නිල්පාට කමිසය වරුවක් පුරාම ඉස්තිරික්ක කරපු නිසාම කඩදාසිකොලයක් තරමටම කෙලින්මයි හිටියේ. හැන්ගර් එකක් තිබුනේ නැති නිසා ඒක පියන එල්ලෙන අල්මාරියේ දොරවල් දෙක යා කරගෙන එල්ලලා තිබුනා. සුන්දර් කාමරයේ හැමතැනම දුවන්නේ මොකටද කියලා තමන්ගේ තද නින්ද කැඩිලා ඇහැරුණු , ඊයේ උදේට අවුරුදු දෙකක් පිරුණු ඌර්වසි කල්පනා කලේ හීනෙන් වගේ.
"නී එන්න සියේට්ටු කොන්ටිරුක්කිරේ?" ( මොනවද ඔය කරන්නේ?)
මද අඳුරත් එක්ක කාමරේ පෙනුනේ හොල්මන් ගුහාවක් වගේ උනාට පුංචි ඌර්වසිට ඒ තමයි එයාගේ මුළු ගෙදරම. ඉපදිච්ච දවසේ ඉඳල ගෙදරක් කියන්නේ කාමරයක් කියලා තමයි ඌර්වසි තේරුම් අරගෙන තිබ්බේ.
"ආ.... එහෙරුනාද..."
කට්ට කළු උනත් සුන්දර් හිනාවෙනකොට කෝපි ගාලක පිපිච්ච කෝපි මල් පොකුරක් වගේ. එතකොටම ආවේ තාරකා; සුන්දර්ගේ සුන්දර බිරිඳ; ඌර්වසි ඉක්මනට කඩමාලු වලින් හදපු ඇඳේ ලේන් පැටියෙක් වගේ වාඩි උනා.
"පාල්.. පාල්.... "
කිරි ඉල්ලගෙන උඩ පනින ඌර්වසිව සුන්දර් වඩාගත්තෙ හිනාවෙගේනමයි. අප්පාගේ ඒ හිනාවට ඌර්වසි හරිම ආසයි.
"කෙල්ල මගේ යෙක්කම ඉන්දල තමිල්ම තමා කියෝනව.... ඔයා දවල්ට දැන් යින්න හින්ද ෂිංහල කියෝවයි.."
තෙත කොන්ඩේ වතුර පිට දීගේ බේරෙනකොට උනත් තාරකා ඒ වගක්වත් නැතුව සුන්දර් දිහා බලලා හිනා උනා. සුන්දර්ගේ අතේ ඉන්නකොට නම් ඌර්වසිව තාරකාට අතට ගන්න බැහැ කොහොමටත්. රස්සාවක් නැතුව හේබාගෙන උන්නු සුන්දර්ගේ හිනාව ඒකි ලැබුණු දවසේ ඉඳල ආයෙමත් ලෙලදෙන්න ගත්තට වත්තේ උන් ඔක්කොම ආඩපාලි කනේ තිබ්බේ තාරකාගේ.
'පිස්සුද අනේ රස්සාවක් නැතුව ළමයෙක් හදාගත්තේ? කන්න දෙන්නේ උඹ නැහිලද ?'
'මරු මිනිහ.... ගෑණි අනුන්ගේ ගෙවල්වල වලන් හෝදන්න ඇරලා ගෙට වෙලා ළමයි හුරතල් කොන්නොව'
'කම්මැලි මිනිස්සු.. ගෑනිගෙන් කනවා. අම්මප ඔයිට හොඳයි ලේන්සුවක් එලාගෙන හිඟා කනවා'
'බොටත් පිස්සු මේ දෙමළෙක් එල්ලගෙන... ළමයි බලනොව විතරයි'
'ඈ බන් තාරකෝ.... අර මම කිව්ව දිහා පලයන් අදවත්.... පාස්කොට් ඕනේ නෑ.. ඒ මහත්තුරු සුටුස් ගාල එව්වා කොරල දෙනවා... බොට තියෙන්නේ ගිරාමසේවක කොට්ටාසේ කියන්න ඉතරයි... එහෙන් දෙනවා ළමයි නැතිය.. උඹට රට යන්න ප්‍රස්නයක් නැතිය කියල සහතිකෙත්.. අන්න අර ටැප්පෙක ගාව රංජිනී සතියෙන් ඩුබායි ගියේ... අම්මප!'
ඒ කිසි දෙයක් තාරකා ගණන් ගත්තේ නැහැ කියන්න බැහැ. ඒවා මුලදී සති ගණන් කනේ තිබ්බත්, ඊට පස්සේ ඒවා දවස් ගානක්, පැය ගානක් විදියට ආයුෂ අඩු වෙලා.. දැන් නම් මේ කනෙන් අහනවා, මේ කනෙන් පිටවෙනවා ගානයි.
