Thursday, August 3, 2017

127. විරසක සුසුම්



විරහව කොතරම් රසවත්ද?

විරහව රසවත් වන්නේ යම්සේද එපරිද්දෙන්ම කඳුල, තනිකමද එකලෙසම රසවත් මං මාවත් තනන මැවුම්කරුවෝ වැනිය. ඇඹුලති රඹ පලයක නියම රසයත්, සියලු රස එක්තැන් කල නෙල්ලි ගෙඩියකත් රස , විඳීමෙන් පමණක්ම දත යුත්තේය.

එබැවින්, විචිත්‍ර ආදරය හා කරට කර සටනක් දෙන විරහව, ගීත ලොව අරක්ගත්තේ අදක ඊයෙක නොවේ. සඳකිඳුරු වැලපුමක සිට වසර දහස් ගණනක් පුරා ප්‍රේමය හා සමව සිටි විරහව කුටුම්භගත වීමෙන් නතරවේද? සිය අභිමතයට එක්විය නොහැකි වුනු පෙම්වත් යුවලකට  නම් ආදර කුටුම්භයක විරහවක් දැනෙන්නේ කෙලෙසකද?

සිය පණ හා සරි වල්ලභයා හෝ පාදපරිචාරිකාව හා අමනාපව විසීම තරම් කටුක මොහොතක් තවත් තිබේද?



පෙමින් වෙලුනු සමයෙහි සිය පෙම්වතිය මන්දාරම් අහසක් සේ අමනාපව හිඳිම පෙම්වතෙක්ට දැනෙන්නේ කවර ලෙසකටද?

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එලියට වැඩියෙන් එළියයි

ඇලදොළ පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳී සොඳුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මග බලමින් මා සිත ලතැවේ

ඔබ  හමුවුණු මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදී නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි




එවන් නොහොඳ නොක්කඩුවකින් පසුව ප්‍රේමයේ බැමි තරවන බව පෙම්වතුන්; පෙම්වතියන් පැවසුවද එය සැබෑවටම සත්‍යයක්ද? අමනාප මුවකින් පිටවන කුරිරු වදන් වලින් ආතුර නොවී සිටිය හැකිද?

......
සිත රිදවන වදන් වලට හඬන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
සසර වසන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ
.....

සසරක් ගැන විස්වාස නොකරන රූකාන්ත පවා එලෙස කියන්නට ඇත්තේ එනිසා වන්නට නොහැකිද?

විරහ රසයෙහි සුභාවිත ගීත රචනාවල ඇත්තේ සොඳුරු උපමා බව සැබෑවකි. මගේ දැනුමට අනුව නම්, එහි තදබල උපමා හිඟයක් පෙනෙන්නට තිබෙන සැටියකි.

අමනාප වූ සිය ජිවන සහකාරියට වැහිබර අහසක තරම් හොබන උපමාවක් නම් නොමැති බව නම් සැබෑමය.. එහි ඇත්තේ විශ්මය දනවන තරම් තරමේ ගැලපීමක් දැයි විටෙක සිතේ. වැහිබර අහසක ඇත්තේ ගුලිවුනු හැඟීමකි. ගුප්ත සහ අවිනිශ්චිත අනතුරක සේයාවකි. අකුණු සැරකින් සැනකින් කොතැනක හෝ යමක් හළුවී යා හැකිය. එය සැබෑවටම පරිපුර්ණ උපමාවකි.


මෙම පබැඳුමේ ඇති ශෝකිය ආදර බරිත බව සත්‍ය වශයෙන්ම සැමියෙකුගේ පසුතැවීමට වඩා තීව්‍ර යයි මට සිතේ.

මහ වැස්සක් බිමට හලා
නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬබව මට බැහැ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඬබව මට බැහැ දරාන ඉන්න

විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරෙන් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනියහනේ සරදම් රටා වියන්නේ

විසකටු ඇනී ආතුර වූ සිතට ඔබේ
නුඹ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් ලොව කොයි දෙසද ඉපදුනේ




මේ සියල්ල එලෙස ලියවෙද්දී අනවරත සැකයේ විසෙන් පීඩිතව ගිය ගීතමය ශබ්දකෝෂය වෙනස් සැමියෙකුගේ වේදනාව ලියවෙන්නේ කෙලෙසින්ද? ඔහුගේ දුක්බර සිතට කවි සිතුවිලි නොයේ. කඳුල, දුකට පෙරාතුව පැමිණෙන්නේ කෝපය බැවින් සිය ආදරිය නොරිදා ඔහු මෙසේ කීම කොතරම් සුන්දරද?

මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා

කොච්චර ආදරේ කෙරුවත් මම ගැන අවිස්වාස වෙනවා
ඉවසල ඉවසල අන්තිමේදී මට හරි කේන්ති යනවා
ගහන්න බනින්න හිතට දුකයි මම ගෙදරින් පිටවෙනවා
මින්පසු එන්නෑ කියල ගියත් මම ආයේ ගෙදර එනවා

විලා බොහොම දුක් වීලා ඈ අඬයි කඳුළු සලාලා
හැමදාමත් මෙහෙම සිතාලා කොහොම ඉන්නද මම ඉවසාලා
මම යනවා යන්න ඈ දාලා මගේ ඉවසුම මට නැතිවිලා
ඈ ඇවිදින් මාව සොයාලා මාව එක්කන් යයි අඬා වැලපිලා

රෝස මලක් වැනි අගේ මුණේ පින්බර පෙනුමයි මට ඕනේ
තව ලස්සන මල් හමුවන්නේ රෝස මලයි මගේ හිත ගන්නේ
වෙන මලක් සොයා මම යන්නෑ මේ මල වෙන කාටත් දෙන්නෑ
විපතක් කිසි දවසක වෙන්නෑ මගේ ආදරේ ඈ හඳුනන්නෑ







එවන් සැමියන්ගේ සිතුවිලි ඉතා හොඳින් උකහාගත් ඒ ගීතයේ ඇත්තේ දෝරගලන සෙනෙහස මුසු විරහව නොවේද?

සැමියාගේ විරසකය බිරින්දෑවරුන්ට දැනෙන්නේ කවරේද? උතුරායන සෙනෙහස අතරින් පතර ඇතිවෙන නොහොඳ නෝක්කාඩු වුවද බිරියන්ගේ ජිවිත දෙදරවා හරින්නේ සැමියන්ට මුළු ලොවම සිය නිවස වුවත් බිරින්දෑවරුන්ට සිය මුළු ලොවම නිවස වන බැවින් වන්නට ඇති.

කුමන තරාතිරමක වුවද හැරයාමකදී අකම්පිතව සිටින්නට නම් ලෞකික මිනිස් සිතකට නොහැකි වනු ඇත. එලෙසම ඔවුන් ජිවිත ගමනේ අතරමන් බවක් දැනීමද වැලැක්විය නොහැකිය. කවර හෝ කාරණාවක් අරභයා සිය ආලවන්තයා සමඟ බහින්බස්වීමකින් කෙළවර වූ මොහොතකදී දෙදෙනාගේම සිත් ඇවිලෙන්නේ එක ලෙසිනි.

එය බිරියකගේ වදනින් කියන්නේ විලාපයක් ලෙසින් වන්නට ඇත.

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු හැරන්
කර ඔසවා බලා හුන්නා
හබකරගිය ආලවන්ත මගේම
මිහිරා වනයෙන් දැන් එතැයි කියා

දාර පිඹුරු වගවලසුන් ළගින වනේ
දෝස විපත් සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දැමික්කන් නැතුවට කම් නැතුවා
කරවට පදක්කම් නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ

කාසි පඬුරු කතරගමට ගැටගහලා
බාර උනා රූපෙට රූපේ පුදලා
බෝමා කඳුළු ඉනුවා ඇස කකියා
දෙය්යෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ




බිරිඳකගේ විලාපය අඩුවක් නැතුව උකහාගත් එම පදරටා වල ඇත්තේ අතිශය අනුවේදනීය කතාවකි.

'දාන හතක් දෙනවා කියල
පහන් හතක් පත්තු කෙරුව
පාන්දරම නාලා ගිහිල්ලා'

එසේ Dalreen එසේ කියන්නේ එය කවර බිරින්දෑවකට වුවද පොදු කාරනාවක්දැයි පසක් කරමිනි.

යශෝදරාව හැරපියා ගිය සිය සැමියාට 'අව්වේ තිබෙන රැස්මාලා අඩුවේවා ' කියා පතන්න ඇත්තේද එවන් දුකක් හදදරා විය හැකිය.


එවන් හැරයාමකදී දෙවියන්ට පමණක් දුක කියා හඬා වැළපීමෙන් පවා අවසානයේ ස්වයන් නිද්‍රාවකට පත්වන්නට ඔවුන්ට මනා හැකියාවක් ඇතිවීම පුදුම සහගතය. දරුවන් කෙරෙන් ඒ සුවපත්කිරිම ලද හැකිදැයි සිතීම බොළඳ වුවත් මවකගේ සිතකට වඩා එහි ඇත්තේ බිරිඳකගේ සෝ සුසුමකි.

