Sunday, November 1, 2020

243. සුහදිනියේ - 35 | බලාසිටි මොහොතක් වෙත

 

තුවාන් අයියාගේ ඩිස්පැන්සරිය අසල නතර කල වාහනයෙන් බසින අප දෙදෙනා දුටු නැන්දා ඉදිරියට පැමිණියේ අප්‍රමාණ සතුටිනි. මධුලිකා බදා වැළපුණු ඈ මා දෙස බයාදු බැල්මක් හෙළුවාය.

"නැන්දා.... දැන් හොඳයි නේද? මම ඩොක්ට ට කිව්වා අපි එනවා කියලත්..."

"පින් සිද්ද වෙනවා මහත්තයා මාව බේරගත්තට. මෙහෙ මිසීලා හරි කරුණාවෙන් බලාගත්තා මාව"

සේවිකාව කෘතඤපුර්වකව කියා සිටියදී මධුලිකා මගේ වමතේ එල්ලී සේවිකාව අනෙක් අතින් අල්වාගෙන සිටීම නෙත ගැටුණු බව මට පෙනුනි. සියුම් සතුටක් සමඟ අල්පෙනිති තුඩක තරම් වන ලැජ්ජාවක් දැනුනි.

මධුලිකාගේ දෑස් මත ඇති සතුට ඈ තුල ඇති පොපියන තරුණකමට ආභරණයක් වැන්න.

"ලෙඩ නොවුනෝත් තමයි පුදුමේ! නැන්දා ලෙඩ උනේ මෙයා උස්සගෙන ආපු විදියටනේ "

මධුලිකා සිනහසෙමින් කීවාය. 

 

වෙනදා මෙන් මට යක්ෂයා ආරුඪ වුනේ නැත්තේ ඇයි? ඒ වෙනුවට මම සිනාසී ඩිස්පැන්සරිය තුලට ගොස් හෙදියන් සමග කතාබහ කලෙමි. තුවාන් අයියා මුදල් ගන්නට එපා කියා තිබුනද, මම ඔවුන්ට කරදර කොට පනස් දහසක් ගෙවා දැමුවෙමි. වෙනත් තැනක සතියක් තබාගෙන සිටියා නම් මට ඇඳිවත පවා අහිමිවන බිලක් ලැබෙනු ඇත.

ඉන්පසුව තුවාන් අයියා අමතා මධුලිකා එහි රඳවා තබා යන්නට සිතුවේ සේවිකාව සිටිනා බැවිනි. ඈ මෙහි තබා යන්නට මට සිතක් නැත. දැනටත් දොළහට ආසන්නව තිබුණු අතර අම්මා මා එනතුරු තාත්තා තබාගෙන සිටිනා බව සිහියට එද්දී මට වෙනත් විකල්පයක් තිබුනේ නැත. තවත් කලයුතු වැඩ රැසකි.

නැවතත් ටාෂා ගෙන් ඇමතුමකි. මම එයද මගහැර දැමුවෙමි. මධුලිකා හා එන අතරමගදී ඈ දෙවරක් පමණ ඇමතුවද මම එය වලක්වා ගත්තේ දුරකථනය නිවා දමමිනි. නමුත් එය එසේ නිවා දමා තැබීම සෞඛ්‍යට හිතකර නැත.

මධුලිකාට මේ සියල්ල කියන්නට මට අවශ්‍යය. නමුත් සියල්ලටම කාලය සහ වෙලාව හරස්ව ඇත.

සවස දෙදෙනාම රැගෙන යන පොරොන්දුව පිට , මධුලිකාගේ මෘදු හිස් මුදුන සිප , ඩිස්පැන්සරියෙන් පිටත් වූයේ මධුලිකා සමඟ ගතකරන්නට නොමැති මොහොතවල් ගැන සිතින් දහස් වාරයක් වදවෙමිනි.

වාහනය දොරටුවෙන් පිටව යනතුරු මධුලිකා මා දස බාලසිටියේ මහත් ලෝබකමකින් බව මට පෙනුනි. ඈ කෙතරම් ආඩම්බරකාර තරුණියක්ද? මම ඊට දහස් වරක් ලොකුකම් ඇත්තෙකි. දෙදෙනාම දෙදෙනාගේම ලොකුකම් නිසා කෙතරම් හාස්‍යජනක මෙන්ම වේදනාකාරී දේවල් සිදු වුනාද?

