Tuesday, February 21, 2017

64. ඔබ ඇවිත් යන්න එන්න... - 02

02
------------------------------------------------------

"ලනයෝ.. උඹ ටවුමටද යන්නේ?"

"ඔහ.. ඔව්.. ඇයි ?"

මම කලිසමට බහින ගමන් උත්තර දුන්නා.

"හිටපන් මමත් එනවා"

මට හීන්දාඩිය දැම්ම.

"මම ටෙරන්ස් ලාගේ ගෙදර ළඟින් බහිනවා"

"කමක් නෑ "

මුව හලන්න විදියක් නෑ. කොහොල්ලෑ ගුලියක් වගේ. ඇත්ත.. ඌ නැතුව මටත් , මම නැතුව ඌටත් ගමනක් නැති තරම්.



"ආ.. අද දෙබානම හාන්න යන්න වගෙයි"

අපි දෙන්නා සාලෙට එනකොට අතුගගා හිටපු නංගි කිව්වා.

"ඇයි තමුසේ වගේ කොසු නැටුම් දදා ඉන්න කියලද අපිට කියන්නේ මේ සොඳුරුබර ඉරිදා දවසේ? රටේ ලෝකේ කොතරන් නම් රාජකාරි වැඩ තියෙනවද අපිට?"

"මම නොදන්නවය. ඔන්න අපේ පන්තියේ කෙල්ලන්ට නම් පැණි පෙරලා අහුවෙන්න එපා හරිද. මට ලැජ්ජාවේ බෑ "

"අනේ තමුසෙලගෙ පන්තියේ ඉන්නවනේ මහා ලොකු බඩු ? ඕවටද ඕයි බඩු කියන්නේ"

මම නංගි එක්ක කොක්කක් දාගන්න අතරේ චලනයා ගිහින් අම්මගෙන් ගානක් කඩාගෙන ආවා.

"මේ.. ඉක්මනට එනවා හරිද? අද වැට කපලා සුද්ද කරලා මිදුල ටිකක් හදන්න ඕනේ හවසට"
නංගිගේ ඕඩර්ස් රැසයි.

"ඕව කරගන්නවා තමුසෙට මිනිහෙක් ගෙනාපු දාකට"

කොස්ස ඉස්සෙන්න කලින් අපි දෙන්නම පැන්නා පාරට. නුවර පැත්තට අද්ද අද්ද තිබ්බ බස් එකක ෆුට් බෝඩ් එකේ එල්ලුනා. අද නම් දෙන්නටම එක සීසන් එකයි.



"ටෙරන්ස් මේ වෙලාවට ගෙදර ඉන්නවද? ඈ බං ?"

අපොයි.. වැඩේ මාට්ටුවෙන්නයි යන්නේ.....

"ඉන්නව "

බොරුවක් ගොතාගන්නවට වඩා පහසු උත්තරයක් මගේ ගාව තිබ්බ. චලනයා ආයේ මුකුත් ඇහුවෙත් නෑ. මම නෙවෙයි ඌ දිහාවත් බැලුවේ. ටෙරන්ස්ගේ ගේ ගාවදි බස් එක හෝල්ට් එකේ ස්ලෝ කරනකොටම මම බිමට පැන්නා. ඒක නියම ජොලි වැඩක්. කොන්දොස්තරලට තේරෙන්නේ නෑ අප්පා.

ඒ බස් එකට ඈතට යන්න ඇරලා ආයෙමත් මම හොර ගෙඩියා වගේ හෝල්ට් එක ඇතුලට ආව. ටෙරන්ස් මේ වෙලාවේ ගෙදර නැති බව මමත් දන්නවා. ආයමත් එතනින් යන ගුඩ්ෂෙඩ් යන බස් එකක නැගලා මම නුවර මහා රෝහල ගාවින් බැස්ස.
වෙලාව නම් හරි... පපුව නම් ගැහෙනවා එකසිය පනස් ගානට. ඒත් මම පපුව ඉස්සරහට දාගෙන කොරිඩෝ මැද්දෙන් , සෙනග පීරාගෙන ගියා.