"පරක්කු වෙනවා නේද? ලෑස්තිවෙන්න"
උදේම නෑවම තාරකා ගාව එන පුසුඹ විඳිමින් හිටපු සුන්දර් දිහා කෝල බැල්මක් දාපු තාරකා ඌර්වසිගන්න නැමුනත්, පොඩි කෙල්ල අප්පාගේ බෙල්ලේ එල්ලුනා.
"අම්මා අපා... අම්මා අපා.... අප්පා වේන්ටුම්.... අප්පා වේන්ටුම්.. අප්පා වේන්ටුම්.. ආ..."
තාරකාට තරහත් එක්ක.
"බහින්න බහින්න... අප්පාට පරක්කු වෙනවා විසී...."
"අම්මා එක්ක ඉන්න විසී.. අප්පා එනකොට ගේනවා චෝකොලොට්...."
මකුළු පැටියෙක් ගලවනවා වගේ සුන්දර්ගේ බෙල්ලෙන් ඌර්වසි ගලවලා , බිමින් වාඩි කලේ කිරිකෝප්පේ අතට දෙන ගමන්. සුන්දර්ට ගෙනාපු කිරි කෝප්පෙත් අතට දෙනකොට සුන්දර් තාරකාගේ ඔලුව අතගෑව.
".... උඹ ඔඳ ගේනි තාරු.... උඹලගේ වාෂනාවට තමා මේ මුර වැඩේ ලැබුනේ..."
"සුන්දර්... දවසේ පඩිය උනාට අනන් මනං වලට වියදම් කරන්න එපා. කෙල්ලට චොක්ලට් ඕනේ නැහැ.... අපිට ඉතුරු කරන්න පුළුවන් මේ පඩිය..."
නිල්පාට අත්කොට කමිසය ඇන්දහම කට්ට කළු උනත් සුන්දර් බොහොම ලස්සනට පෙනුනා.
වත්තේ අන්තිම කොනට ගිහිල්ලත් සුන්දර් අතවනලා ගියේ තාරුකාගේ හිත අලුතෙන්ම මොදුවෙන්න ගත්ත ආදරේ සුවඳ හමනකොට.
හෙමින් ගත්ත හුස්ම පපුව ඇතුලට පුරෝගෙන තාරකා ආයෙමත් ගේ දිහාට හැරුන.
"ආ... තාරුකා... අද වැඩට යන්නේ නැද්ද?"
"නෑ නැන්දේ.. සුන්දර් ට අද රස්සාවක් ලැබුන. ආයෙමත් මම වැඩට යන්නේ නැහැ"
තාරුකා එහෙම කියාගෙන ඇතුලට යනකොට ඌර්වසි කිරි බීපු කෝප්පේ ඔලුවේ තියාගෙන අප්පුඩි ගහනවා...
***************************************************
"මචං මම අදනම් ඉවසන්නේ නැහැ.... උඹ දන්නවද.... අර මල්කොබා... අර කොන්ඩේ මැද්දෙන් පීරන්නේ.. ඌත් මම දැක්කා හන්දියේ ඉඳන් ඒකි පස්සෙන් හොර ගල් අහුලා අහුලා යනවා.. මට දිරෙව්වෙ නැහැ ඒ ඩයල් එක..."
"මම නම් කියන්නේ.... අදම අහපන්.. ආයේ ඒකෙ පස්ස ගහන්න දෙයක් නැහැ... හා නම් හා.. බෑ නම් ඒත් හා කරවන හැටි අපි දන්නවා.. නැද්ද විජේ?"
කුමාර තමන්ගේ බුදු ෆිට් යාලුවා දිහා බැලුවේ ආඩම්බරෙන් වගේ. තමන්ගේ යාළුවට කටින් දීපු සපෝට් එක හින්දා චන්දරේ පපුවත් ඉස්සරහට දාගෙන හිනාවක් දැම්මා කුමාර දිහාවට. කුමාරට දැන් මාර කික් එකක් දැනෙන්නේ.
ඒත් එක්කම වතුර පුරෝපු බැලුම් බෝලයක් වගේ පිපිරිලා ගියේ දොරකඩින් එබුනු තමන්ගේ අම්මගේ ලස්සන මුණ දැක්ක ගමන්.
"තෝ අදත් යන්නද රස්තියාදුවේ... ඈ !? එළියට තියපන් බලන්න අඩියක් මම කඩනවා තොගේ අඬු !! මේ ඇවිත් ඉන්නේ නල්ලමලේ කොල්ලෑවෝ...."
එහෙම කියනකොටම කුමාර වටපිට බැලුව, හෑ ?? මෙතන හිටපු දෙන්නා පෙට්‍රල් වලටත් කලින් වාෂ්ප වෙලා නේද? දැන් ඉවරයි...
වෙඩිබෙහෙත් නිෂ්පාදනාගාරේට මෝටාර් ගැහුවා වගේ අම්මගේ කටහඬ දෙදරන්න ගත්තා. කුමාර හෙමීට ගෙට රිංගන්න හදනකොට ඉස්කෝලේ යන්න පරක්කු වෙච්ච සෙව්වන්දි දොරෙන් එලියට ආපු වේගෙට උරෙස්සේ වැදිලා ඈතට විසික් වෙන්න හදනකොට අල්ලාගත්තේ කුමාරමයි.