ප්‍රේමය යනු මෙය විය හැකිය. නොදැක; හඬ නොඅසා සිටීමට හෝ මොහොතක් හෝ වෙන්ව සිටීමට නොහැකිකම මෙතරක් ව්‍යාධියක්ද ? මේ ව්‍යාධියේ අසරණ වින්දිතයෙකු ලෙස මම සියුම් සතුටක් ලබනවා නොවේද? මම මා ගැනම පුදුම වෙමි. ඒ අන් කිසිවක් නිසා නොවේ, මධුලිකා නිසා මා මෙතෙක් වසාගෙන සිටි සිවල් සම ඉවත් කරගත් නිසාය; මිතුරන් අතරේ ස්ත්‍රී ලෝලියෙකු ලෙස අබිසෙස් ලබා උන් මම ඇගේ ඒ මායාවෙන් කිරුළ අත්හල නිසාය.

අතුරු පාරෙන් ජීප් රථය පාරට ගනිද්දී නොදන්නා අංකයකින් මට ඇමතුමක් පැමිණියේය. තත්පර කිහිපයක් බලාසිට මම ඇමතුමට පිළිතුරු දෙන්නට තීරණය කලෙමි.

"හෙලෝ?"

"මචං තීක්ෂණ..."

"ඔව්.... හ්ම්ම්... කතාකරනවා.. කවුද මේ?"

"මචන් මම මේ මේගන් කෘස් කතාකරන්නේ"

එකවරම මට සිහියට ආවේ නැත.

"කවුද......?"

"මචන් මේගන්.. උඹේ ඉස්කෝලේ"

"ආ............. මේගන් ! ඔව් කියපන් මචන්..."

"මචන් අපේ ක්ලාස් පාටි එක තියෙනවා අද හවස ___ හොටෙල් එකේ.. ටිකට් කීයක් උඹ ගන්නවද?"

"අම්මටසිරි... මට අමතක උනානේ.. උඹ එදා කතාකලාට මට හරියට උත්තර දෙන්නත් බැරි උනා ඒ වෙලාවේ මම හිටියේ ලොකු වැඩක... හරි මචන් මට දෙකක් තියපන්... "

"මම ඔක්කොම කට්ටියට මේල් එකත් යවලා තියෙන්නේ. ලිකර් නම් මේ පාර අන් ලිමිටඩ් ලැබුනා"

"මරුනේ! ඒ කොහොමද?"

"එතැන දැන් මැනේජර් මගේ uncle.. ඔක්කොම හරිනේ උඹ එනවා නේ? දෙකක් ටිකට් තියන්නම්.. සල්ලි නම් අද දෙන්න වෙනවා"

"හරි මචන්.. මම අද තව පැයක් ඇතුලත බැංකුවෙන් දාන්නම්.. ඔව්.. දෙකක් ඕනේ!"

මගේ සැලසුම මම වහ වහා ඇඳගත්තෙමි.

"පූල් නෙවෙයි නේ?"

"නෑ බන්.. පූල් වැඩේ කරන්න බැහැ එතැන ගෙස්ට්ස් ලා වැඩි ලු. ටිකට් වල විස්තර ඔක්කොම මම මේල් කරලා ඇති. ඔන්න එහෙනම් වරෙන්"

"හරි හරි"

"මෙහ්.. ඒක නෙවෙයි... අනිත් ටිකට් එක...?"

මට සිනහවක් නැගුණි.

"උඹට වැඩක් නෑනේ ඒක.... මොකද්ද උඹ මේ ඕප හොයන්නේ?"

"ඉස්කෝලෙන් පිට කෙල්ලෝ නම් ගේන්න එපා පුතා වැඩේ අවුල් හරිද?"

"විරංගයා බන්... "

"හෑ.. ඌ ටිකට් දෙකක් අරගත්තනේ ගිය සතියේ! "

මට තිරිංග තදවන්නට ඇත. සෑහෙන තරමක හෙනයක් පිපිරුනාක් මෙන් මම කැළඹීමකට ලක්වුයෙමි.