මගේ වෙලාවට ඒ පැත්තට යනකොටම එදා මට හුරතල් තාලෙට කතාකරපු නර්ස් අක්ක හිටිය. මට දෙය්යෝ දැක්ක වගේ.

"ඊයේ... අර.. ඇක්සිඩන්ට් වෙලා.. අර මේ.... මෙහෙට ඇඩ්මිට් කරපු.. අර.. ලෙඩා..ට කොහොමද දන්නේ නැහැ නෙහ් ?"

නර්ස් අක්කා මගේ ඉසේ සිට පාදාන්තය දක්වා ස්කෑන් කරනකොට අග කොටසේදී හඳුනාගත් බවට සුපුරුදු හුරතල් හිනාව මතු උනා.

"ආ... අර ETU එකේ හිටපු ලෙඩාද?"

"ඔව් එයා තමයි..."
මට එකපාරටම මොකද්ද උනා. මළා කියයිද?!

"ආ... එයා වෝඩ් එකට දැම්ම. අන්න අර ඉස්සරහ කොරිඩෝවේ දකුණු පැත්තේ කොනේම Paying වෝඩ් එක"

"තැනක් යූ "

මගේ දැන් තොලකටත් වේලිලා. මම හෙමිට උනත් වේගෙන් වාට්ටුව තියෙනවා කියපු පැත්තට ගියා. දන්නා උලව්වක් නෑනේ. දැන්නේ මතක් උනේ. අත්දෙක වන වන ලෙඩෙක් බලන්න එනවය? හදිස්සියට මට ඒකත් අමතක උනා. ඒත් ආපහු හැරෙන්න හිතුවේ නැහැ. ඇස්දෙක කරකවා කරකවා මම ඒ පැත්ත මේ පැත්ත බැලුවා. පේන්න නැහැ වගේ. ලනුවක් වත් දුන්නද? බයිට් එකක්වත්ද?

"මේ තියෙන්නේ රූම් එක"

පිටිපස්සෙන්ම ඇහුන සද්දෙට මාව උඩ ගියා. නර්ස් නෝනා මාත් එක්කම ඇවිත්. හෙන හුරතල් කටක් නොවැ තියෙන්නේ. දොරත් ඇරලා දැම්මනේ මාව ඇතුලටම. මාව නිකන් මහා පිරිසක් මැද්දාවේ ස්ටේජ් එකට තල්ලු කරපු එකෙක් වගේනේ දැනුනේ. මගේ මේ විගඩන් ආගමනය එක්කම ගැස්සිලා වගේ මගේ දිහා බැලුවේ ඇඳ උඩ ගුලියක් වගේ උන්න කෙනෙක්. වෙන කවුරුත් ඒ වෙලාවේ කාමරේ හිටියේ නැහැ.

කාමරේ ගිලන් ඇඳ උඩ ඒ හිටියේ කෙල්ලෙක්! මට මොකද්දෝ විලිලජ්ජාවක් දැනුන.
පස්ස ගහල කොහොමද? මමනේ කතාවේ වීරයා! මමත් පුරුෂ ධෛර්ය අරගෙන ඒ උනාට ඇඹරි ඇඹරි ඇඳ ලඟට ගියාද.. නැත්තම් මගේ නර්ස් හුරතලි තල්ලු කලාද දන්නේ නෑ. හැරිලා බැලුව.. නෑ වෙන්න බෑ.. එයා පේන්න හිටියේ නැහැ....

ඇස්දෙක පියවන්නේ නැතුවම මගේ දිහා රැඳිලා තිබ්බ ඒ ඇස්වල තිබ්බ භිතයක්ද කොහෙද දියාරු වෙලා ගිහින් එකපාරටම මොකද්දෝ අමුතු මල් මල් ගතියක් විසිරිලා ගියානේ... මගේ ඇස්දෙක එක්කෝ නිලංකාර උනාද?

"දැන් සනීපද?"

මම පපුව දෙමෝලෙන් පිටි කොට කොට බොහොම තැන්පත් විදියට ඇහුව. AC එක පරද්දගෙන මගේ හීන් දාඩිය මට දැනෙන්න ගත්ත. ඒ ඇස්දෙක නම් මාරම ලස්සනයි. මගේ දිහා බයෙන් වගේ බලාගෙන තාමත්.

