Thursday, July 15, 2021

262: සුහදිනියේ - 53 | තීක්ෂණ සිතුවිලි අතර සරමින්

 මෙතෙක් කතාව 

 


නොනවත්වා නාදවෙන දුරකථනය සිහිනයෙන් ඇසී මම අපහසුවෙන් දෑස හැරියෙමි. කතාකරන්නේ කවුද නොබලා එය ඉබේම මට පිළිතුරු සැපයීමට ගත්තෙමි.

"හෙලෝව් ?"

"මොකද අනේ වෙලා තියෙන්නේ.. තව ඩින්ගෙන් අපි පොලිසියට කියනවා"

මහා හෙනයක් වැටුනාක් මෙන් මම උඩගොස් බිම වැටුනෙමි. දුරකථනය කනෙන් මෑත්කොට මම බැලුවේ මේ මකර කට කාගේද කියාය. ඒ මධුලිකාය.

"ම.. අම.."

"කීයද වෙලාව? උදේට කන්න එන්නේ නැද්ද? දැන් බුෆේ එකත් වහනව.. අපි මේ බයවෙලා  මරල හංගලද කියල!"

දඩාන් ගා ඇමතුම විසන්ධි වී ගියේය. මම සිහියක් ආවේ එවිටයි. පාන්දර ඇඳට වන්  මට නින්ද ගොස් තිබුනේ මලාක් මෙනි. බඩගින්නට බඩ පණුවන් මොරදෙනු ඇසේ.

මම ඉක්මනින් පිරිසිඳු වී, කෑම ගන්නා කොටසට ගියේ වේගයෙන් මෙන් දුවමිනි. මම එහි යද්දී උදානි අතුරුපස බන්දේසියක් අතැතිව උන්නාය.

"ආහ්..මේ මොකද.. අපි මේ තව ටිකෙන් යනවා පොලිසි.. ඇත්තම කියනවා නම් මධුලිකා තව ඩින්ගෙන් අර සුද්දිගේ කෙහෙ වල්ලත් අල්ලගන්නවා!"

අවසන් කොටස උදානි පැවසුවේ සිනාසෙමින් හඬ  බාල කරමිනි.

 "ඈ ? කාගේ? මොන සුද්දීද?"

මම ශාලාව සිසාරා බලද්දී පෙර දිනයේ උන් මේසයේ සිට සිය ලේසර් කිරණ වැනි බැල්මෙන් මධුලිකා මා දෙස බලා සිට වහා ඉවත බලාගත්තාය.

"මොන සුද්දීද  අහන්නේ?ඇයි ඊයේ අර නැටුවේ තුරුල් වෙලා"

උදානි මෙලෙස මට විහිළු කරන්නට පෙරදී පුරුදුවී සිටියේ නැත. මට තරු විසිවිය.

"ඈ ? පිස්සුද? ඒ කෙල්ල මොකක් කලාටද?"

 "වෙලාවට එතකොටම සුද්දී ආවේ තනියෙන්... මම යන්තම් අර කවුන්ටරෙන් ඇදගෙන ආවේ සුද්දිගේ රූම් එකේ විස්තර අහල එතන රණ්ඩු වෙනකොට.. එතකොට...................  ඔයා හිටියේ කොහෙද?"

උදානි කියන්නේ කුමක්ද කියා නොතේරෙන්නට තරම් මම බබෙක් නොවේ. මධුලිකා සහ උදානි සිතන්නට ඇත්තේ මම ඒ විදේශික තරුණිය සමඟ රාත්‍රිය ගතකලා කියාය. මගේ හිසට යකා වැහුනි.

 උදානි බය වූ බව පෙනෙන්නට තිබිණ. මම ඔරවාගෙන මධුලිකා දෙස බැලුවද ඇය ඉවත බලාගෙනය. 

'මම මොකෙක් කියලද හිතාගෙන ඉන්නේ?'

මම පිඟාන ගත්තේ එය සමඟ අමානාපයෙන් මෙනි. දඩස් බඩස් ගාමින් , හැඳි ගෑරුප්පු සද්ද කරමින් මම කෑම බෙදනු ඇසුණු කිහිප දෙනෙක්ම මා දෙස බලනු දැනෙද්දී මටම ලැජ්ජා සිතුනි.


