Sunday, March 3, 2019

203. සුහදිනියේ - 10 | අලුත් හෝඩුවාවක්

කලින් කොටසට 



ඔතරම් බය උනාට වත්තෙන් පණිවිඩයක් මිසක් වෙන කරදරයක් නැතුව ඉතුරු විනාඩි තිහ ගෙවෙනකොට මල්ලි ඇතුළු කට්ටිය ගෙදරට සේන්දු වෙනවා ඇහුනා. තාත්තා ගෙදර නැති එකෙන් මට තිබ්බ වාසියට වඩා පාඩුව දැනුනේ වත්තේ ඔෆිස් එකෙන් එන අනේක විධ ගැටළු මැද්දට අහු උනාමයි.

දවල් කෑම එක හොඳටම තිබ්බේ බියර් එකක් ආපු නිසාද නැතිනම් මගේ කාමරේ කෙල්ලෙක් ; මගේ හිත ගත්ත කෙල්ලෙක්; ඉන්න නිසාද කියලා මට වෙන්කරලා කියන්න අමාරුයි.

ඉරිදා දවසක් නිසා මල්ලි එලියට දාගන්න විදියක් නැතුව මම කල්පනා කලේ එකම තට්ටුවේ ; එකිනෙකට මුහුණලා තිබ්බ කාමර දෙකක ඉඳගෙන මල්ලිගේ ඇස් වලින් , මේ මහා දවාලේ කෙල්ලෙක් හංගගෙන ඉන්න එක එතරම් ලේසි නැති නිසා.

විසඳගන්න තිබ්බ ප්‍රශ්න වලින් මුල්ම එක උනේ මධුලිකාගේ ප්‍රශ්නය පටන් ගන්නේ කොහෙන්ද කියන එක. කරන්න තිබ්බ වැඩ වලින් මුලින්ම තිබ්බේ මගේ දුරකථනය හොයාගන්න එක. ඔක්කොටම වඩා මට කරගන්නම බැරුව තිබ්බේ මධුලිකාව කාමරේ දාලා මේ එක වැඩකට හරි එලියට යන එක. එක පැත්තකින් අපිව මැරයින්ට අහුවෙයි කියන බය, අනික් පැත්තෙන් මධුලිකාව ගෙදර උන්ට අහුවෙයි කියන බය.

කාමරේ තිබ්බ සෝපාවේ වැටිලා ඉන්න මධුලිකාට එක විදියකට ඉන්න බැරුව දඟලනකොට මමත් පොඩ්ඩක් උදව් කරන්න ආවත් කෙල්ල නෙවෙයි ඒකට ඉඩ දුන්නේ. සමහර වෙලාවට චාපා එක්ක ඊයේ වෙච්ච දේ ගැන තාමත් හිතේ තියාගෙන ඉන්නවද දන්නෙත් නැහැ. මොකද්දෝ හේතුවකට මට පොඩියට වගේ ලැජ්ජාවක් දැනුනා තමයි. වඩාත්ම එහෙම වෙන්න ඇත්තේ මේ කෙල්ලගේ තිබ්බ ඒ අමුතු ආඩම්බරකමට ; දරදඬුකමට නොනැමෙන මගේ හිතේ වෙන්න ඇති.


වරින් වර කෙරුණු කතාබහෙන් මම සිද්ධියේ දළ සැකිල්ලක් ගහගත්තා. මම අනුමාන කරන විදියට මධුලිකාට අවුරුදු 18 වනවිට කලයුතු; කල හැකි හෝ උරුමයක් තිබෙන දෙයක් ගැන උනන්දුවෙන කෙනෙක් විසින් තමයි ඈව පැහැරගන්න ඇත්තේ. කවුරු නමුත් ඒ පුද්ගලයා මධුලිකාගේ ඒ සම්බන්ධය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එක්කෝ නීතිය දන්නා; නමුත් හොඳින් හෝ නරකින් ඉටුකරගන්න යමක් තියෙන කෙනෙක් වෙන්න ඇති.



මේ වෙනකොට මධුලිකා ගැන ලොකුවට හොයන්න කෙනෙක් කියලා ඉන්නේ ඇගේ මවගේ පවුලේ උදවිය නිසා ඔවුන්ට පණිවිඩයක් යවලා හරි හම්බවෙන්න ගිහිල්ලා හරි වැදගත් තොරතුරු ගොඩක් හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්.

බියර් මතට නින්ද ගිහින් තිබ්බ නිසා මල්ලිගේ කාමරයෙන් උගේ අල්මාරියේ දොර ඇරගන්න පුළුවන් උනේ මට හොඳ නුවණක් පහල වෙච්ච හින්දයි. මල්ලි පාසල් නාට්‍ය කණ්ඩායමේ හිටපු නාට්‍යයක පාවිච්චි කරපු රැවුලක් එක්කම හොඳ කොණ්ඩයක් හොයාගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

මුණ පුරා වැහුන රැවුල දාගත්තහම  විරංග සෑහෙන්න වෙස් වලාගෙන තිබ්බා. මගේ කූරු කොණ්ඩය වෙනුවට පොකුටු කෘතීම කොණ්ඩය ; මම අකමැති උනත් ; මාව සෑහෙන්න වෙනස් කෙනෙක් කරලා තිබ්බා. අකමැත්තෙන් උනත් මධුලිකාව කාමරේ යතුරු දාලා වහලා මමත් විරංගත් එලියට බැස්සේ රැවුලත්, කොණ්ඩයත් විනිවිද නොපෙනෙන බෑග් එකක දාගෙන.



ජීප් එක ප්‍රධාන පාරට දාන්න කලින් තුන් හතර පාරක් මමත් විරංගත් අපේ වෙස් වලා ගැනිල්ල පරික්ෂා කරලා බැලුවා. වැඩිය මිනිස්සු නොයන පාරවල් වලින් ඇවිත් අපි ප්‍රධාන පාරේ සෑහෙන ඈතින් නවත්වලා පාරේ වාහන ගැන ඇහැ ගහගෙන හිටියේ කවුරුන් හරි අපිව ලුහුබඳිනවා වෙන්නත් පුළුවන් නිසා. එහෙම සලකුණක් පෙනෙන්නට තිබ්බේ නැහැ.