"මිස්ට .. මෙයාව අඳුර ගන්න බැරුව ඇති. මෙයා තමයි මිස්ව හොස්පිටල් එකට ගෙනාවේ"

කොහෙන්ද මන්ද ආයෙමත් අර හුරතල් නර්ස් නෝනා එතන. අතේ තිබ්බ ෆයිල් එකක මොකද්දෝ කුරුටු ගාල ඇඳ විට්ටමේ එල්ලපු නෝනා යන්න ගියේ මේ පාර නම් දොරත් වහගෙන හිනා වේවි. නවනින්ගිරාවයි.. තරහක් වගේම සැනසිල්ලක් දැනුන. නැත්තම් ඉතින් මම කිව්වම අගේ නැහැනේ. මම පොඩ්ඩක් ෂර්ට් එකත් හදාගත්ත.

"අහ්.. අන්නේ.... අනේ සොරි... මම මම දැනගෙන හිටියේ නැහැ.. ලොකු උදව්වක් කලේ"

ස්තුතිය හද පත්ලෙන්ම ආපු බවක් නම් මට තේරුනා. අම්මෝ මොකද්ද මට මේ දැනෙන්නේ.. මොකද්දෝ අමුත්තක්!

"මම නිකිණි"

"මම කලන"

මම අත දික්කලාට එයාට අත ගන්න විදියක් නැහැ. සේලයින් ගහලා. එයා මුණ දිලිසෙන්න හිනා උනා. ඒ හිනාව....

"මට විස්තරේ ඔක්කොම ආරංචි උනා. ඔයා විතරයි මට උදව් කරලා තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ කොහොම ස්තුති කරන්නද කියල"
කාලාන්තරයක් තිස්සේ දන්නා කෙනෙක්ට කතාකරනවා වගේ ඈ කතාකලේ. ඒ මොකද ඒ?

"ඒක මොකද්ද?"

මම බුවා වගේ කිව්වා.

".....දැන් කොහොමද තත්වේ? ඩොක්ට මොනාද කිව්වේ?"

"කකුලෙත් ක්‍රැක් එකක් තියෙනවා. ඊයේ රෑ තමයි ඔක්සිජන් නතර කලේ. හුස්ම ගන්න බැරුව හිටියලු"

එහෙම කියලා එයා හිනා උනා. මොනවා නැතත් හිනා  පාටයි.

"ඔ.. ඔයාගේ පර්ස් එක... ඒක  නැති උනානේ ඊයේ.. ඒක ලැබුනද?"

"ම්ම්.. ම්ම්.. ආ ඔව් ලැබිල තිබුන මම හිතන්නේ..."

මට මගේ දුප්පත් පොකට් රාජයා සිහි උනා. ඒත් ඉතින් එහෙම එකක් කොහොමද? ඒකෙ ඇතුලේ තිබ්බ සල්ලියකුත් නැහැනේ. සල්ලි වලට වඩා වටිනා දේවල් ඒ උනාට... කොහොම කියන්නද....

"ඔයා කරපු උදව්ව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඇත්තමයි"

"මොකද උනේ?"

"මගේ වැරැද්ද.. එදා මම වාහන දෙක මැද්දෙන් පාර පනින්න හැදුවා.. අපෝ.. මතක් වෙනකොටත් ඇඟ ගැහෙනවා. හිතාගන්න බැහැ මොකද උනේ කියල"

"මොකද ඔය තරං තදියමක් ආවේ. කහ ඉර පෙනි පෙනී බස්වලට අඩ තියන්න? කවුරුහරි පස්සෙන් පැන්නුවද ?"

මගේ ඒ මැටි මෝල් ප්‍රශ්නෙට හිතුවේ නැති විදියට ඒ මුහුණ වෙනස් උනා. ඒත් ඒ මොහොතකින් හිනාවෙලා ඒක විහිළුවක් විදියට බාරගත්ත බවත් පෙනුනා.

"ඔයා කොහෙද හිටියේ?"

"ඔයා අඩේ තියපු බස් එකේ!"