"මොන... "
"ෂ්.... කෑගහන්න එපා හලෝ.. අම්මට මල පැනල.. තමුසෙත් මට නඩුවක් කඩන්නද හදන්නේ... වඳින්නම් කෑගහන්නේ නැතුව ඉස්කෝලේ යනවා.."
තමන්ගේ සහෝදරයා ගැන ඇතිවෙච්ච දුකටත් වඩා සෙව්වන්දිට දැනුනේ ජොලියක්. ඒ උනාට පවුනේ අහිංසකය... ඒ නිසා බෑග් එකක් හද හද සෙව්වන්දි ගෙදරින් එලියට ආව.
"..අම්මේ..... මම යනෝ....... හවස නෙට්බෝල් තියෙනාවෝ....... කෑම තියන්නෝ..."
"නොදකින් මෙහෙමත් කෙල්ලෝ... මුළු ගමටම කියාගෙනද යන්නේ?"
අම්මාගේ එනපොට හොඳනැති බව දැනුන සෙව්වන්දිත් අනුන්ගේ ටෙරටරියේ උන්න බල්ලෙක් වගේ කන්දෙක පාත් කරගෙන ගේට්ටුව දිහාවට ඇවිදගෙන ගියා.
**********************************************
සුමනසිරිගේ හිත තදටම රිදෙන්නට පටන්ගත්ත. දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ. වැරද්දක් කරලා නැති උනත් එන විදියකට මුණ දෙන්න වෙනවා. මීට අවුරුදු පහකට කලින් සොහොන් චිමිනියක අළු වෙච්ච රූපවතී හිටියා නම් කියා එක්දහස් එක් වරත් හිතෙනකොට සුමනසිරි ඇඩුම වලක්වගත්තේ අමාරුවෙන්. මේ පාලු ගෙදර ඉතින් අඬන්න තහනමක් නැති එක ඇත්ත උනත් සුමනසිරි එහෙම අඬපු කෙනෙක් නෙවෙයි.
මුසල නිහඬතාවය බිඳගෙන ස්ථාවර දුරකතනයේ සද්දය ඇහුනා. කහපාට කමිසයේ අන්තිම බොත්තම් පියවන ගමන් සුමනසිරි ගියේ හැල්මේ වගේ දුවන ගමන්.
"හලෝ?"
"හලෝ... මම මේ කතා කරන්නේ විල්සන්..."
"ආ.. විල්සන් මහත්තය...."
ආයෙමත් සුමනසිරිගේ හිත පහුරු ගානවා වගේ දැනුන නිසා වචන එන්නේ නැතුව උගුරේම හිර උනා.
"...... මම... උදේ.."
"සුමනසිරි.... අයිසේ... තමුසෙට මම සුබ ආරංචියක් කියන්න කතාකලේ..."
සුමනසිරිට අමුත්තක් දැනුනා ඒ ස්වරයේ. ඒ උනාට බොරපාට ඇස්වල තාමත් තිබ්බේ මලානික පහනක කහ පාටක්.
".... තමුසේ හරි වාසනාවන්තයා... ....කිව්වත් වගේ.... බය වෙන්න කිසි දෙයක් නැහැ... උඹ ඒ චෝදනා වලින් සම්පුර්ණයෙන් නිදහස්"
මේ ඇහුනේ මොකද්ද කියලා සුමනසිරිට නිනව්වක් නැහැ.
"වී.... විල්සන් මහත්තය.... ඒ කිව්වේ?"
"තමුසේ හොරකම් කලේ නැහැ කියන්න සාක්කි අපි හොයාගත්ත. ඔක්කොම කරලා තියෙන්නේ අර ස්ටෝකිපර් වෙලා උන්නු අංකුරා... විජිත... ඌ එක්ක එකතු වෙලා ජයපාල තමයි ඔක්කොම ටයිල් ටික පන්නගෙන තියෙන්නේ... "
තමන් මහා මාරුතයකට අහුවෙලා හිටියා වගේ සුමනසිරි හුස්මක් ගන්නේ නැතුව හිටිපියවරම හිටිය.
මේ ඇහෙන්නේ ඇත්තක්ද? මිට සතියකට කලින්, ගබඩාවේ වැඩබලපු ස්ටෝකිපර් තනතුරෙන් එළියට වැටුනේ භාණ්ඩ හොරකමකට චෝදනා කරමින්.
මහාමෙරුවක් බිම තිබ්බා වගේ සුමනසිරි එතැනම තිබ්බ රූපවතීගේ පින්තුරේ දිහා බලාගෙන පුටුවකට බර උනා.
