කලින් කොටසට
මගේ පසින් තාරුක අයියාත්, මධුලිකාගේ පසින් නිමන්ති විසින් ගෙන ආ ඇගේ පුංචි අම්මාත් අත්සන්කොට එක්දින විශේෂ අවසරයක් යටතේ මමත් මධුලිකාත් විවාහ වූයෙමු.
මධුලිකා ඇගේ උපන්දිනය දින ඇඳගෙන උන් ගවුමත්, මම මා සතුව තිබුණු සුදුපාට ලිනන් කමිසයට ගැලපෙන ක්‍රිම්පාට කලිසමත් පමණක් හැඳ උන්නෙමු. කිසිදු විශේෂත්වයක් තිබුනේ නැත. නමුත් තැතිගැන්ම ඇරඹුණේ ඉන් පසුවය.
"අඩෝ... කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ඉඳල කෙහෙල් ගහටවත් කෙටුවද?"
සියල්ල අවසාන වනතුරු සිට , තාරුක අයියා බැරෑරුම් මුහුණක් දමාගෙන මට සමච්චල් කරන්නට වුනේ කිසිවෙකුට නොදැනෙන්නටය.
"උඹ කියපු ගමන්ම කැමති උනාද?"
"මම කිව්වා උඹ ඇම කාලා ඉන්නේ... නාස් ලණුව දාගන්න කියල.. මම කිව්වේ..! උඹ මොකක් හරි එකක් පටලවගන්නවා කියල"
"අඩෝ.. උඹ දැන් මට එහෙම කියන්නේ...."
"පිස්සු යකෝ.... මම විහිලුවට කියන්නේ.. බයවෙන්න එපා. මොකක් උනත් කෙල්ල නම් නියමයි. ඒමදිවට කෝටිපති කෙල්ලෙක්, උඹ ගොඩ !"
මධුලිකා මුහුණපා තිබෙන තත්වයට අපි එකම සහ හොඳම පිළියම ලෙස ඈ විවාහ කරගත්තා විනා ඈ මගේ බිරිඳ ලෙස සිතන්නට මගේ මනස තවමත් සුදානම්ව තිබුනේ නැත. මධුලිකා සම්බන්ධයෙන්ද එය එලෙසම යයි මට දැනුනි.
අත්සන යෙදීමෙන් පසුව මගේ සිත ටිකෙන් ටික බර වන්නට ගත්තේ මමත් මධුලිකාත් නැවත මහල් නිවාසයට පැමිණි විටයි. අප දෙදෙනාට කන්නට සේවිකාව කිරිබත් සාදා තිබුණි. එය දුටු මගේ හුස්ම හිරවෙන්නට ආසන්න විය.
මම මධුලිකාව විවාහ කරගත්තා! ඔව්.. දැන් මම විවාහක සැමියෙක්!
"දැන් උඹල දෙන්න කොහොමහරි අනිද්දා වෙන්න කලින් වෙඩින් ෆොටෝ එකක් ගන්න ඕනේ.. වඩාම හොඳ ස්ටුඩියෝ එකකින් ගන්න එක"
එසේ කියූ තාරුක අයියා ලියාපදිංචි කාර්යාලයෙන්ම පිටවී ගිය අතර , නිමන්තිත් ඇගේ පුංචි අම්මාත් මහල් නිවාසයට පැමිණ අප ඇරලවා අප ඇවිටිලි කරද්දී උවත් ආපසු ගියහ. සියල්ලෝම පිටත්වූ පසුව මමත් මධුලිකාත් සාලයේ එකිනෙකා දෙස බලාගෙන උන්නෙමු.
"හ්ම්ම්... දැන්... කාටවත් ලීගලි බැහැ ඔයාව ගෙනියන්න."
මම අපහසුවෙන් සිනාවක් නගාගනිමින් කියා සැහැල්ලු වන්නට උත්සහ කලෙමි. මගේ මවගේ මුහුණත්, පියාගේ මුහුණත් සමඟ සුදම්ගේ මුහුණ මා වටා වලාවක් සේ බමණු මට දැනුනා වන්නට ඇතිය. මධුලිකා පුටුවට වාරු වුයේ සිනහවකින් තොරවය.
"මම.... ඔයාට කරදරයක් වෙනව නේද?"
"අපෝ නැහැ.."
මධුලිකා නියපොත්තෙන් පුටුවේ කොනක් කොනහමින් සිටියාය. ඈ යමක් කියන්නට තනයි.
"මම.... මම .. මගේ තාත්තිගේ විස්තර ඔයාට කිව්වේ.. ලෝයර්ද?"
"හ්ම්ම්... ටිකක් එයා කිව්වා.. අනිත්වා... මම හොයාගත්තා "
"නෑ මේ...."
"ඔයාගේ තාත්තා ගැන ඔයා මට කිව්වේ නැත්තේ?"
මධුලිකා පිළිතුරක් දුන්නේ නැත. ඒ වෙනුවට බිම බලාගෙන උන්නා පමණි.
".... මගේ තාත්තා කරන්නෙත් බිස්නස්.. මගේ තාත්තා ඔයාගේ තාත්තා ගැන දන්නවා. ඒ කාලේ අපේ ගෙදර ඒ ගැන කතාවෙලා තියෙනවා"
මධුලිකා විශ්මයෙන් මෙන් මගේ දෙස බැලුවාය.
අනතුරුව මමත් මධුලිකාත් ඔහු ගැන පැයක් පමණ අප එකිනෙකා විසින් දන්නා තොරතුරු හුවමාරු කරගත්තෙමු.
මේ මොහොත වනතුරුම විරංගගෙන් කිසිදු තොරතුරක් නොවූ අතර ජංගම දුරකථනය ක්‍රියා විරහිතවී පැවතීම මට බලවත් මානසික වදයක් වී තිබුණි. ඊටත් වඩා ; මධුලිකාත් විරංගත් පිලිබඳ මා සිත් තුල වූ සැකය විසින් එය තීව්‍ර වන්නට ඇත.
සේවිකාව විසින් දෙදෙනාටම උසුළු විසුළු කරන තත්වයක් උද්ගතවීම අනෙක් ගැටළුවයි.
"ඒකනේ මහත්තය මම කිව්වේ.... හුනා කියන්නැහේ"
කුස්සියට ගොස් ශීතකරණයට එබුනු මට පිටුපසින් සිට සේවිකාව කිවේ සිනාසෙමිනි.
