Tuesday, April 14, 2020

239. සුහදිනියේ - 32 | අවිනිශ්චිත බවින් ඔබ්බට... තීරණය තීක්ෂණ සතුය

කලින් කොටසට


 කුමක් හෝ බලවේගයක් නිසා හෝ සිහිනයක් නිසා හෝ  බිමට වැටෙන්නාක් මෙන් දැනී මම තිගැස්සී ඇහැරුනෙමි. තද සීතලක් විසින් මගේ අව සිහිය යන්තම් පිළිසකර කරමිනි. එකවරම මට මහා පිළිකුලක් දැනුනි. එය කුමක් නිසාදැයි නොදනිමි. නිරායාසයෙන්ම මට බැලුනේ මගේ වම් පසයි.

මන්ද අඳුරු කරනලද ආලෝකය තුලින් ටාෂාගේ නිරුවත් පිරිපුන් බටර් පැහැති පිට මට පෙනුනි. සිරුර පුරා මහා අපුලක් හටගත්තේ ඇයි කියා නොදනිතත්, සෙමෙන් සයනයෙන් බිමට බට මම නානකාමරයට වැද වහා දොර අගුලු ලාගතිමි.

නානකාමරයේ පසෙකින් ඇති දර්පණයෙන් මට මගේ සිරුරේ පිළිබිඹුව පෙනේ. ඇතුලාන්තය පුපුරවා හැරි විසල් ගොඩනැගිල්ලක බිත්ති පුපුරා කඩා හැලෙන්නා සේ මගේ ආත්මය මගේ පාමුල කඩා හැලෙනු මට දැනුනේ ප්‍රථම වතාවට විය හැකිය.

'මම මොකද්ද මේ කලේ? මධුලිකාගෙන් පළිගන්නට ගොස් මම මගෙන්ම පලිගත්තා නොවේද?'

සිරුර පුරා අසුචි තවරුනා සේ දැනෙන්නේ ඇයි? මම මධුලිකාට ද්‍රෝහී වුවා නොවේද?

'ඒකිත් මට කලේ එහෙමනේ! හැම වෙලේම මාව බල්ලට දාලා ; පුළුවන් හැම විදියෙන්ම මාව රිජෙක්ට් කරලා ; අන්තිමට මට අර විදියට කතා කරලා පැනලත් ගියේ!! ඔච්චර ආරක්ෂා කරපු මට.....'

මම සින්ක් එක දෙපසට දෑත් ගසා හිස පහලට හරවා ගත්තේ මගේ සිතුවිලි ගඟ හරහා පතරංග කොටයක් වැටුණි බැවිනි.



'ඇයි ? උඹ ඒ කෙල්ලට මුකුත්ම හිත රිදෙන්න කලේ නැද්ද?.. ආ?? අකමැත්තෙන් උනත් උඹ කෙල්ලව ඉම්බේ නැද්ද? විරංග ගැන සැක කරලා වද දුන්නේ නැද්ද? ඒ කෙල්ල මතකද උඹට කෑම හදාගෙන ; තුවාල වලට බෙහෙත් දාගෙන ; උපන් දිනේට උඹට කේක් දීලා.... උඹ කියන කියන වෙලාවල් වලට හැංගි හැංගි... කියන දේවල් කරගෙන... කියන තැනකට ඇවිත්.... හිටියේ නැද්ද?'


මගේ මනස ජින් මතින් මත්වී සිටියාට වෙනදාට වඩා ප්‍රකෘති සිහියක් දැනුනා වන්නට ඇත.

'... ඒ විතරක්ද.. උඹ ඒ කෙල්ල ඉස්සහරම චාපා එක්ක කාමරේ ලැග්ගේ? උඹ හිතනවද එහෙම තියෙද්දී ඒ කෙල්ල උඹව විස්වාස කරයි කියලා? කොටිම්ම උඹව කසාද බඳින්න හිතපු එකම පුදුමයක් නෙවෙයිද?'

මම හිස ඔසවා දර්පණයෙන් පෙනෙන මගේ මුහුණ දෙස බැලුවෙමි. සිරුරකට අවැසි යමක් මිස , ටාෂාගේ හැම සිපුමකින්ම මා තුල සිටි පෙම්වතා තැලී පොඩිවී විලාප දුන්නා නොවේද?

'ශික්! මම වගේ ජඩ කොල්ලෙක්!'

ප්‍රථම වතාවට මම මටම මුහුණට කෙල ගසා ගත්තෙමි.

මධුලිකාට මා හැර යා නොහැකිය.. නැතිනම් එවැන්නක් මගේ මනස තේරුම් ගන්නේ නැත. එබැවින් මම වහා යමක් කල යුතුය! මට වැටහුනේ එයයි.

වතුර මල විසින් සෝදාහැරිය නොහැකි වුවද මම මගේ සිරුර පිරිසිඳු කරගත්තෙමි. ටාශාට බලවත් අසාධාරණයක් මම කළා යයි මගේ සිත කියයි. මෙවැන්නක් මිට පෙර මා විසඳුවේ කිසිවිටෙක වරදකාරී හැඟීමකින් තොරව බව එවිට මට එසැනින් සිහියට නැගුණි.

මට සිදුවී ඇත්තේ කුමක්ද?

මම අනවශ්‍ය කරදරයක් පටලවා ගත්තා විය හැකිය.

නාන කාමරයෙන් ආ මම කෙලින්ම කාමරයෙන් පිටත පැන්ට්‍රි කොටසට පැමිණ, බල්බයක් නොදල්වා, ශීතකරණය විවෘත කර එහි වූ නැවුම් කිරි පැකට්ටුව විවෘත කොට ,එයට කට තබා උගුරු දෙකක් බිව්වෙමි.


ඉතිරි පැකට්ටුව ශීතකරණයට යලිත් තබන්නට යනවිට , ශීතකරණය මත තිබී ලිපිද්‍රව්‍ය කිහිපයක් බිමට වැටෙනු දැනුනි. මම පැන්ට්‍රි කොටසේ බල්බය දමා ඒ කුමක්දැයි බැලුවෙමි.

මම ගල්ගැසී ගියා කිවහොත් නිවැරදිය.

බිමට වැටී විසිරගොස් තිබුනේ ෆයිල් කවරයක් තුල බහාලු , අතින් අඳිනලද පින්තුර තොගයකි.

ඒ සියල්ලෙහිම සිටියේ මමයි!


මම විවිධ ඉරියව් වලින් සිටින පින්තුර අඩුම තරමේ දුසිමක් වත් එහි තිබෙන්නට ඇත. මධුලිකා අතිශය දක්ෂ චිත්‍ර ශිල්පිනියකි. මේ සියල්ලම අඳින්නට ඇත්තේ ඈ බව තහවුරු කරන්නට මෙන් ඇගේ කුඩා අත්සනක් සහ චිත්‍රය අඳිනලද දිනය එහි පසෙකින් සඳහන් විය.



