Monday, February 27, 2017

66. ඔබ ඇවිත් යන්න එන්න... - 04

04
-----------------------------------------------------------------------------------

නෑම වෙච්ච කොටසක් විතරක් කියල ජාඩියාව පොලිසියට යන්න එන්න කැමති කරවා ගත්තා. ඇයි දෙය්යනේ ක්ලාස් යන්න විදියක් නෑ කාඩ් නැතුව. ටික්කගේ පුස් රැස් බලනවට වඩා හොඳයි හොරෙන් රිංගන එක. එහෙම ගියොත් ටියුට් නෑ. ඊට වඩා හොඳයි නොගිහින් ඉන්නෙක. අපි දෙබාන හැම ටික්කටම නෝට් නිසා ඒ වැඩේ කරන්නත් බෑ.

පොලීසියේ දොරකඩ හිටපු පොලිස් රාලහාමි අපි දෙන්නගෙම  උඩ ඉඳල පහලටම බැලුවා. දැක්ක ගමන් කූඩුවට දාන මුණක්ද අපි දෙන්නට තියෙන්නේ?

"දවස් තුනකට කලින්?"
හරියට ඌ අහන්නේ උගේ දෙයක් මම දැක්කද වගේ.

"ඔව්"

මම පුළුවන් තරම් සප්ත ස්වරයන් එකතු කරලා කිව්වා.

"ආ.. අර මහයියාවේ වෙච්ච ඇක්සිඩන්ට් එකද? ඉතින් මොකද? ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ. ඒ මැඩම් වරද පිළිගත්තා; නඩු නෑ වැඩේ ගොඩ"

"එතැනදී මගේ පර්ස් එක නැති උනා"

"ඉතින් මම මොනවා කරන්ඩද? ඈ ?"

අනින්ඩ හිතෙනවා මුගේ හොම්බට.



"මමයි ඒ ලෙඩාව හොස්පිටල් එකට ගෙනිච්චේ.... ඒ ටිකට එක්කෝ මගේ පොකට් එකට විදලා. නැත්තම් කොහේ හරි වැටිලා.. හැප්පුණු එක්කෙනාගේ නැතිවෙච්ච පර්ස් එක ලැබුනලු නේද? මගේ පර්ස් එකත් ලැබුනද බලන්නයි මම ආවේ"

මම මුගේ මුස්පේන්තු මුණ ගැන හිතින් අමතක කරගෙන කියාගෙන කියාගෙන ගියා. කොස්සා බුලත් හපේ කටේ එක කොනකට කරගෙන බලාගෙන හිටියා.

"ඔව්.. ඒ මැඩම්ගේ පර්ස් එක ලැබුන තමයි. එත් එහෙම කියලා ඔහේගේ පර්ස් එකක් ලැබෙන නීතියක් නැහැනේ.  අපිට එහෙම එකක්  ලැබුනේ නැහැ"

අම්මප මුගේ කට ගල් ගෙඩියකින් තැලුවත් හිත් වදිනවද? මට මුගේ ඔලු ගෙඩියට තලාගෙන තලාගෙන තලාගෙන යන්න හිතුනා. මනුස්සයෙකුට කතාකරන්න දන්නෙවත් නැති හැටි!

"උගේ අම්මට.....!!!%$%$%$%...."

මම පොලිසියේ ගේට්ටුවෙන් එලියට ආවේ දත්මිටි කන ගමන්.

"... ඌට බැරි උනා පර්ස් එකක් ලැබුනේ නැහැ කියල ඒ විදයට කියන්ඩ. ඌට හොම්බ කුඩුවෙන්න ගහනවා තව ටිකක් හිටිය නම්"

මම හිටියේ රතු කට්ටටම තද වෙලා.

