කාලෙකට පස්සේ...
'උන්මාද චිත්‍රාදෝ මා' කතාවට සම්බන්ධ තව කතාවක් ලියමින් පවතිනවා. කියවමුද?
-ලිඛිතා
කාලෙකට පස්සේ...
'උන්මාද චිත්‍රාදෝ මා' කතාවට සම්බන්ධ තව කතාවක් ලියමින් පවතිනවා. කියවමුද?
-ලිඛිතා
සමහර කතා...
ලියාගන්න කාලය හරස් වෙනවා. ඒත් එයාලා මට කරදර කරනවා
' මංජියෝ.. මං ගැන ලියන්නෙ කවදාද?'
' ලියන්නම් මචෝ.. දැන් ලියන එක ඉවර වෙලා?'
ඉතින් උන් දින වකවානු, දේශගුණය ගැන එහෙම අහනවා. මං කටට ආපු එකක් කියලා ගැලවෙනවා. මගේ කරුමේ කියන්නේ උන් ඒවා පොත්වල ලියාගන්නව.
ආයෙත් ඩෙඩ් ලයින් මතක් කරනවා..
මං හෙමීට ලිස්සල යනව..
මොකද, කීප දෙනෙක් තරවටු කරල ගුටියක් දෙකක් එහෙම දීල තියෙනවා එහෙං මෙහෙං කෑලි ලියනවා කියලා.
ඔහොම ගිහින් ඔන්න මං දවල් වෙලා ඇහැරලා කබ කඩ කඩ සාලෙට එනකොට මෙන්න කවුද ටීවී බලනව..
ඈහ්! අඩෝ මේ උඹ කවුද?
කවුද අහන්නෙ පේන්නෙ නෑද? මං අර 'අහවල්' එකා.. දැන්ද ඇහැරුනේ.. තේ හදපිය මට තිබහයි.
තේ? උදේට තේ බොන්නෑ මං.. මොකද කියන්නේ කේක් එකක් ඕඩර් කරලා ඉඟුරු ප්ලේන්ටියක් දාමුද?
දෙන්නම සෙට්!
එදා පටන් උන් එකා දෙන්නා තව එකා දෙන්නා බැගින් ගෙදර සාලෙට ප්‍රාණිභූර්ථ වෙනවා.
බුදු අම්මෝ සෙනඟ!
උන් එක්ක සංවාද හරිම මාන්දමිකයි. ඒත් මාර ජොලි. මගේ මූඩ් එක දන්න හින්දා ගොඩක් පහසුයි.
ලයිෆ් එක රොම්බ මාවලස් වෙනවා..
කතා ලිවීමට වඩා ඒක ආතල්!
😳
නොලිව්ව කතා එක්ක වැඩට යන, කන බොන , ජෝක්ස් දාන මට වෙලාව කොඤ්ඤම් කොඤ්ඤම් මදි..
මේකට මං mk?
- ලිඛිතා 🤓
'මට ඇහෙන සරින්' කතාව බ්ලොග් අවකාශයෙන් සමුගන්නවා.. ගොඩක් ස්තුතියි කියෙව්වාට
කතාව ලියන එක ගැන කතාව-
උන්මාද චිත්‍රාදෝ මා කියන කතාවේ පොඩිම වස්තුබීජය මගේ හිතේ පැලවෙන්නේ මම සාමාන්‍යපෙළ කරන කාලේ.
නමුත් මට එතරම් ධෛර්‍යමත් කමක් සහ පරිචයක් තිබ්බෙ නෑ මේ වගේ තීම් එකක කතාවක් ගොඩනගන්න. මොකද ප්‍රස්තූතය උනේ තමන් මෑතකදී විවාහපත් උන සැමියා ඉක්මනින්ම මිය ගිහින් වසර විස්සකට පස්සේ හොයාගෙන එන එක. ඉතින් ඒ අදහස එහෙම්ම යට ගියා. කාලයත් එක්ක මම මගේ ලිවීම අත්හදා බලමින් ඉන්නකොට හදිස්සියේ මට එක්තරා චරිතයක් හමුවෙනවා.
ඔන්න මගේ අදහස පිස්සුවක් වෙනවා..
පුංචි නිවේදන කීපයක් දෙන්න තමයි මේ කුඩා සටහන තබන්නෙ.