"පර්ල් බේබිත් බැන්දේ ඔහොම්මමයි.... ඒ මහත්තයා එක්කාගෙන ගියා.. බැන්දා..."
මම එකවරම හැරි සේවිකාව දෙස බැලුවෙමි. එය රුදුරු නොවන බැල්මක් නිසාදෝ ඈ බියට පත්වුයේ නැත. ඒ වෙනුවට දිගටම කියවන්නට වුවාය.
".. පර්ල් බේබි පින්තුර එහෙමත් අරගෙන ඔක්කොම ඉවර වෙලා, සද්දයක් නැතුව ඇඳුමුත් මාරු කරගෙන ගෙදර ගියා. හම්මේ වලාකුලක් වගේ ඒ ලස්සන ගවුම... හරි ලස්සනයි. ලොකු නෝනා දැනගත්ත ගමන් අල්ලලා පොලේ ගැහුවා පින්තුරේ... මුණේ දැලි ගෑවා කියල. එතකොට ඉතින් මහත්තය නැතිවෙලා, බේබිට පුංචි නෝනා හම්බෙන්නත් මාස තුනයි.."
සුසුම් හෙලමින්, කම්මුලට අත තබාගනිමින් සේවිකාව කරගෙන ගිය කතාවට බාධා නොකොට මම අසා සිටියෙමි. ඒවායේ විසිතුරු බවක් මට දැනෙන්නට පටන්ගෙන තිබිණි.
"... අනේ රත්තරන් කඳක් ඒ මහත්තයා.... පර්ල් බේබිගේ පනත් හරි ඒ මහත්තයත් හරි.. ඉස්සර බේකරිය පිටිපස්සේ තමයි හම්බෙන්නේ. මහත්තයා සයිකලේ පැදගෙන එන්නේ. කාටවත් හොයන්න බෑ , කොහේ අඳුනන්නද? මාව තමයි ඔත්තු බලන්න එක්කගෙන යන්නේ... අනේ ඒ බේබිටනේ මේ මුරුගයෝ ඔතරම් කරදර කලේ.... දරුවා මරන්නමයි හැදුවේ! හම්මෝ.. එහෙම කාලයක්... අනේ ඉතින් පර්ල් බෙබිත් අකාලයේම අරෙහෙම උනාය කියල මට නම් විස්වාසේට ගන්නත් බැහැ..."
සේවිකාව සුසුම්ලන්නට වුවාය.
"ඒ මහත්තය මොකද පර්ල් නෝනව හොරෙන් බැන්දේ?"
ඒ ප්‍රශ්නය සමඟම සේවිකාවගේ මුහුණ වෙනස් වී ගියේ මම ඇසු පැනයටද, නැතිනම් මා පිටුපසින් මධුලිකා විත් සිටගත් නිසාදැයි මට හරිහැටි තේරුම් නොගියේය.
මම කතාව නතරකොට සාලයට පැමිණ මගේ ජංගම දුරකථනය අතට ගෙන , වෙනදාට සිටින කාමරයට ගොස් ඇඳෙහි පෙරලුනෙමි.
අකුණුසරයක් විසින් වෙනස්කරනු ලැබුණු ඉරණමක් සේ මම මධුලිකාව විවාහ කරගැනීම මගේ ඉරණම කොයි ලෙසකට වෙනස් කරාවිද? මගේ පියා නම් මෙවන් මොහොතකදී මට සමාවක් නොදෙන බව නම් මට විශ්වාසයෙන් කිව හැකිය. මධුලිකා පොහොසත් බව සැබෑය , නමුත් ඈ වැනි තරුණියක් දැන් විවාහ කරගන්නට තරම් මම මෝඩ උනාද?
සාර්ථක ව්‍යාපාරික පවුලක අති සාර්ථක වැඩිමහල් තරුණයෙකුව සිටි සංජිවී ජයවර්ධන සිය පුද්ගලික යොට් (Yacht) යාත්‍රාවකින් ගිය සවාරියෙන් පසුව අදටත් අතුරුදහන්ව ඇත.
ඔහුගේ එම අතුරුදහන්වීමෙන් පසුව හෙළිවී ඇත්තේ ඔහු ඒ වනවිට විවාහවී සිටිබවත්, නිත්‍යානුකුල බිරිඳ ඒ වනවිට තුන් මසක ගැබිනියක් බවත්. ඒ අනුව ජයවර්ධන සතු ධනස්කන්ධය සඳහා ඇරඹි පළමු අරගලය වුයේ, අතුරුදහන්වීමට බිරිඳගේ සම්බන්ධයක් ඇති බව සැක කිරීමයි. විශේෂිත නඩුවක් වූ එය දේශපාලන බලය නිසා ඉක්මනින් නිමවුයේ බිරිඳ නිදොස් බව ඔප්පු වීමෙන්. ඒ වනවිට ජයවර්ධන මහතා සිය ධනය සියල්ලම ඔහුගේ බිරිඳට පවරා තිබීමෙන් එය බුදල් නඩුවක් දක්වාමත් , වෛරය ඉපදුනු දරුවා කෙරෙහි පැතිරීමත් නිසා , දරුවා රැගත් බිරිඳ රටින් පලාගොස් ජීවිතය බේරාගෙන තිබිණි.
මින් සමහර කොටස් මම පොඩි කාලයේ අසා තිබුනත් සමහර කොටස් සම්පුර්ණ වීමට තාරුකගෙන් ලැබුණු තොරතුරු ඉවහල් විය. මධුලිකාගේ මව ඇයට මේ සියල්ල ලියා තබන්නේ ; මධුලිකා පවසන අන්දමට ; ඈට අවුරුදු 8 දී. එය තරමක් සැකයක් දනවන කාරණයක්. ඔවුන්ගේ පවුලේ අයට වාසුලගෙන් එල්ලවී තිබුණු ජිවිත තර්ජන අතරේ වාහන අනතුර අහම්බයක් නොවන්නට ඉඩකඩ වැඩිය.
ඒ කෝටිපති ව්‍යාපාරිකයාගේ එකම දරුවා වූ මධුලිකා අද ඉන්නේ මගේ ළඟයි!
