Sunday, September 3, 2017

133. සුහදිනියේ - 03

කලින් කොටසට 


අම්මගේ බැල්මට මාව කරවෙලා ගියත් සද්දයක් නැතුව මෝඩ හිනාවක් දාගෙන මම බලාගෙන හිටියා. ඩේසි ආන්ටිත් එක්ක නම් මට ඌරු ජුවල් නැග්ගේ.

"නෑ මම කියන්නේ සුභා.... ළමයින්ට අපි ගයිඩන්ස් දුන්නේ නැත්තම් පස්සට තමයි තේරෙන්නේ අපරාදේ කියලා. මම එන්රෝල් කළා අපේ එකාව එදාම. දැන් ලෙක්චර්ස් යන්න ඕනේ, වෙන පිස්සු බැහැ"

මම පොලී මුදලාලිට අහුවෙච්ච ණයකාරයෙක් වගේ ඩිංගක් විතර හුස්මත් ඉහළට අල්ලාගෙන හිටියේ මේ ටිකකට කලින් මගේ කටින් වැටිච්ච වචනෙ ආයෙමත් කටේ දාගන්න බැරිකමට.

"ලොකූ කැමතියි ඉස්සර ඉඳන් බිස්නස් වලට. අපේ මහත්තය උනත් කැමතියි මෙයා බිස්නස් බලනවට. පොඩී තමයි අකමැත්තෙ ඉන්නේ. තාම සතියනේ එග්සෑම් ඉවර වෙලා. තව ටිකක් ඔහේ උන්නාවේ"



අම්මා මම හිතු නැති උත්තරයක් දුන්නට මට පුදුම නැහැ. පිට මිනිස්සු ඉස්සරහ, කොටින්ම හොඳම යාලුවෙක් ඉස්සරහවත් මාව දෙකේ කොලේට දාල කතාකරන්නේ නැහැ. ඒ උනාට අහස වගේ තමයි. කොයි වෙලේ අකුණු ගහලා වැස්සක් කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ.

තවත් ටික වෙලාවක් වන්සේ කබල් ගාලා , දෙවෙනි කෝපි වඩියත් සප්පයාම් වෙලා ඩේසි ආන්ටි ගේට්ටුවෙන් වාහනේ ගත්ත ගමන් තමයි වැඩේ සිද්ද උනේ.

ක්ලබ් එකේ මනස්ගාතයක් හිත හිත , මැගසින් එකක් බලාගෙන ටෙලිෆෝන් එක ගාව බිත්තියට හේත්තුවෙලා , හිටපු මගේ කකුල් දෙකට කරන්ට් පාරක් වැදුනා වගේ දැනිලා මාව උඩ විසික්කා උනා. අම්මා ඉන්නවා වේවැලත් අතේ අරගෙන කාලි මෑණියෝ ආවේස වෙලා වගේ.

"ගුටිකන්න එපා මගෙන්! අඬු කඩනවා බලාගනින් ආයෙමත් ඒ කෙල්ල එක්ක රවුම් ගහලා අහු උනොත්"

හතවලාමේ, මේ මොන හෙනයක්ද? අර කේලමි හින්ද මට වෙච්ච දෙයක්.

"මම මොකද්ද කලේ?"

මගේ බබා පාර්ට් එක හරිගියේ නැති උනත් මට වෙන විකල්පයක් තිබ්බේ නැහැ.

"මොකද්ද කලේ? ඇයි ඇහුනේ නැද්ද? තව එකට එකත් කියන්න එනවා! ඩඩාට කියල ඉල්ලලා ඕනේ වෙලා වගෙයි"

අම්මා වේවැල ආයෙමත් උළුක්කු කරලා පෙන්නන ගමන් කිව්වහම මාව කොලබොක්කත් එක්ක සීතල වෙලා ගියා. කට පියා ගන්න එක හොඳයි, ඇඟට ගුණයි වෙලාවේ හැටියට.

මම හොර පූසෙක් වගේ හෙමින් උඩුමහලේ මගේ කාමරේට යන්න පඩිපෙළ ළඟට ආවා. අම්මත් මගේ පස්සෙන්ම ඇවිත්.

