Sunday, February 26, 2017

65. ඔබ ඇවිත් යන්න එන්න... - 03

03
-----------------------------------------------------------------------------------------------
" කෝ බන් චිරනි?"
මම හෝල්ට් එකේ බාර් එක උඩට නගින ගමන් ඇහුවා. චලන මගේ දිහා  බැලුවා. මම අහක බලා ගත්තා.

".. උඹ එදා ලියුම වෙලාවට දුන්න නං මේ මුකුත් නෑ. උඹ නම් ගැලපෙන්නේ බකින්හැම් මාළිගාවේ වැඩට"

මම පාර දිහාවට බෙල්ල දික් කරන ගමන් දෙහි කැපුවා. පන්තිය ඇරිලා හෝ ගාල කට්ටිය ගලාගෙන එනවා. චිරනි තාම පේන්න නැහැ.


"හලෝ චලන.. මොකද්ද මෙතන කරන්නේ?"
කවුදෝ කෙල්ලෙක් සිරික්කියක් දාගෙන ආව. මම උඩ ගියා. අප්පටහුඩු ! මේ 'මූන් ලයිට්' නේද? මම ඇස්දෙක ලොකු කරලා ජාඩියා දිහා බැලුවා.



"බස් එනකල් ඉන්නවා. ක්ලාස් ගියාද?"

"ඔව්. යනවා නං ඉතින් ඔය බස් ඕනේ තරම් තියෙන්නේ. නොයනවා නම් තමයි ඉතින් බස් නැත්තේ"

'මූන් ලයිට්' එයාගේ අන්තඃපුරෙත් එක්ක කිචි බිචි ගගා හිනා උනා.එනපොට හොඳ නෑ කොල්ල ගෙට ගං කිව්වලු. ජාඩියාට සෙට් වෙන්නද යන්නේ?

"අපිට අඳුරලා දෙන්නේ වත් නැද්ද?"

'මූන් ලයිට්' නහයෙන් මාව පෙන්නලා ජාඩියාට කිව්වා.

"ආ.. මෙයාද? මූ කලන. මගේ පාප මිත්‍රයා. විරසක සහෝදරයා"

"ශා... චලනයි.. කලනයි... සිංදුවක් වගේ. ඔය දෙන්නා නම් හරියටම එකවගේ"

තාම චිරනි නෑ. මේ මරාල ටික දිරාමාර් නොවුනොත් චිරනිගෙන් වැටෙන්නේ කෙලිම්ම එල්ලුම් ගහේ තීන්දුවක්!

"චලනයා.. අපි උඩහට යන්ද?"

"උඹ පලයන් මම එන්නං "

මට තද උනා. කෙල්ලෝ ඉස්සරහ පච නොකර මම බාර් එකෙන් බිමට පැන්නා. අන්න.. චිරනි ළමයි අතරින් මතු උනා. හරියට වලාකුළු මැද්දෙන් හඳ පෑයුවා වගේ. මගේ ඉහේ මල් පොකුරක් 'පුහ්' ගාල පිපිලා වැනෙන්න ගත්ත.


ඇති යන්තන්. දැන් මොකටද මේ හොරිකඩයා ? උඹ 'මූන් ලයිට්' එක්කම හිටපන්. මම ඔලුවේ කෙසුත් හද හදා; එක කකුලක් බාර් එකට බර කරලා චිරනි දිහාම ඇසිපිය නොහෙලා බලාගෙන හිටියේ හිනාවකුත් එක්ක.

"කොහෙද ගිහින් හිටියේ?"
චිරනි මගෙන් ඇහුවේ මගේ සම්පුර්ණ සර්ච් එකකට පස්සේ. මගේ පපුව 'බන් බන්' ගානවා.

"කොහෙවත් නෑ... අපි... ඩෙවෝන් යමුද?"

මම අන්තිම ටික කිව්වේ රහසෙන් වගේ.

"අදිති ... මම යන්නම්... බායි..... සී යූ......."

අම්මේ මාර නැලවිල්ලක්. මාව බම්ප් වෙනවා වගේ. චිරනිත් එක්ක මම පාර පැනලා පාර දිගේ උඩහට ඇවිදගෙන ආව.