ඒ කෙසේ වෙතත් මම වහාම ටිකට්පත් දෙකකට මුදල් ගිණුමට බැරකොට එහි පිටපතක් මේගන්ගේ ජංගම දුරකතනයට  යැව්වෙමි.
 
කෙතරම් උත්සහ කලද විරංග පිළිබඳව  සිතේ ඇති චකිතය සහ සැකසහිත බව අඩුවක් වන බවක් පෙනෙන්නට නොවේ. මධුලිකා හා ඔහුගේ අතර ඇත්තේ කවර ආකාරයක ගණුදෙනුවක්ද ? මධුලිකා මා හට ප්‍රේමය ප්‍රකාශ කරන්නේ සත්‍ය වශයෙන්ම කියා මට සිතෙන්නේ මායාවක් නිසාද?

ප්‍රථම වතාවට මධුලිකා මට මුසාවක් කීවා යන සිතිවිල්ල මගේ ප්‍රේමනීය සිතුවිලි දවා හළු කලේ පිදුරු ගොන්නකට ඇවිලී ගිය ගින්නකින් මෙනි.



*******************************

මම නිවසට පැමිණෙන විට තාත්තාගේ ජීප් රථය ගරාජයේ වෙනදා ඇති තැන නොමැති බව දුටුවෙමි. මම එයට ඉඳුරාම අනෙක්පස ගාල්කොට නිවසට ඇතුළු වුයේ දෙගිඩියාවෙනි.
 
ජීප් රථය නැතිවාසේම තාත්තා නිවසේ නොසිටීම පහසුවක් වූ අතර අම්මා මා සහ තාත්තා සමඟ මෙතරම් සැලකිල්ලෙන් කතාබහ කරන්නට සිටියේ කවර කාරණයක්ද යන පීඩනය නොපෙන්වා මම තේ පානයට කාලය මිඩංගු කලෙමි.

මා වෙත පැමිණි අම්මා මා අසලම හිඳගනිද්දී මා තුල ඇතිවූ කැළඹීම බෙන්ගාල බොක්කේ සුළි කුණාටුවක් මෙන් විය. එය පහව ගියේ ඇයගේ මේ රහස් කතිකාව මල්ලි සම්බන්ධව වීම බව පසක් වන විටය. මම මහත් සැනසිල්ලෙන් හුස්ම ගන්නට වීමි. 
 
මල්ලිගේත් රෝසි ආන්ටිගේ දුවගේත් අතර ඇති සම්බන්ධය ඇයට ඉව වැටී ඇත්තා සේය. ඒ සඳහා මල්ලිට කතාකරන්නට මම පොරොන්දු වූ සැනින් , අම්මාගෙන් 'මගේ යෙහෙලියක් නිවසේ මසකට නතර කරවා ගැනීම' යන තාත්තාගේ පොරොන්දුව  හිතු තරම් අපහසුවක් වුයේ නැත. මගේ ඉල්ලීම අම්මා අනුමත කලේ වැඩිදුර ප්‍රශ්න කිරීමක් නොමැතිවමය. එය අතිශයින්ම වෙනස් තත්වයකි. නිවස තුල වෙනදාට වඩා මා හට බලයක් ඇති බව මට වැටහෙන්නේ හිතලුවක් ලෙසදැයි නොදනිමි.

මේ පටලැවිලි සියල්ල කවදා ලෙහා අවසන් කල හැකිදැයි නොදනිමි. නමුත් මා ඉදිරියේ ඇත්තේ තරමක අභියෝගයක් බව පමණක් මට වැටහුණි. ඉන් පළමුවැන්න මධුලිකා පිලිබඳ ඇති තත්වයයි. මගේ තාත්තා සොයන තරුණිය මධුලිකා වීමට ඇති හැකියාව සියයට අනුවකට වැඩිය. එබැවින් ඒ ගෙන එන්නේ මධුලිකාව නම් ,ඇය නිවසට රැගෙන ඒම එක අතකින් සහනයකි. නමුත් එය සතුරන් අතට ඇය පත්වීමක් ලෙස මට දැනෙන නිසා අනතුරුදායක සෙල්ලමක් වනු ඇත. 
 