වාහනේ තිබ්බේ ගැරේජ් නම්බර් නිසා තමයි කොහොමත් මේ වැඩේට ජීප් එක ගත්තේ. ඉරිදා නිසා පාරේ පොලිසියෙන් හිටියේ නැති එකත්, අපි ආවේ කැළෑ පාරවල් වලින් හින්දත්, ඒ ඔක්කොටම වඩා ලංකාවේ පොලිසියේ තියෙන ගරාජ් නම්බර් වලට තියෙන සාධාරණ බයේ වාසියත් නිසා වැඩි බයක් වෙන්න දෙයක් තිබ්බේ නැහැ. වාහනේට ඩඩා අංකයක් අරගෙන තිබ්බත් ඒක එයාට වඩා පදින්නේ මම නිසා මම මට ඕනේ දේවල් තමයි කලේ.

"මචං උඹ ටැක්සියක් අරගෙන පලයන් ඒ ගෙදරට. උන්ගේ මම්මා කියන ලේඩි ලව්වා කොහොමහරි විස්තර ටික ගන්න ඕනේ. එක්කෝ නම්බර් එක ඉල්ලගෙන වරෙන්. නැතිනම්...."

"ගෙදරට කෝල් කරලා බෑනේ බන්.."

"හ්ම්ම් ඒක තමයි. "

මගේ ගාව තිබ්බ අනිත් දුරකථනයට සිම්පතක් දාගෙන ආපු නිසා යම් තරමකට සහනයක් තිබ්බත් මධුලිකාට කතාකරගන්න වෙන විදියක් තිබ්බේ නැහැ. මගදී එන ගමන්ම කෝල් කරලා මම මගේ කලින් සම්බන්ධතාවය විසන්ධි කළා.

"කමක් නැහැ... මම උඹත් එක්ක එන්නම්"

"එපා... අපි දෙන්නා එකට යන එන එක හොඳ නැහැ. හොඳ ම දේ තමයි අපි ඉක්මනින් යන එක. උඹ ගිහින් ලෝයර් හොයා ගනින් අද දවස ඇතුලත කොහොමහරි. දෙකම අදම කෙරුනොත් පොඩ්ඩක් ලේසියි."

"මචං.. ම.. ම්ම්.."

"මොකද?"

"මේ..."

"මොකද බං කෙකරගාන්නේ??"

"අපි මධුව ෆ්ලැට් එකට ගෙනියමුද?"

විරංග මගේ දිහා බැලුවේ අමුතුම බැල්මක්.

".. එක්කෝ... ඕනේ නැහැ.. "

මමං ඒ යෝජනාව වෙනස් කළා.

".......මමත් කැමති නැහැ ඒ වගේ තැනක මධුව තියන්න."

මගේ හිත අමුතු වේදනාවකින් පෙලුනා වගේ. තාත්තාගේ ෆ්ලැට් එකට මම මගේ පෙම්වතියන් රැගෙන යන බව විරංග හොඳාකාරවම දන්නා කාරණාවක් උනත් වෙනත් අයගෙන් වසන් කර ඈ තබාගන්නට වෙනත් ස්ථානයක් මට ඒ මොහොතේ තිබුනේ නැහැ. ඒ ෆ්ලැට් එක හෝ එහි නඩත්තුව ගැන කිසිවක් තාත්තාට අදාළ නොවුනේ එය සම්පුර්ණයෙන් බලාකියා ගන්නේ මම හින්දා. මගේ යහළුවන්ගේ නවාතැන ලෙස මම එය සින්නක්කර ලබාගත්තේ පාඩම් කරන මුවාවෙන්. එහි වියදම් සියල්ල දරන්නේ තාත්තා විසින් උපකාර කල ; ඒ වෙනකොට රජයේ ප්‍රභල මන්ත්‍රීවරයෙක් වූ දුලිප් සතරසිංහයි.

"නෑ බං... මමත් හිතන්නේ අද රෑම පුළුවන් නම් අපි මධුව එහෙට ගෙනියමු. මේ ගෙදර ඉන්න එක මාර රිස්ක් එකක්"

විරංග කිව්වේ බෙල්ල කසමින්.

"අවුලක් නැහැ බන් අම්මත් නැහැනේ"

"අම්මා නැති උනාට ඇයි උඹේ මල්ලි තාම පොට්ටයෙක් වෙලා නෑනේ"

"හ්ම්ම්.."

මට එකපාරටම හිතුනත් ඒ අදහස වරදක් නැහැ.

විරංග කොතරම් කිව්වත් ඌව ටැක්සියේ යවන්න මට හිතක් දුන්නේ නැහැ. මම කලේ පාරවල් අහමින් ගිහින් අනුමාන ගෙදර හම්බෙනකල් වගේ ගිහින් ඈතින් බස්සපු එක. ආපහු එන්න සල්ලිත් අතට දීලා මම ප්‍රධාන පාරට එනකොට හොඳට වටපිට බලමින් තමයි ආවේ. තාම නම් අපිව ලුහුබඳිනවා කියලා හිතෙන විදියේ දෙයක් උනේ නැහැ.

ඊළඟට මට තිබ්බ අභියෝගය තමයි ලෝයර් හොයාගන්න එක.

****************************************


තාරුක අය්යා බඩත් අල්ලාගෙන හිනාවෙන්න ගත්තා.

"අඩෝ... උඹ හෙන කැතයිනේ ඕක අයින් කලාම.."

මමත් ඉතින් ඌට ඇතිවෙන්න හිනාවෙන්න ඇරලා ඔහේ බලාගෙන හිටියා. කට ඉතින් පොපියනවා උගේ කොන්ඩේ ගැන කියන්න. කට වහගෙන හිටියේ මට ආපු වැඩේ කරගන්න ඕන නිසා. 