"මට හිතුනා උදෙන්ම ඇවිත් මෙතැන කැරකෙනකොට... චාපාට මෙහෙ එන්න එපා කියන්න මට බැහැ. උඹ කාර් එකේ දාගෙන ගියොත් බලාගෙනයි මීට පස්සේ. රට්ටුන්ගෙන් කතා අහන්න මට බැහැ"

අම්මා කිව්වේ නිකමට නෙවෙයි කියලා දන්නා නිසා මමත් ඉතින් හන්ගොල්ලා වගේ ඇකිලිලා ඔහේ කාමරේට බඩගෑවා.

එතකොටම ගෙදර සාලෙට කවුදෝ හදිස්සියෙන් වගේ දුවගෙන ඇහුනා සාලෙට එන පඩිපෙලත් නැගගෙන.

"ආ.. ආන්ටි... කොහොමද?"

විරන්ගයා!

මට දෙය්යෝ 'සිලිසිලි' ගානකොට සන්තෝසවෙන ආතුරයෙක්ට වගේ සැනසිල්ලක් දැනුනේ. මම නැගපු පඩිපෙල් බාගේ  බැස්සේ තත්පරෙන් වගේ. අම්මගේ මුණ දැක්ක ගමන් විරන්ගයාට උනත් තේරුනා මොකක් හරි අවුලක් ගිහින් කියලා. ඒ උනාට මිනිහා වෙනසක් පෙන්වන්න හැදුවේ නැහැ.

"... අද කටිනේ නේද ආන්ටි? අපේ අම්මලා මෙන්න මේකත් අරගෙන එන්න කිව්වා වෙලාවට"

විරන්ගයා තරම් නළුවෙක් මම දැකලා තිබ්බෙත් නැහැ ඊට කලින්. පාර්සලේ අතට ගත්ත ගමන් නිවී සැනසිච්ච අම්මා දිහා බලනකොට මට විරන්ගයා බදාගෙන ඉඹින්නම හිතුනා අම්මප.

"... ආන්ටි... ඒ උනාට පොඩ්ඩක් අපේ අක්කට කෝල් එකක් දෙනවද මම ගෙනත් දුන්නා කියල. මම වෙන ගමනක් යනගමන් ආවේ... මේ.."

"හා පුතා... ඉන්න මම කතාකරන්නම්."

අම්මා දුරකථනය තියෙන පැත්තට යනකොට විරන්ගයා අතින් පයින් වන වනා මොකද්ද හරුපයක් කියනවා. මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. අම්මා හැරෙනකොට ඒ විකාර අතපය විසිකිරිල්ල නවත්තලා විරන්ගයා අත්දෙක ඉනේ ගහගත්තා. 'මොකද්ද' කියලා අහන්න මම ඔලුව සන් කළා.

"ආන්ටි... මම තීක්ෂණව එක්කගෙන යන්නද පොඩි වැඩකට. හවස කටිනෙට ඕනේ කරන බඩු වගයක් අරගෙන එන්න කිව්වා අක්කලා."

මම බය උනා නම් තමයි. ඒ උනාට ගල් වෙච්ච තැන එහෙම්මම හිටියා.

"ඔය ඉන්නේ... එක්කගෙන යන්න එකයි..."

ඇහුන ගමන් මම පඩි තුන හතරක් උඩට පැන්නා.

".... බලන්න ඔය දරුවා වගේද අපේ පෝරිසාදයා.. කෙල්ලෝ කාර් එකේ දාගෙන රවුම් ගහනවා විතරයි. ඔන්න උඩට ගියා, මගෙන් අදනම් ගුටිත් කෑවා.."

ඒ කියන්නේ අම්මා මම පඩිපෙළේ නතරවෙච්ච විත්තියක් දන්නේ නැහැ. විරන්ගයා ආයෙමත් අතපය වනනවා, මොකක් කියනවද මන්ද!

"ආහ් එහෙමද ආන්ටි.. ඉන්නකෝ මම පොඩ්ඩක් උඩට ගිහින් බලන්නම්"

එහෙම කියාගෙන විරන්ගයා පඩිපෙළේ මම හිටපු තැනට අඩියට - දෙකට පැන්නා. අපි දෙන්නා උඩතට්ටුවට දිව්වේ ඇඟිලි තුඩු වලින් වගේ.