එය මා මගේ ප්‍රභලම විරුද්ධවාදියා සහ මගේ දුර්වල ස්ථානය වන තාත්තා මෙම සටනට එක්කර ගැනීමකි.

මධුලිකා කිසිවකුට හෝ නොපෙනෙන තැනක සඟවන්නට හැකිනම්? සීතා කුමරිය පැහැරගෙන ආ රාවණාට එසේ සිතෙන්නට ඇතිද?

සවස ඇති පාසල් වසර අවසාන උත්සවයට මධුලිකා කැටුව යාමේ උද්වේගකර ප්‍රීතියෙන් මම ඇඳුම් ගැනීම සඳහා කාමරයට නගින පියගැට අසලට ගියෙමි.

"ලොකූ.... ඩඩා ඔයාට මොකවත් කිව්වද?"

අම්මා ඇසුවේ ඇගේ සුපුරුදු තාලයට නොවුණු නිසා මම කන අසල හෙනයක් පිපිරුවා සේ තිගැස්සී ගිය අතර ඉබේම ඇගේ මුහුණ බැලුණි. 

"ම... මොකක් ගැනද අහන්නේ අම්මා?"

සත්‍ය වශයෙන්ම මට ඇගේ පැනය වැටහුනේ නැත. ඇගේ පැනයට පිළිතුරක් ලෙස දියහැකි කාරනා රැසක් මා සතුව තිබීම එයට ප්‍රධානම හේතුවයි.

"නෑ.. මම කිව්වේ... ඩඩා ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙකින්... වත්තේ ස්ට්‍රයික් එකක් කියල නිතරම ඒකට එහෙ මෙහෙ යනවා. අර සතරසිංහ උනත් සෑහෙන ගමනක් ආවා ගියා."

".............."

"ඩඩා එහෙම පොලිටික්ස් වලින් ඉස්සරහට ආපු කෙනෙක් නෙවෙයි.. සතරසිංහ උනත් යාලුවෙක් හින්දා උදව් කරා මිසක්.. කැම්පේන් එකට සල්ලි දුන්නෙත් නැහැනේ"

"..............!"

"ඒ උනාට මට මොකක් හරි නරක දෙයක් වෙයි කියල බයක් දැනෙනවා... ඊයෙත් රෑ පපුව ටිකක් රිදෙනවා කිව්වම මම කෝකටත් ඩොක්ටර් මිලින්ද ළඟට යන්නත් කතාකලා... ඒ යන්නත් ආවේ නෑ. අදත් මේ පොඩීගේ මේ කාරණේ කතාකරන්න ඔයා එනකල්වත් තියාගන්න බැරි උනා... "

මගේ පපුව රිදෙනවාක් මෙන් දැනුනි. අනුලා ගැන කියා අම්මාගේ ලෝකය කීතු කරන්නට මට ධෛර්යයක් නොමැත. කුමක් හෝ දෙයක් කියන්නට අවශ්‍ය මුත් ඒ කුමක්දැයි මට එකවරම සිතාගත නොහැකිය.

"අම්මා බයවෙන්න එපා. ඩඩා මොකක්හරි තියෙනවා නම් මට කියයි"

මම පඩිපෙළ නගින්නට කකුල එසවුයෙමි.

"ඩඩා හැරෙනකොට මට කියන්න පුළුවන්.... ඕකට අර ගෑනි... අනුලා, සම්බන්ධයි...!"

අම්මාට එකවරම හැඬුම් ආවේය. ඉතා නුදුරෙන් හූ පිඹිමින් එන දුම්රියක් දැක ගල්ගැසී ගියාක් මෙන් මම අන්ධභූත වුයෙමි. අම්මාගේ ඉව කිසිදිනෙක මම අවතක්සේරු නොකරමි. මෙතරම් සීරුවට සහ නිවැරදිව අනුමාන කරන්නට තරම් තොරතුරු ඈ සතුව තිබේ නම් මා ගැන කවර කතාද?
 