මට සත්‍ය වශයෙන්ම බිම ඉන්දවුනි. ෆයිල් කවරයේ එකිනෙක පින්තුර වෙන වෙනම ගනිමින් මම ඒවායේ දිනයන් පිරික්සුවෙමි. ඈ මා දෙස බලා හිඳිමින් ඒවා චිත්‍රයට නැගුවාද? ඒවා එතරම්ම සජීවී විය. මේ සියල්ල අතුරෙන් මගේ එකවරම අවධානයට ලක්වුයේ මධුලිකා විසින් චිත්‍රයට නංවා තිබුණු අප දෙදෙනාගේ මංගල ජායාරුපයයි. මගේ හදවත නතර වන්නට ඇත. එහි අප දෙදෙනා ජායාරුපය ලබාගත් දිනයට සතියක පමණ පසු දිනයක් සමඟ ඇගේ කුඩා අත්සන දමා තිබිණි. ඊටත් පසෙකින් ඇගේ කුරුමිණි අත් අකුරු වලින් මෙසේ ලියා තිබිණි.

Love you to the moon and back

මගේ වෙරි හිඳෙන්නට ඇත. ඒත් සමඟම බිම වැටී තිබුණු චිත්‍රය මම මිට පෙර දැක තිබිණි. එය මම දිනක් මධුලිකාගේ මේස ලාච්චුව අදිද්දී දුටු මගේ ජායාරුපයේ පැන්සල් චිත්‍රයයි!


සයනයේ උඩුකුරුව ,අර්ධ නිරුවතින් වෙරිමතින් වැතිර සිටි මගේ වැසී තිබුනේ යාන්තම් කොටසක් පමණි. එය ඈ ජායාරුපයට නගාගෙන තිබී පසුව ඈ විසින් චිත්‍රයට නගා ඇත. මම වහා දිනය නිරීක්ෂණ කලද, එහි දිනයක් සඳහන්ව නොතිබුනත් , චිත්‍රයේ දකුණුපස පහල සිට කියවෙන පරිද්දෙන් හරවා මෙසේ ලියා තිබිණි.

My Sexy boy

අතිශය ලැජ්ජාවක් සමඟ මිශ්‍ර වූ ප්‍රීතිමත් බවේ උපරිමයක් යනු කවර හැඟීමක්දයි විස්තර කිරීමට මට වචන උගහටය. උමතුවේ උපරිමය මම දැන උන්නා නම් මට එයට හෝ නමක් කිව හැකිය. නමුත් මෙය අදහාගත හැකිද?

මධුලිකා මට ආදරය කරන්නීය!

මට මහා හඬින් ලොවටම ඇසෙන පරිද්දෙන් කෑගසන්නට අවශ්‍ය වුවත් , ඒ මොහොතේ මම සිටියේ දෑතම දෙවියන් වෙත යොමා යදිමිනි.

'මගේ දෙවියනේ.. මේක ඇත්තක්ද?'

වරක් නොව දෙවරක්ම  මගේම අත විකාගෙන මෙය සිහිනයක්දැයි සපථ කරගැනීමෙන් පසුව සිහි එලවාගත් මම වහාම සාලයට ගොස් , සුපුරුදු පරිදි මම පසුම්බිය ; ඔරලෝසුව සහ වාහනයේ යතුරු තබන ස්ථානයේ තබන ජංගම දුරකථනය අතට ගත්තෙමි. එහි මධුලිකාගේ දුරකථනය ගෙන එහි පින්තුර ගැලරිය වෙත කඩා පැන්නෙමි.

'මේ තියෙන්නේ බඩු!'

මධුලිකා හැකි සෑම විටම මාගේ ජායාරුප ලබාගෙන ඇත. ඒවා ඈ චිත්‍රයට පසුව නගන්නට ඇත. අවසාන පින්තුර අතර මධුලිකා කෝවිලට යාමට සැරසී ලබාගත් ආකර්ශනීය සෙල්ෆි ජායාරුපයක් විය.

ඉන් පසුව තිබුනේ නිරුවත් උඩුකයින් යුතුව මම කෝවිලේ පෝලිමේ සිටිය අවස්ථාවේ පින්තුරයකි. අකුණු සරක් සේ එදින ඈ මා දෙස විටින් විට බැලූ ආකාරය මට සිහියට නැගුණි. අවසානයේ මම මිලටගෙන දුන් පිච්චමල් වැල හිස ගවසාගෙන ඈ ගත් සෙල්ෆියක් විය.

මගේ පපුව පිච්චි ගියාක් මෙන් විය.

මධුලිකා! ඔබ මට ආදරේ කරනවාද?

මල් දහසක සුවඳක් දොර පියන් බිඳගෙන ගෙට වැදුනාක් මෙන් මම උද්දාමයෙනි. මධුලිකාට මම තදින් ප්‍රේම කරමි.

ඈ මගේය... කිසි විටෙක අන්සතු වන්නට මම ඉඩ නොදෙමි!

අත වූ සියල්ල සමඟ මගේ දෙපා නිරායාසයෙන්ම ඇදී ගියේ මධුලිකා සිටි කාමරය වෙතයි. දොර අගුල කරකවා එහි ඇතුළු වූ මම විදුලි බල්බය දමත්ම මධුලිකා මේ දැන් මෙතැන සිටිනවාක් මෙන් මගේ සිත දැල්වී, ඈ නොමැතිබව දැනීමෙන් එසැනින් නිවී ගියේය. ඈ විවාහ කරගත් දිනයේ මම මෙලෙසින්ම මේ කාමරයට පැමිණ ; කෑදර ලෝබකම ඉවසාගත නොහී ඇගේ තොල් සිප පිටත්ව ගිය අයුරු මට දැනී ; මගේ මතකය මට කොනිති ගසන්නට විය. ඈ ඒ මොහොතේ පවා මා ගැන ප්‍රේමයෙන් පසුවන්නට ඇත! මම වැනි මෝඩයෙකුට එය නොතේරුනේ මන්ද?

'ඈ මට ප්‍රේම කරනවා නම්... විරංග සොයා ගියේ මන්ද?'

පාන්දර දෙකේ කණිසම වදිනවා ඇසුනි.

මම මගේ දුරකතනයේ අගුල විවෘත කරන්නට සදත්ම එයට කෙටි පණිවිඩයක් පැමිණ ඇති බව පෙනුනි. මම වහා අගුල විවෘතකොට එය කුමක්දැයි පිරික්සුවෙමි. එය පැමිණ තිබුනේ මගේ ණයපත් කාඩ්පතෙන් යම් ගණුදෙනුවක් කල බවට ලැබෙන දැන්වීමකිනි.

'මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්?මේ වෙලාවේ??'

මම වහා ගොස් මගේ පසුම්බියේ ක්‍රෙඩිට් කාඩ්පත් අතර අදාළ කාඩ්පත සෙව්වද, එය එහි නොවීය. කාඩ්පතින් ගනුදෙනුවක් කරන සැමවිටකම මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබෙන්නට සලස්වා ගැනීම මම යොදාගන්නේ පුරුද්දක් ලෙසටය. කවුරුන් හෝ මගේ කාඩ්පත යොදාගනිමින් යමක් මිලටගෙන ඇත.