මේ අනතුරට මුහුණදීමට අපට කළහැකිව තිබුණු එකම දෙය මෙය නොවන්නට ඉඩ තිබුනත්, හොඳම දෙය මෙය බව වටහාගැනිමෙන්ම සිදුවූ මෙය අවැසි මොහොතකදී දික්කසාදයකින් කෙලවර කරගන්නට තරම් අවබෝධයක් අප දෙදෙනා තුල ඇතිකරන්නට තාරුක අයියා සමත්වීම පුදුමයකි. නොඑසේ නම්, මගේ සිත ඊට යටි කැමැත්තක් දැක්වූවාද කියා වැටහීමක් තිබුනේ නැත.
වෙහෙසත්, දින ගණනාවක් තිස්සේ වූ තෙහෙට්ටු නිදිමැරීමත් නිසා මගේ දෑස අඩවන්ව, නොදැනුවත්වම මම නින්දක සතපවා තිබිණි.
*********************************
මම ඇමතුම විසන්ධිකොට නොඉවසිල්ලෙන් වම් කකුල සොලවන්නට වීමි. සිත දෙගිඩියාවෙන් මා පෙළයි. සන්සුන් කරගැනීමට අවැසි පරිසරය ලබාගැනීමට මෙන් මම කාමරයේ ඔබ මොබ ඇවිද ගියෙමි. හිත හදාගන්නට නොහැකිය. මම නැවතත් ඇමතුමක් ගතිමි.
"මට පොඩි වැඩක් වැටුනා. එන්න වෙන්නේ නැහැ"
"අහ්.. එතකොට.."
ඈ කියන්නාක් මායිම් නොකළ මම ඇමතුම විසන්ධිකොට ජංගම දුරකථනය ඇඳ මතට විසිකලෙමි. එක්කෝ මම මම මෝඩයෙකි. නැතිනම් අමුතුම මිනිහෙකි. නමුත් මමත් ලේ මස් නහර වලින් යුතු යොවුන් තරුණයෙකි.
සැබවින්ම, මධුලිකා පැවසු පරිදි මට විසල් හදවතක් ඇතිද?
මානසික පීඩනය සිතතුළ නලියන හැඟීම් වලින් තීව්‍රව නැගේ. නමුත් කිසිදා නොවන ලෙසකට මම අසරණව ඇති බවක් හැඟේ. චාපාට කතාකරන්නට හෝ හිතක් නැත. හමුවීම අවලංගු කල බැවින් වින්ධ්‍යා අමනාප වන්නට ඇත. මේ ව්‍යාකුල බවින් මිදීමක් මට පෙනෙන්නේ නැති හැඩකි.
මානසික අර්බුධකයකට හොඳම ඖෂධය සන්සුන් ස්නානයකි. මම වතුර මල යටට පිවිසි , ජලදහරාවට රිසිසේ ගලායන්නට ඉඩදී සිටියෙමි. යම් වෙලාවකට පසුව කාමරයේ දොරට තට්ටු කරන්නා සේ හැඟුණ නිසා මම වතුර කරාමය වසා , නාන බේසමේ දොරටුව හැර සවන් දුන්නෙමි.
"පුතා............."
විනාසයකි... අම්මා දොරට ගසන්නේ බොහොම කලාතුරකිනි.
"ඇයි අම්මා... මම නානවා..."
"මේ රෑ ? පිස්සුද ලෙඩවෙන්නද ??"
"ඇයි දැන් කතාකලේ?"
"ඩඩා ඇවිත්. කතාකරනවා පහලට!"
පෙනුමට නම් එතරම් සුභදායි දෙයක් නොවන හැඩයකි. ඔවුන්ට මගේ විවාහය හසුවීද? මගේ පියාට ඇත්තේ පුදුමාකාර තොරතුරු ජාලයකි. අම්මාට ඇත්තේ පුදුමාකාර පොලිස් ඉවකි. මෙතෙක් මගේ වික්‍රමයන් ඔවුනට හසු නොවුයේ ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ යහළුවාගේ අසනීපය ගැන සොයමින් කාර්යබහුලව උන් නිසාය. පපුව ගැහෙන්නට උනේ ගල්මෝලක් මෙනි.
මම ඉක්මනින් ඇඳ පැළඳ, මධුලිකාගේත්, මගෙත් ලියකියවිලි ඇතුලත් ලාච්චුවේ අගුලු දැමීම සැක හැර කාමරයෙන් පිටවී පහල මාලයට ගියෙමි.
පියා සාලයේ සිටියේ නැත. මම අම්මා දෙස බැලුවේ ඔහු කොහිදැයි අසන්නට මෙනි.
"ඔෆිස් කාමරේ..."
බඩ තුලින් කුඩා ගින්නක් ඇවිලෙනවා සේ මට දැනේ. නමුත් මම කන්තෝරු කාමරයට ඇතුළුවන දොරටුව අසලට ගියෙමි.
"ලොකු..? එන්න ඇතුලට"
මම සෙමෙන් ඇතුලට පා තබද්දී, එහි කොනක වන්නට සිටියේ අලුතෙන් මිලටගත් වත්තෙහි කළමනාකරුයි. ඔහු ඉතා පිළිවෙලට අඳින, කාර්යශුර අයෙකු බව මට ඔහු සමඟ වැඩකළ දින කිහිපයට දැනී තිබිණ. මම දුටු හැටියේ ඔහු තුලින් ප්‍රසන්න සිනහවක් විහිදුනි. තාත්තා සිය පළල් මේසය මත කොළ රැසක් දිගහැර , පැළඳගත් උපැස් යුවලෙන් පිරික්සමින් උන්නේය.
"... ලොකු ඔයා ගිය සතියේ ඉන්ටවිව් වලට කතාකරපු අයගෙන් ශෝට්ලිස්ට් වෙච්ච ටික බලලා ඉවරයක් කලේ නැද්ද? අපිට ඉක්මනට අකවුන්ටට් කෙනෙක් ඕනේ... එතන පොඩි උනාට මම කැමති නැහැ එතන වැඩ අවුල් වෙනවට"
මම කළමනාකරු දෙස බැලුවෙමි. ප්‍රශ්නය තිබුනේ ඩේසි ආන්ටිගේ දුව ගැනයි.
"මම... කිව්වේ ඩඩා.. අර ඩේසි ආන්ටිගේ දුව..."
තාත්තා මා දෙස වියරු බැල්මක් දැම්මේය. මම කරවී ගියෙන් ඉතිරිය මගේ මුව තුලම හිරවුනි.