මෙතනට ඇවිත් කාරණාව කියනකොට කොණ්ඩේ දාගෙන හිටියාට බොරු කොණ්ඩේ අයින් කරන්න උනේ මාව අඳුරගත්තේ නැතුව වැඩේ ලේසි නැති බව තේරුන නිසා. මම මගේ අතේ තිබ්බ නම් පත දිගු කළා.

"හ්ම්ම්.... ක්ලිෆඩ් වාකිෂ්ට.. හ්ම්ම්... මම හිතන්නේ මට හොයාගන්න පුළුවන් වෙයි. ඒත් පුතෝ හිතන්න එපා එක කෝල් එකකින් හොයාගන්න පුළුවන් වෙයි කියල. මට දවස් දෙකක් දියං "

යන්තම් සමනයකට පත්වුණු ගමන් තාරුක අය්යා කියනකොට මගේ ඇස්දෙක ලොකු වෙන්න ඇති.

"අපෝ බෑ.. එච්චර දවසක් ඉන්න බැහැ. මම හිතන්නේ මෙයා එක්කෝ පිටරට. නැතිනම් නම්බර් එක වෙනස් කරලා. මෙහෙ ප්‍රැක්ටිස් කරන්නේ නැතිද දන්නෙත් නැහැ"

"වාකිෂ්ට.... හ්ම්ම්.. මම හිතන්නේ මට මොනවාහරි මතකයි එහෙම එකක්."

"කොහොම එකක්ද?"

එකපාරටම තාරුක අය්යා මගේ දිහා කන්න වගේ බැලුවා.

"උඹ මොකක් හරි කේස් එකක් පටලවාගෙන නෙමෙයි නේ?"

ඒකට එකවරම දෙන්න ඕනේ උත්තරේ මොකද්ද කියලා මම කලින් හිතලා තිබ්බේ නැහැ. තමන්ගේ දොස්තරටත්, ලොයර්ටත් ඇත්ත කියන්න කියලනේ උපදෙස් දීල තියෙන්නේ. ඒත් මේ වෙලාවේ හැටියට මට තාරුක අය්යාට මේ කාරණාවේ සියලු ඇත්ත කියන්න කැමැත්තක් තිබ්බේ නැහැ.

"..... හ්ම්ම්.. හිතලා උත්තරයක් කියපන්කො. ගෑනු කේස් එකක්ද?"

මට ඒකටත් උත්තරයක් තිබ්බේ නැහැ. ඔව් කියන්නද? නෑ කියන්නද?

"එහෙම නෙවෙයි. මට මුලින්ම මේ මිනිහව හොයල දීපන්... මමත් හරියටම දන්නේ නැහැ මොන....."

"ආ....! වාකිෂ්ට ක්‍රිමිනල් ලෝයර් කෙනෙක් නේද?"

මගේ බඩ පපුව දාල ගියා වගේ. ඒ කියන්නේ මොකක් හරි හෙනගෙඩියක් කියන එකද?

"ඒ කිව්වේ? උඹත් මගෙන් විකාල භෝජනා ප්‍රශ්න අහන්න ගත්තනේ."

මම නැගිටලා ගිහින් වතුර ෆිල්ටර් එකෙන් වතුර කෝප්පයක් පුරවගත්තා. තාරුක අය්යාගේ කාර්යාල කාමරේ වෙන ලොයර්ලාගේ වගේ නෙවෙයි. ලොකුයි, පිළිවෙලයි. ඇත්තම කියනවා නම් ඔහු කියන්නේ මගේ හොඳම මිත්‍රයෙක්. මුදල් හඹා නොයන ලොයර්ලා අතුරෙන් මම දන්නා මිහිපිට උන් එකම උදාහරණය උනේ ඔහුයි. එකම වරද මාව නැතිවෙන තරමට උපදෙස් දෙන එකයි.



"අඩෝ මේ.. උඹ කරන දේවල් වල හැටියට උඹගේ කෙල්ලෝ මරාගෙන මැරෙන්න ඕනේ උඹව."

මම ආපහු හැරිලා තාරුක අය්යා දිහා බලපු බැල්මෙන් ඔහුට වැටහෙන්න ඇති දැන් නම් මම ඉන්නේ වෙනමම මානසික තත්වයක කියලා. මට නාස්ති කරන්න කාලය තිබ්බේ නැහැ.

"මට මේ උදව්ව කරලා දීපන් බං. සිරාවට කියන්නේ. මම විස්තර ඔක්කොම කියන්නම්. දැන් ඒකට වෙලාව නෙවෙයි. මට තව වැඩ ගොඩක් තියෙනවා"

පුටුවේ පිටිපස්සට හේත්තු වෙලා තාරුක අය්යා මගේ දිහා බැරෑරුම් මුහුණක් දාගෙන බලාගෙන හිටියා.

"මගේ මතකය නිවැරදි නම්... වාකිෂ්ට අපරාධ නඩු කතාකරන කෙනෙක්. ලොකු බූදල් නඩුවක් කළා දැන් ගොඩ කාලෙකට කලින්. දන්න තරමින් ලංකාවේ නැහැ දැන්"

කවදත් ඔහුටම ආවේනික ඉංග්‍රීසි උරුවක් ඇති පැහැදිලි වචන වලින් ඌ එහෙම කියනකොට මගේ කට ඇරිලා වගේ තියෙන්න ඇති. ඒ කියන්නේ මධුලිකාව මැදිවෙලා තියෙන්නේ බුදල් නඩුවක ප්‍රතිපලයක් වෙච්ච කරදරයකටද? පරම්පරාවෙන් හිමිවන සුවිශාල බුදලයක්ද මේ සියල්ලටම මුල?

"හ්ම්ම්... උඹ මට කරන ලොකු උදව්වක් විදියට මේ ගැන මට හොයලා අදම කියන්න ඕනේ. ලොකු දෙයක් මචං..මේක හදිස්සියක්."

අසල තිබුණු සටහන්පොතේ මගේ අලුත් දුරකථන අංකය ලියල දීලා මම එතැනින් පිටත් වුයේ පුරුදු පරිදි බොරු කොණ්ඩය තුලින් වෙස්වලාගෙනයි.