මම වහාම කෙටි පණිවිඩය පැමිණ ඇති වෙලාව පිරික්සුවෙමි. එය පැමිණ ඇත්තේ පාන්දර එක පසුවී විනාඩි දෙකකිනි. මෙය අතිශය සැක සහිතය. කෙටි පණිවිඩයේ සඳහන් සියලු තොරතුරු මම නැවතත් කියවුයෙමි. එයට අනුව මිලදීගැනීම සිදුව ඇත්තේ මස්කෙළිය ලාෆ්ස් එකෙනි. එය මා දන්නා තරමින් පැය විසි හතරම විවෘතව තබන්නාවූ ශාඛාවකි. මිලදී ගැනීමේ මුදල රුපියල් 300 කි. එනම් අවම ප්‍රමාණයකි.

මගේ කාඩ්පත සොරාගත් අයෙක් වී නම් රුපියල් 300ක ප්‍රමාණයක් පමණක් ගන්නට තරම් මෝඩයෙකු නොවේ! එකවරම ලක්ෂ ගණනාවක මිලදී ගැනීමක් කල හැකිය.

මස්කෙලියේ සිට මගේ කාඩ්පත පාවිච්චි කරන්නේ කවුරුන්ද? ඊටත් වඩා එය මස්කෙලියට යන කෙනෙකු අතට පත්වුයේ කෙලෙසින්ද?

මුග්ධ යයි කෙනෙකුට සිතෙන්නට හැකි තීරණයක් මම ගතිමි. වහාම ඇඳුම් ඇඳගත් මම, නිවාස සංකීර්ණයේ ආරක්ෂක අංශ වලට ටාෂාට දොර විවෘත කරන්නට උපකාරත්, උදෑසන පිටව යාමට අන් තරුණියන්ට සලසන ටැක්සි සේවය ලබා දීමටත් උපදෙස් හා ගෙවීම් සිදුකොට වහාම ජීප් රථය පාරය ගත්තෙමි.

මහල් නිවාසයෙන් පිටවන්නට ප්‍රථම එයින් ලබාගත් රිවොල්වරයට උණ්ඩ දෙකක් පුරවාගත් මම එය සුරැකිව ආසනයේ යටින් මම සකස්කොට ඇති සුරක්ෂිත රඳවනයේ සවිකොට දෙවරක් නිවැරදිව ඇතිදැයි ස්ථිර කරගතිමි.

 ******************************


ගත තුලින් නැගෙන විඩාව පරයා, සිත තුල නැගෙන ප්‍රීතියේ ප්‍රතිභාව කෙතරම්ද යත්, මම අධික වේගයෙන් ඉගිලෙමින් රාත්‍රියේ අඳුර කපාගෙන වේගයෙන් මස්කෙළිය බලා දිවෙන මාර්ගයේ ගමන් කරමින් උන්නෙමි. සෑම තත්පරයක් පාසාම මධුලිකාගේ මුහුණත්, ඇගෙන් සැමවිටම විහිදෙන ඒ පිටරට විලවුන් සුවඳත් පරයා මධුලිකා මට ප්‍රේම කිරීමේ උද්වේගකර මනෝභාවය පොපියනවා සේ මට දැනේ.

එසේනම් මධුලිකා මා විවාහ කරගත්තේ ප්‍රයෝජනයක් හෝ ආරක්ෂාවක් පතා පමණක් නොවේ. විවාහයෙන් පසුව ඈ මට ලබාදුන් ප්‍රේමනීය ඇමතුම් මම හිතාමතා හෝ නොහිතා ප්‍රතික්ෂේප කලෙම්ද? මම වැනි සෙල්ලක්කාර තරුණයෙකු වෙතින් ඈ වැනි ප්‍රවේශම් සහගතව ප්‍රේමය තවරන්නන් ප්‍රවේසම් විය යුතු බව මා පවා අදහන්නට ඇති නිසා නොවේද එසේ වුයේ? මගේ සිත මා ගැන කලකිරීමෙනි. නමුදු ඒ ගැන පසුතැවිල්ලක් නැත. ඇය කෙරෙහි මා තුල ඇති නොතිත් බැඳීමේ තරම ඈ නොදන්නවා ඇත.

ඇයත් මමත් කුඩා දරුවන් සේ දබර වූ සැටි සිහිවී මටම සිනහවක් පහළවිය. ඒ සියල්ල තුලින් ඈ ඇගේ අයිතිය නොවේද කියා පෑවේ ? පමණට වඩා ආරක්ෂාකාරීව මම ඈ කොතරම් පීඩාවට ලක් කලාද? එලෙසින්ම මා බිමත්ව සිටියදී සහ තුවාලව ගිලන්ව සිටියදී කෙතරම් සෙනෙහසකින් මා ගැන සොයා බැලුවාද? හුදු ගෘන්ගාරයට වඩා යමක් එහි තිබුනා නොවේද? කුළුහරකෙකු පරිද්දෙන් තරුණියන් දැපනේ දැමීමක් විනා ඈ මෙන් පා ඇඟිලි තුඩින් පැමිණ සෙමෙන් පිරිමදින ප්‍රේමයක් මා නොදැන සිටි හැටි?

හෝරා කිහිපයක වේගවත් ධාවනයකින් පසුව මම මස්කෙළිය නගරයට පිවිසෙද්දී  හිමිදිරියේ මීදුම ඇඟමැලි කමින් සිටියාය. ගූගල් සිතියමෙන් සොයාගත් තැනට ගොස් මම ලාෆ්ස් ආයතනය අසලින් බිමට බැස්සේ කලබලයෙනි.


"මිස්..... මේ... මෙතනින්... උදේ.. පාන්දර... එකට විතර මගේ වයිෆ් බඩු වගයක්....?"

අයකැමි ස්ථානයේ සිටි තරුණයා මා දෙස සැක සහිත බැල්මක් හෙළුවේය.

"තිලිනි මේ අර.. මිස්ගේ"

කියා අසල අයකැමි ස්ථානයේ නිදි කිරමින් සිටි තරුණියක දක්වා සිටියේය. එවිටම එතනට තවත් දෙදෙනෙකු පමණ ලංවුහ. මගේ බලාපොරොත්තු දැල්විණි.

"ආ. සර්ද?"

"ඔව්නේ ඒ මිස් මෙතන පැයක් විතර බලාගෙන ඉන්නකොට මමත් බැලුව"

"ඔව් මැනේජර් මහත්තයත් ඇහුවා ගිහින් ඇයි එලියට වෙලා ඉන්නේ කියල. ඊටත් මේ රෑ එකට විතර. තනියෙන් ඉන්නකොට"

"ආ.. එහෙමද... මේ.... මට පොඩ්ඩක් නින්ද ගියා එයාව ගන්න එන්න පරක්කු උනා.. ම්ම්ම්.."

මම වෙනසක් නොපෙන්වා ඉන්නට උත්සහ කලෙමි. මගේ අනුමානය නිවැරදිය. මගේ ණය කාඩ්පතින් භාණ්ඩ මිලට ගත්තේ මධුලිකාය. නමුත් ඈ මස්කෙලියේ කුමක් කරනවාද? මම වෙලාව බැලුවෙමි. ඒ වනවිට වෙලාව පාන්දර පහට ආසන්නය. ආයතනයේ කිසිවකුගෙන්වත් මම වැඩිදුර විස්ටර නොඇසුවේ සැකයක් නොසිතෙන්නටය. මම එබැවින් එයින් පිටව රථගාල වෙත පැමිණියෙමි.