"ලොකු දන්නවනේ.. මම බිස්නස් වලට යාළුවො ගාවාගන්නේ නැහැ කියල! අනික එතනට ඕනේ ටිකක් වයසක කෙනෙක්... පොඩි ළමයෙක් තනියෙන් තියන්න බැහැ , අනික ගෑනු කෙනෙක් කොහොමටවත් බැහැ. මෙතනින් මට කොල්ලෙක් හරි තලත්තෑනි මිනිහෙක් හරි තෝරලා දෙන්න. ඇයි මේවා ෆයිනලයිස් නොකළේ?"
මට පිළිතුරක් නොවීය. මම බිම බලාගෙන උනිමි.
".... සුන්දර්.. මෙයත් එක්ක එකතුවෙලා මේක ඉවරයක් කරන්න.. මේ දැන්!"
මමත් කළමනාකරුත් එකිනෙකා දෙස බැලුවෙමු. සුන්දර් වැඩට කම්මැලි නැති ; දමිළ තරුණයෙකි. අදාළ තොරතුරු සමඟ මම නිවසේ යාබද කොටසේ ඇති පුංචි කන්තෝරු කාමරය වෙත ගියෙමි. කුඩා මේසය මත මම තෝරාගත් අයදුම්පත් සියල්ල තබා එයින් පිරිමි තෝරා දෙන ලෙස සුන්දර්ට පැවසුවෙමි.
"සර්.... මම නම් කියන්නේ මෙන්න මෙයා ගම්මු කියල"
ඒ අතුරින් ගත් අයදුම්පතක් මා වෙත දිගු කරමින් සුන්දර් පවසද්දී, මම එය අතට ගෙන බැලුවෙමි. වයස පනහකි. පෙනෙන ආකාරයට ඔහුට දැනට රැකියාවක් නොමැති හැඩයි.
"මේ මනුස්සය වයසයිනේ සුන්දර්.. තව අවුරුදු පහකින් රිටයර් වෙනවනේ, පාඩුයි එහෙම උනාම. අනිත් එක, බලන්න ඕනේ..... කාලයක් ඉන්න ජාතියේ කෙනෙක්"
"ඒ මිනිහා නම් කාලයක් ඉඳි සර්.. රස්සාවක් නෑ , හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ"
" මෙතනට ගැලපෙන කෙනෙක් එපැයි සුන්දර් ගන්න! ජොබ් එකක් නැතිය කියන්නේ... ඒ මනුස්සයාව අස් කරලද?"
සුන්දර් එකවරම පිළිතුරක් දුන්නේ නැත.
"ඉන්ටවිව් එකත් හොඳට කළා සර්.. මම නම් කියන්නේ.."
මම කෙලින්ම සුන්දර්ගේ මුහුණ බැලුවෙමි. ඔහු යම් පමණකට බිය වූ බවක් පෙනුනි.
"මුලින් අඩුගානක් දීලා ගන්න එහෙනම්."
මම අයදුම්පත අතට ගෙන තාත්තා වෙත ගොස් ලබාදුන්නේ වැඩිදුර නොසිතාය. වියපත් මිනිසුන් ගණකාධිකාරයින් ලෙස යහපත් බව මසිත ඒ මොහොතේ පිලිගත්තාද කියා මට හරිහැටි කිව නොහැකිය.
"ලොකු.... "
පිටමන් වෙමින් සිටි මම තාත්තාගේ ඇමතීම දොර අසලම නතර කරවිය.
".... මම තලවකැලේ යනවා අද. ඉංගිරියේ ඉඳන් ලොරිය එයි. සුන්දර්ට ඕනේ දෙවල්ටික පටවලා දෙන්න"
"ඕකේ"
පිටව ගියත් තාත්තාගේ නෙත් මා සමඟ පැමිණි බව මට දැනී තිබිණි. මගේ පපුව වේගයෙන් ගැහෙයි.
මධුලිකා දකින්නට මගේ සිත ඉල්වයි. නමුත් එහි යන්නට මගේ සිත කුලෑටි වී ඇති සෙයකි. මේ කුමන විප්‍රකාරයක්ද?
පෙම්වතියන් රැසක් සිටි මට, මෙවැන්නක් මින් පෙර දැනී නැත. මධුලිකා දකින්නට මෙතරම් සිත වද දෙන්නේ ඈ සතු ඒ ආකර්ශනයමද? පෙරදී නම්, ඈ අනාරක්ෂිත බව නිතර සිත කී නිසා වන්නට ඇත. නමුත් දැන්?
ඇඳ මත ඇති ජංගම දුරකථනය දෙස බලමින් මම නොයෙකුත් වැඩවල නිරතව උන්නෙමි. හිත ගිනිපිම්බිනවා වැනිය. අපහසුවෙන් ගතකල හෝරාව ඇතුලත වාසනාවට වාගේ තාත්තා සඳහන්කළ ලොරිය පැමිණියෙන් එයට අවැසි සියල්ල ඉටුකළ, මොහොතින් මම එළියට පැනගතිමි.
ජීප් රථයට නැගී මම වාහනය පාරට දමනවිටම දුරකථනය නාදවිය.
'විරංග!' මට ඉබේම තිරිංග තදවිය.
***************************************
"කන්න"
මම මධුලිකා දෙස බලා අපහසුවෙන් මෙන් සිනාසුනෙමි. ඈ මා අසල පුටුවක් ඇද , වාඩිවුවාය. මගේ සිත පිරි ගොස්ය. මේසය මත තිබුණු පළඟානෙන් ඈ බත් හැඳි දෙකක් මට බෙදුවාය. ඉන් අනතුරුව කුකුල්මස් දිසියට අත යොමද්දී ඇගේ අනෙක් අත , මේසය මත වූ මගේ අත සමඟ යන්තමට ගෑවී ගියේය. පළමු වරට තරුණියක ස්පර්ශ වුවා සේ මම රතුවී ගියෙමි. ඈට ඒ කිසිවක් ගැන ගානක් නොගියාද? නැතිනම් නොදැනුනා සේ සිටියාද?
"කන්න"
"..............."
"ආච්චි... අර සැලඩ් එක ගේන්නකෝ.."
මධුලිකා යුහුසුළුව මට කෑම බෙදයි. මට මහා අමුත්තක් දැනුනි. එකවරම සිහිවුයේ අම්මා විසින් තාත්තාට කරන ගරු සත්කාරයි. මමත් මල්ලිත් ඒවාට සිනාසුනාට, එහි ඇති සුන්දරබවට මමත් ඇලුම් කරන්නට ඇති.