 

උදානි මා දෙස බියෙන් මෙන් බලා සෙමෙන් මාරුවී ගියාය. කෑම බෙදාගත් මම මධුලිකා සිටින ඉසව්වක්වත් නොපෙනෙන දෙසකට හැරුනෙමි. ඒ පස සිට කලින් දිනයේ සිටි විදෙස් තරුණිය සිය සුන්දර සිනාවක් පෑවාය. උදානිගේ කතාව සිහිවී ඇතිවූ කෝපය වෙනුවට මම ප්‍රති උත්තර ලෙස සිනාසී ඈ පසුකොට ගියෙමි.

"අඩෝ.. තිකා!"

ආපසු හැරී බැලු මට ඒ අසලම මේසයක උන් තරුණයින් පිරිසක් ඇස ගැටුණි.

"ආ... කොහොමද මචං !"

මා දුටුවනම මාලන් පැන මා වැළඳ  ගත්තේය.මම පිගාන පසෙකට කොට සහෝදර වැළඳගැනීමක් කලේ වම් උරහිස පසෙකිනි. මාලන් මගේ වාහන මිතුරු කවයෙන් මම හඳුනාගත් මිතුරෙකි. මට  වඩා වසර පහ හයකට වැඩිමහල් වූ ඔහුට දියුණු කාගෝ ව්‍යාපාරයක් තිබුණු අතර ඉඳහිට මමත් විරංගත් ඔහු සමඟ සෆාරි ගොස් ඇත්තෙමු.

" අඩෝ උඹ කොහෙද මෙහෙ..?කෝ උඹේ යාළුවා.."

"මම මේ ආව... පොඩි නිවාඩුවකට .. වගේ.. ඌ වෙන වැඩකට කොටුවෙලා..."

"ආ... ඉතින් ඉතින්.... වරෙන් අපේ ටේබල් .. එකට... අඩේ උඹ කාත් එක්කද ආවේ.... අවුලක් නෑනේ... කවුද? එන්න කියපන් මෙතනට"

"නෑ නෑ මම තනියෙන් ආවේ.... කිසි අවුලක් නෑ "

මම එලෙස කියමින් පිඟාන මේසය මත තියා වාඩිවන්නට ලෑස්ති වුයෙමි.

"අනේ අනේ.. අඩෝ ඔතන වාඩිවෙන්න එපා  ඩෝ . .මෙන්න මෙතනට වරෙන් රත්තරනේ...  සරල රේඛාව කැපෙනවා ඔතන වාඩි උනොත්"

මාලන් මා පසෙකට ඇද වෙනත් පුටුවක් ඇද දුන්නේය. මේසයේ උන් කොල්ලන්ද ඒ සමඟම කෑගසන්නට වුහ. මට සිනා නැගී ලබාදුන් පුටුවේ හිඳගත්තෙමි.

"මොන සරල රේඛාවද බං ?"

"මෙන්න මේක .යකොව්..."

මාලන් මා ඉදිරියෙන් අත ගෙනගොස් පසුපසට ඉරක් මෙන් හැඳ පෙන්වද්දී මම ආපසු හරි රේඛාව ඇඳෙන්නේ කොහිදැයි බැලුවෙමි.

"අර ඉන්නේ මුගේ සුටී......."

රේඛාව කෙලින්ම එල්ලවූයේ මධුලිකාත් උදානිත් හිඳ උන් මේසය වෙතයි. මම වහා ඊට මෙහා තිබුණු මේස දෙස බැලුවෙමි. එහි සිටියේ වයසක පිරිමි දෙදෙනෙක් සහ ඊට එහායින් සිටියේ කුඩා පිරිමි ළමයින් දෙදෙනෙකු සමඟ මහලු ගැහැනියකි.

කකුල් දෙක වෙව්ලා ගියද මම දරාගෙන උන්නෙමි. මොවුන්ගේ බැල්ම ගැන වගක්වත් නොමැතිව මධුලිකාත් උදානිත් කතා කරමින් ආහාර අනුභව කරති.

"ආ... අර කොලපාට ගවුමද?"

මම ගණනක් නොමැතිව ඇසුවේ ඉස්සෙකු මුවේ රුවාගන්නා ගමන්මය. පපුව රිදෙන්නාක් මෙනි.