අම්මාත් තාත්තාත් කුරුළු ජෝඩුවක් මෙන් සිටීම මම දන්නා කාලයක සිට ඇති දසුනකි. එවන් පරිසරයක තාත්තාගේ මේ මානසික කැළඹීම අම්මාට දැනීම අරුමයක් විය නොහැකිය. තාත්තාගේ වචනයට ඉහලින් නොයනමුත් සියුම් ලෙස ඔහු හසුරවන්නට අම්මා සමත් වුවද අද මේ වනවිට තාත්තා සිය ග්‍රහණයෙන් ඈතට යනවා සේ ඇයට දැනෙන්නට ඇත. 

ඇයට පිළිතුරක් දීමට වඩා මේ මොහොතේ ඈ මගහැරයාම නුවණට හුරුය. අම්මා එලෙස මට කිවේ මගෙන් උපකාරයක් බලාගෙනද? මේ මොහොතේ එයට මට මැදිහත්වීම අම්මාගෙන් තොරව සිදුවිය යුතු බවක් මගේ සිත කියන්නට විය. 
 
මම වහාම කාමරයට යන්නට ගියේ ඇගෙන් මිදීමට වඩා මගේ ගැලවීමට විය හැකිය. තාත්තාගේ හැසිරීම වෙනස්වීම අම්මාට දැනෙන්නට ඇත. තාත්තා මේ මොහොතේ පාවාදීමට මට නොහැකිය. එබැවින් මෙය සමථයකයට පත්වනතුරු අම්මාගේ මැදිහත්වීම සිදු නොවේවා යයි පැතීම හැර මට කළහැකි යමක් නොවේ යයි සිතමි. 

මගේ කාමරයට පිවිසෙත්ම එහි මධුලිකා සිටිනවා යයි එකවරම හැඟී සිත පිබිදී ආයේය. ඈ වරෙක මගේ සයනයේ නිදිකොට මම කෙතරම් අපහසුවකින් ගතකලේද? ඊටත් ඈ කොටි දෙනක මෙන් මට ගොරවමින් සිටියදී ඈ මා කෙරෙහි ප්‍රේමයෙන් සිටි බවක් සිතාගන්නට මට කෙලෙසවත් නොහැකි වීම පුදුමයක් නොවේ. මට අප දෙදෙනාගේම ඒ හැසිරීම මතකයට් නැගී සිනහවක් නැගුණි.

පාටියට යන්නට ඇයට ගවුමක් මිලටගන්නට මගේ සිත කියයි. ඈ ලස්සනට යා යුතුය. නෑ! කොට ඇඳුමක් නම් අඳින්න දෙන්න බැහැ. ඈ මගේය.. කිසිවකුත් ඈ දෙස බලනවාට මම අකමැති බව රහසක් නොවේ.

මම මගේ ප්‍රියතම ලිනන් කලිසමත් ඊට ගැලපෙන ලිනන් කමිසයත් තෝරාගත්තේ එය මැණිකා විසින් හොඳින් සෝදා මැද එල්ලා තැබුණු බැවිනි. මට සිහි වුයේ මධුලිකා ඇගේ උපන් දිනයට ඇන්දේ මිට ගැලපෙන වර්ණයක ගවුමක් බවයි. මට ඈ සිහිවී නැගුනේ මනමාල මන්දහාසයක් බව මගේ කැටපත මට කියා පායි.

ඈ මා අමුතුම මිනිසෙකු බවට පත්කොට ඇතිද?

".. උදානි ඇරුනාම ඔය දෙන්නා ගැන.. ; නෑ ඇත්තටම ඔයා ගැන ; මට කීප දෙනෙක්ම අනතුරු අඟවලා තිබ්බෙත්..."
 
"..මම දන්නවා ඔයාට ෂර්ට් මාරු කරනවා වගේ කෙල්ලෝ ඉන්නවා කියලත්....."
මධුලිකාගේ වචන මගේ සිතේ දෝංකාර දෙන්නට විය.

උදානි මා ගැන ඇයට අනතුරු අඟවා තිබියදී පවා ඈ මට ආදරය කලාද? එසේත් නොමැතිනම් මගෙන් මිදීමට උත්සහ කලාද? මට එකවරම සිහි වුයේ මධුලිකා මා නොසලකන බව දැනීමෙන් මගේ ආඩම්බරකාර තරුණයා කෙතරම් වේදනාවට පත්වුයේද කියාය. මට අවශ්‍යව තිබුනේ අගේ ඒ පෞර්ෂය තලා ඈ කුඩුකර දමන්නටය. එය කොතරම් සාහසිකද?
 