"අද ක්ලාස් එකේදී මම දැක්කේ නැහැනේ ඔයාව?"

"මම අද ක්ලාස් ආවේ නැහැ."

"ඇයි ?"

"වැඩක් තිබුනා"

"ගිය සතියේ ආවෙත් නැහැ නේද?"

මම උත්තර දුන්නේ නැහැ. අම්ම හොඳයි තව.
මම චිරනි දිහා බලන ගමන් ඇවිදින්න ගත්තා. උරහිස වෙනකල් තිබ්බ කෙලින් කොණ්ඩය හුළඟට යන්තමට මගේ ඇඟේ වැදිලා නොවැදීලා යනවා. ඒ කොණ්ඩේ පොඩ්ඩක් අල්ලන මට හරි ආස හිතුනා. චඃ... පාර නෙවේ නම්!!

ඩෙවෝන් එකේ උඩ තට්ටුවට ගිහින් හොඳ මේසයක් අල්ලාගෙන අපි දෙන්න වාඩි උනා. මට දැන් මුලිම්ම මොකද්ද කරන්න ඕනේ කියල හිතාගන්න බෑ.

"අද නං මට පරක්කු වෙන්න බෑ කලන....."

"ඇයි ?"

"අද මහේෂ් අය්යා අපේ ගෙදර එනවා කිව්වා"

"ඉතින්?"

මගේ හඬේ ඉරිසියාව; අමනාපය දෙකම තියෙන්න ඇති.

"ඉතින් මම ඉන්න එපැයි! ලොකු අම්මගේ පුතා උනාට මහේෂ් අය්යා මගේම අය්යා කෙනෙක් වගේ"

මගේ මුණ ඇකිලෙන්න ඇති. ඒ ඉරිසියාවටද වෙන මොනවටද කියල මට ඒ වෙලාවේ තේරුනේ නැහැ. බීම දෙකක් ඕඩර් කරලා මම කොළ කෑල්ලක් අරගෙන චිරනි දිහාවට දික් කළා.

"මට ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න"

"ඇයි .. මම දුන්නේ?"

"ඒක මිස්ප්ලේස් වෙලා"

නැතුව ඉතින් කෙල්ලෙක් ඉස්පිරිතාලේ ගෙනියනකොට නැතිකරගත්තා කියන්නද?
චිරනි කොලේ අතට ගත්තා. ඇස්දෙක බිමට හරවාගෙන චිරනි ඔලුව දෙපැත්තට හරවා හරවා ලියන හැටි බලාගෙන ඉන්න ආසයි. අතින් පොඩ්ඩක් අල්ලන්නවත්.....

" මොකද සඳමිණි ඔයාලත් එක්ක කලේ?"

"ක.. ක.. කවුද?"

"අර සඳමිණි... මම එනකොට ඔයාලත් එක්ක කතා කර කර හිටියේ"

ගෑනුන්ගේ ඇස් තමයි!

"ඒ චලන එක්ක. මගේ එක්ක නෙවෙයි"

"ආ... ඒක නෙවෙයි... ආයෙමත් එහෙම ඔයයි චලනයි එක වගේ ඇඳගෙන එහෙම එනවා නෙවෙයි, තේරුනාද? මට පැටලෙනවා"

"මොනවද පැටලෙන්නේ?"

චිරනි මුණ රතු කරගෙන අහක බලාගෙන හිනාව හංගගත්තා. මමත් හිනා උනා. කොච්චර අකමැතියි කියල කිව්වත් කෙල්ලෝ ආසයි විහිළු වලට. ඒ මට හිතෙන හැටි.

"විහිළු නෙවෙයි කලන"

"ඕක මොකද්ද? චලනයත් පවුනේ.. ඌටත් ඔන්න ඔහේ පිනා චාන්ස් දෙක තුනක් වැදුනාවේ"

වේටර් කාරයා ගෙනාපු බීම එකක් මම චිරනි ඉස්සරහින් තිබ්බා.

"අපෝ.. චලන හොඳයි ඔයාට වැඩිය.. ටිකක් මනුස්ස පාටයි"

"මොකද්ද මගේ තියෙන අමනුස්ස පාට? මේ මැක්සා කොණ්ඩයක් තියෙන්නේ. හැන්ඩ්සම් මුණක් තියෙන්නේ. ස්මාර්ට් ලුක් එකක් තියෙන්නේ... තව මොනවද? දැන් ඌට මට වඩා මොනවද වැඩියෙන් තියෙන්නේ.. ආ?"