"ඈ ඊ මොකිද... බලපන් අර ගින්දර වගේ කෑල්ල.... අර කහපාට එකක් ඇඳගෙන ඉන්නේ කහ කිරිල්ලි වගේ... හරියටම පොලොස් කොට්ටෝරුවාගේ ඉස්සරහින්.... කොහොමද ගින්දර නෙහ්.... උම්මාආඅහ් "

මාලන් පාකර හැරි හාදුව සමඟ මිතුරන් සියල්ලෝම එක හඬින් සිනාසුනහ.මගේ කන් දෙකෙන් දුම් පිටවෙන්නාක්  වැනිය. එහෙත් මට සිනාවක් නැගුණි.

මම සිටියේ ඔවුන්ට පිටුපා වූ අතර මාලන් ඔවුන්ට මුහුණලා එක එල්ලේ වූ පුටුවේ හිඳ වරින්වර හිස ඔසවමින් බලන අතර යහළුවන් සමඟ සිනාසෙයි.

"ඉතින් කොහොමද බන් ? මොනාද මේ දවස්වල කරන්නේ? "

"ඩඩාගේ බිස්නස් තමයි මචන්... අවුලක් නැහැ ඔහේ ඉන්නවා... "

මාලන් කතා කරනවාට වඩා සිය මිතුරාගේ උරහිසට බරවෙමින් මධුලිකා දෙස ගිලින්නට මෙන් බලාගෙන සිටිනවාය. මට දැන් දැන් කෝපය ඇවිස්සිගෙන එන්නාක් මෙනි. වහා ගෑරුප්පුවත් , හැන්දත් පිඟාන අතහැරි මම ආපසු හැරී බලද්දී මධුලිකාද එකවරම අප දෙස බැලුවේ ඔවුන්ගේ කතාවක සිනාවක් අතරය. 

"අම්මටසිරි... අන්න බැලුවා ! බැලුවා... බැලුවා... බැලුව...... හිනත් උනා.... අම්බෝ.... පපුව...... මචන් වැඩේ ගොඩ වැඩේ ගොඩ..!"

"කොහොමද මචෝ දාපු බැල්ම? ගින්දර නේහ් !?"

ඔවුන්ගේ මිතුරෙකු මාලන්ගේ උරහිසට තට්ටු කරමින් කියද්දී මම ආපසු හැරුනේ පුළුටු කරගත් මුහුණෙනි. මාලන් යනු කවුරුන්දැයි මම හඳුනමි.

වහා දුරකථනය අතට ගත්  මම විදුලි වේගයෙන් පණිවිඩයක් ලියා යැව්වෙමි.

'කෑවනම් යනවා යන්න කාමරේට.. ඔතන සිරික්කිය දාන්නේ නැතුව'

ඒ අගට රතුවූ නපුරු මුහුණක්ද දමා පණිවිඩය උදානිටත් මධුලිකාටත් යන දෙදෙනාටම යැව්වෙමි.

මට මුන්ගේ හොම්බට අනින්නට සිතුන මුත් නොදන්නා පරිද්දෙන් ඉන්නට සිදුවිය.

" හම්මේ මචන් ඇරෙහම හිනා උනා කියන්නේ හරිනේ... "

"ඒකනේ බොසා.... ඊයෙත් මගෑරලා ගියානේ. "

"උස්සන්න ඕනේ මචන් අද නම්..."

මගේ කකුල් නොසන්සුන් කමින් වෙව්ලයි. ඉබේම තොල්පට විකුනේ ආවේගයට මෙනි. මම ආපසු හැරෙද්දී මධුලිකාත් උදානිත් තවමත් කතාවේ සිටින බව පෙනී යකා හිස මත අවුලවා දැම්මාක් මෙනි. වහාම උදානිට ඇමතුමක් ගත්තෙමි 

"හෙලොව්?"

"යන්න නේද කිව්වේ තමුසෙලට?"

"තීක්ෂණ?"

මම දුරකථනය ගෙන මේසයෙන් නැගිට ඇවිද ගියේ මධුලිකා සිටින ඉසව්වට පිටුපාමිනි.

"මම - ආයේ - ආයේ- කියනකල් - ඉන්න නෑ - තේ රුනාද? දුවනවා දෙන්නම රූම් එකට!"

මම කිව්වේ අතරින් පතර වචන වල හිඩැස් තබා දත්මිටි කමිනි.

