Wednesday, June 16, 2021

250: සුහදිනියේ - 41 | තීක්ෂණ වියවුලක

    කලින් කොටසට 

 


 

මම කෙලෙස ඒ ආකාරයෙන් රඟපෑවා දැයි මටම සිහියට නගාගත නොහැක.

තාරුක අය්යාගේ විමතිය වැඩි ගණනකට නොගත්තා සේ මම ඔහු දෙස සිනහවෙන් බැලුවෙමි.

"මම කිව්වේ... පොඩි රණ්ඩුවක් ගියා බන්... තරහ ගියාම හරි වසයි. ඔහොම කිව්වට තරහ නිවෙනවා...කලබල වෙන්න එපා "

මම අපහසුවෙන් සිනහවක් නගාගත්තෙමි.
තාරුක අයියා මා විස්වාස කල බවක් නොපෙන්නුවද ඊට වඩා විස්තර ඇසීමෙන් වැලකි සිටීම යම් සහනයක් ලබා දුන්නේය.

Tuesday, June 15, 2021

TOP UREGNT!!


 

 

අනේ උදව් කරන්න.....


මගේ සුහදිනියේ 40 පෝස්ට් එක 41 න් replace උනානේ ! කවුරුහරි කෙනෙක් ඉන්නවද මගේ පෝස්ට් වල feed burn දාල තියෙන කෙනෙක්? එහෙම ඉන්නවා නම් කරුණාකර 40 කොටස එවන්න. මම ඒක කොහෙවත් save කරලා තිබ්බේ නැති නිසා ඒ කොටස නැත්තටම නැති උනා!


මේකේ කමෙන්ට් එකක් ලෙස හෝ දානවා නම් වටිනවා. ආයේ ලියන්නත් බෑනේ!



Monday, June 14, 2021

249: සුහදිනියේ - 40 | පිරියම් කල නොහැකි පිපිරීමක්??

කලින් කොටසට 


 

මධුලිකාද සහ මධුලිකා  සඳහන්  තරුණියක නිවසේ  සිටියදී අම්මාට ඇති අනතුර විසින්ද දෝලනය කරන ලදුව සහ අම්මාගේ දහසකුත් ප්‍රශ්නාවලි වලින් පෙරී එනවිට මගේ ඉවසීම ඉක්මවා යන්නට ආසන්නව තිබිණ.

ලද අවසරයෙන් නිවසින් එලියට පනිනවිට එකොළහට ආසන්නව පැවතුනි. වාහනය පදවනවාට අම්මාගේ දැඩි විරෝධය නොතකා එළියට ආ මම ගේට්ටුව පසුකරනවිටම තාරුක අයියා ඇමතුවෙමි.

"හලෝ?"

"මචන් මට මධුව බලන්න ඕනේ! කොහේටද මම යන්න ඕනේ?"

තාරුක අයියා එකවරම පිළිතුරක් දුන්නේ නැත. මම නොඉවසිල්ලෙන් දඟලමිනි.

"... මට යන්න පාර කියපන් මම යන්නම් එක්කෝ"

"දැන් කොහේ ලෙඩ්ඩු බලන්නද.. දවල් වෙලානේ ආයේ යන්න දෙන්නේ"

මගේ සිත රිදින. මධුලිකා නොදැක මගේ සිත කෙසේවත් සුවපත් නොවේ. 

"ඉතින් කීයටද ආයේ යන්නේ? මට මධුව බලන්න ඕනේ බන්"

 තාරුක අයියා සිනාසෙනවා මෙන් මට හැඟුනි. 

 "ආ හරි වරෙන්කො අපේ ගෙදර.. මගෙත් එක්ක යනකොට වෙලාව හරි"

Wednesday, June 9, 2021

248: සුහදිනියේ - 39 | මධුලිකා දෙදෙනෙකු අතර

 

  කලින් කොටසට 

 
"මේ.. මේ කවුද? ඩඩා ! මේ ක-වු-ද?"