සුමනසිරිගේ අත වෙව්ලනවා රිසිවරයෙන් නොපෙනුන විල්සන් හුස්මක් කටක් නැතුව තවත් කියෝගෙන ගියේ හොරකමේ මුල හොයාගත්තේ තමන් වගේ. ඒ එකක්වත් ගැන සුමනසිරිට නිච්චියක් නැහැ. තමන් බේරුනා කියල විතරයි තිබුණු එකම සැනසීම.
".... ලොක්කා ලියුමත් ගැහුවා ඔන්න ඔහේට... සුමනසිරිට ඇහැකිද එහෙනම් අදම එන්ඩ?"
ඒ ටික ඇහෙනකොට සුමනසිරි සිහියෙන් තමයි හිටියේ.
"හරි හරි විල්සන් මහත්තය.. මම දැන්ම පිටත්වෙන්නම්කො.. හම්මේ මගේ හිතට දැනෙන සැනසිල්ල නම් කියල නිම කරන්න බැහැ. මට දැන් සැනසිල්ලේ ඇස්දෙක පියාගන්න පුළුවන්"
"එහෙනම් මම ගේට්ටුවට කියල තියන්නම්කො. කෙලිම්ම එන්න ගබඩාවටම "
****************************************************
'සුදුපාට සල්වාර් එකට ඔයා හරියට හංසයෙක් වගේ'
කාවිංගගේ කටහඬ මධුමිකාගේ කන ඇතුලේ දෝංකාර දෙනවා වගේ දැනුනේ මේ දැන් මොහොතකට පෙර වගේ. ඒ උනාට කාවිංග එහෙම කිව්වේ මීට පැයකට විතර කලින් උනත් තාමත් ඒ වචන වලට මධුමිකා හිරිවැටෙනවා.
අවුරුදු එකහමාරක් තිස්සෙම පස්සෙන් එමින් හිටපු කාවිංගට හරියට ආදරෙයි කියලත් දැන් පැයකට වැඩියි. හැමෝම කිව්වේ ජුකී මහන මධුමිකාලගේ රොන් උරණ සමනල්ලු එන්නේ පුල්ලි පුල්ලි ඇඳුම් අන්දලා, බූට් දාගෙන කියල. දැන් ඒ අය මල්වතු, කානු සුද්දකරන්න ගිහිල්ල හින්දද මන්ද මධුමිකාගේ වැඩමුරය ඉවරවෙන වෙලාවල් වලට හම්බෙන්නෙත් නැහැ. ඒ උනාට කොහොම ආවද දන්නේ නැති ඒ වගේ කුරුල්ලෙක් නම් මධුමිකාගේ බෝඩිමේ දෙකට ගනින්න බැරුව වගේ හිටපු චායා දැපනේ දමාගෙන හිටියා.
මධුමිකා කැමති උනේ නැහැ එහෙම බූට් සපත්තු කාරයෙක්ට. පෑගිලා යයි කියන බයට නෙවෙයි, විරු පවුලක උනත් වීරත්වයේ සීමාව සලකුණු කරන්න ඕනේ උන නිසා.
ඒ අතරෙනේ රීලෝඩ් දාන්න ගිහින් කාවින්ගව දැක්කේ.
"නංගි ඔයාගේ නම මොකද්ද?"
එහෙම ඇහුවේ කාවිංග නෙවෙයි. එයාගේ කමියුනිකේෂන් එකේ යාලුවා. අංකය නම් ඉතින් එයා ලේසියෙන්ම හොයාගන්න ඇති. පොතේ ලියනවනේ. මොකද මධුමිකාට 'පට් පට් ' ගාල රීලෝඩ් දාන්න කෙනෙක් නැහැනේ.
"පව් බන්"
"අනේ මේ නිකා ඉන්න සුජි... කොන්දක් නැද්ද කෙලින් කතාකරන්න එන්න"
කාවිංගගේ සුදු මුණ සුජීවාගේ හිත උණු කලාට මධුමිකා එහෙම උණු උනේ නැහැ. බඹරු උනත් මුලින් ගුමු ගුමු.. පස්සෙනේ කට්ටෙන් අනින්නේ තරු පේන්න ! සුජි නම් කිව්වේ අර මොකද්දෝ එකේ මධුමිකාට හැලකිඹුලෝ පේනවා කියල. එහෙම කියල කොහොමද, දැන් කානු වලත් කිඹුලෝ ඉන්නකොට?
වැඩමුරයක් ඉවර කරලා තලාදාලා වගේ රිදෙන ඇඟපත එක්ක මධුමිකාට පස්සෙන් නැට්ටක් හිටපු එක ගැන කවුරුත් කතාකලේ සතියක් විතරයි. ඊට පස්සේ ඒක සුනීතා පස්සෙන් වැටුණු ජේත්තුකාර මනුස්සයා දිහාට හැරුනා. මධුමිකාගේ සිද්ධියේදී වගේ නෙවෙයි, ඒ කතාවේ බොහොම බිහිසුණු ජවනිකා තිබුනා. එකම හේතුව සුනීතා කසාද බැඳපු ගෑනියෙක් වෙච්ච එක විතරක් නෙවෙයි, දවස් දෙකෙන් දෙන්නා බෝගන්විලා පඳුරක් අස්සේ ඉඳල අහුවෙච්ච හින්ද වෙන්න ඇති. කට්ටිය වට උනේ පෙට්‍රෝල් කෑන් කරේ තියාගෙන ඇවිත්.