*******************************************

දුරකතනයට මුහුණ ඔබාගෙන මගේ කාමරයට එමින් සිටි මම හිටිවනම නතර වුයේ සිය කාමරයෙන් එළියට එමින් සිටි උදානිත් මධුලිකාත් නිසාය. මම මාර්ගය වෙනස් කර එතැන තිබුණු සෝෆාවට බරවී එක කකුලක් නවා අනෙක් කකුලේ දණහිස මත තබාගෙන ගණන් නොගෙන මෙන් සිටියෙමි. මගේ කාමරය ඒ අසල බව මොවුන් දෙන්නා දැනගතහොත් අඩව්වක් අල්ලනු ඇත.

උදෑසන සිද්ධියෙන් පසුව මට ඔවුන් සවස් වනතුරුම දක්නට නොලැබුණි. එබැවින් මම ඒ ගැන විපරමකටත් සමඟ ආ බවක් හැඟවීමට මම අකමැති වීමි.

මා දුටුවනම  විශ්මය සමඟ දෙබැම හකුලවා ඔරවාගත් මධුලිකා කට කොනක් ඇදකොට දක්වා සිටිනු  දුටු මට සිනාවක් නැගුණි. 'කාටුන් එකක් වගේ!'

උදානි මා අසල නතර වුවාය.

"කොහෙද යන්නේ?"

මම ඔවුන් දෙස නොබලාම උදානිගෙන් ඇසුවෙමි.

"ස්වීම් එකක් දාන්න යන්නේ... අව්වත් නැහැ... "

මම හිස නොඋස්සා බැලු කොටසේ මධුලිකාගේ ඉඟ තෙක් පමණක් පෙනුනි.

"ඔය බඩකඩිත්තුව අඳින්නේ එහෙම නැහැ මෙතැන !"

නවාගත් හිස යන්තමට ඔසවා මම මධුලිකාගේ කොට කලිසම දෙස වරක් රවා බලා උදානිට කිව්වේ  ක්ෂනයෙනි. රතුපාට කොට කලිසම මධුලිකාගේ ඒ සරාගී දෙපා තවත් උලුප්පා පෙන්වයි. ඒවා මම මිලට ගත් ඒවාද නොවේ. මගේ කෝපය ඒ නිසාද? උදානිට සිනාවක් පැන්නද එය සඟවා ගත්තාය. 

"මේ බලන්නකෝ මේ විකාරේ.... මම කිව්වේ උදානි ඔයාට, ආයෙත් ඇවිල්ල මෙතන දොඩවන්න තියයි කියල... "

මධුලිකා ඒ ක්ෂණයෙන් කිව්වාය. උදානි එක අතකින් මුව වසාගෙන සිනාසුනේ මධුලිකාටය. ඇගේ මුහුණ චප්පවී ගියේය.

".... මට පූල් යන්න කියන්නෙත් දිය රෙද්දක් ඇඳගෙනද? මේ මොන කරදරයක්ද?"

මධුලිකා දඩිස් බිඩිස් ගා අඩි තබමින් ගියාය. මටද සිනා නැගුණි.

"ආ... දියරෙද්ද හොඳයි"

ඈ තවත් කෝපකරවන්නට මම කිව්වෙමි. උදානි සිනාසී මා දෙස බැලුවාය.

"මොනාද තීක්ෂණ එයාව අවුස්සන්න එපා.. පව් කෙල්ල... තව දවස් කීයද ඉන්නේ? ඔය දෙන්නා නම් හැබෑටම විකාරයක්... "

'තව දවස් කීයද ? මගේ පපුවේ කටුවක් ඇනුනාක් මෙන් රිදුනද මම කට කොනකට සිනාවක් නගා ගත්තෙමි.

"... ඇත්තටම තීක්ෂණ... ඇයි ඔය දෙන්න..."

මගේ දුරකථනය නාද විය. සුන්දර් ඇමතු බැවින් ඒ ඇමතුම මගහැරීමට නොහැකි නිසා එයට පිළිතුරු දුන්නෙන් උදානිගේ පැනය එලෙසම නතරවිය.

"මම පස්සේ කතාකරන්නද උදානි?"

"හරි"

උදානි මධුලිකා පසුපසින් වැටුණාය. අලුතෙන්  ලැබුණු ඇනවුමක ගැටළුවක් සම්බන්ධයෙන් සුන්දර් මා අමතා තිබුණු නිසා මම වහා ඒ සඳහා වූ අනෙකුත් ඇමතුම් ලබාගත් අතර ඉන්පසුව කාමරයට වැද ලැප්ටොප් පරිඝනකයේ අනෙකුත් ගණන් හිලව් සහ ලියකියවිලි වල තරමක වෙලාවක් ඇලී සිටියෙමි.