වාහනයට නොනැගම මට කෑගැහුනි. එය මහා හඬින් වූ නිසා තාත්තා බිය වන්නට ඇත.

"නගින්න ලොකූ මෙතන කෑගහන්නේ නැතුව! බලන්න මම හිතන්නේ ඔයාට ඩිසි වගේ ඔලුව වැදිලා හින්ද..."

කරකියාගන්නට දෙයක් නැතිව මම වාහනයට නැග්ගෙමි. නැවතත් හැරී පසුපස ආසනයේ උන් තරුණිය දෙස බැලුවෙමි. ඇය මදක් තැතිගෙන බව පෙනුනද අපහසුවෙන් මෙන් මා දෙස බලා සිනාසුණාය. ඒ මධුලිකා නොවේ. විදුලියක් වන් සිනහවක් ඇති, හී සර වන් බැල්මකින් මා අඩපණ කරන මගේ ප්‍රේමනීය මධුලිකා නොවේ! මෙය කුමන විහිළුවක්ද ?

'මධුලිකා නෙවෙයි'

මම වහා තාරුක අයියාට කෙටි පණිවිඩයක් යැව්වෙමි.

'මොන මගුලක්ද ඒ?'

තාරුක අයියා ලියා ඒවා තිබිණ. අප ඔහුගේ වාහනය පසු කරගෙන නැවත ගමන් ආරම්භ කළෙමු. මගේ හිස පුපුරන්නට මෙනි. මගේ මධුලිකා මෙහි නැත. මේ සිටින්නේ කවුරුන්ද කියා මම නොදනිමි. මධුලිකා තවමත් අනතුරේ! මම ඒ මේ අත දඟලනු දුටු තාත්තා මා දෙස වරක් බලනු මට පෙනුනි. මම සන්සුන් වන්නට උත්සහ කලෙමි.

"මොකද ලොකූ? අමාරුද? ඔලුව තාම රිදෙනවද?"

මම සිනාවන්නට උත්සහ කරන අතර නැහැ කියන්නට මෙන් හිස දෙපසට වැනුවෙමි. තාත්තා වාහනයේ ඇතුලතින් ඇති කණ්නාඩියෙන් පිටුපස සිටින තරුණිය දෙස බැලුවේය.

"දුව..... මගේ පුතා ඔයාව ඕනේ ගමන් බිමන් එහෙම එක්කගෙන යයි. මගේ වයිෆ් තමයි වැඩිපුරම ගෙදර ඉන්නේ. බයවෙන්න එපා ; ඔයා මගේ වයිෆ්ට කියන්න මේ ලොකූගේ යාලුවෙක් කියලා... "

"හරි අන්කල්"
 

Friday, June 4, 2021

247. සුහදිනියේ - 38 | මධුලිකා සොයා මෙහෙයුමක්?

  කලින් කොටසට 


 

කෙතරම් වෙලාවක් මම ක්ලාන්ත ස්වභාවයෙන් සිටියාදැයි මතකයක් නැත. යාන්තම් සිහියක් මා කරා එනවිටම කෙසේ හෝ බඩගාගෙන නැගිටගත් මම අඩසිහියෙන් මෙන් උන් විරංග ජීප් රථයට වත්තන් කරගෙන එන්නට හැකි වුයේ, අප සිටියේ රථගාලේ පසෙක විවෘත වන කුඩා උද්‍යානයේ නිසාය. 

පහර වැදීමෙන් බිම පතිතවූ මගේ ජංගම දුරකථනයේ මුහුණත ඉරිතලා ගියද එයින් වහාම තාරුක අයියා අමතන්නට මට සිහිය තිබිණ. අඩසිහියෙන් උන් විරංග පසුපස ආසනයට දැමු මම ඊළඟට පොකට්ටුවේ සෙවු දෙය තිබුනේ නැත. නැවත උද්‍යානයට යා නොහැකිය. අපට පහර දෙනවා කවුරු හෝ දකින්නට ඇත. පහර වැදී බිමට වැටෙනවිට ඉනෙහි කුඩා පැසක තබාගෙන සිටි කුඩා නමුත් මුවහත් පිහිය, පැස සමඟින්ම වැටීමට ඉඩක් නැති වුවද, එය දැන් නැත!