 
දුරකතනයෙන් පණිවිඩයක ආගමනයක් ඇසුනි. මම මේසය මත තබා ඇති ජංගම දුරකථනය අතට ගත්තෙමි.

"කොහෙද බබා ඔයා?"

මධුලිකාගෙන් whatsapp කෙටි පණිවිඩයකි.

"ගෙදර"

මම වහා පිළිතුරු ලියා යැව්වෙමි.

"හැමදෙයක්ම හොඳින්ද?"

මධුලිකා ඒ වහාම පිළිතුරක් ඒවා ඇත.

"ඔව්. ඔයා නැතුව පාළුයි"

මධුලිකා සිනාසෙන මුහුණක පින්තුරයක් සහ හදවතක් එවා තිබිණි. මගේ සිත උණුහුමින් පිරී ගියේය. 

ගැටළු පැමිණෙන්නේ අපහට කියා හෝ සැලසුම් කර නොවේ. ඒවා එකිනෙකට අතිපිහිතවීම නිසා තවත් සංකීර්ණ තත්වයක් උදාවී ඇත. මධුලිකා හා විවාහය මේ අවු අස්සේ නිවසට පැවසීමට නොහැකිය. දේපල අතින් හා පවුලේ තත්වය අතින් ඈට අකමැති වන්නට හේතුවක් නැතත් මේ මොහොතේදී ඇති තත්වය අනුව අම්මාගේ සිත ටාෂා කෙරෙහි ඇති බව ඉඳුරාම දැන මට ඒ අවදානම ගන්නට නොහැකිය. එලෙස පැවසීම නිසා ඇගේ අනන්‍යතාවයත් , ආරක්ෂාවත් මා අනතුරේ දමනවා වන්නට හැකිය.

මධුලිකා ගැන මට දුකක් ඇති වුයේ ඇයි ? ඇයට මේ මොහොතේ මා හැර කිසිවෙකුත් නැත. ඇය මා විශ්වාස කරන්නීය. ඇගේ ඒ විශ්වාසය මට කඩකළ නොහැකිය. මට එකවරටම ටාෂා සහ චාපා සිහියට නැගුණි. 
 
චාපාගේ නිහඬ බව අනතුරක සේයාවක් වන්නට හැකිය. චාපා සමඟ මල්ලි සෑහෙන්න මිතුරුය. මල්ලිගේ මාර්ගයෙන් ඈ පාලනය කරගත යුතුය. ඊළඟට සිටින්නේ ටාෂා ය; ඈ මධුලිකා ගැන දනී. ඈ හැදුනු පරිසරය අනුව චාපා මෙන් හැසිරෙන චරිතයක් නොවන බව මට විශ්වාස මුත් අම්මාගේ සිත්ගත් තැනැත්තිය බැවින් මධුලිකා ගැන කවර හෝ ඉඟියක් ලබාදීමට හැකිය. අවසන් වරට ඈ හමුවූ මොහොතේ සිට ඈ නිර්ධය ලෙස මගහැරීම මගේ සිතේ ඇති පසුතැවීම සහ වේදනාව සඟවන්නට මම කල මෝඩ උත්සහයක් නොවේද?

වඩා යහපත් යමක් සඳහා සමහර අකමැති දේවල් පවා කරන්නට සිදුවනු ඇත. ටාෂා මේ මොහොතේ මගේ පිලට ගැනීම හැරුනුකොට වෙනත් විකල්පයක් නොමැත.

මම ඈ එවා ඇති whatsapp පණිවිඩ ගොන්න විවෘත කලෙමි. පණිවිඩ පනස් හතක් නොකියවා එහි තිබිණි.

"ඔයා හොඳින්ද?"

ඒ ඇගේ අවසන් පණිවිඩයයි; මිට විනාඩි හතලිස් පහකට ප්‍රථමය.

"ඔව් ටාෂා , සමාවෙන්න මම කාර්යබහුල වෙලා හිටියේ. අද හවස මට පාටියක් තියෙනවා ඉස්කෝලේ. ඒකට ගිහින් ඇවිත් ලියන්නම්."