1. උන්මාද චිත්‍රාදෝ මා - කතාව නවල් එකක් විදියට මුද්‍රිත මාධ්‍යයෙන් එළියට ගන්න අදහසක් තියෙන නිසා, බ්ලොග් එකෙන් 1-60 දක්වා කොටස් ඉවත් කරනවා.
2. රතුපාට මල් - කතාව වෙනත් මාධ්‍යක පල කරන්න හිතන නිසා දැනට පලවී ඇති සියල්ලම අවකාශයෙන් ඉවත් කරනවා.
ප.ලි : උන්මාද චිත්‍රාදෝ මා නවකතාව අවශ්‍ය නම් මිලට ගන්න ඕනෙ නම් සටහනක් තියන්න. ඔබේ කොපිය අරන් තියන්නම්
ප.ප.ලි : රතුපාට මල් පලවෙන්නේ storyflix කියලා Android app එකක. දැන්ම නෙවෙයි තව ටික කාලෙකින්. තව විස්තර ඕනේ අය කියන්න.
ස්තූතියි
- ලිඛිතා
කතාවේ ඇතුලත යොදාගත්ත නමක් ඉවත් කරන්න කියලා කරපු ඉල්ලීමක් නිසා මෙතෙක් ලියා තිබුනු කොටස් සියල්ලෙන් ඒ නම ඉවත්කරන්නට සිදුවන නිසා, කතාව ටිකක් ප්‍රමාද වෙයි.
සිදුවූ අපහසුතාවයට සමාව අයැදිමි.
- ලිඛිතා
සංගීතය කියන්නේ කවදාවත් මට සෙට් උනේ නැති දෙයක්. ඒ කියන්නේ ගායන හෝ වාදන හැකියාවක් නැහැ. නමුත් මට ඒ ගැන තිබ්බේ එක්තරා උන්මාදයක්. හේතුව තමයි මගේ තාත්තා විනෝදාංශයක් විදියට ෆිල්ම්, ටෙලි ඩ්‍රාම වගේ දේවල් එකතු කරපු නිසාත්. අන්තිමේ ඕක උග්‍ර වෙලා වීඩියෝ ෂොප් එකක් දාන තත්වෙටම ආපු නිසා ඉතාම පැරණි චිත්‍රපට තිබ්බා අපේ ගෙදර. මම හිතන්නේ මම කලින් ආත්මේ බල බල හිටපු ඒවා පවා තිබ්බ.
ඒ අතරින් සුවිශේෂ වෙච්ච ජාතියක් තමයි හින්දි චිත්‍රපට කියන්නේ. කොටින්ම ඉස්සර අපේ ගෙදර ෆිල්ම් එකක් විදියට හින්දි එකක් නොබලපු දවසක් තිබ්බෙම නැතුවද කොහේදෝ. ඒ හින්දා කිරිබොන කාලේ ඉඳලා මම හින්දි සින්දු පිස්සෙක් කියලා කිව්වොත් නිවැරදි.
ඇතුලතින් පිච්චෙමින් උන් මම, දුරකථන ඇමතුමෙන් පසුව උන්මන්තකව ගියාක් මෙනි.
මම කල මෝඩකමක මහත !
මධුලිකා එසේ ගුවන්තොටුපොළේ දමා ඒම මම කල වරදයි. රේගු නිලධාරිනිය මා අමතා පැවසුවේ මධුලිකා මිට සුළු මොහොතකට පෙර ගුවන් තොටුපළෙන් එළියට පැමිණි බවයි.
වහා මධුලිකාගේ අංකය ඇමතුවද, කිසිදු ප්‍රතිචාරක් නොමැත. කුමක් කරන්නදැයි මට සිතාගත නොහැකිව මම වාකිෂ්ඨ මහතා ඇමතුවේ උමතුවෙන් මෙනි.
"අංකල්... අනේ අන්කල්.... මධු එනවා කිව්වද?"
"මිසිස් මධු.............? ඇයි මොකද වෙලා තියෙන්නේ? මට එයාපෝට් එකේ ඉඳල පැයකට විතර කලින්නේ මට කෝල් කලේ? මෙහෙ කොහේ එන්නද?"
