Wednesday, February 14, 2018

169. මේඝදූතය || the shape of water





මේඝදූතය සිනිඳු බඳවට - ලියා දෙමි මල් පියල්ලෙන්
වේග වාතය තුලින් මිහිබට - නොයා රවටා ඇසිල්ලෙන්
තේදවන්තව ගිජිඳු කරවට - හොවා මල්දම් මැවිල්ලෙන්
පේමවන්තව හොවමි පිරුවට - වහා එනු මැන විදිල්ලෙන්

තුරුණු මල මත රොනින මත්වුනු - දලෙ'ලු ඇත් රජිදුන් මනා
පිරුණු ළයමත සැනින දියවුණු - සලෙලු කිළි සුවඳින් උනා
දරුණු මේඝය නුඹද පැරදුනු - සිලිලු සෙත්කවි වැසි ගෙනා
බලනු විමතිව පෙමින් මිරිකුණු - සියලු රස එක්වී මෙනා




~~~ මන්ජි 

13 comments:

  1. ලතෙත් සිත් බැඳ මෙලෙස ලියැවෙන කවිත් අරුමැසිමැය මනා.
    නුඹැම මහ කිවිඳියකි'ය නොකියන කටත් ගත වේ අපා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයුමට. යමක් ලියන්න තමයි මේ උත්සාහය

      Delete
    2. පොතකට ගියොත් මොකද ... අංක වෙනස් කරන්න 170 ,169ට කලින් ඇවිත්

      Delete
    3. පොතකට යන්න තරම් දැනුමක්, උවමනාවක් තාම නැහැ කියලයි හිතෙන්නේ. අවකාශයේ ලියන්න තමයි මගේ මනාපය. ස්තුතියි

      Delete
  2. මම මෙම විරිතට බොහෝ සෙයින් මනාප වෙමි!
    ඔබ කලක පටන් ලියන කවි වල වෙනදා ලියා ඇති සමූපේ මිළදර්ශණ විරිතෙන් මිදී ඇති සෙයකි.
    ලියා ඇතිදේ අරුත් බර දැයි කීමට නොහැකි තරම් බරපතල වී ඇත.
    ගීතය හෝ කවිය ලියැවෙන්නේ සුන්දර අරුත්බර ලගන්නා සුළු වදන් එක් වීමෙනි. එසේ නොවුනු අවස්ථාද නැත්තේම නොවේ. එහෙත් එසේ නිර්මාණය කරණ වදන් පටලැවිල්ලට ඇත්තේ අවම ආයුෂකි.
    හැත්තෑව දශකයේ සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ සිදුවූ "වගා සංග්‍රාමය" ට සමකාලීනව බිහිවූ වික්ටර් රත්නායක ගැයූ "පුංචි හාමූ පුංචි හාමූ කුඹුර කොටන්නේ ඇයි" වැනි ගීත මෙයට උදහරණ ලෙස දැක්විය හැක.
    එකල බිහිවූ එක් ගීතයක ස්ථායි කොටසේ එක් තැනක "........ට්‍රැක්ටරයෙන් හඬ පැතිරෙයි - කුඹුර බලා කඩිමුඩියේ ඇළ මත්තේ ජලය දිවෙයි" වැනි ගීත බිහිවී මියගියේ ඒ වායී තිබූ නිර්මාණ මන්දපෝෂනය කරණ කොට ගෙනය!
    එහෙත් එකලම බිහිවූ ඩී ඩී ගුණසේනයන් ගැයූ "සොඳුර මට සමුදෙන්න..." ටී ඇම් ගේ " පාවී පාවී මේ එන්නේ" වැනි ගීත මේ තත්වයෙන් ඈත්ව ගිය සුන්දර නිර්මාණයන්ය. මෙයට ඒවායේ නාද රටා මෙන්ම ගායන හඬ පෞර්ෂවයන්ද හේතු වූවා යැයි කිසිවෙකු මාගේ පිටට අත තබා කීවොත් මා එම අදහස ඔහුගේ අත අල්ලාගෙනම එකඟ වෙමි.
    නමුත් පසු කාලීනව ට්‍රැකටරය නැවත ගී කරළියට ගෙන එන රත්නශ්‍රී "ට්‍රැක්ටරේ යකඩ ගජ සෙන් කුංචනාදයෙන් ඇලළුණු .." යනුවෙන් කපුගේට කියා ගායනා කරවත්දී අප දෑස් වසා රස විඳීමු.
    ඒ වෙල්ලස්සේ පාරම්පරික ගොවියා සමග කපුගේද සමගින් අපට එකට සිටගත හැකිව තිබූ නිසාය!

    මා මීට කලින් කොහේදො කියන ලද දෙයක් නැවතත් මතක් කරමි!
    කිසියම් ගීත රචකයෙකුගෙන් "ඇයි ඔබ ; ඔබේ ගී නිර්මාණයේදී ගැඹුරු වදන් යොදන්නේ ?" කියා විමසූ විට ඔහු අපූරු නිද සුනක් ගෙන හැර පෑවේය. දැන් "ඔබේ මුව සිප මධු උරා බී...." කියන යෙදුම වෙනුවට "ඔබේ කට ඉඹ කෙළ උරා බී..." කියලා යෙදුව හොත් එය කොතරම් නිර්මාණ ශීලී වේද? ............ එතනින් එහාට තවත් දිග පාඨයක් ඔහු ගෙන හැර පෑවේය.