මගේ වැඩ නිමවන්නට හෝරාවක් පමණ ගතවූ නිසා , නිමවූ සැනින් එකවරම සිහියට පත්ව මධුලිකා ගිය නාන තටාකය දෙසට ගියේ මාලන් සහ මිතුරන්  සිහිවීමෙනි. 

සවස නිසා තටාකයේ වටා උන් පිරිස අතර වැඩිමනත්ම සිටියේ තරුණ පිරිසයි. කුඩා දරුවන් කිහිප දෙනෙකු ඔවුන් සඳහා වූ නාන තටාකයේ සෙල්ලම් කරමින් උන් අතර මන්ද ආලෝකය නිසා හාත්පස කහපැහැති විදුලි බල්බ වලින් ආලෝකමත් කර තිබිණ. මගේ දෑස මධුලිකා සොයමින් නොඉවසිල්ලේ දිව ගියේය.

මධුලිකා පෙනෙන්නට නොවූ අතර තටාකයේ ජලයට බැස, මට පිටුපාගෙන උදානි උන්නේ පසෙක තිබෙන බිත්තියේ එල්ලෙමින් පාවෙමින්ය.

මම ඈ වෙත අඩියට දෙකට යද්දී ජලය දෙබෑ කරගෙන ඒ අසලින්ම මධුලිකා මතු වුයේ දියකිඳුරියක් මෙන් ඉහලට එසවෙමිනි. මම මොහොතකට ගොලුවී ගියෙමි.

මධුලිකා උදානි වැළඳගෙන සිනාසෙන්නට වුයේ කුඩා දරුවෙකු පරිද්දෙනි. ඒ මේ අත බැලුවේ මාලන් හෝ ඔවුන්ගේ මිතුරන් ඇතිදැයි කියාය. මගේ සිත ඊර්ෂ්‍යාවෙන් ආතුරව ගොස්ද?

"ඇති දැන් ඔය... එනවා යන්න ගමනක් තියෙනවා දැන් යන්න"

මම දෑතම පපුව ඉදිරියෙන් ගැටගසාගෙන ඔවුන්ගේ ඉස්මත්තේ සිටගත්තෙන් දෙදෙනාගේම සිනාව මදකට වියැකී ගියේය. මධුලිකා එරෙව්වාය. ඔරවන තරමට මගේ සිත තවත් පිබිදෙන්නේ ඇයි ? මම ඇගෙන් පලිගන්නවද?

ආපසු හැරෙන විටම අප සිටිනා දෙසට පැමිණෙමින් සිටියේ මාලන් සහ ඔවුන්ගේ මිතුරු කැලයි. ඔවුන් පිහිනුම් ඇඳුම් ඇදගෙන උන්හ. මගේ සර්වාංගයම දවා ගියාක් මෙන් විය. මාලන්ගේ දෑස තිබුනේ මධුලිකා සමඟමය.

"අඩෝ මචං.. කොහොමද... ? වරෙන් පොඩි ස්වීම් එකකට.... "

මම මෝඩ පහේ සිනාවක් පෑවෙමි.

"දැන් බෑ බන්... රූම් එකට යනවා, මහන්සි"

"...ආඃ..... මටත් හිතෙනවා බන් රූම් එකට යන්න.. මේ නංගිත් එක්කම!"


 

එසේ කියාගෙනම මාලන් ඒ අසලින්ම දියට පැන්නේ යහළුවන්ගේ සිනාහඬ මැද්දේය. මගේ දෑසින් ගිනි පිටවෙන්නට ඇත. නමුත් එය දකින්නට මාලන්ට නොහැකි වුයේ කෑදර දෑස තිබුනේ ඒ සමඟම දියෙන් එළියට එන මධුලිකා දෙස ඇලිගෙන නිසාය. මම මදක් ආපස්සට හැරී බැලුවේ මධුලිකා දෙසයි.

'හත්වලාමේ මේ මොන ජව්සමක්ද මේ ඇඳගෙන ඉන්නේ?'