"අනේ අන්කල්.. මම මධුව ඩ්‍රොප් කරලා ආපහු ආවා.. එයා එතනින් ඇවිල්ල... අනේ අන්කල් කෝල් කලොත් ඉන්න තැනක් මට කියන්න... "
"පුතා මේ අර...."
ඔහු කියන්නට ආ කුමක් හෝ කරුණ මම නොතකා ඇමතුම විසන්ධි කලෙමි.
'මේ පිස්සි මොකක් කරන්න හදනවද?'
මම කාමරයෙන් එලියට පැමිණ බැල්කනියට වැදුනේ පිස්සෙකු මෙනි. කොතරම් ඇමතුම් ගත්තද මධුලිකාගේ දුරකථනය පිළිතුරු නොදෙයි. ඇය මේ යන්නේ කොහිද?
'මධු... මගෙත් එක්ක තියෙන තරහට මෝඩ වැඩක් කරන්න එපා.. මම ඔයාව ඔච්චර ආරක්ෂා කළා... අනේ මධු.... ෆෝන් එකට ආන්සර් කරන්න..'
මම වොයිස් පණිවිඩයක් යැව්වෙමි. එය යැවු සැනින් 'seen' ලෙස සටහන් වුනි. මම වහා whatsapp ඇමතුමක් ගත්තද පිළිතුරක් නොමැත. මධුලිකා කුමන අනතුරකද?
මද වෙලාවකින් පසුව නානකාමරයට යන්තම් එබුනු මම දුටුවේ දෙපා දිගුකොට බිම වාඩිවී උන් මධුලිකාය. ඇඟ සොදාගන්නට කියා නානකාමරයට තල්ලු කලද ඇය තාමත් මෙතනය.මට ආවේ කේන්තිය මුසු සිනාවකි.
"වොෂ් එකක් දාගන්නවා අයිසේ.... ! "
"මට ඉන්න දීපන් නපුරා...හ් "
මෙතෙක් ඈතින් සිටියද, මම වේගයෙන් අඩි තබා නාන කාමරයට පැමිණ ඈ කෙලින්කොට අල්ලා එලෙසම නාන කැබින් එකෙහි වතුර මල ඇරියෙමි.
".. අල්ලන්න එපාහහ් මාව........ අම්මොහ්.. සීතලයි....!"
මට දෙන්නට පිළිතුරක් නොවුනි. නමුත් යම් පිළිතුරක් ලබාදිය යුතු නිසා ඊට සුසුදු පිළිතුරක් සොයන අතරතුර නැන්දා සුසුම්ලනු මට දැනේ.
"..... මේ මහත්තයල කැමති නම් මගේ අකමැත්තක් නැහැ මහත්තය. මේ ඔක්කොම මට හරි කරුණාවයි. යන්න කලින් පුංචි නෝනගේ මුණ බලන්න තිබ්බනම්..."
මහා බර සුසුමක් දුරකථනය ඔස්සේ හෙලුනි. මධුලිකාගේ තනියට කියා මම ගෙනා සේවිකාව මේ වනවිටත් සිටියේ තුවාන් අය්යාගේ ඩිස්පෙන්සරියේය.
ඇගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවුනද මෙතෙක් ; විශේෂයෙන්ම මට; විස්වාසවන්තව කටයුතුකළ ඇය පිළිබඳව සාධාරණයක් කිරීම මගේ යුතුකමකි. මධුලිකා තබා යන්නට විශ්වාසවන්ත අයෙක් නොමැති මොහොතකදී ඇය වරක් හෝ නොදුටු මගේ පිහිටට පැමිණියේ පුදුම ආකාරයටය.
තුවාන් අය්යාට කතාකල මට දැනගන්නට ලැබුනේ ඇයව සිය නිවසට ගන්නට ඔහු කැමති බවයි. එය මට පහසුවක් විය. නමුත් මධුලිකා නැවත විදෙස්ගත වනවා කියූ සැනින් නැන්දා කම්පනයට පත්වුවාය. අපගේ සැබෑ තත්වය කිව නොහැකිව මම ඇයට පැවසුවේ අප දෙදෙනාම එසේ යන බවයි.
"... පර්ල් නෝනා මගේ ඇහැක් වගේ මම හැදුවේ... මේ අත්දෙකින් ! පුංචි නෝනා ඉපදුනාම වෙනිවැල්ගැට තම්බලා නෑව්වේත් මම.... අනේ මල් කුමාරියක් වගේ පිං කඳක්.. මගේ නෝනට රත්නත්තරේ සරණයි "
ගැහැණියගේ අවිහිංසක ලැදියාව ගැන මට මහා දුකක් දැනුනි.