මම කිව්වේ හිතල මතල නෙවෙයි.

මිනි කිංකිණි හඬකින් ඈ හිනා උනා. මගේ හිත පිරිලා උතුරනවා වගේ දැනෙන්නේ. කිසි ආඩම්බරයක් නැහැ; හුඟ කාලයක් වගේ.

".. ගෙදරින් ආවද? මට කිසිම පණිවිඩයක් දෙන්නත් බැරි උනා"

"ආ... ඒකට මොකද? ඔව් දවල්ට එනවා කිව්වේ"

"මට නම් දවල්ට එන්න වෙන එකක් නැහැ"

බණ්ඩක්කා පෑගුණු ගානට මගේ කටින් එහෙම ලිස්සලා ගියා. මටත් හිතන්න කලින්. නිකිනිගේ දෙතොල් එකපාරට පිය උනා. කතාවක් නැතුව; හිනාවක් නැතුව එකපාරටන ගොළු උනා. මොනවා හිතුනද දන්නේ නැහැ. නොදකින් මගේ කට!

"ඒ.. ඒකට කමක් නැහැ ඉතින්... හෙට එනවා නේද? ම.. මට..."

අමුතු හුළඟක් හමාගෙන ගියා වගේ මගේ කන්දෙක අගුලු වැටුනා.

"... ම මට ඔයාව අපේ අම්මලට අඳුන්නල දෙන්න ඕන.. ඒකයි.. හි හි.. ඔයා මගේ ජිවිතේ බේරුවා නේ.."

ඒ වචනවල මොකද්දෝ මිහිරි බවක් මට දැනුනේ. හරියට පිනි බිංදුවකට වැටුණු ඉර එලියක් වගේ. මගේ ඔලුව නරක් වේගන එනවද කියල මට තේරුනේ නැහැ.

"හෙට නම් එන්න පුළුවන්..... ඒත්.. මේ මේ. ම්ම්.... මේකයි. අම්මලට මාව අඳුන්නල දෙන්න ඕනේ නැහැ"

ඈ ඒ මොහොතින් මගේ දිහා බැලුවා. මට මාර බයක් දැනුන. මම අදහස් කරපු දේ වැරදියට කිය උනාද? මෙයා වැරදියට තේරුම් ගත්තද? දෙය්යෝ සාක්කි!

"ඔ.. ඔයාගේ.. නම.. පත්තරේ.. දාන්න නම් මට බැරි වෙයි.... ඒත් ඔයා කරපු දේ අගය කරන්න ඕන!"

ඒක මට ඉවසගන්න බැරි වචන ටිකක්. 'අගය කරන්න'
කිසිම දවසක මම වෙනුවෙන්  පාවිච්චි නොකරපු එකම වචනය වෙන්න ඇති. ඉස්කෝලේ තක්කඩි වැඩ කවුද අගය කරන්නේ? ටියුෂන් පන්තිවල මගෝඩි වැඩ කවුද අගය කරන්නේ? අඩුම තරමේ  ගෙදරින් වත් නැති දෙයක්..

හා.. එහෙනම් මමත් සැලකියයුතු පොරක් එහෙනං.. මම ඔලුව වැනුවා. කටුස්සෙක් වගේ නෙවෙයි ; පොරක් විදියට.

හොස්පිටල් එකෙන් එලියට ආවේ විසිල් පාරකුත් ගහගෙන. හිතට දැනෙන්නේ පුදුම සොමියක්. චලනයා දන්නවා නං මාව කයි.

ඌට ලැබෙනවද මේ වගේ නම්බුවක්? ෂඃ..... හරියට ෆිල්ම් එකක් වගේ.

වෙලාව දැක්කමයි උඩ ගියේ. දෙය්යෝ මගේ දානේ වේල! ගෙදර යන්න ගියොත් ජල්බරි ගොඩයි. කෝකටත් හොඳයි කෑමට යාලුවෙක්ගෙ ගෙදරට සෙට් වෙන එක. එලියට දාගන්න බැරිම  උනොත් වත් කන්න දෙයිනේ. මම පයින්ම ටෙරන්ස්ගේ ගෙදර ගියා.