මම වහා පණිවිඩය යවා දුරකථනය ඇඳට විසිකලෙමි. මගේ සන්තාපය සහ වේදනාව සමනය වුයේ නැත. මම නාන කාමරයට ගොස් මුහුණ සෝදා ගත්තෙමි. පණිවිඩයක් එනු ඇසුනි. මම උදාසීන බවකින් විත් පණිවිඩය විවෘත නොකොට දුරකථනය අතට ගත්තෙමි. ටාෂාගේ පිළිතුර බලන්නට මට අවශ්‍ය නොවීය.

මධුලිකා දකිනතුරු මම නොඉවසිල්ලෙනි. හදවත ඉපිලේන්නාසේ දැනේ. මේ සියලු දෝමනස්සයන් අතර ඈ මා වෙත පලකල ආදරය මහා ක්ෂේමභුමියක් ලෙස මට දැනෙන්නේ මම උමතුවට පත්ව ඇති නිසාද?

ඇත්තටම මම උමතුවෙන් වන්නට ඇත. මම මධුලිකාට වශී වී ඇත! 
 
 සවසට අඳින ඇඳුම් හැංගරයේ දමාගෙන, කාමරයෙන් එලියට එත්ම මල්ලි නිවසට පිවිසෙනු ඇසුනි. මම ඔහුට ඉහල මාලයට එන්නට ඉඩ හරිමින් කල් බැලුවෙමි. මා දුටු මල්ලි එකවරම මට අතින් යමක් සන් කළේය. මට එය නොවැටහුනි. ඔහු මට ඔහුගේ කාමරයට කතාකල නිසා මම එලෙසින්ම ඔහු පසුපස ගියෙමි.

"තිකා... මට කේස් එකක්"

"හ්ම්ම්ම්.. මොකක්ද? කියපන්කො බලන්න"

"අම්මා මට ඊයේ සද්දයක් දැම්මා. මම උඹට කෝල් කරන්න හිටියේ.."

"හ්ම්ම්ම් අම්මා මට කිව්වා.. අර කෙල්ල නේ? උඹ ඕක සිරාවටද කරන්නේ?"

මල්ලි එකවරම පිළිතුරක් දුන්නේ නැත. ඔහුගේ ඇස්  ඒ මේ අත දුවයි.

".. එහෙනම් ඕක අතැරලා දාපන්.. රෝසි ආන්ටිලා මෙතන ඇවිත් චාටර් වෙනවට මම කැමති නැහැ. ටික දවසකට ඕනේ නම් මගෙත් එක්ක වත්තට යමු. දැන් නිවාඩුත් එක්කනේ"

මල්ලි එකවරම පිළිතුරක් දුන්නේ නැත. මම ඔහුගේ පිටට තට්ටුවක් දැමුවෙමි. ඔහු මට වඩා සෙල්ලක්කාරයෙකි. නමුත් මා මෙන් නොව , ඉගෙනීමට සමතෙකි.  

"... ටික දවසක් මගෑරලා හිටපන්."

මල්ලි මා දෙස හිස සලා අනුමත කරන්නා සේ බැලුවේය. ඔහුගේ සිත මම දනිමි.

"තිකාගේ එක කොහොමද?"

මම ඔහුගේ ඒ විමසීමෙන් තිගැස්සී ගියේ ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසා නොවේ. ඔහු අසන්නේ කා ගැනද කියා විනිශ්චය කරන්නට නොහැකි වූ නිසාය.

"... චාපා... නෙව්.."

"මට උදව්වක් ඕනේ.... උඹට පුලුවන්ද චාපාව බැලන්ස් කරන්න මේ දවස් ටිකට? මෙහෙ නම් ගෙන්නගන්න එපා කොහොමවත්. අම්මව මම ගානට බැලන්ස් කරලා තියෙන්නේ අර උඩිච්චි ගැන , මට මේ උදව්ව ඕනේ උඹෙන්"

ඒ අසන්නේ මධුලිකා ගැන බව දන දැනම මම ඔහු මගහරවා ගියෙමි. මල්ලිට එය කියන්නට යාම එතරම් ගුණදායක නොවේ.