"*** තෝ මොනාද කරන්නේ?"

"යකෝ.. මෙතැන කතාකරන්න බෑ. ලැස්ති වෙලා වරෙන්. අරකි ගැන ආරංචියක්"

කොහොමද මන්ද මට අරකි කියපු ගමන් ඔක්කොම ඇහෙන්නේ නැතුව ගියා. කොරකිද කියල අහන්නෙත් නැතුවම මම කාමරේට පැනලා කලිසමකුයි ෂර්ට් එකකුයි දාගත්ත ගමන් එලියට ආවා නෙවෙයි ඉගිල්ලුනා. කොරිඩෝවේ තිබ්බ කන්නාඩියෙන් මම බැලුවේ ෂර්ට් එක හරියනවද කියල.

"ඉඳහන්... මම නිල්පාට එක ඇඳගෙන එන්නම්.. මේකට මහතයි වගේ"

"මොන හු**** කරනවද මන්ද.... යකෝ.. වරෙන්"

එහෙම කිව්වට විරන්ගයා ඒ ඔක්කොම කියන්නේ පුළුවන් තරම් සද්දේ අඩුවෙන්. අම්මා කෝල් එකේ හින්දා මිසක් මෙලහටත් මේ දඩිබිඩි සද්දයට උඩට ඇවිත්.

එහෙම කිව්වට මම ඇඳගෙන හිටපු ෂර්ට් එක මාරුකරගෙන ආවා. කෙල්ලව දකිනවා නම් මම හැඩට ඉන්න එපැයි ! විරන්ගයා ඌ දන්නා ඔක්කොම කුණුහරප පුළුවන් උපරිම අඩු සද්දයෙන් මුමුණ මුමුණ බිත්තියට හේත්තු වෙලා බලාගෙන ඉන්නවා.

"යමන්..."

යාන්තම් අම්මව ගොඩදාපු හින්දා කාර් එකත් අරගෙන එලියට පැනලා ගේට්ටුව පහුවෙච්ච ගමන්ම මම කලේ කාර් එක අයිනට කරලා නතර කරපු එක.

"මොකද්ද බන්... මොකද්ද ආරංචිය ඒකි ගැන?"

මම කාර් එක නතර කරපු වේගෙට ගැස්සිලා ගියපු විරන්ගයා මගේ දිහා බැලුවේ නක්කලේට වගේ.

"උඹට මොකද්ද හැදිච්ච අස්ස කුලප්පුව? උඹ දන්නවද කවුද කියල?'

"හරි හරි... කෙල්ල ගැන කියහන් තෙපරබාන්නේ නැතුව ඉතින්"

"මම ඒකි ඉන්න තැන හොයාගත්ත!"

 *******************************

ඇත්තටම මගේ හිත මොකද්දෝ අවුලකින් හෝන්දු මාන්දු වෙලා වගේ. තාමත් එහෙම්මමයි. එක්කෝ මගේ හිත මට දොස් කියනවද මන්ද. මම විරන්ගයා කියපු පාරට හරවලා වම් පැත්තේ අයිනට වෙන්න තිබ්බ සර්විස් රෝඩ් එකේ නතර කළා. අද සති අන්තයක් හින්දද මන්ද කඩවල් ඔක්කොම වගේ වහලා. ඒ කඩ පේලියේ අන්තිමට තිබ්බ පොඩි සිල්ලර කඩේ විතරයි ඇරලා තිබ්බේ.

"මචං... සිරාවටම මට දැන් අවුල් වගේ"

විරන්ගයාගේ මුණ දිහා මම බලලා කිව්වේ ඇත්තම තමයි. විරන්ගයා අතේ තිබුන තොප්පිය ඔලුවේ දාගෙන මගේ පැත්ත බලාගෙන දොරට හේත්තු උනා.

"මටත්.... ඒ උනාට මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා"

මම විරන්ගයා දිහා බැලුවා. හැබෑටම මූ හිතන්නේ මගේ හිතින්මද? මටත් හිතුනේ ඒකමයි !

"Do you thinking what I am thinking ? ඉන්ටනැෂනල් ස්කුල් එන කෙල්ලෙක් මොකටද එහෙනම් කොන්වන්ට් එකක ඉන්නේ?"