මධුලිකා මට එසේ කරයි කියා සිතන්නටත් නොහැකිය. මෙය නාමික විවාහයකි. එය ඇයත් මමත් හොඳින් දනිමු. එසේනම් ඈ මෙලෙස කරන්නේ ඇයි ? ඇයවන් පරිසරයක හැදුනු වෙනත් තරුණියක් මෙලෙස වතාවත් කරනු මම කිසි විටෙක දැක නැත්තෙමි. චාපා නම් කොහෙත්ම එසේ නැත. මම ඇසුරුකළ කිසි තරුණියක් මා වෙනුවෙන් මෙසේ පේවීමක් දැක නැත්තෙමි. ඈ මගේ පෙම්වතියත් නොවී මෙලෙස කරන්නේ?
"... තීක්ෂණ...?? ඇයි ?? කෑම හොඳ නැද්ද ???"
පියවි ලොවට පිවිසි මට ඈ දෙස බලන්නට නොහැකිය.
"නෑ.. ඇයි මෙච්චර ජාති හැදුවේ?"
"කන්නනේ හැදුවේ... ඊයේ රෑ එනකොට ඔයා ගෙනත් තිබ්බ ජාති ගොඩ නිසා මම හිතුව උදේට මොනවහරි හදන්න ඕනේ කියල ස්පෙෂල්... දයා ආච්චි හරි රසට උයනවා.. ඔන්න බලන්නකෝ එයාගේ ස්පෙෂල් වම්බටු මොජුව..! "
පෙරදින රාත්‍රියේ එනවිට මම සෑහෙන කෑම ප්‍රමාණයක් ගෙන ආ බව සැබෑය. මධුලිකාට කිසි අඩුවක් නොකළ යුතුය. ඈ මෙහි සිටින්නේ කෙටි කාලයක් විය හැකිය. විරංගගේ ඇමතුමෙන් පසු, මම මෙහි නොරැඳී යා යුතුය යන අදහස ස්ථිර කරගත් නිසා ඒවා සියල්ලත්, අලුතෙන් ගත් ද්විනේත්‍ර කණ්ණාඩියත් මධුලිකා අත තැබූ මම ආපසු යාම ගැන නොතැවුනා කිවහොත් එය බොරුවකි. නමුත් මෙහි රැය පහන් කිරීමෙන් මධුලිකා මම ගැන වැරදියට සිතාවිදෝ කියා බියක් ඇතිවී තිබීම එයට හේතුව වන්නට ඇත.
පසුවදා උදෑසනම ඈ උදේ ආහාරයට ආරාධනා කොට කෙටි පණිවිඩයක් එවා තිබීම, ඉබ්බා දියට දැමීමක් වුවාද? තාත්තා නිවසේ නොසිටි නිසා, සුදම් පාසලට ඇරලවාගෙනම පහසුවෙන්ම මෙහි ඒම කළහැකි විය.
"දයා ආච්චිගේ ස්පෙෂල් විතරයි?"
මම එලෙස කියද්දී, මධුලිකා ගොළු වී ගියා සේ මගේ දෙස බැලුවාය. ඒ නෙත්සරය සෑහෙන භයානකය. විශේෂයෙන්ම මම මේ ඉන්න මානසික තත්වයට ඉතාම අගුණය.
"සැලඩ් එක මගේ... ඕක ෆ්‍රෙන්ච් සැලඩ් එකක්"
හිත උතුරා යන සෙයකි. මම ඈ දෙස බලා පිඟානක් ඈ වෙත ලං කලෙමි.
"ඉතින් ඔයත් කන්න..."
"දැම්ම බෑ "
දොරෙහි සීනුව නාදවිය. අප දෙදෙනාම එකවරම එකිනෙකා දෙස බැලුවෙමු. මගේ මුහුණ හැකිලී යන්නට ඇති. මම අනුමාන කලෙමි. එහෙයින්, මමම ගොස් දොරෙහි ඇති කාචයෙන් පිරික්සා දොර විවර කලෙමි.
ඩෙනිමක් සමඟ සැහැල්ලු කමිසයක් හැඳ , විරංග දොර අසල මා දැක මා සුපුරුදු පරිදි වැළඳගත්තේය.
"ආ.. අඩෝ... උඹ පාන්දරම මෙහේද?.... කෝ උඹ ඊට පස්සේ කතාකරයි කියල බලාගෙන හිටියා... ආ.. මධුලිකා... කොහොමද?"
විරංග අතොරක් නැතුව කියවමින් නිවසට ඇතුළුවිය. මම දොර අගුලු දමා , ඔහු සමඟ හැරී මධුලිකා දෙස බැලුයෙමි. ඈ සිනාසේ. මම ඉරිසියාවෙන් කොලපාට වීමි.
"කොහොමද විරංග? කොහෙද ගිහින් හිටියේ?"
"ට්‍රිප් එකක් ගියා. ඇයි මූ කිව්වේ නැද්ද?"
විරංග සැහැල්ලුවෙන් කෑම මේසය තෙක්ම ඇවිද ආවේය.
".. අම්මටසිරි... මෙතන පාටියක්ද ? අපිට කන්න පුලුවන්ද?"
"ප්.. පුළුවන් පුළුවන්.... වාඩිවෙන්න"
"කොහොමද ආච්චි? කොහෙද මට බැරි උනානේ හරියට කතාකරන්නවත්.. හෙ හෙ.... එදා එනකම්ම ආච්චි නිදිනේ!"
විරංග කෑම මේසයට වාඩිවනවිට , සේවිකාව තව පිඟානක් ඔහු වෙත පෑවාය. මමත් කෑම මේසයට ආවෙමි.
මගේ උකුසු ඇස සැමතැනම විය. හිත නොසන්සුන්ය.
"කමුද විරංග?"
"හරි හරි."
විරංග කෑම බෙදාගත්තේය. මගේ ඉහලට ගත් හුස්ම පහලට වැටුනේ ඒ මොහොතේය. එයින් අවසන් නැත. මධුලිකා ඔහුට කුකුල්මස් දීසිය දිගු කළාය. මම පැන එය අතට ගෙන විරංග දෙසට පෑවෙමි.
'නැතිනම් මෙතන බෙදන්න පටන්ගනී... නාටක!'