මගේ සිත නොයෙකුත් විකාරයන්ගෙන් පිරෙන්නට පටන්ගෙන තිබුනා. මධුලිකා ඉන්නේ සෑහෙන අනතුරක විය හැකියි. සමහර විට බුදලයෙන් ප්‍රතිලාභ ලබාගන්න සිතා ඇයට අනතුරක් කරන්නටද හැකිය. එසේ නම් අවුරුදු 18 සම්පුර්ණ වනවිට ඈට තීරණයකට එළඹිය හැකිය.

ඉන්පසුව මම ගියේ ඇඳුම් සාප්පු සංකිර්නයටයි. එහි ගොස් මධුලිකාට ගැලපේයයි සිතිය හැකි ප්‍රමාණයේ ගවුම් තුන හතරක්, කලිසම් , ටීෂර්ට් දුසිමක් පමණ තෝරා ගත්ත. වඩාත් අමාරු උනේ යට ඇඳුම් ගන්න එක. ජිවිතේට නොකරපු දෙයක් මම කලේ අත්දෙක වෙව්ල වෙව්ල. කැෂියර් එකේ කෙල්ල දිහා බලන්නේවත් නැතුව මම ඉන්න හැදුවේ පපුව හය්යෙන් ගැහෙන්න ගත්ත හින්දා.

ඇඳුම් ටිකත් අරගෙන එලියට බැහැපු ගමන්ම මම විරංගගේ දුරකථනයට කතා කලත් කිසිම උත්තරයක් ලැබුනේ නැහැ.

ඌ වැඩේ කාගත්තද? ඌව අහු උනාද? මගේ බඩ පපුව පත්තු වෙන්න ගත්තා.

මුලින්ම කරන්න ඕනේ ඌ යහතින්ද කියලා දැනගන්න එක යයි තීරණය කරපු මම තවත් දෙපාරක් හිතන්නේ නැතුවම ඒ පාරට හැරෙව්වා. විරංගයාව බස්සපු තැනට මීටර් සීයක් විතර කලින් තිබ්බ පාලු, පටු පාරක ජීප් එක එතරම්ම ඇහැ නොගැටෙන්න පාක් කරගන්න පුළුවන් උනා. වාහනෙන් බහින්න කලින් මම දෙපාරක් විතර චෙක් කළා බොරු කොණ්ඩේ.


හෙමිහිට වාහනෙන් බැහැලා විමසිල්ලෙන්  ඒ ගේ පැත්තට ඇවිදගෙන යනකොට ඉස්සරහින් එකපාරටම පාරට ගොඩ උනේ ළමයි දෙන්නෙක් ඉස්සර කරගත්ත තලතුනා ගැහැණු කෙනෙක්. මල්ලක් වගේ උස්සගෙන ආපු ඈගේ උකුසු ඇසට අහු නොවෙන්න මට පුළුවන්කමක් තිබ්බේ නැහැ.

"මේ.. අර.....?"

මේ ගෑනි මේ මොකක් කියන්න යනවද කියන මට එකපාරටම හිතාගන්න බැරි උනා. මගේ ගමන යම්තරමකට බාල වෙන්න ඇති.

කිළුටු පෙනුමක් තිබ්බ ළමයි දෙන්නා මගේ උඩ ඉඳන් පහලටම වගේ බැලුවා.

".... මේ අර අර.. මහත්තය නේ?"

මේ මොකද්ද මේ කියවන්නේ? මම මේ ගෑනි දැක්කෙත් අදයි! මම ගණන් නොගෙන යන්න හැදුවා.

"... මහත්තය... මොකෝ මේ පැත්තේ?"

වෙලාවේ හැටියට කරන්න වෙන දෙයක් නැති නිසා මම ආපහු හැරිලා බැලුවා. කහට ගැහිච්ච දත් විලිස්සාගෙන ඒ ගෑනි හිටගෙන ඉන්නවනේ!

"ම.. ම... මේ උඩහ ගෙදර විකුණනවා කිව්වා. ඒකයි බලන්න ආවේ"

ගෑනිගේ මුණ කජු ලෙල්ලක් වගේ චප්ප වෙලා ගියා.

"ආ... පෝ... මහත්තය.... මහත්තයට වැරදිලා වෙන්න ඇති. ඒක විකුනන්නේ නැහැ... ඒ ගේ හරියනවෑ මහත්තයලට? අනික මේ අර කුණා විකුනයිය ?? "

මට ෆුල් හොල්මන් වගේ ඒ කතාව.

"ආ... එහෙනම් මට වැරදිලා වෙන්න ඇති. ඔයා මාව අඳුනනවද?"

එනපොට හොඳ නැති නිසා මම වංගුවක් ගන්න ගමන් කිව්වා.

"අනේ.. මොකෝ නැත්තේ?.... අර හාමුදුරු කතාවේ පොඩි හාමුදුරුවන්ගේ අය්යට උන්නේ මහත්තය නොව? මට දැක්ක ගමන් අඳුරගන්න පුළුවන් උනා. අනේ අපි නොවැරදීම බලනවා ඒ කතාව අප්පා"

කන්දෙකත් එක්ක රත්වෙලා කරකුට්ටන් වෙලා යනවා වගේ දැනුනේ. මේ මොකද්ද බොලේ මේ කියන්නේ!

"මේ අය්යාගේ කොණ්ඩේ වෙනස්නේ අම්මේ"

"බෝ කටවහපන්.. මම දන්නේ නැද්ද.. මගෙත් ඇස් පොට්ට වෙලාය?"

කටුබැල්ලියක් වගේ ළමයින්ගේ ඇඟට කටාගෙන පැන්න  ඒ ගෑනි ඊළඟ තත්පරේ හිනාවෙලා මගේ දිහා බැලුව. මට කරකියාගන්න දෙයක් නැහැ. දැන් ඉතින් රඟපාන්න තමයි තියෙන්නේ.

"ගිහින් එන්නම් එහෙනම්"

එතනින් අඩියට දෙකට මාරුවෙච්ච මම නෙවෙයි අයෙත් හැරිලාවත් බැලුවේ. පොඩි එකා තව ඩින්ගෙන් මගේ කොන්ඩෙත් ගලෝනවා.