චිරනිගේ මුණ ආයෙමත් චෙරි ගෙඩියක් වගේ රතු උනා.

"කිව්වොත් කියන්නේ ඔය වගේ නැහැදිච්ච කතාවක් තමයි"

චිරනි හිනාවෙන්නේ අඩුවෙන්. ඒත් හැම වෙලේම ඇස්දෙක ඒ අතටයි, මේ අතටයි හරවා හරවා කතා කරන්නේ. එතකොට එයාගේ අස්බැමි තාලෙට එහාට මෙහාට හෙලවෙනවා. මම ආසයි බලාගෙන ඉන්න.

"අපි යමුද කලන?"
මම අම්මගෙන් පොකට් ගහපු සල්ලි වලින් බිල ගෙවල; චිරනිත් එක්ක එළියට ආවේ වටපිට කවුරුවත් දකියිද කියල බයෙන් බයෙන්. තාත්තගේ ඔත්තුකාරයෝ ස්නයිෆර් කාරයින්ට වඩා දරුණුයි.

"ටිකක් ඉක්මනට යමු"


චිරනි කිව්වට මට කිසිම උවමනාවක් නැහැ ඉක්මනට යන්න. පැය කට්ටයි ; තප්පර කට්ටයි මට පේන්න බෑ. මම ඇවිද්දේ හෙමින්. මේ වෙලාව ගෙවිලා යනවට මට ලෝබයි.

"යමු ළමයෝ ඉක්මනට"

චිරනි මගේ අතේ වැලමිටට පහලින් අල්ලාගෙන ඉස්සර උනා. මගේ කටේ කෙලත් හිඳුනා.
මම බිරාන්ත උනත් හොරෙන් චිරනිගේ මූන බැලුවා. එයා ඇස්දෙක හීනි කරලා දත් නොපෙන්නම හිනා උනා.

පිස්සු බම්ප් වෙනවා! එහෙනම් ශේප්!!

එත් මට නම් හීන්දාඩිය දාලයි තිබ්බේ. චිරනිගේ අත මල් පෙත්තක් වගේ සිනිඳුයි. අත අරින්නත් ලෝබයි. මම හිතලම පහු උනේ චිරනිගේ අත තවත් තදවෙන නිසා.

මිනිස්සු අතරින් යන අතරේ කොච්චර හැප්පුනත් මම ඒ අතට අතෑරෙන්න දුන්නේ නැහැ.
චිරනිව බස් එකට දාලා මම බස් හෝල්ට් එකට ආවේ ෆුල් ආතල් එකේ. චලනයා  මූන් ලයිට් එක්ක එතකොටත් කතාවක් දාගෙන ඉන්නවා. පෙම්වත් පිළිසඳරක් නෙවෙයි වගේ....

"උඹ තාම මෙතනද?..."

මූන් ලයිට් ට ඇහෙන්නත් එක්කමයි මම කිව්වේ. මට තරහයි.

"..යමන්.. අන්තිම CTB එක අල්ලගන්න"
මම පොල්ල දැම්මා.

"එහෙනම් මම යන්නං සඳමිණි"

"හොඳයි.. චෙරියෝ කලන"

මම යන්තම් හිනාවක් දාල හැරුනා විතරයි.

"මොකද්ද බන් ඔය හැටි තිබ්බ කතාව. ජනගහන පාලනය ගැනද?"

"මම මොනවා පාලනය කලහම උඹට මොකද? උඹ ඒවා පාලනය කරගනින් චිරනි එක්ක"

" මගේ බඩුව ඔය වගේ නෝන්ඩි එකක් නෙවෙයි"

මම කිව්වේ හොම්බ උස්සගෙන.
චිරනි සඳමිනිට වඩා දහස් වාරයක් ලස්සනයි. ඒකම මදැයි. කොටිම්ම ක්ලාස් ඔක්කොගෙම හිටපු 'කිරීම කිරි ටොය්යා' චිරනි තමයි. ඉතින් ආඩම්බර නොවී කොහොමද?