හිසට වැදුණු පහරින් මගේ දෑත් සහ දෙපා පන නැතිව ගියාක් මෙන් දැනේ. වාහනය පදවාගෙන යාමට තරම් ශක්තියක් මගේ ගතතුල නොමැති වුවද මධුලිකා පැහැරගෙන යාමෙන් ඇතිවූ කම්පනය විසින් ගතේ වේදනාවත් දුබලකමත් අමතකොට දමන්නාක් මෙනි. 

ආයාසයකින් තොරවම මගේ ඇසින් කඳුළු කඩා හැලුනු අතර මගේ සිත මෙතෙක් නොඇදහූ දෙවියන් වෙත යාතිකා කරමිනි. 

මගේ මධුලිකා පැහැරගෙන ගොසිනි! 

Thursday, May 27, 2021

246. සුහදිනියේ - 37 | ක්‍රියාන්විතයක පෙරනිමිති - මධුලිකා අහිමිවන ලකුණු

 කලින් කොටසට


මගේ බැල්ම කෙතරම්ද යත්, මධුලිකා උන්නේ අනෙක්පස දොරට ඇලීගත්වනමය. 
"පාර දිහා බලන්න.. පාර"

මධුලිකා මට කිහිප වරක් කිව්වාය.

මධුලිකා යාන්තමට තොල් ආලේපනයක් තවරා සිටියාය. ඈට ඇති සරාගී දෙතොල් මා නොසන්සුන් කරවමිනි. ඉවසීම! මට නැත්තේ එයමය.

මදින් මද අප ශාලාවට ආසන්න වනවිටම ඈ හා වාදයකට පැටලුනෙමි. මගේ සිත නොරිදා මධුලිකා එය තේරුම් කිරීමට උත්සහ කලද, බොළඳ පෙම්වතෙකුව සිටි මට එය තේරුම් ගැනීමට හැකියාවක් තිබුනේ නැත. නමුත් අවසානයේ ඈ ජයගත්තාය. උත්සවශාලාව අසලදී අප දෙදෙනා වෙන් වෙන්ව පිවිසෙන්නට එකඟ නොවී, මට එකඟ වන්නට සිදුවිය.

"පිස්සු කොල්ලා..."

මධුලිකා එලෙස කියා මා පසුකොට යමින් මගේ උදරයේ කොනක් කොනිත්තා ශාලාව දෙසට යන පියගැටපෙළෙහි නොපෙනී ගියාය. අනපේක්ෂිත ඒ මොහොතේ මම සිටියේ බොරුල්වූ ඔරලෝසුව ලෙහමිනි.

වාහන අංගනයේ විනාඩි කිහිපයක් තාවර වෙමින් සිටි මගේ ගත ගිනිගන්නා සෙයකි. දිදුලන ගින්දරක් වැනි මධුලිකා ශාලාවට පිවිසෙත්ම ඈ නෙතින් ග්‍රහණයට කෙතරම් පිරිමි ළමුන් සිටිනු ඇතිද? කොල්ලන් ගැන මා නොදන්නවාද? 
මම තුල ඇත්තේ අධික ඊර්ෂ්‍යාකාර තරුණයෙකු බව මධුලිකා ඉදිරියේ අනේක වාරයක් ඔප්පුකොට ඇත්තෙමි.

"අඩෝ.... තිකා...!"