"බයවෙන්න දෙයක් නැහැ නැන්දා... එයා හොඳින්"
නොනවත්වා නාදවෙන දුරකථනය සිහිනයෙන් ඇසී මම අපහසුවෙන් දෑස හැරියෙමි. කතාකරන්නේ කවුද නොබලා එය ඉබේම මට පිළිතුරු සැපයීමට ගත්තෙමි.
"හෙලෝව් ?"
"මොකද අනේ වෙලා තියෙන්නේ.. තව ඩින්ගෙන් අපි පොලිසියට කියනවා"
මහා හෙනයක් වැටුනාක් මෙන් මම උඩගොස් බිම වැටුනෙමි. දුරකථනය කනෙන් මෑත්කොට මම බැලුවේ මේ මකර කට කාගේද කියාය. ඒ මධුලිකාය.
"ම.. අම.."
"කීයද වෙලාව? උදේට කන්න එන්නේ නැද්ද? දැන් බුෆේ එකත් වහනව.. අපි මේ බයවෙලා මරල හංගලද කියල!"
අපගේ කතාබහ ඇසුණු සැනින් මධුලිකා එකවරම තිගැස්සී ගියද කිසිවක් නොකියා මුව තදින් පියාගන්නවා පෙනුනි. මම ඔවුන්ට කාමරවල යතුරු ගන්නට ඉඩදී , ලොබියේ වූ පුටුවකට බරවිමි. මේ මොහොතේ තීක්ෂණ නම් තරුණයාට වී ඇත්තේ කුමක්ද කියා මටද වැටහීමක් නැත්තාක් මෙනි.
'මධුලිකාව නිරුපද්‍රිතව ලංකාවෙන් පිටත්වෙනකල්, එයාගේ වගකීම තියෙන්නේ මගේ අතේ'
මා තුල උන් තීක්ෂණ කියයි.
'ඒ උනාට උඹෙන් ඩිවෝස් වෙන්න ඕනේ කියන කෙල්ලගේ වගකීමක් මොකටද යකෝ උඹ ගන්නේ?'
මා තුල සිටින වෙනත් කෙනෙක් අසයි. මම ඔහුගේ කටට ප්ලාස්ටරයක් අලවා විසිකොට දැමුවෙමි.
උදානි මා දෙස හොරැහින් බලමින් සිනාසෙනු දැකීම මගේ අභිමානයට එතරම් ප්‍රිය නොවූ බැවින් මම බොරු කාර්යබහුලත්වයකින් දුරකතනයට එබී කිසිම වැදගැම්මකට නොමැති දෙයක් සොයමින් මුහුනුපොතේ සැරිසරමින් උන්නෙමි.
මධුලිකාත් උදානිත් සිය කාමරයේ යතුර ගෙන ලොබි එකෙන් පිටව හෝටලය තුලට ඇවිද ගියහ. මම තවත් විනාඩි දහයක් පමණ බොරුවට කල්මැරීමෙන් පසුව සුදම් ඇමතුවෙමි.
"මචන් කිසි අවුලක් නැහැ නේද?"
"නෑ... ඩඩාව බලාගන්න නර්ස් ආයෙත් හෙට එනවා කියල ගියා. එයා ගොඩක් හොඳයි. කිසි අවුලක් නැහැ.. උඹ කොහෙද ඉන්නේ?"
මම පිළිතුරක් නොදී මාතෘකාව වෙනස් කලෙමි.
වැටෙන්නට ගිය සුසුම මම පපු කුහරය තුල රඳවා ගත්තෙමි. මගේ වම් අත මිට මෙලවන්නට ඇත්තේ එබැවින් වන්නට ඇත.
මධුලිකාගේ ගුවන් ටිකට්පත සුදානම්ය. ඇත්තේ මගේ දික්කසාදය පිළිබඳ කඩදාසියේ අත්සන පමණි!
