Sunday, July 25, 2021

265: සුහදිනියේ - 56 | අවසාන කොටස

 

කලින් කොටසට


 

ඇතුලතින් පිච්චෙමින් උන් මම, දුරකථන ඇමතුමෙන් පසුව උන්මන්තකව ගියාක් මෙනි. 

මම කල මෝඩකමක මහත ! 

මධුලිකා එසේ ගුවන්තොටුපොළේ දමා ඒම මම කල වරදයි. රේගු නිලධාරිනිය මා අමතා පැවසුවේ මධුලිකා මිට සුළු මොහොතකට පෙර ගුවන් තොටුපළෙන් එළියට පැමිණි බවයි. 

වහා මධුලිකාගේ අංකය ඇමතුවද, කිසිදු ප්‍රතිචාරක් නොමැත. කුමක් කරන්නදැයි මට සිතාගත නොහැකිව මම වාකිෂ්ඨ මහතා ඇමතුවේ උමතුවෙන් මෙනි.

"අංකල්... අනේ අන්කල්.... මධු එනවා කිව්වද?"

"මිසිස් මධු.............? ඇයි මොකද වෙලා තියෙන්නේ? මට එයාපෝට් එකේ ඉඳල පැයකට විතර කලින්නේ මට කෝල් කලේ? මෙහෙ කොහේ එන්නද?"

"අනේ අන්කල්.. මම මධුව ඩ්‍රොප් කරලා ආපහු ආවා.. එයා එතනින් ඇවිල්ල... අනේ අන්කල් කෝල් කලොත් ඉන්න තැනක් මට කියන්න... "

"පුතා මේ අර...."

ඔහු කියන්නට ආ කුමක් හෝ කරුණ මම නොතකා ඇමතුම විසන්ධි කලෙමි.

'මේ පිස්සි මොකක් කරන්න හදනවද?'

මම කාමරයෙන් එලියට පැමිණ බැල්කනියට වැදුනේ පිස්සෙකු මෙනි. කොතරම් ඇමතුම් ගත්තද මධුලිකාගේ දුරකථනය පිළිතුරු නොදෙයි. ඇය මේ යන්නේ කොහිද? 

'මධු... මගෙත් එක්ක තියෙන තරහට මෝඩ වැඩක් කරන්න එපා.. මම ඔයාව ඔච්චර ආරක්ෂා කළා... අනේ මධු.... ෆෝන් එකට ආන්සර් කරන්න..'

මම වොයිස් පණිවිඩයක් යැව්වෙමි. එය යැවු සැනින් 'seen' ලෙස සටහන් වුනි. මම වහා whatsapp ඇමතුමක් ගත්තද පිළිතුරක් නොමැත. මධුලිකා කුමන අනතුරකද?

'කොහෙද ඉන්නේ මධු?'

'මධු....! බබා... ඔයා කොහෙද කියන්න.. ඉන්න තැනක් කියන්න '

'මධු.. කොහෙද යන්නේ? ඔයාගේ ෆ්ලයිට් එක මිස් වෙයි ළමයෝ.. '

'කියන දේ අහලා ආපහු එයාපෝට් එකට යන්න'

'ඔයාට ආරක්ෂාවක් නැහැ ළමයෝ කොහෙවත් යන්න එපා'

'මම ඕනේ තැනකට එක්කගෙන යන්නම්. කොහෙද කියන්න මම එන්නම්. තනියෙන් යන්න එපා මධූ '

'මගෙන් වැරද්දක් උනේ නැහැ පැටියෝ.. මම ඔයාට එහෙම වැරැද්දක් කලේ නැහැ.. ඒකද ඔයා මේ අප්සෙට් එකේ පිස්සි වගේ නටන්නේ.. '

'අනේ එහෙම මුකුත් උනේ නැහැනේ.. පිස්සු නැතුව ඔයා ආපහු යන්න'

 'ෆෝන් එක ආන්සර් කරන්න මධු'

'ඔයා කරදරේක වැටිලාද? මාව පිස්සෙක් නොකර කියපන් මෝඩියේ '

'උඹව කවුරුහරි අල්ලගෙනද? '

'උඹට කරදරයක් උනොත් මම ඌව මරනවා! '

හෝරාවක පමණ සිට මම කොතරම් වොයිස් පණිවිඩ යැව්වාද? කෙමෙන් ආවේගය තීව්‍ර වන බවක් ඒවායේ තිබුනේ මම නොදැනුවත්වම වන්නට ඇත. මම නොකඩවා ඇමතුවද යවන පණිවිඩ 'seen' ලෙස සටහන් වනවා මිස පිළිතුරක් නැත. 

අවසානයේ සිදුවුයේ මගේ දුරකතනයේ බැටරිය බැසගොස් එය ක්‍රියා විරහිත වීම පමණකි . මම කාමරයට පැන්නේ එය ආරෝපණය කරන්නටය.

එකෙනෙහිම  ගේට්ටුව අසල වාහනයක් නතර කරනු ඇසුනි. එය කුඩා කාර් රථයක් බව හඬේ ස්වභාවයෙන් වැටහුණු අතර දොරක් විවරව දොරක් වැසි යන ශබ්දය ඇසුනේ පරිසරයේ නිහඬබව නිසා වන්නට ඇත. 

මම වහාම පහල මාලයට දිව්වෙමි. ඒ වනවිටත් අම්මා ගේට්ටුවෙන් එන පණිවිඩය බොත්තම ඔබා අසමිනි. ආරක්‍ෂිත පියවරක් ලෙස මම මෙය සවිකළේ තාත්තා රැගෙන ඒමට ප්‍රථමය.

"මොන? කවුද නීල් ?"

අම්මා ගේට්ටුවෙන් ආ ඇමතුමට පිළිතුරු දෙමිනි.

"මිස් කෙනෙක් ඇවිත් ඉන්නවා... තීක්ෂණ මහත්තයව හම්බෙන්න"

මම අම්මා පෙරලාගෙන පිළිතුරු දුන්නෙමි.

"ඔහොම ඉන්න කියන්න මම එනවා!"

ක්ෂණයක් වත් නොනැවතී මම නිවසේ දොරෙන් පැන ගේට්ටුව වෙත දිව්වේ අවසිහියෙන් මෙනි. කොටින්ම මට සෙරෙප්පු පවා අමතකව තිබිණ. කුඩා ගේට්ටුව විවර කල මට මධුලිකා සිටගෙන සිටිනු පෙනුනි.


 

"මධු!"

තත්පරයක් හුස්මක් නොගෙන අප එකිනෙකා දෙස බලාගෙනය. මධුලිකා ඉදිරියට පැන තදින් මා වැළඳ ගත්තාය. ඈ වැලහින්නියක සේ හඬයි. මම ඈ මගේ නිකටටත් , පපුවටත් වූ හිඩැසේ තබාගෙන හිස් මුදුණ සිම්බෙමි.

"... කෝ... කොහොමද ආවේ? පාරේ ඉන්න එපා එන්න ඇතුලට"

මම ඈ වත්තන් කොට ගේට්ටුවෙන් ඇතුලට පැමිණ අඩ අඳුරු ගස පාමුල නතරවීමි. මිදුලේ පහන් ආලෝකයක් දැල්වුණි. මධුලිකා වෙනුවෙන් වදවූ සිත ඈ දැකීමෙන් ලැබුණු සැනසීම විඳිමිනි.

".. ඇයි මේ.....? You should be at the airport "

තදවන පපුවෙන් මම කියද්දී මධුලිකා හඬමින් තදින් මා වැළඳ ගත්තාය.

"තීක්ෂණ....... මට ඔයාව ඕනේ! "

මගේ හුස්ම මට අහිමිව ගිය මොහොතයි ඒ! තදින් ඔසවා පොලවේ ගැසුවාක් මෙන් මම වෙව්ලා ගියෙමි. දෙසවන් 'කූන්' හඬක් නගන්නා සේ නෑසී ගියේ මොහොතකටය.

"...... ඇයි මාව දාලා ආවේ....? ඇයි මාව දාලා ආවේ....?? මට යන්න බෑ....මට යන්න එපා කියන්නකෝ................"

මධුලිකා මගේ සිරුර දිගේ රූටා ගොස් බිම වැටි අවසානයේ මගේ දෙපාමුල කකුලක් තදින් බදාගෙනය. මේ කුමන අරුමයක්ද?

"පි.. පි. පිස්සුද.. මධු!! කෝ නැඟිටින්න "

 මම වහා ඈ වත්තන් කොට බුහුටි  කම්මුල් දෝතින්ම ගෙන ඇගේ ඒ මුහුණ දෙස බැලුවෙමි. හැඩිමෙන් ඉදිමි , කඳුලින් තෙත්ව තිබුණු ඒ මුහුණ දෙස මම මොහොතක් බලා සිටියෙමි.

".. මට යන්න එපා කියන්නකෝ...."

කඳුළු  වැගිරෙන දෙනෙත ! මම ගොළුව ගොසිනි. මධුලිකා මගේ පණ !!

"................"

"ඔයා මට ඇයි යන්න එපා කිව්වේ නැත්තේ... ? ඇයි මාව නතර නොකළේ.....?? මට ආදරේ නැති නිසානේ... "

තවදුරටත් ඉවසාගත නොහී මම ඒ නළල මත දීර්ඝ හාදුවක් තබා ඈ මගේ පපුවට තදකර ගත්තෙමි. 

"යන්න දෙන්න බෑ මට.... යන්න එපා මැණික , මම ආදරෙයි මධු.... ගොඩක්... !"

අප දෙදෙනාගේ දෑස එකිනෙක පැටලී තිබුනේ ප්‍රේමයෙනි! ඔව්.. එය සියලු නහරවැල් හරහා ගොස් පුරාම ගින්නක් සේ පැතිර ගියේය.

".....යන්න දීගන්න බැරුව මම වින්ද දුකක්! "

මම මධුලිකාගේ කොපුලක් සෙමෙන් පිරිමදිමින් පැවසුවේ දෑසට එබීගෙනමය.

"තික්ෂ....ණ... මට..."

"ෂ්.. ෂ්... කමක් නැහැ මැණික. ඔයා ආවනේ... That says everything.... හ්ම්ම්.... අඬන්න එපා.. මම ඉන්නවනේ දැන්..."

මගේ පාලනය මා තුල මහා අරගලයක් කරද්දී , මම පහත්වී ඇගේ දොතොල් මත මෘදු හාදුවක් තැබුවෙමි.

"දැනට ඇති.. හ්ම්ම්ම්ම්ම්.."

මම හිස අතගාන විටදී ඈ ඇගේ ඒ විදුලිය වැනි බැල්ම මා වෙත හෙළමින් සාවියක සේ මට තුරුලුව උන්නාය. 

එකවරම මිදුලේ  විදුලි බල්බ දැල්වීමෙන් මේ වනවිට මේ නාට්‍යයේ හොඳම කොටස නිවසේ බව මට තේරුම් ගිය බැවින්, සිත පාලනය කරගත්  මම සුසුමක් හෙලා මධුලිකා මදක් ඈතට කලෙමි. අප සිටින්නේ මගේ නිවසේ මිදුලේය! දැන් මම මුහුණදිය යුතු සත්‍යක් තිබේ!!

"....එන්න...ඇතුලට යන්න...මම කතාකරන්නම්... ! කවුරු මොනවා කිව්වත් ඔයා මුකුත් කියන්න එපා බබා.. හොඳද?"

එලෙස කියා මම ඇගේ කඳුළු පිසදැමුවෙමි. මධුලිකාගේ අත මම අල්ලා ගත්තේ අප දෙදෙනාගේ අත්ලවල් එකිනෙක තදවනසේ ඇඟිලි පටලවාගනිමිනි. 