"අත ඇරලා දාපන් ඔය උලව් පර්ස් එක. මේ දවස් දෙකට හොරෙන් පැනපන්. මම ටියුට්ස් ටික ගෙනත් දෙන්නම්"


චලනයා ගැන මට විස්වාසයි. ඌ හොඳ එකා.
අපි දෙන්න අතරේ ප්‍රශ්න නැහැ. ඔය ඉඳල හිටලා උපන් වෙලාවේ වැරැද්දට කොක්කක් දාගත්තත් අපි දෙන්නට දෙන්නම නැතුව බෑ. ඉස්කෝලේ ගියේ; පන්ති ගියේ; කන්නේ; බොන්නේ ; ගමන් යන්නේ ඔක්කොම එකට. ඇඳුම් අඳින්නේ එක විදියට. චලන ජාඩියායි , මම මුඩියායි උනෙත් ඒ හින්දා. අපි දෙන්නා එකවගේ ඇඳගෙන පන්තියට එනකොට කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් 'සූ' කියනවා.

"හැප්පුනේ කෙල්ලෙක් නේද?"

"ඔ.. ඔ.. ඔව්.. ඇ - අ- ඇ යි?"

චලනයා මගේ දිහාම බලාගෙන ඉන්නවා.

"උඹ එයාව බලන්න ගියාද?"

හුටස්.... මට බොරු කියන්නත් බැහැ. මොකද්දෝ කාලකන්නිකමකට ඇත්ත කියන්න හිතෙන්නෙත් නැහැ.

"යන්න හිටියේ ඊයේ. යන්න බැරි උනා"

ඒක බොරුවක් නෙවෙයි. ඇත්තකුත් නෙවෙයි. මම කිව්වේ නැහැනේ පෙරේදා ගියේ නැහැ කියලා . ඊයේ යන්න හිටියා තමයි; යන්න බැරි උනානේ. ඉතින් බොරුවකුත් නෙවෙයි.

"උඹ දැන් යනවා නම් මං එන්නං "

"ත්.. ත්.. තාත්ත කිව්වා නේද ඔෆිස් එකට එන්න කියල. උඹ පලයන්.. මම ටාර් ගාල හොස්පිටල් එකට ගිහින් එන්නම්. සමහරවිට එයාට පර්ස් එක ලැබිලද දන්නෙත් නැහැ"

චලනයා මගේ දිහා මොහොතක් බලන් ඉඳල ඔලුව වැනුවා 'හා' කියන්න වගේ.

මම ලෙඩ්ඩු බලන වෙලාව පහුවෙන්න ගිහින් තිබ්බ නිසා ගියේ දුවගෙන. කොරිඩෝව දිගේ දුවගෙන යනකොට ආයෙමත් මට ඒ ඇස්දෙක මතක් උනා. හෙමින් දොර ඇරලා ඇතුලට එබෙනකොට මම දැක්කේ ඒ වෙනකොට එයාට හොඳටම නින්ද  ගිහින් කියලා. මම හෙමින් ඇවිදගෙන ලඟට යනකොටම ගැස්සිලා වගේ එයා ඇහැරුනා.
මම හිතන්නත් කලින් එයා මගේ අත ඇදල අරගෙන එයාගේ අත්වල අල්ලට තදකරගත්තේ මාව හොල්මන් කරවාගෙන. ඒ මුණේ තිබ්බේ උතුරන සතුටක්. ඒ වගේම මොකද්දෝ වේදනාවක්. නිකිණි පුදුමාකාර ලස්සනට මට පෙනුනේ ඇයිද කියල මට හිතාගන්න බැරි උනා. මම කසාය බීපු ගොළුව වගේ ඇඹරෙන්න ගත්තා.

"ඔයා.. එයි කියල මම ඊයෙත් බලාගෙන හිටිය.. ඇයි ආවේ නැත්තේ...? මාව මතක නැති උනාද?"
මාව ගල් උනා. යන්තම් කෙල ගුලියක් ගිලලා මම සාමාන්‍ය වෙන්න උත්සහ කළා.