ඈ මේ අසල කොහේ හෝ සිටින්නීය. එබැවින් මම වාහනය තරමකට පෙනෙන පරිද්දෙන් රථගාලේ නවත්වා, පසුපස ආසනයට වී ගුලිවුනෙමි. මධුලිකා එතනින් මගේ ණය කාඩ්පත යොදාගනිමින් භාණ්ඩ මිලට ගත්තේ මට ඈ ඉන්නා තැන අඟවන්නට බව යයි මගේ සිත කියයි. ඈ තනිවමද? නැතිනම් විරංග සමඟද? එසේ නොමැති නම් වෙනත් අයෙක් මා කැඳවීමට ඈ ඇමක් ලෙස යොදාගන්නේද?

ඒ කවර ලෙසකට පැමිණියද මම සුදානමෙනි!

මධුලිකා මගේ ජීප් රථය හඳුනන්නීය.

පසුපස ආසනයේ වීදුරු හොඳින් අන්දුරුකොට තිබේ. එබැවින් පිටතින් පැමිණෙන කිසිවකුට එකවරම මා නොපෙනේ. මධුලිකා බුද්ධිමත් තරුණියක් නිසා සුදුස්සක් කරනු ඇත.

පාරට යොමුනු දෑසින් යුතුව මම පසුපස ආසනයේ ගුලි වී සිටිනවිට ටාශාගෙන් ඇමතුමක් පැමිණියේය. එයට පිළිතුර සපයන්නට තරම් මම ශක්තිමත් නොවුනි. ඇමතුම විසන්ධිවිමත් සමඟම ඇගෙන් කෙටි පණිවිඩයක් ලැබිණි. එය ප්‍රධාන තිරයෙන් මකා දැමුවා විනා කියවන්නට උත්සහ නොකලෙමි. වෙනදාට වඩා මගේ සිත ඒ ගැන වරදකාරී බවකින් යුතු බව මට දැන් දැනේ.

ටාෂා නරක කෙල්ලක නොවේ. ඇය මගේ මවගේ තේරීමකි. මධුලිකා මේ සියල්ලම අභිබවා ඉදිරියෙන් සිටින්නේ මගේ සිත අරාගත් බුවල්ලෙකු පරිද්දෙනි. අන් කවර තරුණියකට වත් ඉතිරි නොවන්නටම මගේ සිතේ සියලු අතුරු සුරු වසා දමා මගේ ගල් සිත පෙඟවූ මිහිරි මධුපානයක් වැනිය.

මහා හඬින් වාහනයේ වීදුරුවට තඩිබාන හඬින් මම ගැස්සී ඇහැරුනෙමි. වෙහෙසත් මත් බවත් නිසා මට ඉබේටම නින්ද ගොසිනි. මම රථය විවෘත නොකොට ආසනයේ පසෙකින් බැලුවේ මේ කවුරුන්ද කියාය.

ඒ අන් කවරකුත් නොවේ මධුලිකාය!

ඇගේ කෙස් අවුල්ව ගොස් තිබුණු අතර ඈ තවමත් ඇඳ සිටියේ ඊයේ ඇඳ සිටි සුදුපාට කුර්තා ටොප් එකම බව මට පෙනුනි. මධුලිකා ජීප් රථයේ රියදුරු ආසනය දෙසටත් නැවත වෙනත් විදුරු වලටත් එබෙමින් රථය වටා  දුවනු මට පෙනුනේ හා පැටියෙකු පරිද්දෙනි.

නිදිමත කොහෙන් අතුරුදන් වුවාද කියා නැත;  මම වහාම පිටුපස දොර විවෘත කරමින් පිටතට පැන්නෙමි.

"මධු.....!"

මා දුටුවනම මධුලිකා එකවරම ගල් ගැසුනාය. ඒ සමඟම විදුලි වේගයෙන් මා වෙත පැන මා වැළඳ ගත්තේ මහා හඬින් හඬමිනි.

"තීක්ෂණ................... අනේ........................ මට සමාවෙන්න තීක්ෂණ.............. අනේ.... ඔයා ආවා නේද මාව හොයාගෙන... අනේ.. මට සමා වෙන්න තීක්ෂණ...."

තදකොට මා වැළඳගත් මධුලිකා මගේ පපුවේ මුහුණ ඔබාගෙන හඬන්නීය. වහා ඇගේ හිස එසවූ මම තත්පරයක්වත් අපතේ නොයවා අගේ තොල් තදින් සිපගත්තෙමි. තත්පර කිහිපයකින් ලෝකයේ සියලු දේ නතරවනවා සේ මට දැනුනි. එම තත්පර කිහිපය ඈ මා සතු බවට මට දැනුන පළමු වතාවම වන්නට ඇත. මා වටා චමත්කාරජනක දේදුන්නක් මැවී මියුරු ගීතයක් වාදනය වන්නා සේ දැනුනි.

"ඔයාට කරදරයක් නැහැ නේද මගේ වස්තුව?"

ඈට හුස්මක් ගන්නට ඉඩ හසර ලබා දෙමින් මම මගේ නළල අගේ නළලට තදකොට දෑස පියාගනිමින් පැවසුවෙමි. මධුලිකා ඉතා සිහින් හඬින්  'නැහැ' කියා යන්තම් හිස දෙපසට වැනුවාය.

"..............මම දන්නවා..... ඔයා මට ආදරේ බව මම දන්නවා...."

දියෙන් ගොඩගත් මසෙකු පරිද්දෙන් මධුලිකා වෙව්ලන බවත් , එතෙක් ඈ තුල පැවතී භීතියේ සලකුණු සියල්ල සේදී ඇති බවත් මට දැනුනි. මම ඈ ප්‍රවේශමෙන් මගේ පපුවට නැවත තුරුළු කරගත්තෙමි. ඇගේ බුහුටි සිරුර මගේ නිකට යටට මනාව ගැලපී ; මම ඇගේ හිස මුදුනින් නිකට තබාගෙන බරැති සුසුමක් පිටකලේ සියල්ල පලවා හරින්නට මෙනි. මධුලිකා කිසිදු විරෝධයක් පෑවේ නැත.


දෑස් විවර කල මට රථගාලේ කිහිප දෙනෙකුම අප දෙදෙනා දෙස බලමින් සිටින බවක් පෙනුනි. මහා නගරයක් මධ්‍යයේ තරුණ යුවලකගේ සිප ගැනීමක් උකහාගන්නට තරම් තවමත් සමාජය සුදානම් නොමැති වුවත් ඕනෑම මොහොතක ගුටි ඇනගනීමක් සාමාන්‍ය බව පිළිගන්නට කවුරුත් පසුබට නොවනු ඇත. ඒ තර්ක කෙසේ වුවත් මධුලිකා සොයාගැනීම මට සියල්ලටම වඩා වටනේය. එබැවින් මම මධුලිකාගේ හිස සිඹ වාහනයට ඈට නගින්නට කීවෙමි.ඈ නැංගේ පසුපස ආසනයටයි.