විරන්ගයා පුදුම උනේ නැහැ. ඔලුව වැනුවා.

"ඒ වගේම.... මට හිතෙනවා.... මේකි බොරුවක්වත් කරනවද කියල"

"ඒ කිව්වේ?"

"අපිව නොමග යවන්න"

"අපිව නොමග යවන්න? උඹ හිතන්නේ අපි හොයන නිසා කොන්වන්ට් එකකට ආවා කියලද? මම හිතන්නේ නැහැ."


අපි ඇත්තටම හිටියේ කොන්වන්ට් එකට හැරෙන පාරට හරියටම විරුද්ධ පැත්තේ නිසා කොන්වන්ට් එකට යන වැලි-බොරළු පාර හොඳට පේනවා. මම ටික වෙලාවක් ඒ දිහා බලාගෙන ඉන්නකොට මට ඒ මතක් උනේ ඈ!

එතකොටම වගේ නිල්පාට වෑන් එකක් ප්‍රධාන පාරෙන් ඒ පාරට හැරෙව්වා. පෙනුමේ හැටියට නම් ඒ පාර තිබ්බේ කොන්වන්ට් එකට විතරයි. පාර දෙපැත්තම පටුයි. දෙපැත්තේම තිබ්බ තාප්ප හින්දා වාහන දෙකකට තියා වාහනේ යද්දී තවත් මිනිස්සු දෙන්නෙකුට හැරෙන්නවත් ඉඩක් නැහැ. වාහනේ එකපාරට නතර වෙලා ප්‍රධාන පාරට රිවස් කරන්න ගත්ත. මම ඔහේ අරමුණක් නැතුව බලාගෙන උන්නා.

වෑන් එකෙන් බිමට බැස්සේ හැඩිදැඩි මිනිස්සු දෙන්නෙක්. ඊට පස්සේ සාරියක් ඇඳගත්ත තලතුනා පෙනුමක් තිබ්බ ගැහැනියක්. පිරිමි දෙන්නා වාහනේ රිවස් කරනකොට ඒ දෙන්නට මොනවදෝ කියපු අර ගැහැණිය බොරළු පාර දිගේ කන්‍යාරාමය පැත්තට ගියා.

"ඒකිට පොෂ් පෙනුමක් බන් තියෙන්නේ. කොන්වන්ට් එකේ ඉන්නවා වෙන්න බැහැ. උඹට ෂුවර්ද? අපි ගිහිල්ල බලමුද?"

විරංග මම බලාගෙන ඉන්න දිහා එකපාරක් බලලා කිව්වේ මගෙන් උත්තරයක් බලාගෙනමයි.

"චැලේන්ජ් කලේ විස්තර දන්නේ නැති නිසානේ. කොන්වන්ට් එකක් ඇතුලට ගිහින් මොකද්ද බන් අපි අහන්නේ? 'අනේ සිස්ටර් අපිට මධූ හම්බෙන්න පුලුවන්ද' අහනවද? Are you crazy"

"මම දැක්කා ඒකි මෙතැනට යනවා ඊයේ"

"ඉතින් බන් යාලුවෙක් හම්බෙන්න ආවා වෙන්න බැරිද?"

"බෑ..."

"ඇයි ?"

"මම තව කෙල්ලෙක්ගෙන් ඇහුවා. ඒකිගේ අර යාළුවා.. අර මල ඉලව්ව..."

මට ඒක කියපු විදියට හිනා ගියා. විරංග එදා සිද්ධියෙන් පස්සේ ඒ කෙල්ල එක්ක පොඩ්ඩක් වැඩියෙන් කතාකරන බව මට එදත් තේරුනා. විභාගේ ඉවර වෙලා අපි ඔක්කොම එළියට ආපු වෙලාවෙත් ඒ කෙල්ල අපි ඔක්කොම ඉන්න තැන විරංගට විතරක් හිනාවෙලා යන්න ගියාම මට ආවේ මාර කේන්තියක්. අර කෙල්ලට බෑනේ ඒ වගේ ටිකක් හිනාවෙන්න. හැබෑවටම ඒ හිනාව නම් පුදුම කාන්දමක්!

".. මේ තොප්පිය දාගනින්... මෙතන ඔත්තු බලනවා නම්"


විරංග දීපු තොප්පිය දාගෙන මම කාර් එකේ එන්ජිම නතර කළා.