"ම.. මම.. මට හදිස්සි වැඩ ව.. ගයක්.. තිබ්බ.. ඒකයි "

මගේ වචන පැටලෙනවා.

"මම කොච්චර බලාගෙන හිටියද"

කෙල්ල තාම හිටියේ නින්දෙන් ඇහැරිලා වගේ. එක්කෝ මම හීනයක් බලනවද? මම අනික් අතින් මාව කොනිත්තගත්ත. අඩේ.. හීනයක් නෙවෙයි. ඔන්න එතකොටම නිකිණි ගැස්සිලා වගේ මගේ අත අතෑරලා ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

"සොරි... අනේ සොරි.. මට සමාවෙන්න.. මට පිස්සු"

"ඒ.. ඒකට කමක් නෑ "

මම හිනාවෙලා සැහැල්ලු බවක් පෙන්නුවට ඇතුලේ ගිනි කන්දක් පුපුරලා ලෝදිය ගල ගලා පොලව පිච්චෙනවා වගේ මගේ හිතත් පිච්චෙනවා වගේ දැනුනේ.

"අනේ මට පිස්සු.... ඔයා පොරොන්දු උනෙත් නැහැනේ එනවා කියල. පිස්සු මට.. මට නිකම්ම කිය උනා"

"ඒ.. එකට කමක් නෑ.... මම ග-නන් ග-ගත්තේ නෑ"

මම උරිස්ස ගස්සලා කිව්වා. දනිස් පොල්කටු දෙක 'ටක ටක' ගගා එකට වදිනවා වගේ. නිකිණි මගේ දිහා යන්තමට බලලා සමාව ඉල්ලනවා වගේ අහිංසක විදියට හිනා උනා.අම්මේ.... අර ගිනි කන්දට අයිස් වැටෙනවා වගේ..
පොඩි උනත් ගැඹුරු නිහඬතාවක් අපි දෙන්නා අතරේ. මට එකපාරටම හිතුනා ගණන් ගත්තේ නැතුව වගේ ඉන්න.

"මම අදත් ආවේ අත්දෙක වන වන.. සොරි"


මම අයිස් බිඳිමින් කතා කලේ සාමාන්‍ය වෙන්න. ආයෙත් නිහඬතාවයක්. ඊට සුළු මොහොතකට පස්සේ තමයි උත්තරේ ආවේ.

"ඒකට මොකද... අය්යෝ ඒවා ඕනේ නැහැ. මගේ ටිකට් කපයි හෙට අනිද්දම.. දැන් වැඩි අමාරුවක් නෑ..."

ආයෙමත් ඒ විදුලියක් වගේ හිනාව. රෝස පෙත්තක් වගේ මුණක්!

".. ඔයාව අඳුන්නල දෙන්න බලාගෙන මම හිටියේ. මගේ යාලුවොත් ඊයේ ඇහුව. වාඩිවෙන්න"

මම ළඟ තිබ්බ පුටුවකට බර උනා. පුන්කලසකට වතුර පිරිලා ඉතිරිලා යනවා වගේ හිත පිරෙනවා වගේ මට දැනුනේ.

"ඒ කියන්නේ ඔයාට දැන් හොඳයි"
"එහෙම තමයි කියන්නේ"

එහෙම කිව්වහම ඒ වචනවල වෙනත් අර්ථයක් ඇතියි කියල මට හිතුනේ. මගේ මනෝ විකාර. ඒ වචන හරි අමුතුයි. මට ඒ උනාට දැනෙන්නේ කාලයක් තිස්සේ දන්නා කෙනෙක්ට කතාකරනවා වගේ.

"ඩොක්ටර්ස්ලද?

"ඔව්.."