මම කිසිවක් නොකියා වාහනය මහා මාර්ගයට ගත්තෙමි.

"මට සමාවෙන්න මධුලිකා"

මම එවැන්නක් කී පළමු අවස්ථාව වන්නට ඇත. මම පසුපස කණ්ණාඩියෙන් දුටුවේ මධුලිකාගේ ඒ විශ්මිතව ගිය මුහුණයි. මම තවත් තත්පර දෙකකට පමණ පසුව නැවතත් වාහනය පසෙකට කොට නතර කලෙමි.

"මටත් සමාවෙන්න. ඔයාට දීපු කරදරේට සමාවෙන්න..... මට.. මට..."

මධුලිකා ඉකිබින්දුන හඬ ඇසේ. මට එය අසන්නට හෝ බලන්නට නොහැකිය. සමාව ඉල්ලිය යුත්තේ මමයි! තත්පර හතරකට පමණ පසුව මධුලිකා ඉකිබිඳුම නවතා යන්තම් සාමාන්‍ය වුවාය.

".... මම හිටියේ තව චුට්ටක් ඉස්සරහට ගියාම තියෙන ලොජ් එකේ... "

මම පිළිතුරක් දෙන්නට නොගියෙමි. මධුලිකාගෙන් මග අසාගෙන එහි ගිය මම ඈ  සිටි ලොජ් එකට එක රැයක මුදල් ගෙවා ඈ ගෙනගිය බෑගය අතට ගනිද්දී, පෙරදින රාත්‍රියේ ඈ ආහාර නොගත් බව අනාවරණය විය. පිටතින් ආහාර රැගෙන ආ බවට කිසිදු සලකුණක් තිබුනේද නැත. ඈ නිරාහාරවද සිටියේ?

ලොජ් එකෙන් එලියට බට මම එහිම ඇති කැෆටේරියා කොටසින් කෙටි කෑම කිහිපයක් සහ බීමට ලෙමන් මිලට ගතිමි. මධුලිකා ලෙමන් පානයට රුචි බව මම දනිමි.

රථයට පැමිණි මම පසුපස දොර විවෘත කොට ඈ අත කෑම තබද්දී හැඩීමෙන් තඩිස්සි වී තිබුණු මුහුණේ ඈගේ ඒ සුවිශේෂ විදුලියක් වැනි සිනහව ඇඳී ලජ්ජාවෙන් මෙන් බිම බලාගත්තාය. මම ඇගේ වමත මෘදුව අල්වා ගත්තෙමි. මධුලිකා එවර මා දෙස බැලුවාය.

"මට ඔයා නැතුව ඉන්න බැරි උනා මධුලිකා.. "

මම ඇගේ වමත ගෙන පිටි අල්ලට හාදුවක් දුන්නේ ඒ බැල්ම එලෙසම පවත්වාගනිමිනි. මධුලිකා මගේ කොපුලක් ඇගේ දකුණතින් ස්පර්ශ කළාය. නමුත් කිසිවක් නොපැවසුවාය. ඒ බැල්ම තුල සියල්ලම කැටිව තිබිණ. තරුණ මගේ සිත එයින් මත්කරවන සුළුය. ප්‍රේමය එවැනි මත්බවින් යුතු කියා මම මිට පෙර අත්විඳ  තිබුනේ නැත.



"... ඊයේ නිදාගෙන නැහැ නේද?"

මධුලිකා 'නැහැ' කියන්නට හිස දෙපසට වැනුවාය.

"කාඩ් එක පාවිච්චි කරලා මොනවහරි ගන්න තැනක් හොය හොයා මේ පාරේ අනෙක් පැත්තට සෑහෙන්න පයින් යන්න උනා...."

බලවත් අනුකම්පාවකින් මගේ සිත පිරි ගියේය. නමුත් මගේ සිත තුල තෙරපුණ පැනය එය නොවේ. එය අසාගත නොහැකිව මගේ පපුව සිරවෙන්නාක් මෙනි.

වැඩිදුර ප්‍රශ්න කිරීම පසෙක තැබූ මම මධුලිකාට පසුපස ආසනයේ නිදාගන්නට හැර රථය කොළඹ වෙත ධාවනය කරමින් සිටියෙමි. මගේ සිත තුල ඇති දහසකුත් එකක් ප්‍රශ්න අසනවාට වඩා මම ඈ වෙත මගේ විවෘත හැඟීම පැවසීම ගැන මහත් ප්‍රීතියක් විඳිමින් සිටියෙමි.

ඈ නොමැතිව සිටීම මට උගහට බව දැනුනේ අදක ඊයෙක නොවේ. එම හැඟීම් මගේ උද්දච්චකම විසින් සැමවිටම මඩනා ලද්දේ නොවේද? එසේත් නොමැතිනම් මම පෙනන තරමට වීරයෙකු වී සිටියේ නැතිද? එය අද දින ඈ දෙස බලාගෙනම කියන්නටවිම කෙතරම් රෝමාන්තිකද? වචනයකට නොනැගුණ නමුදු ඈ ඊට දුන් ආදරණිය ප්‍රතිචාරය මම මියෙන තුරාවට මගේ සිතේ ගැඹුරුම තැනක තැන්පත්ව තිබෙනු ඇත.

සා පැටවියක පරිද්දෙන් පසුපස ආසනයට වී ගුලිවී නිදන මධුලිකා තුරුල් කරගන්නට සිතුනු වාර ගණන අනන්තය. එය වලකාගන්නට මෙන් ඈ දෙස කණ්නාඩියෙන් බලමින්; නොනවත්වා රථය ධාවනය කලේ අතිශය අසීරු තරුණ සිතකිනි.

ඈ මගේය! සත්‍ය වශයෙන්ම මගේමය.... එය කිසිවකුට වෙනස්කල නොහැක්කකි.



********************මතු සම්බන්ධයි **************************

20 comments:

  1. කියවන්න පටන් ගත්තෙ මැද හරියෙ ඉදන්.....ලස්සනයි දිගහැරුම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...

      සාදරයෙන් පිලිගන්නවා. දිගටම කියවන්න රසවත් නම් කොමෙන්ටුවකුත් ඉතින් දමාගෙන යන්නකෝ

      Delete
  2. තීක්ෂණගේ චරිතයේ ගොම ගෑවාට දැඩි විරෝධය!

    ReplyDelete
    Replies
    1. හැමදා පතරංග කොමෙන්ටු දමන ඔබගේ මේ කනේ පහර සාධාරණ විය හැකිය. ප්‍රධාන චරිතයක් වූ පමණින් එහි සුදු හුණු ගාන්නට නොහැකිය. මතකද 'කඩවර' නාටකයේ ප්‍රධාන නළුවාගේ කළුම කළු අවස්ථා? මට ඒවා තේරුනේ පස්සේ කාලෙක බලද්දී තමයි. නමුත් ප්‍රධාන නළුවාමනේ කතාවේ තේමාව. මධුලිකාගේ හැසිරීම සාධාරණ වන්නත් තීක්ෂණගේ කළු ගතිය උපකාර වෙන්න ඇති.