මගේ ග්‍රහයා මේ දවස්වල ෆුල්ම ආතල්. ටෙරන්ස් මම යනකොට දානෙට සැරසෙනවා.

"අපොයි.. උඹ එන්නෙත් මගේ හෙනහුරාටමයි... වරෙන් වරෙන්.. මමත් මේ ක්ලාස් ඉවර වෙලා කන්න ආව විතරයි. හිටහන් මම බත් බෙදාගෙන එන්නම් උඹට"

ඒකත් හරි.. මමත් කටේ කෙල පිහාගෙන බත් එක ලඟින් වාඩි උනා.

"ඈ බන්.. කොහෙද මේ අවේලාවේ.. ක්ලාස් නැද්ද?"
ටෙරන්ස් යන්නේ මම යන ක්ලාස් වලට නෙවෙයි. ඌ යන්නේ ගෘප් ක්ලාස්.

"නෑ බන් ඉරිදට නෑ. යන්ද අද ප්‍රිම්රෝස් පැත්තේ?"
මම ඇහුවේ හොරෙන් බලන ගමන්.

"ඇයි බන් ඊයේ සෙට් උනේ නැද්ද?"

"ඊයේ ක්ලාස් යන්න බැරි උනා බන්. කලිසමක් දාගෙන වරෙන්"

"කෝ උඹේ කොල්ලෑව?"

"ඌ කොහෙද ගියා"

"ඈ.. පුදුමයි.. ඇයි උඹල දෙන්න ඇරගත්තද ?"

"පිස්සුද බන්... උඹ එනවද කියපන්"

මම අත හෝදන ගමන් ඇහුවා.

"යමු"

දෙන්නම මගට බැස්සා.

"මොකද බන් උඹ හීනෙන් ඇපල් කාපු එකා වගේ? උඹට නරක දෙයක්වත් කැවුනද ? නරක තැනක්වත් වැදුනද?"

"පලයන් යකෝ යන්න කට වහගෙන. ඊයේ චිරනි ක්ලාස් ආවද?"
චිරනිගේ කසින්ස්ලා වෙනවා ටෙරන්ස්. ඔක්කොම අප්ඩේට්ස් වැටෙනවා ඒ චැනල් එකට.

"අපෝ ඔව්.. මල වදේ.. ඇයි උඹට ලියුම ලැබුනේ නැද්ද?"

"මොන ලියුමද?"

"ඇයි මම චලනයට දුන්නේ උඹට දෙන්න කියලා"

"හෑ ! දුන්නා? මූ මට දුන්නේ නැහැනේ... උඹට හොඳට මතකද?"

"ඔව් බන් මම දුන්නා චලනට... මම හිතුව දෙයි කියලා. අමතක වෙන්න ඇති"
මගේ ඔලුව කේන්තියෙන් කරවෙලා ගියා. බස් එකක් පේනතෙක් මානෙක නැහැ.

".. ජාඩියාට අමතක වෙන්න ඇති. උඹ ඌ එක්ක කොක්කක් දාගන්නේ එහෙම නෑ "
මුගේ උපදෙස් මාව තවත් කේන්ති කරවනවා.

"පිස්සුද බං... කෙල්ලෝ හින්ද ඌ යි මායි ගහගන්නවද බන්?"

බස් එකක් ආව.. වත්තෙගමක්. ඊට පිටිපස්සෙන් ආපු රතුපාට කාර් එක දෙපාරක් හෝන් කල.
'හුටා තාත්තා!'

"ටෙම්පෝ.... මලා මචන් තාත්තා..."

"කෝ.. කෝ..."

අපේ තාත්තට අපි දෙන්නා විතරක් නෙවෙයි මගේ යාළුවො පරපුරම හම්බානක බයයි. කන් දෙක පාත් කරගෙන ළඟින් යන්නෙත්.
බස් එකත් ගියපි. මම අඬු කැඩිච්ච පොල් කුරුමිනියෙක් වගේ කාර් එක ගාවට ආව.