මධුලිකාගේ කහපාට බිකිණිය දුටු මම ගුවන්ගත වන්නට ආසන්න  රොකට්ටුවක් මෙන් පිච්චි යමින් සිටියෙමි. කහපාට බිකිනියෙන් ඇගේ බුහුටි සිරුරේ වූ සියලු නාරි රටාවන් නොසඟවා සිටියේය. තුරුණු ඇගේ පෙනුමින් වශීකෘත නොවුනේ නම් හේ රෝගියෙකි. ජලයෙන් පිටතට ආ සැනින්, මාලන් හෝ අනෙක් පිරිමි ළමුන් දෙස එකදු බැල්මක් හෝ නොදමා ඔවුන් අතරින් මධුලිකා අඩියට දෙකට ඇවිද ගියේ තුවාය ගත දවටමිනි.

කිසිවෙකුත් ගානකට නොගන්නා මගේ මධුලිකා!

මම ඒ දෙසට නැතත්, තටාකයෙන් පිටතට ඇවිද ආවේ මහා හඬින් අඩිය හප්පමිනි. ලොබියට ප්‍රථම අපගේ කාමර වලට හැරෙන කොටසේදී මට ඔවුන් දෙදෙනා පසෙකින් හමුවිය.

" උස්සල ගහන්න හිතෙනවා පොලවේ!"

මම කුටු කුටු හඬින් දත්කුරු කෑවෙමි.

"මොකක්? මොනාද දැන් කියන්නේ?"

මධුලිකාට මා කියූ දෙය හරිහැටි ඇසෙන්නට නැත. ඇය සිටියේ පිහිනුම් ඇඳුමට උඩින් අඳිනා රෙද්දක් හැඳ තුවාය හිස වටා ඔතමිනි.

මම ඒ මේ අත යමින් , හිසකේ අතර ඇඟිලි යවා සන්සුන් වන්නට උත්සහ කලෙමි.

"අපි දැන් එලියට යනවා, "

මම කට ඇදකොට , ගෙරවීමක් මෙන් කිව්වෙමි. මධුලිකා දෙබැම අකුලවා උදානි දෙස බැලුවාය. මම වරක් ඈ දෙස බලා ඉවත බලාගත්තෙමි. 

"...දැන් ගිහිල්ල ලැස්ති වෙනවා"

මාලන්ගේ කණ්ඩායම වෙන ඈ දැක්වූ නොසැලකිලිමත්කම මා පමණක් පාලනය කොට තිබිණ.

'හොඳ වැඩේ උන්ට... උස්සන්න හිතාගෙන ? බම්බුව තමයි'

කිසිවෙකුත් සෙලවුනේ හෝ කතාකලේ නැත. මගේ කතාවේ අමුත්තක් දැනෙන්නට ඇත. මම උදානි දෙස බැලුවේ විධානයක් දෙන්නට මෙනි.

"තීක්ෂණ.. මේ...... මගේ...."

උදානි පමණක ගොතගසමින් කිව්වේ කුමක් හෝ හොරයකි.

"ඇයි මොකද? "

උදානි මා දෙස බලාගෙනම සිටියාය. මම නිවෙන්නට උත්සහ කරමිනි.

".... මෙහෙම හොටෙල් එක අස්සෙම ඉන්න බැහැ.. අපි ටිකක් එලියට යමු"

මම සාමාන්‍ය ස්වරයට පැමිණියෙමි.

".....ෂොපින් යන්න පුළුවන් මෝල් එකේ..... "

ඇස කොනෙන් දෙදෙනාගේම ප්‍රීතිය මට පෙනුනි.

"...හ්ම්ම් දැන් ඇඳුමක් දාගෙන එන්න"

මම ස්වරය බාලකොට එලෙස පැවසුවේ මාලන්ගේ දෑස මානයෙන් මධුලිකා ඉවත්කොට තැබීම  නුවණට හුරුයැයි සිතුනු නිසාය. 

ඔහුගේ හැසිරීම මා උමතු කරවීමට තරම්ය. සල්ලිකාර මාලන් සිය මිත්‍රයින් සමඟ මෙහි එන්නට ඇත්තේ කුමකටද කියා මට සිතාගත හැකිය. නමුත් , මට ඔහු සමඟ දබරයක් කොට අනවශ්‍ය අවධානයක් ලැබෙන  ආකාරයට ක්‍රියාකිරීම අනුවණකමක්  සිතුනු නිසාය. හෝටල්වල දබර මාධ්‍යවල පළවීම මධුලිකා අනවශ්‍ය අනතුරකට අත වැනීමකි.