නිකිණි එහෙම කියල ඔලුව ඇලකරලා හිනා උනා. මම ඉක්මනට ඇස්දෙක අහකට හරවගත්තා. මගේ පපුව 'ඩක් ඩක්' ගගා එලියට ඇහෙන තරම් සද්දෙන් ගැහෙනවා.
මම මෙච්චර බය මොකටද? චිරනිට අහුවෙයි කියලද? ගෙදරට අහුවෙයි කියලද? නැත්තං.. මගේ හිතේ හොරයක් හින්දද?

"ඒ කියන්නේ හෙට ඔයා යනවා"

"හ්ම්ම්.. ඔව්... එහෙනම් අපි ආය මුණගැහෙන එකක් නැහැ නේද?"

"මේ පුංචි ලංකාවේ ආයෙමත් මුණ නොගැහෙන්නේ කොහොමද ?"

"ඔයා එන්න අපේ ගෙදර. මම අඳුන්නල දෙන්නම් ගෙදර අයට "

"ගෙවල් කොහෙද ළඟද?"

"ප්‍රිම්රෝස් වල"

මගේ කටේ කෙල හිඳිලා ගියා.

"බ.. බලමු"

"බලමු නෙවෙයි.. කවදද එන්නේ.. අනිද්දා... ඉරිදා?"

මම මුකුත් කියන්නේ නැතුව ගල් ගැහිලා හිටියා. ඒ එක්කම මගේ අත අද්දරින් ඇඳ උඩින් ඈ තිබ්බේ එයාගේ මුතු අකුරෙන් ලියපු ලිපිනයක්.

මම සද්දයක් නැතුව ලී කොටයක් වගේ හිටියා. ඒ මොහොතෙන්ම නිකිණිගේ  මුණ බලාගෙන ඉන්නකොට මැලවිලා ගියත් ආයාසයෙන් නගාගත්ත හිනාවකින් ඈ ඒ කොලේ දිහා බලාගෙනම කතාකලා.

"මට පිස්සු... ඔයාට වෙන වැඩ නැතුවද. මගේ ඔලුව හොඳ නෑ... ඔයාට කරදර කරන එක වැරදියි... අනේ සොරි"

නිකිනිගේ අත කොලේ ගන්න එද්දී මම ඒ කොලේ අතට ගත්ත.

"මම එන්නං... ඒත් දවසක් කියන්න බැරිවෙයි. ඔයා හෙටම යන එකක් නැහැ නේද?"

මගේ දිහා බලාගෙන ඉන්න බැරුව වගේ නිකිණිගේ ඇස් බිමට බරවෙලා, බෙඩ්ෂිට් එක කොනහමින් ඇගේ අත් !

"කියන්න බෑ "

ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි. ඉතින් මම යන්න ඕනේ. මේ ටික වෙලාවට මහා ලොකු කාලයක් ගතවෙලා වගේ මට දැනුනේ. මොකද්දෝ එකක් වෙලා මට.. මොකද්දෝ අඩුවක් සම්පුර්ණ උනා වගේ. හොස්පිටල් එකෙන් එලියට එනකොට මම කුරුල්ලෙක් වගේ සින්දුවක් ගහගෙන; පියාඹගෙන ආවේ.

මේ නන්නාදුනන කෙල්ල ගැන මට මහා දුකක් දැනුනේ. ඒක දුකක්මත් නෙවෙයි.. එහෙනං මොකද්ද?

 --------

වෙනද වගේම අට පහු වෙලා පන්තියට යද්දී පන්තිය පටන් අරගෙන. මම ජාඩියාගේ පිහිටෙන් ඇතුලට පැනගත්තා හොරෙන්ම. මරු! අද චිරනිත් ඉන්නේ පිටිම පිටිපස්සේ. පරක්කු වෙලා එන්න ඇති..

"ආ... අද දවල්ටත් එක්ක කාලද ආවේ?"