සැලඩ් දීසිය අතටගත් මම එයින් අඩකටත් වඩා මගේ පිඟානට හලාගතිමි. මධුලිකා විශ්මයෙන් මෙන් බලාසිටිනවා මට දැනුනි. ඈ යමක් කියන්නට ගොස් නිශ්ශබ්ද වුවාය.
"උණ වගේ.. අපි එහෙ කෑම්පින් කළා. කුඩල්ලෝ ගොඩයි"
"හ්ම්ම්.."
"මොකද උඹ ෆෝන් එක ඔෆ් කරගත්තේ?"
"නෑ බන්... මට චාජරේ ගෙනියන්න බැරි උනා. කා චාජරේ ගැහුවට හරිගියේ නැහැ. ආච්චිද හැදුවේ? කෑම නම් රසයි"
මගේ කන් විසල්ව ඇරෙන්නට ඇත. සැලඩ් එක ගැන කිසිවක් මධුලිකා පැවසුවේ නැත. මට දුෂ්ඨ සතුටක් ඇතිවිය.
"මම බය උනා මොකක්හරි අවුලක් කියල. උඹට පිස්සුනේ එහෙම යන්න මේ අව් අස්සේ"
විරංග කුමක් හෝ කියන්නට විත් එය ගිලගත්තේ මධුලිකා දෙස බලමිනි.
"මධුලිකා.. ඔයා කන්නේ නැද්ද?"
"කනවා... හි හි.. ඉතින් කියන්නකෝ ට්‍රිප් එකේ විස්තර?"
මධුලිකා බත් බෙදන්නට ගත්තාය. ඉරිසියාකාර මගේ හොස්ස දික්වෙන්නට ඇත. 'මම කිව්වම තමයි කන්න බැරි. වැඩි මෙයාගේ කතාව දැන්!'
"එහෙම විස්තරයක් නැහැ... ගියා.. කෑම්පින් කළා.. ආවා..."
"..............."
".................."
"ආ... මෙහෙ මොකද උනේ? මේ.. මොකද්ද උඹ කිව්වේ කියන්න තියෙනවා කියල? මොකද්ද උනේ? අවුලක් උනේ නැහැනේ?"
මම කිසිම පිළිතුරක් දුන්නේ නැත. මධුලිකා නිහඬව බිම බලාගෙන කෑම කන්නට වුවාය.
"... කෝ වීල් චෙයාර් එක? දැන් හොඳද? ඔච්චර ඉක්මනට හරි ගියාද?"
"ඒක ජීප් එකේ බන්... හැමදාම ගන්න ඉන්නවා, අමතක වෙනවා. මෙයාට දැන් ඇවිදින්න පුළුවන්, මම ක්ලචර්ස් ගෙනත් දීපුවත් ඇති"
මධුලිකා අහිංසක ලෙස සිනාසුනාය. උදෑසන ස්නානයෙන් පසුව විදාගෙන උන් ඇගේ මනරම් වරලස අල්ලන්නට මට බලවත් ආශාවක් ආවද, එය මැඩගෙන මම ඇගේ විසිතුරු බලා සිටියෙමි. විරංගට මම පවසන්නේ කෙසේද?
මද වෙලාවක නිහඬතාවයෙන් පසුව විරංග පිඟාන පසෙකට කර, නැගී සිටියේය.
"කෑම නම් නියමයි ආච්චි.... මෙයාට නම් උයන්න බැරුව ඇති"
මධුලිකා කිසිවක් කීවේ නැත. ඈ මාව රැවටුවාද? මම සැලඩ් එක ඒ වනවිට සියල්ලම කා හමාරය. අප දෙස බලා උන් සේවිකාව සිනාසෙන බවක් මට පෙනේ. ඈ සිනාසෙන්නේ මටද? මගේ කෝපය හිස ඔසවනවා මට දැනේ.
"උඹට කියන්න දේවල් ටිකක් තියෙනවා... වරෙන්කො"
විරංග පැන්ට්‍රි සින්ක් එක දෙසට යද්දී, මධුලිකා මගේ දෙස බැලුවාය. එහි අසරණ බවක් තිබුනේ ඇයි? අපේ විවාහය ඈ විරංග දැනගන්නවාට අකමැතිද? ඒ කුමක් නිසාද? එකවරම මට වැටහුනේ ඈ මා පාවිච්චි කලාදෝ කියායි. ඊයේ ඒ මොහොතේ විරංග සිටියා නම් ඈ මා වෙනුවට විරංග තෝරා ගනීද? ඈ මා විවාහකරගත්තේ හුදෙක්ම මගෙන් ඈට ඇති නීතිමය රැකවරණය නිසා පමණක්මද?
එක අතකට ඇගේ ඒ සිතුවිල්ලේ වරදක් නැත. මමත් ඈ විවාහ කරගත්තේ නීතියෙන් ඈට ලැබෙන රැකවරණය ලබාදීමටයි. අවැසි මොහොතක වෙන්ව යන්නට ඇතිවූ අවබෝධයටයි. මගේ සිත වේදනාවට පත්වන්නේ එයට නොවේ. ඇය විරංග සිටියා නම් මම වෙනුවට ඔහුව තෝරාගන්නට ඉඩ තිබුනා කියා සිතීමයි. එය එසේද?
"උඹ ෆෝන් එක සයිලන්ට් දාලද?"
විරංග එසේ කියනවිට මම දුටුවේ ඔහු ඔහුගේ ජංගම දුරකථනය දෙස බලා සිටින බවයි. මම සාක්කුවේ ඇති දුරකථනය ගන්නට සැරසුනත්, අත පුරාම ඉඳුල්ය. පුටුවෙන් නැගිට ඒ මේ අත ඇඹරෙමින් මම සාක්කුවෙහි ඇති දුරකථනය ගන්නට උත්සහ කරද්දී, මධුලිකා එය ගන්නට මෙන් සැරසුණාය. මම ඉවතට අඩිය තැබුවෙමි.
"එපා..."
එලෙස කියූ මම ඉඳුල් අතින්ම එය අතට ගත්තෙමි. අම්මාගෙන් ඇමතුම් දෙකක් තිබුණි. මම විරංග දෙස බැලුවෙමි.
"ආන්ටි මට ගන්නවා.. මොකද කරන්නේ?"
තවත් පමා නොවී, මම විරංගගේ දුරකතනයට පිළිතුරු දුන්නෙමි.
"හලෝ"
"හලෝ අම්මේ.... මේ මම සයිලන්ට් දාලා ෆෝන් එක..."