මෙවන් මා දැක අතපය වනමින් ආවේ සතුටින් උද්දාම වෙමිනි. ඔහු සමඟ ජීප් රථයෙන් තවත් මුහුණු කිහිපයක් එලියට බටහ.මෙවන්  යනු මගේ සංගීත කවයේ මිතුරෙකි ; මගේ කෙලිලොල්කම් ඉවසමින් මට ඔවුන්ගේ සංගීත කණ්ඩායමට බැඳීමට ආරාධනා කලෙත් ඔහුය.

පියගැටපෙළ නිමවනවාත් සමඟ ඇති විසල් කොරිඩෝවේ අග වම් පැත්තේ විශාල ශාලාවක් අප වෙනුවෙන් පැවති උත්සවයට අලංකාරවත් ලෙස සරසා තිබිණි. අඩ අඳුර අතරින් විදුලි බල්බ වටකොට සැදූ ශාලා පිවිසුම තරු අතරින් අප ඇවිද යන්නාක් මෙන් දනවයි. පිවිසුම ආරම්භයේ සිටි සංවිධායක ළමුන් විසින් ප්‍රවේශපත්‍ර පරික්ෂාකොට මගේ කමිසයේ ලාංජනයක් පළඳුවන ලදී. 
 
මේගන් මා දුටු විගසම 'කෝ? කවුද?' කියා ඇසුවේ සිනාසෙමිනි. 
 
පාසලේ මෙවන් උත්සව වලට මම මගේ තාවකාලික පෙම්වතිය රැගෙන ඒම කිසි චකිතයකින් තොරව සිදුකර ඇති අතර, එලෙස එන්නම කියූ පමණින් සැරසුණු කෙල්ලන් පමණකි මට පෙර සිටියේ. මම සිනාසීමි.

"පස්සේ පස්සේ... පස්සේ පෙන්නන්නම්කො"

Wednesday, May 12, 2021

245. සුහදිනියේ - 36 | මධුලිකා සහ තීක්ෂණ මුහුණට මුහුණ

 මෙතෙක් කතාව


තීක්ෂණ වාසලමුදලි සහ විරංග මීගහතැන්න යනු ජාත්‍යන්තර පාසලකින් මෑතකදී ඉගෙනීම නිමකළ ගජ මිතුරන් දෙදෙනෙකි. ධනවත් සෙල්ලක්කාර චරිතයක් වන තීක්ෂණ ගේ සිත් ගත් ආඩම්බරකාර තරුණියක වන මධුලිකා නමැති තරුණිය , අහම්බෙන් මෙන් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන බව ඔවුන් දකින අතර, ඔවුන් දෙදෙනා එක්ව ඈ ඉන් බේරාගනු ලැබේ. මධුලිකා යනු, කලකට පෙර ලංකාවේ අතිශය ධනවත්, සුප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිට පසුව අතුරුදහන් වූ සංජිවී ජයවර්ධන ගේ ධනස්කන්ධය හිමි එකම දරුවා බවත්, ඔහුගේ දේපල වලට ඇති තණ්හාවෙන් සංජිවී ජයවර්ධනගේ සොයුරාගේ පුතා වන වාසුල ජයවර්ධන ඈ එලෙස පැහැරගත් බවත් අනාවරණය වෙයි.

විශාල බුදලයකට හිමිකම් කියන මධුලිකා , තීක්ෂණ විසින් සඟවා තබාගන්නා අතර, වයස සම්පුර්ණ වන විටදී ඇගෙන් මුදල් ලබාගන්නා අභිප්‍රායෙන් විරංග ක්‍රියාකරන බව තීක්ෂණට දැනගන්නට ලැබෙන මුත් අහම්බෙන් සිදුවන ක්ෂණික තීරණයකින්  ඔවුන් දෙදෙනා හදිසි විවාහයකට එළඹෙති. මධුලිකා කෙරෙහි තීක්ෂණ තුල ප්‍රේමයක් හටගන්නේ මේ අතරතුර මුත් ඔහු එය සඟවා සිටින්නේ මධුලිකාගේ සිත විරංග හා බැඳුනු යම් කුකුසක් සිත තුල පවතින බැවිනි.