අතරින් පතර ගල් මතුවෙලා හේදිලා ගියපු අඩි පහළොවක් විතර පළල පාරේ එක පැත්තක ක්‍රෝටන් වැටකින් වෙන් වෙලා තිබ්බා. තරමක කන්දක් නිසා පල්ලම තියෙන පැත්තේ හදලා තිබ්බ ගල්වැටිය මේ ලඟදි පිළිසකර කරලා තිබ්බ බවක් තිබ්බෙත් නැහැ.

පාර අවසානය හරියට එනකොට ලොකු මිදුලක් තිබ්බ සුවිසාල වලව් පැලැන්තියේ ගෙයක් පෙනෙන්නට තිබ්බා. ගෙදර සෑහෙන්න පරණ බවත් ; ළඟකදී සෑහෙන්න උත්සහයකින් පස්සේ කැලේ වැවිච්ච එකෙන් බේරාගෙන තිබ්බ බවත් තමයි පෙනුනේ.

එකපාරටම නොයා මම උසට වැඩුණු ක්‍රෝටන් පඳුරකට මුවා වෙලා ගෙදර දිහා පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටියා. කිසිම හැලහොල්මනක් නැහැ. ගෙදර පැත්තකින් තිබ්බ මැකිලා යන්න ආසන්න පාරක් දිගේ කවුදෝ එනවා වගේ තේරුණ නිසා මම ගහට මුවා උනා.

ඒ ආවේ විරංගයා!

පෙනුමෙන් නම් බැරෑරුම් බවක් තිබ්බේ. ඒ කියන්නේ අනතුරක් නැහැනේ! මම ආපහු හැරුනා.

පාර දිගේ පහලට මම ආවේ ටිකක් වේගයෙන්. ඉහලට එසවිලා තිබ්බ පාර ප්‍රධාන පාර එක්ක යාවෙන ආසන්නයට එනකොට පාරේ යමින් හිටියේ මඩ කැවීචච ; මිට දිග උදැල්ලක් කරේ තියාගත්ත කැහැටු මනුස්සයෙක්. ඒ මනුස්සයා මොකක් හරි හේතුවකට මගේ දිහා බලලා හිනා උනේ නැහැ. බයවෙලා වගේ අඩිය ඉක්මන් කළා කියලයි මට තේරුනේ.

මේ පෙනෙන විදියට මේ ගෙදරින් හමන හුළඟක්වත් මේ ගමේ මිනිස්සු අකමැති පාටයි. මේක ඇත්තටම වලව්වක්ද?



ජීප් එකට ගිහින් දොර වහගන්නවත් එක්කම මට විරංගයාගෙන් කෝල් එකක් ආවා.

"මොකද උනේ? මම ඇවිත් ඉන්නේ, උඹ ඉස්සරහ සියඹලා ගහ ගාවට වරෙන්"

ඌ කියන දෙයක් අහන්නේ නැතුව මම එහෙම කියලා තිබ්බා විතරයි ඒ මොහොතේම පාර දිගේ දුවගෙන එන විරංග මම හිතපු තැන පහුකරගෙන දුවගෙන යනවා පෙනුනා. මේ මොකද්ද මේ කලබලේ?

මම වාහනේ ස්ටාර්ට් කරලා යන්තමට ඉස්සරහට අරගෙන එබිලා බැලුවා කවුද මු පස්සෙන් පන්නන්නේ කියලා. එහෙම කියලා කෙනෙක් පෙනෙන්න තිබ්බේ නැහැ. ඒ මොහොතේම එන්ජින් එක රේස් කරලා ගත්ත වේගෙට වටේටම දුම් වලාවක් නැගුනා. පාරේ  දුවගෙන එන විරංගයා ගාව විදුලි වේගෙන් බ්‍රේක් ගැහුවේ ඉද්ද ගහන්නා වගේ.

එකපාරටම බය උනාට ඒ මොහොතෙන් මාව අඳුනගත්ත විරංග ඉස්සරහ දොරේ එල්ලිලා ඒක ඇරගත්තා.

"යමන්.. යමන්... අද්දලා යමන්... පාගපන් යකෝ..."

ආයෙත් හිතන්න දෙයක් තියෙයිද? මම ලෑල්ලට පෑගුවා.

*******************************************



"මගේ දෙවියනේ! "

මට එහෙම්මම කිය උනා තමයි. වෙන ඉතින් මොකක් කරන්නද?

"ඒ උනාට මට ඕනේ කරන දේවල් ටිකක් මම හොයාගත්තා. මධුගේ අම්මා; ඒ කියන්නේ මේ ගෙදර ඉන්න, නෑ නෑ හිටපු... හිටපු ගෑනිගේ දුවට මේ ගෙදර අයිති වගේ පෙනුනේ. ඒ උනත් ඉන්නේ වෙන එකෙක්. මට හරියට දැනගන්න බැරි උනා නෑකම. ඌ තමයි පොර"

"ඒ කිව්වේ?"

එතකොටම විරංගගේ දුරකථනය එක නද දෙන්න ගත්තා.

"අම්මටසිරි.. ආන්ටි!"

ඒ කියන්නේ මගේ අම්මා. මල ජුලියයි!! සුවර් එකට මගේ දුරකතනයට එකට ගන්න ඇති. ඌට කෝල් එකට උත්තර දෙන්න කියල මම අතින් කිව්වා.

"හලෝ... ආ... ඔව් ආන්ටි... අනේ ඔව් ආන්ටි.... අ.... ආ... ඔව් මේ ඉන්නවා. දෙන්නද? ... ආ.... හරි ආන්ටි. ඕකේ බායි.. බුදුසරණයි"

කෝල් එක විසන්ධි කලාද කියලා හොඳටම සුවර් උනාට පස්සේ තමයි මම කතා කලේ.

"මොකද කිව්වේ?"