"නීල්... මේ බෑග් එක ජීප් එක ලඟින් දාන්න"

මුරකරු කලබලයෙන් හිස දෙපසට සැලුවේය.

අම්මා දොර අසල සිටගන සිටි අතර සුදම් මා එන මග වෙත ආවේ කලබලයෙනි. මැණිකා මා දැක පැන  ගියාය. මම මධුලිකා සමඟ නිවසට ඇවිද එද්දී , අම්මා දුටු සැනින් ඈ නොකැමැත්තෙන් මෙන් අත අදිනු දැනී , මම සන්සුන් වන්නට ඇසෙන් පැවසුවෙමි.

සුදම් පසුකොට අම්මා අසලට ලංවූ මම බිමට යොමුවූ මගේ මුහුණ කෙලින්කොට ඈ දෙස බැලුවෙමි. අම්මා මහා විශ්මයෙන් වුවද නළල හකුලවා නොපහන් ලෙස මා දෙස බලාගෙනය.

"මේ.. අර..."

"ඔව් අම්මා... මේ මගේ වයිෆ්... මම මෙයාව බැඳලා ඉන්නේ"

සුදම් 'හෑ' ගානු මට ඇසුනි. එසැනින් අකුණක් පිපිරුවාක් මෙන් අම්මා මට අතුල් පහරක් එල්ල කළාය. මධුලිකා පැන මා බදාගත්තාය.

"අම්මා... අනේ තීක්ෂණ පව්!"

"ලොකූ ........... උඹ හිතුවද අපි මැරිලා කියල?"

 අම්මාගේ කෝපයෙන් , විශ්මයෙන් ඇලලිගිය මුහුණ දුක්බරය. එහෙත් මම ඈ දෙස නැවත බැලුවෙමි. මගේ බැල්ම අම්මා හඳුනන්නිය. තත්පර කිහිපයක් ගතවුයේ කිසිදු හැලහොල්මනක් නොමැතිවය.

මගේ බැල්ම දරාගත නොහැකිව ඈ හඬමින් මගේ උරහිසට වාරු වුවාය. මම මධුලිකා මගේ අනෙක් උරහිසට තදකරගත්තෙමි. අම්මා ඉකිබිඳිනු දැනුනද මම එය දාරාගත්තේ මිදෙන්නට දඟලන මධුලිකා තවත් තදින් අල්ලාගෙනය.

"අම්මා... අම්මලාට බොරුවක් කලේ නැහැ මම. හිත රිදුනා නම් සමාවෙන්න. "

".........."

".... මධුලිකාට මම ආදරෙයි..!"

"............"

"ඩඩාට..."

අම්මා වහා හිස ඔසවා මා දෙස බැලුවාය.

"ලොකූ හදන්නේ ඒ මනුස්සයව මරාගන්නද මේක කියල?"

"මේ... ඉන්නේ ජයවර්ධන ගෘප් එකේ , ඩඩාගේ රෝල් මොඩ්ල්  එක, මිස්ටර් සන්ජිවී ජයවර්ධනගේ එකම දුව... මධුලිකා ජයවර්ධන..... ඩඩා ඒක තේරුම් ගනී"

අම්මාගේ මුව විවරවී ගියේය.

"මොකක්? සන්ජිවී......"

මගේ උරයට ගුලිවී සිටින මධුලිකා දෙස විශ්මයෙන් බැලු අම්මා මා දෙස බැලුවේ කම්පනයෙනි.

".... සන්ජිවී.... මැරුනනේ.... දරුවා..."

"ඔව්.. ඒ උනාට මධුලිකා ඉන්නවා.. දිග කතාවක් අම්මා... මධුට දැන් ඉන්නේ මම විතරයි."

මම මධුලිකා ඇඹරෙද්දී , අල්ලා තුරල් කරගෙන ඇගේ හිස් මුදුන සිම්බෙමි. අම්මා දුටුවාට කමක් නැත! සුදම් බියවී මා දෙස බලාසිටී.

"...දැන් මේක විස්තර කරන්න වෙලාව නෙවෙයි... ඊට කලින් මට පොඩි දේවල් ටිකක් තියෙනවා කරන්න. මම දැන් චුට්ටක් එළියට ගිහින් ඉක්මනින් එන්නම් "

මම සුදම් දෙස බැලුවෙමි.

".. මට ජීප් එකේ යතුර ගෙනත් දියන්"

 මල් මල් සිනාවකින් මුව සරසාගත් සුදම් ඒ සැනින් ගොස් රථයේ යතුර ගෙනැවිත් මා අත තැබුවේ මධුලිකා දෙස යොමුවූ සිනාවෙනි. 

"ලොකූ...."

මම අම්මා දෙස එක එල්ලේ බැලුවෙමි. අපහසුවෙන් මගෙන් මිදෙන්නට දඟලන මධුලිකා මම තවත් උරයට තදකරගත් මම මද සිනාවක් පෑවෙමි.

"අම්ම දන්නවනේ මේ ලොකූගේ හැටි? බයවෙන්න එපා, ඉන්නකෝ මට  සෝට් අවුට් කරන්න තියෙනවා. මම ඉක්මනින් එනවා "

"පරිස්සමෙන් ලොකූ "

මොහොතින් මමත් මධුලිකාත් ජීප් රථය සමඟ මාර්ගයට අවතීර්ණ වූයෙමු.

"තීක්ෂණ... අනේ ඔයාට අම්මා ගැහුවා"

"ඒකට කමක් නැහැ... I will handle it "

"අනේ මම ඔයාට...."


 

මම ජීප් රථය පසෙකට කර තිරිංග යෙදුවෙමි. මධුලිකාගේ දකුණත මගේ අත හා බැඳී තිබිණ.

"ආදරෙයි කියන්න මධුලිකා.!"

මම මධුලිකා දෙස බලද්දී ඈ ලැජ්ජාවෙන් සිනාසුනාය. මම දකුණතේ පිටි අල්ලට තෙත හාදුවක් තැබුවෙමි.

"ආදරෙයි... ගොඩක් ආදරෙයි.... "

ඒ ඇස් දිලිසෙයි. මම නැමී මගේ නළල ඇගේ නළලෙහි තබා බරට සුසුමක් හෙළුවේ දෑසද වසාගෙනය. මගේ සිත පාවෙනවාක් වැනිය.  පිටවුයේ ඉබේටමය.

"මම මැරුණේ නැති ටික විතරයි"

මධුලිකාගේ කොපුලක් පිරිමදිමින් මම පැවසුවේ හදවතින්මය.

"මට සමාවෙන්න තීක්ෂණ....... මම ඔයාට දුන්න දුකක්!"

"පිස්සි! ආදරෙයි ඒ උනාට මම!.. මහ පාරෙ මැද්දේනේ .... අපි යමු දැන් "

මම නැවත රථය පාරට ගත්තේ මධුලිකා දෙස හොර බැල්මක් දමමිනි. හම්මෝ අර බැල්ම!

".....අපි මේ කොහෙද යන්නේ?"

"යන්නේ....? එයාපෝට් එකට!"

මධුලිකා මා දෙස විශ්මයෙන් බැලුවාය.

"නවත්තන්න වාහනේ..... මාව බස්සන්න!"

"බෑ!"

මම රථය පැදවූයේ වේගයෙනි. නමුත් මම බලෙන් මෙන් මධුලිකාගේ දකුණු අත මගේ අතින් අල්ලාගත්තෙමි.

"... මගේ ඩ්රාමා ක්වීන් ! "

මධුලිකා මා මත්වන බැල්මක් හෙළුවාය.

"ඔහොම බලන්න එපා දැන් වාහනේ හැප්පෙනවා..! "

"අනේ යන්න.. හරි නරකයි..."

"ඇයි දැන් එයාපෝට් යන්න බැරිද "

"තීක්ෂණ........ වාහනේ පොඩ්ඩක් නතර කරන්නකෝ... අපි යන්නේ කොහෙද?"

වේගයෙන් පැදවූ මම කෙටිපාරෙන් දමා වාහනය නතර  කලේ මහල් නිවාසයේ රථ ගාලේය. හිතාමතාම මම වෙනදා නතර කරන තැන නොමැතිව, අඳුරු අන්තයක නතර කලෙමි. මධුලිකා මා දෙස බැලුවේ පුදුමයෙනි. මම දෑස සිහින්කොට මධුලිකා දෙස බලද්දී ඈ සිය විදුලික් වන සිනහව මා වෙත පාකර හරියේ කිසිදු ලෝබකමකින් නොවේ.

"මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා"

"මට?"

"ඊට කලින් අමතක උනා....."

මම ඉදිරි ආසනයේ උන් මධුලිකා දෝතින්ම ඇද මා වෙත ගෙන තදින් ඇගේ තොල් සිපගත්තෙමි. මධුලිකා මගේ දෝතෙහි ගුලිවී, මට තෙරපී ,  මෘදු වෙල්වට් කොට්ටයක්ව සුනම්‍යව ගියේ මොහොතිනි. දීර්ඝව උමතුවෙන් මෙන් ඇදීගිය සිපගැනීම මම නතර කරගත්තේ පුදුමයෙනි. දෙදෙනාම හුස්ම අල්ලමිනි. 

'ඈ එතරම් දක්ෂ සිපගන්නියක්ද?'

මට නැගුනේ ඒ මනමාල සිනාව වන්නට ඇත. දෑස අඩවන්ව මධුලිකා තවත් තත්පර කිහිපයක් උන්නාය. ඈ සිටියේ මගේ ඔඩොක්කුවේ තව තවත් ගුලිවෙමිනි. ඈ වෙතින් හමන සුවඳ.......

මට සිහිවුයේ ඈ මංගල ඇඳුමින් සිටි මොහොතේ මගේ මෘදු සිපගැන්ම දරාගෙන ඈ සිටි ඉරියව්වයි.

"....ගේට්ටුව ගාවදී  දුන්න මදි..."

මධුලිකා තවමත් ලැජ්ජාවට දෑස පියාගත්වනමය.

".. තාම මොකද මේ ඇස්දෙක වහගෙන..? ඇති ඔය..."

මධුලිකා දෑස නෑරම දෝතින් මුහුණ වසාගන්නට උත්සහ කලද, මම ඒ අත අල්ලා ගත්තෙමි.

"... පිස්සි, මාව දාල ගිය හැටි... "

මධුලිකා ඇස හැර, මුව උල් කොට බොරු අමනාපයක් පෑවාය.

"එහෙනම් මට ඉන්න කිව්වේ නැත්තේ?"

"එහෙනම් ඇයි යන්න බෑ නොකිව්වේ?"

අප දෙදෙනා එකිනෙකා දෙස බලාගෙනය. කවරදාකටත් වඩා මම උමතුවෙන් මෙනි.

"එපා අල්ලන්න.. නපුරා!"

මට සිනා නැගුණි.

"එදත් බැන්නේ ඔහොම තමයි.. බීල බීලා ...වෙරිවෙලා..."

මධුලිකා කට උල් කොට, දෙබැම හකුලා බොරුවට අමනාප වුවාය. හම්මෝ මෙහෙම සරාගී කෙල්ලක්!

"..... ඊට පස්සේ ඇඳුම් ගලවලා..."

"ආ.... මම? බොරු කියන්න එපා"

"මට හිතුන කවදාහරි කියයි කියලත්... ඒ හින්දම ඔන්න ඇති  CCTV footage ටික මම අරගෙන තියල . ,  හොටෙල් ලොබි එකෙත් මම උස්සගෙන ආවේ... නැතිනම් කියයි... මම දන්නවනේ මෙයාගේ සැර !"