අපි දෙන්නා කිසිම කතාවක් නැතුව විනාඩි දහයක් පහළොවක්  විතර හිටියා. ඇත්තටම ඒ ටික වෙලාවට මම ලක්ෂ වාරයක් හිතුවා මේ කෙල්ල ඇත්තටම කන්‍යාරාමයක ඉන්නේ මොකද කියල. කෙල්ල අනාථයෙක් වගේ නම් පේන්නේ නැහැ. මම මේ කෙල්ලට කරන්නේ නරකක්ද කියලත් එකපාරටම හිතිලා, මැකිලා ගියා.

මට ඉබේටම බැලුනේ කන්‍යාරාමයේ පාර දිහා. ඒ වෙනකොට අර නිල්පාට වෑන් එක රිවස් කරලා මුළු පාරම වැහිලා. එතකොටම කන්‍යාරාමයේ විනිවිද නොපෙනෙන , උස , ලොකු ගේට්ටුව ඇරියේ සිස්ටර් කෙනෙක්.

මොකද්දෝ හේතුවකට වෑන් එකෙන් බිමට බැහැලා උන්නු පිරුමි දෙන්නාම එතකොටම වගේ වාහනේට පැන්නා වගෙයි මට පෙනුනේ. මොකද්ද මෙතැන වෙන්නේ?

මගේ විමසිලිමත්කම දැකපු විරංග බෙල්ල හරවලා ඒ පැත්ත බැලුවා.

ඇරුණු ගේට්ටුව ඇතුලෙන් එළියට ආවේ ගෑනු ළමයෙක්. ඒ පිටිපස්සෙන් මීට ටිකකට කලින් ගියපු තලතුනා පෙනුමක් තිබ්බ ගැහැණිය එනවා දැක්කා. ඈතට පෙනුනේ නැති  උනත් ගැහැණියට තිබ්බේ රවුම් මුහුණක්. කොන්ඩේ ටිපිපස්සට කරලා තදට ගැටගහලා තිබ්බ නිසා වෙන්න ඇති ඔලුව පෙනුනේ පාපන්දුවක් වගේමයි. ගේට්ටුව ළඟ ඉඳලා ප්‍රධාන පාරට මීටර් පනහක් විතර ඇති. බිම බලාගෙන , හෙමින් හෙමින් ඇවිදගෙන එන විදියට මට එකපාරටම අඳුනගන්න පුළුවන් උනා. ඒ ආවේ මධුලිකා!

දෙන්නගෙම අත්වල ලොකු බෑග් දෙකක් තිබුනා. ඉස්සරහින් ආපු මධුලිකා පොඩ්ඩක් හැරිලා ආයෙමත් ගේට්ටුව දිහා බැලුවා. කන්‍යා සොයුරිය ඈට අත වනුවාම ඒකට අත වනලා උත්තර දෙන්න පහුවෙච්ච නිසා අර ගැහැණිය ඉස්සර උනා. ගේට්ටුව වැහෙනකල් බලාගෙන හිටපු මධුලිකාට මොනවදෝ අර ගැහැණිය කියනවා වගේ.

මධුලිකා ආයෙමත් ඉස්සරහ බලනකොටම වෑන් එකේ මෙච්චර වෙලා ඉඳගෙන හිටපු උස මහත මිනිස්සු දෙන්නා අඩියට දෙකට මධුලිකාගේ පැත්තට යනවා පෙනුනා.

ඈ හොඳටම බය උනා වගේ අතේ තිබ්බ බෑග් එක අත ඇරලා ආපහු හැරුණත් ප්‍රමාද වැඩියි. වෑන් එක ඒ එක්කම වේගෙන් රිවස් කළා. හිතන්නත් කලින් ඈව ගිලගත්ත වෑන් එක ඇතුලටම සියලු දෙනා රිංගනවා මම දැක්කේ අදහගන්න බැරි වේගෙන්.

මටත් විරංගටත් ෆුල් හොල්මන්!

"අඩෝ... මොකද්ද ඒ උනේ? අර කෙල්ල නේද ඒ?"

"මචං.. කිඩ්නැප් කරනවද?"