"ආන්ටි උඹව හොයනවා යකෝ. දැන් යමන් ගෙදර. යන ගමන් කතාකරමු. මේ කෙහෙල්මල් මංගල්ලේ මුණේ දාගෙන ඉඳල මාව කහනවා එකසිය ගානට "

"අඩෝ ඕක ගලවන්න එපා.... අම්ම කියපු එකක් නෙවෙයි බන්.. මම ඇහුවේ අරූ මොකද්ද කිව්වේ කියල"

"කොරුද?"

"ඇයි උඹ කිව්වේ කවුද පොරක් ගැන"

කොහොම උනත් ඉක්මනින් ගෙදර යන එක ඇඟට ගුණයි. ඊට කලින් මම ආයෙමත් තාරුක අය්යට කතාකරන්න හැදුවත් දුරකථනය කාර්යබහුලයි. ඌ මාව මගහරිනවද? සාමාන්‍යයෙන් ලොයර්ලා කියන්නෙම විස්වාස කරන්න බැරි ජාතියක් උනත් තාරුක අය්යා නිසා මට විස්වාසයි මාව පාවල නොදෙයි කියල.

වාහනේ ස්ටාර්ට් කරලා මම පාරට අරගෙන ටික වෙලාවක් යනකල්ම අපි දෙන්නම කතා කලේ නැහැ. පාරේ අනිත් පැත්තෙන් තිබ්බ ෂෝට් කට්  එකකට හරවනකොට විරන්ගයා උගේ සාක්කුවෙන් මොකද්ද එලියට ගත්තා.

"මම මරණ දැන්වීම ගත්තා. මේ තියෙන්නේ"

"අනේ බන්.. පින් සිද්ද වෙයි චාලි චැප්ලින් කාලේ ෆිල්ම් එකක් වගේ නැතුව මට හරියට කියපන් මුල ඉඳල.. වෙච්ච දේ... මුලින්ම උඹ ගියාම මොකද උනේ?"

"අනේ මෙහ්... උඹට මම වගේ යාලුවෙක් හින්ද හොඳයි මේ ඔක්කොම කටු කන්න. හුහ්... අම්මප මමත් කරගත්ත මෝඩකමක් මේ කොහෙවත් යන කෙල්ලෙක් ගැන කියවන්න ගිහින්. ඔට්ටුවකුත් දාල... හෙහැ හෙහැ... එක අතකට උඹ ඔට්ටුව පරාදයි බන්.. ඒකි උඹට ගැහුවනෙ ඔලුව පැලෙන්න... හෙහ් හෙහ්"

ඒකට නම් මටත් ටිකක් හිනා ගියා තමයි.

"ඉඳපන් මම දිනලා පෙන්නන්න. මේ වෙලාවේ හැටියට මට ඒකිට ගේමක් දෙන්න බැරි උනාට... බලපන් මම කරනදේ.. උඹ දන්නවනේ මට පාට් දැම්මොත් මමත් ගේම තමයි... හරි දැන් කියපන් මුල ඉඳල විස්තරේ"

වාහනේ එලවන ගමන් මගේ හිත මධුලිකා මතක් වෙලා අතොරක් නැතුව විසිරෙන්න ගත්තා. හැබෑටම මම පළිගැනීමේ චේතනාවෙන් තමයි ඉන්නේ. මට ආඩම්බරකම් පාපු කිසි කෙනෙක් මම අතෑරලා නැහැ. ඒවා කල්පනා කරන වෙලාවක් නෙවෙයි මේක!

"මම යනකොට ගෙදර ඉස්සරහ වහලා තිබ්බේ. නාකි මනුස්සයෙක් එතන ගහේ පොල් කඩ කඩ ඉඳලා බැස්සා වෙලාවට. මම කිව්වේ ගෙදර රෙපෙයාර් කරන්න පණිවිඩයක් එවලා තිබ්බා, ඒකයි ආවේ කියල. මොකද මට ඕනේ කළා ගෙදර ඉන්න ඔතොරිටි තියෙන එකා කවුද කියලා දැනගන්න. ඒ මිනිහා හිටියේ නැහැ ඒ වෙලාවේ...."

මම පාරේ පොඩ්ඩක් ස්ලෝ කළා.

"මචන් ගිහින් මයිලෝ හතරක් අරන් වරෙන්"

"මයිලෝ?"

විරන්ගයා මගේ දිහා කන්න වගේ බැලුවා. වාහනේ නතර කරපු නිසා ඌ බැහැලා ගියත් මම දන්නවා ආවහම මට හම්බෙනවා කියලා.  හිත ඇතුලේ මොකද්දෝ හැඟීමක් එක්ක මධුලිකා මතක් වෙලා මගේ හිත ආයෙමත් පාවෙන්න ගත්තා. සුක්කානමට තට්ටු කරමින් මම හිටියේ ඒ අතර අතරමන් වෙලා වගේ.

මනෝ ලෝකය ඉහිරවමින් මට කෝල් එකක් ආවා. නියමයි! තාරුක අයියා. මම ඉක්මනින් උත්තර දුන්නා.

"මචන් කියපන්!"

"අඩෝ... මොකද්ද උඹ ඔය පැටලිලා ඉන්න කේස් එක? මට කෙටියෙන් කියපන්"

මට මොකක් කියන්නද කියලා එකපාරටම හිතාගන්න බැරි උනා. ඒ කියන්නේ ඌ ගාව මොකක් හරි වැදගත් තොරතුරක් තියෙනවා. ඌ විස්වාසවන්ත නිසා මට කියන්නත් පුළුවන්. විරන්ගයා ඇවිත් ඒ එක්කම වාහනේට නැග්ගා.

"මෙහෙමයි.... කෙල්ලෙක් කිඩ්නැප් කරනවා දැකලා අපි බේරගත්තා. ඒ කෙල්ලගේ ලෝයර් තමයි ඔය. "

".............................."

තත්පර දෙකක නිහඬතාවයක්.