තාරුක අයියාට හෝ මධුලිකා ගැන පෙරදින දැනගත් කාරනා මම නොපැවසුවේ ඒ වනවිටත් ඔහු මධුලිකා ගැන නොපහන් බවක් තිබුණු බැවිනි. ඇය ගැන අනවශ්‍ය තරහක් මේ වෙන්වයාමෙන් තැබීමේ පලක් නැත.
ඒ ආරංචියෙන් මද වෙලාවකට පසුව මම තාරුක අයියා අතින් , වාකිෂ්ඨ මහතා විසින් එවනලද ලියවිලි සහිත ෆයිල් කරවයද අතැතිව ජීප් රථයට නැගුනෙමි. හදවත සෝදාපාළුවට ලක්වූ ඉඩමක් පරිද්දෙන් මුසල බවක් උසුලයි. තාරුක අයියා හමුවන්නට පෙර මධුලිකා සතු මහල් නිවාසයේ භාණ්ඩ ඇයට බාරදීමට කියා අස්කරන්නට ගියද, තත්පරයක් පාසා මතුව එන වේදනාව ඉවසාගත නොහී මම එය පසෙක තබා මධුලිකාට කෙටි පණිවිඩයක් යැව්වෙමි.
'මහල් නිවාසයේ තියෙන ඔයාගේ බඩු ටික ඇවිත් ගන්න'
මම ජීප් රථය නවත්වාගෙන සිටියදී පුම්බාගත් මුවින් යුතුව මධුලිකා පිටුපස ආසනයට නැගුනේ මා දෙසවත් නොබලාය. අවසන් මොහොතේ තාරුක අයියා මධුලිකාවත් ගමනට එක්කාගෙන එන ලෙස පැවසුවේ ඇයිදැයි නොදත්තත්, ඒ ලෙස හෝ මධුලිකා දකින්න ලැබීම මට සහනයක් විය. ඈ වෙනදා මෙන් පිළිවෙලට හැඳ පැළඳ සිටියේ නැත. ඇස කොනෙන් දුටු ඇගේ කොට කලිසම මා කෝපවත් කලද මම නිහඬව සිටියෙමි.
'කෙහෙල්මල් කකුල් පේන්න අඳින්නේ මාව තරහ ගස්සන්න වෙන්නැති '
අවු කණ්නාඩි යුවල දමාගත් මම රථය පදවාගෙන ගියා විනා තාරුක අයියාගේ නිවසේ නතර කරන තෙක් අප දෙදෙනාගේ අතර කිසිදු කතාබහක් නොවුනි. මගින් මගට මධුලිකාට දුරකථන ඇමතුම් පැමිණියාට ඈ ඒවාට පිලිතුරු නොදී විසන්ධි කරනවා ඇසුණු අතර මම වැරදීමකින් දෙවතාවක් පමණ කණ්නාඩියෙන් ඈ දෙස බලද්දී, වරකදී පමණක් අපේ ඇස් හමුවිය.
ඒ ඇස් ! ඒ බැල්ම!! සැතකින් පපුව කපා හරින්නාක් මෙනි.
"අඩෝ... නැගිටපන්.... අඩෝ..."
තලා දැම්මාක් මෙන් සිරුර සොලවමින් ඇසුණු හඬ නෑසුනා සේ මම අනෙක් පසට පෙරලුනෙමි; පෙරලුනා නොව විසිවී ගියාක් මෙනි.
"... දැන් උඹ කීවෙනි පාරටද ඔය ඇඳෙන් වැටුනේ.... දැන් නැගිටලා මේ බෙහෙත් බීපන්"
ඒ ඇසෙන්නේ තාරුක අයියාගේ හඬයි. මට අතපය සොලවාගන්නට නොහැකි තරමකි. ඉබේටම මට කෙඳිරි ගෑවුණි. අතපය වාරු නැත්තා සේ දැනෙන්නේ ඇයි. තොලකට සියල්ල වියලි ගොසිනි.
".. තීක්ෂණ.. උඹට සිහිය තියෙනවද?"
මා ඇඳේ උඩු අතට පෙරළු හඬ කියද්දී, ඒ තාරුක අයියා බව මට වැටහුණි. මගේ මුවට වචන පැමිණියේ නැත. ඔහු මා කෙලින් කොට ගත්තේය.
"... මේ බෙහෙත් ටික බීපන්.. උඹට උණ "
තාරුක අයියා මගේ කටට මොනවාදෝ දමා වතුර බෝතලය ලං කළේය. මට ඉබේටම එය පෙවුනේ වතුර පිට උගුරේ යමිනි.