"කොහෙද ඉන්නේ?"
මගේ කතාව මැද්දට අම්මා කඩාගෙන පැන්නේ එකවරමය. මට මහා අනතුරක සේයාවක් ඉව වැටුණි.
"මම මේ.. සුදම්ව දාලා............."
"................"
"ඔව්? සුදම්ව දාලා කොහෙද ගියේ?"
අම්මා වෙනදා මෙන් නැතිව සැරෙන් කීවාය. මම දෙලෝ රත්වීමි.
"ඇයි අම්මා? මොකද වැඩේ?? මම අහන්නේ මොකද්ද අවුල... මම මේ විරංග එක්ක පොඩ්ඩක් එලියට ආව"
මම විරංග දෙස බලමින් කීවෙමි. විරංග මා අසලම හිඳ අතින් පයින් මොනවාද කියයි. ඔහු කොහොමත් එලෙසය.
"චාපා ඇවිල්ලා ඉන්නවා. මම කියල තිබ්බ නේද දැන් කීප දවසක්ම? ඩේසි ආන්ටිත් කිව්වා මෙහෙ මම නැති දවසක ආවා කියල."
අම්මා අවසන් කොටස කිව්වේ පහත හඩිනි. මට කෝපය ඇවිස්සුනද , වෙලාවේ හැටියට අම්මා සමඟ තර්ක කරන්නට නොහැකිය. ඩේසි ආන්ටිගේ මායම මම දනිමි. චාපා එතන සිටීම එතරම් හොඳ කරුණක් නොවේ. ඈ මම සමඟ හිත නොහොදිනි. ඈ හමුවීම මගහැරීම එයට ප්‍රධාන හේතුව බව මම දනිමි. ඈට මධුලිකා ගැන ඉව වැටේදැයි මම සිටියේ නොසන්සුන් බවකිනි.
"චාපාව යවන්න අම්මා. මම එන්න කිව්වේ නැහැනේ... මම එන්න තව වෙලා යනවා. මෙහෙම්මම මම ස්ටේට් එකට ගිහින් එන්නේ. ඩඩා කිව්වා අලුතෙන් ගන්න අකවුන්ටන්ට් අද එනවා කියලත්"
මට ගණදෙවි නුවන පහළවන්නට ඇත.
"ආ.... හරි හරි.... "
එසැනින් නිවී ගිය අම්මාගේ ඇමතුම විසන්ඳි කල මම , මගේ දුරකතනයෙන් සුන්දර්ට කතාකොට මම එන බවත්, අලුත් ඝනකාධිකාරවරයාට අද එන්නට කියා පණිවිඩයක් යවන ලෙසත් පැවසුයෙමි.
"අඩෝ... උඹ දැන් බිස්නස් බලනවද?"
වතුර වීදුරුව අතැතිව විරංග මා දෙස සිනාසෙමින් බලා පැවසුවේය. මම සිනාසී, අත සෝදා ගතිමි. මට වම් පසින් එකත්පසව උන් සේවිකාව අපගේ පිඟන් රැගෙන සින්ක් එක පසෙකින් තැබුවාය. කොර ගසමින් මධුලිකා තවත් කුමක්දෝ රැගෙන එයි. මම එය අතට ගන්නට ඉදිරියට ගියෙමි. ඇගේ නෙත්සර මගේ හදවත කපාගෙන වරක් ගමන්කරනු මට දැනේ.
ඈ අසලින් එන්නේ මම ගෙනදුන් විලවුන් සුවඳයි. හිත විසිරි යයි. මට ඈ අත වූ කිසිවක් ගන්නට සිහියක් නොමැති වුයෙන්, ඈ මා පසුකොට සින්ක් එක වෙතම ගියාය. විරංග තවමත් එතැනය.
"වරෙන්.... උඹට කියන්න දේවල් ටිකක් තියෙනවා"
මම එලෙස කිව්වේ විරංග එතැනින් ගෙන්වාගැනීමට වියහැකිය. මගේ සර්වාන්ගයේම ඇත්තේ ඊර්ෂ්‍යාවද?
විරංගත් මමත් මගේ කාමරයට වැදගතිමු.
"උඹ මාර පොරක් තමයි. හිටපු ගමන් මොකද ට්‍රිප් ගියේ? පන දෙන්නම් කියලානේ හිටියේ... උඹ දන්නවද මෙතන උනේ මොකද්ද කියල?"
කාමරයේ කුඩා සෝපාව මත දිගාවී විරංග මගේ දෙස බැලුවේය.
"මොනා වෙන්නද..? උඹල ඔය ඉන්නේ යසට..."
"..................."
"ගෑනියි මිනිහයි වගේ"
ඇඳෙහි පසෙකින් වාඩි වූ මම ගැස්සී ගියෙමි. විරංග කොක් හඬලා සිනාසුනි.
"... ඇත්තටම බං... බලපන්... උඹට ඔනෙකමකුත් නැහැ මේ කෙල්ලව කාටහරි බාරදෙන්න. ඒකිට ඔනෙකමකුත් නැහැ කවුරුහරි කෙනෙක් ගාවට යන්න. උඹල දෙන්නටම ඕනේ නැහැ මේක පොලිසියට කියල බේරුමක් කරගන්න... දෙන්නා එක්ක මේ ෆ්ලැට් එකේ එහෙට මෙහෙට බල බල ඉන්නවා"
විරංග කියන්නේ සැබෑවක් විය හැකිය. ඇත්තටම මෙයට පොලිසියෙන් පිළිතුරක් සොයන්නට මට අවැසි නොවුනේ මන්ද?
"... උඹට ඕනේ කෙල්ලව බාගන්න නේ? මම හිතන්නේ උඹ මේ වෙනකොට කෙල්ලව බාගෙන"
"දැන් ඒක නෙවෙයිනේ බන් මෙතැන වැඩේ... වෙච්ච දේවල් ටික අහගනින්කෝ"
මම දොර දෙස බලමින් කතාකලේ, දොරෙන් එපිට ඉන්නා මධුලිකාට ඒ කොටස ඇසේවි යයි සිතට ආ බය නිසාය.
"කියපන් බලන්න... "
"හ්ම්ම්.... ඊට කලින් මට කියපන්..... කාරණා දෙකක්.... "
"හ්ම්ම්?"
විරංග නැගිට ජනෙල් තිරය මෑත්කොට පහල ඇති විල්ලුව දෙස බලන්නට විය.