මධුමිකා කැමති උනත් නැතත් හැමදාම වැඩ මුරේ ඉවර වෙලා බෝඩිමට යනකල් කාවිංග ඇවිදගෙන එනවා, පස්සෙන්මත් නෙවෙයි; පාරේ අනිත් පැත්තේ. මධුමිකාට වඩා ඉක්මනින් සුජි කතාකලා කාවිංග එක්ක. ඒ උනාට කාවිංගට වඩා ඉක්මනින් කමියුනිකේෂන් එකේ රත්නපාල උත්තර දෙන්න ගත්ත.
මාසයක් කඹුරලා ගත්ත පඩිය තමන්ටම කියලා මධුමිකා වියදම් කරපු පලවෙනි වතාව. සුදුපාට ෂල්වාර් එක ගත්තේ බෙලෙක්කඩේ හන්දියෙන් උනාට මධුමිකා ඒක පරිස්සම් කලේ පිල්ලෑව පන්සල් අඳින්න තියාගන්න.
පළවෙනියටම එහෙම ඇඳගෙන, පාරත් තනියෙම මාරු වෙලා පන්සල තියෙන පාරට එනකොටම දැක්කේ කාවිංග හිටගෙන ඉන්න හැටි.
කාවිංගට දැනුනේ තමන්ගේ හිත උතුරනවා වගේ. මාස ගානක් ළඟ තියාගෙන හිටියත් කතා නොකරපු මධුමිකාගේ දුරකතනයට පළවෙනියට ඇමතුමක් ගන්නකොටත් දැනුනේ මේ විදියටමයි.
"ඒ කෙල්ල උඹට කැමතියි.... අගේ කර කර තියාගෙන ඉන්නේ... "
"උඹව වටේ යවනවද මන්ද බං "
"නෑ නෑ මට තතුදත් ආරංචි මාර්ග වලින් ආරංචි උනා. කෙල්ල බොරුවක් නෙවෙයි කරන්නේ... ලව් තමයි"
රත්නපාල එහෙම කිව්වහම කාවිංගට අතාරින්න බැහැ. රස්සාවක් නැතුව ඉඳල දැන් ඒකත් හරි. දැන් තියෙන්නේ කෙල්ල කැමතියි කියල කටින්ම අහගන්න එක.
ඔහොම පෙරුම් පුරලා තමයි මධුමිකා එක්ක පන්සල් එන්න හදාගත්තේ. පන්සලේ බෝ මළුවේදී 'ආදරෙයි කාවිංග අය්යා මම ඔයාට' කියල කිව්වහම කාවිංගට අහසේ පාවෙනවා වගෙයි දැනුනේ.
පාන්දර ගිහින් පන්සලේ වතාවත් කරලා, දිනපු ආදරෙත් අරගෙන මධුමිකා ආවේ ලෝකයක් දිනුවා වගෙයි.
බස් එකෙන් බිමට බැහැලා මධුමිකා කහ ඉර ගාව හිටගෙන වටපිට බැලුවා.
**************************************************
කමල් රථයට නැග්ගේ ගතේ මහන්සියට වඩා හිතේ මහන්සියෙන්. නැගලා සද්දෙන් දොර වහනකොටම හමීඩ්ට තේරුනා වැඩේ නරක පැත්තට ගොහින් බව.
"යේක එහෙම හරි නැහැනේ කමෙල් මහත්තයා..... අපි උනත් ශෑහෙන ගේමක් ගෙනියන්නේ. එං පොලිෂ් මාතියා පන්නනවා.... අරේන් මුචලාලි බර බරේ...."
"මම ඒවාට හමිඩ්ට ගෙවනවානේ... තමුසෙට තියෙන්නේ බඩු ටික එකතුකරගෙන යනකල් හංගලා තියන්න විතරනේ. උඹට පැක් කරන්න දීපුවා ඔක්කොම බෝඩරේ පැන්න ගමන් අහු උනා. යකෝ... ඔහොම කරන්න බැහැ ගංජා වැඩේ... මේ අන්තිම ටික. මීට පස්සේ උඹට දෙන්නේ නැහැ"
කමල් අද කතාකරන්නේ මොකක් හරි පැටලවිල්ලකින්ද කියල හමීඩ්ට සැක නොහිතුනෙත් නැහැ. නැත්තම් හැම වචන දෙකකටම වරක් කුණුහබ්බ සම්බෝලයක් වෙච්ච කමල් මහත්තයාගේ කියපු දේවල්වල තේරුම දැනගන්න කුණුහරප ටික වෙනම පෙරලා තියන්න වෙනවා. හමීඩ් බෙල්ල කස කස වාහනේ ගාවට කිට්ටු කළා.