"අනේ බොරු බොරු...."

මධුලිකා දෝතින්ම මුහුණ වසාගෙනය.

"බොරු නෙවෙයි.... ඊට පස්සේ මගෙත් බලෙන් ඇඳුම් ගැලෙව්වේ...මොනවද බලන්න ඕනේ කිව්වත් එක්ක... අන්තිමේ මමනේ වැරදිකාරයා උනෙත්! කෝ මට මුණ බලන්න ඕනේ... කෝ"


 

මධුලිකා ලැජ්ජාවෙන් මුහුණ වසාගෙනම මට මට තුරුල් වුවාය. ඒ දැඟලිල්ලට වාහනයේ නලාව මහා හඬින් නාදවිය. මධුලිකා බියවී මා දෙස බැලුවාය. මට මහා හඬින් සිනාවක් නැගුණි.

"...ඔය! දඟලන්න එපා මැට්ටි ! "

"එපා එපා.. අල්ලන්න එපා මාව"

"අල්ලන්න එපා? ඒවා කොහෙද මගෙත් එක්ක!"

"අනේ.... ඔය.. එපා මට කිචි"

"මෙහෙම තවත් ඉන්න බැහැ  කෙල්ල.. කෝ එන්න පිටිපස්සේ සිට් එකට... "

"බෑ බෑ "

"එහෙනම් යං උඩට , මට බඩ්ඩක් පෙන්නන්න තියෙනවා.. ඊට කලින් මට කියන්න.. ඔයාගේ අර කොල්ලට එතකොට මොකද වෙන්නේ?"

මම අපහසුවෙන් හෝ මෙතෙක් වෙලා මගේ සිතට වදදුන් ප්‍රශ්නය ඇසුවෙමි.

"මොන කොල්ලද?"

"අර මා-රියාට ඔයා නි-ත-ර කියන්නේ"

"අඃ ඔයා කොහොමද.... දන් ?

තරමක් බැරෑරුම් වූ මගේ මුහුණ දෙස මධුලිකා ඇස් කරකවමින් බැලුවාය. අනතුරුව එකවරම සිනාවක් නැගුණි.

".. හ්ම්ම්ම්.... ඒ කොල්ලා.. හ්ම්ම්ම් . ඕනේ නැහ්...."

මගේ මුහුණ වෙනස් වී ඉරිසියාවෙන් මා කොලපාට වන්නට ඇත. ඊටත් මා ඇසු කතාවන් සියල්ල මා වෙත විලිස්සා පැන්නාක් වැනිය. එතරම් පහසුවෙන් අමතක කරන පෙම්වතෙක්? එවර ඈ මා තෝරාගෙන ඒ තරුණයාට පයින් ගැසුවාද ? මගේ සිත පෑරිනි.

"..... ඉන්නකෝ"

එකවරම ඈ දුරකතනයෙන් whatsapp ඇමතුමක් ගත්තේ වීඩියෝ සමඟිනි. ඒ මාරියා නම් තරුණියටයි. දෙවරක් නාදවෙද්දී එයට පිළිතුරු ලැබුනේ බලා සිටියාක් මෙනි. මම මධුලිකාගේ පිට මගේ පපුවට හේත්තු කරගත්තේ ඇගේ බඳ දෙපසින් දෑත් යවමිනි.

"හලෝ... මධූ... කෙල්ල ඔයා..."

මාරියා එකෙනෙහිම මධුලිකාට ඉහලින් සිටින මගේ මුහුණ දුටුවනම කියන්නට ආ දේ ගිලගෙන මහා හය්යෙන් හූ කියමින් කෑගැසුවාය.

"මාරි..... මම එන්නේ නැහැ... මගේ පෙම්වතාට කියන්න පණිවිඩේ..හරිද?"

සුදු ජාතික තරුණිය මුව අයාගෙන මදක් කල් ගත්තාය.

"මගේ දෙවියනේ..... පෙම්වතා? අන්තිමට උඹ එයාට කිව්වද ?? මෝඩි ! අනේ හරිම ලස්සන ජෝඩුව.... තව ඩින්ගෙන් උඹේ ජීවිතේම ඉවර වෙනවා! "

මම පුදුමයෙන් මධුලිකා දෙස බැලුවෙමි. 

".... හලෝ මිස්ටර්.. මට ඔයාගේ නම නම් උච්චාරණය අමාරුයි... මධු ඔයාට කියන්නේ එනී කියල.. ඉතින් මමත් කියන්නේ එනී කියල....මම මාරියා..."

එනී ? ඒ මොන නමක්ද? ආ? එනී ????

"එන්රිකේ ..හින්දා."

මධුලිකා හිස ඔසවා මගේ කනට රහසින් මිමිණුවාය. මට සිනාව පුපුරා ගියේය.

"හලෝ මාරියා..මේ කෙල්ල මට මාර බොරුවක්නේ කලේ"

 මම රැවුල්කොට මධුලිකාගේ කම්මුලට තදකොට එහා මෙහා කරමින් කියා මධුලිකාගේ කනක් සෙමෙන් දත් වලට තදකලෙමි. දැඟලිල්ලට නැවතත් වාහනයේ නලාව ශබ්ද විය. මට සිනා ගියේය.

 "... ආව් ආව්.. කොහෙද ඔය ඉන්නේ දෙන්නා ?"

"අනේ ඇති ඇති.... දැන් ඇති මාරි.... මම ඔයාට පස්සේ කතා කරන්නම්... මෙයාට මේ මගේ පෙම්වතාට පණිවිඩයක් දෙන්න ඕනේ කිව්වානේ ඒකයි ගත්තේ...."

"...අම්මෝ එනී.... ඔයා තමයි ඒ පෙම්වතා... මට මේ කනක් ඇහිලා ඉන්න නෑ.. ආදරේ නෑලු... නපුරු උනාලු.. වෙන කෙනෙක් බඳිනවාලු... එයාව එපා කිව්වලු..... බැන්නලු.. අරකලු මේකලු...බ්ලා බ්ලා බ්ලා ...."

"ඇති ඇති..."

"ආ.. තව කිව්වා වෙන කෙල්ලෝ කිස් කරනවා වගේ එයාව කිස් කරන්නේ නැහැ කියලත්... ආ අන්තිමට කිව්වා....."

"පස්සේ කතාකරන්න මම දැන් තියනවා"

මධුලිකා වහා ඇමතුම විසන්ධි කලාය. රථ ගාලේ ආරක්ෂක නිලධාරියෙක් අප වෙත විමසිල්ලෙන් මෙන් ඇවිද එනු පෙනුන නිසා මධුලිකා වහා හිස සඟවා ගත්තේ මගේ ඔඩොක්කුවේය. දෙදෙනාටම සිනාය. 

නලා ශබ්දය  ඇසී  පැමිණි ඔහු මම ඈතදීම හඳුනාගෙන අත වැනුවෙමි. ඔහු සිනාසී මා හඳුනාගෙන ආපසු හැරුණි.

"හරි මිනිහා ගියා. මොනාද ඒ මාරි කිව්වේ ආහ් ??"

"අනේ නැහැ.. ඒකිට පිස්සු!"

මම දෑස සිහින්කොට මධුලිකා දෙස බැලුවේ සිනාසෙමිනි. මධුලිකා ලැජ්ජාවෙන් එරෙව්වාය.

"..... මෙතන ඉන්න බෑ දැන් ,අපි යමු උඩට..."

"හම්මේ.... බෑ තමයි.... මටත් නම් තව ඉන්න බෑ "

මධුලිකා මගේ අත් ගොබය මිරිකා මා තල්ලුකොට දැමුවාය.

අප දෙදෙනා සෝපානයට යද්දී එතැන උන් කිහිපදෙනා අතර පෙර දිනයක හමුවූ තරුණයෙක්ද සිටි අතර මම මධුලිකා මගේ ඇඟට තෙරපවාගෙන ඔහුට රවා බැලුවෙමි. මධුලිකා සිනාසෙයි.

"මොකද හිකි හිකි ගන්නේ වෙන කොල්ලෝ දිහා බලල... මරනවා මම!"

මම ඇගේ කනටකර දත්මිටිකන හඬින් මිමිණුවෙමි. මධුලිකා හිකි හිකි ගායි.

ඉන්පසුව අප දෙදෙනා අපගේ මහල් නිවාසයේ දොර අසලය. මම මධුලිකාගේ කම්මුල් වසා මගේ දෑතේ අල්ල වැසී යන පරිද්දෙන් තැබු මම , මහත් ආදරයෙන් ඈ දෙස බැලුවෙමි.

"මට සමාවෙන්න තීක්ෂණ..... ඔයාට අම්මා ගැහුවා.... නොකියා ඉන්න තිබ්බේ"

"ඒකට කමක් නැහැ"

මධුලිකා සිය ගෝනියක් වන ඇඳුමේ සාක්කුවක තිබී යමක් එලියට ගත්තාය. එය පසුගිය දිනෙක සාප්පු සවාරියේදී මිලට ගත්අත්  ඔරලෝසුවයි. මම විමතියෙන් ඈ දෙස බැලුවෙමි. ඈ එය මගේ අතේ පැලඳුවේ ඒ මොහොතේමය.

"මේක ගත්තේ ඇත්තටම ඔයාට... මාව එයාපෝට් එකේදී දාල ආවහම විසික් කරන්න එලියට ගත්ත... මට ... මට මැරෙන්න හිතුනා මාව දාලා ආවහම "

මම නැවතත් මධුලිකා සිපගත්තේ බිත්තියට ඈ තදකරගෙනය. ඒ සිපුම් අතිශය වර්ණවත්ය. මම ඇගේ ගෙල මෘදුව අතගෑවෙමි, ඈ ලා දල්ලක් සේ සැලේ.

"මම දැන් ඔයා නැතුව ජිවත් වෙන්න දන්නේ නැහැ"

එය වැදුනේ මගේ පපුවේ ගැඹුරුම තැනටය. මම ඈ තදින් වැළඳ ගත්තෙමි.

"මම කීයටවත් හිතුවේ නැහැ ඒ ගිය ගමන ආයෙත් ඔයා හැරිලා එයි කියල. ඇයි බබා මට කිව්වේ නැත්තේ?"

"ඇයි ආයේ කතාකරන්න එපා කියලා ලියල එවල තිබ්බේ... පුන්චිවත් මතකයක් තියාගන්න එපා කිව්වේ.... "

"මැටි අලේ !"

මද වෙලාවක් ලෝබකමින් ඈ දෙස බලා උන් මම දොර විවර කොට මධුලිකා උරහිසට තදකොටගෙන මහල් නිවාසය තුලට පිවිසියෙමි.

".... එවපු මැසේජ් එකේ ඉතිරි ටික කියෙව්වේ නැද්ද? හ්ම්ම්? ගන්නවා ෆෝන් එක... කෝ ඕපන් කරනවා ඒක ! හැම එකම ඇන ඇන කියන්න ඕනේ.... "

මම එලෙස කියා සෝෆාවේ හිඳගත්තේ මධුලිකා මා වෙත ඇදගනිමිනි.

"එපා.. එපා... මට ලැජ්ජයි.. මම මෙහෙම ඉන්නම්"

"දැන් ඒවා හරියන්නේ නැහැ... ඉන්නවා ඔහොම"

මම ඈ ඔඩොක්කුවේ තදකොට ගත්තෙමි. මධුලිකා මදකින් සන්සුන් වුයේ මගේ ග්‍රහණය බුරුල් නොවූ බැවින් අන් විසඳුමක් නොතිබුණ බැවිනි.