දුන් දාගෙන වෑන් එක අපිවත් පහු කරගෙන ප්‍රධාන පාරේ දිගේ යනවත් එක්කම මමත් තව හිතන්නේ නැතුව එන්ජින් එක ඔන් කරලා වාහනේ පාරට ගත්තා.

වෑන් එකේ වීදුරු ඔක්කොම කළු කරලා තිබ්බ නිසා ඉස්ස‍ර සීට් එකේ උන්නු රියදුරුගේ ජායාව ඇරෙන්න වෙන කිසිම දෙයක් පෙනුනේ නැහැ. රියදුරු ඇඳගෙන හිටියේ ලා නිල්පාට ටීෂර්ට් එකක්.

"මචං.. ගානට පලයන්.... ෆලෝ කරනවා කියලා තේරෙන්න නරකයි... "

විරංග එහෙම කියලා අපි දෙන්නම මූණෙන් මුණ බලාගත්තා. මගේ පපුව ගැහෙනවා පිටි මෝලක් වගේ. මගේ බය ඌට තේරුනා වගේම උගේ බයත් මට තේරුනා. ඒ උනාට කොහෙන්දෝ ආපු ආත්මශක්තියක් විසින් මගේ සුකානමේ තිබ්බ අත්දෙකට පණ දුන්න නිසා සෑහෙන පරතරයක් තියාගෙන් අම්ම ඒ වෑන් එක පස්සෙන්ම ප්‍රධාන පාර දිගේ යන්න පටන් ගත්තා.





මධුලිකාව පැහැරගෙන යනවාද?

19 comments:

  1. ඉතින් ඊට පස්සෙ.........

    ReplyDelete
  2. අද තමයි මේ පැත්තට මුලින් ම ආවේ.
    ලස්සන කතාවක්
    මගේ බ්ලොග් රෝල්ට දාගන්න ඕන

    ReplyDelete
    Replies
    1. ආවට බොහොම ස්තුතියි.....

      Delete
  3. Replies
    1. වැට පනින්න එහෙම එපා

      Delete
  4. /ඇහුන ගමන් මම පඩිපෙල් තුන හතරක් උඩට පැන්නා. /

    පඩිපෙල් නෙවෙයි යෝදියෙ පඩි...:)

    ReplyDelete
    Replies
    1. හරි හරි ශෑර්.. ඔන්න හැදුව....... අම්මප උඹත් දවසකටත් මනුස්පයා.. අර ඩිටෙක්ටිව් කතා කියෝ කියෝ ඉඳල ඇවිල්ල මෙතැන ශර්ලොක්ස් හෝම්ස් වගේ ඉව අල්ලනවා.... එහෙම එකක් නැහැ හලෝ

      Delete
  5. කලින් කොටසට ගියාට වැඩක් තියෙනවද ... කලින් කියවපු මමත් ආයෙ ගිහින් බැලුවා යකඩෝ මට කොටසක් මිස් වෙලාද කියලා. නෑ මේ ලිඛිත නෝනගේ හැටි කියලා තාම තේරුම් ගන්න බැරි උනානේ.ඉවර කරපු තැනින් කවද්ද පටන් ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. හත්වලාමෙයි... දැන් මට කියන්නේ මේක මල්ලේ පොල් කියලද? හය්යු.... හරි හරි මැඩම් මම මීට පස්සේ එකට එකක් ගැටගහලම ලියන්නම්කො...

      (මේ.. අර සුවඳ පපුවලට කවි ලිය ලිය ඉන්නේ අර කතාව ලියනවද දෙය්යන්ගේ නාමෙට!)

      Delete
    2. පිච්චුද එහෙම කරන්න එපා ... මේ විදිය සෝයි... මමත් මෙහෙම ලියන්න පුරුදු වෙනෝ

      Delete
    3. මේක නවකතාවක් නෙවෙයි. කෙටි-දිග කතාවක්. ඒ හින්දා සමහර දේවල් ලියවෙන්නේ තැනින් තැන. අමුනාගන්න වෙනවා අන්තිමට. එක දිගට දාන්න බලන්නම්කෝ

      Delete
  6. ලස්සනට කතාව යනවා. ඉක්මනට ඊලග කොටස ඕනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඉන්ට ටිකක් ඉවසලා

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...