උනා තමයි. ඒ හින්දම වෙන්න ඇති අන්තිමට දීපු පොත මගේ අතින් බිමට වැටෙන්න ඇත්තේ.

"ඔහ...."

අපි දෙන්නම ඒක ගන්න බිමට නැමුනා.

"පොත බලන්න..."

මධුලිකා එහෙම කිව්වේ මගේ දකුණු අතේ මැණික් කටුවෙන් තදකරලා අල්ලන ගමන්. මාව හොල්මන් වෙලා ගියා. ඒක නිකන් කෙඳිරිල්ලක් වගේ. මදුරුවෙක් කතාකරනවා වගේ අඩු සද්දෙකින් ඇහුන හින්දා මට විස්වාසයි ඒක රහසින් කිව්වේ මටමයි කියලා.

"සොරි... සිස්ටර්ට සොරි කිව්වා කියන්න."

"නෑ මිස්.. කමක් නැහැ. දැන් ආයේ යන්නේ නැහැ අපි එහෙ. පොත් ලැබුනානේ"

මම එලියට ඇවිත් බලනකොට විරංග අර ගෝටයිම්බර එක්ක කතාවක් දාගෙන කොරිඩෝවේ කානුවකට හේත්තුවක් දාගෙන ඉන්නවා.

"හරිද? අපි එහෙනම් යමු"

"හරි.."

"තැන්ක්ස් එහෙනම් අපි යන්නම්"

ආයෙමත් හැරෙන්නේවත් නැතුව අපි දෙන්නා ඇවිත් කාර් එක පාරට ගත්තා.

බරාස් ගාල පාර අයිනට නතර කරපු මම පිස්සුවෙන් වගේ පොත්ටික පෙරලගෙන ගිහින් අන්තිමට බිමට වැටිච්ච පොත හොයාගත්තා. පොත එහාට මෙහාට පෙරලලා මම හොයපු දේ මටම අදහගන්න බැරි උනා.

මැද්දේ තිබ්බ පිටුවක ලා රතුපාට මහත යමකින් ලියපු අකුරු හතරක්. වෙලාවේ හැටියට.... ඔව්.. මම මගේ නහයට ලං කරලා බැලුව. ලියලා තිබ්බේ ලේ වලින්. මම විරංග දිහා බැලුවා. විරන්ගත් බය වෙලා මගේ දිහා බැලුවා.

සුදුපාට පසුබිමේ ඒ අකුරු හතර දැක්කහම බය නොවී කොහොමද... මම පොත දිහා බලාගෙන ඉන්නකොට මගේ ඇස්දෙක නිලංකාර වේගන යනවා.. ඒ අතරෙන් බොඳවෙලා ගියේ ඒ අකුරු හතර...



'HELP'

********** මතු සම්බන්ධයි ***********

16 comments:

  1. හම්මේ, මේකට කමෙන්ට් කරන්නේ නෑ. රතුපාට මල් දානකන්

    ReplyDelete
    Replies
    1. ඕන්න ඉතින් බලහල්ලකෝ... පුළුවන් එක දැම්මහම අන්තරේ එකා වගේ නැති එකම ඉල්ලනවා... හිටු ඉවසල

      Delete
  2. අප්පා... දැන්නම් ත්‍රාසය භීතිය කුතුහලය එමටයි....ඉතුරු කොටස ඉක්මනට දෙන්න මෙයා පීස් ඔයා මම වගේ නෙවෙයි හලී හොදා...යි නේ.

    ReplyDelete
    Replies
    1. ආ... ඒ බටර් හරියන්නේ නැහැ හරිද...

      බලමුකෝ ඉස්සරහට..


      පේනවනේ.. සමහරු ආස නැහැ මේ කතාවට.. පව් අනේ මම

      Delete
  3. ඉක්මනට ඉතුරු ටිකත් දානඩෝ....ඒ ස් වා පුහ්....

    ReplyDelete
    Replies
    1. මොකද තඩියෝ හැමතැනම මේ 'පුහ්' ගගා පෙනේ කරන්නේ?

      හරි හරි... දාන්නම්කො. තව ඉවසන්න වෙයි

      Delete
  4. මේ කතා දෙක දැන් පැටලිලා මං හෙන වටයක් ගහල ලිහා ගත්තේ.. හැබැට කෝ රතුපාට මල්?

    ReplyDelete
    Replies
    1. මොන කරුමයක්ද.. මුන් ඔක්කොම රතුපාට මල් ගාලේමයි... ඒක ලියලත් ගොඩක් කල්.. හිටින්ටකෝ මම ලියනකල්....

      Delete
  5. හම්බෝ.... හොරර් ෆිල්ම් එකක් වගේ...

    ReplyDelete
    Replies
    1. හෑ ????
      ඒ මොකද අනේ ඒ? මම හොල්මන් මොකවත් ලිව්වේ නැහැනේ

      Delete
    2. ඈහ් නෑ මං මේ කිව්වෙ “හොර“ ෆිල්ම් එකක්

      Delete
  6. හෙහ් හෙහ් මරු මරු... නිවාඩුවක් දාල හරි දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් දාන්න? මේ අපි?? පික්සු කතා කොරන්ට එපා.. අපි මේ සේවයටම කැපවෙච්ච... කැපිච්ච සොලී.... කට්ටිය හරිද? නිවාඩු ගන්නේ නැහැ... හුප්!

      ඔන්න අනිවාර්ය නිවාඩු යැව්වොත් මිසක් (සද්දේ අඩුවට )

      Delete
  7. මරු ලිඛී... කොහෙද අප්පා මං මීට කලින් ආවේ නෑනේ...
    දැනුත් ඉතින් ඇඩ්‍රස් එක ඉල්ලගෙනනනේ ආවේ...

    ReplyDelete
    Replies
    1. ටැංකියු අනේ...
      හි හි එහෙම තමයි. මම මේ ඉතින් පාලු පලාතක කන්දක් උඩට වෙලා පැලක් අටෝගෙන ඉන්නේ.

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...