"කියපන් ඉතින්"

"මිස්ටර් වාකිෂ්ට ලංකාවේ නෑ මේ දවස්වල. තව සතියකින් තමයි එන්නේ. මම හිතුව හරි... ක්‍රිමිනල් ලෝයර් කෙනෙක් තමයි. ප්‍රසිද්ධ බුදල් නඩුවකට කතා කරලා දින්නා... ඔය කියන නඩුව මට මතකයි. ලොකු බුදල් නඩුවක්. නඩුව දින්නා උනත් කේස් තියෙනවා. මාව හම්බෙන්න වරෙන් හෙට දිහාට"

මම විරංග දිහා බැලුවේ සැනසිල්ලෙන් වගේ. ඒ කියන්නේ අපිට කොළ එළියක් තියෙනවා. ඌ ගෙනාපු මයිලෝ හතර පිටිපස්සේ ආසනේට විසි කලේ මට රවන ගමන්. ඇමතුම විසන්ධි කරපු මම ඔලුව එකලාසයක් කරගන හැදුවා. කොණ්ඩේ කහනවා ඉන්න බැහැ.

"කවුද කතාකලේ?"

"මම තාරුකයා හම්බෙන්න ගියා. ඌ කතාකලේ. මධුලිකා ලොකු බුදලේක අයිතිකාරියක් වගේ. කෙල්ල මේක දන්නවද දන්නෙත් නැහැ. දන්නේ නැතිවෙන්නත් පුළුවන්. ඉක්මනට යමු..."

මම වාහනේ පාරට ගත්තේ තුන් හතර වතාවක් සැලකිල්ලෙන් වටපිට බලලා.

"... අඩෝ.. උඹ දුවගෙන ආවේ උඹව කවුරුහරි පස්සෙන් පැන්නුවද ?"

"ඔව්නේ බන්.."

"මම බැලුවට කවුරුත් ආවේ නැහැනේ බන් උඹ පස්සෙන්!"

"නෑ බන් මනුස්සයෙක් නෙවෙයි"

"හෑ... ප්රේතයෙක්ද ?"

"ඔක්කොම හොඳට උනා බන්.... එනකොට එතන බල්ලෙක් හිටියා හෙන ලොන්ත පාටට.. මම හිනාවෙලා ඌට 'පර බල්ලා' කියල කිව්වා. අම්මටසිරි ඌ මට පැන්නුවනේ!"

හිනාව පැනපු විදියට මට තව ඩින්ගෙන් ඉස්මොල්ලේ යනවා.

"පිස්සුනේ බන් උඹ මොකටද යකෝ බල්ලෙක් එක්ක කොක්කට ගියේ?"

"මම හරි හෙමීට කිව්වේ බන්... ඌට මල පැන්නනේ... "

මගේ හිනාව මට නතර කරගන්න බැරි තරම්.

"හරි හරි දැන් කියපන් වෙච්ච දේ"

යන්තම් හුස්මක් ගත්ත ගමන් මම ආයෙමත් කතාව පටන් ගත්තා. ඇත්තටම මොකක් උනත් ඕනෙම තැනකදී මූ එක්ක හිනා යන වැඩක් වෙනවමයි.

"තලතුනා ගෑනියෙක් ,කෙල්ලෙක් වගේ ඇඳගෙන ආව ඇතුලේ ඉඳන්. පෙනුමේ හැටියට අවුරුදු තිහක් වගේ. ලොකු ටෝක් එකක් දුන්න 'මහත්තය නෑ' අරකද මේකද කියාගෙන. සාලේ සුදුකොඩි වගයක් තිබ්බා කපලා දාපු. මම ගත් කටටම කිව්වා මම මලගෙදරත් ආවා; ලොකු නෝනා මහත්තයා අඳුරනවා කියලා. වචන දෙක කියනකොට ඔක්කොම කන්දෙක පාත් වෙලා කියාපි"

"මොකද්ද?"

"මධුලිකාගේ ආච්චිගේ මළගෙදර , පෙරේදා තමයි ඉවර වෙලා තියෙන්නේ!"

"අය්යෝ!!මම්මා කිව්වේ ඒ ගෑනිද ? ඒ කියන්නේ ඒ ගෑනිත් නැ? දැන් මොකද කරන්නේ? ඉතින් මොකද උනේ?"

"මම කිව්වා මහත්තයා හම්බෙලාම යන්නම් කියල. ඒ ගෑනි මාව එලෝගන්නම හදපු නිසා. ඒ අස්සේ වයසක වගේ ගෑනියෙක් ආවා ඇතුලේ ඉඳන්. මම තරුණ එකිව වතුර එකක් ගේන්න පිටත් කරලා අර ගෑනිව අල්ලගත්තා. ඒ ගෑනි ඒ ගෙදර පරණ සර්වන්ට් කෙනෙක්. මම දුන්නා උඹේ අලුත් ෆෝන් නම්බර් එක කෝල් එකක් දෙන්න කියලා. ඒ ගෑනි කතාකලේ බයෙන් බයෙන්. තරුණ එකී එනකොටම ඒ ගෑනි මාරු උනා. මට හිතන්නේ ඒ ගෙදර වෙන උන් වගයක් අල්ලාගෙන වගේ. මධුලිකාගේ නෑයොන්ගේ පින්තුර වගයක් තිබ්බා බිත්තිවල. එකකවත් මුන්ගේ මුණු තිබ්බේ නැහැ. මළගෙදර හොරෙන් වගේ අරගෙන තියෙන්නේ මම හිතන්නේ. එක්කෝ මෙහෙට ගෙනල්ලා නැහැ. මොකක් හරි අවුලක් තියෙනවා."

"හ්ම්ම්.... මටත් එහෙම්මමයි හිතුනේ. ඒ දේපල වලට කෙලින්ම අයිතියක් නැති මිනිහෙක් මධුලිකා හරහා ඒ දේවල් ගන්න යනවා වෙන්න බැරිද?"

"වෙන්න පුළුවන්..."

"ඉතින් ඊට පස්සේ?"

එහෙම කියලා ඉස්සරහ බලනකොටම පාරේ අයිනේ හිටගෙන උන්නු කෙනා දැකලා මට ඉබේම බ්‍රේක් ගැහුනා!