"අනේ පල යන්ඩ.. අපි නොදන්න උඹේ බඩුව"

"ඇයි මොකද්ද තියෙන අවුල"

එතැනින් එහාට යන්න ලැබුනේ නැහැ. අන්තිම CTB එක අද්දනවා. මමයි චලනයායි දුවල ගිහින් එල්ලුන ෆුට් බෝඩ් එකේ.

"මැරෙන්ඩ හදනවද? අපිවත් අමාරුවේ දානවා"
අපිව සාදරයෙන් පිළිගත්තේ කොන්දොස්තර මහත්මයා ඒ විදියටයි.

මට අර කෙල්ලව මතක් උනා. හෙටවත් යන්න ඕනේ ආපහු බලන්න.

********************************************

ප.ලි. මට සෝදුපත් බලාදෙන ඒ ඇස්දෙකට පින්.

17 comments:

  1. චිරනි

    කොහෙං හොයාගන්න නම්ද ඔය

    ReplyDelete
    Replies
    1. සුජීව පෙසන්නාරච්චි අය්යගෙන් ඉල්ලගත්ත. බබාට නමක් ඕනේ නම් එයාගේ පොතක් තියෙනවා... හි හි හි...

      මේ හලෝ.... කතාව ගැන කියන්නේ නැතුව කෙල්ලන්ගේ නම් ගැන වදවෙන්නේ මොකෝ?

      Delete
    2. කෙල්ලන්ගේ නං ගැන මං හරියට වද වෙනවා

      ඒවා එහෙට මෙහෙට පෙරලත හැකි

      ජිංජමංජරි

      මංජජිංජරි

      තේරුනාද උඹට

      Delete
    3. නම් වානම් කිම පවූ ඌ ඌ ඌ සිද්ද වෙන වැඩකි.

      Delete
  2. කඩදාසිය ලිපේ දාලද ලිව්වේ , කන හදන්නේ ඉතිං

    ReplyDelete
    Replies
    1. හුහ්.. ඇයි මොකෝ?

      [කන හදන්නේ ඉතිං] මක් කිව්වා?

      Delete
    2. ලිඛිතා නෙවී උඹ වලිඛිතා

      Delete
    3. පවුලුසා.... ලව්පුසා....

      Delete
  3. කතාව තව ගොඩක් දවස් තියෙනවද?
    (මම තව ටිකකින් ඇවිත් මේ කමෙන්ට් එක මකල යනව හරිද?)

    ReplyDelete
    Replies
    1. කොටස් ගණනාවත් තියෙනවා.. නවකතාවක්... අය්යෝ ඒ කියන්නේ නවකතාව අසාර්ථකයි වගේ

      Delete
    2. නැ ලොකු අයියේ .. ආයේ පොස්ට් වත් කමෙන්ට් වත් මකන්නේ නැලු ... ඔය කියුවට බලමුකෝ

      Delete
  4. //ප.ලි. මට සෝදුපත් බලාදෙන ඒ ඇස්දෙකට පින්.//
    පින් දීල මදි.. පඩි දිය.. නැත්නම් ඊළඟ පාර මිට එහා පිස්සු කෙලිනවා.. //චලන දිහා මගේ බැලුවා.// - මිට සෝදුපත් බලන ඇස් දෙක. :)

    ReplyDelete
    Replies
    1. හරි සර් ඒක හැදුවා
      පින් ඇති අය කියනවානෙ කුඩුකේඩුයි කියලා. කළගුණ නොදන්නා නිසා පඩියෙන් වන්දි ගෙවන්න පුලුවන් වෙයිද?

      Delete
  5. අතහරුන ටික කියව්මින් යමි...ශෝක් ඈ

    ReplyDelete
    Replies
    1. විසිරිට ලින්ක් එක දුන්න එකම මදැයි

      Delete
  6. සඳමිණි කිව්වම කොහොමද බොල මූන් ලයිට් වෙන්නෙ? මූන් ජෙම්ස් වෙන්න එපැයි....

    ReplyDelete
    Replies
    1. ඕන්න කිව්වා කතාවක්...
      එහෙනම් කියමු බලන්න මවුන්ට් ලෙවීනියා , ගල්කිස්ස වෙච්ච හැටි!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...