"මාතියා ඒම කුරාන්ට එපා... මම නැති අතරේ ගෝලයා තමයි පැක් කුරලා තියෙන්නේ... අහු වෙච්ච ඒවත් ඉතින් මම ශේප් කුරලා දුන්නනේ..."
හමිඩ්ගේ මේ කතා කමල්ට පුරුදුයි උනත් දැන් ඒකට වෙලාව නෙවෙයි. ඩෑෂ් බෝඩ් එක උඩින් දුරකථනය තියපු කමල් පිටත තියෙන දුවිල්ල වළකන්නට ඉක්මනින් වීදුරුව ඉහලට කරන බොත්තම එබුවා. මුකුත්ම කියන්නේ නැතුව කමල් වාහනේ පාරට ගත්තා.
හිත බොහොම කරදරයි. විනීතා වෙඩිකාපු ඊරියක් වගේ ආපු හැටි කියාගෙන චන්ද්‍රාවතී අඬාගෙන ආවේ පොඩි එකත් කරතියාගේනමයි. එතකොට කමල් හිටියේ අස්වැන්නත් අරගෙන ආපු ජොලියෙන් කට්ටිය එක්ක දවල්ට කනගමන්. වංගෙඩියක් වගේ ඉන්න විනිතා ගෙදරින් ඇඟේ ගහනකන් කමල්ට කිසිදේක බරක්පතලක් තේරිලා තිබ්බේ නැහැ. ඒ වෙනකොට කොලේ අත්සන් නොකරම චන්ද්‍රා කමල් එක්ක පවුල් කෑවේ මාස තුනක බඩකුත් තියාගෙන. චන්ද්‍රාට මොකක් නැතත් කන්න බොන්න දුන්නා වරද්දනේ නැතුව. විනීතා තමන්ගේ ගමන් බිමන් ගැන විස්සෝපෙන් ඉන්න වග පොඩ්ඩක් ඉව වැටුනත්, කමල් කීයටවත් හිතුවේ නැහැ ඒකි තකහනියක් අම්පාරේ යයි කියල චන්ද්‍රා දඩයම් කරන්න.
වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ.... කමල් එලියට බැස්සේ අතේ තිබ්බ සල්ලි ටිකත් චන්ද්‍රාගේ හැට්ටේ ඇතුලේ ඔබලා. ගෑනි වැලහින්නි වගේ අඬනකොට කමල්ට දාල එන්න දුකයි. ඒ උනාට විනීතා වගේ නෙවෙයි, උණුවෙන හිතක් තිබ්බ චන්ද්‍රා වරුවකට පස්සේ පැදුරේ ඉඩක් දුන්න එක හින්දා මිසක්, කමල් උන්නේ විස්සෝපෙන් වගේ.
"අය්යෝ බොස්... ගණන් ගන්න එපා..... ගෑනු ඔහොම තමයි. තමන්ට සලකන්නේ නැහැ වගේ හිතුනොත් මිසක්කා.... ගෑනුන්ට උනත් ආඩම්බරයක් තමන්ගේ මිනිහා වෙන ගෑනියෙක්ගේ ඇල්ම බැල්මට අහුවෙනවා කියලා දැනගෙන්න එක.. හැක.. හැක.. හැක...."
ඒ වචන ටික නෙලුම් කොලේට වැටිච්ච් වතුර වගේ. ඒ කොහොම වෙතත් ඔක්කොම ලෑස්ති කරලා එලියට බහිනකොට අලුතෙන්ම ගත්ත සිම් එක, තමන්ගේ ජංගම දුරකථනයට දාලා , මොකක් හරි කරදරයක් නම් කතාකරන්න කියලා චන්ද්‍රට දීලම එලියට බැහැපු එක ලොකු දෙයක්.
මගදී ගත්ත චින ජංගම දුරකථනය ඔන් කරන්න විතරක් ඉගෙන ගත්තම ඇතිය කියලා හිතලා අනික් කිසි දෙයක් ගැන කමල් වද උනේ නැහැ.
'කොහොමත් දවස් තුනක් යනවා මම ගෙදර යන්න.. ඒ වෙනකොට ගෑනි උනත් කූල් වෙලා ඉඳියි'
කමල්ට හිතුනේ එහෙම උනත් ඩෑෂ් බෝඩ් එක උඩ තියෙන දුරකථනය කොයි වෙලේක හරි වදින බව බලාගෙන හිටියේ ටයිම් බෝම්බයක මිලි තත්පර ගනිනවා වගේ හිතේ ගැස්මෙන්.
පාරට ගත්තහම වාහනේ පේන තෙක්මානයේ තිබුනේ වෙල් යාය බෙදා වෙන්කරන්න ඉරක් වගේ ඇඳපු කාපට් පාර විතරයි.
**************************************
අද නම් මාරම කම්මැලි දවසක්. ෆේස්බුක් එකෙත් එහෙමටම දෙයක් නැහැ.