මූන් ලයිට්! ඒකිත් මෙතන. මල පපඩමයි. චලනට නම් ඉඩක් ලැබුනා. කොහෙද.. මට ඉඩක් පේන්න වත් නැහැ. මම ටිකකට මුල්ලේ වාඩිවෙලා හිටපු චලනයාගේ කකුල උඩින් වාඩි උනා. සර් හෝ ගාල උගන්නනවා. ඔක්කොම ග්‍රීක් වගේ.

"උඹේ බඩුව ගාව ඉඩ තියෙනවා. පලයන්"

මගේ බර දරාගෙන ඉන්න බැරුව චලනයට ඕනේ මාව එලව ගන්න. මම නෙවෙයි හෙල්ලුනේ. ක්ලාස් එකේ කෙල්ලෝ අස්සේ ඉඳගන්න ගියෑකිද ? තමන්ගේ කෙල්ල ළඟ උනත් යන්න හොඳ නැහැ, සෙවලයි වගේ.

"මෙහෙම හොඳයි"

"ඔව්.. උඹට ආතල්.. මට කිතුල්"

චලන එහෙම කිව්වට මාව බිම දාන්නේ නැති බව ෂුවර්. අපිට ඉස්සරහ පේලියේ ඉඳල මූන් ලයිට් එයාගේ චැනල් එක කරකොනවා හැරි හැරී... මල වදයක්නෙ... චඃ චිරනි දැක්කොත් මල තොප්පියයි. මුන්ට බෑනේ ටිකක් අක්මාව පාවිච්චි කරන්න!

"චලන..! ඉඩක් දෙන්නද?"

"ඇයි තියෙනවද?"

"මේ පේලියේ කොනට එක්කෙනෙක්ට එන්න පුළුවන්"

ජාඩියයි මමයි මූණෙන් මුණ බලාගත්ත.

"උඹ පලයන්"

"උඹ පලයන්"


"උඹ පලයන්"

"උඹ පලයන්"

අපි දෙන්නගේ පොරකෑමට වටේ හිටපු කෙල්ලෝ රවන්න ගත්තා. අපි වගේයැ. උන් කන පලාගෙන සර් කියන දේ අදහාගෙන; කට බලියාගෙන නේ ඉන්නේ.

"පලයන් බං... උඹේ ඇබට් එකනේ"

මම යන්තම් චලනයාව තල්ලු කළා. අපේ වලි; ගුලි මොනවා උනත් සර් උගන්නවා. මේ කෝටි ප්‍රකෝටි ළමයි ගොඩේ අපි ගැන විතරක් හොයයි යැ ?
චලනව ඉස්සරහට තල්ලු කරලා මමත් හරි බරි ගැහිලා වාඩිඋනා. චිරනි හැරිලා බැලුව. මම ඇඟිලි දෙකෙන් සැලුට් පාරක් දැම්ම.

'මලා..' මුණ නම් හොඳ නැහැ. ඒ පාර මොන බම්බුවක්ද?

සති දෙකක් ආපු නැති නිසා ඔක්කොම ඉවරයි. ඒත් එදා කියපු ගණන් ටිකනම් ඔක්කොම හැදුවා. චලනයාට නම් කිසි ගානක් නෑ. මට නම් අම්බානක බඩගිනියි.


"කලින් යං බං... මට බඩගිනියි"

"බෑ බෑ හිටපන්. තව පැය බාගයයි නේ"

මට නම් ඉන්ඩ හිටින්ඩ බැරි තරමට බඩගිනියි. මම ඩෙස්ක් එකේ ඔලුව තියාගත්තා.

"කලන.. ඉඳා"

මම ඔලුව ඉස්සුවා. බිස්කට් පැකට් එකක්. මම පැනපු ගමන් උදුරගත්තා. හරියට බුරියානි එකක් දැක්ක වගේ.

"කොහෙන්ද?"

"මෙයාලගේ"

අප්පට හුඩු. මූන් ලයිට් දැන් චලනයට බිස්කටුත් බෙදනවද? හරි හරි ඔහොම යමු... මම සේරම කාලා හිස් කොලේ ආයෙමත් දුන්න. නැත්තම් තරහ උනොත් එහෙම?