".... කෝ ෆෝන් එක ගන්නවා.... මම එවපු මැසේජ් එක.... මේ මොනාද මේ යවල තියෙන්නේ.... මාරියාට නේද?

"අනේ.. ඒවා බලන්න එපා.. අනේ.. එපා...."

එහි තිබුනේ එකම දුක් වැලකි. 

'එනී මගේ පණ' , ' එනී නැතුව මම මැරෙයි' , 'එනී දාල යන්න බෑ' .. 

එනී එනී එනී එනී!

දුසිම් ගණනක් ඒවාට මාරියාගේ පිළිතුරු... අනේ මේ පිස්සි!

"හරි හරි.. දැන් මම එවපු එක බලමුකෝ... කෝ ඒක මැකුවද?"


 

මධුලිකා මගේ කෙටි පණිවිඩය විවෘත කොට දුන්නාය. ඇගේ දකුණු කොපුල මගේ පපුවට තදවී තිබිණ.

".. මේ බලන්න... මම ලිව්වේ...  සොරි කියල.... මුකුත් උනේ නෑ කියලත් ලිව්වනේ...."

"ඒ උනාට...."

"ඔව් ඉතින් කිස් කළා තමයි මම.... ඒකටනේ  සොරි කියල ලිව්වේ.."

මම මධුලිකාගේ කොපුලක සෙමෙන් රැවුල්කොට අතුල්ලමින් කිව්වෙමි.

".... මගේ ඇඟට පැනල මාව මොකද්ද කලානේ... "

"අනේ.... බොරු!"

මම ඇගේ මුහුණ මා වෙතම හරවාගත්තෙමි.

"බොරු? බොරු නෙවෙයි... ඇඳුමකුත් අන්දලා ඇඳට දැම්මා මම පව් කියලා... එච්චර එහෙම කරනකොට මම නිකන් ඉන්න පිස්සුද? "

මධුලිකා යටිතොල සපමින් මගේ මුහුණෙන් බැල්ම ඉවත්කර ඒ මේ අත බලමිනි. 

"අර.... බෙඩ්ෂීට් වල... බ්.."

"අනේ මැට්ටි... ජින් බෝතලේ බිඳිලා මගේ අත කැපුන! ඒක වෙන්නැති... අනේ අනේ... මහලොකුවට කට විතරයි.. වෙච්ච දෙයක්වත් දන්නේ නැහැ... "

ඉවත බලන්නට ගිය මධුලිකා මම මගේ නෙත්සරින් අල්ලාගතිමි.

".... මට වෙන ලෙඩක් තිබ්බේ නෑනෙ ඉතින් අහක බලාගෙනම ඉන්න... සොරි කිව්වේ ඒකට! ඒ උනාට අවසිහියෙන් ඉන්න කෙල්ලෙක්ට කොහොමද මම කරදර කරන්නේ..? ඔයා හිතන්නේ ලේසි වැඩක් කියලද ,එහෙම කන්ට්‍රෝල් කරගෙන ඉන්න එක? හ්ම්ම් "

මධුලිකාගේ දෙතොල් වෙව්ලනු මට පෙනුනි.

"... ක්ලබ් එකේ සුද්දීත් එක්ක ඩාන්ස් කලාට, ඒකි මගේ ඇඟට ආවට... එක්ස් මගේ පස්සෙන් ආවට... මගේ හිතේ ඔයා තියාගෙන කවදාවත් වෙන කෙල්ලෙක් ගාවට යන්නේ නෑ මධු....කවදාවත් නෑ! "

"තීක්ෂණ..."

මගේ සිනාව කට කොනටය. දෑස  අඩවන්ව ගොස් සියල්ලම නොපෙනී ඇගේ දෙතොල් පමණක් පෙනෙන්නා සේය.

"ඔහොම තමයි ඊයෙත් කෙඳිරි ගෑවේ... අහුවෙච්ච අහුවෙච්ච තැන හැපුවා දත් එන බලු පැටියා වගේ.... මේ... පේනවද? හ්ම්ම්... ඇඟ පුරාම පැචස්!"

මධුලිකා මුහුණ මගේ පපුවෙහි ඔබාගත්තාය. පව් ලැජ්ජාව!

".... අන්තිමේ ඉතින් බොහොම අමාරුවෙන් තදකරලා අල්ලලා තුරුල් කරගෙන ඉඳල නිදිකෙරෙව්වා... අම්මෝ මාව කෑවා! "

"අනේ යන්න අනේ ඔයා හොඳ නැහැ"

"මම හොඳ නැහැ....?? දැන් දැක්කනේ ඔන්න පණ්ඩිත ආච්චිගේ කෙරුවාව. දැන් කියන්න බලන්න මොකටද මට අර තරම් බැන්නේ , එරෙව්වේ, තරහ ගියේ ?

මම සිනාසෙමින් කිව්වද මධුලිකා හිස එසවූයේ නැත. 

"තරහ ගියේද? තරහ ඔයාට විතරක් සිහියක් තිබ්බ නිසා"

"ආ...!? Say that again "

මට ආවේ මහා නොහොබිනා සිනාවක් වන්නට ඇත.

" නෑ නෑ ආයේ කියන්නේ නැහැ.. එකපාරයි.. ඌයි එපා මට රිදුන "

"එහෙනම් ආයෙත් කියන්න ඒක! කෝ මට මුණ බලන්න ඕනේ..."

මම බලෙන් ඇගේ මුහුණ මා දෙසට හරවාගත්තේ කම්මුල් දෙකම දෝතට ගනිමිනි.

"අනේ ඔහොම බලන්න එපා....."

මම යටිතොල විකාගත්තේ සිනාව වළකන්නට වඩා හැඟීම් වලකාගන්නට මෙනි.

"කියන්න.."

"මට තරහ ගියා ඉතින් ඔයා විතරක් සිහියෙන් හිටියා කිව්වම"

"අම්මෝ මේ කෙල්ල නම්!"

මධුලිකා හිකිස් ගා සිනාසී දෝතින්ම දෑස වසාගත්තාය. එවිටම ඇගේ දුරකථනය නාදවිය.

"... මොන හතුරෙක්ද මේ වෙලාවේ?"

මධුලිකා මගේ ඔඩොක්කුවෙන් නැගිට  පිළිතුරු දෙන්නට ගියද මම ඈට යන්නට නොදී, සෝෆාවේ පසෙකට බරව, ඈගේ පිට මගේ පපුවට හේත්තු  වනසේ තබාගත්තෙමි.

"ඔය ඉතින්...."

"යන්නේ නෑ , දැන් ඉන්න ඕනේ ඔහොම.. චඃ ! මොකක්ද මේ ඇඳගෙන ඉන්න ගෝනිය?"

"ආ... මේ මිස්ටර් දුනුවිල නේද?"

"තාරුකයා මොකටද ඔයාට කතාකරන්නේ ..?  කතාකරන්න එපා ... ඔය ඩිවෝස් එක ගැන වෙන්න ඇති."

මම නොමනාපයෙන් කිව්වේ මධුලිකාගේ දෙවුර හරහා අත ගෙනගොස් ඈ මා වෙත තද කරගනිමිනි.

".. අම්මටසිරි... මගේ ෆෝන් එක ඔෆ් නේ! කෝ දෙන්න"

මම දුරකතනය ගෙන වහා කනේ තබාගත්තෙමි.

"කියන්න මචන්.. මේ මම"

තාරුක අයියා එක හුස්මට නොසරුප්  වචන වැලක් කියාගෙන ගියේය. එහි සමස්ථය වුයේ මගේ දුරකතනයට මම පිළිතුරු නොදීමයි.

"ඔයා කන්දෙක වහගන්න කෙල්ල..."

මම මධුලිකාගේ වම් කනට කොඳුරා කියද්දී ඈ සිනාසී එසේ කලාය.

"... තෝ කොහෙද ඉන්නේ %$#%$^ දැන්? මම එයාපෝට් එකේ දැන් පැයක් තිස්සේ උඹව හොයනවා. උඹ මේ කෙල්ල එක්ක ඇතුලට ආව කිව්වා.... මෙන්න ඊට පස්සේ උඹ ගෙදර කියල සුදම් කෝල් කළා.. යකෝ.... උඹට පිස්සුද?"

එකවරම කුමක් කියන්නදැයි මට තෝරාගත නොහැකිය.

"හරි.. හරි.. මචන් මම ආන්සර් නොකළේ පොඩ්ඩක් අවුලෙන් හිටපු නිසා.. උඹ එයාපෝට්?"

"පිටත් වෙච්ච වෙලේ ඉඳන් උඹට ගත්ත. දැන් උඹ ඉන්නේ කොහෙද කියපන්"

"හ්ම්ම්... මේකයි මචන්.... මධූව.... මම එයාපෝට් එකෙන් දාල ආවට.. මධූ ආපහු ආව... දැන් අපි ඉන්නේ අපාර්ට්මන්ට් එකේ"

තත්පරයක නිහැඬියාවකි. මට අමුත්තක් දැනුනි.

"... මොකක්හරි අවුලක්ද මචන්...?"

"ෆෝන් එක මධුට දීපන්"

මම මදක් වික්ෂිප්තව ගියෙමි. දුරකථනය මධුලිකාට දුන් මම ඈ තදින් තුරුළු කරගත්තෙමි. දුරකතනයේ තාරුක අයියාගේ හඬ මට ඇසේ.

"නංගි... ෆ්ලයිට් එක තිබ්බේ කීයටද? අටයි හතලිහට නේද?"

"ඔව් මිස්ටර් දුනුවිල... මේ...."

"දැන් වෙලාව තාමත් හතයි කාලයි. නංගි ඔයා ඉක්මනට එන්න එයාපෝට් එකට. ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික තියෙනවා නේද? දැන්ම ආවොත් වෙලාව තියෙනවා, ඔතන ඉඳල පැයක් නෑනේ . බයවෙන්න එපා.. පොඩ්ඩක් තීක්ෂණට දෙන්නකෝ"

"හ්ම්ම්ම්"

මධුලිකා කැළඹුණු මුවින් මට දුරකතනය දුන්නේ මා දෙස බලමිනි. මම ඇගේ නළල මත හාදුවක් තබා කලබල නොවන ලෙස ඇසින් පැවසුවෙමි.

"කියපන් මචන්...."

"මධුට ඇහෙන්නේ නැති තැනකට පලයන්.."

මම අඩියට දෙකට සෝෆාවෙන් නැගිට පැන්ට්‍රි කොටසට යද්දී මධුලිකා මා දෙස බලාගෙනම සිටිනු දුටිමි. පැන්ට්‍රි කොටසට ගොස් එයට පිටදී, මම ඈ වෙත මුව උල්කොට හාදුවක් පාකර හැරියේ කලබලයක් නොමැති පරිද්දෙනි.

"කියපන්"

"උඹල හොටෙල් එකක හිටියද නිගම්බෝ? "

"හ්ම්ම්"

"කවුද තව හිටියේ...? මට මතකයි අර උඹේ එන්ගේජ් වෙනකොට එතන හිටපු නංගි... ඒකිත් ගියාද?"

"ඔව්... මොකද්ද බන් වෙලා තියෙන්නේ?"

"මචන්.. මධුට කියන්න එපා.... ඒ කෙල්ලව රේල් ගේට් එක ගාවදි බයික් එකකින් ආපු දෙන්නෙක් වෙඩි තියල මරල. කෙල්ලත් එක්ක හිටපු කොල්ලත් ඉවරයි. දෙන්නම එතැනම!"

"දෙය්යනේ..."