ලයික් කරන්න පින්තූරෙකුත් නැහැ. බල්ලෝ බළල්ලු දාන වැඩකෑලි ටිකක් නම් තිබ්බා.. එකම දේ අප්පා.... ඒවා ඔක්කොම වගේ තමන් ගිය සතියෙම ශෙයා කරපුවා.
සෙල්ෆියක් දාන්න බැහැනේ අද, අයිබ්‍රොස් හදලත් නැහැ. හෙටනෙ සැලෝන් අක්කා එන්න කිව්වේ...
මල්කි එහෙම හිතාගෙන වයිබර් එකට එබුනා. හායි දෙක තුනක් දැම්මත් කාගෙන්වත් උත්තරයක් නැහැ.. හා.. එකක් ආව...
'පොඩ්ඩක් ලොකු වැඩක.. පස්සේ කතා කරන්නද කෙල්ලේ?'
අදිශ ඔහොම්මමයි කියල මල්කිට හිතුනත් අද නම් අදිශ කතාකලත් යන්නේ නැති කම්මැලිකමක්.
'නියම වැඩක් මතක් උනා... උමාලිලා ගිය සතියෙත් හොද ෆන් එකක් අරගෙන තිබ්බා.. ඉන්නකෝ මම උන්ට වඩා හොඳ ෆන් එකක් ගන්න'
මල්කි ජංගම දුරකතනය දෝතින්ම බදාගෙන වගේ ඇඳේ පෙරලුනේ වැලමිටෙන් ඇඳේ මුක්කුවක් ගහගෙන. කකුල් දෙක පද්ද පද්දා කල්පනා කලේ මුලිම්ම ගන්නේ මොකද්ද කියල... රෝමෙෂ්ට? බෑ! ඌ මාව තම්බයි. අන්තිමට මාව තමයි බයිට් වෙන්නේ.
මල්කි ඇස්දෙක පියාගෙන වගේ මුල ටික ටයිප් කළා..
'බින්දුවයි.... හතයි දෙකයි.........'
ඉතිරි ටික ඇත්තටම පියාගෙන ඔබාගෙන ගිහින් අන්තිමට 'අට' ඔබලා කනේ තියාගත්තා.
"මල්කිඊ............................................................ වැස්සොත් ඔය රෙදි ටික ගෙට දාන්න......"
කෑවා ! අම්මාගේ ගෝරනාඩුව නිසා ඉක්මනට මල්කි ගිහින් දොරගාව.
"හරි හරි...."
එහෙම කියල මලකි දොර වහලා අගුලත් දැම්මා. ටුකු ටුකු ගගා හිටපු ලයින් එක 'ටුක් තූක්.......' වගේ තානයකට ආවහම, ටික වෙලාවකින් උත්තරයක් ලැබෙන සද්දයක් ආවා.
"හලෝ......."
"හලෝ..... මේ සෙල්වම් ලගේ ගෙදරද?"
".................."
"හලෝ....?"
"කවුද පුතේ..?"
වැඩක් නැහැ, නාකි ඇන්ටි කෙනෙක්ද කොහෙද... මල්කි ඇමතුම විසන්ධි කළා. නාකි ඇන්ටිලා විහිළු දන්නේ නැති උනත් බයිට් එකට සුදුසු නැහැ. නිකන් මොකටද ආතල් කඩාගන්නේ ...
ආයෙමත් මල්කි මුල කොටස පුරුද්දට ගහල අග කොටස හිතු හැටියට ටයිප් කරලා, අන්තිමට 'අට' දැම්මා.... හරි! ඒකත් නාදවෙනවා ...
'ටූ.....ක් ටූක් ටූ......ක් ටූක්
ටූ......ක් ටූක් ටූ......ක් ටූක්
ටූ...... ක් ටූක් '
**************************************
එකපාරටම ඩෑෂ් බෝඩ් එක උඩ තිබ්බ දුරකථනය මරහඬ තැලුවේ කමල්ව උඩ විසික් කරගෙන. කරුමේ කියන්නේ කලින් ගත්ත වංගුවේ තරමට ජංගම දුරකථනය තිබ්බේ එහා මුල්ලේ අන්තිම කොනේ වගේ හිරවෙලා. කමල් සුක්කානම අල්ලගෙනම එහාට නැමුනත් හරි ගියේ නැහැ...
****************************************
ඊළඟට හෙනයක් උනේ කලබලේටයි , හිතේ තෙහෙට්ටුවටයි කියලා නොදාපු සිට් බෙල්ට් එක නිසා ආසනෙන් ලිස්සපු කමල් ඔලුව උස්සල බලනකොට දැක්ක දේ!
පාසල් නිල ඇඳුමින් හිටපු කෙල්ලට අයින් වෙන්න තිබ්බ කාණුවේ සිමෙන්ති ස්ලැබ් එක තිබ්බේ නැති නිසා කෙල්ල මුල්ලටම උනත් වාහනේ පාරෙන් එලියට පැනලා ඉවරයි.