"තැනක් යූ වෙරිමච්... හැමදාම ලැබෙනවා නම් කියල හිතෙනවා"

මූන් ලයිට් එයාගේ කෙල්ලෝ පොදියත් එක්ක බෙලිකටු මල්ල හෙලෙව්වා. මලා.. චලනයාට ඉනාවක් දුන්නද දන්නේ නැහැ. කොහෙද ඔක්කොම කෑවේ මමනේ. ඉනාවල් කෑවම බඩ රිදෙනවලු. මම බලාගෙන හිටියා බඩ රිදෙනකල්. තාමනං එහෙම දෙයක් නැහැ. ඒ අස්සේ පන්තියත් ඇරුනා.

ඉගැන්නුවේ මොනවද කියල මතක නැහැ. පන්තියෙන් එලියට පනිනකල්නේ හිටියේ. මම ඉක්මනට හෝල්ට් එක පැත්තට ගියේ චිරනි සාමාන්‍යයෙන් එන තැනට.

"මොකද්ද බන් මූන් ලයිට්ගේ කරුණාව?"

"මම දන්නවය? ඇයි උඹට ඉරිසියද?"

"අපෝයි වැඩේමයි. ඒකිත් බඩුවක්ද? ඊට වඩා හොඳයි... අර නංගිලාගේ පන්තියේ පොල්කිච්චෝ ටික.. අන්න උන්"

"අඩෝ මූඩිය.. ඔහොම ඉඳපන්...."

ටෙරන්ස් දුවගෙන ආවේ හති දාගෙන.

"මොකද්ද බන් අර මොකද්ද පත්තු උන් හනුමන්තා වගේ?"

"උඹත් එක්ක මට කතාවක් තියෙනවා"

"ඒ කියන්නේ මාත් එක්ක කතාවක් නෑ කියන එකනේ. හරි හරි.. මම යන්නං"

"ඔන්නොහෙ හිටපං යකෝ. ටෙරෝ.. උඹ කියපන්"

"නෑ නෑ මම හෝල්ට් එකේ ඉන්නම්.. උඹල වරෙන්"

"ආ.. ඔව් දැන් මූට ඉන්නවනේ බස්වල හුලන් බල බල ඉන්න කෙනෙක්.

ජාඩියා මඩ පාරත් කාගෙන හිනාවෙලා යන්න ගියා.

"මොකද්ද බං ප්‍රශ්නේ?"

"උඹ ඊයේ හොස්පිටල් එකට ගියාද?"
මගේ කකුල් දෙක පන නැති වෙලා; ඇස්දෙක නිලංකාර වෙලා යනවා වගේ දැනුනා.

"ඇයි.. මෝ.. මොකද්ද ප්‍රශ්නේ? ච.. චිරනිද අහන්න කිව්වේ?"

"ඇයි? උඹ ගියානේ ඒ කියන්නේ. චිරනි නම් නෙවෙයි ඇහුවේ. මොකටද උඹ හොස්පිටල් එකට ගියේ?"

"එළවලු ගේන්න ගියා"

මම ගත් කටටම කිව්වා. මම ගියා කියල දන්නවා නං කියපු එකා ඉතිරි ටිකත් කියන්න ඇතිනේ. මගේ පපුව දෙමෝලෙන් පිටි කොටනවා.

"උඹට මල පනිනවනේ පොඩ්ඩ ඇත්තම්. උඹ බඩුවක් බලන්න නේද ගියේ?"

"කවුද බං උඹට ඔය ටොම් පච කියන්නේ?"

"උඹ ගියේ හොර ගමනක් නම් අවුලක් නැහැ. ඒත් මට ආරංචි උනු හැටියට කෙල්ලෙක් බලන්න තමයි"

"කවුද උඹට කිව්වේ."