පාරේ තිබ්බ හෝල්ට් එකේ හිටගෙන හිටියේ මධුලිකාගේ යාළුවා ; නිමන්ති. වාහනේ නතර උනේ ටයර් කෑගහගෙන නිසා කෙල්ලට එකපාරටම බැලුනා. විරංග රැවුල අයින් කරලා ,වීදුරුව පහත් කරලා ඔලුව එලියට දැම්මා. කොණ්ඩේ ගලෝන ගමන් මම එක සීරුවට රිවස් කළා කෙල්ල ගාවටම. ලං වෙනකොට අපිව අඳුන ගත්ත නිමන්ති මස් කට්ටට පනින බල්ලෙක් වගේ වාහනේ එල්ලුනා.

"අනේ.. මට උදව්වක් ඕනේ!"

එකපාරටම මටයි විරන්ගටයි අපි දෙන්නට දෙන්නා දිහා බැලුනා. මේක මාර කෙළියක්නේ. දකින දකින කෙල්ලෝ එන්නෙම උදව් ඉල්ලගෙන. අපිව ගිනි නිමන හමුදාවෙන්වත් අල්ලගෙන යයි. මොන යෝගයක් ලබලද මන්ද.

මේ කෙල්ලට ඕන උදව්ව මොකද්ද? මේ කියන්නේ මධුලිකා ගැනද? ඇත්ත කියන්න කොතරම් දුරට විස්වාසවන්තද දන්නේ නැහැනේ.

"කොහෙද මේ යන්නේ?"

"අනේ... මම .. මම..."

කෙල්ල ගොත ගහන්නේ අඬන්න වගේ. මොකක් නමුත් කරදරයක්.

"නගින්න වාහනේට"

නිමන්ති වාහනේ පිටිපස්සට නගිනකොට මම විරංගට සන් කලේ වැඩිය මුකුත් කියන්න එපා කියලා. මේ වෙලාවේ හැටියට අපිට කාවවත් විස්වාස කරන්නත් බැහැ.

"ඔහ... මේ මොනවද? ඈ.. අනේ සොරි අනේ මේ මයිලෝ එක මගේ අතින් පිපිරුණා"

"ඔහ්.. හරි හරි අවුලක් නැහැ.... නිමන්ති මොකද්ද කලබලේ"



මම කණ්ණාඩියෙන් නිමන්ති දිහා බලන ගමන් කිව්වේ කෙල්ලගේ ඉරියව් බලන්න. මගෙත් එක්ක වැඩි කතාවක් තිබ්බ කෙල්ලෙක් නෙවෙයි නිමන්ති කියන්නේ. ඇත්තටම කතාකලේ; හිනා උනේ විරංග එක්ක. ඌට පොඩි මෙව්වා ගතියකුත් තිබ්බා කෙල්ලගේ.

"අනේ විරංග... හරි වැඩේනේ... මට මන්ඩේ හම්බුන වෙලාවේ එන්න කියල අද හවස; මධුලිකා ගිහින්නේ කොන්වන්ට් එකෙන්. සිස්ටර් කියන්නේ නැහැනේ ගියපු තැනක්. අනේ එයාට එහෙම යන්න තැනක් කියල තිබ්බෙත් නැහැනේ. අනේ මට බයයි වගේ "

"අද හවස? ඒ මොකටද එන්න කිව්වේ?"

"මගේ ගාව තිබ්බ එයාගේ ඉස්කෝලේ සර්ටිෆිකට්ස් ටිකක්. ඒ ටික මම ෆොටෝකොපි ගහලා ගේනවා කිව්වා. අනේ අපි පොලිසියටවත් කියමුද? ඊයේ උදේ ලු ගිහින් තියෙන්නේ"

මමත් විරංගත් නෙවෙයි 'හ්ම්' කියලා කිව්වේ. කතුර වගේ කෙල්ල කියෝනවා.

"....... යන්න කලින් මට කෝල් එකක් දීල. මම බාත්රුම් හිටියේ, අම්මට මම ආවහම කියන්න මතක් වෙලා තියෙන්නේ පස්සේ. ආපහු කතාකරනකොට එයා ගිහින්. මොබයිල් එක වැඩ කරන්නෙත් නැහැ. අනේ මට බයයි අයියෝ..."

අන්න ඒක නම් වැදගත් දෙයක්. මධුලිකා යන්න කලින් නිමන්තිට කතාකරන්න හැදුවා කියන්නේ යම් පමණකට විස්වාසයක් තියන්න පුළුවන් වගේ. ඊටත් එයා ගාව තියෙනවා මධුලිකාගේ ලියකියවිලි ටිකක්!

".... කොහෙද මේ යන්නේ? "

එකපාරටම නිමන්ති හරස් ප්‍රශ්නයක් ඇහුවේ සිහිය ඇවිත් වගේ.


********** මතු සම්බන්ධයි ***********  

11 comments:

  1. Replies
    1. Civilizations are not remembered by their business people, their bankers or lawyers. They're remembered by the arts.
      -Eli Broad

      Delete
    2. And, by the quality of their liquor.

      Delete
  2. Replies
    1. මේ කොමෙන්ටුව පේන්නේ බුද්ධිමත් උන්ට විතරක් හින්දා වෙලාවට මට පේනවා....

      ;-)

      Delete
  3. මේක ඉක්කනට විසඳලා ඉවර කරේ නැත්නම් නිමන්ති නෙවෙයි මම තමයි පොලිසියට කම්ප්ලේන් කරන්නේ.. ආ.. පොලිසිය ගරාජ් නම්බර් වලට බයයි කියල කියුව කියලත් කියනවා.. :))))

    ReplyDelete
    Replies
    1. අපි කියනවා ඔයා පොලිස් කොත්තුවක් කන අයව පින්තුර ගන්නවා කියල

      Delete
  4. Mn nam aluth,tka dawasak digatama post kiyawan gya, ada thama comment kranne, liyamana nam lassanai honde

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...

      සිංහලෙන් ලියන්න, මේක යොදාගන්න පුළුවන්
      https://www.google.com/intl/si/inputtools/try/

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...