මුලින්ම පැටලුනේ කෙල්ලගේ බෑග් එක.. ඊට පස්සේ ඒකට ඇදිලා ගියපු කෙල්ලගේ යුනිෆෝම් එකේ ඉනගාව රැල්ල උඩින්ම ඩබල් කැබ් එකේ මහත ටයර් එක ගියේ රටාවක් ඉතුරු කරගෙන නෙවෙයි.
තිරිංග පෑගුනේ සුක්කානම පාරට කපාගන්න, කැපිලා වැඩි වෙලා සුදුපාට සල්වාර් එකක් ඇඳගෙන කහ ඉර ගාව හිටපු කෙට්ටු කෙල්ලගේ කෙලින්ම හැපුනත්, ඊට පිටිපස්සේ එක රැල්ලක්වත් නොහිටින්න ඉස්තිරික්ක කරපු ලා නිල්පාට අත්කොට කමිසයක් ඇඳගෙන හිටපු කට්ට කළු මිනිහෙක්වත් ඈඳගෙන තවත් යාර විස්සක් විතර ඇදිලා යනකොට පෙරලුනේ සුදුපාට ෂල්වාර් එකත් වහගනමයි.
කාපට් පාරේ තිබ්බ අවසරයෙන් නාකි කහපාට කමිස කාරයෙක්ගේ මෙලෝ සිහියක් නැති ගමන එකපාරටම නතර කරලා ඒ මනුස්සයාව කෙලින්ම අඩි විස්සක් විතර ඉහල අහසට විද්දා.
ආයෙමත් වැටෙනකොට ජිම්නාස්ටික් මෙට්ටයක් නොතිබුන නිසා තාර පාරේ වදිනකොට ඒ ඔලුව බිම ගහපු බෙලි ගෙඩියක් වගේ තමයි පෙනුනේ.
'ට්‍රින්..... ට්‍රින්.....
ට්‍රින්..... ට්‍රින්.....
ට්‍රින්..... ට්‍රින්.....'
දුරකථනය සද්දයක් නැතුව නිහඬ උනා.
කතා ටික ඔක්කම අවසානයට සම්බන්ධ වුණාද
ReplyDeleteපිස්සු වගේ හැබයි පට්ට
සුන්දර් පව් තාරුකා ඒකිත් පව් ඌර්වසීට මක් වෙයිද
ඔක්කම එකට ගෙනත් හප්පල දැම්ම නේ
දුස්ට ලිකිත හුහ්
හි හි හි..... ඔක්කොම ඇමිණුවා කොහොමහරි තටමලා...
Deleteඅතිවිශිෂ්ඨයි ලිඛිතා !!!
ReplyDeleteස්තුතියි... අඩුපාඩු තියේ නම් කියන්න
Delete+++++
ReplyDeleteThanks :-)
Deleteමේ දවස් වල මගේ ඔලුවේ ලොකු ප්‍රශ්නයක් තියනවා ලිඛිතා.. ඔයාට විතරයි ඒකට හෙල්ප් කරන්න පුලුවන්... plz help me...
ReplyDeleteලියන්න මට. දකුනු පැත්තෙ තියෙනවා ගැජට් එක මාව ක්ටැක්ට් කරගන්න
Deleteඔක්කොම කතා සම්බන්ධ උනේ නැහැනේ.. නියමයි කතා ටික නම්.. කියවන් යද්දී ආස හිතුනා... ලිඛිතට ලස්සනට ලියන්න පුලුවන්... මං ආසයි අර මකුලුවෙක් ගලවලා තියන්න වගේ වැඩක් කියන කතාවට.. උපමා එහෙම ලස්සනට යොදලා.. ඒ වගේම, කියවද්දී රූප මැවෙන්න ලියලා තියනවා... නියමයි හොඳේ...
ReplyDeleteස්තූතියි
Deleteකතාවේ කට්ටිය ඇදගෙන ඉන්න ඇදුම හිතන්න
Deleteනියමයි. ඔක්කොම කතා එකට ඇඳිලා නැහැ තමයි. නමුත් කතාව ඉවර වෙන්නේ බලාපොරොත්තු සුනු විසුණු කරලා , හිතවල් පාරල. ජිවිතේ හැටි පෙන්වල
ReplyDeleteකමෙන්ටුවට ස්තුතියි..
Deleteඑක මොහොතක් ඇති, එකට එකක් සම්බන්ධ නැති ගොඩක් අයගේ ඉරණම එකම විදියකින් අවසන් වෙන්න
ම්ම්.. කතා ටික ලස්සනයි අක්කි. මම කැමතිම ඌර්වසිගෙ කථාවට.. රූප නොදැම්මත් ඒ හැම කෙනාවම මැවෙන විදිහට ඔයා ලස්සනට ලියලා තියෙනවා..
ReplyDeleteසමාවෙන්ට ඕනේ මේ කොමෙන්ටුව මගහැරිලා..
Deleteස්තුතියි