"ජොකියා... ඌ ඉඳල තියෙන්නේ උඹ ගියපු වෝඩ් ඒරියා එකේ"

හුටා! ඉවරයි... ජොකියා කියන්නේ චිරනිගේ මස්සිනෙක්. මල තොප්පියයි. චිරනිගේ මුණ නරක වෙලා තිබ්බේ ඒකයි එහෙනම්.

"කවුද බන් ඒ කෙල්ල?"

මම යටිතොල හපාගත්තා. ජංජාලයයි. එක අතකට මම මොකටද බය වෙන්නේ? නිකිණි කියන්නේ කවුරුවත්යෑ ? හංගන්න දෙයක් තියනවායෑ ? ඇත්තටම හංගන්න දෙයක් නැද්ද??

"මං උඹට කියන්නම්කො. සිම්පල් එකක් බන්. චිරනිත් දන්නවද?"

"මම නම් කිව්වේ නෑ. දන්නවද නම් දන්නේ නෑ. උඹ වරෙන් අපේ ගෙදර හෙට. මම විස්තරේ කියන්නම්"
ටෙරන්ස් ගියේ මගේ ඔලුව විකල් කරලා. මම හෝල්ට් එකට යනකොට චිරනි ඇවිත් චලන එක්ක කතාවක් දාගෙන ඉන්නවා.

"අදත් පැටලිලාද ?"

මම එහෙම අහගෙන සාමාන්‍ය වෙන්න උත්සහ කරගෙනම චිරනි දිහා බැලුවා විතරයි. චලන මට ඇහැක් ගහලා බාර් එක උඩ වාඩි උනා.

"මොකද අද පන්තියේ කෑගැහුවේ"
ඒ කියන්නේ සිද්ධිය දන්නේ නැහැ. යන්තම් ඇඟට ලේ ඩිංගක් ඉනුවා.

"කෑගහලා හරි ඉඩක් හොයාගන්න එපැයි. කොහෙද ඉතින් අපිට ඉඩක්වත් හොයල දෙනවැයි ?"

" මම නොදුන්නට අර.. එක්කෙනෙක් දුන්නේ"

"මටයෑ.. ඒ මුටනේ...."

"කාට උනාම මොකද?"

"මේ මේ... මූ කරන අවලං වැඩ වලට මාව ගාවගන්න එපා"
චිරනි දත් පෙන්නන්නේ නැතුව හිකි හිකි ගාල හිනා උනා.

"උඹ පලයන්. මම අන්තිම බස් එකට එන්නම්"
මම අතේ තිබ්බ පොත්දෙක චලනගේ අතට දුන්නා.

"අද යන්න ඕනේ කලන. මට පොඩ්ඩක් වත් පරක්කු වෙන්න බෑ. ලොකු අම්මලාගේ ගෙදර යන්න තියෙනවා"

සබන් බෝලයක් පිපිරුණා වගේ මගේ සතුට පිපිරිලා ගියා. මම හිතන්නත් කලින් චිරනි මගේ අවසරයක්වත් බලන්නේ නැතුව අත වනලා යන්න ගියා. මම ගල්භීත වෙලා චලන දිහා බැලුවා.

"වරෙන් බන් යන්ඩ. මේන් උඹේ ටියුට් ටික"

"කොහොමද ගත්තේ?"

"මූන් ලයිට් ටික්කාට සිරික්කියක් දාල ඉල්ලලා දුන්නා"

"අම්මත උදු ! අපිටත් සලකන සැලකිල්ලක්!"
"මේ.. උඹ හින්දා නෙවෙයි.... මම කියපු හින්දා"

අන්තිම බස් එක යන්න තව වෙලාව තියෙනවා. ඒත් රස්තියාදුවේ යන්න  හිත එක තැන නැහැ. මමයි ජාඩියායි බස් එකට නැගලා මුල්ලක් අල්ලාගෙන වාඩිත් උනා. මේ දවස්වල ග්‍රහයා හොඳ නැති නිසා මතක් කරලා ටිකට් ගත්තා. ඉස්සරහ සීට් එකේ පොල්ලට ඔලුව තියාගත්ත මම ටික වෙලාවක් එහෙම්මම හිටියා.