මම මල්ලිගෙන් පිළිතුරක් බලා නොගෙනම කාමරයෙන් එලියට විත් පහල මාලයට ආවෙමි. අම්මා පෙනෙන්නට නොවීය. කුස්සියේ සිට ආ මැණිකා මා දෙස බය පක්ෂපාතව සිටියාය.

"අම්මට කියපං මම අද පාටියකට යනවා කියලා. 12 ට වඩා රෑ උනොත් මම එන්නේ නැහැ"

මගේ හදවත පොපියන බැවින් හදවත උගුරේ සිරවන්නට ආවේ දෙවැනි වැකිය අගදීය. රාත්‍රිය මම කෙසේ කොහි ගතකරන්නට යාවිදැයි මම නිශ්චය කරගෙන නොසිටියද මධුලිකා සමඟ සිටිනවා යයි සිතීම මා ප්‍රමෝදයකට පත්කොට ඇත්තා සේය.

තාරුක අයියා හා එක්ව කල සාකච්ජාවට අනුව මධුලිකා වාකිෂ්ඨ මහතා හරහා නීතිමය අයිතියකට යාම තව වසර තුනකින් පමණ සිදුකරනු ඇත. තව මසකින් ලන්ඩන් උසස්පෙළ ප්‍රථිපල නිකුත්වනු ඇත. ඉන් අනතුරුව මධුලිකා නැවත විදෙස් ගතවීම යහපත් බවත් එතෙක් මධුලිකා සුරක්ෂිතව තබාගැනීම මා සතු යුතුකමක් බවත් පමණක් එකඟතාවයකට පැමිණියෙමු. මධුලිකා වෙන්වයාමක් ගැන මට කිසිවක් දැනෙන්නේ නැත. 
 
උසස් අධ්‍යාපනය නිමකොට නැවත ලංකාවට පැමිණීමෙන් පසුව මධුලිකා සිය දේපල සඳහා ඉදිරිපත්වීම යහපත් බව වාකිෂ්ඨ මහතා තාරුක අයියාට පවසු බව අප ඉන් පිටත් වූ පසුව ඔහු හා සාකච්ජාකොට තාරුක අයියා කෙටි පණිවිඩයකින් මට ඒවා තිබිණි.
 
ඒ කෙසේ වෙතත් මේ මොහොත අප දෙදෙනා එක්ව සිටිය යුතුය. මෙවන් ජයග්‍රහණයක් මට මිට පෙර දැනී නැත.
 
මගදී ඉන්ධන පුරවාගත් මම කෙලින්ම තුවාන් අයියාගේ ඩිස්පෙන්සරිය කරා පදවන්නට වුයේ සිවුරුහම්බාමිනි.
 
 
 

 
 
********************මතු සම්බන්ධයි **************************

6 comments:

  1. කතාව සුපිරි,, වෙලාව ලැබුණාම මුල ඉදලම කියවන්නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.... මුල ඉඳලා කියෝගෙන ඇවිත් ආයෙත් අදහස් ලියන්න. මේ ශානරයේ කතාවක් ලියන පලවෙනි වතාව නිසා ගොඩක් අඩුපාඩු ඇති.

      Delete
  2. අනේ මන්දා, මෙි ලෝකෙ දෙයක් මතක නැ කතාවෙි, ආයෙ මුල ඉදන්ම කියවලා තමා ඔලුවට දාගන්න ඔින,
    ඒත් වැඩක් වෙනකක් නැ, මොකද ඊලඟ කොටස 2021 නෙහ්

    ReplyDelete
    Replies
    1. අප්පා.. මේ කාල පරතරය නිසා කතාවට සෑහෙන්න හානි වෙලා වගෙයි...

      ඉක්මනනින් දාන්නම්කො.. සමාවෙන්න

      Delete
  3. මට බේතකට; අවාරෙට වැටුනු දෙල් ගෙඩියක් හොයා ගන්න ඕනේ! ඔය පැත්තේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හොරෙන් හයිවේ එකේ සයිකල් පදිනකොට දෙපැත්ත බැලුවාම එලෝ පොල් තියෙන වත්තට එහා වත්තේ තියෙනවා

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...