      මට මේ මතක් උනේ එදා චාපා එක්ක අරෙහෙම උනාම ඔබතුමාට ඔහොම ඩෝන් ගියේ නැත්තේ මොකද කියල?

      අනිත් දේ තමයි, ෆර්මිනා දාසා වෙනුවෙන් ෆොරෙන්තිනෝ උනත් බලා සිටියේ නිකම්ම නොවේ.. ඒ හිඩැස පුරවන්න ගිහින් නේද ඔහු අසම්පුර්ණ බව තව තවත් පසක් වෙන්නේ? සිය පෙම්වතිය වෙනුවෙන් සදාකාලික වාරණයන් ; වෘතයන් පිළිගන්නා අතිශය සරාගී පුරුෂයන් සිටිනා බවට දනිතත් ; තීක්ෂණ එතැනට එන්න තාම මදි වගේ.

      ඔබේ ඒ හදවතේ බිඳීම මගේ ලිවීමේ හැකියාව කියලා ප්‍රතිරුපයක්වත් මවාගන්නද එහෙනම්?

      Delete
    2. මගෙ පුත්‍රයාගේ මිත්‍රයෙක් මේදිනවල බ්ලොගයක් ලියමින්.
      ඔහු ඒ සඳහා ගුරු හරුකම් ගන්නේ මගෙන්. (සභාවේ සිනා)
      මාගේ "අන් ඇකයේ සුවෙන් වෙසෙන . . " පෝස්ටුව බලා ඒ ගැන ඔහු විමසුවා.
      මා ඔහුට දුන් පිළිතුර ඔබටද දක්වන්නම්.

      වරෙක දොරමඬලාවට පැමිණි මහාචාර්‍ය සුමනදාස ගල්මන්ගොඩ මහතා හා මහාචාර්‍ය කාලෝෆොන්සේකා මහතා අතර පොඩි පහේ මත ගටීමක් සිදුවෙනවා. මහාචාර්‍ය කාලෝ පවසනවා ශබ්දය හට ගන්නේ කර්ණය තුල කියා. ගල්මන්ගොඩ මහත්තයා කියන්නේ ශබ්දය ඇතිවන්නේ; ශබ්දය ඇතිකරණ සත්වයා හෝ වස්තුව තුල බව.
      අවසානයේ ගල්මන්ගොඩ මහත්තයා කියනවා "ඉස්සර ඉඳලා තියෙනවා හඬ්ට විදින දුනුවායන්. ඔබ කියන විදියට ශබ්දය ඇති වන්නේ කන තුල නම් ; ශබ්දයට විද්දාම ඊතලය පැමින කනේ ඇනෙන්න එපායැ?" කියලා. කතාව එතැනින්ම අවසාන වෙනවා.
      නමුත් මගේ පෞද්ගලික අදහස වන්නේ පෙරකී වස්තුව හෝ ජීවියා කරණ කොටගෙන කර්ණය තුල ශබ්දය ඇතිවන බවය. එනිසා ශබ්දය ඇසුනු සැනින් ඊට අදාල වස්තුව හෝ ජීවියා සිටින දිශාව කන මගින් හඳුනා ගන්නවා විය යුතුය. ඔබ වෙතින් ඇතිකරණු ලබන උත්තේජනය මා ලිවීමට පොළඹවනු ලබයි.
      මා බ්ලොගයක් පවත්වාගෙන යන්නේ; මාහට "කියන්නට බොහෝ දේ" ඇති හෙයින්ය. ඒ සඳහා මා භාවිතා කරණු ලබන වේදිකා දෙකක් වේ.
      ඉන් ප්‍රධාන වේදිකාව මගේ බ්ලොගය වන අතර අනෙක වන්නේ අන් අයගේ පෝස්ටුවලට පහලින් ඇති "කොමෙන්ටු දාරයයි"!
      කිසියම් බ්ලොග් ලේඛකයෙකු විසින්; ඔහුගේ පෝස්ටුවක් මගින් මා උත්තේජනය කලහොත් හා ඒ පිළිබඳව මාහට ලියන්නට යමක් වුවහොත් මා පතරාංගයක් ලියන්නෙමි.
      ඒ මා අර පෙරකී "මා හට කියන්නට තිබුනු දෙයින් බිඳක් නම් මා එහි සටහනක් තබාගෙන මගේ පෝස්ටුවක් ලෙස; "අන් ඇකයේ . . " තුල හුවා වෙනමම දක්වමි.
      ඒ වගේම මගේ පතරාංග ජාතක වන් කොමෙන්ටු ඇති වන්නේ මට ලියන්නට දෙයක් ඇතිවිට හා ඊට මා තුල උවමනාවක් ඇතිවූ විටය.

      දැන් අප අපගේ මූලික කථාව දෙසට හැරෙමු.
      ඔව්! මා පිළිගනිමි ප්‍රධාන චරිතයක් වූ පමණින් තීක්ෂණට සුදු හුනු, ග්ලොස්, ඉමල්ශන් හෝ වෙදර්ශීල්ඩ් ගෑමට අවශ්‍ය නොවන බව.
      මේවා හුදෙක් කළුසුදු පැතැලි චරිතයක් වුවහොත් එය අභව්‍යය වෙන බව මමද පිළිගනිමි.
      තීක්ෂණ; ටාෂා සමග මහල්නිවාසය තුලට පැමිණීම තුලින්ම ඔහුගේ පැතැලි ස්වභාවය නැතිකර දැමීමට ප්‍රමාණවත් කියායි මා සිතන්නේ.
      ටාෂාව ස්පර්ශ කිරීමෙන් , වැළඳ ගැනීමෙන්, සිප ගැනීමෙන් නැවතුනද ඔහුගේ ජාගර සිත නො එසේනම් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය පෙන්නුම් කිරීමට තිබුනි.
      වරෙක වින්සන්ට් චර්චිල්ව හමුවන්නට පුවත්පත් කලාවේදියෙක් යනවා.චර්චිල් අහම්බයෙන් ඔහු ඉදිරියට එන්නේ නාන කාමටය තුල සිට නොදැනුවත්වම නිරුවතින්.
      පුවත් පත් කලාවේදියා මෙයින් ලැජ්ජාවටත්, කුතුහලයටත්, භීතියටත්, නොසන්සුන් බවටත් පත්වී චර්චිල්ගෙන් සමාව අයැද සිටිනවා.
      චර්චිල් එකවරම පවසන්නේ "ගැටළුවක් නෑ! බ්‍රිතාන්‍යයට හංගන්න මට කිසිවක් නෑ!!" කියලායි.
      ඔබ හිතනවාද මෙය එදින එසේ සිදු වූවාට; තමා මුළුමනින්ම විවෘථ බව බ්‍රිතාන්‍යයට හුවා දැක්වීමට; චර්චිල් කිසිදා ප්‍රසිද්ධ වේදිකාවේ සරම උස්සා පෙන්වයි කියලා?
      සරං නොඇන්දත් කලිසම ගලවා පෙන්වයි කියා?
      ඔබගේ ලිවීම තුල තීක්ෂණව; සාමාන්‍යකරණයට ලක් කොට තිබෙන්නේ එලෙසයි.
      ඔහුන සුදු හුණු නොගාන බව පෙන්වා ඇත්තේ; ඔහුට නැට්ටෙ ඉඳන් ගොම ගාගන්නට සැලැස්වීමෙන්ය. >

