කලින් කොටසට
නිල්පාට වෑන් එක පිටිපස්සෙන් මම ගියේ සෑහෙන පරතරයක් තියාගෙන. විරංග බයේ මැරෙන්න හැදුවත් වෑන් එක මම හිතුව තරම් වේගයෙන් ගියේ නැති නිසා මම නිකමට වගේ එක පාරක් ඉස්සර කරලා බැලුවා. කලබලයක් හරි වෙනත් අමුත්තක් හරි පෙනෙන්න තිබ්බේ නැහැ ඩ්‍රයිවර්ගේ උනත්.
"මචං.. සිරාවටම මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියල. ඒකිව බලෙන් නේද දාගත්තේ?"
විරංග එහෙම ඇහුවේ දහවෙනි වතාවට වෙන්න ඕනේ. මටත් හිතුනේ ඕකමයි. ඒ උනාට කෙල්ල වෑන් එකට බලෙන් දාගත්ත බව නම් දෙන්නම දැක්කා.
"පොලිසියට කියමුද?"
"පොඩ්ඩක් හිටපන්"
විරංග උගේ ජංගම දුරකථනය අරගෙන ඇමතුමක් ගත්තා.
".......... අම්මා... ඔව් ඔව්.. මම මේ යන ගමන්... තිබුනේ නැහැනේ. කඩේ වහලා...ඔව්.. මම යනවා අනිත් කඩෙන් ගන්න... කියන්න බැහැ සෙනග හිටියොත් වෙලා යයි. කෝකටත් මාමට කියන්න ඔයාලව දාන්න කියලා.. හරි හරි.. බායි "
විරංග එහෙම ඇමතුමක් ගත්තේ ඇයි කියලා මට ඒ වෙලාවේ තේරුනේ නැහැ. කටිනෙට බඩු ගන්න ආපු අපි දැන් මේ කෙල්ලෙක් එක්ක යන වෑන් එකක් ෆලෝ කරන බවත් අපේ ගැලවිජ්ජාවට කිසිම දෙයක් නැති බවත් මට කල්පනා උනේ ඊටත් පස්සේ.
මගේ ඔලුව පිරිලා තිබ්බේ මධුලිකාට මේ වෙන දේ විතරයි.
" මචං.. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. එක්කෝ කෙල්ල මුන්ව කලින් දන්නවා. ඒ උනාට යන්න අකමැතියි. නැතිනම් මේ කෙල්ල මුන්ව දන්නේ නැහැ, කොටිම්ම මේක කිඩ්නැප් සීන් එකක්....."
"...........?"
" පලවෙනි කාරනාව නම්, අපි පොලිසියට කියන්න ඕනේ නැහැ. ඒකි බලාගනිවී. ඒ උනාට... කාරනාව දෙවැනි එක නම්... අපි පොලිසියට කියන්න ඕනේ... මේ කොයි හරියේද බන්?"