"මේ.. අර... මගේ යාළුවා... මේ... උදේශ් එනවා කිව්වා... මේ.. අපි එයත් එක්ක යමුද?"

උදානි ඇඹරෙමින් ඇසුවාය.

"හරි හරි.. කිසි අවුලක් නැහැ.."

මම සිනාවෙමින් කියද්දී උදානිගේ මුහුණ මහත් ආලෝකයකින් පිරින.

*****************************************************


 

උදේශ් යහළුවෙක් නොවන බව නොතේරෙන්නට තරම් මම බබෙක් නොවූ නිසා ඔවුන් දෙදෙනාට පසුපස ආසනය ලබාදී මධුලිකා ඉදිරිපස ආසනයට ආවද, ගමන ආරම්භයේදීම දෙබැම හකුලා එරවූ ඇය ඉන්පසුව වීදුරුවෙන් පිටත බලාගෙන සිටියාය.

මිගමුව මාර්ගයේ නගරයට දිවෙන පසට රථය ධාවනය කරමින් මම මගේ පාඩුවේ ගමන් කලෙමි.

පසුපස ආසනයෙන් ඇසෙන්නේ වරින්වර උස්ව නැගෙන මුකුළුවකි. අතරින් පතර නොයෙකුත් ශබ්දය. ඉබේටම ආ ශබ්දයට අනිච්චානුගව බැලුණු හිස ඉදිරියට හැරවූ මොහොතේ මධුලිකාට මා දෙස බැලුණු අතර අප දෙදෙනාටද සිනාවක් නැගුණි. 

මධුලිකා කට ඒ මේ අත  හරවා ඔරවා සිටියාය. පසුපස කණ්නාඩිය බලා ඔවුන් අපහසුතාවයට පත්කරන්නට තරම් මම අවලමෙකු නොවේ. මම වාහනයේ මෘදු සංගීතයක් දැමුවෙමි.

මම ඔවුන් රැගෙන ගියේ ප්‍රසිද්ධ වෙළඳ සංකිර්නයකටය. එහි ගිය වහාම උදානි උදේශ් සමඟ අතුරුදහන්ව ගියේ පැයකින් පමණ භෝජන අංගනයට එන්නේමැයි කියමිනි. මම මධුලිකා සමඟ දෙවන මහලට යන පඩිපෙළ අසල වූ විවේක කොටසේ හිඳගත්තෙමි.

ඒ වනවිට මධුලිකාට මම මිලටගෙන දුන් Frozen yourgut එක නිමවී තිබිණ. එහි හිස් බඳුන කුණු කුඩයට දමා ආ මා දෙස එකවරම මධුලිකා හිස හරවා බැලුවාය.

"තීක්ෂණ...."

මධුලිකා මෘදුව කතාකරන විට මගේ හදවතට අයිස් මෙන් දැනේ.

මමද හිස හරවා බැලුවෙමි. මගේ බැල්ම එක එල්ලේ ඇගේ දෙතොල් වෙනුවෙනි. අරුමය නම් ඒ දෙතොල් මා චංචල කරන තරමය.

"... මම .... ඔයාට පුලුවන්ද මට ජෙන්ට්ස් රිස්ට් වොච් එකක්  තෝරලා දෙන්න?"

කුමක් හෝ අකුණක් ඒ මොහොතේ අසලට කඩාපාත්වී මා තිගස්සා දැමුවේය. මම කුමක් කියන්නද කියා ඇත්තටම කල්පනා කලෙමි. 

ඒ ක්ෂණයෙන් මධුලිකා මගේ අතින් ඇදගෙන අප සිටි ආසනයට ඉඳුරාම ඉදිරියෙන් වූ සන්නාම සහිත ඔරලෝසු කඩයකට වැදුනාය.

මම කිසිවක් නොකියද්දී මගේ අත මත නොයෙකුත් පැහැයෙන් , හැඩයෙන් සහ මෝස්තරයෙන් යුතු අත් ඔරලෝසු තබමින් හැඩ බැලුවාය. අවසානයේ ඈ විසින් තොරාගත්තේ මගේ ආසාම සන්නාමයෙන් යුතු රිදිපැහැ ඔරලෝසුවයි.

"මේක දෙන්න"


 

මධුලිකා දෑස සිහින්කොට කියා සිය කුඩා පැති බෑගයෙන් ණයවර කාඩ්පතක් ගෙන අලෙවිකාර තරුණයා අත තැබුවාය.