මම පුළුවන් උපරිමේ කටහඬ පාලනය කලෙමි.

"ටැක්සි කාරයා විතරයි ඉතුරු. ඌ තමයි කිව්වේ වාහනේට ඒ දෙන්නව ගත්තේ නිගම්බෝ හොටෙල් එකෙන් කියල. වෙඩිතියපු උන් අඳුනගන්න බෑ , උන් මාස්ක් දාලා... අනිවාර්යයෙන් මේක දුලිප්ගේ වැඩක්. උන් මධුලිකාව ට්‍රේස් කරලා... "

"ශික්!"

"ඔය මගුලේ ඉන්න එපා... උඹල දෙන්න ටැක්සියක් දාගෙන එයාපෝට් වරෙන්... උන් මධුව හොයන්නේ. සමහරවිට උඹවත් හොයනවා වෙන්න ඇති. උඹත් ඇඳුම් ටික ඔහොම්මම අරගෙන වරෙන්"

මගේ හිස ගිනි ගත්තේය. මධුලිකා අනතුරේ!

'අනේ අහිංසක උදානි!'

නමුත් ශෝක වන්නට හෝ කලබල වන්නට කාලය නොවේ. 

"හරි මචන්... මම මධු එක්ක යන්නම්.... "

"වරෙන් ඉක්මනට. ෆ්ලයිට් එකට වෙලාව තියනවා. මොන ජගතා උනත් එයාපෝට් එක ඇතුලේ අපි සේෆ්. මධුට කියන්න එපා ෂොක් වෙයි"

"හරි... මගේ ෆෝන් එක ඕෆ් වෙලා.. මේක ඕන් එකේ තියෙනවා. මේකත් මම ටිකකින් සිම් එක මාරු කරනවා මගේ එක ඔන් කරගත්තම. බලමු ඔය කැ# බ$$ ඌට ඕනේ දේ කරයිද කියල!"

දුරකථනය විසන්ධි කල මම වහා මධුලිකා වෙත ආවෙමි.

"මධු... අපි එයාපෝට් යන්න ඕනේ!"

"තීක්ෂණ........... අනේ!"

මධුලිකා මා තරයේ වැළඳගෙන කෑගැසුවාය.

"පැටියෝ.... මම කියන දේ අහල යමුකෝ... කෝ ගන්න පර්ස් එක.. වාහනේ නේද ලගේජ් එක? කෝ නැගිටින්න.. අපි පැයකින් එහෙ යන්න ඕනේ.."

මම එසේ කියමින් කැබ්රථ සේවාවන් සෙව්වෙමි. ඒ අතරතුර මගේ දුරකථනය ආරෝපණයට දැම්මෙමි. කෙතරම් උත්සහ කලද ,ඉක්මනින් ලබාගතහැකි රථයක් තිබුනේ නැත. තවත් ප්‍රමාද වුවහොත් ගුවන්යානය මගහැරෙනු ඇත.

"කමක් නැහැ.. යමු ජීප් එකේ!"

මම සිතට දිරි ගත්තෙමි. ඔවුන් මගේ ජීප් රථය මේ වනවිට හඳුනාගෙන ඇතිද? කරන්නට යමක් නැත. කෙසේ හෝ මධුලිකාගේ ජීවිතය බේරාගත යුතුය.

දොර විවර කරන්නට ප්‍රථම මධුලිකාගේ නළල මත උණුසුම් හාදුවක් තැබූ මම ඈ මගේ පපුවට තදින් තරපා ගත්තෙමි.

"මගේ පණ ඔයා.... ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නැහැ මධු.... "

"අනේ තීක්ෂණ..... මට ඔයා නැතුව බැහැ.. ඇයි අපි එයාපෝට් යන්නේ? අනේ ඇයි මොකද වෙලා තියෙන්නේ ?"

"ඔයාට මාව කවදාවත් නැතිවෙන්නේ නැහැ පණ.. මාව විස්වාස කරලා යමු දැන්.."

"අනේ තීක්ෂණ මට යන්න බෑ "

මධුලිකා මගේ කමිසය තුලින් අතදමා පිට පුරා අත ඒ මේ අත ගෙනගියේ උමතුවෙන් මෙන් මගේ පපුව සිඹිමිනි. මම ඇගේ දෑතම අල්ලා ගත්තෙමි.

"... එපා පණ.... අපිට වෙලාව යනවා.. නැතුව අකමැත්තට නෙවෙයි.... මොනදේ උනත් ඔයාට මාව නැතිවෙන්නේ නැහැ. අනේ දැන් අඬන්න එපා පැටියා"

මිට පෙර භාවිතා කල බොරු කොණ්ඩා අප දෙදෙනාම පැළඳ, මධුලිකාගේ කඳුළු අතරින් , තදකරගත් සිතින් යුතුව මමත් මධුලිකාත් ජීප් රථයට නැගුනෙමු.

*********************************************

"පරක්කුයි මචන්.. මොකද්ද මෙච්චර වෙලා කලේ.... ?"

"කැබ් තිබ්බේ නැහැ.. ජීප් එකේ ආවේ.."

මම තාරුක අයියා දෙස බලද්දී ඔහු මධුලිකාව රථයෙන් බිමට ගත්තේය.

"ජීප් එක මට දීල උඹ බැහැපන්... "

මදක් කලබල වුවද මම එලෙස කලෙමි. යතුර මා අතින් ගත් තාරුක අයියා පසුපස දොර හැර මධුලිකාගේ බෑගය බිමට ගත්තේ වටපිට බලමිනි.

".. කෝ උඹ හොටෙල් එකේ ඉඳල ආව නම් උඹේ බෑග් එක?"

"ආ.. ඒක ගෙදර බෑවේ නැහැ මම හිතන්නේ... ආ... අර තියෙන්නේ..."

ඔහු වහා එය බිමට බෑවේය.

"තීක්ෂණ අනේ.... "

මධුලිකා මා බදාගෙන හඬයි. මම තාරුක අයියාට අසරණ මුහුණක් දැම්මෙමි. ඔහු සිනාසෙයි. 'මේ මොන එකක්ද?'


 

"....අනේ..... තීක්ෂණ මට බෑ !"

ඒ මධුලිකාය. එවර තාරුක අයියා සිය අත තිබුණු විනිවිද පෙනෙන කවරයක්ගෙන මා අත තැබුවේ සිනාසෙමිනි.

"මචන්... මෙතන තියෙනවා උඹේ පාස්පෝට් එකයි , ඔක්කොම.... උඹට වීසා ගහල ටිකට් අරගෙන තියෙන්නේ... දෙන්නටම එකම ෆ්ලයිට් එකේ... "

මට එය ඇසුනේ සිහිනයක් මෙනි.

"....මේ සිටුවේෂන් එක නොවුනත් මමයි මිස්ටර් වාකිෂ්ඨයි ඒක කලින්ම ප්ලෑන් කරලා තිබ්බේ... උඹල දෙන්නට ඩිවෝස් වෙන්න දෙන්නේ නැහැ මේ අපි! "

"මචන්... මේ...එහෙම?"

මගේ කිසිම අනුදැනුමක් හෝ නොමැතිව මෙවන් යුරෝපිය රටකට වීසා ගත්තේ කෙසේද?

"උඹ හිතන දේ මම දන්නවා. මේක ලංකාව... රටේ හිරගෙදර ඉන්න චොකා මල්ලිලා එයාපෝට් එකෙන් කිසි ප්‍රශ්නයක් නැතුව පනින්නේ උඹ හිතන්නේ කොහොම කියලද? උඹ දන්නේ නැහැ වාකිෂ්ඨ කියන්නේ මොනවගේ පවර් එකක් තියෙන කෙනෙක්ද කියල.. බයවෙන්න එපා බන්... රටේ සාමාන්‍ය නිතිය තියෙන්නේ එක ලෙවල් එකක මිනිස්සුන්ට විතරයි... වාකිෂ්ඨට උඹේ වීසා ගේමක් නෙවෙයි "

තාරුක අයියා සිනාසී කිව්වේය. මම ඔහුගේ උරහිසට තට්ටුවක් දැම්මෙමි.

".... පලයන් දැන් මේ කෙල්ල එක්කම.. මෙතන වැඩිය ඉන්න එපා නෝට් වෙන්න"

මමත් මධුලිකාත් එකිනෙකා දෙස බලාගත්වනමය.

"... මම ජීප් එක ගෙනියන්නම්... පරෙස්සමෙන් පලයන් දැන්.. "

"මට පුළුවන් උඹේ ගෙදර බැලන්ස් කරගන්න මාසයක්. මාසෙකට ඇත්තේ උඹට වීසා. උඹේ රිසල්ට් වලට ස්කොල් එක දාල තියෙන්නේ දැනටමත්. කෙල්ල එක්ක පැනපන් මචෝ... කෙල්ලට උඹ නැතුව කොහේ හිටියත් ආරක්ෂාවක් නැහැ"

මම තාරුක අයියා බදාගත්තෙමි. මධුලිකා මා බදාගෙන උඩ පැන්නේ කුඩා දරුවෙක් පරිද්දෙනි.

"උඹ.. උඹ නම් දෙවියෙක්!"

"අයියා... ඔයාට ගොඩක් ස්තුතියි !"

"මචං... උඹ තරම් හිත හොඳ එකෙක් මම දැකල නැහැ... මධු... මේ මූ වගේ ලවර් කෙනෙකුත්  දැකල නැහැ.... මම ඔයාට බැන්නට තරහවෙන්න එපා.. ඒ ඔක්කොම මුගේ ඒ දුක බලාගෙන ඉන්න බැරුව. ඔයා නැතුව මු මැරුනේ නැති ටික විතරයි.... ඒ හින්දා මූවත් ඔයත් එක්කම යවන්න ඔක්කොම ප්ලෑන් කලේ... කොහෙද උඹල දෙන්න හනිමුන් ගිහින් , ඊටත් එහා වරුවකට කලින් එයාපෝට් ඇවිත් ඔක්කොම අවුල් කලානේ.. උඹට මම කොච්චර කෝල් කලාද %$%^$! "

"අඩෝ..වයිෆ් ඉස්සරහ කුණුහරප කියන්ඩ එපා බන්"

මධුලිකා මා කෙනිත්තුවාය. මට සිනාවක් නැගුනේ මේ කියන දේවල් වල ඇති පුදුමය නිසාය.

".... මාව දැන් අඬවන්නේ නැතුව ඉක්මනින් පල.. ෆ්ලයිට් එකට වෙලාව නැහැ.. ටර්මිනල් එක වහයි %$^%%^"

මම තාරුක අයියා දෙස හෙලු බැල්මෙන් එය උදානි ගැන බව දැනුනු ඔහු මගේ කනට කර මිමිනුවේය.

"කියන්න එපා තාම... මම ඔක්කොම බලාගන්නම්"

ඔහු එයට පිළිතුරු බැන්දේ එසැනිනි.

".. දැන් යන්න ඉක්මනට..."

මම මධුලිකාගේ අතින් අල්ලාගෙන බෑග දෙක තනි අතින් ගෙන යුහුසුළුව ඇතුල්වීමේ පර්යන්තයට පිවිසුනෙමි.

අවසාන ගේට්ටුව අසලදී ආපසු හැරුණු මම දුටුවේ සතුටු කඳුලින් බලා සිටින තාරුක අයියාය. මම ඔහුට අත වනා ඉක්මනින් ගේට්ටුවෙන් ඇතුලට ගියෙමි. 

සිනායන කාරණය නම් මම උන්නේ කොටකලිසමට අත් නැති ආම්කට් කමිසයක් හැඳ , සැහැල්ලු සපත්තු යුවලක් දමාගෙන වීමයි.