      Delete
    3. බටහිර 007 James Bond කථාංග වල මෙම වෙනස මා දකිමි. තමාව මැරීම පිණිස සතුරා විසින් තමා අභිමුවට පත්කරණු ලබන සුරූපී කාන්තාවගේ ඇඳුම් එකින් එක උනා දමමින් ජේම්ස් බොන්ඩ් බලා සිටින අපට ඇසක් ගසා "සිතට ගන්නට" යමක් දක්වයි.
      ඒ ඔවුන්ගේ චිත්‍රපට අපි වැනි අය තුල මාකට් කිරීමට හිතාමතා ඔබ්බවන "වැඩිහිටියන්ට පමණයි" කොටස වෙනුවෙන්ය.
      ඔබ X-Fඓලෙස් කතාංගය බලා ඇත්නම් මෙනෙහි කරණ්න එහි ප්‍රධාන පිරිමි චරිතය ෆොක්ස් මොල්ඩර් Fox Mulder මොනයම් අවස්ථාවක හෝ ඩානා ස්කලී Dana Sculley ගේ රෙදි ගැලවීමක් පෙන්වනවාදැයි කියා.
      එයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ කථාංගයේ මූලික ඉලක්කය හෝ අරමුණෙන් ප්‍රේක්ෂකයා දුරස් නොවීමට එහි අධ්‍යක්ශක වරයා හැකි හැම විටෙකම තම කතාව මෙහෙය වීමට උත්සාහ කරණා බවයි.
      කථාවේ මුල සිට අවසාන මොහොතේ රූපවාහිනිය නිවාදමා ඇඳට යෑමට පෙර වැසිකිළිට යන මොහොතේදී පවා කතාවේ කුතුහලය ප්‍රේක්ෂකයා තුල තැන්පත් කරණ්නේ එලෙසින්ය.
      මා දන්නේ නෑ ඔබේ කතාවේ අවසාන වන විට "ටාෂා අනපේක්ෂිත ගැබ් ගැනීමක් කරණ කොට ගෙන" තීක්ෂණට කසාද බඳවන්නට ඔබගේ සිතේ ඇත්දැයි කියා.
      එය හරියටම ගැලපෙන්නේ සිරස සුපර්ස්ටාර් අවසාන මොහොතේ ශෙහාන් මිහිරංගව ඉවත් කිරීම වැනි සිදුවීමකටය.
      ඒවා සිරස වැනි මුදලාළිලා විසින් පාලිත ජඩමාධ්‍යය වල ටිරිකිස් වැඩය.
      කාලෙකට පෙර නාමල් උඩුගම මාකර්ට් කලේ මළ මිනියකි.
      ශ්‍රී ලාල් දල්පතාදු මාකට් කලේ හිලකි! (පපුවේ).
      එහෙත් ඒ කිසිවක් ප්‍රක්ශකයින් බලා පොරොත්තුවන දේ නොවේ.
      අවසාන වශයෙන් ඔබ මතක් කර බලන්න ෂර්ලොක් හෝමස් ගේ එකම පොතකවත් ඔහු ගෑනු සමග දොයියන්නට යනවා දයි කියා?
      ඒ ඔහුගේ ශාරීරික ආභාධයක් නිසා නොව පාඨකයා තම පරීක්ෂනය තුලම රඳවා තබා ගැනීම සඳහාය.
      එහෙත් අද වනතුරු කිසියම් හෝ විචාරකයෙකු ෂර්ලික් හෝම්ස් ගේ පුරුෂ ශක්තිය ප්‍රශ්න කර තිබෙනු ඔබ දක තිබේද?
      ෂර්ලොක් හෝම්ස්; සුජීව ප්‍රසන්න ආරච්චි විසින් නිර්මාණය කලානම් අපට හොම්ස් ඔහුගේ "සුරූපී නළඟන" (ෂර්ලොක් හෝම්ස්ගේ අභිරහස් පරීකෂන - එන්. ඒ. ඩී. ගුණතිලක / The Noble Bachelor - The Adventure of Sherlock Holmes By Sir Arthur Conan Doyle) සමග ප්‍රේම කරණු කියවීමට හැකිවනු ඇත.
      අවසාන වශ්යෙන් කියන්නට ඇත්තේ "කොන්ත නෝනාගේ කොණ්ඩය කොන්ත නෝනාගේ උවමනා විදියට!" බව අපට පිළිගැනීමට සිදුවන බව වන අතර මෙය ලියන ඔබ සිතා සිටින්නේ "තමන්ගේ මැට්ටම් තම්මැට්ටං!" කියා වියයුතුය.
      එනිසා ඔබ කැමති පරිදි ඔබේ කථාව ලියාගෙන යන්න.
      එය ඔබගේ නිදහසය!
      කියවීම නොකියවීම අපේ නිදහසය.
      ඒ කෙසේ වෙතත් තවම අවසානයක් නොපෙනෙන ඔබගේ නව කථාවේ අවසානය පිළිබඳව පෙරයීම් කිරීමට තවමත් කල් වැඩිවන බව මගේ හැඟීමයි.
      මේ අවස්සේ ටාෂා ගැබ් ගත්තොත් තීක්ෂණට මධුළිකාව ප්‍රවේශම් කරණවාට වඩා තව බොහෝ ගැටළුවලට මුහුණ දීමට සිදුවිය හැකි වන බව මතක් කරමි.

      ඇත්තටම චාපාගේ සිද්ධිය මගේ මතකයට නො ඒ!
      එහිදී ඔවුන් අතර ලිංගික සබඳතාවයක් සිදූවුන බවක් ඔබ හුවා දක්වා තිබුනේද?
      මට මතක නැත.
      මගේ හදවතේ බිඳීම . . . . ඔබගේ . . ලිවීමේ හැකියාව . . ද? හ්ම් . . !?!?
      ඔබ හිතන්න කොටම කොට කොට ගවුමක් ඇඳන් කිසිවෙකු ගමනක් යන්කොට ඒ දෙස දනන් නෙත් ඇදෙන්නේ
      1. නිරාවරණය වී ඇති කොටස නිසාද?
      2.වැසී ඇති කොටස නිසාද?
      3.තවත් ටිකක් නිරාවරණය වේ යැයි සිතාද?
      වෙන් කර ගන්නට බෑ නොවේද?
      ඔබ දක්ෂ ලේඛිකාවක්. එයට විවාදයක් නෑ. ඒත් මේ කමෙන්ටුවට හෝ මා කලින් පලකල කෙටි කමෙන්ටුවට හේතුව ඔබේ හැකියාව නිසා යැයි සතුටු වන්නට එපා.
      හැබැයි එක් දෙයක්!
      පල ඇති රුකටයි ගල් මුගුරු වදින්නේ කියන එකේ නම් කිසියම් තාර්කික බවක් තියෙනවා!
      ලියනවා නම් තව කොච්චර ලියන්න තියෙනවාද?