අලෙවි සහායක තරුණයා මා දෙස සිනාසී බැලුවේය.

"මිස් තෝරපු එක සර්ගේ අතට නියමෙට මැච් වෙනවා. ගුඩ් චොයිස් "

"හ්ම්ම්.. ඒක ඇත්ත.. මිස් තෝරලා දෙනවා තමයි හොඳ හොඳ ඒවා"

මගේ වචන මහා අඳුරක් ඒ මුහුණට එකතු කළේය. ඒ මොහොතේ මට මොන යකා වැහුනාද කියා මම නොදනිමි.

මම කිසිවක්ම නොකියා සාප්පුවෙන් එලියට ආවෙමි. මගේ කට ගැන මටම කෝපයක් නැගුණි. ඒ සතුට මම එක මොහොතින් චප්පකොට දැමුවෙමි. එයින් මම ලබනා සැනසීම කීම?

මට පසුපසින් සාප්පුවෙන් මධුලිකා එනු මට දැනුනි. ඇය කෙලින්ම ගොස් සාප්පු සංකීර්ණයේ වෙනත් සාප්පුවකට වැදුනාය. යන්තමට් මම දුටුවේ ඇය අත ඔරලෝසු සාප්පුවේ බෑගයක් තිබුණු බවයි.

'ඇගේ පෙම්වතාට එය ගන්නට ඇත්තේ'

මගේ ඉරිසියාව කොතෙක්ද කිවහොත් මේ දැන් එය ඇගෙන් උදුරා බිම දමා පාගා පොඩිකරන්නට තරම් ආවේගයක් පැමිණියද, මම ගිනිගන්නා සිතින් එය නොපෙන්වා සිටිමි. 

අනතුරුව සාප්පුවෙන් සාප්පුවට යමින් මධුලිකා පොඩි පොඩි සුකුරුත්තම් මිලට ගන්නාතුරු මම ඈ පෙනෙන ඉසව්වකට වී දුරකථනය ඔබමින් උන්නෙමි.

'උඹල හනිමුන් ගියාද දික්කසාද වෙන්න කලින්?'

තාරුක අයියා සිනහවක් සමඟ ලියා ඒවා තිබේ. මට දැනුනේ නිර්වින්දිත අමුතු හැඟීමකි. වහා සෙල්ෆි ජායාරුවක් ගත් මම එය ඔහුට යැව්වෙමි.

'මීගමුවේ'

වහා පිළිතුරු ලැබුණි.

'තනියෙන්?'

'ඔව්'

මම නොසිතාම ලිව්වෙමි.

'ගොන් වස්සා.. උඹ දැන් මටත් බොරු කියනව '

' බොරු නෙවෙයි. එයාගේ ගමන එයා යන්න ඕනේ අය්යා'

මම දුරකථනය නිවා දැමුවෙමි.

තවත් පැයක් පමණ ඇවෑමෙන් අප ඉන් පිටවුයේ භොජනාගාරයෙන් කෙටි කෑමක් රැගෙනය. මධුලිකා උන්නේ පුම්බාගෙන මෙනි. මම සිටියේ මගේ අතට තබා තෝරාගත් ඇගේ පෙම්වතාගේ ඔරලෝසුව ගැන ඊර්ෂ්‍යාවෙන් පුපුරමිනි. 

ආපසු එනතුරුම මමත් මධුලිකාත් එකිනෙකා මගහරිමින් උන්නෙමු.


************************ මතු සම්බන්ධයි ********************

4 comments:

  1. අනේ සංසාරෙ. එයාට යන්න ලෝබයි. මෙයාට යන්න දෙන්න ලෝබයි. මහ පිස්සු විකාර දෙකක්!

    ReplyDelete
    Replies
    1. නෑනේ.. දෙන්නා බැනගන්නවා .. තරහත් වෙනවා :-D

      Delete
  2. සුහදිනි අක්කටත් වැඩාර් වගේ ලිව්වට මොකද මුන් දෙන්නව වෙන් කරන්න පොඩ්ඩක් බෑ බෑ වගේ හිතෙනවද කොහෙද...

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද... මට හරියට මරණ තර්ජන මුන් දෙන්නා හින්ද.. ඒ හින්ද මම හිතුවේ මධුලිකාටත් කලින් රට පනින්න කියල

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...