ප්‍රමාදවී පැමිණියද , ටිකට් ලබාදීමේ කවුන්ටර වලින් යුහුසුළුව අපට ලැබුණු උපකාර නිසා මමත් මධුලිකාත් මහත් කලබලයෙන් වුවද ගුවන්යානයට පිවිසුනෙමු.

අපගේ ආසන පිහිටියේ එකිනෙකට පමණකට සමාන්තරව ඈතිනි. මධුලිකාගේ ආසනයට ඈ හැරලවා මම මගේ ආසනයට එද්දී ඈ මා අසලය. පව් අනේ!

"අනේ.... මට බැහැ තනියෙන්"

මම කට ඒ මේ අත හරවමින් සිනාසුනෙමි. මොහොතකුදු පමා නොවී, මධුලිකා මට මෑතින් තිබුණු ආසන අතරින් මා අසලට පැමිණ මගේ ඔඩොක්කුවේ හිඳගත්තාය. 

"දැන් ටේක් ඕෆ් කරයි... අර... අතන ඉන්න ලස්සන එයාහොස්ට්‍රස් අක්කත් බලනවා.."

මම බොරුවට සිනාසුනෙමි.

"මට බෑ තනියෙන් එතන ඉන්න !" 

"ටේක් ඕෆ් කරනකල් ඉන්න එහෙනම්.... ඔය.. මෙතන ඉඩත් නැහැ"

"නෑ මම යන්නේ නැහැ... "

මා අසලම උන් මැදිවියේ මිනිසා බියට පත්වී මෙන් බැලූ අතර ඔහුගේ මුවට පසුව සිනාවක් නැගුණි.

"ඔන්න මම දන්නේ නැහැ බනිවී. අන්න අර ලස්සන සුද්දීත් බලල හිනාවෙනවා "

 "බලන්නේ නැහැ එක සුද්දීයෙක්වත් දිහා... මෙහෙ බලනවා!"

"අවුස්සගත්තොත් ඉවරයි ඉතින්.... පුදුම විසයක් තියෙන්නේ..චඃ.. මොකද්ද මේ ඇඳගෙන ඉන්න ගෝනිය... ඉරනවා මම දැන් මේ කෙහෙල්මල !"

විදේශික මිනිසාට එය ඇසුනද ඔහුට නොතේරුනි. මධුලිකා හිකි හිකි ගාමින් සිනාසෙයි.මිනිසා අප දෙස බලා සිනාවක් පා කළේය.

"මම ආසනය මාරු කරන්නද , මේ කුරුළු ජෝඩුවට මෙතන දීලා ?"

"හා!"

 අප දෙදෙනාටම කියැවුණි. ඔහු සිනාසෙමින් ආසනයෙන් නැගිට ගියේය. ඔහුට ස්තුති කර , හිස්වූ ආසනයේ මධුලිකා තැබූ මම ඒ සමඟම සිනාවෙන් උතුරාගිය ඈ වෙත නැඹුරුව මම තොල් මත හාදුවක් තැබුවෙමි.

"බොරුවට මට ඉස්සර ගණන් උස්සල... දැන් බලන්නකෝ මට තියෙන වදේ !"

"හ්ම්ම් හරි වැඩේ.... හොඳ වැඩේ.. දැන් මගෙන් ගැලවෙන්න බෑ ! මේහ් මොනාද මට අර පෙන්නනවා කිව්වේ? අපාර්ට්මන්ට් එකේ?"

මට පැන්නේ සිනාවකි. මධුලිකා මගේ වම් බාහුව දෝතින්ම ඇගේ ළයට තදකරගෙනය.

"ආ.... ඒකද... හික් හික්..."

"ඇයි ?"

"ඒක මෙතැන උනත් පෙන්නන්න පුළුවන් දෙයක්..."

"කපටියා! මාව රැවට්ටුව නේද?"

මම ඈ චප්ප වී යන ලෙස ආසනයේ ඈ දෙසට බරවීමි. ඒ බැල්ම තිබුනේ මා වෙතය. මගේ නොසන්ඩාල සිත ගැන ඈ දන්නා බව මම දනිමි.

".. එන්නෙපා ඔය හිනාව දාගෙන..."

"පිස්සු කෙල්ල..... ලෑන්ඩ් කරනකල් ඉම්මු... ඊට පස්සේ බලාගමු මට දීපු වද වලට පොලියත් එක්කම!"

මධුලිකා අඩවන් දෑසින් මට තුරුළු වුවාය.

ගුවන් යානය පිටත්වීම සඳහා නිවේදනය නිකුත්කළ නිසා අප ආසන පටි පැළඳ ගත්තෙමු. ඉන් මිනිත්තු කිහිපයකට පසුව , අනේක විධ හැලහැප්පීම්, සිත් රිදවීම්, තර්ජන, සිනහවන් හා එක්ව ගිය මගක අවසානයේ මමත් මධුලිකාත් අපගේ ඊළඟ ගමනාන්තය කරා පියාසර කරමින් සිටියෙමු. 

අනුරාගයේ  ඉසිබුවන් තුලින් හැඩවුණු අපගේ ප්‍රේමයට බාධක සියල්ල ඉවත්වී නැතත්, මධුලිකාත් මමත් එකිනෙකා කෙරෙහි වූ අචල ප්‍රේමයෙන් වෙලී උන්නේ මරණයෙන් පවා කිසිදා කෙලවර නොවන්නට මෙනි. 

ඈ තුලින් මම දුටු පෙම්වතිය, වගකිවයුතු තරුණිය හා නොසැලෙන පෞර්ෂය පරයා මගේ සම් මස් නහර ඔස්සේ ජීවිතය පුරාම මා ජිවත් කරනු ඇත. ප්‍රේමයෙන් සුහදව, මගේ ජීවිතය එකළු කරන්නට ඈ මහා සිළුවක්ව දැල්වී ඇති බවත්, ඒ උණුසුම සැමදා මගේ හදවත් මන්දිරය තුල ලැගුම්ගෙන ඇති බවත් මට සපථ වී ඇත්තේය.

ජිවිතයේ ඕනෑම කලකදී, ප්‍රේමයේ හෙවනැල්ලක් අප වෙත වැටුණු වහා, මෙතෙක් අප වටා ඇති සියලු ග්‍රීෂ්මයන් නොගිනිය හැකි තරම් කුඩාවනු මම අත් ටුවේ මධුලිකාගෙනි. අන් කවර  රුමතියකටත් වඩා මධුලිකා වෙත වූ ඒ රසායනය ප්‍රේමයේ බන්ධනය විය හැකිය. එකිනෙකාගෙන් තොරව ජිවත්වන ක්‍රමයක් අපට නොවුනේ එබැවිනි.

ඇගේ ඒ ප්‍රේමනීය හදවත, දුටුමතින්ම මා වෙව්ලවා යන ඒ ලතාවන් විසින් මා ගෙනගියේ වෙනස්ම ඉරණමක් වෙතය.

සුහදිනිය.... නුඹ මා දමනය කළෙහිය!




 


******************** සමාප්තයි ***************************** 


සුහදිනියේ සඟවන් - ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සඳ මිණියේ ඔබ නම් - සැණකෙළියයි මගෙ නම්
කවියන් ගේ දෑසේ රස සීමා පණිනා
සිහිනෙන් රෑ අවුදින් - සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා
 

වාත්තු කර ඇති දේහ තලාවට - හේත්තු වෙන්න ද හෙවණැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට - සාන්තුවර සිත හීදැල්වෙයි
හොර රහසේ - හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා - වල්මත් කළ අරුමැසියයි මෙලොවේ


වීණා බද වට කැරකෙන වරලස - අණ දෙන හෘද ස්පන්දනයෙන්
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ - මගේ පෘථග්ජන සිතුවිල්ලේ
හොර රහසේ  - හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළඟන මගෙ හිත - අවතැන් කළ එකම ළඳයි මෙලොවේ 

 


 



30 comments:

  1. න..පුරා
    කතාව ඉවර කරලා ...

    (btw, good job ඈ )

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඈ බොලේ මේක ඔයා කියන්නේ තව අවුරුදු ගානක් අදින්න කියලද? මට හිතුනේ මේක ඉවර වෙනකල් තමි බලාගෙන හිටියේ කරච්චලයක් වගේ හින්ද..


      ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට. ගුඩ් ජොබ් කිව්වේ අවසානය එහෙම උනාටද, මුළු කතාව ගැනම හිතලද?

      Delete
    2. පොඩි මිසී Good job කිව්වේ ගුඩ් ජොබ් නිසා. මුළු කතාවටම.
      දෙබස් මේ ලෙවල් එකට ගන්න excellent effort එකක් දීල තියෙනවා. Natural.
      කෝ කවුද මේක කරච්චලයක් කිව්වා එකා??

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. මේ නම් කියන්නේ දෙබස් ගැනම තමයි... හි හි.. හරි හරි ස්තුතියි ගොඩක්ම
      ඇයි අනේ පලවෙනි කොටස ලියල හත් අවුරුද්දකට පස්සෙනේ අන්තිම ටික ආවේ... ඉතින් ඉවරයක් කරන්න හිතාගෙනම එක හිතින්ම ලියලා දැම්ම. මරණ තර්ජන ඒ අස්සේ...

      Delete
  2. හම්මේ ඉතිම් අවුරුදු ගානක් එකම කොටසකටවත් එකම කමෙන්ට් එකක්වත් නොදා අවසානය වෙනකං මාත් මේක කියෙව්වා නොවැ.මං බලාපොරොත්තු උන අවසානය දුන්නට ස්තූතියි ...ආයේ එකක් ලියමු නේ...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් බලන්න කොච්චර නරකද කියලා එහෙම කමෙන්ට් එකක් වත් නොදාපු එක. ඒ වගේම කොච්චර හොඳද බලන්න මේ කමෙන්ට් එක දාපු එක!
      ඔහොම අවසන් කලේ නැතිනම් මට තමයි රට හැර යන්න වෙලා තිබ්බේ. ඇයි අර කලි එකක කලණගේ කෙල්ල මැරුණා කියල අම්බෝ මට තිබ්බ තර්ජන! ඒ හින්දා මේකෙ කෙල්ල බේරුවා.....

      දැන් නෝනා අර කාලෙකට කලින් රස වැහෙන පෙම් කතාවක් එහෙම ලිව්වා නේද? ඒකට මක්කා උනාද? ලියමු ලියමු ඒවත්

      Delete
    2. සමහර ත්‍රාසජනක තැන් වලදී කමෙන්ට් දාන්න හිතුන වාර අනන්තයි සමහර වෙලාවට මේ නෝනා පරක්කු වෙනකොට මම විසින්ම ඉඋ ළඟ කොටස හිතේ ලිව්වා 🤗 කෝම උනත් මට හිතුනා ඉවසීමෙන් බලන් ඉන්න එක හොදා කියල.අන්තිම කොටසටත් කමෙන්ට් එකක් නොදා හිටියොත් මේ කතාවේ රසිකයෙක් වෙච්චි මං මටම කරගන්න අසාධාරණයක් නොවැ.😉හා නැද්ද? රස වෑහෙන පෙම් කතා තාම නවත්තපු තැනමයි.එව්වා ගොඩදාන්න හිතෙන්නෑ අප්පා..