      Delete
    4. ඔබ X-Fඓලෙස් = X Files

      Delete
    5. හති හති... දෙය්යනේ හති...

      උත්තර නොදෙමි... මගේ කතාව ඔබ විසින් අනුභව කලෝය! කියා පවා සිතෙන තරමකි. අනුමානයන් නොකර සිටිනු මැනවි. :-(

      Delete
    6. මාගේ කොමෙන්ටුවට ඔබ එතරම් ප්‍රිය මනාප බවක් නොපෙන්වන බව ඔබගේ පිළිතුරෙන් විද්‍යාමාන වේ.

      අපද මේ මොහොතේ දකුණු ඉන්දියාවේ MGR ලෝලීන්ගේ තත්වයට වැටී ඇත.
      ඉන් අදහස් කරණුයේ කිසිම අධ්‍යක්ෂකවරයෙකුට ආසාවටවත්; තමන්ගේ පනට ආදරේ නම් චිත්‍රපටයක් තුල MGR ව මරා දමන්න බැරි බව මා අසා තිබුනා.
      කිසියම් ලෙසකින් චිත්‍ර පටයක් තුල ඔහුව මරාදැමුනොත් අධ්‍යක්ෂකවරයාට MGR ලෝලීන්ගෙන් ගුටි කෑමට සිදුවනු නොඅනුමානයි.

      මුවන් පැලැස්සේ කදිරාව පොලිස් වෙඩිපහරිණ් මරා දැමුනු පසු එහි රචකයා වන් වික්ටර් මිගෙල්ව හමුවුනු රසිකයෙක් "තමුසෙ මහ තිරිසනෙක්!" කියා බැන වැදුනු බව මා අසා ඇත.

      එසේම ෂර්ලොක් හෝම්ස්ව මරාදමා කොනන්ඩොයිල්ට සතුටින් ඉන්නට නොලැබුනු බව ඔබ අසා නැතිද?
      ඒනිසාම ඔහු පෙළඹෙනවා නැවතත් ඔහුව ජීවමානව ඔහුගේ ප්‍රාබන්ධ තුලට ගෙන එන්න.
      බොහෝ කාලයක් යනතුරු 221 බේකර් වීථිය, ලන්ඩනය ලිපිනයට ලිපි ලැබෙන බව මා අසා ඇත.

      මා වරෙක කීවා සේ මීට කලකට පෙර පුවත් පතක පල වූවා හෙඩිමක් ආන්දෝලනාත්මක!
      එහි අන්තර්ගතය වූවේ "තවත් කෙටි කලකින් ස්වර්ණා මල්ලවාරච්චි සැඟවී යනු ඇත" වැනි අර්ථයක්.
      ලිපිය කියවාගෙන යන විටදී එම ලිපියේ කතුවරයා ඉන් අදහස් කරගෙන තිබුනේ; ස්වර්ණාගේ රඟපෑම්වල ඇති පරිපූර්ණත්වය නිසාම රසිකයා තුල එම චරිත ඉතිරිවී ස්වර්ණාව අමතකව යා හැකි බවය.

      මා මේ සියල්ලෙන්ම කියන්නට ආවේ ඔබගේ රහස් පරීක්ෂක කථාවේ ඇති ලගන්නා සුළු භාවය නිසාම එම පුද්ගල චරිත හුදෙක් මනඃකල්පිත් ඒවා යැයි කියවන අප (මා) හට නොසිතෙන තරම් ඒවා බද්ධ වී ඇති හෙයින්ය.
      සත්තකින්ම එය ඔබගේ ප්‍රථිභාව නිසාමය.
      මා ලියූවේ මාගේ වීරයාගේ චරිතය ඝාතනය නොකරන මෙන්ය.

      ඔබ හිතන්න වික්ටර් රත්නායක තවත් කසාදයක් කර ගැනීම පිළිබඳව කොහෙවත් ඉන්න රසිකයින් කියා ගත් පිරිසක් මැරෙණ්න හැදුවේ ඇයි?
      තම පුතාගේ මලගෙදරට නොපැමිණි එකම පියා ඔහුද?
      එහෙත් රසිකයින් ඔහුව දකින්නේ " සිහිල් සුළං රැල්ලේ " කියපු ගායකයා ලෙසටය!
      "කාසි වලට ගන්නත් බෑ -කාසි වලට දෙන්නත් බෑ", "බනින්න එපා පොඩි දෝණිට", "ආදර්යේ උල්පතවූ අම්මා", "මෝහෙන් මුලා වෙලා" වැනි අර්ථාන්විත ගීත රැසක් ගැයූ ගායකයා ලෙසටය.
      කලාකරුවෝද මනුෂ්‍යයෝය කියා හිතා ගන්නට නොහැක.

      කවුද කැමති බෲස්ලි ගෙවල් ගානෙ යනවා දකින්න චිත්‍රපටයකින් වත්?

      Delete
  3. මෙන්න නොකියම දාලා..

    ReplyDelete
    Replies
    1. නොකියා දැන් වැඩි මාකට් එකක් නෑනේ. ඇපල් නේද?

      Delete
  4. ඇති යන්තම් විරංගව නිදොස් කොට නිදහස් කලා...

    ReplyDelete
    Replies
    1. හා හා.. එහෙමද හිතන්නේ.. තව බලමුකෝ ඉදිරියට...

      Delete
  5. ඇති යන්තම්... ඕක කියා ගන්න නටපු නැටුමක්... හෙහ් හෙහ් ..
    දැන් අපි බලමු කව්ද කළු කව්ද සුදු කියල...

    මම මේ කල්පනා කලේ මේ වගේ කතාවක් ලියන්න කොච්චර අමාරුද කියල .. මාත් කම්මැලි කමට ඉඳල ඉදල එකක් ලියන්න අරන් කොටස් 3ක් ලියල දාල දැන් අනාතනාත වෙලා ඉන්නේ ... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. කට විතරයි.. නැද්ද?

      ඒකනේ .. මටත් මේ වෙලා තියෙන්නේ වෙලාවක් නැති එකනේ අප්පා.. මේ කොරෝනා අපිවම කන්න ඇවිත්!

      Delete
  6. සුහදිනියේ.........? මේ ඇහෙනවද ..........? කෝ ඉතුරු ටික ..............?

    ReplyDelete
    Replies
    1. විනීත පූ ඇවිත්නේ කියවන්න.. මේ පළවෙනිම කොමෙන්ටුව වෙන්න ඕනේ! සාදරයෙන් පිළිගන්නවා

      මේ දවස්වල හරියට වැඩ! ඒ නිසා ප්‍රමාදයි.. අරි හරි

      Delete
  7. රට අතෑරලවත් ගිහින්ද? කෝ මෙි ලිඛි....

    ReplyDelete
    Replies
    1. කොහේ යන්නද අනේ මේ වගේ රටක් දාලා !
      මේ ඉන්නේ අපුරුවට - කොටින්ම උදේට දත් මදින්නවත් වෙලාව නෑ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...