මේ අතරතුරදී , ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ  තීක්ෂණ ගේ පියාගේ, දේශපාලන මිතුරෙකුද මධුලිකා සොයනබව දැනගන්නට ලැබේ. කෙසේ වුවද තික්ෂණගේ පියාගේ තරුණ අවධියේ රහසක් ඔහුට මේ අතරතුර අනාවරණය වෙයි.

අනපේක්ෂිත ලෙස මධුලිකාගේ පවුලේ නිතිඥවරයා හමුවන අතර වාසුල සහ සිය පියා අතරට මැදිවන තීක්ෂණ නොයෙකුත් හැලහැප්පීම් මධ්‍යයේ පවා මධුලිකා සඟවා තබාගනී. සිය මවගේ පෙළඹවීම මත තීක්ෂණ වෙනත් තරුණියක හා තාවකාලික ඇසුරක් ඇරඹෙන්නේ අනපේක්ෂිත අයුරිනි. මේ අතර අහම්බයෙන් මෙන් මධුලිකා සිය ප්‍රේමය තීක්ෂණ කෙරෙහි හෙලිකරන්නීය.

නමුත් විරංගගේ හැසිරීම පිළිබඳව කුකුස තීක්ෂණ කෙරෙන් ඉවත් නොවන අතර මධුලිකාගේ ඉදිරි ආරක්ෂාව සහ පියවර කෙසේ වනු ඇතිද?

 

 

 එතැන් සිට...

 



අප දෙදෙනා සිටියේ තුවාන් අයියාගේ ඩිස්පෙන්සරි එකෙහි ඇති ඔහුගේ කුඩා විවේකාගාරය පිවිසුමේ තිබුණු ගාඩ්න් පුටුවලට බරදිගෙන; සිතල දොඩම් පානයක් විඳිමිනි. මගේ දෑත මානයට වඩා ඈතින් හිතාමතාම උන් මධුලිකා දෙස මගේ ඇස් එක එල්ලේ යොමුව තිබෙන්න ඇත. සිතට තරවටු කරන්නට මට වෙනම වෙහෙසක් දරන්නට විය.

 "හ්ම්ම්"

මධුලිකා හෙළුවේ සුසුමක්ද කියා නොසිතුනා නොවේ. ඈ මා සමඟ සාදයට යන්නට අකමැත්තක් පළකරන්නේ ඇයි ? ඇය මා හා ප්‍රේමයෙන් බව අන් කිසිවකුත් දැනගන්නවට අකමැතිදැයි මගේ ඊර්ෂ්‍යාකාර තරුණයා ඇතුලත මහා කලබැගෑනියක් කරනු මට ඇසේ.

මම සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත්තෙමි. 

"ඔයා අඳින්න අර උපන්දිනේ දවසේ ඇඳගෙන හිටපු ඇඳුම.. අර ර-තු-පාට ගවුම.. මම ගෙනාවේ.."

මධුලිකාට සිනාවක් නැගුනේ මගේ ඉංග්‍රීසි නිසා හෝ මගේ වචන මගදී හිරවූ නිසා හෝ  උපන්දිනය ගැන කියූ නිසා හෝ වන්නට නොහැකිය. එදින අප දෙදෙනාගේ මතකයක් නිසා වනු හැකිය. ඒ ක්ෂණයෙන් මමත් ඇයත් එදින රාත්‍රී ආහාරයේදී සිදුවූ මෘදු හැඟීම මොහොතකට මා පසුකොට සුළඟක්ව හමා ගියා සේ දැනුනි. මගේ දෑස වැසී ගියේ ඉබේටමය.

ඈ මට ඈතින් සිටින්නේ නෙතින් මා පොළඹවමිනි.

ඒවා සදාකාලිකව මගේ සිත කුල්මත්කරනු ඇත. මම ඒ මතකයට බෙහෙවින් ඇලුම් කරමි.

Related Posts Plugin for WordPress, Blogger...