      Delete
    3. අම්මෝ ඔව්.. ඩප්පි එහෙමත් තිබ්බනේ... මම උනත් පිටුවට එන්නේ බොහොම පරිස්සමෙන් අඩි තිය තියා.. තීක්ෂණ කොලුවා ෂුවර් නෑ ඒ කාලේ. අනිත් එක අර විස කටුව මධුලිකා.....
      අනේ මම ලිව්වා විදියට වෙනස් උනාද ඉතින් ඒ කොටස්? ලියල තිබ්බ නම් අඩු ගානේ සාක්කි වත් තියෙනවා [ මේ කතා ලියල දැන් සාක්කි ම තමයි හොයන්නේ]

      රස වැහෙන පෙම්කතා - ඔයා ඔයාගේ අනන්‍යතාවයෙන් ලියන්න සඳා.... ඒවා නැතිකරගන්න එපා බල්ලෝ නිසා

      Delete
  3. අයියෝ ඉවරද? දැන් අපි කෝමද කියන්නකො මේ වලි කුකුල් ජෝඩුව ගැන ආරංචියක් නැතුව ඉන්නෙ. ඔයාට බැරිද පොඩ්ඩක් පස්සෙන් ගිහින් බලන්න. දෙන්නම එකට පටවලා යැව්වට මොකද ගමන මැද්දෙ මොකක් හරි අල්ලාගෙන රණ්ඩුවක් අල්ලලා එකෙක් ආපහු එන්න බැරි නෑ.

    මේ ඒක නෙවෙයි. කතාව නියමයි හොඳේ. සුහදිනි අක්ක නියම කතාකාරිනේ බලාගෙන ගියාම. මධු හරි ලස්සනයි නේ. සෝයි කපල් එක. ටැංකිව් හොදේ අන්තිමට පොටෝවකුත් එල්ලුවාට. ඔයා අලී හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉවරයි කිව්වට ඉවර නැහැ අනේ.. උන් දෙන්න රට පැටෙව්වා.. දැන්වත් ඉන්නේ නැතෑ කියල... අර කිව්වත් වගේ ෆ්ලයිට් එකෙන් බහිනකල් ෂුවර් නැහැ..
      මධු ලස්සනද? හි හි මම හිතුවේ මවාගන්න පුළුවන් විදියට ලිව්වා කියල...

      ගොඩක් ස්තුතියි වරිවර හරි කමෙන්ට් දැම්මට. ඒකෙන් ලැබුණු තප්පුවත් ඉතින් ඒ කතාව ලියල ඉවර කරන්න හේතුවක් උනා. අන්තිම ටික නම් මෙලෝ යකෙක් කමෙන්ට් කරලත් නැහැ. මොකද මන්ද.

      Delete
    2. අන්තිම ටිකේ ඔයා ෆාස්ට් ලියාගෙන ගියානෙ. කමෙන්ට් අඩු ඒක නිසා වෙන්න ඇති. මටත් දාන්න හිටියට බැරි උනා කීපයකම. මට මධුට මැවෙන රූප දවසින් දවසට වෙනස් වීමක් තිබුනා ඔය අන්දන ඇඳුම අනුව. ඒකයි ඇහුවේ. :D මේ ලියමුද තව එකක් ඔය ගැම්මටම?

      Delete
    3. ෆාස්ට් ලිව්වේ විවේකය හොයාගන්න පුළුවන් උන විදියට සහ කතාව අවුල් වෙනවා ලොකු ගැප්ස් තිබ්බම කියල හිතුන. [ ඒ වෙනකොට වෙනද ඕනේ ඒ ජාතියේ අවුල් ඔක්කොම වෙලා තිබ්බේ, කොටිම්ම කෝට්ටේ යුගයේ තමයි මුල්ම කොටස!]
      මධූගේ පෙනුම මම ගොඩාක් නොලිව්වේ එතනදී මම එයා ලස්සනට වන්නනා කරන්න විදියක් තිබ්බේ නැහැ. මොකද මේ යක්ෂයාට පෙනුනේ ඒ ලස්සන නෙවෙයිනේ ඉතින්.
      එක මගේ අඩුපාඩුවක්! කියවා කෙනාට පින්තුරයකින් තොරව චරිතය මවාගන්න ඕනේ දේවල් නොලීවීම. හරි චැක් කරගත්ත!

      හ්ම්ම්ම් හ්ම්ම්ම් බලන්න ඕනේ ටිකක් නිවාඩුවක් අරගෙන ඇත්තටම ඔයා වගේම මේක කියෝ කියෝ හිටපු ළමයි ටිකත් කියෝලා ඉවර වෙනකල්ම. බලමුකෝ ඉතින් ඈ

      Delete
  4. සත්තකින්ම පලමුවෙන්ම ඔබට මාගේ අවංක ආදර ස්තූතිය එම ප්‍රේමය ඉතාමත් සුන්දර තැනකට ගෙන ආවාට!
    මා සැමදා කිව්වා සේ කථාව ඉල්ලන අවසානයක් ඇත. එය වෙනස් කිරීම පිළිබඳව මා උදාහරණයකින් පැහැදිලි කරණ්නම්.
    නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි මෝටර් සයිකලේක ගමනක් ගියා. ඒකාලේ මෝටර් සයිකල පදින අයගේ පුරුද්දක් තිබුනා ජැකට් එක , ජර්කින් එක හෙවත් කබාය අඳින්නේ ඉස්සරහ පස්ස මාරු කරලා - කොටින්ම සිපර් එක පිටුපසට හිටින්න. ඉතින් මම කලින් කිව්ව මහත්තයා ගිහින් තියෙන්නෙත් ඒ විදියට! මෙහෙම යනකොට බල්ලෙක් පැනලා දෙන්නා උඩින් ගිහිං වැටිලා. ටික වේලාවකින් එතෙනට පොලීසිය ඇවිත් වට වෙලා ඉන්න අයගෙන් විස්තරේ අහලා. එතකොට එතන හිටිය ගමේ පොරක් කිව්වලු මෙහෙම.
    නෝනානම් සිහිය නැතිව ඔතනම වැටිලා හිටියා. මහත්තයාගෙ බෙල්ල එහෙම පිටින්ම අනිත් පැත්තට කැරකිලා පස්සෙන් පස්සට එහේ මෙහේ දුව දුවා හිටියා. මම තව කොල්ලො දෙන්නෙක් එක්ක අල්ලලා බෙල්ල හරි පැත්තට කරකවලා නෝනා ලඟින්ම හාන්සි කලා! කියලා.
    ඒ වගේ තමයි කථාව ඉල්ලන අවසානය නොදී වෙනත් ප්ලොට් ට්විස්ට් එකක් කලාම බොහෝ විට වෙන්නේ. මොකද පාඨකයෙක් දිගින් දිගටම කථාවක් බලාන එන්නේ ඔහු හෝ ඇය එහි අවසානයක් හිතේ තියාගෙන! මේක විවාදයට තුඩු දෙන කාරනයක් වන්නට ඉඩ ඇත! එහෙත් ඒ මට හිතෙන හැටිය!
    මීට පෙරත් මා ලීවාදෝ මන්දා අජන්තා රණසිංහයන්ගේ ප්‍රකාශයක්. ඔහු වරෙක කියනවා ගීතයක තනුව ඇරඹෙන්නේ එහි පද රචකයාගෙන් කියා!
    තවත් ලෙසකින් පවසනවානම් සංගීතවේදියා තුල පද වැල පිළිබඳව ඇතිවන තනුවේ පළමු සෙවනැල්ල ඇතිවන්නේ එහි පදවැලෙහි ඇති කාව්‍යමය ස්වභාවය මත නො එසේනම් එම තනුවට පළමු උත්තේජනය ඇතිවන්නේ පදරචකයාගේ පද වැලේ ඇති නිර්මානශීලීත්වය තුලින් බව මෙයින් අදහස් කරණු ලබයි!
    එලෙසින් ගතහොත් කිසියම් ගද්‍ය නිර්මාණයක් කියවාගෙන යද්දී, චිත්‍රපටයක් බලාගෙන යද්දී, නාට්‍යයක් නරඹද්දී එහි පාඨකයා හෝ ප්‍රේක්ශකයා තුල නිරායාසයෙන් ඇතිවන "අවසානයක්" නැතැයි කාහටහෝ කිව හැකිද?
    කෙසේ වෙතත් චරිත ගනනාවක් මෙහෙයවමින් ඒවා එකිනෙක විවිධ තලයන් ඔස්සේ ඡෙදනය වෙමින් සමාන්තරව ගමන් ගන්වමින් අවශ්‍ය අවස්ථාවන්හී නිර්මානශීලී ලෙස ඝට්ටනය කරමින් මැවූ රටාව මෙම කථාව තුලමා දුටුවෙමි.
    කථාවේ ආරම්ඹයේදී තිබූ සැහැල්ලු බව පිළිඹඳව නැවත ඔබ සිතා බලන්නේ නම් එය මෙම නවකථාවට කරනු ලබන සාධාරනයකි.
    ඇත්තෙන්ම මධුළිකා තරම්ම මුරණ්ඩු ගැහැනු ලමයි වෙත්දැයි විටෙක සිතුනත් අවට පරිසරය ඉවකොට බලනා විට එය විශ්වසණීයත්වයෙන් යුත් චරිතයකි. තීක්ෂණ මොඩලයේ පිරිමින් බොහෝ විට මා දැක ඇත.
    ඒ කෙසේ වෙතත් කථාව අවසාන කර ඇත්තේ ඉදිරියේ තවත් කථාංගයකට ඉඩ තබාය.
    තීක්ෂණට ඇත්තේ මසක අවසරයක් නම් ඔහු නැවත මෙරටට පැමිණිය යුතුවේ. ඔහු ඇයව තනිකොට පැමිණේ යැයි සිතිය හැකිද?
    තීක්ෂණ නොමැතිව ඔවුන්ගේ පවුලේ ව්‍යාපාර කටයුතු කෙරෙණ්නේ කෙසේද?
    දුලිප් තම කුරුමාණම වැරදුනු බව දැන ගත් විට ඊළඟ පියවර කුමක් වේද?
    මේ සියළු මෙකී නොකී කාරණා ගැන සිතූ විට ඔබ අවසානයක් දී ඇත්තේ තීක්ෂනගේ දුක්ඛ දෝමනස්සයන්ට හා විරහ වේදනාවටත් මධුලිකාගේ ජීවිතයට නැවතුමකුත් පමණි.
    එහෙත් සිදුවීම් මාලාව සඳහා ඔබ නැවතුමක් අවසානයක් දී නොමැත!
    ඉන් අදහස් කරණ්නේ "සුහදිනියේ 2" ළඟදී තිරගතවන බව වත්ද?

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි මේ පෝස්ට් එකක් වගේ කමෙන්ට් එකට.
      කාරනා කීපයක් තියෙනවා මම කතාවක් ගොඩනගනකොට කරන.
      1. එකක් තමයි අවසානය බලන්නේ නැහැ, මැද්දේ තමයි ප්‍රස්තුතය තියෙන්නේ.
      2. දෙවැන්න අවසානය විතරයි, මුල;මැද අග තමයි හිතන්නේ පටලවා ගන්න.
      3. අන්තිම එක තමයි ; මුලයි අගයි විතරයි.
      මේ කතාව දෙවැනි එකෙන් පටන් අරගෙන පලවෙනි කොටසින් ඉවර උනේ. අනේ ඉතින් හරියට තර්ජන තිබ්බනේ ඔය තීක්ෂණ අරෙහම කලාය , මධුලිකාට ඌවා කලොත් මරනවාය වගේ. ඉතින් මගේ කතාව ඒ අනුව නවල ; නීතියත් නවල ඔය අවසානය මිස වෙන එකකින් කෙලවර කරගන්න බැරි උනා. මමත් බැලුව මේ මොන එකක්ද මේ උනේ කියල.. කාරණේ වැටහුනේ ඔබතුමාගේ අර අල කිරීමේ ව්‍යාපෘති ගැන දාල තිබ්බ පෝස්ට් කියෙව්වම. ඔබතුමා ලෙසටම මේකත් අල කළා නොවැ ! ඔන්න එහෙනම් ලියාගන්න ලිස්ට් එකේ අගට 'සුහදිනියේ කතාවේ අවසානය සාර්ථකව අල කලෙමි' කියල.