මා එක්කලා අමනාපව වී දබර
දූගේ තාත්තා එන්නේ නැහැ ගෙදර

වැලි පොල්කටුයි හැඳි රෑනයි පෙරලාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා

හඳමාමා නගිනතුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳමාමා අතම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒදැය් බලමින් ඉඳිමු







දෙන්න දෙමහල්ලන්ගේ දබර බත්පත පිසෙනතුරු පමණක්ය කියා බැහැර කල නොහැකි වන්නේ ඒ ඒ අවස්තාවන් වලදී උනුන් තේරුම් ගන්නට අවසරයක් නොගන්නා බැවින් වන්නට ඇත. එවන් අවකාශ හැඟීම් වලින් පුරවාලනතුරු විරසකය සම තුල පැසවන විසර ගෙඩියකට වඩා වේදනාකාරී අවසානයක් ළඟාකරදෙනු ඇත.

ප්‍රේමය විරහව සමඟ බද්ධව පැවතීම නිසාම ප්‍රේමය තුලම විරහවේ රස තැන් මෙන්ම, විරහව තුලම ප්‍රේමයේ රසතැන් සඟවා ඇත. එනයින් ගත්කල විරහවක් නැති ප්‍රේමයක් කෙදිනකවත් රසවත් නොවනු ඇත.

විරහවකදී ගීත රචකයාගේ වපසරිය අතිශය පුළුල්ය. නමුත් එකී භාවිතාව බොහෝ පටු තීරයකට කොටුවී ඇත්තා සේ මට හැඟෙන්නේ නෙල්ලි රසයක් ඇති විරහවේ සැමවිටම අප උකහාගන්නට තැත්කරන්නේ ඇඹුල් රසය පමණක් වන නිසා වන්නට ඇත. දබරයකදී , මතගැටුමකදී හෝ අමනාපයකදී එහි ඇති දුක්බර පිඩිත බවින් ඔබ්බට ගිය රසවත් බවක් දනවන්නට සමත් සුභාවිත ගීතයක් තවත් ඔසුවක්ම නොවේද?


ඉතින් මම මෙසේ සටහන නිමකරන්නට සුදානම, මෙවන් ගිතාවලිකට දායක වෙන්න හැකිද කියා ඔබෙන් අසමින්!

ප.ලි. හරි ඉතින් ඒකෙත් හැටි බලමුකෝ. මේ දර්ශකයේ වැඩිපුරම ඉතින් ප්‍රේම් තමයි ඉන්නේ. ඔහුගේ නික්මයාම සිහිපත්කරන රාත්‍රියකදී මට ඇසුන ඔහුගේ ඒ විස්මිත ගීත එකතුව මාව මෙලෙස ලියන්නට පොළඹවන්නට ඇති. ඉතින් අපි ලියා තබමු නේද 'දබර උනාට පස්සේ' කියන ගීත?

මෙය හුදෙක්ම කුටුම්බගත ජීවිතවල විරහව ලෙස පමණක් ලියා තබන්නේ ඒ ගැන ලියවුනු ගීත වල ඇති රමණිය බව නිසාමය. එවන් ගීත ලියන්නට හැමවිටම සුවිශේෂී දස්කමක් අවැසිය




21 comments:

  1. \\දුක්බර පිඩිත බවින් ඔබ්බට ගිය රසවත් බවක් දනවන්නට සමත් සුභාවිත ගීතයක් \\

    එතනට ' පියඹා යනවා මා ආකාසයේ....අවසානයි ප්‍රේමාදරේ.. ' ගීතය ගන්න බැරිද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑනේ දුමී.. එතැනදී මෙච්චර දවසක් 'මල වැදයක් වෙලා හිටපු පෙම්වතිගෙන් මිදුන ජොලිය මිසක් පොඩි රණ්ඩුවකට හෝ ආරවුලකට දෙපැත්තට වෙච්ච සැමියෙක්ගේ 'ජෝලියාක් එහෙම ලියවිලා නැහැනේ..

      ඔන්න ඒ ජාතියේ සැමියන්ට පුළුවන් ඇවිත් මෙතැන ඔවුන්ගේ 'කවීත්වය' පෙන්නලා යන්න!

      හැබෑටම දුමීට පුළුවන්නේ එහෙම ලියන්න! ලියමුද කවියක්/සින්දුවක් ඒ ජාතියෙන්?