    ශෘංගාරය දවන කවි ලියන අයට කිව යුත්තේ මීමන ප්‍රේමතිලකයන්ගේ රසාලිප්ත කවියක් දෙකක් කියවා බලන්න කියාය.
    මාධ්යයේ නිදහස යනු තමා කැමති ඕනෑම කුණුහරුපයක් දෙසා බෑම යැයි කියා ගන්නා පෙන්නුම් කරණා දේශපාලන බ්ලොග් රචක සොහොයුරණට කිව යුතු කරණ වන්නේ . "ඇත්තේ " සිරා හෙවත් බී ඒ සිරිවර්ධනයන්ගේ වැකිය හෙවත් කතුවැකි කියවා බලන්න කියාය.

    ශෘංගාරය දවන කවි යනු ඇඳට නැග පිරිවැස්ස ගලවනා තැන සිට අවසානය තෙක් කරණා කියනා සියළු කටයුතු ගෙන හැර දැක්වීම යැයි කිසියම් කවියෙකු හෝ කිවිඳියක සිතන්නේ නම් ඊට වඩා හොඳ නිර්මාණ රැගත් පුවත්පත් එකල ; පත්තර තට්ටු යට තබා අලෙවි කල බව මා මතක් කරණු කැමැත්තෙමි.

    නිර්මාණ පෙරහැරවල් යවනවාට වඩා හොඳ නිර්මාණ එකක් දෙකක් කිරීම වඩා යහපත් වන බව මා නොකිව මනාය.
    කේ ඩී කේ ගේ "කුමරියක පා සළඹ සැළුනා....." ගීතය අදත් පවතින්නේ එනිසා විය යුතුය.

    ශෘංගාරය දනවන කලා නිර්මාණයක් යනු වෛශ්යා මඩමක් හදිසි ගින්නකට හසුවීමෙන් පසු දක්නට ලැබෙන දර්ශනයෙන් ඔබ්බට ගිය එකක් විය යුතු යැයි මා සිතමි!

    ඔබ එවන් නිර්මාණ කාර්යයකට පිවිසෙමින් සිටින බව පෙනී යයි. ඒගැන බලවත් සතුට!

    මේ මගේ කොමෙන්ටුව මා වපුලේ මන්දැයි ඔබ මේ වන විට දන්නවා ඇතැයි සිතමි. "ඔබ ඇකයේ සුවෙන් සිටියත්" මා මෙය ඉදිරි දිනෙක මා පැහැර ගන්නවා ඇත. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ දීර්ඝ කමෙන්ටුවට.
      පැහැරගන්නට තරම් වටිනා කොමෙන්ටුවක්. මගේ නිසඳැස් වලට වඩා වැඩි කැමැත්ත සඳැස් වලට නිසා ටිකක් උත්සාහයෙන් උනත් ලියන්නට හදන්නේ මේ විදියට. ඇගයීමක් ලෙසට නිහතමානිව පිළිගන්නම්

      Delete
  3. හැබැයි සත්තයි සියලු රස ගෙන- වදන් හරඹය දැන මනා
    සුහුරු කවිකම කිවිඳියේ ඔබේ- කවිය දන මන බන්ධනා..

    තට්ට මහතාගේ දීර්ඝ කොමෙන්ටුවට හදපිරි මෙව්වා එක!

    ReplyDelete
    Replies
    1. ලොබයි මෙවදන් ඇසෙන සවනින - ඉඳන් නුඹ මේ පදමෙනා
      මැවිරු නොලියන කිමද කවිකම - දිරිය මේ දැන් ගනු මැනා

      ඔව් තමයි, වටිනා කොමෙන්ටුවක් තමයි ඒක , නමුත් පැහැරගන්නට නියමිතයිලුනේ!

      (මේ... මම මේ නිකමට අහන්නේ.... මොකද මේ දෙන්නට දෙන්නා පැටලී පැටලීම කොමෙන්ටු දාන්නේ?? දේශපාලන අදිසි හස්තයක්ද?) නෑ මේ මම ඇහුවේ අද පත්තරේ කියෙව්වේ නෑ ?

      Delete
    2. බොහොමත්ම ස්තූතියි! මිත්‍ර!!

      ඇත්තම කියනවානම් ලිඛිතා ; පුහුදුන් මා බලා සිටිනවා ඔබට මෙවන් දීර්ඝ කොමෙන්ටුවකින් පසුව මිත්‍ර ඊට යටින් ලියන දේ කුමක් දැයි කියා?
      මන්ද ඔහු බොහෝ විට දරණ මතය මගේ මතය හා සමපාත වන බැවින්! ඒක අහිංසක සතුටක්!

      Delete
  4. Replies
    1. නිහතමානිව සතුටුවෙමි.

      ඔබත් යස කවියෙක්/කිවිඳියක්නේ! ගියා මමත් ඒ පැත්තේ...

      Delete
  5. කවියෙන් ලියන්න පුළුවන් දේවල් ගොඩයි .

    ReplyDelete
    Replies
    1. කවියෙන් වගේම ලියමනෙන් ලිවියහකිදේ ඇත්තෙන්ම විශ්මයජනකයි. එවන් ටැලන්ට් එකක් ලබාගැනීමට තමයි මේ වෙහෙස

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...