"එදා..... හ්ම්ම්... මේ.. චාපා මෙහෙ ආව දවසේ... මධු.. මොනවත් ඇහුවද?"
ඇත්තටම මට දැනගතයුතුව තිබුනේ එය නොවේ.
විරංග හැරී මගේ මුහුණ දෙස බැලුවේය. ඔහුගේ මුහුණ වෙනස් වී ඇති බවක් මට පෙනුනි.
"මුකුත් ඇහුවේ නැහැ. අහන්න වෙලාවක් උනෙත් නැහැ"
මගේ හුස්ම හිරවෙනවා සේ දැනුනි. අමුවෙන්ම අසන්නට හැකි තරම් මම විරංගට සමීප වුවත් මගේ පපුව පුපුරා යන්නට මෙනි.
".... මම එහෙම්මම ගියා මචන්... මට අර වැඩකාරි ගේන්නනේ යන්න තිබ්බේ. පරක්කු වෙලත් එක්ක. මධු මට සල්ලි දුන්නා. මම ඒක ගත්තෙත් නැහැ. උඹෙන් ඉල්ලන්නය? උඹ ඉතින් රාජකාරියෙනේ!!"
මට සිනහවක් හෝ නැගුනේ නැත. හිස යන්තම් බර ගතියක් දැනුනි. විරංග මා අසලට පැමිණ, දෑත් ඉනේ ගසාගෙන සිටගත්තේය.
".... උඹ මේ කෙල්ලට කරන්න යන්නේ මොකද්ද? උඹට ඕනේ කෙල්ලට ඇනලා යන්න නම්, මම හිතන්නේ ඒකට වෙන කෙල්ලෙක් හොයාගනින් බං.. මට හිතන්නේ මේකි පව් කියල"
"එහෙම..."
"උඹ ඕක සැලසුම් කරනකොට මට අවුලක් තිබ්බේ නැහැ. ඒ උනාට, මේක උඹට නරකට හිටින්න පුළුවන්... "
මගේ සර්වාංගයම පන නැතුව ගියාක් මෙන් දැනුන බැවින් මම සයනයේ උඩු අතට වැටී විදුලිපන්කාව දෙස බලා සිටියෙමි. උත්තරයක් දෙන්නට මට අවැසි වුයේ නැත.
".... කෙල්ල එක්ක එක අතකට ප්‍රශ්න ගොඩක් එනවා. කාත් කවුරුත් හොයන්න නැති එක නම් වාසියි තමයි. ඒ උනත් උඹව අහකයන මිනීමැරුමකට උනත් අහුවෙන්න පුළුවන්.... නැතිනම් උඹ ඔය චාපා තියාගෙන ඉන්නවා වගේ..."
"නෑ බන්.. එහෙම නැහැ"
මම සෙමෙන් මිමිණුවෙමි.
"... මේකයි සීන් එක... කෙල්ල පස්සෙන් පන්නන්නේ කෙල්ලගේ තාත්තගේ මල්ලියි, උගේ පුතයි"
"කොහොමද දන්නේ?"
උනන්දුව වැඩිකමට විරංග මා අසලම පුටුවක් ඇද වාඩි උනේය.
"මාව දැන් උන් දැකල තියෙනවා"
"තෝ ඉතින් මේකිවත් ඉස්සර කරගෙන හනිමුන් ගියාද? ගොන් වස්සා !"
"ඉඳපන් කියනකල්.... නිමන්ති එයාගේ ගාව තිබ්බ ඩොකියුමන්ට්ස් වල ඔරිජිනල් ටික කොන්වන්ට් එකේ සිස්ටර් මාරියාට දීලා. ඒ ගෑනි කියනවා ඒවා තව කෙනෙක් ගෙනිච්චා කියලා.. කවුද කෙනා කියන්නේ නැහැ.."
"හ්ම්ම් "
මම හිතුන තරමේ පූදුමයක් විරංග කෙරෙන් නොවීය. නිමන්ති මා හමුවීමට ආ පසු සිදුවීම් සියල්ලමත්, ඉන්පසු තාරුකගේ කතාබහත් , අවසානයේ අප පාසලෙන් මධුලිකාගේ සහතික ඇතුලත් ලිපිගොනුව සොරකම් කිරීමත් නිහඬව අසා උන් විරංග කාමරයේ ඔබ මොබ සක්මන් කරන්නට විය.
"ඉතින්.. කෙල්ල ඉන්නේ අනතුරේ.. සමහර වෙලාවට උන් කෙල්ලව හොයන්නේ බලෙන් තියාගන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට නීතියෙන් අයිති කරගන්න වගේ?"
"හ්ම්ම්"
"මට හිතෙන්නේ වාසුලයා කෙල්ලව බැඳලා වැඩේ ගොඩදාගන්න හදනවා කියල"
"ඌ ඔයාව දැක්ක කිව්වේ? කොහෙද?"
"මධුලිකාගේ බර්ත්ඩේ එකට අපි... ඩිනර් වලට ගියා"
විරංග මා දෙස බැලු බැල්මේ යටි අරුත මට නොවැටහුනත් , එහි විශ්මයක් වූ බව නම් නොසැඟවිය හැකිය. එහි ඊර්ෂ්‍යාව තිබුනාද?
"හ්ම්ම්"
"ඒ එනකොට ඌ හිටියා කියලා මධුලිකා කිව්වා...."
මම විරංගගේ මුහුණේ ඉරියව් කියවමින් සිටියෙමි. විරංග නියපොතු විකන්නට පටන්ගත්තේය.
"හ්ම්ම්"
"ඉතින්... මම තාරුකට කිව්වහම... ඌ කිව්වා ලීගල් ප්‍රෝටෙක්ෂන් එකක් නැහැ කියලා එයාට, එහෙම බලෙන් බැන්දොත්. එක්කෝ මරන්න පුළුවන් සමහර වෙලාවට.... ඒක නැති උනොත්. ඉතින්.... ඊයේ උදේ මම මධුලිකාව බැන්දා"
විරංග මා දෙක ගල්ගැසී බලාසිටියේය. ඔහුගේ එක අතක් මිට මෙලවී තිබිණි.
********** මතු සම්බන්ධයි ***********
Haffoii mita meleuwe gahannada?
ReplyDeleteගහයිද දන්නේ නැහැ... ඇත්තනේ ඉතින්!
Delete