      Delete
    2. ඒ කියන්නේ විරහව දුකක් නොකරගෙන රහක් කරගෙන, විවාහෙන් ඈත්වුණු සැමියෙක්ගේ සතුට හැගවෙන නිර්මාණයක්ද, ලිඛිතා.

      Delete
    3. සමහරවිට එහෙම හෝ ඒ ආසන්න දෙයක්. උදාහරණයක් විදියට එහෙම විවාහයකින් වෙන්වුනු දෙදෙනෙකු යලි හමුවීමකදී කියවෙන ගීතයක්? එක්කො දෙදෙනාගෙ වෙනස් ගමන්මග දිහා පසුව මධ්‍යස්ථව බලන නිර්මාණයක් වගේ දෙයක්??

      Delete
    4. එහෙම නිර්මාණ තියෙනවා හැබැයි එතනදි පෙම්වතුන්ගේ වෙන්වීමක් මිස විවාහයක අඹුසැමි යුවලක් ගැන නම් සදහනක් නෑ

      Delete
  2. ලස්සන ගීත ටිකක් එක්කාසු කරලා ලිඛිතා.. නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.

      බැරිද ලියන්න හෝ හොයල දෙන්න මේ තේමාවට අහුවෙන ගීත?

      Delete
    2. මට මතක හිටින් නෑ ගීත.. ඒත් මතක් වුනොත් එවන්න අනිවා ^_^

      Delete
  3. වාව්.. උදේම මරු සිංදු ටිකක්නෙ අහන්න තියෙන්නෙ.මේ ලිස්ට් එකේ මගේ උඩම තියෙන්නෙ රූකගෙ අනාත මාරුතේ...ඕක මගේ සත්තලන්ගෙ කටේ නිතරම තියෙන එකක්. දැණ් ඉතින් සේරම පැත්තක තියල හොයාපන්කෝ වලියකට පසු සිංදු.

    ReplyDelete
    Replies
    1. සත්තලන් ඒක කියලද ගොඩදාගන්නෙ?
      ඔන්න බලාගන්න පින්වත්නි මේ ගීත රචකයෝ දෙය්යො වගේ ඇවිත් මිනිස්සුන්ට පිහිටවෙන හැටි!

      Delete
  4. නියම සින්දු ටිකක් තෝරාගෙන තියෙන්නේ
    ජයවේව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවට.

      ඔව්... තව ගීත මේ තේමාවට එකතු කරන්නයි කියලයි ඉල්ලන්නේ. පුළුවන් නේද? නියම සින්දු තෝරාගත්තා කියලා කියනවට වඩා මම කැමති නියම සින්දු විසින් නියමෙට මාව තෝරගෙනද වගේ!

      Delete
    2. විරහව පැත්තෙන් ලස්සන සින්දු ටිකක් විදියට මට නම් දැනුනේ මෙන්න මේ ටික . ගොඩක් පරණ ඒවා නෙවෙයි අලුත් ඒවා වලින්,

      "මගේ දුවනි"
      "යන තැනක ඉන්න සෑමදා "

      මේ දවස් වල ඔය දෙක තමයි මගේ හිට් ම විරහ සින්දු දෙක

      Delete
    3. :-O

      ලිරික්ස් දාමුද බලන්න.

      Delete
  5. අගේ ඇති විමසුමක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..
      එකතු කරන්න සින්දුවක් ඔලුවට ආවේ නැද්ද?

      Delete
  6. විරහ ගීත කිව්ව ගමන් මතක් වෙන සින්දුවක් තියනව. ටිකක් බොලදයි වගේ තමා ඒත් මට නම් වැඩියෙන්ම දැනෙන විරහ ගීතය මේක කියන්න පුලුවන්...කාලයක් ජීවිතේ අත්දැකීමක් වෙලා තිබුණු නිසාද මන්ද..ඒ කාලෙ වැඩියෙන් ඇහුවෙ..(නැත්නම් ඇහුණෙ) මෙන්න මේ සින්දුව..ඉතින් විරහව කිව්ව ගමන් මේ සින්දුව මතක් වෙන එක වළත්වනන බෑ මට..

    සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..

    https://www.youtube.com/watch?v=fbffgB14JhQ

    ReplyDelete
    Replies
    1. මේ ඉතින් එකෙන්ම බූට් සින්දුවක්නේ...... මම මේ ලිව්වේ නෝක්කාඩු සින්දු.

      ඒ සින්දුවේ මැජිකල් ටච් එකක් තියෙනවා තමයි... මිල්ටන්ගේ විරහ සින්දු ඔක්කොගෙම එහෙම තියෙනවද කොහෙද.

      thx

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...