"උඹ ඊයේ හොස්පිටල් එකට ගියාද?"

"හ්ම්ම්ම්..."

"මොකද ලෙඩාට?"

"මැරිලා.."

චලනට බකස් ගාල හිනා ගියා.

"ඒක කොච්චර දෙයක්ද?"

මට ඒක කියපු තාලේ නම් ඇල්ලුවේ නැහැ. චලන මගේ කරට අත දාගෙන මගේ ළඟටම ඇවිත් කනට ලං උනා.

"උඹ මට පරිප්පුව දීලා ගියා නේද බඩුව බලන්න. මොනවද බන් උඹ කරන අවලන් වැඩ? තනියම ඉන්න මට වේලෙන්ඩ ඇරලා උඹ කුපාඩිකම් කරනවා නේද?"

"චඃ.. පලයන් යන්ඩ!....."

මම කන එහාට අරගෙන ඔලුවත් අනික් පැත්තට හරෝගත්තා.
"... උඹ උඹේ වැඩක් බලාගනින්"

"ආ... ආන්... අනං -මනං බස් එකේ!"

මට ටක් ගාල ඔලුව ඉස්සුනා. බස් එකේ ඉස්සරහම රිටවල් දෙකක් වගේ කෙල්ලෝ දෙකක් හිටගෙන ඉන්නවා. ඒ ජෝඩුවට අපි කියන්නේ අනං -මනං කියලා. මරුවට රවුමේ ගත්තහැකි. ඒ දෙන්නත් නිඹුල්ලු ; අපේ නංගිලාගේ පන්තියෙමයි. උන් හිතන් ඉන්නේ අපි දෙන්න උන් දෙන්නට ට්‍රයි කියල.
චඃ.. ආයෙමත් මම ඔලුව තියාගත්තා. ආයමත් ඔලුව ඉස්සුවේ බහින්න. ඒකත් චලනයා මාව ඇදගෙන බැහැපු හින්දයි.

*********************************


ප.ලි. මට සෝදුපත් බලාදෙන ඒ ඇස්දෙකට පින්.

11 comments:

  1. අනම් මනං වානා.. නිකිණි තමයි ඕනා.. :)))

    ReplyDelete
    Replies
    1. මේ දෙනවා......... මේ දෙනවා........
      වෙච්ච දේවල් කියනවා... වෙන්න තියෙන දේවල් කියනවා

      Delete
    2. බුලත් අතට කීයන් තියන්ඩ ඕනද ..... පුවක් දුංකල එපාද ....හුණු නං අපි ගාවත් තියනවා

      Delete
  2. අර පිං ඇස්දෙකට බලන්ඩ කියපං මේක

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් මොකද්ද මේ කොටසට වෙලා තියෙන හෙනේ ?

      Delete
  3. මේකෙ නිකිණි නෑනෙ..නිකම් පාලුයි පාලුයි වගෙ

    ReplyDelete
    Replies
    1. දැන් කවුරැ බලන්නද එන්නෙ?

      Delete
  4. මගෙ යාලුවෙක් ඉන්නව ඌට ආර් අකුර හරියට සද්ද වෙන්නෙ නෑ. ඌ කියන්නෙම පිංරෝස් කියල...

    ReplyDelete
    Replies
    1. කියන හැටියට ලියන්න ගියොත් මේකත් 'යාං හෑල්ලක්' වෙනවා. ඒ හින්ද මේ විදියට ලිව්වා.

      Delete
  5. නිකිණි බලන්න ගියා කිව්වාම මොකුත් වෙන්නෙ නෑනෙ😂.
    ඕකට බය වෙන්න ඕනෑයෑ

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...