නැවත මම ඇඳ මතට කඩා වැටුනා මතකය.
කිසිදු ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට මධුලිකාගෙන් පිළිතුරක් ලැබුනේ නැත. මම උන්මන්තකයෙකු සේ මේ අත දුවමින් සිටියේ කුමක් කරන්නද කියාය.කුඩා දරුවකු අතින් බිඳුණු සිය ප්‍රියතම සෙල්ලම් බඩුවක් දෙස බලා හඬමින් ගතකරන්නාක් මෙන් මම බොළඳ ලෙස කම්පාවට පත්ව උන්නෙමි.
ටාෂා අමතා මම සියල්ල පැවසුවේ මේ අවස්ථාවේ ක්‍රියාකලයුතු අනෙක් පාර්ශවය ඇය බැවිනි.
"දෙවියනේ... ඔය ආන්ටි ඔහොම්මමයි... මම එන්නම් දවල් වෙනකොට"
ටාෂා විසින් පවා මධුලිකා ඇමතුවද කිසිදු ප්‍රතිචාරයක් නොවුණු අතර මධුලිකා කාමරයට වී දොරගුළු ලාගෙන සිටියාය. අම්මා සිය යෙහෙළියගේ ආගමනයෙන් සහ තාත්තාගේ යහපත් තත්වය නිසා මධුලිකාගේ හැසිරීම නොදකින්නට ඇත.
උදෑසන කෑම මේසයේ මධුලිකා වෙනදාට වඩා වෙනස් ස්වභාවයක් ගත්තාය. මා දෙස නිතර බැලුම් හෙලනු මට පෙනුනි. තාත්තාගේ සැත්කම නිසා මම සිටියේ තරමක කලබල ස්වභාවයෙන් වුවද මට ඒ නෙත්සර මගහැරී ගියේ නැත. ඇගේ සුළු වෙනසක් මට ක්ෂණිකවම ග්‍රහණය වෙයි.
එකම බය අම්මාගේ හෝ ටාශාගේ මවගේ ඇස කවර හෝ මොහොතක මෙය අල්ලාගනු ඇතැයි සිතන විටදීය. හිත කිතිකැවෙන්නේ අමුතුවටය.
'එක අතකට මම මොකටද බය වෙන්නේ. අහු උනොත් කෙලින්ම කියනවා මේ මගේ කෙල්ල කියල'
මගේ සිත ප්‍රීතියෙන් ඔදවැඩි ඇති සෙයකි. මධුලිකාගේ අමනාපය අතුරුදහන්ව ගොස්ද? අම්මා මධුලිකා ගැන පමණක උනන්දුවක් දක්වනු මට පෙනුනේ ඇයත් මධුලිකාත් ටාශාගේ මව සමඟ මිදුලේ ඇවිදිමින් සිටිනු මම දැක ඇති නිසාය. පෙරදින ටාශාගේ කතාබහෙන් පසුව මට හැඟී ගියේ ටාෂා සිය උපරිමයෙන් මගෙත් මධුලිකාගේත් එක්වීම පතනු ඇතැයි කියා මෙන්ම හැකි සැම විටකම මධුලිකා සමාගමයේ සිටිමින් එයට උපකාර කරනවා ඇතැයි යන්නයි.
සියල්ල යහපත් වේද?
තාත්තාගේ හෘද සැත්කම ඉක්මන් කලයුතු බව වෛද්‍යවරු දැන්වුයෙන් මම ඒ දේවල් සියල්ලටම දුවපැන ඇවිද්දේ උමතු වුවෙකු පරිද්දෙනි. අම්මාත් මල්ලිත් යන දෙදෙනාම මා උරහිසේ, මගේ සරණ පතාගෙන සිටින බැවින් මට දුර්වල වන්නට අවස්තාවක් නොවිය.
අම්මාටත් සුදම්ටත් අඩුපාඩුවක් නොවන ලෙසත් , ඔවුන්ගේ සිත සනහාලන වටපිටාවකුත් ටාෂාගේ නිවසේ තිබීම මට මහත් රුකුලක් විය. තාත්තාගේ අසනීප තත්වය කිසිවකුට නොකී බැවින් වැඩිදෙනා නොපැමිණියද, ඔහුට සිටි විස්වාසවන්ත මිත්‍රයින් සැම දෙනාම මහා පවුරක් වී වටා රොක්ව සිටියෝය.