"ගෙදරනේ? හ්ම්..... නගින්න"

දැන් ඉතින් ඔච්චරයි. කාපන්කෝ කේක්! කියපු ලෙසටම මිසක් වෙන දෙයක් සිද්ද වෙන්නේ නැහැ එතන.

"ටේ.. ටෙරන්ස්.... මචන් මට නෝට්ස් ටික ලියලා පොත හෙට එවපන්.. මම යන්නං "
මම ඇහැක් ගහලා කාර් එකේ පස්ස සිට් එකේ ගුලි උනා.

"හලෝ අංකල්.. අරි අරි මචං.. "

අවස්තානුකුලව ඌ බැට් එක වැනුවා.

"මොනවද නෝට්ස්?"

"මේ.. මේ.. කෙමෙස්ට්‍රි... එයාට ක්ලාස් කට් වෙලා. ඒකයි"

වෙලාවට දුවන වාහන වලට හෙන ගහන්නේ නැහැ කියල අහල තියෙනවා. නැත්තම් මට අකුණු සන්නායකයක් හයි කරන්න වෙන්නේ. ආයෙත් ගෙදර යනකල් 'හ්ම්ම්' සද්දයක් නැහැ. මමත් ඉතින් පාර දිගේ කෙල්ලෝ බල බල පූස් පැටියා වගේ කාර් එක පිටිපස්සට වෙලා ගියා

********************************************
ඊළඟ කොටස 

15 comments:

  1. උඹ කොහේ ඉඳන්ද මං දිහා බලන් හිටියේ

    ReplyDelete
    Replies
    1. ඉවාන්ට ඔච්චර ලොකු කොල්ලෝ දෙන්නෙක් ඉන්න බවක් දැනගෙන හිටියේ නැහැනේ... සොලී ඈ

      Delete
  2. මෙහෙම දෙබස් වලින් ලියවෙන කතාවලට මම හරි මනාපයි ....මේක හොදයි...පිටු තුන්හාරසීයක් තියනවද

    ReplyDelete
    Replies
    1. අටම් වගේ පන පිහිටුවලා ලියන්න නම් බැහැ. මේ කතාව ලියනකොට මට වයස 18යි. ඒ නිසා අඩුපාඩු වලට සමාවෙලා පෙන්නලා දෙනවා නම් හොඳයි. නෑ එච්චර නැහැ. මම දන්නෙත් නැහැ හලෝ පිටු කීයද කියල

      Delete
  3. වහරෙ හරිම හුරුපුරුදු ගතියක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. කලනව දන්නවද? හම්මේ එහෙනම් ඩිංගක් පරිස්සමට කතාකොරන්ට

      Delete
    2. දන්නවා දන්නවා.. කලන ට හොඳට සලකලත් තියෙනවා මේ හැලප අයියා.. :)

      Delete
  4. නිකිණි.. ඉස්සර මගේ ක්‍රෂ් එකක්.. කොහොම දන්නවද? 90 දශකයේ මුල/ මැද වගේ මොකක් හරි මල් පත්තරේක ගියා ලව් ඉස්ටෝරියක්.. නිකිණි සිහිනය හරි මොකක් හරි එකක්.. ඒකෙ කෙල්ල නිකිණි. කොල්ල ඇසල.. ඒකට චිත්‍ර ඇඳපු එකා අඳිනවා නිකිණියව නිකං හම්මේ.. රබර් බෝනික්කියෙක් වගේ.. මම හෙන ලව් ඒ කාලේ ඒ නිකිණි ට.. කොහොම හරි අන්තිම හරිය කියවන්න බැරි වෙලා උන්ට මොනවා උනාද දන්නේ නෑ.. මේකවත් දිගට කියවන්න ඕනි.. :)

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං බලන්නකො මමම හොයාදෙන්න ඕන මෙයාට නිකිණිව

      Delete
  5. නිකිණි ඇට දෙක තුනක් ගලේ අඹරල උදේම හිස් බඩ බිව්වම බඩ සුද්ද වෙනව බලා ඉන්දැද්දි...පළමෝත අත්දැකීමකි...

    ReplyDelete
    Replies
    1. කෑවා කෑවා.. අනේ පින් සිද්දවෙයි කට පියාගෙන ඉන්නවද?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...