      අනිත් දේ තමයි, කතාවේ මුල ඉඳලම උනන්දු කරමින් කමෙන්ට් දාපු අනිත් අය වගේම පරිස්සමෙන් කියෝලා මට කමෙන්ට් වලින් මල්ටි බැරල් ගහපු නිසාම මම වෙනදට වඩා පරිස්සමෙන් ලිව්වා. කතාවේ සාර්ථකත්වයේ කොටසක් ඒ කමෙන්ට් දාපු හැමෝටමත්, ඔබටත් අයිතියි. මොකද මම මේක කම්මැලිකමට අතෑරලා දාල වගේ තිබ්බ කතාවක්.

      මම ගොඩනැගුවේ රුපසුන්දරියක් නොවුනත් , සුසුම චරිත ස්වභාවයක් නැති මධුලිකා සහ ඒ වගේම අළු චරිතයක් වන තීක්ෂණ වගේ චරිත. ඒ වටා තිබ්බ චරිතත් ඒ වගේම අවස්ථාවාදී සහ එක එක මානයක්ගෙන් සමාජයේ ඉන්න චරිත. ඒවා අමුතු නැහැ. තීක්ෂණ කියන චරිතය තුලත් මම දුර්වලකම් දැම්මා, මොකද එයා සුපිරි වීරයෙක් උනොත් අතාත්වික නැද්ද? අතාත්වික දේවල් ලියපු වෙලාවල් තිබ්බ තමයි, පොඩ්ඩක් කතාව සෝදුපත් බලන්න ඕනේ කොහොමත්. හොඳ අදහසක්, මම ටිකක් ඒ ගැන බලන්නම්. වෙලාව තමයි නැත්තේ මේ දවස්වල.

      කතාවක් කියවන්න එනකොට, ඒ කතාවේ අවසානයක් හිතාගන්නව නම් මට අනුව ඒ ලේඛකයාගේ අසාර්ථක බවක්. මොකද එතන කුතුහලයක්, කතාවේ ඊළඟ කොටස ගැන උනන්දුවක් නැතිනම් එතන නිර්මාණයක් නැහැ. එහෙමය කියල චරිතෙට අනවරතේ වෙඩි තියලා මරන්නත් බැහැ තමයි. මේ මගේ මතය. අර ෂේන් කතාවේ ෂේන් අවසානයේ ඒ නගරයේ රැඳුනා නම්, ඒක නේද හැමෝගෙම ලස්සන හීනෙ? නමුත් ලේඛකයා ශේන්ව යවනවා. එතකොට තමයි ඒ කතාව පන්චින් වෙන්නේ...

      ඔබ ඔය මතුකරන ප්‍රශ්න වලට විවෘත කරලා තමයි මම අවසාන ජේද ටික ලිව්වේ. මෙය ගමනාන්තයක් විතරයි. ඒ ප්‍රශ්න වලට උත්තර ඉතින් පාඨකයා මවනවා නම් මම කැමතියි. බත්තලන්ගුන්ඩුව කතාවෙත් එහෙමයි. ඒ රචකයාගේ මානයෙන් නතර කලාම කියවන්නාට පරිකල්පනයක් කරන්න පුළුවන්.

      මේ කතාවේ මුලික අදහස මේ ජෝඩුවගේ පෙම් හබයනේ ( එකනේ සුහදිනියේ කියල නමත් දැම්මේ... ) නැතිනම් මේක 'මධුලිකාගේ තාත්තාගේ දේපලට වෙන්න යන දේ ගැන ලියවෙච්ච නඩු වාර්තාවක් වෙනවා. පෙම් හබය ඉතින් ලෙහලා දුන්නා. උන් ඉතින් මාසයක් ගියාට පස්සේ ඕනේ එකක් කරගන්නේ නැතෑ ! ආයෙත් පස්සෙන් යනවා ඉතින්.. ඉන්න දෙන්න උන්ට

      සුහදිනියේ 2ක් ගැන තාම හිතක් නැහැ.
      ගොඩක් ස්තුතියි මේ අදහස් දිරිගැන්වීම් වලට

      Delete
    2. වෙඩ්ඩාගේ බත්තලන් ගුණ්ඩුව මා කියවා නැති බැවින් ඒ ගැන මම කිසිත්නොකියමි.
      ජැක් ෂේප ගේ ෂේන්! අන්න කථාව!
      පාඨකයා බලාපොරොත්තු වෙන්නේ ෂේන් නගරයේ රැඳීම නොවෙයි. නපුරාව විනාශ කිරීම. නපුර විනාශ කිරීම තුලින් ලේඛකයා පාටකයා තුල ඇති කරණවා පරිකල්පණයක් එතැන් පටන් එම නගරය තුල නපුරට ඉඩක් නැති බව! ඒ නිසාම ෂේන්ගේ වෙන්වීම පාඨකයාහට දරා ගත හැකියි. එහෙත් ඔබ බැලුවාද ග්‍රැන් ටොරිනෝ චිත්‍රපටිය? එහි නපුර විනාශ කරණ්නේ වීරයා විනාශ වෙමින්. "දඩයම" චිත්‍ර පටයේ සල්ලාල පෙම්වතාව විනාශ කරණ්නේ අහිංසක පෙම්වතිය ජීවිතය දන් දෙමින්.
      එය එසේද විය යුත්තේ?
      පාඨකයා තුල කුතුහලය ඇතිවිය යුත්තේ ඔහු තුල ඇති අවසානය කරා කථාව දිවෙන්නේ කෙසේද කියා මිසක "හෙට අපේ අම්මා මැරෙයිද?" කියා දරුවෙකුට ඇතිවන අනියත බිය නොවේ කියායි මාගේ අදහස!
      කොහොම උනත් ඔබ ඒ කථාව නවා ගත්තා පාටකයාහට අවශ්‍ය පරිදි!

      Delete
    3. සරල කිව්වොත් මධුලිකා වෙඩි කාලා මැරෙන්න ගියේ... පාඨකයෝ තමයි බේරාගත්තේ... හි හි

      Delete
    4. ඔබ සතුටු වන්න; අන් අය දිවි හිමියෙන් ආරක්ෂා කරණා චරිතයක් මැවීමට හැකි උනාට!?

      Delete
  5. ඉවර කලා, කොටසින් කොටසට අදහස් දක්වමින් කතාව රසවිඳින්න තිබුන අවස්ථාව මග හැරුනත් අවසාන වෙනකම් හුස්මට කියවන්න ලැබුන එකත් එක්තරා රසයක්.
    අවසාන වශයෙන් ලිඛි,
    ලියවිල්ල හරිම අගෙයි. ප්‍රස්තුතය,චරිත වගේම ඒ චරිත වටා ගෙතුනු අන්දරය නිර්මාණාත්මක භාවයෙන් හරිම ඉහළයි. කුතුහලය,රෝමාන්තිකය,නූතනත්වය වගේම සමීප බව නිසාම ලියවිල්ලෙ අගය තවත් වැඩි වුනා.
    විචාර, විවෙිචන නම් නැ, ඒත් සංක්ෂිප්ත ලෙස මට
    නම් " ඉතාමත් අගෙයි"
    Good luck ලිඛි.
    තව ලියන්න

    ReplyDelete
    Replies
    1. අනේ ගීතිකා... කමෙන්ට් එකට බොහොම ස්තුතියි....
      දවසක් ඇර දවසක් වගේ තමයි අන්තිම ටික දැම්මේ. අවසාන කොටසට තමයි ගොඩක් කාලය ගත්තේ. ගොඩක් දේවල් තිබ්බා ඒ කොටසේදී එකට අමුණන්න.
      මුල ඉඳලම හිටපු කෙනෙක් විදියට, අග වෙනකල් කියෝලා අදහසක් ලියපු එක මට හරි වටිනවා. අඩුපාඩු ගොඩක් තිබ්බා උනත් ඒවා ගැන ඔයා කතා කරලා වත් නැහැ. නිහතමානි සතුටක් දැනෙන්නේ. ස්තුතියි නැවතත්

      Delete
    2. කොහොමත් නිවාඩු පාඩුවේ ආයෙ මුල ඉඳන් ම කියවන්න ඕන ලිඛි. අඩුපාඩු වලට වඩා ඔයාගෙ නිර්මාණකරණයේ දක්ෂතාවය මුලින්ම දකින්නයි ඕන

      Delete
  6. පොඩි මිසී, ඊමේල් ඇඩ්‍රස් එකක් එව්වොත් ඔයාගේ කතාවේ කොම්ප්ලිට් word file එක එවන්නම්. ebook එකක් හදලා දාන්ඩ.
    DTP ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බනං දෙන්ඩ තිබ්බ ඇෂ්ටි හැලෙන්ඩ.
    මම ඕකට නමක් දානවා නම් දාන්නේ 'සුනඛ අසිපත' කියල තමයි.ඕඕ යේස්.

    ජයවේවා!
    hattorvittor@gmail.com

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි!
      ඈ ? මේ කතාවටද එහෙම නමක්? ඈ දෙය්යනේ බල්ලෙකුත් නෑ අසිපතකතුන් නෑනේ?ඒ මොන නව නින්ගිරාවක්ද?

      Delete
    2. සුනඛ නම් 'බලු' යැ
      අසිපත 'කඩුව' වන්නේ යැ

      බලු කඩුව -> කලු බඩුව ලෙස සිංහලෙයෙහි වර නැගෙන්නේ එළෙස යැ

      ෆයිල් එකත් එව්වා යැ. ඊ මේලය බලනු යෙහෙකි.

      ජයවේවා!

      Delete
    3. ඈ ! කන පලනවා දන්නවද?

      Delete
  7. දැන් හරි.. දෙවෙනි බාගේ දෙවෙනි කොටසේ ඉඳල පෙන්ඩින්. කියවල එන්නම් හොඳ (නම් නෑනේ) නරක කියාගෙන :))

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ මොන බාගෙද බොලේ?
      ලියමුද අර කලින් කතාවට වගේ එකක්? බනින්නකෝ ඉතින්... කොහෙද මධුලිකාව මරන්නවත් බෑ අර තට්ට මහත්තයා මට වෙඩි තියන සයිස් එකක් තිබ්බේ... හ්ම්ම්

      Delete
  8. මේක ලස්සනම කතාවක් ලිඛිතා. මම කියෙව්වේ එක හුස්මට
    ආයෙ එකක් ලියමු ඈ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.... ආයේ එකක්? හ්ම්ම්ම් බාගෙන අතෑරලා දාපු එකක් තියෙනවා, පොඩියට ටින්කරින් එහෙම කරලා ගන්න හිතාගෙන ඉන්නේ, බලමුකෝ

      Delete
  9. නත්තල් නිවාඩුවට නැත්තං පළමු ලමයට රත කල්කෙ දෙන්නවත් තීක්ෂණ - මධුළිකා ජෝඩුව මෙහේ එයිද!?

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නට ඉන්න දෙනවද දැන්වත්! ආව මෙතන රත කල්කයක් දික්කරගෙන. [ හැබෑටම ඔය ආවේ රත කල්කේ අරගෙනද? රථ කල්කේ අරගෙනද?]

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...