තාත්තා මුදල් වලට වඩා උපයා ඇත්තේ මිනිසුන් බව අතිශෝක්තියක් නොවේ. අනුලා සම්බන්ධයෙන්ද තාත්තාගේ යම් අසරණකමක් නොවේ නම් අම්මාට ද්‍රෝහී වන්නට තරම් තාත්තා චපල නොවන බව මම වඩ වඩාත් අදහන්නට වීමි.
අසනීප වූ දින සිටම මගේ භාරයේ තිබුණු තාත්තාගේ දුරකථනයට පිළිතුරු දුන්නේ මමයි. ඇමතුම් අතර දුලිප් නොසිටියද , කිහිප වරක්ම අනුලා අලස් යයි මම සැකකල කාන්තාවක් ඇමතු බව මම සැලකිල්ලෙන් තබාගෙන සිටියෙමි. එම අංකය මගේ යහළුවෙකු ලවා අයිතිකරුවා සොයාබැලුවද ඒ නම අනුලා නොවිණි. තාත්තාගේ එන ඇමතුම් වලට පිළිතුරු සපයමින්, මම වත්තේ සියල්ලම නිසිලෙස කළමනාකරණය කරගත්තේ සුන්දර්ගේ සහයෝගය මට නොමදව ලැබුණු බැවිනි. අනෙකුත් ව්‍යාපාර සඳහා ඒ ඒ කළමනාකාරවරුන් අමතා ඔවුන්ට අවශ්‍යකරන දේවල් යම් තරමකට ඉෂ්ටකරදීමට මට හැකිවිය.
තාත්තාගේ තත්වය බරපතල බව වෛද්‍යවරුන් පැවසුවද මම මහත් ශෝකයෙන් වැලපෙන අම්මාට හෝ සුදම්ට එවැන්නක් නොකීවෙමි. හදිසියේ ඇතිවූ හෘදයාබාධය නිසා ඔහුව අප රැගෙන ගියේ ආසන්නයේම තිබුණු පෞද්ගලික රෝහලට වූ අතර ඔහුගේ වෛද්‍යවරයා ඊට පැයකට පසුව එහි ළඟාවනවිටත් අප සියලුදෙනා කම්පනයෙන් ඒ මේ අත බලමින් කොරිඩෝවේ තැන තැන වැටී උන්නෙමු.
"ඇයි මේ බෙහෙත් ටික වෙලාවට මාරු කලේ නැත්තේ?"
මට හෙදියට දෙන්නට පිළිතුරක් නොවුනි. මෝඩයෙකු සේ මම ඔහේ බලාගෙන උන්නෙමි. පතාක යෝධයෙකු වන තාත්තා අසනීපයෙන් සිටීමම මට සිහිනයක් මෙනි. ඔහු පසුගිය දිනවල සිය පපුවේ කැක්කුම ගැන කියා ඇතත් වෛද්‍යවරයෙකු වෙත යාම ප්‍රතික්ෂේප කල බව අම්මා කියූ බව මට මතකය.
මේ මොහොතේ සිත අවුල් කරගතයුතු නැත. හිස් කෙලින් තබාගෙන සිටීම වඩා වැදගත්ය. රාත්‍රිය මෝරනවිට අම්මගෙත්, තාත්තාගේ හිතවතුන් සහ සහෝදරයින් කිහිප දෙනෙක් අපගේ දුක බෙදාගැනීමට පැමිණි අතර බලාසිටිනවා හැර කළහැකි යමක් නොවුනි.
"පුතාල යන්න ගෙදර.... දැන් බයවෙන්න දෙයක් නැහැ මල්ලි ඉන්නේ ඩොක්ටර්ස්ලා ගාවනේ"
සියවෙනි වතාවට අනෙකුත් අය විසින් කියන ලද වැකිය ලොකු තාත්තා කියන්නට ඇත. මම අම්මා ගැනත් සුදම් ගැනත් සිතිය යුතුය. මේ මොහොතේ වඩාත් සිහියෙන් කටයුතු කලයුත්තේ මම බව මට නොවැටහුනා නොවේ.